Home    |    Daily Lakbima    |    Sunday Lakbima    |   Rajina |    Archive    |    Advertise With Us    |     Careers Email - [email protected] youtube
lakbima.lk

                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්     

පාකිස්තානයේ හිටපු අගමැති නවාස් ෂරීෆ්ට ඔහුගේ ධුරය අත්හැර යාමට සිදුවීම පසුගිය කාලයේ දකුණු ආසියානු දේශපාලන කරළියේ විශාල අවධානයකට පාත්‍ර වූ සිදුවීමක් විය. ෂරීෆ්ට මේ ආකාරයෙන් අගමැතිකම අත්හැරීමට සිදුවූයේ එරට ශ්‍රේෂ්ඨාධිකරණය ඔහුට එරෙහිව දුන් තීන්දුවක් නිසාය. එයින් කියැවුණේ නවාස් ෂරීෆ් අගමැති ධුරය දැරීමට සුදුසු නොවන බවයි. මෙවැනි තීන්දුවක් ලබා දෙන්නට හේතු වූයේ ෂරීෆ්ගේ පවු‍ලේ දවියට අදාළව එල්ල වූ වංචා දූෂණ චෝදනාවන්ය. බ්‍රිතාන්‍යය ඇතුළු රටවල් කිහිපයක පිහිටි ඔවුන්ට අයත් දේපළ සම්බන්ධයෙන් මෙහිදී චෝදනා එල්ල වූ අතර මේවා මිලදී ගැනීම සඳහා මුදල් ලැබුණු ආකාරය සම්බන්ධයෙන් විවිධ සැක සංකා මතු කෙරුණි. මීට සම්බන්ධ බොහෝ තොරතුරු අනාවරණය කරන ලද්දේ වසර කිහිපයකට පෙර ලොව පුරා මහත් ආන්දෝලනයක් ඇති කළ පැනමා ‍ලේඛන නමැති හෙළිදරව්ව මගිනි.
නවාස් ෂරීෆ් සහ ඔහුගේ පවුල කාලයක් තිස්සේ පාකිස්තාන දේශපාලනය තුළ ඉතා බලවත්ව සිටි පවුලකි. මේ නිසා ෂරීෆ්ට ධුරයෙන් ඉවත් වන්නට සිදුවුවද ඔවුන් මෙම බලය අත්හැරීමට සූදානම් වනු ඇතැයි යන්න කිසිසේත් බලා‍පොරොත්තු විය හැක්කක් නොවේ. නවාස් ෂරීෆ්ගේ ඉවත් වීමෙන් පසු ඔහු වෙනුවට ඔහුගේ බිරිඳ වූ කුල්සූම් ෂරීෆ් ක්‍රියාකාරී දේශපාලනයට අවතීර්ණ වූයේ මෙම පසුබිම තුළය. ලබන වසරේ පැවැත්වීමට නියමිතව ඇති පාකිස්තාන මහා මැතිවරණයෙන් පසු ඇය එරට අගමැති ධුරය සඳහා ඉදිරිපත් වනු ඇති බවටද ආරංචි පැතිරෙමින් තිබේ. මෙම අදහස සනාථ කරන ආකාරයේ සිදුවීමක් පසුගිය සතියේ සිදුවිය. එනම් ඇය සිය සැමියාගේ ඉවත් වීමෙන් හිස් වූ මැතිවරණ ආසනය සඳහා පැවැති අතුරු මැතිවරණයට ඉදිරිපත්ව එයින් ජයගෙන පාර්ලිමේන්තුවට පිවිසීමට අවස්ථාව හිමි කරගැනීමයි. 
මෙම අතුරු මැතිවරණය පැවැත්වුණේ පසුගිය 17 වෙනි ඉරිදාය. කුල්සූම් විසින් ජයගන්නා ලද ආසනය ලාහෝරයේ පිහිටි එන්.ඒ. 120 යනුවෙන් හැඳින්වෙන ආසනයයි. මැතිවරණය සඳහා ඇය ඉදිරිපත් වූයේ නවාස් ෂරීෆ්ගේ පක්ෂය වන පාකිස්තාන මුස්ලිම් ලීගය නියෝජනය කරමිනි.
මෙම අතුරු මැතිවරණයේදී ඇගේ ප්‍රධාන ප්‍රතිවාදිනිය වූයේ යස්මින් රෂීඩ්ය. ඇය ඉදිරිපත් වූයේ සුප්‍රකට ක්‍රිකට් ක්‍රීඩකයෙකු වූ ඉම්රාන් ඛාන්ගේ පක්ෂය වන තෙරීක්-ඉ-ඉන්සාෆ් පක්ෂය නියෝජනය කරමිනි.  ඇයට මැතිවරණයෙන් හිමිවූයේ දවෛනි තැනයි. මැතිවරණය පිළිබඳව නිකුත්ව තිබූ මූලික ඡන්ද ප්‍රතිඵලවලට අනුව ෂරීෆ්ගේ බිරිඳ ඡන්ද 60,000 කට ආසන්න සංඛ්‍යාවක් ලබාගෙන තිබූ අතර රෂීඩ් ඡන්ද 46,000 කට කිට්ටු සංඛ්‍යාවක් ලබාගෙන ඇත.
නවාස් ෂරීෆ්ගේ පක්ෂය මෙම ජයග්‍රහණය නිසා මහත් අමන්දානන්දයට පත්ව සිටින බව දැකිය හැකි වෙයි. ඔවුන් මෙය සලකන්නේ නවාස් ෂරීෆ් ට එරෙහිව ලබා දුන් තීන්දුවට ජනතාවගේ ඇති විරෝධය ප්‍රකාශ කරන්නක් ලෙසිනි.  මෙම අතුරු මැතිවරණය ෂරීෆ් සහ ඔහුගේ පක්ෂය පිළිබඳව මේ වනවිට ජනතාව තුළ ඇති ප්‍රතිරූපය කුමක්ද යන්න පිළිබිඹු කරන ජනමත විචාරණයක් බඳු වනු ඇතැයි යන්න පාකිස්තානයේ ආණ්ඩු පක්ෂය වන ෂරීෆ්ගේ පක්ෂයේ මෙන්ම විරුද්ධ පක්ෂයේද අදහස විය. 
නවාස් ෂරීෆ්ගේ බිරිඳ මැතිවරණයෙන් ජය ලැබුවද මෙයට කලින් 2013 පැවැති මැතිවරණයට සාපේක්ෂව ඔවුන් ලැබූ ඡන්ද සංඛ්‍යාව සැලකිය යුතු ප්‍රමාණයකින් අඩු වී තිබේ. 2013 දී නවාස් ෂරීෆ් ජයගත්තේ වැඩි ඡන්ද 40,000 කට ආසන්න සංඛ්‍යාවකිනි. නමුත් මෙවර වැඩි ඡන්ද සංඛ්‍යාව 15,000ක් දක්වා පහත වැටී ඇත. නවාස් ෂරීෆ්ගේ පවු‍ලේ උදවිය සහ පක්ෂය මැතිවරණ ජයග්‍රහණය සම්බන්ධයෙන් සතුටට පත්ව ඇති බවක් මතුපිටින් පෙන්වුවද මෙම ඡන්ද අඩු වීම ගැන ඔවුන් කරදරයට පත්ව සිටිනවා විය හැකිය. මෙයින් පෙනී යන්නේ පසුගිය කාලයේ එල්ල වූ දූෂණ චෝදනා නිසා සැලකිය යුතු පිරිසක් නවාස් ෂරීෆ්ගේ පක්ෂයෙන් ඉවත හැරී ඇති බවයි. 
නමුත් දේශපාලන නිරීක්ෂකයන් පෙන්වා දෙන්නේ ඉම්රාන් ඛාන්ගේ පාර්ශ්වයටද තමුන් ලැබූ ප්‍රතිඵලය සම්බන්ධයෙන් එතරම් සතුටු විය හැකි තත්ත්වයක් නොමැති බවයි. නවාස් ෂරීෆ්ට එරෙහිව මේ තරම් චෝදනා එල්ල වී ඇති පසුබිමක් යටතේ පවා මෙම අතුරු මැතිවරණයේදී ඔවුන් පරාජය කිරීමට නොහැකි වීම ගැන ඉම්රාන් පාර්ශ්වය බැරෑරුම්ව කල්පනා කළ යුතුව ඇති බැව් නිරීක්ෂකයෝ පෙන්වා දෙති. ලබන වසරේ පැවැත්වීමට නියමිත මහා මැතිවරණයෙන් ජය ලබා අගමැති ධුරයට පත්වීම මේ වනවිට  ඉම්රාන් ඛාන්ගේ ප්‍රධාන අරමුණක් බවට පත්ව තිබේ. නවාස් ෂරීෆ්ට එරෙහිව වංචා දූෂණ චෝදනා ඉදිරියට ගෙනයාමේදී ප්‍රධාන කාර්යභාරයක් ඉටු කළේද ඉම්රාන්ය. 
නවාස් ෂරීස්ගේ බිරිඳ වන කුල්සූම් මැතිවරණයට ඉදිරිපත් වුවද ඇයගේ මැතිවරණ සටන මෙහෙයවීමේ කටයුත්ත කරට ගෙන ක්‍රියා කළේ නවාස්ගේ දියණිය වන මාර්යම්ය. කුල්සූම් මේ වනවිට අසනීප තත්ත්වයෙන් පසුවන අතර ඇය පිළිකා රෝගය සඳහා ලන්ඩනයේ රෝහලක ප්‍රතිකාර ගනිමින් සිටින බවද වාර්තා වෙයි. නවාස් ෂරීෆ්ගේ දේශපාලන උරුමය ඉදිරියට ගෙන යනු ඇතැයි බොහෝ දෙනා බලා‍පොරොත්තු වන්නේ මරියම් නවාස්ය. නමුත් ඇයටද ඊට බාධාවක් වී ඇත්තේ විදේශයන්හි ඇති දේපළ සම්බන්ධයෙන් ඇයට එරෙහිවද දූෂණ චෝදනා එල්ල වී තිබිමයි.
තම මව වෙනුවෙන් ඡන්දය ප්‍රකාශ කළ ජනතාවට සිය ස්තුතිය පුද කරමින් කතා කළ මාර්යම් පවසා සිටියේ සිය පියා අගමැති ධුරයෙන් පහ කිරීමට තුඩු දුන් 'අසාධාරණ තීරණයට' ජනතාවගේ ඇති විරුද්ධත්වය මේ තුළින් පෙනී යන බවයි. 
මේ අතර අන්තවාදී, මූලධර්මවාදී  පක්ෂ කිහිපයක්ම මෙම මැතිවරණයේදී ඉදිරියට පැමිණ තිබිමද තවත් විශේෂතත්ත්වයකි.  තුන්වෙනි සහ සිවුවෙනි ස්ථාන දෙකම හිමි කරගෙන ඇත්තේ එවැනි පක්ෂ දෙකකි. වාමාංශික පක්ෂ පවා පසුපසට තල්ලු කිරීමට මෙම අන්තවාදී පක්ෂ සමත්ව ඇති බව සඳහන් වෙයි. මෙය එරට ප්‍රධාන පක්ෂ තුළ මෙන්ම ආරක්ෂක අංශවලද තරමක තිගැස්මක් ඇති කර තිබෙන කාරණාවක් බව පෙනේ.
කෙසේ හෝ වේවා මෙම අතුරු මැතිවරණයෙන් ලැබුණු ප්‍රතිඵලය මෙම සියලු පාර්ශ්වවලට ලබන වසරේ මහා මැතිවරණයට සූදානම් වීම සඳහා වැදගත් ඉඟි සපයා දුන් එකක් ලෙස සැලකිය හැකි වෙයි. දැන් කවුරුත් කුතුහලයෙන් යුතුව බලා සිටින්නේ දූෂණ චෝදනා නිසා ඇති වූ බලපෑම් අවම කරගනිමින්  නැවතත් බලයට ඒමට නවාස් ෂරීෆ්ගේ පක්ෂය සමත් වේවිද, නැතහොත් ඔවුන් පරදවා බලයට ඒමටත්, අගමැති සිහිනය ඉටු කරගැනීමටත් ඉම්රාන් ඛාන් සහ ඔහුගේ පක්ෂය සමත් වනු ඇත්ද කියාය.
 
නිහාල් පීරිස්

මේ වනවිට කොරියානු කලාපය තුළ ගිනියම් වෙමින් ඇති යුද ආතතිය තවත් පියවරකින් ඉදිරියට ගෙන යන ආකාරයේ සිදුවීමක් පසුගිය 11 වෙනි දින සිදු විය. එනම් ඇමෙරිකාවේ මූලිකත්වයෙන් යුතුව ඉදිරිපත් වූ යෝජනාවකට අනුව  උතුරු කොරියාවට එරෙහිව තවත් දරුණු  ආර්ථික සහ වෙළෙඳ සම්බාධක රැසක්  පැනවීමට එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය තීරණය කිරීමයි. (ඔවුන් මේ ආකාරයෙන් සම්බාධක පනවන්නේ උතුරු කොරියාව ක්‍රියාත්මක කරමින් සිටින 
න්‍යෂ්ටික මිසයිල වැඩපිළිවෙළ නතර කර ගැනීමේ අපේක්ෂාවෙන් බව මේ වනවිට ප්‍රසිද්ධ කාරණාවකි.) පසුගිය අගෝස්තු මාසයේද මෙවැනිම සම්බාධක රැසක් එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය විසින් පනවන ලද අතර එයින් සති කිහිපයකට පසු දැන් තවත් අලුත් සම්බාධක කිහිපයක් පැනවීමට පියවර ගෙන තිබේ. 
මේ නිසා උතුරු කොරියාවේ ආර්ථිකයට දරුණු බලපෑමක් වනු ඇතැයි බලා‍පොරොත්තු විය හැකිය. මෙම අලුත් තත්ත්වය තුළ උතුරු කොරියාව මහත් කෝපයට පත්ව සිටින බවක් ද දැකිය හැකි අතර ඇමෙරිකාවට එරෙහිව දරුණු ක්‍රියාමාර්ග ගන්නා බවට ඔවුන් තර්ජනාත්මක ලෙස අනතුරු අඟවා තිබේ. ඉදිරියේදී ඇමෙරිකාවට ඉතිහාසයේ කිසි දිනෙක අත් නොවිඳි ආකාරයේ  ඉතා වේදනාකාරී  අත්දැකීම්වලට මුහුණ දීමට සිදුවනු ඇතැයි ඔවුන් ප්‍රකාශ කර ඇත. මෙම ‘’වේදනාකාරී අත්දැකීම්’’ මොනවාද යන්න පැහැදිලි කර නැතත් මෙම  ප්‍රකාශය ඉතා බරපතළ එකක් බව අමුතුවෙන් කිව යුතු නොවේ. ඇමෙරිකාවට පවා පහර දිය හැකි දිගු දුර මිසයිල දෙකක් දැන් මාසයකට දෙකකට පෙර උතුරු කොරියාව විසින් අත්හදා බලන ලද අතර ඇමෙරිකානු ගුවන් කඳවුරු පිහිටි දිවයිනක් වන ගුවාම් නැමැති දිවයින ආසන්නයට මිසයිල ප්‍රහාර එල්ල කරන බවටද  සති කිහිපයකට පෙර තර්ජනය කළේය.
11 වෙනි දින පනවන ලද සම්බාධක නිසි ආකාරයෙන් ක්‍රියාත්මක වුවහොත් එය උතුරු කොරියාවට ලොකු බලපෑමක් කරනු ඇතැයි සිතිය හැක්කේ ඒ අනුව උතුරු කොරියාවට ඛනිජ තෙල් ආනයනය කිරීම සම්බන්ධයෙන් සීමා පැනවීමට යෝජනා වී ඇති බැවිනි. මෙය එරට ආර්ථිකයට සැලකිය යුතු බලපෑමක් කිරීමට හැකි කාරණයකි. ඊට අමතරව උතුරු කොරියාවේ රෙදිපිළි අපනයනය සපුරා තහනම් කිරීමටද යෝජනා වී තිබේ. රෙදිපිළි යනු උතුරු කොරියාවට විදේශ විනිමය ගෙන එන දෙවැනි විශාලම ආදායම් මාර්ගයයි. එමෙන්ම විදේශයන්හි රැකියා සඳහා යන උතුරු කොරියානු ශ්‍රමිකයින්ට වීසා නිකුත් කිරීමද තහනම් කෙරෙනු ඇත. විදෙස් ශ්‍රමිකයින් හරහා  රටට ලැබෙන විදෙස් විනිමයද මේ නිසා විශාල වශයෙන් පහත වැටෙනු ඇත.
මුලින් ඇමෙරිකානු පාර්ශ්වයෙන් යෝජනා වීමට නියමිතව තිබුණේ ඛනිජ තෙල් ආනයනය සම්පූර්ණයෙන්ම තහනම් කිරීමටය. නමුත් එවැනි යෝජනාවකට, උතුරු කොරියාවේ මිත්‍ර රටවල් ලෙස සැලකෙන චීනයේ සහ රුසියාවේ එකඟතාව ලබා ගැනීමට නොහැකි වනු ඇතැයි යන අදහස මත තෙල් ආනයනය සම්පූර්ණයෙන් තහනම් නොකර යම් දුරකට සීමා කිරීම සඳහා යෝජනා කෙරිණි. උතුරු කොරියානු නායක කිම් ජොන් -උන්ගේ වත්කම් සම්බන්ධයෙන් සහ ඔහුගේ සංචාරයන් සම්බන්ධයෙන් පැනවීමට අපේක්ෂා කළ තහංචි දෙකක්ද අවසන් යෝජනාවෙන් ඉවත් කරන ලදී. උතුරු කොරියානු නායකත්වයට යම් සීමිත බලපෑමක් කළ හැකි තහංචි සඳහා චීනය සහ රුසියාව එකඟ වුවද එරට ජනතාව දැඩි ලෙස පීඩාවට පත්වන ආකාරයේ සහ කිම් ජොන් උන් පාලනය කඩා වැටෙන ආකාරයේ තහංචිවලට ඔවුන් එකඟ වීමට ඉඩක් නැති නිසා මේ ආකාරයෙන් සම්බාධක තරමක් ලිහිල් කිරීමට තීරණය වී තිබේ. දැන් කව්රුත් බලා සිටින්නේ මෙම සම්බාධකවලට ප්‍රතිචාර වශයෙන් උතුරු කොරියාව කවර ආකාරයේ පියවරක් ගනු ඇත්ද යන්න සම්බන්ධයෙනි. 
උතුරු කොරියාවේ මිත්‍රයන් වන චීනය සහ රුසියාව ඇමෙරිකාවේ මූලිකත්වයෙන් ඉදිරිපත් වූ මෙම සම්බාධකවලට එකඟතාව දක්වා ඇතත් ඇමෙරිකානු පාර්ශ්වයටද ඔවුන්ගෙන් කොන්දේසි ඉදිරිපත් වෙයි. එනම් ඇමෙරිකාව සහ ඇමෙරිකාවේ මිත්‍ර පාර්ශ්වයක් වන දකුණු කොරියාව ඒකාබද්ධව දකුණු කොරියාව තුළ සිදු කරන යුද අභ්‍යාස නතර කරන ලෙසයි. ඇමෙරිකාවත්, උතුරු කොරියාවත් අතර මේ වනවිට උත්සන්න වෙමින් ඇති යුද ආතතියට බලපෑ ප්‍රධාන හේතුවක් ලෙස සැලකෙන්නේ මෙම යුද අභ්‍යාස බව රහසක් නොවේ. උතුරු කොරියාව සිතන්නේ මෙම යුද අභ්‍යාසවල අරමුණ ඉදිරියේදී උතුරු කොරියාව ආක්‍රමණය කිරීම සඳහා සූදානම් වීම බවයි. නමුත් ඇමෙරිකාවත්, දකුණු කොරියාවත් ඒ සම්බන්ධයෙන් වෙන කතාවක් කියමින් සිටියි. ඔවුන් පවසන්නේ උතුරු කොරියාවෙන් එල්ල විය හැකි යුද තර්ජනයකට මුහුණ දීම සඳහා තමුන් සූදානම් වෙමින් සිටින බවය. ඔවුන් එසේ පවසන්නට හේතු වන්නේ උතුරු කොරියාව දැන් කලෙක සිටම න්‍යෂ්ටික මිසයිල නිපදවීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරමින් සිටීමයි. 
තමුන් මෙවැනි මිසයිල වැසටහනක් ඉදිරියට ගෙනයන්නේ මන්ද යන්න ගැන උතුරු කොරියාව කියන කතාවක් තිබේ. ඔවුන් ප්‍රකාශ කරන්නේ ඇමෙරිකාව, දකුණු කොරියාව සහ ජපානය  සමග එක්ව, උතුරු කොරියාවේ පවතින (ඇමෙරිකානු විරෝධී) කිම් ජොන්- උන් පාලනය පෙරළා දමා ඔවුන්ට හිතවත් පාලනයක් ඇති කරගැනීමට කුමන්ත්‍රණය කරමින් සිටින බවය. එය වැළැක්වීමට නම් තමුන් න්‍යෂ්ටික බලවතෙකු බවට පත් විය යුතු බවය.
උතුරු කොරියාවේ මෙම න්‍යෂ්ටික වැඩපිළිවෙළ ඇමෙරිකානු පාර්ශ්වයට  දැඩි හිසරදයකි. එක අතකින් එය ඔවුන්ට ආරක්ෂක තර්ජනයක් වන අතර අනෙක් අතින් නැගෙනහිර ආසියාව තුළ ඔවුන්ගේ සැලසුම්වලට බාධාවකි. ඔවුන් විවිධ සම්බාධක පනවමින් මෙම න්‍යෂ්ටික වැඩපිළිවෙළ නතර කර ගැනීමට බලපෑම් කරන්නේ ඒ නිසාය යන්න තේරුම් ගැනීම අසීරු නොවේ. මෙයට පෙරද කිහිප වරක්ම එක්සත් ජාතීන් හරහා මෙවැනි සම්බාධක පනවන ලද අතර උතුරු කොරියාවේ ප්‍රධාන අපනයනයන් වන ගල් අඟුරු, යකඩ, මත්ස්‍යයින් ආදිය අපනයනයට සීමා පැනවිණි.
මෙම ප්‍රශ්නයේදී උතුරු කොරියාවට අසල්වැසි චීනයේ සහ රුසියාවේ සහයෝගයද යම් පමණකට ලැබෙමින් තිබේ. උතුරු කොරියාව තුළ පාලනයේ වෙනසක් සිදුව, ඇමෙරිකන් ගැති පාලනයක් බිහි වුවහොත් එය තම රටවලට දැඩි ලෙස බලපාන බව ඔවුන් දන්නා බැවිනි. ඇමෙරිකානු පාර්ශ්වය උතුරු කොරියාවට එරෙහිව කෙතරම් සම්බාධක යෝජනා කළ ද ඒවා සිතන තරම් සාර්ථක නොවන බවටත්, ඊට හේතුව චීනයේත්, රුසියාවේත් මෙම සහයෝගය බවටත් ඇතැම්හු චෝදනා කරති. මෙම පාර්ශ්ව සම්බාධකවලට එකඟ වුවද ඒවා ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් එතරම් සැලකිල්ලක් නොදක්වන බවටද නිතර චෝදනා එල්ල වෙයි. චීනය යනු උතුරු කොරියාවේ ප්‍රධානම ආර්ථික සහකරුවා වන අතර සම්බාධක සාර්ථක වීමට නම් නිසැකවම චීනය ඒවා ක්‍රියාත්මක කිරීමට කටයුතු කළ යුතුය. මෙවර පනවා ඇති අලුත් සම්බාධකවලටද චීනය සහ රුසියාව එකඟතාව පළ කර ඇතත් ඒවා ක්‍රියාත්මක කිරීමේදී ඔවුන් කෙතරම් දායකත්වයක් දක්වනු ඇත්ද යන්න බොහෝ දෙනා අවධානය යොමු කරන කාරණාවකි.
මේ අතර පසුගිය දිනෙක රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පුටින් අපූරු කතාවක් කියා තිබිණි. එනම් උතුරු කොරියාවට එරෙහි සම්බාධක එතරම් ඵලදායී නොවනු ඇති බවටය. උතුරු කොරියානුවන් තණකොළ කෑවත් ඔවුන්ගේ්  න්‍යෂ්ටික අවි වැඩසටහන නතර නොකරනු ඇති බව ඔහු තවදුරටත් පවසා තිබිණි.
 
නිහාල් පීරිස්
 

රාම්රහීම් සිං යනු ඉන්දියාව තුළ අතිශයින් ජනප්‍රිය පූජකයෙකි. එරට තුළ මෙවැනි ආගමික නායකයින් හැඳින්වෙන්නේ 'ගුරු' යන නමිනි. ඔහුට අනුගාමිකයින් මිලියන 60කට අධික සංඛ්‍යාවක් සිටින බව සඳහන් වන අතර ප්‍රකෝටිපතියෙකු ලෙසද හැඳින්වෙයි. පසුගිය සතියේ ඉන්දියාව තුළ දැවැන්ත ආන්දෝලනයක් ඇති කිරීමට රහීම් සිං සමත් විය. මෙම ආන්දෝලනය හට ගත්තේ තමාගේ  භක්තිමත්  අනුගාමිකාවන් දෙදෙනකු දූෂණය කිරීමේ චෝදනාවකට ඉන්දියානු අධිකරණය ඔහු වරදකරු බවට තීන්දු කිරීමත් සමගිනි.
මෙම ස්ත්‍රී දූෂණ සිද්ධිය සිදුව ඇත්තේ 2002 වසරේය. වසර 15ක් තිස්සේ ඇදී ගිය නඩු විභාගයකින් අනතුරුව ඔහු වැරදිකරු ලෙස තීන්දු කරන ලද්දේ පසුගිය 25 වෙනිදාය. මෙම තීන්දුවක් සමගම පැන නැගුණේ කිසිවෙකුත් අපේක්ෂා නොකළ ආකාරයේ කලබැගෑනියකි.  අධිකරණ තීන්දුව නිසා දැඩි ලෙස කෝපයට පත් රහීම් සිංගේ අනුගාමිකයින් ලක්ෂයකට අධික පිරිසක්, උසාවිය පිහිටි හර්යානා ප්‍රාන්තයේ පංච්කුල නැමැති නගරයට කඩා වැදී දැවැන්ත කලබලයක් කිරීමට පටන් ගත්තේය. ගොඩනැගිලිවලට සහ වාහනවලට පහර දෙමින්, ගිනි තබමින්, මහත් ප්‍රචණ්ඩ ක්‍රියාවන්හි නිරත වෙමින් ඔවුන් ආරක්ෂක අංශ සමගද ගැටුම් ඇති කරගත් අතර මෙම කලබැගෑනිය නිසා 38 දෙනකු මියගොස් තවත් 200කට ආසන්න පිරිසක් තුවාල ලැබූ බව මාධ්‍ය හරහා වාර්තා විය. මෙහිදී සිද්ධිය වාර්තා කිරීමට ගිය මාධ්‍යවේදීන්ටද  පහර දී ඇති අතර රූපවාහිනී නාලිකාවලට අයත් බාහිර විකාශන රථවලට පහර දී ඒවා ගිනිතබා ඇති බවද සඳහන් විය. ප්‍රචණ්ඩත්වය නව දිල්ලිය, පන්ජාබය වැනි ප්‍රදේශ දක්වාද පැතිරෙන ලකුණු පෙනෙන්නට තිබුණි. දුම්රියවලට පවා ගිනිතබා ඇති බව වාර්තා විය. තත්ත්වය පාලනය කිරීම සඳහා හමුදා ආරක්ෂාව තර කිරීමටත්, ඇඳිරි නීතිය පැනවීමටත් රජයට සිදු විය.
ඉන්දියාව තුළ 'ගුරු' නමින් හැඳින්වෙන මෙවැනි පූජකවරුන් අතිශයින් ජනප්‍රිය සහ ඉතා බලවත් කොට්ඨාශයක් බව රහසක් නොවේ. රාම් රහීම් සිං ද සැලකෙන්නේ එරට ප්‍රධාන පෙළේ පූජකයෙකු වශයෙනි. කෙසේ හෝ වේවා මේ වන විට රාම්රහීම්සිංට, ඉහත කී අනුගාමිකාවන් දෙදෙනා දූෂණය කිරීම වෙනුවෙන් වසර 20ක සිර දඬුවමක් නියම කර තිබේ. ඊට අමතරව විශාල දඩයක්ද නියම කර ඇත.
විනිසුරුවරයා සිරදඬුවම ප්‍රකාශයට පත්කළ අවස්ථාවේ ඔහු දරුවෙකු සේ හඬමින් තමාට සමාව දෙන ලෙස බැගෑපත් වී ඇති බවද  මාධ්‍ය වාර්තා කර තිබිණි. කෙසේ හෝ වේවා ඔහුට මීටත් වැඩි දඬුවමක් ලබා ගැනීම සඳහා විත්තිකාරියන් වෙනත් ඉහළ අධිකරණයක් වෙත යාමට බලා‍පොරොත්තු වන බව ද දැනගන්නට ඇත.
අති විශාල අනුගාමිකයින් පිරිසක් සිටින රහීම් සිං සැලකෙන්නේ මහා ධනවතෙකු ලෙසිනි. ඔහුගේ ප්‍රධාන ආශ්‍රමය අක්කර දහස් ගණනක එකක් ලෙස සඳහන් වන අතර ඒ තුළ දේශන ශාලාවලට අමතරව විශාල රෝහලක්, සිනමා ශාලාවක් ආදිය පවා පිහිටා ඇති බව සඳහන් වෙයි.රහීම් සිං දේශන පැවැත්වීමට අමතරව දැවැන්ත සංගීත ප්‍රසංග ද පවත්වයි. එපමණක් නොව ඔහු විසින්ම නිපදවනු ලබන චිත්‍රපටවලද රඟපායි. බොහෝ දෙනා ඔහු හඳුන්වන්නේ 'සුපිරි තරුවක්' වශයෙනි.
මේ අතර ඔහු සිය අනුගාමිකයින්ට විශාල වශයෙන් උදව් උපකාර කරන පුද්ගලයෙකු වශයෙන්ද ලොකු ප්‍රසිද්ධියක් අත් කරගෙන සිටියි.
ඉදිරියේදී රහීම් සිංට එරෙහිව එල්ල වී ඇති තවත් බරපතළ චෝදනා දෙකක් විභාග වීමට නියමිතව තිබේ. ඒ දෙකම මිනීමැරුම් චෝදනාය. මේ පිළිබඳ නඩු විභාග ලබන මාසයේ ආරම්භ වීමට නියමිතව ඇත. එක් චෝදනාවක් එල්ල වී ඇත්තේ මාධ්‍යවේදියෙකු මරා දැමීම සම්බන්ධයෙනි. 2002 වසරේම ඔහුට වෙඩි තබා ඝාතනය කර ඇති අතර එයට හේතුව රහීම් සිංගේ ස්ත්‍රී දූෂණ සම්බන්ධයෙන් හෙළිදරව් කිරීම බවට සැක කෙරිණි. ඊට අමතරව රහීම් සිංගේ නිකායට අයත් සාමාජිකයෙකුද ඝාතනයට ලක්ව තිබේ. එයට හේතුව ලෙස සැක කෙරෙන්නේ ආශ්‍රමය තුළ සිදුවන ලිංගික අකටයුතුකම් ගැන හෙළිදරව් කිරීමට උදව් වීමයි. මෙම ඝාතන දෙක සම්බන්ධයෙන්ම රහීම් සිං වෙත චෝදනා එල්ල වී තිබේ.
 
කිත්සිරි මල්වත්ත

පාකිස්තානයේ ඉතා ජනප්‍රිය අගමැතිවරියකව සිටි බෙනාසීර් බූතෝගේ ඝාතනය මුළු ලොවම කම්පනයට පත් කළ සිදුවීමක් විය. ඇය ඝාතනය කරන ලද්දේ 2007 වසරේදීය. ඊළඟ (2008) වසරේ පැවැත්වීමට නියමිතව තිබූ  මහ මැතිවරණය වෙනුවෙන් ප්‍රචාරක රැලියකට සහභාගි වී ආපසු යමින් සිටියදී වෙඩි තැබිමක් සහ බෝම්බ ප්‍රහාරයක් සිදු වූ අතර එයින් ඇය මෝටර් රිය තුළදීම මරණයට පත් වූ බැව් සඳහන් විය. මෙම සිදුවීමෙන් දශකයකට පසු බෙනාසීර් බූතෝ ගැන පසුගිය සතියේ නැවතත් ජාත්‍යන්තර මාධ්‍ය තුළ කතාබහක් පැන නැගුණි. ඒ ඇගේ ඝාතනය සම්බන්ධයෙන් වසර ගණනාවක් තිස්සේ ඇදී ගිය නඩු විභාගයෙහි තීන්දුව ප්‍රකාශයට පත් වීම නිසාය.  

ඇය ඝාතනය කිරීම සඳහා කුමන්ත්‍රණය කළාය යනුවෙන් ප්‍රධාන වශයෙන්ම චෝදනා එල්ල වූයේ පාකිස්තානයේ ඒ වනවිට සිටි ජනාධිපතිවරයා  වූ පර්වේස් මුෂාරෆ්ටය. එමෙන්ම අල් කයිඩා/ත‍ලේබාන් සංවිධානවලට අයත් සටන්කාමීන් පස් දෙනකුට එරෙහිවද චෝදනා එල්ල විය. මෙම සැකකරුවන් වරදකරුවන් වේවිද, ඔවුන්ට කවර දඬුවමක් හිමි වනු ඇත්ද යන්න සම්බන්ධයෙන් මුළු ලෝකයම බලා සිටියේ මහත් කුතුහලයෙනි. කෙසේ වෙතත්, පසුගිය අගෝස්තු 31 වෙනි දින ප්‍රකාශයට පත් කෙරුණු නඩු තීන්දුවට අනුව ඉහත කී සටන්කාමීන් පස් දෙනාට නිදහස හිමි වූ අතර මුෂාරෆ් නීතියෙන් කට්ටි පනිමින් සිටින සැකකරුවකු  (fugitive) ලෙස ප්‍රකාශයට පත් කෙරිණි. මුෂාරෆ් සම්බන්ධයෙන් එවැන්නක් ප්‍රකාශයට පත් වූයේ ඔහු මේ වනවිට ජීවත් වන්නේ පාකිස්තානයෙන් පිටත වීම නිසා සහ ඔහු උසාවියෙහි පෙනී සිටීමට අසමත් වීම නිසාය. පාකිස්තානය තුළ පවතින මුෂාරෆ්ගේ දේපළ රාජසන්තක කිරීමටද මෙහිදී නියෝග කෙරිණි. අල්කයිඩා/ත‍ලේබාන් සටන්කාමීන්ට නිදහස ලැබුණේ ඔවුන්ට එරෙහිව ප්‍රමාණවත් තරම් සාක්ෂි නොමැතිය යන පදනම මතය. ‍පොලිස් නිලධාරීන් දෙදෙනකුට පමණක් වසර 17 ක සිර දඬුවම් නියම කෙරුණි. ඒ නොසැලකිලිමත්කම හේතුවෙන් මෙම ඝාතනය වැළැක්වීමට අ‍පොහොසත් වීම   පිළිබඳ චෝදනාවට වරදකරුවන් වීම නිසාය.

2007 දෙසැම්බර් 27 වෙනි දින සිදු වූ බෙනාසීර් බූතෝ ඝාතනය මහත් ආන්දෝලනාත්මක සිදුවීමක් වූ අතර ඊට මාස දෙකකට කලින්ද ඇය ඝාතනය කිරීම සඳහා උත්සාහයක් දැරුණි. ඒ කලක් රටින් පිටමංව සිටි ඇය මහා මැතිවරණයට මුහුණදීම සඳහා පෙරලා පාකිස්තානය වෙත ළඟා වූ අවස්ථාවේය. එම අවස්ථාවේද ඇය ඉලක්ක කර මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල කරන ලදී. එයින් ඇගේ ජීවිතය ගැලවුණත් 180කට ආසන්න පිරිසක්  මරණයට පත් විය. 2008 මැතිවරණයට මුහුණදීම සඳහා ඇය පාකිස්තානයට පැමිණියේ වසර අටකට ආසන්න කාලයක් රටින් පිටමංව ලන්ඩනයේ සහ ඩුබායිහි වාසය කිරීමෙන් පසුවය. ඊට හේතු වූයේ මුෂාරෆ්ගේ කාලයේ ඇයට එරෙහිව වංචා දූෂණ පිළිබඳ චෝදනා එල්ල වීමයි.

ඇයගේ ඝාතනය සිදු වූ අවස්ථාවේ මුලින්ම ප්‍රකාශ කෙරුණේ බෝම්බ ප්‍රහාරය හේතුවෙන් ඇය විසිවී යාම නිසා හිස වාහනයේ කොටසක වැදී හිස් කබල පුපුරා යාමෙන් මරණය සිදු වූ බවකි. නමුත් පසුව ප්‍රකාශයට පත් වූයේ බෝම්බ ප්‍රහාරයට කලින් වෙඩි ප්‍රහාරය එල්ල වූ අවස්ථාවෙහි ඇයට වෙඩි වැදීමෙන් මරණය සිදු වූ බවයි. ඝාතකයා ඇයගේ ගෙලට වෙඩි තබා ඒ සමගම බෝම්බයක් පුපුරුවා ගත්තාය යන්න මේ වනවිට වඩාත් පිළිගත් මතයයි. මෙම සිද්ධියෙන් තවත් 24 දෙනක්ද මරණයට පත් වූහ.

හිටපු අගමැතිනියගේ ඝාතනයට හේතු වූ කාරණා සම්බන්ධයෙන් විවිධ අදහස් ඉදිරිපත් විය. ඇය පාකිස්තානයේ ක්‍රියාත්මක වූ අල්කයිඩා සහ ත‍ලේබාන් අන්තවාදී සංවිධානවලට දැඩි විරෝධයක් දැක් වූ නායිකාවක නිසා ඇය ඝාතනය කෙරුණු බව එක් මතයකි. ඇය දේශපාලන පිටියෙන් ඉවත් කිරීම සඳහා එරට දේශපාලන අධිකාරියෙහි ඇතැම් පාර්ශ්වවලටද වුවමනාවක් තිබූ බැව් පැවැ  සිණි. ඇයට ප්‍රමාණවත් තරමේ ආරක්ෂාවක් සපයා නොතිබුණු බවට ඇතැම් විමර්ශනවලින් අනාවරණය වීම මෙම පාර්ශ්ව පිළිබඳ සැකය තීව්‍ර කරන්නක් විය. එමෙන්ම ඝාතනය සිදු වූ ස්ථානය ඉතා කෙටි කලක් තුළ පිරිසිදු කිරීම මගින් ඉතා වැදගත් සාක්ෂි මකා දමන්නට පියවර ගත්තාය යන චෝදනාවද ඉදිරිපත් විය. බෙනාසීර්ගේ දේහය සම්බන්ධයෙන් මරණ පරීක්ෂණයක් සිදු කිරීමද කිහිප වරක්ම කල් දැමීමට කටයුතු කළ බවටද චෝදනා නැගුණි. පසුගියදා දුන් නඩු තීන්දුවෙන් සිර දඬුවම් නියම කෙරුණේ ආරක්ෂාවටත්, සාක්ෂිවලට අදාළ මෙම කටයුතුවලටත් සම්බන්ධ යයි චෝදනා එල්ල වූ ‍පොලිස් නිලධාරීන් දෙදෙනකුටය.

ජනාධිපති සහයකයන් සහ බුද්ධි නිලධාරීන් කණ්ඩායමක් තමා ඝාතනය කිරීමට සැලසුම් කරමින් සිටින බවත්, එහි වගකීම අල්කයිඩා හෝ ත‍ලේබාන් කණ්ඩායම් මත පටවනු ඇති බවත් මෙම සිද්ධියට ටික කලකට පෙර බෙනාසීර් පවසා ඇති බවද වාර්තා වෙයි.

කෙසේ හෝ වේවා, පසුගිය 31 වෙනි දින ප්‍රකාශයට පත් වූ නඩු තීන්දුව සම්බන්ධයෙන් මේ වනවිට පාකිස්තානය තුළ විශාල ආන්දෝලනයක් හට ගෙන තිබේ. බෙනාසීර්ගේ ආධාරකරුවන්ව සිටි පිරිස් සහ ඇයගේ පක්ෂය මෙන්ම ඇගේ දරුවන්ද මෙම තීන්දුව සම්න්ධයෙන් සෑහීමට පත්ව නොසිටීම මෙයට හේතුවයි. මේ බොහෝ දෙනකු සැකකරුවන්ට මීට වැඩි දඬුවමක් බලා‍පොරොත්තු වූ බැව් පෙනී යයි. ඔවුන් සාධාරණය ඉටු කර ගැනීම සඳහා වෙනත් විකල්පයන් වෙත යොමු වීමට අදහස් කරගෙන සිටින ආකාරයක්ද දැකිය හැකි වෙයි. වසර දහයකට පසුවත් තවමත් තමුන් සාධාරණය වෙනුවෙන් බලා සිටින බව බෙනසීර්ගේ දියණිය වන අසීෆා බූතෝ සර්දාරි පවසා තිබේ. ඝාතනයේ උදව්කාරයන්ට දඬුවම් දුන් නමුත් තම මවගේ මරණයට සැබැවින්ම වගකිව යුත්තන් තවමත් නිදහසේ සැරිසරණ බව ඇය තවදුරටත් සඳහන් කර ඇත.

බෙනාසීර් බූතෝ දෙවරක්ම පාකිස්තානයේ අගමැති ධුරය දැරූ නායිකාවකි. 1988 සහ 1990 අතරද, 1993 සහ 1996 අතරද ඇය අගමැති ධුරයෙහි කටයුතු කළාය. පාකිස්තානයේ තවත් සුප්‍රකට නායකයකු වූ සුල්ෆිකාර් අලි බූතෝ ඇගේ පියා විය. මුස්ලිම් බහුතරයක් ජීවත්වන රටක ප්‍රජාතන්ත්‍රවාදී ආකාරයෙන් නායකත්වයට පත් පළමු කාන්තාව ලෙසද ඇය ඉතිහාසයට එක් වූවාය.

නිහාල් පීරිස්
 

එංගලන්තයේ ලන්ඩන් නුවර පිහිටි බිග් බෙන් ඔරලෝසුව ලෝකයේ ඇති ප්‍රසිද්ධම ඔරලෝසුව ලෙස සැලකිය හැකිය. පසුගිය සතියේ එය ලොව ජනමාධ්‍ය තුළ ප්‍රධාන පුවත් මවන්නෙකු බවට පත් වූ අතර ඊට හේතු වූයේ බිග් බෙන් ඔරලෝසුවේ හඬ වසර හතරක කාලයක් සඳහා නිහඬ කරනු ලැබිමයි. මේ ආකාරයෙන් නිහඬවීමට පෙර එය අවසන් වරට හඬ නැගුවේ පසුගිය සඳුදා (21 දා) දහවල් 12ටය.
මේ ආකාරයෙන් මෙම ඔරලෝසුවෙහි ඝණ්ටාව නිහඬ කරන ලද්දේ, ප්‍රධාන වශයෙන්ම, එය සවි කර ඇති එළිසබෙත් කුලුනෙහි අලුත්වැඩියා කටයුතු වාගයක් සිදු කිරීමට නියමිතව තිබිම හේතුවෙනි. මෙම අලුත්වැඩියා කටයුතු සඳහා සහභාගි වන පිරිසට ඔරලෝසු ඝණ්ටාවේ මහත් ශබ්දය හේතුවෙන් ඇති විය හැකි ශ්‍රවණා බාධ සහ වෙනත් සෞඛ්‍යමය ගැටලු වැළැක්වීම සඳහා මේ ආකාරයෙන් එය නිහඬ කරන ලද බව පැවැසේ. දැනට සඳහන් වන ආකාරයට අනුව නැවත බිග් බෙන්හි හඬ අසන්නට ලැබෙනු ඇත්තේ වසර 2021දීය. එහි අලුත්වැඩියා කටයුතු වෙනුවෙන් ස්ටර්ලින් පවුම් මිලියන 30කට ආසන්න මුදලක් වැය වනු ඇතැයි ද සඳහන්ය. එය ලංකාවේ මුදලින් රුපියල් කෝටි 550කට ආසන්න ය.
බිග් බෙන් ඔරලෝසුව සහ ඝණ්ටාව සවි කර ඇති කුලුන කලින් හැඳින්වූයේ හුදෙක් ඔරලෝසු කුලුන යනුවෙන් පමණි. නමුත් 2012 වසරේ එළිසබෙත් මහ රැජිනගේ අභිෂේකයෙහි දියමන්ති ජුබිලිය සැමැරූ අවස්ථාවේ එය එළිසබෙත් කුලුන යනුවෙන් නම් කරනු ලැබිණි.
මෙවර කෙරෙන අලුත්වැඩියාවන්හිදී එළිසබෙත් කුලුනෙහි පියස්ස ඉවත් කර අලුත් පියස්සක් ඉදි කිරීම, ඔරලෝසුව පිහිටුවා ඇති ගඩොලින් බැඳි කුටීරය වෙනුවට වීදුරු කුටීරයක් ඉදි කිරීම, ඝණ්ටාවෙහි රාමුව අලුත්වැඩියා කිරීම, වතුර කාන්දුවන ස්ථාන රැසක් පිළිසකර කිරීම, කුලුනට විදුලි සෝපානයක් සවි කිරීම ඇතුළු කටයුතු රැසක් නිමකිරීමට නියමිතය. මෙම අවස්ථාවෙහි මෙකී අලුත්වැඩියා කටයුතු සිදු කිරීම ඔරලෝසුවෙහි සහ කුළුණෙහි කල් පැවැත්ම වෙනුවෙන් අත්‍යවශ්‍යව ඇති බව ඒ පිළිබඳ ඉංජිනේරුවරුන්ගේ අදහස වී තිබේ.
සඳුදා බිග් බෙන් ඔරලෝසුව නිහඬ වූ අවස්ථාව විශේෂයෙන් එංගලන්ත වැසියන්ට ඉතා ශෝකී අවස්ථාවක් වූ බව වාර්තා වෙයි. එදින දහවල් එහි අවසන් හඬ නැගීම ශ්‍රවණය කිරීම සඳහා විශාල පිරිසක් ඒ අවට රැස්ව සිටි බවද සඳහන් විය. බිග් බෙන් ඔරලෝසුව එංගලන්තයේ පේ‍රෟඩත්වය පිළිබඳ සංකේතයක් වශයෙන් සැලකෙන නිසා එය වසර හතරක් වැනි දිගු කාලයකට නිහඬ කිරීම සම්බන්ධයෙන් දැඩි විරෝධතා ද පැන නැගිණි. එරට පාර්ලිමේන්තුව තුළ පවා මේ ගැන වාද විවාද ඇති වූ බැව් වාර්තා විය. මෙම වසර හතරේ කාල සීමාව ගැන නැවත සලකා බලන මෙන්ද යෝජනා ඉදිරිපත්ව තිබේ. කෙසේ වෙතත් නව අවුරුදු උදාව වැනි විශේෂ අවස්ථාවලදී එය  තවදුරටත් හඬ නගනු ඇති බවද සඳහන් වෙයි.
බිග් බෙන් ඔරලෝසුව ඉදි කරන ලද්දේ 1858 වසරේය. එය පිහිටා ඇත්තේ බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව පිහිටි ගොඩනැගිල්‍ලේම එක් පාර්ශ්වයකයි. මෙයට බිග් බෙන් යන නම ලැබුණේ කෙසේද යන්න ගැන ස්ථිර අදහසක් ඇති බවක් නොපෙනේ. නමුත් සාමාන්‍ය පිළිගැනීම වී ඇත්තේ එහි ඉදිකිරීම් කටයුතු අධීක්ෂණය කළ ශ්‍රීමත් බෙන්ජමින් හෝල් සිහිවනු පිණිස ඊට එම නම තබන්නට ඇති බවයි. තවත් මතයකින් කියැවෙන්නේ බ්‍රිතාන්‍යයේ ශ්‍රේෂ්ඨ බොක්සිං ශූරයෙකු වූ බෙන් කෝන්ට් සිහිවනු පිණිස එම නම තබන්නට ඇතැයි කියාය. ඔරලෝසුව හා සම්බන්ධ දැවැන්ත ඝණ්ටාව මෙම ස්ථානයට රැගෙන විත් ඇත්තේ තේම්ස් නදිය ඔස්සේ බවද මේ පිළිබඳ ඉතිහාසයෙහි සඳහන් වෙයි.
බිග් බෙන් ඔරලෝසුව මේ ආකාරයෙන් නිහඬ කෙරුණු පළමු අවස්ථාව මෙය නොවේ. 1858 වසරේ එය සවි කිරීමෙන් පසු 1859 සිට 1863 දක්වාද වසර හතරක් එය නිහඬ කර තිබූ බව වාර්තා වෙයි. එයට හේතු වී ඇත්තේ එහි පැවති යම් තාක්ෂණික ගැටලුය. නැවතත් 1976 සහ 2007 වසරවලද ඔරලෝසුව නිහඬ කර තිබි ඇති බැව් පැවැසේ.
 
කිත්සිරි මල්වත්ත

මේජර් ක්ලෝඞ් හෙන්සිංගර් දෙවෙනි ලෝක යුද සමයේ ඇමෙරිකානු බෝයිං බී 29 ප‍්‍රහාරක යානයක ගුවන් නියමුවෙකි. 1944 වසරේ මුල් මාස කීපය තුළ ඔහු මාස හතරක කාලයක් එක් නිවාඩුවක් පවා නොගෙන සේවය කළේ ජූලි මාසයට යෙදී තිබූ ඔහුගේ විවාහ මංගල උත්සවය වෙනුවෙන් සති දෙකක නිවාඩුවක් ලබා ගැනීමේ අරමුණෙනි. ජුනි මාසයේ එක් දිනක ඔහු සිය විවාහ මංගල්‍යය වෙනුවෙන් නිවාඩු ලබාගෙන එවකට සේවය කරමින් සිටි ජපානයේ යොවාටා නගරයේ සිට ඇමෙරිකාව බලා පියාසර කරමින් තිබුණේ ගුවන් හමුදා මිතුරන් තුන් දෙනෙකුද සමගිනි. ඔහුගේ ගමන් මාර්ගය වී තිබුණේ චීනයට ගොස් බීජිං නගරයෙන් මගී ගුවන් යානයක නැග ඇමෙරිකාව බලා ගමන් කිරීමයි. නමුත් ඔහු සිය ප‍්‍රහාරක යානයෙන් චීනයේ කඳු වලල්ලකට ඉහළින් පියාසර කරමින් සිටි අවස්ථාවක සිය යානයේ යම්කිසි කාර්මික දෝෂයක් හට ගෙන ඇති බවට හදිසි සංඥා නිකුත් වන්නට විය. 
විනාඩි කීපයක් තුළ යානය යථා තත්ත්වයට පත් කර ගන්නට උත්සාහ කළද ඉන් පළක් නොවුණ අතර ඒ වන විටත් යානය තුළ හටගත් ගින්න වේගයෙන් පැතිරෙමින් පැවැතිණි. ඒ සමගම පාලක මැදිරියෙන් අණ ලැබුණේ නිලධාරීන් සිව් දෙනාම යානයෙන් ඉවතට පැන පැරෂුට් මගින් ආරක්ෂිත ලෙස දිවි බේරා ගත යුතු බවයි. පාලක මැදිරියේ අණට අනුව සිව් දෙනාම යානයෙන් බිමට පනින ලදී. නමුත් මෙම පිම්මත් සමගම ඉතා අවාසනාවන්ත ලෙස හෙන්සිංගර්ගේ මිතුරන් තිදෙනාගේම ජීවිත ඔවුන්ට අහිමි වූ අතර ඔවුන්ගේ පැරෂුට පවා ගින්න නිසා විනාශ වී තිබිණි. හෙන්සිංගර් පමණක් කිසිදු තුවාලවීමකින් තොරව දිවි බේරා ගන්නා ලදී. ඔහුට ආරක්ෂාකාරී ලෙස පොළොව මතට ගොඩ බැසිය හැකි වූයේ ඒ මොහොතේ පවා පිලිස්සී තිබූ පැරෂුටය මගිනි.
යානය තුළ හටගත් ගින්න සහ ඒ සම්බන්ධ පරීක්ෂණ කටයුතුත් මිතුරන්ගේ අවමංගල්‍යය උත්සවත් ආදී කටයුතු නිසා ඔහුගේ විවාහ මංගල්‍යය සති දෙකකින් පමණ කල් දමන්නට ඔහුට සිදු විය. මිතුරන් තිදෙනාගේ ජීවිත අහිමි වුවද සිය ජීවිතය බේරා දුන් පැරෂුටය අමතක කරන්නට හෙන්සිංගර් කැමැති වූයේ නැත. මෙම පැරෂුටය සිය ජීවිතයේ අමරණීය මොහොත සමග සම්බන්ධ කරන්නට ඔහු උත්සාහ ගත්තේ ඒ අනුවය.
ඒ වනවිටත් මංගල උත්සවය වෙනුවෙන් සිය මංගල ඇඳුම සූදානම් කර තිබූ හෙන්සිංගර්ගේ මනාලිය රූත්ට තමන් විසින් සූදානම් කළ මංගල ඇඳුම අඳින්නට අවස්ථාවක් උදා වූයේ නැත. එයට හේතු වූයේ හෙන්සිංගර්ගේ ඉල්ලීමකි. ඔහුගේ ජීවිතය බේරා ගත් පැරෂුටය මංගල ඇඳුමක් බවට පත් කර විවාහ උත්සවය දින ඉන් සැරසෙන ලෙස ඔහු රූත්ගෙන් ඉල්ලා සිටියේය. ඉන් පසු වහාම අඩක් පිලිස්සී ගිය පැරෂුටය මංගල ඇඳුමක් බවට පත් කිරීම ආරම්භ විය. දින 9ක් මහන්සියකින් පසු නයිලෝන් තුන් හුලස් රෙදි කැබලි 16කින් යුතු පැරෂුටය අලංකාර තට්ටු සහිත මංගල ඇඳුමක් බවට පත් විය. එය නිර්මාණය කරන ලද්දේ 1939 වසරේ අතිශය ප‍්‍රසිද්ධියට පත් වූ ‘‘ගෝන් විත් ද වින්ඞ්’’ නම් සිනමා පටයේ ස්කාලට් ඔහාරා විසින් අඳින ලද ඇගේ මංගල ඇඳුමටය.
1944 වසරේ ජූලි 19 වෙනිදා පෙන්සිල්වේනියාවේ Neffs Luther Church හිදී හෙන්සිංගර් සහ රූත්ගේ විවාහ මංගල්‍යය උත්සවාකාරයෙන් පැවැත්විණි. මංගල දිනයේ උදෑසන රූත් සිය අලූත්ම මාදිලියේ මංගල ඇඳුමින් සැරසී හෙන්සිංගර් ඉදිරියට එන තෙක් ඔහු මෙම පැරෂුට් මංගල ඇඳුම දැක තිබුණේ නැත. එය දුටු මොහොතේම ඔහු එකවරම එයට හමුදා ගෞරවය දැක්වීය. ඒ රූත්ට හෝ මංගල ඇඳුමට නොව, දක්ෂ ගුවන් හමුදා නිලධාරීන් තිදෙනකෙුගේ ජීවිත අහිමි වුවද තම ජීවිතය බේරා දුන් මෙම ෂැරෂුටයටය. විවාහ මංගල්‍යයෙන් පසු මෙම පැරෂුට මංගල ඇඳුම ගුවන් හමුදා කෞතුකාගාරයේ තැන්පත් කෙරිණි. මෙම සිදුවීමට වසර 73ක් පිරුණු පසුගිය ජූලි මස 19 වැනිදා මෙම පැරෂුට මංගල ඇඳුම ස්මිත්සෝනියන් ජාතික කෞතුකාගාරයේ තැන්පත් කෙරිණි. ඒ හෙන්සිංගර්ගේ අවසන් කැමැත්තට අනුවය.
 
දුලංජලී මුතුවාඩිගේ

Page 3 of 7

IMAGE

සැමියාගේ බිමත්කම සහ නොගැළපීම නිසයි විවාහය බිඳ වැටුණේ

IMAGE 2017 Nov 23 13:33
තිලකා රණසිංහගේ ජීවිතයේ වඩාත්ම සතුටු වූ අවස්ථාව හා වැඩියෙන්ම දුක් වූ අවස්ථාව සිහිපත් කරන්න...
Views - 4892

ලංකාව හැර ගිය නතාෂා ආපහු ඇවිත් කියපු කතාව

IMAGE 2017 Nov 23 08:03
නතාෂා පෙරේරා පහුගිය කාලයේ වැඩිපුර දකින්නට ලැබුණේ නැහැ. ඒ ඇය තමන්ගේ ආදරණීය සැමියා ප්‍රිහාන්...
Views - 4477

55 වියැති බැංකු ලොක්කා 29 කන්තෝරු නෝනා සමඟ 'හනිමූන්' ගිහින්

IMAGE 2017 Nov 22 12:50
බැංකුවක උසස් නිලයක් දරන පනස්පස් හැවිරිදි සිය සැමියා වසර ගණනාවක් තිස්සේ විසිනව හැවිරිදි රජයේ...
Views - 7632

අහසේ සිට බිමට පනින එස්.ටී.එෆ්. යුවතියෝ

IMAGE 2017 Nov 22 10:55
අම්පාර උහන ගුවන් ධාවන පථයෙන් අහසට නැඟගත්, එම්. අයි. 17 වර්ගයේ හෙලිකොප්ටරය  නිලඹර දෙපළු කරමින්...
Views - 4840

මිහිදුම සහ වැස්ස ගැන 'කාලගුණ විද්‍යාවෙන්' බොරු කී‍වේ ඇයි?

IMAGE 2017 Nov 22 10:43
මේ දිනවල අළුයම් කාලයේ අගනුවර ඇතුළු ප්‍රදේශ රැසක දැඩි මිහිදුම් තත්ත්වයක් දක්නට ලැබුණු බව...
Views - 3103

මුගාබේගේ බිරිඳ ද පක්ෂයෙන් නෙරපයි

IMAGE 2017 Nov 21 09:37
වසර 37  ක කාලයක් සිම්බාබ්වේ දේශය පාලනය කළ රොබට් මුගාබේ නිවාස අඩස්සියට ගනිමින් හමුදාව එරට...
Views - 3911

Please publish modules in offcanvas position.

Web Analytics