lakbima.lk

අසනීපව රෝහල් ගත කරන ඔබේ රෝගියා පිළිබඳවයි මේ උපදෙස්

“මට නම් කවදාවත් අසාධ්‍ය ලෙඩක් නම් හැදෙන එක්ක නැතැයි කිසිවෙකුට සපථ කළ නොහැකිය. කිසියම් දිනෙක කාට වුවද එබඳු රෝගයක් වැලඳෙන්නට ඕනෑ තරම් හැකියාව තිබෙන බැවිනි.
මෙලොව උපන් අපි සියල්ලෝම කවදා හෝ දිනයක මිය යා යුතුමය. එලෙස අපේ මරණය සිදුවන්නට යම් අසාධ්‍ය රෝගයක් බොහෝ විට හේතු විය හැකිය.

එහෙත් එලෙස වැලඳෙන පළමු අසාධ්‍ය  රෝගය හේතුවෙන්ම සියල්ලන්ම මිය යනවා නම් රටකට රෝහල් පද්ධතික් අවශ්‍ය වන්නේද නැත. රෝහල් නඩත්තුව සඳහා රජයක් දරන අතිවිශාල ධනස්කන්ධයත්, පුහුණු කාර්ය මණ්ඩලයක අගනා කාලයත් එසේනම් නිරපරාදේය.

මිනිස් ශරීරය ස්වභාව ධර්මයේ අපූරු නිර්මාණයක් මිස එය අපට අවශ්‍ය ආකාරයට අප විසින් නිර්මාණය කර ගන්නා ලද්දක් නොවේ. එලෙසම ඒ ශරීරය හැමදාටම එකම ආකාරයකට පවතින්නේද නැත. බාහිරින් අපට දැක ගත හැකි ආකාරයට වියපත් වන පරිදි අභ්‍යන්තරයෙන්ද වියපත් වීම එහි ස්වභාවයයි.

යන්ත්‍රයක එක් ඇණයක් බුරුල් වූ පමණින් එම යන්ත්‍රයට කඩා වැටෙන්නට අපි කිසිවිට ඉඩ නොදෙමු. එහෙත් එලෙස ශරීර අභ්‍යන්තරයේ එකක් මත එකක් කඩා වැටෙද්දි ඒ කිසිවක් නොතකා ජීවිතය ඇදගෙන යෑමේ අවසානය වන්නේ අසාධ්‍ය රෝගි තත්ත්වයකට ගොදුරු වීම වන්නට බොහෝ විට ඉඩ තිබේ.

සිහිසුන්වීමත් හුස්ම ගැනීම අපහසු වීමත් ප්‍රධානතම අසාධ්‍ය රෝගි තත්ත්වයන් දෙකයි. අප ජීවත් වන්නේ අපේ මොළය තුළයි. මොළය යහපත් තත්ත්වයෙන් පවත්වාගෙන යෑමට නම් ඊට හොඳ නඩත්තුවක් අවශ්‍යයි.
මොළයේ නඩත්තුව තුළ සිදුවන්නේ දිගටම ඊට ලැබෙන  රුධිර සැපයුමට පින්සිදු වන්නටය.  මොළයට රුධිරය ලැබුණද ඒ තුළ දිය වී ඔක්සිජන් හා සීනි නිසි පරිදි නොලැබුණහොත් හෝ වෙනත් වසක් හෝ විෂක් මොළය වෙත පැමිණිය හොත් අපේ මුළු ශරීරයම කඩා වැටේ. එවැනි විසකට හොඳම උදාහරණය මත් වතුරයි. මත් වතුර නිසා හට ගන්න නිද්‍රාශීලී බව තව තවත් ගැඹුරට විහිදී ගිය තැන සිහිසුන් වන තත්ත්වකට පත්වේ. රෝග   ලක්ෂණ අනුව  රුධිර  පරීක්ෂණ සිදුකරමින් කුමන හේතුවක් නිසා එසේ වූවාදැයි සොයා ගන්නට දක්ෂ වෛද්‍යවරයෙකුට බොහෝ විට හැකියාව තිබේ. එහෙත් කවර හේතුවකින් එසේ සිදුවූවාදැයි කිසිසේත්ම සොයා ගන්නට නොහැකි වන අවස්ථාද කලාතුරකින් උදා වෙයි.

එවැනි සමහර රෝග සඳහා ඉතා කඩිනම් ප්‍රතිකාර අවශ්‍ය වුවද තවත් සමහර රෝග සුව වන්නේ ඉබේමය. කිසියම් හේතුවක් නිසා රෝගියා සිහිසුන් වූ විටදි ඥාතීන් අතින් සිදුවන වැරදි හේතුවෙන් රෝගියා මිය යන්නට වුවද කොතෙකුත් හැකියාව තිබේ. සිහිසුන් වූ රෝගියෙකුට කිසිවිට කිසිවක් පෙවීම නොකළ යුතු අතර මුඛයට එකතු වන සියල්ල පිටතට වැගිරි යන ආකාරයට රෝගියා ඇලයකට හරවා තැබිමටද කල්පනාකාරී විය යුතුය. ඊට හේතුව රෝගියා හුස්ම ගන්නේද උගුරෙන් පහළට වන නිසා නොදැනුවත්කමෙන් ‍පොවන යමක් හුස්ම මාර්ගයට අවතීර්ණ ඉමෙන් රෝගියාගේ මරණය පවා සිදුවන්නට හැකියාව ඇති නිසයි. එලෙස මිය ගිය රෝගීන් ගණන සුළු පටුනොවේ.

එලෙසම වෛද්‍ය උපදේශයන්ගෙන් තොරව සිහිසුන්ව සිටින රෝගියෙකුගේ මුව තුළට යමක් ඇතුළු කිරීමද මාරාන්තික විය හැකි දෙයකි. එබඳු රෝගියෙකු කෘත්‍රීම දත් පැලඳ සිටීනම් වහාම ඒවා ගලවා ඉවත් කරන්නටත් මුව තුළ වෙනත් යමක් ඇත්නම් එයද ඉවතට ගන්නටත් අමතක නොකළ යුතුය. සෙම, වමනය ආදිය වැගිරෙනවා නම් වහාම රෝගියා ඇලයකට හරවා කට කොනකින් ඒ සියල්ල ගලා යන්නට ඉඩ දිය යුතුවේ.

‍ලේ වල සීනි අඩුවීම, ‍ලේ ගමන අඩුවීම, මොළයට විෂබිජයන් ඇතුළු වීම, මොළයේ ‍ලේ නහරයන් පුපුරා යෑම හෝ නහරයන් අවහිර වීම, ශරීරයේ විවිධ අවයව අකර්මණ්‍ය වීම හෝ විවිධ විෂ ශරීරයේ එක්රැස් වීමද එක්වරම සිහිසුන් වීමට බලපාන තවත් හේතු සාධකය. අක්මාව, වකුගඩු කඩා වැටීම වැනි තත්ත්වයකට හේතු විය හැකිය. ‍ලේ වල ලුණු සාන්ද්‍රණය වෙනස් වීම නිසාත් ‍ලේවලට විෂබිජයක් ඇතුළු වීමත් නිසාත් කෙනෙකු සිහිමුර්ජා තත්ත්වයට පත් විය හැකිය. හේතුව කුමක්දැයි හඳුනා ගන්නට රෝගියා රෝහලට රැගෙන එන විටදී අතීත රෝග විනිශ්ච වාර්තා, පාවිච්චි කරන ඖෂධ ඇත්නම් ඒ පිළිබඳ විස්තර සහ මතෛක් සිදු කරන ලදපරීක්ෂණ වාර්තා රැගෙන ඒම, රෝගය හරිහැටි නිර්නය කර ගන්නට වෛද්‍යවරුන්ට පහසුවකි.

රෝගය මුලින්ම හටගන්නා විටදී දැනුණ දේ පිළිබඳව රෝගියා පැවැසු වේ කුමක්ද? රෝගය උත්සන්න වූ වේගය, ඖෂධවල අසාත්මිකතා පිළිබඳ ඥාතීන් කරන හෙළි දරව් මෙහිදී ඉතා වැදගත්වේ. ප්‍රතිකාර සඳහා රෝගියා වෛද්‍යවරුන්ට භාර කරන සමහර ඥාතීන් “මොකක් වෙයිද ඩොක්ටර්?” යැයි නොඉවසිල්ලෙන් විමසන අවස්ථා තිබේ. එහෙත් කෙනෙකු ගමනක් පිටත් වූ විටදී නැවත නිවසට කීයට පැමිණිය හැකි වේද හෝ අතරමගදී කුමක් සිදුවේවිද යන්න කිසිවෙකුට පැවැසිය හැකි නොවේ. අසාධ්‍යව රෝහල් ගත කරන රෝගියෙකු සම්බන්ධයෙන් පවතින්නේද එවැනිම වූ තත්ත්වකි.

රෝගියා වෛද්‍යවරුන්ටම භාර කොට පිට වී යන්නට ඥාතීන් කටයුතු නොකළ යුතු අතර හැකි සෑම විටම රෝගියා සමග සිටින්නට උත්සාහ කළ යුතුවේ. වෛද්‍යවරුන් ඒ වන විට හඳුනාගෙන ඇති තත්ත්වය  ඔවුහු තේරුම් ගැනීම වැදගත්ය. වෛද්‍යවරු බොහෝ කාර්ය බහුල බව සැබෑය. එහෙත් රෝගියා සමග ඥාතීන් තුළ පවතින උනන්දුව මත වෛද්‍යවරුන්ද ඥාතීන් සමග යහපත් සම්බන්ධතාවයක් ගොඩ නගා ගනු ඇත.

රෝගීන් වෙනුවෙන් වෛද්‍යවරු සියල්ල කරන්නේ කිසිදු වරප්‍රසාදයක් බලා‍පොරොත්තුවෙන් නොවේ.

රෝගියාට කුමක් සිදු වුවද අපේ වැනි රටවල වෙනත් රටවලදී මෙන් වෛද්‍යවරුන්ට විරුද්ධව නඩු පැවරෙන්නේද නැත.

බලා‍පොරොත්තු බිඳ වැටී සියල්ල නිමා වූ මොහොතේ “ගෙනාව ආයුෂ ඔච්චර තමයි” යැයි කිසිවකු පවසනවා නම් ඒ හිත හදා ගන්නටය. සියලු දේ ජයගන්නට හැකියාව ඇත්තේ උත්සාහය, කැපවීම හා දක්ෂතාවය මතය. අසාධ්‍යව දෙතුන් වතාවක් රෝහල් ගත කළ රෝගීහුද ගොඩ ආ අවස්ථා කොතෙකුත් තිබේ. සුව වූයේ කෙසේදැයි සමහර විට රෝගියාටද අදහා ගන්නට නොහැකිය. සියල්ල දන්නේ සුවකළ වෛද්‍යවරයාම පමණය. සුවපත්ව නැවත නිවස කරා යන රෝගියෙකුගේ සිනහව දකින්නට වෛද්‍යවරුන් නොගන්නා උත්සාහයක් නැත. අවසානයේ ඔවුන්ට ඉතිරි වන්නේ තමන්ගේ දක්ෂතාවය පිළිබඳ නිරහංකාර ආඩම්බරයක් පමණමය. එය තමන් අතින් ඇඳි සුන්දර සිතුවමක් දෙස බලන සිත්තරෙකු තුළ ඇතිවන හැඟීමටම නොදවෛනි වූවකි.

අසාධ්‍ය රෝගියෙකු හැකි ඉක්මනින් දැඩි සත්කාර ඒකකයට ඇතුළු වනු දැකීම කාගෙත් බලා‍පොරොත්තුවයි. දැඩි සත්කාර ඒකකයට ඇතුළු වූ පමණින් සියලු බලා‍පොරොත්තු ඉටුවන්නේ නැත. ඒ තුළදී රෝගියා විශේෂ අවධානයකට ලක් වන බව සැබෑය. දැඩි සත්කාර ඒකකයට ඇතුළු කළා යැයි කියා ඥාතීන්ට සියල්ල අතහැර දමා සිටිය නොහැකිය. දැඩි සත්කාර ඒකකය තුළ ප්‍රතිකාර ලබන සෑම රෝගියෙකුටම වෙන් වූ හෙද නිලධාරිනියක් සිටින අතර පිටත සිටින ඥාතීන්ට තම රෝගියා පිළිබඳ සියලු තොරතුරු දැන ගත හැකි වන්නේ එම අදාල හෙද නිලධාරිනියගෙන් පමණය. රෝගියාගේ ඥාතීන් එම හෙද නිලධාරිනිය සමග නිරන්තර සබඳතාවයක් පවත්වා ගනිමින් කටයුතු කිරීම අවශ්‍යය.

අවශ්‍ය යම් ඖෂධයක් ඇත්නම් ඒ පිළිබඳ තොරතුරු, රුධිර පරීක්ෂණ ආදී රෝගියා සම්බන්ධ සියලු තොරතුරු දන්නේ ඇය වන නිසා ඥාතීන් එම හෙද නිලධාරිනිය සමග පවත්වන සබඳතාවයන් ඉතා වැදගත්ය.
අසාධ්‍ය තත්ත්වයයෙන් රැගෙන ආ රෝගියෙකුගේ හුස්ම නතර වන අවස්ථා උද්ගතවේ. එවිට රෝගියා සිටින්නේ දැඩි සත්කාර ඒකකයේ නොවේ නම් රෝගියාට පිටතින් හුස්ම ලබා දීමේ ක්‍රමවේදයන් වේ. රබර් බෝලයක් වැනි යමක් දිගින් දිගටම අතින් මිරිකමින් රෝගියාට හුස්ම ලබා දෙන්නට ඥාතියෙකු රැඳී සිටිය යුතුය. රෝගියා භාර දුන් වහාම ඥාතීන් රෝහලෙන් පිටව ගොස් තිබුණේ නම් එබඳු අත්‍යාවශ්‍ය අවස්ථාවකදී විශාල ගැටලුවක් පැන නගී.

“ඔතන තියාගෙන ඉඳලා නම් හරියන එකක් නැහැ” යැයි අසාධ්‍යව රෝහල් ගත කර සිටින රෝගියෙකු සම්බන්ධයෙන් නොඉවසිලිවන්ත ඥාති මිත්‍රාදීන් පළ කරන අදහස් බොහෝ විට රෝගියා සුවපත් කර ගැනීමට වෛද්‍යවරුන් දරන උත්සාහය ව්‍යාර්ථ කර දමන්නට හේතුවේ. පිටස්තර අයගේ එබඳු අදහස් හේතුවෙන් බලහත්කාරයෙන් ටිකට් කප්පවාගෙන රෝගියා වෙනත් රෝහලකට රැගෙන යන අවස්ථා කොතෙකුත් තිබේ. එහෙත් වැදගත් වන්නේ රෝහල නොව වෛද්‍යවරුන්ගේ සහ හෙද හෙදියන්ගේ අවධානය සහ කැපවීම පමණක් බව සියලු දෙනාම අවබෝධ කර ගත යුතුවේ.

තම රෝගියාව අදාළ රෝහ‍ලේ අවශ්‍ය කරන පහසුකම් නොමැති නම් වෛද්‍යවරුන් සමග සාකච්ඡා කර අවශ්‍යතා සපුරා ගන්නට කටයුතු කරනවා මිස “ඒ රෝහලට වඩා මේ රෝහල හොඳයි” යැයි රෝහලෙන් රෝහලට රෝගියා රැගෙන යෑම රෝගියාගේ ජීවිතය සමග සෙල්ලම් කිරීමක් බව අවධාරණය කළ යුතුවේ.

උත්පලා සුභාෂිනී ජයසේකර

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.