lakbima.lk

ඉතිහාසයේ මුල්වරට පාප් වහන්සේ අරාබියට


ෆ්‍රැන්සිස් පාප් වහන්සේ පසුගිය සතියේ, අරාබිකරයේ රාජ්‍යයක් වන එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සංචාරයක නිරත වූ අතර එය ඉතිහාසගත වන අවස්ථාවක් වූයේය. එයට හේතු වූයේ ඉතිහාසයේ කිසිදු දිනෙක පාප් වහන්සේ කෙනෙකු අරාබි රටක සංචාරය කර නොතිබිමයි. ඉස්ලාම් අන්තවාදීන් ක්‍රිස්තියානි ආගමිකයන් පිළිබඳ දැඩි පසමිතුරු ආකල්පයකින් කටයුතු කරමින් සිටින කාලයක ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ මෙම සංචාරය විශේෂ වැදගත්කමක් ගන්නා බව අමුතුවෙන් කිව යුතු නොවේ. බොහෝ නිරීක්ෂකයන් මෙය සලකන්නේ  මෙම කලාපයේ ආගමික සහජීවනයට අදාළ අතිශය වැදගත්කමකින් යුතු සිදුවීමක් වශයෙනි.

එක්සත් අරාබි එමීර් රාජ්‍යය යනු ස්වදේශීය ජනතාවට වඩා විදේශයන්හි සිට පැමිණ සිටින සංක්‍රමණිකයන් සිටින රාජ්‍යයකි. එරට සිටින ජනයාගෙන් සියයට 85 කට වැඩි පිරිසක් විදේශිකයන්ය. එරට ජනගහනය මිලියන 9.5ක් වන අතර ස්වදේශිකයන් සිටින්නේ මිලියන 1.4 ක් පමණි. සංක්‍රමණිකයන් බොහෝ දෙනා රැකියා ආදිය සඳහා එරටට පැමිණ සිටින්නෝ වෙති. මෙම විදේශිකයන් අතර ක්‍රිස්තියානි ආගමිකයෝද විශාල පිරිසක් සිටිති. මොවුන් වැඩි දෙනා පිලිපීනය, ඉන්දියාව වැනි ආසියානු රටවලින් එහි පැමිණ සිටින අයයි. මෙරට  සිටින කතෝලිකයන් ගණන ලක්ෂ 10 කට ආසන්න බව පැවැසේ. පාප් වහන්සේගේ මෙම සංචාරය සිදු වූයේ මෙවැනි පසුබිමක් තුළය.

එක්සත් අරාබි එමීර් රාජ්‍යය අරාබිකරයේ වෙසෙන විවිධ ජන වර්ගයන්, විවිධ ආගමිකයන් අතර කිසියම් සහජීවනයක් ඇති කිරීමට වෑයම් කරන රටක් ලෙස ඉදිරියට යාමට උත්සාහ ගනිමින් සිටින බව පෙනේ. පාප් වහන්සේගේ සංචාරය සඳහා ඇරයුම් කරන ලද්දේද අබුඩාබිහි ඔටුන්න හිමි කුමරු වන මොහොමඩ් බින් සයෙඩ් අල් නහ්යාන් විසිනි. ඔහු පාප් වහන්සේ ට ආරාධනා කළේ එරට පැවැත්වෙන අන්තර් ආගමික සමුළුවකට සහභාගිවීම සඳහාය.

එයට අමතරව දැවැන්ත ක්‍රීඩාංගණයක පැවැත්වුණු විශාල දේව මෙහෙයක් සඳහාද උන්වහන්සේ සහභාගි වූ අතර මෙම දේව මෙහෙය සඳහා ලක්ෂ ගණනක කතෝලික බැතිමතුන් පිරිසක් එක් වූ බැව් මාධ්‍ය වාර්තා කර තිබිණි. වෙනත් ආගමක් නියෝජනය කරමින් අරාබිකරය තුළ පැවැති දැවැන්තම ආගමික උත්සවය මෙය ලෙස සැලකේ. මුස්ලිම් ජාතිකයන් පවා 4,000 ක් පමණ මෙයට සහභාගි වී තිබිණැයි සංවිධායකවරුන් මාධ්‍යය වෙත අනාවරණය කර තිබිණි.

ප්‍රධාන පෙළේ ඉස්ලාම් ආගමික නායකයන් සමග එක්ව කතෝලික සහ මුස්ලිම් පල්ලි දෙකක් සඳහා මුල් ගල තැබිමද පාප් වහන්සේගේ මෙම සංචාරය අතරතුර සිදු විය. මෙම ආගමික නායකයන් ජාත්‍යන්තර ගිවිසුමක් සඳහා අත්සන් කිරීමද සංචාරය අතර සිදු වූ තවත් විශේෂ කටයුත්තක් වූයේය. මෙම ගිවිසුම ලොව පුරා විසිර සිටින කතෝලික සහ ඉස්ලාම් ආගමිකයන් අතර සාමය, සහයෝගිතාව, අනේ‍යාන්‍ය ගරුත්වය වර්ධනය කිරීම අරමුණු කරගත් ගිවිසුමක් ලෙස සැලකේ.

පාප් වහන්සේ එක්සත් අරාබි එමීර් රාජ්‍යය හඳුන්වා ඇත්තේ සහජීවනය, සහෝදරත්වය, විවිධ ශිෂ්ටාචාරයන් සහ සංස්කෘතීන් එකිනෙක මුණ ගැසීම පිළිබිඹු කරන ආදර්ශමත් දේශයක් වශයෙනි. එමීර් රාජ්‍යය 2019 වසර හඳුන්වා ඇත්තේ 'අන්‍යයන් ඉවසීම' තේමාව කොටගත් වර්ෂයක් වශයෙනි. සහජීවනය සම්බන්ධයෙන් පුළුල් මට්ටමින්    කටයුතු කිරීම සඳහා වෙනම අමාත්‍යංශයක් මෙන්ම තවත් වෙනම ආයතනයක්ද පිහිටුවීමට ඔවුන් පියවර ගෙන තිබේ. ක්‍රිස්තියානි සහ ඉස්ලාම් ආගමිකයන් අතර ඉතිහාසයේ දීර්ඝ කාලයක් පුරා දරුණු ගැටුම් පැවැති පසුබිමක් තුළ මෙය බෙහෙවින් කැපී පෙනෙන ක්‍රියාදාමයක් ලෙස සැලකිය හැකි වෙයි.

කෙසේ වෙතත්, එක්සත් අරාබි එමීර් රාජ්‍යය මේ ආකාරයෙන් 'මානුෂික මුහුණුවරක්' පෙන්වමින් සිටියදී තවත් අතකින් ඊට පටහැනි ආකාරයෙන් හැසිරෙමින් සිටින බවටද මේ වනවිට චෝදනා එල්ල වෙමින් තිබේ. ඒ තවත් අරාබි රාජ්‍යයක් වන යේමනයේ මේ වනවිට පවතින දරුණු යුද්ධය හා සම්බන්ධ තත්ත්වයන් හේතුවෙනි. යේමනයේ මේ වෙද්දී පවතින්නේ සිවිල් යුද තත්ත්වයකි. එහි නිල පාලකයා ලෙස පිළිගැනෙන ජනාධිපති අබ්ද්‍රාබු මන්සූර් හාඩිගේ පාර්ශ්වය සහ ඔහුගේ පාලනයට එරෙහිව සටන් කරන කැරලිකරුවන් අතර බිහිසුණු යුද්ධයක් පවතී. මෙහිදී හාඩිගේ පාර්ශ්වයට සෞදි අරාබිය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය වැනි රටවලින් හමුදා සහය ලැබේ. යේමනයේ මෙම ඛිෙදවාචකය සැලකෙන්නේ මෑත ඉතිහාසයේ දරුණුම මානුෂීය අර්බුදය වශයෙනි.

එක්සත් අරාබි එමීර් රාජ්‍යය මෙතරම් කුරිරු යුද්ධයකට දායක වෙමින් සිටියදී අනෙක් අතින් මානුෂික මුහුණුවරක් පෙන්වීම හාස්‍යයට කරුණක් ලෙස සලකන පාර්ශ්වද නැතුවා නොවේ. මෙවැනි රටක සංචාරය කිරීම ගැන පාප් වහන්සේට පවා විවේචන එල්ල වී තිබෙනු පසුගිය දිනවල දැකිය හැකි විය. නමුත් සංචාරයට පෙර මෙන්ම සංචාරය අතරතුරද පාප් වහන්සේත්  යේමන යුද්ධය විවේචනය කරමින් අදහස් දක්වා තිබිණි. යේමනයේ පවතින තත්ත්වය විසඳීම සඳහා යුද්ධය වෙනුවට වෙනත් විකල්ප මාර්ගයක් සොයා ගත යුතුව ඇති බව උන්වහන්සේගේ අදහස වන බැව් පෙනිණි. යේමන වැසියන් විඳිමින් සිටින දුක් වේදනා ගැන මෙන්ම කුසගින්නේ මිය යන දරුවන්ගේ ඛිෙදවාචකය ගැනද උන්වහන්සේ අදහස් දක්වා තිබෙනු මාධ්‍ය හරහා වාර්තා විය.

සාමාන්‍යයෙන් පාප් වහන්සේ කෙනෙකු තමුන් සංචාරය කරන රාජ්‍යයක කටයුතු විවේචනය වන ආකාරයෙන් අදාළ සංචාරය අතරතුර කතා නොකරන නමුත් ෆ්‍රැන්සිස් පාප් වහන්සේ එම 'තහංචිය' බිඳ දමා ඇති බවද ඇතැම් නිරීක්ෂකයන් සඳහන් කර තිබෙනු දක්නට ලැබිණි.

කිත්සිරි මල්වත්ත

 

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.