lakbima.lk

උපාධිධාරීන් 5,000ක් ගුරුවරුන් ලෙස අධ්‍යාපන පද්ධතියට

 
එළඹෙන අගෝස්තු පළමුවැනි දා රජය උපාධිධාරීන් 15,000කට රැකියා ලබාදෙන බවත්,ඔවුන් අතරින් 5,000ක පිරිසක් ගුරුවරුන් ලෙස පාසල් අධ්‍යාපන පද්ධතියට එක්කරගැනීමට කටයුතු කරන බවත් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.

 ප්‍රාථමික ශ්‍රේණි පාසල් දරුවන්ට නොමිළේ කිරි වීදුරුවක් ලබාදීම වෙනුවෙන් පසුගිය දා අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවති ජාතික උත්සව අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා මේ අදහස් පළ ‍කළේය.  
 

මෙහි දී අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ, ගතවූ වසර කිහිපය ඇතුළත අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ ප්‍රගතිශීලී ක්‍රියාමාර්ග රැසක් ක්‍රියාත්මක කිරීමට හැකි වූ බවයි. ළඟම පාසල හොඳම පාසල සංවර්ධන වැඩසටහන මෙන් ම, සුරක්ෂා රක්ෂණ වැඩපිළිවෙළ, 13 වසරක සහතික කළ අධ්‍යාපන වැඩසටහන වැනි මානව සම්පත් සංවර්ධනයට අදාළ ව සුවිශේෂ ක්‍රියාමාර්ග රැසක් හඳුන්වාදෙන ලද බව ද අමාත්‍යවරයා සඳහන් කළේ ය.

තවදුරටත් කරුණු දැක් වූ අමාත්‍යවරයා, “අපේ රජය බලයට පත්වෙනකොට මේ රටේ පාසල් 10,000න් විදුලිය තිබුණෙ 60%කට විතරයි. අද වනවිට පාසල්වලින් 98%කට විදුලිය දෙන්න අපට පුළුවන්කම ලැබුණා. ජංගම විද්‍යාගාර 3,000ක් අපි පාසල්වලට ලබාදුන්නා. පාසල්වලට වැසිකිළි ඒකක  40,000ක් අලුතින් ලබාදුන්නා. මේ ආදී වශයෙන් විශාල භෞතික සම්පත් ප්‍රමාණයක් අපි ලබාදුන්නා”... යැයි ද සඳහන් කළේ ය.

බොහෝ දරුවන් පාසලට පැමිණෙන්නේ උදෑසන ආහාර වේල නොගෙන බවත්, විශේෂයෙන් ම දරුවන්ගේ පෝෂණයට මෙය ඉතා බරපතල ප්‍රශ්නයක් ව පවතින බව ද, අධ්‍යාපන අමාත්‍යාංශය විසින් දුෂ්කර පාසල්වල පෝෂණ අවශ්‍යතා සහිත දරුවන්ට නොමිලේ ආහාර වේලක් ලබාදීමේ වැඩසටහන මේ වනවිටත් ක්‍රියාවට නංවා ඇති බව ද, ප්‍රාථමික ශ්‍රේණි දරුවන්ට දියර කිරි වීදුරුවක් ලබාදීමේ මෙම ජාතික වැඩපිළිවෙළ ඉතා හොඳ ක්‍රියාමාර්ගයක් ලෙස අගය කරන බව ද  මෙහි දී වැඩිදුරටත් කරුණු දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේය.

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Explore More

Please publish modules in offcanvas position.