Coss Ear2
lakbima.lk
COSS Ear 1
                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්     

ජුනි 8 වැනි දින පැවැති බ්‍රිතාන්‍ය මහා මැතිවරණයෙන් ලැබුණු ප්‍රතිඵලය බොහෝදෙනෙකු බලා‍පොරොත්තු වූවක් නොවීය. බොහොමයක් දෙනා කල්පනා කළේ මෙම මැතිවරණයෙන් අගමැතිනි තෙරේසා මේ නායකත්වය දරන කොන්සර්වේටිව් පක්ෂය  විශාල ජයග්‍රහණයක් දිනා ගනු ඇතැයි කියාය. නමුත් මේ වනවිට ලැබි ඇති ප්‍රතිඵලය එම පක්ෂය අපේක්ෂාවෙන් සිටි ප්‍රතිඵලය නොවන අතර අගමැතිනියද ලොකු අර්බුදයක හෙලන්නට එය සමත් විය. ඇයට ඉල්ලා අස්වන ලෙස කෙරෙන ඉල්ලීම් පවා පසුගිය දිනවල ඉදිරිපත් වනු දැකගන්නට ලැබිණි.

මෙවැනි තත්ත්වයක් ඇති වීමට බලපෑ පසුබිම කුමක්ද?
මෙවර මහා මැතිවරණය පැවැත්වීමට ගත් තීරණය බොහෝ දුරට තෙරේසා මේ ගේ වුවමනාව මත සිදුවූවක් ලෙසිනි සැලකෙන්නේ. බ්‍රිතාන්‍යයේ මැතිවරණය පැවැත්වීමට නියමිතව තිබුණේ 2020 වසරේය. නමුත් එය වසර ගණනකින් ඉදිරියට ගැනීමට අගමැතිනිය තීරණය කළාය. එයට හේතුව ලෙස ඇය ප්‍රධාන වශයෙන්ම පෙන්වා දුන්නේ මේ වනවිට ආරම්භ වී ඇති බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් වෙන්වීමේ ක්‍රියාවලිය (බ්‍රෙක්සිට්) හා සම්බන්ධ කාරණයකි.

පසුගිය වසරේ පැවැති ජනමත විචාරණයකදී බ්‍රිතාන්‍ය ජනතාව තීරණය කළේ එරට යුරෝපා සංගමයෙන් වෙන් විය යුතුය කියාය. එම තීරණය අනුව බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් වෙන්වීම සඳහා වන  නිල ක්‍රියාවලිය දැන් ආරම්භ වී තිබේ. බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් වෙන් වූ පසු ඔවුන් දෙපාර්ශ්වය අතර ගණුදෙනු සිදුවන්නේ කෙසේද යන්න සම්බන්ධයෙන් වන සාකච්ඡාද තව නොබෝ දිනකින් ආරම්භ වීමට නියමිතව ඇත. මෙම සාකච්ඡාවලදී බ්‍රිතාන්‍යයට වැඩි වාසි හිමිවන ආකාරයේ ගිවිසුම්වලට එළැඹීමට නම් දැනට වඩා ශක්තිමත් පදනමක සිට යුරෝපා සංගමය සමග කේවල් කළ යුතුව ඇති බව අගමැතිනියගේ ස්ථාවරය විය. එම ශක්තිමත් පදනම ඇති කර ගැනීමට නම් දැනට වඩා ශක්තිමත් ආණ්ඩුවක් ඇති කර ගත යුතු බවද ඇය පවසා සිටියාය. නමුත් සිදු වූයේ ඇය අපේක්ෂා කළ දෙයට වඩා හාත්පසින්ම වෙනස් වූවකි. කලින් තිබූ ශක්තිමත් බවත් මෙවර ඇති කර ගැනීමට කොන්සර්වේටිව් පක්ෂයට නොහැකි විය.

2015 පැවැති මහා මැතිවරණයේදී කොන්සර්වේටිව් පක්ෂය ඩේවිඩ් කැමරන්ගේ නායකත්වය යටතේ  ආසන 330ක් දිනා ගන්නට සමත් විය. නමුත් මෙවර මැතිවරණයේදී ඔවුන්ට දිනාගත හැකි ව ඇත්තේ ආසන 317ක් පමණි. බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව ආසන 650 කින් සමන්විත වන අතර යම් පක්ෂයක් ආණ්ඩුවක් පිහිටුවීමට නම්  ආසන 326කට වඩා දිනාගත යුතුය. ඒ අනුව දැන් ඇති වී තිබෙන්නේ කොන්සර්වේටිව් පක්ෂයට තනි පක්ෂයක් ලෙස ආණ්ඩුවක් පිහිටුවීමට නොහැකි තත්ත්වයකි. මේ නිසා අගමැතිනිය ආසන 10 ක් දිනාගත් කුඩා පක්ෂයක් වන ඩිමොක්‍රටික් යූනියනිස්ට් පක්ෂය (Democratic Unionist Party) සමග එක්ව ආණ්ඩුවක් පිහිටුවීම සඳහා සූදානම් වෙමින් සිටියි.

කෙසේ හෝ වේවා,  තෙරේසා මේ මෙවැනි හදිසි මහා මැතිවරණයක් පැවැත්වීමට ගත් තීරණය ගැන ඇගේ කොන්සර්වේටිව් පක්ෂයේ ‍‍‍ජ්‍යෙෂ්ඨයන් විශාල පිරිසක් කැමැත්ත දැක්වූයේ නැත. එය අනතුරුදායක කටයුත්තක් බව දැන සිටි බැවිනි. දැන් ලැබි ඇති ප්‍රතිඵලය ඔවුන්ගේ සැකසංකා තහවුරු කර ඇති අතර මේ නිසා අගමැතිනිය වෙත විශාල පීඩනයක් එල්ල වන්නට පටන්ගෙන තිබේ. ඇතැමුන් පවසා සිටින්නේ ඇය පක්ෂ නායකත්වයෙන් සහ අගමැති ධුරයෙන් ඉල්ලා අස්විය යුතු බවයි. මේ වනවිටත් ඇගේ ‍‍‍ජ්‍යෙෂ්ඨ උපදේශකයන් කිහිපදෙනෙකුටම ඉල්ලා අස්වීමට සිදුව ඇත.

මේ අතර කොන්සර්වේටිව් පක්ෂයේ ප්‍රධාන ප්‍රතිවාදියා වන  කම්කරු පක්ෂය (Labour Party) මෙම මැතිවරණයේදී අපේක්ෂා නොකළ ආකාරයෙන් ඉදිරියට පැමිණ සිටීමද කොන්සර්වේටිව් පක්ෂය මත අමතර පීඩනයක් ඇති කිරීමට සමත්ව තිබේ. ජෙරමි කෝබින් ගේ නායකත්වය යටතේ එම පක්ෂය විශාල ඉදිරි පිම්මක් තබා ඇති අතර පසුගිය මැතිවරණයේදී දිනා සිටි ආසන 229 ආසන 262ක් දක්වා ඉහළ නංවා ගැනීමට සමත්ව සිටියි. වාමාංශික නැඹුරුවක් සහිත ජෙරමි කෝබින්ගේ නායකත්වයෙන් කම්කරු පක්ෂය මේ ආකාරයෙන් පෙරට ඒම මේ වනවිට ලොව පුරා විශාල අවධානයක් දිනාගත් කාරණාවක් බවට පත්ව ඇත. පසුගිය දා ඇමෙරිකානු ජනාධිපතිවරණයට ඩිමොක්‍රටික් පක්ෂයේ අපේක්ෂකත්වය ලබා ගැනීම සඳහා හිලරි ක්ලින්ටන් සමග තරග කළ, වාමාංශික අපේක්ෂකයෙකු වූ බර්නි සැන්ඩර්ස් ද ජෙරමි කෝබින් ලැබූ ජයග්‍රහණය සම්බන්ධයෙන් ඔහුට සුබ ප්‍රාර්ථනා කර තිබිණි.

මෙවර බ්‍රිතාන්‍ය මැතිවරණයේදී පක්ෂවල අවධානයට යොමු වූ ජාතික ප්‍රශ්න අතර වඩාත් කැපී පෙනුණු ඒවා කිහිපයක් විය. ජාතික ආරක්ෂාව පිලිබඳ ප්‍රශ්නය ඉන් එකකි. එමෙන්ම බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් වෙන් වීමේ ක්‍රියාවලිය(බ්‍රෙක්සිට්)  හා බැඳුණු කාරණාද විශාල වැදගත්කමක් ගත්තේය. තවත් කැපී පෙනුණු කාරණයක් වූයේ බ්‍රිතාන්‍යයට පැමිණෙන සංක්‍රමණිකයින් නිසා ඇතිව තිබෙන අර්බුදකාරී තත්ත්වයයි. එසේම රට තුළ වැඩි වෙමින් තිබෙන ඇති-නැති පරතරයද, පීඩිත ජනකොටස් මුහුණ දෙමින් සිටින සමාජ ආර්ථික ගැටලු ද ප්‍රධාන තැනක් ගත්තේය. ජෙරමි කෝබින්ගේ කම්කරු පක්ෂය මෙවර මේ ආකාරයෙන් ඉදිරියට ඒමට වැඩි වශයෙන්ම බලපෑවේ ඔවුන් ඉහත කී පීඩිත, සාමාන්‍ය ජනතාවගේ ප්‍රශ්න විසඳීම සම්බන්ධයෙන් ඉදිරිපත් කළ මැතිවරණ ‍පොරොන්දු බව පෙනී යයි. තෙරේසා මේ ගේ කොන්සර්වේටිව් පක්ෂය බ්‍රෙක්සිට් වැනි කාරණා ගැන වැඩි උනන්දුවක් දක්වද්දී කෝබින් සාමාන්‍ය ජනතාවට සෘජුව බලපාන ගැටලු ගැනද කතා කරමින් වඩාත් ඔවුන් අතරට යාමට සමත්ව ඇති ආකාරයක් පෙනේ. ඔහු විශේෂයෙන් තරුණ පරපුර අතර ජනප්‍රියත්වයක් හිමි කර ගැනීමට සමත්ව තිබිමද විශේෂ අවධානයට ලක්වන්නකි. මැතිවරණය සම්බන්ධයෙන් නිකුත්ව ඇති ජනමත සමීක්ෂණවලට අනුව අවුරුදු 18- 24 අතර වයස් කාණ්ඩයේ අයගෙන් තුනෙන් දෙකක් පමණ සහය දී ඇත්තේ කම්කරු පක්ෂයට බව සඳහන් වෙයි. එමෙන්ම වයස අවුරුදු 25-34 අතර කාණ්ඩයේ අයගෙන් සියයට 50ක් පමණ එම පක්ෂයට සහයෝගය දී ඇති බව සඳහන් වෙයි.

බ්‍රිතාන්‍යය තුළ කාලයක් තිස්සේ පවතින සුළුතරයකට පමණක් වරප්‍රසාද හිමි කර දෙන සම්ප්‍රදායික දේශපාලන, ආර්ථික සැකැස්ම පිළිබඳව තරුණ පරපුර තුළ ඇති විරෝධය මෙන්ම අධ්‍යාපනය වැනි ක්‍ෂේත්‍රවල සහන ලබා දීම සඳහා කම්කරු පක්ෂය ඉදිරිපත් කළ යෝජනා ආදිය මෙහිදී වැදගත් සාධක ලෙස ක්‍රියා කර ඇති බව පෙනේ. තරුණ පරපුර මෙම දිශාවට ඒකරාශී කිරීමේදී සමාජ මාධ්‍යද විශාල කාර්යභාරයක් ඉටු කළ අයුරු දැකිය හැකි විය. එමෙන්ම පුද්ගල චරිතයක් ලෙසද කෝබින්  තෙරේසා මේ ට වඩා ජනතාවට ආකර්ෂණීය කෙනෙකු බව පෙනී යයි. ඔහු ඉතා සරල ගති පැවතුම් ඇති, අව්‍යාජ බවක් පල කරන චරිතයක් ලෙස ජනතාවගේ ආදරය දිනා ගනිමින් සිටින බව දැකිය හැකි වෙයි.

තෙරේසා මේ මෙවැනි හදිසි මහා මැතිවරණයක් කැඳවීමේදී විශ්වාසය තැබූ ප්‍රධාන කාරණයක් විය. ඒ, බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් වෙන් වීම හෙවත් බ්‍රෙක්සිට් සම්බන්ධයෙන් පසුගිය වසරේ පැවති ජනමත විචාරණයේදී වැඩි පිරිසක් ඡන්දය දුන්නේ එසේ වෙන්වීම සඳහා වීමයි. ඒ අනුව රට තුළ පැවතියේ යුරෝපා සංගමයෙන් වෙන්වීමේ මානසිකත්වයක් යයි පැවසීය හැකිය. තෙරේසා විශ්වාසය තැබුවේ මෙම තත්ත්වය මතය. මෑත කාලයේදී ඇයද බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් වෙන්වීම වෙනුවෙන් පෙනී සිටි නායිකාවක වූ අතර මැතිවරණයේදී ඇය ඉල්ලා සිටියේ එම වෙන්වීමේ කටයුත්ත බ්‍රිතාන්‍යයට වාසිදායක ආකාරයෙන් ඉටු කර ගැනීම සඳහා ජනවරමකි. තෙරේසා මේ මෙම කාරණය ගැන වැඩි අවධානයක් යොමු කරමින් මැතිවරණ සටන මෙහෙයවුවද ජනතාවට ඊට වඩා හෝ ඒ තරමටම හෝ වැදගත් වූ වෙනත් කාරනාද පැවති බවය මැතිවරණ ප්‍රතිඵලවලින් පෙනී යන්නේ.

එමෙන්ම ඇතැම් නිරීක්ෂකයින් පෙන්වා දෙන්නේ යුරෝපා සංගමයෙන් වෙන්වීමේ කාරණය සම්බන්ධයෙන් වුවද ඇය දැරූ සමහර ආකල්ප සමග ඇතැමුන්ට ගැටලු පැවති බවයි. එහිදී ඇය දැරූ ඇතැම් ස්ථාවරයන් තද වැඩි බවද, ඒවා බ්‍රිතාන්‍යයට දිගු කාලීන වශයෙන් හානිකර බවද සමහරුන්ගේ අදහස වූ බව පෙනිණි. කම්කරු පක්ෂයේ ජෙරමි කෝබින් ඒ සම්බන්ධයෙන් ඊට වඩා මෘදු, මධ්‍යස්ථ ආකල්පයක් දැරූවෙකු ලෙස සැලකුණු අතර එම පක්ෂයේ මැතිවරණ ප්‍රතිඵලයට එයද දායක වූ ආකාරයක් දැකිය හැකිය.

මැතිවරණය ආසන්නයේ බ්‍රිතාන්‍යයට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරද කෝබින් ඉතා ශූර ලෙස තෙරේසා මේ ට එරෙහිව යොදා ගත්තේය. මෙම ප්‍රහාරවලට එක් හේතුවක් ලෙස කෝබින් පෙන්වා දුන්නේ බ්‍රිතාන්‍ය ආරක්ෂක අංශවල පවතින දුර්වලතාය. මෙවැනි දුර්වලතා හටගත්තේ තේරේසා මේ කලකට පෙර ස්වදේශ කටයුතු පිළිබඳ ඇමැතිවරිය ලෙස කටයුතු කළ කාලයේ ආරක්ෂක අංශ වෙත ලබා දෙන ප්‍රතිපාදන අඩුකිරීමට ගත් තීරණය නිසා බවට ඔහු තර්ක කළේය. මෙවැනි සාධකද ඡන්දදායකයන් තෙරේසාගෙන් ඈත් කර කෝබින් වෙත සමීප කරන්නට හේතුවන්නට ඇතැයි සිතිය හැකිය.

කෙසේ හෝ වේවා බ්‍රිතාන්‍යය මුහුණ දෙමින් සිටි සංකීර්ණ දේශපාලන, සමාජ ආර්ථික තත්ත්වය මෙම මැතිවරණ ප්‍රතිඵලයත් සමග වඩාත් බරපතල වී ඇති බව නිසැකවම පැවැසිය හැක්කකි. මේ තුළින් පෙනී යන්නේ රට තුළ විශාල බෙදීමක් වර්ධනය වෙමින් පවතින බවයි. මේ අතර තෙරේසා ඩිමොක්‍රටික් යූනියනිස්ට් පක්ෂයේ සහය ඇතිව පිහිටුවන්නට යන සුළුතර ආණ්ඩුවට වැඩි ආයුෂ නොතිබෙන්නට  ඉඩ ඇති බවටද අනතුරු ඇඟවීම් පළවෙනු දැකිය හැකි වෙයි. ඊට හේතුව මෙම පක්ෂ දෙකේ ප්‍රතිපත්ති අතර පවතින සමහර වෙනස්කම්ය. මෙම ව්‍යාකූලත්වය මත ළඟදීම නැවතත් මහා මැතිවරණයක් පැවැත්වීමට සිදුවන තත්ත්වයක් වුව ඇති විය හැකි බවටද අදහස් පලවෙනු දක්නට ලැබේ.

නිහාල් පීරිස්{jcomments on}

ලෝකයේ විවිධ රටවලට එල්ලවන ත්‍රස්ත ප්‍රහාර දිනෙන් දින වැඩි වෙමින් ඇති අතර මේ සම්බන්ධ අලුත්ම සිද්ධිය වාර්තා වූයේ ඉරානයෙනි. පසුගිය බදාදා (7 වැනි දින) පෙරවරුවේ ඉරානයේ පාර්ලිමේන්තු ගොඩනැගිල්ල තුළ සහ ඉරාන විප්ලවයේ නියමුවා ලෙස සැලකෙන අයතුල්ලා කොමෙයිනිගේ සොහොන් ගැබ පිහිටා ඇති ස්ථානයේ එල්ල වූ ප්‍රහාර දෙකකින් 12 දෙනකු මරණයට පත් වූ අතර හතළිහකට ආසන්න පිරිසක් තුවාල ලබා ඇති බවද වාර්තා විය.
 ප්‍රහාරකයන්ගෙන් සමහරුන් පාර්ලිමේන්තු ගොඩනැගිල්ලට ඇතුළු වී ඇත්තේ කාන්තාවන් ලෙස වෙස්වලාගෙනය. ඔවුන් පාර්ලිමේන්තුවේ ප්‍රධාන සභා ගර්භයට ඇතුළු වීමට උත්සාහ කර ඇතත් එය සාර්ථක වී නැති අතර, වෙනත් කාර්යාල පිහිටි කොටසකට ඇතුළු වී වෙඩි තබන්නට පටන් ගෙන තිබේ. ඒ අතර එක් ප්‍රහාරකයකු මරාගෙන මැරෙන බෝම්බයක්ද පුපුරුවා හැර ඇත. මඳ වේලාවක් යනතුරු ප්‍රහාරකයන් ප්‍රාණ ඇපකරුවන් කිහිප දෙනකු රඳවාගෙන සිටි බවටද තොරතුරු වාර්තා විය. කෙසේ වෙතත් මෙම සිද්ධිය සිදුවෙද්දී පවා ප්‍රධාන සභා ගැබ තුළ සිටි මැති ඇමැතිවරුන් සිය කටයුතු නතර නොකර අඛණ්ඩව කරගෙන ගොස් ඇති බවද මාධ්‍ය වාර්තා කර තිබිණි.  ආරක්ෂක අංශ ප්‍රහාරකයන් සිව් දෙනකු වෙඩි තබා ඝාතනය කළ බව සඳහන් විය.
අයතුල්ලා කොමෙයිනි සොහොන් ගැබ ආසන්නයේ ප්‍රහාරය සිදු වූයේ ඊට මඳ වේලාවකට පසුවය. එහිදීද තවත් මරාගෙන මැරෙන බෝම්බයක් පුපුරුවා හැර ඇති අතර අවි ගත් ප්‍රහාරකයන්  ඒ අවට සිටි අයට දිගට හරහට වෙඩි තබන්නට පටන් ගත් බවද සඳහන් විය. එහිදීද ආරක්ෂක අංශ විසින් එක් ප්‍රහාරකයකු ඝාතනය කරන ලද බව ඉරාන මාධ්‍ය සඳහන් කළේය.
ප්‍රහාරය සම්බන්ධ වගකීම  භාර ගනිමින් අයි.එස්. හෙවත් ‘ඉස්ලාමීය රාජ්‍යය’ (ඵතචථඪජ ඉබචබඥ) සංවිධානය පසුව නිවේදනයක් නිකුත් කළේය. පාර්ලිමේන්තු ගොඩනැගිල්ල තුළ ප්‍රහාරය සිදු වූ අවස්ථාවේ ගත් බව සඳහන් විඩියෝ දර්ශන පෙළක්ද ඔවුන් අන්තර්ජාලයට මුදා හැර තිබිණි.
අයි.එස්. සංවිධානය සහ ඉරානය අතර විරසකය කාලයක් තිස්සේ පවතින්නකි. විශේෂයෙන් සිරියාව සහ ඉරාකය  වැනි රටවල ක්‍රියාත්මක වන අයි.එස් සටන්කාමීන්ට එරෙහිව ඉරානය ප්‍රහාර එල්ල කරන නිසා ඔවුන් අතර පවතින්නේ දැඩි පසමිතුරු බවකි. මෙම පසමිතුරු බව දැන් කාලයක සිටම පවතින්නක් වුවත් පසුගිය කාලයේ අයි.එස්. සංවිධානය ඉරානය තුළ මේ ආකාරයේ ප්‍රහාර එල්ල කිරීමට පියවර ගත්තේ නැත. ඒ නිසා මෙවර ප්‍රහාරය බොහෝ දෙනකු තුළ විමතියක් මෙන්ම කම්පනයක්ද ඇති කරන්නට සමත්ව ඇති බව පෙනේ.
ඉරානය මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් චෝදනා කරන්නේ කවදත් ඔවුන්ගේ සතුරන් ලෙස සැලකෙන සෞදි අරාබියටයි. එම චෝදනාවට පදනම් වන්නේ සෞදි අරාබිය වක්‍රකාරයෙන් අයි.එස්. සංවිධානයට සහය දක්වනවාය යන ඔවුන්ගේ තර්කයයි. සෞදිය අයි.එස්. සංවිධානය යොදාගනිමින් ඉරානයට පහර දුන්නාය වැනි අදහසක් ඇති කිරීමට ඉරානය උත්සාහ කරන බව පෙනේ. (අයි.එස්. සංවිධානය අනුගමනය කරන ඉස්ලාම් දහමේ අන්තවාදී අර්ථකතනයක් ලෙස බොහෝ දෙනා සලකන වහාබ්වාදය  සෞදි අරාබිය තුළ විශාල වශයෙන් පැතිරුණු ධාරාවකි. සෞදි අරාබිය සහ අයි.එස්. සංවිධානය අතර සබඳතා සම්බන්ධයෙන් චෝදනා එල්ල වීමට මෙයද එක් හේතුවකි.
ඉරානය කියන ආකාරයට මෙම ප්‍රහාරය එල්ල කළේ සෞදි අරාබිය දැනුවත්වද, නැද්ද යන්න නිශ්චිතව පැවැසිය හැකි සාක්ෂි කිසිවක් නැතත් ඉරානය සහ සෞදි අරාබිය අතර කලෙක සිටම පවතින දැඩි එදිරිවාදිකම් අලුත් වටයකින් ඉස්මත්තට ගෙන එන්නට මෙම සිදුවීම හරහා මග පෑදී ඇති බව පැහැදිලිව දැකිය හැකි වෙයි.
සෞදි අරාබිය සහ ඉරානය අතර කාලයක් තිස්සේ පවතින සතුරු ආකල්පවලට පදනම් වන කාරණා කිහිපයක් වෙයි. මෙම රටවල් ආගමික වශයෙන් නිකායන් දෙකක් නියෝජනය කරන දෙරටක් වීම ප්‍රධාන හේතුවකි. සෞදි අරාබිය ඉස්ලාම් ආගමේ සුන්නි නිකාය නියෝජනය කරන රටක් වන අතර ඉරානය  ෂියා නිකාය නියෝජනය කරන රටකි. මේ නිසා සෞදි අරාබිය සහ ඉරානය අතර ඇති පසමිතුරු බව මෙම නිකායන් අතර පවතින ගැටුම සහ බල අරගලය පිලිබිඹු කරන්නක් ලෙස සැලකිය හැකි වෙයි.
මෙම පසුබිම තුළ මැදපෙරදිග කලාපයේ දේශපාලන, ආර්ථික සහ සංස්කෘතික ආදී ඉසව්වල ආධිපත්‍යය වෙනුවෙන් සෞදිය සහ ඉරානය අතර විශාල තරගයක් පවතියි. එහිදී සෞදිය වඩාත් ඇමෙරිකාව ඇතුළු බටහිර බලවතුන්ගේ සහය ලබා ගැනීම සඳහා යොමුවන අතර, ඉරානය රුසියාව වැනි පාර්ශ්ව වෙත වැඩි නැඹුරුවක් දක්වයි. මේ තුළ එක් අතකින් බටහිර බලවතුන්ද, අනෙක් අතින් රුසියාව වැනි පාර්ශ්වද මැද පෙරදිග කලාපයේ ඔවුන්ගේ වුවමනාවන් ඉටු කර ගැනීම සඳහා සෞදිය සහ ඉරානය වැනි රටවල් සමග අත්වැල් බැඳගෙන සිටින ආකාරයද දැකිය හැකි වෙයි.
පසුගියදා සිදු වූ ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ මැදපෙරදිග නිල සංචාරයද මෙහිදී අවධානයට යොමු විය යුත්තකි. එහිදී ඔහු සෞදි අරාබිය සමග සබඳතා වඩාත් ශක්තිමත් කරගැනීමට කටයුතු කළේය. ඉරානය යනු ඇමෙරිකාවේද සතුරු පාර්ශ්වයක් ලෙස සැලකෙන්නකි.  මේ නිසා ට්‍රම්ප් සහ සෞදිය අතර සබඳතා ශක්තිමත් වීම ඉරානයට එරෙහි ඇමෙරිකානු වැඩපිළිවෙළේ අලුත් අවදියක් සනිටුහන් කරන්නක් ලෙසද සැලකෙයි. ඉරානයට එල්ල වූ ප්‍රහාරයට උත්තේජනය සැපයූ එක් සාධකයක් ලෙස ඇතැම් නිරීක්ෂකයන් පෙන්වා දෙන්නේ ඇමෙරිකාව සහ සෞදි අරාබිය අතර ඉරානයට එරෙහිව පසුගියදා ඇති වූ අලුත් එකඟතාවන්ය. මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් ඉරානය සෞදි අරාබියට චෝදනා කරන්නේද මෙම පසුබිම තුළය.
පසුගියදා කටාර් රාජ්‍යය සමග රාජ්‍ය තාන්ත්‍රික සබඳතා අත්හිටුවීමට සෞදිය ඇතුළු ඔවුන්ගේ මිතුරු රටවල් කිහිපයක් ගත් තීරණයද මෙහිදී අවධානයට හසු විය යුතුය. මෙයද එක්තරා ආකාරයකින් ඉරානය හුදෙකලා කිරීමට ගත් පියවරක් ලෙස සැලකෙන්නේ මෑත කාලයේ කටාර් රාජ්‍යය සහ ඉරානය එකිනෙකාට වඩාත් සමීප වන ආකාරයක් දැකිය හැකි වූ හෙයිනි. රාජ්‍ය තාන්ත්‍රික තහංචි හරහා කටාර් රාජ්‍යයට බලපෑම් කිරීම මගින් ඔවුන් සහ ඉරානය අතර සබඳතා බිඳ දැමීමේ උත්සාහයක් ක්‍රියාත්මක වන බවද මෙහිදී කතාබහට ලක් වූ එක් මතයකි.
කෙසේ හෝ වේවා මේ වනවිට සෞදි අරාබිය සහ ඉරානය කේන්ද්‍ර කරගෙන මැද පෙරදිග තුළ අලුත් ගැටුම්කාරී තත්ත්වයක් හිස ඔසවමින් ඇති බව පැහැදිලිව දැකිය හැකි අතර මෙම තත්ත්වය පසුගියදා සිදු වූ ට්‍රම්ප්ගේ සෞදි සංචාරය හා බැඳී ඇති බවටද අදහස් පලවෙමින් තිබේ.
කෙසේ වෙතත් ඉරානය සහ ඔවුන්ගේ මිතුරු රටවල් වන රුසියාව වැනි පාර්ශ්වද මෙහිදී නිහඬව සිටිනු ඇතැයි බලා‍පොරොත්තු විය නොහැක. පාර්ලිමේන්තුව තුළ සහ කොමෙයිනි සොහොන් ගැබ අවට සිදු වූ ප්‍රහාරයෙන් පසු ඉරාන හමුදා ප්‍රධානියකු  පවසා තිබුණේ මේ පිටුපස සිටින අයගෙන් පළිගැනීමට ඉරානය පියවර ගන්නා බවත්, ඒ සම්බන්ධයෙන් කිසිදු සැකයක් තබා නොගන්නා ලෙසත්ය.

නිහාල් පීරිස්  {jcomments on}

මේ වනවිට ලෝකයේ උසම ගොඩනැගිල්ල යන වාර්තාවට හිමිකම් කියන්නේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි හි පිහිටි බර්ජ් ඛලීෆා ගොඩනැගිල්ලයි. එහි උස ලෙස සඳහන්වන්නේ මීටර 828 (අඩි 2,700)කි. නමුත් බර්ජ් ඛලීෆා ගොඩනැගිල්ලට මෙම වාර්තාවට හිමිකම් කීමට ඉඩ ලැබෙන්නේ තව ටික කලකට පමණක් බවට මේ වනවිට තොරතුරු වාර්තා වෙයි. ඊට හේතුවී ඇත්තේ මීටර 1000ක, එනම් කිලෝ මීටරයකට ආසන්න උසකින් යුතු තවත් ගොඩනැගිල්ලක් මේ වනවිට සෞදි අරාබියේ ඉදිවෙමින් තිබිමයි. ජෙඩා කුලුන (Jeddah Tower) නමින් හැඳින්වෙන මෙහි ඉදිකිරීම් කටයුතු 2019 වසරේ නිමකිරීමට සැලසුම් කර ඇති අතර එම කටයුතු නිමවීමෙන් පසු එය ලොව උසම ගොඩනැගිල්ල බවට පත්වනු ඇත.
 
ජෙඩා කුලුනෙහි ඉදිකිරීම් ආරම්භ කෙරුණේ 2013 වසරේය. එය මුලින් සැලසුම් කර තිබුණේ කි.මී. 1.6ක උසින් යුතුව ඉදිකිරීමටය. එය සැතපුමකට ආසන්න උසකි. නමුත් ගොඩනැගිල්ල ඉදිකරන ස්ථානයේ භූමිය එතරම් උස් ගොඩනැගිල්ලක් සඳහා සුදුසු නොවන බව හෙළිවීම නිසා එහි උස කිලෝමීටරයක් දක්වා අඩු කිරීමට පියවර ගැනිණි.
තට්ටු දෙසීයකට ආසන්න සංඛ්‍යාවකින් සමන්විත වනු ඇතැයි පැවැසෙන මෙම රූස්ස ගොඩනැගිල්ල ඉදිකිරීම සඳහා වන මූලික වියදම ඇමෙරිකානු ඩොලර් බිලියන 1.23ක් පමණ වනු ඇතැයි සඳහන් වෙයි. මෙය ශ්‍රී ලංකා මුදලින් නම් රුපියල් බිලියන 200කට ආසන්නය.
ජෙඩා ගොඩනැගිල්ලෙහි සැලසුම් ශිල්පියාවන්නේ ඇමෙරිකානු ජාතික ගෘහනිර්මාණ ශිල්පියෙකු වන  ඒඩ්‍රියන් ස්මිත්ය. ඩුබායිහි පිහිටි බර්ජ් ඛලීෆා ගොඩනැගිල්ල සැලසුම් කළ නිර්මාණ ශිල්පියාද ඔහුය. මේ තරම් උස් ගොඩනැගිල්ලකට සුළඟින් ඇතිවන බලපෑම අවම කිරීම සඳහා ජෙඩා ගොඩනැගිල්ල ත්‍රිකෝණාකාර හැඩයකින් නිමවනු ඇති බවද සඳහන් වෙයි. මෙම ගොඩනැගිල්ල පිළිබඳ අදහස මුලින්ම ඉදිරිපත් කරන ලද්දේ සෞදි රජ පවු‍ලේ කුමරුවෙකු වන අල්-වාලීද්බින් තලාල් (Al-Waleed bin Talal) විසිනි. ඔහු සැලකෙන්නේ මැදපෙරදිග කලාපයේ සිටින ධනවත්ම ව්‍යාපාරිකයෙකු වශයෙනි.
ජෙඩා ගොඩනැගිල්ලෙහි ඇති අපූරු අංගයක් ලෙස සැලකෙන්නේ මීටර 600ක් (අඩි 2000ක්) පමණ උසින්, ගොඩනැගිල්ලෙන් පිටතට නෙරා එන ආකාරයෙන්, රතු මුහුද දෙසට මුහුණලා ඉදිකෙරෙන සුවිසල් සඳළුතලයයි. එහි බිම වීදුරු අතුරා තිබිම ද තවත් විශේෂත්වයක් වෙයි. මෙම සඳළුතලය මුලින් ඉදිකිරීමට නියමිතව තිබුණේ හෙලිකොප්ටර් ගොඩබස්වන අංගනයක් ලෙසිනි. නමුත් මෙම ප්‍රදේශය හෙලිකොප්ටර් ගොඩබැස්සවීමට සුදුසු නොවන බවට ගුවන් නියමුවන් විසින් ප්‍රකාශ කරනු ලැබිම නිසා එකී අංගනය සඳළුතලයක් ආකාරයෙන් නිමකිරීමට තීරණය කෙරිණි.
ජෙඩා ගොඩනැගිල්ල තට්ටු 200කින් පමණ සමන්විත වනු ඇත. (බර්ජ් ඛලීෆා ගොඩනැගිල්ලෙහි ඇත්තේ තට්ටු 160කට ආසන්න සංඛ්‍යාවකි) මෙම තට්ටු අතර ගමන් කිරීම සඳහා විදුලි සෝපානයන් 59ක් යොදා ගැනෙනු ඇතැයි සඳහන් වේ. එයින් පහක්ම තට්ටු දෙකේ විදුලි සෝපානයන්ය. ඒ අතර අධිවේගී විදුලි සෝපානයන්ද ඇති බව වාර්තාවෙයි. ඒ අතර මෝටර් රථ 3000- 4700ක් අතර සංඛ්‍යාවක් නවතා තැබිය හැකි දැවැන්ත රථ ගාලක්ද ඉදිකිරීමට නියමිතව තිබේ. එය ඉදිකෙරෙන්නේ ‍පොළොව මට්ටමට පහතිනි.
ජෙඩා කුලුන ඉදිකරනු ලබන්නේ හුදෙකලා ව්‍යාපෘතියක් ලෙස නොවේ. එය වටකර සුවිසල් ආර්ථික පුරවරයක් ඉදිකිරීමට නියමිත අතර ඒ සඳහා ආයෝජනය කිරීමට බලා‍පොරොත්තු වන මුදල ඇමෙරිකානු ඩොලර් බිලියන 20ක් පමණවේ. සෞදි අරාබියේ ජෙඩා නගරයේ උතුරු දෙසින් රතු මුහුද ආසන්නයේ මෙම පුරවරය ඉදිකෙරෙනු ඇත.
 
කිත්සිරි මල්වත්ත

මාධ්‍ය හරහා ඇය ප්‍රකට වූයේ උස්මා යන නමිනි. පාකිස්තානයේදී පාකිස්තානු ජාතික තහීර් අලි තමාට පිස්තෝලයක් පෙන්වා බලහත්කාරයෙන් විවාහ කරගත් බවත්, තමාට අනේකවිධ වදහිංසා කළ බවත් ඇය කියයි. ඒ අතරම තමාව පාකිස්තානයට රැගෙන ආවේද නිදි පෙති දී සිහිනැතිකොට බවද ඇය විටෙක කියා සිටියාය. මේ චෝදනා ප්‍රතික්ෂේප කරන තහීර් කියන්නේ තම බිරිය උස්මා බොරු කියන බවකි. කෙසේවුවද ඇගේ නඩුව ඇසූ ඉස්ලාමාබාද්හි අධිකරණයක් උස්මාට නැවත ඉන්දියාව බලා යාමට අවසර දුන් අතර ඇය දැන් නැවත උපන් රටේය. ඉන්දියානු තානාපති කාර්යාලයේ නිලධාරින් හා පාකිස්තාන ආරක්ෂක භටයන් ඇයව වහා දේශසීමාව වෙත ගෙනවිත් ඇරලවූ බවද වාර්තා විය. එදින සවස් කාලයේ ඇය තමා පදිංචි නවදිල්ලිය වෙත ළඟාවූවාය.
 
උස්මා හා තහීර්ගේ කතාව මේ දිනවල කාශ්මීර ප්‍රශ්නය නිසා ඇවිලෙන ගිනි මැලයක්වූ ඉන්දු - පාකිස්තාන් අර්බුදයට පිදුරුද එකතුකොට තිබේ. සියරට බලා ආ උස්මාට උණුසුම් පිළිගැනීමක් ලැබුණ අතර විදේශ ඇමැතිනි සුෂ්මා ස්වරාජ් ඇය පිළිගෙන තිබෙන්නේ තම ට්විටර් ගිණුම ඔස්සේ “උස්මා, යළි නිවසට පැමිණි ඉන්දියාවේ දියණිය සාදරයෙන් පිළිගන්නවා. ඔබට විඳින්නට ලැබුණු අත්දැකීම ගැන මට කනගාටුයි.” යනුවෙන් සටහනක් තබමිනි.
 
වයස අවුරුදු විසි ගණන්වල පසුවන උස්මාට තහීර් මුණගැසී ඇත්තේ මැ‍ලේසියාවේදීය.පසුව ඔවුන් පෙම්වතුන් වූ අතර මැයි මස මුලදී උස්මා ඔහුගේ ආරාධනාවකට අනුව පාකිස්තානය බලා ගිය බව පැවසෙයි. තහීර් විවාහක සිව්දරු පියෙකු බව දැනගත්තේ එවිට බවත්, දින කිහිපයකින් තමාව ඔහු බලහත්කාරයෙන් විවාහ කරගත් බවත් විවිධ අවස්ථාවල දරුණු ලෙස පහරදෙමින් මානසිකව හා කායිකව පීඩාවට පත්කළ බවත් ඇය කියයි. මැයි මස මැදදී සැමියා තමාට හිරිහැර කරන බව හා පාකිස්තානයෙන් පිටවීමට ඉඩනොදී තම ගමන් අවසරපතද ඔහු වෙත තබාගෙන සිටින බවත් කියමින් උස්මා ඉස්ලාමාබාද් උසාවියේ නඩුවක් පැවරුවාය. සියලු චෝදනා ප්‍රතික්ෂේප කරන තහීර් කියන්නේ තමා විවාහකයෙකු බවත්, දරුවන් සිව් දෙනෙකුගේ පියෙකු බවත් ඇය මුලසිටම දැන සිටි බවය. විවාහය උස්මාගේ කැමැත්ත මත මිස ඇය කියන ආකාරයට පිස්තෝලයක් පෙන්වා නොකළ බවද මාධ්‍ය වෙත සම්මුඛ සාකච්ඡාවක් ලබාදෙමින් ඔහු පවසයි.
 
තමාව බලහත්කාරයෙන් පාකිස්තානයට ගෙනා බව උස්මා කීවද පාකිස්තාන තානාපති කාර්යාලය පවසන්නේ ඇය සංචාරක වීසා බලපතක් මත පැමිණි බව ලියකියැවිලි තුළින් ඔප්පු කළහැකි බවයි. උස්මාට පාකිස්තානයට පැමිණීමට සියලු කටයුතු සූදානම් කළේ තම පියා බවද තහීර් කියයි. කෙසේවුවද උස්මා වීසා ලබාගෙන ඇත්තේ විවාහ වීම සඳහා කියමින් නොව පාකිස්තානයේ සිටින තම නෑයින් බැලීමට බව කියමිනි. සම්මුඛ සාකච්ඡාවේදී තහීර් විසින් උස්මා එවූ වට්ස්ඇප් පණිවුඩද පෙන්වා තිබේ. මෙම පණිවුඩවලදී තම සොයුරාට තහීර් විවාහ වී සිටි බව නොකියන ලෙසත් ළමුන් සිව්දෙනෙකු සිටින බව නොකියන ලෙසත් උස්මා පවසා ඇති අතර මේ හේතුවෙන් ඇය ඔහු විවාහව සිටි සිව්දරු පියෙකු බව උස්මා දැන සිටි බව හෙළිවෙයි. ඒ අතරම මෙහිදී උස්මාද පෙර විවාහයකින් වෙන්වූ එක් දරු කාන්තාවක බව හෙළිකරන තහීර් තමා කුමන ආකාරයකින් හෝ ශාරීරික හිංසාවක් ඇයට කර ඇතිනම් එය වෛද්‍ය පරීක්ෂණයක් මගින් ඔප්පු කරන ලෙසද අභියෝග කරයි. අකමැත්තෙන් හෝ තමා ඔහු සමග විවාහ වුණේ ඔහුගේ දෙමව්පියන් තමාට හිංසාකොට, විවාහ නොවුණොත් තම දියණියව පැහැරගන්නා බව පැවසීම නිසා බව ඇය වැඩිදුරටත් කියයි.  තම දියණිය තැලසීමියා රෝගයෙන් පෙලෙන බැවින් තහීර්ගෙන් ගැලවී හැකි ඉක්මණින් ඉන්දියාවට පැමිණීමට තමාට වුවමනා වූ බව ඇය කියන්නීය.
 
මෙම දෙදෙනා පූජකවරයෙකු හා සාක්ෂිකරුවන් ඉදිරියේ විවාහ වන ආකාරය ඇතුළත් වීඩියෝවක්ද රූපවාහිනී වැඩසටහනේ විකාශයකොට ඇති අතර පූජකවරයා පවසන්නේ තමා කැමැත්තෙන් විවාහයට ඇතුළත් වන බව උස්මා තමා හමුවේ පැවසු බවය. තමා මැ‍ලේසියාවේ කුලීරථ රියැදුරෙක් ලෙස සේවය කරද්දී උස්මා හමුවූ බවද, විවාහයකට ඇතුළු වීමට තමා ‍පොළඹවන ලද්දේ උස්මා විසින් බවද, මාස නමයක් පමණ තමා හා ඇය පෙම්වතුන් ලෙස ඇසුරු කළ බවද තහීර් කියයි. ඇයට මෙසේ පවසන ලෙස බලකරන්නේ ඉන්දියානු තානාපති කාර්යාලයෙන් බවට ඔහු චෝදනා කරයි.නැවත ඉන්දියාවට පැමිණි උස්මා මාධ්‍ය හමුවකදී පවසා ඇත්තේ මරණයේ ගැඹුරු ළිඳක් වන පාකිස්තානයෙන් ගැලවී එන්නට ලැබිම තමාගේ වාසනාවක් බවය.පාකිස්තානයේදී කිසිවෙකුටත් ආරක්ෂාවක් නොලැබෙන බවත්, යෝජිත විවාහ සිදුකරගත් අය පවා හැඬූ කඳුළින් පසුවන බවත් කියන ඇය තමාව ගලවා ගැනීමට හැකි සෑම පියවරක්ම ගැනීම ගැන සුෂ්මා ස්වරාජ්ට ස්තූති කොට තිබේ.
 
නිශානි දිසානායක 

ප්‍රේමය සහ විවාහය බොහෝ විට දෑවැද්ද, සමාජ තත්ත්වය, ධනය, බලය ආදිය මත තීරණය වන කාලයක ඊට හාත්පසින්ම වෙනස් අපූරු ආදර කතාවක් පිළිබඳව පසුගියදා ලෝක ජනමාධ්‍ය හරහා විශාල අවධානයක් යොමු විය. මේ ආදර කතාව වාර්තා වූයේ ජපානයෙනි. එයින් කියැවුණේ ජපානයේ රජ පවුලට අයත් 25 හැවිරිදි රජ කුමරියක ඉතා සාමාන්‍ය පවුලක තරුණයෙකු හා විවාහ වන්නට සූදානම් වන බවයි. එහි ඇති ඊළඟ වැදගත් කාරණාව වන්නේ මේ ආකාරයෙන් සාමාන්‍ය කෙනෙකු සමග විවාහ වීම නිසා එයින් පසු කුමරිය රජ පවුලෙන් ඉවත් කරනු ලැබිමයි. මේ ආකාරයෙන් සිය ‘’සාමාන්‍ය පන්තියේ ආදරවන්තයා’’ වෙනුවෙන් රාජකීය සැප සම්පත් අත් හරින්නට යන මාකෝ කුමරිය වූ කලී ජපානයේ වත්මන් අධිරාජයා වන අකිහිතෝ අධිරාජයාගේ බාල පුත් ෆුමිහිතෝ කුමරුගේ වැඩිමල් දියණියයි.
තම දියණියක් මේ ආකාරයෙන් පවුලට නොගැලපෙන කෙනෙකු සමග විවාහ වන්නට යන බව දැනගතහොත් සාමාන්‍යයෙන් නම් සිදුවන්නේ එම දියණියට මව්පියන්ගේ දහසකුත් එකක් තර්ජන ගර්ජනවලට මුහුණ දෙන්නට සිදුවීම වුවත් ඉහත කී රජ පවු‍ලේ කුමරියට නම් එවැනි අකරතැබ්බකට මුහුණ දෙන්නට සිදුව නැති බවද වාර්තා වෙයි. ඊට හේතුව මාකෝ කුමරිය ඇගේ ආදර සම්බන්ධය ගැන ඇගේ මව්පියන් වන ෆුමිහිතෝ කුමරුට සහ කීකෝ කුමරියට දැනුම් දුන් අවස්ථාවේ ඔවුන් සිය දියණියගේ කැමැත්තට ඉඩ දී විවාහය සඳහා කැමැත්ත පළ කිරීමයි. (නමුත් ජපාන රජ පවු‍ලේ චිරාගත සම්ප්‍රදායන්ට අනුව මෙවැනි විවාහයකින් පසු රජ පවුලෙන් ඉවත් වන්නට සිදුවීම මව්පියන්ට වැළැක්විය හැක්කක් නොවේ.)
ජපන් රජ පවු‍ලේ ඉතිහාසය තුළ ආදරය වෙනුවෙන් රජ සැප අත් හැරි දෙවැනි කුමරිය බවට මාකෝ කුමරිය පත් වෙයි. මෙයට පෙර 2005 වසරේදී, ඇගේ නැන්දණිය වන  සයාකෝ කුමරියද සාමාන්‍ය පවුලක කෙනෙකු වූ යොෂිකි කුරෝදා නම් තරුණයෙකු වෙනුවෙන් රාජකීය සැප සම්පත් අත්හැර දැමුවාය. කුරෝදා  ටෝකියෝ නගරයේ රාජකාරී කළ රජයේ සේවකයෙකු බව සඳහන් වෙයි. ඔහුට පෙම් කළ  සයාකෝ කුමරිය යනු අකිහිතෝ අධිරාජයාගේ එකම දියණියයි. 
එතෙක් කලක් සුවිසල් රජ මාලිගයක සියලු සැප සම්පත් මැද දිවි ගෙවූ ඇය විවාහයෙන් පසු එක නිදන කාමරයක් පමණක් ඇති නිවසක ජීවත් වූ බවත්, තනිවම කඩේ පි‍ලේ යමින්, තනිවම මෝටර් රිය පදවාගෙන යමින් ඉතා සාමාන්‍ය දිවි පවෛතක් ගත කළ බවත් සඳහන් වේ. දැන් මාකෝ කුමරියටද විවාහයෙන් පසු රාජ මන්දිරයෙන් නික්ම ඒ ආකාරයෙන් සාමාන්‍ය ගෘහණියක ලෙස ජීවත් වීමට සිදු වනු ඇත.
මාකෝ කුමරියගේ ආදරය දිනාගත් තරුණයා වන කී කොමුරෝ (Kei Komuro) ද ඇය මෙන්ම විසිපස් වැනි වියේ පසුවන තරුණයෙකි. නීතිඥ වෘත්තියට සම්බන්ධ කෙනෙකු වන ඔහු මාකෝ කුමරියට මුල් වරට හමු වී ඇත්තේ 2012 වසරේ ඔවුන් දෙදෙනා ටෝකියෝ නුවර විශ්ව විද්‍යාලයක අධ්‍යාපනය ලබමින් සිටියදීය. ජපන් රජ පවු‍ලේ උදවිය අතරින් විශ්ව විද්‍යාල අධ්‍යාපනයක් ලැබූ පළමු තැනැත්තිය මාකෝ කුමරිය වීමද තවත් විශේෂත්වයකි. ජපානයේ මේ ආකාරයෙන් උසස් අධ්‍යාපනය ලද ඇය පසුව බ්‍රිතාන්‍යයේ විශ්ව විද්‍යාලයකද ඉගෙන ගෙන තිබේ. ඇය කලාව සහ සංස්කෘතිය හා බැඳුණු විෂයයන් හදාරා ඇති බවයි සඳහන් වන්නේ. 
මාකෝ කුමරිය අන්තර්ජාලයේද ඉතා ජනප්‍රිය චරිතයක් බව පැවැසේ. 2011 වසරේ සිදු වූ ටොහෝකු භූමිකම්පාව සහ සුනාමිය අවස්ථාවේ ඇය ස්වේච්ඡා සේවිකාවක ලෙස ගොස් එහි විපතට පත් වූවන්ට උදව් කිරීමට පියවර ගෙන ඇති  අතර එහිදී ඇය තමා මාකෝ කුමරිය බව කිසිවෙකුට දැනගන්නට සලස්වා නැති බවද සඳහන් වෙයි. එමෙන්ම ඇයට ශ්‍රව්‍යාබාධිතයන් ‘කතා කරන’ සංඥා භාෂාවෙන් සන්නිවේදනය කිරීමේ හැකියාව තිබිමද, එවැනි අය සමග කටයුතු කිරීමට ඇය විශේෂ උනන්දුවක් දැක්වීමද තවත් විශේෂත්වයන්ය.  
මේ වනවිට මාකෝ-කොමුරෝ දෙදෙනාගේ විවාහය සම්බන්ධ මූලික කටයුතු සිදු වෙමින් ඇති බවත්, ලබන වසරේ මුල් භාගයේ ඒ පිළිබඳ නිල උත්සවය පැවැත්වෙනු ඇති බවත් ජපාන මාධ්‍ය අනාවරණය කර තිබිණි.
මාකෝ කුමරියගේ  මෙම ‘අසම්මත විවාහය’ පිළිබඳ  පුවත සමගම ජපාන රජ පවුල සම්බන්ධයෙන්, ජනමාධ්‍ය හරහා,  ලෝකයේ අවධානයට පාත්‍ර වූ තවත් විශේෂ පුවතක් විය. එනම් අකිහිතෝ අධිරාජයා සිය රජකම අත්හරින්නට සැරසෙන බවට වූ පුවතයි. මේ වනවිට  83 වැනි වියේ පසුවන ඔහු මේ ආකාරයෙන් රජකම අත් හරින්නට තීරණය කර ඇත්තේ  ශාරීරික දුබලතාව සහ සෞඛ්‍ය හේතූන් මත බවද වාර්තා වෙයි. දැන් ටික කලෙක සිටම ඔහු පසුවන්නේ ගිලන් තත්ත්වයෙන් බව රහසක් නොවේ. කෙසේ නමුත් මේ සම්බන්ධයෙන් පැවැසෙන විශේෂම කාරණාවක් වන්නේ වසර 200 කට ආසන්න කාලයකට පසු මේ ආකාරයෙන් ජපාන අධිරාජයෙකු රජකම අත්හරින්නට සැරසෙන්නේ පළමු වතාවට වීමයි.  ඒ නිසා ඒ සම්බන්ධයෙන් නව නීතිමය ප්‍රතිපාදන සකස් කිරීමට සිදුව ඇති බවද මාධ්‍ය වාර්තා කර තිබිණි.
දෙවැනි ලෝක යුද සමයේ ජපානයේ අධිරාජයා ලෙස සිටි හිරෝහිතෝ අධිරාජයා අකිහිතෝ ගේ පියා වන අතර 1989 වසරේ ඔහුගේ අභාවයෙන් පසු අකිහිතෝ රජකමට පත් විය. ඔහු 1959 දී  මිචිකෝ කුමරිය සමග අතිනත ගත්තේය. ඔවුන් දෙදෙනාට දරුවන් තිදෙනෙකු වූ අතර ඒ පිරිමි දරුවන් දෙදෙනෙකු සහ එක් ගැහැනු දරුවෙකු වශයෙනි. පිරිමි දරුවන්ගෙන් වැඩිමලා නරුහිතෝ කුමරු ය. දැන් අකිහිතෝ අධිරාජයා රජකම අත්හැරීමෙන් පසු රජකම හිමිවන්නේ ඔහුටය. දෙවැනි පිරිමි දරුවා ෆුමිහිතෝ කුමරු වන අතර කලින් සඳහන් කළ මාකෝ කුමරියගේ පියා ඔහු යි. 2005 වසරේ රජ සැප අත් හැර කුරෝදා නම් සාමාන්‍ය පවුලක තරුණයෙකු සමග විවාහ වූ සයාකෝ කුමරිය අකිහිතෝ සහ මිචිකෝ  යුවළට සිටි එකම දියණියයි. 
 
කිත්සිරි මල්වත්ත

සීයා එනම් තම මවගේ පියා මෙන්ම උස් සිහින් සිරුරකින් යුතු ඔහු බෙහෙවින් කඩවසම්ය. සීයාට මෙන්ම කාන්තාවන් 
ආකර්ෂණය කරගැනීමේ ශක්තියක් ඔහුටද ඇත. පියාගේ වාසගම අනුව ස්ක්ලොස්බර්ග් වුවද තම ජනප්‍රිය හා සුප්‍රකට සීයාගේ වාසගමද නමට ඈඳා ඇති බැවින් ඔහු ජෝන් කෙනඩි ස්ක්ලොස්බර්ග්ය. සීයා මෙන්ම ඔහුද ජැක් යන නමින් බහුලව හැඳින්වෙයි. ඇමෙරිකාවේ තිස්පස්වැනි ජනපතිවූ ජෝන් එෆ්. කෙනඩිගේ එකම මුණුපුරා වූ ඔහුගේ පරමාදර්ශී චරිතයද තම සීයා වන අතර අනාගතයේ දිනයක සීයාගේ අඩිපාරේ යමින් ඔහුද දේශපාලනයට පිවිසෙනු ඇතැයි දැනටම මත පළවෙයි.විසිහතර හැවිරිදි ජැක් යේල් විශ්වවිද්‍යාලයෙන් උපාධිය ලබා පිටවූයේ මෑතකදීය. මේ වනවිට ඔහු හාවඩ් නීති විද්‍යාලයට ඇතුලත්වීමේ බලා‍පොරොත්තුවෙන් පසුවෙයි.
ජැක් කෙනඩි ස්ක්ලොස්බර්ග් හිටපු ජනපති ජෝන් ෆ්‍රිට්ස් ජෙරල්ඩ් කෙනඩි හා ඔහුගේ අතිශයින් රූමත් හා ජනප්‍රිය බිරිය ජැකලයින් කෙනඩිගේ එකම දියණිය වන කැරොලයින් කෙනඩිගේ එකම පුත්‍රයාය.කැරොලයින් විවාහවී සිටින්නේ ‍ලේඛකයෙකු, නිර්මාණ හා චිත්‍රශිල්පියෙකු වන එඩ්වින් ස්ක්ලොස්බර්ග් සමගය. ඔහු මේ වනවිට ‍පොත් එකොළහක් ලියා ඇති අතර ස්ක්ලොස්බර්ග්ගේ චිත්‍ර ඇමෙරිකාවේ ප්‍රකට ප්‍රදර්ශනාගාර හා කෞතුකාගාර රැසක දක්නට ලැබේ.ඇමෙරිකාවේ රාජකීය පවුල ලෙස හැඳින්වෙන කෙනඩි පවු‍ලේ සාමාජිකයෙක් වීම ගැන නිතරම ආඩම්බරයෙන් කතාකරන ජැක් තම සීයාගේ කතා අතරින් වඩාත් ඇළුම් කරන්නේ ඇමෙරිකානුවන් සඳට යෑම අරභයා ඔහු කළ කතාවටය. එහිදී “දැවැන්ත අභියෝග ජීවිතයට දැවැන්ත අවස්ථා උදාකර දෙන බව තම සීයා විස්තර කළ ආකාරය ඔහු සිහිකරයි. රෝස් හා තත්යානා නමින් සොයුරියන් දෙදෙනෙක් ඔහුට සිටින අතරින් රෝස් ටෙලිනාට්‍ය ක්‍ෂේත්‍රයේ ජනප්‍රිය නිළියකි. ඇගේ තවත් විශේෂත්වයක් වන්නේ ඇය තම මියගිය මිත්තනිය වන ජැකී කෙනඩි ඔනාසිස්ට පෙනුමින් බෙහෙවින් සමානවීමය. කළකදී ඩයනා කුමරිය මෙන් ලොවපුරා ජනප්‍රියවූ ජැකී කෙනඩි තම සැමියා වන ජනපතිවරයා ඝාතනයවීමෙන් කළකට පසු ප්‍රකෝටිපති ව්‍යාපා රික ඇරිස්ටෝටල් ඔනාසිස් සමග විවාහ වූවාය. ජැක්ගේ මවගේ එකම සොයුරාවූ ජෝන් කෙනඩි (කනිෂ්ඨ) තම බිරිය සමග පෞද්ගලික ගුවන්යානය පදවාගෙන යමින් සිටියදී සිදුවූ අනතුරකින් මියගියේය. ඔහුද මතුදිනෙක දේශපාලනයට පිවිසීමේ පෙරමග ලකුණු පහල කරමින් සිටියදී මිය ගියෙන් කෙනඩි පවු‍ලේ අනාගත දේශපාලන ආගමනය ගැන බොහෝ දෙනෙකු බලා‍පොරොත්තු තබාගෙන සිටින්නේ ජැක් ගැනය. ජැක් තම සුප්‍රකට මාමණ්ඩියගේ පෙනුමට බෙහෙවින් සමාන බවද බොහෝ පුවත්පත් හා සඟරා දෙදෙනාගේ ඡායාරූප පලකරමින් කියා තිබේ.
පසුගිය දිනයක තම මව සමග රූපවාහිනී සම්මුඛ සාකච්ඡාවකට සහභාගිවූ ජැක් තම ජීවිතයේ බොහෝ වටිනා දෑ හිටපු ජනපති බරක් ඔබාමාගෙන් උගත් බව කියා සිටියේය. කෙනඩි පවුල කළක සිටම ඩිමොක්‍රටික් පාක්ෂිකයින් වන අතර ජෝන් කෙනඩි ජනපති පුටුවට පිවිසියේද ඩිමොක්‍රටික් පක්ෂයෙන් තරගකොට ජය ලබමිනි. මේ අතර පසුගිය මැයි පස්වැනිදා කෙනඩි මුණුපුරා ඉහත සඳහන් කළ දුලබ මට්ටමේ රූපවාහිනී සම්මුඛ සාකච්ඡාවට සහභාගිවෙමින් තම ජීවිතය හා අනාගත බලා‍පොරොත්තු ගැන බොහෝ දේ හෙළිකළේය. මෙම සම්මුඛ සාකච්ඡාව ගැන සඳහන් කරමින් ඇතැම් මාධ්‍ය ජැක්ව හඳුන්වා තිබුණේ “ද නිව් ජේ.එෆ්.කේ.” (අලුත් ජේ.එෆ්.කේ.) යනුවෙනි. තම එකම පුත්‍රයාගේ අනාගත බලා‍පොරොත්තු ගැන සඳහන් කරමින් කැරොලයින් කෙනඩි පවසන්නේ අනාගතයේ  දේශපාලනය වේවා වෙනත් ඕනෑම කටයුත්තක් වේවා තම පුත්‍රයා කැමති කටයුත්තකට ඉඩ දෙන බවය.
 
නිශානි දිසානායක 

Page 8 of 9

IMAGE

රැඳවියකු බැලීමට ආ රූමතියට නියාමකගෙන් 'යෝජනාවක්'

IMAGE 2018 Jan 18 10:53
අනුරාධපුර බන්ධනාගාරයේ රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින සිය ඥාතියකු බැලීමට සහෝදරියක සමග ගිය...
Views - 5218

අයිවෝ ඩෙනිස් රෝහ‍ලේ

IMAGE 2018 Jan 17 10:59
මෙරට බිහි වූ විශිෂ්ටතම සංගීතඥයකු වූ සුනිල් ශාන්තයන්ගේ ගීත උරුමය ඉදිරි පරපුර වෙත රැගෙන ආ...
Views - 3631

ඡන්දය වෙනුවෙන් 'වඩියකට' ඉඩ දෙන්නැයි අපේක්ෂකයෝ ඉල්ලති

IMAGE 2018 Jan 16 10:42
තමන් කිසිදා  කසිප්පු පෙරීම නොකළ නමුත් මැතිවරණය අවසන් වන තුරු පමණක්  කාර්යාලය පිටුපස දින...
Views - 5115

අහඹු ගැබ් ගැනීම් වලකන පෙති ඇසුරුම් 20 අනුරපුර පාසලක

IMAGE 2018 Jan 16 09:59
පාසල ශුද්ධ පවිත්‍ර කිරීමේ ශ්‍රමදානයකට සහභාගී වූ මවකට අනුරාධපුර නගරයේ පාසලක තිබී අහඹු ලෙස...
Views - 5738

අන්තර්ජාල ඡායාරූපයේ සත්‍ය කතාව උදාරි හෙළි කරයි

IMAGE 2018 Jan 15 12:15
ප්‍රවේගය සිනමා පටයෙන් බොහෝ දෙනාගේ ආදරය දිනාගත් උදාරි පෙරේරාගේ තට්ට හිස සහිත ඡායාරූප පෙළක්...
Views - 6554

හොලිවුඩ් නිළියන්ටත් ලිංගික හිංසන

IMAGE 2018 Jan 15 11:49
වසර හැත්තෑ පහක කාලය තුළ අමුතුම ආකාරයේ ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන උළෙලක් පළමු වරට පසුගිය ඉරිදා...
Views - 4051

Please publish modules in offcanvas position.

X

Right Click

No right click