Home    |    Daily Lakbima    |    Sunday Lakbima    |   Rajina |    Archive    |    Advertise With Us    |     Careers Email - [email protected] youtube
lakbima.lk

                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්     

පසුගිය මැයි 25, 26, 27 දිනවල දිවයිනේ ප්‍රදේශ ගණනාවකට ඇදහැලුණු ධාරානිපාත වර්ෂාවේ අවසන් ප්‍රතිඵලය ඉතාම ඛේදජනක විය. නමුත් ඉන්පසුව ‘සැනසුම් සමයක්’ උද්ගත වී ඇතැයි බොහෝ දෙනෙක් සිතති. එහෙත් කාලගුණය සම්බන්ධයෙන් එවැනි ලඝු තීරණවලට එළැබීම අතිශය අවදානම් සහිතය.ඒ එක් කාලගුණික විපතක අවසානයත් සමඟම ඊට වඩා බිහිසුණු කාලගුණික විපතක් යළි පැමිණිය හැකි බැවිනි.

නමුදු මැයි මහා ආපදාව මේ යුගයේ අවසන් ස්වභාවික ආපදාව ලෙස සළකමින් බොහෝ අය කටයුතු කරන බව පැහැදිලිව පෙනේ.  නමුත් මේ 2017 නිරිතදිග ‍මෝසම් සමය ආරම්භ වූවා පමණි. සාමාන්‍ය පාරිසරික තත්ත්වයන් යටතේ මෙම මෝසම් සමය සැප්තැම්බර් මස මැද කාලය වනතෙක් අප දිවයිනට බලපානු ඇත. එසේනම් ඉදිරියටත් සුළං සහ වර්ෂාවෙන් ආපදා ඇතිවීමේ ඉඩකඩ නැතිවා නොවේ.

 මෙම මෝසම් කාලයේ බෙන්ගාල බොක්ක සමුදුර ප්‍රදේශයේ වර්ධනය වන, අඩු පීඩන ප්‍රදේශ (Low Pressure Area) සහ පීඩන අවපාත (Depression) වැනි කාලගුණ පද්ධතිවල බලපෑම් යටතේ දිවයිනේ ආසන්න කාලගුණ තත්ත්වයන් ඇතිවීම බලාපොරොත්තු විය හැකිය.

එවන් වාතාවරණ යන්හිදී ප්‍රචන්ඩ සුළං ප්‍රවාහ සහ අධික වර්ෂාපතන බොහෝවිට ආපදාකාරීය. කැටි වැහි වලාකුළු වල (Cumulonimbus clouds) බලපෑම අනුව අකුණු අතිවීම මෙන්ම ඉතා ප්‍රචන්ඩ සුළං සහිත ටෝනේඩෝවල බලපෑමද බොහෝවිට විපත්ති දායකය.

අයහපත් කාලගුණ පද්ධතිවල බලපෑමෙන් ගොඩබිම පමණක් නොව දිවයින වටා වූ මුහුදු ප්‍රදේශවල ඉතා අයහපත් තත්ත්වයන් උද්ගත වන බව අදාල සැවොම අවබෝධ කර ගත යුතුය. එසේ නොමැති වුවහොත් විශේෂයෙන් ධීවර ප්‍රජාවට සිදුවිය හැකි ආපදා කළමනාකරණය කිරීමද අපහසු වනු නොඅනුමානය.

මෙම කාලයේ ශ්‍රී ලංකාව වටා සමුදුරු කොටස්වල නිරිතදිගින් හමන සුළං විටින් විට ප්‍රචණ්ඩ වන නිසා මුහුද රළු බවින් පිරි පවතී. සංකීර්ණ කැටිවැහිවලා වල වැඩෙන දියගොබවලා (Waterspout) සතු ප්‍රචණ්ඩ චක්‍රීය සුළං නිසා සමුදුරු ඉතා රළු වීම බොහෝවිට ධීවරයින්ට මාරාන්තික ආපදා ගෙනඒමට පවා හේතුවේ.

හොඳින් වර්ධනය වූ දියගොබවලාවකට බහුදින ධීවර යාත්‍රාවක් වුවත් මීටර් තිහක් හතලිහක් ඉහළට එසවීම ඉතා පහසු කාර්යයකි. මෙම ආපදාව ඉතාම අවදානම් වන්නේ කැටිවැහිවලා සංකීර්ණවල වර්ධනයවන දියගොබවලා පොකුරු (Multi Waterspout) වල බලපෑම් පවතින අවස්ථාවලය. දියගොබවලා ගණනාවක බලපෑමට යටත්වී බෝට්ටු විනාශවීම මෙන්ම ඉතාම රළු මුහුදේ පිහිනුම් ශූර ධීවරයන්ට පවා සටන් කිරීම අපහසු වීම ඊට හේතුවයි.

පැවතිය හැකි ආපදාකාරී කාලගුණ තත්ත්වයන් පිළිබඳව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනමාධ්‍ය හරහා ලබාදෙන අනාවරණ පිළිබඳව අපේ නිරතුරු අවධානය ආපදා අවම කරගැනීම සඳහා අත්‍යාවශ්‍ය වෙයි. සාමාන්‍යයෙන් සැප්තැම්බර් මැද්ද දක්වා අපට බලපාන නිරිතදිග මෝසම් සමයේ විටින් විට බෙංගාල බොක්ක සමුදුරේ පීඩන අවපාත වර්ධනයවන නිසා ඒ පිළිබඳව වන අනාවැකි පෙර ආපදා පියවර දියත් කිරීම උදෙසා උපකාරවනු නොඅනුමානය.

රටක ආපදාවන් කළමනාකරණය රජයට පමණක් කළ හැකි කටයුත්තක් නම් නොවේ. රාජ්‍ය නිලධාරීන්ට අමතරව සමස්ත ජනතාවම ආපදා අවම කිරීමට අවශ්‍ය පියවර දියත් කිරීමේ වගකීම බාරගත යුතුය. පැවතියහැකි ආපදා පිළිබඳව ජනමාධ්‍ය හරහා දැනුවත්වීමේ වගකීම මෙන්ම ආදාල කළමනාකරණ පියවර නිසි වේලාවට දියත් කිරීමේ වගකීම අප සැම සතුය.

හිටපු කාලගුණ විද්‍යා අධ්‍යක්ෂ කාලගුණ විද්‍යාඥ - කේ.ආර්.අභයසිංහ

නර්තන අංග දෙකකින් උතුරු මැද පළාතෙන් ප්‍රථම ස්ථාන දෙකක් හිමිකරගෙන ඇති පොලොන්නරුව වැලිකන්ද මහා විද්‍යාලයේ නර්තන අංශයේ දරුවන්ගේ මව්පියන් මුහුණ පා ඇති ආර්ථික අසීරුතා මත එම දරුවන්ට රංග වස්ත්‍රාභරණ ලබා ගැනීමට නොහැකි වීමෙන්  දක්ෂතා වලින් යුතු දරුවන්ට කොළඹ සමස්ත ලංකා තරගවලට යාමට  නොහැකි වීමේ අවාසනාවන්ත පුවතක් වැලිකන්ද මහා විද්‍යාලයෙන් වාර්තා වේ.

සමස්ත ලංකා තරග ජුලි මුල් සතිය තුළ කොළඹ දී පැවැත්වෙන අතර ඒ සඳහා විද්‍යාලයේ සිසුන් 36 ක් සහභාගී කරවීමට  නියමිතය.  නමුදු ඔවුනට අවශ්‍ය රංග වස්ත්‍රාභරණ ලබා ගැනීමට මව්පියන්ට විශාල මුදලක් දැරීමට සිදුව ඇත. එම  තත්ත්වය මත සිසුන් 36 දෙනාම මහත්  ඉච්ඡාභංගත්වයට පවත්ව සිටින බව විද්‍යාලීය නර්තන අංශ ගුරුවරු පවසති.

මැයි 06 වෙනිදා අනුරාධපුර ස්වර්ණපාලි මධ්‍යමහා විද්‍යාලයේ දී පැවැති පළාත් නර්තන තරගාවලියෙන් කුළු නැටුම හා තුරගා වන්නම යන ශාස්ත්‍රීය අංශ දෙකෙන්ම වැලිකන්ද මහා විද්‍යාලය ප්‍රථම ස්ථාන දෙකක් ලබා ගත්තේය.

ඒ අනුව කොළඹ දී පැවැත්වෙන සමස්ත ලංකා නර්තන තරගයට කුළු නර්තනයෙන් සිසුන් 20 ක්ද තුරගා වන්නමෙන් සිසුන් 16 ක් තේරීපත්ව සිටින අතර ඊට සහභාගිවීමට ඔවුනට පවතින එකම ගැටළුව වන්නේ අවශ්‍ය රංග වස්ත්‍රාභරණ ලබා ගැනීමට මුදල් නොමැති වීමයි.

සහභාගී වන සියලු සිසුන්ට අවශ්‍ය වස්ත්‍රාභරණ ලබාගැනීමට රුපියල් දෙලක්ෂ දහඅටදහසක මුදලක් අවශ්‍ය වේ.

එම මුදල හෝ වස්ත්‍රාභරණ දරුවන්ට ලබාදීමට යම් පරිත්‍යාගශීලියෙකු හෝ දානපතියෙකු ඉදිරිපත් වේ නම් එය උතුම් පිංකමක් මෙන්ම වැලිකන්දේ දරුවන් වෙනුවෙන් කරන උතුම් සත්කාරයක් බවද විද්‍යාලීය ගුරුවරු පවසති.


මනම්පිටිය - නිමල් ජයරත්න

පොළොන්නරු ගල්විහාර පිළිම වහන්සේට කළ සිවුරු පූජාව පිළිබඳව දිගින් දිගටම අදහස් දැක්වෙන අතර 2017.06.05 වන සදුඳා දින ලක්බිම පුවත් පතෙහි ඒ පිළිබඳව සාවද්‍ය පුවතක් පළ වී තිබිණි.
සිව්දෙසින් පැමිණෙන සැදැහැවතුන්ට වන්දනා කිරීමට සුදුසු පූජනීය පරිසරයක් පොළොන්නරුව තුළ ඇති විය යුතුය. අනුරාධපුරය වැ`දගෙන පොළොන්නරුවට පැමිණෙන සැදැහැවතුන්ට දැක ගැනීමට ලැබෙනුයේ නටඹුන්වලින් පිරි ස්මාරක සමූහයකි. හෙළ කලාකරුවන්ගේ විශ්මිත නිමැවුම් පුදුමයකැයි සංවේගය පළ කර පිටව යන තත්ත්වයට වෙහෙර විහාර පත් කළ යුතුද යන්න පිළිබඳව පුළුල්ව විග‍්‍රහ කර බැලිය යුතුය. රාජ රාජ මහාමාත්‍යාදීන් මහරහතන් වහන්සේලාගේ අනුශාසනා මධ්‍යයේ මේවා ඉදිකර ඇත්තේ මිනිසුන්ගේ වන්දනාමාන කිරීම් සඳහාමය.
වන්දනීය පසුබිමක් තුළ ඉදිවූ මෙම සුවිසල් නිර්මාණ අද නටඹුන් ගණයෙහි ලා පමණක් සැලකීම සංවේගයට හේතුවකි.  පුරාවිද්‍යා ස්මාරක ලෙස පවතිනවාට වඩා කළ යුත්තේ මෙම පුරාවස්තු වන්දනීය පසුබිමක් තුළ ආරක්‍ෂා කිරීමකි.  සැදැහැතියන්ගේ පුණ්‍ය සිතිවිලි ඉස්මතුවන වන්දනීය පසුබිමක පුරාවස්තු ආරක්‍ෂා වීමද විශ්වාසවන්තය.  නමුත් ආගමක් දහමක් නොඅදහන්නන්නට එය විකාරයකි.  බුදුන් වහන්සේට පූජාකළ උතුම් බුද්ධ චීවරය පිළිම වහන්සේට හානිදායක වන්නේ කෙසේද යන්න ප‍්‍රශ්නයකි.  බුදු පිළිමයකට සිවුරක් පෙරවීම තහනම් කොට ඇත්තේ කවර පුරාවිද්‍යා පනතකද? එවන් පනතක් ඇත්නම් වහාම එය අපටද පෙන්වන ලෙස දන්වනු කැමැත්තෙමු. එවැන්නක් හෝ නීතියක් ලෝකයේ කිසි තැනක නැත.  මෙය සාවද්‍ය ප‍්‍රචාරයකි.  බුද්ධගයාවේ පිළිම වහන්සේට සදාකාලිකව සිවුරක් පොරවා ඇත.  වසර 900ක් පැරණි කාම්බෝජයේ අන්ග් කෝ වට් විහාරයේ ශෛලමය පිළිම වහන්සේටද, චීනයේ මෙන්ග් සාන් බුද්ධ ප‍්‍රතිමාවටද මෙලෙසම සිවුරු පොරවා ඇත.  ගල් විහාර පිළිම වහන්සේට සෙත් පිරිත් සඡු්ඣායනය කොට හේවිසි පූජා පවත්වා සාධු නාද මධ්‍යයේ කළ සිවුරු පූජාව ආරක්‍ෂක අංශයෙහි සිටි නිලධාරීන් නොදුටුයේ මන්දැයි ලිපියෙහි අසා තිබුණි.  ඔවුන්ද මෙම උතුම් බුද්ධ පූජාවට සාධූකාර දී සම්බන්ධ වූ අතර පිළිම වහන්සේ මතට හානිදායක හා ගරුසරු නැතිව ගොඩ වූයේ පසුදින බුද්ධ  චීවරය සොරා ගත්තවුන් බව පමණක් කිව යුතුය.
වන්දනීයත්වයට සුදුසු ආගමික පරිසරයක් ගල්විහාර පුණ්‍ය භූමියෙහි නිර්මාණය වනවාට අකමැති ඇතැම් පිරිසක් තම බඩ වඩා ගැනීමේ අරමුණෙන් පුරාවිද්‍යා ස්මාරක සේ මේවා පෙන්වීමට උත්සහ දරමින් සිටී. ගල් විහාරය යනු පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට හෝ ජාවාරම්කරුවන්ට අයත් භූමියක් නොවේ. බෞද්ධ කටයුතු කොමසාරිස්තුමා යටතේ ඇති ගල් විහාරය අස්ගිරි සංඝ සභාව සතු විහාරයකි.  විහාර දේවාලගම් පනතට අනුව සියලූ බලය පැවරී ඇත්තේ භික්‍ෂූන් වහන්සේලාටය.  විහාරයෙහි සංවර්ධනයට පූජාකළ ඉඩකඩම් අදටද එසේම පවතී.  උදේ, දවල්, හවස තේවාව පවත්වා හේවිසි නාද මධ්‍යයේ බුද්ධ පූජා කටයුතු සිදු කෙරෙනු ඇත. රාජකාරී කටයුතු සඳහා රජයෙන් වැටුප් ලබන හේවිසි කණ්ඩායම් පවා යොදවා ඇත .  එවන් පරිසරයක ගල් විහාරය පුණ්‍ය භූමියක් නොවන්නේ කෙළෙසකද?  මෙහි ආගමික පරිසරය යටපත් කිරීමට උත්සහ දරනුයේ තම ම`ඩිය තර කරගැනීමට වෙහෙසෙන ඇතැමුන්ය. ස`ගසතු දේපළ අයථා ලෙස පරිහරණය කිරීම ඉරහඳ පවතිනතාක්කල් බලූ කපුටන් වී ඉපදීමට හේතුවන කරුණු බව රජ කාලයේදී පවා සැලැකූ බව සෙල්ලිපි අදටද සාක්‍ෂි දරනු ඇත. වරක් පිළිම වහන්සේ දෝවනය කළ අවස්ථාවේ පිළිමය මතට කාන්තාවක් ගොඩ වූවායැයි අසත්‍ය ප‍්‍රචාර ගෙන ගිය මේ කණ්ඩායම කිරිවෙහෙර වහන්සේගේ සුදු හුණු ආලේප කිරීමට විරුද්ධව හ`ඩ නැගූහ.  නමුත් අද කිරිවෙහෙර වහන්සේ සාදු කාර මධ්‍යයේ වන්දනීයත්වයට පත්ව ඇත. එයම එහි ආරක්‍ෂාවටද හේතු වී ඇත. බාරහාර ඔප්පු කිරීමට මුදල් ලබා ගෙන කරන කි‍්‍රයාවක් සේ මෙය පෙන්වා දීම අමූලික බොරුවකි. බෞද්ධයා නාලිකාවෙන් කළ පිංකමේදී සිවුරක් පූජා කරන ලද්දේ මෛතී‍්‍රපාල සිරිසේන ජනාධිපතිතුමාගේ මූලිකත්වයෙනි. එදිනද මේ සියලූදෙනා පැමිණ සිටියහ.  එක් දිනකට පමණක් නොව තුන්සිය හැටපස් දවසේම මෙවන් පිංකම් සිදු කොට ලබා දිය යුත්තේ මෙම භූමියට වන්දනීය පරිසරයකි. පිං පෙට්ටියට සැදැහැතියන් දමන මුදල හොරා කන බෞද්ධ පිංකම් හෙලාදකින පූජනීයත්වය කෙලෙසීමට කටයුතු කරන අයට තම කි‍්‍රයාවේ බරපතළකම නොතේරෙනු ඇත.
දෙදහස් වසරක ප්‍රෞඩ ඉතිහාසයකට උරුමකම් කියන අභිමානවත් ජාතියක් ලෙස අපට ලෝකය  හමුවේ නොබියව පෙනී සිටිය හැක.  ඒ බෞද්ධ පරිසරයක ගොඩනැ`ගුණු පූජනීය නිර්මාණ තුළය.  බෞද්ධ සංස්කෘතියට අයත් නොවන එක`දු පුරාවස්තුවක් අප රට තුළ පෙන්විය නෙැහැකි තරම්ය.  මෙම බෞද්ධ උරුමය නැති කිරීමට අර අදින අයගේ පළමු පියවර එහි පූජනීයත්වය හා වන්දනීයත්වය කෙලෙසා දැමීමයි. අද කප්රුක් පූජාව රෙදි කච්චියක් සේ දකින මොවුන්ට උතුම් බුද්ධ චීවරය සිල්ක් රෙද්දක් වී හමාරය. ඉන් නොනවතින මොවුන් හෙට දිනයේදී අසනු ඇත්තේ ගමේ මිනිසුන් දානය මිල මුදල් දී පන්සල් හැදුවාට පන්සලෙන් ගමට ලැබෙන්නේ මොනවාද යන්නය.  අනතුරුව මිහිඳු  මා හිමියන්  අපට දුන්නේ මොනවාදැයි අසනු ඇත.  බුදුහාමුදුරුවන් අපට දුන්නේ මොනවාදැයි ඇසීමට පෙර මොවුන් නිහඩ කළයුතු නොවේද?

කන්දකැටියේ අත්‍ථදස්සි හිමි
ගල්විහාරය - පොළොන්නරුව

මහනුවර ඓතිහාසික ශ්‍රී කතරගම මහා දේවාලයේ වාර්ෂික තේරු මංගල්‍ය අද  (07) ආරම්භ විය.

ගණ දෙවියන්ගේ ජන්මලාභය ලැබූ විශා නැකතට අනුව තේරු මංගල්‍ය පැවැත්වීම සදහා මෙදිනට දේව ආශිර්වාද ලැබී ඇති අතර පුරාණ චාරිත්‍රානුකූලව මහනුවර කතරගම දේවාලයේදී මහේෂ්වර පූජාව, නාදස්වර වාදනය හා වසන්ද මණ්ඩප පූජාවන් මෙහිදී සිදුවිය.

ශ්‍රී මහා කතරගම දේවාලයේ බස්නායක නිලමේ ගැමුණු ටී.බී. වලිසුන්දර මහතාගේ ප්‍රධානත්වයෙන්  හින්දු භක්තික සැදැහැවතුන් රැසකගේ සහභාගීත්වයෙන් දෙවියන් උදෙසා පූජා සිදුවූ අතර අනතුරුව දේව ප්‍රතිමාව කිරි දියරින් නැහැවීමේ චාරිත්‍රය ද සිදුකෙරිණි.

දේව ආශිර්වාද සහිත තේරු පෙරහැර රාත්‍රී වීදි සංචාර කළ අතර එය දේවාලයෙන් ආරම්භ වී කොටුගොඩැල්ල වීදිය, රජ වීදිය, යටිනුවර වීදිය, කුමාර විදීය, ඔස්සේ නැවත කොටුගොඩැල්ල වීදිය, කන්දේවීදිය, නගර සභා හන්දියෙන් හැරී ඩී.එස්.සේනානායක වීදිය, කොළඹ වීදිය කොටුගොඩැල්ල විදියෙන් පැමිණ යළි දේවාලය කරා ප්‍රවේශවීම සිදුවිය.

නදීක දයා බණ්ඩාර

යාපනය නුවර ඒ-9 ප්‍රධාන පාරේ පලෙයි අයත් වන්නේ කිලිනොච්චිය දිස්ත්‍රික්කයටය. එනමුත් එය පිහිටා  ඇත්තේ යාපනය අර්ධද්වීපයේය. පලෙයි, යුද සමයේ  දකුණේ ප්‍රසිද්ධියට පත් වූයේ මුහමා‍ලේ එල්.ටී.ටී.ඊ.  ආරක්ෂක වළල්ලට පිටුපසින් එම ගම පිහිටා ඇති නිසාය.  යුද්ධය යටපත් වීමෙන් පසු පලෙයි  ගිය සතියේ යළිත්  වරක් දකුණේ දැඩි ආන්දෝලනයට ලක් විය. ඒ පලෙයිහිදී ‍පොලිස් රථවාහන අංශයේ  රියකට එල්ල වූ වෙඩි ප්‍රහාරය නිසාය. එම ප්‍රහාරය උතුරේ ආරක්ෂක අංශ යම් තිගැස්මකට ලක් කළ සිදුවීමක් විය. එම වෙඩි ප්‍රහාරයෙන් ජීවිත හෝ බරපතළ දේපළ හානියක් නොවිය. එනමුත් යළිඳු වරක් උතුරේදී ‍පොලිස් රියකට ප්‍රහාරයක් එල්ල වීම වූ කලී දකුණ භීතියට පත් කරන සිද්ධියක්  බව අමුතුවෙන් කිව යුතු නැත. ඒ 80 දශකයේ මුල්  කාලයේ එල්.ටී.ටී.ඊ.ය. හිස එස වූවේ මෙවැනි සුළු සුළු ප්‍රහාර ආරම්භ කළ ඉතිහාසයක් ඇති බැවිනි.
වෙඩි ප්‍රහාරය එල්ල වූයේ මැයි 19 දා අලුයම 12.30ට පමණය. ඒ වන විට මැයි 18 දා දෙමළ ජාතික සන්ධානය මෙන්ම  අන්තවාදී කොටස් එක් වී මැයි 18 දා දින දෙමළ ජන සංහාර  දිනයක් සමරා තිබුණි. එහිදී උතුරේ දෙමළ නායකයෝ රජය හා රජයේ ආරක්ෂක අංශ දැඩි විවේචනයට ලක් කළෝය. 19 දා කොටි නායක ප්‍රභාකරන් මිය ගිය දිනය විය. එමෙන්ම මැයි 19 දා අග්‍රාමාත්‍ය  රනිල් වික්‍රමසිංහ ඇතුළු පිරිසක් මන්නාරම හා යාපනයට පැමිණීමට නියමිතව තිබිණි. ඒ නිසාම වෙඩි ප්‍රහාරය පිළිබඳ පුළුල් පරීක්ෂණ ආරම්භ කෙරුණි. දකුණේ දේශපාලන වේදිකාව තුළ විවිධ අදහස්  ඉදිරිපත් විය. පිළියන්දලදී ‍පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන්ට මෙන්ම කළුතරදී බන්ධනාගාර නිලධාරීන්ට එල්ල වූ ප්‍රහාරයන්ට   පලෙයි ප්‍රහාරය  සමාන කරමින්ද අදහස් පළ විය. නමුත් සැබෑ කතාව නම් මෙම ප්‍රහාරය දකුණේ මැර කල්ලි එල්ල කළ ප්‍රහාරයට සමාන කළ නොහැක.  ඒ මක්නිසාද යත් දකුණේ පාතාල කල්ලි විසින් ප්‍රහාර එල්ල කළේ ඔවුන් විසින් තෝරා ගත් පිරිසක් වෙතය. නමුත් පලෙයි  ප්‍රහාරය එල්ල වන්නෙ අහඹු  ලෙස ‍පොලිස් නිලධාරීන් ප්‍රහාරකයන් රැඳී සිටි ස්ථානයට යෑම නිසාය.   යාපනයේ සැරිසරන මැර කල්ලි හඳුන්වන ආවා ගෲප් නැමැති මැර කල්ලියක් මෙය කළැයි සැක කෙරුණද මෙය ඔවුන්ගේ  ප්‍රහාරයක් බවට තිබෙන සාධකද ඉතා අඩුය. එනම් උතුරේ මැර කල්ලි (ආවා ගෲප්) ස්වයංක්‍රිය අවි, ක්ලෙමෝ ආදී යුද උපකරණ පාවිච්චි කරන බවට මතෛක්  තොරතුරු ලැබි නැති බැවිනි.  ඔවුහු පරිහරණය කරනුයේ මෙරට නිෂ්පාදිත ගිනිඅවි, පෙට්‍රල් බෝම්බ හා කඩු වැනි මුවහත්  ආයුධය.
නමුත් පලෙයි ප්‍රහාරය සඳහා යොදාගෙන ඇත්තේ ටී56 ස්වයංක්‍රිය අවියකි. එම ස්ථානයේ වැටී තිබූ ටී 56 අවියක කොටසක් හා හිස් පතුරම් කොපු අනුව ටී 56 අවියක් බවට නිගමනය කර ඇත. දැනට අනුමාන කරනුයේ ප්‍රහාරය සඳහා දෙදෙනකු සම්බන්ධ වී ඇති බවකි. සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා කණ්ඩායම් 05ක් පරීක්ෂණ පවත්වති. ලැබුණ හෝඩුවාවන් අනුව සැකපිට පුද්ගලයෙකු අත්අඩංගුවට  ගත්තද  ප්‍රශ්න කිරීමෙන් පසුව ඔහුව නිදහස් කෙරිණ. මුලින් කීව පරිදි මෙම ප්‍රහාරය පිළිබඳව දකුණේ විවිධ අදහස් පළ කෙරුණි. එල්.ටී.ටී.ඊ.ය ප්‍රතිසංවිධානය වී එල්ල කරන  ලද ප්‍රහාරයක් බවට ඇතැම්හු විශ්වාස කරති. නමුත් මේ පිළිබඳව පැහැදිලිවම කිව හැක්කේ එල්.ටී.ටී.ඊ.ය සංවිධානයක් ලෙස එකතු වී කළ ප්‍රහාරයක් බවට විශ්වාස කළ නොහැකි බවයි. නමුත් එල්.ටී.ටී.ඊ. මතවාදයේ එල්බ සිටින කීප දෙනකු තම කෝපය හා වෛරය පිට කළ අවස්ථාවක් ලෙස මෙය සිතිය හැක. එවැන්නක් වුවද සුළුවෙන් තැකිය නොහැක. ඒ මක්නිසාද යත් එල්.ටී.ටී.ඊ.යේ මූලාරම්භය වූයේද ප්‍රභාකරන් ඇතුළු කීප දෙනකු එකතු වී සොරකම් කිරීම හා ඔවුන්  විසින් නිෂ්පාදනය කරගත් අවිවලින් සුළු සුළු ප්‍රහාර එල්ල කිරීමයි. ඒ නිසා ප්‍රභාකරන්ගෙ ආරම්භය ආදර්ශයට ගැනීමට තවත් පුද්ගලයෙකුට ඉඩ ප්‍රස්ථාව නොදීම රජයේ වගකීමයි.
 
රනිල් උතුරේ
පලෙයි ප්‍රහාරය හේතුවෙන් රනිල් වික්‍රමසිංහ අගමැතිවරයාගේ උතුරු සංචාරය යම් අවිනිශ්චිත තත්ත්වයක  තිබුණද යොදාගත් පරිදි අගමැති උතුරට ආවේය. ගුවනින් මන්නාරමට පැමිණි අගමැතිවරයා  රුපියල් මිලියන 305 ක වියදමින් ඉදි කළ මන්නාරම දිස්ත්‍රික් ‍ලේකම් කාර්යාලය විවෘත කිරීමට එක් විය. මේ අවස්ථාවට අමාත්‍ය රිෂාඩ් බදුර්දීන්, නීතිය හා සාමය ඇමැති සාගල රත්නායක ස්වදේශ  කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන ඩී, එම්. ස්වාමිනාදන්, ‍පොලිස්පති පූජිත් ජයසුන්දර ද දෙමළ සන්ධාන මන්ත්‍රීවරු කිහිප දෙනකුද එක්ව සිටියෝය.
දිසා ‍ලේකම් කාර්යාලය විවෘත කිරීම සඳහා අගමැතිට ආරාධනය කර තිබුණේත් වජිර අබේවර්ධන ඇමැතිවරයා විසිනි. නිල රාජ්‍ය උත්සවයක් වුවද එහි ශබ්ද පාලන කටයුතු ඉතා දුර්වල මට්ටමක පැවැතිනි. විටෙන් විට මයික්‍රෆෝනය ක්‍රියා විරහිත විය. පැවැති තත්ත්වය තුළ වජිර  අබේවර්ධන හා මන්නාරම දිසාපති දේශප්‍රිය මහතා මහත් අපහසුතාවයට පත්විය. මෙහිදී ඉවසීමේ සීමාව පැන්න  ‍පොලිස්පති පූජිත ජයසුන්දර   ශබ්දවාහිනී යන්ත්‍රය බාරව සිටි පිරිස දෙසට  ගියේය. වචන කීපයක් පිටවිය.  ------ මේ ඇවිත් ඉන්නෙ අගමැතිතුමා. අගමැතිතුමාගේ කථාවෙදිවත් ඕකට මොකක්  හරි කරපං යැයි කීවේය.  කෙසේ නමුත් අගමැතිවරයා කතාව ආරම්භ කරන විටම මයික්‍රෆෝනය ක්‍රියා විරහිත විය. එහිදී වෙනත් සම්බන්ධතාවයක් මගින් අගමැතිගේ කතාව සිදු කෙරින.
මන්නාරම දිස්ත්‍රික් ‍ලේකම් කාර්යාලය විවෘත කිරීමෙන් පසුව පැවැති ජනහමුවේදී දෙමළ සන්ධාන වන්නි දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චාල්ස් නිර්මලනාදන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කළේය.
මුලතිව් තියෙන උත්සවයකට මැයි 18දා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එන්න නියමිතව තිබුණා. එදාටම වෙල්ලමුල්ල වයික්කාල්වල දෙමළ ජනතාව මියගිය සැමරුමක් තිබෙන නිසා මම ජනාධිපතිතුමාගෙන් ලිපියකින් ඉල්ලීමක් කළා 18දාට මුලතිව්වලට එන එක සුදුසු නැහැ ඒ නිසා එන්න එපා කියලා. මගේ ඉල්ලීමට ඇහුම්කන් දීලා ජනාධිපතිතුමා මුලතිව්වලට ආවේ නැහැ. ඒකට ජනාධිපතිතුමාට මගේ ස්තූතිය ප්‍රකාශ කරනවා. යැයිද පැවසීය.
නිර්මලනාදන් මන්ත්‍රීවරයාගේ ප්‍රකාශයට පෙර බොහෝදෙනා සිතා සිටියේ ජන සංහාර සතියේදී රටේ නායකයන් උතුරට නොඑන ලෙස උතුරු පළාත් සභා මන්ත්‍රී ෂිවාජිලිංගම් තර්ජනාත්මක ප්‍රකාශයක් කර තිබිණි. ෂිවාජිගෙ ප්‍රකාශය හේතුවෙන් ජනපතිගෙ මුලතිව් සංචාරය අවලංගු වූ බව බොහෝ දෙනා සිතා සිටියහ. නමුත් දෙමළ සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුද ජනපතිගෙ මුලතිව් ගමන නතර කළ බව මෙයින් පැහැදිලි වේ. කෙසේ නමුත් ජනපති මැයි 18 දින මුලතිව් වෙත යෑමට නියමිතව තිබුණ බව හෝ එම සංචාරය අවලංගු  කළ බවට ජනාධිපති ‍ලේකම් කාර්යාලය කිසිදු සඳහනක් කර නැත.
මන්නාරම දිස්ත්‍රික් ‍ලේකම් කාර්යාලයේ පැවැති උත්සවයෙන් පසුව අගමැති අතින් මන්නාරම එක්සත් ජාතික පක්ෂ කාර්යාලය විවෘත කිරීමට නියමිතව තිබිණි. ඒ සඳහා සූදානම්ව සිටියද ආරක්ෂක නිලධාරීන්ගෙ නළල රැළිගැන්වුණේ ඒ සඳහා යාමට තිබූ මාර්ගය දුටුවිටය. පටු අතුරු මාර්ගයක පක්ෂ කාර්යාලය පිහිටා තිබිණි. අගමැතිවරයා රැගෙන එම මාර්ගයෙන් යාමට ආරක්ෂක නිලධාරීන් කැමැති වූයේ නැත. එසේ අකමැතිවීමට තවත් හේතුවක්ද තිබිණි. අගමැති මන්නාරමට පැමිණෙන විට විවිධ ඉල්ලීම් රැගත් විරෝධතාකරුවන් විශාල පිරිසක් විරෝධතා පුවරු රැගෙන මන්නාරම දිස්ත්‍රික් ‍ලේකම් කාර්යාලය ඉදිරිපිට රැඳී සිටියෝය.
මේ පාරේ ගිහින් මොනවා හරි ප්‍රශ්නයක් වුණොත් අගමැතිතුමා හිර වෙනවා, යැයි කියූ ආරක්ෂක නිලධාරීන් අගමැති සමග ඊළඟ වැඩසටහන පැවැති යාපනය බලා පිටත් විය.
යාපනය දිස්ත්‍රික් ‍ලේකම් කාර්යාලයේදී යාපනය දිස්ත්‍රික් කමිටු රැස්වීම පැවැති අතර ඒ සඳහා උතුරු ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේෂ්වරන් ඇතුළු පිරිසක්ද සහභාගී වූහ. දකුණේ දිස්ත්‍රික් කමිටු රැස්වීම්වලදි එකම පක්ෂයේ පිරිස් කලකෝලාහල ඇති කර ගත්තද යාපනය දිස්ත්‍රික් කමිටු රැස්වීම සාමකාමීව පැවැත්විණ.
 
සනත් ප්‍රියන්ත 

අතීතයේ දියවැඩියාව හැඳින්වූයේ ධනවතුන්ගේ රෝගයක් ලෙසිනි. ඉන් අදහස් වූයේ ගොවි කම්කරු ප්‍රජාව අතර දියවැඩියාව සුලබ නොවන බවය. එහෙත් අද වන විට දියවැඩියාව සියලු පුද්ගල මායිම් සිඳ බිඳ දමා අවසානය. එය දැන් දුප්පත් ‍පොහොසත් බේද පමණක් නොව බාල, තරුණ, මහලු ආදී වයස් සීමාවන්ද පරදා අංක එකේ බෝ නොවන රෝගය බවට පත්ව ඇත.  බටහිර වෛද්‍ය විද්‍යාවෙන් දියවැඩියාව  ජයගත නොහැකි වූ තැන අද බොහෝ දෙනෙකු ඊට ආයුර්වේද වෛද්‍ය ක්‍රමයෙන් සහන සොයති. මේ ආයුර්වේද වෛද්‍ය ක්‍රමයට අනුව දියවැඩියාව ජයගන්නේ කෙසේද? යන්න පිළිබඳව නාවින්න බණ්ඩාරනායක ආයුර්වේද පර්යේෂණ ආයතනයේ ‍‍‍ජ්‍යෙෂ්ඨ වෛද්‍ය නිලධාරී රුවිනි ප්‍රීතිකා මෙන්ඩිස් සමග කරන ලද සාකච්ඡාවකි.

ආයුර්වේද වෛද්‍ය ක්‍රමයට අනුව දියවැඩියාව මධුමේහය ලෙසින් හඳුන්වා දෙයි. කපජ ප්‍රමේහ දහයක්ද වාතජ ප්‍රමේහ හයක්ද පිත්තජ ප්‍රමේහය හතරක්ද මුල් කරගෙන මධුමේහය වැළඳෙන බව ආයුර්වේද මුල ග්‍රන්ථවල විග්‍රහ කෙරේ. මින් කපජ ප්‍රමේහයන් මුල් කර ඇතිවන දියවැඩියාව ප්‍රතිකාර මගින් සුවකළ හැකිවන අතර වාතජ, පිත්තජ, ප්‍රමේහයන්, මුල් කර වැළඳෙන දියවැඩියාව, පාලනය කිරීම පමණක් කළ හැකි වෙයි.

ආයුර්වේද විග්‍රහයට අනුව මධුමේහය වැළඳීමට ප්‍රධාන කරුණු අතර ආහාරමය කරුණු වලට මුල් තැනක් හිමි වෙයි. ඒ අනුව සමතුලිත නොවන ආහාර ගැනීම අධිකව ආහාර ගැනීම නිතර ආහාර ගැනීම මෙන්ම  තන්තු කොටස් අඩු ආහාර ගැනීමද මධුමේහයට හේතුවන බව ආයුර්වේද විග්‍රහයේ සඳහන්ය.

අපගේ වැරදි විහරණයන්ද මධුමේහය වැළඳීම කඩිනම් කරයි. අකල්හි නින්ද ලැබිම, සීමාව ඉක්මවා ගිය මානසික ආතතිය වැනි කරුණු රැසක් මේ ගණයට වැටේ. දියවැඩියාවට ප්‍රතිකාර ලබන රෝගීන් තම ප්‍රතිකාර සමග වැරදි විහරණ සහ ආහාර රටාවන්ගෙන් බැහැරවීමද යහපත් සෞඛ්‍යයක් පවත්වාගෙන යෑමට බොහෝ සේ ඉවහල් වෙයි. ඒ අතරට දියවැඩියාව හෙවත් මධුමේහය පාලනය කරනු වස් එදිනෙදා ආහාර පාන ගත හැකි ශාකමය ද්‍රව්‍ය කිහිපයක් වෙයි.

මෙකී ශාක කොටස් අතර වඩාත් ජනප්‍රිය විශේෂ ලෙස තෙබු, කෝවක්කා, මස් බැද්ද වැනි ශාක දැක්විය හැක. එහෙත් මෙවැනි ශාක ආහාරයට ගැනීම පිළිබඳ සමාජයේ විවිධාකාර ගැටලු පැන නැගී ඇත. ඉන් පළමු වැන්න වනුයේ දියවැඩියාව නැතහොත් මධුමේහය වැළඳී නැති පුද්ගලයන්ට මෙවැනි ආහාර නොසුදුසු බවයි. එහෙත් සැබෑව නම් සාමාන්‍ය පුද්ගලයෙකු වුව මෙම වර්ග ආහාරයට ගැනීම කියන තරම් ගැටලු ඇති නොකිරීමය. මෙම ද්‍රව්‍ය ආහාරයට ගැනීම මගින් යම් මට්ටමකට ශරීරයේ සීනි මට්ටම පාලනය වීමක් සිදු වුවද නිරෝගි පුද්ගලයෙකු රෝගී කරන්නට එය හේතු නොවේ.

නමුත් මෙම ද්‍රව්‍ය ආහාර ලෙස අප ගන්නා ආකාරය ඉතා වැදගත්ය. ඒ එකම ද්‍රව්‍ය එකම ආකාරයෙන් දිගු කලක් ආහාරයට ගැනීම සුදුසු නැත. උදාහරණයක් ලෙස ඔබ අද තෙබු කොළ මැල්ලුම ආහාරයට ගත්තේ නම් හෙට එය කැඳක් හෝ සම්බෝලයක් ලෙස ගත හැක. කෝවක්කාද එසේමය. විවිධාකාරයෙන් එකම දේ ආහාරයට ගැනීම මගින් ඔබේ සෞඛ්‍ය තත්ත්වය වඩාත් හොඳින් පවත්වාගෙන යා හැක. එමෙන්ම මේ සියලු දේ සලාද ලෙස ආහාරයට ගැනීමද ඉතා හොඳ ක්‍රමයකි.

දියවැඩියා රෝගීන් බහුතරයක් අතර ඉතා ජනප්‍රිය අත් බෙහෙතක් ලෙස කරවිල දැක්විය හැක. ඇතැම්හු කරවිල කොටා ඉස්ම බිමට පුරුදුව සිටිති. එහෙත් මෙය කිසිසේත් අනුමත කළ හැක්කක් නොවේ. එබැවින් කරවිල කිසියම් ආකාරයකින් සංස්කරණය කර ආහාරයට ගැනීම වඩාත් ඵලදායකය.

කරවිල  ඇටද දියවැඩියාවට ඉතා ප්‍රයෝජනවත් ඖෂධයකි. විශේෂයෙන්ම ඒවායේ ඇති ප්‍රතිඔක්සිකාරක ගුණය නිසා දියවැඩියාව පමණක් නොව පිළිකාවලට පවා ඔසුවක් ලෙස කරවිල ඇට යොදා ගැනෙයි. දියවැඩියාවට ප්‍රතිකාරයක් ලෙස කරවිල කරල් සහ ඇට යොදාගැනීම බහුලව දැකගත හැකි වුවත් කරවිල කොළ සම්බන්ධව අප උනන්දුවක් නොදක්වන තරම්ය. එහෙත් කරවිල වැලක කොළ දියවැඩියා රෝගීන්ට වඩාත් ප්‍රයෝජනවත් කොටස ලෙස දැක්විය හැක. අවාසනාවකට මෙන් අප සමාජය තුළ කරවිල කොළ ආහාරයට ගැනීමක් දක්නට නැති තරම්ය.

කරවිල කොළ ඔබට කිහිප ආකාරයකින් ආහාරයට ගැනීමේ හැකියාව ඇත. ඉන් එක ක්‍රමයක් ලෙස කලවම් සලාදයකට කරවිල කොළ එක් කිරීම දැක්විය හැක.  එමෙන්ම කරවිල කොළමැල්ලුමද දියවැඩියාව රෝගීන්ට ඉතා ප්‍රයෝජනවත් ආහාරයකි. ලෝකයේ බොහෝ රටවල් කරවිල කොළ කුඩු කර (කැප්සියුල්) ලෙස සකසා පානය කරනු දැකිය හැක. ශ්‍රී ලංකාවේ කරවිල කොළ කැප්සියුල් දැකගැනීමට නැති මුත් ඔබට ඉතා පහසුවෙන් ඒවා තේ ලෙස පානය කිරීමට සකසාගත හැක.

 ඒ සඳහා හොඳින් වැඩුණ කරවිල කොළ අවශ්‍ය පමණට තෝරා ගෙන ඒවා හොඳින් පිරිසිදු කර පවනේ වේලා ගත යුතුය. කරවිල කොළ එතරම් විශාල පත්‍ර විශේෂයක් නොවන නිසා පහසුවෙන් විජලනය වී වේලීම සිදුවෙයි. අනතුරුව කැමති ආකාරයෙන් කුඩුකර උණුවතුරට මුසුකර තේ වෙනුවට පානය කළ හැක. දිනකට මෙවැනි තේ කෝප්ප දෙක තුනක් පාවිච්චි කිරීම මගින් ඔබේ රුධිරයේ සීනි ප්‍රමාණය පැහැදිලි ලෙසම පහත දමා ගත හැක.

කරවිල කොළවල Polypeptider නම් ස්වාභාවික ඉන්සියුලින් විශේෂය අඩංගු වන අතර එය ඔබේ රුධිරයේ ඉන්සියුලින් ප්‍රමාණය ඉහළ දැමීමට සමත් වෙයි. එපමණක්ද නොව කරවිල පත්‍රවල අඩංගු ප්‍රතිඔක්සිකාරක සහ වෙනත් සංඝටක නිසා අග්න්‍යාශයේ ‍සෛල ප්‍රකෘතිමත් කිරීම සිදුවෙයි. එමගින් අග්න්‍යාශයේ ක්‍රියාකාරිත්වය ඉහළ යෑම සිදුවන අතර එම තත්ත්වය ඔබේ ශරීරයේ ස්වාභාවික ඉන්සියුලින් මට්ටම ඉහළ දැමීමට සමත් වෙයි. මේ සියලු කරුණු සලකා බලන කල දියවැඩියාව නොහොත් මධුමේහයෙන් නොපෙළෙන අයකුට පවා කරවිල පත්‍ර තේ ලෙසින් පානය කිරීම වැඩදායි වේ. ඒ එමගින් අග්න්‍යාශයේ සහ සිරුරේ සෙසු සෛල ප්‍රකෘතිමත් කරන බැවිනි.

අරුණ ලක්ෂ්මන්ප්‍රනාන්දු

 

 

ඉන්දියන් සාගරය සහ එය ආශ‍්‍රිතව ක‍්‍රියාත්මක වෙමින් පවතින දේශපාලන ක‍්‍රියාදාම දෙස බලනවිට, එක් කාරණයක් ඉතා පැහැදිලිව පෙනී යයි. එනම්, ශ‍්‍රී ලංකාව දැන් ‘ගිරයට හසුවුණු පුවක් ගෙඩියක’ තත්ත්වයට වැටී ඇති බවයි. ගිරයේ ග‍්‍රහණය ඉතා දැඩිය. එහි අඩු දෙක, ඉන්දියාව සහ චීනයයි.
ඉකුත් වෙසක් උළෙල අවස්ථාවේ මේ කාරණය ඉතා පැහැදිලිව දැකගත හැකිවිය. මෙවර (2017) ජාත්‍යන්තර වෙසක් උළෙල පැවතියේ ලංකාවේය. එහි ප‍්‍රධාන ආරාධිත අමුත්තා වූයේ, බුදුරදුන් පහළවූ ඉන්දියාවේ වර්තමාන අග‍්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිය. උත්සවයට සහභාගිවීම සදහා ඔහු සිය දූත පිරිසද සමග ලංකාවට ආවේ මැයි මස 11 වැනිදා සවස් භාගයේය. මෝදිගේ ලංකා සංචාරය නිමිත්තෙන් ඉතා දැඩි ආරක්ෂක විධිවිධානද යොදා තිබිණි. එහි මුල්තැන්ගත්තේ ඉන්දීය ආරක්ෂක භටයන්ය. අග‍්‍රාමාත්‍යවරයාගේ සංචාරය පිණිස ඉන්දීය හෙලිකොප්ටර් යානා  දෙකක්ද ලංකාවට පැමිණ තිබුණි.
මැයි 12 වැනිදා ‘රොයිටර්’ අන්තර්ජාතික පුවත් සේවය අමුතු පුවතක් ලෝකයට මුදා හැරියේය. ඉන් කියැවුණේ, තම සබ්මැරීනයක් තාවකාලිකව කොළඹ වරායේ නැංගුරම් දැමීමට චීන බලධාරීන් කළ අවසර ඉල්ලීමක්, ශ‍්‍රී ලංකා රජය විසින් ප‍්‍රතික්ෂේප කර ඇති බවයි. අවසර නොදෙන්නේ මන්ද? යන කාරණය නම් පැහැදිලි නොවිණි.

චීන සබ්මැරීනයෙන් අමාරුවේ වැටීම

කෙසේ නමුදු චීන සබ්මැරීනය කොළඹ වරායේ නැංගුරම් දැමීමට අවසර ඉල්ලා සිටින්නේ නිකම්ම වකවානුවක නොවේ. ලොව බලවත් රාජ්‍ය අතළොස්ස අතරින් එකක් වන ඉන්දියාවේ අගමැතිවරයා ලංකාවේ දෙදින සංචාරයක නියැලෙමින් සිටින මොහොතකය. ඉන්දියාව මෙන්ම චීනයද බොහෝ කලක පටන්ම ලංකාවේ හිත මිතුරන්ය. එහෙත් ඔවුන් අතර නම් (චීනය සහ ඉන්දියාව), එතරම් ඇයි හොඳයියක් පෙනෙන්නට නැත. දේශසීමා වෙනුවෙන් දෙරටම දෙවරක් යුද වැදුණාහ. චීනයත් ඉන්දියාවත්, ඉන්දියන් සාගරයේ වෙළෙඳ නාවික ආධිපත්‍ය සඳහා සීතල යුද්ධයක පැටලී සිටින බව රහසක් නොවේ. චීනය මේ කාරණා මැනවින් දනියි. එසේම අගමැති මෝදි මැයි 11 සහ 12 යන දිනවල ලංකාවේ සංචාරයක යෙදෙන බවද ඔවුන් නොදන්නවා වන්නට කොහෙත්ම පුළුවන්කමක් නැත. ලංකාවේ ජාත්‍යන්තර වෙසක් උළෙල, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සම්බන්ධයද ඇතිව කළ වැඩක්වීම, ඊට හේතුවයි.
එබදු පසුබිමක, චීනය සිය සබ්මැරීනයක් කොළඹට ගෙන එන්නට අවසර ඉල්ලීම පැටලිලි සහගත කාරණයකි. එයින් අමාරුවේ වැටුණේ ශ‍්‍රී ලංකාවයි. ‘සබ්මැරීන’ යනු යුද කටයුතු පිණිස යොදාගන්නා යාත‍්‍රා විශේෂයක් බවද කවුරුත් දනිති. මීට පෙරද 2014 ඔක්තෝබරයේ චීන සබ්මැරීනයක් කොළඹ වරායට ආවේය. එ් අවස්ථාවේදී එය ඉන්දියාවේ දැඩි කනස්සල්ලට හේතුවූයේ චීන සබ්මැරීන ලංකා මුහුදු සීමාවේ සැරිසැරීම ඉන්දියාව සලකන්නේ තමාට කරන තර්ජනයක් ලෙස බැවිණි.
‘ගිරයකට හසුව සිටින පුවක් ගෙඩියක්’ වන් ශ‍්‍රී ලංකාවට, ඉන්දියාවේ මෙන්ම චීනයේ සුහදතාවද එකසේ වැදගත්ය. ලංකා භූමිය දෙරට අතර, ඉන්දීය සාගරයේ අතිශයින්ම උපක‍්‍රමික ස්ථානයක පිහිටා තිබීම ඊට හේතුවයි.
අගමැති නරේන්ද්‍ර මෝදි, සිය වෙසක් සංචාරය නිමවා ලංකාවෙන් නික්ම ගියේ මැයි 12 වැනිදා සන්ධ්‍යාවේය. එයින් පසුව ආසියානු කලාපයේ තවත් අමුතු සිදුවීම් කිහිපයක් හට ගත්තේය.
ඉන් ප‍්‍රධාන තැනක් ගත්තේ මැයි 14 වැනිදා චීනයේ බීජිං නුවරදී පැවති ‘එක් තීරයක්, එක් මාවතක්’ (One Belt-One Road ) නම් ජාත්‍යන්තර සංවර්ධන වැඩපිළිවෙළේ මහා සමුළුවයි. පැරණි ගොඩබිම් සහ සාගර සේද මාවත, වර්ෂ 2030 වනවිට නව මුහුණුවරකින් ප‍්‍රතිනිර්මාණය කෙරෙන එම වැඩපිළිවෙළෙහි අයිතිකාරයා චීනයයි. එයින් චීනය සහ යුරෝපය එකට යා කොට, නව ආර්ථික කලාපයක් බවට පත්කිරීමට යෝජිතය. මහා සමුළුව සදහා ආසියාකරයේ මෙන්ම,  රුසියා ජනපති වැද්මිර් පුටින් ඇතුළුව මැද පෙරදිග සහ යුරෝපය ආශ‍්‍රිත රටවල් 29ක රාජ්‍ය නායකයෝ සහභාගිවූහ. අමතරව, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම් ඇන්ටෝනියෝ ගුටරේස්, ලෝක බැංකුවේ සභාපති ජිම් යොං කිම් සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකරණ අධ්‍යක්ෂිකා ක‍්‍රිස්ටීන් ලෙගාර්ඞ් ඇතුළු ජාත්‍යන්තර සංවිධානවල නියෝජිතයන්ද සමුළුවට එක්වූහ. ඔවුන් සැවොම ‘එක් තීරයක් - එක් මාවතක්’ වැඩපිළිවෙළට සහාය පළ කරන බව පැවසී යයි, ජාත්‍යන්තර මාධ්‍ය වාර්තාකර තිබිණි.

බීජිං සමුළුව වර්ජනය

එහෙත් ඉන්දීය රජය බීජිං සමුළුවට ගියේ නැත. ඉන්දියාව එය වර්ජනය කළ බව, එරට ප‍්‍රවෘත්ති සේවා මගින් හෙළිකර තිබිණි. ‘එක් තීරයක්-එක් මාවතක්’ වැඩපිළිවෙළ යටතේ, ඉන්දියාවට උතුරෙන් පාකිස්තානය හරහා බිහිකෙරෙන නව ‘ආර්ථික කලාපය’ ඉන්දියාවේ ස්වෛරීභාවයට තර්ජනයක් වන නිසා, ඉන්දීය පාලකයන් එවන් තීන්දුවක් ගෙන ඇති බව ඒවායෙහි සදහන්ව තිබිණි.
මේ කාරණයෙන්  පෙන්නුම් කෙරෙන්නේ කුමක්ද?, ඉන්දියාව කිසිදු චීන ‘ආර්ථික රැල්ලකට’ කැමැති නැති බවයි. එයට ඉන්දීය සාගරයේ වෙළෙද නාවික ආධිපත්‍යය පිළිබද කාරණය ද ඇතුළත්ය.
ලංකාවට පැමිණි මෝදි අග‍්‍රාමාත්‍යවරයා ආපසු ගියේ 12 වැනිදාය. ඔහු සමග රාජ්‍යතාන්ත‍්‍රික කටයුතුවල යෙදීමෙන් පසුව, ශ‍්‍රී ලංකා අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහද පසුවදාම (13) බීජිං සමුළුවට සහභාගිවීමට චීනයට යන්නට සිදුව තිබිණි. ඒ, චීන සබ්මැරීන ප‍්‍රශ්නයේ ‘කොස්ස’ද තිබියදීමය. සමුළුව ඇමතූ රනිල් වික‍්‍රමසිංහ මහතා පවසා සිටියේ, ‘එක් තීරයක් - එක් මාවතක්’ සංවර්ධන වැඩපිළිවෙළ ගෝලීය වෙළෙද වර්ධනයේ නව අවකාශයක් උදාකරන්නට සමත් වන බවයි. එබැවින් එයට සහය දිය යුතු බවද හෙතෙම ප‍්‍රකාශකර තිබුණේය. කෙසේ වෙතත්, මේ සියල්ල ඉන්දියන් සාගරයේ තිරසාර සාමය සහ ස්ථාවරත්වය මත රදා පවතින බවත්, එහි සාමකාමී සහ හමුදා නොවන සබදතා දිරිගැන්වීම සුදුසු බවත් රනිල් වික‍්‍රමසිංහ වැඩිදුරටත් සදහන්කර තිබිණි.
මෙබදු කතා කියවෙන්නේ, චීනය හැරුණුවිට ඉන්දීය සාගර කලාපය ආශ‍්‍රිතව වෙසෙන ලොකුම බලවතා වන ඉන්දියාව,           බීජිං සමුළුව වර්ජනය කළ තත්ත්වයක් තුළය. එය විශේෂ කාරණයකි.

සාගරමාලා

මේ අතරේ ඉන්දියාව මේ දිනවල දැවැන්ත නාවික සහ ආර්ථික සංවර්ධන වැඩපිළිවෙළකට අතගසා තිබේ. එහි නාමය ‘සාගරමාලා’  'SAGARAMALA' ය.
ඉන්දියාව විශාල රටකි. එබැවින් එහි වරාය ක‍්‍රියාවලියද අතිශයින්ම පුළුල්ය. එරට සමස්ත වරාය සංඛ්‍යාව 45කි. ඉන් 13ක්, කන්ටේනර් මෙහෙයුම් පහසුකම් සහිත ප‍්‍රධාන වරායවේ. ඉන්දියාවට ඇති වෙරළ තීරය දිගින් කිලෝමීටර් 7500කි. තත්ත්වය එසේ වුවද, ඉන්දීය කන්ටේනර්  මෙහෙයුම්වලින් වසරකට සියයට 25ක්ම (එනම් කන්ටේනර් මිලියන 2.8ක්), කෙරෙන්නේ ඉන්දියාවෙන් පිටත, අනුන්ගේ රටවල වරායවලිනි. මින් වසරකට ඉන්දීය කන්ටේනර් මිලියන 1.2ක් මෙහෙය වන්නේ කොළඹ වරායෙනි. ඉතිරි කොටස, සිංගප්පූරුව, මැලේසියාවේ ‘කිලෑන්ග්’, ඕමානයේ ‘සලාලා’ සහ ඩුබායි රටේ ‘zJebel AliZ යන ජාත්‍යන්තර වරාය මගින් මෙහෙයවනු ලැබේ. ඉන්දීය බලධාරීන් පවසන අන්දමට, ඉන් වාර්ෂිකව ඉන්දියාවට අහිමි වන මුදල, ඇමෙරිකානු ඩොලර් මිලියන 230ක් (ඉන්දීය රුපියල් කෝටි 1500ක්) පමණ වේ. එය ඔවුන්ට බරපතළ ගැටලූවකි. ඉන්දියාව ‘සාගරමාලා’ නාවික ව්‍යාපෘතිය ක‍්‍රියාත්මක කරන්නේ ගැටලූව ලිහා ගැනීම පිණිසය.
කිලෝමීටර් 7500ක් දිගැති එරට වෙරළ තීරය, ‘නවීන ආර්ථික කලාපයක්’ බවට (Coastal Economic Region) පත්කර, ඉන්දීය වරාය ජාලය තවදුරටත් නවීකරණය කිරීම එහි අරමුණයි. ඒ යටතේ ඉන්දීය වෙරළාසන්න ප‍්‍රාන්ත හයකට අයත් ප‍්‍රධාන වරාය 06ක්, ජාත්‍යන්තර මට්ටමට සංවර්ධනය කෙරේ.
 ඉන්දීය සාගරමාලා ව්‍යාපෘතිය, ලංකාවේ වෙළෙද වරාය ක‍්‍රියාවලියට පුළුල් බලපෑමක් එල්ලවිය හැකි කාරණයකි.
මේ අතර, කොළඹ වරායේ කන්ටේනර් මෙහෙයුම් කෙරෙන නැගෙනහිර පර්යන්තය (ජැටිය) ඉන්දීය සමාගමක් විසින් බදුගන්නට යන බවක් දැන් දැන් අසන්නට ලැබේ. ලංකාවේ පාලකයන් එය බදු දෙන්නට යන්නේ, ඉන් උපරිම වශයෙන් ආදායම් උපයද්දීය. බදු දීමේ කතාව ඇත්තක් නම්, එයද ඉන්දීය ‘උපාය මාර්ගයක්’ බවට සැක නැත කොළඹින් හුවමාරු වන නැව් බඩුවලින් බහුතරය ඉන්දීය කන්ටේනර්ය. ඒවා ඉන්දීය සමාගමක් හරහා හුවමාරු කිරීම, තම රටට ලාභයක් ගෙන දෙතියි ඉන්දියාව කල්පනා කරනු විය හැකිය.

බෙංගාල බොක්ක බලා කියා ගැනීම

එපමණක්ද නොවේ. ඉන්දියාව දැන් අපේ රටේ තිරිකුණාමලය තෙල් ටැංකි සමූහයෙන් වැඩි කොටසක් බදු ගන්නටද සූදානම් වෙයි. ඒ සමගම ඔවුහු බංග්ලාදේශයේ ‘පයෙරා’ නමැති ගැඹුරු වරාය සංවර්ධනයටද හවුල්වන්නට පෙරුම් පුරමින් සිටිති. මතුපිටින් පෙනෙන හැටියට නම් මේවා ‘ඉන්දීය ආයෝජන’ය. නැතිනම් ‘ආර්ථික සංවර්ධන යෝජනා’ය. එහෙත් එහි යටිපෙළ අරුත වන්නේ, බෙංගාල බොක්ක සම්බන්ධයෙන් තම නාවික බලය පතුරුවා ගැනීමේ ඉන්දීය අභිලාෂයයි.
බංග්ලාදේශ පාලකයන් සිය ‘පයෙරා’ වරාය සංවර්ධනය පිණිස චීන සමාගම් දෙකක් සමග අවබෝධතා ගිවිසුම් අත්සන්කර ඇතැයි ඒජන්සි පුවත් වාර්තාවල ස`දහන්වේ. චීනය බෙංගාල බොක්කෙහි නාවික බලය ඩැහැගන්නට යන බව එහි තේරුමයි. ඉතින් ලංකාවේ තෙල් ටැංකි බදු ගැනීම ඔස්සේ ඉන්දියාව ත‍්‍රිකුණාමලයට පය ගසාගන්නට යාම, උපාය මාර්ගික කාරණයකි. නාවික ක‍්‍රියාදාම පැත්තෙන් බෙංගාල බොක්ක බලාකියා ගැනීමට ඇති හො`දම තැන ත‍්‍රිකුණාමලයවීම, ඊට හේතුවයි.
ඉන්දීය සාගරයේදී චීනයට තරගයක් දීමට නම් ඔවුන්ට (ඉන්දියාවට) ලංකාව නැතිවම බැරිය. ත‍්‍රිකුණාමලයට පය ගසාගන්නට ඒම, කොළඹ වරායේ  නැගෙනහිර පර්යන්තය (ජැටිය) බදුගන්නට උත්සාහ කිරීම, හම්බන්තොට වරාය චීන සමාගමකට බදු දෙනවාට සීතල විරෝධයක් පෑම, ඉන්දු-ලංකා පාලමක් දැමීමට උත්සාහ කිරීම ආදිය මගින් පෙන්නුම් කෙරෙන්නේ, ඉන්දියාවේ එම අභිලාශයයි. වෙසක් උත්සවය පිණිස මෙහි පැමිණි, නරේන්ද්‍ර මෝදි ඉන්දීය අගමැතිවරයා, හැටන් නගරයේ කළ කතාවේදී පැවසුවේ, ඉන්දියාව  දිගටම අපට උදව් කරන බවයි. වතු නිවාස දස දහසක් තනාදීම සහ ‘1990 ගිලන් රථ සේවය’ රටටම ව්‍යාප්ත කිරීම යන යෝජනා ඒ අතර විය. ඉන් කියවෙන්නේ ඉන්දියාව තවදුරටත් ලංකාවට සමීපවන්නට උත්සාහ කරමින් සිටින බවයි. ඉන්දියන් සාගර වෙළෙද නාවික තරගයේදී චීනයට මෙන්ම ඔවුන්ටද ලංකාව නැතිවම බැරිය.
ලංකාව දැන් ‘ගිරයට හසුව ඇති පුවක් ගෙඩියක්’ බවට පත්ව ඇතැයි මුලින්ම පැවසුවේ එබැවිනි.

ක‍්‍රිෂ්ණ විජේබණ්ඩාර

ඉකුත් සතිය ශ්‍රී ලංකාවාසීන්ට විශේෂයෙන් වැදගත් වූයේ වෙසක් සතිය වූ බැවිනි. විශේෂයෙන් මෙවර  එක්සත් ජාතීන්ගෙ සංවිධානය විසින් නම් කරන ලද ජාත්‍යන්තර වෙසක් දිනය සමරන ලද්දේද ශ්‍රී ලංකාවේදීය. එම අවස්ථාවට ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ද පැමිණියේය. රටේ බොහෝ පිරිසකගේ අවධානය කොළඹ පැවැත්වෙන වෙසක් සැමරුම පිළිබඳව යොමු වන විට තවත් පිරිසකගේ අවධානය යොමු වී තිබුණේ උතුරේ පැවැත්වෙන වෙසක් සැමරුම් පිළිබඳවයි.
සාමාන්‍යයෙන් උතුරු පළාත තුළ බෞද්ධ ජනතාවගෙ ප්‍රතිශතය ඉතාමත් සුළු ප්‍රමාණයක්  වුවද වෙසක් සැමරුම මහ ඉහළින් පැවැත්වේ. ලක්ෂය ඉක්ම වූ ත්‍රිවිධ හමුදා හා ‍පොලිස් සාමාජිකයන් පිරිසක් උතුරු පළාතේ රාජකාරි කරන බැවින් ඔවුන්ගේ  මැදිහත්වීමෙන් වෙසක් සැමරුම් මහ ඉහළින්  පැවැත්වේ. කිළිනොච්චිය ආරක්ෂක සේනා මූලස්ථානය විසින් සංවිධාන්‍ය කරන ලද වෙසක් කලාපය අලංකාරවත් ලෙස පැවැත්වින.   මෙහිදී කිළිනොච්චිය නගරය වෙසක් සැරසිලිවලින් ඒකාලෝක කර තිබිණ. කෙසේ නමුත් මේ පිළිබඳව ඇතැමුන් මෙය හඳුන්වා දී තිබුණේ ආගමික ආක්‍රමණයක් ලෙසයි. ඊට හේතුව  ලෙස කියා තිබුණේ කිලිනොච්චියේ බෞද්ධයන් පදිංචි වී නොසිටින  බැවින් වෙසක් සැරසිලි කිරීම නොකළ යුත්තක් බවයි.
නමුත් මෙවර මෙන්ම පසුගිය වසරවලදීද යාපනය, කිළිනොච්චිය, වවුනියාව මුලතිව් ආදී නගරවලද ආරක්ෂක  අංශ සාමාජිකයන්ගෙ මැදිහත්වීමෙන් වෙසක් සැරසිලි  හා දන්සල් පැවැත්වෙන අතර ඒ සඳහා දෙමළ ජනතාව ඉතාමත් උනන්දුවෙන් සහභාගි වීම සාමාන්‍ය දෙයකි. කුඩා දරුවන්ද සමග පැමිණ වෙසක් සැරසිලි හා නිර්මාණ නරඹා දෙමළ ජනතාව විශාල සතුටක් ලබති. එසේ නැතිව වෙසක් සැරසිලි නරඹා බුදු දහම වැළඳ ගන්නේ නැත. එමෙන් ජාතීන් අතර මෙන්ම ආගමික සංහිඳියාවටද උතුරේ වෙසක් සැරසිලි මහත් පිටිවහලක් වේ. ඒ නිසා උතුරේ සිදු කරන බෞද්ධ සැරසිලි දෙස අන්තවාදී කෝණයකින් නොබැලිය යුතුය.

වෙල්ලමුල්ලිවෛක්කාල් සැමරුම

මේ අතර රට වෙසක් සිරියෙන් ඇලලී යන විට උතුරු - නැගෙනහිරට සතියක ශෝක කාලයක් නම් කරන බව උතුරු පළාත් සභා මන්ත්‍රී එම්. කේ. ශිවාජිලිංගම් ප්‍රකාශ කළේය. ශිවාජිලිංගම් එසේ ශෝක සතිය ආරම්භ කරන ලද්දේ රටේ පළමු පුරවැසියාව ජනපතිවරයාට තර්ජනයක්ද කරමිනි.
මේ සතිය තුල ජනාධිපතිතුමා මුලතිව් හා යාපනයට පැමිණීමට නියමිතව තිබෙනවා. ඒ නිසා මම කියන්නේ ජන සංහාර සැමරුම් සතිය තුළ ජනාධිපතිට  උතුරු පළාතට එන්න එපා කියල  මම කියනවා”යැයිද ශිවාජිලිංගම් ප්‍රසිද්ධියේ මාධ්‍යයට ප්‍රකාශ කර තිබුණේය.

අනතුරුව, යාපනය, මන්නාරම, වවුනියාව, ත්‍රිරිකුණාමලය, කිළිනොච්චිය ආදී නගරවලදී පහන් දල්වා ශෝක සතිය සමරා තිබුණි. මෙහි අවසාන එමෙන්ම ප්‍රධාන  සැමරුම 18දා
වෙල්ලමුල්ලිවෛක්කාල්හිදී  පත්වන බවද ඔහු කීවේය. මෙම පහන් දැල්වීමේ සැමරුම් සඳහා එතරම් ජනතාවක් සහභාගි නොවූ අතර අතලොස්සක් වූ පිරිසක් පමණක් සහභාගි වූහ. මෙහිදී ශිවාජිලිංගම් කළ මතබේදාත්මක ප්‍රකාශ නිසා දකුණේ ජනතාවාදීන්ගේ් අවධානය යොමු වූ අතර රජය වෙනුවෙන් අදහස් පළ කිරීමට ඉදිරිපත් වූයේ ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධනය. එහිදි ඔහු ප්‍රකාශ කළේ ශිවාජිලිංගම් කීප දෙනෙකු  සමග එක්ව පවත්වන මාධ්‍ය සංදර්ශනය මෙන්ම කොටි නාඩගම මෙවර නවතා දැමීමට කටයුතු කරන බවයි. පෙර වර්ෂවලදීද දෙමළ සන්ධානයේ මෙවැනි  ජාතිවාදී සැමරුම් නවතා දමන බවට ආරක්ෂක රාජ්‍ය ඇමැතිවරයා ප්‍රකාශ කළද උතුරේ දේශපාලනඥයන් ප්‍රභාකරන්   අනුස්මරණය කිරීම නවතා දැමීමට හැකි වූයේ නැත.
බහුතර ජනතාව බලා‍පොරොත්තු වූ පරිදිම මෙවර  වූයේද එයයි. අවසානයේදී රුවන් විජේවර්ධන ඇමැතිවරයාගේ ප්‍රකාශය මාධ්‍ය සංදර්ශනයක් බවට පත් කරමින් සැලසුම් කළ පරිදි විශාල ජනතා සහභාගිත්වයක් සහිතව මුලතිව් වෙල්ලමුල්ලිවෛක්කාල්හිදී ජනසංහාර දිනය පවත්වන ලදී.
කෙසේ  නමුත් වෙල්ලමුල්ලිවෛක්කාල්හිදි පැවති සැමරුම් සඳහා විපක්ෂ නායක ආර්. සම්පන්දන්, උතුරේ මහ ඇමැති සී. වී. විග්නේෂ්වරන්, ටී.එන්.ඒ. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන එම්. ඒ. සුමන්තිරන්, ශ්‍රීදරන්. මාවෙයි  සේනාධි රාජා, ශිවාජිලිංගම් ඇතුළු  විශාල පිරිසක් පැමිණ තිබිණි. බළලා මල්ලෙන් එළියට පැන්නේ මෙහිදීය. එනම් බොහෝ දෙනා සිතා සිටියේ ජනසංහාර සතිය ශිවාජිලිංගම්ගේ හුදකලා විරෝධතාවක් ලෙසයි. එමෙන්ම ටිඑන්ඒ පිල් කීපයකට බෙදී සිටින බවද සිතා සිටියෝය. නමුත් අහිංසක සිවිල් ජනතාව සිහි කිරීමේ සැමරුමට මුවා වී පවත්වනු ලැබූ ජාතිවාදි සැමරුම සංවිධානය කිරීම සඳහා සියලු දෙනා එක්ව සිටියෝය.
මෙහිදී 'ලක්බිම ඉරිදා සංග්‍රහය'ට අදහස් දැක්වූ ශිවාජිලිංගම් මන්ත්‍රීවරයා මේ උත්සවය කරන්න දෙන්නෙ නැහැ කියලා රුවන් විජේවර්ධන  මහත්තයා කියා  තිබුණා. නමුත් මිය ගිය අහිංසක ජනතාව සැමරීම අපි සාර්ථකව කළා. නමුත් මේ උත්සවයට සහභාගි වන ජනතාව  බියට පත් කරලා තිබුණා. ජනතාව රැගෙන ආ බස් රථවල තොරතුරු  බුද්ධි අංශ ලබාගෙන තිබුණා. මේ බාධා කිරීම නිසා මම උත්සවයට ආවෙත් පරක්කු වෙලා. පසුගිය ආණ්ඩුවෙයි යහපාලන රජයෙයි වෙනසක් නැහැ යැයිද කීවේය.
කෙසේ නමුත් යාපනය විශ්ව විද්‍යාලය තුළ 18 පෙරවරුවේදී ජන  සංහාර සැමරුමක් පවත්වනු ලැබුණි. දෙමළ ජාතික සන්ධානයෙන් වෙන්ව කටයුතු කරන ගජේන්ද්‍ර කුමාර් ‍පොන්නම්බලම්ගේ පක්ෂය හිටපු එල්.ටී.ටී.ඊ, සාමාජිකයන්ගේ පක්ෂය, සර්ව ආගමික නායකයින් සිවිල් සංවිධාන එකතුව යන පිරිස වෙනම සමරුම් 04ක් 18දා පස්වරුවේ  වෙල්ලමුල්ලිවෛක්කාල්හිද පවත්වන ලදී.

මෑත කාලයේ  වාර්තා වූ දරුණුම සයිබර් ප්‍රහාරය ගැන මේ දිනවල ලොව පුරා විශාල ආන්දෝලනයක් සහ නොසන්සුන්තාවක් හටගෙන තිබේ. WannaCry  යන නාමයෙන් හැඳින්වෙන වෛරසයක් හරහා එල්ල වූ මෙම ප්‍රහාරයට මේ වනවිට ලොව පුරා රටවල් 100කට අධික සංඛ්‍යාවක පරිගණක ජාල ගොදුරු වී ඇති බව වාර්තා වෙයි. මෙය සැලකෙන්නේ සයිබර් ප්‍රහාර  ඉතිහාසයේ දරුණුම සහ සංකීර්ණම ප්‍රහාරයක් වශයෙනි.

මීට අදාළ වෛරසය පරිගණකයකට ඇතුළු වූ විට එය විසින් අදාළ පරිගණකයේ ක්‍රියාකාරිත්වය මුළුමනින්ම නතර කරනු ලබයි. ඉන්පසු කිසිවකුට පරිගණකය සමග කටයුතු කිරීමට හැකියාවක් ලැබෙන්නේ නැත. මෙය එක්තරා ආකාරයකින් එම පරිගණකය ‘ප්‍රාණ ඇපයට’ ගැනීමක් හා සමානය. අනතුරුව ප්‍රහාරකයන් දැනුම් දෙන්නේ කිසියම් කප්පම් මුදලක් ගෙවන තුරු පරිගණකය නිදහස් නොකරන බවයි. ඒ අනුව නැවත පරිගණකය ක්‍රියාත්මක කිරීමට හැකි වන්නේ අදාළ කප්පම ගෙවීමෙන් පසුව පමණි.

මේ වනවිට ලෝකයේ ප්‍රධාන පෙළේ රටවල් රැසක පරිගණක පද්ධති මෙම වෛරසයට ගොදුරු වී අවසන්ය. ඉහළම මට්ටමේ ව්‍යාපාරික සමාගම් රැසක්ද ඒ අතර වෙයි. මහා බ්‍රිතාන්‍යයේ රෝහල් ඇතුළු සෞඛ්‍ය සේවා ආයතනද මෙම ප්‍රහාරයට ගොදුරු වූ ප්‍රධාන ඉලක්කයකි. මේ නිසා බොහෝ රෝගීන්ට ප්‍රතිකාර කිරීමේ කටයුතු අඩාල වූ බැව් වාර්තා විය. ශල්‍යකර්ම ආදිය පවා අවලංගු කර දැමීමට සිදු වූ බවද බ්‍රිතාන්‍ය මාධ්‍ය හරහා අනාවරණය විය. ඇමෙරිකාව, ජර්මනිය, රුසියාව, ස්පාඤ්ඤය, ප්‍රංශය, චීනය, දකුණු කොරියාව, පෘතුගාලය, ඉන්දුනීසියාව ආදී රටවල්ද ප්‍රහාරයට ඉලක්ක වූ ප්‍රධාන රටවල් ලෙස සඳහන් විය. දරුණුම ප්‍රහාරය එල්ල වී ඇත්තේ රුසියාවට බවද සැලකේ. එහි බැංකු, දුම්රිය සේවා සහ ජංගම දුරකථන සේවා ආදිය මීට ගොදුරු වී ඇති බව සඳහන් වෙයි. ඉන්දියාවද වැඩියෙන්ම ප්‍රහාරයට ලක් වූ රටක් ලෙස මේ වනවිට ප්‍රකාශයට පත්ව තිබේ. ඇතැම් රටවල විශ්වවිද්‍යාල වැනි අධ්‍යාපන ආයතන පවා ප්‍රහාරයට ලක්වීම නිසා සිසුන්ගේ අධ්‍යාපන කටයුතු පවා අඩාල වී ඇතැයි අනාවරණය වෙයි.

මෙම බිහිසුණු වෛරසය නිර්මාණය කර ඇත්තේ කව්ද යන්න මෙම ලිපිය ලියන අවස්ථාව වනවිටත් අනාවරණය වී තිබුණේ නැත. නමුත් ප්‍රහාරකයන් මෙය නිපදවා ඇත්තේ ඇමෙරිකාවේ ජාතික ආරක්ෂක ඒජන්සිය (National Security Agency) විසින් කලකට පෙර නිර්මාණය කරන ලද  ප්‍රයෝග වාගයක් උදව්වට ගනිමින් බවටද තොරතුරු පළවෙයි. මෙම ප්‍රයෝග පිළිබඳ දත්ත කලකට ඉහත කිසියම් හැකර්වරුන් පිරිසක් විසින් සොරා ගනු ලැබ අන්තර්ජාලයට මුදා හැර තිබූ අතර WannaCry වෛරසයේ නිර්මාතෘවරුන් ඒවායේ උදව්වෙන් මෙම වෛරසය නිපදවා ඇති බවයි පැවැසෙන්නේ.

සුළභව හමුවන වෛරසවලට වඩා මෙම වෛරසය වේගයෙන් ව්‍යාප්ත වන දරුණු වෛරසයක් බවට පත්ව තිබේ. ඊට හේතු වී ඇත්තේ එය ස්වයංක්‍රීයව පරිගණක පද්ධතිවලට ඇතුළු වීමට දක්වන සමත්කමය. බොහෝ විට වෛරසයක් පරිගණකයකට ඇතුළු වන්නේ කෙනකු කිසියම් ඊමේල් පණිවුඩයක් වැනි යමක් විවෘත කිරීමත් සමගය. නමුත් WannaCry වෛරසයට එවැනි කිසිවකින් තොරව වුවද පරිගණකයකට ඇතුළු වීමේ හැකියාව ඇති බව පළවෙයි. ඉන්පසු එම පරිගණකය සමග සම්බන්ධව ඇති සමස්ථ පරිගණක ජාලයක්ම ප්‍රාණ ඇපයට ගැනීමට මීට හැකියාව තිබේ.

මෙම වෛරසය නිසා ශ්‍රී්‍ර ලංකාවේ පරිගණකවලටද පවතින අනතුර සම්බන්ධයෙන් අදාළ අංශ ජනතාව දැනුවත් කිරීමට පියවර ගෙන තිබිණි. මෙයින් ආරක්ෂා වීම සඳහා මූලික පියවර කිහිපයක් යෝජනා කර තිබෙණුද දැකිය හැකි විය. වැදගත් ‍ලේඛනවල පිටපත් පෙන්ඩ්‍රයිව් වැනි බාහිර මෙවලමක ගබඩා කර ගැනීම, සැක සහිත ඊ මේල් පණිවිඩ විවෘත නොකිරීම, වෛරසවලින් ආරක්ෂා වීමේ මෘදුකාංග (Virus Guards) යාවත්කාලීන කර ගැනීම වැනි මූලික ආරක්ෂක පියවර අනුගමනය කිරීම වැදගත් වුවද මෙම වෛරසයේ ඇති ප්‍රබල බව සහ සංකීර්ණ බව නිසා එවැනි පියවරවලින් පමණක් සම්පූර්ණ ආරක්ෂාවක් ඇති කරගත හැකි වේද යන්න සැක සහිතය.

මෙම වෛරසය සම්බන්ධයෙන් මේ වනවිට ඇමෙරිකාවේ ජාතික ආරක්ෂක ඒජන්සිය වෙත විශාල වශයෙන් චෝදනා එල්ල වීමට පටන්ගෙන තිබේ. ඒ මෙවැනි වෛරසයක් නිපදවීමට උදව් විය හැකි උපක්‍රම නිර්මාණය කිරීම සහ ඒ පිළිබඳ තොරතුරු හැකර්වරුන් අතට පත්වීමට ඉඩ හැරීම සම්බන්ධයෙනි. කලකට පෙර ඉහත ඒජන්සියේ සයිබර් කටයුතු සම්බන්ධයෙන් රහස් රැසක් ලොවට හෙළි කළ එඩ්වඩ් ස්නෝඩන්ද ඇමෙරිකාවට චෝදනා කරන පිරිස අතර වෙයි. ඒ අතර ඇමෙරිකාව මෙම අලුත් සයිබර් ප්‍රහාරය පිළිබඳ වගකීම රුසියානු සයිබර් ප්‍රහාරකයන් වෙත පැටවීමට උත්සාහ කරන ආකාරයක්ද පෙනී යන අතර මෙම සිද්ධිය හරහා මේ දෙපාර්ශ්වය අතර දේශපාලන එදිරිවාදිකම් පිරිමසා ගැනීමේ තත්ත්වයක්ද මේ වනවිට දැකිය හැකි වෙයි.

කිත්සිරි මල්වත්ත

හල්දුම්මුල්ල සොරගුණේ දඩයම්‍පොළ යනු ශ්‍රී ලංකාවේ ඉතා සරු ෙජෙව විවිධත්වයක් සහිත කලාපයකි. අලි ඇතුන් වන සතුන් රැසකගේ  නිජ බිමක් වන මෙම ප්‍රදේශය  හපුත‍ලේ හා හෝර්ටන් තැන්න කඳුවැටි වලින් ගලා හැළෙන දිය උල්පත් ඒකරාශී වී කාල්කන් ඔය, වේලි ඔය, හා දෙමට ආර යන ගංගාවලට උපත දෙන්නේය. මෙම ගංගා තුන ඒකරාශී වන ස්ථානයේ ඉදිකර ඇති (වේලි ඔය ප්‍රදේශයේ) වේල්ල මගින් හම්බෙගමුව, කොටවෙහෙර, මංකඩ, වේලි ඔය යන ප්‍රදේශ වලට ජලය ලබා දෙමින් කුඹුරු හෙක්ටයාර් දෙදහස් අටසිය තිහක් උදෙසා දියවර සපයන්නේය. එකි ව්‍යාපාරය තුළින් ගොවි පවුල් පන්දහසකට හයදහසකට අධික පිරිසක් තම ජීවන මාර්ගය සකස් කරගනී. වේලි ඔයේ දියවර ඉන් නොනැවතී මහ වැව් දෙකක් හා කුඩා වැව් තිස් හතරක් ‍පෝෂණය කරන්නීය. එය අවසන් වන්නේ හම්බෙගමුව වැවට ජලය පිරීමෙන් පසුවය. 
 මෙම වටිනා ජලමූලාශ්‍රය හා ඒහා බැඳුණ පරිසර පද්ධතිය මේ වන විට ඇත්තේ විනාශයේ එළිපත්තේය. ඊට හේතුව විදේශීය සමාගමක් සොරගුණේ ප්‍රදේශයේ අක්කර හයසිය විසි අටක් මිලදී ගෙන කාමර දෙදහසකින් යුත් හෝටලයක් හා ජාත්‍යන්තර තලයේ ගොල්ෆ් ක්‍රීඩාංගණයක් ඉදි කිරීමට යෑමය. වේලිඔය කොටවෙහෙර මංකඩ සුදු වැල්ල ශ්‍රී පුලිනතලාරාමාධිපති නෙල්ලිවල සුමේධාලංකාර හිමියෝ පවසන පරිදි මෙම ව්‍යාපෘතිය ඉදි කළහොත් වේලිඔය ව්‍යාපාරය මුළුමනින්ම විනාශ වීමට ඉඩ ඇත. වේලිඔය ව්‍යාපෘතියට ජලය ලැබෙන රක්ෂිත ප්‍රදේශය වන දඩයම්‍පොල රක්ෂිතය තුළ විශාල ගස් විශේෂයෙන් කුඹුක්, බුරුත, කෝන්, පුස්වැල්, වේවැල්, අරළු, නෙල්ලි, ගම්මාලු, වැනි ශාක රාශියක් තිබෙනවා. ඊට අමතරව වන අලින්, ගෝනන් වල් ඌරන්, රිළවුන්, වඳුරන්, ඕලු මුවන් වැනි සතුන් හා විවිධ කුරුලු විශේෂ, මත්ස්‍ය විශේෂ, වර්ග රැසක් මෙම වනාන්තරය කේන්ද්‍ර කරගෙන ජීවත් වෙනවා. මේ හෝටලය ඉදිකළහොත් ඒ ෙජෙව විවිධත්වය නිසැක ලෙසම විනාශ වෙනවා. මෙම ව්‍යාපෘතිය සිදුකළහොත් අනිවාර්යයෙන්ම අලිමිනිස් ගැටුමක් අලුතින් ඇති වෙනවා. බෝගහ පට්ටිය අභය භූමිය, උඩවලව අභය භූමිය, දහයියාගල අභය භූමිය යන අභය භූමිවල ජීවත් වන අලි ඇතුන් නිරන්තරයෙන්ම සොරගුණේ දඩයම්‍පොල ප්‍රදේශයට එනවා. අලි ඇතුන්ට ඔවුනගේ වාස භූමි අහිමි වුවහොත් අනිවාර්යයෙන්ම මිනිසුන් හා අලින් අතර ගැටුම් ඇති වෙනවා යැයි සුමේධාලංකාර හිමියන් වැඩිදුරටත් පවසති. 
මෙම විදේශීය සමාගම ඉඩම් මිලදී ගෙන ඇත්තේ හල්දුම්මුල්ල සොරගුණේ කතරගම දේවාලයට අයත් බණ්ඩාර පංගුවේ ඉඩම් බව  හල්දුම්මුල්ල ප්‍රාදේශීය ‍ලේකම් වරිය වන ශිරෝමි ජීවමාලා පවසන්නීය.
මේ ඉඩම් රජයට අයත් ඒවා නොවේ. සොරගුණේ දේවාලයට අයත් බණ්ඩාරපංගු, රාජකාරි පංගු, හා නින්දගම්වලට අයත් ඉඩම් බව ඇය වැඩිදුරටත් කීවාය. හල්දුම්මුල්ල ප්‍රාදේශීය ‍ලේකම් වරිය එසේ ප්‍රකාශ කළද සොරගුණේ දඩයම් ‍පොළ  රක්ෂිතය තුළ ඇත්තේ මහා රූස්ස ගස්ය. සොරගුණේ දේවාලයට අයත් ඉඩම් වුවද වසර සිය ගණනාවකින් එහි කිසි වගාවක් කරනවා තබා මිනිස් පුළුටක් එහි පයගසා නැති බව දැකගන්නට ලැබිණි.
මේ අතර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පසුගිය දිනක විශේෂ ප්‍රකාශයක් කරමින් කියා සිටියේ දිවයින පුරා අක්‍රමවත් අයුරින් සිදුවන  පස් කැපීම්, වනාන්තර එළිපෙහෙළි කිරීම්, සහ වැලි ප්‍රවාහනය පිළිබඳව තමා වෙත තොරතුරු ලැබි ඇති අතර පරිසරයට දැඩි විනාශයක් සිදු කරමින් කරගෙන ගිය බොහොමයක් කටයුතු තම මැදිහත්වීමෙන් නැවැත්වීමට පියවර ගත් බවයි. ඉදිරියේදී පස් කැපීම් සහ වනාන්තර එළි පෙහෙළි කිරීම පිළිබඳව දැනට තිබෙන ආයතනික ව්‍යුහය තුළ අදාළ සියලුම ආයතනවල අනුමැතිය හිමි වුවද අවසානයේ පරිසර අමාත්‍යවරයා ලෙස තමාගේද අනුමැතිය ලබාගැනීමට අවශ්‍ය බවට නීති රීති වෙනස් කරමින් නව චක්‍ර‍ලේඛණයක් නිකුත් කරන බවද ජනාධිපතිවරයා සඳහන් කළේය.
පරිසර සංරක්ෂණය පිළිබඳව මූලික වගකීම දරන සියලු ආයතන මීට වඩා වගකීමෙන් කටයුතු කළයුතු බවද අවධාරණය කළ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ජාවාරම්කාර ව්‍යාපාරකයන්ගෙන් අපගේ පරිසරය ආරක්ෂා කරගැනීම සඳහා සියලු දෙනා කැපවීමෙන් කටයුතු කළ යුතු බව දන්වා සිටියේය. 
රටේ ජනාධිපතිවරයා කුමන ප්‍රකාශ කළද ජාවාරම්කරුවෝ ඒවා තුට්ටුවකට නොසලකති. මෙම වනාන්තර එළිපෙහෙළි කළ ප්‍රදේශවල ගොවි ජනතාවට මහත් විනාශයක් සිදුවනු ඇත. 
අපේක්ෂා කරන හෝටලය ඉදිකළහොත් දහස් ගණනක ගොවි පිරිසකගේ වගාවන් විනාශව ගොස් මහා පරිමාණ ෙජෙව සංහාරයක් නොදුරේදීම වේලිඔය නිම්නයේ දැකගත හැකි වනු ඇත. මේ සොඳුරු වන පෙත රැකගනුවස් මෙහි සියලු ගස් සඟ සතු කරන්නට පරිසර සංවිධාන කටයුතුකර ඇත.
අප මේ පිළිබඳව බලංගොඩ ප්‍රාදේශීය ‍ලේකම් චම්පික නිරෝෂ් ධර්මපාලගෙන්ද විමසීමක් කළෙමු. 
ඇත්තටම මෙම ප්‍රදේශය එළිපෙහෙළි කළහොත් විශාල ලෙස ජල උල්පත් සිඳී යාවි. කල්තොට, වේලිඔය හා කාල්කන් ඔය හරස් කර වාරිමාර්ග ව්‍යාපෘතියක් ආරම්භ කර තිබෙනවා. මේ වන විට එහි වම් ඉවුර යෝජනා ක්‍රමයෙන් හම්බෙගමුව තණමල්විල දක්වා ජලය රැගෙන යන අතර මේ වන විට අක්කර සිය ගණනක් යලමහ කන්න දෙක වී ගොවිතැන කරනවා. 
ඊට අමතරව ඉදිරියේදී දකුණු ඉවුර යෝජනා ක්‍රමය යටතේ කල්තොට මැදබැද්ද, ප්‍රදේශයට මෙම ව්‍යාපෘතියෙන් ජලය ලබා ගෙන වී ගොවිතැන් කිරීමටයි බලා‍පොරොත්තු වන්නේ අනෙක තමයි හම්බෙගමුව තණමල්විල මොණරාගල යන ප්‍රදේශ කොහොමත් වියළි කලාපයට අයත් වන්නේ එසේ තිබියදී මෙලෙස රක්ෂිත වනාන්තර එළිපෙහෙළි කිරීම අනුමත කරන්න බැහැ යැයි පවසන්නේය. 
වේලිඔය ඉදිකර ඇත්තේ මොණරාගල බදුල්ල, රත්නපුර යන දිස්ත්‍රික්ක තුන සම්බන්ධ කර ගෙනය. 
එබැවින් මේ මහා පරිමාණ විනාශය සිදු වුව හොත් ඉන් මේ දිස්ත්‍රික්ක තුනම දැඩි පීඩාවට පත් වෙනු නොඅනුමානය. වේලිඔය ගොවි ජන උරුමය රැකගනු වස් සටන් වදින වේලිඔය ඒකාබද්ධ ගොවි සංවිධානයේ ‍ලේකම් ඩී. එම්. දිසානායක තමුනට සිදුවීමට යන මේ මහා විනාශය පිළිබඳ මෙසේ පවසන්නේය. මේ හෝටලය හැදුවොත් අක්කර දහස් ගණනක ගොවිතැන් ඉවරයි. 
අපේ ජීවිතය පරිත්‍යාග කර හෝ මේ රක්ෂිතය ආරක්ෂා කිරීමට ගොවීන් කැපවී කටයුතු කරනවා. ගොල්ෆ් ක්‍රීඩාංගණය ඉදිකළහොත් වේලිඔය වාරි ව්‍යාපෘතියට විශාල හානියක් සිදු වෙනවා. කාල්කන් ඔය හා වේලිඔය හරස් කර වේල්ලක් ඉදිකර ඇළ මාර්ගයකින් ජලය රැගෙන වේලිඔය ප්‍රදේශයේ කුඹුරු හෙක්ටයාර් දෙදහස් අටසිය තිහක් (2830) ක් වගා කරනවා. ගොවි පවුල් පන් දහසක් හය දහසක් මේ කුඹුරු වලින් ජීවත් වෙනවා. ඒ ඉහත කී ව්‍යාපෘතියට අපගේ දැඩි විරෝධය ප්‍රකාශ කරනවා. ඒකාබද්ධ ගොවි සංවිධානය යටතේ ගොවි සංවිධාන තිස් හතරක් නියෝජනය වෙනවා. 
මෙම පරිසර විනාශය පිළිබඳව පරිසර යුක්ති කේන්ද්‍රය මගින් අධිකරණ ක්‍රියාමාර්ගයක් ගනිමින් සිටින බව එහි නීතිඥ සුගත් අතපත්තු සඳහන් කරයි. වැඩි දුරටත් ඔහු සඳහන් කරන්නේ මෙම ව්‍යාපෘතිය ඉදිකළ හොත් මහත් පරිසර විනාශයක් සිදුවී ගොවීන්ගේ නිජ බිම් විනාශ වී යනු ඇති බවයි. වේලි ඔය ව්‍යාපෘතිය වෙනුවෙන් රුපියල් කෝටි ගණන් රටට ණය වී ඇත. 
වේලිඔය වනසන හෝටල් ව්‍යෘපෘතියේ පීතෘවරු සිටියේ පසුගිය රජයේය. දැන් ආණ්ඩු පෙරළි ඇතත් වේලිඔය වැනසීම නතරව නැත. කැ‍ලේ මාරු වූවාට කොටියාගේ පුල්ලි මාරු වෙන්නේ නැති බව ගොවියන් පවසන්නේ මේ වගේ විගඩම්වලටය. 
 
සටහන හා ඡායාරූප : සරත් වීරවංශ

Page 5 of 6

IMAGE

මෙතේ බුදු පදවිය ලබන්නේ බැංකු කළමණාකරුවෙක්ද?

IMAGE 2017 Nov 17 12:13
ඔහු මධ්‍යම පළාතේ වාණිජ බැංකුවක කළමණාකරුවෙකි.  ඔහුගේ වයස අවුරුදු 45 ක් පමණ වේ. ක්‍රිස්තියානි...
Views - 1275

බොහෝ කලා කරුවන් තමන්ගේ පවුල් ජීවිත ගැන කියන්නේ බොරු

IMAGE 2017 Nov 16 11:31
වත්මන් ශ්‍රී ලාංකීය ජන සමාජයේ දික්කසාද වීම් සහ පවුල් අර්බුද පැන නැගීම සම්බන්ධයෙන් කලා...
Views - 2126

මුහුණුපොත ගැන ඔබ මෙතෙක් නෑසූ කතා

IMAGE 2017 Nov 16 09:44
‘ෆේස්බුක්’ කියන්නේ නම කියූ මණින් අද උපන් දරුවාගේ සිට සිහිකල්පනාවක් ඇති මහල්ලා දක්වාම...
Views - 2074

හැංගිමුත්තම් කරන අතරේ ඇඳ යටදී දැරියට අතවර කරලා

IMAGE 2017 Nov 15 09:26
හැංගි මුත්තම් සෙල්ලමක් අතරදී වයස අවුරුදු 10 ක වන පාසල් සිසුවියක දුෂණය කළ බව කියන 16 හැවිරිදි...
Views - 4909

ලිංගික උත්තේජන පෙති අකල්මරණවලට හේතුවක් ද?

IMAGE 2017 Nov 14 10:46
පුරුෂ ලිංගික උද්දීපනය සඳහා ගනු ලබන පෙති වර්ග වලින් අකල් මරණ සිදුවන බවට සමාජය පුරා පොදු...
Views - 4539

වික්ටර්ට අපහාස වෙන බව දන්නවා නම් මම හොඳ කෙළියක් කරනවා

IMAGE 2017 Nov 13 13:02
සිනමාවේ හැමදාමත් දුෂ්ටකම් කරන විල්සන් කරූ පසුගිය දවස්වල ඉරාජ්ගේ මියුසික් වීඩියෝ එකක රඟපාලා...
Views - 7323

Please publish modules in offcanvas position.

Our website is protected by DMC Firewall!