lakbima.lk

මේ අය වැයේ ජාතික සංවර්ධන ඉලක්ක මොකුත්ම නැහැ

වත්මන් රජය ජාතික අයවැය ‍ලේඛනය දැන් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙනවා. මේ අයවැය ‍ලේඛනය ගැන ඔබ මොනවද හිතන්නෙ?

ඔබ මගෙන් අහන්නෙ ජාතික අයවැය ‍ලේඛනයක් ගැනයි. නමුත් මේ රජය ඉදිරිපත් කරපු අය-වැය ‍ලේඛනය ජාතික අය-වැය ‍ලේඛනයක් විදියට මම දකින්නෙ නෑ. මොකද රටක සංවර්ධනය ඉලක්ක කර ගෙන වසරක් පාසා ඉදිරිපත් කරන ආදායම් වියදම් ඇතුළත් වාර්තාවට තමයි අපි ජාතික අය-වැයක් කියන්නේ. රජය ඉකුත්දා ඉදිරිපත් කළ අය-වැය ‍ලේඛනයේ ජාතික සංවර්ධන ඉලක්ක ගැන කිසිම සඳහනක් නෑ.

ඔබ මේ අය-වැය ‍ලේඛනය දේශපාලන කෝණයකින් දකිනවා කියල මම කිව්වොත්.

නෑ. නෑ කව්ද කුමන රජයක් යටතේ වුවත් මෙවැනි අය-වැය ‍ලේඛනයක් ඉදිරිපත් කළොත් ඒක ගැන නිර්නායව අපි කතා කරනව. අපිට වැදගත් වෙන්නේ රට මිසක් පුද්ගලයෝ ‍නෙවෙයි.

හොඳයි ඔබ කියන්නෙ රජය ඉදිරිපත් කළ අය-වැය ‍ලේඛනය ජාතික අය-වැය ‍ලේඛනයක් නොවෙයි කියලනෙ එහෙම නම් මේකේ ප්‍රතිඵලය කුමක් වෙයිද?

මේ ප්‍රශ්නයට උත්තරය මේ රජය ඉදිරිපත් කළ අය-වැය ‍ලේඛනයේම තියෙනවා. රජයට වසර හතරක් ගතවෙන කොට දුප්පත්කම වැඩිවෙලා. රජයෙන් යැපෙන්න බලා සිටින ජනතාව වැඩි වෙලා. මේක නිසයි සමෘද්ධිලාභින් ලක්ෂ හයකින් වැඩි කරන්න යෝජනා කරලා තිබෙන්නෙ. ජාතික නිෂ්පාදනය නංවාලීමට ජනතාව සම්බන්ධ කර ගන්නේ නැතිව එමගින් ඔවුන්ට ස්වශක්තියෙන් දෙපයින් නැගී සිටින්නට ශක්තියක් දෙන්නෙ නැතුව සහනාධාර දීමෙන්  රටේ දුප්පත්කම අඩු කරන්න පුළුවන්ද? රටේ ස්ව ජාතික ආර්ථික පදනමක් ඇති කරන්න පුළුවන්ද. මේ අය-වැය ‍ලේඛනයෙන් ඇති විය හැකි සමස්ත ප්‍රතිඵලය තමයි රටේ දරිද්‍රතාව තව තවත් වැඩි වෙලා. රට කාන්තාරයක් බවට පත් වෙන එක.

රට කාන්තාරයක් බවට පත්වෙනවා කියල ඔබ අනාවැකි කියන්නෙ කුමක් පදනම් කරගෙනද?

ඔබම බලන්න මේ අය-වැය ‍ලේඛනයෙන් අපේ රටේ කෘෂිකර්මාන්තය ගැන කතා කරලා තියෙනවාද කියලා. රටේ ජනතාවගේ මූලික අවශ්‍යතාවලින් ප්‍රධානම එක තමයි ආහාරය. මේ ගැන රජයේ ප්‍රතිපත්තිය රජයේ වැඩපිළිවෙල මේ අය-වැය ‍ලේඛනයේ නෑ. එහෙම වුණොත් ජනතාව කෘෂිකර්මාන්තයෙන් ඈත් වෙනවා. එතකොට මේ භූමියට මොකද වෙන්නෙ.

විපක්ෂය රජයට ඉදිරිපත් කරන බරපතළ චෝදනාවක් තමයි මේ රජය රණවිරු දඩයම් කරනවා කියලා. නමුත් මේ අය-වැය ‍ලේඛනයෙන් රණවිරු පවුල්වලට සහන දීලා තියෙනවා නේද?

රණවිරුවන්ගේ ගෙවල් කුලිය හා වැටුප වැඩි කරලා ඔවුන්ට සහනයක් දීම හොඳයි. නමුත් ඒකත් එක් පිරිසකට පමණයි. අපේ රටේ රණවිරුවෝ මුහුණ දී ඇති ප්‍රධාන ප්‍රශ්නය ඕකද? මංගල සමරවීර මුදල් ඇමැතිවරයා විදේශ කටයුතු අමාත්‍යවරයා ලෙස කටයුතු කළ කාලයේ ජිනීවා නුවර පැවැති මානව හිමිකම් කවුන්සලයේ රැස්වීමට සහභාගි වෙලා අපේ රටේ යුද අපරාධ වුණා කියල ඇමෙරිකාව කළ යෝජනාවට අත්දෙකම ඔසවා පිළිගත්තා.

එහෙමනම් අපේ රටේ ජාතික ආර්ථික අර්බුදයට ඔබ ඉදිරිපත් කරන යෝජනා මොනවද?

රටේ ආර්ථිකය ගමන් කරන්නෙ කුමන දිසාවකටද කියල අය-වැය ‍ලේඛනයෙන් පෙනෙන්නට ඕනේ. එහෙම දැක්මක් මේ අය-වැය ‍ලේඛනයේ නෑ. රටේ විරැකියාව අවම කිරීම සඳහා රජය අනුගමනය කරන වැඩපිළිවෙළ රටට කියන්න ඕනේ. රටේ සෞඛ්‍යය  ප්‍රතිපත්තිය අධ්‍යාපන ප්‍රතිපත්තිය ගැන අය-වැය ‍ලේඛනයෙන් පැහැදිලි කරන්න ඕනේ. රටේ ආර්ථික සමාජ තත්ත්වය දියුණු කිරීම සඳහා රජයේ භෞතික සංවර්ධන වැඩ පිළිවෙළ රටට කියන්න ඕනේ. එහෙම කිසිම දෙයක් ගැන මේ අය-වැය ‍ලේඛනයේ සඳහන් වෙන්නෙ නෑ.

සෞඛ්‍යය තත්ත්වය දියුණු කරන්න විශේෂයෙන් වැසිකිළි නැති පවුල් ලක්ෂයකට වැසිකිළි පහසුකම් තිබෙනවා නේද?  රජයේ අභ්‍යන්තර අර්බුදයක් අය-වැයෙන් පෙනෙන බව කියන්නෙ ඇයි?

මේ රජයේ ජනාධිපතිවරයාට තමයි වැඩිම ජනබලය ලැබුණේ. ඒක ලක්ෂ හැට දෙකක්. බහුතර ජනතා කැමැත්ත දිනා ගත් ජනපතිගේ ශ්‍රම ශක්ති වැඩපිළි වෙළට වෙන් කර ඇති මුදල හා අගමැති ප්‍රමුඛ රජයේ  ගම්පෙරළිය වැඩ සටහනට වෙන් කර ඇති මුදල අතර විශාල වෙනසක් තියෙනවා. අය-වැය ඉදිරිපත් කරන්න පෙර සිටම එජාපයේ ඇතැම් අය කීවේ ජනාධිපති වැය ශිර්ෂය පරාජය කරනවා කියලයි. අනෙක් කාරණය තමයි ජනාධිපතිවරයා කසිප්පු ගම්වලින් තුරන් කරන්න ‍පොලීසියට නියෝග තිබියදී දුප්පතාගේ බිම ලෙස සැලකෙන ගල් අරක්කු මිල වැඩි නොකර අනෙක් මත් බිමවල මිල වැඩි කිරීම මේ විදියට රජයේ විධායකය ව්‍යවස්ථාදායකය අතර අර්බුදයක් අය-වැය ‍ලේඛනයෙන් පෙනෙනවා. විශේෂයෙන් ‍පොලිස් දෙපාර්තමේන්තුව ජනපති යටතේ පවතින නිසා ඒ ගැන කිසිම දෙයක් අය-වැය ‍ලේඛනයේ නැත්තෙ කියල කාට හරි හිතන්න පුළුවන්.

ඔබ දිගින් දිගටම රජයේ අය-වැය ‍ලේඛනයේ සාධනීය බවක් කතා කරන්නෙම නෑ. ඔබ මේ රජය සමග ද්වේෂයෙන්ද කටයුතු කරන්නෙ?

මම තනි පුද්ගලයෙක් පමණයි. රජයකට මම ද්වේෂ කළාට ඒක රජයට දැනෙන්නෙ නෑ. අනෙක රජය සමග ද්වේෂයෙන් කටයුතු කරන්න මට අවශ්‍යතාවක් නෑ. මම හිටපු මහ බැංකු අධිපතිවරයා ලෙස මගේ අත්දැකීම් දැනුම අනුව තමයි මම කියන්නේ මේ රජය කියන්නේ හා කරන්නෙ බොරු කියලා. 

ඒ කියන්නේ 2018 අය-වැය ‍ලේඛනයේ ඉදිරිපත් කළ කරුණුවලින් තුනෙන් එකකට වැඩි ප්‍රමාණයක් සම්පූර්ණයෙන්ම අක්‍රියයි.

ඒ අනුව ඔබ කියන්නේ මේ අය-වැය ‍ලේඛන බොරු කියලද?

බොරු ‍නෙවෙයි. මේ ‍ලේඛනවල ඉදිරිපත් කරන කරුණු ක්‍රියාත්මක කරයි කියල විශ්වාස කරන්න බෑ.

ජයසූරිය උඩුකුඹුර

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.