Home    |    Daily Lakbima    |    Sunday Lakbima    |   Rajina |    Archive    |    Advertise With Us    |     Careers Email - [email protected] youtube
lakbima.lk

                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්     

පසුගිය කාලය තුළ ඉතා ප්‍රබල රාජ්‍ය නායිකාවක ලෙස වැජඹුණු තවත් දේශපාලන චරිතයක් සිය අනාගතය පිළිබඳ තීරණාත්මක සන්ධිස්ථානයකට එළැඹෙන් සිටින ආකාරයක් දක්නට ලැබේ. ඒ අන් කිසිවෙකු නොව ජර්මන් චාන්සලර් ඇන්ජෙලා මර්කල් ය. මේ වනවිට ඇයත්, ඇගේ පක්ෂය ඇතුළත් ක්‍රිස්තියානි ප්‍රජාතන්ත්‍රවාදී සන්ධානයත් තරමක් අමාරුවේ වැටී සිටින ආකාරයක් දක්නට ලැබේ.
මෙම අලුත් තත්ත්වය උද්ගත වූයේ මෙයට මාස දෙකකට පෙර පවත්වන ලද ජර්මන් මහමැතිවරණයෙන් අනතුරුව දිග හැරුණු තත්ත්වය හේතුවෙනි. පසුගිය සැප්තැම්බර් මාසයේ පැවැත්වුණු මහා මැතිවරණයෙන් මර්කල්ගේ පක්ෂය පළමු තැන දිනාගන්නට සමත් වූ නමුත් ආණ්ඩුවක් පිහිටුවීම සඳහා අවශ්‍ය බහුතරය දිනාගන්නට සමත් වූයේ නැත. ආසන 709කින් සමන්විත එරට පාර්ලිමේන්තුව තුළ ක්‍රිස්තියානි ප්‍රජාතන්ත්‍රවාදී සන්ධානයට දිනාගත හැකි වූයේ ආසන 246ක් පමණි. (ආණ්ඩුවක් පිහිටුවීමට නම් අවම වශයෙන් ආසන 355ක් දිනාගත යුතුය). ඒ අනුව මර්කල්ගේ පක්ෂය ආණ්ඩුවක් පිහිටුවීම සඳහා තවත් පක්ෂයක් හෝ පක්ෂ කිහිපයක් සමග එක්විය යුතු විය. දැන් සති හතරක කාලයක් තිස්සේ මේ සඳහා පක්ෂ කිහිපයක් සමග ඇය සාකච්ඡා කරමින් සිටිනමුත් තවමත් ඔවුන් අතර එකඟතාවක් ඇති කර ගැනීමට ඇය අසමත්ව සිටියි. පසුගිය ඉරිදා (19) වනවිට මේ සම්බන්ධයෙන් යම් සම්මුතියක් ඇති කර ගැනීමට නියමිතව තිබූ නමුත් එම කාලසීමාව පසුවන තුරුත් එවැනි එකඟතාවක් ඇති කරගැනීමට නොහැකි වී තිබේ. මෙම තත්ත්වය තුළ ජර්මනියේ මීළඟ ආණ්ඩුව පිහිටුවීම සම්බන්ධයෙන් බරපතළ අර්බුදයක් නිර්මාණය වී ඇති බව පෙනී යයි.
මෙය සැලකෙන්නේ මෑත කාලය තුළ ජර්මන් දේශපාලනයෙහි ඇති වූ බරපතළම තත්ත්වයක් වශයෙනි. පසුගිය කාලය තුළ ඉතා ස්ථාවර තත්ත්වයක තිබූ ජර්මන් දේශපාලන පරිසරය මෙම තත්ත්වය තුළ කිසියම් අස්ථාවර බවක් ගැනීමට පටන් ගෙන තිබේ. මෙය ඇන්ජෙලා මර්කල් චාන්සලර් ධුරය දැරූ වසර 12ක කාලය තුළ ඇය මුහුණ දුන් ලොකුම අභියෝගය ලෙසද සඳහන් කළ හැකි වෙයි.
ආණ්ඩුවක් පිහිටුවීම සඳහා මර්කල් පසුගිය දිනවල සාකච්ඡා කරමින් සිටි පක්ෂ දෙකක් වෙයි. ඒ නිදහස් ප්‍රජාතන්ත්‍රවාදී            පක්ෂය (Free Democratic Party) සහ හරිත පක්ෂය (Green Party)  යන පක්ෂ දෙකයි. නිදහස් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයට ආසන 80ක් හිමි අතර හරිත පක්ෂයට ආසන 67 ක් හිමි වී තිබේ. මෙම පක්ෂ දෙක මර්කල්ගේ පක්ෂය සමග එක්වීමට එකඟ වී නම් ඇයට ආණ්ඩුවක් පිහිටුවීමට හැකියාව තිබිණි. නමුත් ඉරිදා රාත්‍රිය පුරා පැවැති අවසන් සාකච්ඡාවලින් පසු වාර්තා වූයේ එවැනි එකඟතාවක් ඇති කරගැනීමට නොහැකි වීම හේතුවෙන් නිදහස් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය සාකච්ඡාවලින් ඉවත් වී ඇති බවයි. විශේෂයෙන් ජර්මනියට ඇතුළු වන සරණාගතයන් පිළිිබඳ ප්‍රශ්නය, බදු ප්‍රතිපත්ති ආදිය කේන්ද්‍ර කරගෙන ඔවුන් අතර යම් යම් ගැටලු පවතින බවද අනාවරණය වී තිබේ. මේ අතර නිදහස් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නායක ක්‍රිස්ටියන් ලින්ඩ්නර් පවසා තිබුණේ එකිනෙකා අතර විශ්වාසයක් ගොඩනගා ගැනීම ඉතා අපහසු වී ඇති බවය. ඇති වී තිබෙන තත්ත්වය සම්බන්ධයෙන් තමා බෙහෙවින් කනගාටුවට පත්වන බව මර්කල්ද මාධ්‍ය හමුවේ ප්‍රකාශ කර තිබිණි.
ජර්මන් ජනාධිපතිවරයා වන ෆ්‍රෑන්ක්-වෝල්ටර් ස්ටයින්මයර් ද මෙම තත්ත්වය පිළිබඳ දැඩි කණස්සල්ල පළ කර ඇති අතර අර්බුදයෙන් ගොඩ ඒම සඳහා තමා සියලු පක්ෂවල නායකයන් සමග සාකච්ඡා කිරීමට බලා‍පොරොත්තු වන බව පවසා ඇත. මෙය ජර්මනිය තුළ මෑත කාලයේ කිසිදා අත්නොදුටු තත්ත්වයක් බවද ඔහු සඳහන් කර තිබේ. රටේ යහපත වෙනුවෙන් වගකීමෙන් යුතුව කටයුතු කරමින්, යම් යම් කැපකිරීම් කරමින්, එකඟතාවන්ට එළැඹීමට පියවර ගන්නා ලෙස ඔහු පක්ෂවලින් ඉල්ලීමක් කර තිබිණි.
කෙසේ හෝ වේවා නිදහස් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය සමග යම් එකඟතාවක් ඇති කරගැනීමට මර්කල් අසමත් වුවහොත් විකල්පයන් දෙකක් පවතියි. එකක් නම් මර්කල්ගේ ක්‍රිස්තියානි ප්‍රජාතන්ත්‍රවාදී සන්ධානය සහ හරිත පක්ෂය එකතු වී සුළුතර ආණ්ඩුවක් පිහිටුවා ගැනීමයි. අනෙක නම් නැවත මහ මැතිවරණයක් කැඳවීමයි. මෙම විකල්ප දෙකෙන් කුමන විකල්පය තෝරා ගත්තද එය මර්කල්ට එතරම් වාසිදායක හෝ යහපත් එකක් වනු ඇතැයි සිතිය හැකි නොවේ. සුළුතර ආණ්ඩුවක් යනු එතරම් ශක්තිමත් ආණ්ඩුවක් නොවන බව අමුතුවෙන් කිව යුතු නැත. මේ වනවිට ජර්මනිය සහ ‍පොදුවේ ගත් විට  යුරෝපා සංගමයද මුහුණ දී සිටින සංකීර්ණ ගැටලු  හමුවේ එවැනි දුර්වල ආණ්ඩුවක නායකත්වය දැරීම ඉතා අභියෝගාත්මක සහ ගැටලුකාරී කටයුත්තක් වනු නිසැකය. අනික් අතට නැවත මහා මැතිවරණයක් කැඳවුවත් ඇයගේ සන්ධානයට මෙයට වඩා හොඳ ප්‍රතිඵලයක් අත් කරගැනීමට හැකි වනු ඇත්ද යන්න අවිනිශ්චිතය. සමහර විට මෙයටත් වඩා නරක ප්‍රතිඵලයක් වුවද ලැබෙන්නට ඉඩ තිබේ. ඇයගේ ප්‍රධානම ප්‍රතිවාදී පක්ෂය වන සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය මෙන්ම ජාතිකවාදී නැඹුරුවක් සහිත අලුත් පක්ෂයක් වන 'ජර්මනියට විකල්පයක්' (Alternative for Germany) පක්ෂයද පසුගිය මහමැතිවරණයේදී විශාල තරගකාරී බවක් පෙන්වූ පක්ෂය. ජර්මනිය තුළ පසුගිය කාලයේ ප්‍රධාන ගැටලුවක් ඇති කළ එරටට පැමිණෙන සංක්‍රමණිකයන් සහ සරණාගතයන් සම්බන්ධයෙන් දැඩි සීමා පැනවිය යුතු බව කියන 'ජර්මනියට විකල්පයක්' පක්ෂය වේගයෙන් ජනප්‍රිය වෙමින් සිටින පක්ෂයක් බවද අමතක කළ හැකි නොවේ. නැවත මැතිවරණයක් පැවැත්වුවහොත් මෙම පක්ෂද වඩා බලවත්ව මතුවීමට වුවද ඉඩ තිබේ. මෙම තත්ත්වය තුළ මේ වනවිට ජර්මනිය මෙන්ම වසර 12 ක් තිස්සේ එහි ප්‍රබල නායිකාව වූ මර්කල්ද මුහුණ දී සිටින්නේ තීරණාත්මක තත්ත්වයකට බව පැවැසිය හැකිය. නැවත මැතිවරණයක් පැවැත්වීමට තීරණය වුවහොත් එම මැතිවරණයට ක්‍රිස්තියානි ප්‍රජාතන්ත්‍රවාදී සන්ධානය මර්කල්ගේ නායකත්වයෙන්ම ඉදිරිපත් වෙනවාද වැනි ප්‍රශ්න පවා එම සන්ධානය තුළ ඇති විය හැකි බවටද ඇතැම්හු අදහස් පළ කරති. ඒ අනුව ඇයට නායකත්වය සම්බන්ධ අභියෝගයකට පවා මුහුණ දීමට සිදු විය හැකිය.
ජර්මනිය තුළත්, මර්කල් සම්බන්ධයෙනුත් මතු වී තිබෙන මෙම අවිනිශ්චිත තත්ත්වය රට තුළ පමණක් නොව සමස්ථ යුරෝපය තුළම කිසියම් තිගැස්මක් ඇති කරන්නට සමත්ව ඇති බවද පෙනී යයි. එයට හේතුව මේ වනවිට යුරෝපය පුරා කිසියම් විසිරුණු ස්වභාවයක් හිස ඔසවමින් තිබිමයි. එමෙන්ම යුරෝපයේ රටවල් ඇතුළත් යුරෝපා සංගමයේ පැවැත්ම පවා කමෛන් අස්ථාවර තත්ත්වයට පත්වෙමින් ඇති බවද රහසක් නොවේ. බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් වෙන් වීමට තීරණය කිරීම, තම රටවල්ද යුරෝපා සංගමයෙන් ඉවත් විය යුතු බව අදහන ජාතිකවාදී පක්ෂ බොහෝ රටවල ශක්තිමත් වෙමින් සිටීම, මේ දිනවල කැටලෝනියාව ස්පාඤ්ඤයෙන් වෙන්ව වෙනම රාජ්‍යයක් බවට පත්වීමට ගෙන යන අරගලය ආදී බොහෝ කාරණා නිසා යුරෝපා සංගමය කමෛන් දුර්වල වෙමින් ඇති ආකාරයක් පෙනී යයි. යුරෝපය ගිල ගනිමින් ඇති මෙම අස්ථාවරත්වය ජයගෙන එය නැවත ශක්තිමත් කිරීමට නායකත්වය දෙමින් සිටි රටවල් අතර ජර්මනිය ඉදිරියෙන්ම සිටියේය. මර්කල්ද යුරෝපා සංගමය රැක ගැනීමේ මෙහෙයුමට නායකත්වය දුන් ප්‍රධාන චරිතයකි. මෙම පසුබිම තුළ දැන් ජර්මනියද මෙවැනි දේශපාලන අර්බුදයකට ඇතුළු  වෙමින් සිටීමත්, මර්කල්ගේ නායකත්වය දුර්වල වෙමින් තිබිමත් යුරෝපා සංගමය තුළද කම්පනයක් ඇති කරන්නට සමත්ව තිබිම පුදුමයට කාරණයක් නොවේ. ඉදිරි සති කිහිපය තුළ ජර්මන් දේශපාලන කරළියේ දිගහැරෙනු ඇති ජවනිකා ගැන කව්රුත් මහත් උනන්දුවෙන් බලා සිටින්නේ මෙම තීරණාත්මක සහ අභියෝගාත්මක වාතාවරණය නිසාය.
 
නිහාල් පීරිස්

වසර 37කට ආසන්න කාලයක් සිම්බාබ්වේ දේශය පාලනය කළ ජනාධිපති රොබට් මුගාබේ නිවාස අඩස්සියට පත් කර ඇති බවටත්, හමුදාව එරට පාලනය සියතට ගෙන ඇති බවටත් පසුගිය 15 වෙනි දින වාර්තා වූ ප්‍රවෘත්තිය ජාත්‍යන්තර දේශපාලනය තුළ  කිසියම් කම්පනයක් ඇති කළ පුවතක් බවට පත් විය.
එදින උදය වරුවේ සිම්බාබ්වේ අගනුවර වන හරාරේ අසල  වෙඩි හඬ ඇසුණු බව මාධ්‍ය වාර්තා කළ අතර පසුව එරට රජයේ රූපවාහිනියද හමුදාව යටතට ගෙන තිබුණි. අනතුරුව ඒ හරහා ජනතාව ඇමතූ හමුදා නායකයෙකු පවසා සිටියේ මෙය කුමන්ත්‍රණයක් නොවන බවත්, ජනාධිපතිවරයා සහ ඔහුගේ පවු‍ලේ උදවිය ආරක්ෂිතව පසුවන බවත් ය. හමුදාවේ ඉලක්කය ජනාධිපතිවරයා නොවන බවද, ඔහු වටා සිටිමින් සමාජය සහ ආර්ථිකය  විනාශය කරා ඇදගෙන යන අපරාධකාරයින් සිය ඉලක්කය බවද ඔහු තවදුරටත් ප්‍රකාශ කළේය. 'අපගේ අරමුණ ඉටු කරගත් සැනින් නැවතත් රට සාමාන්‍ය තත්ත්වයට පත්වනු ඇතැයි බලා‍පොරොත්තු වෙනවා' යයිද  ඔහු නිවේදනය කළේය. කලබල ඇති කිරීමෙන් තොරව සාමකාමීව සිටින ලෙස රටවැසියන්ට දැනුම් දුන් ඔහු අනවශ්‍ය ලෙස එළිමහනේ ගැවසීමෙන් වළකින ලෙසද ඉල්ලා සිටියේය. මේ අවස්ථාවේ රටේ යහපත වෙනුවෙන් මෙම ක්‍රියාපිළිවෙතට සහය දෙන ලෙස සියලු ආරක්ෂක සේවාවන්ගෙන් ඉල්ලා සිටීමටද ඔහු පියවර ගත්තේය. ඊට එරෙහිව කලබල ඇති කිරීමට සූදානම් වුවහොත් නිසි ප්‍රතිචාර දක්වන බවද සඳහන් කෙරුණු අතර සියලු හමුදා සාමාජිකයින්ගේ නිවාඩු අවලංගු කර ඇති බවද දැනුම් දෙන ලදී.
හමුදාව මේ ආකාරයෙන් සිම්බාබ්වේහි පාලනය සියතට ගැනීම පිටුපස ඇති සැබෑ කතාව ලෙස මේ වනවිට අනාවරණය වන්නේ මුගාබේ සහ ඔහුගේ උප ජනාධිපති ලෙස කටයුතු කළ එමර්සන් ම්නැන්ගග්වා සම්බන්ධ කතාවකි. මෙම ප්‍රශ්නයෙහි එක් ප්‍රධාන සන්ධිස්ථානයක් වූයේ පසුගියදා මුගාබේ විසින්  උප ජනාධිපතිවරයා ධුරයෙන් පහ කරනු ලැබිමයි. මේ වනවිට 93 වෙනි වියේ පසුවන, ලොව වයස්ගතම රාජ්‍ය නායකයා ලෙස සැලකුණු මුගාබේගෙන් පසු සිම්බාබ්වේ හි ජනාධිපති ධුරයට පත්වීමට සිටි එක් වැදගත් අපේක්ෂකයෙකු වූයේ ම්නැන්ගග්වායි. ලබන වසරේ එරට මීළඟ ජනාධිපතිවරයා තෝරා ගැනීමට  නියමිතව තිබුණි. නමුත්  මුගාබේට ඔහුගේ දවෛනි බිරිඳ වන ග්‍රේස්  මුගාබේ ජනාධිපති කිරීමේ වුවමනාවක් තිබුණු බවද සඳහන් වෙයි. උප ජනාධිපතිවරයා ධුරයෙන් පහ කළේ ඒ සඳහා ඉඩකඩ විවර කර ගැනීම සඳහා යයිද අදහස් පළ විය. මෙම සටහන ලියන අවස්ථාව වනවිට ප්‍රකාශ වී තිබුණේ හමුදා මෙහෙයුමේ අරමුණ ම්නැන්ගග්වා ජනාධිපති ධුරයේ පිහිටුවා ඔහුට රට භාර දීම විය හැකි බවටය. (52 වෙනි වියේ පසුවන ග්‍රේස් යනු කලක් මුගාබේගේ ‍ලේකම්වරියක ලෙසද කටයුතු කළ කාන්තාවකි. ඒ කාලයේ පටන්ම ජනාධිපතිවරයා සහ ඇය අතර සම්බන්ධයක් තිබූ බවද රහසක් නොවේ.)
හමුදා මෙහෙයුමෙන් පසු අසල්වැසි දකුණු අප්‍රිකාවේ ජනාධිපති ජේකබ් සූමා දුරකථනයෙන් මුගාබේ සමග කතා කර ඇතැයිද මාධ්‍ය වාර්තා කර තිබිණි.  තමා නිවස තුළ රඳවා ඇති බව මුගාබේ පවසා ඇති අතර වෙනත් කරදරයක් නැති බවද පවසා ඇතැයි වාර්තා විය.
මුගාබේගේ පාලනය යටතේ සිම්බාබ්වේ දේශය කමෛන් විශාල පරිහානියක් කරා ගමන් කළ බව පැහැදිලි කාරණයකි. ඔහු එක්තරා ආකාරයකට හිතුවක්කාර, ඒකාධිපති පාලනයක් ගෙන ගිය අයෙකු ලෙස සැලකෙන අතර වැරදි තීරණ සහ නිසි කළමනාකරණයක් නොමැති වීම නිසා එරට ආර්ථිකය දැවැන්ත විනාශයක් කරා ගමන් කළ බව පෙන්වා දෙනු ලැබේ. විශේෂයෙන් එරට ප්‍රධාන ආදායම් මාර්ගයක් වූ කෘෂිකර්මාන්තය විනාශ මුඛයට ගෙන යාමේදී මුගාබේගේ ප්‍රතිපත්ති විශාල වශයෙන් බලපෑ බව නිතර අවධානයට ලක්වූවකි. මේ වනවිට රටේ ජනගහනයෙන් සියයට 70කට වඩා දරිද්‍රතාවයෙහි ගිලී සිටින  අතර විරැකියාව ඉතා ඉහළ මට්ටමක පවතී. පසුගිය කාලය තුළ ඇදහිය නොහැකි මට්ටමින් රටේ උද්ධමනය ඉහළ ගිය බවද රහසක් නොවේ. 2008 වසරේ වරක් එරට උද්ධමන අනුපාතය 231,000,000 වැනි ''විස්මිත'' අගයක් ගත් බවද වාර්තා වී තිබිණි. නමුත් පසුව මෙම තත්ත්වය කිසියම් දුරකට සමනය කර ගැනීමට සමත්ව තිබේ.
මෙවැනි තත්ත්වයක් තුළ රටේ ජනතාව ඉතා දුඃඛිත ජීවිත ගත කරද්දී ජනාධිපතිවරයා  සහ බිරිඳ ඇතුළු සමීපතමයින් ඉතා සුඛෝපභෝගී ජීවිත ගෙවන බවට නිතර චෝදනා එල්ල විය. ජනාධිපති බිරිඳගේ සුඛෝපභෝගී ජීවන රටාව සහ වියපැහැදම් රටාව  නිතර කතාබහට ලක් වූවකි. රටේ සම්පත් කොල්ලකමින් උපයාගත් ආදායම් විදේශීය ගිණුම්වල ගොඩගසාගෙන සිටින බවටද පසුගිය කාලයේ චෝදනා එල්ල වූයේය. මෙයට මාස කිහිපයකට පෙර මුගාබේ සිය 93 වෙනි උපන් දිනය වෙනුවෙන් පවත්වන ලද සාදය සඳහා කරන ලද වියදම ඇමෙරිකානු ඩොලර් මිලියන 2 කට අධික බව පැවසිණි. (එය ලංකා මුදලින් රුපියල් කෝටි 30 කට අධිකය.)
සිම්බාබ්වේ හි පවතින මෙම ඉතා ව්‍යාකූල, විෂම පසුබිම තුළ රටේ ජනතාවගෙන්  විශාල පිරිසක් මුගාබේගේ පාලනය පිලිබඳව පසුවූයේ දැඩි අප්‍රසාදයෙනි. හමුදාව පසුගියදා ගත් පියවර අගය කරමින් බොහෝ දෙනෙකු අදහස් දක්වා තිබෙනු දැකිය හැකි වූයේ එබැවිනි. මෙම මෙහෙයුම පිළිබඳව ඇතැමුන් එරට හමුදා ප්‍රධානියා වන ජනරාල් කොන්ස්තන්තිනෝ ෂිවෙන්ගා වෙත ස්තුතිය පුද කර තිබිණි. 'මෙම දුෂ්ටයා ඉවත් කිරීම ගැන අපි ජෙනරාල්වරයාට ස්තුතිවන්ත වෙනවා. ඔහු රට පාලනය කළේ හරියට එය ඔහුගේ පවු‍ලේ බූදලයක් වගෙයි' යනුවෙන් එක් වැසියෙකු සඳහන් කර තිබෙනු මාධ්‍ය හරහා වාර්තා විය. 'දැන් අපට හොඳ ජීවිතයක් උදා වේවි. මේ සිදු වූ දේ නිසා මේ පාර අපිට නත්තල සමරන්න හැකි වේවි' යයි තවකෙකු පවසා තිබිණි. කෙසේ වෙතත් 2013 පැවති මැතිවරණයේදී මුගාබේගේ පක්ෂයට විශාල ඡන්ද සංඛ්‍යාවක් ලැබුණු බවද අමතක කළ හැකි නොවේ. නමුත් ඇතැම් පාර්ශ්ව චෝදනා කළේ මැතිවරණය දූෂිත එකක් වූ බවයි.
මේ අතර 15 වෙනි දින සිදු වූ හමුදා මෙහෙයුම පිටුපස චීනය සිටින බවටද අදහස් ඉදිරිපත් වනු දැකිය හැකි වෙයි. චීනය විශාල වශයෙන් සිම්බාබ්වේ හි ආයෝජනය කර ඇති පාර්ශ්වයකි.  මුගාබේගේ පාලනය යටතේ රට නිශ්චිත දිශාවකින් තොරව ගමන් කරමින් තිබිම ගැන ඔවුන්ගේ අවධානය යොමු වී තිබූ බවද පැවැසේ. මෙම තත්ත්වය තුළ සිය ආයෝජනවල අනාගතය ගැන චීනයට යම් යම් සැක සංකා තිබුණා විය හැකිය. රටෙහි දේශපාලන සහ ආර්ථික වශයෙන් ස්ථාවර බවක් සහ කිසියම් දැක්මක් ඇති වනු දැකීමට චීනය කැමැත්තෙන් සිටින්නට ඇති බව පැහැදිලිය. හමුදා මෙහෙයුම පිටුපස චීනය සිටින බවට සැක ඇති වීමට බලපෑ ප්‍රධාන හේතුවක් වී ඇත්තේ එරට හමුදා ප්‍රධානී කොන්ස්තන්තිනෝ ෂිවෙන්ගා පසුගිය සතියේ චීනයේ චාරිකාවක නිරත වීමයි. එහිදී ඔහු චීන ආරක්ෂක අමාත්‍ය ෂැං වැන්ක්වාන් මුණ ගැසී ඇති බවද වාර්තා විය. කෙසේ නමුත් සිම්බාබ්වේ හි සිදුවීමට තමුන්ගේ සම්බන්ධයක් නැති බව චීනය ප්‍රකාශ කර තිබේ.
සිම්බාබ්වේ හි ඇති වූ මෙම තත්ත්වය එරටට පමණක් නොව ‍පොදුවේ අප්‍රිකානු දේශපාලන ක්‍ෂේත්‍රය වෙත  බලපෑමක් ඇති කරන්නක් වනු ඇති අතර ඉදිරියේදී ඇති විය හැකි තත්ත්වයන් ගැන කලාපීය වශයෙන් මෙන්ම ලෝක මට්ටමින්ද විශාල අවධානයක් යොමුව ඇති බව පැවසිය හැකිය.

නිහාල් පීරිස්

ඉතාලියේ දකුණු දෙස බැසිලිකාටා ප්‍රදේශයේ කන්දක් මත පිහිටා ඇති පැරණි ගම්මානයක් වන කොලොබ්‍රාරෝ එරට අවාසනාවන්තම ගම ලෙස හැඳින්වෙයි. 1940 දක්වා දිවෙන පුරාවෘත්තයන්ට අනුව එවකට එහි ප්‍රධානියාවු බියාජියෝ විර්ජිලියෝ අසල මැටෙරා නගරයේ පැවති රැස්වීමකදී තමා කී දෙයක් සනාථ කිරීමට මෙසේ කීවේය.”මම කියන කතාව බොරුවක් නම් මේ උඩ එල්ලලා තියෙන වීදුරු පහන බිමට වැටෙන්න ඕනෙ.”ඒ වචනත් සමග චැන්ඩ්ලියර් එක හෙවත් එම පහන බිමට කඩා වැටුණේ විර්ජිලියෝ ගේ ගම්මානය වන කොලොබ්‍රාරෝ වෙත අවාසනාවද කැඳවමිනි.
වර්තමානයේදි කොලොබ්‍රාරෝ ගම්මානය ප්‍රකටව ඇත්තේ එහි නම පවා පැවැසීමෙන් වැලකිය යුතු ගමක් හැටියටය. අවට ගම්මානවල ජනතාව කොලොබ්‍රාරෝ ගැන සඳහන් කරන්නේ “අර පරණ කතාවල එන ගම”යනුවෙනි.ඉන් නොනවතින ඔවුහු වැරදීමකින් හෝ කිසිවෙකු වෙතින් එහි නම කියැවුනොත් වාසනාව පතා කරන සම්ප්‍රදායික කටයුත්තක් වූ ලීයෙන් කල යමක් ස්පර්ශ කරති. මේ ගැන කතා කරන කොලොබ්‍රාරෝ ගම්මානයේ ඇතැම් පැරණි වැසියන් කියන්නේ විර්ජිලියෝ ගමට ගෙනා අවාසනාවක් නැති බවය. මේ ඇතැමෙකුට ඔහු ගැන හොඳ මතකයක් ඇත. මේ අවාසනාව ගැන කතාව එහි වැසියන් විසින්ම ගොතන ලද්දක් බව ඔවුන්ගේ අදහසයි.
“පිටින් ආපු කෙනෙකුගේ වාහනයක් මේ ගමේදී කැඩුණත්, ටයර් එකක හුළං ගියත් දොස් කියන්නේ ගමට”එහි පැරණි වැසියෙකු වන මැටියෝ කියයි.
කැලබ්‍රියා සහ පුග්ලියා අතර පිහිටි දකුණු දිග බැසිලිකාටා ප්‍රදේශය කැලෑවෙන් ගහන අඳුරු ප්‍රදේශයක් වීම හේතුවෙන් ක්‍රාකෝ වැනි හොල්මන් බහුල බවට ප්‍රකට ගම්මානවලටද මෙම කලාපය තෝතැන්නක්ව තිබේ. සම්ප්‍රදායයන් හා මිථ්‍යා විශ්වාසයන්ද මෙම පසුබිම තුළ බහුලය. පහන කඩාවැටීමේ පුරාවෘත්තයට අමතරව කොලොබ්‍රාරෝ ගම්මානයේ ජනතාව පරම්පරා ගණනක් තිස්සේ මායාකරුවන් හා මායාකාරියන් ගැන කතන්දරද අසා තිබේ. 1950 ගණන්වලදී මායා බලයෙන් තම තමුන්ගේ ගම්මාන පාලනය කරන බව පැවැසෙන දකුණු ඉතාලියේ බලගතු කාන්තා කණ්ඩායමක් ගැන මෙන්ම ඔවුන් විසින් කරනු ලබන ශාප හා හදි හූනියම් ගැන මේ ගමෙන්ද අසන්නට ලැබේ. මේ සියලු කතන්දර නිසා ඉතාලිය පුරා කොලොබ්‍රාරෝ අවාසනාවන්තම නගරය ලෙස ප්‍රකටවීම අසීරු වූයේද නැත.
මේ සියලු මිථ්‍යා විශ්වාසයන් හා පුරාවෘත්ත තවදුරටත් සනාථ කිරීමට මෙන් 2011 වසරේදී කොලොබ්‍රාරෝ වැසියන් ආරම්භ කළ “ඩී්‍රම් ඔෆ් ද නයිට් ඉන් දැට් වි‍ලේජ්”නම් වීදි සංදර්ශනය ඉන්පසුව වාර්ෂිකවද පැවැත්විණි.ඒ අනුව වසරේ හැම අගෝස්තු මාසයකම දෙස්,විදෙස් සංචාරකයින් කොලොබ්‍රාරෝ වෙත ඇදෙන්නේ ගමේ වීදි හා චතුරශ්‍රයන් පුරා රඟ දැක්වෙන මායාකරුවන් හා මායාකාරියන් ගැන කතා ඇතුළත් වීදි නාට්‍ය නැරඹීමටය. ගම්මානයට ඇතුලු වන විටම පිටතින් එහි පැමිණෙන්නන්ට ගම්මානයේ අවාසනාව ගැන දැනුම්දීමක් කෙරෙන කුඩා මල්ලක් ලැබෙයි. එහි ඇතුළත්වන්නේ අවාසනාව මගහැරීම සඳහා ලුනු, දරුවන් ලැබිම සංකේත වත් කරන තිරිඟු ටිකක්, ප්‍රේමය, රූමත් බව හා නරක ආත්ම පලවා හැරීමට රෝස්මරී අතු කිහිපයක් සහ පිරිසිදු බව සමග සාමකාමී බව සංකේතවත් කිරීමට ලැවෙන්ඩර් මල් කිහිපයකි.
වීදි සංදර්ශනය තුළ දක්නට ලැබෙන ප්‍රකට චරිතයක් වන “කුඩා පූජකවරයා”ලෙස හැඳින්වෙන ළමා නඵවා සංකේතවත් කරන්නේ බෞතිස්ම කිරීමට පෙර මියගිය කුඩා දරුවෙකු සම්බන්ධ පුරාවෘත්තයක් බව පැවැසෙයි. හාස්‍යයටද බර සියුමැලි චරිතයක් වන ඔහු තරුණියන් නිදා සිටින තැන්වලට ගොස් ඔවුන්ගේ යටි පතුල් කිතිකැවීම හා ඔවුන්ගේ කන්වලට කොඳුරා රහස් කීම ගැන ප්‍රකටය. ඒවා නැවැත්වීමට නම් කළ යුත්තේ ඔහුට නැතිවම බැරි හිස පැලඳ සිටින තොප්පිය ගලවා ගැනීමය.මේ සංදර්ශනය තුළ තවත් විශේෂ අංගයක් වන්නේ මිනිස් වෙස්ද ගතහැකි වෘකයින් ලෙස සැරසුනු පිරිසකි. පුරාවෘත්තයකට අනුව නත්තල් දින මැදියම් රැයේදී උපන් සාමාන්‍ය පිරිමින් කිහිපදෙනෙක් පුන් සඳ පායා ඇති රාත්‍රී කාලයට වෘක වෙස් ගෙන තිබේ. එවන් රැයට ගමම බියවද්දන සාපලත් මේ පිරිස ඉන් ගලවා ගැනීමට කළ යුත්තේ ඇල්පෙනෙත්තක් වැනි යමකින් ඇන ඔවුන්ගෙන් රුධිරය බිඳක් හෝ ගලායාමට සැලැස්වීම බවත් මෙම ජනප්‍රවාදයෙහි එයි.
කෙසේවුවද මේ සියල්ල මැද කොලොබ්‍රාරෝ සතු රහස් රැකගෙන ඒවා පරම්පරාවෙන් පරම්පරාවට රැගෙන යාමට එහි වැසියන් තුළ කැමැත්තක් තිබේ. මෙම රහස් හෙළිකළොත් ඒවායේ අගය අඩුවන බව සිතන ගම්වැසියන් පිටස්තරයෙකුට ඒවා හෙළිකරන්නේද නැත.එබැවින් ඇතැම් විටක සත්‍යයක්ද විය හැකි මිථ්‍යා විශ්වාස හා පුරාවෘත්ත රැගෙන කොලොබ්‍රාරෝ ගම්මානය ඉදිරියේද ඉතාලියේ අවාසනාවන්තම නගරය ලෙස පවතිනු ඇත.
 
නිශානි දිසානායක 

වායු දූෂණය අවම කිරීමටත්, ගෝලීය උණුසුම ඉහළ යාම පාලනය කිරීම සඳහාත්, ලෝකයේ විවිධ රටවල් විවිධ උත්සහයන් ගනිමින් සිටියදී, ඒ සඳහා චීනය ගෙන ඇති අලුත්ම විසඳුමක් ගැන ඉකුත් දා අසන්නට ලැබිණි. ඒ වනාන්තර නගරයක් චීනය තුළ ඉදිකරන්නට සැලසුම් කර ඇති බවකි.
චීනය මේ කර්තව්‍යයට අතගසා ඇත්තේ, එහි පවතින දරුණු වායු දූෂණ තත්ත්වය පිළිබඳව සලකා බලමිනි. මේ වනවිට චීනය වායු දූෂණයේ ගොදුරක් බවට පත්ව ඇති තරමටම වායු දූෂණය ඉහළ ගොස් ඇත. තොරතුරු වාර්තා වී ඇති අන්දමට චීනය තුළ දින දෙකක් තුළදී නාස් ආවරණ ලක්ෂ පහ ඉක්මවමින් අලෙවි වේ. එමෙන්ම මේ වනවිට මිය යන චීන වැසියන්ගෙන් තුනෙන් එකක්ම මිය යන්නේ, වායු දූෂණය හේතුවෙන් යැයි අධ්‍යයනයකින්ද හෙළි වී තිබේ. මේ හේතුවෙන් වසරකදී චීන වැසියන් මිලියනයකට අධික පිරිසක් මිය යන බව ගණන් බලා ඇත.
අප මතෛක් නගර තුළ දැක ඇත්තේ, කොන්ක්‍රීට් වානාන්තරය, එබැවින් දැවැන්ත වෘක්ෂයන් හතළිස් දහසකින් සහ පැළෑටි මිලියනයකින් වැසී ගිය නගරයක් යනු අපට අමුතු අත්දැකීමක් වනු ඇත. කෙසේ වෙතත් චීනයේ ලියුෂුහු හි, හරිත පැහැ ගහ කොළින් වැසී ගිය ඒ සොඳුරු නගරය, නිර්මාණය කරන්නට චීනය භාරදී ඇත්තේ, ඉතාලි ජාතික ගෘහ නිර්මාණ ශිල්පියකු වන ස්ටෙයානෝ බෝඒරිටය. ඔහු සැලසුම් කර ඇත්තේ, නරගය තුළ පිහිටා ඇති සියලු කාර්යාල, නිවාස, සහ හෝටල් ආදී සෑම ගොඩනැගිල්ලක්ම සම්පූර්ණයෙන්ම පඳුරු සහ පැළෑටි යොදා ගනිමින් ආවරණය කිරීමටය. ඔහු පෙන්වා දෙන්නේ, එමගින් සාමාන්‍ය නගරයක ඇති දූෂිත වායූන් සහ දුහුවිලි ආශ්වාස කරනු වෙනුවට ගහ කොළින් එන නැවුම් වාතය ලබා ගැන්මට එහි වැසියන්ට අවස්ථාව හිමි වනු ඇති බවයි.
දැනට සැලසුම් කර ඇති පරිදි, ලියුෂුහු වනාන්තර නගරය එක සමීපයේ පිහිටි විශාල කුළුණු දෙකකින් සමන්විත වන අතර, ඒවා ශාක විශේෂ විසිතුනකින් සහ දෙදහස් පන්සියයකට අධික එල්ලා වැටෙන පඳුරු විශේෂවලින් සම්පූර්ණයෙන්ම ආවරණය කරන්නට නියමිතය. චීනය බලා‍පොරොත්තු වන්නේ, එමගින් වසරකට කාබන්ඩයොක්සයිඩ් ටොන් දසදහසක් සහ අනෙකුත් වායු දූෂක ටොන් පනස් හතක් අවශෝෂණය කරගනිමින් ඒ වෙනුවට වාර්ෂිකව ඔක්සිජන් ටොන් නවසියයක් නිෂ්පාදනය කරනු ඇති බවය.
නගරය තුළ වන මෙම කුළුණු දෙක තුළ නිවාස, කාර්යාල, කාමර දෙසීයකට අධික සුඛෝපභෝගී හෝටලයක්, කෞතුකාගාරයක් සහ හරිත ගෘහ නිර්මාණ පාසලක් පිහිටුවීමටය. දැනට ඇස්තමේන්තු කර ඇති ආකාරයට මෙහි නිවැසියන් තිස්දහසකට පමණ ජීවත් වීමට ඉඩ ප්‍රස්ථාව හිමිවේ.
වායු දූෂණය අවම කිරීමට අමතරව මෙමගින් නගරයේ සාමාන්‍ය වායු උෂ්ණත්වය අඩු කිරීම, ශබ්ද බාධකයක් ලෙස කටයුතු කිරීම, සහ සතුන් සහ පක්ෂීන් සඳහා හිතකර පරිසරයක් නිර්මාණය කිරීම බලා‍පොරොත්තු වේ.
ලියුෂුහු හි උතුරු ප්‍රදේශයේ අක්කර එකසිය හැත්තෑපහක් පුරා ඉදිකිරීමට සැලසුම් කර ඇති මෙම නගරය ලබන 2020දී ඉදිකර අවසන් කරන්නට සැලසුම් කර තිබේ. නගරය ඉදිකිරීමෙන් පසු එය අධිවේගී විදුලි දුම්රිය රැහැන් හා සම්බන්ධ කිරීමට සැලසුම් කර ඇති අතර, නගරයේ අභ්‍යන්තරයේ වායු සාමීකරණ කටයුතු සඳහා භූ තාපය සහ විදුලිය ලබා ගැනීමට සූර්ය පැනල භාවිත කිරීමට අවධාන යොමු කර ඇත. මෙම ව්‍යාපෘතිය චීනය තුළ ඉහළ ප්‍රගතියක් ලබා ඇත. එය සාර්ථක වුවහොත්, එය ලොව ප්‍රථම වනාන්තර නගරය වන අතර ලෝකය පුරා හරිත නගර නිර්මාණයන් සඳහා මනා ආදර්ශයක් සපයන්නක් වනු නොඅනුමානය.
 
ගයාත්‍රි ගීගනආරච්චි

තායිලන්තයේ රජු වූ භූමිබොල් අදුල්යාදේ (Bhumibol  Adulyadej) මිය ගියේ මෙයට වසරකට පමණ පෙර එනම් 2016 ඔක්තෝබර් 13 වෙනිදාය. නමුත් ඔහුගේ දේහය පිළිබඳ ආදාහන කටයුතු සිදු කිරීමට නියමිතව ඇත්තේ මෙම සතියේය. වසරක කාලයක් පුරා රාජකීයයෙකුගේ සිරුර මහජන ගෞරවය සඳහා තබා ගැනීම සැබැවින්ම ඉතා දුර්ලභ සිද්ධියක් බව අමුතුවෙන් කිව යුතු නැත. නමුත් එය තායිලන්තයේ රාජකීයයන් සම්බන්ධ සම්ප්‍රදායකි. වසර 70කට ආසන්න කාලයක් එරට රජකම දැරූ භූමිබොල් රජු සැලකෙන්නේ මෑත ඉතිහාසය තුළ ලොව දීර්ඝතම කාලයක් බලයේ සිටි රජු වශයෙනි. එමෙන්ම ඔහු තායිලන්ත වැසියන්ගේ නොමද ආදරයට සහ ගෞරවයට පාත්‍ර වූ නායකයෙකු වූ අතර ඔහු හැඳින්වුණේ ‘සියලු තායි වැසියන්ගේ පියා’ යන නාමයෙනි.
භූමිබොල් රජුගේ ආදාහන උත්සවය අද (25 වෙනි) දින ආරම්භ වී සතියක් පුරා පැවැත්වීමට නියමිතව තිබේ. මෙම ආදාහන උත්සවයේදී කාගේත් විශේෂ අවධානය දිනාගත් අංගය බවට පත්ව ඇත්තේ ඒ වෙනුවෙන් ඉදි කර ඇති දැවැන්ත චිතකයයි. මෙරු පර්වතයෙහි අනුරුවක් ලෙස ඉදි කර ඇති මෙම ඉදි කිරීම සඳහා වැය වූ මුදල ඇමෙරිකානු ඩොලර් මිලියන 30 ක් ලෙස සැලකේ. එය ලංකාවේ මුදලින් නම් රුපියල් කෝටි 500 කට ආසන්න වෙයි. මෙරු පර්වතය තායිලන්ත බුදු දහම තුළ සැලකෙන්නේ විශ්වයේ කේන්ද්‍රය වශයෙනි. එමෙන්ම තායිලන්ත රාජකීයයන් මරණයෙන් පසු මෙම මෙරු පර්වතයෙහි වාසය කරන බවට විශ්වාසයක්ද තායි වැසියන් තුළ පවතී.
රන් පැහැයෙන් දිස්වන මෙම දැවැන්ත චිතකය ඉදි කිරීම සඳහා මාස දහයක කාලයක් පුරා එරට අති දක්ෂ ගෘහ නිර්මාණ ශිල්පීන් ඇතුළු කලාකරුවන් දැඩි වෙහෙසක් ගත් බව වාර්තා වෙයි. කොටස් තුනකින් සැදුම්ලත්, එමෙන්ම මීටර් 50 ක (අඩි 160 ක් පමණ) උසින් යුතු චිතකය තට්ටු නවයක ආකාරයෙන් නිමවා තිබේ. ඒ මරණයෙන් මතු ජීවිතය සංකේතවත් කිරීමේ ආකාරයක් ලෙසින් බව සඳහන් වේ. චිතකය තුළ තායි පුරාවෘත්ත සහ භූමිබෝල් රජුගේ ජීවිතය ඇසුරෙන් නිමවන ලද චිත්‍ර සහ රූප රැසක් අන්තර්ගත වන බවද පැවසේ. 
දැවැන්ත චිතකය
 
80,000 ක ආරක්ෂක බලඇණියක් මෙම ආදාහන උත්සවය වෙනුවෙන් යොදවා ඇති අතර ලක්ෂ තුන හතරක ජනතාවක් ඒ සඳහා සහභාගි වනු ඇති බවට බලා‍පොරොත්තු පළ වී තිබිණි. එමෙන්ම විවිධ සංස්කෘතික අංගද විශාල සංඛ්‍යාවක් පැවැත්වෙනු ඇති අතර ඒ සඳහා ගායන සහ නර්තන ශිල්පීන් වැනි අයද දහස් ගණනක් සහභාගි වීමට නියමිතව තිබේ.
 
රජුගේ දේහය මහජන ගෞරවය සඳහා තැන්පත් කර තිබූ වසරක කාලය තුළ ලක්ෂ 120 කට ආසන්න ජනතාවක් ඊට ගෞරව දැක්වීම සඳහා පැමිණ ඇතැයි එරට මාධ්‍ය වාර්තා කර තිබිණි.
සිරුර ආදාහනය කිරීමට පෙර එය විශේෂ සම්ප්‍රදායික රියක තබා තායිලන්ත අගනුවර වීදි ඔස්සේ ගමන් කිරීමටද නියමිතය. ඒ සඳහා භාවිතා කරන රාජකීය රථය වසර 200 ක ඉතිහාසයක් ඇති, එමෙන්ම ටොන් 42ක බරින් යුතු එකකි.
1927 වසරේ උපන් භූමිබොල් අදුල්යාදේ මිය යන විට  89 වැනි වියේ පසුවිය. ඔහු රජකමට පත් වූයේ 1946 වසරේය. ඒ වනවිට ඔහුට වයස අවුරුදු 19කි. භූමිබොල් රජු සැලකෙන්නේ ලොව ධනවත්ම රාජකීයයන්ගෙන්ද කෙනෙකු වශයෙනි. සුප්‍රකට ෆෝබ්ස්  සඟරාවට අනුව 2008 වසරේ සිට 2013 වසර දක්වා සෑම වසරකම ලොව ධනවත්ම රාජකීයයා ලෙස සටහන් වූයේද ඔහුය. 2014 වසරේ පළ වූ වාර්තාවකට අනුව ඔහු යටතේ පැවති දේපළවල වටිනාකම ඇමෙරිකානු ඩොලර් බිලියන 30 ක් ලෙස සැලකිණි. එමෙන්ම ඔහු කලාවට බෙහෙවින් ලැදියාවක් දැක් වූ අයෙකු ලෙසද සැලකේ. සංගීතයට, ඡායාරූප කලාවට සහ චිත්‍ර කලාවට ඔහු දැඩි ඇල්මක් සහ දක්ෂතාවක් දැක් වූ බව සඳහන් වෙයි. 
එමෙන්ම භූමිබොල් රජු සැලකෙන්නේ එරට පාලනය කළ ඉතාම ජනප්‍රිය සහ ගෞරවයට පත් රජ කෙනෙකු වශයෙනි. ඔහුගේ අභාවය සිදු වූ අවස්ථාවේ ජනතාව වැල නොකැඩී එමින් සිය ශෝකය පළ කළ ආකාරය ඊට කදිම නිදසුනක් ලෙස දැක් විය හැකිය. 
භූමිබොල් රජුගෙන් පසු තායිලන්තයේ රජු බවට පත් වූයේ ඔහුගේ පුත් වජිරලොංකෝන් (Vajiralongkorn) කුමරුය. ඔහුගේ අභිෂේක උත්සවය පැවැත්වීමට නියමිතව ඇත්තේ ලබන නොවැම්බර් මාසයේය.
 
කිත්සිරි මල්වත්ත

රුසියානු  ජනාධිපති ව්ලැදිමීර් පුටින්ට එරෙහිව ජනාධිපති තරගය සඳහා කාන්තාවක ඉදිරිපත් වීමට යන බවට මේ දිනවල ජාත්‍යන්තර මාධ්‍ය හරහා වාර්තා වෙමින් තිබේ. එරට මීළඟ ජනාධිපතිවරණය ලබන වසරේ මාර්තු මාසයේ පැවැත්වෙන අතර එළැඹෙන දෙසැම්බර් මාසයේ පටන් ඊට සූදානම් වීමේ කටයුතු ආරම්භ වීමට නියමිතව තිබේ. සෙනියා සොබ්චැක් (Ksenia Sobchak) නැමැති තරුණ කාන්තාවක් ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට යන බවට තොරතුරු පළවන්නේ මෙම පසුබිම තුළය.

වත්මන් ජනාධිපති පුටින්  මෙම ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වන බවක් තවම ප්‍රකාශයට පත් කර නැතත් බොහෝ නිරීක්ෂකයින් පවසන්නේ නිසැකවම ඔහු ඒ සඳහා ඉදිරිපත් වනු ඇති බවයි. එසේ වුවහොත් එය ඔහු ජනාධිපති පදවිය සඳහා ඉදිරිපත් වන සිව්වැනි අවස්ථාව වනු ඇත.

35 හැවිරිදි සෙනියා එරට ජනප්‍රිය චරිතයක් බව සඳහන් වෙයි. විශේෂයෙන්ම රූපවාහිනී වැඩසටහන් ඉදිරිපත් කරන්නියක ලෙසද, නිළියක ලෙසද ඇය ජනතාවගේ අවධානයට පාත්‍රව සිටින බව පැවැසෙන අතර සමාජ මාධ්‍ය තුළද ආකර්ෂණීය චරිතයක්ව සිටියි. ඇතැමුන් ඇය හඳුන්වන්නේ ‘රුසියාවේ පැරිස් හිල්ටන්’ යනුවෙනි. පැරිස් හිල්ටන් යනු ඇමෙරිකාවේ ඉතා ජනප්‍රිය චරිතයකි.

කෙසේ හෝ වේවා සෙනියා සොබ්චැක් ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බවට ආරංචි පළවීමත් සමග එරට පුටින්ට විරුද්ධ පාර්ශ්ව අතර කිසියම් බෙදීමක් සහ නොසන්සුන්තාවක් ඇති වී තිබෙන අයුරු දැකිය හැකි වෙයි. මේ වෙද්දී පුටින්ගේ ප්‍රධානම ප්‍රතිවාදියා ලෙස සැලකෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදියෙකු ලෙස හැඳින්වෙන  ඇලෙක්සි නවල්නිය. පසුගිය කාලය තුළ ඔහු පුටින්ගේ පාලනයේ ඒකාධිපති ස්වරූපයට මෙන්ම දේශපාලන අංශවල වංචා දූෂණවලට ද එරෙහිව  විශාල හඬක් නැගූ පුද්ගලයෙකි. මේ හේතුවෙන් කමෛන් ඔහු වටා කිසියම් ජනප්‍රියත්වයක් ගොඩ නැගෙන ආකාරයක්ද දැකිය හැකි වෙයි. විශේෂයෙන් බටහිර මාධ්‍ය ඔහුට යම් ප්‍රචාරයක් ලබා දෙමින් සිටින  අතර මේ ඇතැම් මාධ්‍ය පවසන්නේ පුටින් වඩාත්ම බය පුද්ගලයා නවල්නි කියාය.

නවල්නි විසින් පුටින් පාලනයට විරුද්ධව ගෙනයනු ලබන මෙම ව්‍යාපාරය නිසා ඔහු විවිධ අවස්ථාවල නොයෙකුත් ගැටලුවලට මැදි වෙයි. කිහිප වරක් බන්ධනාගාර ගතවීමටද ඔහුට සිදු විය. ඔහු ලබන වසරේ පැවැත්වෙන ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට අදහස් කරගෙන සිටි නමුත් පසුගිය කාලයේ කිසියම් වංචාවක් සම්බන්ධයෙන් වැරදිකරුවෙකු ලෙස අධිකරණය තීන්දු කිරීම නිසා ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට සුදුසුකම් නැති අයෙකු ලෙස මේ වනවිට ප්‍රකාශයට පත්ව තිබේ. නවල්නි පවසන්නේ ඔහුට එරෙහිව එල්ල වූ වංචා චෝදනා ව්‍යාජ ලෙස ගොඩ නගන ලද ඒවා බවයි. කෙසේ වෙතත් ඉහත කී චෝදනා නිසා මේ වනවිට ඔහු සිටින්නේ පස් වසරක අත්හිටු වූ දඬුවමකට යටත්වය. නමුත් නවල්නි දිගින් දිගටම පවසමින් සිටින්නේ තමා කෙසේ හෝ ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බවය. දැන් සෙනියා සොබ්චැක්ද විරුද්ධ පාර්ශ්වයෙන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට යාම නිසා නවල්නිට කිසියම් ගැටලුවක් මතුව ඇත්තේ මේ නිසා විපක්ෂයේ යම් බෙදීමක් ඇති වන හෙයිනි.

නවල්නි මේ වනවිටත් සෙනියාට එරෙහිව ප්‍රහාර දියත් කිරීමට පටන්ගෙන තිබේ. ඔහු පවසන්නේ සෙනියා යනු  විරුද්ධ පක්ෂයේ බෙදීමක් ඇති කර දුර්වල කරනු පිණිස පුටින් විසින්ම යොදන ලද ඉත්තෙකු බවයි. ඇය හුදෙක් ‘විහිළුවක්’’ පමණක් බවත්, ව්‍යාජ ජනාධිපතිවරණයක් සාධාරණීකරණය කරනු පිණිස ගෙන එන ලද අපේක්ෂිකාවක පමණක් බවත් ඔහු පවසා තිබේ. මේ අතර ජනාධිපතිවරණය සඳහා කාන්තා පාර්ශ්වයේ කෙනෙකු ද ස්වාධීන අපේක්ෂිකාවක ලෙස හෝ ඉදිරිපත් කිරීමට ආණ්ඩු පක්ෂයේ යම් සැලැස්මක් ඇති බවට ආරංචි පසුගිය දිනවල පැතිරෙමින් තිබූ බවද මෙහිදී අමතක කළ හැකි නොවේ.

සෙනියා යනු පුටින්ගේ ඉත්තෙකු බවට නවල්නි කරන චෝදනාවට තල්ලුවක් දෙන තවත්  ප්‍රබල කාරණයක් වී ඇත්තේ ඇගේ පවුල සහ පුටින්ගේ පවුල අතර දිගු කාලීන මිත්‍රත්වයක් පැවැතීමයි. පුටින් දේශපාලනයට අවතීර්ණ වීමේදී විශාලම මෙහෙයක් කළේ සෙනියා ගේ පියා වන ඇනටොලි සොබ්චැක් බව පැවැසෙයි. ඔහු සැබැවින්ම සැලකෙන්නේ පුටින්ගේ දේශපාලන ගුරුවරයා වශයෙනි.

කෙසේ වෙතත් පසුගිය කාලය පුරාම පුටින්ට එරෙහිව පැවති විරෝධතා, උද්ඝෝෂණවලදී සෙනියා ද නිතර දකින්නට ලැබුණු කෙනෙකු විය. ඇයද ඉතා දැඩි ලෙස පුටින් විවේචනය කළ අය අතරින් එක් චරිතයකි. තමා ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට යන්නේ නවල්නිට ඒ සඳහා නීතියෙන් ඉඩ නැති නිසා බව පවසන ඇය නවල්නි යම් විදියකින් තරගයට ඉදිරිපත් වුවහොත් තමා ජනාධිපතිවරණ සටනින් ඉවත් වන බව පවසා තිබේ. නමුත් ඉදිරියේදී මේ සම්බන්ධයෙන් කවර තත්ත්වයක් ඇති වනු ඇත්ද යන්න තවමත් නිශ්චිතව කිව හැකි නොවේ.

රුසියාවේ ජනාධිපතිවරණයක් සඳහා කාන්තාවක ඉදිරිපත් වීමට යන්නේ වසර 14කට පසුවය. අවසන් වරට මේ ආකාරයෙන් ඉදිරිපත් වූ අපේක්ෂිකාව වන්නේ 2004 වසරේ පුටින් සමග තරඟ කළ අයිරිනා  ඛකමාඩා (Irina Khakamada) ය. ඇයට එම ජනාධිපතිවරණයේදී හිමි වූයේ සිව්වෙනි ස්ථානයයි. එමෙන්ම ඇයට ලබා ගත හැකි වූයේද ඡන්ද සියයට 4 ක් පමණි. පුටින් ඉදිරිපත් වූ දවෛනි ජනාධිපතිවරණය වූ එහිදී ඔහුට ඡන්ද සියයට 80ක් ලැබිණි.

කෙසේ වෙතත් මේ වනවිටත් පුටින් සැලකෙන්නේ ඉතා ප්‍රබල තත්ත්වයක පසුවන නායකයෙකු ලෙසිනි. ඔහු පරාජය කිරීමට තවමත් කිසිවෙකුට හැකි වනු ඇතැයි අපේක්ෂා කළ නොහැක. කොහොමටත් කාන්තාවක ජනාධිපති කිරීමට තවමත් රුසියාව තුළ සූදානමක් නැති බවද බොහෝ නිරීක්ෂකයන් පෙන්වා දෙන කාරණයකි. මෑතක කර තිබූ ජනමත සමීක්ෂණයකට අනුව එරට ජනතාවගෙන් සියයට 53ක් ඉදිරි වසර 10-15 අතර කාන්තාවක ජනාධිපති පදවියට පත්වෙනවාට කැමැත්තක් නොදක්වන බව පැවැසේ. කෙසේ නමුත් කාන්තාවන් වැඩි වැඩියෙන් දේශපාලන කේෂේත්‍රයට  ඇතුල් වනවාට නම් විශාල පිරිසක් කැමැත්ත දක්වති. ඉහත කී සමීක්ෂණය අනුව සියයට 70කට අධික පිරිසක් මේ සඳහා අනුමැතිය දක්වා ඇති බව වාර්තා වෙයි.

2018 ජනාධිපතිවරණයට පුටින් ඉදිරිපත් වී ජය ලැබුවහොත් එය ඔහු ජනාධිපති පදවියට පත්වන සිව්වෙනි වතාව වනු ඇත. 2000 වසරේ මුල් වරට ජනපති ලෙස පත් වූ ඔහු 2004දී නැවත වරක් එම පදවියට පත් වූයේය. 2008 දී ඔහු ඒ සඳහා ඉදිරිපත් නොවූයේ රුසියානු ව්‍යවස්ථාව අනුව පිට පිට තුන්වරක් ජනාධිපති පදවියට ඉදිරිපත් විය නොහැකි බැවිනි. එම වසරේ ජනාධිපති ලෙස පත්වූයේ පුටින්ගේ කිට්ටුම සගයෙකු වන ද්මිත්‍රි මෙදෙව්ය. පුටින් අගමැති ලෙස පත් විය. 2012 දී නැවත වරක් පුටින් ජනාධිපති ධුරයට තරග කළේය. එකල පැවති ව්‍යවස්ථාව අනුව ජනාධිපතිවරයාගේ ධුර කාලය වසර 4ක් පමණක් වූ නමුත්  පසුව මෙය වසර 6 දක්වා දීර්ඝ කෙරුණි. මීළඟ ජනාධිපතිවරණය 2018 වසරේ පැවැත්වෙන්නේ ඒ අනුවය. 2018 මාර්තු 18 වෙනි දින එය පැවැත්වීමට නියමිතව තිබේ. යම් හෙයකින් පළමු වටයෙදී කිසිදු අපේක්ෂකයෙකුට බහුතරයක්, එනම් ඡන්ද සියයට 50කට වඩා ලබා ගත නොහැකි වුවහොත් දෙවැනි වටයක් පැවැත්වෙනු ඇති අතර අප්‍රේල් 8 වෙනි දින ඒ සඳහා යොදාගෙන ඇත.

නිහාල් පීරිස්

Page 1 of 7

IMAGE

සැමියාගේ බිමත්කම සහ නොගැළපීම නිසයි විවාහය බිඳ වැටුණේ

IMAGE 2017 Nov 23 13:33
තිලකා රණසිංහගේ ජීවිතයේ වඩාත්ම සතුටු වූ අවස්ථාව හා වැඩියෙන්ම දුක් වූ අවස්ථාව සිහිපත් කරන්න...
Views - 3969

ලංකාව හැර ගිය නතාෂා ආපහු ඇවිත් කියපු කතාව

IMAGE 2017 Nov 23 08:03
නතාෂා පෙරේරා පහුගිය කාලයේ වැඩිපුර දකින්නට ලැබුණේ නැහැ. ඒ ඇය තමන්ගේ ආදරණීය සැමියා ප්‍රිහාන්...
Views - 3713

55 වියැති බැංකු ලොක්කා 29 කන්තෝරු නෝනා සමඟ 'හනිමූන්' ගිහින්

IMAGE 2017 Nov 22 12:50
බැංකුවක උසස් නිලයක් දරන පනස්පස් හැවිරිදි සිය සැමියා වසර ගණනාවක් තිස්සේ විසිනව හැවිරිදි රජයේ...
Views - 6785

අහසේ සිට බිමට පනින එස්.ටී.එෆ්. යුවතියෝ

IMAGE 2017 Nov 22 10:55
අම්පාර උහන ගුවන් ධාවන පථයෙන් අහසට නැඟගත්, එම්. අයි. 17 වර්ගයේ හෙලිකොප්ටරය  නිලඹර දෙපළු කරමින්...
Views - 4192

මිහිදුම සහ වැස්ස ගැන 'කාලගුණ විද්‍යාවෙන්' බොරු කී‍වේ ඇයි?

IMAGE 2017 Nov 22 10:43
මේ දිනවල අළුයම් කාලයේ අගනුවර ඇතුළු ප්‍රදේශ රැසක දැඩි මිහිදුම් තත්ත්වයක් දක්නට ලැබුණු බව...
Views - 2615

මුගාබේගේ බිරිඳ ද පක්ෂයෙන් නෙරපයි

IMAGE 2017 Nov 21 09:37
වසර 37  ක කාලයක් සිම්බාබ්වේ දේශය පාලනය කළ රොබට් මුගාබේ නිවාස අඩස්සියට ගනිමින් හමුදාව එරට...
Views - 3421

Please publish modules in offcanvas position.

Web Analytics