Home    |    Daily Lakbima    |    Sunday Lakbima    |   Rajina |    Archive    |    Advertise With Us    |     Careers Email - [email protected] youtube
lakbima.lk

                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්     

යම් කිසි ඇඳුමකට ඉතා ඉහළ වටිනාකමක් ලැබෙන්නට හේතු වන ප‍්‍රධාන කරුණු දෙකක් තිබේ. ඉන් එකක් ඇඳුම නිර්මාණය කිරීම සඳහා යොදාගෙන ඇති අමුද්‍රව්‍ය හෝ එයට සවිකර ඇති අගනා මුතු, මැණික් සහ රන් නූල් ආදියයි. අනෙක් කරුණ එම ඇඳුමට ඇති පෞරාණික වටිනාකම හෝ එය අඳින ලද පුද්ගලයන් පිළිබඳව සමාජයේ ඇති ආකල්ප ආදියයි. අතීත රජවරුන් හෝ අධිරාජ්‍යවරුන් විසින් ඇගලූ ඇඳුම් සහ නළු නිළියන් විසින් විශේෂ උත්සව අවස්ථාවලදී අඳින ලද ඇඳුම් ආදියට ලැබෙන්නේ මෙකී දෙවැනි වටිනාකමයි.
මේ ආකාරයට මෙතෙක් ලොව වැඩිම වටිනාකමක් ලද ඇඳුම ලෙස සැලකෙන්නේ පසුගිය දිනක වෙන්දේසියක දී අලෙවි වූ එක්තරා ගවුමකි. එය ප‍්‍රවීන හොලිවුඞ් රංගන ශිල්පිනියක වූ මැරිලින් මොන්රෝ විසින් ඇඟලන ලද්දකි. ඇය එම ගවුම ඇඳ තිබුණේ හරියටම පැය 4කුත් විනාඩි 40ක් පමණි. ඒ 1962 වසරේ මැයි මස 19 වැනි සෙනසුරාදා සවස්වරුවේය. 
මොන්රෝ මෙකී ඇඳුමින් සැරසී තිබුණේ එවකට ඇමෙරිකානු ජනපතිවරයා මෙන්ම මොන්රෝගේ පෙම්වතා ලෙස සැලකුණු ජෝන් එෆ්. කෙනඩිගේ 44 වැනි උපන් දින උත්සවයට සහභාගි වීම සඳහාය. මෙම උපන් දින උත්සවය පැවැත්වුණේ මැයි මස 19 වැනි දිනක වුවද කෙනඩි ජනපතිවරයාගේ උපන් දිනය යෙදී තිබෙන්නේ මැයි 29 වනදාටය. එම උත්සවයට ජනපති බිරිඳ ජැක්ලින් කෙනඩි සහභාගි වී තිබුණේ නැත.
මෙම උපන් දින උත්සවය මෙතරම් වැදගත් වීමට හේතු කීපයක්ම තිබිණි. ඉන් එකක් මැරලින් මොන්රෝ ප‍්‍රසිද්ධ උත්සවයකදී කෙනඩි ජනපතිවරයා සමග එකට ගැවසුණු අවසන් අවස්ථාව වීමය. එමෙන්ම ඇය සහභාගි වූ අවසන් උත්සව අවස්ථාව වූයේ ද එයයි. ඉන් මාස තුනට පසු එනම් 1962 වසරේම අගෝස්තු මස පස් වනදා ඇය සියදිවි නසා ගත්තාය. අනික් කාරණය ඇය මෙම උත්සවයේ දී කෙනඩි ජනපතිවරයා වෙනුවෙන් Happy Birthday Mr President යනුවෙන් ගීතයක් ගායනා කිරීමය. මේ නිසා ඇය මෙම උත්සව අවස්ථාවට සහභාගි වීම සඳහා අඳින ලද මෙකී ගවුම නම් කරන ලද්දේ ''Happy Birthday Mr President dress'' යන නමිනි.
මොන්රෝ විසින් මෙම ඇඳුමින් සැරසුණු දිනයට වසර 55කට පසු එනම් 2016 වසරේ නොවැම්බර් 17 වනදා ඇගේ Happy Birthday Mr Presidentඇඳුම ඇමෙරිකාවේ කැලිෆෝනියා ප‍්‍රාන්තයේ ලොස් ඇන්ජලීස්හි පැවැති ජූලියන්ස් ඔක්ෂන් නම් වූ ප‍්‍රසිද්ධ වෙන්දේසියේදී ඇමෙරිකන් ඩොලර් මිලියන 4.8කට එනම් රුපියල් මිලියන 720කට වෙන්දේසි විණි. 1961 වසරේ අවසන් භාගයේ මොන්රෝ වෙනුවෙන්ම මෙම ගවුම නිර්මාණය කර තිබුණේ ඇගේ පෞද්ගලික ඇඳුම් නිර්මාණ ශිල්පියෙකු වූ ජීන් ලූවි විසිනි. එය නිර්මාණය කිරීම සඳහා එවකට වැය වී තිබුණේ ඇමෙරිකන් ඩොලර් 62ක පමණ මුදලකි. ඇත්දල පැහැති පබළු සහ රන් පැහැති නූලින් නිම වූ Happy Birthday Mr President ඇඳුම ෆිෂ් ටේල් හෙවත් පසුපස කොටස මාළුවෙකුගේ වරල ආකාරයෙන් නිර්මාණය වූවකි. එය පසුගිය වසර 55ක් පුරා පැවැතුණේ බි‍්‍රතාන්‍ය කෞතුකාගාරයේය.
ඇමෙරිකන් ඩොලර් මිලියන 4.8ක් වැය කර Happy Birthday Mr President ඇඳුම මිලදී ගත් පුද්ගලයා තමන් පිළිබඳව මාධ්‍යයට හෙළි නොකරන මෙන් වෙන්දේසියේ සංවිධායකයන්ට පවසා තිබූ බව මෙම වෙන්දේසියෙන් පසු මාධ්‍යවල පළ වුණි. 
දුලාජලී මුතුවාඩිගේ

පාපන්දු ලොව පුරා ජනප්‍රියම ක්‍රීඩාවය. පාපන්දු ලොවේ දස්කම් උරගා බැලෙන ෆිෆා ලෝක කුසලාන තරගාවලිය කාලයට පාපන්දු උණුසුම ලොව පුරා පැතිරෙන්නේ උන්මාදනිය ලෙසය. පාපන්දු ක්‍රීඩකයන්ගේ වත්කම්ද ජනප්‍රිය මාතෘකාවකි. සුපිරි පාපන්දු ක්‍රීඩක පේ‍ලේ විසින් “ද බියුටිෆුල් ගේම් “හෙවත් “ලස්සන ක්‍රීඩාව ලෙස හැඳින්වූ පාපන්දු ක්‍රීඩාව ඊට අමතරව ‍පොහොසත්ම ක්‍රීඩාවද වන බැවිනි. 2014 පාපන්දු ලෝක කුසලාන සමයේ මෙවැනි ලැයිස්තුවක් නිකුත් වූ අතර ලැයිස්තුවේ මුල සිටි  පෘතුගාලයේ ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝගේ වත්කම ඇමරිකානු ඩොලර් මිලියන දෙසිය පනහක් වූ අතර දෙවැනි තැන ගත් ආජන්ටිනාවේ සුපිරි පාපන්දු තරුව ලියොනෙල් මෙසීගේ වත්කම ඇමරිකානු ඩොලර් මිලියන එකසිය අසූවක් විය. ලොව එතෙක් මතෛක් බිහිවූ සුපිරි පාපන්දු ක්‍රීඩකයින් අතරින් බහුතරය සැරසී සිටි හා සිටින නොම්මර දහය දරන කමීසයෙන් සැරසී ක්‍රීඩා කරන මෙසී (කණ්ඩායමේ හොඳම ක්‍රීඩකයාට නොම්මර දහය දරන කමිසය අඳින්නට ලැබෙන බවද මේ නොම්මර දහයට ඔවුන් තුළ ඇති උපරිම දක්ෂතා පිටතට ගෙනෙන්නට හැකි බවටද විශ්වාසයක් වෙයි.) කෙතරම් සුපිරි ක්‍රීඩකයෙකු ලෙස සැලකෙන්නේද කියතොත් ඇතැම් පාපන්දු පුහුණුකරුවන් තම කණ්ඩායමේ දක්ෂ සාමාජිකයින් පිටිය මැදට යවන්නේ “මෙසීට වැඩිය දෙයක් කරන්න පුළුවන් බව පෙන්නන්න.” යනුවෙන් කියමිනි.
දඟකාර සිනාවෙන් හා ළමා මුහුණකින් ක්‍රීඩා ලෝලීන්ගේ සිත දිනාගත් ලියෝ යන කෙටි නමින් හැඳින්වෙන ලියොනෙල් මෙසී පසුගියදා නැවත ලොව පුරා මාධ්‍යවල කතාබහට ලක්වුණේ තම විවාහය නිසාය. වයස අවුරුදු පහේදී හඳුනාගත් තම හොඳම මිතුරාගේ ඥාති සොයුරිය සමග වයස අවුරුදු විසි ගණන්වලදී ඇරඹූ පෙම් සබඳතාවය මෙසී නීත්‍යනුකූල විවාහයකින් කෙළවර කළේ වසර ගණනාවක් ඇය සමග එකට පදිංචිව සිට පුතුන් දෙදෙනෙකුද ලැබිමෙන් පසුවය. දෙදෙනාගේ උපන්ගම වන හා හැදුණු වැඩුණු රොසාරියෝහි මෙම විවාහ උත්සවය පැවැත්විනි. පාපන්දු ලොවේ හිටපු හා වත්මන් ජනප්‍රිය තරු මෙන්ම ආජන්ටිනාවේ වෙනත් ප්‍රකට පුද්ගලයින්ද දෙසිය පනස්දෙනෙක් සහභාගි වූ මනරම් විවාහ උත්සවය තුළ කැපී පෙනුණු තවත් කාරණාවක් වුණේ මෙසීගේ මව වන සීලියාද තම ‍ලේලියගේ මංගල ගවුමට බෙහෙවින් සමාන සුදු පැහැති ගවුමකින් සැරසී උත්සවයට සහභාගි වීමය. මංගල උත්සවයකට මනාලිය හැරුනුවිට වෙනත් අය සුදු ඇඳුමින් සැරසී පැමිණ නොආයුතු බවට ඇති ආජන්ටිනාවේ සම්ප්‍රදාය බිඳ දමමින් ඇය මෙසේ පැමිණීම සම්බන්ධයෙන් ඇතැම් මාධ්‍ය ඇයව විවේචනය කර තිබුණේ මනාලියට හිමි අවධානය ලබාගැනීමට උත්සාහ කළ බව කියමිනි. මෙසීගේ මව විශේෂයෙන් කතාබහට ලක්වන්නට වූ හේතුව මෙසී තම මවට දක්වන දැඩි සෙනෙහස ප්‍රකට කරුණක් බැවිනි. ඔහු තම වම් උරහිසේ මවගේ මුහුණ පච්ච කොටාගෙන සිටියි. මේ නිසාම නැන්දම්මා-‍ලේලි අර්බුදයක් නිර්මාණය කිරීමටද මාධ්‍ය උත්සාහ ගත් බවක් පෙනිණි. විවාහයට පෙර තමා අඳින්නේ අඳුරු පැහැති ගවුමක් බව මෙසීගේ මව විසින් පවසා තිබිමද අර්බුදය ඇවිලීයාමට තවත් හේතුවක් විය. ඇන්ටොනල්ලා රොකූසෝ නම් මෙසීගේ බිරිය ඔහුගේ පෙම්වතියව සිටි කාලයේ සිටම මෙසීගේ මව හා ඇය අතර සීතල යුද්ධයක් ඇති බවට කතාවක් පැතිර තිබුණද පවුල් දෙකේම උදවිය මේ කතාව ප්‍රතික්ෂේප කරති.
ආලිංගන නැටුම් නුහුරු ලියොනෙල් මෙසී උත්සවයේ තම දෙපා නුහුරු ලෙස එහා මෙහා තබමින් පෑ රංගනය ඇතැම් මාධ්‍ය විසින් හඳුන්වා දී තිබුණේ “බූරුවෙකුගේ නැටුමක්” ලෙසිනි. තිස් හැවිරිදි මෙසී පාපන්දු පිටියේදී දෙපා කෙතරම් දක්ෂ ලෙස මෙහෙයෙව්වද අපහසුවෙන් නටන මෙසීගේ නැටුම තත්පර තිහක වීඩියෝවක් ලෙස අන්තර්ජාලයට එකතුව තිබුණේ දකින්නන් මුවගට සිනහවක් නංවමිනි. උත්සව ශාලාව තුළට ජංගම දුරකථන නොගෙනෙන ලෙසට අමුත්තන් ඇතුඵ සියල්ලන්ගෙන්ම ඉල්ලා තිබුණද ජංගම දුරකථන ගෙනා ඇතැමෙක් ලබාගත් ඡායාරූප නිල ඡායාරූපවලට පෙර දසත සැරිසරන්නට විය.
පාපන්දු ලොව දිනූ මෙසී පසුගිය වසරේ තමාට වයස විසි නමයේදී ජගත් පාපන්දු පිටියෙන් සමුගන්නා බව නිවේදනය කළේ ලොව පුරා පාපන්දු ලෝලීන් හඬවමිනි. ඒ වසර නමයක් තුළ සිව්වැනි වතාවටත් ආජන්ටිනාව ප්‍රධාන පෙළේ තරගාවලියක් පරාජයවීම හේතුවෙනි. දඬුවම් පහරක් නිසි ලෙස එල්ල කිරීමට තමාට නොහැකිවීම හේතුවෙන් සිව්වැනි තරගයේදී එම පරාජය අත්වූ නිසා මෙසී ජාත්‍යන්තර පාපන්දු පිටියෙන් සමුගැනීමට තීරණය කළ බව වාර්තා විය. තමා කළ හැකි සියල්ල කණ්ඩායම වෙනුවෙන් කළ බව සමුගනිමින් මෙසී කියා සිටියේය. ආජන්ටිනාවේ ලියොනෙල් මෙසී පාපන්දු තරගාවලිවල හොඳම ක්‍රීඩකයාට හිමි ගෝල්ඩන් බෝල් හෙවත් රන් පන්දුව කිහිප වතාවක් දිනා තිබේ. ලොව හොඳම පාපන්දු ක්‍රීඩකයාට හිමි බැලොන් ඩි ඕර් සම්මානය පස්වරක් දිනා ඇති මෙසී 2005 දී පාපන්දු පිටියට පිවිසියේය. පවු‍ලේ අයට ඉතා සමීප මෙසීට වයස අවුරුදු දහහතරේ සිටම ඔහුගේ නියෝජිතයා ලෙස පියා කටයුතු කරන අතර ෙදෙනික හා ප්‍රචාරක කටයුතු සැලසුම්කරු ලෙස වැඩිමහල් සොයුරා කටයුතු කරයි. සමාජ සේවය සඳහා පිහිටුවාගත් ඔහුගේ ලියෝ මෙසී පදනම භාරව සිටින්නේ මව හා අනෙක් සොයුරාය.උපන් ගම වන රොසාරියෝහි නෑ, හිතවතුන් සමග සමීප සබඳතාවයක් පවත්වන මෙසී තමා උපන් නිවස මේ වන විට අගුලුදමා තිබුණද එය විකිණීමට පවු‍ලේ අයට ඉඩදී නැත.
 
නිශානි දිසානායක 

සත්‍ය සහ ව්‍යාජ ඡායාරූපයක් එකිනෙකින් වෙන් කර හඳුනා ගත නොහැකි මට්ටමකට වර්තමානයේ පත්ව තිබෙන්නේ ඡායාරූප වෙනස් කළ හැකි විවිධ මෘදුකාංග පරිගණක ක්ෂේත‍්‍රය තුළ අලූතින් නිර්මාණය වීමත් සමගිනි. නමුත් මෙවැනි මෘදුකාංග හෝ පරිගණක පවා නොතිබුණු යුගයක පවා ව්‍යාජ ලෙස සකස් කළ ඡායාරූප පැවැති බවට ඉතිහාසය සාක්ෂි දරයි. වර්තමානයේ විවිධ මාධ්‍යවල පළ වෙන්නා වූ අප සත්‍ය ඡුායාරූප ලෙස හඳුන්වන ඡායාරූපවලින් සියයට 40ක් පමණ ව්‍යාජ ඡුායාරූප වන බව බීබීසී සේවය වාර්තා කර තිබේ. ඔවුන් මේ බව පවසන්නේ වසර කීපයක් පුරා මාධ්‍යවල පළ වූ ඡුායාරූප පරීක්ෂා කිරීමේ ප‍්‍රතිඵලයක් ලෙසිනි. මේ බව පැහැදිලි කිරීම සඳහා ඔවුන් පළමු (1) ඡායාරූපය උදාහරණ ලෙස පෙන්වා දී තිබේ. 
මෙහි සටහන්ව ඇත්තේ පුද්ගලයන් දෙදෙනකුගේ රුවකි. ඔවුන්ගේ ඉදිරියෙන් ගොඩනැගිල්ලක වීදුරු ආවරණයක් ඇති අතර ඔවුන් දෙදෙනාගේ පිළිබිඹුව එම වීදුරුවෙන් දැක ගත හැකිය. පර්යේෂකයන් පවසන්නේ මෙම ඡුායාරූපය ව්‍යාජ ලෙස සැකසූවක් බවයි. එය පෙන්වා දීම සඳහා ඔවුන් ඡායාරූපයේ සිටින පුද්ගලයන් වෙත එල්ල වී ඇති ආලෝක ප‍්‍රමාණය ගෙන හැර දක්වයි. ආලෝකය එල්ල වී ඇත්තේ මොවුන් දෙදෙනාගේ පිටුපසිනි. සාමාන්‍යයෙන් යම් පුද්ගලයෙකුගේ පිටුපසින් ආලෝක ප‍්‍රභවයක් එල්ල වූ විට එහි සිටින පුද්ගලයන්ගේ කන් දෙක රතු පැහැ විය යුතු ය. නමුත් මෙම ඡුායාරූපයේ සිටින දෙදෙනාගේ කන් එසේ රතු පැහැ ගැන්වී නැත. අනිත් වැදගත්ම කාරණය වන්නේ ඔවුන් දෙදෙනා සිටින ස්ථානයට සහ වීදුරු ආවරණයට අංශක 90ක කෝණයකින් ලබා ගෙන ඇති මෙම ඡුායාරූපයේ වීදුරුවේ පිළිබිඹුවත් ඔවුන් සත්‍ය ලෙසම හිටගෙන සිටින ස්ථානයත් පොළොවට සමාන්තර විය යුතු බවයි. නමුත් ඔවුන්ගේ පාදවල සිට වීදුරුවේ පිළිබිඹුවේ පාද දක්වා සරල රේඛාවක් ඇඳි විට එම රේඛා පොළොවට සමාන්තර වන්නේ නැත. 
සත්‍ය ඡායාරූපයක් හඳුනාගත හැකි තවත් ආකාරයක් වන්නේ ඔවුන්ගේ ඇස් ය. දෙදෙනෙකු හෝ කීප දෙනෙකුගේ ඡායාරූපයක් ලබා ගන්නා අවස්ථාවේ කැමරාවේ ෆ්ලෑෂරයෙන් නිකුත් වන ආලෝකය ඔවුන්ගේ ඇස්වල කළු බෝලය මත සටහන් වීම සාමාන්‍ය ක‍්‍රමවේදයයි. සමහර අවස්ථාවල එය ඇස් මත රතු පැහැයෙන් සටහන් වනු ඔබ දැක ඇතිවාට සැක නැත. එසේ සටහන් වීමේ දී සෑම පුද්ගලයෙකුගේම ඇස් මත සටහන් වන ආලෝකයේ තීව‍්‍රතාව, ප‍්‍රමාණය, දීප්තිය ආදිය සමාන විය යුතුය. නමුත් ඡුායාරූපයේ සිටින සෑම කෙනෙකුගේම ඇස් මත මෙම ආලෝකය සටහන් වී නැත්නම් හෝ විවිධ තීව‍්‍රතාවලින් සටහන් වී ඇත් නම් එය ද ව්‍යාජ ඡායාරූපයක් ලෙස සැලකිය හැකිය.
මෙහි දක්වා ඇති දෙවන ඡායාරූපය ද ව්‍යාජ ලෙස සැකසූවක් බව පර්යේෂකයන්ගේ මතයයි. ඔවුන් එසේ පැවැසීමට හේතුව එම ඡායාරූපයේ සිටින පුද්ගලයා අත දරා සිටින ආයුධයේ දිග සහ බරට අනුව ඔහුගේ ශරීරය මේ තරම් සැහැල්ලූ ආකාරයෙන් තිබිය නොහැකි බවයි. එබැවින් පළමුව පුද්ගලයා ඡායාරූප ගත කර පසුව ආයුධය ඡායාරූපගත කර ඉන්පසු එම ඡුායාරූප දෙකෙහි නෙගටිව් එක මත එක තබා මෙය නිර්මාණය කරන්නට ඇති බව පර්යේෂකයන්ගේ අදහසයි.
වර්තමානයේ මෙවැනි නිර්මාණ සඳහා මෘදුකාංග තිබුණද අතීතයේ භාවිත කර තිබුණේ කැමරා උපක‍්‍රමයි. හිටපු ඇමෙරිකානු ජනපති ඒබ‍්‍රහම් ලින්කන් නිරූපණය වන මෙහි දැක්වෙන පළමු ඡායාරූපය ප‍්‍රතිනිර්මාණය කරමින් දෙවන සහ තුන්වන ඡායාරූප ව්‍යාජ ලෙස සකස් කර ඇති ආකාරය සලකා බලන්න. එහිදී මුහුණේ ඉරියව් සමාන වන අතර සිරුරේ ඉරියව් පමණක් වෙනස් වී තිබේ. මෙම ඡායාරූප සකස් කර තිබුණේ 1862 වසරේ දීය. එනම් පරිගණකය පවා නිර්මාණය කර නොමැති කාලයකය. මෙම නිර්මාණ සඳහා යොදා ගෙන තිබුණේ නෙගටිව් සහ කැමරා උපක‍්‍රමයි. පරිගණක නොමැති යුගයක මේ තරම් තාත්වික ආකාරයෙන් ඡායාරූප ව්‍යාජ ලෙස සකස් කළ හැකිව තිබුණේ නම් වර්තමානය වනවිට අප දකින තාත්වික ඡායාරූපවලින් කොපමණ ප‍්‍රමාණයක් ව්‍යාජ ඡායාරූප දැයි හඳුනා ගැනීමට නොහැකි වීම පුදුමයක් වන්නේ නැත.
 
දුලංජලී මුතුවාඩිගේ

ස්පාඤ්ඤයේ ජීවත්වූ සුප්‍රකට චිත්‍ර ශිල්පී සැල්වදෝර් ඩාලිගේ දේහය වැළලූ තැනින් ගොඩගන්නා ලෙසට උසාවි නියෝගයක් ලබාදී තිබේ. බොහෝවිට මෙසේ සිරුරක් ගොඩගන්නේ මරණය ගැන සැකයක් ඇති අවස්ථාවකය. නැතිනම් කුමක් හෝ වුවමනාවක් මත දේහය එතැනින් පිටතට ගෙන වෙනත් තැනක වළ දමන්නට වුවමනාවූ විටය. පසුගියදා ආජන්ටිනාවේ හිටපු ජනපති කාලෝස් මෙනම්ගේ පුත්‍රයාගේ දේහය ඔහුගේ මරණයෙන් වසර විසි දෙකකට පසු ගොඩට ගන්නට අධිකරණ තීන්දුවක් ලැබුණේ ගුවන් අනතුරකින් සිදුවූ බව කියැවෙන ඔහුගේ මරණය මිනීමැරුමක් බවට දිගින් දිගටම කියැවීම හේතුවෙනි. නමුත් ඩාලිගේ මළසිරුර ගොඩගන්නට යන්නේ විශේෂ හේතුවක් මතය. ඒ තම මව කලකට පෙර එවකට විවාහක ඩාලි සමග පැවැත්වූ රහසිගත සබඳතාවයක ප්‍රතිඵලයක් ලෙස තමා උපන් බව කියන කාන්තාවකගේ ඉල්ලීමකටය. මේ ලෝ ප්‍රකට සිත්තරා තම පියා බව ඔප්පු කිරීම ඇගේ අරමුණවී තිබේ. ගිරෝනා නගරයේ උපන් හා වර්තමානයේ කාඩ්පත් බලා සාස්තර කියන මරියා මාටිනෙස් නම් මෙම කාන්තාව කියන්නේ 1955 වස රේදි නිවෙස්වල සේවිකාවක ලෙස කටයුතු කළ තම මව වන ඇන්ටෝනියා හා ඩාලි අතර අනියම් සබඳතාවයක් පැවැති බව හා 1956 වසරේදී තමා උපන් බවය. වයස අවුරුදු හැටඑකක් වන ඇය මුලින්ම මේ බව හෙළි කළේ 2015 වසරේදීය. නීත්‍යානුකූල විවාහයෙන් ඩාලිට දරුවන් නැත.
මරියාගේ පියා ඩාලිමද යන්න සෙවීම සඳහා දේහය ගොඩගැනීමට නියෝගය ලබාදී ඇත්තේ මැඩ්රිඩ්හි අධිකරණයක් විසිනි. මෙලෙස දේහය ගොඩගැනීමට සිදුව ඇත්තේ වයස අවුරුදු අසූපහේදී 1989 වසරේ මියගිය ඩාලිගේ ඩී.එන්.ඒ. 
පරීක්ෂණයක් සිදුකිරීම සඳහා යොදාගත හැකි පුද්ගලික භාණ්ඩ හෝ ජීව විද්‍යාත්මක සාධක කිසිවක් ඉතිරිව නැති බැවිනි. ඩී.එන්.ඒ. පරීක්ෂණයක් සඳහා ඩාලිගේ ඇටකටු අවශ්‍ය බැවින් ඔහුගේ දේහය ගොඩගන්නවා හැර වෙනත් විකල්පයක් නැති බව අධිකරණයේ අදහසයි. ඩාලිගේ දේපළ පාලනය කරන ඩාලි පදනමේ ප්‍රකාශකයෙක් පවසා ඇත්තේ මෙම අධිකරණ නියෝගයට විරුද්ධව තමා ඇපෑලක් ඉදිරිපත් කරන බවය. සැල්වදෝර් ඩාලිගේ සිරුර වළ දමා ඇත්තේ ඔහුගේ උපන් ගමෙහි පිහිටි ඔහු විසින් සැලසුම් කරන ලද නෘත්‍යාගාරය හා කෞතුකාගාරය සහිත භුමියෙහිය.
සැල්වදෝර් ඩාලිට අයත් නිවසක් අසල නිවසක කලකට කලකට පෙර තම මව සේවය කළ බව කියන මරියා 1955 වසරේදී ඩාලිගෙන් ඈත්ව වෙනත් ප්‍රදේශයකට ගොස් වෙනත් පුරුෂයෙකු සමග විවාහවූ බව ඇය කියයි. මේ කියන කාලයේදී ඩාලි විවාහවී සිටියේ රුසියානු ජාතික එ‍ලේනා ඩියෙකොනෝවා සමගය. තමා වැඩුණු පසු තම පියා සැල්වදෝර් ඩාලි බව තම මව කිහිපවතාවක්ම පවසා ඇති බව කියන ඇය ඇතැම් අවස්ථාවලදී නෑහිතවතුන් ඉදිරියේ පවා ඒ බව ඇය ප්‍රකාශ කළ ආකාරය විස්තර කරයි. පෙනුමින් තමා පියාට බෙහෙවින් සමාන බව කියන මරියා තමාට අඩු ඔහුගේ සුප්‍රකට උඩු රැවුල පමණක් බව ස්පාඤ්ඤයේ සුප්‍රකට එල් මුන්ඩෝ පුවත්පතට සම්මුඛ සාකච්ඡාවක් ලබාදෙමින් කියයි. ඇය මේ සම්බන්ධයෙන් නඩු කියන්නේ තමාගේ හා බිරියගේ ඇවෑමෙන් පසු තම දේපළ ඩාලි විසින් පවරා ඇති ස්පාඤ්ඤ රජය සමගය. තමා සැල්වදෝර් ඩාලිගේ දියණිය බව ඔප්පුකර ගන්නට මරියාට හැකිවුවහොත් ඇයට ඔහුගේ වාසගම භාවිතා කරන්නට හැකිවන අතරම චිත්‍රවලින් හා දේපළවලින් අඩක්ද හිමිවනු ඇත. නමුත් එසේ කළ හැක්කේ ඇය ඒ වෙනුවෙන් නීත්‍යනුකූල ඉල්ලීමක් කළහොත් පමනකි.
 සැල්වදෝර් ඩාලිගේ දේහය ගොඩගන්නා දිනය නිශ්චිතවම ප්‍රකාශවී නැති අතර මරියාගේ නීතිඥයා කියන්නේ බොහෝදුරට මෙම ජූලි මාසයේදී එය සිදුකරන බවය. චිත්‍ර ශිල්පයට අමතරව ඡායාරූප ගැනීම, මූර්ති නිර්මාණය, ‍ලේඛන කලාව හා ආභරණ නිර්මාණයෙහිද දක්ෂ ඩාලි 1904 වසරේදී උපත ලැබුවේය.
 
නිශානි දිසානායක

යමෙකු අද තබන සටහනක් අනාගතයේ යම් දිනෙක අද තත්ත්වය ගැන පැවැසෙන කදිම තොරතුරු මූලාශ්‍රයක් වීමට ඉඩ ඇත. 19 වන සියවසට අයත් පුරාණ ක්ෂේත්‍ර දින ‍පොතකින් සොබාදහමේ දහමේ විශිෂ්ට නිර්මාණයක් පිළිබඳ තොරතුරු අනාවරණය වී ඇත්තේද ඒ ආකාරයටය. 
මේ හෙළිදරව්ව සියවසකටත් ඈත අතීතයේ නවසීලන්තයේ සුපතළව පැවැති හා රෝස පැහැයෙන් දිදුළමින් පැවැති බව පැවැසෙන මහ උයනක් (Trraces) පිළිබඳවයි. එය ලෝකයේ අටවන මහා පුදුමය සේ සලකනු ලැබ ඇතැයි සඳහන්ය. ලොව දස දෙසින් ජනතාව එය නැරඹීමට පැමිණ ඇති බවද වාර්තා වේ. එහෙත් දැන් මේ අපූරු ස්ථානය අතුරුදන්ව ඇත්තේ තරවේරා ගිනි කන්දක් විදාරණය වීමේ ප්‍රතිඵලයක් වශයෙනි. 
1886 වසරේ ජූනි 10 දා මේ ගිනි කන්ද පුපුරා ගොස් ඇත්තේ ඒ ආසන්නයේ වූ රොටොමාහා විල හා අවට ප්‍රදේශය විනාශ කර අසල ජීවත් වූ 120කගේ ජීවිතද අහිමි කරමිනි. එකල එක්සත් රාජධානිය යුරෝපය හා ඇමෙරිකාව ඇතුළු රටවලින් නැව් පුරා සංචාරකයන් ඇද ගත් සුදු රෝස නිම්නය ගිනි කන්දෙන් නිකුත් වූ අළු වලින් වැසී එය පිහිටා තිබුණේ කොහිදැයි සොයා ගත හැකි සලකුණකුදු ඉතිරි නොකරමින් අතුරුදන්ව ඇත. එකල එහි කිසිදු මිණුම් කටයුත්තක් කර නොතිබූ හෙයින් එය පිහිටි ස්ථානයේ අක්ෂාංශ හා දේශාංශ පිළිබඳ කිසිදු සටහනක් රජය සතුව තිබි නැත. 
වාසනාවකට මෙන් ෆර්ඩිනැන්ඩ් වොන් හොක්ස්ටේට් (1829-1884) නමැති දක්ෂ භූ විද්‍යාඥයාගේ සටහන් හා සිතියම්වල මේ සුදු රෝස මිටියාවත ගැන තොරතුරු තිබි ඇත. හොක්ස්ටේට් සැලකෙන්නේ නවසීලන්ත භූ විද්‍යාවේ පියා ලෙසය. ගිනි කන්ද පිපිරීමත් සමගම සිදු වූ වෙනස්කම් සමග බලන විට ෆර්ඩිනැන්ඩ්ගේ මිණුම්වල ඇත්තේ මී.35ක තරම් අඩුවැඩියකි. 
මේ තොරතුරු අනුව සුදු-රෝස උයන සොයා යන බන් ඇතුළු ගවේෂණ කණ්ඩායම විශ්වාස කරන්නේ එය විත් තෙරෙහි අඩි 30-50 තරම් යට තිබෙන බවයි. එසේම රොබෝ සබ්මැරීනයක් උපයෝගී කරගෙන කරන ලද ගවේෂණයකින් හෙළිව ඇත්තේ මීටර් සිය ගණනක් ඔස්සේ පැතිර පවත්නා උයනේ නටබුන් තවමත් එහි ඇති බවයි.
ඉතා දීප්තිමත් සුදු හා රෝස පැහැති කුඩා කඳු පන්තියකින් සෑදී අති විචිත්‍ර භූ දර්ශනයක් මෙකී පෙදෙසේ තිබි ඇත. එකල මෙය සැලකී ඇත්තේ ලොව විශාලතම සිලිකා සින්ටර නිධිය ලෙසය. සින්ටර යනු ක්වාට්ස් නමැති පාෂාණ වර්ගයට අයත් පාෂාණ විශේෂයකි. මේ පෙදෙසේ වර්ණයට හේතුව ඒ හා බැඳි බැක්ටීරියා ගහණයක් බව පැවැසේ.
මේ මනහර භූමි ප්‍රදේශය යළි මතුකර ගතහොත් ඊට සංචාරක ආකර්ෂණය නම් නොඅඩුව ලැබෙනු ඇතැයි විශ්වාස කෙරේ.
 
ඒ.ජී. දීපිකා ප්‍රියදර්ශනී 
 

ඩයිනසෝරයින් සැලකෙන්නේ මීට වසර මිලියන ගණනකට පෙර මහ ‍පොළොවෙන් වඳ වී ගිය දැවැන්ත සත්ව කොට්ඨාසයක් ලෙසිනි. මෙසොසොයික(Mesozoic) යුගය ලෙස හැඳින්වෙන කාලයේ මහ ‍පොළොවෙහි ආධිපත්‍යය දැරූ ඔවුන් පෘථිවිතලයෙන් අතුගා දමන්නට හේතු වූයේ මෙයට වසර මිලියන 60කට පමණ ඉහත මහ ‍පොළොවෙහි ගැටුණු විශාල ආකාශ වස්තුවක් (උල්කාවක්) නිසා හටගත් අතුරු ප්‍රතිඵල බව පිළිිගත් මතයයි. ඩයිනසෝරයින් මේ ආකාරයෙන් වඳ වී යාමට හේතුව ගැන බොහෝ දෙනකු දැන සිටියත් මේ දැවැන්තයින්  වසර මිලියන ගණනක් තිස්සේ මහ ‍පොළොවෙහි ආධිපත්‍යය හිමිකරගෙන සිටින්නට සමත් වූ හේතු ගැන නිශ්චිත අවබෝධයක් තිබුණේ නැත. දැන් ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයට සම්බන්ධ පර්යේෂකයින් පිරිසක් මේ සම්බන්ධයෙන් අලුත් මතයක් ඉදිරිපත් කිරීමට සමත්ව සිටිති.
ඔවුන් ඉදිරිපත් කර ඇති මතයට අනුව ඩයිනසෝරයින් මේ ආකාරයෙන් මහ ‍පොළොවේ ප්‍රධාන සත්ව කොට්ඨාසය බවට පත්වීමට බලපා ඇත්තේ වසර මිලියන 200කට පමණ පෙර සිදු වූ ඉතා ප්‍රබල ගිනි කඳු පිපිරීම් මාලාවකි. ලෝකය පුරාම ඉතා පුළුල් ආකාරයෙන් පැතිර ගොස් ඇති බව පෙනෙන මෙම ගිනි කඳු පිපිරීම් නිසා වායුගෝලයට අති විශාල වශයෙන් මුදාහැරුණු කාබන් ඩයොක්ඩයිඩ් වැනි වායුන්ගෙන් හටගත් අහිතකර බලපෑම්වල හේතුවෙන් එම යුගයේ වාසය කළ වෙනත් සත්ව කොට්ඨාසවලට ජීවත් වීමට අපහසු තත්ත්වයක් ඇතිව තිබෙන බව මෙම පර්යේෂකයින්ගේ අදහසයි. 
මෙම සිදුවීම් මාලාව සිදුව ඇතැයි ඔවුන් පෙන්වා දෙන්නේ මෙයට වසර මිලියන 200කට පමණ පෙරය. ඒ කාලයේ ඩයිනසෝරයින්ද මහ ‍පොළොවේ ජීවත් වූ නමුත් ඔවුන් කිසියම් ආකාරයකින් මෙම තත්ත්වය තුළ ජීවිතය රැකගන්නට සමත්ව ඇත. ඒ කෙසේදැයි යන්න සම්බන්ධයෙන් පර්යේෂකයින් තුළද පවතින්නේ අවිනිශ්චිත බවකි. කෙසේ වෙතත් ඒ කාලයේ සිටි අනෙකුත් සත්ව විශේෂ මහා පරිමාණයෙන් වඳ කර දැමීමට ඉහත කී ගිනිකඳු පිපිරීම්වලට හැකිව තිබෙන අතර ඩයිනසෝරයින්ට තරගයක් දිය හැකි වෙනත් කිසිදු තරගකාරයෙකු ඉන්පසු නොසිටින්නට ඇති බව ඔවුහු පෙන්වා දෙති. මේ නිසා ඩයිනසෝරයින්ට ජීවත් වීමට තිබූ ඉඩ ප්‍රමාණය වැඩිවීමද, ආහාර සඳහා තරගයක් නොමැතිවීමද ආදී සාධක හේතුවෙන් ඔවුන් මහ ‍පොළොවේ රජවරුන් බවට පත්වන්නට ඇතැයි යන්න ඔවුන්ගේ විශ්වාසයයි.
වසර මිලියන 200කට පෙර ඉහත කී ආකාරයේ ගිනි කඳු පිපිරීම් මාලාවක් සිදු වූ බව සනාථ කිරීමට ලෝරන්ස් පර්සිවෙල් ප්‍රමුඛ මෙම පර්යේෂක කණ්ඩායම යොදා ගන්නේ ඒ කාලයට අයත් බව පිළිගැනෙන පාෂාණ තට්ටුවල තැන්පත්ව ඇති මූලද්‍රව්‍යයකි. ලෝකය පුරා විවිධ ස්ථානවලින් ගත් එවැනි පාෂාණ ස්ථර පරීක්ෂා කිරීමේදී ඔවුන්ට දැක ගන්නට ලැබුණේ ඒවායෙහි විශාල වශයෙන් රසදිය තැන්පත්ව තිබෙන බවයි. රසදිය සැලකෙන්නේ ගිනි කඳු පුපුරා යාමේදී ඉහළට විහිදෙන වායු ධාරාවන් සමග මුසුව නික්මෙන ද්‍රව්‍යයක් වශයෙනි. මෙම රසදිය වායුගෝලයට එක්ව ලොව පුරා විහිදීයන අතර පසුව  කමෛන් කමෛන්  නැවත පෘථිවිය මත පතිතව එහි තැන්පත් වෙයි. විද්‍යාඥයින් කණ්ඩායමට ඒ කාලයට අයත් පාෂාණ ස්ථරවල තිබි හමු වූයේ මෙසේ තැන්පත් වූ රසදිය ලෙස සැලකෙයි. රසදියට අමතරව මෙම පාෂාණ ස්ථරවල විශාල වශයෙන් ලාවා තැන්පත්ව තිබෙනු ද දැකගන්නට ඔවුනට හැකි වී තිබේ. මෙම සාධක දෙකම පෙන්වා දෙන්නේ එම කාලයෙහි මහා පරිමාණයෙන් ගිනි කඳු පුපුරා යාමක් සිදුව ඇති බවය යන්න විද්‍යාඥයින්ගේ විශ්වාසයයි.
මෙම ගිනි කඳු පුපුරා යාම් ඇතැම් අවස්ථාවල එක දිගට දශක ගණනක් පුරා සිදුවන්නට ඇති බවත් සෑම වසර 100ත්, 1000ත් අතර කාලයකට වරක්ම එවැනි පුපුරා යාම් සිදුවන්නට ඇති බවත් ඔවුහු සඳහන් කරති. ඒ කාලයේ ලෝකයේ මහාද්වීප වෙන් වෙන්ව නොපැවැති අතර පැවැතියේ එකම ගොඩබිමක් වශයෙනි. එම ගොඩබිම හඳුන්වන්නේ පැන්ජියාව (Pangea) යනුවෙනි. මෙම පැන්ජියාව බිඳී ගොස් මහාද්වීප වෙන්වීම ආරම්භ වූයේදඉහත කී ආකාරයෙන් කාලයක් තිස්සේ සිදු වූ ගිනිකඳු පුපුරා යාම්වල බලපෑම හේතුවෙන්ය යන්නද පෙන්වා දෙනු ලැබේ.
කෙසේ හෝ වේවා මෙම සිදුවීම් මාලාවෙහි ප්‍රතිඵලයක් ලෙස බොහෝ විශාල සත්්ව කොට්ඨාස පෘථිවියෙන් වඳ වෙමින් යද්දී ඩයිනසෝරයින් පමණක් කුමන ආකාරයකින් හෝ නොනැසී සිටින්නට සමත්ව ඇති බවත්, පසුව ‍පොළෝ තලයේ ආධිපත්‍යය හිමිකර ගන්නට ඇති බවත් මෙම පර්යේෂක කණ්ඩායම ඉදිරිපත් කරන මතයයි. එයින් පසු, මීට වසර මිලියන 60 කට පෙර උල්කාවක් පෘථිවියෙහි ගැටීමෙන් ඇති වූ තත්ත්වයන් මත ඔවුන් වඳ වී යනතෙක්ම මහ ‍පොළොවේ රජ කිරීමට ඔවුන්ට හැකි වී තිබේ. කලින් කී ලෙස ගිනි කඳු පුපුරා යද්දී අනෙක් සතුන්ට මෙන් ඩයිනසෝරයින්ට තර්ජනයක් ඇති නොවූයේ මන්ද යන්න සොයා ගැනීම විද්‍යාඥයින්ගේ මීළඟ පියවර වන්නට බොහෝ දුරට ඉඩ ඇති බව කියැවේ.
 
කිත්සිරි මල්වත්ත 

Page 4 of 6

IMAGE

මෙතේ බුදු පදවිය ලබන්නේ බැංකු කළමණාකරුවෙක්ද?

IMAGE 2017 Nov 17 12:13
ඔහු මධ්‍යම පළාතේ වාණිජ බැංකුවක කළමණාකරුවෙකි.  ඔහුගේ වයස අවුරුදු 45 ක් පමණ වේ. ක්‍රිස්තියානි...
Views - 1277

බොහෝ කලා කරුවන් තමන්ගේ පවුල් ජීවිත ගැන කියන්නේ බොරු

IMAGE 2017 Nov 16 11:31
වත්මන් ශ්‍රී ලාංකීය ජන සමාජයේ දික්කසාද වීම් සහ පවුල් අර්බුද පැන නැගීම සම්බන්ධයෙන් කලා...
Views - 2127

මුහුණුපොත ගැන ඔබ මෙතෙක් නෑසූ කතා

IMAGE 2017 Nov 16 09:44
‘ෆේස්බුක්’ කියන්නේ නම කියූ මණින් අද උපන් දරුවාගේ සිට සිහිකල්පනාවක් ඇති මහල්ලා දක්වාම...
Views - 2075

හැංගිමුත්තම් කරන අතරේ ඇඳ යටදී දැරියට අතවර කරලා

IMAGE 2017 Nov 15 09:26
හැංගි මුත්තම් සෙල්ලමක් අතරදී වයස අවුරුදු 10 ක වන පාසල් සිසුවියක දුෂණය කළ බව කියන 16 හැවිරිදි...
Views - 4910

ලිංගික උත්තේජන පෙති අකල්මරණවලට හේතුවක් ද?

IMAGE 2017 Nov 14 10:46
පුරුෂ ලිංගික උද්දීපනය සඳහා ගනු ලබන පෙති වර්ග වලින් අකල් මරණ සිදුවන බවට සමාජය පුරා පොදු...
Views - 4540

වික්ටර්ට අපහාස වෙන බව දන්නවා නම් මම හොඳ කෙළියක් කරනවා

IMAGE 2017 Nov 13 13:02
සිනමාවේ හැමදාමත් දුෂ්ටකම් කරන විල්සන් කරූ පසුගිය දවස්වල ඉරාජ්ගේ මියුසික් වීඩියෝ එකක රඟපාලා...
Views - 7324

Please publish modules in offcanvas position.

DMC Firewall is developed by Dean Marshall Consultancy Ltd