lakbima.lk

ආදරය සහ සතුට ඔබේ ජීවිතයට එක්කර ගත හැකි ක්‍රමයක්

ජීවිතයට යහපත් ගුණාංග කෙතරම් කිව්වද, ලිව්වද අද සමාජය මින් තම ජීවිතයට අදාළ කර ගන්නේ කෙතරම් සුළු ප්‍රමාණයක්ද? ධනාත්මක භාවය, කෙතරම් ජීවිතයට අදාළ කර ගැනීමට පටන් ගත්තද මානසික කඩා වැටීමෙන් සිටින පිරිස බොහෝය. මුලු සමාජයම සුළුවෙන් හෝ මේ ආකල්පමය වර්ධනය ජීවිතයට අදාළ කර නොගන්නේ නම් තනි තනිව නැගිටීම ඉතා පහසු කටයුත්තක් නොවේ. නමුත් මා විශ්වාස කරන කරුණ නම් සමාජය යනු අප තනි තනි පුද්ගලයන්ගේ එකතුවකි. එසේ නම් තනි තනිව ජීවිතය වෙනස්කර ගැනීම /ධනාත්මකව ගොඩනගා ගැනීම මගින් අප යහපත් කරන්නේ මේ සමාජයයි.

ඉතින් මුලුමහත් සමාජයම එකවරම වෙනස් කිරීමට වඩා තමා තුළ ඇති දේ යහපත් ලෙස වෙනස්කර ගැනීම ඉතාම වැදගත් සහ ප්‍රායෝගික ක්‍රමයයි.

මේ වසර තුළ නව භාවනාවක් අරඹන්නට ඔබ සිතා ගන්න.

කරන සියලු දේම මෛත්‍රී සිතිවිලි මගින් පටන් ගැනීමටත් කිරීමටත් පුරුදු වන්න.

උදෑසන අවදි වූ මොහොතේ සිට කරන සෑම ක්‍රියාවක්ම මෛත්‍රියෙන් කිරීමට උනන්දු වන්න. ඔබේ දරුවන් හෝ සැමියා නින්දෙන් අවදි කරන මොහොතේ සිට කෑම පිසීම, නිවස පිරිසිදු කිරීම, වාහනය පැදවීම, රැකියා ස්ථානය යන සියලු තැන් වල කරන සියලු ක්‍රියා මෛත්‍රියෙන් යුතුව සිදු කිරීමට ඔබට හැකි නම් ඔබේ ජීවිතයේ ඇතිවන වෙනස්වීම ඔබටම පුදුම හිතේවි.

ලංකාවේ බහුල මානසිකත්වය නම් නැති දේ දෙස බැලීමයි. නමුත් ඔබ පුරුදු විය යුත්තේ තමන්ට ඇති දේ දෙස බැලීමටයි. තිබෙන දෙය අගයන්න. අන් අයට දෙන්න. දෙන තරමට ඔබට ලැබේවි.

තවත් මානසික කඩා වැටීමක් නම් අප ජීවිතයේ කරන කැපවීම් නිසි ඇගයීමට ලක් නොවීමයි. පෞද්ගලික ජීවිතය, රැකියාව, පුද්ගල සම්බන්ධතා කිසිවක් තුළ ඔබ තෘප්තියට පත් නොවීමයි.

අපි කොයි තරම් හොඳ කළත් අපිට වූ හොඳක් නැහැ. අපි අවංකව මේ අයත් සමග ගනුදෙනු කළත් ඔවුන් අපව රැවටුවා.

රැකියාවේ අවංක භාවයට අපට නිසි ඇගයීමක් නැහැ.

මෙවන් දේ සමාජයේ බහුලය.

නමුත් මේ තත්ත්වය මිනිසුන් තුළ මානසික කඩා වැටීමක් ඇතිකර තියෙන බව පිළිගන්නවාද?

ඊට හේතුව නම් අප සිත ඒ තත්ත්වයට පුරුදු කර තිබිමය. ඒ නිසාම මා සිටින මේ 'පිළිවෙළ' පැය කිහිපයකට නොව ජීවිත කාලයටම පුරුද්දක් කර ගන්න.

ඔබ දිනකට අසන වදන්, කියවන දේ ඔබ කව්දැයි බවට පත් කරයි. ඒ නිසා රූපවාහිනිය ගුවන් විදුලිය මගින් පරිස්සම් වන්න. ඊට හේතුව නම් ඔබට සමාජයෙන් පැන යාමට හේතු අවශ්‍ය පමණ මෙමගින් ඔබට සපයන නිසාය.

ඒ නිසා ඔබ ඇසුරු කරන, අසන දකින දෙයින් ප්‍රවේසම් වන්න. මගේ රූපවාහිනී වැඩසටහන් තිබුණද මගේ ගෙදර රූපවාහිනියක් නැත. ඊට හේතුව මගේ හා මගේ පවු‍ලේ අයගේ සිතිවිලි මට බොහෝ වැදගත් වීමය. ඔබද ඔබේ ආදරණීයන්ගේ සිතිවිලි රැක ගන්න. යහපත් සිතිවිලි මගින් රැකගත් ඔබේ පවුල හා ආදරණීයන් රැක ගන්න. මුදල් උපයන මාධ්‍ය මගින් ඔබේ ගමන අඩාල කිරීමට ඉඩ නොදෙන්න.

වෛරය පෙන්වීම හා එයට මිලක් දීම යන රැල්ලට ඔබ එක් නොවන්න.

උඩුගම් යාමේ ක්‍රමය ඔබ තුළින් ආරම්භ කරන්න. උඩුගම් බලා යාම යනු බහුතරයක් යන ක්‍රමයට වඩා විරුද්ධ වීමය. එම නිසා යහපත් දේ දකින්න.

පුද්ගල සංවර්ධන විද්‍යාව හා අධි මනෝ විද්‍යාව විස්තර කරන අයුරින් ඔබ යම් දෙයකට අකමැති නම් ඒ පිළිබඳ විරෝධාකල්පයක් ඔබ තුළ ඇති වූ විට ඔබ තුළ ඇති වන්නේ ද්වේෂයකි. ඒ නිසා අලුත් ක්‍රමයක් සෑදීමට වඩා ඔබ බොහෝ විට එයම කිරීමට පටන් ගනී. නමුත් ඔබ කළ යුත්තේ එය නොවේ.

ඔබ කළ යුතු වන්නේ ඔබට නැවැත්වීමට අවශ්‍ය පුරුද්දකට වෙනත් අලුත් පුරුද්දක් ආරෝපණය කිරීමය. මෙය ඉතාම පහසු නැත. නමුත් ඔබට කළ හැකිය. මෙය සිතිවිලිවල ඇති සුබවාදී දැක්මයි.

ඔබ සමාජයේ මිනිසුන් සමග ජීවත්වන විට ඔබ ඔවුන් දෙස සිතන / බලන අයුරින්ම ඔබට එම පුද්ගලයන් ඔබේ ජීවිතයට ලැබේවි. මෙය ඔබට තවදුරටත් මෙසේ පැහැදිලි කළ හැකිය. රැකියාව කරන තැන සියලු දෙනා තමාට අහිතක් කරන බව ඔබ සිතුවොත් ඔබ කරා ආකර්ෂණය වන්නේද එවන් පුද්ගලයන්ය. ඔබ මිනිසුන් හොඳ බව සිතුවොත් ඔබට මිනිසුන්ගේ හොඳම දකින්නට ලැබෙනු ඇත.

බුදුරජාණන් වහන්සේ දේශනා කළේ 'නහී වේරේන වේරානි' යනුවෙනි. ජේසුතුමන් පැවසුවේ 'ඔබට කම්මුලට පහරක් ගැසූ විට ඔබේ අනිත් කම්මුලත් හරවන්න යන්නයි. හේතුව ඔබ සමාව දුන් විට ඔබේ Focus එක වෙනස් වන නිසාය.

ඔබ ජීවිතයට ආකර්ෂණය කරගන්නේ කවුදැයි යන්න ඇත්තේ ඔබ අතේය.

මේ ආකර්ෂණයේ නීතිය දින 30ක් පුරුදු පුහුණු කර වන්න.

ජීවිතය තුළ නීතිය වන්නේ ඔබ යහපත් දේ කිරීම මගින් ඔබට යහපත් දේ සිදු වේ. ඒක අනිවාර්ය වූවකි.

සක්සස් ලයිෆ් මැප්ස් ආයතනයේ අධ්‍යක්ෂිකා තිළිණි මදවන්ආරච්චි

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.