lakbima.lk

මෛත්‍රී කියවිලි

ජනාධිපති ඇඳෙන් නැගිට ඈනුමක් ඇර බිත්ති කැලැන්ඩරය දෙස බැලුවේය. අනතුරුව ඔළුව කැසූ ඔහු උරහිසෙන් හොල්ලා ජයන්තිව කීද්දුවේය.
අද අපි මොන රටටද යන්නේ නෝනේ ඔහු ඇසුවේ දින‍පොතද පෙරළමිනි.

ඇයි අනේ අපි ඊයෙනේ ටිම්බක්ටුවෙ ඉඳලා ආවේ ජයන්ති පිළිතුරු දුන්නාය. ආයෙත් හෙට යනවනෙ බලුකිස්තානේ අදවත් අපේ රට තොට ‍පොඩ්ඩක් බලාගන්නකෝ
ජනාධිපති කම්මුලට අත තියා ගත්තේය.

පිටරටකට ගිහින් ආචාර පෙළපාලියක් පිළිගන්නකොට තමයි මම ජනාධිපති කෙනෙක්ය කියලා හැඟීමක් එන්නේ ඔහු කියා සිටියේය. මෙහේ ඉන්නකොට හිතන්නෙම දොරටුපාලයා මට බක බක ගාල හිනාවෙන කියලා.
ජයන්ති ඒ අසා මුහුණ හකුළා ගත්තාය.

ඒ වුණාට දැන් මේ නිදහස් උත්සවේ දවසෙත් මුළු රටම ඉස්සරහ ඔයා හිටියේ මහ රජ්ජුරුවො වගේ ඈ කියා සිටියාය.
ජනාධිපති ඊට අවඥාවෙන් සිනාසුණේය.
ඒ වුණාට උන් නිදහස් දා යටි හිතින් හිතන්න ඇත්තේ මේ අපි මුගෙන් නිදහස් වෙන අවුරුද්දනේ කියලයි ඔහු කියා සිටියේය.

එහෙනම් ඔයා අද මොනවද කරන්න ඉන්නේ?
ජනාධිපතිගේ මුහුණට හොර හිනාවක් ආවේය.
මිත්‍රවරුනි මම සෞඛ්‍ය ඇමැති කාලෙම පටන් ගත්ත මත්ද්‍රව්‍ය විරෝධී ව්‍යාපාරේ නිසයි අද මේ තෝරු මෝරුත් අහුවෙන්නෙ. ඒත් මේ වෙනකොට සමහරු හිටිය නම් හෙලිකොප්ටරෙන් ඩුබායි ගිහින් මධුෂ්ව බදාගන්න හැටි බලන්න තිබුණා.

ජයන්ති කලබල වී ඇඳෙන් නැගිට්ටාය.
තාමත් මහින්ද මහත්තයට ඇනුම්පද කියන්නෙ ඔයාට පිස්සුද අනේ?
ජනාධිපති නළලට වැරෙන් පහරක් ගසා ගත්තේය.
මට මේ දින 51න් පස්සේ දෙකොණ පැටලිලානේ තියෙන්නේ නෝනෙ. රනිල්ට කියල ගහන ඒවා ඔක්කොම ආපහු ඇවිල්ලා වදින්නෙ අපි අපිටමනෙ.

ඒ මොනවද ඒ
ජාතික ආණ්ඩුවක් අටවගෙන ඇමතිකම් වැඩිකර ගන්නවට මම විරුද්ධයි කියල කටගත්ත ගමන් මට මතක් වුණානෙ මමත් ජාතික ආණ්ඩුවක් පිහිටවල මට විරුද්ධව වැඩකරපු හැම එකාටම ඇමතිකම් දීපු හැටි. ලැජ්ජාවෙ බෑ නෝනෙ
ඒකට ඔයා වෙන ඒව නැතුව මරණීය දණ්ඩනය ගැන විතරක් කතා කරා නම් හරි මහත්තයා ජයන්ති කියා සිටියාය. ඔයා ජනාධිපති වුණ ගමන් එක්සත් ජාතීන්ගෙ සංවිධානෙට ගිහින් මරණ දඬුවමට විරුද්ධව ඡන්දෙ දුන්න කියලා දැන් කාටවත් මතක නෑනෙ

ජනාධිපති එවර හිකි හිකිගා සිනාසුණේය.
ඔව්, මාස දෙකෙන් මරණ දඬුවම ක්‍රියාත්මක කරනව කිව්වට හැමෝම හෙල්ලිලා ගියානෙ ඔහු සතුටින් කියා සිටියේය. මම ‍පොරොන්දුවක් දුන්නොත් ආයෙ ඒක අකුරටම ක්‍රියාත්මක කරනව කියලා මුළු රටම දන්නවනෙ, ඒකයි.

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.