lakbima.lk

පිළිකාවට අත වනන දත් පුරවන ඇමල්ගම්

ජීවිතයේ එකවරක් හෝ දතක් පුරවාගෙන නැති අයෙකු සොයා ගත නොහැකි තරම්ය. එ් සියලූ දෙනාගේ හදවත නතර කරන තරම් පුවතක් පසුගියදා මාධ්‍ය ඔස්සේ පළ විය.

ඒ දත් කුහර පිරවීමට ලංකාවේ වෛද්‍යවරුන් විසින් භාවිත කරනා ”ඇමල්ගම්”වල පවත්නා ”රසදිය” මගින් නිදන්ගත ස්නායු රෝග, පිළිකා සහ වකුගඩු   රෝග ඇතුළු මාරාන්තික රෝගාබාධ රැසකටම හේතු  වන බවයි. මේ බව තහවුරුව ඇත්තේ ලෝක සෞඛ්‍ය සංවිධානය එළි දක්වා ඇති නවතම වාර්තාවේය.

ඒ  පිළිබඳව ප‍්‍රථම වරට මාධ්‍යයට අනාවරණය කරන ලද්දේ ”පරිසර යුක්ති කේන්ද්‍රයේ” විධායක අධ්‍යක්ෂ හේමන්ත විතානගේ විසිනි. මේ තරම් සෞඛ්‍ය තර්ජනයක් සතු වුවද ”ඇමල්ගම්”  යනු කුමක්දැයි බොහෝ දෙනෙකුට  හරිහැටි අවබෝධයක් නැත. ”ඇමල්ගම්” යනු රසදිය, රිදී, ටින් හා කොපර් යන රසායනිකයන්ගෙන් සැදුණු මිශ‍්‍රනයකි.

මෙය බහුලව භාවිත කරනු ලබන්නේ දන්ත වෛද්‍ය ක්ෂේත‍්‍රය තුළයි. එ් දත්වල කුහර ඇති වූ අවස්ථාවන්වලදී එම දත් පිරවීමට යොදා ගන්නා ප‍්‍රතිකර්මයක් වශයෙනුයි. නමුත් සාමාන්‍ය සමාජයේ ජීවත් වන අප මෙන්ම වෛද්‍ය  වෘත්තිකයන් බොහෝ දෙනෙක් නොතකන කරුණ වන්නේ මිනිස් සිරුරට මෙන්ම පරිසරයටද රසදිය ඇතුළු වන එක් ප‍්‍රධාන ප‍්‍රභවයක් වන්නේ මෙම ”ඇමල්ගම්” බවයි.

ඇමල්ගම් තුළ රසදිය හා ලෝහ මිශ‍්‍රණය අතර අනුපාතය 1:1 කි. පර්යේෂකයන්ට අනුව ඇමල්ගම් පිරවුමක් කළ අයකු උණුසුම් ආහාරපාන පරිභෝජනයේදී එහි අන්තර්ගත රසදිය වාෂ්ප ලෙස සිරුරට අවශෝෂණය වීමේ අවදානමක් ඇත. පිරවුම් ප‍්‍රමාණය සහ ඒවායේ විශාලත්වය අනුව නැනෝ ග‍්‍රෑම් 3,000 සිට 17,000 අතර ප‍්‍රමාණයක් අපගේ මිනිස් සිරුරට අවශෝෂණය කර ගනී.

දන්ත ශල්‍යාගාරවල අපවහන ජලය හරහා මිනිස් අපද්‍රව්‍ය, දත් පිරවීමේදී බැහැර කරන (කෙළ) රසදිය වාෂ්ප, භූමදානය හා ආදාහනය හරහා රසදිය පරිසරයට විශාල ප‍්‍රමාණයක් නිකුත් වේ. මේ පිළිබඳව 2009 වර්ෂයේදී නිකුත් වූ  "Qreuse of material for Dental Restoration" වාර්තාව හරහා ද තොරතුරු ඉදිරිපත් කර ඇත.

රසදියවල සෞඛ්‍යමය බලපෑම පිළිබඳව සොයා බැලීමේදී, නිරාවරණය වන රසදිය අනුව එකිනෙකාට ඇති සෞඛ්‍යමය බලපෑම වෙනස්ය. රසදිය යනු ස්නායු විෂකි. එය මිනිස් රුධිර සංසරණ පද්ධතියට, ප‍්‍රතිශක්තිකරණ සහ ප‍්‍රජනන පද්ධතියට බලපෑම් ඇති කරවයි. තවද එය මධ්‍ය ස්නායු පද්ධතියට, වකුගඩු,  අක්මාව හා ප‍්‍රතිශක්තිකරණ කි‍්‍රයාවලියට අවහිරතා ඇති කරවන්නකි.

කම්පනය, දෘශ්‍යාබාධ, නින්ද අවහිර වීම, මානසික අස්ථායිතාව වැනි රෝග තත්ත්වයන් රැසකට මෙය හේතු වේ. අවධානය යොමු කළ යුතු විශේෂිතම කරුණ වන්නේ රසදිය ගැබිනි මව්වරුන්ගේ කලලයන්ට පවා බලපෑම් ඇති කරවීමට සමත් අහිතකර රසායනිකයක් වීමයි. ඒ තුළින් උපදින දරුවාගේ වර්ධනය බාල වීම හා අවධානය යොමු කිරීමට ඇති නොහැකියාව යන තත්ත්වයන්ට පවා ඉන්පසු මවුපියන්ට මුහුණ දීමට සිදු වනු ඇති.


සිදුකරන ලද අධ්‍යනයකට අනුව, මවගේ හිසකෙස්වල මෙතිල් මර්කරි (මෙතිල් රසදිය ප‍්‍රභේද) ප‍්‍රමාණය මිලියනයකට කොටස් එකකින් වැඩි කිරීමට ප‍්‍රමාණවත් රසදියවල බලපෑමෙන් උපදින දරුවාගේ බුද්ධි මට්ටම :ෂූ* 0.7 කින් අඩු වන බව ද අනාවරණය කර ගෙන ඇත.

රසදිය සඳහා නිරාවරණයවීම් සහ දන්ත වෛද්‍ය සේවකයන්ද බරපතළ තර්ජනයන්ට මුහුණපායි. එ් පිළිබඳ කළ සමාලෝචනයකට අනුව ඔවුනගේ මුත‍්‍රාවල රසදිය ප‍්‍රමාණය සාමාන්‍ය පුද්ගලයකුගේ එම ප‍්‍රමාණයට වඩා වැඩි බව තහවුරුව ඇත.  තුර්කියේ, ඉරාකයේ හා ඊජිප්තුවේ මේ පිළිබඳ සිදු කරන ලද පර්යේෂණයකින්  පෙන්වා දෙන්නේ දන්ත වෛද්‍යවරුන්ට වඩා දන්ත ශල්‍ය සහයක සේවකයන්ගේ මුත‍්‍රාවල රසදිය ප‍්‍රමාණය වැඩි බවයි. කෙසේ වෙතත් මෙම රසදිය මට්ටම සාමාන්‍ය පුද්ගලයකුට දැන ගත හැකි මට්ටමට වඩා අඩු බැවින් ඇමල්ගම්වල ඇති හානිය වෛද්‍යවරුන් නොපිළිගනී. එ් පිළිබඳව හේමන්ත විතානගේ දැක්වනුයේ මෙවැනි අදහසකි.

”ඇත්තටම මේ පිළිබඳව මතයක් දැරීමේදී වෛද්‍යවරුන් දෙපිළකට බෙදිලයි ඉන්නේ. මෙය සත්‍යයක් බව පිළිගත්තත් තවත් කොටසක් එය පිළිගන්නේ නෑ, ලංකාවේ දන්ත වෛද්‍ය ක්ෂේත‍්‍රයේ සේවයේ නියැළිලා ඉන්න බහුතරයක් වෛද්‍ය සහයකයන් මේ රසදිය අන්තර්ගත ඇමල්ගම් මිශ‍්‍රණය සාදාන්නේ තමන්ගේ ඇඟිල්ලෙන් කලවම් කරමිනුයි. දීර්ඝ කාලීනව එලෙස සිදු කිරීමේදී ඇඟිලි හරහා ඔවුන්ගේ සිරුරුවලට  මේ විෂ රසායනික ශරීරය තුළට ඇතුළු වෙනවා කියලා එම සේවකයන්ටත් හරිහැටි අවබෝධයක් නෑ.

ඉන්පසු එහි බලපෑම වන්නේ එම ප‍්‍රතිකර්මය භාවිත කරන වෛද්‍යවරුන්ටයි. වෛද්‍යවරුන්ගෙන් එය සම්පේ‍්‍රෂණය වන්නේ දත් පුරවා ගැනීමට එන රෝගීන්ටයි. එ්ක නිසා මේක ප‍්‍රතික්ෂේප කළ නොහැකි සත්‍යයක්. එම නිසා දන්ත ශල්‍යාගාර හරහා සිදු වන රසදිය අපවිත‍්‍රනය වැළැක්වීමට දිගු කාලීන එකම විසඳුම දන්ත වෛද්‍ය ක්ෂේත‍්‍රය තුළ රසදිය තහනම් කිරීමයි.”


 ඇමල්ගම් හරහා සිදු වන රසදිය අපවිත‍්‍රනය පිළිබඳව මීළඟට අවධානය යොමු කිරීමේදී දැක ගත හැකි කනගාටුදායක කරුණක් වන්නේ ශී‍්‍ර ලංකාවේ දන්ත ශල්‍යාගාර බහුතරයක ඇමල්ගම් භාවිතයෙන් ඉවතලන රසදිය පිරිපහදු කිරීමක් නොමැති බවයි. දත් පිරවුම් සමග පරිසරයට එන ඇමල්ගම් ඍජුවම ජලය සමග කාණු පද්ධතියට මුදා හරිනු ලබයි.


දන්ත වෛද්‍ය පීඨය තුළ හා ඇතැම් ශල්‍යාගාර තුළ රසදිය වෙන් කිරීමට උපකරණ ඇතත් (ඇමල්ගම් සෙපරේටර්) වෙන් කරන ලද රසදිය බැහැර කිරීමට ක‍්‍රමවත් අන්තරායකර අපද්‍රව්‍ය බැහැර කිරීමේ පද්ධතියක් මෙරට තුළ නොමැත. රජයේ රෝහල් අතුරින් කොළඹ අවට ප‍්‍රධාන දන්ත වෛද්‍ය ආයතන තුළ ඇමල්ගම් භාවිත නොකරයි. එසේම පරිසරයට නිකුත් වන රසදිය ප‍්‍රමාණයන් මිනුම් කිරීමක් ද සිදු නොකෙරෙයි.


එසේම පෞද්ගලික දන්ත  ශල්‍යාගාරවල සහ ඇතැම් පාසල් දන්ත වෛද්‍ය සායන තුළ ඇමල්ගම් භාවිත කෙරෙන්නේ නැත. ඇමල්ගම් භාවිතය දැනට කෙරෙන්නේ ප‍්‍රාදේශීය රජයේ රෝහල් තුළ හා ඇතැම් පාසල් දන්ත සායන තුළය.
 
ඇමල්ගම් බිල්ලෙක් නොවේ

- උගුර හා මුඛය පිළිබඳ විශේෂඥ ශල්‍ය වෛද්‍ය ආනන්ද රත්නායක


”ඇමල්ගම් කියන්නේ දැනට අවුරුදු 100 කට පමණ පෙර සිට දන්ත වෛද්‍ය ක්ෂේත‍්‍රයේ භාවිත වන දත් පිරවුම් අමුද්‍රව්‍යයක් මර්කරි හා රිදීවල මිශ‍්‍රණයක් හැටියටයි එය පවතින්නේ. මේවයින් දතක් පිරෙව්වට පස්සේ කිසිම කාන්දුවීමක් සිදු වන්නේ නෑ. මනුෂ්‍ය ජීවිතයට හානියක් වෙන්නෙත් නෑ. දැනට ලෝකය තුළ තියෙන ශක්තිමත්ම පිරවුම් අමුද්‍රව්‍ය (Filling Material) තමයි ඒ්ක.

නමුත් ලෝකය පුරා එකඟතාවක් තිබෙනවා හැම ක්ෂේත‍්‍රයකින්ම ”මර්කරි” නමැති රසායන ද්‍රව්‍ය ක‍්‍රමයෙන් ඉවත් කළ යුතුයි කියලා. මොකද ඒක පරිසරයට හානියක් සිදු වන බවට පිළිඅරන් තිබෙන නිසා. මිනමාටා සම්මුතියට අනුව ඉදිරි වසර කීපය ඇතුළත ”මර්කරි” භාවිතයෙන් ඉවත් කළ යුතුයි කියලා.

ඒ කතාබහත් සමග තමයි මේ ඇමල්ගම් කරළියට ආවේ. ඇමල්ගම් භාවිතය ක‍්‍රමයෙන් හරණය කරන්න දැනට අපි සැලසුම් කරගෙන තිබෙනවා තමයි. නමුත් මාධ්‍ය මගින් මවාපාන මේ භයානක බිල්ලෙක් මේ තුළ නෑ. ජනතාව අනිසි බියක් ඇති කරගත යුතු නැති බව අවධාරණය කළ යුතුයි.”

තිනෙති නානායක්කාර

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.