lakbima.lk

ඉන්දියාවේදී කොටු වූ බ්ලූමැන්ඩල් සංඛ

කොළඹ පාතාලයේ මේ වන විට නම් දැරූ පාතාලයන් රැසක් බිහිව ඇත්තේය. ඉන් බොහෝ චරිත දැන් සිටින්නේ ‍පොළොවේ අඩි හයක් යටය. එසේ පාතාලයේ වැජඹී අපරාධ රැසකට නම් දෑරූ ප්‍රින්ස් කොලම්ගේ ඇවෑමෙන් පසු නැගී ආ චරිතය වූයේ “බටුවත්තේ බුද්ධිකය”.

ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වූ බටුවත්තේ බුද්ධික නායකත්වය දුන්නේ ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයටය. ඒ එහි ස්ටේස් පාර වෙසෙන සම්පත් චාමර නොහොත් ආමි සම්පත් හා ෆර්ගියුෂන් පාර වෙසෙන රණසිංහ ආරංචිගේ සංඛ හිරන්ත නොහොත් බ්ලූමැන්ඩල් සංඛගේ පාර්ශ්වයන් වෙනුවෙනි.

කොළඹ මත්ද්‍රව්‍ය ජාවාරමත්, බොහෝ අපරාධත් කෙරුණේ මේ සාමාජිකයන් තිදෙනාගේ මූලිකත්වයෙනි. ඒ සඳහා මොවුන්ට එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ප්‍රබල තරුණ දේශපාලනඥයකුගේ රැකවරණයක්ද යහමින් ලැබෙමින් තිබිණි.

මේ අතර බටුවත්තේ බුද්ධික, ආමි සම්පත්, බ්ලූ මැන්ඩල් සංඛ දිනක් එවකට කැලණිය ප්‍රදේශයේ ප්‍රබල චරිතයක් වූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුගේ ‍ලේකම්වරයකුගේ නිවසට ගියේ හිතවත්කමටය.හුණුපිටිය ප්‍රදේශයේ පැවැති මෙකී නිවසට ගිය අවස්ථාවේ  ඇති වූ ආරවුලකදී මොවුන් තිදෙනා වෙඩි තැබූයේ පාතාල හයිය පෙන්වීමටය. එහිදී පුද්ගලයකුගේ දෑස් තුවාල ලැබිය. ඒ 2008 වසරේදීය.

හොස්ස ළඟින් මැස්ස යාමට නොහැකි බටුවත්තේ බුද්ධිකට තරහකාරයෙක් සිටියේය. ඒ බොල්ලතේ කුමාරය. 2009 වර්ෂයේදී බ්ලූ මැන්ඩල් සංඛගේ ඥාති පුතෙකු වූ වෙඩිකන්දේ කසුන්, චූලා ඇතුළු පිරිසක් බොල්ලතේ කුමාරට වෙඩි තැබූවද ඉන් ඔහු  දිවි ගලවා ගැනීමට සමත් විය. මේ අතර බටුවත්තේ බුද්ධික බන්ධනාගාර ගත කෙරුණි. එහිදී ඔහුගේ සියලු වැඩ බ්ලූමැන්ඩල් සංඛ  නොපිරිහෙලා ඉටු කරන්නට විය.

දිනක් බ්ලූමැන්ඩල් සංඛ වෙත පැමිණියේ අසුබ පුවතකි. ඒ බටුවත්තේ බටුවත්තේ බුද්ධික බන්ධනාගාරය තුළ මිය ගොස් ඇති බවය. වස දී මරා ඇති බවට එකල කතාවක් පැතිර ගියද එහි ඇත්ත නැත්ත සෙවීමට කිසිවකුත් සිටියේ නැත. ඊට හේතුව මේ අවස්ථාව වන විට ඔවුනට පෙර තිබූ දේශපාලන රැකවරණය අහිමිව යමින් තිබිමය. එසේ වීමට හේතුව ඔවුනට අනුග්‍රහය ලබාදුන් දේශපාලනඥයා ළඟට චමින්ද රවි ජයන්ත නොහොත් දෙමටගොඩ චමින්ද සමීප වීම හේතුවෙනි.

බටුවත්තේ බුද්ධිකගේ මිය යාම බ්ලූමැන්ඩල් සංඛට කොළඹ පාතාලයේ නායකයකු වීමට අවශ්‍ය පසුබිම සැකසීය. වෙනදාටත් වඩා මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදුණ මොහු තරුණයන්ද වඩ වඩා ළං කර ගනිමින් සිය පිරිස් බලය වැඩිකර ගත්තේය. කොළඹ පාතාලයේ කිරුළු පැලඳීම ඔහුගේ එකම අභිප්‍රාය විය. බිම්සර, ගනේෂ්, කිචව් සම්පත් හා කළුබෝ‍ලේ මොහුගේ සමීපතමයන් විය.

මොවුන්ගේ ප්‍රතිවාදියා වූයේ දෙමටගොඩ චමින්දය. හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වූ භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍රට කොලොන්නාවේදී වෙඩි තැබිමේ සිද්ධියට චෝදනා ලැබ සිටියේ මොහුය. ඉහළ දේශපාලන රැකවරණයක් ලබමින් සිටි දෙමටගොඩ චමින්දද පාතාලයේ රජෙකු වීමට සිහින දුටුවෙකි. මේ වකවානුවේ ආමි සම්පත් හා මිතුරු වූයේ මාකිලංගමුවේ සංජීවය. මාකිලංගමුවේ සංජීවටත් අවශ්‍ය වූයේ දෙමටගොඩ චමින්දව ඉවරයක් කිරීමටය.

මේ වනවිට ඔහුද වැලිකඩ බන්ධනාගාරයේ සිටි අතර එහිදී දෙමටගොඩ චමින්ද හා මොහු අතර විරසකයක් පැන නැගී තිබිණි. කිහිප අවස්ථාවක්ම දෙමටගොඩ චමින්දව ඉලක්ක කර සැලසුම් කිහිපයක් සකස් කළද ඒවා අසාර්ථක වී තිබිණි.

එහෙත් ඒ වන විටත් එවකට පැවැති රජය පාතාලය මැඩීමට පියවර ගැනීම නිසා බ්ලූමැන්ඩල් සංඛ ආමි සම්පත් සමගින් ඩුබායි රාජ්‍යයට පලා ගියේය. ඒ ආරක්ෂක අංශවලින් බේරීමටය.

නමුත් 2015 දී සිදුවූ ආණ්ඩු පෙරළියත් සමග විදේශයේ සිටි පාතාලයන් රැසක් හුඹස්වලින් එන්නා සේ නැවත ලංකාවට පැමිණෙන්ට වූහ. ඒ අතර ආමි සම්පත් හා බ්ලූමැන්ඩල් සංඛද විය. එසේ පැමිණි ඔවුන් සහය දක්වන්ට වුයේ එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබල මන්ත්‍රීවරයකුටය.

බ්ලූමැන්ඩල් සංඛ ඉස්සර වීමට පෙර තමන් ඉස්සර විය යුතු බව මේ වනවිට දෙමටගොඩ චමින්ද වටහාගෙන සිටියේය. ඒ අනුව ඔහු බන්ධනාගාරගතව සිටම සැලසුම් සකස් කළේය.

පාර්ලිමේන්තු මැතිවරණය වෙනුවෙන් එක්සත් ජාතික පක්ෂයට සහය පළ කරමින්  කොටහේන, බ්ලූමැන්ඩල් ප්‍රදේශයේදී 2015 ජූලි 31 වෙනි දින පැවැති මැතිවරණ වේදිකාවක් අසලදී බ්ලූමැන්ඩල් සංඛ හා ආමි සම්පත්ට  යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩි තැබිය. එම වෙඩි තැබිමෙන් ආමි සම්පත් හා බ්ලූමැන්ඩල් සංඛ දිවි බේරා ගත්තද රැලියේ සිටි කාන්තාවක් හා තවත් පුද්ගලයකු මිය යන ලදී. තවත් දොළොස් දෙනකු තුවාල ලැබ රෝහල් ගත විය.

මෙම වෙඩි තැබිම පිටුපස සිටියේද අන් කවරකුවත් නොව දෙමටගොඩ චමින්ද බව ඒ වනවිට බ්ලූමැන්ඩල් සංඛ දැන සිටියේය.

කරපං නැත්තං මැරියං යන පාතාලයේ න්‍යාය අනුගමනය කරමින් බ්ලූමැන්ඩල් සංඛ ආමි සම්පත් හා එක්ව දෙමටගොඩ චමින්ද ඝාතනය කරන්න සැලසුම් සකස් කළහ. මේ අතර  හිටපු පාර්ලමේන්තු මන්ත්‍රී භාරත
ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතන නඩුව 2016.03.02 වෙනි දින කොළඹ අධිකරණයේ කැඳවිය. එදින දෙමටගොඩ චමින්ද, සරත්, බණ්ඩාර, මාලක යන පිරිස බන්ධනාගාර බසයකින් වැලිකඩ සිට අධිකරණය වෙත ගෙන ගොස් නැවත වැලිකඩට රැගෙන යන අවස්ථාවේ දෙමටගොඩ සමන්තා සිනමා ශාලව අසලදී බන්ධනාගාර බසයට වෙඩි වරුසාවක් එල්ල කෙරුණි.

මෙම වෙඩි තැබිමෙන් දෙමටගොඩ චමින්ද දිවි බේරා ගත්තේය. මේ සම්බන්ධයෙන් සැකකරුවන් කිහිප දෙනෙකු ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගනු ලැබිය.

එහිදී හෙළිවූ වැදගත්ම තොරතුර වූයේ මොවුන්ට ගිනි අවි සැපයූ මහා පරිමාණයේ ගිනි අවි ගබඩාව පිළිබඳවය. එම අවි ගබඩා දෙක මීගමුවෙන් හා ගම්‍පොළින් වැටලීමට ‍පොලීසියට හැකි විය.

‍පොලීසියෙන් තමන්ට ගැළවීමක් නැති බව දැනගත් බ්ලූමැන්ඩල් සංඛ හා ආමි සම්පත් ඉන්දියාවට පලා ගියේ 2016 වසරේදීය.

මෙම වකවානුවේ බ්ලූමැන්ඩල් සංඛ හා විරසක වූවන් දෙදෙනකු විය. ඒ තොටළඟ කළුබෝ‍ලේ හා සිය ඥාතියා වූ වෙඩිකන්දේ කසුන්ය.

ග්‍රෑන්ඩ්පාස්, හේනමුල්ල නිවාස සංකිර්ණයේ , අංක 253/13 පදිංචිව සිටින විජේරත්නගේ දිනේෂ් එරංග නොහොත් “කළුබෝ‍ලේ” ත්‍රිරෝද රථ රැකියාවට අමතරව ප්ලාස්ටික් කර්මාන්තයක යෙදුණ අයෙකි. එදා සිටම බ්ලූමැන්ඩල් සංඛගේ සමීපතමයකු විය.

මත්ද්‍රව්‍ය ජාවාරමේ ගනුදෙනු හේතුවෙන් මොහු බ්ලූමැන්ඩල් සංඛ හා විරසක වූයේ තමන්ද පාතාලයේ කෙරුමකු වන බව සිතමිනි.

වත්තල, හුණුපිටිය පාර, වෙඩිකන්ද පදිංචි තිරයාදුර කසුන් ධනංජය (31) නොහොත් වෙඩිකන්දේ කසුන් සිය ඥාතියා වූ බ්ලූමැන්ඩල් සංඛගේ පාතාල උණ කරට ගත් අයෙක් විය. ඔහු වරක් කිරිබත්ගොඩදී පුද්ගලයන් දෙදෙනකුට පහර දී එක් පුද්ගලයෙක් ඝාතනය කිරීම කළේය.

ඊට බන්ධනාගාරගතව සිටි ඔහු ඉන්පසු එළියට පැමිණි අවස්ථාවේ බ්ලූමැන්ඩල් සංඛ සමග එක්වී වෙරළබඩ ‍පොලිස් වසමේ මනුෂ්‍ය ඝාතනයක් සිදු කළේය. එම ඝාතනයට බ්ලූමැන්ඩල් සංඛ කර හැරියේ ඔක්කොම කුණු වෙඩිකන්දේ කසුන්ට පා කරමිනි. ඊටද මහ උළු ගෙදර තැපීමට සිදුවූයේ  වෙඩිකන්දේ කසුන්ටය. වරක් ඔහුගේ බිරිඳ ඔහු බැලීමට පැමිණි අවස්ථාවකදී කියා සිටියේ බ්ලූමැන්ඩල් සංඛ තමන්ව දුෂණය කළ බවය.

පෙර ඝාතනයට තමන්ව ‍පොලීසියට හසුකර දීමත්, බිරිඳව දූෂණය කිරීමත් යන සිද්ධි දෙකෙන්ම වෙඩිකන්දේ කසුන් වියරු වැටුණේය. ඒ බ්ලූමැන්ඩල් සංඛගෙන් පලිගැනීමටය. ඒ සඳහා ඔහු බන්ධනාගාරයේ සිටි ලකී නැමැත්තකු හරහා මාකඳුරේ මධුෂ් හඳුනා ගත්තේය. ”මධු අයියේ මට වෙන මොකවත් එපා. අරූව ඉවරයක් කරන්න හොඳ වෙපන් එකක් දෙන්න” යැයි ඔහු මාකඳුරේ මධුෂ්ගෙන් ඉල්ලා සිටියේය.

“ඒකට මේක වෙලාව නමෛයි. ‍පොඩ්ඩක් මම කියන විදිහට ඉවසලා ඉඳපං” යැයි මධුෂ් පවසා ඔහු දෙසට වෙඩිකන්දේ කසුන්වද නම්මවා ගත්තේය.

මේ අතර ඉකුත් 2018 නත්තල එළැඹියේය. එදින රාත්‍රියේ කළුබෝ‍ලේ හේනමුල්ල නිවාස සංකීර්ණයේ ප්‍රජා ශාලාවේ නත්තල් සාදයක් පිළියෙල කළේ අසිරිමත් නත්තල් ප්‍රීතිය සැමටම විඳීමටය. මේ සඳහා වත්තේ සියලු දෙනා සහභාගි විය. බ්ලූමැන්ඩල් සංඛගේ මීරිගම පදිංචිව සිටි ඥාති මාමා කෙනකුද මෙදින පැමිණ සිටියේය.

සාදය උච්චම අවස්ථාව වන විට බිමතින් සිටි පිරිස අතර ගැටුමක් ඇති විය. බ්ලූමැන්ඩල් සංඛගේ මාමාට කළුබෝ‍ලේ පහර දුන් බව සඳහන් කරමින් ඔහු කොළඹ ජාතික රෝහලට ඇතුළු වී තිබුණේය. ඒ අනුව ඉකුත් 26 දා පෙරවරු 8.00ට පමණ යතුරුපැදියක නැගී බ්ලූමැන්ඩල් සංඛ හේනමුල්ල නිවාස සංකීර්ණය ඉදිරිපිටට ගොස් එහි රැඳී සිටි කළුබෝ‍ලේට පිස්තෝලයකින් වෙඩි තබා පලා ගියේ දෙනෝ දාහක් දෙනා බලා සිටියදීය.

මෙකී වෙඩි තැබිමෙන් කළුබෝ‍ලේ, ප්‍රදීප්, සුරංග, ප්‍රසන්න නැමැති සිව්දෙනාම බරපතළ තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කෙරුණු අතර එහිදී කළුබෝ‍ලේ මියගියේය. සැබැවින්ම එය බ්ලූමැන්ඩල් සංඛගේ අභිප්‍රාය ඉටුවීමක් විය.

මෙම වෙඩි තැබිමට බ්ලුමැන්ඩල් සංඛ පැමිණි වග දසත පැතිර ගියේය. ‍පොලිස් බුද්ධි අංශවලටවත් ඔහු නැවත මෙරටට පැමිණ තිබූ වග අනාවරණය වී නොතිබුණේ ඉතාම සුක්ෂ්ම ආකාරයට බ්ලූමැන්ඩල් සංඛ පැමිණ සිටීම නිසාය.

කළුබෝ‍ලේට මරු කැඳවූ වෙඩි තැබිමට ‍පොලීසිය බ්ලූමැන්ඩල් සංඛ සොයා ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශය පීරන්නට විය. ඔහුගේ අනියම් බිරිඳ වූ ධම්මිකා නිල්මිණිගේ නිවසට ‍පොලීසිය ගියේ සංඛ එහි ඇතැයි යන විශ්වාසයෙනි. ඒ යන විට ඇය බ්ලූමැන්ඩල් සංඛ වෙඩි තැබිම සඳහා යන අවස්ථාවේ ඇඳ සිටි ඇඳුම් හා ඔහුගේ ජංගම දුරකථනය පුළුස්සමින් සිටියාය. එම අවස්ථාවේදීම ඇය අත්අඩංගුවට ගත් නමුදු ‍පොලීසියට බ්ලූමැන්ඩල් සංඛ සොයා ගැනීමට නොහැකි විය. ඒ, ඒ වනවිටත් ඔහු මුහුදු මගින් ඉන්දියාවට පලා ගොස් තිබුණු බැවිනි.

“කුමාර්” යන අන්වර්ථ නාමයකට හැඳුනුම්පතක් සකසා ගත් බ්ලූමැන්ඩල් සංඛට ඉන්දියාවේ දින්ඩිකල් ප්‍රදේශයේ නිරුපද්‍රිතව සිටීමට හැකි වූයේ මාස තුනක් පමණය. ඒ ඉන්දියාවේ, රාමේෂ්වරම් තොටුපළ ආසන්නයේ තමිල්නාඩු ‍පොලීසිය මගින් බ්ලූමැන්ඩල් සංඛ අත්අඩංගුවට ගැනීම නිසාය.

ඉකුත් 28 දා බ්ලූමැන්ඩල් සංඛ, ඔහුගේ රියැදුරු වූ  මදුෂ්, මොහොමඩ් රියාස් යන තිදෙනා අත්අඩංගුවට ගෙන තිබුණේ වලංගු වීසා බලපත්‍ර නොමැතිව එරට රැඳී සිටීමේ චෝදනාවටය. අත්අඩංගුවට ගැනීමෙන් පසු තමිල්නාඩු ‍පොලීසියට අනාවරණය වූයේ බ්ලූමැන්ඩල් සංඛ ශ්‍රී ලංකාවේ අපරාධකරුවකු බවය.

ඉන්දියාව සමග රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් සාකච්ඡා කරමින් පවතින්නේ මේ වනවිට තමිල්නාඩු බන්ධනාගාරගතව පසුවන මොවුන් මෙරටට ගෙන්වා ගැනීම සඳහාය.

ශානිකා මාධවි පීරිස්

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.