Coss Ear2
lakbima.lk
COSS Ear 1
                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්     

Harry0

බ්‍රිතාන්‍යයේ ඔටුන්න හිමි ලැයිස්තුවේ පස්වෙනි ස්ථානයේ පසුවන හැරී කුමරු පසුගිය දිනක ඇමෙරිකානු ජාතික නිළියක වන මේගන් මාකල් සමග විවාහ ගිවිස ගන්නා බව නිල වශයෙන් ප්‍රකාශ කර තිබිණි.
1984 වසරේ සැප්තැම්බර් මස 14 වනදා සවස  4.20ට ලන්ඩනයේ සෙන්ට් මේරිස් රෝහ‍ලේ උපත ලැබූ හෙන්රි චාල්ස් ඇල්බර්ට් ඩේවිඩ් නොහොත් හැරී කුමරු වේල්සයේ චාල්ස් කුමරුගේ සහ වේල්සයේ ඩයනා ස්පෙන්සර් ආර්යාවගේ දෙවැනි පුත්‍රයාය. මව සහ පියා 1996 වසරේ දික්කසාද වීමත් සමග හැරී සොයුරු විලියම් සිය පියා සමග බැල්මෝරල් මැදුරේ ඇතිදැඩි වන්නට විය. 1997 වසරේදී හදිසි අනතුරකින් හැරීගේ මව මියගියේ හැරී කුමරුගේ වයස අවුරුදු 12 ලබන්නටත් පෙරය. රාජකීය දරුවකු ලෙස මවගේ මරණයට ඉතා දැඩිව මුහුණ දුන්නද එම මරණයත් සමග තමන් මානසිකව පසුබැසි ආකාරය පිළිබඳව මවගේ මරණයෙන් වසර 20ක් සපිරෙනදා බි.බි.සී. සේවය සිදුකළ සමුම්ඛ සාකච්ඡාවකදී හැරී කුමරු ඉතා සංවේදී ලෙස අදහස් ප්‍රකාශ කර තිබිණි.
මවගේ මරණය පිළිබඳව තමාටත් සොයුරාටත් පළමු වරට පවසනු ලැබුවේ සිය පියා බවත්, ඒ අවස්ථාවේදී පියා එය පැවසූ ආකාරය නිසා තමා එය එතරම් ගණනකට නොගත් බවත් හැරී පවසා තිබිණි. චාල්ස් කුමරු විසින් සිය පුතුන් දෙදෙනාට මවගේ මරණය පිළිබඳ පවසා තිබුණේ අම්මාව ආයෙත් දකින්න ලැබෙන්නේ නැහැ. ඒ නිසා ඔයගොල්ලන්ට සිද්ධවෙනවා මේ වෙලාවේ ඉඳලා හිත ශක්තිමත් කරගන්න යනුවෙනි. ඒ වන විට සිය මව පියාගෙන් වෙන්වී වැඩි කාලයක් ප්‍රංශයේ ජීවත් වන බව දැන සිටි හැරී සිතා සිටියේ මව නැවත කිසි දිනක බ්‍රිතාන්‍යයට නොපැමිණෙන්නට තීරණය කර ඇති බවකි. එසේ නම් යම් දිනක තමන් මව බැලීමට ප්‍රංශයට යා යුතු බව ඒ මොහොතේ පුංචි හැරී තීරණය කර තිබිණි. නමුත් මව දකින්නට නොලැබේය යන්න පියා පැවැසූ කාරණයේ අරුත මව මියගොස් ඇති බවය යන්න හැරී අසා දැනගෙන තිබුණේ එවකට 15 වියැති සිය සොහොයුරාගෙනි.
පවු‍ලේ උදවිය සමග මවගේ අවමංගල්‍ය උත්සවයට සහභාගි වන අවස්ථාවේ විලියම් කුමරු සිය කාමරයට ගොස් තනිව හඬන්නට අවශ්‍ය බව පවසා පියාගෙන් එයට අවසර ඉල්ලූ ආකාරයත් එහිදී පියා විලියම් කුමරුගේ හිස අත ගා ඒකට තව වෙලා තියනවා යනුවෙන් පැවැසූ ආකාරයත් හැරීට හොඳින් මතකය. අවමංගල්‍ය උත්සවයේදී තමාත් සොහොයුරාත් නොහඬා සිටිය යුතු බව පියා විසින් කලින් පවසා තිබුණද එල්ටන් ජෝන් ගැයූ 'කැන්ඩ්ල් ඉන් ද වින්ඩ්' ගීතය ඇසෙද්දී තම දෑස් තෙත් වූ බවත් කෝට් අතින් සිය කම්මුල් දිගේ ගැලූ කඳුළු පිස දැමූ ආකාරයත් පියා විසින් බලා සිටි නිසා බියක් ඇතිවූ බවත් ඔහු මෙහිදී පවසා තිබුණේ ඉතා සංවේදී අයුරිනි. මෙම සිදුවීම්වලින් මාස කීපයක් ගතවන තුරු තමාත් සොයුරාත් ආච්චි අම්මා වූ එලිසබෙත් රැජින සමීපයේ හැදුණු බවත්, මවගේ මරණය හා සම්බන්ධ ලිපි සහිත පුවත්පත් හෝ සඟරා කිසිවක් මැදුරේ නොතබන්නට ආච්චි අම්මා විසින් වගබලා ගත් ආකාරය ගැනත් ඔහු වැඩිදුරටත් පවසා තිබිණි.
2003 වසරේ පාසල් අධ්‍යාපනය නිම කළද ඔහුගේ අධ්‍යාපන වාර්තා කිසි ලෙසකින් හොඳ මට්ටමක   තිබුණු ඒවා නොවේ. ඔහුගේ එක් ගුරුවරියක වූ සාරා ෆෝසිත් හැරීගේ ප්‍රගති වාර්තාවේ සෑම වාරයකම පාහේ ලියා තිබුණේ හැරී කුමරු 'ඉගෙනීමට අකමැති දුර්වල සිසුවෙකු' බවය. එපමණක්ද නොව ඔහු අවස්ථා කීපයකදීම විභාගවලදී කොපි කර තිබිමත් සටහන් සඟවාගෙන  විභාග ශාලාවට රැගෙන ගොස් තිබිමත් නිසා පාසල තුළ ඔහුට හිමි වුයේ 'මැරෑටි කොල්ලෙකුට' තිබූ පිළිගැනීමය. මේ නිසාම ඔහුට උසස් පෙළ සමත් වන්නට සිදුවූයේ ද අවස්ථා දෙකක් උත්සාහ කිරීමෙන් පසුවය. පාසල් අධ්‍යාපනයෙන් පසු හැරී කුමරු බ්‍රිතාන්‍ය යුද හමුදාවට බැඳෙන්නේ රජ පවු‍ලේ සම්මතයට ගරු කරමිනි. පාසල් අධ්‍යාපනය දුර්වල වුවද කැඩෙට් නිලධාරියකු ලෙස ඉතා දක්ෂ අන්දමින් කටයුතු කළ හැරී කුමරු වසර තුනක් තුළ දවෛනි ලුතිනන් තනතුර දක්වා උසස්වීම් ලබා ගන්නට සමත්වී තිබේ. 2008 වසරේදී ලුතිනන්වරයකු බවට පත් වන්නේද ඔහු සතු දක්ෂතාව නිසාමය. විලියම් මෙන්ම හැරීද බ්‍රිතාන්‍ය යුද හමුදාව සතු ගුවන් යානා පැදවීමට පුහුණුව ලත් නිලධාරීන්ය. මේ නිසාම හැරී කුමරුට ඇෆ්ගනිස්තානයේ සටන් මෙහෙයවීමේ අවස්ථාව ලැබුණු අතර එහිදී ඔහුගේ සේනාංකය ලැබූ ජයග්‍රහණ අතිවිශිෂ්ට ඒවා බවට පත්විය.
කෙසේ වුවද හැරී කුමරුන්ගේ 'නාහෙට නාහන' ස්වභාවය නිසා ඔහුට හමුදාව තුළදී ද විවිධ දඬුවම් විඳින්නට සිදුවිය. 2005 වසරේදී වරක් ඔහු හිට්ලර්ගේ නට්සි ලාංඡනය සහිත කමිසයක් ඇඳ හමුදා මිතුරන් සමග සාදයකට සහභාගි වී තිබිණි. මේ පිළිබඳව 'ද සන්' පුවත්පත සිය සිරස්තලයේ වාර්තා කර තිබුණේ 'තරුණ හිට්ලර්' සහ 'නට්සි හැරී' යනුවෙනි. මෙම සිදුවීම රාජකීයයන්ගේ පමණක් නොව සමස්ත බ්‍රිතාන්‍යයන්ගේම ගැරහුමට ලක්වූ මොහොතේදී හැරී කුමරු සැමගෙන් සමාව ඉල්ලීමට ඉදිරිපත් වූයේ 'මගේ ඇඳුම නිසා කාටහරි හිත් රිදීමක් ඇතිවුණා නම් මම සමාව ඉල්ලන්න කැමැතියි. මගේ ඇඳුම් ගැන මම ඒ තරම් සැලකිලිමත් වෙන්නේ නැහැ. ඒ බව ඔබ සැමට පෙනෙනවා ඇති' යනුවෙන් පවසමිනි.
කළහකාරී චරිතයක් ලෙස ප්‍රසිද්ධියට පත්ව සිටියද හැරී කුමරු සිය මව මෙන් සමාජ සේවයට කැපවූවෙකු ලෙසද හැඳින්විය හැකිය. මව විසින් පවත්වා ගෙන ගිය ඒඩ්ස් රෝගී දරුවන් සුරැකීමේ ව්‍යාපෘතිය ඇගේ මරණයෙන් පසු ඉදිරියට පවත්වාගෙන යෑමේ වගකීම ද ඔහු භාරගෙන තිබූ අතර සුඩානයේ ජීවත් වන මන්ද‍පෝෂණ දරුවන් වෙනුවෙන් අරමුදලක් ද ඔහු විසින් පිහිටුවා තිබේ. ඊට අමතරව ඔහු සෑම වසරකම ඩවුන්ස් සින්ඩේ‍රාම් රෝගයෙන් පෙළෙන් දරුවන් සිටින ලන්ඩනයේ ළමා නිවාසයකට ගොස් ඔවුන් සමග දවස ගත කිරීමටද අමතක කරන්නේ නැත.
හැරී කුමරු විවාහ ගිවිස ගන්නට නියමිත ඇමෙරිකානු නිළි මේගන් මාකල් හැරී කුමරුන්ට වඩා වසර තුනකින් වැඩිමහල් වන අතර ඇය ටේ‍රවෝ එංගල්සන් නම් වූ සිනමාකරුවා සමග වසර දෙකක විවාහ ජීවිතයකින් දික්කසාද වූ කාන්තාවකි. වසර කීපයක පෙම් සබඳතාවකින් පසු ඇය සමග විවාහ වෙන්නට හැරී කුමරු විසින් තීරණය කර තිබුණේ මීට පෙර ඔහු විසින් ඇසුරු කරනු ලැබූ තරුණියන් හතරදෙනාට වඩා මාකල් තුළ වූ සුවිශේෂී ලක්ෂණයක් නිසා වන්නට ඇති බව බි.බි.සී. සේවය වාර්තා කර තිබේ.
හැරී කුමරුගේ පළමු පෙම්වතිය වූයේ සිම්බාබ්වේ ජාතික නිරූපිකාවක වූ චෙල්සි ඩේවිය. හැරී සහ චෙල්සි 2004 වසරේ සිට 2011 දක්වා වරින් වර පෙම් සබඳතා පැවැත්වූ බවත්, එකට ජීවත් වූ බවත් නොරහසකි. බ්‍රිතාන්‍ය නිළියක සහ නිරූපිකාවක වූ කේ‍රසිඩා බොනෑස් ද හැරීගේ හිටපු පෙම්වතියකි. 2014 වසරේදී හැරී කුමරුගේ පෙම්වතිය වූයේ නිරූපිකාවක වූ ස්කොට්ලන්තයේ කැමිලා තර්ලෝය. එය මාස කීපයකට පමණක් සීමා වූ සබඳතාවක් වුවද හැරී කුමරු උමතුවෙන් මෙන් ඇයට ආදරය කළ බව එවක තිබූ ඕපදූප මාධ්‍යවල පළවී තිබිණි. 'ද සැටඩේස්' නම් වූ ප්‍රසිද්ධ සංගීත කණ්ඩායමේ සාමාජිකාවක වූ ගායිකා මොලී කිං ද හැරී කුමරුගේ හිටපු පෙම්වතියන්ගෙන් කෙනෙකි. හැරී සහ ඇය අතර පෙම් සබඳතාව බිඳ වැටෙන්නට හේතුවූයේ ඔහුගේ කළහකාරී බව සහ පිළිවෙළක් නැති දිවි පවෛත බව මොලී පවසා තිබිණි.

මෙයට මාස කිහිපයකට පෙර ඇමෙරිකාව සහ උතුරු කොරියාව අතර උග්‍ර ලෙස උණුසුම් වෙමින් පැවැති ගැටුම්කාරී තත්ත්වය පසුගිය දිනවල තරමක් යටපත්ව තිබූ බවක් දැකිය හැකි විය. පසුගිය කාලයේ දෙරට අතර ගැටුම උත්සන්න කළ ප්‍රධාන හේතුවක් වූයේ උතුරු කොරියාව දිගින් දිගටම ඉදිරියට ගෙන යමින් සිටි මිසයිල අත්හදා බැලීමේ වැඩසටහන බව රහසක් නොවේ. නමුත් පසුගිය සැප්තැම්බර් මාසයේ සිට මෙම මිසයිල අත්හදාබැලීම් නතර වූ බවක් දැකිය හැකි වූ අතර ඒ පිළිබඳව විවිධ අර්ථකථන ඉදිරිපත් වනුද දක්නට ලැබිණි. ඇමෙරිකාව උතුරු කොරියාවට එරෙහිව ඉදිරියට ගෙන ආ ආර්ථික සහ වෙළෙඳ සම්බාධක හේතුවෙන් උතුරු කොරියාව අඩියක් පස්සට ගත්තාද යන සැකයද මෙහිදී මතු විය. මෙම සම්බාධකවලට, උතුරු කොරියාවේ ලොකුම ආර්ථික සහ වෙළෙඳ සහකරුවා ලෙස සැලකෙන චීනයද කිසියම් දුරකට සහය දැක්වීමට සූදානම් වීම උතුරු කොරියාව තරමක් සලිත කරන්නට ඇතැයිද සිතිය හැකි විය. නමුත් මේ සියලු සැකසංකා දෙදරුම් කවමින් උතුරු කොරියාව පසුගිය නොවැම්බර් 29 වෙනිදා තවත් තීරණාත්මක මිසයිලයක්  අත්හදා බැලුවේය. 
මෙය මතෛක් ඔවුන් අත්හදා බැලූ වඩාත් භයානකම මිසයිලය ලෙස සැලකිය හැකි වෙයි. එය ඇමෙරිකා එක්සත් ජනපදයේ ඕනෑම තැනකට පහර දීමේ හැකියාව ඇති මිසයිලයක් බව උතුරු කොරියාව පැත්තෙන් ප්‍රකාශයට පත්ව තිබේ. ඇමෙරිකාවට පහර දිය හැකි බව පැවැසුණු මිසයිල මෙයට කලින්ද උතුරු කොරියාව විසින් අත්හදා බලන ලද නමුත් ඒවාට ඇමෙරිකාවේ සියලු කලාප ආවරණය කළ හැකි වූයේ නැත. ඇමෙරිකාවේ ඕනෑම තැනකට පහර දිය හැකි මිසයිලයක් ඔවුන් අත්හදා බැලූ පළමු අවස්ථාව ලෙස සැලකෙන්නේ මෙයයි. ඇමෙරිකාවේ ප්‍රධාන මර්මස්ථාන ලෙස සැලකිය හැකි නිව්යෝක්, වොෂින්ටන් වැනි ප්‍රදේශ පවා මෙම මිසයිලයේ පරාසයට ඇතුළත් වන බව සඳහන් වෙයි.
මේ අතර උතුරු කොරියාව සඳහන් කර ඇත්තේ තමුන් දැන් න්‍යෂ්ටික ප්‍රහාර එල්ල කිරීමේ තාක්ෂණයෙහි කෙළ පැමිණ ඇති බව සහ ඒ නිසා න්‍යෂ්ටික බලවතෙකු වීමේ තම අරමුණ දැන් ඉටු වී ඇති බවයි.
හොසොංග් 15 (Hwasong 15) යනුවෙන් හැඳින්වෙන මෙම මිසයිලය නොවැම්බර් 29 වෙනි දින අත්හදා බැලීමේදී කි.මී. 4,475 ක උසක් දක්වා ගමන් කළ බව පැවැසේ. එය ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය පෘථිවිය වටා ගමන් කරන උස මෙන් දස ගුණයකට ආසන්න උසකි. (ජා.අ.ම ය සාමාන්‍යයෙන් ගමන් කරන්නේ කි.මී. 350-450 අතර දුරකිනි.) අත්හදා බැලීමකදී මිසයිලයක් ප්‍රක්‍ෂේපනය කරන්නේ සාමාන්‍ය පහර දීමකදී කරන ආකාරයේ කෝණයකින් නොව බොහෝ දුරට සිරස් අතටය. එහිදී මිසයිලයකට ගමන් කළ හැකි උස එහි ශක්තිය පිළිබඳ ප්‍රබල සාධකයක් බව අමුතුවෙන් කිව යුතු නැත. අත්හදා බැලීමකදී ගමන් කළ හැකි උස වැඩි වන තරමට, වඩාත් අඩු කෝණයකින් ප්‍රක්‍ෂේපනය කළ විට, එයට යා හැකි තිරස් දුරද වැඩි වන බැවිනි. මේ අනුව හොසොංග් 15 මිසයිලයට, සාමාන්‍ය ප්‍රක්‍ෂේපනයක දී, කි.මී.13,000ක පමණ තිරස් දුරක් ගමන් කළ හැකි වනු ඇතැයි අනුමාන කෙරේ. උතුරු කොරියාවේ සිට ඇමෙරිකාවට ඇති දුර කි.මී. 10,000 ක පමණ ප්‍රමාණයකි.
උතුරු කොරියාව මාස දෙකක නිහැඩියාවකින් පසු මෙම අලුත් මිසයිලය අත්හදා බැලීමත් සමග ඇමෙරිකාව නැවතත් කලබලයට පත්ව ඇති ආකාරය දැකිය හැකි වෙයි. වහා මේ සම්බන්ධයෙන් ප්‍රකාශයක් කළ,  එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඇමෙරිකානු තානාපතිවරිය වන නිකී හේලි කියා සිටියේ මෙම අත්හදා බැලීම් දුරදිග ගොස් යම් හෙයකින් යුද්ධයක් ඇති වුවහොත් උතුරු කොරියානු පාලනය විනාශ කර දැමෙනු ඇති බවයි. උතුරු කොරියාවේ ඒකාධිපතියා මෙම මිසයිල අත්හදා බැලීම හරහා ලෝකය තවදුරටත් යුද්ධය වෙත ළං කර ඇතැයි ඇය පවසයි. ‘අපි කවදාවත් උතුරු කොරියාව සමග යුද්ධයක් ඉල්ලලා නැහැ. අදටත් අපි එහෙම කරන්නෙ නැහැ. යම් හෙයකින් යුද්ධයක් ඇති වුවහොත් ඒ දිගින් දිගටම සිදුවන, අපි ඊයේ අත්දුටු ආකාරයේ ආක්‍රමණශීලී ක්‍රියාවන් නිසයි. හැබැයි එවැනි යුද්ධයක් ඇති වුවහොත් උතුරු කොරියානු පාලනය මුළුමනින් විනාශ කෙරෙනු ඇති බව ගැන සැකයක් තියාගන්න එපා’ ඇය එසේ පවසා තිබුණේ මිසයිල අත්හදාබැලීම සිදු වූ දිනට පසුදින කැඳවන ලද, එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ හදිසි රැස්වීමකදී ය. එය කැඳවා තිබුණේ ඇමෙරිකාවේ සහ ඔවුන්ගේ මිතුරන් වන දකුණු කොරියාවේ සහ ජපානයේ ඉල්ලීම මතය.
මේ අතර ලෝකයේ සියලු රටවල් උතුරු කොරියාව සමග ඇති සබඳතා අත්හැරීමට පියවර ගත යුතු බවද ඇමෙරිකාව ප්‍රකාශ කරයි. මෙහිදී රාජ්‍ය තාන්ත්‍රික සබඳතා මෙන්ම විද්‍යා, තාක්ෂණ, වෙළෙඳ, ආරක්ෂක ආදී සියලු අංශවල සබඳතා නතර කිරීමට කටයුතු කළ යුතු යයි ඔවුන් යෝජනා කර ඇත. ඒ අතර ඇමෙරිකාව චීනයෙන් විශේෂ ඉල්ලීමක් කරමින් උතුරු කොරියාවට ඛනිජ තෙල් සැපයීම සම්පූර්ණයෙන් නතර කිරීමට පියවර ගන්නැයිද ඉල්ලා තිබේ. උතුරු කොරියාවේ ප්‍රධානතම වෙළෙඳ සහකරුවා වන චීනය එහි ප්‍රධාන ඛනිජ තෙල් සැපයුම්කරුවාද වෙයි.   චීනය තෙල් සැපයුම නතර කිරීමට පියවර ගතහොත් එය උතුරු කොරියාවට තීරණාත්මක බලපෑමක් කරනු ඇතැයි අපේක්ෂා කළ හැකිය. නමුත් චීනය එවැනි පියවරක් ගැනීමට සූදානම් බවක් මේ වනතෙක් ප්‍රකාශයට පත් කර නොමැති අතර ඉදිරියේදී ද එවැන්නක් සිදුවනු ඇතැයි අපේක්ෂා කිරීම අපහසුය.
තෙල් සැපයුම නතර කළහොත් උතුරු කොරියාව දැඩි ලෙස අස්ථාවරත්වයකට පත් වනු ඇති බව චීනය දනියි. එවැනි තත්ත්වයක් ඇති වුවහොත් චීනයට මුහුණ දීමට සිදුවන අභියෝග කිහිපයක් වෙයි. එකක් නම්  උතුරු කොරියාවේ සිට සංක්‍රමණිකයින් සහ සරණාගතයන් විශාල වශයෙන් චීනයට ඇතුල් වීමට ඇති ඉඩකඩයි. අනික නම් උතුරු කොරියාවේ කිම් ජොං උන් පාලනය අර්බුදයකට ලක් වීමෙන් ඇමෙරිකානු බලා‍පොරොත්තු ඉටු වී උතුරු කොරියාව තුළ පාලනයේ වෙනසක් සිදුවීමට ඉඩකඩ විවර වීමයි. ඒ හරහා යම් හෙයකින් ඇමෙරිකානු හිතවාදී පාලනයක් උතුරු කොරියාව තුළ ඇති වුවහොත් එය මෙම කලාපය තුළ චීනයේ  බල අරමුණුවලට දැඩි අභියෝගයක් වනු ඇති බව අමුතුවෙන් කිව යුතු නොවේ. එවිට චීනයේ නැගෙනහිර සීමාවේ වැඩි වශයෙන් පිහිටනු ඇත්තේ ඇමෙරිකාවට හිතවත් රාජ්‍යයන් ය. දැනටමත් දකුණු කොරියාව සහ ජපානය අනුගමනය කරන්නේ දැඩි ඇමෙරිකානු හිතවාදී ස්ථාවරයන් බව රහසක් නොවේ. චීනයට නිරිත දෙසින් පිහිටි ඉන්දියාවද මේ වනවිට අනුගමනය කරන්නේ  ඇමෙරිකාවට නැඹුරු ප්‍රතිපත්තියකි.
කෙසේ වෙතත්, ඇමෙරිකාව සහ ඔවුන්ගේ මිතුරු රාජ්‍යයන් දැඩි බලපෑම් එල්ල කළද උතුරු කොරියාව සිය න්‍යෂ්ටික මිසයිල වැඩසටහන ලෙහෙසියෙන් නතර කරනු ඇතැයිද සිතිය හැකි නොවේ. ඔවුන් පවසන්නේ මෙම මිසයිල වැඩසටහන නතර කළහොත් උතුරු කොරියාවේ සහ කිම් ජොං උන් පාලනයේ ආරක්ෂාවත්, පැවැත්මත් විශාල අර්බුදයකට ලක් වනු ඇති බවයි. තම රට අස්ථාවර කිරීමට ඇමෙරිකානු පාර්ශ්වයට දැඩි වුවමනාවක් ඇති බව උතුරු කොරියාව නිතර පෙන්වා දෙයි. එය වැළැක්වීමට නම් තමුන් න්‍යෂ්ටික බලවතෙකු බවට පත් විය යුතුය යන්න එරට පාලකයින්ගේ විශ්වාසයයි. මෙහිදී ඔවුන් නිතර උදාහරණයට ගන්නා රටක් වන්නේ ලිබියාවයි. ලිබියාවේ හිටපු නායක මුවම්මර් ගඩාෆි ඔහුගේ න්‍යෂ්ටික අවි වැඩසටහන අත්හැරීමට එකඟ වීම ඔහුගේ අවසානයට හේතු වූ බව කිම් ජොං උන් පාලනය නරන්තරයෙන් පෙන්වා දෙන්නකි. ලිබියාව එසේ නොකළා නම් ගඩාෆි අදටත් ලිබියාවේ පාලකයා වීමට ඉඩ තිබූ බව උතුරු කොරියාවේ අදහස බව පෙනේ. මෙයට මාස කිහිපයකට පෙර  රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පුටින් පවසා සිටියේ ජාත්‍යන්තර සම්බාධක නිසා උතුරු කොරියානුවන්ට තණකොළ ආහාරයට ගන්නට සිදුවුවත් ඔවුන් සිය න්‍යෂ්ටික අවි වැඩපිළිවෙළ අත්නොහරිනු ඇති බවයි.
කොරියානු කලාපයේ ඇමෙරිකානු බලය වැඩි වුවහොත් ඇති විය හැකි තත්ත්වය ගැන දන්නා චීනය, රුසියාව වැනි පාර්ශ්වද කිසියම් දුරකට වක්‍රව උතුරු කොරියාවට සහය දක්වන ආකාරයක් දැකිය හැකි වෙයි. මෙම පසුබිම තුළ කොරියානු ගැටලුව වඩාත් සංකීර්ණ මට්ටමකට ළඟා වී ඇති අතර ඉදිරියේදී එය කවර ආකාරයෙන් විසඳෙනු ඇත්ද යන්න  පැහැදිලිව තේරුම් ගැනීම මහත් අසීරු කටයුත්තක් වී තිබේ.  යුද ගැටුමක් දක්වා එය දුරදිග යනු ඇත්ද, නැතහොත් රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින්  විසඳා ගැනීමට හැකි වනු ඇත්ද යන්න අද බොහෝ දෙනාගේ අවධානය යොමු වී ඇති ගැටලුවක් බවට පත්ව තිබේ.
 
නිහාල් පීරිස්

කිතුණු බැතිමතුන්ගේ ශුද්ධ වූ බයිබලයට හා මහා ගත්කරු විලියම් ශේක්ස්පියර්ගේ නිර්මාණවලට පමණක් දෙවැනිව ලොව වැඩියෙන්ම අලෙවි වූ සාධනීය ගතිගුණවලින් හෙබි නිර්මාණාත්මක ‍පොත්පත් වැලක ආඩම්බරකාර හිමිකාරිණිය ලෙස බුහුමන් ලැබුවේ ඉංග්‍රීසි ජාතික ඇගතා ක්‍රිස්ටි නම් ලෝක පූජිත කතුවරියයි. සාහිත්‍ය හා නාටය විෂයෙහිලා සිදුකළ 
අතිවිශිෂ්ට සේවාව අගයමින් දෙවන එලිසබෙත් මහ රැජින විසින් ඩෙම් ආර්යාව යන නම්බුනාමයෙන් ද ඈ පුදනු ලැබුවාය.
පාඨක හා ප්‍රේක්ෂක ආකර්ෂණය මත විවිධ භාෂාවන් 103කට වැඩි ප්‍රමාණයකට පරිවර්තනය වෙමින් ලොව පුරා අලෙවි වූ ‍පොත්පත්වල පිටපත් ප්‍රමාණය සංඛ්‍යාත්මක වශයෙන් ගණනය කිරීමේදී ඇගතා ක්‍රිස්ටි මහා ගත්කතුවරියට අයත් වන්නේ තෙවැනි ස්ථානය බැව් ගිනස් වාර්තාවලින් කියවේ.
ඇගේ රචනා මාධුර්ය නාට්‍ය සඳහා පමණක් නොව නවකතා, කෙටිකතා රචනයෙහිලා ද ආරෝපණය වී ඇති අයුරු විස්මිතය. මාධුර්යය හා චාතූර්ය අතර දෝලනය වන නිර්මාණාත්මක රචනා රටාවේ ඖදාර්ය ගුණය නිසාම ඇගේ බොහෝමයක් කෘති අලෙවියේ සීමා මායිම් ද ඉක්මවා ගියේය. 
කුතුහලය, සැකය, ත්‍රාසය හා භීතිය මුසුකරගත් අභිරහස් ප්‍රබන්ධ කතා කතා කලාවේ අගමෙහෙසිය ලෙස සැලකෙන බ්‍රිතාන්‍ය ජාතික ඇගතා ක්‍රිස්ටි විසින් අභිරහස් කතාන්තර අනූතුනක් (93ක්) සහ වේදිකා නාට්‍ය දාහතක් (17ක්) පමණ ලියා පළකරනු ලැබුවාය. ඒ අතරින් වඩාත් ප්‍රේක්ෂක ඇල්ම බැල්මට හසුවූ ද මවුස් ට්‍රැප් (මී උගුල) නම් වේදිකා නාට්‍ය ලන්ඩනයේ වෙස්ට් එන්ඩ් පිහිටි ශාන්ත මාටින්ස් නෘත්‍යාගාරයේ හැටපස් වසරක් නොකඩවා පෙන්වා වාර්තාවක් තබා ඇත.
ඇගතා ක්‍රිස්ටිගේ බොහෝමයක් නාට්‍යවල නිෂ්පාදක ලෙස කටයුතු කළ ශ්‍රීමත් පීටර් සොන්ඩර්සන් ද මවුස් ට්‍රැප් නාට්‍යයේ ආරම්භක නිෂ්පාදකවරයා ද විය.
1952 වසරේ නොවැම්බර් 25 දින වේදිකාගත කරමින් ඇරඹි ද මවුස් ට්‍රැප් නාට්‍ය හරහා ඇගතා ක්‍රිස්ටි නම් නාටය රචිකාවිය විසින් ප්‍රේක්ෂක මනස තුළ ශේෂකළ දෙබිඩි කුතුහලයට විසඳුමක් සොයමින් නාට්‍ය රසික රසිකාවියෝ ලන්ඩනයේ ශාන්ත මාටින්ස් නෘත්‍ය ශාලාව දොරකඩ අභියස අදත් පස්වරු 3.30ට හා 7.30ට එක්රොක් වෙමින් සිටිති. 
අභිරහස් ලෙස ඝාතනය වූ කාන්තාවක පිළිබඳ කතාන්තරය සිද්ධියෙන් සිද්ධිය, සැකය හා සන්ත්‍රාසය කුලුගැන්වෙමින් ගැටගැසෙනුයේ මොලී සහ ගිල්ස් රැල්ස්ටන් නම් යුවළක් විසින් පවත්වාගෙන යනු ලබන අවන්හලට කෑම බිම හා නවාතැන් පහසුකම් සොයා එන සංචාරකයන්ද සැකමුසු ලෙස නිවාස අඩස්සියට ගනිමිනි. 
ඝාතනයට ලක්වූ කාන්තාව අවන්හ‍ලේ නවාතැන් සොයා පැමිණි අයෙක්ද? ඇගේ ඝාතකයා එම අවන්හ‍ලේම ලැගුම් ගත්තවුන්ගෙන් කෙනෙකුද? එසේ නොවන්නේ නම් ඒ අසලින් මහමග ඇවිද ගිය වෙනත් අයෙකුද? යන දෙබිඩි කුතුහලයේ රැහැනින් වසර හැටපහක් ප්‍රේක්ෂකයන් ඇද බැඳ තබා ගැනීමට ද මවුස් ට්‍රැප් සමත් වී ඇත.
හැඩතල සහිත රහස් පරීක්ෂක කතා කලාවේ මූලිකයා ලෙස සැලකෙන ශ්‍රීමත් ආතර් කොනැන් ඩොයිල් ගේ (1850 - 1930) කතාන්තරවල හෙවනැල්ල ඇගතා ක්‍රිස්ටිගේ රහස් පරීක්ෂක කතාන්තරවල ඇති බවටද මතයක් ගොඩනැගී තිබේ.
නොකඩවා වසර හැටපහෙන් වසර විසි එකක්ම ලන්ඩන් නගරයේ මන්ක්ස්වෙල් අවන්හ‍ලේ හිමිකරුවන් වූ මොලී සහ ගිල්ස් රැල්ස්ටන් දෙදෙනාගේ භූමිකාවට පණ ‍පොවනු ලැබුවේ සුපිරි නළු රිචඩ් ඇටන්බරෝ සහ ඔහුගේ සැබෑ ජීවිතයේ බිරිය වන නිළි ශීලා සිම් විසිනි. එම දෙපල විසින් ද මවුස් ට්‍රැප් නාට්‍යය සිය මැදිවිය පසුකරනතෙක් නාට්‍යයේ ජීව ගුණය පවත්වා ගැනීමට බෙහෙවින් වෙහෙස මහන්සි වී අපූර්ව රංගනයකින් දායකත්වය සැපයූ බව පුවත්පත් මාධ්‍යයන් හී ප්‍රශංසනාත්මක ලියවිලි පළව තිබේ. 
2017 ඔක්තෝබර් 24 දිනවන විට දර්ශනවාර 26500ක් ප්‍රදර්ශන කොට ඇති ද මවුස් ට්‍රැප් 2019 ජනවාරි පස්වෙනි දින දක්වා ප්‍රවේශපත්‍ර අලෙවි වී ඇති බවට අන්තර්ජාලය සඳහන් කරයි. නළු නිළියන් අටදෙනෙකුගෙන් හැඩගැන්වෙන මෙම නාට්‍ය පුරා වසර හැටපහක කාලය තුළ නළු නිළියන් හාරසිය ගණනකට වැඩි පිරිසකගේ දායකත්වය ලබා ගනිමින් අදටත් නාට්‍යයේ මුල් 
නිෂ්පාදනයේ ජීව ගුණය නොනසා රඟ දක්වනු ලබයි. 
ෆෙඩ්රික් අල්වා මිලර් නම් ඇමෙරිකානු ජාතික පියෙකුට දාව 'ක්ලැරිස් මාග්‍රට්' නම් ඉංග්‍රීසි ජාතික කාන්තාවක විසින් 1890 වසරේදී ඇගතා මෙලොවට බිහිකරනු ලැබුවාය. ඇගතා අටවැනි වියට එළඹීමත් සමග එවකට පැවැති ඉංග්‍රීසි සම්ප්‍රදායට අනුව යමින් ඇගේ මව විසින් ඈට වැඩිදුර අධ්‍යාපනය ලබා ගැනීමට තිබූ මංපෙත් අහුරා දමන ලදී. කෙසේ වුවද රස මවමින් ගොතන කතාන්තර කලාව සිය ඇමෙරිකානු පියාගේ උරුමයෙන් ඇගතා ලත් මහඟු දායාදයකැයි පැවැසේ.
'ඇගතා ක්‍රිස්ටි' කතාන්තර ගෙතීමෙහි සුවිශේෂී ලෝක ශූරියක වෙමින් 1976 ජනවාරි මස ජීවිතයෙන් සමුගත්තද අදටත් සමස්ත ලෝක ප්‍රජාවගේ මනස රසවත් කිරීමේ මෙහෙයුම තුළ ඈ ජීවත් වන්නීය.

මැ‍ලේසියාවේ සිට චීනය බලා පියාසර කරමින් තිබූ බොයිං ගුවන් යානයක් අතුරුදන්ව මේ වනවිට වසර තුනහමාරක් ගත වී ඇති නමුත් තවමත් ඒ යානය පිළිබඳ කිසිදු හෝඩුවාවක් සොයා ගැනීමට නැති අතර එය ගුවන් අනතුරු ඉතිහාසයේ ලොකුම අබිරහසක් ඉතිරි කළ සිද්ධියක් ලෙස සැලකෙන්නකි. මෙම සිදුවීම ගැන මතකය අලුත් කරන ආකාරයේ තවත් අබිරහස් අතුරුදන් වීමක් ගැන පසුගිය සතියේ ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කළේය. මෙවර මෙම සිදුවීමට මැදි වී ඇත්තේ ගුවන් යානයක් නොව සබ්මැරීනයකි.

ආර්ජන්ටිනාවේ නාවික හමුදාවට අයත් සබ්මැරීනයක් වන මෙය සැන් ජුවාන් (San Juan) නමින් හැඳින්වෙයි.  පසුගිය 15 වෙනි බදාදා සිට මෙම සබ්මැරීනය ආගිය අතක් සොයා ගැනීමට නැත. එයින් ගොඩබිමට ලැබුණු අවසන් සංඥාව ලැබි ඇත්තේ එදින උදෑසන කාලයේ වන අතර සබ්මැරීනය තුළ නාවිකයින් 44 දෙනෙකු ද සිටි බව සඳහන් වෙයි. අතුරුදන් වන අවස්ථාව වනවිට එය  තිබි ඇත්තේ දකුණු ඇමෙරිකාවේ දකුණු දිග තුඩුව ආසන්නයේ පිහිටි උසුආයා (Ushuaia)  නමැති ප්‍රදේශයේ කිසියම් මෙහෙයුමකට සහභාගි වී ආපසු එහි සාමාන්‍ය නැවතුම්පල වන මා ඩෙල් ප්ලාටා (Mar del Plata) නැමැති නාවික කඳවුර වෙත ගමන් කරමිනි. එයින් අවසන් සංඥාව ලැබෙන විට එය වැල්ඩේස් (Valdez)  නමැති අර්ධද්වීපයට ගිණිකොණ දෙසින්, ගොඩබිම සිට කි.මී. 430 ක් පමණ ඈතින් යාත්‍රා කරමින් තිබි ඇත.

මෙම සටහන ලියන අවස්ථාව වනවිට සබ්මැරීනය අතුරුදන්ව දින හතරක් ගත වී තිබුණත් ඒ පිළිබඳව හෝ එහි සිටි නාවිකයින් පිළිබඳව කිසිදු තොරතුරක් දැනගන්නට තිබුණේ නැත. එයින් පණිවුඩ ලැබිම මුළුමනින් නතර වී ඇති අතර කිසිදු රේඩාර් පද්ධතියකටද එය හසු නොවන බව සඳහන් විය.

මෙම අබිරහස් අතුරුදන් වීමට හේතුව කුමක් විය හැකිද යන්න සම්බන්ධයෙන් විවිධ අදහස් ඉදිරිපත්ව තිබෙනුද දැකිය හැකි විය. විදුලිය ඇන හිටීමක් නිසා සබ්මැරීනයේ සන්නිවේදන පද්ධතිය අක්‍රිය වීමක් සිදුවන්නට ඇතැයි යන්න එක් අදහසකි. එවැනි අවස්ථාවක සාමාන්‍ය ක්‍රියා පිළිවෙත වන්නේ සබ්මැරීනය දිය යට සිට මතුපිටට පැමිණීමයි. ඒ ආකාරයෙන් සබ්මැරීනය සයුර මතුපිටට පැමිණ ඇත්ද යන්න සොයා මේ වනවිට දැවැන්ත සෙවුම් මෙහෙයුමක් දියත් කර ඇති අතර ආර්ජන්ටිනාවට අමතරව ඇමෙරිකාව, බ්‍රිතාන්‍යය, බ්‍රසීලය, චිලී, උරුගුවේ, දකුණු අප්‍රිකාව වැනි රටවල්ද මෙයට සහය දක්වමින් සිටියි. එමෙන්ම නාසා ආයතනය පවා මෙම මෙහෙයුමට සහය වීමට ඉදිරිපත්ව සිටින බව සඳහන් වෙයි. සබ්මැරීනය තුළ හදිසි ගින්නක් ඇති වී අනතුරක් සිදු වූවාද යන අදහසද ඉදිරිපත්ව තිබිණි. ජර්මනියේ නිපදවන ලද්දක් වන මෙම සබ්මැරීනය ඩීසල් සහ විදුලිය ආශ්‍රයෙන් ක්‍රියාත්මක වන්නකි. එය මුල්වරට සේවයට යොදාගෙන ඇත්තේ 1983 වසරේය.

ගුවන් යානා සහ මුහුදු යාත්‍රා විශාල සංඛ්‍යාවක් මේ වනවිට සෙවුම් මෙහෙයුම් සඳහා යොදවා තිබියදීත් සබ්මැරීනය ගැන කිසිදු හෝඩුවාවක් දැනගන්නට නොමැති වීම ආර්ජන්ටිනා බලධාරීන් තුළ කිසියම් ආතතියක් සහ කණස්සල්ලක් ඇති කර තිබෙන ආකාරයක් දැකිය හැකි වෙයි. කෙසේ නමුත් එම මුහුදු කලාපය තුළ පවතින ප්‍රචණ්ඩ බව සහ දැඩි සුළඟ හේතුවෙන් සෙවුම් කටයුතු ඉතා දුෂ්කර වී ඇතැයිද අනාවරණය වෙයි. සබ්මැරීනයේ ගමන් කළ නැවියන්ගේ පවුල්වල උදවිය ද දැඩි ලෙස නොසන්සුන්ව සිටින අතර ඔවුන් බොහෝ දෙනෙකු මේ වනවිට නාවුක හමුදා කඳවුර වෙත පැමිණ සිටින බවද වාර්තා වෙයි. ඇති වී තිබෙන තත්ත්වයට හේතුව හුදෙක් සන්නිවේදන ගැටළුවක් පමණක් වේවා යැයි තමුන් ප්‍රාර්ථනා කරන බවද, සියලු දෙනා නිරුපද්‍රිතව සිටිනු ඇතැයි අපේක්ෂා කරන බවද එක් ඥාතියෙකු මාධ්‍යයට පවසා තිබිණි. සැන් ජුවාන් සබ්මැරීනයේ ගමන් ගත් නාවිකයින් අතර එරට ප්‍රථම සබ්මැරීන නිලධාරිනිය වන එලියානා ක්‍රෝව්සික් ද  සිටින බව සඳහන් වෙයි.
දින ගණනාවකට සෑහෙන තරම් ආහාරපාන සහ ඔක්සිජන් සබ්මැරීනය සතුව පවතින බව මා ඩෙල් ප්ලාටා නාවික කඳවුරේ ප්‍රධානී අද්මිරාල් ගේබ්‍රියල් ගොන්සා‍ලේස් ප්‍රකාශ කර තිබේ. කෙසේ නමුත් පසුගිය සෙනසුරාදා (18) වනතුරුත් සබ්මැරීනයෙන් කිසිදු අනතුරු දැනුම් දීමේ සංඥාවක් හෝ නිකුත්ව නොතිබිම බලධාරීන්ගේ අවධානයට සහ කුතුහලයට ලක්ව තිබූ ප්‍රධාන කාරණාවක් විය. ඒ අතර ඉරිදා (19) දින ආර්ජන්ටිනාවේ ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කර තිබුණේ අසාර්ථක වූ චන්ද්‍රිකා දුරකථන ඇමතුම් වාගයක් පිළිබඳ හෝඩුවාවක් ලැබි ඇති බවයි. තත්පර කිහිපයකට පමණක් සීමා වී ඇති මෙම ඇමතුම් සාර්ථක කර ගැනීමට එම ඇමතුම් ලබා දුන් පාර්ශ්වය සමත්ව නැති බව පැවැසෙන අතර බොහෝ දුරට මෙම ඇමතුම් අතුරුදන්ව ඇති සබ්මැරීනයෙන් නිකුත් වූ ඒවා යයි සැක කරන බවද ප්‍රකාශයට පත්ව තිබිණි. ඒ ආකාරයෙන් නිකුත්ව ඇති ඇමතුම් සංඛ්‍යාව හතක් බවද වාර්තා වෙයි.

විශේෂඥයින්ගේ උපකාර ලබා ගනිමින් එම ඇමතුම් නිකුත් වූ ඉසව්ව සොයා ගැනීම සඳහා මේ වනවිට උත්සාහ ගනිමින් සිටින බවද ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කර තිබේ.

මීටර් 66 ක දිගින් යුතු සැන් ජුවාන් සබ්මැරීනය 1985 වසරේ මිල දී ගැනීමෙන් පසු 2007 සහ 2014 කාලය තුළ අලුත්වැඩියාවකට ලක් කොට ඇති අතර එමගින් එහි  කාලය තවත් වසර තිහකින් පමණ දීර්ඝ කිරීමට හැකියාව ලැබි තිබේ. සැන් ජුවාන් ආර්ජන්ටිනාව සතු සබ්මැරීන තුනෙන් අලුත්ම සබ්මැරීනය බවද සඳහන් වේ.


'මා ඩෙල් ප්ලාටා' නාවික කඳවුරේ නැංගුරම් ලා තිබූ අයුරු


කිත්සිරි මල්වත්ත

ලෝකයේ බොහෝ රටවල මේ කාලයේ දූෂණ වංචාවලට එරෙහි විවිධාකාරයේ මෙහෙයුම්, විරෝධතා, උද්ඝෝෂණ. විමර්ශන, නඩු විභාග ආදිය කරලියට එමින් ඇති අයුරු දැකිය හැකි වෙයි. නිදසුන් ලෙස, පසුගිය දිනවල පාකිස්තානය, දකුණු කොරියාව, බ්‍රසීලය ආදී රටවල රාජ්‍ය නායකයන් පවා මෙවැනි දූෂණ චෝදනා නිසා බලයෙන් පහ කෙරුණු ආකාරය මෙන්ම අධිකරණ හමුවට රැගෙන ගිය ආකාරය පෙන්වා දිය හැක.

දූෂණ වංචාවලට එරෙහිව පැතිර යන මෙම සිදුවීම් දාමයේ තවත් විශේෂ සිදුවීමක් පසුගිය සතියේ වාර්තා විය. ඒ මැද පෙරදිග කලාපයේ බලවත්ම සහ ධනවත්ම රාජ්‍යයක් වන සෞදි අරාබියෙනි. මෙම සිදුවීමෙහි  ඇති වඩාත් කැපී පෙනෙන සුවිශේෂත්වය වන්නේ සෞදි රජ පවුල හා සම්බන්ධ කුමාරවරුන් බොහෝ දෙනකුද මෙම දූෂණ විරෝධී මෙහෙයුම යටතේ අත්අඩංගුවට ගනු ලැබිමයි.  කුමාරවරුන් මේ ආකාරයෙන් අත්අඩංගුවට පත්වීම සාමාන්‍යයෙන් මෙවැනි රටවල දක්නට නොලැබෙන අතිශය දුර්ලභ සිදුවීමක් බව අමුතුවෙන් කිව යුතු නොවේ. බොහෝ විට මෙම රාජකීයයන් සැලකෙන්නේ නීතියට ඉහළින් සිටිනවුන් වශයෙනි. නමුත් මෙවර එම සම්ප්‍රදාය වෙනස් වී තිබේ. රජ කුමාරවරුන් රැසක් මෙන්ම රටේ ඉහළ පෙළේ ව්‍යාපාරිකයන් කිහිප දෙනකුද, දේශපාලන ක්‍ෂේත්‍රයේ බලවත් පුද්ගලයන් කිහිප දෙනකුද මේ ආකාරයෙන් අත්අඩංගුවට ගෙන ඇත. පසුගිය සෙනසුරාදා ඉතා හදිසියේ සිදු වූ මෙම අත්අඩංගුවට ගැනීම් නිසා සෞදිය තුළ මෙන්ම මැද පෙරදිග කලාපය තුළද විශාල කම්පනයක්, නොසන්සුන්තාවක් ඇති වී තිබෙන ආකාරයක් දැකිය හැකි වෙයි. 200කට අධික පිරිසක් මේ ආකාරයෙන් රඳවා ගැනීම සඳහා නියෝග නිකුත් කර ඇතැයි වාර්තා වෙයි.  එමෙන්ම බැංකු ගිණුම් 1700ක පමණ ගනුදෙනුද  අත්හිටුවා ඇතැයි මාධ්‍ය අනාවරණය කර තිබිණ. තවත් අපූරු කාරණයක් වන්නේ මෙසේ අත්අඩංගුවට ගත් ඉහළ පෙළේ බොහෝ දෙනකු මේ වනවිට රඳවා ඇත්තේ  තරු පහේ හෝටලයක් වන රිට්ස්-කාල්ටන් හෝටලය තුළ වීමයි. එහිදී හෝටලයේ නවාතැන් ගෙන සිටි අමුත්තන් බොහෝ දෙනෙකු ඉවත් කර වෙනත් හෝටල් වෙත ගෙන යන ලද බවද පැවැසිණි.  කෙසේ හෝ වේවා, තරු පහේ හෝටලයක රඳවා තබා තිබුණද මෙවැනි පිරිසක් අත්අඩංගුවට ගැනීම සැලකෙන්නේ මෑත සෞදි ඉතිහාසයේ මහත් ආන්දෝලනාත්මක සහ විශේෂම සිද්ධියක් වශයෙනි.

සෞදියේ මෙම දූෂණ විරෝධී මෙහෙයුම පිටුපස සිටින ප්‍රධාන චරිතය ලෙස සැලකෙන්නේ එරට මීළඟ රජු ලෙස පත්වීමට වරම් ලබා සිටින 32 හැවිරිදි මොහොමඩ් බින් සල්මාන් කුමරුය. ඔහු සෞදියේ වත්මන් පාලකයා වන සල්මාන් රජුගේ පුත්‍රයායි. මේ වනවිට දුර්වල සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන සල්මාන් රජු සිය පුත්‍රයා එරට කිරුළ හිමි කුමාරයා ලෙස නිල වශයෙන් නම් කළේ පසුගිය ජුනි මාසයේය. ඒ වනවිටත් රාජ්‍ය පාලනයේ බොහෝ කටයුතුවලට මොහොමඩ් කුමරු සම්බන්ධව සිටි බව ප්‍රසිද්ධ කාරණයක් වූ අතර ඉහත කී ලෙස නිල වශයෙන් පත්වීමෙන් පසු ඔහු වඩාත් වේගයෙන් රට තුළ විවිධ ප්‍රතිසංස්කරණ සඳහා පියවර ගන්නා ආකාරයක් දක්නට ලැබිණි. ආර්ථිකය තුළ මෙන්ම දේශපාලන, සංස්කෘතික  අංශවලද විවිධ වෙනස්කම් ඇති කිරීමට ඔහු පසුබට නොවන ආකාරයක් දැකිය හැකි වෙයි. සෞදියේ ඉදිරි සැලසුම් ඇතුළත් ''2030 දැක්ම'' (ඪඵඪධද 2030) නැමැති වැඩපිළිවෙළද ඔහුගේ පුරෝගාමීත්වයෙන් සකස් කෙරුණක් ලෙස සැලකේ. (මෙම සටහන ලියමින් සිටින අතර ලැබුණු අලුත්ම ආරංචියකින් කියැවුණේ සල්මාන් රජු ඉතා ඉක්මනින්ම සිය පුත්‍රයාට රජකම පවරා විශ්‍රාම ගැනීමට සූදානම් වන බවයි.)
දූෂණ වංචාවලට එරෙහිව ගන්නා ලද ඉහත කී පියවරද ආකාර කිහිපයකින් අර්ථ දැක්විය හැක්කකි. එක අතකින් එය මොහොමඩ් කුමරුගේ ඉදිරි ආර්ථික සැලසුම් හා බැඳුණක් ලෙසද  පෙන්වා දිය හැකිය.  මේ වනවිට සෞදි අරාබියේ ආර්ථිකය බොහෝ දුරට තෙල් ආදායම් මත රඳා පවතින්නක් බව අමුතුවෙන් කිව යුත්තක් නොවේ. නමුත් පසුගිය කාලයේ තෙල් මිල අඩු වීමත් සමග ඇති වූ ගැටලුකාරී තත්ත්වයන් නිසා වුවමනාවට වඩා තෙල් ආදායම් මත රඳා පැවැතීමේ ඇති අනතුරුදායක තත්ත්වය ගැන තෙල් ආර්ථිකයන් සහිත බොහෝ රටවලට හොඳින් අවබෝධ වන්නට විය. සෞදි අරාබියද මේ පිලිබඳ විශේෂ අවධානය යොමු කළ රටකි. ඒ අනුව මොහොමඩ් කුමරු සැලසුම් කරන්නේ ඉදිරියේදී එරට ආර්ථිකය තෙල් මත රඳා පැවැතීමෙන් මුදාගෙන එය වඩාත් විවිධාංගීකරණයකට ලක් කිරීමට සහ වඩාත් විවෘත ආර්ථිකයක් බවට පත් කිරීමටය. එහිදී විදෙස් ආයෝජන ආදිය වැඩි වැඩියෙන් රට තුළට ආකර්ෂණය කර ගැනීම වැනි කාරණා ගැන විශේෂ අවධානයක් යොමු කරන්නට සිදුවෙයි. ආර්ථිකය වඩාත් විනිවිදභාවයෙන් යුතුව හැසිරවීම, වංචා දූෂණ ආදියට ඇති ඉඩකඩ අවම කිරීම ආදිය මෙහිදී විශේෂයෙන් අවශ්‍ය වන බව රහසක් නොවේ. එය ආර්ථික සහ මූල්‍ය කටයුතුවල වඩාත් සුමට සහ කාර්යක්ෂම ක්‍රියාකාරිත්වයක් සඳහා අතිශයින්ම වැදගත් වන්නකි. පසුගිය සතියේ සිදු කෙරුණු අත්අඩංගුවට ගැනීම්ද මෙම කාරණය හා බැඳී තිබෙන්නක් ලෙස සැලකිය හැක්කකි. මේ අතර සෞදි බලධාරීන්ගේ පැත්තෙන් ප්‍රකාශයට පත්ව තිබූ තවත් කාරණයක් වූයේ පසුගිය කාලය තුළ දූෂණ වංචා සහ අවභාවිතය හේතුවෙන් ඇමෙරිකානු ඩොලර් බිලියන 100 කට අධික පාඩුවක් එරට ආර්ථිකයට සිදුව ඇති බවයි.

ආර්ථිකයට අමතරව තවත් ක්‍ෂේත්‍ර බොහොමයක ඉතා ශීඝ්‍ර ප්‍රතිසංස්කරණ කිරීමට කිරුළ හිමි මොහොමඩ් කුමරු කටයුතු කරමින් සිටින ආකාරයද දැකිය හැකි වෙයි. මතෛක් කලක් කාන්තාවන්ට රිය පැදවීම තහනම් වූ සෞදි අරාබියේ එම බාධාවන්ද ඉවත් කිරීමට පසුගියදා පියවර ගැනිණි. මෙය එක අතකින් කාන්තා නිදහස පිළිිබඳ ඉතා වැදගත් පියවරක් වන අතර තවත් අතකින් වැදගත් ආර්ථික පියවරක්ද වෙයි. මන්ද යත් මේ හරහා එරට ජනගහනයෙන් සැලකිය යුතු කොටසක් වන කාන්තා පාර්ශ්වයද වඩාත් නිදහස් ලෙස ආර්ථික කටයුතුවලට සම්බන්ධ කර ගැනීමට හැකියාව ලැබෙන බැවිනි.
ඒ අතර  ඉහත කී දූෂණ විරෝධී මෙහෙයුම හරහා මොහොමඩ් කුමරු ඔහුගේ ප්‍රතිවාදීන්ගේ බලය මර්ධනය කරමින් තමුන්ගේ ආධිපත්‍යය වඩාත් තහවුරු කරගැනීමක් සිදු කරන බවද බැහැර කළ හැකි කාරණයක් නොවේ. සල්මාන් රජුගෙන් පසු රජකම සඳහා මෙහොමඩ් කුමරු නිර්දේශ කළ අවස්ථාවේ එය කේන්ද්‍ර කරගෙනද රජ පවුල තුළ යම් බෙදීමක් ඇති වූ බව මෙහිදී සැලකිල්ලට ලක්විය යුත්තකි. (රජකම සඳහා මුලින් නිර්දේශ කර සිටියේ සල්මන් රජුගේ සහෝදරයෙකුගේ පුතෙකු වූ මොහොමඩ් බින් නායෙෆ්ය.) මෙම පසුබිම අනුව ඉහත කී  දූෂණ විරෝධී මෙහෙයුම රජ පවුල තුළ මොහොමඩ් කුමරුගේ  ප්‍රතිවාදීන් අඩපණ කර ඔහුගේ අණසක තහවුරු කර ගැනීමේ ව්‍යාපෘතියක් ලෙසද සැලකිය හැක්කකි.

ඒ අතර මේ වනවිට සෞදි අරාබිය මැද පෙරදිග කලාපය තුළ කිසියම් තීරණාත්මක  බල අරගලයක නිරතව සිටින රාජ්‍යයක් බවද මෙහිදී අවධානයට ලක්විය යුත්තකි. කලාපයේ දේශපාලන ආධිපත්‍යය වෙනුවෙන් සෞදිය සහ ඉරානය අතර ඇත්තේ දැවැන්ත තරගයකි. මෙය එක්තරා දුරකට ඉස්ලාම් ආගමේ සුන්නි සහ ෂියා නිකායන් අතර අරගලයක් ලෙසද සැලකිය හැක්කකි. මොහොමඩ් කුමරු සෞදිය තුළ සිය අණසක පැතිරවීමත් සමග ඉරානයට එරෙහි මෙහෙයුම්ද වඩාත් දැඩි කර ඇති ආකාරයක්ද දැකිය හැකි වෙයි. ඉරානය සමග ආර්ථික සබඳතා තර කරගනිමින් සිටි කටාර් රාජ්‍යයට එරෙහිව පසුගිය කාලයේ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා අත්හිටුවීමට සහ සම්බාධක පැනවීමට ගත් පියවරද ඊට නිදසුනකි. ඉරානයේ සහය ලබන බව පැවසෙන හිස්බුල්ලා සංවිධානය යම් බලයක් හිමි කරගෙන සිටින ලෙබනනයට එරෙහිවද දැන් සෞදිය කිසියම් මෙහෙයුමක් වේගවත් කර ඇති ආකාරයක් දැකිය හැකි වෙයි. පසුගියදා සිදු වූ ලෙබනන අගමැති සාද් හරීරිගේ ඉල්ලා අස්වීමද සෞදියේ වුවමනාව මත සිදුවූවක් ලෙස සැලකේ.

කලාපීය වශයෙන් සෞදිය ගෙන යන මෙම බල  ව්‍යාපෘතිය පවා සාර්ථක කර ගන්නට නම් රට තුළ මොහොමඩ් කුමරුට ශක්තිමත් පදනමක් තිබිය යුතු බව අමුතුවෙන් කිව යුතු නැත. දූෂණ චෝදනා හරහා, තමුන් වටා සිටින, තමුන්ට තර්ජනයක් විය හැකි පිරිස යම් පීඩනයකට හසු කර ගැනීම එහිදීද උපාය මාර්ගික වශයෙන් ඔහුට බෙහෙවින් ප්‍රයෝජනවත් වන්නක් ලෙස සැලකිය හැක්කකි. එමෙන්ම මොහොමඩ් කුමරුට ඉරාන විරෝධී ඇමෙරිකාව ඇතුළු  පාර්ශ්වයෙන් ලොකු සහයෝගයක් පළවන බවද මෙහිදී  තවත් වැදගත් සාධකයක් ලෙස සිහිපත් කළ යුතු වෙයි.

නිහාල් පීරිස්

ඩොනල්ඩ් ට්‍රම්ප් රුසියාවේ ඉත්තෙක්ද? හිලරි ක්ලින්ටන් ඇමෙරිකාවේ ජනාධිපති වෙනවාට වඩා ට්‍රම්ප් එම ධුරයට පත්වෙනවාට රුසියාව කැමැත්තක් දැක්වූවාද? එතැනින් නොනැවතී එම අරමුණ ඉටු කර ගැනීම සඳහා යම් යම් රහසිගත ක්‍රියාමාර්ග ගත්තාද? මේ, ඇමෙරිකාවේ පසුගිය ජනාධිපතිවරණය මෙන්ම ඩොනල්ඩ් ට්‍රම්ප්ද කේන්ද්‍ර කරගනිමින් දැන් ටික කාලයක සිට ආන්දෝලනයට ලක් වෙමින් ඇති කාරණා කිහිපයකි. හිලරි ක්ලින්ටන් අපහසුතාවට පත් කළ හැකි තොරතුරු සොරකම් කිරීම සඳහා රුසියානු හැකර්වරුන් ඇයගේ ඩිමොක්‍රටික් පක්ෂයේ ඊ මේල් ගිණුම්වලට පවා ඇතුල් වූ බවටද පසුගිය කාලයේ විවිධ චෝදනා එල්ල වූ බව රහසක් නොවේ. කෙසේ හෝ වේවා ට්‍රම්ප්ගේ ජනාධිපතිවරණ ව්‍යාපාරයට සම්බන්ධ වූවන් සහ රුසියානු පාර්ශ්ව අතර මොනවා හෝ සැක කටයුතු සම්බන්ධතා තිබුණාද යන්න සොයා බැලීම සඳහා මේ වනවිට එරට ෆෙඩරල් විමර්ශන බියුරෝව (FBI- Federal Bureau of Investigation) මගින් විමර්ශනයක් පවත්වමින් සිටින බවද ප්‍රසිද්ධ කාරණයකි.
මෙම පරීක්ෂණය සම්බන්ධ කාරණා විවිධ අවස්ථාවල ලොකු ආන්දෝලනයක් ඇති කරන්නට සමත් විය.  දැන් නැවතත් එවැනි කාරණාවක් නිසා ට්‍රම්ප් මැදි කරගෙන විශාල ආන්දෝලනයක් මතු වෙන්නට පටන් ගෙන තිබේ. මෙවර මෙම සිද්ධියට සම්බන්ධ ප්‍රධාන චරිතයක් වී සිටිනුයේ  ට්‍රම්ප්ගේ ජනාධිපතිවරණ මෙහෙයුම් කණ්ඩායම තුළ,  විදේශ ප්‍රතිපත්ති 
පිළිබඳ ඔහුගේ උපදේශකයෙකු ලෙස සිටි බව කියන ජෝර්ජ්  පැපඩො‍පෝලොස් (George Papadopoulos)  නමැති පුද්ගලයෙකි. ඔහු සහ රුසියානු සබඳතා ඇති දෙදෙනෙකු අතර පැවැති බව කියන  සාකච්ඡා සම්බන්ධයෙනි මෙවර ආන්දෝලනය මතු වී ඇත්තේ. 
මෙම සබඳතා සහ සාකච්ඡා සම්බන්ධයෙන් මුල් වරට චෝදනා මතු වූ අවස්ථාවේ පැපඩො‍පෝලොස් විමර්ශන බියුරෝවට පවසා තිබුණේ එකී සබඳතා පැවැතියේ තමා ට්‍රම්ප්ගේ ජනාධිපතිවරණ මෙහෙයුම හා එක්වීමට පෙර බවය. නමුත් තමා ඒ කීවේ බොරුවක් බවට දැන් ඔහු වරද පිළිගෙන ඇතැයි පසුගිය සඳුදා (30 දා) ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර සිටියේය. තමා සහ ඉහත කී පුද්ගලයන් දෙදෙනා අතර සබඳතා පැවැතියේ ට්‍රම්ප්ගේ ජනාධිපතිවරණ මෙහෙයුමට තමා සම්බන්ධ වූ පසුව බව ඔහු පිළිගෙන ඇති බව සඳහන් වෙයි. ට්‍රම්ප්ගේ ප්‍රතිවාදිනිය වූ හිලරි ක්ලින්ටන් පිළිබඳව යම් යම් රහස් රුසියානුවන් සතුව පවතින බැව් තමා හා පැවැසූ බවද පැපඩො‍පෝලොස් සඳහන් කර තිබේ. 
ඔහු මුණ ගැසී ඇති රුසියානු සබඳතා සහිත පුද්ගලයන් දෙදෙනාගෙන් එක් අයෙකු කාන්තාවකි. ඇය රුසියානු ජනාධිපති පුටින්ගේ ඥාති දියණියක ලෙස පෙනී සිටි බවද සඳහන්ව තිබිණි. (නමුත් එය සත්‍යයක් නොවන බව පසුව හෙළි වී තිබේ.)  කෙසේ වෙතත් ඇය රුසියානු රජයේ නිලධාරීන් සමග සබඳතා තිබූ තැනැත්තියක බැව් තමා විශ්වාස කළ බවත්, ඇය හරහා ට්‍රම්ප් පාර්ශ්වයත්, රුසියානු පාර්ශ්වයත් අතර හමුවක් ඇති කිරීමට බලා‍පොරොත්තු වූ බවත් පැඩො‍පෝලොස් පිළිගෙන ඇත. ඔහු මුණ ගැසී ඇති අනෙක් පුද්ගලයා ද රුසියානු රජය සමග සබඳතා ඇති බව පැවැසුණු මහාචාර්යවරයෙකි. හිලරි ක්ලින්ටන්ට අදාළ ඊමේල් වගයක් සම්බන්ධයෙන්ද මෙම සාකච්ඡාවලදී කතාබහ වී ඇතැයි පැවැසේ. 
රටක ජනාධිපතිවරණයක් වැනි අවස්ථාවක වෙනත් රටක රජයක් සමග, විශේෂයෙන් තමුන්ගේ ප්‍රතිවාදියෙකු ලෙස සැලකෙන රටක් සමග මේ ආකාරයෙන් කටයුතු කිරීම බරපතළ කාරණාවක් බව අමුතුවෙන් කිව යුතු නොවේ. පැපඩො‍පෝලොස් ට එරෙහිව අධිකරණයෙහි චෝදනා ගොනු කිරීමට පියවර ගෙන ඇති අතර ට්‍රම්ප්ද මේ නිසා පෙර නොවූ මට්ටමේ අනතුරකට මුහුණ දෙනු ඇතැයි බොහෝ දුරට අපේක්ෂා කළ හැකි වෙයි. මේ අතර ධවල මන්දිරයේ ප්‍රකාශිකාවක් මේ සම්බන්ධයෙන් ප්‍රකාශයක් නිකුත් කර තිබේ. ඇය කතා කර තිබුණේ පැපඩො‍පෝලොස් කියන කාරණා සහ ට්‍රම්ප්ගේ ජනාධිපතිවරණ මෙහෙයුම අතර සම්බන්ධයක් නැති බව ඇඟවෙන ආකාරයෙනි. එමෙන්ම ඔහු එම ජනාධිපතිවරණ සටනේදී ඉටු කළේ ඉතා සීමිත සහ නිල නොවන මට්ටමේ කාර්යභාරයක්  බව ඇඟවෙන ආකාරයෙන්ද ඇය යම් යම් ප්‍රකාශයන් සිදු කර තිබේ.
නමුත් පැපඩො‍පෝලොස්ට එරෙහිව ඉදිරිපත් කර ඇති චෝදනා පත්‍රවලට අනුව සඳහන් වන්නේ ට්‍රම්ප් ඔහු ඉතා ඉහළින් අගය කර ඇති බවකි. 2016 මාර්තු මාසයේ පැපඩො‍පෝලොස් විදේශ ප්‍රතිපත්ති පිළිබඳ සිය උපදේශකයෙකු ලෙස පත් කිරීම නිවේදනය කරනු ලැබ ඇත්තේද ට්‍රම්ප් විසින්ම බව සඳහන් වන අතර ‘ඔහු විශිෂ්ට පුද්ගලයෙකු’ ලෙස හඳුන්වා ඇති බවද පැවැසේ. රුසියානු පාර්ශ්ව සමග තමාගේ ඇති සබඳතා ගැන පවසමින්, පුටින් සමග හමුවක් සංවිධානය කිරීමට තමාට උදව් කළ හැකි බව පැපඩො‍පෝලොස් එක් අවස්ථාවක පවසා ඇතැයිද මෙම චෝදනා අතර වෙයි. ඒ ට්‍රම්ප්ගේ උපදේශකයන්ගේ සාකච්ඡාවකදීය. එම අවස්ථාවේදී ට්‍රම්ප්ද එහි සිටි බව පැපඩො‍පෝලොස් පිළිගෙන තිබේ. 
පැපඩො‍පෝලොස් සහ  රුසියානු සබඳතා සහිත ඉහත කී පුද්ගලයන් දෙදෙනා අතර ඇති වූ සබඳතා නිසා පසුව රුසියානු නිලධාරීන් සමගද සබඳතා ගොඩ නැගී ඇති බවද, පුටින් සහ ට්‍රම්ප් අතර හමුවක් ගැන පවා මෙහිදී සලකා බලා ඇති බවද මෙම චෝදනාවල තවදුරටත් ඇතුළත් වෙයි.
මේ ආකාරයෙන් මේ වනවිට මතුව ඇති තත්ත්වය හේතුවෙන් ට්‍රම්ප් ඉදිරියේදී බරපතළ අර්බුදයකට මුහුණ දීමට ඇති ඉඩකඩ වැඩි බවට මේ වනවිට බොහෝ  අදහස් පළවෙමින් තිබේ.
 
නිහාල් පීරිස්

Page 2 of 8

IMAGE

රැඳවියකු බැලීමට ආ රූමතියට නියාමකගෙන් 'යෝජනාවක්'

IMAGE 2018 Jan 18 10:53
අනුරාධපුර බන්ධනාගාරයේ රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින සිය ඥාතියකු බැලීමට සහෝදරියක සමග ගිය...
Views - 3830

අයිවෝ ඩෙනිස් රෝහ‍ලේ

IMAGE 2018 Jan 17 10:59
මෙරට බිහි වූ විශිෂ්ටතම සංගීතඥයකු වූ සුනිල් ශාන්තයන්ගේ ගීත උරුමය ඉදිරි පරපුර වෙත රැගෙන ආ...
Views - 2936

ඡන්දය වෙනුවෙන් 'වඩියකට' ඉඩ දෙන්නැයි අපේක්ෂකයෝ ඉල්ලති

IMAGE 2018 Jan 16 10:42
තමන් කිසිදා  කසිප්පු පෙරීම නොකළ නමුත් මැතිවරණය අවසන් වන තුරු පමණක්  කාර්යාලය පිටුපස දින...
Views - 4406

අහඹු ගැබ් ගැනීම් වලකන පෙති ඇසුරුම් 20 අනුරපුර පාසලක

IMAGE 2018 Jan 16 09:59
පාසල ශුද්ධ පවිත්‍ර කිරීමේ ශ්‍රමදානයකට සහභාගී වූ මවකට අනුරාධපුර නගරයේ පාසලක තිබී අහඹු ලෙස...
Views - 5039

අන්තර්ජාල ඡායාරූපයේ සත්‍ය කතාව උදාරි හෙළි කරයි

IMAGE 2018 Jan 15 12:15
ප්‍රවේගය සිනමා පටයෙන් බොහෝ දෙනාගේ ආදරය දිනාගත් උදාරි පෙරේරාගේ තට්ට හිස සහිත ඡායාරූප පෙළක්...
Views - 5825

හොලිවුඩ් නිළියන්ටත් ලිංගික හිංසන

IMAGE 2018 Jan 15 11:49
වසර හැත්තෑ පහක කාලය තුළ අමුතුම ආකාරයේ ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන උළෙලක් පළමු වරට පසුගිය ඉරිදා...
Views - 3511

Please publish modules in offcanvas position.

X

Right Click

No right click