Home    |    Daily Lakbima    |    Sunday Lakbima    |   Rajina |    Archive    |    Advertise With Us    |     Careers Email - [email protected] youtube
lakbima.lk

                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්     

ගූගල් යැයි කියූ සැනින් අපට සිහියට එන්නේ ජනප‍්‍රිය අන්තර්ජාල සෙවුම් යන්ත‍්‍රයයි. එහෙත් ගූගල් සමාගමේ ව්‍යාපාර කටයුතු බොහෝය. එ්වා සියල්ල පාහේ කේන්ද්‍රගතව ඇත්තේ තොරතුරු තාක්‍ෂණ ක්‍ෂේත‍්‍රය ඉලක්ක කරය. පසුගිය කාලයේ ලංකාවේද මහත් ආන්දෝලයක් ඇති කළ ගූගල් බැලූමද එවැනි එකකි. විශ්වය දැකගන්නට මෙන්ම  ඕනෑම කෙනෙකුට ඔබේ ගේ ෙදාරකඩට පාර කියන්නටද සමත් වන ගූගල් සමාගම පසුගියදා අපූරු කැමරාවක් නිර්මාණය කළේය.
 ගූගල් සමාගම තමන් විසින් නිපදවූ අංශක 360 ක වපසරියක් වීඩියෝ ගත කළහැකි ‘වීආර්’ වර්ගයේ නවතම කැමරාව ලෝකයට හඳුන්වා දුන්නේ පසුගිය සතියේය.

කාච 17 කින් යුතු මෙම කැමරාව ඔවුන් මිල කර තිබෙන්නේ ඇමෙරිකන් ඩොලර් 17000 ක මුදලකට ය. එනම් රුපියල්
ලක්ෂ 25 ඉක්ම වූ මිලකි. ‘එච්ඞී’ තත්ත්වයේ කැමරා 17 කින් ලබා ගත හැකි පැහැදිලි බවක් සහ උසස් බවක් මෙම නවතම කැමරාවෙන් ලබා ගන්නා වීඩියෝ සහ ඡුායාරූපවලින් ලබා ගත හැකි බව එහි නිෂ්පාදකයන් වන චීනයේ වයි අයි සමාගම පවසයි. වයි අයි සහ ගූගල් සමාගමේ සම නිෂ්පාදනයක් ලෙස මෙම කැමරාව ලබන මස අග දී වෙළෙඳ පොළට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.

මෙම කැමරාවේ විශේෂත්වය වන්නේ ඉන් වීඩියෝ ගත කරන විට හෝ ඡුායාරූප ගත කරන විට අවට පරිසරයේ අංශක 360 ක සම්පූර්ණ ප‍්‍රදේශයම වීඩියෝ දර්ශනයට හෝ ඡුායාරූපයට නගා ගත හැකිවීමයි. නමුත් මෙහිදී කැමරා ශිල්පියාව ද රූප රාමු හෝ ඡුායාරූපයට හසුවීම මගහැරීම සඳහා කැමරා ශිල්පියාට කැමරාව පාලනය කිරීම සඳහා දුරස්ථ පාලකයක් නිර්මාණය කර තිබේ. ඊට අමතරව ශිල්පියාට තමාට අවශ්‍ය පරිදි රූප රාමු ලබා ගැනීම සඳහා වීව් ෆයින්ඩරය (කැමරාවේ ඇස තබා බලන කොටස* ලෙස භාවිත කළ හැකි ඇස් ආවරණයක් ද මෙම කැමරාව සමග නිර්මාණය කර තිබේ. එය මීටර් 100 ක පමණ දුරක් දක්වා සංවේදී වේ. කැමරා ශිල්පියා එය පැළඳ ගත් පසු ඔහුට කැමරාවේ කාච 17 තුළින්ම පෙනෙන සෑම රූප රාමුවක්ම නිසිලෙස දර්ශනය වේ. එක් එක් කැමරාවෙන් වෙන් වශයෙන් පාලනය කිරීම හා සීරුමාරු කිරීම දුරස්ථ පාලකය මගින් ඉතා පහසුවෙන් සිදුකළ හැකිය. මෙම කැමරාවේ රූපරාමුවල තත්ත්වය සහ කැමරාවේ තත්ත්වය පරීක්ෂා කිරීම භාරව තිබුණේ අතිදක්ෂ සිනමා නිර්මාණ ශිල්පියෙකු වූ ආමැන්ඩෝකිර්වින්ටය. 2020 වසර වන විට මෙවැනි ආකාරයේ කැමරා මිලියනයකට වඩා වැඩි ප‍්‍රමාණයක් අලෙවිකර ගත හැකිවන බව තමාට විශ්වාස බව ඔහුගේ අදහසයි.
මෙම නවතම කැමරාව ෆේස්බුක් සහ ට්විටර් ඔස්සේ ප‍්‍රසිද්ධියට පත් කළ  පළමු දිනයේ දී ම ඒ සඳහා රටවල් 24 කින් ඇණවුම් 63 ක් ලැබී තිබූ බව වයි අයි සමාගම පවසයි. ඉදිරියේ දී මෙම කැමරාව ම ත‍්‍රිමාණ රූපරාමු ලබා ගත හැකි වන පරිදි වැඩිදියුණු කිරීමට නියමිත බවත් එය ඇමෙරිකන් ඩොලර් 30000 ක පමණ එනම් රුපියල් ලක්ෂ 50 ඉක්ම වූ මුදලකට මිල කළ හැකි බවත් මෙම සමාගම වැඩිදුරටත් ප‍්‍රකාශ කර තිබේ.

තම රටේ දේශසීමා නිසියාකාරයෙන් ලකුණු කරගැනීම පිණිස මතෛක් කරගන්නට බැරිවූ තම රටට අයත් දූපත් සියල්ල නිසියාකාරව ගණන් කිරීම ඉන්දුනීසියාව අරඹා තිබේ. මීට පෙර ඒ සඳහා ගත් උත්සාහය වැළකී ගියේ ඒ තරමටම දූපත් සංඛ්‍යාවක් එරටට අයත්ව තිබිම හේතුවෙනි. ගණන් කිරීම මෙන්ම එම දූපත් නම් කිරීමද එම අවස්ථාවන්හි වැළකී ගියේය. 1996දී දළ වශයෙන් කළ ගණන් ගැනීමකදී ඉන්දුනීසියාවට අයත්ව තිබූ දූපත් ගණන දහහත්දහස් පන්සිය අටක් ලෙස ගණන් බලන ලදී. නමුත් මෙය දළ වශයෙන් කළ ගණනයක් නිසා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ පිළිිගැනීමට ලක් නොවේ. ලබන අගෝස්තු මාසයේ පවත්වන එක්සත් ජාතීන්ගේ සමුළුවට පෙර ස්ථිර වශයෙන්ම දූපත් ගණන ගණන් කොට ඒවා නම් කිරීම එරට රජයේ බලා‍පොරොත්තුවයි.පසුව එම දූපත් එක්සත් ජාතීන්ගේ සංගමයේ ලියාපදිංචි කිරීම හරහා තම දේශ සීමාවන් මෙන්ම රට වටා ඇති සුවිසල් මත්ස්‍ය සම්පත් රැකගැනීම ඔවුන්ගේ පරමාර්ථය වී තිබේ. රට අවට වෙනත් රටවලින් කරන නීති විරෝධී මසුන් ඇල්ලීම නිසා ඉන්දුනීසියාවට වසරකට විශාල මුදලක් අහිමි වෙයි.

 හතරැස් කිලෝමීටර මිලියන 1.9ක භුමි භාගයක පැතිරුණු ඉන්දුනීසියාවේ දූපත් ගණන් කිරීම හා නම් කිරීම පහසු කටයුත්තක් නම් නොවනු ඇත. එරට අගනුවර වන ජකර්තාව අවට මුහුුදේ පමණක් දූපත් දහසකට වැඩි ගණනක් තිබෙන බව පැවැසෙයි. ඉන්දුනීසියාවට අයත් දූපත්වලින් සියයට හැටකට නමක් හෝ දේශසීමා ලකුණු කිරීමක් නැති බැවින් පහසුවෙන්ම වෙනත් රටවලට ඒවාට අයිතිවාසිකම් කීමට හැකිවීමේ අවදානමක් පවතියි. 2002දී දූපත් දෙකක් එලෙස මැ‍ලේසියාවට අයත්වූ අතර තවත් දූපත් දෙකක් ටිමෝර් ලෙස්ටේ විසින් අත්පත් කර ගන්නා ලදී. පුද්ගලික ආයතනයක් විසින්ද එක් කුඩා දූපතක් අයිති කරගෙන එහි සිටි වැසියන්ද ඉන් පළවා හැරීමට පියවර ගෙවන තිබුණි. එමෙන්ම කල්පනාකාරී නොවුණොත් දේශගුණික වෙනස්කම් නිසා මුහුදු මට්ටම ඉහළයාම හේතුවෙන් ඉන්දුනීසියාවට දූපත් රැසක් අහිමිව යාමේ අවදානමක්ද පවතියි.

නිශානි දිසානායක

මේ වනවිට මුළු ලොවම භීතියට පත් කරමින් සිටින අයි.එස් (Islamic State) සංවිධානය තවත් ආසියානු රටක් තුළ තහවුරු වීමට උත්සාහ දරමින් සිටිනවාද යන ප්‍රශ්නය බොහෝ පාර්ශ්ව තුළ නංවන්නට සමත් වූ සිදුවීම් දාමයක් මේ වනවිට සිදුවෙමින් තිබේ. ඒ පිලිපීනය කේන්ද්‍ර කර ගනිමිනි.
 
මේ සම්බන්ධ ආසන්නම සිදුවීම් දාමය ආරම්භ වූයේ මැයි මස 23 වැනිදාය. එදින පිලිපීන හමුදාව පිලිපීනයේ දකුණු දෙසින් පිහිටි මින්දනාඕ දූපතේ පිහිටි මරාවි නැමැති නගරයට ඇතුළු වූයේ එහි රැඳී සිටින බව පැවසුණු අබු සයියාෆ් (Abu Sayyaf) නැමැති ඉස්ලාමීය සටන්කාමී  කණ්ඩායමේ නායකයකු අල්ලා ගැනීම සඳහාය. අබු සයියාෆ් සංවිධානය යනු දැන් කලෙක සිටම දකුණු පිලිපීනයේ දූපත් ආශ්‍රිතව ක්‍රියාත්මක වෙමින් සිටින සටන්කාමී සංවිධාන අතරින් එකකි. මෙම සංවිධාන සටන් කරමින් සිටින්නේ මින්දනාඕ දූපතේ ස්වාධීන පාලනයක් ඇති කරගැනීම අරමුණු කර ගනිමිනි. 
 
මෙම කලාපයේද බහුතරයක් වාසය කරන්නේ කිතුනුවන් වන අතර, සුළුතරයක් වන මුස්ලිම්වරුන්  නියෝජනය කරන සංවිධාන පවසන්නේ කාලයක් තිස්සේ කිතුනුවන් පිලිපීනයේ විවිධ ප්‍රදේශවලින් පැමිණ මෙහි පදිංචි වීම නිසා තමුන් සුළුතරයක් බවට පත්ව ඇති බවය. මෙම තත්ත්වය තුළ මෙහි ක්‍රියාත්මක වන ඉස්ලාමීය සටන්කාමී කණ්ඩායම් පිලිපීන රජයට එරෙහිව මෙන්ම මෙහි සිටින කිතුනුවන්ට එරෙහිවද සටන් කරමින් සිටිති. අබු සයියාෆ් සහ මවූට් (Maute) යනු ඒ ආකාරයෙන් සටන් කරමින් සිටින ප්‍රධාන කණ්ඩායම් දෙකක් ලෙස සැලකෙයි. ඔවුන්ගේ බලා‍පොරොත්තුව වී ඇත්තේ මින්දනාඕ දූපත තුළ ස්වාධීන මුස්ලිම් පාලනයක් පිහිටුවා ගැනීමයි. 
 
කලින් සඳහන් කළ පරිදි, පසුගිය 23 වැනි දින අබු සයියාෆ් නායකයකු වූ ඉස්නිලෝන් හාපිලොන් නැමැත්තා අල්ලා ගැනීම සඳහා ආරම්භ කෙරුණු හමුදා මෙහෙයුම සිතූ පරිදි සාර්ථක වූයේ නැත. එයින් පසු මින්දනාඕහි මරාවි නගරය තුළ හමුදාව සහ සටන්කාමී කණ්ඩායම් අතර හටගත්තේ දරුණු සටනකි.  නගරයේ රෝහලක්, අධ්‍යාපන ආයතනයක්, බන්ධනාගාරයක්, ක්‍රිස්තියානි පල්ලියක් ඇතුළු ස්ථාන කිහිපයක් සටන්කාමීන් අල්ලාගත් බව මාධ්‍ය අනාවරණය කළේය. මේ සිද්ධිය වනවිට පිලිපීන ජනාධිපති රොඩ්රිගෝ ඩ්‍යුටර්ට් සිටියේ රුසියාවේ නිල සංචාරයක නිරත වෙමිනි. ඔහු එහිදී ජනාධිපති පුටින් සමග පැවැත් වූ  සාකච්ඡාවද විශේෂ අවස්ථාවක් විය. 
 
සිය රටෙහි හට ගත් හදිසි තත්ත්වය ගැන දැනගැනීමෙන් පසු ඩ්‍යුටර්ට් රුසියාවේ සිටිමින්ම මින්දනාඕ දූපතෙහි යුද නීතිය ප්‍රකාශයට පත් කළේය. එමෙන්ම රුසියානු සංචාරය අතරමග නතර කර නැවත පිලිපීනය බලා පැමිණීමටද ඔහු පියවර ගත්තේය.
 
මේ සටහන ලියන අවස්ථාව  වනවිටත් මින්දනාඕහි ඉස්ලාමීය සටන්කාමීන් සහ පිලිපීන හමුදා අතර දරුණු සටන් ඇවිළෙමින් තිබිණි. දෙපැත්තේම සාමාජිකයන් රැසක් මරණයට පත්ව ඇති බවද වාර්තා වෙයි. පිලිපීන ගුවන් හමුදාව විසින් එල්ල කරන ලද ප්‍රහාරයක් වැරදී යාමෙන් හමුදාවේම  සෙබළුන් 11 දෙනෙකු මරණයට පත්වීම පසුගිය සිකුරාදා (2)  වාර්තා වූ විශේෂ සිද්ධියක් විය. මේ අතර ගැටුම් හේතුවෙන් සිවිල් වැසියන් විශාල වශයෙන් මෙම ප්‍රදේශ අත්හැර යමින් සිටින බවද පිලිපීන මාධ්‍ය අනාවරණය කර තිබිණි.
 
මීට පෙර අවස්ථාවල පිලිපීන රජය සමග සටන් වැදුණු සටන්කාමීන් පිලිපීන ජාතිකයන්ම වූ බව ‍පොදු පිළිගැනීම විය. නමුත් මේ අවස්ථාවේ එහි කිසියම් කැපී පෙනෙන වෙනසක් පවතින බවක් පිලිපීන බලධාරීන්ගෙන් ප්‍රකාශයට පත්ව තිබේ. එනම් මෙම සටන්කාමීන් අතර විදේශිකයන්ද සිටින ආකාරයක් පෙනී යන බවයි. හමුදාව අතින් මරණයට පත් වූ සටන්කාමීන් අතර මැ‍ලේසියානු සහ ඉන්දුනීසියානු ජාතික සටන්කාමීන් සිටින බවක් හඳුනාගෙන ඇතැයි ඔවුන් ප්‍රකාශ කර ඇත. සමස්තයක් වශයෙන් ගත් කල මෙම විදේශීය සාමාජිකයන් අතර මැ‍ලේසියානු, ඉන්දුනීසියානු මෙන්ම පාකිස්ථාන, ඉන්දියානු සහ තුර්කි වැනි ජාතිකයන්ද සිටින බව පෙනී යන්නේ යැයි පිලිපීන ආරක්ෂක අංශ සඳහන් කර තිබිණි. මෙම පිරිස් “ඉස්ලාමීය රාජ්‍යය” හෙවත් අයි.එස්. සංවිධානයට සම්බන්ධ අය බව මෙම බලධාරීන්ගේ විශ්වාසයයි. මින්දනාඕ දූපතේ සටන් කරන දේශීය සටන්කාමී සංවිධාන මෑතක සිට අයි.එස්. සංවිධානය සමග සබඳතා පවත්වන බවට වන විශ්වාසය මේ නිසා තහවුරු වන බව මේ සම්බන්ධයෙන් අදහස් දක්වන  නිරීක්ෂකයන්ගේ මතය වී තිබේ.
 
මෙවැනි තත්ත්වයක් පවතී නම් ඒ තුළින් පෙනී යන බරපතළ කාරණයක් වන්නේ අයි.එස් සංවිධානය මේ වනවිට දකුණු පිලිපීනයේ මින්දනාඕ වැනි දූපත් සිය බල කඳවුරු බවට පත් කර ගැනීමට පියවර ගනිමින් සිටින බවයි. මෙම දූපත්වල වෙනම රාජ්‍යයන් පිහිටුවමින් ඒවා ඔවුන්ගේ ඉස්ලාමීය රාජ්‍යයේ කොටස් බවට පත් කර ගැනීමට අයි.එස්. සංවිධානය අදහස් කරගෙන සිටින බව පෙනී යන්නේ යැයි ඇතැම් නිරීක්ෂකයෝ පෙන්වා දෙති.  
 
අයි.එස්. සංවිධානය වඩාත්ම ශක්තිමත්ව පැවැතුණේ ඉරාකය, සිරියාව වැනි රටවලය. මේ වනවිට එම රටවල අයි.එස්. සංවිධානයට එල්ල වන අභියෝග වැඩි වී ඇති බැවින් ඔවුන් ලොව අනෙක් කලාපවලද සිය බලකඳවුරු ශක්තිමත් කරගැනීමට පියවර ගනිමින් සිටින බව දැන් ටික කලෙක සිට අවධානයට ලක්වෙමින් ඇති කාරණයකි. අග්නිදිග ආසියාව තමුන්ගේ ප්‍රධාන කඳවුරක් බවට පත් කර ගැනීමට ඔවුන් කටයුතු කරමින් සිටින බවත්, පිලිපීනය එහි වැදගත් කේන්ද්‍රස්ථානයක් බවට පත් විය හැකි බවත් මෙම සංවිධානය පිළිබඳ අධ්‍යයනය කරන විශේෂඥයන්ගේ අදහස වී තිබේ.
 
නිහාල් පීරිස්

අයිස් පර අතරින් රත් පැහැ රුධිර ධාරාවක් සේ ගලා හැලෙන දිය ඇල්ලක් ගැන ඔබ කවදා හෝ අසා තිබේද? සැබෑ ලෝකයේ එවැන්නක් තිබිය නොහැකි යැයි සිතුන ද එවැනි දිය ඇල්ලක් ඇන්ටාක්ටිකාවේ ග්ලැසියර අතරින් ගලා හැලේ.
මේ දිය ඇල්ල මුලින්ම සොයා ගනු ලැබුවේ භූ විද්‍යාඥයෙකු වන ග‍්‍රිෆිත් ටේලර් ප‍්‍රමුඛ ගවේෂකයන් විසින් 1911දීය. රත් පැහැ ලේ දහරක් සේ එහි ජලය දිස්වීමට හේතුව ඇල්ගී විශේෂයක් යැයි එකල පිළිගැණුන ද එය සනාථ කළ නොහැකි වූ බව පෙනේ. එතැන් පටන් එය ලේ ඇල්ල යන අරුත් දෙන බ්ල්ඞ් ෆෝල්ස් යන නමින් ලොව පතළ විය.
දිය ඇල්ලේ ජලය රතු පාට වීමට හේතුව සොයා ගැනීමට ඇලස්කාවේ ෆෙයාබෑන්ක් සරසවියේ පර්යේෂකයන් පිරිසක් සමත්ව ඇත. ඔවුන් පවසන්නේ වසර මිලියන 1.5ක් පමණ පැරණි ග්ලැසියරයක් යටින් මේ ජල පහර මතුවන බවයි. ඉතා අධික ලවණ සාන්ද්‍රණයකින් යුත් ඒ ජලයේ යකඩ සාන්ද්‍රණය ද ඉහළ බව පැවැසේ. පොළොවෙන් පිටතට ගලා ආපසු වාතය හා ගැටීමෙන් යකඩ ඔක්සිකරණය වේ. යකඩ මළවල ඇති රතු වර්ණයක් ජලයේ දිස්වන්නේ එබැවිනි.
වසර මිලියන ගණනාවකට ඉහතදී ඇන්ටාක්ටිකාවෙි ටේලර් ග්ලැසියරය වඩා වර්ධනය වෙද්දී ලවණ ජලය සහිත විලක් ඊට යටවූ බව පැවසේ. ගිණිය නොහැකි තරම් හිම හා අයිස් තට්ටු ප‍්‍රමාණයක් යටින් ඇති එම විලේ ජලයේ ලවණ සාන්ද්‍රණය තවදුරටත් කොපමණ ඉහළ ගොස් ඇති ද යත් සාමාන්‍යයෙන් ජලය අයිස් බවට පත්වන උෂ්ණත්වයේදී මේ ජලය නොමිදේ. එම ජලයට යකඩ එක් වන්නේ විල්පත්ලේ තිබීය.
මෙි පිරික්සුමට උපයෝගී කරගෙන ඇත්තේ රේඩියෝ එකෝසවුන්ඩර් ක‍්‍රමයයි. වවුලන් තම වටපිටාව නිරීක්ෂණය කරන්නේද එම තාක්ෂණය උපයෝගී කරගෙනය. එහෙත් ජලය ග්ලැසියරය මතුපිටට ගලා එන මාර්ගය හෙළි කරගැනීමට නම් තවමත් කිසිවෙකු සමත්ව නැත.
මෙි අපූරු දිය ඇල්ල පිහිටා ඇත්තේ ඇන්ටාක්ටිකාවේ කි.මී. 100කට වඩා දිවෙන ටේලර් ග්ලැසියරයේ උතුරු අන්තයේය. එය ලොව සීතලම ග්ලැසියරය ලෙස සැලකේ. මීට ඉහත කළ පර්යේෂණයකදී එහි ලවණ ජලයේ ජීවත් වන බැක්ටීරියාවක්ද හඳුනාගනු ලැබ ඇත. ආහාර පිණිස සල්ෆේට හැර වෙනත් යමක් එහි නොතිබූ බව පැවසෙයි.
 
Journal of Glaciologyඇසුරිනි.
 
ඒ.ජී. දීපිකා ප්‍රියදර්ශනී

වියට්නාමයේ බහුල වශයෙන් සහල් නිපදවන මැකොන්ග් ඩෙල්ටාව (Mekong Delta) වැනි වෙරළබඩ ප්‍රදේශ ඉහළ යන මුහුදු මට්ටම නිසා තර්ජනයට ලක්ව තිබේ. එම රටත් සයුරත් වෙන් කරමින් නැගී සිටින එකම දෙය වනුයේ ශාක පමණි. එනිසාම මෙහි අනාගතය තරමක ප්‍රශ්නාර්ථයකින් යුක්තය. 
 
වියට්නාමය තිබෙන්නේ අවදානමේය. මුහුදු මට්ටම ඉහළ යාම මේ වෙරළ ආශ්‍රිත රටට දැඩි තර්ජනයක් වී ඇත. දකුණු වියට්නාමයේ මැකොන්ග් ඩෙල්ටාව ජාතියේ සහල් නිෂ්පාදනයේ හදවත බඳුය. වසර දහස් ගණනකට පෙර මුහුදු පත්‍ලේ සැඟවී ගත් අතීත ග්‍රීසියේ කතාවල සඳහන් ඇට්ලන්ටාවට සිදු වූ දෙය තවත් වසර සියයකට අඩු කාලයකදී මැකොන්ග් ඩෙල්ටාවේ වැඩි ප්‍රදේශයකට සිදුවිය හැක.
 
වසර 2100 වන විට හෝචි මින් (Ho chi Minh) නගරය ඇතුළු විශාල ප්‍රදේශයක් වන මහ සයුර විසින් ගිල දමනු ඇතැයි ස්වාභාවික සම්පත් සහ පරිසර අමාත්‍යාංශය අනාවැකි පළකරයි. මැකොන්ග් ඩෙල්ටාවට ඉහළින් පිහිටි හොයි ආන් (Hoi An) හි තත්ත්වය වඩා සතුටුදායකය. නමුත් එම ප්‍රදේශයටද මෙම තත්ත්වය උදා නොවේවියැයි කිව නොහැකිය. එම නගරය තුබොන් ගංගාව (Thu Bon River) දකුණු චීන මුහුද හමුවන ස්ථානයේ පිහිටා ඇත. මෝසම් ජල ගැලීම් සිදුවන කාලයට එහි වැසියන් පුරුදු වී ඇත්තේ තම ගෘහ භාණ්ඩ මහත් පරිශ්‍රමයකින් යුතුව ඉහළ මාලයන් කරා ඇද ගැනීමය.
 
වියට්නාමයට එතරම් සුබදායී කාලගුණික අනාවැකි හා එරට පවතින සීමිත සම්පත් ප්‍රමාණය හේතුවෙන් මේ ප්‍රශ්නය සඳහා වියට්නාමය සතුව ඇති විකල්පයන් ප්‍රමාණය අල්පය. 2015 දී එරට පරිසර අමාත්‍ය න්ගුයෙන් මින් ක්වැන්ග් (Nguyen Minh Quang) මාධ්‍යයට පැවසුවේ මෙම අර්බුදයට ඇති හොඳම විසඳුම වැඩි වශයෙන් කඩොලාන ශාක සිටුවීම බවයි.
 
කඩොලාන ශාක වෘක්ෂ (ශාකමය) ලෝකයේ දේශගුණික සුපිරි වීරයෝ බඳුය. වෙරළ තීරයන් දිගේ ගොහොරු බිම්වල, ලවණ ජලයේ වැඩෙන මෙම ශාක තුනී කඳන් හා අකුල් සහිතය. අඳුරේ කිඳා බැසි මකුළු අඬු වැනි කෘශ මුල් ලවණ ජලය පෙරණයක් ලෙස ක්‍රියා කරයි. කඩොලාන ශාක ස්වාභාවික කුණාටුවලට බාධකයක් ලෙසින්ද ක්‍රියා කරන අතර ලවණ ජලය කෘෂිකාර්මික බිම්වලට කාන්දු වීම වැළැක්වීමද සිදු කරයි. මේ සියල්ලටම වඩා කඩොලාන වායුගෝලීය රික්ත ශෝධකයකි. එය වායුගෝලයේ වැඩිපුර ඇති කාබන්ඩයොක්සයිඩ් ප්‍රමාණය ඇද ගැනීමෙන් රික්ත ශෝධකයක් ලෙස ක්‍රියා කරයි. 
 
කඩොලාන පරිසර පද්ධතිවල ගබඩා වී ඇති ඓන්ද්‍රීය කාබන් ප්‍රමාණය අනෙක් වනාන්තර පද්ධතිවලට වඩා තුන් හතර ගුණයකින් විශාල බව ඕස්ට්‍රේලියාවේ චාල්ස් ඩාවින් විශ්වවිද්‍යාලය හා ජාත්‍යන්තර වන පර්යේෂණ මධ්‍යස්ථානය සමග පර්යේෂණ සිදු කරන පර්යේෂක සිජිට් සැස්මිටෝ (Sigit Sasmto) තහවුරු කරයි.
 
කෙසේ වුවත් 1940 ගණන්වලින් පසු වියට්නාමයට එහි කඩොලාන වනාන්තරවලින් භාගයකට වඩා අහිමි විය. ඒ වැඩි වශයෙන්ම නාගරික සංවර්ධනය හා ජලජීවී වගාවන් වෙනුවෙනි. 
 
හොයි ආන් හි 'අනාගතය සඳහා කඩොලාන' (Mangroves for the Future-MFF) නමින් පිහිටුවා ගත් කණ්ඩායමක් එම ප්‍රදේශයේ කඩොලාන සංරක්ෂණය සඳහා පියවර ගනිමින් සිටී. ඔවුන් හොයි ආන් ප්‍රදේශය මුහුදින් වෙන් කරනු ලබන කඩොලාන වනාන්තර රැක ගැනීමේ පියවරක් ලෙස හොයි ආන් පාරිසරික ගමනස්ථානයක් බවට පත් කිරීමට උත්සාහ කරයි.
 
මිනිසුන් කාලගුණික විපර්යාසයන් ගැන බොහෝ කතා වෙනවා. නමුත් (පරිසර) තර්ජනය එතරම් පැහැදිලි නැහැ. හුයෙන් ට්‍රෑන් ගෝ (Huyen Tran Ngo) පවසයි. ඇය කැම් තැන්හ් (Cam Thanh) කාන්තා එකමුතුවේ ව්‍යාපෘති අධ්‍යක්ෂිකාවයි.
 
මේ කඩොලාන වියට්නාමයේ මුහුදු මට්ටම ඉහළ යාමේ අර්බුදය සඳහා ඇති විසඳුමද යන්න කෙසේ වෙතත් ඊට ඇති පිළිතුරෙහි කොටසක් බවට පැහැදිලිය.
 
තනූජා යටවතුර 

දකුණු කොරියාවේ නව ජනපති මුන් ජේ ඉන් මේ වනවිටත් රට නව මාවතකට ගෙනයාමට ‍පොරොන්දුවී සිටියි. කෙසේ වුවද නව නායකයාට යොමුවිය යුතු අවධානය ඔහුගෙන් උදුරාගන්නා තවත් අයෙකු ගැන ලොවපුරා මාධ්‍ය මේ වනවිට විමසිලිමත්ව සිටියි. නමින් චෝ යන්ග් ජේ වන මොහු ජනපතිවරයාගේ ප්‍රධාන අංගරක්ෂකයා හෙවත් බොඩිගාඩ් ලෙස කටයුතු කරයි. ඔහුගේ කඩවසම් පෙනුම හා ඉරියව් සිහිපත්කරන්නේ 1990 වසරේ සුප්‍රකට හොලිවුඩ් චිත්‍රපටයක් වන ද බොඩි ගාඩ් චිත්‍රපටයේ ජනප්‍රිය නළු කෙවින් කොස්ට්නර් වය. යුරෝපීය ඇඳුමින් සැරසී තියුණු දෑසින් ජනපති පසුපසටවී බලාසිටින වයස අවුරුදු තිස්හයක් වූ කඩවසම් බොඩිගාඩ්ගේ රුව මේ වනවිට අන්තර්ජාලය හරහාත් බෙහෙවින් ජනප්‍රියය.
දකුණු කොරියාවේ ඇතැම් ජනප්‍රිය වබේ අඩවි ජනපතිට එල්ලවිය හැකි අනතුරක් ගැන විමසිලිමත් වන යන්ග් ජේ ගේ විවිධ ඉරියව් රැගත් ඡායාරූප පෙළක් ප්‍රසිද්ධියට පත්කිරීමත් සමග මේ අපූරු අංගරක්ෂකයාගේ ජනප්‍රියත්වය තවත් වැඩිවී තිබේ. මේක චිත්‍රපටයක දර්ශනයක් වගෙයි. ඒ දසුන් දුටු අයෙකුට සිතෙනවා නම් එය පුදුමයක් නොවේ. කෙසේවුවද රිදී තිරයේ බොඩිගාඩ් චරිතය සැබෑ ජීවිතයේදී තමාට ඇළුම් කරන සුරූපී යුවතියක් සමග රඟන්නට නම් යන්ග් ජේට නොහැකිය. අවාසනාවකට වගේ ඔහු විවාහකයි. එසේ කියන්නේ නව රජයේ නිලධාරියෙකි.
තම අංගරක්ෂකයා තරමටම තරුණ කාලයේ කඩවසම්ව සිටි නව ජනපතිගේ එම තරුණ වියේ ඡායාරූපද මේ වනවිට ඉතා ජනප්‍රියව තිබේ.
නිශානි දිසානායක 

Page 4 of 5

IMAGE

සැමියාගේ බිමත්කම සහ නොගැළපීම නිසයි විවාහය බිඳ වැටුණේ

IMAGE 2017 Nov 23 13:33
තිලකා රණසිංහගේ ජීවිතයේ වඩාත්ම සතුටු වූ අවස්ථාව හා වැඩියෙන්ම දුක් වූ අවස්ථාව සිහිපත් කරන්න...
Views - 3880

ලංකාව හැර ගිය නතාෂා ආපහු ඇවිත් කියපු කතාව

IMAGE 2017 Nov 23 08:03
නතාෂා පෙරේරා පහුගිය කාලයේ වැඩිපුර දකින්නට ලැබුණේ නැහැ. ඒ ඇය තමන්ගේ ආදරණීය සැමියා ප්‍රිහාන්...
Views - 3626

55 වියැති බැංකු ලොක්කා 29 කන්තෝරු නෝනා සමඟ 'හනිමූන්' ගිහින්

IMAGE 2017 Nov 22 12:50
බැංකුවක උසස් නිලයක් දරන පනස්පස් හැවිරිදි සිය සැමියා වසර ගණනාවක් තිස්සේ විසිනව හැවිරිදි රජයේ...
Views - 6707

අහසේ සිට බිමට පනින එස්.ටී.එෆ්. යුවතියෝ

IMAGE 2017 Nov 22 10:55
අම්පාර උහන ගුවන් ධාවන පථයෙන් අහසට නැඟගත්, එම්. අයි. 17 වර්ගයේ හෙලිකොප්ටරය  නිලඹර දෙපළු කරමින්...
Views - 4130

මිහිදුම සහ වැස්ස ගැන 'කාලගුණ විද්‍යාවෙන්' බොරු කී‍වේ ඇයි?

IMAGE 2017 Nov 22 10:43
මේ දිනවල අළුයම් කාලයේ අගනුවර ඇතුළු ප්‍රදේශ රැසක දැඩි මිහිදුම් තත්ත්වයක් දක්නට ලැබුණු බව...
Views - 2568

මුගාබේගේ බිරිඳ ද පක්ෂයෙන් නෙරපයි

IMAGE 2017 Nov 21 09:37
වසර 37  ක කාලයක් සිම්බාබ්වේ දේශය පාලනය කළ රොබට් මුගාබේ නිවාස අඩස්සියට ගනිමින් හමුදාව එරට...
Views - 3371

Please publish modules in offcanvas position.

Web Analytics