Home    |    Daily Lakbima    |    Sunday Lakbima    |   Rajina |    Archive    |    Advertise With Us    |     Careers Email - [email protected] youtube
lakbima.lk

                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්     

දීර්ඝ කාලයකට පසු ලොව සිදු වූ දරුණුම බෝම්බ ප්‍රහාරයක් පිළිබඳව පසුගිය 14 වෙනි දින ජාත්‍යන්තර ජනමාධ්‍ය විසින් වාර්තා කරනු ලැබිණි. 270 කට ආසන්න පිරිසකට මරු කැඳවමින් සහ තවත්  275 දෙනෙකුට පමණ බරපතළ තුවාල සිදු කරමින් මෙම ප්‍රහාරය එල්ල වූයේ සෝමාලියාවේ අගනුවර වන මොගදිෂු නගරයේදීය. තුවාල ලබා සිටින අයගෙන් තව බොහෝ දෙනෙකුගේ තත්ත්වය ඉතා බරපතළ බව පැවැසෙන අතර මරණ සංඛ්‍යාව තවදුරටත්  ඉහළ යනු ඇති බවට අනාවැකි පළවෙයි. සෝමාලියානු ඉතිහාසය තුළ සිදු වූ මේ ආකාරයේ බිහිසුණුම ප්‍රහාරය මෙය ලෙස සැලකේ. එමෙන්ම මෑත කාලයේ ලොව වාර්තා වූ දරුණුම බෝම්බ ප්‍රහාර අතර නිසැකවම මෙයට ප්‍රධාන තැනක් හිමි වනු ඇත.

ප්‍රහාරය එල්ල වී ඇත්තේ වාහන බෝම්බයක් ලෙසිනි. ප්‍රබල පුපුරන ද්‍රව්‍ය අති විශාල ප්‍රමාණයක් සවි කරන ලද ට්‍රක් රථයක් නගර මධ්‍යයේ පුපුරුවා හැරීමෙන් මෙම විනාශය සිදු කර තිබේ. එමෙන්ම  බෝම්බය පුපුරා ගොස් ඇත්තේ පසුගිය 14 වෙනි සෙනසුරාදා රාත්‍රියේ බෙහෙවින් ජනාකීර්ණ වේලාවක බවද වාර්තා වෙයි. අදාළ ප්‍රදේශය හෝටල්, රජයේ ආයතන, අවන්හල්, කඩ සාප්පු ආදි රැසක් පිහිටා ඇති ඉසව්වක් බවද සඳහන් ය.

සිද්ධිය ඇසින් දුටුවන් පවසන්නේ එය දරා ගැනීමට අපහසු ආකාරයේ ඉතා බියකරු දසුනක් මැවූ බවයි. එක් වරම පළාතම දෙදරුම් කැවූ පිපිරීමක හඬක් ඇසුණු බවත්, ඒ සමගම මහා දුම් වලාවක් අහසට නැගුණු බවත්, ඒ දෙසට දිව යද්දී ගිනිගෙන දැවෙන වාහන, ගොඩනැගිලි මෙන්ම මිනිසුන්ද දක්නට ලැබුණු බවත්, පාර පුරා මළ සිරුරුවල කොටස් විසිර තිබූ බවත් එක් නගරවැසියෙකු සඳහන් කර තිබිණි. කුඩා දරුවන් පුරවාගෙන යමින් තිබූ බස්රියක් ගිනි ගනිමින් තිබූ අන්දමද, දරුවන්ගේ පිළිස්සුණු සිරුරු දැවුණු බස්රියෙහි යකඩ රාමුවෙහි පැටලී තිබුණු අයුරුද තමා දුටු බව ඔහු තවදුරටත් කියා තිබිණ. බෝම්බය පුපුරා ගිය ස්ථානය ආසන්නයේම තිබූ  හෝටලයක්ද මුළුමනින්ම විනාශ වී තිබෙනු දැකිය හැකි වූ අතර එහි නතර වී සිටි විශාල පිරිසක්  සුන්බුන්වලට යට වී සිටින බව වාර්තා විය. සෝමාලියාවේ විදේශ අමාත්‍යාංශ කාර්යාලය පිහිටා ඇත්තේද මේ ආසන්නයේම බවද පැවැසේ.

ප්‍රහාරය පිළිබඳ වගකීම මෙම සටහන ලියන අවස්ථාව වනවිට කිසිවෙකු බාරගෙන තිබුණේ නැත. නමුත් සෝමාලියා රජය මේ සම්බන්ධව චෝදනා කරන්නේ අල් ෂබාබ් (Al- Shabaab)  නමැති අන්තවාදී ඉස්ලාමීය සංවිධානයටයි. එය අල් කයිඩා සංවිධානය සමග සබඳතා ඇති සංවිධානයකි.

සෝමාලියානු රජයේ හමුදා සමග සටන් කරන අල් ෂබාබ් සංවිධානය කල පෙර එරට ප්‍රධාන නගරවල පවා පාලනය අල්ලාගෙන සිටි අතර පසුව රජයේ හමුදා විසින් එම බොහෝ ප්‍රදේශවලින් ඔවුන් පලවා හරිනු ලැබිණි. මෙම අන්තවාදී සටන්කාමීන්ට එරෙහි මෙහෙයුම්වලදී රජයේ හමුදාවලට ඇමෙරිකාවේ මෙන්ම වෙනත් අප්‍රිකානු රටවලද, එක්සත් ජාතීන්ගේද සහයෝගය ලැබේ. මේ වනවිට නගරවලින් බැහැර ප්‍රදේශ කිහිපයක පාලනය මෙම අල් ෂබාබ් සංවිධානය යටතේ පවතී. 2014 වසරේ සංඛ්‍යා ‍ලේඛනවලට අනුව 7000ත්, 9000ත් අතර සටන්කාමීන් පිරිසක් මෙම සංවිධානයට ඇතුළත් බව පළවී තිබිණි. මොගදිෂු අගනුවර ඇතුළු ප්‍රධාන නගර නැවත සිය පාලනයට නතු කර ගැනීමට මෙම සටන්කාමීහු දිගින් දිගටම සටන් කරමින් සිටිති.

ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මෙන්ම සෝමාලියානු ජනාධිපති මොහොමඩ් අබ්දුල්ලාහි මොහොමඩ්ද පසුගිය දිනවල ප්‍රකාශ කර තිබුණේ අල් ෂබාබ් සංවිධානයට එරෙහි මෙහෙයුම් තර කිරීමට අදහස් කරන බවයි. මෙම ප්‍රහාරය ඊට දැක් වූ ප්‍රතිචාරයක් විය හැකි යැයිද ඇතැමුන් අදහස් පලකර  තිබෙනු දැකිය හැකි විය.

අල් ෂබාබ් වැනි සංවිධාන දියත් කර ඇති මෙම අරගලය ආගමික අරගලයක් ලෙසද සැලකිය හැක්කකි. මෙම සංවිධානය අයත් වන්නේ ඉස්ලාම් ආගමේ එක් ධාරාවක් වන වහාබ්වාදී (Wahhabism) ධාරාවටයි. එහි අනුගාමිකයන් මෙය සලකන්නේ ඉස්ලාම් ආගමේ පිරිසිදුම භාවිතාව වශයෙනි. එය එක්තරා ආකාරයකින් මූලධර්මවාදී ස්වරූපයක් ගනියි. සෝමාලියාවේ වැඩිපුර ජීවත්වන්නේ සුන්නි නිකායට අයත්වන මුස්ලිම්වරුන්ය. සුන්නි නිකායේ ආගමික විශ්වාසයන්ට වහාබ්වාදී ධාරාව විරුද්ධය. සුන්නි විශ්වාසයන් එක්තරා ආකාරයක මිථ්‍යාදෘශ්ටියක් ලෙස ඔවුන් විසින් සලකනු ලැබේ. මැද පෙරදිග මෙන්ම උතුරු අප්‍රිකානු කලාපයේද බොහෝ රටවල සිවිල් යුද තත්ත්වයන්ට පසුබිම් වන්නේ ඉස්ලාම් ආගමේ නිකායන් අතර ගැටුම් බව රහසක් නොවේ.

සෝමාලියාව යනු ලොව සුපිරි බලවතුන්ද දැඩි අවධානයෙන් සිටින රාජ්‍යයක් බව සඳහන් කළ හැකිය. ඉතා වැදගත් මුහුදු මාර්ග  සෝමාලියානු කලාපය හරහා වැටී තිබිම ඊට ප්‍රධාන හේතුවක් වෙයි. මේ නිසා ඇමෙරිකාව මෙන්ම චීනය වැනි පාර්ශ්වද සෝමාලියාවේ සිදුවීම් පිළිබඳ සිටින්නේ මහත් උනන්දුවෙනි. අන්තවාදී සටන්කාමීන්ට එරෙහි  හමුදා මෙහෙයුම්වලදී ඇමෙරිකාවේ සහය සෝමාලියානු රජයට හිමිවන අතර චීනයද දැන් කලෙක සිටම සෝමාලියාව තුළ ආයෝජන ඉහළ නංවමින් සිටින ආකාරය දැකිය හැකිය. මේ අතර සුපිරි බලවතුන්ට සෝමාලියාවේ කටයුතුවලට මැදිහත් වීම සඳහා එහි සිවිල් යුද්ධය අවස්ථාවක් විවර කර දී ඇති බවටද ඇතැම් පාර්ශ්ව වෙතින් අදහස් පලවෙනු දැකිය හැකි වෙයි.

නිහාල් පීරිස්

සුපිරි සිනමා තරු දේශපාලනයට පිවිසීම ලෝකයේ බොහෝ රටවල දක්නට ලැබෙන්නකි. මේ දිනවල එවැනි තවත් සිනමා තාරකාවක් ක්‍රියාකාරී දේශපාලනයට පා තැබිමට සූදානම් වන බවට ආරංචි පැතිරෙමින් තිබේ. ඒ අන් කිසිවෙකු නොව දකුණු ඉන්දියානු සිනමාවේ සුපිරි සිනමා තරුවක් වන කමල් හසන්ය. ඔහු ළඟදීම දේශපාලනයට පිවිසෙනු ඇතැයි යන කතාව දැන් ටික කලෙක සිටම මාධ්‍ය තුළ කතාබහට ලක් වෙමින් ඇති අතර ඒ සම්බන්ධ අලුත්ම ආරංචියකින් කියැවෙන්නේ ලබන නොවැම්බර් 7 වෙනි දිනට යෙදෙන ඔහුගේ 63 වෙනි උපන් දිනය දා කමල් මේ පිළිබඳව වැදගත් නිවේදනයක් කරනු ඇතැයි කියාය. ඔහු තමාගේ අලුත් දේශපාලන පක්ෂය එදින  දියත් කරනු ඇතැයි ඉන්දීය මාධ්‍ය තුළ සඳහන්ව තිබෙනු පසුගිය දිනවල දැකිය හැකි විය.
දැන් ටික කලෙක සිටම කමල් දේශපාලන කතා කියමින් සිටින ආකාරය දැකගත හැකි වෙයි. ඔහු  ‍පොදුවේ දේශපාලන ලෝකයේත්, විශේෂයෙන්ම තමිල්නාඩු දේශපාලන ක්‍ෂේත්‍රයේත් ඉහවහා ගොස් ඇති වංචා දූෂණ සම්බන්ධයෙන් සිය දැඩි විරෝධය පළකරන ආකාරය දැකිය හැකි විය. කමල්ගේ විවේචන වැඩිපුරම එල්ල වූයේ මේ වනවිට තමිල්නාඩු ප්‍රාන්තයේ බලය හොබවන ඕල් ඉන්ඩියා අන්නා ද්‍රවිඩ මුන්නේත්‍ර කසාගම් (AIADMK) පක්ෂයේ දේශපාලනඥයින් වෙතය. මෙම පක්ෂය කලකට පෙර තවත් සිනමා තාරකාවක් වූ ජයලලිතා ජයරාම් විසින් නායකත්වය දෙන ලද පක්ෂයයි.  
ප්‍රාන්තය ගිල ගනිමින් ඇති දූෂණය පිටුදැකීමට තමිල්නාඩු පක්ෂවල නායකයන් අසමත්ව සිටීම ගැන කමල් දැඩි විවේචන එල්ල කර තිබෙනු දැකිය හැකි විය. තමිල්නාඩුවේ ප්‍රධාන පක්ෂ දෙක වන ඉහත කී ඕල් ඉන්ඩියා අන්නා ද්‍රවිඩ මුන්නේත්‍ර කසාගම් සහ ද්‍රවිඩ මුන්නේත්‍ර කසාගම් (DMK)  යන පක්ෂවලට  දූෂණ වංචා නැති කරදැමිය නොහැකි නම් අලුත් විකල්පයක් ගොඩ නගා ගනිමු යයිද ඔහු ජනතාවගෙන් ඉල්ලා සිටියේය. එතැනින් නොනැවතී ඔහු සිය රසික රසිකාවන්ගෙන් ඉල්ලා සිටියේ  මෙම වංචාවලට එරෙහිව විරෝධය පළකරමින් මැති ඇමැතිවරුන්ගේ ඊ මේල් ගිණුම් ඊමේල් පණිවුඩවලින් පුරවන ලෙසය. දැන් කමල් අලුත් පක්ෂයක් පිහිටුවීමට සැරසෙන්නේ ඔහු ඉහත කී නව විකල්පය ගොඩ නැගීම සඳහා විය හැකිය.
පසුගිය දිනවල ඔහු වංචා දූෂණවලට එරෙහිව කටයුතු කරන ඉන්දියාවේ ප්‍රවීණ දේශපාලනඥයන් කිහිප දෙනෙකු මුණගැසී සාකච්ඡා කිරීමද කමල් දේශපාලනයට පිවිසීමට සූදානම් වනවාය යන අදහස තවත් තීව්‍ර කරන්නක් විය. කේරළයේ මහ ඇමැති වන පිනරායි විජයන් ඒ ආකාරයෙන් ඔහු සාකච්ඡා පැවැත්වූ කෙනෙකි. මාක්ස්වාදියෙකු ලෙස සැලකෙන විජයන් ද වංචා දූෂණවලට එරෙහිව පෙනී සිටින නායකයෙකු ලෙස සැලකෙන්නෙකි. මේ ආකාරයෙන් කමල් සාකච්ඡා පැවැත්වූ තවත් ප්‍රකට දේශපාලනඥයෙකු වූයේ දිල්ලි මහ ඇමැති වන අර්වින්ද් කෙජ්රිවාල් ය. ඔහුද ඉන්දියාව තුළ පැතිරෙමින් ඇති වංචා 
දූෂණවලට එරෙහිව විශාල ව්‍යාපාරයක් දියත් කර ඇති නායකයෙකු ලෙස ප්‍රසිද්ධියක් උසුලන්නෙකි. සිය දේශපාලන ගමන සඳහා කමල් මෙවැනි නායකයින්ගේ සහය අපේක්ෂා කරනවා විය හැකිය යන අදහස ද ඇතැම් නිරීක්ෂකයන් මතු කර තිබෙනු දැකිය හැකි විය. 
මේ අතර සමහර මාධ්‍ය වාර්තාවල සඳහන් වූයේ තවත් සුපිරි නළුවෙකු වන රජිනි කාන්ත් ද කමල්ගේ දේශපාලන පක්ෂය හා එක්වීමට ඉඩ ඇති බවයි. රජිනි කාන්ත් ද දේශපාලනයට එනු ඇති බවට දැන් ටික කාලයක සිට ආරංචි පැතිරෙමින් තිබේ. මෙම කතාබහ වඩාත් අවධානයට හසුවීමට පටන් ගත්තේ පසුගිය දෙසැම්බරයේ සිදු වූ ජයලලිතාගේ අභාවයත් සමගය. ඊට හේතු වූයේ ඇගේ අභාවයත් සමග තමිල්නාඩු දේශපාලනය තුළ කලින් නොතිබුණු රික්තයක් නිර්මාණය වීමයි. එතෙක් කාලයක් තමිල්නාඩුව තුළ ස්ථාවර වීමට නොහැකිව සිටි, අගමැති නරේන්ද්‍ර මෝදිගේ භාරතීය ජනතා පක්ෂය වැනි ජාතික පක්ෂ මෙම රික්තය ප්‍රයෝජනයට ගනිමින් එම ප්‍රාන්තය තුළ තහවුරු වීමට පියවර ගනු ඇතැයි අදහස් පළ වූ අතර  භාරතීය ජනතා පක්ෂය රජිනි කාන්ත් හරහා එම වුවමනාව ඉටු කරගන්නට සැරසෙන බවටද ආරංචි පැතිරෙන්නට විය. රජිනි කාන්ත් විසින් කරන ලද ඇතැම් ප්‍රකාශද මේ ආරංචිවලට යම් වලංගුභාවයක් ලබා දෙන්නට සමත් විය. නමුත් පසුව එම කතාබහ තරමක් යට ගිය ආකාරයකි දක්නට ලැබුණේ. කෙසේ හෝ වේවා කමල් හසන් පිළිබඳ අලුත් කතන්දරත් සමග දැන් නැවතත් රජිනි සම්බන්ධ කතාද මතු වෙන්නට පටන්ගෙන ඇති ආකාරයක් පෙනේ.
කමල් වංචා දූෂණවලට එරෙහිව පමණක් නොව ජාතිවාදී අදහස්වලට එරෙහිවද ක්‍රියා කරන්නෙකු ලෙස සැලකෙයි. මේ නිසාම පසුගිය දිනවල ඔහු සමහර හින්දුවාදී කණ්ඩායම්වල උදහසට ලක්ව සිටින ආකාරයක්ද පෙනී ගියේය. කමල් විසින් ඉදිරිපත් කරනු ලබන රූපවාහිනි වැඩසටහනකින් හින්දු සංස්කෘතියට අපහාස වනවාය යන චෝදනාව මත ඔහු අත්අඩංගුවට ගත යුතුය යනුවෙන් උද්ඝෝණයක්ද මතු විය.
ඒ අතර ඔහු අනෙක් අයගේ වංචා දූෂණ ගැන කතා කිරීමට පෙර ඔහුගේ චිත්‍රපටවලින් උපයා ගත් ආදායම්වලට බදු ගෙවූ ලියකියවිලි ප්‍රසිද්ධ කළ යුතු බවටද ඇතැම් දේශපාලනඥයින් පවසා තිබෙනු දක්නට ලැබිණි. ඉන්දියාව වැනි රටක වංචා දූෂණවලට එරෙහිව කටයුතු කිරීමට යන කෙනෙකුට මෙවැනි බොහෝ බාධක කම්කටොළුවලට මුහුණ දෙන්නට සිදුවීම අරුමයක් නොවේ. 
තමිල්නාඩුවේ පළාත් පාලන ආයතන සඳහා ඡන්ද විමසීම්  නොවැම්බර් මාසයේ පැවැත්වීමට නියමිතව තිබේ. කලින් සඳහන් වූයේ කමල් හසන්ද සිය අලුත් පක්ෂය පිහිටුවාගෙන මෙම මැතිවරණය සඳහා ඉදිරිපත් වනු ඇතැයි කියාය. කෙසේ නමුත් කමල් ඔහුගේ උපන් දිනය යෙදෙන නොවැම්බර් 7 වෙනි දින අලුත් පක්ෂය දියත් කරනු ඇතැයි යන අදහස මාධ්‍ය තුළ කතාබහ වුවද ඔහුගේ ප්‍රකාශකයින් ඒ සම්බන්ධයෙන් නිශ්චිතව යමක් ප්‍රකාශ කර නැත. ඔහු එදින වැදගත් නිවේදනයක් නිකුත් කිරීමට නියමිත බව කමල්ගේ කළමනාකාරවරයා පවසා ඇතත් එය කුමක්ද යන්න සම්බන්ධයෙන් කිසිවක් කියා නැති බව මාධ්‍ය සඳහන් කර තිබිණි.
කෙසේ නමුත්, යම් හෙයකින් කමල් හසන් තමිල්නාඩුවේ දේශපාලනයට පිවිසුණහොත් එය එම ප්‍රාන්තයේ දේශපාලන බලතුලනය සහමුලින් වෙනස් කරන්නක් වනු ඇතැයි බොහෝ දුරට අපේක්ෂා කළ හැකිය.
 
නිහාල් පීරිස්

මීට දශක කීපයකට පෙර නම් මහාද්වීප පාවෙන්නේ යැයි කිසිවෙකු විශ්වාස නොකළහ. දස දහස් වසර ගණනාවකට පෙර සිටම එය එක්ව එකම ස්ථානයක්ව තිබුණ බව සමහරු විශ්වාස කළහ. 
සමහර භූගෝලීය කරුණු නිසා මහාද්වීප වෙන් වන්නට විය. මෙම නූතන තත්ත්වය ඇති වීමට සිය දහස් වසර කොපමණක් ගතවෙන්නට ඇත්දැයි ඔවුනට පිළිතුරු දිය නොහැක. 
පෘථිවිය සෙමින් තැනකට යනවාද එසේ නොමැතිව එයට වඩා ප්‍රභල ක්‍රියාකාරීත්වයක් එය ලබනවාද? 
එය ඔවුහු නොදනිති. ඔවුනට හැකිවූයේ අනුමාන කිරීම පමණි. 
පෘථිවියේ භූ විපර්යාස පිළිබඳව විශ්මිත තොරතුරු අපි පුවත්පත්වලින් කියවමු. හිමාලය ඇන්ඩීස් වැනි කඳුවැටි තැනකින් තැනකට ගමන් කළ බව කියවමු. ඔස්ට්‍රේලියාව හවායි දිවයිනෙන් ඈත්වන බවත් ජපානය හවායි දිවයිනට සමීප වන බවත් මෙයට වසර විස්සකට පමණ පෙර ඇමෙරිකාවේ බැල්ටිමෝර් නගරයේ පවත්වන ලද භූ විද්‍යාඥයින්ගේ සම්මේලනයක අනාවරණය විය. 
ඔවුන් පවසන ලෙස වසර පහකට මිලි මීටර් 71 ප්‍රමාණයකින් ජපානය හවායි දිවයිනට සමීප වෙයි. එමෙන්ම වසර පහකට මිලි මීටර් 69කින් ඔස්ට්‍රේලියාව හවායි දිවයිනෙන් ඈතට යයි. 
පෘථිවිය ගැන, එහි මතුපිට පිළිබඳව භූ විද්‍යාඥයින්ට තවත් ප්‍රශ්න ගණනාවක් විය. මහාද්වීප, දූපත්, කඳු වැටි සාගර පත්ල සෑදුනේ කෙසේද? භූමි කම්පා ගිනි කඳු ඇති වීමට හේතු මොනවාද? මහා ගිරිශිඛර මත සමුද්‍ර ජීවින්ගේ ‍පොසිලයන් තැන්පත්වූයේ කෙසේද? මෙයට හේතුව පෘථිවියේ ස්ථානගත වීම් කල්පාන්තරයකින් කල්පාන්තරයකට වෙනස් වන නිසාද? 
පෘථිවිය මෙසේ තැනකින් තැනකට ගමන් කිරීම මහාද්වීපික ප්ලාවිත නිගමනය යයි කියනු ලැබේ. ලෝක සිතියම දෙස සුපරීක්ෂාකාරීව බැලුවහොත් විශාල රවුමක කඩින් කඩ පිහිටි දූපත් සමූහයක් දැකගත හැක. මුලින් විද්‍යාඥයින් මෙය නිරීක්ෂණය කළත් මේ පිළිබඳව විද්‍යානුකූල විවරණයක් ඉදිරිපත් කිරීමට ඔවුන් අසමත් වූහ. නමුත් 1915 ඇල්ෆ්‍රඩ් වෙග්නර් යන කාලගුණ විද්‍යාඥයා පෘථිවියේ විසිර තිබෙන සියලුම බිම් කොටස් එක්වූ විට පිහිටන සිතියමක් සකස් කළේය. එවිට සියල්ලන් විසින් ඔහු සම්චචලයට ලක් කරනු ලැබිය. නමුත් අද ප්ලාවිත නිගමනයෙහි පියා වශයෙන් ඔහුට ගෞරව කරනු ලැබේ.  
පෘථිවිය මතුපිට හෙවත් භූ කබොල විශාල තහඩු අටකින් සහ තවත් තහඩු ගණනාවක්් ඒකරාශී වීමෙන් නිර්මිත වී ඇත. භු කබොල යටින් ඇති ප්‍රාවරණය මගින් පාවෙමින් මෙම තහඩු විවිධ දිශාවන්ට, වසරකට අඟල් භාගයේ සිට අඟල් හය දක්වා වේගයෙන් ගමන් කරයි. 
මිහිමත, මහාද්වීපද, දූපත් ඇතුලු ගොඩබිම්ද සාගර පත්ලද පිහිටන්නේ මෙම භූ කබො‍ලේ තහඩුව මතය. 
මෙම භූ කබොල තහඩු සංචරණය වීමට අවශ්‍ය බලය, ප්‍රවාරණයේ ඇතිවන සංවහන ධාරාවලින් ලබාගන්නේ යැයි විද්‍යාඥයෝ් විශ්වාස කරතිි. 
භූ කබොල සෑදී ඇති විශාල තහඩු අතරින් නිර්මාණය වී ඇති, සාගර පතුල් තහඩු දෙකක් එකට ගැටුන විට එකක් යටට නෙරපා හරින ලදුව මහා අගාධයක් නිර්මාණය වෙයි. මෙනිසා එම තහඩු පැරන් හයිට් අංශක 2000ට වැඩි 
උෂ්ණත්වයට පත්වී ද්‍රව වී දැඩි පීඩනය මගින් ඇතිවන ලුණු ලාවා නිසා මුහුදු පත්‍ලේ ගිනි කඳු සෑදේ. 
යුගාන්තරයක් මුළුල්‍ලේ මෙම ගිනි කඳු ක්‍රියාත්මක වීම නිසා ඒවා මුහුදු මට්ටම දක්වා උස් වී දූපත් වළල්ලක් සාදයි. 
බොහෝ කලකට පෙර ඕස්ට්‍රේලියාව, දකුණු ආසියාව, අප්‍රිකාව, සහ දකුණු ඇමෙරිකාව එකට එකතුව තිබෙන්නට ඇතැයි කලකට පෙර භූ විද්‍යාඥයෝ ප්‍රකාශ කළහ. ඔවුන් මෙම ප්‍රකාශන කළේ ඇන්ටාර්ටිකාවෙහි සිදු කරන ලද ගවේෂණවලින් පසුවය. මෙම ප්‍රකාශන පිළිබඳව ලෝකය තුළ මහත් කලබෑගෑනියක් ඇති විය. ඇමෙරිකානු විද්‍යාඥයින් දෙදෙනකු වූ ආචාර්ය රොබට් ඩෙක් සහ ආචාර්ය  ජෝන් ලී මෙම ප්‍රකාශනවල සත්‍යතාවය ඔප්පු කිරීමේ වගකීම භාරගත්හ. සමුද්‍ර ශිඛරවල ප්‍රසාරණමය දූපත්වල නූතන පිහිටීම ඒවායෙහි මායිම් සහ එම දූපත් ගමන් කරන වේගය ආදී බොහෝ කරුණු ඔවුන් දෙදෙනා තම පරීක්ෂණයට උපයෝගී කරගත්හ. 
එම පරීක්ෂණවලින් පසුව මෙම ආචාර්ය දෙ‍පොල මෙයට වසර 22,50,000කට මහාද්වීප සියල්ලම එකට එකතුව බැඳී සිටි බව ස්ථිරවම පැවැසූහ. 
සියලුම ගොඩබිම් නමැති අරුත ඇති ග්‍රීක වචනයක් වූ “පැන්ජියාව“ නමින් මෙම එකම මහාද්වීපය හැඳින්වින. එවිට වූයේද එකම සාගරයකි. 
විය යුතු පරිද්දෙන්ම මෙම පැන්ජියා මහාද්වීපය පැවැති සමයේ මිහිමත දේශගුණය අදට වඩා උණුසුම් විය. ආක්ටික් ප්‍රදේශයේ පවා කොරල් වැවුණි. නොගැඹුරු මුහුදුවලින් මිනොසටාව ‍පෝලන්තය වැනි භූමි වැසී තිබුණි. එම අවධියේ විසූ සාගර ජීවීන්ගේ සයුරු පත්ලෙහි ජීර්ණය වීමෙන්, අද අපට බලශක්තියට දායක වන ඛනිජ තෙල් නිධි බිහිවිණ. අඩි හතළිස් පහකටත් වඩා උස් වූ පරිණාංශ ශාක, පාසි ශාක, මෙම මඩ වගුරුවල වූ වනාන්තරවල යස රඟට වැවුණි. පසු කාලීනව ඒවා යටවී අප පවතින ගල් අඟුරු නිධි නිර්මාණය විය. 
එම ඈත වකවානුවේ දකුණු ඇමෙරිකාව සහ අප්‍රිකාව ඉතාමත් සමීපයෙහි පිහිටා තිබුණි. නැගෙනහිර ඇමෙරිකාව, උතුරු ඇමෙරිකාව සමග යාවී තිබුණි. දකුණු අප්‍රිකාවට ඇන්ටාර්ටිකාවට මැදිවන ඉන්දියාව පිහිටා තිබුණි. ඕස්ට්‍රේලියාවද ඇන්ටාර්ටිකාවේ කොටසක් විය. දේශාංශක අංශක 60ත් අංශක 120ත් අතර මුළු ලෝකයම පිහිටා තිබුණි. 
කෙසේ වුවත් මෙම පිහිටීම දීර්ඝ කාලයක් පැවැතීමට ඉඩ ලැබුණේ නැත. වසර ලක්ෂ පනහකට පමණ පෙර මෙම පිහිටීම බෙදා වෙන්වීම ආරම්භ විය. 
භූ ගර්භ ඉතිහාසයේ එම අනුස්මරණීය සිදුවීම සිදුවූයේ වසර දශ ලක්ෂ ගණනකට පෙර සිටය. ඒ වන තුරුත් අප්‍රිකාව, ඕස්ට්‍රේලියාව සමග එක්ව තිබූ ඉන්දියාවට එයින් දුරස්වන්නට සිදුවිය. ඉන්දියාව පෘථිවි ගෝලය මතින් ඇදී ගොස් ආසියාව සමග ඝට්ටනය වුණි. එම ඝට්ටනය නිසා කඳු වැටියක් නිර්මාණය විය. එය හිමාලය නමින් හැඳින්විණ. 
භූ විද්‍යාඥයින් පවසන ලෙස වර්තමානයේද ක්‍රියාදාමය සිදුවෙමින් පවතී. එනම් හිමාලය කඳු වැටිය අදද උසින් වැඩිවන අතර ඉන්දියාව ආසියා මහාද්වීපයෙහි ගිලෙමින් පවතී. 
1915දී ජර්මානු ජාතික කාලගුණ විද්‍යාඥ ඇල්ප්‍රඩ් මක්නර් ඉදිරිපත් කළ මහාද්වීපික ප්ලාවිත නියමය වැදගත් වන්නේ අප ජීවත්වන මෙම මිහිමත ඉතිහාසය දැනගැනීමට පමණක්ම නොවේ. පෘථිවිය අභ්‍යන්තරයේ සිදුවන වෙනස්කම් අධ්‍යයනය කිරීමටද, භූමිකම්පාවලට වැඩි වශයෙන් ගොදුරුවන ප්‍රදේශ දැන ගැනීමටද ඒ නිසා හැකි වී ඇත. 
 
පීටර් කැනියුට් පෙරේරා

ඇමෙරිකාවේ මෑත කාලයේ බිහිසුණුම සමූහ වෙඩි තැබිම වාර්තා වූයේ පසුගිය ඉරිදා  රාත්‍රී කාලයේය. එදින එරට නොවාඩා ප්‍රාන්තයෙහි  ලාස් වේගාස් නගරයේ දැවැන්ත සංගීත ප්‍රසංගයක් පැවැති අතර එය නැරඹීම සඳහා 22,000කට අධික රසික රසිකාවියන් පිරිසක් රැස්ව සිටි බව වාර්තා විය. වෙඩි ප්‍රහාරය එල්ල වූයේ මෙම සංගීත රසික රසිකාවියන් ඉලක්ක කොට ගෙනය.
වෙඩික්කාරයා මෙම බිහිසුණු වෙඩි වරුසාව එල්ල කර ඇතැයි පැවැසෙන්නේ ඒ ආසන්නයේ පිහිටි උස් හෝටලයක 32 වෙනි තට්ටුවේ පිහිටි කාමරයක සිට එහි ජනේලයෙනි. වෙඩි තැබිමෙන් 60කට ආසන්න සංඛ්‍යාවක් මරණයට පත්ව ඇති අතර 500කට ආසන්න පිරිසක් තුවාල ලබා සිටි බවද මාධ්‍ය වාර්තාවල පළවී තිබුණි. මේ අතරින් තව බොහෝ දෙනෙකුගේ තත්ත්වය බරපතළ බවද සඳහන් වේ.
මේ වනවිට කාගේත් අවධානය යොමුව ඇත්තේ මෙම කෲර සමූහ ඝාතනය සම්බන්ධයෙන් සැකයට භාජනය වී සිටින පුද්ගලයා සහ ඔහු මේ ආකාරයේ වියරු අපරාධයක් කිරීමට හේතුව කුමක්ද යන්න පිළිබඳවය. වෙඩි තැබිම සිදු කළ බවට සැක කෙරෙන තැනැත්තා ස්ටීවන් පැඩොක් නැමැත්තෙකු වන අතර ඔහු වයස අවුරුදු 64ක පුද්ගලයෙකි. හෝටල කාමරයේ සිට වෙඩි තැබිම සිදු වූ බවට සැක පළ වී ඇත්තේ ඔහුගේ ගිනි අවියෙන් නිකුත් වූ දුම හේතුවෙන් එම කාමරයේ ගිනි අනතුරු අඟවන සංඥා නාද වන්නට පටන් ගැනීමත් සමග බවද සඳහන් වෙයි. කෙසේ නමුත් ‍පොලීිසිය එහි පැමිණි අවස්ථාවේ ඔවුන්ට දැක ගැනීමට ලැබි ඇත්තේ සැකකරු කාමරය තුළ සියදිවි නසාගෙන සිටින අන්දමය.
තවත් පුදුම සහගත කාරණයක් වන්නේ ඔහු සිටි කාමරය තුළ තිබි රයිෆල් තුවක්කු 23කට අධික සංඛ්‍යාවක්  ‍පොලීිසියට හමුවීමයි. මේ තරම් තුවක්කු තොගයක් ඔහු කාමරයට රැගෙන ආවේ මන්ද යන්න තවමත් අබිරහසකි. වාර්තා වී ඇති අන්දමට ඔහු හෝටල කාමරයේ නතර වීමට පැමිණ ඇත්තේ සැප්තැම්බර් 28 වෙනිදා ය. ගිනිඅවිවලට අමතරව ඔහු කැමරාවක්ද කාමරයේ සවි කර තිබි ඇති බව සොයාගෙන ඇති අතර තමාවම රූප ගත කිරීම සඳහා එය යොදාගන්නට ඇතැයි සැක කෙරේ. කෙසේ හෝ වේවා සිද්ධියෙන් අනතුරුව ස්ටීවන්ගේ නිවස පරීක්ෂා කිරීමේදී තව තවත් ගිනිඅවි සොයා ගැනීමට ‍පොලීිසියට හැකි වී තිබිම මෙම අබිරහස තවත් තීව්‍ර කරන්නක් බවට පත්ව තිබේ. තුවක්කු 19 ක්, පුපුරන ද්‍රව්‍ය  සහ මූණිස්සම් දහස් ගණනක් ඒ අතර වන බවද සඳහන්ය. මේ නිසා ඔහු තවත් අපරාධ සිදුකිරීම සඳහා සැලසුම් කරමින් සිටියාද යන සාධාරණ සැකයක්ද බොහෝ දෙනා තුළ ඇති වී තිබෙන ආකාරයක් දැකිය හැකි වෙයි.
ස්ටීවන් පැඩොක් මෙවැනි අපරාධයක් කළේ මන්ද යන්න ගැනද මෙම ලිපිය ලියන අවස්ථාව වනවිටත් කිසිදු  නිශ්චිත තොරතුරක් වාර්තා වී තිබුණේ නැත. නමුත් අයිසිස් සංවිධානය මෙම ඝාතනය ඔවුන්ගේ වැඩක් බව ප්‍රකාශ කර තිබූ බැව් ඇතැම් මාධ්‍ය  සඳහන් කර තිබිණි. ස්ටීවන් මෙයට ටික කලකට පෙර අන්තවාදී ඉස්ලාමීය කණ්ඩායම් සමග එක් වූ බව ඔවුන් ප්‍රකාශ කර ඇතැයි පැවැසේ. නමුත් මෙම සැකකරු සහ එවැනි සංවිධාන අතර සම්බන්ධයක් තිබූ බවට කිසිදු පිළිගත හැකි තොරතුරක් තවමත් සොයා ගැනීමට නොමැති බව විමර්ශන අංශ කියා තිබේ.
ස්ටීවන් පැඩොක් විවාහ වී නොසිටි බව පැවැසෙන අතර ඔහුගේ පෙම්වතියක සම්බන්ධයෙන් විමර්ශකයින්ගේ අවධානය යොමු වී ඇත. මරීලෝ ඩැන්ලි නම් වන ඇය මේ වනවිට ජීවත් වන්නේ වෙනත් රටක බවද ප්‍රකාශ වී තිබේ. මෙම සිද්ධියට ඇයගේ සම්බන්ධයක් ඇති බවක් ‍පොලීිසිය විශ්වාස නොකරන  නමුත් ස්ටීවන් සම්බන්ධයෙන්  වැදගත්  තොරතුරු ඇය දන්නවා විය හැකිය යන්න ඔවුන්ගේ විශ්වාසයයි.
මේ වනවිට ස්ටීවන් සම්බන්ධයෙන් බොහෝ තොරතුරු ‍පොලීිසිය හා පවසා ඇත්තේ ඔහුගේ සහෝදරයා වන එරික් පැඩොක් ය. ඔහු මෙම සිදුවීමෙන් කම්පනයට පත්ව ඇති බවක් පෙනෙන අතර ස්ටීවන් මේ ආකාරයේ අපරාධයක් කළ බව ඔහුට අදහා ගත නොහැකි කාරණයක් බව පෙනේ. එරික් පවසන ආකාරයට පෙනී යන්නේ ස්ටීවන්  ඉතා සාමාන්‍ය ජීවිතයක් ගත කළ, ආසාමාන්‍ය හැසිරීම් කිසිවක්  නොතිබූ කෙනෙකු බවය. නමුත් එරික් සහ ස්ටීවන් අතර මෑත කාලයේ එතරම් සමීප සම්බන්ධයක් තිබූ බවක් පෙනෙන්නේද නැත. ප්‍රදේශ දෙකක වාසය කළ ඔවුන් ඉඳහිට දුරකථනයෙන් කතා බහ කර ඇති බවක් පමණි පෙනෙන්නට ඇත්තේ. මේ නිසා ස්ටීවන්ගේ මෑත තොරතුරු එරික් එතරම් හොඳින් දන්නවා යයි විශ්වාස කිරීම අපහසුය. 
කෙසේ වෙතත් ස්ටීවන් ඔහුගේ මහළු මව ගැන නිතර සොයා බැලූ බවද, බොහෝ විට ඇයට රස කැවිලි ආදිය යවා ඇති බවද සඳහන් වෙයි. එමෙන්ම ගණකාධිකාරීවරයෙකු ලෙසද, නිවාස ඉඩකඩම් ව්‍යාපාරිකයෙකු ලෙසද ස්ටීවන් කටයුතු කර ඇති බවටද තොරතුරු පළවී ඇති අතර ඔහු ඉතා ධනවත් පුද්ගලයෙකු බවටද විශ්වාස කෙරේ. ඔහුගේ අසල්වැසියන්ගේ ප්‍රකාශ අනුවද පෙනී යන්නේ ඔහු කිසිදු සැක කටයුතු හැසිරීමක් පළ  නොකළ සහ ඉතා සාමාන්‍ය ජීවිතයක් ගත කළ කෙනෙකු බවයි. ඔහු තුවක්කුවක් ඇහැට දැකලාවත් තිබුණාදැයි සැක සිතෙන තරමට සාමාන්‍ය  ජීවිතයක් ගත කළ අයෙකු යයිද එක් අසල්වැසියෙකු ප්‍රකාශ කර තිබිණි.
මේ අතර දැනගන්නට ඇති තවත් අපූරු කාරණාවක් වන්නේ මෙම වෙඩි තැබිමේ සිද්ධියත් සමග ඇමෙරිකාවේ ගිනි අවි කර්මාන්තය හා බැඳුණු  සමාගම්වල කොටස් මිල ඉහළ යාමට පටන්ගෙන ඇති බවයි. රජය ඉදිරියේදී, ජනතාව ගිනි අවි මිලදී ගැනීමට අදාළ නීති දැඩි කරනු ඇතැයි යන සැකය මත බොහෝ දෙනා ඊට පෙර ක්ෂණිකව අවි මිලදී ගැනීමට පෙළඹීමෙන් එම සමාගම්වලට වාසිදායක පසුබිමක් ඇති වනු ඇතැයි අදහසක් මතු වීම මෙයට හේතුව ලෙස පෙන්වා දෙනු ලැබේ.
මෙයට පෙර මෑත කාලයේ  මෙවැනි බිහිසුණු සමූහ වෙඩි තැබිමක් ඇමෙරිකාවේ වාර්තා වූයේ ෆ්ලොරිඩා ප්‍රාන්තයේ ඔර්ලන්ඩෝ හීය. 2016 වසරේ සිදු වූ මෙම වෙඩි තැබිමෙන් 49 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ.
 
කිත්සිරි මල්වත්ත

2024 වසරේ ඔලිම්පික් තරගාවලිය පැවැත්වීමේ අවස්ථාව ප්‍රංශයේ පැරිස් නගරයට හිමිවීම පසුගිය සතියේ ජාත්‍යන්තර ක්‍රීඩා ක්‍ෂේත්‍රයේ ප්‍රධාන සිදුවීමක් විය. ප්‍රංශ ජාතිකයින් මේ නිසා මහත් අමන්දානන්දයට පත්ව සිටින අතර ජනාධිපති එමානුවෙල් මැක්රොන් සඳහන් කර තිබුණේ ඉහළම මට්ටමේ ක්‍රීඩා උළෙලක් ලොවට පිරිනැමීමට ප්‍රංශය බලා‍පොරොත්තු වන බවයි.
2024 මෙම තරගාවලිය පැවැත්වීම සඳහා අවස්ථාව දිනා ගැනීමට රටවල් පහක් 2015 වසරේදී ඉල්ලීම් ඉදිරිපත් කර තිබුණි. එනම් ජර්මනිය (හැම්බර්ග්), ඉතාලිය (රෝමය), හංගේරියාව (බුඩාපෙස්ට්), ප්‍රංශය (පැරිස්) සහ ඇමෙරිකාව (ලොස් ඇන්ජලීස්) යන රටවල්ය. නමුත් මේ අතරින් රටවල් තුනක් අතරමැද දී මෙම තරගයෙන් ඉවත් විය. ඒ ජර්මනිය, ඉතාලිය සහ හංගේරියාවයි. ඊට හේතු වූයේ මෙම තරගාවලිය සංවිධානය කිරීම සඳහා දැරිය යුතු අධික වියදම ආදී කාරණා බව පැවැසිණි. ඒ අනුව අවසානයේ ඉතිරි වූයේ ප්‍රංශය සහ ඇමෙරිකාව යන රටවල් දෙක පමණි.  මේ අතරින් ඇමෙරිකාව ද සිය ඉල්ලීම ඉවත් කර ගැනීමට පියවර ගත්තේ ප්‍රංශයට නිතරගයෙන් එම අවස්ථාව හිමිකර දෙමිනි. නමුත් ඒ වෙනුවට ඇමෙරිකාවට 2028 වසරේ ක්‍රීඩා උළෙල පැවැත්වීමේ අවස්ථාව හිමිකර දීමට ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව තීරණය කර ඇත. ප්‍රංශය පිළිබඳ නිවේදනය නිකුත් කළ අවස්ථාවේම මේ පිළිබඳවද නිවේදනය කරන ලදී. මේ ආකාරයෙන් වසර දෙකක ඔලිම්පික් උළෙල පවත්වන ස්ථාන පිළිබඳ එකවර නිවේදනය කෙරුණු පළමු අවස්ථාව මෙයයි.
2024 ඔලිම්පික් ක්‍රීඩා උළෙල එම වසරේ අගෝස්තු මාසයේ 2වෙනි දින ආරම්භ වී 18වෙනි දින අවසන් වීමට නියමිතව තිබේ. ප්‍රංශ ක්‍රීඩාංගණයේදී (Stade de France) ප්‍රධාන තරග පැවැත්වීමට නියමිතය.
ප්‍රංශය මේ ආකාරයෙන් ඔලිම්පික් උළෙලක් පවත්වන්නේ ඉතිහාසයේ තෙවැනි වතාවටයි. මෙයට පෙර දෙවරක් ඔවුන් මෙම ක්‍රීඩා උළෙල පවත්වා ඇති අතර ඒ 1900 සහ 1924 යන වසරවල ය. ඒ අනුව මෙවර ප්‍රංශය මෙම උළෙලට අනුග්‍රාහකත්වය දක්වන්නේ දෙවැනි වරට එය පවත්වා  හරියටම වසර 100 කට පසුව වීම විශේෂත්වයකි. ඇමෙරිකාවද මෙයට පෙර සිව් වරක් ඔලිම්පික් උළෙල පවත්වා තිබේ. ඒ 1904, 1932, 1984 සහ 1996 යන වසරවලය. අවසන් වරට එහි ඔලිම්පික් උළෙලක් පැවැත්වුණේ ජෝර්ජියා ප්‍රාන්තයේ ඇට්ලන්ටා නගරයේ දීය.
පසුගිය ඔලිම්පික් උළෙල 2016 දී බ්‍රසීලයේ රියෝ ද ජැනයිරෝ හි පැවැති අතර එය විවිධ කාරණා නිසා ගැටලුවලට මුහුණ දුන් උළෙලක් බවටද පත්විය. සංවිධාන කටයුතු සම්බන්ධයෙන් මතු වූ ප්‍රශ්න මෙන්ම දූෂණ වංචා සම්බන්ධ චෝදනාද කතා බහට ලක් විය. එයට අමතරව උළෙල පැවැති කාලයේ පැතිර ගිය සිකා වෛරසය නිසාද මහත් ආන්දෝලනයක් ඇති වූ අන්දම අමතක කළ හැකි නොවේ.
මේ අතර මීළඟ ඔලිම්පික් උළෙල 2020 ජූලි මස 24 වෙනි දින ජපානයේ ටෝකියෝ නුවරදී ආරම්භ වීමට නියමිතව තිබේ.ප්‍රධාන තරග පැවැත්වෙන්නේ එහි නව ජාතික ක්‍රීඩාංගණය නමින් හැඳින්වෙන දැවැන්ත ක්‍රීඩාංගණයේ දීය. රටවල් 207ක් ඒ සඳහා සහභාගි වීමට නියමිතව තිබේ. 'හෙට දවස සොයා යමු' යන්න ක්‍රීඩා උළෙ‍ලේ තේමා පාඨයයි. 2024 පැරිස් ඔලිම්පික් උළෙ‍ලේ තේමා පාඨය ලෙස යොදා ගෙන ඇත්තේ 'බෙදා හදා ගැනීම සඳහා' යන්නය. 'හිරු පසුපස යන්න'  2028 උළෙල සඳහා වන තේමා පාඨයයි.
මේ වනතෙක් පවත්වා ඇති ඔලිම්පික් උළෙල අතරින් වැඩිම වියදමක් දරා ඇත්තේ 2008 වසරේ චීනයේ බිජිං නුවර පැවැති උළෙල වෙනුවෙනි. ඒ සඳහා වැය වූ මුදල ඇමෙරිකානු ඩොලර් බිලියන 40 ක් පමණ වූ බව සඳහන් වෙයි. ඔලිම්පික් ඉතිහාසය තුළ වැඩිම උළෙල සංඛ්‍යාවක් පවත්වා ඇති රට වන්නේ උළෙල 4 ක් පවත්වා ඇති ඇමෙරිකා එක්සත් ජනපදයයි.ඔලිම්පික් උළෙල තුනක් පවත්වා ඇති බ්‍රිතාන්‍යය දෙවැනි තැන හිමිකරගෙන සිටියි.
ඔලිම්පික් තරග නොපැවැත් වූ වාර තුනක් ගැනද ඉතිහාසයේ සඳහන් වෙයි. ඒ 1916, 1940 සහ 1944 යන වසර වලය. ඊට හේතු වූයේ පළමු සහ දවෛනි ලෝක යුද්ධයි. 1916 තරගාවලිය ජර්මනියේ පැවැත්වීමට නියමිතව තිබූ අතර 1940 වසරේ ජපානයේ සහ පින්ලන්තයේද, 1944 වසරේ බ්‍රිතාන්‍යයේද පැවැත්වීමට නියමිතව තිබුණි.
 
කිත්සිරි මල්වත්ත

මේ දිනවල ආසියානු දේශපාලන කරළියේ වඩාත්ම ආන්දෝලනාත්මක රාජ්‍ය නායකයා බවට පත්ව සිටින්නේ උතුරු කොරියාවේ කිම් ජොන්උන් යැයි කිවහොත් නොඅනුමානවම බොහෝ දෙනෙකු ඊට එකඟ වනු ඇත. එයට ආසන්නතම හේතුව නම් මේ වන විට  ඔහු ඇමෙරිකානු සුපිරි බලවතාට එරෙහිව දැඩි ආවේගශීලී, ‘ප්‍රහාරාත්මක’ ප්‍රවේශයක් පෙන්වමින් වාග් සංග්‍රාමයක පැටලී සිටීම සහ ඇමෙරිකාවට එරෙහිව න්‍යෂ්ටික මිසයිල තර්ජනයක් පවා ඉදිරියට ගෙන ඒමට සමත්ව සිටීමයි. ඇමෙරිකාවට  පහර දිය හැකි බව පැවැසුණු  මිසයිල දෙකක් පසුගිය දිනවල උතුරු කොරියාව විසින් අත්හදා බලන ලද අතර ඇමෙරිකානු හමුදා කඳවුරු පිහිටි ගුවාම් නමැති දූපත ආසන්නයට මිසයිල ප්‍රහාර එල්ල කරන බවටද වහසි බස් කීවේය. එයට පෙරහුරුවක් වශයෙන් දෝ ජපානයට ඉහළින් පැසිෆික් සාගරයට මිසයිල දෙකක් යැවීමටද උතුරු කොරියාව පියවර ගත්තේය. උතුරු කොරියාව ඇමෙරිකාවට එරෙහිව මේ සියල්ල කරන්නේ ඇමෙරිකාව දකුණු කොරියාවත්, ජපානයත් සමග එක්ව තම රට ආක්‍රමණය කිරීමටත්, රටේ පාලනය පෙරලා දමා ඇමෙරිකානු හිතවාදී පාලනයක් එහි බිහි කර ගැනීමටත් කුමන්ත්‍රණය කරමින් සිටිනවාය යන චෝදනාව පදනම් කර ගනිමිනි.
මේ ආකාරයෙන් ඇමෙරිකාව සමග ඇති කරගත් උණුසුම් ගැටුම් හේතුවෙන් මහත් කැපී පෙනෙන  චරිතයක් බවට පත්ව සිටින කිම් ජොන් උන් සම්බන්ධයෙන් ගිය සතියේ තවත් ආන්දෝලනාත්මක පුවතක් ජාත්‍යන්තර මාධ්‍ය හරහා වාර්තා විය. එනම් ඔහු ඝාතනය කිරීම සඳහා සැලැස්මක් සකස් කිරීමේ සූදානමක් පවතින බවටය. ඉදිරි කාලයේදී කිම් ජොන් උන් ගේ ක්‍රියාකාරකම් පාලනය කර ගැනීමට නොහැකි තත්ත්වයක් ඇති වී  යුදමය තත්ත්වයක් ඇති වුවහොත් ඔහු ඝාතනය කිරීම සඳහා විශේෂ ඒකකයක් ස්ථාපිත කිරීමට ඇමෙරිකාවේ සමීපතම සගයෙකු වන දකුණු කොරියාව අදහස් කරගෙන සිටින බව මෙහිදී අනාවරණය කෙරිණි. අල් කයිඩා සංවිධානයේ  හිටපු නායක ඔසාමා බින් ලාඩ්න් ඝාතනය කළ ඇමෙරිකානු හමුදා අංශවල සහයද මෙහිදී දකුණු කොරියාවට ලැබෙනු ඇති බව ඇතැම් මාධ්‍ය වාර්තාවල සඳහන්ව තිබිණි. ඒ දකුණු කොරියානු සෙබළුන්  මේ සඳහා පුහුණු කිරීම වැනි කටයුතුවලදීය.
කිම් ජොන් උන් සම්බන්ධයෙන් මෙවැනි බැරෑරුම් තීරණයක් ගැනීමට සිදුව ඇත්තේ කලින් සඳහන් කළ ලෙසම උතුරු කොරියාව මේ වන විට ක්‍රියාත්මක කරමින් සිටින න්‍යෂ්ටික මිසයිල අත්හදා බැලීමේ වැඩපිළිවෙළ නිසා ය. මෙම වැඩපිළිවෙළ නිසා ඇමෙරිකාවට මෙන්ම ඇමෙරිකාවේ මිතුරන් වන දකුණු කොරියාවට සහ ජපානයටද අනතුරක් ඇති බව එම පාර්ශ්වයෙන් කියැවෙන කතාවයි. ඔවුන් කියමින් සිටින්නේ උතුරු කොරියාවෙන් තමුන්ගේ ආරක්ෂාවට දැඩි තර්ජනයක් එල්ල වී ඇති බවයි. එබැවින් මෙම මිසයිල නිපදවීමේ වැඩසටහන නතර කර ගැනීම සඳහා දැන් කාලයක සිටම ඇමෙරිකානු පාර්ශ්වය උත්සාහ කරමින් සිටියි.  එක්සත් ජාතීන්ගේ සංවිධානය හරහා උතුරු කොරියාවට එරෙහිව විවිධ ආර්ථික සහ වෙළෙඳ සම්බාධක පැනවීම ආදී ක්‍රියාමාර්ග පවා ඔවුන් විසින් ගනු ලැබුවද ඒ කිසිවකින් උතුරු කොරියානු වැඩපිළිවෙළ පාලනය කිරීමට හැකි වී ඇති බවක් නොපෙනේ. මෙම සම්බාධක නිසා උතුරු කොරියානු ආර්ථිකයට යම් යම් බලපෑම් සිදුව ඇති බව සත්‍යයක් වුවද ඔවුන් කිසිවිටෙකත් සිය මිසයිල වැඩසටහන අත් හැරීමට සූදානම් නොවනු ඇති බව බොහෝ දෙනා පෙන්වා දෙන කාරණාවකි. රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පුටින් පවා පසුගිය දිනෙක පවසා තිබුණේ උතුරු කොරියානුවන් තණකොළ කන තත්ත්වයට පත්වුවද න්‍යෂ්ටික වැඩපිළිවෙළ අත් නොහරිනු ඇති බවයි.
මෙම තත්ත්වය තුළ, ඇතැම් නිරීක්ෂකයන් පෙන්වා දෙන්නේ දකුණු කොරියාව කිම් ජොන් උන් ඝාතනය කිරීමට සූදානම් වන බව පැවැසීම මෙම ගැටලුව විසඳීම සඳහා යොදාගන්නා  කිසියම් මානසික උපක්‍රමයක් විය හැකි බවයි. මේ මගින් ඔහු තුළ සිය ජීවිතය පිළිබඳ බියක් ඇති කර ඒ ඔස්සේ ඔහු පාලනය කර ගැනීමට කල්පනා කිරීම මෙයට හේතුව විය හැකි බව ඔවුහු පෙන්වා දෙති. කිම් ජොන් උන් ඒකාධිපති ස්වරූපයේ නායකයෙකු බැවින් ඔහුට විරුද්ධ සහ ඔහු නිසා හිරිහැරයට පත්ව සිටින පාර්ශ්ව රට තුළම මෙන්ම ඔහුගේ සමීපතමයන් අතරද සිටිය හැකි බවත්, මෙවැනි පාර්ශ්ව හරහා කිම් ජොන්උන්ගේ ජීවිතයට හානියක් කිරීමේ හැකියාවක් තිබිය හැකි බවත් ඇතැම් ආරක්ෂක විශ්‍ලේෂකයන්ගේ අදහසයි. මේ නිසා දකුණු කොරියාවේ මෙම ඝාතන සැලැස්ම පිළිබඳ කතාව උතුරු කොරියානු නායකයා තුළ තැති ගැන්මක් ඇති කරන්නට ඉඩ ඇති බව පෙන්වා දෙනු ලැබේ. 
නමුත් මේ සම්බන්ධයෙන් මීට වෙනස් අදහස්ද ඉදිරිපත් වෙයි. සිය නායකයා ඝාතනය කිරීමේ සැලැස්මක් ඇතැයි යන හැඟීම උතුරු කොරියානු ජනතාව තුළ ඔහු කෙරේ වන බැඳීම තවත් දැඩි කරන්නක් වීමටද ඉඩ ඇති බව ඇතැම්හු පෙන්වා දෙති. මේ තුළින් කිම් ජොන් උන් ගේ මිසයිල වැඩපිළිවෙළට ඇති ජනතා සහයෝගය ද වැඩි වනු ඇති බව ඔවුන්ගේ විශ්වාසයයි. උතුරු කොරියාවේ ජනතාවගෙන් විශාල පිරිසක් ඇමෙරිකාව ඇතුළු බලවතුන්ගෙන් සිය රටට  එල්ල වන කෙණහිලිකම් ගැන විරෝධයෙන් පසුවන බව බොහෝ විට අසන්නට ලැබෙන කාරණාවක් බවද මෙහිදී සඳහන් කළ යුතු වෙයි.
මොන තර්ජන එල්ල වුවත් උතුරු කොරියාව  සිය න්‍යෂ්ටික මිසයිල වැඩසටහන අත් හැර දමනු ඇත්ද යන්න සැක සහිතය. මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමට හේතු වශයෙන් ඔවුන් පෙන්වා දෙන්නේ ඇමෙරිකානු පාර්ශ්වයෙන් සිය රට ආරක්ෂා කරගැනීමට ඇති වුවමනාව ය. ඇමෙරිකාව ඔවුන්ගේ මිතුරන් සමග එක්ව සිය රට ආක්‍රමණය කිරීමටත්, කිම් ජොන් උන් පාලනය පෙරලා දමා ඇමෙරිකානු හිතවාදී පාලනයක් එහි ස්ථාපිත කර ගැනීමටත් කුමන්ත්‍රණය කරන බව උතුරු කොරියාව නිතර පවසයි. එහිදී ඔවුහු ඉරාකයේ සිදු වූ ඇමෙරිකානු ආක්‍රමණයද නිදසුන් ලෙස පෙන්වා දෙති. මෙම ඇමෙරිකානු තර්ජනයෙන් ගැලවීමට නම් තමුන් න්‍යෂ්ටික බලවතෙකු බවට පත්විය යුතුය යන්න ඔවුන්ගේ මතය වී තිබේ. 
ඇමෙරිකානු පාර්ශ්වය තුළ මෙවැනි කුමන්ත්‍රණකාරී සැලැස්මක් තිබිය හැකිය යන්න සම්බන්ධයෙන් උතුරු කොරියාවේ අසල්වැසියන් වන චීනය සහ රුසියාවද අවධානයෙන් සිටින බව දැකිය හැකි වෙයි. යම් හෙයකින් උතුරු කොරියාව තුළ ඇමෙරිකානු ගැති පාලනයක් ඇති වුවහොත් එය මෙම කලාපය තුළ චීනයේ මෙන්ම රුසියාවේද බලයට අභියෝගයක් බව ඔවුහු දනිති. මේ නිසා චීනය සහ රුසියාව බොහෝ දුරට උතුරු කොරියාව සම්බන්ධයෙන් දක්වන්නේ තරමක මෘදු ආකල්පයකි. තීරණාත්මක අවස්ථාවක බොහෝ දුරට ඔවුන්ගේ සහය උතුරු කොරියාවට ලැබෙනු ඇතැයි බලා‍පොරොත්තු විය හැකිය. මෙයද උතුරු කොරියානු නායකයා තුළ කිසියම් ආත්ම විශ්වාසයක් ඇති කරන සාධකයක් ලෙස සැලකිය හැකි වෙයි.
තමා ඝාතනය කිරීමට දකුණු කොරියාව සැලසුම් කරන බවට ඇති කතාව කිම් ජොන් උන් තුළ කවර බලපෑමක් ඇති කරනු ඇත්ද යන්න තීරණය වනු ඇත්තේ මෙම සියලු සාධකවල එකතුවෙනි.
 
නිහාල් පීරිස්

Page 2 of 7

IMAGE

සැමියාගේ බිමත්කම සහ නොගැළපීම නිසයි විවාහය බිඳ වැටුණේ

IMAGE 2017 Nov 23 13:33
තිලකා රණසිංහගේ ජීවිතයේ වඩාත්ම සතුටු වූ අවස්ථාව හා වැඩියෙන්ම දුක් වූ අවස්ථාව සිහිපත් කරන්න...
Views - 1699

ලංකාව හැර ගිය නතාෂා ආපහු ඇවිත් කියපු කතාව

IMAGE 2017 Nov 23 08:03
නතාෂා පෙරේරා පහුගිය කාලයේ වැඩිපුර දකින්නට ලැබුණේ නැහැ. ඒ ඇය තමන්ගේ ආදරණීය සැමියා ප්‍රිහාන්...
Views - 2064

55 වියැති බැංකු ලොක්කා 29 කන්තෝරු නෝනා සමඟ 'හනිමූන්' ගිහින්

IMAGE 2017 Nov 22 12:50
බැංකුවක උසස් නිලයක් දරන පනස්පස් හැවිරිදි සිය සැමියා වසර ගණනාවක් තිස්සේ විසිනව හැවිරිදි රජයේ...
Views - 4884

අහසේ සිට බිමට පනින එස්.ටී.එෆ්. යුවතියෝ

IMAGE 2017 Nov 22 10:55
අම්පාර උහන ගුවන් ධාවන පථයෙන් අහසට නැඟගත්, එම්. අයි. 17 වර්ගයේ හෙලිකොප්ටරය  නිලඹර දෙපළු කරමින්...
Views - 2906

මිහිදුම සහ වැස්ස ගැන 'කාලගුණ විද්‍යාවෙන්' බොරු කී‍වේ ඇයි?

IMAGE 2017 Nov 22 10:43
මේ දිනවල අළුයම් කාලයේ අගනුවර ඇතුළු ප්‍රදේශ රැසක දැඩි මිහිදුම් තත්ත්වයක් දක්නට ලැබුණු බව...
Views - 1674

මුගාබේගේ බිරිඳ ද පක්ෂයෙන් නෙරපයි

IMAGE 2017 Nov 21 09:37
වසර 37  ක කාලයක් සිම්බාබ්වේ දේශය පාලනය කළ රොබට් මුගාබේ නිවාස අඩස්සියට ගනිමින් හමුදාව එරට...
Views - 2547

Please publish modules in offcanvas position.

Web Analytics