lakbima.lk

එදා මරණ බයේ දුවන ගමන් මම කියපු කතාව රටටම ඇහුණා

දර්ශන මල්දෙණිය නමැති ප්‍රතිභාපූර්ණ තරුණ නිවේදන ශිල්පියාව ඔබ රූපවාහිනී තීරයෙන් අනන්තවත් දැක ඇති. නමුත් ඉන් ඔබ්බට නම් ඔහු ගැන තතු ඔබ නොදන්නවාට සැකයක් නැහැ. තමන් ගැන බොහෝ දෙනා නොදන්නා මේ තොරතුරු දර්ශන පුවත්පතකට පවසන්නේ පළමු වරටයි.

නිවේදකයෙක් වෙන්න මුලින්ම ආසාව ඇති වුණු කාලය මතකද?

ඔව්. මගේ පවු‍ලේ කිසිම කෙනෙක් මාධ්‍ය ක්‍ෂේත්‍රයට සම්බන්ධ නැහැ. නමුත් පුංචිම කා‍ලේ ඉඳන් මට ලොකු ආසාවක් තිබුණා මාධ්‍යවේදියෙක් වෙන්න. හැබැයි ඒ වෙද්දී මට දැනුමක් තිබුණේ නැහැ මොනවිදිහේ හැකියාවක්ද මට තියෙන්නේ කියලාවත්. ඔය අතරතුරේ තමයි 1995-96දී විතර ප්‍රවීණ නිවේදක කමල් දේශප්‍රිය මහතාගේ පුවත්පත් සම්මුඛ සාකච්ඡාවක් මට කියවන්න ලැබුණේ. ඔහු එහි කියලා තිබුණා දකින දකින සෑම පත්තරයක්ම අරගෙන කියවලයි ඔහු නිවේදකයෙක් වුණේ කියලා. එදා ඉඳන් මමත් අතට අහුවෙන සෑම පුවත්පතක්ම කියවන්න පටන් ගත්තා. එතැනින් තමයි මගේ ඒ ආසාව ඇතිවුණේ.

මුලින්ම මාධ්‍ය ආයතනයකට සම්බන්ධ වෙන්න ලැබුණේ කොහොමද?

2002 වසරේදී ජාතික රූපවාහිනියට ප්‍රවෘත්ති නිවේදකයන් බඳවා ගන්නවා කියන ආරංචියට අනුව ඊට අයැදුම් කරලා එහි අවසන් නිවේදකයන් 8 දෙනා අතරට මමත් සුදුසුකම් ලැබුවා. මුලින්ම මට ජාතික රූපවාහිනියේ ප්‍රවෘත්ති නිවේදනයට සම්බන්ධ වෙන්න ලැබුණේ නැහැ. ඉන් පසුව ස්වාධීන රූපවාහිනියේ සහ ලක්හඬ ගුවන් විදුලියේ ක්‍රීඩා අංශයට ඇතුළත් වීමෙන් පස්සේ 2003 මැද  භාගයේදී විතර මට නැවත ජාතික රූපවාහියේ නිෂ්පාදන සහකාරවරයකු විදිහට සේවයට එක්වෙන්න ලැබුණා. එදා ඉඳලා අද වනතුරුම මම නිවේදන වෘත්තියේ යෙදී ඉන්නවා. අද වෙද්දී මම පෞද්ගලික සමාගමක ‍‍‍ජ්‍යෙෂ්ඨ කළමනාකරවෙකු විදිහට සේවය කරන නිසා නිදහස් මාධ්‍යවේදියකු විදිහට තමයි නිවේදන වෘත්තියේ යෙදෙන්නේ.

නිවේදකයෙක් විදිහට මොනවගේ ඉලක්කද ඔබට තියෙන්නේ?

ඒ ඉලක්ක සියල්ල දැනටමත් මම සපුරාගෙනයි තියෙන්නේ. නිවේදකයෙක් විදිහට මට හීන තුනක් තිබුණා. ඒ තමයි ජාතික රූපවාහනියේ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය ඉදිරිපත් කිරීම, ගුවන් විදුලි සංස්ථාවේ ක්‍රිකට් විස්තර විචාර ඉදිරිපත් කිරීම සහ රූපවාහිනියෙන් විකාශය කරන ක්‍රිකට් තරග ආරම්භ වීමට පෙර පැවැත්වෙන සාකච්ඡා මෙහෙයවීම කියන කාරණා තුන. 2008 වසර වෙද්දී මම ඒ හීන තුනම සැබෑ කරගත්තා. ප්‍රවෘත්ති සහ ක්‍රීඩා තරග නිවේදනයට අමතරව නුගසෙවණ, ආයුබෝවන්, ආදරණීය යෞවනය ආදි විවිධාකාර වැඩසටහන් වගේම දේශපාලන වැඩසටහන් මෙහෙයවීමටත් මම දායකවෙලා තියෙනවා.

ඔබ ක්‍රිකට් විස්තර විචාරකයෙක් විදිහටත් නමක් දිනාගෙන ඉන්නේ. කොහොමද ඒ හැකියාව ඔබට ලැබුණේ?

මම ඉගෙනුම ලැබුවේ මිනුවන්ගොඩ නාලන්දා මධ්‍ය මහා විද්‍යාලය, මීගමුව මාරිස්ටෙලා විද්‍යාලය සහ කඳාන ද මැසනඩ් විද්‍යාලයෙන්. පුංචි කා‍ලේ ඉඳන් මම පාස‍ලේදී බැඩ්මින්ටන්, වොලිබෝල්, ෆුට් බෝල් සහ ක්‍රිකට් ක්‍රීඩාවල නිරත වුණා. පස්සේ 10 වසරට විතර එද්දී මම අනිත් ඔක්කොම ක්‍රීඩා නවත්වලා ක්‍රිකට් විතරක් කරන්න පටන් ගත්තා. ඊට පස්සේ මාරිස්ටෙලා විද්‍යාලයේ අවුරුදු 17න් පහළ ක්‍රිකට් කණ්ඩායමට ක්‍රීඩා කළා. ද මැසනඩ් විද්‍යාලයේදීත් ක්‍රිකට් ක්‍රීඩා කළා. 2004 වසරේදී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ක්‍රිකට් කණ්ඩායම් නායකයා බවට පත්වුණා. අදටත් මම ක්‍රිකට් ක්‍රීඩා කරනවා. ක්‍රිකට් ක්‍රීඩාවට පුංචි කා‍ලේ ඉඳන් තිබුණු ආසාව සහ දක්ෂතාවය නිසයි මට ඒ අංශයෙන් ඉදිරියට එන්න මග පෑදුණේ.

මාධ්‍ය ජීවිතයේදී මුහුණ දීපු ලොකුම අකරතැබ්බය ගැනත් සිහිපත් කරමු නේද?

2004 දෙසැම්බර් 26 වැනිදා සුනාමිය ඇතිවෙන්න දින 2කට කලින් තමයි මම ජාතික රූපවාහිනියේ සේවයට එකතු වුණේ. දෙසැම්බර් 26 වැනිදා ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර ක්‍රිකට් තරගයක් පැවැත්වුණු නිසා එදා උදේම මම ජාතික රූපවාහිනියට ආවා. ඒ වෙලාවේ සමන්කුමාර රාමවික්‍රම අයියා මට කතා කරලා කිව්වා “මල්ලී ඉක්මනට නිවුස් රූම් එකට එන්න මුහුද ගොඩ ගලනවා” කියලා. ඒ ඇතිවෙලා තිබුණු කලබලයත් එක්ක, කැමරාවත් අරගෙන මම ගල්කිස්ස පැත්තට ගියා. එතකොට ඒ ප්‍රදේශයට පළමුවැනි රැල්ල ඇවිත් ගිහින්. පස්සේ මම වැල්ලවත්ත පැත්තට යද්දී වැල්ලවත්ත රෙදිමෝල හන්දිය ඇළ දිගේ අඩි 20ක් විතර උස ජල කඳක් එන්න පටන් ගත්තා. ඒ වෙද්දී මම රුපවාහිනියේ ප්‍රවෘත්ති විකාශයට සජීවීව සම්බන්ධ වෙලයි හිටියේ. ඒ මහ ජලකඳ දැකලා ඇති වෙච්ච මරණ බයටම දුවන ගමන් මම කිව්වා “සමන් අයියේ, ආයෙමත් වතුර පාරක් එනවා. මම දුවනවා” කියලා. ඒක මගේ දුරකථනය හරහා මුළු රටටම ඇහුණා.

කිෂාන් කනංකෙ

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.