lakbima.lk

ජාත්‍යන්තර පාරිභෝගික දිනය සමරන්න පාරිභෝගික අධිකාරිය ගමට යයි

තරඟකාරී වෙළෙඳපොළ තුළ පාරිභෝගික අයිතිය සුරක්ෂිත කර ගන්නා ආකාරය පිළිබඳව ගමින් ගමට ගොස් පාරිභෝගිකයන් දැනුවත් කිරීමේ වැඩසටහනක් ජාත්‍යන්තර පාරිභෝගික දිනයට සමගාමීව කි‍්‍රයාවට නංවන බව පාරිභෝගික කටයුතු අධිකාරියේ සභාපති ආචාර්යය ලලිත් සෙනවීර මහතා පවසයි.

මාර්තු 15 දිනට යෙදෙන ජාත්‍යන්තර පාරිභෝගික අයිතීන් පිළිබඳ දිනයේ මෙවර තේමාව වන්නේ ‘‘විශ්වාසදායී සුහුරු නිෂ්පාදන’’ යන්නය. කර්මාන්ත හා වාණිජ කටයුතු සහ දිගුකාලීනව අවතැන් වූ පුද්ගලයන් නැවත පදිංචි කිරීම සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය රිෂාඞ් බදියුදීන් මැතිතුමාගේ උපදෙස් මත, මෙම වැඩසටහන කි‍්‍රයාත්මක කෙරේ. තරඟකාරී වෙළෙඳපොළ තුළ පාරිභෝගික අයිතිය සුරක්ෂිත කර ගන්නේ කෙසේ ද යන්න පිළිබඳවත්, ‘‘ස්මාට් නිෂ්පාදන’’ පිළිබඳවත් ජනතාව දැනුවත් කිරීම මෙහි අරමුණයි. ඒ අනුව පාරිභෝගිකයන් විසින් මිලදී ගන්නා විද්යුත්, විදුලි උපකරණ, ඩිජිටල් උපකරණ සහ උපාංග සඳහා අවම මාස 06ක වගකීමක් ලබා ගැනීම, එකී වගකීම සිංහල, දෙමළ, ඉංගී‍්‍රසි භාෂා ති‍්‍රත්වයෙන්ම මුද්‍රණය කර තිබේද යන්න විමසිලිමත්වීම, භාණ්ඩයේ නිෂ්පාදිත, අවසන් දින සහ අත්‍යාවශ්‍ය තොරතුරු වෙනස් කර ඇති සහ විකෘති කරන ලද උපකරණ උපාංග මිලදී ගැනීමෙන් වළකින ලෙස පාරිභෝගිකයින් දැනුවත් කිරීම, ස්මාට් උපකරණ (ජංගම දුරකථන, ටැබ්, ලැප්ටොප් ඇතුළු සුහුරු (ස්මාට්) නිෂ්පාදන) මිලදී ගැනීමේදී අනුගමනය කළ යුතු කි‍්‍රයා මාර්ග, ඔන්ලයින් ක‍්‍රමයට උපකරණ උපාංග මිලදී ගැනීමේදී පාරිභෝගික ආරක්ෂාව සැලසෙන්නේ කෙසේ ද යන්න පිළිබඳව දැනුවත් කිරීම මෙහිදී සිදු කෙරේ. මාර්තු 15 දිනට යෙදෙන ජාත්‍යන්තර පාරිභෝගික දිනයට සමගාමීව ඇරඹෙන මෙම වැඩසටහන මාර්තු 31 දක්වා කි‍්‍රයාත්මක කිරීමට සැලසුම් කර ඇතැයි පාරිභෝගික කටයුතු අධිකාරියේ සභාපති ලලිත් සෙනවීර මහතා සඳහන් කළේය.

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.