lakbima.lk

ශ්‍රි ලංකාවේ දෙවන විශාලතම බලකොටුව - යාපනය


යාපනය වර්තමාන ශ්‍රී ලංකාවේ හින්දු දෙමළ සංස්කෘතියේ මූලස්ථානය ලෙස සැලකිය හැකිය. එහෙත් ලංකා ඉතිහාසයේ මුල් යුගය තුළ ලක්දිව වෙනත් පෙදෙස්හි මෙන්ම ඈත උතුරේ ද බෞද්ධ සංස්කෘතිය පැතිරී පැවති බව හමුවී ඇති පුරාවිද්‍යාත්මක සාධක සාක්ෂි දරයි. ක්‍රි.ව 13 සියවසේ දී පොළොන්නරුව බිඳ වැටීමෙන් අනතුරුව යාපන අර්ධද්වීපය හෙවත් නාගදීපය වෙනමම දේශයක් ලෙස ක්‍රමයෙන් වර්ධනය විය. ඉන්දියාවේ සිට එන වෙළඳ මාර්ග පාලනය කළ හැකි ආසන්නතම මධ්‍යස්ථානයක් ලෙස තිබූ වැදගත්කම තවදුරටත් එහි පැවැත්ම තහවුරු කළේය. ඒ ආකාරයෙන් එදා මෙන්ම අද ද, ලාංකීය දේශපාලනයට බලපෑම් කළ හැකි ස්වාධීන රාජ්‍යයක් ලෙස ගොඩනැගීමට යාපනයට හැකි වී ඇත. ඒ අනුව යාපනයේ ඓතිහාසිකත්වය සහ එහි ශේෂිතයක් ලෙස වර්තමානයේ නටඹුන් වශයෙන් වුවද දෘෂ්‍යමාන ලන්දේසි බලකොටුව සහ ඒ ආශ්‍රිත පුරාවිද්‍යාත්මක ස්මාරක සමුහයක් දැකිය හැකිය.



යාපනය කොටුව පෘතුගීසි, ලන්දේසි හා ඉංග්‍රීසි යුගවල ඉදිවූ ගොඩනැගිලි බොහොමයක් ඒ ඒ යුගවල වාස්තු විද්‍යාත්මක ලක්ෂණ පිළිබිඹු කරයි. එම ගොඩනැගිලි වසර 30 ක පමණ කාලයක් පුරා පැවැති යුද්ධය හේතුවෙන් විනාශ වී ඇත.

ලන්දේසි යුගයට අයත් ශ්‍රි ලංකාවේ දෙවන විශාලතම බලකොටුව වන යාපනය කොටුව පසුගිය 30 වසරක යුධමය වාතාවරණයට සෘජුවම බලපෑමට ලක්වූ පුරාවිද්‍යාත්මක ස්මාරකයක් වශයෙන් හැඳින්විය හැක. එල්.ටී.ටී.ඊ ප්‍රහාරයනට ලක්වූ කොටුපවුරේ මුහුදුබඩ මුහුණතේ කොටසක් විනාශයට ලක්වී ඇතත් සමස්ථයක් ලෙස සැලකීමේදී කොටු පවුර දැඩිව විනාශයට පත් වී නොමැත. කොටු බැම්මට පිටතින් පිටදියඅගල පිහිටා ඇති අතර දිය අගලට පිටතින් වන පිට ප්‍රාකාරයට ඇතුළතින් යුගල බැගින් නිර්මිත උමං මාර්ග පහක් දක්නා ලැබේ. මෙම උමං මේ වන විටත් යහපත් ආකාරයෙන් ආරක්ෂා වී ඇති අතර මේවායෙහි දොරටු අද දක්නා නොලැබේ. එනමුත් මේවායෙහි උමං දොර තිබූ බවට සාධක දක්නා ලැබේ.



කොටු පවුරෙහි ඇතුලත භුමියේ පවතින ස්මාරක සියල්ල යුධ වාතාවරණය හේතුවෙන් විනාශයට පත්ව ඇත. මේ අතරින් අතීතයේදී ක්වීන් පැලස් ලෙස හැඳින්වූ ගොඩනැගිල්ල අනෙක් ගොඩනැගිලිවලට සාපේක්ෂව සැලැස්ම හඳුනාගත හැකි මට්ටමකින් පවතී. මෙහි උපරි ව්‍යුහය සම්පූර්ණයෙන් විනාශයට පත්ව ඇත. ඉතිරි වී ඇති බිත්තීන්හී ඇසතු වර්ගයේ ශාක විශාල වශයෙන් රෝපණ වී ඇති බැවින් බිත්ති විනාශයට පත් වෙමින් පවතී.

මෙයට ඉදිරියෙන් නිර්මාණය කර තිබූ ලන්දේසි වාස්තුවිද්‍යාත්මක ශෛලියට අයත් කෙටි තාප්පය අවම විනාශයකින් යුතුව පවතී. මෙම ගොඩනැගිල්ලට පිටුපසින් කොටුපවුරට ප්‍රවේශ වීම සඳහා අලංකාර ගරාදිවැටකින් යුතු මාර්ගයක් දක්නා ලැබේ. එය ලන්දේසි අවධියේදී කොටුපවුර වෙත ආයුධ ප්‍රවාහනය සඳහා භාවිත කරන්නට ඇතැයි අනුමාන කළ හැකිය. මෙම කුවීන්ස් ගොඩනැගිල්ලෙහි ඉදිරිපස ලන්දේසි වාස්තුවිද්‍යා ශෛලියට අයත් නිර්මාණ ලක්ෂණවලින් යුතු යුගල රවුම් කුළුණු සහිත බරාදයක් පැවති බවට සාධක දක්නට ලැබේ.

කොටු පවුර ඇතුළත භුමියේ පිහිටි පැරණි ලන්දේසි පල්ලිය මුළුමනින්ම පාහේ බෝම්බ ප්‍රහාර හමුවේ විනාශයට පත්ව ඇත. මෙම ගොඩනැගිල්ල විධිමත් ලේඛනගත කිරීමක් තුළින් එහි පැරණි ව්‍යුහය හඳුනාගත හැකිවේ. මෙහි පුළුල් බිත්ති හිරිගල් උපයෝගීකොටගෙන නිර්මාණය කර තිබේ.



මීට අමතරව වන අනෙකුත් ගොඩනැගිලිවන පැරණි බන්ධනාගාර ගොඩනැගිලි, රෝහල හා අවශේෂ ගොඩනැගිලි බොහෝ සෙයින් විනාශයට පත්ව ඇත. ඇතුල් කොටුපවුරේ දක්නට ලැඛෙන ඝණ්ඨාර කුළුණ ඝණ්ඨාර කුළුණ අනෙකුත් ලන්දේසි බලකොටු තුල වන ඝණ්ඨාර කුළුණුවලට ඛෙහෙවින් සමාන වේ. වර්තමානයෙහි එහි තාප්පය දක්නට නොලැබේ.

කොටුපවුරේ මුහුදුබඩ සීමාවට ආසන්නව ලන්දේසි සමයේ ඉදිකළායැයි විශ්වාස කළ හැකි ලිඳක් හා ඊට පසුකාලීනව ඉදිකරන ලද කුඩා කෝවිලක් දක්නට ලැබේ.

ඡායාරූප - අන්තර්ජාලය ඇසුරින්

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.