lakbima.lk

ෂරියා විශ්වවිද්‍යාලය අත්පත් කරගෙන ආරක්ෂක විශ්වවිද්‍යාලයක් කළ යුතුයි

තිස් අවුරුදු යුද්ධයක් අවසන් කළ ආණ්ඩුවක මන්ත්‍රීවරයකු වූ ඔබ නැවත අපේ රටේ මෙවැනි ත්‍රස්තවාදයක් ඇතිවෙයි කියලා සිතුවාද?

කිසිම විටක සිතුවේ නැහැ. අදටත් එම සිදුවීම මට විශ්වාස කරන්න බැහැ. අපි කවුරුවත් කිසිම දවසක බලා‍පොරොත්තු වුණේ නැහැ මුස්ලිම් ජාතිකයන් අතරින් මෙවැනි ත්‍රස්තවාදි පිරිසක් බිහිවෙයි කියලා. ඒ වගේම ඔවුන් මරාගෙන මැරෙන බෝම්බ බැඳගෙන ඇවිත් අපගේ කතෝලික ජනතාව මරාදමයි කියලා අපි හිතුවේ නැහැ.

ශ්‍රී ලංකාවේ ජාතික ආරක්ෂාවේ බරපතළ අඩුපාඩු තිබෙන බව මෙම ප්‍රහාරයෙන් හෙළි වුණා නේද?

ජාතික ආරක්ෂාව දුර්වල කළේ කවුද කියන එක බොහෝදෙනා අද වන විට දන්නවා. අපගේ ආරක්ෂක අංශ දුර්වල කරමින්, බුද්ධි අංශ අඩපණ කරමින් පසුගිය කා‍ලේ රටේ ගෙනගිය පාලනයට එරෙහිව ජනාධිපතිතුමා නැගී සිටියා. එතුමා නීතිය හා සාමය අමාත්‍යාංශය තමා යටතට පවරාගත්තේ ඒ නිසයි. ඉන්පසු එතුමා ‍පොලීසිය ශක්තිමත් කළා.

නීතිවිරෝධී මත්ද්‍රව්‍ය රටෙන් තුරන් කිරීමට යෝධ වැඩසටහනක් ක්‍රියාත්මක කළා. අද එතුමා ත්‍රස්තවාදය අතුගා දමන්න සියලු පියවර ගනිමින් සිටිනවා. බුර්කාව තහනම් කළා. අන්තවාදී සංවිධාන තහනම් කරනවා. සියලු ජාතීන්ව තමන්ගේ ආගම් නිදහසේ ඇදහීමට හැකි රටක් එතුමා ගොඩනගනවා.

සමහරු නම් කියන්නේ මෙවැනි ව්‍යසනයක් වළක්වාගන්න නොහැකි වූ නිසා ජනාධිපති ඉල්ලා අස්විය යුතු බවයි.

සමහරුන්ට එවැනි ආසාවල් ඇති. ජනාධිපතිතුමා ඉල්ලා අස්වුණා නම් රනිල් වික්‍රමසිංහ අගමැතිතුමා ජනාධිපති කරගන්න පුළුවන්නේ. සේනාධිනායකයා දුර්වල කරලා රට ගොඩනගන්න පුළුවන් ද මේ මොහොතේ. හොඳ වෙලාවට විධායක ජනාධිපති ධුරය තිබුණේ. එහෙම නැත්නම් හදිසි නීතියවත් පණවන්න බැරිවෙනවා.

සේනාධිනායකයාට ත්‍රිවිධ හමුදාව ශක්තිමත් කරන්න බැරිවෙනවා. නිදහස් පක්ෂය ඉතා බුද්ධිමත්ව විධායක ජනාධිපති ධුරය මේ මොහොතේ රටට අවශ්‍යයි කියන්නේ මෙවැනි තත්ත්වයන් නිසයි.

පාස්කු ඉරිදා වූ මරාගෙන මැරෙන ප්‍රහාරයෙන් පසු වත්මන් රජය මෙකී අන්තවාදයට එරෙහිව කටයුතු කරන ආකාරය පිළිබඳව විපක්ෂයේ මන්ත්‍රීවරයකු ලෙස ඔබ සතුටු වෙනවාද?

කිසිසේත්ම නැහැ. රටේ සමස්ත ජනතාවට විශ්වාස දිනාගන්න පුළුවන් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වෙන බවක් දකින්නට නැහැ. ආර්ථික සමාජීය, දේශපාලනික වශයෙන් කෙරෙන කාර්යයන් පිළිබඳව තවම අපට සෑහීමකට පත්වෙන්න බැහැ.

මෙවැනි ව්‍යසනයක් වූ විට ආණ්ඩුවද, විපක්ෂයේද කියලා වෙන් වෙන්නේ නැතුව සියලුදෙනා එකතුවිය යුතුයි නේද?

විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා ප්‍රමුඛ අපගේ කණ්ඩායම කොන්දේසි විරහිතව මේ මොහොතේ ආණ්ඩුවට සහය දෙන්න තීන්දු කළේ ප්‍රහාරය සිදුවූ දිනයේදීමයි.

හිටපු ආරක්ෂක ප්‍රධානීන් රටේ ආරක්ෂාව පිළිබඳව සකස් කළ වාර්තාවක් විපක්ෂ නායකතුමා ජනාධිපතිතුමාට භාරදුන්නා. ජනාධිපතිතුමා එය අගේ කළා. නමුත් අද එක්සත් ජාතික පක්ෂයේ සමහර මැති ඇමැතිවරු මේ ඛිෙදජනක තත්ත්වය දේශපාලන වාසිගන්න භාවිත කිරීම ගැන අප බෙහෙවින් කනගාටු වෙනවා.

රටේ සේනාධිනායකයා හැටියට ජනාධිපතිවරයාට මෙවැනි ප්‍රහාරයක් ඇතිවීමට පෙර වළක්වා ගන්න තිබුණේ නැද්ද?

එහෙම දෙයක් කරන්න තිබුණ මේ ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳව වගකිවයුතු නිලධාරීන් ජනාධිපතිවරයාව දැනුවත් කළා නම්. අද වන විට ‍පොලිස්පතිවරයාට සහ හිටපු ආරක්ෂක ‍ලේකම්වරයාට එරෙහිව නීතිය ක්‍රියාත්මක වෙනවා. ජනාධිපතිවරයා මෙම ප්‍රහාර සිදුවූ පසුව වහාම විශේෂඥයන්ගෙන් සමන්විත කමිටුවක් පත් කළා.

ඔවුන්ට මේ පිළිබඳව සොයා බලන්න උපදෙස් දුන්නා. ආරක්ෂක මණ්ඩලය කැඳෙව්වා. ආරක්ෂක ප්‍රධානීන්ට අවශ්‍ය සියලු ශක්තිය දුන්නා. එහි ප්‍රතිඵලයක් ලෙස පළමු ප්‍රහාරයෙන් පසුව  රටේ සිදුවීමට තිබූ දෙවැනි, තෙවැනි ප්‍රහාර වැළකුණා.

මුස්ලිම් අන්තවාදය දුරු කිරීම මුස්ලිම් ජන නායකයන්ගේ වගකීමක් නොවේද?

ජනාධිපතිතුමාද එය අවධාරණය කළා. මුස්ලිම් නායකයෝ හැටියට පාර්ලිමේන්තුවේ ඉන්න මන්ත්‍රීවරු හැසිරෙන විදිහ අපි දැක්කා. ඔවුන් විපක්ෂ මන්ත්‍රීවරුන්ට කතාකරන්න දුන්නේ නැහැ. අඩුම තරමේ මේ මොහොතේදීවත් ඔවුන් තම ආගම විනාශ කරන මේ අන්තවාදීන්ගෙන් මුස්ලිම් ජනතාව ආරක්ෂා කරගන්න පෙරමුණට එන්න අවශ්‍යයි.

අද වන විට ඇතැම් දේශපාලන නායකයන් පවා මේ රට සිංහල බෞද්ධ රටක් කියන එක ප්‍රසිද්ධියේ කියන්න අකමැතියි. ඊට හේතුව ඔවුන් තමන්ගේ සුළු ජන ඡන්ද නැතිවෙයි කියලා බියකින් පෙළෙන නිසාද? ඔබට නොබියව කියන්න පුළුවන්ද මේ රට සිංහල බෞද්ධ රටක් කියලා?

මම දන්නේ නැහැ මේ රට සිංහල බෞද්ධ රටක් කියලා පවසන්න අකමැති දේශපාලන නායකයන් කවුද කියලා. මේ රටේ සිටින කතෝලික, ඉස්ලාම්, හින්දු ආගමික නායකයොත් මේ රට සිංහල බෞද්ධ රටක් කියලා
පිළිගන්නවා. අපිට තිබෙන්නේ සිංහල සංස්කෘතියක්. ඒ සංස්කෘතියෙන් අනිකුත් ජාතීන්ට සහ ආගම්වලට ආරක්ෂාවක් තිබෙනවා. ඒ වගේම අනිකුත් ආගමිකයන් අපගේ ප්‍රධාන සංස්කෘතියට, ආගමට පහරක් ගහන්න උත්සාහ කරනවානම් එහිදී ගැටුමක් ඇතිවෙනවා.

අද වන විට අපේ රටේ විශේෂයෙන්ම නැගෙනහිර පළාත අරාබියක් කරන්න මුස්ලිම් නායකයෝ කටයුතු කර ඇති බවට චෝදනාවක් එල්ල  වෙනවා නේද?

නැගෙනහිර පළාතේ මුස්ලිම් ජනතාව වැඩි ප්‍රතිශතයක් සිටින බව ඇත්ත. ඒ ප්‍රදේශවල ඉස්ලාම් ආභාසයන් තිබෙන්නට පුළුවන්. ඒ වගේම අපගේ මහා සංස්කෘතිය තුළ උප සංස්කෘතීන් ලෙස ඔවුන්ට පවතින්න පුළුවන්. හින්දු, ඉස්ලාම් සංස්කෘතික ලක්ෂණ අපගේ මහා සංස්කෘතිය තුළත් තිබෙනවා. සංස්කෘතියක් ඉස්සරහට යන්නේ සියලු ජාතීන් සමගයි. හැබැයි ලංකාවට උරුම සිංහල බෞද්ධ සංස්කෘතිය විනාශ කරලා නැගෙනහිර පළාතේ අරාබි සංස්කෘතියක් ගොඩනගනවානම් අපි කවුරුවත් ඒ සඳහා එකඟ වෙන්නේ නැහැ.

මේ ව්‍යසනය නිසා සිංහල හා මුස්ලිම් ජනතාව අතරේ වෛරයක් දලුලා වැඩෙන්න පුළුවන් නේද? අවසානයේ එය මහා ඛිෙදවාචකයක් දක්වා දුරදිග යන්න පුළුවන් නේද?

ඒ සඳහා හොඳම ආදර්ශය කාදිනල් හිමිපාණන් මුළු රටටම පෙන්නලා දුන්නා. ඒ වගේම අපගේ ෙතේ‍රනිකායික මහා නායක ස්වාමීන් වහන්සේලා ප්‍රධාන මහා සංඝරත්නය, අනිකුත් කතෝලික පූජකතුමන්ලා, ඉස්ලාම් මවුලවි තුමන්ලා ජනතාව වෙත මේ මොහොතේ සමගියෙන් එක්සත්ව ක්‍රියා කළ යුතු බව පෙන්වා දුන්නා.

ආගමික නායකයන් වගේම දේශපාලන නායකයන් ලෙස ඔබටත් එහි වගකීමක් නැද්ද?

පැහැදිලිවම තිබෙනවා. අපි දැක්කා මේ සිදුවීමට පැය 48ක් ගතවෙන්ටත් පෙර ආණ්ඩු පක්ෂයේ මැති ඇමැතිවරු මෙහි වගකීම එකිනෙකා පිට පටවන්න හැදුවා. එය සම්පූර්ණ වැරදි දෙයක්. මෙය දේශපාලන කතිකාවක් කරගත යුතු වෙලාවක් නොවෙයි.

ආණ්ඩු පක්ෂයේ මැති ඇමැතිවරු පමණක් නොවෙයි විපක්ෂයේ ඔබත් මේ මොහොතේ කරන්නේ ආණ්ඩුවට ඇඟිල්ල දිගු කරමින් දේශපාලන කතිකාවක් නොවේද?

මා ඔබට මුලින්ම පැවැසුවා නේද විපක්ෂය හැටියට මේ මොහොතේ කොන්දේසි විරහිතව ආණ්ඩුවට සහය දෙන බව. හැබැයි අපි සහය දෙන්නේ අන්තවාදී මුස්ලිම් ත්‍රස්තවාදීන්ගෙන් රට බේරාගැනීමටයි. ජාතීන් අතර විශ්වාසය තහවුරු කරමින් අපේ රට තිබූ තැනටම පත් කිරීම සඳහායි.

නමුත් වගකිව යුතු රජයක් හැටියට රජය මේ මොහොතේ තමන්ගේ සියලු වගකීම්වලින් පලා යමින් ත්‍රස්තවාදයට මුවාවී අලුතෙන් පනත් ගේන්නත්, ජනාධිපතිතුමාට මඩ ප්‍රහාර එල්ල කරන්නත් කටයුතු කරනවා. එවැනි අවස්ථාවක ආණ්ඩුවට චෝදනා නොකර අපිට මොකද කරන්න කියන්නෙ.

මෙවැනි ව්‍යසනයක් සිදුවූ පසු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ ක්‍රියා කලාපය බොහෝ විවේචනවලට ලක්වී තිබෙනවා. එවැනි තත්ත්වයක් තුළ ජනතාවට රටේ දේශපාලන නායකත්වයක් ගැන විශ්වාසය තබන්න පුළුවන්ද?

අගමැතිතුමා තමන්ගේ සුළු පක්ෂවල ඡන්දවලට හිරවෙලා ඉන්නවා. අන්තවාදී කොටස් දේශපාලන කරලා බලය අරගෙන පාර්ලිමේන්තුවට එනවා.

ඔවුන් ඉන්පසු රජයට බලපෑම් කරනවා. රජයට තමන්ගේ බහුතරය තියාගන්න අන්තවාදීන්ගේ වුවමනාවන් ඉටුකරන්න සිදුවෙනවා. අගමැතිතුමා අද හිරවෙලා ඉන්නවා ඔහුගේ 113 හදාගන්න උදව් කළ අන්තවාදී පිරිස් ආරක්ෂා කරගන්න.

ඔබ චෝදනා කරන්නේ එක්සත් ජාතික පක්ෂයේ මුස්ලිම් මන්ත්‍රීවරුන් අන්තවාදීන් කියලද?

වරදවා වටහාගන්න එපා. මම කිව්වේ අන්තවාදය වපුරවමින් දේශපාලනය කරපු අයටයි.
එක්සත් ජාතික පක්ෂය තුළ සිටින කබිර් හෂීම්ලා වැනි ඉතා වැදගත් මුස්ලිම් දේශපාලන නායකයන් අපට අමතක කරන්න බැහැ. ඒ වගේම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුළත් එවැනි ‍‍‍ජ්‍යෙෂ්ඨ මුස්ලිම් දේශපාලන නායකයන් සිටිනවා.

අද මේ ව්‍යසනය සමග සෑම මුස්ලිම් දේශපාලන නායකයකුටම ඇඟිල්ල දිගුවෙන්නේ නැහැනෙ. ඒ නිසා මේ සිදුවීම සම්බන්ධයෙන් හෝ ‍පොදු ජනතාව අතරින් විවේචන එල්ල වන මුස්ලිම් දේශපාලන නායකයන් කුමන තරාතිරමක හිටියත් රජයට ඔවුන් පිළිබඳව විශේෂයෙන් සැලකිලිමත්වී කටයුතු කිරීමට සිදුවෙනවා.

මුස්ලිම් ආගමික මධ්‍යස්ථානවලින් කඩු  කිණිසි මහා පරිමාණ ලෙස හසුවුණා. නමුත් එම කඩු කිණිසි කුමන කාරණයකට එසේ රැස් කළද කියලා ජනතාවට තවම වගකිව යුතු පැහැදිලිි කිරීමක් රජයේ පාර්ශ්වයෙන් සිදුවෙලා නැහැ.

ඇයි එක ඇමැති කෙනෙක් කිව්වා නේද පල්ලිය වත්තේ කැලෑ කපන්න කඩු රැස් කරලා කියලා. එවැනි ප්‍රකාශ කරන්නේ රජයේ ඇමැතිවරයෙක්. ජනතාව විශ්වාස කරනවද එවැනි කතා. කඩු, කිණිසි, තුවක්කු, උණ්ඩු අපගේ ආරක්ෂක අංශ විසින් තවමත් සොයා ගන්නවනේ. මුස්ලිම් දේවස්ථානවල මෙවැනි ආයුධ තිබිම ගැන මුස්ලිම් දේශපාලන නායකයන් හෝ මවුලවිතුමන්ලා විසින් ජනතාවට පැහැදිලි කළ යුතුයි. මේවා සුළුවෙන් හිතන්න බැරි කාරණා.

නැගෙනහිර ආණ්ඩුකාරවරයාට අයත් බව කියන නැගෙනහිර ෂරියා පෞද්ගලික විශ්වවිද්‍යාලය රජයට පවරගන්න ජනාධිපතිවරයාගෙත් අදහසක් නැහැ නේද?

නැගෙනහිර ශරියා විශ්වවිද්‍යාල මගේ අදහසට අනුව නම් ආරක්ෂක අංශයට භාරදිය යුතුයි. මොකද අපට අන්තවාදී ප්‍රශ්නයක් ආවේ උතුරු නැගෙනහිරින්. ඉන්පසු එම විශ්වවිද්‍යාලය කොතලාවල විශ්වවිද්‍යාලය වගේ ආරක්ෂක විශ්වවිද්‍යාලයක් කළ යුතුයි. කෝටි ගණනක් සල්ලි පිටරටින් ඇවිල්ලා අන්තවාදය උගන්වන්න නැගෙනහිර විශ්වවිද්‍යාලයක් හදනවා කිව්වාම ජනතාව අතර ප්‍රශ්නයක් ඇතිවෙනවා.

මෙවැනි විශ්වවිද්‍යාලවලින් අපගේ සංහිඳියාව බිඳෙනවා. ඒ වගේම අවිශ්වාස ඇතිවෙනවා. එය ආරක්ෂක විශ්වවිද්‍යාලයක් බවට පත් කරලා, උතුරු නැගෙනහිර තරුණ තරුණියන්ටම එහි අධ්‍යාපනය ලබන්න ඉඩදීමට පුළුවන්.

ව්‍යසනයේ බිය සංකා තවමත් රටේ පවතිනවා. රට ස්ථාවරත්වයකට ගෙන ඒමට රජයක් කෙසේ ක්‍රියා කළ යුතුද?

ජනාධිපතිතුමා විසින් විශේෂ කාර්ය බලයක් සහිත කුඩා කමිටුවක් පත්කළ යුතුයි. එහි සභාපතිවරයා හැටියට සේනාධිනායකයා ක්‍රියා කළ යුතුයි. විපක්ෂ නායකතුමාගේ නියෝජිතයෙක්, ඒ වගේම අනිකුත් දේශපාලන පක්ෂවල නියෝජිතයන් කිහිපදෙනකු එම ජාතික කමිටුවට පත්කළ යුතුයි.

ඉන්පසු එම දේශපාලන නායකයන්ට එන තොරතුරු හරි හෝ වැරදි මෙහිදී සාකච්ඡා කළ යුතුයි. ඒ වගේම මෙවැනි ප්‍රශ්නයක් නැවත ඇති නොවන තැනට කළ යුතු කාර්යයන් එම ජාතික කමිටුවෙන් සාකච්ඡා කර තීන්දු කළ යුතුයි.

පානුක රාජපක්ෂ

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.