Coss Ear2
lakbima.lk
COSS Ear 1

දැනට ශ්‍රී පාදස්ථානයේ ඇති වී තිබෙන තත්ත්වය සමනය කර ගැනීම සඳහා අධිකරණ ක්‍රියාමර්ග ගැනීමට සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනය කටයුතු කරන බව බෞද්ධ මහා සම්මේලනයේ නව සභාපති ජගත් සුමතිපාල මහතා ෙතේ‍රනිකායික මහනාහිමිවරුන් හමුවේ පැවැසීය.


සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ නව සභාපතිවරයා ලෙස පත් වූ ජගත් සුමතිපාල මහතා ඇතුළු අනෙකුත් නිලධාරීහු පසුගිය (13) දා  මල්වතු පාර්ශ්වයේ මහනාහිමි තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහනාහිමියන්ද, අස්ගිරි පාර්ශ්වයේ මහනාහිමි වරකාගොඩ ඤාණරතන මහ නාහිමියන්ද, රාමඤ්ඤ, නිකායේ මහනාහිමි නාපානේ පේමසිරි මහ නාහිමියන්ද, මල්වතු අස්ගිරි පාර්ශ්ව අනුනාහිමිවරුන්ද බැහැදැක ආශිර්වාද ලබා ගත්හ.
එහිදී මහනාහිමිවරුන් හමුවේ වැඩිදුරටත් අදහස් දැක් වූ ජගත් සුමතිපාල මහතා මෙසේද පැවැසීය.


දැනට රටේ තිබෙන ප්‍රශ්න වෙනුවෙන් සහ බුදුදහමට ඇති ප්‍රශ්න පිළිබඳවත්, බෞද්ධ ආර්ථිකය ගොඩනගන වැඩපිළිවෙළක් සම්බන්ධවත් ග්‍රාමීය මට්ටමෙන් ඉදිරියේදී කටයුතු කිරීමට අප බලා‍පොරොත්තු වනවා. ඒ සඳහා මහ නාහිමිවරුන් ඇතුළු හා සංඝරත්නයේ අවවාද අනුශාසනා ලබා ගන්නත් බලා‍පොරොත්තු වනවා. ගම්වල බෞද්ධයන්ගේ  ආර්ථිකයත් රටේ ව්‍යවස්ථාවෙන් පැන නගින ප්‍රශ්න පිළිබඳවත් ඉදිරියේදීත් ක්‍රියා කරන්න අප කටයුතු කරනවා. පසුගිය කා‍ලේ සමස්ත ලංකා බෞද්ධ මහ සම්මේලනය බෞද්ධ සාහිත්‍ය උත්සවයක් වෙසක් කලාපයක් වැනි බොහෝ දේ සිදු කළා. බෞද්ධ මහා සම්මේලනයට ලබන වසරට වසර සියයක් සපිරෙනවා. ඒ නිසා රටේ සියලු බෞද්ධයන් නගා සිටුවන්න වැඩපිළිවෙළක් දියත් කරන්න කටයුතු කරනවා. ව්‍යවස්ථාවෙන්ම ෙතේ‍රනිකායික මහනාහිමිවරුන් බෞද්ධ මහා සම්මේලනයේ අනුශාසකවරුන් වන නිසා නව නිලධාරී මණ්ඩලයක් පත් වූ පසු පළමුවෙන්ම ව්‍යවස්ථානුකූලව සහ චාරිත්‍රානුකූල සම්ප්‍රදායක් ලෙස මහ නාහිමිවරුන් බැහැදකින බවද ජගත් සුමතිපාල මහතා කීය.
බෞද්ධ මහා සම්මේලනය යටතේ වයෝවෘද්ධ භික්ෂු විවේකාරාම දෙකක්, වැඩිහිටි නිවාස මෙන්ම ළමා නිවාස 18ක් පවත්වාගෙන යන බවත් ඒවායෙහි දරුවන් අටසිය හැත්තෑවක් පමණ මේ වනවිට රැකබලා ගන්නා බවත් ජගත් සුමතිපාල මහතා මහානාහිමිවරුන් හමුවේ සඳහන් කළේය. එම ආයතන ඉතා හොඳින් පාලනය වන බවද එහිදී පෙන්වා දුන්නේය. එමෙන්ම නායයාම්, ගංවතුර වැනි ස්වභාවික ආපදා වලදීද බෞද්ධ මහා සම්මේලනය විශාල වැඩකොටසක් සිදුකරන බවද සඳහන් කළේය. ඊට අමතරව බෞද්ධ සාහිත්‍ය උළෙලක් පැවැත්වීමට කටයුතු කර එම ‍ලේඛක ‍ලේඛිකාවන් අගය කිරීමේ වැඩපිළිවෙළක් දියත් කර ඇති  බවද ජගත් සුමතිපාල මහතා මහනාහිමිවරුන්ට පෙන්වා  දුන්නේය. තමා මීට පෙර මෙම තනතුර හෙබ වූ අවස්ථාවේ අයථා අන්‍යාගමික කරණය පිළිබඳව සොයා බැලීමට කමිටුවක් පත් කළ බවද  කීය. එම කමිටුව වසර දෙකකට අධික කාලයක් රටපුරා ගොස් සාක්ෂි කැඳවා එය වැළැක්වීමට නිර්දේශ එකසිය විසි එකක් ඉදිරිපත් කළ බවත් රජයෙන් මහා සංඝරත්නයෙන් සහ බෞද්ධ සමිති සමාගම් කළ යුතු කාර්යයන් මගින් වෙන් වෙන් වශයෙන්  හඳුන්වා දුන් බවද කීය. රජයේ අමාත්‍යාංශ සහ දෙපාර්තමේන්තු පවා  එය ක්‍රියාත්මක කිරීමට කටයුතු කළ බවද හෙතෙම සඳහන් කළේය. බෞද්ධයන් හට සිදුවන එවැනි අකටයුතුකම් පැවැසීම සඳහා බෞද්ධ තොරතුරු මධ්‍යස්ථානයක් පිහිට වූ බවද කීය. මේ පිළිබඳව සකස් කළ වාර්තා අන්‍යාගමික නායකවරුන්ටත් තානාපතිවරුන්ටත් ලබාදීමට කටයුතු කළ බවද සභාපතිවරයා පෙන්වා දුන්නේය. ශ්‍රීපාද මධ්‍යස්ථානය පිළිබඳව නඩු කටයුත්තකට යාමට බෞද්ධ මහා සම්මේලනය කටයුතු කරමින් සිටින බව පැවැසූ සභාපතිවරයා මෙරට වෙහෙර විහාර සහ බෞද්ධ සමිති මුල් කරගෙන රට පුරා විසිරී සිටින බෞද්ධයන් නගා සිටුවීමේ වැඩපිළිවෙළක් දියත් කරමින් සිටින බවද කීය.
එහිදී මහනාහිමිවරු සභාපතිවරයා ඇතුළු සාමාජිකයන්ට ආශිර්වාද කරමින් පවසා සිටියේ රටේ ජීවත්වන බෞද්ධ ජනතාවට ඇති අභියෝග ජය ගැනීමට කටයුතු කරන ලෙසත්, අනාගතයේ බුද්ධශාසනයේ අභිවෘද්ධියට විද්වත් සභාවක් ඇති කර ඒ තුළින් ජනතාවට සේවයක් කිරීමට කටයුතු කරන ලෙසත්ය.
සාමාජිකයන් පිරිස පිළිගැනීමේ උත්සවයක් මහනුවර තරුණ බෞද්ධ සමිති සංගම් ශාලාවේදී එදින පස්වරුවේ පැවැත්විණි.
මෙම අවස්ථාවට බෞද්ධ මහා සම්මේලනයේ නව සභාපති ජගත් සුමතිපාල, නියෝජ්‍ය සභාපති නිමල් වාකිෂ්ට, උප සභාපතිවරුන් වන වසන්ත ද සිල්වා. කීර්ති ප්‍රේමරත්න, උපුල් රූපසිංහ, කරුණාදාස ගමගේ, පුෂ්පදේව පතිරගෙ සහ උප ‍ලේකම්වරු වන රංජිත් ඒකනායක, සරත් කුරගම, දිලුම් වාසල තන්ත්‍රි, එඩ්මන් වික්‍රමසිංහ යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

ගයා වන්නිආරච්චි

3 1

2017 වසරේ උසස් පෙළ විභාගයෙහි ප්‍රතිඵල පසුගියදා නිකුත් විය. ඒ අනුව විෂය ක්‍ෂේත්‍ර තුනකින්ම පළමු වැනියන් බිහිව තිබුණේ මාතර පුරවරයෙනි. වෙනදා බොහෝ විට උසස් පෙළෙහි මුල්තැන හිමිවන්නේ අගනුවර මුල් පෙළේ පාසල්වලටය. එහෙත් මෙවර උසස් පෙළ ප්‍රතිඵලය උතුරු කොනේත් දකුණු කොනේත් රට මැදත් අගනුවරත් ජය කෙහෙළි නැංවූ විචිත්‍රවත් එකක් විය. ශ්‍රී ලාංකේය විභාග ඉතිහාසයේ ප්‍රථම වතාව සංඝයා වහන්සේ නමක් උසස් පෙළින් මුල් තැනට පැමිණියේ මේ වතාවේය. එමෙන්ම ශ්‍රී ලාංකේය විභාග ඉතිහාසයේ එකම ගමකින් පළමු වැනියන් දෙදෙනකු බිහිවුණේද මේ වතාවේය. ඒ මාතර, රත්ම‍ලේ දන්දෙණිය ග්‍රාමයෙනි.
මෙසේ දන්දෙණිය ග්‍රාමයෙන් ඉතිහාසයට එක්වූයේ ජීව විද්‍යා විෂය ධාරාවෙන් ප්‍රථම ස්ථානය හිමිකර ගත් මාතර සුජාතා බාලිකා විද්‍යාලයේ දිලිනි සඳුනිකා පලිහක්කාර සහ ඉංජිනේරු තාක්ෂණවේදය විෂය ධාරාවෙන් ප්‍රථම ස්ථානය හිමිකරගත් මාතර මහින්ද රාජපක්ෂ විද්‍යාලයේ පාරමී ප්‍රසාදි රන්සිරිනි හෙට්ටිආරච්චි යන සිසුවියන්ය. දිවයිනේ පළමු ස්ථාන හිමිකරගත් මේ දෙදෙනා එකම ගමේ පදිංචි සමීප ඥාතීන් වීමද තවත් සුවිශේෂී වූ කාරණාවකි. එපමණක් නොව වාණිජ විෂය ධාරාවෙන් දිවයිනේ ප්‍රථම ස්ථානය හිමිකර ගත් මාතර සුජාතා බාලිකා විද්‍යාලයේ එස්.ඒ. දුලානි රසන්තිකාද මේ ආසන්නයේම උඩඅපරැක්ක ගමේය.
තාක්ෂණවේදය විෂය ධාරාවෙන් එකට පැමිණි ප්‍රසාදි රන්සිරිනි දරු තිදෙනකුගෙන් යුත් පවුලක වැඩිමහල් දියණියයි. ඇගේ දෙමාපියන් වන්නේ දික්වැල්ල ප්‍රාදේශීය සභාවේ ප්‍රධාන ලිපිකාරිනිය  වශයෙන් සේවය කළ රමණි සුරවීර (50) සහ දකුණු පළාත් ඉංජිනේරු සේවා දෙපාර්තමේන්තුවේ සැලසුම් ශිල්පියෙක් ලෙස සේවය කරන ටී. හෙට්ටිආරච්චි  (54)ය. දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථකව කරගෙන යාමට මව කලකට පෙර සිය රැකියාවටද සමුදෙන්නීය. ප්‍රසාදිට බාල සහෝදරයන් දෙදෙනෙකි. දික්වැල්ල විජිත මධ්‍ය විද්‍යාලයෙන් ප්‍රාථමික අධ්‍යාපනය ලබන ප්‍රසාදි 5 ශිෂ්‍යත්වය සමත්ව මාතර ශාන්ත තෝමස් උසස් බාලිකා විදුහලට ඇතුළත් වන්නීය. එහිදී අ‍පොස සා. පෙළ සඳහා ඒ සාමාර්ථ නවයක් ලබා ගන්නා ප්‍රසාදි උසස් පෙළ සඳහා මාතර මහින්ද රාජපක්ෂ විද්‍යාලයට ඇතුළත් වන්නීය.
රත්ම‍ලේ, දන්දෙණිය ග්‍රාමයේ පිහිටි ඇගේ නිවසින් සමුගන්නා අපිට මීටර් දෙතුන් සියයක් දුර ගෙවා දිලිනි සඳුනිකා පලිහක්කාරගේ නිවසට පා තබන්නට හැකි විය. එකම ගමේ මීටර් සියයක දෙසීයක නුදුරින් වෙසෙන මේ පවුල් දෙකෙහි අක්මුල් සොයා බලද්දී ඔවුහු සැබැවින්ම ඥාතියෝය. එමෙන්ම පාසල් දෙකක
විෂය ධාරා දෙකකින් අධ්‍යාපනය ලැබිම නිසා නිතර හමු නොවුණත් පුංචි කාලයේ සිටම දිලිනිත් ප්‍රසාදිත් ගජ මිතුරියෝය.
දිලිනි පලිහක්කාරගේ දෙමාපියන් වන්නේ පෞද්ගලික අංශයේ ඉංජිනේරුවරයෙකු ලෙස රැකියාව කරන එල්.ජී. පලිහක්කාර (53) සහ එච්.බි.ආර්. සුනේත්‍රාය.
රත්ම‍ලේ දන්දෙණිය ගම්මානය ලංකාවෙන්ම පළමු වැනියන් දෙදෙනකු බිහිකර වාර්තාවක් තැබුවා පමණක් නොව ක්‍ෂේත්‍ර රැසකින් තවත්
විශිෂ්ටයන් රැසක්ද දැයට දායාද කිරීමට උරදී ඇත්තේය. මෑත යුගයේ විසූ පැවිදි මිණිපහනක් වන මහාචාර්ය බඹරැන්දේ සිරි සීවලී හිමිපාණෝ ඒ අතර අග්‍රස්ථානයේ වැජඹෙන්නෝය. එමතුද නොව වේහැල්‍ලේ ධම්මදින්න, කෝන්ගස්දෙණියේ ධම්මරක්ඛිත, බඹරැන්දේ බුද්ධරක්ඛිත, දෙමටපිටියේ සංඝරක්ඛිත යනාදී බහුශ්‍රැත සංඝ පීතෘෘන් වහන්සේලා මහනුවර යුගයේ රජ මැදුරට පවා අවවාද අනුශාසනා දෙමින් දකුණු ලක මතු නොව මුළු රටම ශෝභාමත් කළෝ වූහ.
එමෙන්ම ප්‍රකට ‍ලේඛකයකු වන සුගතපාල සමරසේකරද මෙම ග්‍රාමවරය සිය නිජ භූමිය කරගෙන තිබේ. ජවිපේ හිටපු නායක රෝහණ විජේවීරද මේ අහල පහළින් බිහිවූ අයෙකු බව කියැවේ. සිංහල භාෂාවේ විරාජමාන පඩිවරයකු වන කුමාරතුංග මුනිදාසයන්ගේද නිජභූමිය මේ දැනුම් පුරවරයම බවද සඳහන් වෙයි.
අටුවා ‍පොත් ලිවීම ආරම්භ වූ ක්‍රිස්තු වර්ෂයට පූර්ව වකවානුවේ පටන්ම මෙම ගම්බිම් ජනාවාසව තිබූ බවට ඓතිහාසික  ග්‍රන්ථ සාක්ෂි දරයි. ඌරුගම් 18 ලෙස හඳුන්වන සුප්‍රසිද්ධ ගම්මාන ‍පොකුරට අයත් වන රත්ම‍ලේ දන්දෙණිය ග්‍රාමවරය අටුවා ‍පොත්වල හඳුන්වා ඇත්තේ බ්‍රහ්ම චෝල ග්‍රාම යනුවෙනි. මෙගමට රත්ම‍ලේ යන නම ලැබිම පිළිබඳ කතා කිහිපයක් වෙයි. ඉන් එකක් වන්නේ රහතුන් වැඩසිටි කන්ද 'රහත් ම‍ලේ - රත්ම‍ලේ' බවට පත්වූ කතාවය. එහිදී 'ම‍ලේ' යනු කන්දය. තවත් ජනශ්‍රැතියකින් කියැවෙන්නේ මෙම ප්‍රදේශයේ  ආරණ්‍යක වැඩසිටි ස්වාමින් වහන්සේලාට අවට ගම්වලින් දානය ගෙනැවිත් ඉතිරි වූ දානය ආපසු ගමට ගෙන නොගොස් අසල වූ දෙණිකඩක බැහැරලූ හෙයින් 'දන්දෙණිය' වූ බවය. පැරැන්නන් විශ්වාස කරන තවත් කතාවක් වනුයේ ගම්වැසියන් මහත් භක්තියෙන් පිළියෙල කරගෙන ආ දානය පිළිගැනීමට භික්ෂුන් වහන්සේලා කිසිවකුත් ආරාමයේ වැඩ නොසිටීම නිසා කලකිරී දානය ඉවතලූ දෙණිය 'දන්දෙණිය' වූ බවකි. පුරාවිද්‍යා චක්‍රවර්තී, කඹුරුපිටියේ වනරතන හිමියෝ ලියා ඇති මාතර වංශ කෘතියේ දැක්වෙන පරිදි දන්දෙණිය ප්‍රදේශයේ ඇති වැවෙහි ඉතිහාසය කාලිදාස කුමාරදාස රජ දවස දක්වා දිවයන බව පෙනේ. දන්දෙණිය වැව ‍පෝෂණය වනුයේ ඉහළ ෙජෙව විවිධත්වයක් සහිත දන්දෙණිය අපරැක්ක රක්ෂිත වනාන්තරයෙනි. ජාතික සංරක්ෂණ වාර්තාවට අනුව එය මෙරට වැඩි අවධානයක් යොමු කළ යුතු වන බිම් 70ටද අයත්වන වනාන්තරයකි. වියළි කලාපය හා තෙත් කලාපය අතර පිහිටා ඇති අවසන් සංරක්ෂිත වනාන්තරය වන්නේ මෙයයි. රත්ම‍ලේ ඉතිහාසයේ කැඩපතක් බඳු රත්ම‍ලේ කුරුඹුරේ රාජමහා විහාරය තුළ රන්මුවා පිළිම වහන්සේ, අව් අතු, දෝලා, පල්ලැක්කි ආදී ගවේෂණාත්මක සාධක රැසකි.
මහනුවර යුගයේ කන්දඋඩරට සිට පහතරටට ඒමේදීත්, පහතරට සිට උඩරටට යාමේදීත්, ගමන් කළ ගමන් මග වැටී ඇත්තේ මෙම ගම්මානය හරහා බවට දැනටද ශේෂව පවතින අම්බලම සාක්ෂි දරයි. මෙකී අම්බලමද වාර්තාගත එකකි. එනම් එය ශ්‍රී ලංකාවේ ඇති එකම දෙමහල් අම්බලම වීම නිසාය. කන්ද උඩරට සිට සිරිපා වන්දනාවේ ගිය බැතිමතුන්ගේ විඩා නිවූ මෙම අම්බලමෙහි උඩුමහල භික්ෂුන් වහන්සේ උදෙසාත් පහළ මාලය ගිහියන් උදෙසාත් වෙන්කර තිබුණු බව පෙනේ.
මෙවර උසස් පෙළ විභාගයේදී මහ නගර පරදවා ලංකාවේ ප්‍රථමයන් වීමට තරම් ශක්තිය ධෛර්ය මෙන්ම වාසනාව ලද්දේද එවන් ඓතිහාසික වටිනාකමකින් යුක්ත වූ රත්ම‍ලේ දන්දෙණියේ උපන් දිලිනි හා ප්‍රසාදිය. අනාගතයේ  රත්ම‍ලේ දන්දෙණිය ගැන මෙවන් සටහනක්් තබන අයෙකු දන්දෙණියෙන් බිහිවූ සුවිශේෂී චරිත  අතරට දිලිනිගේ හා ප්‍රසාදිගේ නමද ඇතුළත් කරනු නියතය.

මිහිරාන් කරුණාරත්න
සිරිසේන ගලප්පත්ති

ලෝක උරුම සිංහරාජ වැසිවනාත්තර සංකීර්ණයට හා ප්‍රේරක කලාපයට අයත් කලවාන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ පිහිටි වැසිවනාන්තර පද්ධති මෑත කාලයේදී නොයෙකුත් අරමුණු සඳහා ඇතැම් පිරිස් විසින්  විනාශ කිරීම හේතුවෙන් කලවාන ප්‍රදේශයේ ජල මූලාශ සිදී යාමේ තර්ජනයකට මුහුණ පා ඇත. පරිසර සමතුලිතතාවයටත්, කෘෂිකාර්මික කටයුතු සඳහාත්, කලවාන ප්‍රදේශයේ ජනතාවගේ පරිභෝජන අවශ්‍යතා සඳහාත්, ප්‍රදේශයේ අලංකාර භාවය රැක ගැනීම සඳහාත් මෙම ජල මූලාශ ඉතාමත් වැදගත්ය.එහෙයින් එය රැක ගැනීමේ එක් පියවරක් වැසිවනාන්තර සුරකින්නන්ගේ සංවිධානය ආරම්භ කරන ලදී.

කලවාන ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හා වැසිවනාන්තර සුරකින්නන්ගේ සංවිධානය එකතුව තර්ජනයට ලක්වී ඇති සහ විනාශ වී ඇති වනාන්තර බිම් කොටස් හඳුනාගෙන ඒවා රක්ෂිත තුල ප්‍රදේශයේ පවතින ජෛව විවිධත්වය සලකා එයට ගැලපෙන හොර, බෙරලිය, වල්දෙල්,දොඹ, නා, ගොඩපර, කුඹුක්, මාදම් සහ ශ්‍රී ලංකාවට ආවේණික, වඳවීයාමේ තර්ජනයට භාජනය වී ඇති පැළ 500 අධික ප්‍රමාණයක් භාවිතා කර ආදර්ශ වන වගා කිරීමේ ව්‍යාපෘතියක් කලවාන ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයට අයත් කත්ලාන ප්‍රදේශයේ දී පසුගිය 13වන සෙනසුරාදා දින පැවැත් විණි.

කලවාන ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට හා කත්ලාන ලෙනගිරි විහාරයට අයත් අක්කර 2ක පමණ රක්ෂිත ප්‍රදේශයක් තුළ මෙම රුක් රෝපණ වැසටහන පැවැත් විණි ප්‍රදේශයේ පවුල් 26 දැනට මෙම කුඩා රක්ෂිතය තුලින් ජල අවශ්‍යතා සපුරා ගන්නා අතරම අදාළ රක්ෂිත ප්‍රදේශය අනවසර සහ බලපත්‍රලාභී තේ වගාකරුවන්ගේ තර්ජනයට ලක්ව ඇත. මෙම ව්‍යාපෘතිය මගින් එසේ අනවසර හෙළීකිරීම්, ඉඩම්අල්ලා ගැනීම් වලකින අතර ප්‍රදේශයේ ජල ව්‍යාපෘතිය පුළුල් කරමින් විශාල පිරිසකගේ ජල අවශ්‍යතා සපුරාගැනීමට අවස්ථාව උදා වේ.

මෙම රුක් රෝපන වැඩ සටහන  සඳහා හේමාස් පුද්ගලික ආයතනයේ පූර්ණ අනුග්‍රහය ලැබුනු අතර එම ආයතනය තමන්ගේ පුරවැසි වගකීම් පුළුල් කරමින් පරිසර සංරක්ෂණය සඳහා වැඩි වශයෙන් යොමුවීමට බලාපොරොත්තු වන අතර අලුතින් වනාන්තර ඇති කිරීමටත්, හායනියට ලක්වූ වනාන්තර පුනරුත්තාපනය කිරීමටත්, තර්ජනයට ලක්වී ඇති වනාන්තර ඉඩම් සංරක්ෂණයටත්වැසි වනාන්තර සුරකින්නෝ සංවිධානය සමග දීර්ඝ කාලීනව කටයුතු කිරීමට බලාපොරොත්තු වේ. එම ආයතයේ විශාල සේවක පිරිසක්, වැසි වනාන්තර සුරකින්ගේ සංවිධානයේ සමාජිකයන්, කලවාන ප්‍රාදේශිය ලේකම් වරිය අතුලුව නිලදාරීන්, කත්ලාන ලෙනගිරි  විහාරස්තානයේ ස්වාමීන් වහන්සේලා සහ ප්‍රදේශවාසීන් විශාල පිරිසක් මීට සහභාගී වූහ

මේ අතර මෙම රක්ෂිත ප්‍රදේශය කිසිඳු සංවර්ධන ක්‍රියවලීන්ට භාජනය නොකොට තව තවත් වන වැස්ම පුළුල් කිරීමට කටයුතු කරමින්. මෙම රක්ෂිත ප්‍රදේශය රැක ගැනීමට අවශ්‍ය සියළුම පියවර ගන්නා බව කලවාන ප්‍රාදේශීය ලේකම් ජී.ඩී.එල්. උදයකුමාරි මහත්මිය මේ අවස්ථාවට සහභාගී වෙමින් පැවසීය.

මහනුවර නගරයේ පවතින වායු දූෂණයට නිසි පිළියම් යොදන්නැයි බලධාරීන්ගෙන් ඉල්ලමින් මහනුවර නගරයේ දැවැන්ත උද්ඝෝෂණ ව්‍යාපාරයක්, අත්පත්‍රිකා බෙදීමක් සහ අත්සන් ව්‍යාපාරයක් පැවැත්විණි. 
මහනුවර ජෝර්ජ් ඊ. ද සිල්වා උද්‍යානය අසලට රැස්වූ විරෝධතාකරුවෝ සිය මුහුණු ආවරණය කර ගනිමින් මෙම විරෝධතාවය ආරම්භ කළහ. විරෝධතා සටහන් කිරීම සඳහා බැනරයක අත්සන් ලබා ගත් අතර ජනතාව වැල නොකැඩී මෙම බැනරය  මත අත්සන් තැබිය. 
මෙම විරෝධතාවය පිළිබඳව අදහස් දැක්වූ පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ මධ්‍යම කාරක සභික සුජිත් කුරුවිට මහතා මෙසේ සඳහන් කළේය. 
මේ රට මාරුවෙන් මාරුවට පාලනය කළ ආණ්ඩු මේ රටේ ජනතාවගේ හුස්ම ගැනීමේ අයිතියත් පැහැරගෙන තිබෙනවා. අද මහනුවර නගරයේ ජනතාවට හුස්ම ගැනීමට නොහැකි තත්ත්වයක් තිබියදීත් පසුගියදා දිල්ලි නගරයේ වායූ දූෂණය ගැන මෙරට මාධ්‍ය වාර්තා කළා. ඒ ඉරණම මහනුවර නගරයට අත්පත්වී ඇති නිසා ඒ සඳහා වහා විසඳුම් සොයන්නැයි පාලකයන්ට බලකිරීම සඳහා මෙම විරෝධතා ව්‍යාපාරය දියත් කළා. මේ වන විට මහනුවර නගරයේ ජනතාවට හුස්ම ගැනීමට නුසුදුසු වාතාවරණයක් ඇති බව මහාචාර්යවරුන් පෙන්වා දී තිබියදීත් බලධාරීන් ඒ පිළිබඳව ඇස් කණ් පියාගෙන සිටිනවා. 
ජනාධිපතිවරයා මෙරට පරිසර ඇමැතිවරයා, පරිසර නියෝජ්‍ය ඇමැතිවරයාත්, මහනුවර නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට ගිහින් තියෙන්නේ. මේ වනතෙක් මේ සඳහා මේ අය කිසිඳු විසඳුමක් ලබා නොදීම කනගාටවුට කරුණක්. මහනුවර නගරයේ ජනතාව මෙන්ම පාසල් දරුවන් ශ්වසන ආබාධවලින් පෙළෙනවා. ඒ නිසා මහනුවර නගරයේ මෙම වාහන තදබදයට හෝ යම් පිළියමක්් යොදන්නයි අප රජයට බල කර සිටිනවා. 
නමුත් හෙටත් මේ දේශපාලනඥයන්ගේ පැවැත්ම වෙනුවෙන් මෙවරත් ඡන්දය ඉල්ලන්න ගමට නගරයට එන අයට මේ පිළිබඳව අවධානයට යොමු කරන්න. මෙයට විසඳුමක් නොදෙන පාලකයන්ගෙන්  මහනුවරට පලක් නැහැ. මහනුවර නගරය තුළ අධික වාහන තදබදය පාලනය කර  පාසල් අවට වායු දූෂණය අවම කරගන්න කියා අප බලධාරීන්ට බලකර සිටිනවා. නගරයේ වායූ දූෂණය නැති කරන්න වාහන තදබදය අවම කරන්න කිසියම් මාර්ගයක් අරින්න සහ වහන්න අප නිර්දේශ කරන්නේ නැහැ. අප ඉල්ලන්නේ මේ වායූ දූෂණය අවම කරන්න වහා පියවර ගන්නා ලෙස යැයි ඔහු වැඩි දුරටත් පැවැසීය. 
 
ගයා වන්නිආරච්චි 

ශ්‍රීපාද වන්දනා වාරය ආරම්භ වී මාසයක කාලයක් තුළ හැටන් මාර්ගය ඔස්සේ ශ්‍රීපාද වන්දනාවේ පැමිණි වන්දනාකරුවන් සහ නල්ලතන්නියේ අවන්හල්වලින් හිස් ප්ලාස්ටික් වතුර බෝතල් තිස්පන්දහසක් පරිසරයට මුදාහැර ඇති බව අඹගමුව ප්‍රාදේශීය සභාවේ නල්ලතන්නිය උප කාර්යාලයේ ස්ථානාධිපති ඒ.ඩබ්ලිව්. හේමන්ත මහතා කීය.
මෙවර වන්දනා වාරය තුළ ‍පොලිතින් භාවිතය 20කින් පමණ පහළ බැස ඇති බව හේමන්ත මහතා  පැවසීය. ශ්‍රීපාද වන්දනාකරුවන් සහ නල්ලතන්නිය අවන්හල්වලින් මුදාහැර තිබූ හිස් වතුර බෝතල් මේ වනවිට තම සේවකයන් විසින් එක්රැස් කර තම උප කාර්යාලයේ ගබඩාවේ ගබඩාකර ඇති බව ඒ මහතා පැවැසීය.
ශ්‍රීපාද වන්දනා වාරය ආරම්භ වීමත් සමගම වතුර බෝතල් නිෂ්පාදිත සමාගම් විසින් ඔවුන්ගේ අලෙවිය වැඩි කර ගැනීම සඳහා කුඩා ප්ලාස්ටික් බෝතල් වශයෙන් වර්ග කිහිපයක් වෙළෙඳ‍පොළට නිතුක් කරන බවත් එම වතුර බෝතල් පහසුවෙන්ම වන්දනාකරුවන් සහ නල්ලතන්නියට පැමිණෙන විදේශ සංචාරකයන්  මිලදී ගන්නා බවත් හේමන්ත මහතා පෙන්වා දෙයි.
වතුර බෝතල් භාවිතය අවම කිරීම සදහා නල්ලතන්නියේ පිහිටි අවන්හල් සහ සිල්ලර කඩ වෙත වතුර ලීටර් පහ සහිත ප්ලාස්ටික් බෝතල් පමණක් නිකුත් කරන්නේ නම් පරිසරයට  මුදාහරින ප්ලාස්ටික් වතුර බෝතල් ප්‍රමාණය අවම කර ගත හැකි බව ස්ථාන භාර නිලධාරිවරයා පෙන්වා දෙන අතර එම වතුර ලීටඒ පහ සහිත ප්ලාස්ටික් හිස් බෝතල් නැවත ප්‍රයෝජනයට ගත හැකි බවද ඔහු පැවැසීය. මෙය නීතියක් වශයෙන් ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය පියවර ගත යුතු බවත් ශ්‍රීපාද වන්දනාවේ පැමිණීමේදී ශ්‍රීපාදස්ථාන පරිසර  පද්ධතිය රැක ගෙන ශ්‍රීපාදය කරුණා කිරීමට අදිටන් කරගත යුතු බවත් වන්දනාකරුවන්ගෙන් අඹගමුව ප්‍රාදේශීය සභාවේ නල්ලතන්නිය උප කාර්යාලයේ ස්ථානාධිපතිවරයා වැඩිදුරටත් ඉල්ලා සිටියේය. මේ අතර වන්දනාකරුවන්ගෙන් සම්මාදම් කිරීම ගිහි පැවිදි  දෙපාර්ශ්වයටම නල්ලතන්නිය ‍පොලිසිය මගින් තහනම් කර තිබේ.
එවැනි අයෙකු සම්මාදම් කිරීමට අවශ්‍ය නම් ඒ පිළිබඳව නල්ලතන්නිය ‍පොලීසියට කරුණු ඉදිරිපත් කර සම්මාදම් එකතු කිරීමට අවශ්‍ය සනාථ කළ හැකි ලියකියවිලි ඉදිරිපත් කිරීමෙන්  අනතුරුව සතියක පමණ කාලයක් සම්මාදම් එකතු කිරීමට අවසර පත්‍රයක් නිකුත් කරනු ලබයි.
මෙසේ වංචනික ලෙස සම්මාදම් එකතු  කරන අය සම්බන්ධයෙන් නල්ලතන්නියේ පිහිටි සමන්ගිරි වන්දනා පූජෝපහාර විකාශන සේවය මගින් වන්දනාකරුවන් වරින් වර දැනුවත් කිරීමට  නල්ලතන්නිය ‍පොලීසිය මගින් පියවර ගෙන ඇත.
 
හැටන් - නීටා පත්ම කුමාරි

 
තුන්රෝදය යනු දුප්පත් ‍පොහොසත් කොයි කාගෙත් වාහනයකි. ඉලෙක්ට්‍රික්, හයිබ්‍රිඩ් ආදී සුපිරි රථවලින් ගමන් බිමන් යන ලොකු ලොකු උදවිය පවා තම වාහනය කැඩී ගරාජයෙන් ගෙදර ගේනතුරු බොහෝ විට ගමන් කරන්නේ ත්‍රිරෝද රථවලිනි. දුම්රියෙන් හෝ බසයෙන් ගමන් කරන ඇතැම් මගීන් පවා හදිසියකදී ගොඩවෙන්නේ ත්‍රිරෝද රථයකටය. ලෙඩකදී දුකකදී කරදරයකදීත් අසරණ වන සැමට පිහිට වන්නට සිටින්නේ තුන්රෝදයයි. මේ අනුව ත්‍රිරෝද රථය මගීන්ගේ සමීපතම ප්‍රවාහන සේවාවක් බවට පත්ව ඇත්තේය. 
එසේ නමුදු ප්‍රවාහනයේදී ඇතිවන අනාරක්ෂිත බව, නාගරික සංවර්ධනයට බාධා පැමිණීම ආදී කාරණා නිසා ත්‍රිරෝද රථය මෙරට සමාජයෙන් බැහැර කළ යුතු බවට නොයෙකුත් මතවාද ඉදිරිපත් වන්නේ කලක පටන්ය. මේ යෝජනාව මෑතකදී යළි කරළියට පැමිණ තිබෙන්නේය. ඒ පසුගිය අයවැය යෝජනාවලිනි. 
ත්‍රිරෝද රථ කර්මාන්තයේ අනාගතය කෙබඳු වේදැයි මේ වනවිට පවතින්නේ මතවාදමය තත්ත්වයකි. මේ නිසාම ත්‍රිරෝද රථ කර්මාන්තයට සම්බන්ධ අංශ කීපයක් වෙතින් අදහස් විමසන්නට අපි උත්සාහ කළෙමු. 
අප සමග ප්‍රථමයෙන් සම්බන්ධ වූයේ සමස්ත ලංකා ත්‍රිරෝද රථ රියැදුරන්ගේ සහ හිමිකරුවන්ගේ සංගමයේ සභාපති, සුදිල් ජයරුක්ය.
“නගර සංවර්ධනයත් සමග ත්‍රිරෝද රථය බොහෝ විට සමාජයෙන් ඉවත් වෙන්න ඉඩකඩ තියෙනවා. රජය විටින් විට අපේ රටෙන් ත්‍රිරෝද රථ ඉවත් කරන්න ඕන කියන එක ඉස්මතු කර තිබෙනවා. ඇතැම් දේශපාලනඥයන් හරියට ආකල්පේ හඳුනාගන්නේ නැතිව ත්‍රීවීල් අයින් කරන්න ඕන කියන වචනේ පාවිච්චි කරන බවක් පේනවා. නමුත් ඒකෙන් කියැවෙන්න ඕනේ ත්‍රිරෝද රථ සම්පූර්ණයෙන් ඉවත් කිරීමක් නමෛයි. සංවර්ධනය වන ප්‍රධාන නගරවල ත්‍රිරෝද රථ ධාවනය කිරීම යම් කිසි විධියකින් සීමා කරන්න පුළුවන්. අපි රජයෙන් ඉල්ලීමක් කළා 2018 අයවැය යෝජනා මගින් සංවර්ධනය වන නගරවලින් ත්‍රිරෝද රථ ඉවත් කිරීමට අවශ්‍ය වන්නේ නම් අපි රෝද හතරකට යන්න කැමැතියි. නමුත් වාහනේ වෙනස් වුණත් රියැදුරා වෙනස් නොවිය යුතුයි කියලා. ඒ වගේම අද සිදුවන වායු දූෂණයට පිළියමක් විදියට අපි යෝජනා කළා විදුලි ත්‍රිරෝද රථයක් හඳුන්වා දෙන ලෙස. ත්‍රිරෝද රථ සඳහා අවශ්‍ය නියාමන අධිකාරියක් පිහිටුවීම, සංවර්ධිත නගරවලට ත්‍රිරෝද රථ වෙනුවට කුඩා ප්‍රමාණයේ කාර් ලබා දීම. නගරයෙන් පිට තිබෙන ත්‍රිරෝද රථ සඳහා විදුලි ත්‍රිරෝද රථයක් හඳුන්වා දීම කියන යෝජනා අපි ඉදිරිපත් කළා. 
අපේ සංගමය යටතේ සිටින ලක්ෂ තුනහමාරකට අධික ත්‍රිරෝද රථ රියැදුරන්, රියැදුරන් විදියට ඒ වගේම පරිසර හිතකාමී පුරවැසියන් විදිහට සමාජයට වැඩදායී කටයුතුවලට අපේ කිසිදු විරුද්ධත්වයක් දක්වන්නේ නැහැ. රියැදුරා වෙනස් නොවී පදවන වාහනය වෙනස් වූවාට කිසිදු ප්‍රශ්නයක් නැහැ. අපිම තමා යෝජනා කරන්නේ සංවර්ධනය වන නගරවලට රෝද හතරක් ලබාදෙන්න කියලා. නමුත් ඒ සඳහා අපට රජයේ පූර්ණ අනුග්‍රහය ලැබිය යුතුයි.
එසේ වුවද ත්‍රිරෝද රථය වෙනුවට රෝද හතරක් පැදවීමට අකමැති ත්‍රිරෝද රථ රියැදුරන් පිරිසක්ද අපේ රටේ සිටින බව අපට දැනගන්න ලැබෙන්නේය. ෙදෙනික ජීවිතය බොහෝම අපහසුවෙන් ගැටගහගන්න අපිට කාර් ගන්න කොහෙන්ද වත්කම්, ත්‍රිරෝද රථයකට ගොඩවූ අවස්ථාවකදී එක් රියැදුරු මහතෙකුගෙන් අපට අසන්නට ලැබුණේ මෙවැනි අ¼ෙදා්නාවකි. සමස්ත ලංකා ත්‍රිරෝද රථ රියැදුරන්ගේ වෘත්තිය සමිතියේ සභාපති ලලිත් ධර්මසේකර මේ පිළිබඳව දක්වන්නේ මෙවන් අදහසකි.
“ත්‍රිරෝද රථ මුල්වරට ලංකාවට ගෙන්වන්නේ 1978දී. ඒ වනවිට සමාජයේ ප්‍රචලිතව තිබුණේ කාර් රථ. මේ කුලී කාර් අද ත්‍රීවීල් පාර්ක් වගේ හන්දියක් ගානේ තිබුණා. එතකොට පැහැදිලිව පෙනුණා ත්‍රිරෝද රථය කාර්වලට වඩා ආකෘතියෙන්ම වෙනස් බව. කරේ තියාගෙන ගිය දෝලාවෙන් රික්ෂෝවට යොමුවුණු ප්‍රවාහන ක්‍රමය තමයි ටැක්සියක් දක්වා වැඩිදියුණු වෙන්නේ. රික්ෂෝව නිෂේධ වුණාට පස්සේ ඒ තැන ටැක්සි කාර් එකට ලැබි ඇති විට තමයි ත්‍රිරෝද රථයේ ආක්‍රමණය සිදුවන්නේ. 
රටේ ආර්ථිකය කොයිතරම් දියුණු වුණත් ත්‍රිරෝද රථයේ හැඩය වෙනස් වීම හෝ ත්‍රිරෝද රථය ඉවත් කරලා කාර් එකක් දැමීම කියන කතාව මම නම් ත්‍රීවීල් කාරයෙක් හැටියට ගණන් ගන්නේවත් නැති තරම්. ත්‍රිරෝද රථයේ භූමිකාව නැති වෙන්න ලංකාව දියුණුවේ තව කොච්චර දුරක් යන්න වෙයිද කියන එකයි කතාව. රජය හෝ කවුරු හරි කියනවා නම් කාර් එකක් හඳුන්වලා දෙනවා කියලා ඒක අපබ්‍රංසයක්. අමුතුවෙන් කාර් එකක් හඳුන්වලා දෙන්න ඕනේ නැහැ. මොකද දැනටමත් කාර් ඕනෑ තරම් තියෙන්නේ. ත්‍රිරෝද රථයේ භූමිකාව සඳහා කවදාවත් මේ රටේ කාර් හඳුන්වාදීම ප්‍රායෝගික වෙන්නේ නැහැ. ඒ වගේම කරන්නත් බැහැ කියලා. අපි කියනවා දැනටමත් ත්‍රිරෝද රථය ගැන අසාධාරණ, අර්ධ සත්‍ය සහ බොරු මතවාදයන් ගෙනියනවා. ත්‍රිරෝද රථය මේ රටේ ඉදිරි ගමනට බාධාවක් කියලා. මේ විදියට කියන කොයි කවුරුත් අමතක කරනවා ත්‍රිරෝද රථය මේ රටට කරන සේවාව. ප්‍රවාහනය නොමැති තැන සංවර්ධනය ඇන හිටිනවා කියනවනේ. එතකොට මේ රටේ ත්‍රිරෝද රථයෙන් ප්‍රවාහන පහසුකම් සපයාගන්න අහිංසක මිනිසුන්ගේ ප්‍රවාහනය තමයි මේ ඇන හිටින්න යන්නේ. දැනට ලංකාවේ හයර් දුවන ත්‍රිරෝද රථ ලක්ෂ 6ත් 7ත් අතර ප්‍රමාණයක් තිබෙනවා. ඉතින් මේ කතන්දර ප්‍රායෝගික දැයි කීපවරක් සිතා බැලිය යුතුයි“. 
සැබැවින්ම ත්‍රිරෝද රථය වෙනුවට මෝටර් රථයක් හඳුන්වා දීම ප්‍රායෝගික වන්නේද යන්න අප තවදුරටත් විමසා බැලුවෙමු. ලංකා ස්වයං රැකියා වෘත්තිකයන්ගේ ජාතික ත්‍රිරෝද රථ සම්මේලනයේ සභාපති සුනිල් ජයවර්ධන මේ පිළිබඳව අදහස් දක්වන්නේ මෙසේය.
“මෙවර අයවැයේදී මංගල සමරවීර ඇමැතිතුමා තමයි කිව්වේ ත්‍රීවීල් වෙනුවට මෝටර් රථ හඳුන්වාදීමේ කතාව. අපිට මේ සඳහා සාකච්ඡාවකුත් දුන්නා මංගල සමරවීර ඇමැතිතුමාගේ ‍‍‍ජ්‍යෙෂ්ඨ මූල්‍ය උපදේශකවරයෙකු සමග. එතනදී අපිට කිව්වේ ලංකාවේ තිබෙන ත්‍රිරෝද රථ බංග්ලාදේශයට විකුණන්න සූදානම් කර චීනයෙන් නව ත්‍රිරෝද රථයක් හඳුන්වලා දෙන්න යනවා කියලා. ත්‍රිරෝද රථයක් වගේම කාර් එකක් කියන දෙකම හඳුන්වලා දෙන්න යන බව පැවැසුණා. 
මෙතන ගැටලුව තියෙන්නේ ත්‍රිරෝද රථයක් වෙනුවට තවත් ත්‍රිරෝද රථයක් හඳුන්වා දීම. එය ප්‍රායෝගික නැහැ කියලයි අපට නම් හැඟෙන්නේ. මොකද ඇමැතිවරයා හා මෝටර් රථ දෙපාර්තමේන්තුව පවා කියන්නේ රෝද 3ක් තියෙන නිසා ත්‍රිරෝද රථය අනාරක්ෂිතයි කියලා. එහෙම නම් ඉන්දියාවෙන් ගෙනා ත්‍රීවීල් නතර කරලා ඒක බංග්ලාදේශයට විකුණලා චීනයෙන් ආයෙත් ත්‍රීවිල් ගේනවා නම් ඒකට විසඳුමක් ලැබෙන්නේ නැහැනේ.
මෙගා නගර සැලසුම් යටතේ කාර් එකක් ලක්ෂ 14ක් වගේ මුදලකට ගන්න පුළුවන් කියලත් එහිදී ඇමැතිවරයා අපට කිව්වා. අපි කියනවා රටේ සංවර්ධනයත් එක්කම කාර් එකක් හඳුන්වලා දුන්නට කමක් නැහැ. ඒත් ආයෙත් ත්‍රීවීල් එකක්ම හඳුන්වා දෙනවා නම් එතන ගැටලුවක් තියෙනවා. ඒක ප්‍රායෝගික නැහැ කියලා. මේ ඉදිරිපත් කරන ප්‍රකාශවල කිසිම පැහැදිලිතාවක් නැති බවයි පේන්නේ. දෙසැම්බර් 31 සිට මීටරය අනිවාර්යයි කිව්වා. නමුත් ඒකත් තවම ක්‍රියාත්මක නැහැ. මේ වගේ ප්‍රකාශ ඇයි මේ විදිහට වගකීම් විරහිතව කරන්නේ කියලා ආපිට ප්‍රශ්නයක් තිබෙනවා. 
ඇත්තටම මේ කාරණා ගැන ත්‍රිරෝද රථ රියැදුරන්ගේ කිසිදු ප්‍රතිචාරයක් නැහැ. මොකද ඇමැතිවරු කරන ප්‍රකාශ ගැන අපිට කිසිදු විශ්වාසයක් නැහැ. අපේ රියැදුරන් ඉලෙක්ට්‍රික් ත්‍රිරෝද රථවලට කැමැති නැහැ. ඔය කියන ඉලෙක්ට්‍රික් ත්‍රීවීල් එක ලක්ෂ 13ක් වෙනවා. දැන් තිබෙන ත්‍රිවීල් එකත් හත්ලක්ෂ හැටපහන්දහසකට කිට්ටු වෙලා තිබෙනවා. මේ වගේ මුදලක් දීලාවත් දැන් තියෙන ත්‍රීවීල් එකක් ගන්න අසීරු මිනිසුන්ට ලක්ෂ 13,14 ක් දීලා ත්‍රීවීල් එකක් හෝ කාර් එකක් ගන්න පුළුවන් කමක් නැහැ. දැන් තිබෙන රාමුව ඇතුළේ මේ තත්ත්වය ප්‍රායෝගික නැහැ. අපිට සැකයක් තිබෙනවා මීගමුව වගේ සංචාරක කලාපවල තිබෙන අපේ ටැක්සි සේවාව වෙනත් රටවලට විකිණීමේ සූදානමක් මේ අස්සේ තිබෙන බවට. මේ වනවිට මෙවැනි ආන්දෝලන නිසා ත්‍රිරෝද රථ විකුණා ගන්න බැරිවත් රියැදුරන් අසරණ වෙලා. අපිට ඕන සාධාරණ විදිහේ වාහනයක්. ඒ වගේම නැවතුම් රිය‍පොළක්”.
මහජනතාවට දුකේදී සැපේදී ළඟ සිටින මිතුරා වන ත්‍රිරෝද රථ කර්මාන්තයේ හෙට දවස මේ අනුව පවතිනුයේ අවනිශ්චිත තත්ත්වයකය. ත්‍රිරෝද රථ සම්පූර්ණයෙන්ම ලංකාවෙන් ඉවත් කර ඒ වෙනුවට අඩු වියදම් මෝටර් රථයක් හඳුන්වා දෙන්නේ නම් එය අනාරක්ෂිත රෝද තුනට කරනා සුවිශාල සාධාරණයකි. එමෙන්ම විද්‍යුත් ත්‍රිරෝද රථව ප්‍රායෝගික භාවයේද විවිධ ගැටලු පවතී. මේ කෙසේ හෝ වේවා රෝද තුනක් උඩ හීන ගොඩක් තබාගෙන සිටින, දරුපවුල් ‍පෝෂණය 
කරන ලක්ෂ ගණනක් ත්‍රිරෝද රථ වෘත්තිකයන්ගේ හද ගැස්මද මේ ගැටලුව තුළ සැඟව පවතින්නේය. එබැවින් මෙම තත්ත්වයට සාධනීය විසඳුමක් රජය පාර්ශ්වයෙන් ලැබිම අනිවාර්ය තත්ත්වයක් බව පෙනේ. 
 
 සමන්මලී නැලිගම
 

බැඳුම්කර ගනුදෙනු සම්බන්ධ කොමිසම් වාර්තාව තවමත් ප‍්‍රසිද්ධියට පත්කර නැත. එය ජනපතිට බාර දී ඇත්තේ ඉංගී‍්‍රසි බසින් පමණි. බැඳුම්කර වාර්තාව සම්බන්ධයෙන් ඒකාබද්ධ විපක්‍ෂය සහ ජ.වි.පෙ විවාදයක් ඉල්ලා සිටි විට අගමැති විසින් පසුගිය 10 වන බදාදා වහා පාර්ලිමේන්තුව කැඳවීමට කටයුතු කෙරුවේ වාර්තාව ඔහු හෝ නොදැක තිබියදීය. ජනාධිපති ලේකම් ඔස්ටින් ප‍්‍රනාන්දුට අනුව ඒ වනවිට එම වාර්තාවේ පිටපතක් දී තිබූණේ නීතිපතිට පමණි. එබැවින් ඒකාබද්ධ විපක්ෂය හා ජ.වි.පෙ ඉල්ලා සිටි විවාදය සඳහා අගමැතිවරයා සූදානම්ව සිටියේ නම් ඔහු කළ යුතුව තිබූයේ වාර්තාවේ පිටපත් භාෂා තුනෙන්ම සියලූ පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන්ට හැකි ඉක්මණින් ලබාදීමට පළමුව කටයුතු කිරීමය. එහෙත් අගමැතිවරයා මැදිහත්වූයේ කථානායක සමග වහා විවාදය පැවැත්වීමටය. පාර්ලිමේන්තු සම්ප‍්‍රදායන් ගැන ‘‘ලැටිම හවුස්’’ නිර්දේශ ගැන දේශනා පැවැත්වූ අගමැතිවරයෙකු එවැනි විවාදයක් විහිළුවක් වන බැව් නොදැන සිටියේ යැයි කිව නොහැක. 
කිසි අර්ථයක් නැති කවුරුත් නොදන්නා වාර්තාවක් මත තමන්ගේ ලොකුකම් පෙන්වීමට ගොසින් අගමැතිවරයා අවසානයේ මෙතෙක් ඉතිහාසයේ පාර්ලිමේන්තුව හෑල්ලූවට ලක් නොවුනු තරමට එය හෑල්ලූ කළේය. එයට ඒකාබද්ධ විපක්ෂයේ මන්තී‍්‍රවරුද එළෙසින්ම අශීලාචාර ලෙස හවුල් වූහ. පාර්ලිමේන්තුවේ ඒ ජෝගි නැටුම අවසන් වූයේ රටේ අගමැතිවරයා ලෙස අගමැති තම තත්ත්වය රැක ගැනීමෙන් නොව, පාර්ලිමේන්තුවත් අගමැති ධුරයත් මෙතෙක් ඉතිහාසයේ නොවූ විරූ ලෙස බාල්දු කිරීමෙනි.
පාර්ලිමේන්තු ජෝගි නැටීම ගැන එදිනම සවස ගාල ගෝට්ටියේ ඡුායාරූපයක්ද සමග ට්විට පණිවිඩයකින් රන්ජන් රාමනායක මන්තී‍්‍ර සිංහලෙන්ම කියා තිබුණේ ‘‘පාර්ලිමේන්තුව දිනකට පවත්වා ගෙන යන්න අහිංසක මිනිස්සුන්ගේ සල්ලි රුපියල් ලක්ෂ 50 ක් විතර යනවා. ඒ ගැන මේ එකෙක්ට ගාණක් නැති හැටි. තමන්ගේ පැමිණීමේ දීමනාව අරගෙන මේ අය ලජ්ජා නැතුව ගෙදර යයි’’ කියාය.
දිනකට ජනතා මුදලින් ලක්ෂ 50ක් වැය කර පවත්වා ගන්නා පාර්ලිමේන්තුව වගකීමෙන් කටයුතු කළේ නම්, ඒ ගැන වැදගත් ගැඹුරු සංවාදයකට බැඳුම්කර ගනුදෙනු සම්බන්ධ කොමිසම් වාර්තාව පාදක විය යුතුව තිබිණ. එවැන්නක් නොවූයෙන් ඒ ගැන තවමත් අප දන්නේ ජනාධිපති විසින් කළ ප‍්‍රසිද්ධ ප‍්‍රකාශයේ තිබූ කරුණු පමණි. ඉතා පරිස්සමින් සිංහලෙන් ලියා කියවූ ඔහුගේ ප‍්‍රකාශයෙන් ඔහු ඉතා අපක්ෂපාතී රාජ්‍ය නායකයෙකු ලෙස පෙනී සිටින්නට උත්සාහ ගත්තේ බැඳුම්කරය සම්බන්ධ අගමැතිගේ වගකීම් ගැන සහ හිටපු මුදල් ඇමැති ලෙස රවි කරුණානායකට එරෙහිව චෝදනා ඇති බැව් උපායශීලීව කියමින්ය. 
ඒ සම්බන්ධයෙන් සමාජයේ ඇත්තේ මිශ‍්‍ර ප‍්‍රතිචාරයන්ය. ඇතැමුන්ට දුෂණවලට එරෙහි ජනාධිපතිගේ ස්ථාවරය ඉතා ආකර්ෂණීය වූවකි. තවත් සමහරුන්ට එය ප‍්‍රතික්ෂේප කළ නොහැකි වූවත් ජනාධිපතිද දුෂිත යැයි නොකියා සිටිය නොහැකි විය. ඔවුහු 2015 ජනවාරි ජනාධිපතිවරණයෙන් පසු රාජපක්ෂ විරෝධී කෑම මේසයෙහි වහා අසුන් ගත්තවුන් වූහ. ඔවුන් අගමැතිගේ විවෘත ආර්ථික ප‍්‍රතිපත්තියෙන් උපරිම වාසි ලබන්නට සිවිල් සමාජයේ කරක් ගසනවුන්ය.
එනමුත් ඒ කිසිවකින් ජනාධිපති කළ ප‍්‍රකාශයෙන් ඔහු පත් අකරතැබ්බය ප‍්‍රදර්ශනය නොවේ. පැය 24ක් යන්නටද මත්තෙන් ජනාධිපති ගේ ප‍්‍රකාශය ඉංගී‍්‍රසියෙන් පල කළ ඔහුගේ නිල වෙබ් අඩවිය, එය කිහිපවර සංස්කරණය කළ බැව් ජනවාරි 04 වන දින පස්වරුවේදී ‘‘ඉකොනොමිනෙක්ස්ට්’’ පුවත් අඩවිය හෙළි කළේය. වරක් අගමැතිගේ සහ රවි කරුණානායකගේ නම් ඉන් ඉවත් කර තිබූ බවත් පසුව අගමැති ගැන සඳහන් නොකර රවි කරුණානායක ගැන එහි සඳහන්ව තිබූ බවත් එකී පුවත් අඩවිය ප‍්‍රකාශ කර තිබිණ. පසු දිනම ෆයිසර් මුස්තාපා ඇමතිවරයාද අගමැති නිදොස් කරමින් මාධ්‍ය ප‍්‍රකාශයක් කර තිබිණ.
එහෙත් සැබෑව නම්, පාර්ලිමේන්තුවේ ජෝගි නැටුම මෙන්ම මෙයද හුදෙක් එ.ජා.පයේ හෝ අගමැතිවරයාගේම ප‍්‍රශ්නයක් නොවන බවය. මෙය මේ ආණ්ඩුවේ සහ විවෘත වෙළඳපොළ ආර්ථිකයේ බංකොළොත් බව ප‍්‍රදර්ශනය කිරීමකි. ඇත්ත ඇති සැටියෙන් විවෘතව කිවහොත් මහ බැංකු අධිපති ලෙස අර්ජුන් මහේන්ද්‍රන් පත් කිරීමේ වගකීම ඇත්තේ අගමැතිට පමණක් නොවේ. ඔහුගේ නම යෝජනා කිරීමට ජනාධිපති විරුද්ධ වූ බව සැබෑ වූවත් අවසානයේ ඔහුව පත් කරනු ලැබූයේ ජනාධිපති විසින්ය. මේ යහපාලන ආණ්ඩුව පවත්වා ගෙන යාමේදී කෙතරම් බාල වූවත් එවැනි සම්මුති ගැසීමට ජනාධිපතිද පසුබට නොවිණ. එනිසා ඒ පත්වීම සම්බන්ධයෙන් ඔහුට දැන් අත සෝදා ගත නොහැක.
මේ යහපාලන හවුල ජනාධිපති සිරිසේනට මග හැරිය නොහැක්කක් වූයේ ජනාධිපතිවරණය අවසන් වනවිට පැවති ශී‍්‍ර.ල.නි.ප ප‍්‍රධාන එක්සත් ජනතා නිදහස් පෙරමුණු ආණ්ඩුව සමග ඔහුට ගමන් යා නොහැකි වූයෙනි. එබැවින් ඔහු 2015 ජනවාරි 09 වන දිනම අගමැති වශයෙන් රනිල් වික‍්‍රමසිංහ පත් කරගත්තේ පාර්ලිමේන්තු බහුතරයට අවශ්‍ය සංඛ්‍යාවෙන් අඩක් හෝ නැතිවය. බහුතරය හදා ගනු ලැබූයේ ජනාධිපති ධුරයේ බලය සමග ශී‍්‍ර.ල.නි.ප පිරිසක් හවුල් කර ගැනීමෙනි. එබැවින් ඔහු අර්ජුන් මහේන්ද්‍රන් පත් කරන්නේද යහපාලන ආණ්ඩුව අටවා ගැනීමේ ඒ දේශපාලන සම්මුතිය සමගින්ය.
කිසිදු ප‍්‍රතිපත්තිමය හවුලක් නොවන මේ යහපාලන ආණ්ඩුවේ වසර 03ක පාලනය විවෘත ආර්ථිකය වඩ වඩාත් විවෘත කිරීමේ අගමැතිගේ ඉදිරි දැක්ම මත ගෙවුනකි. එබැවින් එය දුෂණයෙන් පිරි යුගයක් විය. 2015 මාර්තුවෙහි සිදු කළ මේ බැඳුම්කර ගනුදෙනුව දැනට මේ ආණ්ඩුව යටතේ වාර්තා වූ එකම බැඳුම්කර දුෂණය නොවන්නේද එනිසාය. 2016 අපේ‍්‍රල් හි තවත් බැඳුම්කර වංචාවක් පිළිබඳ චෝදනා ඇත. අගමැති විසින් කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහා රුපියල් මිලියන 21ක මාසික කුලියට ගොඩනැගිල්ලක් ගැනීමට කැබිනට් පත‍්‍රිකාවකින් ලබා ගත් අවසරය තවකකි. එ.ජා.ප. ප‍්‍රබල ඇමැතිවරුන් සම්බන්ධ බරපතළ දුෂණ චෝදනා සම්බන්ධවත් පරීක්ෂණ පැවැත්විය යුතුව ඇත්තේ නමුත් එසේ නොවන්නේද විවෘත ආර්ථිකයක එවැනි දුෂණවලට එතරම් වැදගත්කමක් නොමැති හෙයින්ය. ඒ කිසිවක් රාජපක්ෂ යුගයේ දුෂණවලට දෙවැනි වන්නේද නැත. ඊටත් අමතරව කිසිදු හදිසි අවශ්‍යතාවක් නැතිව හදිස්සියේ රුසියානු යුද නෞකාවක් මිලට ගැනීමට ආරක්ෂක ඇමති ලෙස ජනාධිපති ඉදිරිපත් කළ කැබිනට් පති‍්‍රකාවත් ඔහුගේ සෘජු පාලනය යටතේ ඇති විදුලි සංදේශ නියාමන කොමිසම විසින් මහරාජා වෙත කිසිදු පිළිගත් ටෙන්ඩර පටිපාටියකින් තොරව රුපියල් බිලියන 03 ට වැඩි වටිනාකමක් ඇතැයි පැවැසෙන විද්‍යුත් සංඛ්‍යාන අලෙවියත් යෝධ දුෂණ ලෙස සඳහන් වන්නේ විවෘත වෙළෙඳපොළ ආර්ථික දුවන්නේ එළෙසින් වන බැවින්ය. 
මේ කිසිදු දුෂණයක් අගමැතිවරයා කියන අයුරු 2008 සිට රාජපක්ෂ යුගයේ බැඳුම්කර අලෙවි දුෂණ පරීක්ෂා කිරීමෙන් විසඳෙන්නේ නැත. ඉන් කියවෙන එකම කතාව වනුයේ ‘‘අපි වගේම රාජපක්ෂලත් දුෂිතයි’’ යන්න පමණි. එහි ඇත්ත කතාව නම්, කවුරුන් ආණ්ඩු කළත් මේ විවෘත ආර්ථිකයෙහි දුෂණය නතර කළ නොහැකිය යන්නය. එබැවින් විවෘත ආර්ථිකයෙන් බිහිවන කිළිටි ධනපතියන් (ඉංගී‍්‍රසියෙන් කියන Filthy Rich) කොමිසම් වාර්තා වලට ඔවුන්ගේ පැවැත්ම සොලවන්නට ඉඩ තබන්නේ නැත. එය තේරුම්ගත හැක්කේ විවෘත ආර්ථිකය විසින් රාජ්‍ය වගකීම් හා කාර්ය වෙනස්කර ඇති බැව් තේරුම් ගැනීමෙනි.
විවෘත වෙළෙඳපොල ආර්ථිකයන්හි ජාතික ආර්ථිකය නියාමනය හා කළමනාකරණය කිරීමේ වගකීමෙන් රාජ්‍යය ක‍්‍රමානුකූලව නිදහස් කෙරෙන්නේය. ඒ වෙනුවට රජයේ වගකීම බවට පත් වන්නේ විවෘත වෙළෙඳපොල ආර්ථිකයේ වර්ධනය වෙනුවෙන් පෞද්ගලික ආයෝජන ගෙන්වා ගැනීමට පහසුකම් සපයන්නකු ලෙස කටයුතු කිරීමත් පෞද්ගලික ආයෝජන ආරක්ෂා කිරීමේ භාරකාරිත්වයත්ය. එබැවින් රජයේ ඉහළ නිලධර තන්ත‍්‍රය බලයේ ඉන්නා ආණ්ඩු (දේශපාලනඥයින්) සමග පෞද්ගලික ආයෝජන වෙනුවෙන් සැලසුම් කිරීමට සහ ඒ වෙනුවෙන් නීති කෙටුම්පත් කිරීමට එකට වාඩි වන්නාහ.
එළෙසින් රාජ්‍ය ස්ථානගත කෙරුණු පසු රජය හා ආණ්ඩුව සම්බන්ධයෙන් වන සාම්ප‍්‍රදායික නිර්වචන බිඳ වැටෙන්නේය. එතෙක් රජය හා ආණ්ඩු අතර තිබූ පරතරය හා වෙනස්කම තුනී වී, ඒ දෙකම එකම ව්‍යුහයක් ලෙස දකින්නටත් හඳුනා ගන්නටත් ලැබෙන්නේය. එහි ප‍්‍රතිඵලය වන්නේ විවෘත වෙළෙඳපොළ ආර්ථිකයෙහි කිළිටි ධනපතියන් හා ගනුදෙනුව දේශපාලනඥයින්ට පමණක් සීමා නොවීමය. ප‍්‍රතිපත්ති සැකැසීමේ හා තීීීන්දු ගැනීමේ රජයේ ඉහළ නිලධර පැලැන්තියද ඒ සම්බන්ධකම් වගා කර ගන්නේය. එය රාජ්‍ය පරිපාලනයේ මෙන්ම පරීක්ෂණ, නඩු පැවරීම්, නඩු මෙහෙයවීම් හා තීන්දු දීම දක්වා නීතිය කි‍්‍රයාවට නැගීමේ සිට අධිකරණ කි‍්‍රයාවලිය දක්වා සමස්ථ රාජ්‍ය පද්ධතියම දුෂණ හා ගැට ගැසෙන්නේය. කෙතරම් නිවැරදි හා පරිපූර්ණ කොමිසම් වාර්තා එළි දැක්වූවත් ඒ මගින් කිළිටි ධනපතීන්ගේ පැවැත්ම හා බලය සොලවන්නට ඉඩ ලැබෙන්නේ නැත.
මේ ආසන්න කාලයෙන්ම ඒ සඳහා නිදසුන් එමට සොයා ගත හැක. පළාත් පාලන මැතිවරණ නීතිය සංශෝධන කිරීමේදී තෙවන වර කියවීමට සදාචාර විරෝධීව ඉදිරිපත් කළ සංශෝධන පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකේ වැඩි ඡන්දයකින් පමණක් සම්මත කළ හැකියැයි නිර්දේශ කළ නීතිපති වෙත බැඳුම්කර ගනුදෙනු පිළිබඳ කෝප් වාර්තාව දුන්නේ මීට වසරකට පෙර යැයි අගමැති ප‍්‍රකාශ කළේය. ජනාධිපති කොමිසමේ බැඳුම්කර ගනුදෙනු පිළිබඳ වාර්තාව ලබා දෙන්නේද ඒ නීතිපතිටමය. නඩු පැවරීමේදී චෝදනා ගොනු කරන්නේ කවර නීතියක් යටතේද යන්නත් නඩු පවරනවුන්ගේ අභිමතය වන්නේය. හිටපු ජනාධිපති ලේකම්ට සහ එකල විදුලි සංදේශ නියාමන කොමිසමේ අධ්‍යක්‍ෂ ජනරාල්ට විරුද්ධව මහජන මුදල් අවභාවිතය වෙනුවෙන් නඩු පවරනු ලැබූයේ මහජන දේපළ පනත යටතේ නොව, දණ්ඩ නීති සංග‍්‍රහය යටතේය. එබැවින් නඩු අවසන් වනතෙක් ඔවුන්ට ඇප මත සිටින්නට හැකි විය. ගෝඨාභය රාජපක්ෂද මහජන මුදල් අවභාවිතාව සම්බන්ධයෙන් අත්අඩංගුවට ගනු ඇතැයි කතා තිබිණ. විවෘත වෙළෙඳපොළ ආර්ථිකයන්හි දුෂිතයින් හා හවුල් වන විවිධ තරාතිරම්වල පුද්ගලයින් ඇත. ගෝඨාභය අත්අඩංගුවට නොගන්න යැයි භික්ෂුහු කිහිප නමක් ජනාධිපති හමුවී ඉල්ලා සිටියහ. තමන් අත්අඩංගුවට ගැනීමෙන් වළකන මෙන් පෙත්සමක් අභියාචනාධිකරණයට ගොනු කළ ගෝඨාභයට එරෙහිව නීතිමය පියවර නොගන්නා ලෙස තාවකාලික නියෝගයක් නිකුත් කළ අභියාචනාධිකරණය දෙසැම්බර 15 වන දින තෙවන වරටත් ඒ තීන්දුව අලූත් කළේය. 
තම ධුර කාලය පිළිබඳව අපගේ වැනි රටවල ජනාධිපතිවරයෙකු නීතිපතිගෙන් නොවිමසා කෙළින්ම ශ්‍රේෂ්ඨාධිකරණයෙන් විමසන්නේ ලැබෙන පිළිතුර ගැන පූර්වයේ සිටම විශ්වාසයක් තබා ගෙන මිස කිසිවක් නොදැන නොවේ. තමන් ජනාධිපති ලෙස තරග කෙරුවේත් ජය ගත්තේත් දිවුරුම් දුන්නේත් 19 වන සංශෝධනයට පෙර බැවින් එය අතීතයට බල නොපාන බවට ශ්‍රේෂ්ඨාධිකරණ අර්ථකථනය ලැබෙනු ඇතැයි ජනාධිපතිට දැඩි විශ්වාසයක් තිබිණ. විවෘත වෙළෙඳපොළ ආර්ථිකයක අධිකරණයේ ස්වාධීනත්වය එවැනිය.
නීතිය ගැන නොව දේශපාලන බලය ගැන බර තබන විවෘත වෙළෙඳපොල ආර්ථිකයක අධිකරණ නිර්දේශ හා තීන්දු අවශ්‍ය විටෙක අවශ්‍ය ආකාරයෙන් නැවිය හැකි වන්නේය. එවැනි විට ඒවායේ පරස්පරද මතු වන්නේය. ජනාධිපති ධුරය පිළිබඳ මේ තීන්දුව අතීතයට බල නොපාන්නේ නම්, එමගින් මතු කෙරෙන වෙනත් ගැටලූවක් ඇත. 19 වන ව්‍යවස්ථා සංශෝධනය එසේ නම්, හිටපු ජනාධිපතිවරුන්ටද බල නොපෑ යුතුය. රාජපක්ෂ තරග කෙරුවේත් පරාජය වූයේත් 18 වන ව්‍යවස්ථා සංශෝධනය යටතේ වන හෙයින් ඔහුට නැවත තරග කිරීමට හැකි විය යුතුය.
එවැනි නීති ගැටලූ, පරස්පර කිසිවක් මේ විවෘත වෙළෙඳපොළ ආර්ථිකයෙන් බිහි කෙරෙන කිළිටි ධනපතීන්ගේ ආණ්ඩු බලයට අදාළ නොවේ. සියල්ල තීන්දු වන්නේ ඔවුන්ගේ අභිමතයට හා බලයට යටත්ව ඇති දේශපාලන නායකයින්ගේ ආණ්ඩු පාලන යටතේ වගකීමක් වැදගත්කමක් නැති පාර්ලිමේන්තු සමගය. හිරිකිතයක් නැතිව එක් පක්ෂයක සිට අනෙක් පක්ෂයට යා හැකි පාර්ලිමේන්තුවක් දැන් ඇත. නීති කි‍්‍රයාත්මක වන සීමා හා පරාසය තීන්දු කරන්නේ ඒ පාර්ලිමේන්තුවෙහිය. එබැවින් සමාජ තෙරපුම වාව ගන්නා ප‍්‍රමාණයට නීති සංශෝධනය කිරීමට හා බලසම්පන්නයින් හැර සෙස්සන් කිහිප දෙනෙකුට අවම දඩුවම් ලබා දීමටද හැකිය. ඒ කිසිවකින් මේ විවෘත වෙළෙඳපොළ ආර්ථිකයේ කිළිටි ධනපතීන්ගේ ආධිපත්‍යයට හානියක් නොවන්නේය. 
ඔවුන්ට තවත් සහතිකයක් ඇත. කොළඹ මැද පංතිකයින් කිළිටි ධනපතීන් වෙනුවෙන් ගොඩ නගා ඇති සුව පහසුව හඹා යන පාරිභෝගිකයින් බවට පත්ව සිටීම එයය. මැද පංතිකයින් බුක්ති විඳින පාරිභෝගික නිදහස මේ දුෂිත විවෘත වෙළෙඳපොළ වෙනුවට විකල්ප සෙවීම සඳහා හිලව් නොකරන බවට සහතික වූවකි. එබැවින් ඔවුන් කතා කරන්නේ කුණු අපුල්ලා දැමිය හැකි ලොන්ඩරි පිහිටු වීමටය. ඒ වෙනුවෙන් විවිධ ආකාරයේ විවිධ වරම් සහිත ලොන්ඩරි ඔවුහු ඉල්ලා සිටිති. පසුගිය වසර 03 පුරා මේ මැද පංතිකයින් සමග ජ.වි.පෙ.ද දුෂණ අපුල්ලා මේ සමාජය පිරිසිදු කළ හැකි යැයි කීමේ දේශපාලනයෙහි නතර විය. එය කිසි දිනක සිදු නොවන බැව් තේරුම් ගැනීමට ආර්ථිකය වඩ වඩාත් විවෘත කරමින් වඩ වඩාත් දුෂිත ගමන් යන යහපාලනයේ වසර 03 මේ සමාජයට ප‍්‍රමාණවත් විය යුතුය. අපට අවශ්‍ය වන්නේ නිරන්තරව ලොන්ඩරි සොයා යන්නට සිදුවන විවෘත වෙළෙඳපොළ ආර්ථිකයක් නොවේ. අපට අවශ්‍ය වන්නේ දිගු කාලීනව හා ස්ථාවරව මේ සමාජය පිරිසිදු ශීලාචාර සමාජයක් ලෙස පවත්වා ගැනීමේ විකල්ප සංවර්ධන පිළිවෙතකි. ඒ සඳහා වන සංවාදයක් දිග හැර ගැනීමට ප‍්‍රමාද වූවත් දැන් අත ගැසිය යුතුව ඇත.
 
කුසල් පෙරේරා

පසුගියදා නිකුත් වූ අධ්‍යයන ‍පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාග ප්‍රතිඵල වලට අනුව කළුතර දිස්ත්‍රික්කයෙන් වාණිජ අංශයෙන් ප්‍රථම සහ විද්‍යා විෂය ධාරාවෙන් පස් වැනි ස්ථානයන්  හිමි කර ගැනීමට එකම පවු‍ලේ සොයුරියන් දෙදෙනෙක් සමත්ව සිටිති. පානදුර බාලිකා මහා විද්‍යාලයේ සිසුවියන් වන වාද්දුව තල්පිටියේ පදිංචි පියුමි පෙරේරා ශිෂ්‍යාව වාණිජ විෂය ධාරාවෙන් කළුතර දිස්ත්‍රික්කයේ පළමු සහ දිවයිනේ දොළොස් වැනි ස්ථානය හිමි කරගෙන ඇති අතර ඇගේ සොයුරිය මෙවර දෙවන වර විභාගයට මුහුණ දී විද්‍යා විෂය ධාරාවෙන් කළුතර දිස්ත්‍රික්කයේ පස්වැනි ස්ථානය හිමි කර ගෙන ඇත.
පෞද්ගලික ආයතනයක කළමනාකරුවකු වන ශ්‍රී ලාල් පෙරේරා මහතාගේ සහ විගණන අධිකාරිවරියක ලෙස සේවය කරන උදේනි පෙරේරා යන දෙමවුපියන්ගේ දියණියන් වන ඔවුන් පාසල් විෂය මෙන්ම පරිභාහිර කටයුතු වලදීද සුවිශේෂී දක්ෂතා දක්වා ඇති දක්ෂ  සිසුවියන් දෙදෙනෙකි. පානදුර ශාන්ත ජෝන් විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලබා ශිෂ්‍යත්ව කඩඉම ඉහළින් ජය ගෙන පානදුර බාලිකා මහා විද්‍යාලයට ඇතුළත්ව ඇත.
පියුමි පෙරේරා අධ්‍යාපන කටයුතුවලට අමතරව මලල ක්‍රීඩාවලට ද සුවිශේෂී දක්ෂතා දක්වන අතර පාස‍ලේ ක්‍රීඩා නායිකාව ලෙසද කටයුතු කොට ඇත. ඇරබික් ජිම්නාස්ටික් දිවයිනේ ප්‍රථම ස්ථාන හිමි කොට ගෙන විදෙස් රටවලද තරග වලටද සහභාගි වී ජයග්‍රහණ ලබාගෙන ඇත. අ‍පොස උසස් පෙළ විභාගයට පෙනී සිටින අතරම ඒඒටී විභාග සමත්ව දැනට ඇය වරලත් ගණකාධිකරණය හදාරමින් සිටින අතර අනාගතයේ වරලත් ගණකාධිකාරිනියකව රටට සේවය කරන බව පවසන්නීය.
ගයනි චතුරංගිකා පෙරේරාද අධ්‍යාපන කටයුතු සේම විෂය බාහිර කටයුතු වලටද එකසේ දස්කම් දක්වා ඇති බව ඇගේ දෙමව්පියෝ පවසති. 2015 වසරේදී පානදුර බාලිකා මහා විද්‍යාලයේ විශිෂ්ටයන් අතර විශිෂ්ටයාද වූ ඇය මලල ක්‍රීඩාවලින්ද ජයග්‍රහණ අත් කර ගෙන ඇත. එමෙන්ම ධර්මාචාර්ය විභාගයද සමත් ඇය වෛද්‍යවරියකව මෙරට තුළම රැඳෙමින් මවුබිමට සේවය කරන බව පවසන්නීය.

ජනක හෙට්ටිආරච්චි - වාද්දුව

ඉපැරණි රජ සමයේ නිදන් කළ බව කියන නිල් මැණිකක් සහිත පුන්කළසක් ‍පොළොව කැනීමක්  කරද්දී හමුවී ඇතැයි පවසමින් ව්‍යාපාරිකයෙක් රවටා රුපියල් ලක්ෂ ගණනකින් වංචාකරන ජාවාරමක් අනුරාධපුර කැබිතිගොල්ලෑව ප්‍රදේශයේ ක්‍රියාත්මක වන බව ‘ ලක්බිමට’ අනාවරණය කර ගැනීමට හැකිවිය.
කැබිතිගොල්ලෑව ‍පොලිස් වසමේ කහටගොල්ලෑව ප්‍රදේශයේ සංවිධානාත්මක පිරිසක් ව්‍යාපාරිකයකු රවටා වංචාව කිරීමට උත්සහා කළත් ‍පොලිස් නිලධාරියකු දුන් උපදෙස් මත ව්‍යාපාරිකයාට අහිමි වීමට ගිය රුපියල් දස ලක්ෂයක මුදල රැක ගැනීමට හැකිවී තිබේ.
කැලෑවක බැකෝ යන්ත්‍රයකින් කැණීමක් කරමින් සිටියදී ඉපැරණි රජ සමයට අයත්බව කියන පුන්කලස හදිසියේ මතුවූ බවත් එහි රුපියල් කෝටි ගණණාවක් වටිනා නිල් මැණික තිබි හමුවූ බවත් කියමින් සංවිධානාත්මක පිරිස ව්‍යාපාරිකයන් රවටා මුදල් ලබා ගැනීම කරන බව ව්‍යාපාරිකයා අනාවරණය කළේය.
සංවිධානාත්මක ජාවාරමට අනුරාධපුර පැරණි නගරයේ ත්‍රිරෝද රථ රියැදුරෙකුත් සම්බන්ධ වී සිටන අතර ඔහු ගැනුම්කරුවන් සම්බන්ධ කර දීම කරන බව ව්‍යාපාරිකයා පැවැසුවේය. මැණිකක් සහිත පුන්කලසක් හමුවූ බව කියමින් මුදල් වංචා කරන ජාවාරම්තරුවන් පිළිබඳව අනාවරණය කළ ව්‍යාපාරිකයා මෙසේ පැවැසුවේය.
පසුගිය (05) වැනිදා උද්‍රෑසන මට දැනගන්න ලැබුණා වටිනා මැණිකක් සහිත පුන්කලසක් කහටගොල්ලෑවේ පුද්ගලයෙකුට හමුවී තිබෙන බව. එම පුණ්කලස වසදොස් ඇර විවෘත කිරීමට ගුරුන්නාන්සේ කෙනකු සමග එන ලෙස ඔවුන් මට දැන්වූවා. මම කට්ටඩියන් දෙදනකු සමග කැබිතිගොල්ලෑව කහටගොල්ලෑව ප්‍රදේශයේ කැලෑවකට ගියා එම පුණ්කලස විවෘත කර මැණික බැලීම සඳහා.
එය හමුවූ බව කියන පුද්ගලයා අත ඉපැරණි පුන් කලසක් තිබුණා. කට්ටඩියන් පුද පූජා පැවැත්වූ පසුව පුණ්කලස හමුවූ බව තියන පුද්ගලයා විසින්ම එය දෙපළුකර විවෘත කළා.
එහි ගලින් තැණු පුරාණ
අක්ෂර සහිත ඉපැරණි පුණ් කළසක් තිබුණා. කට්ටඩියන් පුද පූජා පැවැත්වූ පසුව පුණ් කළස හමුවූ බව කියන පුද්ගලයා විසින්ම එම දෙපළුකර විවෘත කළා.
එහි ගලින් තැනූ පුරාණ අක්ෂර සහිත ඉපැරණි බෝතල් දෙකක් තිබුණා. පුන්කලස හමුවූ බව කියන පුද්ගලයා කිවුවා එක් බෝතලයක මැණිකක් තියෙන්නේ අනිකේ මහ බලසම්පන්න තෛලයක් තියෙන්නේ කියලා. එක් බෝතලයක් විවෘත කළා. ඔහු කියපු විදියට බිත්තරයකට වඩා විශාල නිල් පැහැති මැණික්ක් තිබුණා. අපි කිවුවා මේක ගෙනහිල්ලා බලලා මිසක් නියමු කරමු කියලා. නමුත් ඔහු ඊට විරෝධය පළ කරා. මැණික කොහොවත් ගෙනියන්න බෑ. මෙතනේදීම සල්ලි දීලා ඕන කියලා කිවුවා. මේක කෝටි ගණනක් වටිනවා නමුත් මට ඕන ලක්ෂ දහයක් විතරයි කියලා ඔහු කිව්වා. මම මේ ගැන මගේ මිතුරෙකුට දුරකථනයෙන් කිවුවා. ඔහු ඒ පිළිබඳව ‍පොලිස් නිලධාරියෙකුට පැවසුවාම කෝටි ගණනක් වටිනා මැණිකක් රුපියල් ලක්ෂ දහයකට දෙන්නේ ඇයි කියලා විමසලා තිබ්බා. ඕක මාරඅංරචියක් (වංචාවක්) අහුවෙන්න එපා කියලා. ඔහු මට කිවුවා. මටත් පස්සේ හැඟුණා ඇයි රුපියල් කෝටි ගා*ණක් වටිනා මැණිකක් රුපියල් ලක්ෂ දහයකට දෙන්නේ කියලා.
මේ පුද්ගලයන් විශේෂ බදාමයකින් පැරණි විදිහට පුණ්තලස් හදලා ඒ තුළට ව්‍යාජ අන්දමින් හදපු මැණිකක් දාලා මේ ජාවාරම සිදුකරනවා කියලා පසුව දැනගන්න ලැබුණා යැයි ඔහු පැවැසුවේය. මෙම ජාවාරමට සම්බන්ධ පිරිස ගැනුම්කරුවන්ගේ විශ්වාසය දිනා ගැනීම සඳහා වස්දොස් ඇරීමට කියමින් කට්ටඩියන් ගෙන එන්නැයි පවසා උපක්‍රම භාවිතා කරන බවත් වස් දොස් ඇරීමට එන කට්ටඩියන්ට මුදල් ලබා දිය යුත්තේද, ගැණුම්කරුවන් විසින්ම බවත් ව්‍යාපාරිකයා අනාවරණය කළේය.

අනුරාධපුර - බුද්ධික මහේෂ් විජේසූරිය

ලංකාවේ දළ ඇතුන් ඉදිරි මාස 3 ක් වැනි කාලසීමාවකදී සම්පූර්ණයෙන්ම අතුරුදන්වීමේ ‍ලේඛනයට ඇතුළත් වන බව පරිසර සංවිධාන එකමුතුවේ කැඳවුම්කරු පාහියංගල ආනන්ද සාගර හිමියෝ පැවැසූහ.
ලක්බිම කළ විමසීමේදී උන්වහන්සේ පැවැසුවේ පසුගිය මාස දෙක ඇතුළත දළ ඇතුන් දොළහක් පමණ ඝාතනයට ලක්වී ඇති බවයි. මේ වනවිට අපට ඉතිරිව සිටිනුයේ සද්ධන්ත දළ ඇතුන් විස්සක පමණ ප්‍රමාණයක් බවද උන්වහන්සේ පැවැසූහ.
විල්පත්තු ජාතික වනෝද්‍යානය ආශ්‍රිතව උතුරු ප්‍රදේශයේ දිගින් දිගටම සිදුකරන වන සංහාරය හේතුවෙන් වලහා, කොටියා වැනි සතුන්ටද තර්ජනයක් එල්ල වී ඇතැයි ආනන්ද සාගර හිමියෝ පවසති. දැව ජාවාරම්, වැලි ජාවාරම්, දඩමස් හා මත්ද්‍රව්‍ය ජාවාරම් විල්පත්තු වනය තුළ මේ වන විට සිදුවන බවද ආනන්ද සාගර හිමියෝ කියති. විල්පත්තු වනාන්තරය ඇතුළත සතුන් මරන ප්‍රමාණය වනජීවී දෙපාර්තමේන්තුව නොදන්නා බවත් ඔවුන් දැනගන්නේද පරිසර සංරක්ෂණවේදීන් පැවැසූ විට බවත් උන්වහන්සේ පැවැසූහ.
උන්වහන්සේ වැඩිදුරටත් පැවැසුවේ විල්පත්තු ‍පෝෂිත රක්ෂිතය තුළ පමණක් නොව විල්පත්තු ජාතික වනෝද්‍යානය තුළද සතුන් දඩයම් කිරීම සිදුවන බවයි.

තනුජා නානායක්කාර

IMAGE

සංසාර සිහිනයේ ගී සංකල්පනය මම 'ටැබ් එකේ ටයිප් කරපු' එකක්

IMAGE 2018 Feb 21 12:00
සනුක වික්‍රමසිංහ ගායනා කරන “සංසාර සිහිනේ” කලක පටන් බොහෝ ගීත දර්ශකවල පෙරමුණ ගෙන තිබෙන...
Views - 741

මම නාට්‍ය කලාවෙ ඉන්නේ ඒ ගැන තියන 'උණ' නිසයි

IMAGE 2018 Feb 21 11:53
වේදිකාව, පුංචිතිරය සහ සිනමාව යන මාධ්‍ය ත්‍රිත්වයෙහිම සිය ප්‍රතිභාව ප්‍රකට කළ කලාකරුවකුවන...
Views - 355

බිරිඳ රැකියාවක් නොකිරීම මගේ සාර්ථකවයට හේතුවක්

IMAGE 2018 Feb 20 14:38
“සිරස ජූනියර් සුපර් ස්ටාර්..” තරගය ගැන මුලින්ම අප ඔබගෙන් විමසන්න කැමතියි.. ඇත්තෙන්ම “සිරස...
Views - 3457

බිරිඳට පින් තකා සුනඛයන්ට දිනපතා සහල් කිලෝ 08ක දනක්

IMAGE 2018 Feb 20 14:23
මිනිසා තිරිසනුන් වන අවස්ථාත් තිරිසනා මිනිසුන් වන අවස්ථාත් අපට බොහෝ විට දක්නට ලැබුණද...
Views - 1957

ලංකාවේ අන්තිම රජු සැඟවූ නිධානය කෝ?

IMAGE 2018 Feb 19 11:34
මහනුවර රජ කළ රාජාධිරාජසිංහ රජුට බිසෝවරුන් කිහිප දෙනෙක්ම සිටියහ. ඔවුන් අතර අලමේලු අම්මා,...
Views - 3950

රඟපෑමෙන් සමුගත් හේතුව නදීකා කියයි

IMAGE 2018 Feb 19 10:41
“චංචල රේඛා” චිත්‍රපටයේ “දං චූටි” නාඳුනන කෙනෙක් එදා සිනමා ලෝලීන් අතර හිටියේ නැහැ....
Views - 5040

Please publish modules in offcanvas position.