lakbima.lk
                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්   

තුන්වැනි ලෝක යුද්ධ කතාව නැවතත් කරළියට

තුන්වැනි ලෝක යුද්ධයක්  පිළිබඳ කතාව දැන් ටික කාලයක සිට වරින් වර මතුවෙමින් යටයමින් ඇති කතාවකි. ටික කලක් යටපත්ව පැවැති මේ කතාව දැන් නැවත වරක් කරළියට පැමිණ ඇති ආකාරයක් දැකිය හැකි වෙයි. ඊට ආසන්නතම හේතුව වූයේ ගෙවී ගිය දින කිහිපය තුළ ලෝකයේ සුපිරි බලවතුන්ද ඇතුළත් පාර්ශ්ව කිහිපයක් අතර හටගත් ගැටුම්කාරී තත්ත්වයන්ය.
මෙම ගැටුම් අතරින් මේ වනවිට කාගේත් වැඩි අවධානයට ලක්ව ඇත්තේ සිරියානු යුද්ධය කේන්ද්‍ර කරගනිමින් ඇමෙරිකාව සහ  රුසියාව අතර මැද පෙරදිග කලාපයේ උත්සන්න වෙමින් ඇති ආතතියයි. මෙවර මෙම ගැටුම්කාරී තත්ත්වයට මුල පිරුණේ ටික දිනකට පෙර  සිරියාවේ ඛාන් ෂිකෝන් නැමැති ප්‍රදේශයට එල්ල වූ බව කියන රසායනික  ප්‍රහාරයක් හේතුවෙනි. මෙම ප්‍රහාරය හේතුවෙන් කුඩා දරුවන්ද ඇතුළු අසූවකට ආසන්න සංඛ්‍යාවක් මිය ගිය බවද, තවත් විශාල පිරිසක් ආබාධයට ලක්වූ බවද කියැවිණි.
සිරියාවේ යුද්ධයෙහි ප්‍රධාන පාර්ශ්ව වන්නේ එරට ජනාධිපති බෂාර් අල් අසාද්ගේ හමුදා සහ ජනාධිපතිවරයාට එරෙහිව සටන් කරන කැරළිකාර කණ්ඩායම් ය. මේ අතර ජනාධිපති අසාද්ට රුසියාව, ඉරානය වැනි පාර්ශ්වවල සහය ලැබෙන අතර ඔහු බලයෙන් පහ කිරීමට සටන් කරන ඇතැම් කැරළිකරුවන්ට ඇමෙරිකාව ඇතුළු බටහිර කඳවුරේ සහය ලැබෙයි. අසාද් දිගු කලෙක සිට රුසියාවේ හිතවතෙකි. එසේම මැද පෙරදිග කලාපයෙහි රුසියානු බලය පවත්වා ගැනීමේදී රුසියාවට සිරියාව ඉතා වැදගත් මිතුරෙකු වෙයි. අනික් අතට ඇමෙරිකාව ඇතුළු බටහිර බලවතුන්ට වුවමනා වී ඇත්තේ අසාද් බලයෙන් පහ කර ඔවුන්ට හිතවත් පාලනයක් සිරියාව තුළ ගොඩ නැගීමට බව පෙනේ. අසාද්ට එරෙහිව සටන් කරන ඇතැම් කැරළිකාර කණ්ඩායම්වලට ඇමෙරිකානු පාර්ශ්වයේ සහය හිමිවන්නේ ඒ නිසාය.
කලින් කී රසායනික ප්‍රහාරය පිළිබඳ සිද්ධිය ගැන සලකා බැලිය යුතු වන්නේ මෙම පසුබිම තුළය. ප්‍රහාරයට ඉලක්ක වූ ඛාන්
ෂීකෝන් නැමැති ප්‍රදේශය කාලයක් තිස්සේ පවතින්නේ කැරළිකාර කණ්ඩායම්වල පාලනය යටතේය. මෙම තත්ත්වය තුළ මෙම රසායනික ප්‍රහාරය එල්ල කළේ ජනාධිපති අසාද්ගේ හමුදා විසින්ය යන්න ඇමෙරිකාව ඇතුළු බටහිර බලවතුන්ගේ අදහස විය. එමෙන්ම එම ප්‍රහාරය එල්ල කරන ලද්දේ ෂේරාත් නැමැති ගුවන් හමුදා කඳවුරට අයත් ගුවන් යානා විසින් බවටද ඔවුහු චෝදනා කළහ. මෙම චෝදනා මත පදනම් වෙමින් ඇමෙරිකාව පසුගිය 7 වැනිදා ෂේරාත් ගුවන් හමුදා කඳවුරට මිසයිල ප්‍රහාරයක් එල්ල කළේය. (බරපතළ යුද අපරාධයක් ලෙස සැලකෙන රසායනික ප්‍රහාර වලට ඉඩ දිය නොහැකිය යන්න මෙහිදී ඇමෙරිකාවේ ස්ථාවරය වූ බව පෙනිණි)  මිසයිල 59ක් මේ සඳහා යොදාගත් බවත්, එයින් හමුදා කඳවුරට බරපතළ හානි සිදුවූ බවත් ඇමෙරිකාව පාර්ශ්වයෙන් ප්‍රකාශ වී තිබිණි. ඇමෙරිකාව සහ රුසියාව අතර බරපතළ ගැටුම්කාරී මාවතකට දොර විවර කළේ මෙම සිද්ධියයි.
රජයේ හමුදා කඳවරකට එල්ල කළ ඇමෙරිකාවේ මිසයිල ප්‍රහාරය අසාද් ජනාධිපතිවරයා බලයෙන් පහ කිරීම සඳහා වන ඇමෙරිකානු වැඩපිළිවෙ‍ලේ ඉතා සූක්ෂ්ම අවස්ථාවක් විය හැකි බවක් රුසියාව සිතන බැව් පෙනේ. ඇමෙරිකාව මෙම ප්‍රහාරය එල්ල කළේ කලින් කී රසායනික  ප්‍රහාරයට වගකිව යුත්තේ අසාද්ගේ හමුදා බවට පිළිගත හැකි සාක්ෂි හෝ ඒ පිළිබඳ විධිමත් පරීක්ෂණයක් හෝ  නොමැතිව බවටද චෝදනා එල්ල විය. මෙම රසායනික ප්‍රහාරය ඇමෙරිකාවේ  සහය ලබන
කැරළිකාර කණ්ඩායම් විසින්ම එල්ල කරන ලද්දක් විය හැකි බවටත්, එහි වගකීම අසාද් පිට පටවා ඊට මුවාවී අසාද්ට පහර දීම ඇමෙරිකාවේ සැලැස්ම වන්නට ඇති බවටත් අදහස් ඉදිරිපත් වෙයි. රුසියානු ජනාධිපති පුටින් පවා මීට සමාන අදහසක්
පළකර තිබෙනු දැකිය හැකි විය. ඉදිරියේදීද මෙවැනි රසායනික ප්‍රහාර ''රඟ දක්වා'' ඒවායේ වගකීමද අසාද් පිට පටවමින් ඇමෙරිකාව තවදුරටත් සිරියාවට ප්‍රහාර එල්ල කරනු ඇති බවද රුසියාව පවසයි. ඒ නිසා මෙය අසාද් බලයෙන් පහ කිරීම සඳහා වන බටහිර කුමන්ත්‍රණයෙහි තීරණාත්මක පියවරක් ලෙස කෙරෙන අර්ථ දැක්වීම් බොහෝ දුරට දැකගත හැකි වෙයි. 2003 වසරේ ඇමෙරිකාව ඉරාකය ආක්‍රමණය කිරීම සඳහා ගෙනගිය ක්‍රියාමාර්ගය තමාට මෙහිදී සිහිපත් වන බවද පුටින් පවසා තිබේ.
මේ නිසා මෙම තත්ත්වය සම්බන්ධයෙන් රුසියාව සිටින්නේ විශාල අවධානයකිනි. ඉරාකයේ සදාම් හුසේන් මෙන් ජනාධිපති අසාද් ද  බලයෙන් පහ කෙරුණහොත් එය මෙම කලාපය තුළ රුසියාවේ බලයට මාරාන්තික පහරක් බව රුසියාව දන්නා බැවිනි. ඉදිරියේදීත් ඇමෙරිකාව තවදුරටත් මෙවැනි මිසයිල ප්‍රහාර එල්ල කරන්නට පියවර ගනීවිද, එසේ වුවහොත් රුසියාව ඇතුළු, ඉරානය, හිස්බුල්ලා සංවිධානය වැනි සිරියාවේ මිත්‍ර පාර්ශ්ව කවර ක්‍රියාමාර්ගයක් ගනු ඇත්ද යන්න මේ වනවිට බොහෝ දෙනාගේ අවධානයට ලක්වූ ප්‍රශ්න බවට පත්ව තිබේ. මෙම පසුබිම තුළ ඉදිරියේදී ඇමෙරිකානු පාර්ශ්වයත්, රුසියානු පාර්ශ්වයත්  අතර සිරියාව කේන්ද්‍ර කරගෙන වඩාත් උණුසුම් ගැටුම්කාරී තත්ත්වයක් උද්ගත වීමට ඇති හැකියාව බෙහෙවින් ඉහළ ගොස් ඇති බව බොහෝ නිරීක්ෂකයන්ගේ අදහසයි. මේ අතර තවත් රුසියානු යුද නෞකා කිහිපයක් සිරියානු කලාපය වෙත පැමිණ ඇති බවටද පසුගිය දිනවල මාධ්‍ය වාර්තා කර තිබිණි.
සිරියානු කලාපය තුළ උණුසුම මේ ආකාරයෙන් ඉහළ යද්දී ආසියාවේ කොරියානු කලාපයෙහිද ඊට බොහෝ දුරට සමාන තත්ත්වයක් දැක ගත හැකි විය. ඊට හේතු වූයේ උතුරු කොරියාව දැන් කාලයක සිට ඉදිරියට ගෙනයමින් ඇති න්‍යෂ්ටික අවි වැඩසටහන නතර කර ගැනීමේ අරමුණින් ඇමෙරිකාව වඩාත්  දැඩි පියවර ගන්නට සූදානම් බවක් පෙන්වීමයි. මේ සම්බන්ධ ආසන්නම සිදුවීමක් වූයේ කොරියානු අර්ධද්වීපය සමීපයට ඇමෙරිකානු ප්‍රහාරක නෞකා කණ්ඩායමක් එවීමට ට්‍රම්ප්ගේ රජය පියවර ගැනීමයි. උතුරු කොරියාවේ න්‍යෂ්ටික අවි වැඩසටහන ඇමෙරිකාවේ මිතුරන් වන දකුණු කොරියාවට සහ ජපානයට විශාල තර්ජනයක් එල්ල කරන බව ඇමෙරිකාව නිතර කියමින් සිටින කාරණයකි. ඒ අතර උතුරු කොරියාව නුදුරේදීම ඇමෙරිකාවට පවා පහර දිය හැකි අන්තර් මහාද්වීපික මිසයිලද  නිපදවනු ඇති බවට අදහස් පලවෙයි. මෙම තත්ත්වය තුළ උතුරු කොරියාවේ කිම් ජොන්-උන් පාලනය පෙරලා දැමීමටද ඇමෙරිකාවට වුවමනාවක් ඇතැයි යන්න දැන් කාලයක සිට ඉදිරිපත් වෙමින් ඇති අදහසකි.
කෙසේ හෝ වේවා, ඇමෙරිකාව උතුරු කොරියාවට එරෙහිව වුවමනාවට වඩා දැඩි පියවර ගන්නට ගියහොත් ඒ ආසන්නයේ සිටින චීනය ඊට කවර ආකාරයෙන් ප්‍රතිචාර දක්වාවිද යන්න ගැටලුවකි. මන්දයත් චීනය යනු උතුරු කොරියාවේ දිගු කාලීන මිතුරෙකු වන බැවිනි.  එවැනි තත්ත්වයක් තුළ ඇමෙරිකාව සහ චීනය අතරද කිසියම් බරපතළ ගැටුමක් ඇති වීමට තිබෙන ඉඩකඩ බැහැරලිය හැකි නොවේ.
ඉහත කී සියල්ල තුළින් පෙනී යන්නේ මේ වනවිට ඇමෙරිකාව, චීනය, රුසියාව වැනි සුපිරි බලවතුන් අතර කමෛන් උත්සන්න වන ආතතියක් ගොඩ නැගෙමින් ඇති බවයි. මෙම ගැටුම්කාරී තත්ත්වයන් ඉදිරියේදී කවර මට්ටමක් දක්වා ඇදී යනු ඇත්ද යන්න මේ වනවිට බොහෝ දෙනා තුළ බියජනක හැඟීමක් ඇති කරන්නට සමත්ව තිබිම කිසිසේත් පුදුමයට කරුණක් නොවේ.

නිහාල් පීරිස්

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

IMAGE

ලිංගික ශක්තිය වඩවන ඉංග්‍රීසි බෙහෙත් තිබේද?

IMAGE 2017 Aug 18 15:22
‘බටහිර වෙදකමේ වාජීකරණ ඖෂධ සහ ප්‍රතිකාර නැත්තේ මන්දැයි’ පසුගිය දිනෙක මගේ හිතවතෙක් අසා...
Views - 1953

youtube සඳහා පෙම්වතිය තැබූ ‘බොරු වෙඩිල්ලෙන්’ පෙම්වතා මරුට

IMAGE 2017 Aug 18 10:40
ෆේස්බුක්, යූ ටියුබ් වැනි සමාජ ජාල වබේ අඩවිවල සිදුවන ආසාමාන්‍ය ක්‍රියාකාරකම් ගැන දැන් නිතර...
Views - 1595

කලා ලොවේ ‘මිස්ටර් හොඳ හිත’ හදිසි අනතුරකින් රෝහලේ

IMAGE 2017 Aug 17 11:20
අපේ කලා කරුවන් අතර විවිධ කරුණු සම්බන්ධයෙන් විශේෂත්වයක් දක්වන කලා කරුවෝ සිටිති. ඒ අතරින් සිනමා...
Views - 2336

දේවභක්තියක් නැතත් යකඩ කොකු වලින් එල්ලෙන්න පුළුවන්!

IMAGE 2017 Aug 16 16:24
ශරීරයේ විවිධ ස්ථාන වලට ගසන ලද යකඩ කොකු වලින් එල්ලී කිසිදු වේදනාවකින් තොරව ඇතැම්විට සතුටින්...
Views - 1575

හම්බන්තොට වරායේ තාත්තාත් මං බාප්පාත් මං

IMAGE 2017 Aug 16 11:43
කීර්තිමත් දේශීය ව්‍යාපාරිකයකු වන ආරියශීල වික්‍රමනායක සමුද්‍රිය කටයුතු පිළිබඳ...
Views - 6124

සිඳූ නිසා මලීට අසාධාරණයක් වුණේ නැහැ

IMAGE 2017 Aug 16 07:52
මලී ටෙලි නාට්‍යයේ මලී ලෙසින් අසීමිත ජනතා ආකර්ශණයට පත් සමාධි ආරුණචායා මලී - 3, සිඳු ටෙලි...
Views - 3927

Please publish modules in offcanvas position.