Home    |    Daily Lakbima    |    Sunday Lakbima    |   Rajina |    Archive    |    Advertise With Us    |     Careers Email - [email protected] youtube
lakbima.lk

                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්     

මුහුදු මට්ටමේ සිට මීටර 8,850ක් ක් (අඩි 29,035 ක්) උසින් පිහිටි එවරස්ට් කඳු මුදුන තරණය කළ බව කී ඉන්දියානු ‍පොලිස් යුවළක් මේ දිනවල මහත් ආන්දෝලනයක් ඇති කිරීමට සමත්ව තිබේ. දිනේශ් සහ තරකේෂ්වරී රතෝද් යනුවෙන් හැඳින්වෙන මෙම යුවළ ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ ‍පොලිස් දෙපාර්තමේන්තුවේ සේවය කළ අඹු සැමි යුවළක වූ අතර  ඔවුන් දෙදෙනා පසුගිය වසරේ එවරස්ට් කඳු මුදුන තරණය කළ බව ප්‍රකාශයට පත්කර තිබිණි. එවරස්ට් තරණය කළ ප්‍රථම ඉන්දියානු යුවළ වශයෙන් වාර්තාවක් පිහිටුවීමටද ඔවුන් සමත්වූ බැව් සැලකිනි. නමුත් මේ වනවිට අනාවරණය වී ඇත්තේ ඔවුන් දෙදෙනා සැබැවින්ම එවරස්ට් මුදුන වෙත ළඟා වී නොමැති බව සහ තමුන් එහි ළඟා වූ බව පෙන්වීමට ඔවුන් යොදාගත් ඡායාරූප පවා ව්‍යාජ ඒවා බවයි.
මෙම ‍පොලිස් යුවළගේ එවරස්ට් තරණය සම්බන්ධයෙන් මුල් වරට සැක පළවීමට පටන්ගෙන ඇත්තේ ඔවුන් එහි ගිය බව පැවසුණු කාලයේම එවරස්ට් තරණය කළ ඇතැම් කඳු නගින්නන් විසින් කරන ලද ප්‍රශ්න කිරීම් නිසා බව සඳහන් වෙයි. මෙම සැක සංකා මත මේ දෙදෙනාගේ  ගමන සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්වීමට පියවර ගෙන ඇත්තේ ඉන් අනතුරුවය.
දකුණුූ ඉන්දියාවේ බැංගලෝරයේ වෙසෙන කඳු නගින්නෙකු පවසා තිබුණේ රතෝද් යුවළ එවරස්ට් හිදී ගන්නා ලද බව පැවැසූ සමහර ඡායාරූප තමුන්ගේ ඡායාරූප බවයි. එමෙන්ම ඔවුන් දෙදෙනා ප්‍රධාන කඳවුර (Base Camp) වෙත පැමිණි දිනය සහ එවරස්ට් මුදුනට ළඟා වූ බව පැවසුණු දිනය අතර ඇති පරතරයද සැකයට භාජනය වී තිබිණි. ප්‍රධාන කඳවුර වෙත පැමිණ එතරම් කෙටි කාලයක් තුළ කඳු මුදුන වෙත ළංවීමේ හැකියාවක් නොමැති බව මේ පිළිබඳ විශේෂඥයින්ගේ අදහස විය.
රතෝද් යුවළගේ  කඳු තරණය පිළිබඳ සැකයක් ඇති කළ තවත් කාරණයක් වී ඇත්තේ මෙම තරණය අතරතුර ඔවුන් එකිනෙකට වෙනස් ඇඳුම්වලින් සැරසී සිටින ආකාරයක්ද පෙනෙන්නට තිබිමයි. ඔවුන්ගේ සමහර ඡායාරූප ඩිජිටල් තාක්ෂණය මගින් සකස් කරනලද ඒවා බවටද චෝදනා එල්ල වී තිබේ.
මෙම ‍පොලිස් යුවළ පසුගිය වසරේ, තමුන් එවරස්ට් කඳු මුදුන තරණය කළ බව පවසමින් සිය ගම්බිම් වෙත ළඟා වූ අවස්ථාවෙහි ඔවුන්ට විශාල පිළිගැනීමක් ලැබි ඇති අතර ඔවුන් ප්‍රාන්තය තුළ වීරයින් යුවළක ලෙස ගරු සම්මානයට පාත්‍ර වී ඇත. නමුත් මේ වනවිට ඒ සියල්ල කණපිට හැරී අවසන්ය. මෙවැනි බොරුවක් කිරීම හරහා ඔවුන් මහාරාෂ්ට්‍ර ‍පොලිස් දෙපාර්තමේන්තුවට මහත් අගෞරවයක් කළ බව එහි නිලධාරීන් පවසා ඇති අතර මේ වනවිට මෙම යුවළ සේවයෙන් ඉවත් කිරීමට පියවර ගෙන තිබේ. ඔවුන්ගේ එවරස්ට් තරණය බොරුවක් බව සනාථවීමෙන් පසු කඳු ශිඛරය පිහිටි නේපාලයේ බලධාරීන්ද වසර 10ක කාලයකට ඔවුන්ට එවරස්ට් කඳු නැගීම තහනම් කර ඇත.
එවරස්ට් කඳු මුදුන තරණය කරන්නන්ට එයින් පසු විශාල ආදායම් ලැබිමට මග විවර වන බව ප්‍රසිද්ධ කතාවකි. දිරිගැන්වීමේ උපදේශකයින් ලෙස සහ ‍ලේඛකයින් ලෙස ඔවුන්ට විශාල වශයෙන් මුදල් ඉපැයීමට මේ නිසා හැකි වෙයි.
කෙසේ හෝ වේවා රතෝද් යුවළ පිළිබඳ සිද්ධියෙන් පසු කඳු නගින්නන්ගේ එවරස්ට් තරණය කිරීම් නිල වශයෙන් තහවුරු කිරීමේ නව ක්‍රමවේදයක් හඳුන්වා දීමටද අදාළ බලධාරීන් පියවර ගෙන තිබිම තවත් විශේෂත්වයකි.
 
කිත්සිරි මල්වත්ත

මිනිසාගේ සිරුර හිතා ගන්න බැරි අරුම පුදුම දේවලින් පිරුණු තැනක්. මිනිස් සිරුර පුරා එහාට මෙහාට ගිහින් තියන රුධිර වාහිනී සියල්ලම සිරුරෙන් ඉවත් කරලා ඒවා එකට එකතු කරලා එකිනෙකට දිගින් දිගට ඇමිණුවොත් කොච්චර දුරකට දිග වෙයි කියලා හිතනවද? විiඥයින් විශ්වාස කරන විදියට සැතපුම් හැට දහසක් විතර දිගට ඒවා එකිනෙක ගැට ගසන්න පුළුවන්. ලෝක ගෝලය වටා එක රවුමක් ගියොත් අපිට යන්න සිදු වෙන දුර ප‍්‍රමාණය සැතපුම් 24900 ක් විතර වෙනවා. ඒ කියන්නේ අර රුධිර වාහිනී පටිය හරියටම ලෝක ගෝලය වටේ රවුම් දෙක හමාරක් ඔතන්න පුළුවන් තරම් දිගින් යුතු වෙනවා.

තම ජීවිත කාලයෙන් වැඩිම දින ගණනක් ලන්ඩනයේ ඔර්මොන්ඩ් වීදියේ රෝහලක දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලැබූ චාලි ගාර්ඩ් ළදරුවා පිළිබඳව මුලින්ම ලෝකයා කතා කරන්නට පටන් ගත්තේ, ඉකුත් ජුනි මාසයේදීය. ඒ, චාලි වෙත  ලබා දී තිබූ ජීවිතාධාරක උපකරණ ගැලවිය යුතු බවට එරට අධිකරණය සහ රෝහල් බලධාරීන් තීරණය කිරීමත් සමගිනි. එහෙත් දරුවාගේ දෙමාපියන් වන කොනී යේට්ස් සහ ක්‍රිස් ගාර්ඩ් බටහිර ලන්ඩනයේ ඉහළ අධිකරණයට අභියාචනයක් ඉදිරිපත් කරමින් ඉල්ලා තිබුණේ, තම දරුවාගේ ජීවිතය රැක ගන්නට තවත් එක් අවස්ථාවක් ලබා දෙන ලෙස ය. ඒ අනුව අභියාචනා තීන්දුව දෙන තෙක් දරුවාට නොකඩවා ජීවිතාධාර ප්‍රතිකාර ලබා දෙන්නට එරට රෝහල් බලධාරීහු පියවර ගත්හ.
ශරීරයේ මයිටේ‍රාකොන්ඩ්‍ර්යා ක්ෂයවීමේ රෝගී තත්ත්වයට ගොදුරු වී සිටින චාලි ගාර්ඩ් ළදරුවා ඉකුත් 2016 අගෝස්තු මාසයේ 4 දා, ලන්ඩනයේ දී උපත ලබන්නේ සාමාන්‍ය නිරෝගී දරුවෙකු ලෙසිනි. එහෙත් නිරෝගී දරුවෙකු ලෙසින් මේ ලොව තුළ ජීවත් වන්නට ෙදෙවය ඔහුට ඉඩ දුන්නේ මාස දෙකක් වැනි ඉතා කෙටි කාලයක් පමණි. උපත ලබා ඉතා කෙටි කාලයකදී ශරීර බර සහ ශක්තිය ශීඝ්‍රයෙන් හීන වීමත් සමග ඔහුගේ වර්ධන වේගය ඉතා පහළ වැටෙන්නට පටන් ගෙන ඇත. තවමත් මාස එකොළහක් පමණක් වයසැති චාලිට සිය ජීවිතයෙන් මාස හයක කාලයක්ම රෝහලක දැඩි සත්කාර ඒකකයක් තුළ, පැය විසිහතරක් පුරා ජීවිතාධාරකයකින් පණනල රැකගන්නට සිදුවන්නේ ඒ අනුවය.
එලෙස යමෙකුගේ ශරීරයේ මයිටේ‍රාකොන්ඩ්‍රියා ක්ෂයවීම යනු, ඩී.එන්.ඒ. ක්ෂයවීමේ ලක්ෂණයක් ලෙසින් හැඳින්වෙන දුර්ලභ ජානමය රෝගී තත්ත්වයකි. ඒවා ශරීරයේ ඉන්ද්‍රියයන්ගේ කාර්යයන් හා ශරීර ශක්තිය වර්ධනය කිරීමට බලපාන සෛල වේ. ඒවා ක්ෂය වීමත් සමග ක්‍රමයෙන් ශරීර ඉන්ද්‍රිය ක්‍රියාකාරීත්වය හීන වන්නට පටන් ගනී. මේ හේතුවෙන් චාලිගේ මාංශ පේශිවලට හා මොළයට ද හානිදායක තත්ත්වයක් හටගෙන ඇත. මේ තත්ත්වය මත තම දරුවා සුවපත් කර ගන්නට ඇමරිකා එක්සත් ජනපදය වෙත ගෙන යාමටද චාලිගේ දෙමාපියන්ට අවශ්‍ය වී තිබිණි.
මෙවැනි දෙගිඩියාවක සිටි ක්‍රිස් ගාර්ඩ් යුවළට යම්තම් සහනදායී අපේක්ෂාවක් ගෙන ආයේ, වතිකානු බැම්බිනෝ ගේසු ළමා රෝහලයි. ඒ, රෝමයේ වතිකානු රජයට අයත් ළමා රෝහලක් වන මෙම රෝහල ඉකුත් සතියේ දී මාස එකොළහක් වයසැති චාලි ගාර්ඩ්ගේ රැකවරණයට ඉදිරිපත් වීමත් සමගිනි. වතිකානු බැම්බිනෝ ගේසු ළමා රෝහ‍ලේ සභාපතිවරිය වන මාරිඇලා ඊනෝක් (Mariella Enoc) ඉකුත් දිනෙකදී, චාලි නේවාසිකව රැඳී සිටින ලන්ඩන් රෝහ‍ලේ අධ්‍යක්ෂගෙන් විමසා ඇත්තේ, දරුණු රෝගී තත්ත්වයක සිටින චාලිව තවත් රෝහලක් වෙත මාරු කිරීමට තරම් සෞඛ්‍ය තත්ත්වයක් ඇත්ද යන්න පිළිබඳවයි. “මෙය ඉතා භයානක තත්ත්වයක් බව අපි දනිමු. පැහැදිලිව පෙනෙන ආකාරයට මේ සඳහා සඵලදායක ප්‍රතිකර්මයක් නැහැ” යනුවෙන් ඊනොක් එහිදී පවසා ඇත. චාලිගේ මව වන කොනී යේට්ස් සහ ඊනොක් අතර පවතින දැනහැඳුනුම්කම මත ඇය මෙලෙස ලන්ඩන් රෝහල් බලධාරීන් සමග දරුවා පිළිබඳව කතා කර ඇති බව සී.එන්.එන් ප්‍රවෘත්ති සේවය පසුගිය දිනෙක පවසා තිබිණි. කෙසේ වෙතත් පවතින නීතිමය තත්ත්වය මත එලෙස චාලිව වෙනත් රෝහලක් වෙත මාරු කළ නොහැකි බව ලන්ඩනයේ ඔර්මොන්ඩ් වීදියේ රෝහල් බලධාරීන් ප්‍රකාශ කර තිබිණි.
එහෙත් අවසානයේදී දරුවා වතිකානු රෝහල වෙත භාරදීමට එකඟතාව ලැබෙන්නේ, චාලිගේ ඉරණම පිළිබඳව තීන්දු කෙරුණු අවසාන නීතිමය සටනින් පසුවය. ඒ, නීතිමය අභියාචනා මාලාවකින් පසුව, යුරෝපීය මානව හිමිකම් අධිකරණය, ඉකුත් ඔක්තෝබරයේ සිට දැඩි සත්කාර ඒකකයේ සිටි චාලිගේ ජීවිතාධාරක උපකරණ තවදුරටත් අඛණ්ඩව ලබාදිය නොහැකි බව තීරණය කිරීමත් සමගිනි. අධිකරණය නිවේදනයක් නිකුත් කරමින් පවසා තිබුණේ, ජීවිතාධාරක උපකරණ ගැලවීමට රෝහල් බලධාරීන් ගෙන තිබූ තීරණය නීත්‍යනුකූල බවය. ඒ අනුව එම සති අන්තයේදී එනම්, ඉකුත් 30 දා වන විට චාලිගේ ජීවිතාධාරක උපකරණ ගැලවීමට නියමිතව තිබිණි.
ඒ තීරණයත් සමග දැඩි සත්කාරක ඒකකයක ජීවිතය හා මරණය අතර දැඩි සටනකට ගොදුරු වී සිටින චාලිත්, ඔහුගේ ආදරණීය දෙමාපියනුත් පත්ව ඇති දුෂ්කරස්වභාවය පිළිබඳ ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේත්, ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේත්, අවධානයට ලක්වන්නේ මේ අතරේය. සිය ආදරණීය බිලිඳාගේ ජීවිතය සම්බන්ධයෙන් තවත් එක් බලා‍පොරොත්තුවක් සිත් තුළ ජනිත කරවමින්, ඒ සති අන්තයේ ඉරිදාවේ, පාප් වහන්සේ එම දෙමාපියන් අමතා ප්‍රකාශ කර ඇත්තේ, ඔවුන්ගේ දරුවා සුවපත් වන තුරු ඔවුන් සමඟ සිටින බවය.
චාලි ගාර්ඩ් ළදරුවාගේ අනාගතය වතිකානු රෝහල භාරගන්නේ ඒ අනුවය. වතිකානු රෝහල පවසන්නේ, දරුවාගේ ජීවිතය ජීවිතාධාරක උපකරණ මත කොයිතරම් දුරට පවත්වා ගත යුතු දැයි ඒ දෙමාපියන්ට තීරණය කළ හැකි බවය. චාලි 
ළදරුවාගේ හෙට දිනය ගැන දන්නේ දෙවියන් වහන්සේ පමණි. එහෙත්, සිය කිරිකැටි දරුවා වෙනුවෙන් වතිකානු රෝහල ලබා දුන් මේ අවස්ථාව ක්‍රිස් ගාර්ඩ් යුවළට මහමෙරක් තරම් වනු නොඅනුමානය.
ගයාත්‍රි ගීගනආරච්චි

මීට දශක කිහිපයක පෙර චීනය ප්‍රසිද්ධියට පත් වූයේ ලොව වැඩිම ජනගහනයක් සිටින රටක් ලෙස පමණි. ඒ හැරුණු කොට ලොව පැරණිතම ශිෂ්ටාචාරයකට හිමි කම් කියනු ඇරුණු කොට චින ජාතිකයන් කෙරෙන් වෙන යම් විශේෂත්වයක් දැකිය නොහැකි විය.

එහෙත් පසුගිය දශක 03 තුළ චීන ආර්ථිකය ඉතා ඉහළ වේගයකින් දියුණුවට පත්විය. 1978 දී හිටපු ජනාධිපති ඩෙන් ෂියාඕපින් මැතිතුමා (Deng Xiaoping) විසින් ඇති කරන ලද ආර්ථික ප්‍රතිසංස්කරණ හා විවෘත ආර්ථික පිළිවෙත නිසා එරට ආර්ථිකය ශිඝ්‍රයෙන් දියුණුවට පත් විය.

ඔවුන්ගේ ආර්ථිකයේ වර්ධනය මනිනු ලබන ජාත්‍යන්තර මිමි දෙකකි. එනම් දළ දේශීය නිෂ්පාදනයේ ඉහළ යාම හා පාරිභෝජනය ඉහළ යාමය.

2001 - සිට 2010දක්වා දළ දේශීය නිෂ්පාදනයේ සාමාන්‍ය වාර්ෂික වර්ධනය 9.9%කි. ලෝක බැංකු වාර්තා අනුව එම දශකය තුළ සම්පූර්ණ වර්ධන ප්‍රතිශතය 158%කි. එය ඉතා වැදගත් වන්නේ 2008 දී ලෝක ආර්ථික අර්බුදය පැවැති අවධියේ දී ද චීනයේ ආර්ථික වර්ධනය ඉහළ යාමය.

චීනයේ දළ දේශීය නිෂ්පාදනයේ වර්ධනය අනෙකුත් රටවල් සමඟ සසඳා බැලීමෙන් චීනයේ ආර්ථික වර්ධනය කොයිතරම් ඉහළ දැයි දැක ගත හැකිය. එම දශකය තුළ චීනයට පසු ඉහළ ආර්ථික වර්ධනයක් දක්වන ඉන්දියාවේ දළ දේශීය නිෂ්පාදන වර්ධනයට වඩා දෙගුණයකින් වර්ධනය විය. රුසියාවට වඩා 2.5 කින් වැඩිය. දකුණු කොරියාවට වඩා තුන් ගුණයකි. ජර්මනියට වඩා 7 ගුණයකි. ඇමරිකාවට වඩා 20 ගුණයක අගයක් ගනී.

2014 ජුනි මාසය වන විට චීනයේ දළ දේශීය නිෂ්පාදනයේ වර්ධනය 7.5%කි. මේ අනුව ලෝක ආර්ථිකය තුළ ප්‍රබල භූමිකාවක්‌ නිරූපණය කරන චීනය, ලෝක ආර්ථිකය තුළ තවත් බලවත් වෙමින් ද සිටී. මෙය සමස්ථ ආසියාවටම අභිමානයකි.

මෙම ආර්ථික දියුණුවත් සමඟ චීනයට විදේශ ආයෝජන ගලා ඒම සුලබ වී ඇත. චීනයේ නැඟෙනහිර ගුවන් ඩොං (Guan Dong) ෂැංහායි (Shanghai) හා බිහායි මුහුද අවට ප්‍රදේශය තුළ නිදහස් වෙළඳ කලාප රාශියක් විදේශ ආයෝජකයින් සඳහා විවෘත කර ඇත. දැනට ලෝකයේ විශාලතම ව්‍යාපාර 500න් 433ක් ම චීනයට පැමිණ තිබීම විශේෂත්වයකි.

දැනට ලෝකයේ වැඩි ම විදේශ විනිමය සංචිතය ඇත්තේද චීනයටයි. මෙතෙක් කල් චීනයට විදේශ මුදල් ගෙන්වා ගැනීමට කටයුතු කළ චීනය දැන් ලෝකයේ වෙනත් රටවල මුදල් ආයෝජනය කිරීමට පෙළඹී තිබේ. විශේෂයෙන් උතුරු ඇමරිකාව, යුරෝපය, මැද පෙරදිග, අප්‍රිකාව යන රටවල විශාල ලෙස මුදල් ආයෝජනය කිරීමට පටන් ගෙන ඇත. චීන සමාගම් විශාල ලෙස ඇමරිකාව හා යුරෝපයේ ප්‍රසිද්ධ සමාගම් මිලදී ගැනීමට පෙළඹී සිටී.

ශ්‍රී ලංකාවේ වත්මන් සංවර්ධන ක්‍රියා වලියේ ප්‍රමුඛතම විදේශ රාජ්‍ය වනුයේද චීනයයි.

ලෝකයේ වැඩි ම ජනගහණය සිටින්නේ චීනයේය. 2030 වන විට අවුරුදු 60ට වැඩි ජනගහනය මිලියන 355ක් වන බවට ගණන් බලා ඇත. අද වන විට ලෝකයේ ඉහළම සමාජ සුභ සාධන වැඩපිළිවෙළ ඇත්තේ චීනයේය.

චීනය අද ලෝකයේ දෙවන ආර්ථික බලවතා බවට පත් ව සිටී. එසේම අද අපනයනවලින් ලොව ප්‍රථම ස්ථානයට ද පත් ව සිටී.

මෑතකදී අවසන් වූ 18වන කොංග්‍රසයේ දී හිටපු නායක හු ජින්තාඕ මැතිතුමා (Hu Jintao) පැවසුවේ දැනට ඇති ඩොලර් 5000 ඒක පුද්ගල ආදායම 2020 වන විට ඩොලර් 10000 දක්වා වැඩි කර ගත යුතු බවය.

එසේම චීනයේ වර්තමාන දීර්ඝ කාලීන අරමුණ නම් 2049වන විට ලොව සංවර්ධිත රටක් ලෙස ජාත්‍යන්තරයේ බලවත් ම රාජ්‍ය බවට පත් වීමයි.

එසේම වර්තමාන චීන ජනාධිපති ෂි ජින්පින් (Xi Jinpin) මැතිතුමාගේ ප්‍රධාන අරමුණ වන්නේ 2020 වන විට චීනය ලෝක ආර්ථික බලවතා බවට පත් කිරීමය. එසේම චීනය ලෝකයේ සුන්දර ම රට බවට පත් කරන බව ඔහු පවසයි.

ලෝකයේ දැවැන්තම ආර්ථීකය ලෙසින් වැජඹුණු ඇමරිකානු ආර්ථිකය පරදා බොහෝදුරට චීන ආර්ථිකය ලෝකයේ අංක එකේ ආර්ථිකය හිමි බලවත්ම රට බවට පත්වනු ඇතැයි ලෝක බැංකුව සමග ජාත්‍යන්තර සංසන්දනාත්මක වැඩසටහන (The International Comparison Program (ICP)) කර තිබෙන සමීක්ෂණයකින් අනාවරණය කර තිබේ.

මෙවන් ලොව බලවත් ආර්ථිකයකට උරුමකම් කියන, ජාත්‍යන්තරයේ ආයෝජනයන් බහුල ව අත්විඳින චීනය අප හා සමඟ විශාල ආයෝජන හා වෙළඳ සබඳතා ඇතුළු දේශපාලන, සාමාජීය හා සංස්කෘතික මිත්‍ර සබඳතා ඉහළ නංවා ගැනීමටත් පියවර ගැනීම අප ලත් සුවිශේෂි ජයක්ග්‍රහනයක් නොවන්නේද? 

ප්‍රවීණ බොලිවුඩ් නළු රිෂි කපූර් තමාගේ ජීවිත කතාව කුලාම් කුල්ලා නමින් පසුගියදා නිකුත් කළ අතර සාමාන්‍යයෙන් තම සිතැඟි නොසඟවා කතාකරන රිෂි තමාගේ ජීවිතයේ බොහෝ සිදුවීම් ඒ හැටියෙන්ම මෙහි පවසා තිබේ. මෙහිදී තම පියා වන ප්‍රවීන නළු රාජ් කපූර් විවාහකයෙකුව සිටියදී එවකට ජනප්‍රිය නිළියන් වූ  නර්ගීස් හා වෛජයන්තිමාලා සමග පෙම් සබඳතාවයන් පැවැත් වූ ආකාරය පවා රිෂි විස්තර කරයි. පසුව ජනප්‍රිය නළු සුනිල්දත් සමග විවාහ වූ නර්ගීස් සහ රිෂිගේ පියා රාජ් කපූර් අතර පෙම් කතාව ලොවට රහසක් නොවුණත් වෛජයන්තිමාලා හා රාජ් අතර ප්‍රේමය හුදෙක් කටකතාවක් පමණක් ලෙස ප්‍රකට වූවකි. තමන් දෙදෙනා අතර ප්‍රේමයක් තිබූ බව වෛජයන්තිමාලා පවා ප්‍රතික්ෂේප කර සිටියද කුලාම් කුල්ලා තුළින් රිෂි කියන්නේ ස්ථිර වශයෙන්ම තම පියා හා ඇය අතර ප්‍රේමයක් තිබුණු බවය. මෙයට විරෝධය පා තම මව තමා හා අනෙක් දරුවන් සමග මුම්බායේ නට්රාජ් හෝටලයේ නතරව සිටි බවත්, පියා ඇය නිවසට කැඳවා යාමට ගත් උත්සාහය පිටුපෑ ඇය මේ අනියම් සබඳතාවය නතර කරනතුරු තමා නිවසට නොපැමිණෙන බව දන්වා සිටි බවත් ඔහු විස්තර කරයි. පසුව මව හා දරුවන් පියාගේ ඉල්ලීම මත ඔහු මිලයට ගෙනදුන් තට්ටු නිවසක පදිංචියට ගිය බවත්, මව දරුවන් කැටුව නැවත පැමිණියේ පියා වෛජයන්තිමාලා සමග සම්බන්ධය නතර කළ පසු බවත් රිෂි කියන්නේය. මේ සිදුවීම තම ‍පොතට ඇතුළත් කරන්නට රිෂි පෙළඹවූ ප්‍රධාන හේතුව ප්‍රසිද්ධිය තකා රාජ් කපූර් තමා සමග නොතිබූ සම්බන්ධයක් මවා පෑ බවට වෛජයන්ති මාලා නිතර කළ චෝදනාවය. නර්ගීස් සමග තම පියා සම්බන්ධව සිටි කාලයේ තමා කුඩා දරුවෙකු බව කියන රිෂි මේ හේතුවෙන් නිවස තුළ කිසිදු කලබලයක් හෝ වෙනසක් තමාට මතක නැති බව කියයි.
කුලාම් කුල්ලා රිෂිගේ ජීවිත කතාව මෙන්ම ඔහුගේ කුළුඳුල් ‍පොතද වෙයි. තම පියාගේ පමණක් නොව ජනප්‍රිය නිළි නීතු සිං සමග වූ විවාහයෙන් පසුවද තමාගේ සිත එකට රඟපෑ නිළියන් වෙත ඇදී ගිය ආකාරයද, තමාගේ ඇතැම් කලහකාරී ගතිගුණ බිරිය ඉවසා සිටි ආකාරයද ඔහු මෙහිදී හෙලිකරයි. කුලාම් කුල්ලා යන්නෙහි අරුතද ලැජ්ජාවකින් තොරව සියල්ල හෙළිකිරීම ලෙස ගත හැකිය. මේ වනවිට වයස අවුරුදු හැටහතරක් වන රිෂි සුප්‍රකට පාතාල නායක ඩාවුඩ් ඊබ්‍රාහිම් තමාට තේ පැන් සාදයකට ඇරයුම් කළ ආකාරය විස්තර කරමින් කියන්නේ
(ඩී ඩේ චිත්‍රපටයේ ඩාවුඩ්ගේ චරිතය රඟපෑමටද පසුකලක රිෂිට අවස්ථාව හිමිවිය) තමාට ඔහු දෙවරක් මුණගැසී ඇති බවය. පළමු අවස්ථාවේ මුණගැසෙනවිට ඩාවුඩ් ජාත්‍යන්තර ‍පොලීසිය සොයන ආකාරයේ දාමරිකයෙකු වී නොසිටි අතර ඩුබායි නගරයේදී මේ හමුව සිදුවී තිබේ.ආශා බෝස්‍ලේ හා ආර්.ඩී.බර්මන් සංගීත රාත්‍රියකට පැමිණ සිටි රිෂිව ගුවන් තොටුපළේ සිටින ඩාවුඩ්ගේ ඔත්තුකරුවෙකු විසින් හඳුනාගන්නා අතර ඔහු රිෂි අසලට පැමිණ තමා අත වූ ජංගම දුරකථනය ඔහුට දෙමින් පවසන්නේ “මහත්තයාට ඔහුට කතා කිරීමට අවශ්‍යව ඇති” බවය. පසුව ඩාවුඩ් එවූ රොල්ස් රොයිස් රියේ නැගී ඔහුගේ නිවසට යාමට රිෂිට සිදුවන්නේ මේ පාතාල නායකයාට නෑ බෑ කීමට නොහැකි නිසාය. තේ හා විස්කෝතුවලින් රිෂිට සංග්‍රහ කරන ඩාවුඩ් ඔහු හා කරන කතාබහ අතරේ තමා මුම්බායි අධිකරණයේදී සැලසුම් කළ ඝාතනයක් ගැනද විස්තර කරයි. නිවසින් පිටව එන මොහොතේ ඔහු රිෂිට කියන්නේ අවශ්‍ය ඕනෑම දෙයක් ඉල්ලන ලෙසය. රිෂි කියන්නේ තමාට කිසිවක් අනවශ්‍ය බවය. ඩාවුඩ් තම දුරකථන අංකය රිෂිට දුන්නද ඉන්දියාවේ ජංගම දුරකථන නොතිබූ 1989 වසරේ ඩාවුඩ්ට අංකය දෙන්නට රිෂි වෙත ජංගම දුරකථනයක් නොතිබුණි.
තම සහෝදර නළුවෙකු මෙන්ම ඥාතියෙකුද වන අමිතාබ් බච්චන් ගැන (අමිතාබ්ගේ දියණිය ශ්වේතා විවාහ වී සිටින්නේ රිෂිගේ සොයුරියකගේ පුත්‍රයා සමගය) මෙහිදී සඳහන් කරන රිෂි කපූර් තමන් දෙදෙනා එකට රඟපාන මුල් කාලයේ අමිතාබ් සමග කතා කළේ ඉතා අඩුවෙන් බව කියයි. සුහද කතාබහක් ඇති වුණේ අමර් අක්බර් ඇන්ටනි චිත්‍රපටයේ රඟපාද්දී බව කියන ඔහු තමා රඟපෑ චිත්‍රප ටයක් සාර්ථක වූ විට එහි ගෞරවය තමා සමග එහි සම රංගනයක යෙදුනු නළුවන්ට පිරිනැමීමට අමිතාබ් දැක් වූ අකමැත්ත තමාට තවමත් ගැටලුවක් බව පෙන්වා දෙයි. සලීම් -ජාවඩ් ලෙස ප්‍රකටවූ සුපිරි තිර රචකයින් දෙදෙනා ගැන සඳහන් කරන රිෂි ඔවුන්ගේ උද්දච්ච බවට තමා කවදත් අකමැති වූ බවද කියයි. සලීම් සුපිරි නළු සල්මාන් ඛාන්ගේ පියා වන සලීම් ඛාන් වන අතර ජාවඩ් ප්‍රවීණ නිළි ෂබානා අස්මිගේ සැමියා මෙන්ම ප්‍රකට ගීත රචකයෙකුද වන ජාවඩ් අක්තර්ය. පසුකලක රූපවාහිනී සාකච්ඡාවකදී ජාවඩ් අක්තර් විසින් ප්‍රවීණ ගීත රචක ෂයි‍ලේන්ද්‍රගේ අකල් මරණයට තම පියා වන රාජ් කපූර් වගකිවයුතු බවට කළ ප්‍රකාශයට නම් තමා මතෛක් ඔහුට සමාව නොදුන් බව රිෂි කියයි.
චරිතය දුෂ්ට වුවද බොලිවුඩයේ  ෂාරුක් ඛාන් බොහෝ ජනප්‍රිය චරිතයක් කළ ඩර් චිත්‍රපටයේ එම චරිතය සඳහා මුලින් තෝරාගෙන තිබුණේ රිෂිවය. නමුත් ඔහු එය ප්‍රතික්ෂේප කොට තිබේ. තමාටම සිනාසීමට රිෂිට ඇති හැකියාව ඔහුගේ නෑ හිතවතුන් අතර ප්‍රකටය. තමා සමග මෙතරම් කලක් එකට ජීවත්වීම ගැන බිරිය නීතුට සම්මානයක් දෙන්නට වටින බව ඔහු කියයි.” ඒක මම විතරක් නමෛයි මගේ මවයි, සහෝදරියොයි නිතර කියන කතාවක්. මගේ ජීවිතය සාර්ථකව ගලාගෙන යන කොට වගේම අසාර්ථක වුණ අවස්ථාවලදිත් නිතු මා ළඟ රැඳුණේ මාව වෙනස් කරන්න උත්සාහ නොකරමිනුයි.” බොබි චිත්‍රපටයේ ඒ වන විටත් සුපිරි නළු රාජේශ් ඛන්නා සමග විවාහවී සිටි ඩිම්පල් කපාඩියා සමග ප්‍රධාන චරිතය රඟපාමින් සිනමාවට ආ රිෂි මේ චිත්‍රපටය නිසා තමා එවකට දැඩි ලෙස පෙමින් බැඳී සිටි පාර්සි ජාතික යුවතිය අහිමි වූ ආකාරය සිහිපත් කරයි. තමා හා ඩිම්පල් අතර පෙම් සබඳතාවයක් ඇති බවට ඕපාදූප සඟරාවක් පළකළ පුවතක් නිසා පෙම් සබඳතාවයට ඇය නැවතීමේ තිත තැබූ බවත්, ඇය නැවත දිනාගැනීමට තමා ගත් හැම උත්සාහයක්ම වැළකුණු බවත් ඔහු කියයි,
“ඒ කා‍ලේ මගේ ඒ පෙම්වතිය මට මුද්දක් දීලා තිබුණා. ඒ මුද්දට ආසවුණ ඩිම්පල් මගෙන් ඒක ඉල්ලගෙන ඇඟිල්ලෙ දාගෙන හිටියා. දවසක් රාජේශ් ඛන්නා මේ මුද්ද මුහුදට විසිකරලා එයාට වෙන මුද්දක් දාලා තිබුණා.ඒක සිනමා සඟරාවල වාර්තා කළේ ”කෝපයට පත් රාජේශ් රිෂිගේ මුද්ද මුහුදට විසිකරයි “කියලයි. නමුත් ඩිම්පල්ට සැබෑ ජීවිතයේ ප්‍රේම කිරීමක් මම කොහොමටවත් කළේ නැහැ.” රිෂි තවත් රස කතාවක් විස්තර කරයි. බොබි චිත්‍රපටය වෙනුවෙන් එම වසරේ හොඳම නළුවාට හිමි සම්මානය රිෂි ලබාගත් අතර තමා රඟපෑ සන්ජිර් චිත්‍රපටය වෙනුවෙන් අමිතාබ් බච්චන්ද එම සම්මානය බලා‍පොරොත්තුවෙන් සිටියේය. ඒ සම්මානය ගැන රහසක්ද රිෂි කුලාම් කුල්ලා තුළින් හෙළි කරයි.
“අමිතාබ්ට නොදී ඒ සම්මානෙ ගන්න මට ලොකු උනන්දුවක් තිබුණා. ඒ කා‍ලේ අපි දෙන්නා අතරෙ තිබුණෙ සීතල යුද්ධයක්. ඔය අතරෙ සම්මාන උළෙලෙ මහජන සම්බන්ධතා නිලධාරියෙක් මට කිව්වා සර් සල්ලි දුන්නොත් ඔය සම්මානෙ සර්ට ගන්න පුඵවන් කියලා. මාත් වැඩිදුර හිතන්නෙ නැතුව ඔහු ඉල්ලපු ගාණ දුන්නා. සම්මානය මට ලැබුණා.”

නිශානි දිසානායක

ඇන්ටාක්ටිකාව යැයි කි සැණින් අපට සිහි වන්නේ සුදු  පැහැ අයිස් හා හිම පිරි පරිසරයකි. එහි අයිස් දියවී ගස් වැවේනට යනවා යැයි කිවහොත් ඔබට සිතෙන්නේ කුමක්ද? ඒ කුමක් වුවත් මේ කීමට යන්නේ එය එසේ සිදුවීම දැනටමත් ඇරඹි හමාර බවයි.
ගෝලීය උණුසුම ඉහළ යෑමේ අතුරු ප්‍රතිඵලයක් වශයෙන් ඇන්ටාක්ටිකාවේ පෙඳ හා පාසි වර්ධනය වෙමින් ඇතැයි පර්යේෂකයන් පිරිසක් අනාවරණය කර ඇත. සාමාන්‍යයෙන් මේ පෙඳවල වර්ධනය ලෙස වාර්තා වන්නේ වසරකට මිලි මීටරයක් තරම් කුඩා ප්‍රමාණයකි. එහෙත් දැන් එය වසරකට මිලි මීටර් 3ක තරම් වේගයකින් වැඩෙන බව වාර්තා වේ.
මේ අධ්‍යයනයේ මූලිකත්වය ගෙන ඇති එක්සත් රාජධානියේ එක්ස්ටර් සරසවියේ මැතිව් ඇමෙස්බරි පවසන්නේ ඇන්ටාක්ටිකාවේ  මෙකී  ස්ථාන වඩාත් කොළ පැහැයෙන් දිස්වීම ඇරඹී ඇති බවයි.
මෙතරම් ඈත සීත ධ්‍රැව පවා මෙවන් විපරිතයකට ලක්වීමෙන් පෙනී යන්නේ මානව ක්‍රියාකාරකම් නිසා ඇතිවන දේශගුණික බලපෑම්වලින් බේරිය හැකි කිසිදු තැනක් ලෝකයේ නොමැති බව නොවේද? අනෙක් අතට පැළෑටි යනු අති දුර්ලභ ජීවියක් වන ඇන්ටාක්ටිකාවේ සිදුවන සංසිද්ධිය, විද්‍යාඥයන්ට විවිධ වෙනස්වීම් යටතේ ජීවය හටගන්නා අයුරු පිළිබඳ අධ්‍යයනය කිරීමට  කදිම අවස්ථාවක්ද වේ.
මේ අධ්‍යයනය අනුව ඇන්ටාක්ටිකාව හරිත ශාකවලින්  වැසී යමින් පවතින බවක් ගම්‍ය නොවුණත් අනාගතයේ එසේ නොවනු ඇතැයි කීමටද හැකියාවක්  නැත. අයිස් දියව යාම මෙන්ම සාමාන්‍ය තත්ත්වයෙන් බැහැරව හරිතමය ජීවයන් වර්ධනය විමත් ලොව සෑම පාරිසරික අංශයකම සිදුවන දූෂණයේ හෙවත් වැරදි භාවිතයේ ප්‍රතිඵලයක් ලෙස ලෝකය  නව භූවිද්‍යාත්මක අවධියකට යොමු කෙරෙමින් පවතී.
'හරිත' යන වදන කොතැන යෙදුණත් අපට හැඟෙන්නේ සොබා දහමටත් මිනිසාටත් හිතකාමී බවකි. මිනිසා විසින් වනසන ලද පරිසරය යළි පියවි තත්ත්යට ගෙන ඒමේ හා තවදුරටත් ඊට හානි නොවන සේ ක්‍රියා කිරීමේ අරමුණින් කෙරෙන කටයුතු සඳහා හරිත යන විශේෂණ පදය යෙදෙන බව පෙනේ. එහෙත් ඇන්ටාක්ටිකාව හරිත පැහැ ගැනීම නම් එවන් කරුණක් නොවන බව තේරුම් ගත යුතුය. එය තවත් දේශගුණික  විපර්යාස රැසක ආරම්භය වනු ඇත.

 ඒ.ජී. දීපිකා ප්‍රියදර්ශනී

Page 3 of 5

IMAGE

ඒ ආදර කතාව ඉවරයි මම දැන් සින්ගල්

IMAGE 2017 Nov 19 17:31
සිරස ජුනියර් සුපර් ස්ටාර් කියන්නේ මේ දවස්වල ප්‍රේක්ෂකයන් ආදරයෙන් වැළඳ ගත් රියැලිටි...
Views - 2981

කේන්ද්‍රයක මාරක අපල තිබීමටත් වඩා නොතිබීම භයානකය

IMAGE 2017 Nov 19 15:19
මහජන බැංකු විශ්‍රාමික සංගමයේ පිළියන්දල කැස්බෑව ශාඛාවේ අටවන සංවත්සරික සභාව පසුගිය...
Views - 1812

නීල හරිත ෆුල් සූට් එක පෙන්වා අමුඩ කෙටිය ගලවා ගන්න එපා

IMAGE 2017 Nov 19 11:35
මෙවර අයවැය ලෝකයේ දියුණුම ආර්ථික සංකල්පයක් වන නීල-හරිත ආර්ථිකයට රට යොමු කරවන්නක් බව මුදල්...
Views - 1394

ඔහු නොවන්නට ලෝක ක්‍රිකට් මේ තරම් දියුණු නොවනු ඇත

IMAGE 2017 Nov 18 00:19
අද මට ඉතාමත් සතුටු දවසක්. ඉන්දියාවේ ජාතික ක්‍රිකට් කණ්ඩායමේ විරාත් කෝලි සහ ඔහුගේ කණ්ඩායමත්...
Views - 3542

මෙතේ බුදු පදවිය ලබන්නේ බැංකු කළමණාකරුවෙක්ද?

IMAGE 2017 Nov 17 12:13
ඔහු මධ්‍යම පළාතේ වාණිජ බැංකුවක කළමණාකරුවෙකි.  ඔහුගේ වයස අවුරුදු 45 ක් පමණ වේ. ක්‍රිස්තියානි...
Views - 5984

බොහෝ කලා කරුවන් තමන්ගේ පවුල් ජීවිත ගැන කියන්නේ බොරු

IMAGE 2017 Nov 16 11:31
වත්මන් ශ්‍රී ලාංකීය ජන සමාජයේ දික්කසාද වීම් සහ පවුල් අර්බුද පැන නැගීම සම්බන්ධයෙන් කලා...
Views - 5249

Please publish modules in offcanvas position.