lakbima.lk

අම්පාරෙන් මතුවුණේ වඳවුණූ නිට්ටෑවන්ද ?


අම්පාර තෝට්ටම එච්.ඩී. කරුණාතිලකට කවුරුත් කීවේ කරුණේ කියාය. බඩ රස්සාවට වරාලන්ද යායේ හේන් ගොවිතැන කරනා කරුණේ දවසින් වැඩි හරිය ගෙව්වේ හේනේමය. ඊට හේතුව වූයේ බැද්දේ හතී කොන
කරක් ගහන සතා සීපාවා වගක් විභාගයක් නැතිව හේනට කර ‍පොවා වගාව ආසානාසි කිරීමය. හාවුන්ද, වල් ඌරන්ද කරුණාතිලකලාගේ ලොකුම හතුරෝ වුවත් දඬුවැට බැඳ හෝ උගුල් අටවා උන්ගේ ඒම නතර කළ හැක. එහෙත් අහසේ පියාසලනා කුරුළු සකලයෝ එසේ අඹවන්නට නොහැක. එහෙයින් කරුණාතිලකලාගේ හේන් යායේ ඇත්තෝ දහවල්ද හේන රකිති. ඉරගල වැටී දෙහෝරාවක් යද්දී හේන් යායට එන අලි නිසා රාත්තිරියද පහන් කරන්නේ හේනේ පැ‍ලේමය.

වල් සතුන් හැර වෙන බයක් තෝට්ටම හේන් කරන කරුණේලාගේ රැහේ උදවියට තිබුණේම නැති තරම්ය. ඒ සහනය අදින් දෙතුන් ‍පෝයකට පෙර බිඳී ගියේය. ඒ තමන්ගේ අත්තා මුත්තා පවා නොදුටු සතුරෙක් නිසාය. ඒ කතාව කරුණාතිලක පවසන්නේ මෙසේය.මහත්තයෝ මේ යායේ හේන් කරන අපි කවුරුත් හරි සමගියි. මොකද එකම ඉරණමනේ අපි ඔක්කෝන්ටම තියෙන්නේ. අපි ඉරිඟු කුරහන් ටිකක් වවාගෙන, බතල මයියොක්කා ටිකක් හිටෝගෙන අහස් දියෙන් වී ටිකත් ඉහගෙන කරදරයක් නැතිව මේකේ ජීවත් වුණා.

එහෙම හිටපු අපිට එක සැරේම වුණ විනම්බෑසිය බලන්නකෝ... බුලත් කෙළ පාර ඈතට විදිමින් කරුණේ අයියා පැවැසීය.කරුණේගේ කතාව අසන්නට පුදුමය. එහෙත් එය විශ්වාස නොකරද බැරිය. ඒ බොරු කියන්නට ඔහුට වුවමනාවක් නැති බැවිනි.

එදා මම හේනට එද්දී වෙනදාට වඩා රෑ වුණා. එම රාත්තිරියේ හිත් සෝදිසියෙන් ගහේ පැලට ගොඩ වුණා. මහ රෑ ජාමේ මට ‍පොඩි සද්දයක් ඇහුණා. මං උන්නේ ඌරෝ හරි වෙන වල් සතෙක් හරි කියලා. කෝකටත් මං ටෝච් එක එළිය කළා. ඒ එළියෙන් මම දැක්ක දේ සිහිවෙනකොට කාටත් ඇඟේ මයිල් කෙළින් වෙනවා. අඩි දෙකහමාරක් විතර කොට මිනිහෙක් පැල දිහා බලං ඉන්නවා. ඒකා රතු පාටට හුරුයි. හැඩපළු ගැහුන කෙස්ස පිටට වැටිලා තිබුණා. ඒකාගේ තොල් රතුම රතුයි. හරියට සැරට විටක් කාලා වගේ මං උන්නේ දිෂ්ටියක් කියලා. මට එක සැරේට නරක හරුපයක් කියවුණා. ඊට පස්සේ මේකා මගේ පැල් කොටේ නගින ඉනිමඟ ළඟට ආවා. කෝකටත් කියලා මං පැ‍ලේ තිබුණ රතිඤ්ඤා දෙකක් පත්තු කරලා දැම්මා. එතකොට පැනලා දිව්වා.

කරුණාතිලක කියන කුරු මිනිසා ඔහුට පෙර දුටු අයද වෙති. කරුණාතිලක සමග තෝට්ටම වරාලන්දයායේ හේන් කොටන රත්නායක අයියාද මේ කුරු මිනිසා දැක ඇත්තේය. මේ ඔහුගේ කතාවය.

මම දෙවංගියක් ඔය කුරු මිනිහා දැක්කා. කරුණේ කියන කතාව හරි කට රතුපාටයි. කෙස්ස කඩාගෙන පිටට දාලා. මං ළඟට එද්දී ඒකා ආතභූත කඩාගෙන දිව්වා. රාත්තිරිය හින්දා මං පස්සේ එලෙව්වේ නෑ රත්නායක පවසන්නේය.
රාත්‍රී අඳුර සමග පැමිණෙන මිනිස් හඬ ඇසුණ සැනින් පලා යන මේ අද්භූත සත්වයා කවරෙක්ද? ඊට රත්නායක අයියා මෙසේ පිළිතුරු දෙන්නේය. ංඅපේ ආච්චිලා සීයලා කියපු කතා තියෙනවා මේ දිගාමඩුල්‍ලේ හිටපු වානර මිනිස්සු ජාතියක් ගැන නිට්ටෑවෝ කියලා. උංගේ නිය‍පොතු හරි දිගලු. නිය දිග නිට්ටෑ වුණා කියලා අපේ ආච්චිලා සීයලා කියලා කියනවා. අපිට හිතෙනවා. මේ උං කියලා. මේ මහ කැ‍ලේ මොක්කු ඉන්නවාද කවුද දන්නේි රත්නායක තම කතාව ගෙනහැරපාමින් ප්‍රශ්නයක්ද අසන්නේය.

රත්නායකලා මේ කියන නිට්ටෑවා අර්ධ මානව රූපී සත්වයෙකි. ජනප්‍රවාදයේ එන පරිදි නිට්ටෑවන් දිවි ගෙවා ඇත්තේ අම්පාරට නොදුරු කූඩුම්බිගල ගිරි ශිඛරය ආශ්‍රිත වන බූටෑවේය. උසින් අඩි තුන නොඉක්මවන නිට්ටෑවා සිටගත් පසු ඔහුගේ දෑත් දෙදණහිසින් පහළට දික්වීලු. දිගු තියුණු නිය‍පොතු සහිත නිට්ටෑවාගේ සිරුර දළ ලෝමයන්ගෙන් වැසී තිබුණේලු.

දිගාමඩුල්‍ලේ ආදිවාසී වැදි ජනයාගේ පරම හතුරා වූයේ නිට්ටෑවාය. බැද්දේ තනිව යන වැද්දෝ වට කොට මරාගන්නා නිට්ටෑවො සිය දිග නියවලින් වැද්දන්ගේ බඩපලා අතුනු බහන් ඇද කෑ බව වැදි ජන කතාවල එයි.
අවසන නිට්ටෑවන්ගෙන් බේරී ගත නොහැකි වූ මහ ‍ලේනව සහ රන්දුණු බණ්ඩාර වරිගේ වැද්දෝ නිට්ටෑවො ගල් ලෙනකට කොටු කර එහි කට වසා දින තුනක් ගිනි දල්වා නිට්ටෑවන් සමූල ඝාතනය කළ බව කියැවෙයි. කුඩුම්බිගල ප්‍රදේශයේ ඇති නිට්ටෑහෙල එදා නිට්ටෑවන් විසූ ජනපදය බව අදටත් ප්‍රදේශවාසීහු පවසති. නැගෙනහිර මතු නොව රට පුරාම නිට්ටෑවෝ දිවි ගෙවූ බවද ජනප්‍රවාද වෙයි. නිට්ටම්බුව නිට්ටෑ‍පොළ ආදි ග්‍රාම නාම ඊට නිදසුන් බව ඇතැම්හු පවසති.

කෙසේ වෙතත් නිට්ටෑවන් පිළිබඳ කතා ජන සාහිත්‍යයේ එන කට කතා පමණක් විය නොහැක. ඊට හේතුව හියු නෙවිල් වැනි පර්යේෂකයන් පවා නිට්ටෑවන් පිළිබඳ කරුණු සොයා ඇති නිසාය. නෙවිල් තැ‍ප්‍රෝබේනියන් සඟරාව සහ තවත් සඟරා ගණනාවකට නිට්ටෑවන් පිළිබඳ ලිපි සකසා ඇත. ඒවාගෙන් නිට්ටෑවන් ගැන පමණක් නොව සමකාලීන සමාජ තත්ත්වයන් සහ ජන ජීවිතය ගැනද වැදගත් හෝඩුවාවන් රැසක් සොයා ගත හැක.
නිට්ටෑවන් වැද්දන් හා සටන් කොට ඔවුන් මරා දැමුවද වැදි තරුණියන් පිළිබඳ ඊට සානුකම්පිතව බැලූ බවද ජනප්‍රවාදයේ කියැවෙයි. වැද්දන් නිට්ටෑවන් දැඩි වෛරයක් ඇතිවීමට මෙම තත්ත්වයද හේතු වූ බව සිතිය හැක.

කෙසේ වෙතත් තෝට්ටම, තෝරයායේ රත්නායකලා දුටු බව කියා මේ කුරු මිනිසුන් නිට්ටෑවන් දැයි කීමට කිසිවකුටත් නොහැක. ඒ නිට්ටෑවන් පිළිබඳ ජනප්‍රවාද හැරුණු කළ වෙන කිසිදු සාක්ෂියක් නොමැති නිසාය. එමෙන්ම ලාංකේය පුරාවිද්‍යාඥයන් හෝ ජනශ්‍රැති පර්යේෂකයෝ  නිට්ටෑවන් පිළිබඳ කිසිදු නිවැරදි තොරතුරු තහවුරු කර ගෙනද නැත. එසේ නම්  තෝට්ටම වරාලන්දේ කරුණාතිලකලාගේ හේන්යායේ කරක් ගසා කුරු මිනිස්සු කවුද ඒ ප්‍රශ්නයට දීමට පිළිතුරක් අප සතුව පමණක් නොව කා සතුවත් නැත. 

---------------------------------------

නිට්ටෑවත

නිට්ටෑවන් පිළිබඳ සොයාබලා කරුණු වාර්තා කළ පිරිස අතර කීර්තිමත් පර්යේෂකයෙක් වන හියු නෙවිල් ද වෙයි. ඔහු සිය ගවේෂණ වැද්දන්ගේ ජනශ්‍රැතිය අනුව සිදුකළ මුත් පැහැදිලි සාක්ෂි සපයාගත නොහැකි වී ඇත. හියුනෙවිල්ට පසු පී.ඊ.පී. දැරණියගල, එෆ්. ලෙවිස් ඩබ්ලිව්.සී. ඔස්මන් වැනි මානව විද්‍යාඥයෝද නිට්ටෑවන් ගැන සොයා බැලූහ. මේ පිරිස අතරින් සී.ඊ.පී. දැරණියගල නැගෙනහිර පළාතේ ගල්ලෙන් ආශ්‍රිතව ගවේෂණ
සිදුකරමින් නිට්ටෑවන් පිළිබඳ තොරතුරු තහවුරු කර ගැනීමට උත්සාහ දරා ඇත. ආචාර්ය ශිරාන් දැරණියගල යන්ද රජරට ජනප්‍රවාද ඇසුරු කොට නිට්ටෑවන්ගේ තොරතුරු සොයා ඇත.

නිට්ටෑ නම දිගු නිය‍පොතු හා සම්බන්ධ බවට ජනප්‍රවාද රැසක් වෙයි. ස්වභාවධර්ම වේදියකු වන ඔගස්ටස් ප්‍රින්ස්ලි පවසනුයේ කවදාවත් නිය නොවැටෙන (නිට්ටාවට නිය‍පොතු ඇති) අය නිට්ටෑවෝ වූ බවයි. කෙසේ වෙතත් ආර්.එල්. ස්පිට්ල් වරක් ප්‍රකාශ කර ඇත්තේ නිට්ටෑවා මිනිසෙකු නොව වලහෙකුට සමාන සත්වයකු විය හැකි බවයි. නිට්ටෑවන් පිළිබඳ සමාජයේ එන ජනප්‍රවාදවලට අනුව නිට්ටෑවා වැද්දන්ට වඩා වෙනස් ස්වරූපයක් දරයි. එසේ නම් නිට්ටෑවා ඉන්දියාවේ සිටියේ යැයි කියවෙන නිශාද නම් ජන කොටසෙන් බිඳී ආවෙක්දැයි යන සැකය මානව විද්‍යාඥයන් කිහිපදෙනෙකු මතු කර ඇත.

නිට්ටෑවා කුඩා රංචු ලෙස නැගෙනහිර තැනිතලාවල දිවි ගෙවූ බවත් සතුන් මරා අමු මස් කෑ බවත් කියවෙයි. ඔවුන්ගේ දඩයම් රටාව හෝමෝ හැබිලිස් ආදි මානවයා සිහි කරවයි. මෙගස්තිනස් නම් ග්‍රීක මානව විද්‍යාඥයා ශ්‍රී ලංකාව සහ ඉන්දියාවේ දකුණු දිග වනාන්තරවල දිවි ගෙවූ සයිනොසෙපලි නම් අභිරහස් සත්වයෙකු පිළිබඳ ක්‍රි.පූ. 3 වැනි සියවසේ පවා සටහන් තබා ඇත. එහිදී සුනඛ හෝ වානර මුහුණු සහිත ජන කොටසක් ලෙසද සයිනොසෙපලියන් හඳුන්වා දී ඇත. ශ්‍රී ලංකාවේ වැදි ජනයා පැහැදිලි ඔස්ටේ‍රාලොයිඩ් ලක්ෂණ දරන්නන් බැවින් ඔවුන් සුනඛ හෝ වානර මුහුණු දරන්නත් ලෙස හැඳින්වීමට කිසිවෙක් කටයුතු කරන්නේ නැත. එසේ නම් මේ සයිනොසෙපලි යනු ශ්‍රී ලංකාව සහ දකුණු ඉන්දියාවේ දිවි ගෙවූ අර්ධ මානව ස්වරූපධාරී ජන කොටසක් වන නිට්ටෑවන් විය නොහැකිද?
මේ තර්කයට අපට පැහැදිලි පිළිතුරක් දිය නොහැක්කේ මානව පරිනාමයේ පැහැදිලි තැන්වලට වඩා අපැහැදිලි තැන් බොහෝ වන බැවිනි.

අරුණ ලක්ෂ්මන් ප්‍රනාන්දු

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.