Home    |    Daily Lakbima    |    Sunday Lakbima    |   Rajina |    Archive    |    Advertise With Us    |     Careers Email - [email protected] youtube
lakbima.lk

                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්     

ඉතියෝපියාවේ ඩැනාකිල් පහත්බිම (Danakil Depression) හඳුන්වන්නේ, “අපාය වෙත දොරටුව” නමිනි. එය ඒ තරම්ම උණුසුම් සහ පෘථිවි ගර්භය තුළ පවතින වඩාත් වෙනස්ම වූ ස්ථානයකි. එමෙන්ම එය පෘථිවියෙහි ඇති ඉතාම ආන්තික දේශගුණික කලාපයයි. එහි කහ පැහැ සහ හරිත වර්ණයෙන් ප්‍රභාසම්පන්න වූ ‍පොකුණු තුළින් ඉහළ යන්නේ ඉතා උණුසුම් ජල බුබුළුය. ඒත් සමගම විෂ සහිත ක්ලෝරීන් සහ සල්ෆර් වායූන්ය. 
කෙසේ වෙතත් මේ කියන්නට යන්නේ පෘථිවියේ වඩා උණුසුම්ම වූ ස්ථානයේ ඉතිහාසයේ ප්‍රථම වරට ජීවය සොයා ගෙන ඇති කතා පුවතකි. ඒ, මෑතකාලීනව එම ප්‍රදේශයේ කරන ලද ගවේෂණවල ප්‍රතිඵලයක් වශයෙනි.
අප්‍රිකාවේ හදවත බඳු මෙම පහත්බිම, ලොව වඩාත් දුර බැහැර පිහිටි ස්ථානයකි. එය ඉතියෝපියාවේ උතුරු ඊසානදිග ප්‍රදේශයේ පිහිටි ගිනි කඳු සහිත ප්‍රදේශයක මුහුදු මට්ටමේ සිට අඩි 330 පමණ එරිට්රියා (Eritrea) දේශසීමාව ආසන්නව පිහිටා ඇත. මෙය සැලකෙන්නේ පෘථිවි ගර්භය තුළ පවතින වියළිතම හා උණුසුම්ම ස්ථානය ලෙසිනි. නිතිපතා මෙහි උෂ්ණත්වය සෙල්සියස් අංශක 45 දක්වා ඉහළ යයි. ඉතාම කලාතුරකින් වර්ෂාව ලැබෙන මෙම ප්‍රදේශයේ සාමාන්‍ය වාර්ෂික වර්ෂාපතනය පවතින්නේ මිලි මීටර 100ත් 200ත් අතර ඉතාම අඩු අගයකය. එසේ වුවද ඒ ආසන්න මුහුදු ප්‍රදේශයේ ඉතා ඉහළ ක්‍රියාකාරීත්වයකින් යුතු ගිනි කඳු දෙකක්ද දක්නට ඇත. 
කෙටියෙන්ම පවසන්නේ නම්, ඩැනාකිල් යනු, වෙනමම පිහිටා තිබෙන ග්‍රහලෝකයක් වැනිය. එමෙන්ම එය පෘථිවිය තුළ තිබෙන අද්විතීය ස්ථානයකි. එහි ජලය, ඇමෙරිකා එක්සත් ජනපදයේ යෙලෝස්ටෝන් වැනි කලාපවලටත් වඩා උණුසුම් සහ ආම්ලික බවකින් යුක්තය. මෙම ප්‍රදේශයේ මුහුදු මට්ටමේ ජලයෙහි PH අගය 0.2ක් පමණි. එය සාමාන්‍ය ස්වභාවික පරිසරයක තිබිය නොහැකි තත්ත්වයකි. කෙසේ වෙතත් මේ ප්‍රදේශය ආශ්‍රිතව අෆාර් ජනතාව ජීවත් වන බව විද්‍යාඥයෝ පවසති. 
විද්‍යාඥයන් ඩැනාකිල් පහත්බිම ගැන මුලින්ම අධ්‍යයනය කරන්නට පටන් ගන්නේ 2013 දීය. ඔවුන් පෙන්වා දෙන පරිදි, එකී ගවේෂණ කාර්යය සාමාන්‍ය ගවේෂණවලට වඩා තරමක් අභියෝගාත්මකය. ඔවුන් පවසන්නේ ගවේෂණ කාර්යය ආරම්භයේ සිටම, එය විශ්වාස කළ නොහැකි තරම් ළඟා වීමට අපහසු ස්ථානයක් බවය. 2012 දී යුරෝපීය සංචාරක පිරිසක්ද මෙම ප්‍රදේශයේදී පැහැරගෙන ගොස් ඝාතනය කිරීමකටද ලක්වී ඇත. එම නිසා ඩැනාකිල් වෙත යන සෑම අවස්ථාවකදීම තම ආරක්ෂාව සඳහා හමුදා පිරිස් සමග අනුබද්ධ වීමට සංචාරකයන්ට සිදුවේ.
ඉතාලියේ බොලොන්ඥා විශ්වවිද්‍යාලයේ බාබරා කැවලාසි මහත්මිය  (Barbara Cavalazzi) පවසන පරිදි, මෙම ප්‍රදේශයේ පියවර තැබිමේදී වඩාත් කල්පනාකාරී විය යුතුය. “මන්ද යත්, සෙල්සියස් අංශක 100ක උෂ්ණත්වයකින් යුතු හා අතිශයින්ම ආම්ලික ජලයට වැටුණහොත් ඔබ මුහුණ දෙන්නේ ඉතා ම අසීරු ගැටලුවකට. රෝහලකට යන්නත් හුඟක් දුර යන්න ඕන. එමනිසා මම නිතරම අෆාර් මාර්ගෝපදේශකයෙකු රැගෙන යාමට අමතක කරන්නේ නැහැ. යා යුත්තේ කොහෙටද?, නැවතිය යුත්තේ කොහේද? කියලා ඔවුන් හොඳින්ම දන්නවා” බාබරා පවසන්නේය.
ඒ වගේම මුල් කාලීනව පර්යේෂකයන් මුහුණ දුන් ඊළඟ ගැටලුව වූයේ, පර්යේෂණ සඳහා ලබා ගන්නා සාම්පල ගබඩා කර ගැනීමය. ඒ සඳහා ශීතකරණ හෝ රසායනික ද්‍රව්‍ය ගෙනයාමටද නොහැකි විය. කෙසේ වෙතත් 2016දී, පර්යේෂකයන්  මෙහි ජීවය ඇත්දැයි සොයා බැලීම සඳහා කෙරෙන සිය පර්යේෂණවලට අදාළව අවසාන සාම්පල ලබා ගෙන ඇත. එහි තටාකවල උෂ්ණත්වය හා ඩ් අගයද මැන ඇත. ඊට අමතරව නැවතත් එහි සාම්පල ලබා ගැනීම සඳහා මේ වසරේ ජනවාරි මාසයේද  විද්‍යාඥයන් මෙම ප්‍රදේශයට ගොස් ඇත.
අවසානයේ මේ සියලු සාම්පල පරීක්ෂාවෙන් අනතුරුව, ඩැනාකිල්හි ජීවය තිබෙන වග,  සනාථ කරගැන්මට කවලාසි සහ ඇයගේ සගයන්ගේ රසායනාගාර පරීක්ෂණ සමත් වන්නේය. ඒ බව ඔවුන් නිශ්චිතවම තහවුරු කර ගන්නේ මේ වසරේ මාර්තු මාසයේදීය. ආම්ලික පරිසර පද්ධතියක් තුළ ජීවය ඇතැයි සම්පූර්ණයෙන් තහවුරු කළ ප්‍රථම අවස්ථාවද මෙය වන්නේය. එමෙන්ම විද්‍යාඥයන්ගේ තහවුරු කිරීම අනුව, ජීවය සොයා ගත හැකි ඉතාම ආම්ලික ස්ථානයද මෙයයි. මීට පෙර එවැනි ස්ථානයක් වාර්තා වී ඇත්තේ, ස්පාඤ්ඤයෙන්ය. එනම් රියෝ ටින්ටෝ ස්ථානයයි. එහි PH අගය 2 ලෙස සටහන් වී තිබිණි.
 
ගයාත්‍රි ගීගනආරච්චි

ශුද්ධවන්තියක් වුණු ශාන්ත කැතරින් ලේබරි මිය ගිහින් තියෙන්නේ 1876 අවුරුද්දේ. මේ වෙද්දී ඇගේ සිරුර ප‍්‍රංශයේ පැරිස් නුවර කෞතුකාගාරයක තැන්පත් කරලා තියනවා. පුදුමයට කාරණාව තමයි අවුරුදු 141 ක් ගියාට පස්සෙත් ඇගේ සිරුර ඉතාම හොඳින් දැක ගන්න පුළුවන් තත්ත්වයෙන් තිබීම. මේ විදියට අවුරුදු ගණනාවක් මළ සිරුරක් දිරා පත් නොවී තිබෙන්න හේතු වෙන්නේ එය කල් තබා ගන්න යෙදූ විවිධ රසායනික ද්‍රව්‍ය කියලා ඒ පිළිබඳ විශේෂඥයන් කියනවා. නමුත් ඇය ශාන්තුවරියක් වීමත් මෙයට හේතුවක් කියලා කියන අයත් ඉන්නවා.

රුමේනියාවේ ඉතා ජනප්‍රිය ප්‍රදේශයක් වන ට්‍රාන්සිල්වේනියාව නම ඇසූ පමණින් අපට මතක් වන්නේ, ලොමු දැහැගන්වන ඩ්‍රැකියුලාව ය. ඒ ‍ලේ උරා බොන්නෙකු ලෙසින් ප්‍රකට ඩ්‍රැකියුලාගේ රට ට්‍රාන්සිල්වේනියාව වන බැවිනි. එහෙත් අප මේ කියන්නට යන්නේ එවැනි ලොමු දැහැගැන්වෙන කතාවක් පිළිබඳව නොවේ. විවිධ ප්‍රශ්න ගැටලු හමුවේ දෙදරා යන්නට තැත් දරන තම පවුල් සංස්ථාවන් යළි ශක්තිමත් කරගනු වස්, ඔවුන් විසින්ම නිර්මාණය කර ගත් අපූරු පිළියමක් ගැන කියැවෙන සුබවාදී කතාන්දරයක් පිළිබඳව ය.
මේ අපූරු පිළියම නිර්මාණය කර ගත්තෝ ජීවත් වන්නේ, ට්‍රාන්සිල්වේනියාවේ බියර්ටන් ගම්මානයේය. සුන්දර ගම්මානයක් ලෙසින් ප්‍රකට බියර්ටන් හි මිනිසුන් තම වැසියන් දික්කසාදයෙන් බේරා ගන්නට තෝරා ගෙන ඇති මේ අපූරු විසඳුම ද, ඒ ගම්මානය තරම් ම සුන්දරය. එසේ කියන්නේ, වසර තුන්සියයක් පුරා, මේ විසඳුම තුළින් ද පිළියම් සෙවිය නොහැකිව දික්කසාද වී ඇත්තේ, එකම එක යුවළක් පමණක් වන බැවිනි.
ඔවුන් මෙය හඳුන්වන්නේ, “විවාහ බන්ධනාගාරය” නමිනි. කවුරුන් හෝ යුවළකට කුමක් හෝ හේතුවක් පදනම් කර ගනිමින්, එකිනෙකාගෙන් වෙන්ව දික්කසාද වන්නට ඕනෑ වුවහොත්, මෙම “විවාහ බන්ධනාගාරයේ” බන්ධනාගාරගත වන්නට සිදු වේ. ඒ, සති හයක කාලයක් සඳහාය. බැලූ බැල්මට එය ඉතා නපුරු සිහිනයකැයි ඔබට සිතෙන්නට පුළුවන. එහෙත් වාර්තා වන අන්දමට, ට්‍රාන්සිල්වේනියාවේ මේ අපූරු විවාහ උපදේශන කටයුත්ත ඉතා ඵලදායකය.
විවාහ බන්ධනාගාරය පිහිටා ඇත්තේ, බියර්ටන් හි දේවස්ථානයක් තුළය. දේවස්ථාන භුමිය තුළ, ඉතා ආරක්ෂිත පවුරුවලින් වටවූ මෙම ස්ථානය මුළුතැන්ගෙයකට වඩා තරමක් විශාල කාමරයක් සහිත කුඩා ගොඩනැගිිල්ලකි. මේ කාමරය ඉතා පහත සිවිලිමකින් සහ ඝන බිත්තිවලින් යුක්තය. එහි ඇත්තේ, එක් මේසයක්, පුටුවක්, ඇඳක්, තනි කොට්ටයක් සහ එක් බ්ලැන්කෙට්ටුවක් පමණකි. එබැවින්  දික්කසාද වන්නට පෙර, එහි සති හයකට සිරගත වන්නට සිදු වන ඕනෑම යුවළකට එහි වන දෑ එකිනෙකා අතර සහයෝගයෙන් බෙදා හදා ගන්නට සිදුවේ. ඒ අතරේ එකිනෙකාට ඇති ගැටලු ගැන කතා කරන්නට ඔවුන්ට අවස්ථාව සැලසේ. 
ට්‍රාන්සිල්වේනියානු ආගමික පදනම තුළින්, එහි වැසියන්ගේ ජීවිතයේ බොහෝ අංශ පාලනය කළ අතර, ඇතැම් අවස්ථාවල දී පමණක් දික්කසාදයට අවසර ලබා දී තිබිණි. බිඳී යන්නට තැත් දරන බොහෝ පවුල් යළි එක්තැන් කරන්නට ඔවුහු හැමවිටම උත්සාහ දරා ඇත. එබැවින් දික්කසාද වන්නට සිතන යුවළකට ඕනෑම අවස්ථාවක කැමැත්තෙන් ම තම දේවස්ථානයේ දේවගැතිවරයා හමුවන්නට හැකි අතර, එකිනෙකාගෙන් වෙන් වීමට ප්‍රථම, එකිනෙකා වෙනුවෙන් තවදුරටත් අනුගත විය හැකි දැයි පරීක්ෂා කර බලන්නට, මෙම බන්ධනාගාරයට යැවෙයි.
“දේව ආශිර්වාදය ලත් මෙම ගොඩනැගිිල්ලට අප ස්තූතිවන්ත විය යුතුයි. ඉකුත් වසර තුන්සියයට ම එක් යුවළක් පමණයි, මෙහි පැමිණීමෙන් අනතුරුවත්, දික්කසාද වන්නට තීරණය කළේ.” එහි වත්මන් පූජකවරයා වන උල්ෆ් සිග්ලර් පවසන්නේය. පූජකවරයා පවසන්නේ, පැරණි ක්‍රිස්තියානි අණපනත්වලට අනුව,  සිරගෙවල් යනු, සමාජය යහපත් ආකාරයෙන් පවත්වාගෙන යාම සඳහා ඇති එක් ක්‍රමවේදයක් පමණක් බවය. 
ඔහු පෙන්වා දෙන පරිදි, මෙම දේවස්ථාන භූමිය අවට ජීවත් වන බොහෝ පිරිසක් සිය ජීවිකාව කරගෙන ඇත්තේ ගොවිතැන ය. යම් යුවළකට දික්කසාද වන්නට ඕනෑ වී, විවාහ බන්ධනාගාරයේ සිරගත වන්නට සිදු වුවහොත් තම ජීවිකාව කරගෙන යන්නට ද නොහැකි වේ. එබැවින් ඔවුන් කාමරයක් තුළ මෙලෙස සිරගතව ජීවත් වන කාලය තුළ ඇතිවන ආගමික බලපෑමත්, ආදායම් මට්ටම පහළ යාමත් තුළින්, යළි එකට ජීවත් වීමේ ඕනෑකම ඔවුන් තුළ ඇති කරවන බව සිග්ලර් ගේ අදහස යි. 
“සමහර විට ඔවුන් යළි එකට ජීවත් වීමට තීරණය කරන හේතුව එකිනෙකා අතර වන ආදරයම නොවිය හැකියි. එය, තම ජීවනෝපාය කටයුතු සාර්ථක කර ගැනීම සඳහා එකට වැඩ කිරීමේ අවශ්‍යතාව විය හැකියි.  කොහොම වුණත්, යම් යුවළකට සති හයක් මෙහි සිරගත වන්නට සිදු වුවහොත්, ජීවත් වීම ගැන ඔවුන්ට විවිධ ගැටලු පැන නගිින්නට පුළුවන්. ඒ නිසා ඒ පීඩනය තුළින් ඔවුන් නැවත එකට ජීවත් වෙන්න තීරණය කරනවා.” සිග්ලර් පූජකවරයා පවසන්නේය.
ඔහු පෙන්වා දෙන පරිදි, වර්තමානයට පවා මෙම විවාහ බන්ධනාගාර සංකල්පය තුළින් බොහෝ පාඩම් උගත හැකිය. වර්තමානයේ දී එකිනෙකා වෙනුවෙන් ගත කරන්නට ඇති කාලය ඉතා සීමිතය. එබැවින් අපි බොහෝ දෙනා තනිකමෙන් පීඩා විඳින්නෙමු. දේවගැති සිග්ලර් පවසන්නේ, එබැවින් අපි එකිනෙකා කතා බහ කිරීම තුළින් අප අතර වන සබඳතා කවරාකාරදැයි අපටම සොයා ගත හැකි බවය.
ගයාත්‍රි ගීගනආරච්චි

නවතම සමීක්ෂණයකට අනුව සෙල්ෆි ඡායාරූප ගැනීම නිසා වැඩිම දෙනෙක් ජීවිතය අහිමි කරගන්නා රට ඉන්දියාව බව සොයාගෙන තිබේ. 2014 මාර්තු මාසයේ සිට 2016 සැප්තැම්බර් දක්වා ඉන්දියාවේ අනතුරුවලින් සිදු වූ මරණ ප්‍රමාණයෙන් සියයට හැටක්ම සෙල්ෆි ඡායාරූප ගැනීමට ගොස් සිදු වූ බව මෙහිදී සොයාගෙන තිබිණි. තමාගේම ඡායාරූපයක් ජංගම දුරකථනයෙන් ගැනීම සෙල්ෆියක් ලෙස හැඳින්වෙයි. මෙම සමීක්ෂණය ඇතුළත් වාර්තා හඳුන්වා ඇත්තේ 'මී, මයිසෙල්ෆ් ඇන්ඩ් මයි කිල්ෆි “ලෙසටය. සෙල්ෆි යන්න කිල්ෆි යන්න ලෙස හඳුන්වා ඇත්තේ ඉන් සිදුවන මරණය ගැන සලකා බැලීමෙනි. සෙල්ෆි මරණ වර්ගීකරණය කොට ඒවායින් සිදු වන මරණ වළක්වා ගන්නේ කෙසේදැයි තීරණය කිරීම සඳහා මෙම සමීක්ෂණය සිදුකොට වාර්තාවක් සෑදීමට බලධාරීන් පියවර ගෙන තිබිණි. කානගී මෙලන් විශ්වවිද්‍යාලය හා නවදිල්ලියේ පිහිටි සන්නිවේදන කටයුතු සඳහා වන ඉන්ද්‍රප්‍රස්තා ආයතනය එක්ව මෙම සමීක්ෂණය සිදුකරන ලදී. වසර එකහමාරක කාලයක් තුළ සෙල්ෆි නිසා ලොව පුරා වාර්තා වූ මරණ එකසිය විසිහතෙන් හැටහතක්ම සිදුව ඇත්තේ ඉන්දියාවේ බව සොයාගන්නා ලද්දේ මෙම සමීක්ෂණයෙනි.
මේ තත්ත්වය මේ වනවිට කෙතරම් භයානක වී ඇතිද යතහොත් මුම්බායේ පිහිටි සෙල්ෆි ගැනීමට ගොස් මරණ වැඩිම ගණනක් වාර්තා වූ ස්ථාන පහළොවක් නම් කොට ඒවා සෙල්ෆි ගැනීම තහනම් ස්ථාන ලෙස හැඳින්වීමට මුම්බායි ‍පොලීසිය සූදානම් වෙයි. පසුගිය ජූනි විසිඅට වැනිදා සෙල්ෆියක් තම මිතුරියන් සමග ගැනීමට මැරයින් ඩ්‍රයිව් ලෙස හැඳින්වෙන මුහුදුබඩට ගියා. මුම්බායේ දහහත් හැවිරිදි යුවතිය කගේ මරණයෙන් පසු සෙල්ෆි ඡායාරූප ගැනීම සම්බන්ධයෙන් ජංගම දුරකථන හරහා අනතුරු ඇඟවීමේ පණිවුඩයක් යැවීමටද ‍පොලීසිය කටයුතු කොට තිබුණි. ”සෙල්ෆියක් ගැනීම ඔබේම ජීවිතය උදුරාගැනීමට ඉඩ හැරිමක් නොකරන්න” යනුවෙන් එම පණිවුඩයෙන් කියැවිනි. ප්‍රීති පිසේ නම් ඇය මියගියේ සෙල්ෆිය ගැනීමට නැගගත් කෙටි තාප්පය මතට වේගයෙන් ඇදී ආ මුහුදු රළකට ඇදීයාමෙනි.
මෑතකදී ඉන්දියාවෙන් වාර්තා වූ හා වඩාත් ප්‍රසිද්ධියක් ලැබූ සෙල්ෆි මරණ අතරින් එකක් වන්නේ මීනක්ෂි රාජේශ් නම් විසිඑක් හැවිරිදි ඉංජිනේරු සිසුවියගේ මරණයයි. බන්ද්‍රා හි පිහිටි මුහුදට ආසන්නයේ තාප්පය මතට නැග තම මව හා සොයුරිය සමග සෙල්ෆියක් ගැනීමට ගිය ඇය පය පැකිලී මුහුදට වැටී මිය ගියාය. ඒ 2017 මැයි මාසයේදීය. 2016 මැයි මාසයේදී තරානම් අන්සාරි නම් දහඅට හැවිරිදි සිසුවියද මියගියේ එම ස්ථානයේදීම තම මිතුරියන් සමග සෙල්ෆි ඡායාරූපයක් ගැනීමට යාමේදී මුහුදට වැටීමෙනි. මේ සම්බන්ධයෙන් කතාකරමින් ඉන්දියාවේ නියෝජ්‍ය ‍පොලිස් කොමසාරිස් පරම්ජීත් දහියා පවසන්නේ මුහුදු රළ උස්ව නැගෙන තැන්වල සෙල්ෆි ගැනීමෙන් ජනතාව වළක්වාගැනීමට ‍පොලිස් ආරක්ෂාව එම ස්ථානවලට ලබාදී ඇති බවය.
“කාලගුණය අයහපත්වුණාම මුහුද ළඟට ගිහින් සෙල්ෆි ගන්න එපා කියලා අපි නිතරම ජනතාව දැනුවත් කරනවා.  අපි විශේෂයෙන් ආරක්ෂාවට යොදවා තියෙන ‍පොලිස් නිලධාරීන්ට උපදෙස් දීලා තියෙනවා අනතුරුදායක තැන්වල ඡායාරූප ගන්න ඉඩ දෙන්න එපා කියලා.” ඔහු කියයි.
ඉන්දියාවෙන් පිට මෑත කාලයේදී භයානක සෙල්ෆි ගැනීම් ගැන විශේෂ පුවතක් අසන්නට ලැබෙන්නේ ඇමෙරිකාවෙනි. ඒ වලසුන් සමග සෙල්ෆි ගැනීමය. බෙයාර් සෙල්ෆීස් ලෙස හැඳින්වෙන මෙම ඡායාරූප වලසුන් ගැවසෙන තැන්වල ගැනීම කෙතරම් දරුණු වූවාද කියතොත් ඇමෙරිකාවේ වනජීවී සේවය ඒ සම්බන්ධයෙන් අනතුරු ඇඟවීමක් නිකුත් කරන්නට පියවර ගත්තේය. ඒ අතරේදීත් ඇතැමුන් වලසුන්ට උවමනාවට වඩා ළංවී ඡායාරූප හා වීඩියෝ ගන්නා බව වනජීවී නිලධාරීහු කියති. වලසුන් පසුබිමේ සිටියදී අනතුරුදායක ලෙස ඡායාරූප ගැනීමට බොහෝ දෙනෙක් පෙළඹෙන බව ඔවුහු වැඩිදුරටත් කියති. 
 
නිශානි දිසානායක

පෘථිවිය යනු පුදුමාකාර සංසිද්ධීන්වලින් ගහන වූ අපූර්ව ස්ථානයකි. පෘථිවිය අපූර්ව ස්ථානයක් බවට පත්ව ඇත්තේ එහි වාසය කරන ජීවීන් නිසා පමණක්ම නොව ස්වභාව ධර්මය විසින් නිර්මාණය කර ඇති විවිධ ස්ථාන නිසා ද පෘථිවිය පුදුමාකාර ස්ථානයක් බවට පත් වී තිබේ. එවන් එක් ස්ථානයකි බර්මියුඩා ත‍්‍රිකෝණය. අප‍්‍රිකානුවන් මෙම ස්ථානය හඳුන්වන්නේ යක්ෂයාගේ ත‍්‍රිකෝණය නමිනි. එයට හේතුව මෙම ස්ථානයෙන් ගමන් කරන නැව්, ගුවන් යානා ආදිය සුන්බුන් පවා සොයාගත නොහැකි වන ආකාරයට අතුරුදන් වීමයි. 
අත්ලාන්තික් සාගරයේ ෆ්ලොරිඩාව, බර්මියුඩාව සහ පුවටෝ රිකෝ දූපත් අතර ත‍්‍රිකෝණයක් සලකුණු කළහොත් එම ත‍්‍රිකෝණයට මැදිවන ප‍්‍රදේශය බර්මියුඩා ත‍්‍රිකෝණය ලෙස හඳුන්වා තිබේ. එය මුහුදු සැතපුම් 440000 පමණ වන ප‍්‍රදේශයකි. නිවැරදිවම හඳුන්වා දෙන්නේ නම් ඉන්දියාවේ රාජස්ථාන්, මධ්‍ය ප‍්‍රදේශ සහ මහාරාෂ්ඨ යන ප‍්‍රාන්ත තුන එකට එක් වූ විට එය බර්මියුඩා ත‍්‍රිකෝණයේ ප‍්‍රමාණයට සමාන බව පැවැසේ.
මෙම ප‍්‍රදේශය හරහා ගමන් ගන්නා නැව්, අහස් යානා ආදිය එක්වරම අභිරහස් ආකාරයෙන් අතුරුදන් වන බව දැන ගන්නට ලැබී මේ වනවිට අවස 100 ඉක්මවයි. එමෙන්ම මාලිමා යන්ත‍්‍ර පවා මෙම ස්ථානය අවට දී නිසි ලෙස ක‍්‍රියා කරන්නේ නැත. මෙහි විශේෂත්වය වන්නේ මෙලෙස අතුරුදන්වන නැව්වල හෝ අහස් යානාවල සුන්බුන් පවා කිසිදා සොයා ගන්නට 
නොහැකි වීමයි. ඒවා මුහුදු පත්ලේ ගොඩ ගැසී ඇති බවක් නවීන තාක්ෂණයට පවා සොයා ගත හැකිව නැත. මෙසේ අතුරුදන්වන නැව් සහ ගුවන් යානා ප‍්‍රමාණය ගණනය කළ විට පසුගිය වසර 100 තුළ එක් දිනකට ගුවන් යානා 4ක් සහ නැව් හෝ බෝට්ටු 20 බැගින් මෙම ස්ථානයේ දී අතුරුදන්ව ඇති බව මේ පිළිබඳව පර්යේෂණය කරන පර්යේෂකයන්ගේ අදහසයි. එමෙන්ම ගතවූ අවුරුදු 100 තුළ මෙම ස්ථානයේ දී අතුරුදන් වූ යානාවල සිටි නියමුවන් සහ නාවිකයන් ගණන දහස ඉක්මවයි.
සමහර ගුවන් යානාවල සහ නැව්වල ගමන් කළ නියමුවන් සහ කපිතාන්වරු බර්මියුඩා ති‍්‍රකෝණය හරහා ගමන් කිරීමේ දී දක්නට ලැබුණු පුදුමාකාර සිදුවීම් ගැන ප‍්‍රධාන පාලක මැදිරියට රේඩියෝ පණිවුඩ මගින් දැනුම් දුන් ආකාරයන් පිළිබඳව ද වාර්තා තිබේ. නමුත් ඒ සමගම පාලක මැදිරි සමග තිබූ සබඳතා බිඳ වැටීම නිසාත් ඉන් පසු කිසිදා ඒ අයව සම්බන්ධ කරගත නොහැකි වූ  නිසාත් සත්‍ය ලෙසම එහි සිදු වූයේ කුමක්ද යන්න පිළිබඳව කිසිවෙකු නොදනිති. බර්මියුඩා ති‍්‍රකෝණයේ දී අතුරුදන් වූ බොහොමයක් නැව්වල සිටි නාවිකයන් සහ ගුවන් යානාවල සිටි නියමුවන් අතුරුදන් වීමට මොහොතකට පෙර ප‍්‍රධාන පාලක මැදිරි සමග හුවමාරු කරගත් පණිවිඩ බොහෝ දුරට එක සමාන විණි.
 ‘‘මා ඉදිරියෙන් මහා දැවැන්ත කළුපාට වළාකුලක් පෙනෙනවා. ඒකෙන් මුළු අහසම වැහිලා ගිහින් තියෙන්නෙ. හිතා ගන්නවත් බෑ ඒක මොකක්ද කියලා. දැන් ඒක ටික ටික අපි ඉන්න පැත්තට ළං වෙනවා’’ යනුවෙන් සමහරු පවසා තිබිණි. තවත් අය ‘‘මගේ ඉදිරි මාර්ගය අවහිරයි. කිසිම දෙයක් පෙනෙන්නේ නැහැ. ලොකු කළු පාට යමක් අපි දෙසට එනවා. වළාකුලක් වගේ හැඩයක් තියෙනවා. ඒත් ඒක වළාකුලක් නෙවෙයි’’ මෙලෙස පැවසූ වහාම එම නැව් සහ ගුවන් යානා සමග තිබූ පණිවිඩ හුවමාරුව නතර වී තිබිණි. එමෙන්ම රේඩාර් පථයෙන් පවා ඒවා අතුරුදන් වී තිබිණි.
විද්‍යාඥයන් බර්මියුඩා ත‍්‍රිකෝණයේ අභිරහස පිළිබඳව විවිධ මත ඉදිරිපත් කර තිබේ. බර්මියුඩා ත‍්‍රිකෝණයට අයත් ප‍්‍රදේශයේ මුහුද යට මහා දැවැන්ත කාන්දම් බලයක් ඇති බවත් ඒ කාන්දම් බලයට මහා විශාල නැව් සහ ගුවන් යානා ඇදී යන බවත් සමහරු පවසති. නමුත් මෙය ඔප්පු කර ගන්නට මේ දක්වා හැකි වී නැත.
 බර්මියුඩා ත‍්‍රිකෝණය ප‍්‍රදේශයේ මුහුද යට මීතේන් වායු නිධියක් පවතින බවත් මීතේන් වායුවේ බලපෑම නිසා නැව් සහ ගුවන් යානා ගිල්වා දමන බවටත් තවත් මතයක් තිබේ. නමුත් එසේ ගිල්වා දමා ඇති ගුවන් යානාවල හෝ නැව්වල සුන්බුන් බර්මියුඩා ති‍්‍රකෝණයේ කොහේ හෝ ස්ථානයක ඇති බව මෙතෙක් සොයා ගෙන නැත.
මෙම ප‍්‍රදේශයේ එක්වරම ඇතිවන මහා විශාල දියවැල් නිසා නැව් සහ ගුවන් යානා මුහුද තුළට ඇද ගන්නේ යැයි විඥයන් පවසති. නමුත් මේ හරහා ගමන් ගෙන අතුරුදන් වූ කිසිදු නැවක හෝ ගුවන් යානයක සිටි කිසිම නාවිකයෙකු හෝ ගුවන් නියමුවෙකු දියවැල් පිළිබඳව සඳහන් කර නොතිබීම පුදුමයට කරුණකි. ඔවුන්ගෙන් වැඩි පිරිසක් පවසා තිබුණේ කළු පැහැ දැවැන්ත වළාකුලක් වැනි දෙයක් ගැන පමණි. අනිත් කාරණය නම් දියවැල් නිසා මුහුද යටට යන නැව් හෝ ගුවන් යානා එක පාරටම රේඩාර් පථයෙන් ඉවත් වන්නේ නැත. ඒ නිසා මෙම මතයත් මේ දක්වා ඔප්පු වී නැත.
කෙසේ වුවද සත්‍ය ලෙසම බර්මියුඩා ත‍්‍රිකෝණයේ දී සිදුවන විපර්යාසය පිළිබඳව ඔප්පු කර ගත හැකි සාක්ෂි පසුගිය මාස කිහිපය තුළ විද්‍යාඥයන්ට හමු විය. ඒ බර්මියුඩා ත‍්‍රිකෝණය අවට අහසේ තිබෙන හෙක්සෝජන් නම් වූ වළාකුළු 
වර්ගය යි. ඒවා පැයට කිලෝ මීටර් 170ක පමණ වේගයෙන් සුළං නිර්මාණය කරන්නට සමත් ය. මේවා වායු බෝම්බ ලෙස ද හඳුන්වනු ලබයි. මෙවැනි වළාකුලකින් නිර්මාණය වුණු සුළඟකට හසු වුවහොත් කොපමණ බරින් වැඩි දෙයක් වුව ද එක සැණින් සුණුවිසුණු වී යන බව සොයාගෙන තිබේ. මේ නිසා විඥයන් පවසන්නේ බර්මියුඩා ත‍්‍රිකෝණය අවට ප‍්‍රදේශයේ පවතින හෙක්සෝජන් වළාකුළු දැවැන්ත නැව් සහ ගුවන් යානා ක්ෂණිකව ඇද ගන්නා අතර ඒවා පැයට කිලෝමීටර් ලක්ෂ ගණනට වේගයෙන් කරකවා මුහුදු පත්ල වෙත ඇද ගෙන ඇති බවත් සමහර විට එම වේගයට ඔරෝත්තු දිය නොහැකි මෙම යානා සුණුවිසුණු වී යන්නට ඇති බවත්ය.
 
දුලාංජලී මුතුවාඩිය

සුපිරි නළු බ්‍රැඩ් පිට් යුද සෙනෙවියෙකු ලෙස රඟපාන ඔහුගේ අලුත්ම චිත්‍රපටය වන වෝ මෙෂින් වෙනුවෙන් පූර්විකාවක් බි.බි.සි. වබේ අඩවියට ලියන ප්‍රකට පාකිස්තානු මාධ්‍යවේදි අහමඩ් රෂීඩ් යුදමය පසුබිමක් සහිත මෙම චිත්‍රපටය හඳුන්වා ඇත්තේ සියලු දෙනා විසින් නැරඹිය යුතුම චිත්‍රපටයක් ලෙසිනි. මෙයට පසුබිම් වන්නේ ඇමෙරිකාව වෙනත් රටක අර්බුදයකට මැදිව යුද ආධාර ලබාදුන් දීර්ඝතම අවස්ථාව වන වසර දහසයක් පවතින ඇෆ්ගනිස්ථානයේ යුද්ධයයි. වත්මන් ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් පසුගියදා තවත් හමුදා ඛන්ඩයක් ඇෆ්ගනිස්ථානය වෙත පිටත්කර යැව්වේ මේ යුද්ධයට තව දුරටත් ඇමෙරිකාව මැදිහත් වන බව සනිටුහන් කරමිනි. ඇෆ්ගනිස්ථානයට ඇ ෙමරිකානු භටයින් පිටත්කර යැවීම ඇරඹුණේ හිටපු ජනපති ජෝර්ජ් බුෂ්ගේ කාලයේදීය. නිව්යෝක් ප්‍රහාරයෙන් පසු ඇෆ්ගනිස්ථානයට ඇමෙරිකාව මැදිහත් වූ ආකාරය දැක්වෙන චිත්‍රපට, ටෙලි නාට්‍ය හා වාර්තාමය චිත්‍රපට කෙතරම් නිර්මාණය වුවද විචාරකයන්ට අනුව වෝ මෙෂින් තරම් මේ මැදිහත්වීම, එහි අතුරුඵල සහ තවමත් ඇෆ්ගනිස්ථානයෙන් ජිහාද් ක්‍රියාකාරකම් තුරන්කිරීමට ඇමෙරිකාව අ‍පොහොසත්වීම ග්‍රහනය කරගැනීමට වෙනත් නිර්මාණයක් සමත්වී නැත. මීට පෙර යාන්තමින් හෝ එතැනට ළංවූ නිර්මාණයක් ලෙස ඔවුන් සලකන්නේ 2008 වසරේ තිරගත වූ හා ඔස්කාර් සම්මාන කිහිපයක් දිනූ ද හර්ට් ලොකර් චිත්‍රපටයයි.
සාම්ප්‍රදායික නමක් තිබිම හේතුවෙන් මුලදී වැඩි අමුත්තක් නොපෙනෙන වෝ මෙෂින් පසුගිය වසර දහසයටම නොවුනු ලෙස ඇමෙරිකාව තමා වැඩි යමක් නොදන්නා රටවල්වල යුද්ධයට මැදිහත් විය යුතුද යන්න ප්‍රශ්න කරන අතර අදාල රටේ සාමාන්‍ය ජනතාවගේ ප්‍රසාදය දිනාගන්නා ආකාරය, යුද්ධය නොව මෙහිදී ඇමෙරිකාව උත්සාහ කරන්නේ ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කිරීම බව දේශීය ජනතාවට ඒත්තු ගැන්විය යුතු ආකාරය මෙන්ම දේශීය ජන සමාජය තුවක්කු කටවල් හරහා වටහාගැනීමට ඇමෙරිකාවට කිසි දිනකත් හැකිවෙයිද යන කරුණු ප්‍රබල ලෙස සාකච්ඡා කරයි. වෝ මෙෂින් අධ්‍යක්ෂක හා තිර රචකයා වන්නේ ඔස්ට්‍රේලියානු ජාතික ඩේවිඩ් මිචොඩ් ය. ඇමෙරිකානු ඩොලර් මිලියන හැටක වියදමින් යුතු චිත්‍රපටය මයිකල් හේස්ටින්ග්ස්ගේ ද ඔපරේටර්ස් නම් නවකතාව ඇසුරින් නිර්මාණය වී තිබේ. විටෙක අඳුරු හා විටෙක පැහැපත් චිත්‍රපටය විටෙක සංවේදී වන අතර විටෙක හාස්‍යය උපදවයි. මේ සියල්ල අතරේ ඇමෙරිකාව අනුන්ගේ රටවලට හා යුද්ධවලට අත‍පොවන ආකාරය ගැන රසිකයාට මනා අවබෝධයක් ලබාදෙයි.
වෝ මෙෂීන් චිත්‍රපටයට ප්‍රධාන වශයෙන් පසුබිම් වන්නේ ඇෆ්ගනිස්ථාන යුද්ධයේ සැබෑ තත්ත්වය අනාවරණය කරමින් අමරිකානු හමුදාවේ එවකට ඇෆ්ගනිස්ථානය භාර යුද හමුදා ජනරාල්වරයා වූ ස්ටැන්ලි මැක්ක්‍රිස්ටල් එවකට ජනපති බරාක් ඔබාමා දැඩි ලෙස විවේචනය කරමින් සුප්‍රකට රෝලින් ස්ටෝන් සඟරාවට ලබා දුන් සම්මුඛ සාකච්ඡාවය. මහත් ආන්දෝලනයට ලක්වූ එම සම්මුඛ සාකච්ඡාව ඇසුරින්ම ලියැවුණු මයිකල් හේස්ටින්ග්ස්ගේ ‍පොතෙහි මෙම අමිහිරි යුද්ධයේ තවත් කතා අඩංගු වෙයි. චිත්‍රපටය සඳහා සම්මුඛ සාකච්ඡාව මෙන්ම ‍පොතද උපයෝගි කොටගෙන තිබේ. ජනරාල් මැක්ක්‍රිස්ටල්ට ගෙදර යන්නට මගපෑදු සිදුවීම් දාමය චිත්‍රපටයෙන් දිගහැරෙයි. බ්‍රැඩ්පිට් මෙහි රඟපාන්නේ චිත්‍රපටයේදි ජනරාල් ග්ලෙන් මැක්මැහොන් ලෙස හැඳින්වෙන සැබෑ ජිවිතයේ ජනරාල් මැක්ක්‍රිස්ටල්ගේ චරිතයයි. තමා යටතේ සිටි සෙබළුන්ගේ දැඩි ආදරයට ලක්වූ ජනරාල් මැක්ක්‍රිස්ටල්ගේ විශේෂත්වය වූයේ නිතර විහිළුවෙන් සිටින ඔහු සැබැවින්ම අතිශුර යුද සෙනෙවියෙකු වුවද ඒ බව ඔහුගේ හැසිරීමෙන් නොපෙනීමය. නිතර විහිළු තහළුවෙන් කල් යවන නමුත් නූතන යුද්ධයන් ජයගත හැකි හා නොහැකි ක්‍රම ගැන තියුණු අවබෝධයක් ඇති ජනරාල්වරයාගේ චරිතය පිට් තිරයට ගෙන එන්නේ අතිදක්ෂ ලෙසය.
චිත්‍රපටයට අනුව ජනරාල් මැක්මැහෝන් කාබුල් බලා එන්නේ ඔහුට පෙර ඇෆ්ගනිස්ථාන යුද බිම භාරව සිටි ජනරාල්වරයා අසාර්ථක වූ විටය. අපි ගිහිල්ලා මේ යුද්ධෙ දිනමු. ඔළුවටම වදින්න දෙමු.” යනුවෙන් තම සගයන්ට පවසමින් එහි එන ජනරාල්වරයා ලෙස රඟපාන පිට් මෙන්ම උප ප්‍රධාන චරිත හා ආරාධිත රංගනයන්හි යෙදෙන නළු නිළියන් සියලු දෙනාම එකිනෙකා පරයමින් දක්ෂතා පෙන්වති. මෙහි විශේෂයෙන් කැපී පෙනෙන චරිතයක් වන ඇෆ්ගනිස්ථානයේ හිටපු ජනපති හමීඩ් කර්සායිගේ චරිතයට පණ‍පොවන්නේ සම්මානනීය නළු බෙන් කිංස්ලි ය. තමාටද කිරීමට සිදුව ඇත්තේ තමාට පෙර මෙම යුදබිම භාරව සිටි සෙනෙවියන් කිරීමට උත්සාහ කළ හා ඔවුන්ට කිරීමට නොහැකිවූ කාර්යයම බව ක්‍රමයෙන් වටහා ගන්නා ජනරාල් මැක්මෝහන්ගේ චරිතයට ඒ වටහාගැනීම මනා ලෙස තිරයේ දැක්වීමට සෙසු චරිතවලින් ලැබෙන්නේ ප්‍රබල සහයකි. යුද්ධය ජය ගැනීමට අවශ්‍ය තරම් සෙබළ මුළු ගෙන්වාගැනීමට ජනරාල්වරයා අසමත්වන්නේ එවකට ජනපති බරාක් ඔබාමා ඊට අකමැති වන නිසාය. ඇෆ්ගනිස්ථාන ගොවීන් ‍පොපි වැවීම නතර කරවීමට ජනරාල් මැක්මැමොන්ට නොහැකිවන්නේ ඔවුන් ‍පොපි වැවීම නවත්වා පුළුන් වවන්නට පටන්ගතහොත් එය ඇමෙරිකාවේ පුළුන් වෙළෙඳපලට බලපෑ හැකි බවට ඇමෙරිකානු පාලන තන්ත්‍රයෙන් උපදෙස් ලැබෙන නිසාය. මේ සියල්ල අතරේ ජනරාල්වරයා වටහාගන්නා යථාර්ථය වන්නේ “රටක් තුවක්කුව පෙන්වා ගොඩ නැංවිය නොහැකි බව හා “රටක විශ්වාසය ඒ රට ආක්‍රමණය කිරීමෙන් දිනාගත නොහැකි” බවය.
මෙහි එන එක් දර්ශනයක හිටපු ජනපති කර්සායිගේ සියලු ඉඟිබිඟි චරිතය තුළ අකුරටම අනුකරණය කරන බෙන් කිංස්ලි වෙත එන ජනරාල් මැක්මැමොන් කියන්නේ තමා ඇෆ්ගනිස්ථානය නව දිශාවකට ගෙනයන බවකි.ඇෆ්ගනිස්ථානය නිදහස් හා සමෘද්ධිමත් රටක් කරන බවද ඔහු කියයි. ඊට සවන්දෙන ජනපතිවරයා මඳ සිනහවකින් යුතුව මෙසේ කියයි. පරණ දිශාවම වගෙයි ඔය කියන විදිහට මට නම් තේරෙන්නෙ.”
ක්‍රමයෙන් ඇෆ්ගනිස්ථාන යුද්ධයේ අඳුරු පැතිකඩ අවබෝධකරගන්නා ජනරාල් මැක්මැමොන් හමුවට එන කෝපයට හා නොරිස්සුමට පත් ඇමෙරිකානු නාවික සෙබලෙක් ප්‍රතිවිරෝධී උපායමාර්ගයන් තුළ යුද්ධය ජයගන්නා ආකාරය ප්‍රශ්න කරන්නේ ඝාතනය සඳහා හුරුකරනු ලැබූ ඔහුට ඇමෙරිකානු රජය මේ වනවිට ධෛර්යමත් ලෙස පසුබා සිටිය යුතු බව පවසා ඇති හෙයිනි. සාමාන්‍ය ජනතාව සහ හතුරා අතර වෙනස තමාට හඳුනාගත නොහැකි බව පවසන නාවික සෙබළා ඒ සියල්ලන් තමාට එකම ස්වරූපයෙන් දිස්වන බවද කියයි.
“ඔවුන්ට උදව්කරන අතරේම ඔවුන් මරාදාන්න බැහැ. මගේ ඔලුව අවුල් වෙලා.”
ඔහු කියයි. මේ යුද්ධයේ යථාර්ථය ජනරාල්වරයාට වටහාදෙන තවත් චරිතයක් වන්නේ ජනප්‍රිය නිළි ටිල්ඩා ස්වින්ටන් පන‍පොවන ජර්මානු දේශපාලනඥවරියගේ චරිතයයි. රට පුරාම විසිරිලා ඉන්න ඔබලා ස්වදේශික ජනතාව එක්ක යුද්ධ දාහක් විතර කරනවා. ඔවුන්ට තමන්ගෙ පළාතට ඔබලා අවශ්‍ය නැහැ. අන්න එතැනදී තමයි ඔබලාට මේ යුද්ධය දිනන්න බැරිවෙන්නෙ.” ඇය ජනරාල්වරයා නිරුත්තර කරමින් කියයි. ඇතැම් විචාරකයන්ට අනුව වෝ මෙෂීන් යනු සිනමා ශාලාවල ප්‍රදර්ශනය කිරීමෙන් නොනවත්වා විශ්වවිද්‍යාල හා පාසල් තුළද ප්‍රදර්ශනය කොට තරුණ හා මහළු දෙපිරිස අතරම සංවාදයට ලක්කළයුතු චිත්‍රපටයකි.කැරළිකරුවන් සමග කරන සටන්වලදී රජයේ හමුදාවන් පරාජය වීමට, ත්‍රස්තවාදය ව්‍යාප්තවීමට, හා යුද්ධය විසින් මේ නිසා රටවල් ප්‍රමාණයක් විනාශ කිරීමට හේතුව මෙම චිත්‍රපටය අපට පැහැදිලි කරදෙයි.වසර දහසයකට පසුවද ඇෆ්ගනිස්ථානයට එවිය යුතු සෙබළුන් ගණන ගැන වාද කිරීමට වොෂින්ටනය පෙළැඹී ඇති හේතුවද එය අපට පැහැදිලි කරයි.  
 
නිශානි දිසානායක 

IMAGE

55 වියැති බැංකු ලොක්කා 29 කන්තෝරු නෝනා සමඟ 'හනිමූන්' ගිහින්

IMAGE 2017 Nov 22 12:50
බැංකුවක උසස් නිලයක් දරන පනස්පස් හැවිරිදි සිය සැමියා වසර ගණනාවක් තිස්සේ විසිනව හැවිරිදි රජයේ...
Views - 2318

අහසේ සිට බිමට පනින එස්.ටී.එෆ්. යුවතියෝ

IMAGE 2017 Nov 22 10:55
අම්පාර උහන ගුවන් ධාවන පථයෙන් අහසට නැඟගත්, එම්. අයි. 17 වර්ගයේ හෙලිකොප්ටරය  නිලඹර දෙපළු කරමින්...
Views - 1534

මිහිදුම සහ වැස්ස ගැන 'කාලගුණ විද්‍යාවෙන්' බොරු කී‍වේ ඇයි?

IMAGE 2017 Nov 22 10:43
මේ දිනවල අළුයම් කාලයේ අගනුවර ඇතුළු ප්‍රදේශ රැසක දැඩි මිහිදුම් තත්ත්වයක් දක්නට ලැබුණු බව...
Views - 813

මුගාබේගේ බිරිඳ ද පක්ෂයෙන් නෙරපයි

IMAGE 2017 Nov 21 09:37
වසර 37  ක කාලයක් සිම්බාබ්වේ දේශය පාලනය කළ රොබට් මුගාබේ නිවාස අඩස්සියට ගනිමින් හමුදාව එරට...
Views - 1825

ඒ ආදර කතාව ඉවරයි මම දැන් සින්ගල්

IMAGE 2017 Nov 19 17:31
සිරස ජුනියර් සුපර් ස්ටාර් කියන්නේ මේ දවස්වල ප්‍රේක්ෂකයන් ආදරයෙන් වැළඳ ගත් රියැලිටි...
Views - 5461

කේන්ද්‍රයක මාරක අපල තිබීමටත් වඩා නොතිබීම භයානකය

IMAGE 2017 Nov 19 15:19
මහජන බැංකු විශ්‍රාමික සංගමයේ පිළියන්දල කැස්බෑව ශාඛාවේ අටවන සංවත්සරික සභාව පසුගිය...
Views - 3407

Please publish modules in offcanvas position.

Web Analytics