Home    |    Daily Lakbima    |    Sunday Lakbima    |   Rajina |    Archive    |    Advertise With Us    |     Careers Email - [email protected] youtube
Coss Ear2
lakbima.lk
COSS Ear 1
                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්     

ලංකාව පුරා සිටින පළාත් සභා මන්ත්‍රීවරු සංඛ්‍යාව සිය ගණනකි. එම පිරිස අතරින් උතුරු පළාත් සභා මන්ත්‍රී මහලිංගම් කනගලිංගම් සිවාජිලිංගම් හෙවත් එම්.කේ සිවාජිලිංගම් උතුරේ මෙන්ම දකුණේ ජනතාව අතර නිතර කතාබහට ලක්වන චරිතයකි. එලෙස ඔහු කතාබහට ලක්වීමට ප්‍රධාන හේතුව වී ඇත්තේ එල්ටීටීඊ නායක වේළුපිල්ලෙයි ප්‍රභාකරන්ගේ මස්සිනා ලෙස දකුණේ මාධ්‍ය විසින් ඔහු හඳුන්වාදෙනු ලැබිමය. එමෙන්ම ඔහු කියන ආන්දෝලනාත්මක ප්‍රකාශ හේතුවෙනි.
මේ ඔහු ඒ ගැන කියන කතාවය.
 
ඔබ ප්‍රභාකරන්ගේ මස්සිනා කියලා දකුණේ මාධ්‍ය හඳුන්වනවා. කොහොමද ඒ ඥාතිකම ඇති වුණේ...?
එහෙම ඥාතිකමක් මම දන්නෙත් නැහැ.
 
එහෙම නම් ඇයි ඔබ නිශ්ශබ්දව ඉන්නෙ. ප්‍රසිද්ධියේම කියන්න පුළුවන්නෙ ඥාතිකමක් නැහැ කියලා.
මෙහෙමයිනේ  ප්‍රභාකරන්ගේ ගෙදරයි මගෙ ගෙදරයි අතර දුර මීටර් 100ක් විතර. අපි එක ගමේ අය. එතකොට ආවාහ විවාහ සිදු වෙනවා එහෙම වුණාම කොහෙන් කොහෙන් හරි ඥාති කමක් ඇති වෙනවා. නමුත් මම කියන්නෙ කියන්න තරම් ළඟ ඥාතිකමක් නැහැ කියලා.
 
දකුණේ මාධ්‍ය බොරුවටද ඔබ ප්‍රභාකරන්ගේ මස්සිනා කියලා කියන්නේ.
ප්‍රභාකරන්ගෙයි මගෙයි ඥාතිකමක් ගැන කතාව ඇති වුණේ ප්‍රභාකරන්ගෙ තාත්තා වෙළුපිල්ලෙගෙ මරණයෙන් පස්සෙ. වේළුපිල්ලෙගෙ මරණය වුණේ 2010 ජනවාරි 06 දා පනාගොඩ හමුදා කඳවුරේදී. යුද්ධයේ අවසානයෙන් පස්සෙ යුද හමුදාව භාරයේ ඉද්දී තමයි වේළුපිල්ලෙගෙ මරණය වුණේ. ඒ වෙලාවේ මම ආරක්ෂක අමාත්‍යාංශයට පැමිණිල්ලක් කළා හමුදාව භාරයේ ඉද්දි වේළුපිල්ලෙගෙ මරණය වූ නිසා සැකයක් තියෙනවා. ඒ නිසා  පශ්චාත් මරණ පරීක්ෂණයක් තියන්න ඕන කියලා. එතකොට හමුදාවෙන් කීවා පශ්චාත් මරණ පරීක්ෂණයක් තියෙනවා නම් සැකනම් ඔයත් සම්බන්ධ වෙන්න කියලා. පශ්චාත් මරණ පරීක්ෂණයේදී වේළුපිල්ලෙගෙ මරණය ස්වාභාවික මරණයක් බවට වාර්තා ලැබුණා. ඊට පස්සෙ ඇති වුණේ මරණය භාරගන්නෙ කවුද කියන එක. ප්‍රශ්නය දැන්නම් ඕන තරම් එල්ටීටීඊ එක ගැන කිඹුල් කඳුළු හෙළන අය ඉන්නවා. නමුත් එදා රාජපක්ෂ පාලනය තියෙද්දී ප්‍රභාකරන්ගෙ තාත්තගෙ මිනිය භාර ගන්න කවුරුත් ඉදිරිපත් වුණේ නැහැ. ඒ තත්ත්වය මත යුද හමුදාවේ නිලධාරීන් ඇහුවා ඥාතියා හැටියට වේළුපිල්ලෙගෙ මිනිය භාර ගන්න කැමතිද කියලා. මම හා කියලා ඥාතියා විදිහට අත්සන් කරලා මිනිය භාර අරන් පනාගොඩ ප්‍රදේශයේ මල් ශාලාවක මරණය තියලා අවසන් කටයුතු කළා. මම හිතන්නේ ඒ සිද්ධියෙන් පස්සේ තමයි ඔය කියන කතාව ලොකුවට ගියේ. 
 
එතකොට ප්‍රභාකරන්ගේ අම්මාට මොකද වුණේ? 
ප්‍රභාකරන්ගේ අම්මා ‘පාර්වතී අම්මා’ හිටියෙ හමුදාව භාරයේ වේළුපිල්‍ලේගෙ අවසන් කටයුතු වුණාට පස්සේ යුද හමුදාව මගෙන් ඉල්ලීමක් කළා පාර්වතීගේ වගකීමත් ගන්න කියලා. මම කැමැති වෙලා පාර්වතීගේ වගකීම භාර අරන් ඇයව අපේ ගම වන වැල්වැටිතුරෙයිවලට අරන් ආවා. වැඩි දවස් යන්න කලින් පාර්වතී අම්මාත් අංශ භාග තත්ත්වයෙන් මියගියා. ඒ වෙලාවෙත් ගොඩක් නායකයො අවසන් ගෞරව දක්වන්න ආවාත් වගකීම ගත්තේ නැහැ. ඒ නිසා ඥාතියා හැටියට ඉදිරිපත් වෙලා පාර්වතීගේ අවසන් කටයුතු සංවිධානය කළෙත් මම. එතනදී නීතිමය රාජකාරි කටයුතුවලදී ඥාතියා විදිහට ඉදිරිපත් වුණේ මම. ඔය දේවල් ප්‍රභාකරන් හා මගේ ඥාති කතාවට බලපාන්න ඇති. 
 
එතකොට ඥාතිකම කෙසේ වෙතත් ප්‍රභාකරන් එක්ක හිතවත්කමක්වත් තිබුණේ නැද්ද? 
පාසල් කාලයේදී සාමාන්‍ය හිතවත්කමක් තිබුණා. අපි සේරම ඉගෙන ගත්තෙ වැල්වැටිතුරේ සිදම්බරා විදුහ‍ලේ. ප්‍රභාකරන් උපන් වර්ෂය 1954 එයා මට වඩා අවුරුදු තුනක් වැඩිමල්. එත් මගෙ අයියා ඉන්ද්‍රලිංගම් ඉපදුනේ 1954. ඒ නිසා ප්‍රභායි මගෙ අයියයි එක පන්තියේ. ඒ දෙන්නා අතර ලොකු හිතවත්කමක් තිබුණා. ප්‍රභා මගේ අයියව හමුවෙන්න අපේ ගෙදරට එනවා. එතකොට මාත් එක්කත් කතා කරනවා. ඒ වගේ හිතවත්කමක් තමයි තිබුණේ. 
 
දැන් ඔබේ අයියා මොකද කරන්නේ?
මගෙ අයියා දේශපාලනය හෝ සන්නද්ධ ව්‍යාපාරය ප්‍රතික්ෂේප කරපු කෙනෙක් එයා දැන් එංගලන්තයෙ පදිංචි වෙලා ඉන්නේ දැන් එයා අසනීප තත්ත්වයෙන් ඉන්නේ. 
 
එතකොට ඔබ බෙදුම්වාදී අරගලයට සම්බන්ධ වෙන්නෙ කොහොමද? 
මුලින්ම මම කියන්නම් මම ආයුධ අරගෙන සටන් කරපු කෙනෙක් නමෛයි. මට අවුරුදු 12-13 කාලයේදි පාසල් ශිෂ්‍ය කාලයේදීම මම ශිෂ්‍ය අරගලවලට සහභාගි වුණා අවුරුදු 16 දී ටෙලෝ සංවිධානයේ දේශපාලන අංශයට සහභාගි වුණා. එතකොට ටෙලෝ සංවිධානයේ නායකයා වූයේ කුට්ටිමනි. ප්‍රභාකරන් හිටියෙත් මේ සංවිධානයේමයි. ඒ කාලයේ ඔය එල්.ටී.ටී.ඊ. කියන සංවිධානය තිබුණෙ නැහැ. දෙමළ නව කොටි (TNT) කියලා සංවිධානයක් හදාගෙන කට්ටිය ඊළාම් අරගලය කළා. ඒ වගේම ඒ කාලයේ තිබුණේ ප්‍රධාන දෙමළ දේශපාලන පක්ෂය තමයි දෙමළ එක්සත් විමුක්ති පෙරමුණ. මේ පක්ෂයේ තරුණ පෙරමුණ යටතේ ඉඳලත් කට්ටිය ඊළාම් අරගලය කළා. 
 
එතකොට එල්.ටී.ටී.ඊ. එකත් එක්ක සම්බන්ධකමක් තිබුණෙම නැද්ද? 
මට ඔය කිසිම සන්නද්ධ ව්‍යාපාරයක් එක්ක සම්බන්ධ වෙන්න කාලයක් තිබුණේ නැහැ. 
ප්‍රභාකරන් සාමාන්‍ය පෙළ පන්තියේදීම පාසලෙන් ඉවත් වුණා. නමුත් මම සාමාන්‍ය පෙළ හොඳින් සමත් වෙලා උසස් පෙළ ගණිත අංශයෙන් ඉගෙන ගත්දී තමයි ආණ්ඩුවේ රක්ෂාවට ගියේ. එතකොට පිහිටවපු වාරිමාර්ග හා මහා මාර්ග (PCEO) එකේ තාක්ෂණ නිලධාරියෙක් විදිහට 1975 රක්ෂාවගත්දි මට වයස 18යි. නමුත් ඔය කාලයේදීත් ටෙලෝ දේශපාලන අංශයේ මම කටයුතු කළා. ප්‍රභාකරන් එක්ක කිසි දවසක සම්බන්ධ වුණේ නැහැ.
 
සනත් ප්‍රියන්ත

රටේ කතාබහට ලක්වන වෘත්තීය සමිති අතර රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඉදිරියෙන්ම සිටී. ඔවුන් ගැන වැඩියෙන්ම කතා බහට ලක්වන්නේ වැඩ වර්ජන කරන විටය. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය වැඩ වර්ජන කරද්දී ඔවුන් සමග හැප්පීමට වැඩි දෙනෙක් කැමති නැත. එනමුත් මේ දිනවල එක් පුද්ගලයෙක් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හැප්පෙමින් සිටී. එසේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට අභියෝග කරන්නේද වෛද්‍යවරයෙකි. ඒ දොස්තර නෙවිල් ප්‍රනාන්දුය. ඔහු රටුන් අතර මේ දිනවල ප්‍රකටව සිටින්නේ සයිටම් වෛද්‍ය විද්‍යාලයේ හිමිකරුවා ලෙසය. එනමුත් ඔහුගේ අතීත කතාව ඇත්තේ දේශපාලනයේය. නෙවිල් ප්‍රනාන්දු ගැන කවුරුත් දන්නේ පාර්ලිමේන්තුවේ හයෙන් පහක බලයක් තබාගෙන සිටි ජේ.ආර්. ජයවර්ධනට මුලින්ම අභියෝග කළ මන්ත්‍රීවරයා ලෙසය.
නෙවිල් ප්‍රනාන්දු ක්‍රියාකාරී දේශපාලනයට පිවිසීමට පෙර පානදුර ප්‍රදේශයේ එක්සත් ජාතික පක්ෂයේ ආධාරකරුවෙක් ලෙස කටයුතු කළේ ජේන් එම් ද ෆොන්සේකා ආර්යාවගේ දේශපාලන වැඩ කටයුතුවලට උදව් කරමිනි. 1965 වසරේදී පැවැති මහ මැතිවරණයෙන් ලෙස්ලි ගුණවර්ධන පානදුර ආසනය ජයග්‍රහණය කළේ ෆොන්සේකා ආර්යාව විශාල වැඩි ඡන්ද සංඛ්‍යාවකින් පරාජයට පත් කරමිනි. පානදුර ආසනයේ එක්සත් ජාතික පක්ෂයේ බලය වැඩි කිරීමට නම් අලුත් අපෙක්ෂකයෙක් සොයා ගත යුතු බව පක්ෂ නායකත්වයේ අදහස වී තිබුණි. ඩඩ්ලි සේනානායක අගමැතිවරයා ඒ ගැන කතා කර තිබුණේ නෙවිල් ප්‍රනාන්දුගේ මාමණ්ඩිය වන එවක ආණ්ඩුවේ ඇමැතිවරයෙක් වූ එම්.වී.පී. පීරිස් සමගය. ඩඩ්ලි සේනානායකගේ ආරාධනයෙන් 1965 වසරේදී පානදුර ආසන සංවිධායක ධුරය ගත් ඔහු වසර තුනක් ගතවන විට සිය ඉල්ලා අස්වීමේ ලිපිය භාරදුන්නේ ඔහු හමුවීමට එන පාක්ෂිකයන්ගේ ඉල්ලීම්වලට ඇමැතිවරුන්ගෙන් යහපත් ප්‍රතිචාර නොලැබිම නිසා ඇතිවූ සිත් තැවුලෙන්ය. ඔහු ඉල්ලා අස්වීම දුන්නේ දේශපාලනය ගැන සියලුම බලා‍පොරොත්තු අතහරිමිනි. 
නෙවිල් ප්‍රනාන්දු ගෙන් පසුව නැවත වරක් පානදුර ආසනයට ආවේ සිරිල් සල්ගාදුය. සමසමාජ පක්ෂයේ බළකණුවක් වූ පානදුරේ ලෙස්ලි ගුණවර්ධනගේ ඡන්ද පදනම සෙලවීමට ඔහුට හැකිවූයේ නැත. මේ වන විට එක්සත් ජාතික පාක්ෂිකයන් කළකිරී සිටි අතර ඩඩ්ලි නැවත වරක් නෙවිල් ප්‍රනාන්දුට කතා කළේ පරණ දේවල් අමතක කර ආසන සංවිධායක ධුරය ලබාගන්නා ලෙස ඉල්ලීමක්ද කරමිනි. ඩඩ්ලි කෙරෙහිවූ අසීමිත ගෞරවය නිසා ඔහු නැවත පානදුර ආසනයේ සංවිධායකධූරය භාරගත්තේය. දේශපාලනය මෙන්ම වෛද්‍ය වෘත්තියද සමබර කරගත් ඔහු 77 ඡන්දයේදී ඡන්ද විසි අටදහස් හයසිය හැත්තෑ හතක් ලබාගනිමින් එක්සත් ජාතික පක්ෂයෙන් ඔහු පාර්ලිමේන්තුවට පැමිණෙන්නේ සමසමාජ පක්ෂයේ දැවැන්තයෙකු වන ලෙස්ලි ගුණවර්ධන පරාජයට පත් කරමිනි. 
1978 ජුලි 25 වැනිදා ජේ.ආර්. ජයවර්ධන අලුත් ව්‍යවස්ථාව ඉදිරිපත් කළ අවස්ථාවේදී නෙවිල් ප්‍රනාන්දු ජේ.ආර්.ට අභියෝග කළේය. නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්මවීමෙන් පසුව ව්‍යවස්ථාවට දෙවැනි සංශෝධනය ගෙන එන්නේද නෙවිල්ය. ජේ.ආර්.ට විරුද්ධ වන නෙවිල් එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත්වීමේ ලිපිය භාරදී ගෙදර ආවේය. සිය නිවසේ සිටියදී එදින දහවල් ඔහුට දුරකථන ඇමැතුමක් ආවේය. ඒ අගමැති ප්‍රේමදාසය. මේ ඉල්ලා අස්වීම නිසා තමන්ට හාට් ඇටෑක් එකක් හැදෙන බව කී ප්‍රේමදාස ඒ වෙලාවේදීම නෙවිල් ප්‍රනාන්දුගේ නිවසට ඒමට සූදානම් විය. එහෙත් එයට කැමැති නොවූ නෙවිල් අරලියගහ මන්දිරයට ගොස් ප්‍රේමදාස හමුවිය. එම සාකච්ඡාවේ අවසානයේදී තීරණය වූයේ නෙවිල් ප්‍රනාන්දු ඉල්ලා අස්වීමේ ලිපිය ඉවත් කරගැනීමත් ඔහුට විවේචන ඉදිරිපත් කිරීමේ නිදහස ලබාදීමත්ය. අවසානයේදී වෝඩ් පෙදෙසේ පිහිටි ජේ.ආර්.ගේ ගෙදරට ගිය ඔවුන් දෙදෙනා ඉල්ලා අස්වීම ඉවත් කරගත්තේය. එම ඉල්ලා අස්වීමේ ලිපියත් එහි පිටපතත් ඉරා දැම්මේ ප්‍රේමදාසය. 
ඉල්ලා අස්වීමේ ලිපිය ඉවත් කරගත්තත් නෙවිල්ට ආණ්ඩුවේ කටයුතු විවේචනය කිරීමට නිදහස ලැබි තිබුණි. එහෙත් ඔහුගේ දැඩි විවේචන හමුවේ ජේ.ආර්. තීරණය කළේ ඔහු පක්ෂයෙන් නෙරපා හැරීමටය. 1981 සැප්තැම්බර් 16 වැනිදා නෙරපීමේ ලිපිය එවා තිබුණේය. ජේ.ආර්.ගේ ව්‍යවස්ථාව අනුව පක්ෂයෙන් නෙරපන මන්ත්‍රීවරයෙකුගේ පාර්ලිමේන්තු මන්ත්‍රීධුරයද අහෝසි වෙයි. නෙවිල් ප්‍රනාන්දු නෙරපා හැරීම ගැන සොයා බැලීමට පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක්ද පත් කර තිබූ අතර ඒ ගැන පාර්ලිමේන්තු විවාදයක්ද පැවැත්වීමට නියමිතව තිබුණි. පාර්ලිමේන්තුවේදී ජේ.ආර්. පතුරු ගැසූ නෙවිල් ප්‍රනාන්දු සිය ඉල්ලා අස්වීමේ ලිපිය පාර්ලිමේන්තු මහ ‍ලේකම්වරයා අතට දී කථානායකවරයාටත් අතට අත දී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට දෑත් ඔසවා ආචාර කර පාර්ලිමේන්තුවෙන් පිටත්ව ආවේ 1981 දෙසැම්බර් 23 වැනිදාය. 
එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත්වූ නෙවිල් ප්‍රනාන්දුගේ නවාතැන වූයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයයි. ඔහු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට සම්බන්ධ වන්නේ අනුර බණ්ඩාරනායකගේ ඉල්ලීමක් අනුවය. 1989 වසරේදී පැවැති පාර්ලිමේන්තු මැතිවරණයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් තරග කරන නෙවිල් ප්‍රනාන්දු කළුතර දිස්ත්‍රික්කය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට තේරී පත්විය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් මන්ත්‍රීවරු පස් දෙනෙක් කළුතර දිස්ත්‍රික්කයෙන් තේරී පත්වන විට නෙවිල් ප්‍රනාන්දු මනාප ලැයිස්තුවේ තුන්වැනියා විය.
අනුර බණ්ඩාරනායකගේ දේශපාලන හිතවතෙක් වූ නිසාම පක්ෂයේ ඇතිවී අර්බුදවලදී අනුර සමගම සිටි නෙවිල් 1994 වසරේදී කළුතර දිස්ත්‍රික්කයෙන් එක්සත් ජාතික පක්ෂයෙන් පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් විය.
 එහෙත් දේශපාලනය ගැන තිබූ උදාසීනත්වය නිසා ඔහු මැතිවරණ ව්‍යාපාරය අතහැර දැමුවේය.
පානදුරේ උපත ලැබූ නෙවිල් ප්‍රනාන්දු පානදුරේ ජනතාව අතර ජන ප්‍රසාදයට ලක්වූයේ දේශපාලනඥයෙක් ලෙස පමණක් නොවේ. වෛද්‍යවරයෙක් ලෙසද කීර්තිනාමයක් දිනා සිටි ඔහු නොමි‍ලේ රෝගීන්ට ප්‍රතිකාර කළා පමණක් නොව කේතුමතී නිවස රජයට පවරාගෙන මාතෘ නිවාසයක් බවට පත් කළේය. 
නෙවිල් ප්‍රනාන්දු දේශපාලනඥයෙක්, වෛද්‍යවරයෙක් ලෙස පමණක් නොව ව්‍යවසායකයෙක් ලෙසද සාර්ථකත්වයක් ලබාගත්තේය. සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ තනි ආයෝජකයා වන ඔහු ගැන රටම නැවත කතා කරන්න ගත්තේ සයිටම් නිසාය. එහෙත් ඔහුගේ ව්‍යාපාරවල ඉතිහාස 1960 දශකය දක්වා දිව යන්නේය.
නෙවිල් ප්‍රනාන්දු සිය ව්‍යාපාර ආරම්භ කරන්නේ බේරුවල ප්‍රදේශයේ කාමර තිස් දෙකකින් යුත් හෝටලයක් බේරුවල ආරම්භ කරමිනි. ලංකාවට එන විදේශිකයන්ට අවශ්‍ය සියලුම පහසුකම්වලින් යුත් සංචාරක හෝටලයක් ලෙස ඔහු එය ආරම්භ කළේ රටේ සංචාරක හෝටල් එතරම් ජනප්‍රිය නොවූ යුගයකය. එම හෝටලය ඔහු මිලදී ගත්තේ රුපියල් නමලක්ෂ පනස් දහසක මුදලකටය. ටික කාලයක් එම හෝටලය පවත්වාගෙන ගිය ඔහු 1968 වසරේදී එය වෙනත් අයෙක්ට විකිණුවේ රුපියල් ලක්ෂ 
පහළොවකටය. එයින් ඔහුට සැලකිය යුතු ලාභයක් ලැබුනේය. 
ඉන් පසුව ඔහු හලාවත මුන්නේෂ්වරම්හි ‍පොල් අක්කර තිහක ඉඩමක් මිලට ගත්තේය. ඒ රුපියල් ලක්ෂයක් වැනි මුදලකටය. සරුසාර ‍පොල් ඉඩමක් වූ එයට අවට තිබූ ඉඩම් එක් කරගත්තේ එම ඉඩම් මිලට ගනිමිනි. 1971 වන විට අක්කර තිහේ ‍පොල් වත්ත අක්කර හැත්තෑපහක් දක්වා විශාල වී තිබුණි. එහෙත් ඔහුට ‍පොල් වත්ත අතහැරීමට සිදුවූයේ එවකට පැවැති රජයේ ඉඩම්  ප්‍රතිපත්තිය නිසාය. අක්කර පනහේ සීමාවක් පැනවීමේ නීතිය ගෙන එන විට ඔහු ‍පොල් වත්ත විකිණුවේ රුපියල් පන්ලක්ෂ විසිපන්දහසක මුදලකටය. එයින්ද ලාභයක් ලබාගත් ඔහුගේ අවධානය යොමුවූයේ වෙනත් ව්‍යාපාරකටය. ඒ ‍පෝසිලෙන් නිෂ්පාදනාගාරයක් ආරම්භ කිරීමට වෙතය.
කොස්ගම ‍පෝසිලෙන් නිෂ්පාදන ආයතනය මිලදී ගත්තේය.
ආශා සෙන්ට්‍රල් රෝහල විකිණීමට ඇති බව නෙවිල් ප්‍රනාන්දුට දැනගන්නට ලැබුණේ අලුත් ආයෝජනයකට අවස්ථාවක් බලමින් සිටියදීය. ආශා සෙන්ට්‍රල් රෝහල මිලියන දෙසීය විසිපහකට මිලදීගත් ඔහු නොරිස් කැනල් පාරේ අලුත් ගොඩනැගිල්ලක් ඉදි කළේ වඩාත් වැඩි ඉඩ පහසුකම් සහිත රෝහලක් ලෙස එය පවත්වාගෙන යාමටය. වසර පහක් වූ ඔහුගේ පාලන කාලය තුළදී රෝහ‍ලේ කොටස්කරුවන්ට සියයට විස්සක ලාභාංශ ගෙවීමට පවා ඔහුට හැකියාව ලැබුණේය. 
ආශා සෙන්ට්‍රල් රෝහල සාර්ථකව ක්‍රියාත්මක වෙමින් තිබියදී සොෆ්ට්ලොජික් සමාගම රෝහල මිලදී ගැනීමට කැමැත්ත පළ කළේය. ඒ අනුව එය මිලියන එක්දහස් හයසියකට විකිණුවේය.
ආශා සෙන්ට්‍රල් රෝහල විකිණීමෙන් ලැබුණු මුදලින් නෙවිල් ප්‍රනාන්දු අලුත් ආයෝජනයකට යොමුවිය. ඒ සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය ආරම්භ කිරීමටය. සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට මුදල් ආයෝජනය කළ ඔහු පසුව නෙවිල් ප්‍රනාන්දු රෝහල ඉදිකිරීමටද මුදල් ආයෝජනය කළේය. දැන් මුළු රටම කතා කරන සයිටම් සරසවියේ අයිතිකරුගේ නිධාන කතාව එසේය.
 
සංජය නල්ලපෙරුම

විනයාගමූර්ති මුරලිදරන් හෙවත් කරුණා කලටක පෙර ජනතාව හඳුනාගෙන සිටියේ එල්ටීටීඊ සංවිධානයේ ප්‍රබල නායකයෙකු ලෙසයි. ප්‍රභාකරන්ගේ දකුණත මෙන් හුන් ඔහු පසු කලෙක එල්ටීටීඊයේන ඉවත්ව ප්‍රභාකරන්ට එරෙහිව සටන් කළේය. එයින්ද අනතුරුව රාජපක්ෂ පාලනයට සම්බන්ධ වී අමාත්‍යවරයෙකු බවට පත්ව දේශපාලන සටනක් ආරම්භ කළේය. රාජපක්ෂ පාලනයේ අවසානයත් සමග දේශපාලන භූමිකාවෙන් අතුරුදන් වූ කරුණා මීට මාස කීපයකට පෙර නව දේශපාලන ගමනක් ආරම්භ කළේය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉවත් වී දෙමළ ජාතික නිදහස් සන්ධානය නමින් පක්ෂයක් පිහිටුවන ලදී.
මෙහි ආරම්භක රැස්වීම නැගෙනහිර පළාතේ මඩකලපුවේදී පවත්වන ලදී. බොහෝ දෙනාගේ අදහස වූයේ කරුණාගේ දේශපාලනය නැගෙනහිරට සීමාවනු ඇති බවයි. නමුත් එම අදහස වෙනස් කරමින් ඉකුත් 18 දා උතුරට පැමිණි කරුණා සිය දේශපාලන කටයුතු උතුරු පළාත තුළද ආරම්භ කළේය.
කෙසේ නමුත් උතුරේ කරුණාගේ දේශපාලන ආරම්භය එතරම් සාර්ථක වූයේ නැත.  ජනහමුව සඳහා එතරම් ජනකායක පැමිණ නොසිටි නමුත් 20-30ක් පමණ වූ පිරිස ඉදිරියේ කරුණා සිය දේශනය පවත්වන ලදී.
සහභාගි වූ පිරිස හා ස්ථානය කෙසේ වුවද කරුණා ඉතා වැදගත් හෙළිදරව් කීපයක්ම කළේය. සාරංශ ගත කරන ලද  ඔහුගේ කතාව මෙලෙස සඳහන් කළ හැක.
අද දෙමළ ජනතාවට සැබැ නායකයෙක් නැහැ. දැන් සිටින දෙමළ පක්ෂ ජාතිවාදය ඇවිස්සීම පමණයි කරන්නෙ. සේවයක් කරන්නෙ නැහැ. ඒ නිසා අලුත් දෙමළ නායකත්වයක් අවශ්‍ය වෙලා තියෙනවා. මට අලුත් දේශපාලන ගමනක් ආරම්භ කරන්න පෙළඹෙව්වේ හිටපු විමුක්තිකාමීන් හිටපු එල්ටීටීඊ සාමාජිකයන්., විදෙශගත දෙමළ ජනාතව හා සාම්ප්‍රදායික දෙමළ පක්ෂ නිසා පීඩාවට පත්වුණ දෙමළ ජනතාවයි. ඇතැමුන් විශේෂයෙන් දෙමළ ජාතික සන්ධානය මට චෝදනා කරනවා එල්ටීටීඊ එක විනාශ කරන්න මම කටයුතු කළා කියලා. නමුත් ඇත්ත කතාව මම තමයි ප්‍රභාකරන්ව ආරක්ෂා කරන්න කටයුතු කළේ. ඉන්දියානු හමුදාව ඇවිත් එල්ටීටීඊය මුලතිව් කැ‍ලේට කොටුවුණ වෙලාවේ ‍පොට්ටු අම්මාන් වගේ ගොඩක් නායකයෝ ප්‍රභාකරන්ව අත හැරලා වෙනත් රටවලට ගියා. ඒ වෙලාවේ මගෙ සටන්කාමීන් 40ක් එක්ක නැගෙනහිර ඉදන් මුලතිව් කැ‍ලේට ගිහින් ප්‍රභාකරන්ව ආරක්ෂා කළා. සාම සාකච්ඡා වෙලාවේ ඔස්ලෝ යෝජනාව ආවාම ඒකට මම එකඟ වුණේ නැහැ. නමුත් ඒ යෝජනාව ගැන සලකා බලන්න මම එකඟ වුණා.
නමුත් මේ සිද්ධිය විකෘති කරපු නඩේසන් (එල්ටීටීඊ ‍පොලිස්පති) තමිලෙන්දි (එල්ටීටීඊ මූල්‍ය ප්‍රධානි) පභාකරන්ට කීවේ මම ඊලාම් සටන පාවා දුන්නා කියලා. ඒ ප්‍රශ්නය දුරදිග ගිහින් තමයි මගෙ ජීවිතාරක්ෂාව සඳහා වෙන් වුණේ.
යැයි පැවැසූ කරුණා දෙමළ ජාතික සන්ධානය බිහි වීමට හේතු පාදක වූ කරුණුද හෙළි කළේය.
මගේ හිතවත් මාධ්‍යවේදියෙක් හිටියා ෂිවරාම් කියලා මේ මාධ්‍යවේදියා යුද්ධය ගැන ලියපු ඉංග්‍රීසි ‍පොත් මට ගෙනල්ලා දෙනවා. ඒ ‍පොත්වල තිබුණ විස්තර දෙමළ භාෂාවට පරිවර්තනය කරලා තමයි යුද උපක්‍රම ගැන ගොඩක් දේවල් ඉගෙන ගත්තෙ. මේ කතාව ඇති වුණේ ඉන්දියානු හමුදාව එන්න කලින් 1986 දී විතර මාධ්‍යවේදියා දවසක් මට කීවා ඇයි ඔයාලා සටන් විතරක් කරන්නේ දේශපාලනයත් කරන්නකෝ කියලා. මම ඇහුවා ඒකෙන් ඇති ප්‍රයෝජනය මොකක්ද කියලා. එතකෙට ෂිවරාම් කීවා අයරිලන්තයේ ගරිල්ලන් යුද්ධ කරද්දී එයාලගේම කට්ටියක් ෂින්පෙත් කියලා සංවිධානයක් හදලා පාර්ලිමේන්තුව නියෝජනය කරනවා. එයාලා ගරිල්ලා සංවිධානයේ කටයුතු ජාත්‍යන්තරයට ගෙනියනවා වගේම දේශපාලනික වශයෙන් ආරක්ෂාවකුත් ලබා දෙනවා. අපි යුද්ධ විතරක් කළොත් කවුරුත් අපි ගැන දන්නෙ නැහැ. අපි නිකම්ම හුදකලා වෙලා සටන් කරනවා පමණයි. කියලා කීවා. මම මේ කතාව ප්‍රභාකරන් නායකතුමාට පැහැදිලි කරලා දුන්නා. ඊට පස්සෙ තමයි නායකතුමා මක්කල් මුන්නහි (දෙමළ පෙරමුණ) කියලා පක්ෂයක් හදලා ඒකෙ මෙහෙයවීම හා නායකත්වය එතකොට හිටපු නියෝජ්‍ය නායක මහත්තයාට දුන්නෙ.
ප්‍රභාකරන් හා මහත්තයා අතර ඇති වුණේ ප්‍රශ්නයේදී මහත්තයාව අත් අඩංගුවට ගත්ත ප්‍රභාකරන් ජනතා පෙරමුණ විසුරුවා හැරීමට කටයුතු කළා. ඊට පස්සේ අපේ පක්ෂයක් හැදීම ගැන උනන්දුව ඇති වූයේ 2002 සටන් විරාම ගිවිසුමත් එක්ක. ඒ ගැන යෝජනාව මම ප්‍රභාකරන්ට කියපු වෙලාවේ නායකතුමා ගත් කටටම කීවෙ වැඩක් නැහැ ඕකුන් හොරු උන්ගෙ වාසිය විතරයි බලන්නෙ ඉස්සර කා‍ලේ ඉඳන්ම බොරුව කළේ කියලා. මම බොහොම අමාරුවෙන් තමයි නායකතුමාට පැහැදිලි කරලා එල්ටීටීඊ නියෝජතියන් විදිහට දෙමළ ජාතික සන්ධානය නම් කරලා ඡන්දයට ඉදිරිපත් වෙන්න අවස්ථාව දුන්නෙ. එතනදි එයාලා විශිෂ්ට ජයග්‍රහණයක් ලැබුවා. නමුත් එල්.ටී.ටී.ඊ. විනාශයත් සමග දෙමළ සන්ධානය එයාලාට පුරුදු පරණ වංචාව පටන් ගත්තා. දැන් ලංකාවේ ඉන්න අංක එකේ බොරු කියන දෙමළ දේශපාලකයා සම්බන්දන්. දෙක සුමන්තිරන්. ළඟදී රජයේ රූපවාහිනියක් සමග පැවැති සාකච්ඡාවකදී මාධ්‍යවේදියා ඇහුවා. ඔයාලා හා එල්.ටී.ටී.ඊ.ය අතර සබඳතාවය මොකක්ද කියලා සම්බන්දන් කීවා කිසිම සබඳතාවයක් නැහැ කියලා. මට සම්පන්දන්ගෙන් අහන්නෙ ඒ කතා කීවේ කටෙන්ද වෙනත් තැනකින්ද කියලා යැයි පැවැසූ කරුණා යුද්ධයේ අවසන් සමයේ සිදුවීම් කීපයක්ද සඳහන් කළේය. 
යුද්ධයෙන් එල්.ටී.ටී. එක පරාද වුණාට පස්සේ මම පරාද වුණා. එල්.ටී.ටී.ඊ. සාමාජිකයොන්ට මොකද වෙන්නෙ කියලා මම හිතුවා. මම කෙලින්ම ජනාධිපතිතුමා හමුවෙන්න ගියා. එතන ගෝඨාභය, ලලිත් වීරතුංග සරත් ෆොන්සේකා වගේ වැදගත් කට්ටිය හිටියා. මම ඉල්ලීමක් කළා. යටත් වෙන සටන්කාමීන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් මොනවා හරි කරන්න කියලා. ඒ වෙද්දී නායක මට්ටමේ අයගෙ ජීවිත ගැන කතා කරලා වැඩක් නැහැ. නමුත් ඒ වෙද්දී යටත් වුණු එල්.ටී.ටී.ඊ. සාමාජිකයෝ 12,700ක් පුනරුත්ථාපනය කරලා සමාජගත කරන්න කටයුතු කළා. මම එහෙම තමයි දෙමළ තරුණ තරුණියන් වෙනුවෙන් කටයුතු කළේ යැයිද පැවැසීය. 
කරුණාගේ සඳහන අනුව පැහැදිලි වන්නේ දෙමළජාතික සන්ධානයේ නිර්මාතෘ එල්.ටී.ටී.ඊ.ය බවයි. නමුත් මේ වන විට දෙමළ සන්ධානයට දෙමළ ජනතාව විසින් දුන් විශිෂ්ට ජන වරම දරා ගැනීමට නොහැකි බවක් මේ වන විට දක්නට ලැබේ. ඊට හොඳම උදාහරණය නම් දැවැන්ත ජයග්‍රහණයක් සමග පිහිටුවන ලද උතුරු පළාත් සභාව තුළ අර්බුදකාරී තත්ත්වයක් ඇති වීමයි. උතුරු පළාත් මහ ඇමැති සී.වී. විග්නේෂ්වරන් විසින් පළාත් සභාවේ අධ්‍යාපන හා කෘෂිකර්ම ඇමැතිවරු ඉවත් කිරීමට හා ධීවර සෞඛ්‍ය යන ඇමැතිවරු දෙදෙනාට මාසයක අනිවාර්ය නිවාඩු දීමට කටයුතු කිරීමත් සමග අර්බුදකාරී තත්ත්වය ඇති විය. එහි ප්‍රතිඵලයක් ලෙස මහ ඇමැතිවරයාට එරෙහිව විශ්වාසභංගයක් උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ වෙත ඉදිරිපත් කෙරිණි. ඒත් සමග මහ ඇමැතිවරයාට සහය පළ කරමින් තවත් පිරිසක් දිවුරුම් ප්‍රකාශ ඉදිරිපත් කළහ. අවසානයේදී පළාත් සභාවේ අර්බුදය විසඳීම සඳහා දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්දන්, හා යාපනය රදගුරු ජස්ටින් බර්නාඩ් ඥාන ප්‍රකාශම් මැදිහත් වී ප්‍රශ්නය දුර දිග නොයාමට පියවර ගත්හ. ඒ අනුව ධීවර ප්‍රවාහන හා වෙළෙඳ අමාත්‍ය පී. ඩැනිෂ්වරන් හා සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍ය පී. සත්‍යලිංගම් යන අමාත්‍යවරු දෙදෙනාට පනවා තිබූ අනිවාර්ය නිවාඩු යැවීමේ තීරණය ඉවත් කර ගන්නා ලදී. එමෙන්ම ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේෂ්වරන්ට එරෙහිව භාරදී තිබූ විශ්වාසභංග යෝජනාව ඉවත් කර ගන්නා බවද සම්බන්දන් මහතා ප්‍රකාශ කළේය. ඊට පසුදින අධ්‍යාපන හා ක්‍රීඩා ඇමැති එස්. කුරුකුලරාසා හා කෘෂිකර්ම ගොවිජන හා පශු සම්පත් අමාත්‍ය අයින්කර නේෂන් යන දෙදෙනා සිය  ඉල්ලා අස්වීම් ලිපි උතුරු පළාත් ආණ්ඩුකාර ‍ලේකම්වරයා වෙත භාරදෙන ලදී. ඉල්ලා අස්වූ අමාත්‍යවරු දෙදෙනාගේ බලතල ප්‍රධාන අමාත්‍යවරයා යටතට ගනු ලැබූඅතර 21 දා පස්වරු 3.00ට පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ ඉදිරියේ අධ්‍යාපන හා කෘෂිකර්ම අමාත්‍ය තනතුරේ දිවුරුම් දෙන ලදී. එයින් අනතුරුව ප්‍රධාන අමාත්‍යවරයාට එරෙහිව භාරදී තිබූවිශ්වාසභංග යෝජනාව භාරදුන් පාර්ශ්වය විසින නිල වශයෙන් ඉල්ල අස්කර ගැනීමටද කටයුතු කළේය.
මේ වන විට දක්නට ඇත්තේ උතුරු පළාත් සභාවේ අර්බුදය සාමකාමීව විසඳෙන ආකාරයකි. කෙසේ නමුත් අවසන් විසඳුම සිදුවූයේ විග්නේෂ්වරන්ට වාසිදායක වන ආකාරයටය. එනම් ඔහු විසින් නම කළද අමාත්‍යවරු දෙදෙනාට ඉල්ලා අස්වීමට සැලසීමෙනි. 
මෙලෙස විසඳුමක් ලැබිමට හේතුව විග්නේෂ්වරන්ට පක්ෂව උතුරේ බහුතර සිවිල් සංවිධාන එකතු වීම බව උතුරේ ජනතාව පවසති. වෛද්‍යවරු ඇතුළු උගතුන්, විශ්වවිද්‍යාල ශිෂ්‍ය සංගම් ආදිය විග්නේෂ්වරන්ට සහය පළකිරීම නිසා සම්බන්දන් ඇතුළු ටී.එන්.ඒ. නායකත්වයට අඩියක් පස්සට තැබිමට සිදුවිය.
 
සනත් ප්‍රියන්ත

“සාමකාමී ස්ථාවර ශක්තිමත් ආර්ථිකයක් හා ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ බලාපෙරොත්තු දැල්වෙමින් ඇති මෙහොතක විසි එක්වන සියවසේ ශ්‍රී ලංකාව තුළ ආගමික අසහනය සහ ජාතිවාදය වැපිරවීමට කිසිදු ඉඩක් තිබිය යුතු නැත.” එක්සත් ජාතික පක්ෂයේ සභාපති, අමාත්‍ය මලික් සමරවික්‍රම මහතා විසින් පසුගිය ජුනි 17 දා නිකුත් කරන ලද එම නිවේදනය මේ වන විට පොදු සමාජ කතිකාවකට බඳුන් වෙමින් තිබේ. ඒ ශ්‍රී ලාංකීය ජන සමාජයේ පවත්නා චිරාගත බෞද්ධ සාම්ප්‍රදායික උරුමය යටපත් කර ශ්‍රී ලංකාව නිර්ආගමික (Secular) රාජ්‍යයක් බවට පත් කිරීමේ එක්සත් ජාතික පක්ෂ වැඩපිළිවලක මුලාරම්භය එය විය හැකි බවට ඇතැමුන් තුළ සැක පහළවී ඇති බැවිනි.

ශ‍්‍රී ලංකාවේ පවත්නා උත්තරීතර නීතිය වශයෙන් එහිම දැක්වෙන ශ‍්‍රී ලංකා ප‍්‍රජාතාන්ත‍්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ දෙවන පරිච්ඡේදයෙහි නව වන ව්‍යවස්ථාව නම් වනුයේ ‘බුද්ධාගම’ යනුවෙනි. එම ඡේදය මෙලෙසිනි.

‘‘ශ‍්‍රී ලංකා ජනරජය බුද්ධාගමට ප‍්‍රමුඛස්ථානය පිරිනමන්නේ ය. එහෙයින් 10වැනි ව්‍යවස්ථාවෙන් සහ 14වැනි ව්‍යවස්ථාවේ (1) අනු ව්‍යවස්ථාවේ (ඉ) ඡේදයෙන් සියලූම ආගම්වලට පිරිනැමෙන අයිතිවාසිකම් ආරක්ෂා කර දෙන අතර බුද්ධ ශාසනය සුරක්ෂිත කොට පෝෂණය කිරීම රජයේ වගකීම විය යුතු වන්නේය.’’

එක්සත් ජාතික පක්ෂ සභාපතිවරයාගේ ඉහත සඳහන් නිවේදනයට අනුව එම පක්ෂය කරන එක්සත් ජාතික පක්ෂය ඉහත සඳහන් ව්‍යවස්ථාමය වගකීම හීන් සීරුවේ කර ඇරීමට උත්සාහ කරන බවක් යමකුට ඒත්තු යා හැකිය.

නමුත් ඉහත සඳහන් ව්‍යවස්ථාව අනුව වුව හින්දු, ඉස්ලාම්, රෝමානු කතෝලික සහ සෙසු කිතුනු ආගම් නියෝජනය කරන දෙමළ, මුස්ලිම්, බර්ගර්, ජා, මැලේ ආදී ජාතිකයන්ට ඔවුන්ගේ ආගම් ඇදහීමේ නිදහස ද තහවුරු කොට ඇත.

මූලික අයිතිවාසිකම් පිළිබඳව සඳහන් වන ශ‍්‍රී ලංකා ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ තුන්වන පරිච්ඡේදයේ සිතීමේ නිදහස, හෘද සාක්ෂියේ නිදහස සහ ආගමික නිදහස යනුවෙන් නම් කොට ඇති දසවන ඡේදයේ එන ඒ සම්බන්ධ වගන්තිය මෙලෙසිනි.

‘‘සෑම තැනැත්තකුටම තමන් අභිමත ආගමක් වැළඳ ගැනීමේ නිදහස ද, ලබ්ධියක් හෝ විශ්වාසයක් දැරීමේ හෝ පිළිගැනීමේ නිදහස ද ඇතුළුව සිතීමේ නිදහසට, හෘද සාක්ෂියේ නිදහසට සහ ආගමික නිදහසට හිමිකම් ඇත්තේ ය.’’

දේශපාලනය සහ ආගම මානව ඉතිහාසයේ අනාදිමත් කාලයක සිට එක්ව අත්වැල් බැඳ පැමිණ තිබේ. ලොව සෑම ජන සමාජයකම පූජක පැලැන්තිය සමාජය තුළ පාලකයන්ට ඉහළින් ස්ථාපිත වී තිබුණේ එබැවිනි.  

නමුත් මානව බුද්ධි පරිනාමයේ එක්තරා අවස්ථාවකදී දේශපාලනය සහ ආගම දෙකට බෙදී දෙමංසලක ගමන් කිරීම අරඹා ඇත. ලෝක දේශපාලනයේ නවීනතම අවස්ථාවක් වන මෙය හැදින්වෙනුයේ පල්ලිය සහ රාජ්‍යය එකිනෙක වෙන්වීම (separation of Church and state ) යනුවෙනි. දෙශපාලනය නිරාආගමික විය යුතුය ලෝකයේ බොහෝ රටවල් පිළිගන්නට වූයේ ඒ අනුවය. 

මේ තත්වය යටතේ වුවද ආගමික පදනම් වලින් යුතු දේශපාලනික සංවිධාන ලොව පුරා කොතෙකුත් බිහි වී සහ බිහිවෙමින් පවතී.  ශ්‍රී ලංකාවේ ජාතික හෙළ උරුමය බෞද්ධ පදනමකින් යුතු දේශපාලන පක්ෂයකි.  ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රසය ඇතුළු ඉස්ලාම් ආගමික පදනමකින් යුතු දේශපාලන පක්ෂ කිහිපයක්ද අප රටෙහි තිබේ. ඒ අනුව බෞද්ධ දේශපාලනය යනු ආගම සහ දේශපාලනය එක් වූ ලෝක දේශපාලනයේ අපරිනත අවස්ථාවක් නිරුපණය කරන්නකැයි යමෙකුට හැඟී යා හැක.

එහෙත් එහි යථාර්ථය ඊට ඉඳුරාම වෙනස්ය.

බෞද්ධ රාජ්‍ය පාලනයේ පරමාදර්ශය ‘ධර්ම රාජ්‍යය’ නමින් හැඳින්වෙයි. මෙය කිසියම් ආගමික රාජ්‍යයක් වශයෙන් යමකුට සිතිය හැකි වුව ද සක්විති රජ කෙනකුන් විසින් පාලනය කරනු ලබන ධර්ම රාජ්‍යය තුළ බුදු සමය ඇතුළු ලොව කිසිදු ආගමකට විශේෂ තැනක් හිමි නොවේ. දීඝ නිකායේ එන චක්කවත්තී සිහනාද සූත‍්‍රය පිරික්සීමෙන් එය මනාව වටහා ගත හැක.

මිනිසුන්ට සේම අපා, දෙපා, සිව් පා, බහු පා ආදී සතුන්ටත්, අහසේ පියාසර කරන පක්ෂීන් සහ ජලයේ වෙසෙන මත්ස්‍යයන්ටත්, වෘක්ෂලතාදියටත්, වාතය, පස, ජලය යන භෞමික සාධකවලටත් සම මෙත, සම සෙත ඉටු කෙරෙන මෙම බෞද්ධ ධර්ම රාජ්‍ය සංකල්පය ලොව පරමාදර්ශී දේශපාලන දර්ශනයකි. කිසිම ආගමික ලබ්ධියක් සුවිශේෂ කොට ගෙන ඊට විශේෂ අනුග‍්‍රහ සැලසිය යුතු යැයි එහි කිසිම තැනක සඳහන් නොවේ.

මතුපිටින් බලන විට මෙහි 'බෞද්ධ' යන හැදින්වුම තිබුනද සැබෑ අර්ථ විග්‍රහයට අනුව මෙය සැලකිය හැක්කේ නිර්ආගමික රාජ්‍යය සංකල්පයක් වශයෙනි.  

ශී‍්‍ර ලංකාවේ බෞද්ධ ජනගහණය සමස්ත ජන ප‍්‍රතිශතයෙන් 69.30%කි. එහෙත් ඉන්දියානු ජනගහණයේ හින්දු ආගමික ප‍්‍රතිශතය 79.8%කි. ඊට අමතරව ඉන්දියාවේ සෙසු ආගම්වලට අයත් ජනගහණය ප‍්‍රතිශතයක් ලෙස මෙලෙසිනි.

ඉස්ලාම් 14.2%, ක‍්‍රිස්තියානි 2.3%, ෂීක් 1.7%, බෞද්ධ0.7%, ජෛන 0.4%, වෙනත් ආගමික 0.7%, නිර්ආගමික 0.2%

ශ‍්‍රී ලංකාවේ බෞද්ධ ජනගහණයට සාපේක්ෂව හින්දු ජනගහණයේ 10%කට වැඩි ප‍්‍රතිශතයක් පෙන්වන ඉන්දියාව මේ වනවිට ‘නිර්ආගමික’ රාජ්‍යයක් බව වත් අප රටේ බොහෝ දෙනෙක් නොදනිනි. ඉන්දීය ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 15-25 වගන්තිවලින් එහි ආගමික නිදහස මූලික අයිතිවාසිකමක් ලෙස තහවුරු කර තිබේ.

1947බි‍්‍රතාන්‍ය අධිරාජ්‍යවාදී ග‍්‍රහණයෙන් මිදුණු ඉන්දියානු රාජ්‍යයේ නිර්ආගමික බව 1976 අංක 62දරන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් එම රටේ උත්තරීතර නීතියට එක්කොට තිබේ.

හින්දු, බෞද්ධ, ජෛන, ෂීක් යන ප‍්‍රධානම ආගම් හතර මෙලොවට දායාද කළ ඉන්දීය රාජ්‍යය දේශපාලනික වශයෙන් නිර්ආගමික වීම අති නවීන සංකල්පයක් සේ බටහිර විචාරකයෝ කියති. එහෙත්, බුදු දහමින් ඉදිරිපත් කෙරෙන අතිශය සහනශීලී අවිහිංසාවාදී පදනමක් වන අශෝක අධිරාජ්‍යයා විසින් ලොවට ඉදිරිපත් කළ ආගමික සහජීවන පිළිවෙත ඉන්දියාව තුළ පරිණාමයට, විකාශනයට සහ සංවර්ධනයට පත්වීමේ පියවරක් ලෙස ඉන්දියාව මෙලෙස නිර්ආගමික රාජ්‍යයක් වන්නට ඇත. මෙය අදද බොහෝ දෙනෙකුට නොවැටහෙන සත්‍යයකි.

වර්තමාන ඉන්දියානු රාජ්‍ය ලාංඡනය වනුයේ ද අශෝක අධිරාජ්‍යයා විසින් සාරානාත් හි පිහිටුවා තිබූ ශිලා මූර්තියක සංකේතයකි. මෙම මුර්තියේ දැක්වෙන සිව් දෙසට මුහුණ ලා ගත් ඉන්දීය සිංහයන් සිව් දෙනකුගේ රූප සීනුවක හැඩය සහිත පියුමක ආකෘතියක් මත ඇති පීඨයක් මත තනා තිබේ. එම පීඨයේ වම් පස අශ්වයකුගේ සහ දකුණෙහි ගවයකුගේ රූප දැක්වෙන අතර ඒ මධ්‍යයෙහි ඇත්තේ ගරාදි විසි හතරකින් යුතු ධර්ම චක‍්‍රයකි.

‘අශෝක චක‍්‍ර’ නමින් හැඳින්වෙන නිසැක ලෙසම බෞද්ධ ධර්ම චක‍්‍ර සංකේතයක් වන මෙය ඉන්දියාව 1947ජූලි 22දා සිට ඉන්දීය ජාතික ධජයේ ඇති එකම සංකේතය ලෙස යොදාගෙන තිබේ. එහෙත්, සියයට අසූවක් පමණ හින්දු ජනගහණයක් වෙසෙන ඉන්දියාවේ රාජ්‍ය ලාංඡනයට සහ ජාතික කොඩියට ඊට වඩා ඉතා සුළු ජනගහණයක් අදහන බෞද්ධ සංකේතයක් යොදා ගැනීම පිළිබඳ කිසිදු විරෝධයක් එල්ල වී නැත.

ඊට හේතුව ඉන්දීය සංස්කෘතිය සහ සභ්‍යත්වය මුල්කර ගනිමින් ගොඩ නැගුණු උදාරතර ශිෂ්ටාචාරය මත පදනම් වූ ජාතිකත්වය සඳහා බුදු දහමින් සහ ධර්මාශෝක අධිරාජ්‍යයාගෙන් ලත් සුවිශේෂ පිටිවහලට කෘතගුණ පෑමක් වශයෙන් ද විය හැක.

ඒ තත්වය තුළ ශ්‍රී ලංකාව තුළ සැබෑ බෞද්ධ දර්ශනික දේශපාලනය ස්ථාපිත කරවීම යනු හුදෙක් හින්දු මහායාන ඇතුළු සෙසු ආගමික අංශද ඇතුළත් නූතන ව්‍යවහාරික බුද්ධාගම සහ දේශපාලනය එක් කර ගනිමින් වර්ගවාදී සංකල්ප පැතිර වීම නොවේ. ශ්‍රී ලංකාව තුළ සැබෑ බෞද්ධ දේශපාලන දර්ශනය ස්ථාපිත කළ හැක්කේ ශ්‍රී ලංකාව නිර්ආගමික  රාජ්‍යයක් ලෙස ප්‍රකාශයට පත් කිරීමෙන් පමණි.

තිලක් සේනාසිංහ

ඕ තොමෝ දැන් බොහෝ තැන්පත්ය. සන්සුන්ය. කිසිදු වරදක් නොකළ අහිංසකියක සේ සුපුරුදු ලැසි ගමනේ ගම් මැද්දෙන් නිසසලව ගලා බසින්නීය. මීට දෙසතියකට පෙර මහා විනාසයක් කරමින් ඉවුරු බිඳලමින් අහස උසට ජල කඳ රැගෙන රකුසු වෙස් ගත්තේ මේ ගිංගං තොමෝම දැයි සිතාගත නොහැකි තරම් දැන් ඇය ශාන්තය. ලියුම්කරුගේ ගමද ගිංගං නිම්නයේ හිනිදුම් පත්තුවේ පනංගලය. අපේ ගම්වැසියන්ද හිත මිතුරන්ද ඥාතීන්ද බොහෝ පිරිසක් ගිංගං තොමෝ සිය චණ්ඩ ජලපහරින් පෙළා දැමූහ. ගඟ මට්ටමේ සිට අඩි 50කටත් වැඩි උසකින්ද කිලෝමීටරයකට වැඩි දුරකින්ද  පිහිටා ඇති ලියුම්කරුගේ නිවස ආසන්නයටම රුදුරු ජල කඳ පැමිණුණි. උඩුගමින් ඉහළ පෙදෙස් සියල්‍ලේ විදුලිය ඇණ හිටිණි. දුරකථන සංඥාද ගංවතුරේ පළමු දිනය ඇතුළතම ක්‍රියා විරහිත විය. 
විදුලියද දුරකථන සංඥාද ඇණහිටි පසු ගංවතුරින් කොටුවී ගඟ දෙපස කඳු මුදුන්වලට රොක් වුණු ගිංගං නිම්නයේ වැසියෝ බාහිර ලෝකයෙන් දින කිහිපයකට දුරස් වූහ. ඒ දින කිහිපය ඉන් ඈත්ව සිටින ළබැඳි-යන්ට කොතරම් තදින් දැනුණේද යන්න ලියුම්කරු පෞද්ගලිකවම අත්වින්දේය. තවමත් සරුසාර ගම්මාන වන හිනිදුම් පත්තුවේ කඳු මුදුන්වල පවා කොස්ද ‍පොල්ද අල බතල මයියොක්කාද යහමින් වැඩෙන බැවිනුත් බොහෝ නිවෙස්වල සතියකට දෙකකට ප්‍රමාණවත් ආහාර සංචිතයක් නිරන්තරයෙන් පවතින බැවිනුත් ළබැඳියන් බඩගින්නේ නොඉන්නා බව සිතා යාන්තම් හිත හදා ගන්නට ලියුම්කරුට හැකි විය.
“වතුර ගලාගෙන එනව පුතේ හරි වේගෙන් ... පහළ ගඟ පැත්තේ මිනිස්සු ඔක්කොම අපේ ගෙදර. ෆෝන් එකේ බැට්රිත් ඉවරයි. බයවෙන්න දෙයක් නෑ. අපිට කන්දට කන්දට යන්න පුළුවන්....” 
ඒ ලියුම්කරුට සිය  මෑණියන්ගෙන් ගංවතුර පැමිණි දිනයේ ලැබුණු අවසාන දුරකථන ඇමතුමය. එවකට කුඩා කොලු ගැටයකු ලෙස 2003 මහ ගංවතුරට මුහුණදී පුරුදු ලියුම්කරු ගංවතුරේ යථාර්ථය හොඳින් දන්නේය. සැඩ ජල කඳ නැග එන විට තමන් ‍පොදි බැඳි වස්තූන්ද ආඩම්බරකම්ද තරහ මරහද හැර දමා කොහේ හෝ ආරක්ෂිත තැනකට දුවන බොහෝ ගම්මු ඉතිරි කර ගන්නේ තම ඇඳිවත පමණි. 
එවන් විපතකින් මඳ කලක් යනතුරු එහි වේදනාව පහ නොවීම මනුෂ්‍ය චිත්ත ස්වභාවයයි. මෙවර ගංවතුරින් දින ගණනාවක් බැට කෑ බද්දේගම, නාගොඩ ආදී පෙදෙස් පසුකර යන විට අප තුළද ඇති වූයේ මහත් සංවේගජනක හැඟීමකි. අඩි 20ක් පමණ ඉහළින්ද ගස්කොළන්වල තවමත් මඩ පැල්ලම්ය. ජලයේ ගසාගෙන පැමිණි විවිධ දෑ තවමත් ගස් මුදුන්වලය. මඩ නිසා ඇතිවන දුහුවිල්ල තාර පාරක් තිබේදැයි සොයන්නට බැරි ලෙස යම්  තැනක ඉහළ නගී. නාගොඩ ප්‍රදේශයේ ගඟට ආසන්නයේ තිබූ කාමර තුන හතරක සුන්දර නිවසක වහලද බිත්තිද ගලවාගෙන ගොස් අද ඉතිරිව ඇත්තේ අත්තිවාරමත් ටයිල් කළ ගෙබිමත් පමණි. ඒ මත වාඩිවී කල්පනා කරන නිවැසියන්ගේ රුව  නෙතක කඳුළු දල්වන්නට සමත්ය. තවත් තැනක මාර්ගයේ පසෙක හෑරුණු විශාල වළකි. කුඹුරු ඉඩම් යකා නැටූ  පිට්ටනි සේය. අලුතින්ම කාපට් එලූ පාරේ විශාල කාපට් කුට්ටියක් ගැලවී ගොස් ඈත වෙල මැදින් ඉහළට නැගී අපට විරිත්තනවා සේ පෙනේ. ගිං ගං නිම්නයේ ඉහළ ප්‍රදේශවලට වඩා බද්දේගම නාගොඩ උනන්විටිය ආදී පහළ නිම්නයේ ගම්බිම්වලට හානිය දැඩිව දැනී තිබේ. සමහර තට්ටු නිවාසවල දෙවන තට්ටුව දක්වාද ජල මට්ටම තිබූ බව සුදු බිත්තියේ ඇඳි මඩ රේඛාවෙන් පෙනේ. 
උඩුගම බස් නැවතුමේද දෙමහල් ගොඩනැගිල්‍ලේ බාගයක්ම ජලයෙන් යටවූ බවට සලකුණු තිබේ. පසෙක තිබූ වාහන සේවාහලක වහලය උගුල්ලා යන්නට ජල කඳ සැඩවී ඇත. බස් නැවතුමේ කඩ පේළි සම්පූර්ණයෙන්ම ජලයෙන් යටවූ බැවින් දෙසතියකට පසුවද ඒවායේ ජනාකීර්ණ ස්වභාවයක් පෙන්වන්නේ නැත. බස් නැවතුම ඉදිරිපස හරි අපූරු දැන්වීමකි. 
“දරුවනේ, අපි ශක්තිමත්ව නැවත නැගී සිටිමු. ගංවතුරෙන් විපතට පත්වූ 1-13 සියලුම ශ්‍රේණිවල දරුවන්ට අපි මාස 3ක් නොමි‍ලේ උගන්වන්නෙමු.” 
මෙය පළකර තිබුණේ උඩුගම නගරයේ ටියුෂන් පන්තියක් මගිනි. මෙවර ගංවතුරෙන් මොනවා නැතත් අපේ මිනිසුන්ගේ මනුස්සකම සෑහෙන තරම් ඉස්මතු වූ බවට මේද එක් සාක්ෂියකි. ඒ, කාඩ් එක ගන්නට සතියක් ප්‍රමාද වූ විට දරුවන් ටියුෂන් පන්තියෙන් එළවනා ගුරුවරු සිටින යුගයක මෙවන් ටියුෂන් පන්තියක් දකින්න ලැබිම අහම්බයක් බැවිනි. 
මාපලගම හන්දියේ ඇති ගිංගඟේ පාලම මතට වී සති දෙකකට පෙර චණ්ඩ වූ ජලකඳ තැබූ සලකුණු දෙස නෙත් යොමා සිටින වයෝවෘද්ධ පුද්ගලයෙකි. අපි ඔහුට කතා කළෙමු. 
“මොකක්ද මහත්තයෝ ඉතින්... ඕක ලෝක සොබාවෙනේ. ගොංගල කන්දෙන් පටන් ගන්න මේ ගිංගඟ දෙණියාය, නෙළුව, තවලම, උඩුගම පහුකරං මාපලගම හරහා ගිහින් ගිංතොටින් මූදට වැටෙනවා. කාලෙකට සැරයක් ගංවතුරක් ඇවිත් ‍පොළව සාර කරලා යනවා. ඉස්සර මේවයේ තිබුණෙ උක් වගාව. සිරිමා මැතිනිගෙ කාලෙ ආහාර හිඟේ නිසා ඒක තවත් ජනප්‍රිය වුණා. වැහි කාලෙට කොහොමත් ගඟ උතුරලා පිටාර ගලනවා. ඒ කාලෙට නම් ගඟ මෙහෙම අහිංසක නෑ. ඉතින් ගඟ අද්දර පදිංචි වෙලා ඉන්න මිනිස්සු ගංවතුර බැහැල යනකම් ආරක්ෂාවට කඳු බිම්වලට සේන්දු වෙනවා.
ආපහු ඉතින් හිටපු තැන්වලට එන්නෙ වතුර හොඳටම බැහැල ගියායින් පස්සෙ. සමහර වෙලාවට මාස ගණන් අවුරුදු ගණන් එකතු කරගත්ත සබ්බසකලමනාවම වතුරෙ ගහං යනවා. එහෙම වෙලාවට කමක් නෑ ඉතින් ජීවිතේ බේරුණානේ කියලා මිනිස්සු හිත හදා ගන්නවා. ආයෙත් ජීවිතේ ගැට ගහගන්න එක හිනිදුම් පත්තුවෙ මිනිස්සුන්ට අරුමයක් නොවේ. 
පහළින් ගලා යන ගං දිය මතට රතුම රතු කෙළ පාරක් ගසා  බුලත් කහට බැඳුණු දසන් විහිදා සිනාවෙන ඔහු ගංවතුර උපේක්ෂාවෙන් දකින්නේ එසේය. 
උඩුගම බස් නැවතුමේ සිට ඉහළ දෙසට නෙළුවට යනතුරුම බොහෝ තැන්වල දක්නට ලැබෙන්නේ එකම චිත්‍රයකි. පහළ නිම්නයේ ගහකොළ සෑහෙන තරම් උසට මඩ නැහැවී ඇත. පහත් බිම්වල තේ වගාවන් සියල්ල පාහේ  කළුවී තැම්බි විනාශව ගොසිනි. පහත් බිම්වල තේ වගාවන් අක්කර සිය ගණන් මෙලෙස විනාශ වී ඇත.
ඉහළින්  ඇති කඳු බොහෝ තැන්වල සුළුවෙන් නාය ගොස්ය. ඉන් පැමිණි මහ ගල් තවමත් පාරේය. ආධාර ගන්නට බලා සිටින කිසිවෙකු දෙසතියකට පසු මේ මාවත්වල දකින්නට නැත. ඒ හිනිදුම් පත්තු වැසියෝ කිසිදා කිසිවෙකුට අත පා ජීවත් වන්නට කැමති නොවන නිසා වන්නට ඇත.
“ආධාර නම් මොනවද මහත්තයො... මුල් දවස් තුන හතරම මේ ගම්මු කඳුවල කොටුවෙලා. ගමේ කොල්ලො ටික අරහෙ මෙහ දුවල මොනවහරි ගෙනල්ලා මිනිස්සුන්ගෙ බඩගින්න නිවුවා. කඳුවල මිනිස්සුත් ගෙවල්වල තිබුණ කෑම ජාති සේරම උයල පිහල අවතැන් වෙච්චි අයට දුන්නා. බැරිවෙද්දි කොස් දෙල් හරි තම්බල කාටත් කන්න දුන්නා. අන්තිමට ඔය එක එක්කෙනා ගේන ආධාර බෙදුණෙ නම් පංගුපේරුවට. කඳුවල මිනිස්සුත් යටවුණු මිනිස්සුත් දෙගොල්ලොම එකවගේ අවතැන්. වැඩියත්්ම ඔය ගල්ලන්දල හරියෙ ඉඳන් මෙහෙට එන ආධාර ගත්තෙ වෙන කොහෙන්වත් ආපු සංවිධානාත්මක කල්ලි. මේ ගම්වල මිනිස්සුන්ට තමන්ගෙ ගෙවල් දොරවල් හෝදගෙන කියාගෙන අස්පස් කරගෙන ආයෙත් ජීවිතේ පටන් ගන්න එක ඔය කෙහෙල්මල් ආධාරෙට වඩා වටිනවා.”
මේ කතාව කියන්නේ පනන්ගල ගමේදී අපට හමුවුණු පී.ඇල්. හින්නි අප්පුහාමි මහතාය.
හිනිදුම කල්වාරි දෙව්මැදුර කතෝලික ප්‍රජාව අතර ඉතා ප්‍රකටව ඇත්තේ එහි වන කල්වාරි කන්දේ අනුරුව ඔවුන් අතර ඉතා ජනප්‍රිය නිසාය. කල්වාරි කන්දට යන්නට ගඟ මට්ටමේ සිට අඩි 50ක් පමණ ඉහළින් තැනූ පාලම වෙතද ජල මටට්ම ළඟාවී ඇත. පාලම පහළ තිබූ පුංචි කඩයේ කණු පමණක් ඉතිරිව ඇත්තේ පැමිණි ජල කඳේ සැඩ බව කියාපාමිනි.  
පල්ලිය අසලදී අපට හමුවුණේ තරමක් විශාල මල්ලක් කර තබාගත් ගැමියෙකි. හිනිදුම පල්ලියේ බෙදන ආධාරයක් අරගන්නට ගිය තවත් පිරිසක්ද අපට දැකගත හැකිවිය.
“හිනිදුම කියන්නේ බෞද්ධ ගමක්. පල්ලියක් තිබුණාට මෙහේ කතෝලික ප්‍රජාව හරිම අඩුයි. ඒත් විපතට පත්වුණාම ජාති ආගම් බේද බලන්නැතුව පල්ලියෙන් කරන සේවෙ අතිවිශාලයි. විපතට පත්වෙච්ච නොවෙච්ච හැමකෙනෙක්ම මේ වෙලාවෙ ඉන්නෙ අසරණ වෙලා. ගංවතුර වෙලාවෙ පිහිට වුණේ මොන පක්ෂෙකවත් අය නෙමේ. ජනතාවමයි. නේවි එකයි, ආමි එකයි සෑහෙන තරම් මහන්සි වුණා. රතු තරුව සංවිධානෙන් ගෙවල්, ළිං සුද්ධ කරලා දුන්නා.  ඒ වගේම ගමේ තරුණ දරුවො ටික. 
අපි තවලම හන්දිය වෙත ළඟා වනවිට මධ්‍යහ්නයට ආසන්නය. තවලම ජාතික පාසල අසල කිසියම් සංවිධානයකින් පැමිණි වාහන පෙළකි. ආධාර බෙදීමේ වැඩසටහනක් නිමවා ඔවුහු ආපසු යන්නට සැරසෙති. 
“අපි මීගමුවෙ ටියුෂන් පන්තියකින් ආවේ. ලක්ෂ ගාණක ‍පොත්පත් අරං ආවා. ඒ ටික බෙදන්න යද්දි ප්‍රදේශයේ දේශපාලනඥයො කීපදෙනෙකුත් ඇවිත් ලකුණු දාගන්න බැලුවා. ඒත් අපි කිව්වා මේක කිසිම දේශපාලන සම්බන්ධයක් නැතිව අපිට කරන්න ඕනෙ කියලා.”
ඒ වචන කිහිපය අපේ ජරාජීර්ණ දේශපාලනය කැටපතක් සේ පිළිබිඹු කරන්නට සමත්ය. 
ඈත අතීතයේ සිට ගිං ගඟත් සමග බද්ධ වූ ජීවිතයක් ගෙවූ මේ මිනිසුන් මහා මඩ තට්ටුවක් ගෙදර සාලයට ගෙනත් තැබුවාට ගිං ගඟ සමග වෛර බඳින්නේ නැත. ඒ මඩ ටික සෝදා දමා අලුතින් ජීවිතය පටන්ගන්නට ඔවුහු කැමැතිය.
ගිං ගඟේ ගංවතුර ස්වාභාවික ක්‍රියාවලියක් බැවින් ඔවුහු ඒ සොබාදම් රීතිය අතික්‍රමණය කරන්නට කැමැති නැත්තෝය. මේ සැම මුහුණකම දිදුළන්නේ බලා‍පොරොත්තුවක සේයාවය. දෙසතියකට පසු ඔවුහු නැති වූ දේ අතහැර ලබාගත හැකි දේ ලබාගෙන ජීවිතය අරඹන්නට සූදානම්ය. 
 
“අම්මට සිරිගජ වේගෙන එනකොට දූලගෙ කඳ බඩ ලොකු      වෙන්නේ
 එන්නට ඇවිදින් යන්නට යන කල දූලගේ තොල කට       වියළෙන්නේ 
 ගෙන්ගෙට ගොස් වැදු දූවරු ගණනත් නැත කිසිවෙක් හරියට     දන්නේ 
 ගිංතොට නැන්දගෙ දූවරු හින්දයි ගඟබඩ පත්තුව           වැනසෙන්නේ” 
 
සත් කන්නයක අස්වනු ආලපාළු කළද එක් කන්නයකින් ඒ සියලු ඉසුරු සම්පත් සපුරමින් මිටියාවත සරු කරන ගිං ගඟේ ප්‍රචණ්ඩ වේශය එදා ජන කවියා දුටුවේ එසේය. 
ගිං ගඟ කාලයකට වරක් කෙතරම් චණ්ඩ ලෙස තමන්ට සැලකුවද ඔවුන් ජීවත් වන්නේ ගිං ගඟේ පිහිටෙන් බව හිනිදුම් පත්තු වැසියන්ට අමතක නොවීම, අපට සිතන්නට යමක් ඉතිරි කර ඇත්තේ නොවේද?
 
මිහිරාන් කරුණාරත්න

පසුගිය මැයි 25, 26, 27 දිනවල දිවයිනේ ප්‍රදේශ ගණනාවකට ඇදහැලුණු ධාරානිපාත වර්ෂාවේ අවසන් ප්‍රතිඵලය ඉතාම ඛේදජනක විය. නමුත් ඉන්පසුව ‘සැනසුම් සමයක්’ උද්ගත වී ඇතැයි බොහෝ දෙනෙක් සිතති. එහෙත් කාලගුණය සම්බන්ධයෙන් එවැනි ලඝු තීරණවලට එළැබීම අතිශය අවදානම් සහිතය.ඒ එක් කාලගුණික විපතක අවසානයත් සමඟම ඊට වඩා බිහිසුණු කාලගුණික විපතක් යළි පැමිණිය හැකි බැවිනි.

නමුදු මැයි මහා ආපදාව මේ යුගයේ අවසන් ස්වභාවික ආපදාව ලෙස සළකමින් බොහෝ අය කටයුතු කරන බව පැහැදිලිව පෙනේ.  නමුත් මේ 2017 නිරිතදිග ‍මෝසම් සමය ආරම්භ වූවා පමණි. සාමාන්‍ය පාරිසරික තත්ත්වයන් යටතේ මෙම මෝසම් සමය සැප්තැම්බර් මස මැද කාලය වනතෙක් අප දිවයිනට බලපානු ඇත. එසේනම් ඉදිරියටත් සුළං සහ වර්ෂාවෙන් ආපදා ඇතිවීමේ ඉඩකඩ නැතිවා නොවේ.

 මෙම මෝසම් කාලයේ බෙන්ගාල බොක්ක සමුදුර ප්‍රදේශයේ වර්ධනය වන, අඩු පීඩන ප්‍රදේශ (Low Pressure Area) සහ පීඩන අවපාත (Depression) වැනි කාලගුණ පද්ධතිවල බලපෑම් යටතේ දිවයිනේ ආසන්න කාලගුණ තත්ත්වයන් ඇතිවීම බලාපොරොත්තු විය හැකිය.

එවන් වාතාවරණ යන්හිදී ප්‍රචන්ඩ සුළං ප්‍රවාහ සහ අධික වර්ෂාපතන බොහෝවිට ආපදාකාරීය. කැටි වැහි වලාකුළු වල (Cumulonimbus clouds) බලපෑම අනුව අකුණු අතිවීම මෙන්ම ඉතා ප්‍රචන්ඩ සුළං සහිත ටෝනේඩෝවල බලපෑමද බොහෝවිට විපත්ති දායකය.

අයහපත් කාලගුණ පද්ධතිවල බලපෑමෙන් ගොඩබිම පමණක් නොව දිවයින වටා වූ මුහුදු ප්‍රදේශවල ඉතා අයහපත් තත්ත්වයන් උද්ගත වන බව අදාල සැවොම අවබෝධ කර ගත යුතුය. එසේ නොමැති වුවහොත් විශේෂයෙන් ධීවර ප්‍රජාවට සිදුවිය හැකි ආපදා කළමනාකරණය කිරීමද අපහසු වනු නොඅනුමානය.

මෙම කාලයේ ශ්‍රී ලංකාව වටා සමුදුරු කොටස්වල නිරිතදිගින් හමන සුළං විටින් විට ප්‍රචණ්ඩ වන නිසා මුහුද රළු බවින් පිරි පවතී. සංකීර්ණ කැටිවැහිවලා වල වැඩෙන දියගොබවලා (Waterspout) සතු ප්‍රචණ්ඩ චක්‍රීය සුළං නිසා සමුදුරු ඉතා රළු වීම බොහෝවිට ධීවරයින්ට මාරාන්තික ආපදා ගෙනඒමට පවා හේතුවේ.

හොඳින් වර්ධනය වූ දියගොබවලාවකට බහුදින ධීවර යාත්‍රාවක් වුවත් මීටර් තිහක් හතලිහක් ඉහළට එසවීම ඉතා පහසු කාර්යයකි. මෙම ආපදාව ඉතාම අවදානම් වන්නේ කැටිවැහිවලා සංකීර්ණවල වර්ධනයවන දියගොබවලා පොකුරු (Multi Waterspout) වල බලපෑම් පවතින අවස්ථාවලය. දියගොබවලා ගණනාවක බලපෑමට යටත්වී බෝට්ටු විනාශවීම මෙන්ම ඉතාම රළු මුහුදේ පිහිනුම් ශූර ධීවරයන්ට පවා සටන් කිරීම අපහසු වීම ඊට හේතුවයි.

පැවතිය හැකි ආපදාකාරී කාලගුණ තත්ත්වයන් පිළිබඳව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනමාධ්‍ය හරහා ලබාදෙන අනාවරණ පිළිබඳව අපේ නිරතුරු අවධානය ආපදා අවම කරගැනීම සඳහා අත්‍යාවශ්‍ය වෙයි. සාමාන්‍යයෙන් සැප්තැම්බර් මැද්ද දක්වා අපට බලපාන නිරිතදිග මෝසම් සමයේ විටින් විට බෙංගාල බොක්ක සමුදුරේ පීඩන අවපාත වර්ධනයවන නිසා ඒ පිළිබඳව වන අනාවැකි පෙර ආපදා පියවර දියත් කිරීම උදෙසා උපකාරවනු නොඅනුමානය.

රටක ආපදාවන් කළමනාකරණය රජයට පමණක් කළ හැකි කටයුත්තක් නම් නොවේ. රාජ්‍ය නිලධාරීන්ට අමතරව සමස්ත ජනතාවම ආපදා අවම කිරීමට අවශ්‍ය පියවර දියත් කිරීමේ වගකීම බාරගත යුතුය. පැවතියහැකි ආපදා පිළිබඳව ජනමාධ්‍ය හරහා දැනුවත්වීමේ වගකීම මෙන්ම ආදාල කළමනාකරණ පියවර නිසි වේලාවට දියත් කිරීමේ වගකීම අප සැම සතුය.

හිටපු කාලගුණ විද්‍යා අධ්‍යක්ෂ කාලගුණ විද්‍යාඥ - කේ.ආර්.අභයසිංහ

නර්තන අංග දෙකකින් උතුරු මැද පළාතෙන් ප්‍රථම ස්ථාන දෙකක් හිමිකරගෙන ඇති පොලොන්නරුව වැලිකන්ද මහා විද්‍යාලයේ නර්තන අංශයේ දරුවන්ගේ මව්පියන් මුහුණ පා ඇති ආර්ථික අසීරුතා මත එම දරුවන්ට රංග වස්ත්‍රාභරණ ලබා ගැනීමට නොහැකි වීමෙන්  දක්ෂතා වලින් යුතු දරුවන්ට කොළඹ සමස්ත ලංකා තරගවලට යාමට  නොහැකි වීමේ අවාසනාවන්ත පුවතක් වැලිකන්ද මහා විද්‍යාලයෙන් වාර්තා වේ.

සමස්ත ලංකා තරග ජුලි මුල් සතිය තුළ කොළඹ දී පැවැත්වෙන අතර ඒ සඳහා විද්‍යාලයේ සිසුන් 36 ක් සහභාගී කරවීමට  නියමිතය.  නමුදු ඔවුනට අවශ්‍ය රංග වස්ත්‍රාභරණ ලබා ගැනීමට මව්පියන්ට විශාල මුදලක් දැරීමට සිදුව ඇත. එම  තත්ත්වය මත සිසුන් 36 දෙනාම මහත්  ඉච්ඡාභංගත්වයට පවත්ව සිටින බව විද්‍යාලීය නර්තන අංශ ගුරුවරු පවසති.

මැයි 06 වෙනිදා අනුරාධපුර ස්වර්ණපාලි මධ්‍යමහා විද්‍යාලයේ දී පැවැති පළාත් නර්තන තරගාවලියෙන් කුළු නැටුම හා තුරගා වන්නම යන ශාස්ත්‍රීය අංශ දෙකෙන්ම වැලිකන්ද මහා විද්‍යාලය ප්‍රථම ස්ථාන දෙකක් ලබා ගත්තේය.

ඒ අනුව කොළඹ දී පැවැත්වෙන සමස්ත ලංකා නර්තන තරගයට කුළු නර්තනයෙන් සිසුන් 20 ක්ද තුරගා වන්නමෙන් සිසුන් 16 ක් තේරීපත්ව සිටින අතර ඊට සහභාගිවීමට ඔවුනට පවතින එකම ගැටළුව වන්නේ අවශ්‍ය රංග වස්ත්‍රාභරණ ලබා ගැනීමට මුදල් නොමැති වීමයි.

සහභාගී වන සියලු සිසුන්ට අවශ්‍ය වස්ත්‍රාභරණ ලබාගැනීමට රුපියල් දෙලක්ෂ දහඅටදහසක මුදලක් අවශ්‍ය වේ.

එම මුදල හෝ වස්ත්‍රාභරණ දරුවන්ට ලබාදීමට යම් පරිත්‍යාගශීලියෙකු හෝ දානපතියෙකු ඉදිරිපත් වේ නම් එය උතුම් පිංකමක් මෙන්ම වැලිකන්දේ දරුවන් වෙනුවෙන් කරන උතුම් සත්කාරයක් බවද විද්‍යාලීය ගුරුවරු පවසති.


මනම්පිටිය - නිමල් ජයරත්න

පොළොන්නරු ගල්විහාර පිළිම වහන්සේට කළ සිවුරු පූජාව පිළිබඳව දිගින් දිගටම අදහස් දැක්වෙන අතර 2017.06.05 වන සදුඳා දින ලක්බිම පුවත් පතෙහි ඒ පිළිබඳව සාවද්‍ය පුවතක් පළ වී තිබිණි.
සිව්දෙසින් පැමිණෙන සැදැහැවතුන්ට වන්දනා කිරීමට සුදුසු පූජනීය පරිසරයක් පොළොන්නරුව තුළ ඇති විය යුතුය. අනුරාධපුරය වැ`දගෙන පොළොන්නරුවට පැමිණෙන සැදැහැවතුන්ට දැක ගැනීමට ලැබෙනුයේ නටඹුන්වලින් පිරි ස්මාරක සමූහයකි. හෙළ කලාකරුවන්ගේ විශ්මිත නිමැවුම් පුදුමයකැයි සංවේගය පළ කර පිටව යන තත්ත්වයට වෙහෙර විහාර පත් කළ යුතුද යන්න පිළිබඳව පුළුල්ව විග‍්‍රහ කර බැලිය යුතුය. රාජ රාජ මහාමාත්‍යාදීන් මහරහතන් වහන්සේලාගේ අනුශාසනා මධ්‍යයේ මේවා ඉදිකර ඇත්තේ මිනිසුන්ගේ වන්දනාමාන කිරීම් සඳහාමය.
වන්දනීය පසුබිමක් තුළ ඉදිවූ මෙම සුවිසල් නිර්මාණ අද නටඹුන් ගණයෙහි ලා පමණක් සැලකීම සංවේගයට හේතුවකි.  පුරාවිද්‍යා ස්මාරක ලෙස පවතිනවාට වඩා කළ යුත්තේ මෙම පුරාවස්තු වන්දනීය පසුබිමක් තුළ ආරක්‍ෂා කිරීමකි.  සැදැහැතියන්ගේ පුණ්‍ය සිතිවිලි ඉස්මතුවන වන්දනීය පසුබිමක පුරාවස්තු ආරක්‍ෂා වීමද විශ්වාසවන්තය.  නමුත් ආගමක් දහමක් නොඅදහන්නන්නට එය විකාරයකි.  බුදුන් වහන්සේට පූජාකළ උතුම් බුද්ධ චීවරය පිළිම වහන්සේට හානිදායක වන්නේ කෙසේද යන්න ප‍්‍රශ්නයකි.  බුදු පිළිමයකට සිවුරක් පෙරවීම තහනම් කොට ඇත්තේ කවර පුරාවිද්‍යා පනතකද? එවන් පනතක් ඇත්නම් වහාම එය අපටද පෙන්වන ලෙස දන්වනු කැමැත්තෙමු. එවැන්නක් හෝ නීතියක් ලෝකයේ කිසි තැනක නැත.  මෙය සාවද්‍ය ප‍්‍රචාරයකි.  බුද්ධගයාවේ පිළිම වහන්සේට සදාකාලිකව සිවුරක් පොරවා ඇත.  වසර 900ක් පැරණි කාම්බෝජයේ අන්ග් කෝ වට් විහාරයේ ශෛලමය පිළිම වහන්සේටද, චීනයේ මෙන්ග් සාන් බුද්ධ ප‍්‍රතිමාවටද මෙලෙසම සිවුරු පොරවා ඇත.  ගල් විහාර පිළිම වහන්සේට සෙත් පිරිත් සඡු්ඣායනය කොට හේවිසි පූජා පවත්වා සාධු නාද මධ්‍යයේ කළ සිවුරු පූජාව ආරක්‍ෂක අංශයෙහි සිටි නිලධාරීන් නොදුටුයේ මන්දැයි ලිපියෙහි අසා තිබුණි.  ඔවුන්ද මෙම උතුම් බුද්ධ පූජාවට සාධූකාර දී සම්බන්ධ වූ අතර පිළිම වහන්සේ මතට හානිදායක හා ගරුසරු නැතිව ගොඩ වූයේ පසුදින බුද්ධ  චීවරය සොරා ගත්තවුන් බව පමණක් කිව යුතුය.
වන්දනීයත්වයට සුදුසු ආගමික පරිසරයක් ගල්විහාර පුණ්‍ය භූමියෙහි නිර්මාණය වනවාට අකමැති ඇතැම් පිරිසක් තම බඩ වඩා ගැනීමේ අරමුණෙන් පුරාවිද්‍යා ස්මාරක සේ මේවා පෙන්වීමට උත්සහ දරමින් සිටී. ගල් විහාරය යනු පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට හෝ ජාවාරම්කරුවන්ට අයත් භූමියක් නොවේ. බෞද්ධ කටයුතු කොමසාරිස්තුමා යටතේ ඇති ගල් විහාරය අස්ගිරි සංඝ සභාව සතු විහාරයකි.  විහාර දේවාලගම් පනතට අනුව සියලූ බලය පැවරී ඇත්තේ භික්‍ෂූන් වහන්සේලාටය.  විහාරයෙහි සංවර්ධනයට පූජාකළ ඉඩකඩම් අදටද එසේම පවතී.  උදේ, දවල්, හවස තේවාව පවත්වා හේවිසි නාද මධ්‍යයේ බුද්ධ පූජා කටයුතු සිදු කෙරෙනු ඇත. රාජකාරී කටයුතු සඳහා රජයෙන් වැටුප් ලබන හේවිසි කණ්ඩායම් පවා යොදවා ඇත .  එවන් පරිසරයක ගල් විහාරය පුණ්‍ය භූමියක් නොවන්නේ කෙළෙසකද?  මෙහි ආගමික පරිසරය යටපත් කිරීමට උත්සහ දරනුයේ තම ම`ඩිය තර කරගැනීමට වෙහෙසෙන ඇතැමුන්ය. ස`ගසතු දේපළ අයථා ලෙස පරිහරණය කිරීම ඉරහඳ පවතිනතාක්කල් බලූ කපුටන් වී ඉපදීමට හේතුවන කරුණු බව රජ කාලයේදී පවා සැලැකූ බව සෙල්ලිපි අදටද සාක්‍ෂි දරනු ඇත. වරක් පිළිම වහන්සේ දෝවනය කළ අවස්ථාවේ පිළිමය මතට කාන්තාවක් ගොඩ වූවායැයි අසත්‍ය ප‍්‍රචාර ගෙන ගිය මේ කණ්ඩායම කිරිවෙහෙර වහන්සේගේ සුදු හුණු ආලේප කිරීමට විරුද්ධව හ`ඩ නැගූහ.  නමුත් අද කිරිවෙහෙර වහන්සේ සාදු කාර මධ්‍යයේ වන්දනීයත්වයට පත්ව ඇත. එයම එහි ආරක්‍ෂාවටද හේතු වී ඇත. බාරහාර ඔප්පු කිරීමට මුදල් ලබා ගෙන කරන කි‍්‍රයාවක් සේ මෙය පෙන්වා දීම අමූලික බොරුවකි. බෞද්ධයා නාලිකාවෙන් කළ පිංකමේදී සිවුරක් පූජා කරන ලද්දේ මෛතී‍්‍රපාල සිරිසේන ජනාධිපතිතුමාගේ මූලිකත්වයෙනි. එදිනද මේ සියලූදෙනා පැමිණ සිටියහ.  එක් දිනකට පමණක් නොව තුන්සිය හැටපස් දවසේම මෙවන් පිංකම් සිදු කොට ලබා දිය යුත්තේ මෙම භූමියට වන්දනීය පරිසරයකි. පිං පෙට්ටියට සැදැහැතියන් දමන මුදල හොරා කන බෞද්ධ පිංකම් හෙලාදකින පූජනීයත්වය කෙලෙසීමට කටයුතු කරන අයට තම කි‍්‍රයාවේ බරපතළකම නොතේරෙනු ඇත.
දෙදහස් වසරක ප්‍රෞඩ ඉතිහාසයකට උරුමකම් කියන අභිමානවත් ජාතියක් ලෙස අපට ලෝකය  හමුවේ නොබියව පෙනී සිටිය හැක.  ඒ බෞද්ධ පරිසරයක ගොඩනැ`ගුණු පූජනීය නිර්මාණ තුළය.  බෞද්ධ සංස්කෘතියට අයත් නොවන එක`දු පුරාවස්තුවක් අප රට තුළ පෙන්විය නෙැහැකි තරම්ය.  මෙම බෞද්ධ උරුමය නැති කිරීමට අර අදින අයගේ පළමු පියවර එහි පූජනීයත්වය හා වන්දනීයත්වය කෙලෙසා දැමීමයි. අද කප්රුක් පූජාව රෙදි කච්චියක් සේ දකින මොවුන්ට උතුම් බුද්ධ චීවරය සිල්ක් රෙද්දක් වී හමාරය. ඉන් නොනවතින මොවුන් හෙට දිනයේදී අසනු ඇත්තේ ගමේ මිනිසුන් දානය මිල මුදල් දී පන්සල් හැදුවාට පන්සලෙන් ගමට ලැබෙන්නේ මොනවාද යන්නය.  අනතුරුව මිහිඳු  මා හිමියන්  අපට දුන්නේ මොනවාදැයි අසනු ඇත.  බුදුහාමුදුරුවන් අපට දුන්නේ මොනවාදැයි ඇසීමට පෙර මොවුන් නිහඩ කළයුතු නොවේද?

කන්දකැටියේ අත්‍ථදස්සි හිමි
ගල්විහාරය - පොළොන්නරුව

මහනුවර ඓතිහාසික ශ්‍රී කතරගම මහා දේවාලයේ වාර්ෂික තේරු මංගල්‍ය අද  (07) ආරම්භ විය.

ගණ දෙවියන්ගේ ජන්මලාභය ලැබූ විශා නැකතට අනුව තේරු මංගල්‍ය පැවැත්වීම සදහා මෙදිනට දේව ආශිර්වාද ලැබී ඇති අතර පුරාණ චාරිත්‍රානුකූලව මහනුවර කතරගම දේවාලයේදී මහේෂ්වර පූජාව, නාදස්වර වාදනය හා වසන්ද මණ්ඩප පූජාවන් මෙහිදී සිදුවිය.

ශ්‍රී මහා කතරගම දේවාලයේ බස්නායක නිලමේ ගැමුණු ටී.බී. වලිසුන්දර මහතාගේ ප්‍රධානත්වයෙන්  හින්දු භක්තික සැදැහැවතුන් රැසකගේ සහභාගීත්වයෙන් දෙවියන් උදෙසා පූජා සිදුවූ අතර අනතුරුව දේව ප්‍රතිමාව කිරි දියරින් නැහැවීමේ චාරිත්‍රය ද සිදුකෙරිණි.

දේව ආශිර්වාද සහිත තේරු පෙරහැර රාත්‍රී වීදි සංචාර කළ අතර එය දේවාලයෙන් ආරම්භ වී කොටුගොඩැල්ල වීදිය, රජ වීදිය, යටිනුවර වීදිය, කුමාර විදීය, ඔස්සේ නැවත කොටුගොඩැල්ල වීදිය, කන්දේවීදිය, නගර සභා හන්දියෙන් හැරී ඩී.එස්.සේනානායක වීදිය, කොළඹ වීදිය කොටුගොඩැල්ල විදියෙන් පැමිණ යළි දේවාලය කරා ප්‍රවේශවීම සිදුවිය.

නදීක දයා බණ්ඩාර

යාපනය නුවර ඒ-9 ප්‍රධාන පාරේ පලෙයි අයත් වන්නේ කිලිනොච්චිය දිස්ත්‍රික්කයටය. එනමුත් එය පිහිටා  ඇත්තේ යාපනය අර්ධද්වීපයේය. පලෙයි, යුද සමයේ  දකුණේ ප්‍රසිද්ධියට පත් වූයේ මුහමා‍ලේ එල්.ටී.ටී.ඊ.  ආරක්ෂක වළල්ලට පිටුපසින් එම ගම පිහිටා ඇති නිසාය.  යුද්ධය යටපත් වීමෙන් පසු පලෙයි  ගිය සතියේ යළිත්  වරක් දකුණේ දැඩි ආන්දෝලනයට ලක් විය. ඒ පලෙයිහිදී ‍පොලිස් රථවාහන අංශයේ  රියකට එල්ල වූ වෙඩි ප්‍රහාරය නිසාය. එම ප්‍රහාරය උතුරේ ආරක්ෂක අංශ යම් තිගැස්මකට ලක් කළ සිදුවීමක් විය. එම වෙඩි ප්‍රහාරයෙන් ජීවිත හෝ බරපතළ දේපළ හානියක් නොවිය. එනමුත් යළිඳු වරක් උතුරේදී ‍පොලිස් රියකට ප්‍රහාරයක් එල්ල වීම වූ කලී දකුණ භීතියට පත් කරන සිද්ධියක්  බව අමුතුවෙන් කිව යුතු නැත. ඒ 80 දශකයේ මුල්  කාලයේ එල්.ටී.ටී.ඊ.ය. හිස එස වූවේ මෙවැනි සුළු සුළු ප්‍රහාර ආරම්භ කළ ඉතිහාසයක් ඇති බැවිනි.
වෙඩි ප්‍රහාරය එල්ල වූයේ මැයි 19 දා අලුයම 12.30ට පමණය. ඒ වන විට මැයි 18 දා දෙමළ ජාතික සන්ධානය මෙන්ම  අන්තවාදී කොටස් එක් වී මැයි 18 දා දින දෙමළ ජන සංහාර  දිනයක් සමරා තිබුණි. එහිදී උතුරේ දෙමළ නායකයෝ රජය හා රජයේ ආරක්ෂක අංශ දැඩි විවේචනයට ලක් කළෝය. 19 දා කොටි නායක ප්‍රභාකරන් මිය ගිය දිනය විය. එමෙන්ම මැයි 19 දා අග්‍රාමාත්‍ය  රනිල් වික්‍රමසිංහ ඇතුළු පිරිසක් මන්නාරම හා යාපනයට පැමිණීමට නියමිතව තිබිණි. ඒ නිසාම වෙඩි ප්‍රහාරය පිළිබඳ පුළුල් පරීක්ෂණ ආරම්භ කෙරුණි. දකුණේ දේශපාලන වේදිකාව තුළ විවිධ අදහස්  ඉදිරිපත් විය. පිළියන්දලදී ‍පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන්ට මෙන්ම කළුතරදී බන්ධනාගාර නිලධාරීන්ට එල්ල වූ ප්‍රහාරයන්ට   පලෙයි ප්‍රහාරය  සමාන කරමින්ද අදහස් පළ විය. නමුත් සැබෑ කතාව නම් මෙම ප්‍රහාරය දකුණේ මැර කල්ලි එල්ල කළ ප්‍රහාරයට සමාන කළ නොහැක.  ඒ මක්නිසාද යත් දකුණේ පාතාල කල්ලි විසින් ප්‍රහාර එල්ල කළේ ඔවුන් විසින් තෝරා ගත් පිරිසක් වෙතය. නමුත් පලෙයි  ප්‍රහාරය එල්ල වන්නෙ අහඹු  ලෙස ‍පොලිස් නිලධාරීන් ප්‍රහාරකයන් රැඳී සිටි ස්ථානයට යෑම නිසාය.   යාපනයේ සැරිසරන මැර කල්ලි හඳුන්වන ආවා ගෲප් නැමැති මැර කල්ලියක් මෙය කළැයි සැක කෙරුණද මෙය ඔවුන්ගේ  ප්‍රහාරයක් බවට තිබෙන සාධකද ඉතා අඩුය. එනම් උතුරේ මැර කල්ලි (ආවා ගෲප්) ස්වයංක්‍රිය අවි, ක්ලෙමෝ ආදී යුද උපකරණ පාවිච්චි කරන බවට මතෛක්  තොරතුරු ලැබි නැති බැවිනි.  ඔවුහු පරිහරණය කරනුයේ මෙරට නිෂ්පාදිත ගිනිඅවි, පෙට්‍රල් බෝම්බ හා කඩු වැනි මුවහත්  ආයුධය.
නමුත් පලෙයි ප්‍රහාරය සඳහා යොදාගෙන ඇත්තේ ටී56 ස්වයංක්‍රිය අවියකි. එම ස්ථානයේ වැටී තිබූ ටී 56 අවියක කොටසක් හා හිස් පතුරම් කොපු අනුව ටී 56 අවියක් බවට නිගමනය කර ඇත. දැනට අනුමාන කරනුයේ ප්‍රහාරය සඳහා දෙදෙනකු සම්බන්ධ වී ඇති බවකි. සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා කණ්ඩායම් 05ක් පරීක්ෂණ පවත්වති. ලැබුණ හෝඩුවාවන් අනුව සැකපිට පුද්ගලයෙකු අත්අඩංගුවට  ගත්තද  ප්‍රශ්න කිරීමෙන් පසුව ඔහුව නිදහස් කෙරිණ. මුලින් කීව පරිදි මෙම ප්‍රහාරය පිළිබඳව දකුණේ විවිධ අදහස් පළ කෙරුණි. එල්.ටී.ටී.ඊ.ය ප්‍රතිසංවිධානය වී එල්ල කරන  ලද ප්‍රහාරයක් බවට ඇතැම්හු විශ්වාස කරති. නමුත් මේ පිළිබඳව පැහැදිලිවම කිව හැක්කේ එල්.ටී.ටී.ඊ.ය සංවිධානයක් ලෙස එකතු වී කළ ප්‍රහාරයක් බවට විශ්වාස කළ නොහැකි බවයි. නමුත් එල්.ටී.ටී.ඊ. මතවාදයේ එල්බ සිටින කීප දෙනකු තම කෝපය හා වෛරය පිට කළ අවස්ථාවක් ලෙස මෙය සිතිය හැක. එවැන්නක් වුවද සුළුවෙන් තැකිය නොහැක. ඒ මක්නිසාද යත් එල්.ටී.ටී.ඊ.යේ මූලාරම්භය වූයේද ප්‍රභාකරන් ඇතුළු කීප දෙනකු එකතු වී සොරකම් කිරීම හා ඔවුන්  විසින් නිෂ්පාදනය කරගත් අවිවලින් සුළු සුළු ප්‍රහාර එල්ල කිරීමයි. ඒ නිසා ප්‍රභාකරන්ගෙ ආරම්භය ආදර්ශයට ගැනීමට තවත් පුද්ගලයෙකුට ඉඩ ප්‍රස්ථාව නොදීම රජයේ වගකීමයි.
 
රනිල් උතුරේ
පලෙයි ප්‍රහාරය හේතුවෙන් රනිල් වික්‍රමසිංහ අගමැතිවරයාගේ උතුරු සංචාරය යම් අවිනිශ්චිත තත්ත්වයක  තිබුණද යොදාගත් පරිදි අගමැති උතුරට ආවේය. ගුවනින් මන්නාරමට පැමිණි අගමැතිවරයා  රුපියල් මිලියන 305 ක වියදමින් ඉදි කළ මන්නාරම දිස්ත්‍රික් ‍ලේකම් කාර්යාලය විවෘත කිරීමට එක් විය. මේ අවස්ථාවට අමාත්‍ය රිෂාඩ් බදුර්දීන්, නීතිය හා සාමය ඇමැති සාගල රත්නායක ස්වදේශ  කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන ඩී, එම්. ස්වාමිනාදන්, ‍පොලිස්පති පූජිත් ජයසුන්දර ද දෙමළ සන්ධාන මන්ත්‍රීවරු කිහිප දෙනකුද එක්ව සිටියෝය.
දිසා ‍ලේකම් කාර්යාලය විවෘත කිරීම සඳහා අගමැතිට ආරාධනය කර තිබුණේත් වජිර අබේවර්ධන ඇමැතිවරයා විසිනි. නිල රාජ්‍ය උත්සවයක් වුවද එහි ශබ්ද පාලන කටයුතු ඉතා දුර්වල මට්ටමක පැවැතිනි. විටෙන් විට මයික්‍රෆෝනය ක්‍රියා විරහිත විය. පැවැති තත්ත්වය තුළ වජිර  අබේවර්ධන හා මන්නාරම දිසාපති දේශප්‍රිය මහතා මහත් අපහසුතාවයට පත්විය. මෙහිදී ඉවසීමේ සීමාව පැන්න  ‍පොලිස්පති පූජිත ජයසුන්දර   ශබ්දවාහිනී යන්ත්‍රය බාරව සිටි පිරිස දෙසට  ගියේය. වචන කීපයක් පිටවිය.  ------ මේ ඇවිත් ඉන්නෙ අගමැතිතුමා. අගමැතිතුමාගේ කථාවෙදිවත් ඕකට මොකක්  හරි කරපං යැයි කීවේය.  කෙසේ නමුත් අගමැතිවරයා කතාව ආරම්භ කරන විටම මයික්‍රෆෝනය ක්‍රියා විරහිත විය. එහිදී වෙනත් සම්බන්ධතාවයක් මගින් අගමැතිගේ කතාව සිදු කෙරින.
මන්නාරම දිස්ත්‍රික් ‍ලේකම් කාර්යාලය විවෘත කිරීමෙන් පසුව පැවැති ජනහමුවේදී දෙමළ සන්ධාන වන්නි දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චාල්ස් නිර්මලනාදන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කළේය.
මුලතිව් තියෙන උත්සවයකට මැයි 18දා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එන්න නියමිතව තිබුණා. එදාටම වෙල්ලමුල්ල වයික්කාල්වල දෙමළ ජනතාව මියගිය සැමරුමක් තිබෙන නිසා මම ජනාධිපතිතුමාගෙන් ලිපියකින් ඉල්ලීමක් කළා 18දාට මුලතිව්වලට එන එක සුදුසු නැහැ ඒ නිසා එන්න එපා කියලා. මගේ ඉල්ලීමට ඇහුම්කන් දීලා ජනාධිපතිතුමා මුලතිව්වලට ආවේ නැහැ. ඒකට ජනාධිපතිතුමාට මගේ ස්තූතිය ප්‍රකාශ කරනවා. යැයිද පැවසීය.
නිර්මලනාදන් මන්ත්‍රීවරයාගේ ප්‍රකාශයට පෙර බොහෝදෙනා සිතා සිටියේ ජන සංහාර සතියේදී රටේ නායකයන් උතුරට නොඑන ලෙස උතුරු පළාත් සභා මන්ත්‍රී ෂිවාජිලිංගම් තර්ජනාත්මක ප්‍රකාශයක් කර තිබිණි. ෂිවාජිගෙ ප්‍රකාශය හේතුවෙන් ජනපතිගෙ මුලතිව් සංචාරය අවලංගු වූ බව බොහෝ දෙනා සිතා සිටියහ. නමුත් දෙමළ සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුද ජනපතිගෙ මුලතිව් ගමන නතර කළ බව මෙයින් පැහැදිලි වේ. කෙසේ නමුත් ජනපති මැයි 18 දින මුලතිව් වෙත යෑමට නියමිතව තිබුණ බව හෝ එම සංචාරය අවලංගු  කළ බවට ජනාධිපති ‍ලේකම් කාර්යාලය කිසිදු සඳහනක් කර නැත.
මන්නාරම දිස්ත්‍රික් ‍ලේකම් කාර්යාලයේ පැවැති උත්සවයෙන් පසුව අගමැති අතින් මන්නාරම එක්සත් ජාතික පක්ෂ කාර්යාලය විවෘත කිරීමට නියමිතව තිබිණි. ඒ සඳහා සූදානම්ව සිටියද ආරක්ෂක නිලධාරීන්ගෙ නළල රැළිගැන්වුණේ ඒ සඳහා යාමට තිබූ මාර්ගය දුටුවිටය. පටු අතුරු මාර්ගයක පක්ෂ කාර්යාලය පිහිටා තිබිණි. අගමැතිවරයා රැගෙන එම මාර්ගයෙන් යාමට ආරක්ෂක නිලධාරීන් කැමැති වූයේ නැත. එසේ අකමැතිවීමට තවත් හේතුවක්ද තිබිණි. අගමැති මන්නාරමට පැමිණෙන විට විවිධ ඉල්ලීම් රැගත් විරෝධතාකරුවන් විශාල පිරිසක් විරෝධතා පුවරු රැගෙන මන්නාරම දිස්ත්‍රික් ‍ලේකම් කාර්යාලය ඉදිරිපිට රැඳී සිටියෝය.
මේ පාරේ ගිහින් මොනවා හරි ප්‍රශ්නයක් වුණොත් අගමැතිතුමා හිර වෙනවා, යැයි කියූ ආරක්ෂක නිලධාරීන් අගමැති සමග ඊළඟ වැඩසටහන පැවැති යාපනය බලා පිටත් විය.
යාපනය දිස්ත්‍රික් ‍ලේකම් කාර්යාලයේදී යාපනය දිස්ත්‍රික් කමිටු රැස්වීම පැවැති අතර ඒ සඳහා උතුරු ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේෂ්වරන් ඇතුළු පිරිසක්ද සහභාගී වූහ. දකුණේ දිස්ත්‍රික් කමිටු රැස්වීම්වලදි එකම පක්ෂයේ පිරිස් කලකෝලාහල ඇති කර ගත්තද යාපනය දිස්ත්‍රික් කමිටු රැස්වීම සාමකාමීව පැවැත්විණ.
 
සනත් ප්‍රියන්ත 

Page 6 of 7

IMAGE

ෆේස්බුක් එකෙන් ඔබේ හිතේ ලෙඩ ගැනත් කියන්න පුළුවන්

IMAGE 2017 Dec 15 10:42
ඔබටත් ෆේස්බුක් ගිණුමක් තිබෙනවාද? එසේ ගිණුමක් තිබෙනවා නම් ඔබ ඒ සඳහා දවසකට; සතියකට හෝ මාසයකට පැය...
Views - 1853

සුද්දන්ට උණවටුන එපා කරවන ඩිස්කෝ ඩාන්ස්

IMAGE 2017 Dec 14 07:56
ආචාර්ය ආතර් සී. ක්ලාක් විද්වතා පවසන ආකාරයට උණවටුන වෙරළ තීරය ලෝකයේ ඇති දර්ශනීය වෙරළ දොළහෙන්...
Views - 3279

ගැබිණි නිලධාරිනිය අධ්‍යක්ෂක හා 'හනිමූන්' ගිහින්

IMAGE 2017 Dec 13 10:33
ඔහු මෙරට ප්‍රමුඛතම සමාගමක අධ්‍යක්ෂ වරයෙකි. වයස අවුරුදු 40 ක් පමණ වන ඔහු දරු දෙදෙනෙකුගේ පියෙක්...
Views - 9048

2017 විශ්ව රූ රැජින ඩෙමී සහ අපේ ක‍්‍රිස්ටියානා

IMAGE 2017 Dec 13 10:17
ලෝක රූ රැජින තේරීමේ තරගයේ උණුසුම පහව යෑමටත් පෙර තවත් සුරූපිනියක් විශ්ව රූ රැජින ලෙස  කිරුළ...
Views - 4693

ඉන්දීය ක්‍රිකට් නායක විරාත් කෝලි නිලියක ගේ අත ගනී

IMAGE 2017 Dec 12 12:41
ඉන්දීය ක්‍රිකට් නායක විරාත් කෝලි ඊයේ (11) යුග දිවියට එළඹුණි. ඔහුගේ අතගත් මනාලිය වූයේ බොලිවුඩ්...
Views - 4855

පාතාලයට ඔත්තු දීමේ වරදට වෙඩි කෑ රූපලාවන්‍ය ශිල්පිනිය

IMAGE 2017 Dec 12 10:22
අතුරුගිරිය නගරයේ පිහිටි සයෝනාරා රූපලාවන්‍යාගාරයේ හිමිකාරිය වන හතළිස්හත් වියැති මංජුලා...
Views - 6585

Please publish modules in offcanvas position.