lakbima.lk

කෝටි දෙකේ වාසනාව හොරට ගන්න හැදූ කුරුඳු මුදලාලි

ලොතරැයි පතක් මිලදී ගන්නා ඕනෑම අයකුගේ සිහිනය ත්‍යාගයක් හෝ මුදලක් දිනා ගැනීමය. බැරිවෙලාවත් ඇදුණොත් ගොඩ යන සිතුවිල්ල ඕනෑම කෙනකුට ඇතිවන්නේ නිරායාසයෙනි. එසේ තමුන් ලොතරැයිපත් මිලදී ගන්නා අතළොස්සකට පමණක් ජයග්‍රහණය හිමිවන අතර තවත් සමහරු කූට උපක්‍රම යොදා ජයග්‍රහණ හිමිකර ගැනීමට උත්සාහ කරන අවස්ථාද විරල නොවේ.

ජාතික ලොතරැයි මණ්ඩලය මගින් දිනුම් අදින මහජන සම්පතේ කාණ්ඩ අංක 3800 යටතේ ඉකුත් නොවැම්බර් මස 29 වෙනි දින දිනුම් අදින ලද ලොතරැයියේ මුල් ත්‍යාගය වූ රුපියල් දෙකෝටි විසිහය ලක්ෂ තිස්එක්දහස් හත්සියයක මුදල දිනුම් ඇදී තිබුණේ  තවත් වාසනාවන්ත ජයග්‍රාහකයකු බිහි කරමිනි.

එකී ත්‍යාගය මුදල ලබා ගැනීම සඳහා ඇල්පිටියේ පදිංචි කුරුඳු ව්‍යාපාරිකයකු ඉකුත් දෙසැම්බර් මස ජාතික ලොතරැයි මණ්ඩලයේ සභාපතිවරයා හමුවට පැමිණියේය.  නමුත් ඔහු එදින අදාළ ජයග්‍රාහී ටිකට්පත රැගෙන පැමිණ නොතිබුණි.

එබැවින් ඔහු එදින හිස් අතින්ම ආපසු ගියේය. සිය සේවකයකු සමග එසේ සිව් වතාවක් ඔහු ත්‍යාග මුදල ගැනීමට කොළඹට පැමිණි නමුදු ඒ එක් අවස්ථාවකවත් ඔහු ජයග්‍රාහී ටිකට්පත රැගෙනවිත් නොතිබුණි. මේ අතර ඔහු ටිකට්පතද රැගෙන පස්වැනි වතාවට පැමිණියේය. ජාතික ලොතරැයි මණ්ඩලය විසින් මෙම ටිකට්පත පරීක්ෂාවට ලක් කිරීමේදී එහි ජයග්‍රාහී අංක තුනක් වෙනස්කර, ටිකට්පතේ දිනයද වෙනස් කර, කාණ්ඩ අංකයද වෙනස් කර ඇති බව නිරීක්ෂණය විය. ඒ අනුව මෙය ජයග්‍රාහී බව පෙනෙන පරිදි ව්‍යාජ ලෙස සැකසූ ටිකට්පතක් බව ලොතරැයි මණ්ඩලයේ නිලධාරීන්ට තේරුම් යාමට වැඩි වේලාවක් ගතනොවුණි. එහි නිලධාරියකු ඉකුත් 24 වෙනි දින මේ පිළිබඳ කොළඹ වංචා විමර්ශන අංශය වෙත පැමිණිලි කර සිටියේ ඉන් අනතුරුවය. මෙදින මහජන සම්පතට අදාළ මුල් ත්‍යාගය හිමිවී තිබුණු ටිකට්පත අලෙවි වී තිබුණේ හොරණ ප්‍රදේශයෙනි.

මෙකී පැමිණිල්ල සම්බන්ධයෙන් බස්නාහිර පළාත භාර ‍‍‍ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය ‍පොලිස්පති නන්දන මුණසිංහ හා බස්නාහිර පළාත භාර නියෝජ්‍ය ‍පොලිස්පති ලලිත් පතිනායකගේ අධීක්ෂණයෙන් කොළඹ වංචා විමර්ශන කොට්ඨාසයේ අධ්‍යක්ෂ ‍පොලිස් අධිකාරි රොහාන් ප්‍රේමරත්නගේ හා නියෝජ්‍ය අධ්‍යක්ෂිකා කාන්තා ‍පොලිස් අධිකාරි රේණුකා ජයසුන්දර ගේ උපදෙස් මත එහි ස්ථානාධිපති ප්‍රධාන ‍පොලිස් පරීක්ෂක ඇන්ජලෝ ප්‍රනාන්දුගේ මෙහෙයවීමෙන් කොළඹ වංචා විමර්ශන කොට්ඨාසයේ ඒකක 04 හි ස්ථානාධිපති ‍පොලිස් පරීක්ෂක   මනෝහරන් කුඩාගොඩගේ හා ‍පොලිස් සැරයන් (6679) ප්‍රනාන්දු විසින් විමර්ශන ආරම්භ කරනු ලැබිය.

ඒ අනුව පළමුව ත්‍යාග මුදල රැගෙන යාමට පැමිණි කුරුඳු ව්‍යාපාරිකයා අත්අඩංගුවට ගැනුණි. ඔහු ප්‍රකාශ කරන්නට වූයේ තමන්ගේ සේවකයකු මෙකී ටිකට්පත තමාට ලබාදී මෙයට මුල් දිනුම හිමිවී ඇති බවත්, රැගෙන ගොස් මුදල් ලබා ගන්නා ලෙසත් පැවැසු බවය. තමන් මුදල් ලබා ගැනීමට ගියේ ඒ අනුව බවද හෙතෙම ප්‍රකාශ කළෝය.

ඔහුගේ ප්‍රකාශයන් මත එකී සේවකයා වූ අම්බලන්ගොඩ පදිංචි හතළිස් දෙහැවිරිදි පුද්ගලයෙකු ඉකුත් 31 දා කොළඹ වංචා විමර්ශන කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගත්තේය. මෙම සේවකයා     පළමුව විවිධ දේ ‍පොලීසියට ප්‍රකාශ කර සිටියත් පසුව ඔහු පවසන්නට වූයේ තමන්ට මෙසේ ව්‍යාජ ලෙස ජයග්‍රාහි ලොතරැයියක් සැකසීමට සිතුන බවය. මෙම මුදල් කුරුඳු ව්‍යාපාරිකයා හා බෙදා ගැනීමට එකඟ වී ඔවුන් මෙම ටිකට්පත වෙනස් කළ බවද ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ.

ඒ අනුව අත්අඩංගුවට ගත් කුරුඳු ව්‍යාපාරිකයාත් සේවකයාත් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු මේ මස 16 වෙනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

ඕනෑම ලොතරැයිපතක් දිනුම් ඇදී ජයග්‍රහණය වීමෙන් පසු ජයග්‍රාහකයාට මුදල් ලබාදීමට පෙර ජාතික ලොතරැයි මණ්ඩලය විසින් එකී ටිකට්පත රජයේ රස පරීක්ෂක වෙත යවා එහි නිවැරදි භාවය තහවුරු කර ගන්නා බැවින් මෙලෙස වංචාවන් සිදුකිරීම ඵල රහිත ක්‍රියාවක් බව මහජනතාව අවබෝධ කරගත යුතුය. එබැවින් එවැනි කූට උපක්‍රම මගින්ද දිනුම් ලබා ගැනීමට තැත් කර නීතියේ රැහැනට හසුනොවන ලෙස කොළඹ වංචා විමර්ශන කොට්ඨාසය මහජනතාවට දන්වා සිටියි.

ශානිකා මාධවී

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.