lakbima.lk

සමහරු මගේ හීනය බොඳ කර දමන්න උත්සහ කරනවා

 
සෝමලතා හේරත් මැණිකේව බොහෝ දෙනා හඳුනන්නේ ප්‍රතිභාපූර්ණ ගීත රචිකාවියක ලෙසයි. මීට කලකට ඉහතදී බෙහෙවින් ජනප්‍රිය වූ, මේඛලා ගමගේ ගායනා කරන අහන් ඉන්න... අහගෙන ඉන්න යන ගීතය ඇතුළු ගීත රැසක් ඇය අතින් මේ වනවිට රචනා වී තිබෙනවා. කෙසේ වෙතත් අපි මේ කියන්නට සැරසෙන්නේ ඇගේ ගීත රචනා කලාව ගැන නොව අතළොස්සක් වන මෙරට චිත්‍රපට අධ්‍යක්ෂිකාවන්ගේ නම් අතරට ඇගේ නමද එක්වීම ගැනයි. සෝමලතා හේරත් මැණිකේගේ කුළුඳුල් සිනමා පටය වන  කතා කරන හීන මේ දිනවල රිද්මා මණ්ඩලයේ සිනමාහල්වල තිරගත වෙනවා.
 
ගීත රචිකාවියක් සහ ‍ලේඛිකාවක් විදිහට බොහෝ දෙනා හඳුනාගෙන සිටි ඔබ සිනමාකාරිනියක් වෙන්න හිතුවේ ඇයි?
 
මගේ ඒ තීරණයට හේතු දෙකක් තිබුණා. එකක් තමයි අද කා‍ලේ මිනිස්සුන්ට රූප කියන දේ හුඟක් වැදගත් වීම. අද සමාජය රූපත් එක්ක ගැටෙනවා වැඩියි. ගීතයක් නිර්මාණය කළත් ඒකට විෂුවල් එකක් නැතුවම බැරි තරම්. ඒ නිසා මම හිතුවා ‍පොතක් ලියනවාට හෝ සින්දුවක් ලියනවාට වඩා සිනමාව කියන රූප මාධ්‍යයෙන් ජනතාවට තවත් ළංවෙන්න පුළුවන් කියලා. සිනමාව කියන්නේ කෙනකුට තමන්ගේ කතාවක් කියන්න තියෙන හොඳම මාධ්‍යයක් වීමත් මාව සිනමාව පැත්තට තල්ලු කළා.
 
 සිනමාව ගැන ලොකු අත්දැකීම් නැතුව මේ වගේ නිර්මාණයකට අත ගහන එක අවදානමක් නේද?
 
මම දැනගෙන හිටියා මේක එක්තරා දුරකට අවදානම් වැඩක් බව. ඒත් මම ඕනෑම අවදානමක් භාරගන්න බය කෙනෙක් ‍නෙවෙයි. මම හොඳ චිත්‍රපට රසිකාවියක්. අන්තර්ජාලය හරහාත් මම සිනමාව ගැන යම් යම් හැදෑරීම් කළා. මට ලොකු විශ්වාසයක් තිබුණා මට මේ කාර්යය සාර්ථකව කරන්න පුළුවන් කියලා. හැබැයි චිත්‍රපටය නිර්මාණය කරද්දී මා වෙත එල්ල වුණු අභියෝග නම් හුඟාක් තිබුණා.
 
 ඒ මොනවද කියලා කියන්න කැමතිද?
 

මුල්ම අභියෝගය වුණේ මම කාන්තාවක් වීම. බොහෝ අය මගේ දිහා බැලුවේ අඩු තක්සේරුවකින්. මට මේ දේ කරන්න පුළුවන් කියලා කිව්වේ ටික දෙනයි. මම අසාර්ථක වේවි කියන වචන තමයි වැඩිපුරම මට අහන්න ලැබුණේ. ඒත් ඒ අය මාව අධෛර්යමත් කරන්න කියපු කතා මට වැදගත් වුණේ නැහැ. මම දැනගෙන හිටියා සමහරු එහෙම කරන්නේ ඊරිසියාවට සහ කුහකකමට බව. හැබැයි මම සිනමාවට අලුත් අධ්‍යක්ෂවරියක් කියලා නළු නිළියන් නම් මාව කිසිම විදිහකින් අවතක්සේරුවකට ලක් කළේ නැහැ.
 
 චිත්‍රපටය හදලා ඉවර වුණාට පස්සේ හැම ගැටලුවක්ම විසඳෙන්න ඇති නේද?
 
නෑ. ඊට පස්සේ මට චිත්‍රපටය ප්‍රදර්ශනය කරගැනීමේ අභියෝගයට මුහුණ දෙන්න සිදුවුණා. මගේ චිත්‍රපටය රැඟුම් පාලක මණ්ඩලයේ අනුමැතිය ලැබුණේ 2017 මැයි මාසයේ. 2017 ජූලි මාසයේ මට චිත්‍රපට සංස්ථාවෙන් ‍පොරොන්දුවක් ලැබුණා 2017 නොවැම්බර් මාසේ ගැප් රිලීස් එකක් විදිහට චිත්‍රපටය මුදා හරින්න ඉඩ දෙනවා කියලා. හැබැයි 2019 අවුරුද්ද වෙනතුරු මට ඒ අවස්ථාවවත් ලැබුණේ නැහැ. ඒත් මට පසුව චිත්‍රපට නිර්මාණය කරපු සමහර අධ්‍යක්ෂවරුන්ටත් ඒ අවස්ථාව ලැබුණා. බැරිම තැන මම චිත්‍රපට සංස්ථාවට අභියාචනයක් ඉදිරිපත් කළා. ඊටපස්සේ තමයි මට චිත්‍රපටය රිද්මා මණ්ඩලයේ සිනමා හල්වල තිරගත කරන්න අවස්ථාව ලබාදුන්නේ.
 
 සතුටු වෙන්න පුළුවන් විදිහේ ඉඩකඩක් ඔබේ චිත්‍රපටයට ලැබුණද?
 
කොහෙත්ම නැහැ. මට චිත්‍රපටය පෙන්වන්න අවසර ලැබිලා තියෙන්නේ සිනමාහල් 15 ක විතරයි. ලක්ෂ ගාණක් වියදම් කරලා චිත්‍රපටයක් හදලා ඒක සිනමාහල් 15 ක විතරක් ප්‍රදර්ශනය කරලා වැඩක් නැහැ. මේක මම විකුණුම් භාණ්ඩයක් විදිහට හිතාගෙන හදපු චිත්‍රපටයක් ‍නෙවෙයි. ඒත් සිනමාව කියන්නේ කර්මාන්තයක්. නිර්මාණකරුවෙක් තමන්ගේ නිර්මාණයක් බිහි කරන්නේ හරියට දරුවෙක් හදනවා වගෙයි. ඒ නිර්මාණය අපහසුවකින් තොරව ජනතාව අතරට ගෙනියන්න ඉඩ සලසා දෙන එක හැමෝගේම වගකීමක්. හැබැයි ලංකාවේ නිර්මාණකරුවන්ට තමන්ගේ ඒ වටිනාකම හරිහැටි ලැබෙන්නේ නැහැ. ඒ ගැන මට තියෙන්නේ විශාල කනගාටුවක්.
 
 ඒ කියන්නේ මීට පස්සේ ඔබව අධ්‍යක්ෂිකාවක් විදිහට දැකගන්නට නොලැබේවිද?
 
සමහර විට තව ටික දවසකින් මගේ චිත්‍රපටය සිනමාහල්වලින් ඉවත් කරාවි. ඒත් මම ඒ ගැන සැලෙන්නේ නැහැ. මගේ චිත්‍රපටය ජනතාව අතරට ගෙනියන්න වෙනත් මාර්ගයක් මම සොයාගන්නවා. දරුවන්ගේ මානසිකත්වය ගැන තමයි මගේ චිත්‍රපටයෙන් වැඩිපුර කතාබහ කරන්නේ. ඒ නිසා මම ඒ පණිවුඩය කොහොම හරි ජනතාව අතරට ගෙනියන්න ඕනෑ. මේ චිත්‍රපටයෙන් මට සිනමාකාරිනියක් විදිහට සමාජගත වෙන්න පුළුවන්කම ලැබුණා.
 
මම තවත් හොඳ සිනමා නිර්මාණ බිහිකරන්න හිතාගෙන ඉන්නවා. මම නිර්මාණය කරන්න සූදානමින් ඉන්නා මීළඟ චිත්‍රපටයේ තේමාව තාත්තා. කතා කරන හීන චිත්‍රපයටත් වඩා හොඳින් වැඩ අවසන් කරලා ප්‍රේක්ෂකයන්ට තිළිණ කරන්න මම බලා‍පොරොත්තුවෙන් ඉන්නවා.
 
කිෂාන් කනංකෙ

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.