lakbima.lk

ළඟදි යුගදිවි ගමන් අරඹන නවසීලන්තයේ අගමැතිනිය


නවසීලන්තයේ අගමැතිනිය වන ජසින්ඩා ආඩන් කෙටිකලක් තුළ ලොව පුරා ප්‍රශංසාවටත්, විවේචනයටත් ලක්වූවාය. ප්‍රශංසාව හිමිවුණේ නවසීලන්තයේ ඉස්ලාම් දේවස්ථානයක සිදු වූ මිනිස් සංහාරයෙන් පසු මුස්ලිම් ජනතාව වෙත සහෝදරත්වයේ දෑත් දිගුකරමින් මුස්ලිම් කාන්තාවක මෙන් හිස වසාගෙන සොව පළකිරීම හේතුවෙනි.

කෙසේවුවද පසුගිය පාස්කු ඉරිදා අප රටේ මුස්ලිම් අන්තවාදීන් විසින් එල්ලකල ප්‍රහාරය හා ලොව පුරා පැතිරෙන මුස්ලිම් මූලධර්මවාදයට එරෙහිව නැගෙන විරෝධය සමග ඇගේ පෙර සඳහන් කල ක්‍රියාවද විවේචනයට ලක්ව තිබේ. ඒ අතර ජසින්ඩා ඉස්ලාම් දහම අදහන අයෙකු බවද, ඇය සෑම සිකුරාදා දිනකම හැග්ලි උද්‍යානය අසල ඇති අල්නුර් ඉස්ලාම් දේවස්ථානයට යාච්ඤා සඳහා පැමිණෙන බවද කියැවෙයි.

නවසීලන්තය සැලකියයුතු මුස්ලිම් ජනගහනයක් සිටින රටකි. උපතින් ක්‍රිස්තුස්වහන්සේ වෙනුවෙන් කැපවුණු  දේවස්ථානයක් මුල්කොටගත් මෝමොන් ආගමට අයත් වුවද 2005 වසරේ ඇය එම ආගම හැරගියේ එය සමලිංගික අයිතීන් වැනි තමා පෞද්ගලිකව විශ්වාස කරන අදහස් සමග ගැටෙන බව කියමිනි. පෙනුමින් ප්‍රියමනාප හා වෙනත් රාජ්‍ය නායකයින් හා සසඳන විට වයසින් අඩු ජසින්ඩා මේ දිනවල කතාබහට ලක්වන අනෙක් හේතුව වන්නේ තම පෙම්වතා සමග එක්ව දියණියක ලැබුවද මතෛක් විවාහ වී නොසිටි ඇය විවාහයට සූදානම් වීමය.

තම හතළිස් එක් හැවිරිදි පෙම්වතා තමාට විවාහ යෝජනාවක් ගෙනා බව ඇය මාධ්‍යයට හෙළිකොට තිබුණි. ඒ අනුව ඔවුන්ගේ විවාහය ළඟදීම සිදුවනු ඇත. මේ දෙදෙනා මුලින්ම මුණගැසෙන්නේ දෙදෙනාගේම මිතුරියක විසින් හඳුන්වා දුන් අවස්ථාවේය. කෙසේවුවද දෙදෙනා අතර සමීප සබඳතාවයක් ඇරඹුණේ රජය ගෙන එන්නට යන ආන්දෝලනාත්මක පනතක් ගැන මාධ්‍යවේදීයෙකු ලෙස ක්ලාක් ඇගෙන් විමසූ අවස්ථාවේ සිටය.

මෙසේ විවාහ නොවී එක්ව විසීම හා ඒ කාලයේදී දරුවකු ලැබිමද රාජ්‍ය නායිකාවක සම්බන්ධයෙන් සලකා බලනවිට අමුතු වැඩකි. 2017 ඔක්තෝබර් විසිහය වැනිදා සිට නවසීලන්තයේ හතළිිස් වැනි අගමැති ලෙස කටයුතු කරන ජසින්ඩා කේට් ලොරේල් ආඩ්න්ගේ වයස අවුරුදු තිස් අටකි. 2017 අගෝස්තු පළමු වැනිදා සිට එරට කම්කරු පක්ෂයේ නායිකාව වන්නේද ඇයයි. ක්ලාක් ගේෆඩ් ඇගේ පෙම්වතා වන අතර ඇය අගමැති පදවියේ දිව්රුම් දුන්නේද එවකට විවාහනොවූ නමුත් දියණියකගේ දෙමව්පියන්ව සිටියදීය.

2017 මැතිවරණය ජය ලැබිමෙන් පසු මවුන්ට් ඇල්බට්හි පිහිටි නිවසේ ගේට්ටුව අසල ඇය ප්‍රවෘත්ති සාකච්ඡාවක් පැවැත්වූයේද ඔහු අසල තබාගෙනය. පසුගියදා තමා විවාහ වන බව දැන්වීමට ක්ලාක් සමග ඇය මාධ්‍ය හමුවක් පැවැත්වූයේ නිවසේ දොර අසලය. ඉන්පසු පැමිණ සිටි මාධ්‍යවේදීන්ට සංග්‍රහයක් සූදානම් වූයේ නිවස තුළය.
“අපි හුඟක් සතුටින් ඉන්නේ. අපි දෙන්නට සාර්ථක විවාහ ජීවිතයක් ගෙවන්න පුඵවන් කියලා විශ්වාසයි. අගමැති යුවළගේ දරුවා ලොකුමහත් කරගන්න නවසීලන්තයේ ජනතාව අපට උදව් කරාවි” සිනහමුසු මුහුණින් ජසින්ඩා පැවැසුවාය. තමා ගැබ්ගෙන සිටින බව අගමැතිනිය රටට දන්වා සිටියේ පසුගිය වසරේ ජනවාරි මාසයේදීය.

තම පළමු දරුවා ජුනි මාසයේ උපත ලබන බවද ඇය කීවාය. දරු උපතින් පසු සති හයක් ඇය නිවාඩු ගත්තේ අගමැති පදවිය තාවකාලිකව උප අගමැතිවරයාට පවරමිනි. තමා දරන අනෙක් ඇමැති පදවි සඳහාද ඇය වැඩ බලන ඇමැතිවරු පත්කළේ ඉහත සති හය තමාට විවේකී සුවයෙන් පසුවීමට ඉඩහරින ලෙසට ඉල්ලීමක්ද කරමිනි. මෙහිදී දරුවාගේ වැඩ කටයුතු වල තමා කාර්ය බහුලව සිටින අවස්ථාවල නිවසට වී ඉටුකිරීමට ක්ලාක් කැමති වූ බවද රැකියාවට නොගොස් දියණිය බලාගෙන නිවසට වී සිටීමට තම සහකරු කැමති බවද මෙහිදී ඇය වැඩිදුරටත් හෙළිකොට තිබුණි.

ක්ලාක් සේවය කළේ ගුවන් විදුලි හා රූපවාහිනී මාධ්‍යවේදියෙකු ලෙසටය. දෙදෙනාම රැකියාවල් කරන අතරේ දරුවන් රැකබලාගැනීමට දෙමව්පියන් වෙහෙසෙන ආකාරය බලනවිට තමන් දෙදෙනා ඉතා වාසනාවන්ත බවද ඇය කියයි. දරුවන් ලැබිමට තමන් දෙදෙනා ඉතා ආශාවෙන් සිටි බවද ඇය කියා තිබේ. දියණියට නවෛ තේ අරෝහා ආඩ්න් ක්ලාක් ලෙස නම් තැබුණු අතර ඉන් පළමු නම අයර්ලන්තයට අයත් බවද, දෙවැන්න නවසීලන්තයේ මුල් ගෝත්‍රිකයින් වූ මාඕරි ජාතිකයින්ට අයත් බවද කියැවෙයි.


නවසීලන්ත අගමැතිවරයෙකු එම පදවිය දරන අතරේ දරු උපතක් සිදුකළ පළමු අවස්ථාව ලෙස ජසින්ඩා දරුවෙකු ලැබිම වාර්තාවුවද ලොව එසේ සිදුවු පළමු වතාව එය නොවන්නේ පාකිස්තානයේ අගමැතිනිය වූ බෙනාසීර් භුට්ටෝ පදවිය දරන කාලය තුළ දරුවෙකු බිහිකළ බැවිනි. අගමැති පදවියට පත්වන්නට පෙර හා පත් වූදා සිටම හැකි ඉක්මනින් මව් පදවිය ලැබිමට තමා බලා‍පොරොත්තු වන බව ජසින්ඩා කියා සිටියාය.

කෙසේ වුවද කම්කරු පක්ෂයේ නායක තනතුර ලැබුණු අලුත්ම දරු සැලසුම් මොනවා දැයි සම්මුඛ සාකච්ඡාවකදී ඇසූ මාධ්‍යවේදියා සමග ඇය ගැටුනේ එය කාන්තාවක සේවයට බඳවාගැනීමට පෙර දරුවන් පිළිබඳ ඇගේ සැලසුම් මොනවාදැයි දැනගැනීමට ආයතනයක හිමිකරුවන් දැනගැනීමට ගන්නා උත්සාහයට සමාන බව කියමිනි.

කෙසේවුවද ප්‍රශ්නය ඇසූ මාධ්‍යවේදී මාක් රිචඩ්සන් කියා සිටියේ ඇය අනාගතයේදී නවසීලන්තයේ අගමැති පදවිය වැනි බැරෑරුම් කටයුත්තක නියැළෙන්නට යන බැවින් ඒ ගැන දැනගැනීමට ජනතාවට අයිතියක් ඇති බවය. කෙසේවුවද මෙම ප්‍රශ්නය එවිට විපක්ෂ නායිකාව වූ ජසින්ඩා ගෙන් ස්ත්‍රීත්වය මුල්කොටගෙන ඇසු ප්‍රශ්නයක් ලෙස සලකා බොහෝ දෙනෙකුගේ විරෝධය ඊට එල්ලවිය.

නවසීලන්තයේ හැමිල්ටන් හි උපත ලැබු ජසින්ඩාගේ පියා ‍පොලිස් නිලධාරියෙක් වූ අතර මව පාසල්වලට ආහාර ලබාදීමේ රැකියාවක නිරතවූවාය. ඇයව දේශපාලන ලොවට හඳුන්වාදෙන ලද්දේ කම්කරු පක්ෂයේ දිගුකාලීන සාමාජිකාවක වූ නැන්දණියක විසිනි. මුලින්ම පක්ෂයට එක්වන විට ජසින්ඩාගේ වයස අවුරුදු දහහතකි. මීට ටික කලකට පෙරද ජසින්ඩාගේ නම ලොවපුරා කියැවිණි.

ඒ ඇය බෙහෙවින් ආදරය කළ හා අගමැති නිවසටද ඇය සමග පැමිණි සුරතල් බැළලිය පැඩ්ල්ස්  රිය අනතුරකින් මියගිය අවස්ථාවේය. පැඩ්ල්ස් ට ට්විටර් ගිනුමක් පවා ජසින්ඩා අරඹා තිබුණු අතර එය ජනතාව අතර බෙහෙවින් ජනප්‍රිය විය.සතුන්ට බෙහෙවින් ආදරය කරන්නියක ලෙසින්ද ජසින්ඩා ප්‍රකටය.

නිශානි දිසානායක
      

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.