lakbima.lk

2019 ෆිල්ම් ෆෙයාර් සම්මාන උළෙ‍ලේ යටගියාව පිළිබඳ නොදත් කතා

 
හොලිවුඩ් සිනමාවට ඔස්කාර් සම්මාන උළෙල වගේ බොලිවුඩ් සිනමාවේ කැපී පෙනෙනම සිනමා උළෙල වන ෆිල්ම් ෆෙයාර් සම්මාන උළෙල පසුගියදා මුම්බායේදී පැවැත්වුණේ හැටහතර වැනි වතාවටයි. මෙවර සම්මාන උළෙල ගැන කතාබහ කරන්න කලින් ෆිල්ම් ෆෙයාර් සම්මාන ඉතිහාසය ගැන බොහෝ දෙනෙක් නොදන්නා කරුණු ටිකක් ඔබ වෙත ගෙන එන්න ඕනෑ කියලා අපි හිතුවා.
 
ටයිම්ස් පුවත්පත් සමාගම විසින් සංවිධානය කරනු ලබන මෙම සම්මාන උළෙල මුලින්ම හැඳින්වුණේ ක්ලෙයා සම්මාන උළෙල නැතිනම් ක්ලෙයාස් යනුවෙන්. ඒ උළෙල පටන්ගත් වසරේ ද ටයිම්ස් ඔෆ් ඉන්ඩියා පුවත්පතේ කතුවරිය වූ ක්ලෙයා මෙන් ඩොන්කාට උපහාරයක් ලෙසයි.
 
මුල් කාලයේදී සියලු සම්මාන පිරිනැමුණේ ෆිල්ම් ෆෙයාර් සඟරාවේ පාඨකයන් එවන ඡන්ද අනුවයි. 1954 වසරේ පැවැති පළමු ෆිල්ම් ෆෙයාර් උළෙ‍ලේදී “දෝ බිගා සමීන්” හොඳම චිත්‍රපටය ලෙස සම්මාන ලබද්දී හොඳම අධ්‍යක්ෂ, හොඳම නළුවා සහ නිළිය හා හොඳම සංගීත අධ්‍යක්ෂට ඉතිරි සම්මාන පිරිනැමුණා. මේ පළමු සම්මාන උළෙ‍ලේදී පිරිනැමුණේ ප්‍රධාන සම්මාන පහක් පමණයි. 
 
දිලිප් කුමාර් සහ මීනා කුමාරි හොඳම නළුවා සහ නිළිය ලෙස සම්මාන ලැබුවා. මෙම උළෙ‍ලේ ප්‍රධාන අමුත්තා ලෙස සහභාගිවීමට හොලිවුඩ් නළු ගේ‍රගරි පෙක් පැමිණියත් ඇමෙරිකාවේ සිට ශ්‍රී ලංකාවට පැමිණි ඔහු ඉන්දියාව බලා යාමට කොළඹ සිට නියමිතව තිබු ගුවන්යානය පමා වූයෙන් ඔහුට ප්‍රධාන උළෙලට සහභාගි වීමට අවස්ථාව ලැබුණේ නැහැ. 2017 වසරේ සිට හොඳම කෙටි චිත්‍රපටයට සම්මානයක් ලබාදීම ඇරඹුණා. අනූව දශකයේ මුල්භාගය වනතුරු සම්මාන උළෙල සජීවි ලෙස රූපවාහිනියෙන් විකාශය කළත් පසුව නොදන්නා හේතුවක් මත එම විකාශය නතර කොට පසුව විකාශය කරනු ලැබුවා.
 
ආරක්ෂක හේතුන් මත 1986 සහ 1987 වසරවල ෆිල්ම් ෆෙයාර් සම්මාන උළෙලවල් පැවැත්වුණේ නැහැ. එන්.ජී. පාන්සාරේ නම් ප්‍රකට මූර්ති ශිල්පියා අතින් නිර්මාණය වූ ලෝකඩ ෆිල්ම් ෆෙයාර් සම්මානය සාමාන්‍යයෙන් හැඳින්වෙන්නේ කළු කාන්තාව යන අරුත ඇති බ්ලැක් ‍ලේඩි යනුවෙන්. 
 
කිලෝ පහක බරකින් යුතු මෙම ප්‍රතිමාව සිනමා උළෙලට වසර විසිපහක් පිරුණු අවස්ථාවේ රිදියෙන් ආ‍ලේප කොට හා වසර පනහක් පිරුණු අවස්ථාවේ රනින් ආ‍ලේප කොට නිර්මාණය කරනු ලැබුවා. 2013 වසරේ සිට නව තාක්ෂණය විදහා දැක්වීමට මෙම ප්‍රතිමාව ත්‍රිමාණ නිර්මාණයක් ලෙස සකස් කොට තිබෙනවා. සංජේ ලීලා බන්සාලිගේ බ්ලැක් චිත්‍රපටය එතෙක් මතෛක් ෆිල්ම් ෆෙයාර් සම්මාන උළෙලකදී වැඩිම සම්මාන ලැබූ චිත්‍රපටය වන අතර ලැබූ සම්මාන ගණන 
එකොළහක්. සම්මාන දහඅටකට මෙවර උළෙ‍ලේදී නිර්දේශ වූ පද්මාවත් චිත්‍රපටය වැඩිම සම්මාන ගණනකට නිර්දේශ වූ චිත්‍රපටය ලෙස ඉතිහාසයට එක්වෙනවා. 
 
විවිධ අංශ වෙනුවෙන් ගුල්සාර් වැඩිම සම්මාන ගණනක් ලැබූ කලාකරුවා ලෙසත් ජනප්‍රිය ගායිකා ආශා බෝස්‍ලේ වැඩිම සම්මාන ගණනක් ලැබූ කලාකාරිය ලෙසත් වාර්තා වෙනවා. බිමල් රෝයි හොඳම අධ්‍යක්ෂ ලෙස වැඩිම වාර ගණනක් සම්මාන දිනද්දී හොඳම නළුවා ලෙස අටවරක් සම්මාන ලැබූ දිලිප් කුමාර් සහ හොඳම නිළිය ලෙස පස්වරක් සම්මාන ලැබූ නුටාන් සහ කාජල් වාර්තාවලට හිමිකම් කියනවා. නුටාන් කාජල්ගේ මවගේ සොයුරිය වීමත් විශේෂත්වයක්.
 

රාසි චිත්‍රපටය මෙවර හොඳම චිත්‍රපටය ලෙස සම්මාන ලබද්දී හොඳම නළුවා ලෙස සම්මානය ලැබුවේ සුපිරි බොලිවුඩ් නළු සංජේ දත්ගේ ජීවිත කතාව ඇසුරින් තැණුනු “සංජේ” චිත්‍රපටයේ සංජය දත්ගේ චරිතය රඟපෑ රන්බිර් කපූර්. රන්බිර් මෙහි සංජය දත් ලෙස විශිෂ්ට රංගනයක යෙදෙනවා. හොඳම නිළිය ලෙස ඉන්දියාව වෙනුවෙන් පාකිස්තානයේ ඔත්තු බලන ඔත්තුකාරියකගේ චරිතය රාසි චිත්‍රපටයේ රඟපෑ ආලියා බට් සම්මානය හිමිකරගත්තා. 
 
1971 වසරේ යුදමය පසුබිමට සම්බන්ධ මෙම චිත්‍රපටය සත්‍ය කතාවක් ඇසුරින් නිර්මාණය වූ චිත්‍රපටයක්. මෙහි තවත් විශේෂත්වයක් වන්නේ සැබෑ ජීවිතයේ පෙම්වතුන් වන ආලියා සහ රන්බිර් හොඳම නළුවා හා නිළිය ලෙස සම්මාන ලැබිමයි.
 
මෙවර හොඳම අධ්‍යක්ෂණය ට හිමි සම්මානය දිනාගත්තේ “රාසි” චිත්‍රපටය අධ්‍යක්ෂණය කළ මේගනා ගුල්සාර්. ඇය ප්‍රවීණ ගීත රචක ගුල්සාර්ගේ හා ප්‍රවීණ නිළි රාකිගේ දියණියයි. 
 
ෆිල්හාල්, ජස්ට් මැරීඩ් හා තල්වාර් වැනි විචාරක ප්‍රසාදයට ලක් වූ චිත්‍රපට නිර්මාණය කළ මේගනාගේ රසික හා විචාරක ප්‍රසාදය වැඩිපුරම හා දිනාගත් චිත්‍රපටය වන්නේ රාසියි. එමෙන්ම එය ආදායම් වාර්තා තබමින් ප්‍රදර්ශනය වුණා. ෆිල්ම් ෆෙයාර් සම්මාන උළෙ‍ලේදී  විචාරක සම්මානද පිරිනැමෙන අතර මෙවර “අන්දාදුන්” හොඳම චිත්‍රපටය ලෙස සම්මානය ලැබුවා. එහි රඟපෑ අයුෂ්මාන් කුරානා හොඳම නළුවා ලෙස සම සම්මාන ලැබූ අතර අයුෂ්මාන් එහි රඟපාන්නේ අන්ධ පියානෝවාදකයෙකුගේ චරිතයයි. 
 
හොඳම නළුවා සම්මානය බෙදීගියේ ඔහු සහ “පද්මාවත්” චිත්‍රපටයේ රගපෑ රන්වීර් සිං අතරයි. පද්මාවත් චිත්‍රපටයේ රන්වීර් රඟපෑ බලයට කෑදර රජෙකුගේ චරිතය මතෛක් ඔහු රඟපෑ හොඳම චරිතය බවයි විචාරකයන් පිළිගන්නේ. හොඳම නිළිය වූයේ “බදායි හෝ” චිත්‍රපටයේ මැදිවියේදී ගැබ්ගන්නා කාන්තාවකගේ චරිතය රඟපෑ නීනා ගුප්තා.
හොඳම සහය නළුවා ලෙස බදායි හෝ චිත්‍රපටයේ අපූරු හාස්‍යජනක රංගනයක යෙදුනු ගජ්රාජ් රාශ් සම්මානය දිනාගනිද්දී සංජු චිත්‍රපටයේ රඟපෑ විකී කෞෂාල් එහි සම සම්මානය හිමිකරගත්තා. 
 
සංජේ දත්ගේ මිතුරෙකු වන කම්‍ලේෂ් ලෙස ඔහු මෙහි රඟපාන අතර හොඳම සහය නිළිය සම්මානය ලැබුවේ බදායි හෝ චිත්‍රපටයේ රඟපෑ සුරේකා සික්රියි. ගැබ්ගත් තම මැදිවියේ ‍ලේලිය පවු‍ලේ ඥාතීන්ගේ විවේචනයට ලක්වෙද්දී ඇගේ පැත්ත ගන්නා නැන්දණියක ලෙස එහි ඇය අපූරු රංගනයක යෙදෙනවා.
 
නිශානි දිසානායක
 

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.