lakbima.lk

මේක සුපර් මෑන් අය වැයක්

එක්සත් ජාතික පක්ෂයේ මෙවර අය වැය ගැන ඔබේ විග්‍රහය කෙබඳුද?

රටේ ආර්ථිකයේ හැරවුම් ලක්ෂ්‍යයක් හැටියට තමයි මම මේ අය වැය ‍ලේඛනය දකින්නේ. අපි ආණ්ඩුව පිහිටවුවාට පසු එක්සත් ජාතික පක්ෂයේ අය වැයක් මෙවර තමයි ඉදිරිපත් වෙලා තියෙන්නේ. හැමෝම හිතාගෙන හිටියේ පහුගිය කාලයෙත් ආවේ එක්සත් ජාතික පක්ෂයේ අය වැය ‍ලේඛනයක් කියලායි. අවාසනාවකට යූ.එන්.පී. අයවැයක් අපට ඉදිරිපත් කරන්න ලැබුණේ නැහැ. අද තමයි අපට යූ.එන්.පී. අයවැයක් ඉදිරිපත් කරන්න පුළුවන් වුණේ්.

එක්සත් ජාතික පක්ෂය ඉතිහාසයේ අය වැය ඉදිරිපත් කළ හැම අවස්ථාවකදීම සංවර්ධනය වගේම ජනතා සහනත් ආවා. නමුත් මෙවර එහෙම දෙයක් නැහැ. ඇයි ඒ?

ඇයි නැත්තේ. දැන් රාජ්‍ය සේවකයින්ට වැටුප් වැඩි කරලා තියෙනවා. විශ්‍රාමිකයින්ගේ විෂමතාවයන් අඩු කරනවා. එතකොට ඒ අයගේ වැටුප් වැඩි වෙනවා. විශ්‍රාමික ගුරුවරයකුගේ වැටුප එතනදී රුපියල් 4000 කට වඩා වැඩි වෙනවා. සමෘද්ධිය ලබන්නන් ලක්ෂ 6කින් වැඩි වෙනවා. ඔවුන්ගේ දීමනා වැඩි වෙනවා. විශේෂ අවශ්‍යතා තියෙන අයට වගේම ආබාධිත අයට ලබා දෙන සහන මුදල වැඩි කරලා තියෙනවා. ඉතින් සහන නැහැ කියලා කියන්න බැහැ. ගෙවල් හදන්න ජනතාවට සහන දෙනවා. ඒ නිසා මේක සුපර් මෑන් බජට් එකක්.

කොහොම වුණත් රජයේ සේවකයන්ට වැටුප් වැඩි වෙන්නේ ජූලි සිටයි. ඉතින් මෙය රැවටීමක් නොවෙයිද?

නැහැ. අපි රජයේ සේවකයන්ගේ වැටුප් විෂමතාවයන් නිවැරදි කරනවා. එයිනුත් සහනයක් එනවා.

මෙය ජාත්‍යන්තර මුල්‍ය අරමුද‍ලේ යෝජනා අනුව  සකස් කළ අය වැයක් බවටත් විපක්ෂය චෝදනා කරනවා.

නැහැ ඒක වැරදියි. නමුත් අපි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමගත් කටයුතු කරන්න වෙනවා. ඔවුන්ව අතහැරලා අපට යන්න බැහැනේ. නමුත් අපි මූල්‍ය විනයක් ඇති කරගත යුතුය කියන තැන තමයි මුදල් ඇමැතිවරයා හිටියේ.

මේ හැමදෙයක් වෙනුවෙන්ම ආණ්ඩුව ණය ගන්නා බව පැවසෙනවා. ණය උගුලක නේද මේ රට හිර කරන්න යන්නේ.

අපේ රට ණය උගුලක හිරකරලා ඉවරයිනේ. මහින්ද රාජපක්ෂ ආණ්ඩුව අපේ රට ණය උගුලක හිර කළා. ඉතින් මේ ණය උගුලෙන් ගැළවෙන්න අපටත් යම් සහන ණය ගන්න සිද්ධ වෙනවා.

ණය මිසක් අයෝජන ගෙන එන වැඩපිළිවෙලක් මේ තුළ නැහැ නේද?

නැහැ ආයෝජන එනවා. මේ සතියේදී හම්බන්තොටට බිලියන 4ක ආයෝජනයක් එනවා. සිංගප්පූරු ශ්‍රී ලංකා ගිවිසුම හරහා මෙම පිරිපහදුවක් සැකසීමේ ආයෝජනය ඇති වෙනවා. මේවා යටිතල පහසුකම් සංවර්ධන ආයෝජනයන්නේ. ඩොලර් බිලියනයක ආයෝජනයක් ගේන කෙනාට යම් බදු සහනයක් දෙන්න ඕනේ. නමුත් එදා කළේ ආයෝජනයට සාපේක්ෂව බදු සහන දෙන එක නොවෙයි. එන කෙනා අයෝජනය කළත් නැතත් අවුරුදු 15 ක බදු සහනයක් දුන්නා.

අය වැයෙන් ‍පොහොර නොමි‍ලේ දෙනවා කිව්වාට කෘෂිකර්මාන්තය දියුණු කරන්න කිසිදු පියවරක් ගෙන නැහැ.

ඔබත් මගේ අධීක්ෂණය යටතේ ශීත වියළි ගබඩා රට පුරා සකස් කිරීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වෙනවා. ඒ යටතේ දඹුල්‍ලේ අක්කර 6ක භූමියක අපි එම ගබඩා හදන්න කටයුතු කරලා තියෙනවා. එතනදී ගොවීන්ගේ අස්වැන්න ආරක්ෂා කරගන්න පුළුවන්. අද බඩු මිල වැඩි වෙන්න හේතුව තමයි   එළවළු පලතුරු ගබඩා කරන්න නිසි ගබඩා නැතිවීම. වට්ටක්කා හැදෙනකොට රුපියලටත් විකුණගන්න බැරි වෙනවා. හැබැයි කාලෙකදී වට්ටක්කා රුපියල් 100ටත් එහා යනවා. ඉතින් මෙහෙම වෙන්නේ ශීත වියළි තත්ත්වයන් දෙකම පවතින ගබඩා නොමැති වීම නිසයි. දැන් එය ක්‍රියාත්මකයි.

විදේශගත වන්නන්ගෙන් ඩොලර් 10ක බද්දක් අය කරන අතර විදේශ ගමන් බලපත් එක් දින ගාස්තුව රුපියල් 15000 දක්වා වැඩි කරලා තියෙනවා. ඉතින් මෙය විදේශ රැකියා සඳහා යන අයට ගැටලුවක් නේද?

විදේශ ගතවන්නන්ගෙන් ඩොලර් 10ක් කියන්නේ නම් සුළු කාරණයක්. සාමාන්‍යයෙන් ගුවන් ටිකට් පතටනේ මේක එකතු වෙන්නේ. එය එතරම් දැනෙන දෙයක් නොවෙයි. නමුත් ගුවන් ගමන් බලපත්‍ර ගාස්තුව සම්බන්ධයෙන් ගැටලුවක් තියෙනවා. ඉතින් විදේශ රැකියා සඳහා යන අයට යම් සහනයක් දෙන්න පුළුවන්ද කියලා අපි බලනවා.

අයවැයෙන් පුංචි කාර් මිලත් වැඩි කරලා. විපක්ෂ නායක කියලා තිබුණා පුංචි කාර් ගන්න හිටපු අයට දැන් තෙමි තෙමී යන්න තමයි වෙන්නේ කියලා. මොකද ඔබ පක්ෂයේ මැතිවරණ ප්‍රචාරක කටයුතුවල තිබුණේ බයික් එකේ ගිය නංගිට පුංචි කාර් එකක් ගන්න අවස්ථාව දෙනවා කියලායි.

දැන් පුංචි කාර් එක අරන් ඉවරයි. කාර් ගන්න හිටපු සියලුදෙනාම පසුගිය කා‍ලේ ඒවා ගත්තා. අනිත් කාරණය මෙතනදී ඉන්ධන භාවිතය අකර්මණ්‍ය කරලා පරිසර හිතකාමි වාහන ප්‍රවර්ධනය කරලා තියෙනවා.

රාජ්‍ය අංශයේ වැටුප ජූලි සිට වැඩි කළත් පුද්ගලික අංශයේ සේවක වැටුප් වැඩි කිරීම සම්බන්ධයෙන් කිසිඳු අදහසක් මේ අය වැයේ නැහැනේ.

මේකයි අපට පුද්ගලික අංශයේ වැටුප් වැඩි කරන්න බැහැ. හැබැයි අපිට යම් ඉල්ලීමක් කරන්න පුළුවන්.

අලුත් විවාහ වූ පවුලකට හා විදේශගත ශ්‍රමිකයන්ට රුපියල් කෝටියක ණයක් සහන ‍පොලියට දෙන බවට යෝජනාවක් ඉදිරිපත් වුණා.

මෙයත් එන්ටප්‍රයිසස් ශ්‍රී ලංකා වැඩපිළිවෙළ වගේම තමයි. මේ අයට දෙන ‍පොලියෙන් කොටසක් රජය ගෙවනවා. ණය දෙන සාමාන්‍ය වැඩපිළිවෙල යටතේ තමයි බැංකුව කොහොමත් ණය දෙන්නේ. එතනදී යම් ඇපයක් තබන්න සිදුවේවි. එය නිවස හෝ ඉඩම වෙන්න පුළුවන්.

අය වැය යෝජනාවලිය සම්බන්ධයෙන් ඒකාබද්ධ විපක්ෂය, ජනතා විමුක්ති පෙරමුණ වගේම දෙමළ ජාතික සන්ධානයේ නායකයාත් විරෝධය පළ කරලා තියෙනවා. මේ තත්ත්වයත් සමග අය වැය සම්මත කර ගන්න පුළුවන් වේවිද?

ඔබ විවේචනය කරනවා කීවට විවේචනය බොහොම අඩුයිනේ. මහින්ද රාජපක්ෂ විපක්ෂ නායකතුමාත් කියන්නේ අය වැය හොඳයි කරගන්න පුළුවන් වෙයිද දන්නේ නැහැ කියලානේ. නාමල් රාජපක්ෂ තමන්ගේ ට්විටර් ගිණුමේ දාලා තියෙනවා අය වැය හොඳයි කියලා. නරකයි කියලා කියන කෙනෙක් මට නම් තාම හමුවුුණේ නැහැ. බන්දුල කෑ කෝ ගැහුවට අය වැය සම්මත කර ගන්න බැරිකමක් නැහැ. අපට අවශ්‍ය මන්ත්‍රී සංඛ්‍යාව පාර්ලිමේන්තුවේ තියෙනවා.

ජනාධිපති වැය ශිර්ෂය පරාජය කරන්න පක්ෂය තීන්දුවක් අරන් තියෙනවාද?

පක්ෂයක් හැටියට අපි එහෙම තීන්දුවක් අරගෙන නැහැ.

ලසන්ත වීරකුලසූරිය

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.