Coss Ear2
lakbima.lk
COSS Ear 1

සතියකට ශ්‍රී ලංකාවේ අලින් හතරදෙනකු මිය යන බවත් මසකට අලි දාසය දෙනෙක් මිය යන බවත් පරිසර හා සොබාදහම් අධ්‍යාපන මධ්‍යස්ථානයේ ජාතික සංවිධායක රවීන්ද්‍ර කාරියවසම් මහතා පැවැසීය.
ඒ මහතා මේ බව පැවැසුවේ පෙරේදා (29) කොළඹදී පැවැති මාධ්‍ය හමුවකට එක් වෙමිනි.
හෙතෙම වැඩිදුරටත් පැවැසුවේ අලියා සහ ඇතා ලංකාවේ වඳ වී යන සත්ව කාණ්ඩයට අයත් බවයි. එමෙන්ම අලි ගහණය අඩු වීමට හේතුව අලින්ගෙන් 60ක ප්‍රමාණයක් රක්ෂිත වනාන්තර ඇතු‍ලේ වාසය නොකරන බවයි. රක්ෂිත වනාන්තරවල ඉඩ ප්‍රමාණවත් නොවන බැවින් අලි ඇතුන් කෘෂි ආර්ථික බෝග වගා කරන ප්‍රදේශවලට හා අලිමංකඩවල ඉදිකර ගත් නිවාස ආශ්‍රිත ප්‍රදේශවලට පැමිණෙන බවද හෙතෙම කීය. මේ නිසා අද වන විට අලි මිනිස් ගැටුම බරපතළ ප්‍රශ්නයක් වී ඇතැයිද ඒ මහතා පැවැසීය. අලියෙකුට දිනකට ආහාර කිලෝ ග්‍රෑම් 150ක ප්‍රමාණයක් හා ජලය ලීටර 120ක ප්‍රමාණයක් අවශ්‍ය වන බවද හෙතෙම සඳහන් කළේය. අලින්ට අවශ්‍ය ආහාර වනාන්තර ඇතුළත සොයා ගැනීමට නොහැකි බවත් ඔවුන් ආහාර සොයා කිලෝ මීටර 15ක පමණ දුරක් ඇවිද යන බවද ඒ මහතා කීය. විල්පත්තුව ජාතික වනෝද්‍යානය ප්‍රදේශයේ සිටින අලි ඇතුන් පුත්තලම, ආණමඩුව, නිකවැරටිය, ගල්ගමුව ආදී ප්‍රදේශවලට යන බවද හෙතෙම ප්‍රකාශ කළේය.
විල්පත්තුව ජාතික වනෝද්‍යානය, අනුරාධපුර, ‍පොළොන්නරුව, බදුල්ල හා දකුණු පළාතේ තිබෙන වනාන්තර යා කරන්න යැයි පරිසර හා සොබාදහම් අධ්‍යාපන මධ්‍යස්ථානය රජයට යෝජනා කළ බවද ඒ මහතා කීය. මෙලෙස අලිමංකඩත් නිර්මාණය කළ විට මිනිසුන්ට වන හානිය අවම වන බවද හෙතෙම පැවැසීය. 
පවතින රජය හෝ පැවැති රජය මේ සම්බන්ධව කිසිදු පියවරක් නොගැනීම හේතුවෙන් අද අලි මිනිස් ගැටුම වර්ධනය වී ඇතැයිද හෙතෙම කීය.
අලි ඝාතනය වනවාට අමතරව පන්සල්වලට පෙරහරට යැයි පවසමින් අලි විකිණීමද සිදු කරන බව කාරියවසම් මහතා කීය.
අලි හොරකම මේ වනවිට වැඩි වී ඇති බවත් දකුණු පළාතේ ඇතැම් වලව්වල අලි හංගාගෙන සිටින බවත් ඒ මහතා ප්‍රකාශ කළේය. එමෙන්ම දළදා මාලිගාවේද අලි හංගාගෙන සිටීම සිදු කරන බව කාරියවසම් මහතා කීය. අලි ජාවාරමක් සම්බන්ධව පැය 12ක හඬ පටයක් තමන් සතුව පවතින බවද එය වනජීවී අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතාට ලබන සතිය තුළ භාරදීමට කටයුතු කරන බවද හෙතෙම කීය. අලි ජාවාරම නතර කිරීමට ඇමැතිවරයා මැදිහත් වී ඉදිරි පියවර ගත යුතු යැයිද ඒ මහතා ප්‍රකාශ කළේය.
 
තනුජා නානායක්කාර

මොළය මියගිය පුද්ගලයන්ගේ අවයව රෝගීන් සඳහා බද්ධ කිරීමේ ජාතික වැඩපිළිවෙළක් ආරම්භ කිරීමට ශ්‍රී ජයවර්ධනපුර  රෝහ‍ලේ විශේෂඥ වෛද්‍යවරුන් කණ්ඩායමක් තීරණය කර ඇත.
මෙම වැඩපිළිවෙළ යටතේ අවයව දන් දුන් පුද්ගලයන් සැමරීම සඳහා පෙබරවාරී 18 වන දින දියවන්නා අවන්හල් සංකීර්ණයේදී ආරම්භ වන පාගමන ශ්‍රී ජයවර්ධන රෝහල් පරිශ්‍රයෙන් අවසන් වීමට නියමිත බව රෝහ‍ලේ ශල්‍ය වෛද්‍ය විශේෂඥ නිරෝෂණ සෙනෙවිරත්න මහතා සඳහන් කළේය.
මෙසේ අවයව දන්දුන් පුද්ගලයන් වෙනුවෙන් ජයවර්ධනපුර රෝහල් පරිශ්‍රයේදී ඉදිකළ ස්මාරකය එදින ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් නිරාවරණය කරනු ලබන බව රෝහල් පරිශ්‍රයේදී පසුගියදා පැවැති මාධ්‍ය හමුවේදී වෛද්‍ය සෙනෙවිරත්න මහතා පැවැසීය.
අවයව ලබා දුන් පුද්ගලයන්ගේ නම් මෙම ස්මාරකය මත සටහන් කිරීම මේ වන විටත් සිදුකර ඇති අතර ඉදිරියේදීද අවයව පරිත්‍යාග කරන පුද්ගලයන්ගේ නම් මෙම ස්මාරකය තුළ සටහන් කරන බවද හෙතෙම මෙහිදී සඳහන් කළේය.
මෙදින අවයව පරිත්‍යාග කිරීම සඳහා ජනතාව දැනුවත් කිරීමේ ජාතික වැඩසටහන ආරම්භ කරන බවත් එම වැඩසටහන හරහා රෝගීන් ලියාපදිංචි කිරීම ආරම්භ කරන බවත් වෛද්‍ය සෙනෙවිරත්න මහතා පැවැසීය.
අවයව බද්ධ කළ යුතු රෝගීන් විශාල ප්‍රමාණයක් මේ වන විටත්  සිටින නමුත් ඔවුන්ට අවශ්‍ය අවයව ලබාගැනීම දුෂ්කර බැවින් එම පුද්ගලයන්ගේ ජීවිත බේරා ගැනීමට නොහැකි තත්ත්වයක්  උද්ගත වී ඇතැයිද මෙහිදී වෛද්‍ය සෙනෙවිරත්න මහතා කීවේය.
මොලොවට බිහිවී මිනිත්තු කීපයක් ගත වූ පසුව සිට මිය යන තෙක්ම යම් පුද්ගලයෙකුට අවයව දන්දීමේ හැකියාව පවතී.
මොළය මියගිය පුද්ගලයෙකුගෙන් අවයව අටක් පැය තුනක් ඇතුළත දී ලබා ගත යුතු වන අතර ඊට අමතරව පටක වර්ග වන අස්ථි, ‍ලේ නහර ද ලබා ගත හැකිය.  මෙසේ අවයව දන් දිය හැකි වන්නේ එම පුද්ගලයා යම් රෝගී තත්ත්වයකින් හෝ හදිසි අනතුරකට ලක්ව මියගිය පසු පැය තුනක් ඇතුළත අවයව ඉවත්් කර ගතහොත් පමණි.
එය කළ හැකිවෙන්නේ එම පුද්ගලයාගේ මොළය මිය ගිය සැණින්ම ඔහු යන්ත්‍රවලට සම්බන්ධ කරමින් කෘත්‍රීම ස්වසනය ලබා දීම හා හෘදයට රුධිරය ලබා දීම නොකඩවා සිදු කිරීමෙන් බවද වෛද්‍ය සෙනෙවිරත්න මහතා කීවේය.
අවයව බද්ධ කිරීමේ ජාතික වැඩසටහනට දායකත්ව ලබාදෙන අවයව බද්ධ කිරීමේ විශේෂඥ වෛද්‍ය කණ්ඩායමේ මාධ්‍ය හමුවට එක් වූ නිර්වින්ද  විශේෂඥ වෛද්‍ය ශර්මිලා පිළිමතලාව, වකුගඩු රෝග හා විශේෂ වෙද්‍ය චූලා හේරත්, වකුගඩු රෝග පිළිබඳ ශල්‍ය වෛද්‍ය චින්තක ගලහිටියාව, අවයව බද්ධ කිරීම පිළිබඳ ශල්‍ය වෛද්‍ය නිරෝෂන් සෙනෙවිරත්න, අක්මාව බද්ධ කිරීම පිළිබඳ විශේෂ වෛද්‍ය රොමේෂ් සිරිවර්ධන, හෘද ශල්‍ය වෛද්‍ය රජිත සිල්වා යන මහත්ම මහත්මීහු ඡායාරූපයේ සිටිති.

ශ්‍රියානි විජේසිංහ

අතීතයේ ලාංකික ගැමි සමාජයේ නිතරම හීලට ගත් ආහාර ගණනාවක් විය. බතල, මඤ්ඤොක්කා, හීල් බත් එ් අතර විය. මේ ලැයිස්තුවේ වූ ඖෂධීය ආහාරයක් ලෙස අපට දියබත් දැක්විය හැක. අතීතයේදී බොහෝ දෙනා උදේ ආහාරය දියබතට හුරුව සිටින ලදී. එහෙත් නුතනයේදී දියබත් යනු වේගයෙන්  ව්‍යවහාරයෙන් ඈතට යන ආහාරයකි.  නමුත් දියබත යනු එලෙස අමතක කළ හැක්කක් නොවේ. එය  ඉතාම සෞඛ්‍ය සම්පන්න ආහාරයක් මෙන්ම ඉතා පිරිමැසුම්දායී ආහාරයක් ද වන අතර උදෑසන ආහාරවේලක් සඳහා ඉතාම අංගසම්පූර්ණ ආහාරයකි. 
දියබත සකසන ආකාරයෙහි ප‍්‍රදේශයෙන් ප‍්‍රදේශයට යම් යම් වෙනස්කම් දැකගත හැක. එහෙත්  පොදු වශයෙන් දියබත සකසන ආකාරයෙහි සමානකම් බොහෝය. වර්තමානයේ ඇළුමිනියම් මුට්ටිවල බත පිසීම සිදුකළද දියබත් සැකසීමේදී එයට මැටි මුට්ටියක් භාවිත කරන්නේ  නම් වඩාත් යෝග්‍යය. එහෙත් මෙහිදී වඩාත් වැදගත් වන්නේ දියබත සඳහා යොදා ගන්නා බත්වලට උඩින් වතුර දමා  රැයක් එය වසා තැබීමයි. එහිදී මෙම මුට්ටිය අඟුරු ඇද මද රස්නය ඇති ළිපෙහි රැයක් තැබීම වඩාත් යෝග්‍ය වේ. එහෙත් දිය බත කිසි කලෙක රත්කිරීමක් යුතුනොවේ. ඉන්පසු උදේට බතෙහි ඇති ජලය ඉවත් කර එයට රතුළුෑනු ගෙඩි  කිහිපයක් කපා දැමිය යුතුය. මෙහිදී  රටළුෑනු නොමැතිව රතුළුෑනු දැමීමද ඉතා වැදගත් වේ.  ඊට හේතුව රතුළුෑනු යනු ඉහළ ඖෂධීය ගුණයක් සහිත විශේෂයක් වීමය. රතුළුෑනුවල අඩංගු පෝෂණ ගුණයත් දියබත හරහා ලැබේ. රතුළුෑනු පීනස් නාශක ඖෂධයක් මෙන්ම රුධිරය පිරිසිදු කරන ගුණයෙන්ද යුක්තය.  ඉන් පසු එයට අමු මිරිස් කරලක් එක්කර දෙහි ඇඹුල් ස්වල්පයක්, ලූණු හා අවශ්‍යනම් උම්බලකඩ එකතු කර පොල්කිරි දමා පිස ආහාරයට ගත යුතුය. 
ප‍්‍රදේශ වශයෙන් ගත කළ  දියබත සකස්කරන ආකාරයෙහි යම් යම් වෙනස්කම් දැකගත  හැකිය. මෙහිදී සමහර තවත් අය  මෙම දියබතෙහි ජලය සියල්ලම ඉවත් නොකරන අතර බතෙහි දිය ගතියක් පවතින ආකාරයට ආහාරයට ගනී. සමහර පුද්ගලයන් දියබතට පොල්කිරි එක්කරගන්නා අතර තවත් අය පොල්කිරි වෙනුවට පොල් ස්වල්පයක් පමණක් එක් කර ගනී. එමෙන්ම දියබත  සඳහා උම්බලකඩ දැමීම සිදු කරති. එහෙත් සමහර පුද්ගලයන් උම්බලකඩ එක් කර 
නොගනී. එවිට දියබත මුළුමනින්ම නිර්මාංශය. තවද සමහර පුද්ගලයෙකු මේ සඳහා මිරිස් කරලක් බැද දියබතට එකතු කර ආහාරයට ගනී. මෙවැනි විවිධ වෙනස්කම් මෙම දියබත සකසන ආකාරයෙහි ඇති නමුත් මෙහිදී වඩාත් වැදගත් වන්නේ දියබත සකසන බතට වතුර දමා රැයක් පුරා වසා තැබීමයි. දිය බතට එහි සුවිශේෂ ගුණාංග එක්වනුයේ මෙලෙස රැයක් පුරා දිය දමා  තැබීමෙනි. මෙයින් යම්කිසි ආකාරයකට පැසවීමේ කි‍්‍රයාවකට ලක්වෙයි. එනම් දියබතෙහි ක්ෂුද්‍ර ජීවීන් නිර්මාණය කිරීමක් සිදුකරයි. නව්‍ය වෛද්‍ය විද්‍යාවට අනුව  මෙලෙස නිර්මාණය වන ක්‍ෂුද්‍ර ජීවීන්, ”ප්‍රෝබයොටික්” යනුවෙන් හඳුන්වයි. මේ  ක්‍ෂුද්‍රජීවීන් අපේ ශරීරය තුළ ජීවත්වන ඒ වගේම ශරීරයට හිතකර ක්‍ෂුද්‍රජීවීන් විශේෂයකි. බැක්ටීරියා වර්ග යනුවෙන් අදහස් කළවිට බොහෝ දෙනා බියට පත්වුවද ශරීරයට හිතකර බැක්ටීරියා වර්ග විශාල ප‍්‍රමාණයක් ඇත. එහෙයින් බතට වතුර දමා රැුයක් තැබීමෙන් ශරීරයට හිතකර බැක්ටීරියා (බැක්ටීරියා) නිපදවීමක් සිදුවෙයි. එහෙයින් දියබත  ප්‍රෝබයොටික් අඩංගු ආහාරයක් ලෙස හැඳින්විය හැක. නුතන වෛද්‍ය විද්‍යාව ප්‍රෝබයෙඳීටික් හඳුනාගැනීමට පෙර දේඳශ්‍රීය චිකිත්සාව තුළ එය හඳුනාගෙන තිබු බවෙ දියබත හොඳ සාක්‍ෂියකි. දියබතෙහි ගුණාත්මක භාවය ගැන කතා කළහොත් මෙය ඖෂධයකි. අනිකුත් ආහාර වර්ග පාලනයත් සමග සතියකට දෙතුන් වතාවක් දියබත් ආහාරයට ගැනීමෙන් හෝ දිනපතා සති 2 ක් තුනක් පමණ දියබත් ආහාරයට ගැනීමෙන් කොයි කාටත් කරදරකාරී  අම්ල පිත්ත රෝගය හෙවත් ගැස්ට‍්‍රයිටිස්   රෝගය සුවවෙයි. 
ගැස්ට‍්‍රයිටිස් පමණක් නොව උදරගත තවත් රෝග ගණනාවකට ඉන් සුවය ලද හැක.  විශේෂයෙන්ම ශරීරයේ ඇතිවන උෂ්්ණාධික බව නිසා ඇතිවන යම් යම්  දැවිලි ගති ඇති අයට මෙන්, කට තොල් පැළෙන අයට, බඬේ තුවාල තියෙන අයට මෙය හොඳ ඖෂධයකි. කට තොල් පැළීම උෂ්්ණය නිසා සිදුවේ යැයි පැවැසුවද මෙයට මූලික වශයෙන් හේතුවන්නේ විටමින් ඌනතාවය  යැයි සැලකෙන අතර එම විටමින් ඌනතාවයද මෙම දියබත් ආහාරයට ගැනීම මගින් සම්පුර්ණ වේ.  බී විටමින් ඌනතාවය ඇති අයටද දියබත්  ඉතා හොඳ ආහාරයකි. කට තොල් පැළීම හා උෂ්ණ ගතිය සමනය කිරීමේ ගුණයක් දිය බත්වල අඩංගුය. 
දියබත් රස කර ගැනීමට යම් යම් දේ උපයෝගී කර ගැනීම ගැටලූවක් නැත. එහෙත් දියබත් සඳහා පොල් කිරි අඩංගු කිරීමෙන් දියබත්වල ගුණාත්මක භාවය වැඩිවේ.  පොල්කිරි ශරීරයේ උෂ්්ණාධික බව නැති කරන සෞඛ්‍ය සම්පන්න ආහාරයකි. එමෙන්ම පොල්කිරිවලින් ශරීරයට  හොඳ මේද ලැබේ.
දියබත් ආහාරයට ගැනීම මගිින් සෙම් රෝගී තත්ත්වයෙන් පසුවෙන අයගේ සෙම් ගතිය වැඩි වන බවට සමාජයේ මතයක් පවතී. සැබවින්ම මෙය ඉතා සාවද්‍ය මතයකි. එපමණක්ද නොව  පිළිිකා වැළැක්වීමේ මෙන්ම කොලෙස්ටරෝල් පාලන ගුණයක් ද දියබත්වල ඇත. එහෙයින් දියබත් බෝ නොවන රෝග මර්දනයට යොදා ගත හැකි බව පැවැසිය හැක. 
ශාක ආහාර ගන්නා අයට විටමින් B 12 කාණ්ඩය නොලැබේ යැයි මතයක් පවති. එහෙයින් දියබත් සෑදීමේදී නිෂ්පාදනය වන බැක්ටීරියා මගින් විටමින් B12 කාණ්ඩය නිපදවෙන බවට සොයාගෙන ඇති අතර එහෙයින් දියබත් ආහාරයට ගැනීමෙන් විටමින් 12 කාණ්ඩයද ශරීරයට ලැබේ. 
 
චමිලා අල්විස්

ශ්‍රී ලංකාවේ ‍පොදු ප්‍රවාහන ක්‍ෂේත්‍රයේ ඇති අඩුපාඩු නිසා දශක කිහිපයක සිට විකල්ප ප්‍රවාහන මාධ්‍යයට විශාල ඉල්ලුමක් නිර්මාණය වෙමින් පවතී. ත්‍රිරෝද රථ පාසල් වෑන් රථ, කාර්යාල ප්‍රවාහන සේවා, මෙකී විකල්ප ප්‍රවාහන ක්‍රමයන්ට හොඳ උදාහරණය. එහෙත් මේ අතරින් වඩාත් තදින් සමාජ ගතව ඇති විකල්ප ප්‍රවාහන මාධ්‍ය වනුයේ ත්‍රිරෝද රථයයි. සංඛ්‍යාත්මකව ලක්ෂ 8කට ආසන්න වන ත්‍රිරෝද රථවලින් යැපෙන මුළු සංඛ්‍යාව මිලියන දෙක ඉක්මවයි. එහෙත් මේ අවස්ථාව වන විට ත්‍රිරෝද රථ හිමියන් සහ එකී යැපෙන්නන් සිටිනුයේ දෙළොවක් අතරය. ඊට හේතුව පසුගිය අයවැයෙන් ත්‍රිරෝද රථ වෙනුවට කුඩා මෝටර් රථ හඳුන්වාදීමට යෝජනා කිරීමය. මේ ත්‍රිරෝද රථ රියැදුරන් සුපුරුදු තුන් රෝදය අතහැර කුඩා මෝටර් රථයකට හෝ විදුලි ත්‍රිරෝද රථයකට යෑමට දක්වන කැමැත්ත අකමැත්ත පිළිබඳ ලක්බිම ඉරිදා සංග්‍රහය කළ විමසුමක තොරතුරුය. 
මුලින්ම අපට මුණගැසුණේ  ආමර්වීදියේ ත්‍රිරෝද රථ රියැදුරු ගුණදාසය. ඔහු අපිට කීවේ මෙවැනි කතාවකි. 
මම ගුණදාස. දැනට අවුරුදු 15ක් විතර වෙනවා මම ත්‍රීවීල් එක අතට අරගෙන. මම නම් හිතන්නේ නැහැ ත්‍රීවීල් එක වෙනුවට කාර් එකක් ආදේශ කිරීම හරියනවා කියලා. දැන් අපිට කරන්න යන්නේ ඉස්සර වොක්ස්වැගන් මයිනර් කාර්වලට කරපු දේ. ඒ තත්ත්වේට තමයි අපිව ඇදලා දාන්න යන්නේ. දැන් අපි ඉන්න තත්ත්වයත් එක්කම ලක්ෂ හතාමාරක් ගෙවලා ත්‍රීවීල් එකක් ගන්නත් අමාරුයි.  ඉතින් අපි කොහොමද ලක්ෂ 13ක් ගෙවලා ඉලෙක්ට්‍රික් ත්‍රීවීල් එකක් හරි ලක්ෂ 14ක් ගෙවලා කාර් එකක් හරි ගන්නේ ඔහු විමසනුයේ ආවේගශීලීවය. 
ග්‍රෑන්ඩ්පාස් ආමර් වීදිය පසුකරමින් ඉදිරියට ගිය අපට ඊළඟට හමු වූයේ කොටහේන මංසන්ධියේ ත්‍රිරෝද රථ නැවතුමේ ආනන්දය. මේ ඔහුගේ අදහසය.
ඔය රජය ත්‍රීවීල් වෙනුවට කාර් දීලා කරන්න යන්නේ බොරුම බොරු වැඩක්. ඒ වගේම ඉලෙක්ට්‍රික් ත්‍රීවීල්වලට මාරු වෙන්න මගේ නම් කිසිම එකඟතාවයක් නැහැ. මොකද අපි දැන් දුවන ත්‍රීවීල් එක සාමාන්‍යයෙන් අපිට පෙට්ට්‍රල් ටිකක් ගහගෙන ඕන තැනක යන්න පුළුවන්. ඒත්  ඉලෙක්ට්‍රික් ත්‍රීවීල් එකක බැටරියක් ලක්ෂ එකහමාරක් දෙකක් විතර වෙයිනේ. 
ත්‍රීවීල් විතරද අනාරක්ෂිත. ඇයි යතුරුපැදි ආරක්ෂිතද. ඔය කාර්වලින් ලොක්කෙකුට කොමිස් එකක් යනවා ඇති, ඒකයි ඔය දඟලන්නේ. ඒ ආනන්දගේ අදහසය. 
කොච්චිකඩේ මංසන්ධිය අසල වූ ත්‍රිරෝද රථ ගාල වෙත අප ඊළඟට පැමිණියෙමු. 
සඳුන් ප්‍රියදර්ශන අපට මුණගැසුණේ එහිදීය මම සඳුන් ප්‍රියදර්ශන. දැනට ත්‍රීවීල් හයර් කරන්න පටන් අරගෙන අවුරුදු දහ අටක් විතර වෙනවා. 
අපි ළඟ තිබෙන ත්‍රීවීල් අරගෙන අපිට හොඳ කාර් එකක් ලැබෙනවාට හැමෝම කැමති වෙනවා නම්, අපිටත් ඉතින් කැමති වෙන්න තමයි වෙන්නේ. අපේ රට දියුණු වෙනවා නම්, ත්‍රීවීල් රියැදුරෙක් වුණ අපිට කාර් එකක රියැදුරෙක් වෙන්න පුළුවන් නම් ඉතින් අපිත් කැමතියි කාර් ගන්න. අපිට සාධාරණ මිලකට ඒ කාර් එක ගන්න පුළුවන් වෙනවා නම් තමයි හොඳ. රටට හොඳක් වෙනවා නම් ඉතින් එච්චරයිනේ අපිටත් ඕනේ. 
ඒ ත්‍රිරෝද රථ පිළිබඳව ළඟ එන අර්බුදය ගැන සඳුන් ප්‍රියදර්ශනගේ සුභවාදී අදහසය. 
කොළඹ කොටුව කාගීල්ස් ගොඩනැගිල්ලට සමීපව ත්‍රිරෝද රථ ගා‍ලේ රියැදුරු මහතෙකු වූ ඩබ්.කේ. ලක්ෂ්මන් මේ පිළිබඳව අදහස් දක්වා සිටියේ මේ ආකාරයටය. 
අපි නම් ත්‍රීවීල් එක වෙනුවට කාර් එකක් දෙනවට ඉහළින්ම කැමතියි. මේ වගේ දේවල්වලට අකමැති වෙනවා නම් අකමැති වෙන්නේ දියුණු වෙන්න කැමති නැති මිනිස්සු.මම නම් මේ වෘත්තිය කරන්න පටන් අරගෙන දැනට අවුරුදු දහයක් වෙනවා. ඉතින් රියැදුරා වෙනස් වෙන්නේ නැතිව අපිටත් කාර් එකක් ලැබෙනවා නම් කොච්චර හොඳයිද? 
බොහෝ තරුණයන් පමණක් මෙම මෝටර් රථ ආදේශ කිරීමේ ක්‍රමවේදයට එකඟ බව මුලදී අප අනුමාන කළද 55 වැනි වියේ පසුවන ඩබ්.කේ. ලක්ෂ්මන් පෙරේරාගේ පිළිතුර අනුව මෝටර් රථයට මාරු වෙන්න කැමති වැඩිහිටි ත්‍රිරෝද රියැදුරන්ද සිටිනා බව අපට අනාවරණය කරගත හැකි විය. 
අපේ ඊළඟ නැවතුම වූයේ පිටකොටුව ‍පොදු වෙළෙඳ‍පොළ සංකීර්ණය අසල ත්‍රිරෝද රථ නැවතුමය.  
අයියෝ මිස්, ඔය අයවැයට ඉදිරිපත් වෙන හැම යෝජනාවක්ම අපේ රටේ වෙනවද, නැහැනේ. ඒ වගේ තමයි ත්‍රීවීල් වෙනුවට ඔය කියන විදිහේ ඉලෙක්ට්‍රික් ත්‍රීවීල්වත් කාර්වත් ගේනවා කියන එකත් බොරු පුරාජේරු විතරයි. 
කෙසේ වුවත් ඔහුගෙන් ලද පිළිතුරේ පවතිනුයේ අපේ රටේ පාලන තන්ත්‍රය ගැන කිසිදු විශ්වාසයක් රටවැසියාට නොමැති බවය.
මින් අනතුරුව කොළඹ අලුත්කඩේ අධිකරණ සංකීර්ණය ආසන්නයේ ත්‍රිරෝද රථ නැවතුම් ‍පොළක රියැදුරු මහතුන් තිදෙනකු සමගම එකවර කතා කරන්නට අපට අවස්ථාව ලැබෙන්නේය. 
මුලින්ම අප හා අදහස් පළ කර සිටියේ ර්.ඉ.ර්. ෆවුමිය. ඔහු අවුරුදු 22ක් පුරා ත්‍රිරෝද රථ රියැදුරෙකු ලෙස සේවය කරන්නේය. 
එක එක ආණ්ඩු එනකොට ඉතින් එක එක විදිහේ දේවල් අපිට කියනවනේ. දැන් ගිය බජට් එකේ අපිට මොනවද  කිව්වේ සහනාධාර දෙනවා කිව්වා, පැන්ෂන් දෙනවා කිව්වා,  අපිට හැඳුනුම්පතක් දීලා නිල ඇඳුමක් දෙනවා කිව්වා. කෝ අපිට ඒවා දුන්නද නැහැනේ. හැමෝගේම බොරුවට කතාව විතරයි. කිසිම පිළිවෙළක් නැහැ. කාර්, ඉලෙක්ට්‍රික් ත්‍රීවීල් ගේනකම් මේ ආණ්ඩුව තියේද දන්නේ නැහැනේ. ඒ නිසා අපි බලං ඉන්නවා වෙන දේ. 
ත්‍රිරෝද රථ රියැදුරෙකු ලෙස වසර 35ක පළපුරුද්දක් ඇති රවුමී, මිස් මටත් තියෙනවා කියන්න දෙයක්, කියමින් අප හා කතාවට එක් විය. 
මිස් අපිට පුදුම කට්ටක් කන්නේ. අපි අවුරුදු 35ක් විතර දුවනවානේ. ඉතින් අපෙන් තාම කාටවත් අනතුරක් වෙලා නැහැනේ. ආරක්ෂිත නැහැ කියලා ත්‍රීවීල් එක අයින් කරන්න යනවා නම් ඒක කොච්චර අසාධාරණයක්. අනාරක්ෂිත නම් ඒ රියැදුරන්ව දැනුවත් කරන්න ඕනේ. එහෙම කියලා ත්‍රීවීල් අයින් කරලා හරියන්නේ නැහැනේ. 
අවසානයේදී අප ළඟා වූයේ ග්‍රෑන්ඩ්පාස් කොළඹ 14, සුගතදාස ක්‍රීඩාංගණය ආසන්නයේ වූ ත්‍රිරෝද රථ ගාලක් වෙතය. එහිදී මුණගැසුණ රියැදුරු නිශාන්ත අපට අදහස් දක්වා සිටියේ මෙසේය. 
අපි නම් ඔය කියන කාර් එකටවත් ඉලෙක්ට්‍රික් ත්‍රීවීල් එකටවත් ‍පොඩ්ඩක්වත් කැමති නැහැ. අපේ ත්‍රීවීල් රට පටවලා අපිට ඒ වෙනුවට කාර් එකක් හරි ඉලෙක්ට්‍රික් ත්‍රීවීල් එකක් හරි දෙන්න යනවා නම්, අපි කියන්නේ එහෙනම් අපේ ත්‍රීවීල් එක අරගෙන අපිට ඔය කියන වාහන දෙන්න කියලා. එහෙම නැතුව තව අතිනුත් සල්ලි දෙන්න අපිට පුළුවන්කමක් නැහැනේ. 
මේ අනුව පැහැදිලි වන්නේ, බහුතරයක් වූ ත්‍රිරෝද  රථ රියැදුරන් වෙනත් ආදේශ වාහන ලබා ගැනීම ප්‍රතික්ෂේප කරමින් සිටින බවය. කෙසේ නමුත් රෝද තුනට තහංචි පනවා රෝද හතරට මාරුවීමට අකමැති රියැදුරන්ට ඇති ගැටලුව නම්, හඳුන්වාදීමට යන්නා වූ විදුලි ත්‍රිරෝද  රථයේ හෝ කුඩා මෝටර් රථයේ මිල ගණන් දරාගන්නට නොහැකි වීම බව මෙහිදී පැහැදිලි විය. ඒ අනුව යෝජිත ත්‍රිරෝද රථ තහනම රට තුළ බලවත් කලබගෑනියක් ඇති කරනා බව නම් නොකියාම බැරිය. ත්‍රිරෝද රථය පැදවූ හස්තය මෝටර් රථයක් පදවන්නේ නම් එය ඔවුන්ගේ වෘත්තීය සුදුසුකම ඉහළ යාමකි. ත්‍රිරෝද රථ රියැදුරන් මෝටර් රථයේ සුක්කානම කරකවන්නට අකමැත්තක් නැත. ඔවුන් දරන්නට අකමැති එහි මිල ගණන්ය. 
 
සමන්මලී නැලිගම
 
ඡායාරූප: ප්‍රියන්ත ගමගේ

මේ කාලයේ දී ශ්‍රීපාදස්ථානය ගැන වැඩිපුර කතාබහ කරන්නේ, මේ සිරිපා වන්දනා සමය නිසාය. බුදුරදුන්ගේ සිරිපතු‍ලේ පිහිටීම දැකබලා පුද පූජා කරනු වස්, වාර්ෂිකව මහ පිරිස් ශ්‍රීපාදය වන්දනා කරති. එහෙත් පසුගිය දිනෙක ශ්‍රීපාදස්ථානය ආසන්න ප්‍රදේශය ගැන වැඩි වශයෙන් කතාබහට ලක්වූයේ, ඒ නිසාම නොවේ. ශ්‍රීපාද රක්ෂිතයට නුදුරින් ගල්තලාවක හමු වූ මිනිස් පාදවලට සමාන පා සටහන් යුගලයක් සොයා ගනු ලැබිමත් සමගිනි.
මස්කෙළිය, ගාඩ්මෝර් ප්‍රදේශයේ ශ්‍රීපාද රක්ෂිතයට ආසන්නව “නිව් ෆෝග්මෝර්” පෞද්ගලික තේවතු යායේ ගල්තලාවක තිබි, ඉකුත් පහළොස්වන දා  මෙම පා සටහන් සොයා ගෙන ඇත්තේය. අඩි එකහමාරක පමණ දිගකින් යුතු මෙම පා සටහන් අඟල් තුනක් පමණ ගල්තලාව යටට ගිලා බැස ඇතැයි කියැවේ. මාවුස්සාකැ‍ලේ ජලාශයට ඉහළින් ශ්‍රීපාද රක්ෂිතය ආසන්නයේ පිහිටා තිබෙන මෙම පාද සටහන්වලින් දකුණු පාදය ඉතා පැහැදිලිව දර්ශනය වන බවත්, වම් පාදයේ සටහන තරමක් මැකී ගොස් ඇති බවත්, ප්‍රදේශවාසීහු පවසති. මෙම පාද සටහන් මුලින්ම දැක තිබුණේ, තේවතු යායේ කටයුතු කරන කම්කරුවන් පිරිසක් විසිනි. ඔවුහු මේ සටහන දැකි සැණින් එය කහ වතුරෙන් සෝදා පුද සත්කාර කරන්නට පටන් ගෙන ඇත්තෝය.
මස්කෙළිය සාමිම‍ලේ මාර්ගයේ ග්ලැනුජි මංසන්ධියෙන් හැරී ගාඩ්මෝර් මාර්ගයේ යන විට නිව් ෆෝග්මෝර් තේවතු යාය හමුවේ. තේවතු යායේ පිහිටි මේ පා සලකුණ ඇති ස්ථානයට යාමට තිබෙන මාවත ඉතා දුෂ්කර මාර්ගයකි. එහෙත් මේ ගැන කන වැකුණු දිනයේ පටන් මේ දක්වාමත්, මේ දුෂ්කර බව නොතකා එය දැක බලාගන්නට එන පිරිස අතිමහත්ය. මස්කෙළිය නගරයේ සිට කිලෝමීටර විසිපහක් පමණ දුරින් පිහිටි මෙම ස්ථානය වෙත විශාල පිරිසක් ෙදෙනිකව ගමන් කරමින් සිටිති. 
ගල් පර්වතයක් මත ගිලා බැස ගිය පා සලකුණක හැඩයක් ගැන මීට කලින් අපට අසන්නට ලැබුණේ, ඩෙල්ෆ්ට් දූපතේ හිරිගල් තට්ටුවක් මතිනි. ඒ ගැන දුටුවන් පැවැසූයේ, මේ දූපතේ අතීතයේ විසූවා යැයි ජනප්‍රවාදයේ සඳහන් වන යෝධ මිනිසෙකුගේ පා සටහන එලෙස පිහිටා ඇති බවය. ඇතැම්හු මෙය ආදම්ගේ පා සටහන යැයි විශ්වාස කළහ. එහෙත් පුරාවිද්‍යාඥයන් පැවැසූයේ, එය වර්ෂාවත් සමග කාලයක් ගත වෙද්දී පර්වතය ඛාදනයට ලක්වීම නිසා හටගත් සලකුණක් බවය.
මස්කෙළිය ප්‍රදේශයේ පිහිටි මෙම අඩි සලකුණු ද එලෙස පර්වත ඛාදනය වීමත් සමග ඇතිවන තත්ත්වයක් දැයි අපි පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය පී. සී. මණ්ඩාවලගෙන් විමසුවෙමු. 
මෙම පාද සටහන් සම්බන්ධයෙන් පුරාවිද්‍යා නිලධාරීන් කරන ලද පරීක්ෂණයෙන් පැහැදිලි වන අන්දමට මේ ආකාරයේ පා සටහන් එම ගල් තලාව පුරාම පැතිරී පවතින්නේ යැයි, පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් පී.සී. මණ්ඩාවල පවසන්නේය. ඔහු පෙන්වා දෙන්නේ මෙම සලකුණු දෙක එක ළඟ පිහිටි දෙකක් බැවින් ඒවා පාද සටහන් ලෙස පෙනෙන ආකාරයට සකසා ගෙන ඇති බවයි.
“මේ ප්‍රදේශයෙන් මීට කලින් කිසිදු අවස්ථාවක පුරාවිද්‍යාත්මක සාධක ලැබිලත් නැහැ. අපේ නිලධාරීන් නිරීක්ෂණ කර ඇති ආකාරයට ඒවා පර්වත ඛාදනයත් සමග ස්වභාවිකව නිර්මාණය වූ සලකුණු. ඒ වගේම ඒ සලකුණුවල කකුලෙ ඇඟිලි වගේ පෙනෙන කොටස් පසුකාලීනව මිනිසුන් විසින් නිර්මාණය කළ ඒවා බව පැහැදිලිව පෙනෙන්නට තිබෙන බව පරීක්ෂණයට සම්බන්ධ වුණු පුරාවිද්‍යා නිලධාරීන් විසින් තහවුරු කොට තිබෙනවා.” ඔහු පෙන්වා දෙන්නේය.
කෙසේ වෙතත්, මහාචාර්ය මණ්ඩාවල පවසන්නේ, අවශ්‍ය වුවහොත් පුරාවිද්‍යා විශේෂඥයන් ලවාද මෙම ස්ථානය පරීක්ෂාවට ලක්කිරීමට කටයුතු කරන බවය.
පුරාවිද්‍යා චක්‍රවර්තී, එල්ලාවල මේධානන්ද හිමියන් පවසන්නේ, විවිධ පුරාවිද්‍යා පර්යේෂණ සඳහා වනාන්තරවල සංචාරය කරද්දී, මේ ආකාරයෙන් ගල්මත සටහන් වූ පා සටහන් ආකාරයේ විවිධ සලකුණු තමන්ට ද හමු වී ඇති බවය. කිසිවෙකුගේ පා සලකුණක් සේම බැලූ බැල්මට දිස්වන නමුත්, ඒවා කාලයක් ගත වන විට පර්වත ඛාදනයට ලක්වීම නිසා ස්වභාවිකවම 
ඇති වූ සලකුණු බව නිරීක්ෂණය වී ඇති බවය.
“මස්කෙළිය ප්‍රදේශයේ තිබෙන මේ පා සලකුණුවල ඡායාරූප අනුව බලන විට නම්, මේ සලකුණුත් එලෙස ස්වභාවිකව හැදුණු වළවල් වගේ තමයි පෙනෙන්නේ. නමුත් ඒ ගැන ළඟට ගිහින් පරීක්ෂා කරන තෙක් නිශ්චිතව යමක් ප්‍රකාශ කරන්න බැහැ.” උන්වහන්සේ පෙන්වා දෙන්නේය.
මේධානන්ද හිමියන් පවසන්නේ තමන් ඉදිරි දිනයක දී එම ස්ථානයට ගොස් ඒ සම්බන්ධයෙන් පරීක්ෂා කිරීමට සැලසුම් කර ඇති බවය. 
කෙසේ වතුදු මෙම ස්ථානය ගැන සැලවූ අවස්ථාවේ සිට, මේ දෙවියන්ගේ පා සටහනක් යැයි විශ්වාස කළෝ, එම ස්ථානය වන්දනා මාන කරන්නට පටන්ගෙන ඇත්තෝය. ඇතැම්හු එම ස්ථානය කහ දියරෙන් නාවන අතර, විවිධ පැහැයේ මල් ඒ වටා තබමින්, නොයෙක් ආකාරයෙන් වන්දනා කරති.
විශේෂයෙන්ම හින්දු භක්තිකයන් මෙම ස්ථානය දැක බලා ගැනීමට ගොස් මහත් භක්තියකින් එම ස්ථානයට වන්දනා මාන කරන බවක් පෙනෙන්නට ඇත. ඔවුන් පවසන්නේ, මේ පා සටහන් “රාම” නොහොත් “ආන්ජනියර්” දෙවියන්ගේ පා සටහන් බවට තමන් විශ්වාස කරන බවය. එම ස්ථානය වැඳපුදා ගැනීම සඳහා ආසන්න ප්‍රදේශවලින්  පැමිණෙන ඇතැම් හින්දු කාන්තාවන් මේ ස්ථානයේ දී ආවේශයකට පත්වන බවක් ද කියැවේ.
 
ගයාත්‍රි ගීගනආරච්චි

දේශපාලනඥයකු විසින් ගුරුවරියක දණ ගැස්සවීමේ සිදුවීමකින් ලාංකික සමාජය මුල් වරට තැති ගත්තේ අදින් වසර හතරකට පමණ පෙරදිය. ඒ වයඹ පළාතේ ආණමඩුව ප්‍රදේශයේ සිදු වූ අවාසනාවන්ත සිදුවීමකිනි. එකී අවාසනාවන්ත සිදුවීම යළි සිහිපත් වීමක්, නැතහොත් එහිම කාබන් කොපියක් පසුගියදා කරළියට පැමිණියේය. ඒ ඌව පළාතේ අගනගරය වූ බදුල්ලෙනි. මෙවර සිදුවීමට මුල් වී ඇත්තේ ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායකය. පළාත් මහා අමාත්‍ය ධුරයට අමතරව එහි අධ්‍යාපන අමාත්‍ය ධුරයද දරන ඔහුගේ හිංසනයට ලක් වූයේ බදුල්ල දෙමළ බාලිකා විද්‍යාලයේ විදුහල්පතිනිය වන භවානි රඝුනාත්ය. 
බදුල්ල දෙමළ බාලිකාවේ විදුහල්පතිනිය අන් ගුරුවරුන් මෙන්ම 2018 වසර ඇරඹුවේ යහපත් බලා‍පොරොත්තු ගොන්නක් හද පුරවාගෙනය. අන් විදුහල්වල මෙන් ඇයගේ විද්‍යාලයද පළමු වසරට කරන සිසු බඳවා ගැනීම් නිසා මේ දිනවල බොහෝ කාර්ය බහුලව තිබුණි. එකී කාර්ය බහුල බව මදිවාට දේශපාලන බල අධිකාරියේ ඇත්තන් කරනා බලපෑම් හා ඇඟිලි ගැසීම් නිසා මේ දිනවල බොහෝ විදුහල්පතිවරුන් ගත කරන්නේ පීඩාකාරී ජීවිතයකි. මෙම තත්ත්වය බදුල්ල දෙමළ බාලිකාවේ විදුහල්පතිනියටද නොපෑවාම නොවේ. 
කෙසේ වෙතත්  පසුගිය 2 වන දා භවානි රඝුනාත් විදුහල්පතිනියට හදිසි දුරකථන ඇමතුමක් ලැබෙන්නේය. ඒ ඌව පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ සන්ධ්‍යා අඹන්‍පොලගෙනි. ඉන් කියවෙන්නේ  ඌව පළාත් මහ ඇමැති චාමර සම්පත් දසනායකගේ නිල නිවසට ගොස් ඔහු  මුණගැසෙන ලෙසයි. දේශපාලනයේ නියුතු වූවන් මුණගැසීමට එතරම් කැමැත්තක් නොතිබුණද තම ඉහළ නිලධාරිනියගේ නියෝගය නොතකා හරින්නට භවානි රඝුනාත් විදුහල්පතිනියට නොහැකි විය. කෙසේ වෙතත් ඇය මහ ඇමැතිගේ නිල නිවසට  යන විට තවත් නිලධාරීන් කිහිප දෙනෙක්ම එහි විය. එබැවින් ඇයටද අස්වැසිල්ලක් හිමි විය. එහෙත් මහ ඇමැති වරයා හමුවේ ඇය පත් වූයේ නොසිතූ විරූ අකරතැබ්බයකටය. එතැන් සිට සිදු වූ දේ විදුහල්පතිනිය මාධ්‍යයට පැවැසුවේ මෙසේය. 
මහ ඇමැති තුමා මට නොනවත්වාම බැණගෙන ගියා. ඒක අහගෙන ඉන්න පුළුවන් එකක් නොවේ. මට කතා කරගන්න බැරි වුණා. ඉතා දරුණු විදියට මහ ඇමැති මට බැන්නා. ඒ අවස්ථාවේ මට ලොකු පීඩනයක් දැනුණා. ඒ වගේම බයකුත් දැනුණා මගේ ජීවිතේ ගැන. එතන හිටපු කිසිම නිලධාරියෙක් එක වචනයක් මා වෙනුවෙන් කීවේ නෑ. පීඩනය දරාගන්නට බැරි කමයි මගේ ජීවිතය හා ඇති වුණ බයයි නිසා මම මහ ඇමැති ළඟ දණ ගහලා වෙරි සොරි කියලා කීවා. 
මහ ඇමැති නිල නිවසේ සිදු වූ මෙකී සිදුවීමට හේතුව පළමු වසරට ළමුන් බඳවා ගැනීම  සම්බන්ධව ඇති වූවකි. මෙවර පළාත් පාලන මැතිවරණයට තරග වදින මොහොමඩ් උසයින් නම් අපේක්ෂකයාගේ මස්සිනාගේ දියණිය බදුල්ල දෙමළ බාලිකාවට ඇතුළත් කරගන්න ලෙස දක්වමින් මහ ඇමැතිවරයා විදුහල්පතිනියට  ලිපියක් නිකුත් කර ඇත. 
කරුණු දෙකක් උඩ විදුහල්පතිනියට එකී ඉල්ලීම ඉටු කළ නොහැකි විය. 
පළමුවැන්න ඒ වන විටත් පළමු වසරේ බඳවා ගැනීම් විධිමත්ව නිමවී තිබිමය. දෙවැන්න රජයේ සේවකයකු ලෙස මැති ඇමැතිවරුන්ගේ නියෝග ක්‍රියාත්මක කිරීමට ඇය බැඳී නොසිටීමය. එබැවින් එම ලිපිය රැගෙන ආ තැනැත්තාට ඇය පවසා සිටියේ පළාත් අධ්‍යාපන ‍ලේකම්ගේ නිර්දේශයක් ලබා ගන්නා ලෙසය. විදුහල්පතිනියගේ නීත්‍යනුකූල පිළිතුරට කෝපාවිශ්ඨ වූ මහ ඇමැතිවරයා මෙලෙස ඇය නිල නිවසට ගෙන්වා දෝෂාරෝපණය කර ඇත. 
කෙසේ වෙතත් පාසලට ගිය සැණින් විදුහල්පතිනිය සිදු වූ සියලු දේ අකුරක් නෑර ලොග් සටහන් ‍පොතේ සටහන් කිරීමට අමතක 
නොකළාය. එය කරන අතරතුර විදුහල්පතිනිය දුරකථනයෙන් අමතන කලාප අධ්‍යක්ෂවරයා පවසනුයේ මහ ඇමැතිතුමා දොස් කියූ බව කිසිවෙකුටත් නොකියන ලෙසයි. එපමණක් නොව පාස‍ලේ සංවර්ධන කටයුතු ගැන සාකච්ඡා කළ ලෙස පවසන  ලෙසත් ඔහු ඇයට බල කරන්නට විය.
එහෙත් මේ සිදුවීම එලෙස යටපත් කළ හැකි එකක් වූයේ නැත. පළාත් මහ ඇමැතිගේ නිවසේදී විදුහල්පතිතුමිය හිංසනයට ලක් වූ පුවත සමාජයට කාන්දු වන්නට විය. ජ.වි.පෙ. ඌව පළාත් සභා මන්ත්‍රී සමන්ත විද්‍යාරත්න බණ්ඩාරවෙල කැබිල්ලවෙල පැවැති රැස්වීමකදී මේ සිදුවීම එළිපිටම කතා කරමින් මහ ඇමැතිවරයාට චෝදනා කරන්නේ පසුගිය 8 වෙනිදාය. එම ප්‍රකාශය ඊට පසුදින මෙරට විද්‍යුත් මාධ්‍ය ඔස්සේ විකාශනය වීමත් සමග මහ ඇමැති වරයා සහ සිද්ධිය වන අවස්ථාවේ එහි සිටි නිලධාරීහු තැති ගත්හ. පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ  විදුහල්පතිනිය කැඳවා එවැනි දෙයක් නොවූ බවට ප්‍රකාශයක් කරන්නැයි බල කරන්නේ ඉන් අනතුරුවය. 
ඒ අතරතුර තමන්ට අපහාස කළ බව පවසමින් මහඇමැතිවරයා සමන්ත විද්‍යාරත්න සහ ප්‍රියන්ත වරුෂවිතාන නන්දන හපුගොඩ යන ජ.වි.පෙ. ක්‍රියාකාරිකයන්ට එරෙහිව ‍පොලීසියට පැමිණිල්ලක් කරන්නට විය. 
දසතින් එල්ලවන බලපෑම් හමුවේ විදුහල්පතිනිය යළිත් අසරණ වූවාය. එහි අවසන් ප්‍රතිඵලය පළාත් මහ අමාත්‍ය මාධ්‍ය ඒකකය හමුවේ ප්‍රකාශයක් කරන්නට ඇයට සිදුවීමය. සැබවින්ම එකී ප්‍රකාශය ඇයට කලින් ලියා දුන් එකක් විය. 
ඉන් අනතුරුව මෙම සිදුවීම යළි කරළියට එන්නේ පසුගිය 12 වැනිදාය. ඒ ඌව පළාත් සභාවේදීය. එහිදී පළාත් ප්‍රධාන අමාත්‍යවරයා සහ ජ.වි.පෙ. මන්ත්‍රී සමන්ත විද්‍යාරත්න අතර බරපතළ වාග් සංග්‍රාමයක් ඇති වන්නේය. ලංකා ගුරු සේවා සංගමය රාජ්‍ය සේවා කොමිෂන් සභාවට මෙම සිදුවීම පැමිණිලි කරන්නේ ඉන් අනතුරුවය. ඒ අතරතුර කැෆේ සංවිධානයද මෙම සිදුවීම මානව හිමිකම් කොමිෂන් සභාවට පැමිණිලි කරන්නේය. මෙම සිදුවීමට අදාළ ලොග් සටහන් තිබෙන බව රටට හෙළි වන්නේ මානව හිමිකම් කොමිසමේ නිලධාරීහු විමර්ශන ඇරඹීමත් සමගය. එකී ලොග් සටහන ඉවත් කිරීමට කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ උත්සාහ ගන්නේ ඉන් පසුවය. එහෙත් එය හිතූ තරම් පහසුවෙන් කරගන්නට නොහැකි වීම නිසා අර්බුදය දිග් ගැස්සෙන්නේය. 
ප්‍රකාශයක් මගින් එවැනි දෙයක් සිදු නොවූ බව පවසා ලොග් සටහනද ඉවත් කරන්නැයි විදුහල්පතිනියට  එල්ල වන බලපෑම් පැයෙන් පැය දැඩි වන්නට විය. සිය ඉහළ නිලධාරීන්ද දේශපාලනඥයන්ද ඇතුළු පාර්ශ්ව කිහිපයකින් එල්ල වන දරුණු බලපෑම් හමුවේ විදුහල්පතිතුමිය සිය වෘත්තීය සමිතියේ සාමාජිකයන් සහ වඩිවේල් සුරේෂ් වැනි දේශපාලනඥයන්ගේ උදව් පතන්නීය. එපමණක්ද නොව ඇය බදුල්ල සහකාර ‍පොලිස් අධිකාරිගේ උදව්ද පැතුවාය. වෘත්තීය සමිති නායකයන්, දේශපාලන පක්ෂ නායකයන් වැනි පාර්ශ්ව ගණනාවක් තමා වටා එක්වීමෙන් දිරි උපදවා ගන්නා විදුහල්පතිනිය තමා මුහුණ දුන් සත්‍ය අත්දැකීම මාධ්‍ය හමුවේ පැවසුවාය. ඒ පසුගිය 18 වනදාය. මහ ඇමැතිවරයා ‍පොලිස් අත්අඩංගුවට පත් වනුයේ ඉන් අනතුරුවය. කෙසේ වෙතත් මහ ඇමැතිවරයා දැන් සිටිනුයේ ඇප පිටය. ඔහුට එලෙස පහසුවෙන් ඇප ලැබිම ගැන සමස්ත ලංකා ගුරු සම්මේලනය පවසනුයේ ‍පොලීසිය බි වාර්තාව මගින් ‍පොලීසිය අධිකරණයට නිසි තොරතුරු ඉදිරිපත් නොකිරීම නිසා මෙලෙස ඇප ලැබුණ වගයි. 
ඌව පළාත් මහ ඇමැති පසුගියදා තමන් දැරූ අධ්‍යාපන අමාත්‍ය ධුරයෙන්ද ඉල්ලා අස්විය. ඒ සමගම ඌව පළාතේ දෙමළ අධ්‍යාපන කටයුතු බාර අමාත්‍ය    ධුරය සඳහා සෙන්දිල් තොන්ඩමාන් පත් කරන්නට යෙදින. අමාත්‍ය ධුරයේ දිවුරුම් දීමෙන් සුළු මොහොතකට පසු ඔහු බදුල්ල දෙමළ බාලිකා විද්‍යාලයට සිය පිරිවර සමග ගොස් ඇත. ඒ අවස්ථාවේදී ඉතා බරපතළ ලෙස ගුරුවරුන් ඔහුට විරෝධය පළ කර ඇත. 
මේ වන විට භවානි රඝුනාත් විදුහල්පතිනිය හිංසනයට ලක්වන අවස්ථාවේ එහි සිටි රාජ්‍ය නිලධාරීන්ට එරෙහිවද මානව හිමිකම් කොමිසමට පැමිණිලි ලැබි තිබෙන බව දැනගන්නට ලැබි ඇත. 
රජය, ළඟම පාසල හොඳම පාසල බවට පත් කරන බව  පැවැසුවද මැති ඇමැතිවරුන් තම දූ දරුවන් පමණක් නොව තම තමන්ගේ ආධාරකරුවන්ගේ දරුවන්ද ඇතුළු කරන්නට උත්සාහ ගන්නේ නම් දැරූ පාසල්වලටය. ඒ සඳහා ගුරුවරුන් දණ ගස්වන්නට නොව රටේම අධ්‍යාපනය කණපිට හරවන්නට වුවද ඔවුන් පසුබට නොවනා බව මෙවැනි සිදුවීම්වලින් තහවුරු වන්නේය. 
 
අරුණ ලක්ෂ්මන් ප්‍රනාන්දු

කුකුළු කර්මාන්තයේ වේගවත් දියුණුව සමග හන්දියක් හන්දියක් ගානේ අධිශීතකරණ සහිත සිල්ලර කඩවලින්  පවා කුකුල් මස් හා බිත්තර සුලබව මිලදී ගැනීමට ජනතාවට පහසුකම් සැලසිනි. එසේ වුවද  වෙළෙඳපොළේදී  කුකුල්මස් හා තරග කරන ශාක ප්‍රෝටීන අලෙවිකරණ ව්‍යාපාරිකයන්ගේ අලෙවිකරණ උපක‍්‍රම ලෙස සහ කුකුළු මස්  සකස් කිරීමේ කර්මාන්තය පිළිබඳ සැබෑ තත්ත්වය නොදන්නාකම නිසා බ්‍රොයිිලර් කුකුළු මස් සම්බන්ධව පාරිභෝගික සමාජයේ විද්වතුන්ගේ සිට ගෘහණිය දක්වා  විවිධ මතිමතාන්තර  පැතිරෙන්නට පටන්ගෙන ඇත. 
මෙකී මතිමතාන්තර බෙහොමයකට හේතු වනුයේ දින 35-40ක් වැනි කෙටි කාලයකින් ජීව බර 2 නට පමණ වර්ධනය වීමේ හැකියාව බ්‍රොයිලර්  කුකුළන්ට තිබීමය. පාරිභෝගික සමාජයේ ඇතැමුන්ගේ මතයට අනුව බ්‍රොයිලර් කුකුළන්ගේ ඉක්මන් වර්ධනය සිදුවන්නේ විවිධ රසායනික සහ එන්නත් ලෙස ලබා දෙන හොමෝන නිසා බව නිරන්තර කසුකුසුවට ලක්වේ.
Broiler Chicken ලෙස සාමාන්‍ය භාවිතයේදී හඳුන්වන මෙම කුකුළන්, කාර්යක්ෂම දේහ වර්ධනය සහිත මවුපිය පරම්පරාවේ කුකුළන් තෝරාගෙන අභිජනනය කිරීම තුළින් අද දවසේ පවතින බ්‍රොයිලර් කුකුළන් බවට පරිණාමය වී ඇත. 
මාංශ වර්ධනය වෙනුවෙන් මවුපිය පරම්පරාවෙන් ලැබුණු ජානමය හැකියාව සහිත දිනක් වයසැති බ්‍රොයිලර් කුකුළු පැටවුන් සදහා ප‍්‍රමිතිගතව සකස් කරගත් කුකුළු නිවාසයක ඇති කිරීමේදී එම සතුන් අපේක්‍ෂිත මට්ටමේ ශරීරයක් ලබාගනී. ඊට හේතුව කුකුළන්ට ලබාදෙන වර්ධක හෝමෝන බව ඇතැම්හු පවසති. නමුත් සත්‍ය කරුණ ඊට ඉඳුරාම වෙනස්ය. සැබැවින්ම එහිදී සිදුවනුයේ 
සුවපහසු අභ්‍යන්තර ගොවිපොළ පරිසරයකදී ප‍්‍රමිතිගත කුකුළු ආහාර බ්‍රොයිලර් කුකුළාගේ ආහාර ජීර්ණ පද්ධතියේදී ජීරණය වීමෙන් පසු ශරීරයට උරාගන්නා ග්ලූකෝස්, ඇමිනෝ අම්ල, මේද අම්ල විටමින් සහ ඛනිජ විවිධ වූ ජීව ක‍්‍රියාවන්ට කුකුළාගේ අක්මාව තුළදී භාජනය වීමය. එම ජීවකි‍්‍රයා මගින් සත්වයාගේ දිනපතා දේහ නඩත්තුව සහ මාංශ පේශී වර්ධනය සිදුකිරීමයි. වර්ධනය වූ මාංශ පේශී තුළ පසු අවශ්‍යතා සඳහා ශක්තිය ගබඩා කරයි.
මෙසේ ගබඩා කරගත් ශක්තියෙන් සීමාසහිත ඉඩ ප‍්‍රමාණයක් ඇති කුකුළු නිවාසයක (Intensive Farming- දෑඩි ක‍්‍රමය) දී සතාගෙන් වැයවන ශක්ති ප‍්‍රමාණය ඉතා අඩුය. එම නිසා, දිගින් දිගටම බ්‍රොයිලර් කුකුළන් වැඩෙන විට ශක්තිය තැන්පත්වීම වැඩිවීම නිසා දේහ වර්ධනයක් සත්වයාට ලැබේ. එසේ වුවද ක‍්‍රමානුකූලව එම වර්ධනය ස්ථාවරවීම වයස දින 49 පසු සිදුවේ. එසේ නොමැතිව වර්ධක හෝමෝන ඉන්ජෙක්ෂන් කිරීමක් හෝ බොන ජලයට දීමක් හෝ සිදු නොවේ. ශ‍්‍රී ලංකාවේ බ්‍රොයිලර් කුකුළු අභිජනන ගොවිපළවල්වලින් මසකට දැනට නිපදවන බ්‍රොයිලර් කුකුළු පැටවු සංඛ්‍යාව ආසන්න වශයෙන් ලක්ෂ 125 (12,500,000) කි. මෙකී ලක්ෂ 125ට ප‍්‍රසිද්ධ බොරුකාරයන් කියන ආකාරයට වර්ධක හෝමෝන ලබාදීම ප‍්‍රායෝගිිකව සිදුකළ හැකි ආකාරය එකී බොරුකාරයන්ගෙන්ම පාරිභෝගික ජනතාව අසා දැනගත යුතුය.
මනුෂ්‍යයන් වන අපටද ආහාරයෙන් ලැබෙන ශක්තිය වැයවන කි‍්‍රයා අඩුවූවහොත් එනම්, ව්‍යායාම කිරීමෙන් වැළකී සිටියහොත් අපද ස්ථුලතාවයට පත්වන බව නොරහසකි. 
පසුගිය දිනක ”ලක්බිම ඉරිදා සංග‍්‍රහය” පුවත්පතට ඉහත මාතෘකාව සම්බන්ධව අදහස් පළ කළ ලියුම්කරු කියා තිබුණේ කුකුළු මස් අනුභවය තුළින් අනිවාර්යෙන්ම හෘද රෝග, දියවැඩියාව වැළඳෙන බවය. ඒ සඳහා ඔහු උපයෝගී කරගත්තේ ඔමේගා-06 මේද අම්ල කුකුළු මස්වල වැඩි බවය. අපි ඔබව දැනුවත් කරන සත්‍ය නම් හෘද රෝග සම්බන්ධව  වඩා වැදගත් වන්නේ යම් ආහාරයක ඇති ඔමේගා-06 සහ ඔමේගා-03 මේද අම්ල අනුපාතය (RATIO) බවය. ඒ අනුව කුකුළු මස්වල ඔමේගා-06 සහ ඔමේගා-03 මේද අම්ල හිතකර අනුපාතයකින් පවතින බවත් එයට කුකුළු මස්වල ඇති සෙලනියම් (se) තවදුරටත් සහයෝගය දක්වන බවය. පිළිකා, හෘද රෝග, රුමැටික් සන්ධි රෝග හා HIVඅසාදිත රෝගීන්ට පෝෂණවේදීන්ගේ උපදෙස් අනුව ප‍්‍රමාණය තීරණය කර දෛනික ආහාරයට එක් කර ගැනීම සුදුසු බවය.^The open agriculture journal, 2011,Volume 5 / chicken meat rich in selenium and omega -3 fatty acids) යන පරීක්ෂණ පති‍්‍රකාව බලන්න. තවද මනුෂ්‍යාට කුකුළු මස් කෑමෙන් පමණක් හෘද රෝග, දියවැඩියාව සෑදුන බව සනාථ කළ හැකි විද්‍යාත්මක තොරතුරු සහිත සාක්ෂියක් ඉදිරිපත් කර අපගේ දැනුම වර්ධනය එකී ලියුම්කරුගෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිමි.
ශ‍්‍ර‍්‍රී ලංකාවේ සත්ව නිෂ්පාදන හා  සෞඛ්‍ය දෙපාර්තුමේන්තුව ලියාපදිංචි සත්ව අභිජනන ගොවිපොළ සංඛ්‍යාව 34කි. මෙකී  අභිජනන ගොවිපළවල්වලින් මසකට නිපදවන බ්‍රොයිලර් කුකුළු පැටව් සංඛ්‍යාව ලක්ෂ 125 (12,500,000)කි. මේ සෑම බ්‍රොයිලර් කුකුළු පැටියකුටම අක්මාවක් ඇත. ඒ අනුව දින 35-40ක් අතර ප‍්‍රමිතිගත  සත්ව ආහාර පරිභෝජනය කරමින්, සුවපහසු පරිසරයක වැඩුන බ්‍රොයිලර් කුකුළන් අවම වශයෙන් ලක්ෂ 100 ක් ශී‍්‍ර ලාංකීය ජනතාවගේ කුකුළු මස් අවශ්‍යතාවය සඳහා මස් පිණිස සකස් කිරීමට යොදාගනී. ඒ අනුව එක් සතෙකුට එක් අක්මාවක් තිබෙන නිසා අවම වශයෙන් අක්මාවන් ලක්ෂ 100ක් වෙළෙඳපොළට නිකුත් වේයැයි සිතමු. ගැටලූකාරී තත්ත්වයකට පත්වූ හන්තාන මූලික අධ්‍යයන ආයතනයේ 2017 පරීක්ෂණයේදී එකී විද්වත් ආචාර්ය දෙපළ විසින් යොදාගෙන තිබෙන නියැදි ප‍්‍රමාණය තීරණය කිරීම ඉහත සඳහන්  වෙළඳපොළේ පවතින කුකුලන්ගේ අක්මා ලක්ෂ 100ක් පිළිබඳව සැලකිල්ලට ගනිමින් කළ විධිමත් නියෝජිත සාම්පල් ප‍්‍රමාණයක් (Representative Sampling) වූවාද යන්න පාරිභෝගික ජනතාව තේරුම් ගත යුතුය.
2010 වර්ෂයේ ශ‍්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ රසායනික විද්‍යා  දෙපාර්තමේන්තුවේ ආචාර්යවරුන් විසින් සිදුකළ පරීක්ෂණය සදහාද කුකුල් මස් සාම්පල 15ක් පරීක්ෂා කර තීරණවලට එළඹ තිබුණු බව ඔවුන්ගේ පර්යේෂණ පති‍්‍රකාවේ සඳහන් වේ. ඒ පිළිබඳව කිවයුත්තේද පාරිභෝගික ජනතාවට වඩාත් නිවැරදි තීරණයකට එළඹීමකට නම් පිළිගත් ක‍්‍රමවේදයකට අනුව දැනට මසකට වෙළෙඳපොළට නිකුත්වන සකස් කළ කුකුල් මස් කිලෝ ලක්ෂ 150ට (15,000,000) ආසන්න කුකුළු මස් ප‍්‍රමාණය සැලකිල්ලට ගෙන විද්‍යාත්මක වූ නියෝජිත සාම්පල් ප‍්‍රමාණයක් මගින් එකී විද්වතුන්ගේ ඉලක්කගත අරමුණ පරීක්ෂා කර විද්වත් සභාවක් හා ලෝකයේ පිළිගත්  විද්වත් සඟරාවලට ඉදිරිපත් කරගන්නා ලෙසය.
බ්‍රොයිලර් කුකුළු පාලනය පිළිබද විධිමත් දැනුමක් නොමැති සහ ශ‍්‍රී ලංකාවේ සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය  දෙපාර්තමේන්තුවේ සත්ව ආහාර සම්බන්ධ රෙජිස්ට‍්‍රාර් තැනගේ කාර්යභාරය පිළිබඳ අවබෝධයක් නොමැති ලේඛකයකු සහ ශ‍්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ රසායන විද්‍යා දෙපාර්තමේන්තුවේ කුකුළු මස්වල ආසනික් ඇති බවට තොරතුරු ඉදිරිපත් කළ පර්යේෂණ මණ්ඩලය විසින්ද පසුගිය දිනවල පුවත්පත්වලට සඳහන් කර තිබුණේ ROXARSONE නමැති ආසනික් සහිත සත්ව ආහාර පරිපූරකයක් ශ‍්‍රී ලංකාවේ කුකුළන්ගේ ආහාරයට එක් කරගන්නා බවයි. මේ සම්බන්ධව එම පාර්ශ්වවල නොදන්නාකම පිළිබඳව අනුකම්පා කරමින් සහ වගකීමෙන් ප‍්‍රකාශ කරන්නේ ශ‍්‍රී ලංකාවේ සත්ව ආහාර පිළිබඳ රෙජිස්ට‍්‍රාර් තනතුරේ අතීතයේ සිටි සහ දැනට සිටින කිසිම පශු වෛද්‍යවරයකු ඉහත සඳහන් ROXARSONE ශ‍්‍රී ලංකාවට ගෙන්වීමට කිසිදු අවසරයක් නොදී ලබාදී නැති බවත් එමෙන්ම එකී රෙජිස්ට‍්‍රාර් තැනගේ අවසරයකින් තොරව කිසිදු ආහාර පරිපූරකයක් ශ‍්‍රී ලංකාවේ රේගුව හරහා මෙරටට ආනයනය කළ නොහැකි බවත්ය.
 
පශු වෛද්‍ය මංගල අමරසිංහ

2018 වසර සඳහා වන අයවැය යෝජනා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර මේ වනවිට මාස දෙකකට වැඩි කාලයක් ගතවී තිබේ. අයවැය යෝජනා ඉදිරිපත් වන තෙක් වාහනයක් මිලදී ගැනීමේ සිහිනය කල් දැමූ බොහෝදෙනා මේ දිනවල වාහන මිලදී ගැනීම කෙරෙහි වැඩි උනන්දුවක් දක්වති. මේ අතර, රථ වාහන වෙළෙඳ‍පොළේ ඇතිවී තිබෙන තරගකාරිත්වය හේතුවෙන් වාහන අලෙවියේදී නොයෙක් වංචනික ක්‍රියාවන්ද සිදුවන බව මේ දිනවල පාරිභෝගිකයන් වෙතින් නැගෙන පැමිණිල්ලකි. වාහන අලෙවියේදී සිදුවන බව පැවැසෙන එබඳු වංචනික කටයුතුවලින් ආරක්ෂාවීම සඳහා පාරිභෝගිකයන්ට ගත හැකි ක්‍රියාමාර්ග ගැන මෙන්ම, අයවැයෙන් පසුව රථවාහන ක්ෂේත්‍රයේ සිදුවී තිබෙන වෙනස්වීම්ද ඇතුළුව මෙරට රථවාහන කර්මාන්තයේ වත්මන් ස්වරූපය ගැන කතාබහ කිරීමට ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති ඉන්දික සම්පත් මෙරෙංචිගේ මහතා මෙලෙස සංවාදයට එක්විය.
පාරිභෝගිකයන්ට වාහනයක් මිලදී ගැනීම සඳහා විශාල මුදලක් වැය කිරීමට සිදු වෙනවා. නමුත් එවැනි වියදමක් දරා වාහනයක් මිලදී ගැනීමේදී ඇතැම්විට ඔවුන්ට විවිධ වංචනික කටයුතුවලට හසුවී පාඩු විඳීමට සිදුවන අවස්ථා තිබෙනවා. වර්තමානයේ රථ වාහන ක්ෂේත්‍රයේ සුලබව දකින්නට ලැබෙන ගැටලුවක් වන මෙය ඔබ සංගමය හඳුනාගෙන තිබෙන්නේ මොන විදිහටද?
ඔය කියන විදියේ වංචනික කටයුතු පසුගිය කාලයේ අප සංගමයටත් රට පුරා විවිධ ප්‍රදේශවලින් විශාල වශයෙන් වාර්තා වුණා. ප්‍රධාන වශයෙන් මෙවැනි සිදුවීම් නිසා පාරිභෝගිකයන්ට  පාඩු විඳීමට සිදුවෙනවා. අනෙක් අතට වංචාකාර නොවන වාහන වෙළෙඳුන්ටත් විශාල අපහසුතාවයන්ට මුහුණදීමට සිදු වෙනවා. අද වෙද්දී සුලබව දැකගත  හැකි දෙයක් තමයි, වැගන් ආර් වැනි ජනප්‍රිය වාහන වබේ අඩවි සහ පුවත්පත් දැන්වීම් හරහා සාමාන්‍යයෙන් වෙළෙඳ‍පොළේ පවතින මිලටත් අඩුවෙන් විකුණන්නට දමා තිබිම මෙය වංචනිකයන් විසින්ම ලබාදෙන ප්‍රචාරයක් අලෙවියක් සහිත වාහනයක් පවතින මිලට අඩුවෙන් පාඩු විඳින්න වාහන වෙළෙඳුන් කැමති නැහැ. මෙහිදී බොහෝවිට සිදුවන්නේ විවිධ වංචනික පුද්ගලයන් මුලින් තමන්ට සිදුවන පාඩුව දරාගෙන වාහන තුන හතරක් අඩු මිලට අලෙවි කරලා එයින් ගොඩ නැගෙන විශ්වාසය මත පාරිභෝගික පිරිසක් එක්රැස් කරගෙන ඔවුන් රවටා වාහන සඳහා අත්තිකාරම් මුදල් රැගෙන පලායාමයි.
තවත් සමහරු වාහන ගෙන්වාදීමේ ‍පොරොන්දුව මත අත්තිකාරම් මුදල් ලබාගෙන, වාහන වරායට ගෙන්වූ පසු විවිධාකාර බොරු හේතුන් කියලා ‍පොරොන්දු වූ මුදලටත් වඩා වැඩි මුදලක් පාරිභෝගිකයන්ගෙන් ලබා ගන්නවා. අවසානයේ වෙළෙද‍පොළේ සාමාන්‍ය මිලටත් වඩා වැඩි මුදලකට තමයි පාරිභෝගිකයාට වාහනය ලැබෙන්නේ. ඒ වගේම අතරමැදියන් ලෙස පෙනී සිටිමින් වාහන අලෙවියට එක්වන පුද්ගලයන් නිසා පාරිභෝගිකයාත්, වාහන වෙළෙන්දාත් යන දෙකොට්ඨාසයම අපහසුතාවයට පත්වෙනවා.
මෙවැනි වංචනික ක්‍රියාවලින් ආරක්ෂා වීම සඳහා විකල්පයක් හඳුන්වාදීමට ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය තවමත් මැදිහත් වී නැද්ද? මෙවැනි වාතාවරණයක් මත පාරිභෝගිකයෙක් කොහොමද විශ්වාසයෙන් යුතුව වාහනයක් මිලදී ගන්නේ?
වංචනික පුද්ගලයන්ට නොරැවටීම සඳහා පාරිභෝගිකයන්ට සපයනු ලබන සේවාවක් ලෙස සහ මෙවැනි සිදුවීම් නිසා වාහන ආනයනකරුවන් පත්වන අපහසුතාවයෙන් ඔවුන් ආරක්ෂා කිරීම සඳහා මේ වනවිට අප සංගමයේ අපගේ සාමාජිකයන් හඳුනා ගැනීමේ නව වැඩපිළිවෙළක් දියත් කර තිබෙනවා. ඒ තමයි, ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සාමාජිකයන්ට අයත් රථ වාහන ප්‍රදර්ශනාගාරවල සංගමයේ ලාංඡනයද සහිතව නිර්දේශිත පුවරුවක් ප්‍රදර්ශනය කිරීමට සැලැස්වීම සාමාජික අංකයද සමග ප්‍රදර්ශනය කෙරෙන මෙම පුවරුව මගින් පාරිභෝගිකයන්ට එම රථ වාහන ප්‍රදර්ශනාගාරය ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය විසින් සහතික කරන ලද ආයතනයක් බව සැකහැර දැනගත හැකි බැවින් තමන් රැවටීමකට ලක්නොවන බවට වන විශ්වාසනීයත්වයෙන් යුතුව වාහන මිලදී ගැනීමට හැකියාව ලැබෙනවා. ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ නිත්‍ය සාමාජිකයකු වන මෙන්ම සංගමයට එරෙහි කිසිදු අයථා කටයුත්තකට සම්බන්ධ නොවූ අයට පමණයි මෙම හඳුනාගැනීමේ පුවරුව භාවිතා කිරීමේ අවසරය සංගමය ලබාදෙන්නේ.
මෙම ක්‍රමවේදය මේ වනවිට රට පුරා සිටින, සංගමයේ සියලු සාමාජිකයන් වෙත හඳුන්වාදී තිබෙනවාද?
මෙම වැඩපිළිවෙළේ පළමු අදියර ලෙස මුලින්ම ඉල්ලුම් කළ සාමාජිකයන් 25 දෙනකුට මෙම පුවරු ලබාදී තිබෙනවා. ඉල්ලුම් කරන පරිදි ඉදිරි කාලයේදී අනෙකුත් සාමාජිකයන්ටත් එය ලබාදීමට කටයුතු සකස් කරලයි තිබෙන්නේ. පුවරුව නොමැති ප්‍රදර්ශනාගාරවලින් වුවත්, ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සාමාජිකයකු බවට වන සහතිකය පරික්ෂා කිරීමෙන් පාරිභෝගිකයන්ට විශ්වාසයකින් යුතුව වාහනයක් මිලදී ගැනීමට හැකියාව තිබෙනවා. ඒ වගේම යම් හෙයකින් ඉදිරියේදී සංගමයේ සාමාජිකයකුගෙන් හෝ වාහන අලෙවියේදී යම් අකටයුත්තක්, පාරිභෝගිකයකුට සිදුවුවහොත් සංගමය එම ගැටලුවට මැදිහත් වී අවශ්‍ය වුවහොත් අදාළ වාහන ආනයනකරුවාගේ සාමාජිකත්වය අහෝසි කිරීමට පවා අප සංගමය මේ වනවිට තීරණය අරගෙනයි තියෙන්නේ.
හයිබ්‍රිඩ් සහ ඉලෙක්ට්‍රික් වාහන සඳහා ලබාදෙන ලීසිං පහසුකම් ඉහළ නැංවීමට මෙවර අයවැයෙන් යෝජනා කෙරුණා. මේ වනවිට එයින් රථ වාහන ක්ෂේත්‍රයට යම් ප්‍රගතියක් අත්ව තිබෙනවාද?
මුදල් අමාත්‍යවරයා හයිබ්‍රිඩ් වාහන සඳහා ලබාගත හැකි ලීසිං ප්‍රමාණය 50 සිට 70 දක්වාත්, ඉලෙක්ට්‍රික් වාහන සඳහා 90 දක්වාත් වැඩි කළා. නමුත් මේවනවිට අයවැයෙන් මාස 2කට වැඩි කාලයක් ගතවී තිබුණත් ඒ සහනය තවමත් ක්‍රියාත්මක වෙලා නැහැ. ඊට හේතුව තමයි එම තීන්දුව එකම තැනකින් ක්‍රියාත්මක නොවීම. මුදල් අමාත්‍යාංශය යටතේ පැවැතිය යුතු මහ බැංකුව, භාණ්ඩාගාරය සහ ප්‍රතිපත්ති සැලසුම් යන අංශ වෙන වෙනම වෙන් කිරීමෙන් ආණ්ඩුව විශාල වරදක් කරගෙන තිබෙනවා. මුදල් අමාත්‍යාංශයෙන් මහ බැංකුවට දැනුම්දීම සහ මහ බැංකුවෙන් බැංකු සහ මූල්‍ය ආයතන වෙත දැනුම්දීමෙන් අනතුරුව තමයි ලීසිං සහනය ක්‍රියාත්මක වෙන්නේ. මේ විදිහට එක තීන්දුවක් ක්‍රියාත්මක වීම සඳහා තැන් කිහිපයකට යාමට සිදුවීම නිසා මතුව තිබෙන අකාර්යක්ෂමතාවය තමයි මේ ප්‍රමාදයට හේතුව.

කිෂාන් කනංකෙ

මස්කෙළිය ගාඩමෝර, නවෆොන්මොර වතුයායේ ගල්තලාවක් මතින් මතු වූ විශාල පා සටහන්වලට සමාන පාද සම්බන්ධයෙන් පුරා විද්‍යා දෙපාර්තමේන්තුවේ නිලධාරීහු ඊයේ (23දා) එම ස්ථානයට පැමිණ පරීක්ෂණ ආරම්භ කළහ.
පුරා විදා දෙපාර්තමේන්තුවේ මහනුවර මධ්‍ය  කලාප භාර නිලධාරීන් පිරිසක් ඒ සඳහා පැමිණ සිටියේය.
එම පාද සටහන්වල සියලු විස්තර පුරා විද්‍යා දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් ලබා ගන්නා ලද අතර  ඒ සම්බන්ධයෙන් පුළුල් විමර්ශන සිදුකර නිගමනයකට පැමිණ මේ පිළිබඳ වාර්තාවක් ඉදිරියේදී නිකුත් කරන බව පුරා විද්‍යා පරීක්ෂණ නිලධාරී පාලිත අත්තනායක මහතා කියයි.  
පුරාවිද්‍යා නිලධාරීහු මෙම පාද සටහන් මුලින්ම දැක තිබූ වතුකම්කරුවන්ගෙන් ප්‍රකාශ කිහිපයක්ද සටහන් කර ගත්හ.
ඉකුත් (20) එම වතුයායේ වතුකම්කරුවෝ විසින් මෙම පාද සටහන් දැක තිබුණි.
එම පා සටහන්වලට මේ වනවිට වතු කම්කරුවන් පුද සත්කාර කරන අතර එම පාද සටහන් දැක ගැනීමට ප්‍රදේශයේ විශාල පිරිසක් දිනපතා එම වතුයායට පැමිණෙති.
මාවුස්සාකැ‍ලේ ජලාශයට ඉහලින් ශ්‍රීපාද රක්ෂිතයට ආසන්නයේ විශාල ගල් තලාවක් මත පිහිටා ඇති මෙම පාද සටහන්වලින් දකුණු පාදය පැහැදිලිව දිස්වන අතර වම් පාදයේ සටහන්  තරමක් මැකී ගොස් තිබුණි.
අඩි එකහාමාරක් පමණ දිගකින් යුක්ත මෙම පාද සටහන් අඟල් තුනක් පමණ ගල් තලාව මතට ගිලා බැස ඇත.
ඡායාරූප සහ සටහන නීටා පත්ම කුමාර  - හැටන් අතිරේක

අනුරාධපුර දිස්ත්‍රික්කයේ ගලෙන්බිඳුණු වැව අධ්‍යාපන කලාපයටත් කහටගස්දිගිලිය අධ්‍යාපන කොට්ඨාසයටත් අයත් මොරගහවෙල විද්‍යාලය මීට වසර දෙකකට පමණ ඉහතදී වසා දැමූ බව මොරගහවෙල ජනතාව කියති. තම ගම්මානයට සම්පතක්ව පැවැති පාසල වසා දැමීමෙන් මොරගහවෙල ගම්මානයේ හා අවට ගම්මානවල මව්පියන් මෙන්ම දරුදැරියෝද අපහසුතාවට පත්ව ඇත.
මොරගහවෙල පදිංචි ලීලාවති මව මෙසේ පැවැසීය.
මම හෝඩියේ ඉඳලා 11 වසර දක්වා මේ පාසලට ගියා. 1970 - 80 කා‍ලේ ළමයි 200ක් විතර හිටියා. ඔය කා‍ලේ ගුරුවරුනුත් 15ක් විතර හිටියා. ළමයි ගස් යට පවා ඉගෙන ගත්තා. ඒත් 1980න් පස්සේ ටික ටික පාසල පරිහානියට ගියා. අන්තිමට ළමයි දෙතුන්දෙනාට අඩුවෙලා වැහිලා ගියා.
විශ්‍රාමික හදිසි මරණ පරීක්ෂක එස්.ධනපාල මහතා මෙසේ පැවැසීය.
මේ පාසල 1935 වර්ෂයේ තමයි හදලා තියෙන්නේ. කටුමැටි ගහලා ‍පොල්අතු සෙවිළි කරපු ශාලාවක් තමයි තිබුණේ. කදිරාතේ වෙල්විදානේගේ සුද්ධහාමි කියන මගේ පියා තමයි ඒ ශාලාව හදලා තියෙන්නේ. පස්සේ කාලෙකදී තමයි ගඩොලින් බිත්ති බැඳලා දැන් තියෙන පාසල් හැදුවේ. පළමු ගුරුවරයා ඒකනායක කියලා කුරුණෑගල පැත්තේ මහත්තයෙක්. පාසල තියෙන්නේ අල්ලපු ඉඩමේ. ළමයිගේ කෑ කෝ ගැසීම් නැතිව මේ පැත්තම දැන් පාලුවට ගිහින්.
මොරගහවෙල, හෙට්ටිකට්ටිය, කහටගොල්ලෑව, කටුකෑලියාව, අන්දරගොල්ලෑව, බෙහෙත්කෑව, රඹවාන, මැස්සලෑව, අලුවකොටුවල, පීනගම, අලුත්ගම කියන ගම්මානවල ළමයි මේ පාසලට ආවා. අද මේ ගම්මානවල ළමයින්ට කහටගස්දිගිලියට හා රන්පත්විලට පාසල් යන්න සිද්ධවෙලා. මේ නිසා දරුවොත් මව්පියොත් පුදුම දුකක් විඳිනවා. මේ ප්‍රදේශයේ හරියට වන අලි ඉන්නවා  උදේ පාන්දරම කහටගස්දිගිලියට, රන්පත්විලට දරුවන්ට යන්න අමාරුයි. ළඟම පාසල හොඳම පාසල කීවත් දැන් ළඟම පාසල වැහිලා යැයි කේ.එම්.යූ. තිලකරත්න මහතා පැවැසීය.
පාසල් ඉඩම අක්කර පහක් තියෙනවා. ශාලාවක්, ගුරු නිවාසයක්, ළිඳක්, විදුලිය, වැසිකිළි, කැසිකිළි, ක්‍රීඩා පිට්ටනිය, ආදී භෞතික සම්පත් ටික තියෙනවා. හොඳට තිබුණ පාසලට ගමේ ගුරුවරු ආවට පස්සේ තමයි පාසල වැහුනේ. අපිට තිබුණු එකම සම්පත තමයි පාසල නැතිව ගමම පාළුවට ගිහින්. අපේ ඉල්ලීම නැවත මේ පාසල විවෘත කරන්න කියන එකයි යැයි අනුර බණ්ඩාර මහතා පැවැසීය.

සරත් දිසානායක - රඹෑව

 

IMAGE

නෙලා සමග ඔබ හමුවට එන බෙනට්ගේ පුතා

IMAGE 2018 Feb 25 14:21
අද වෙද්දී උදාර රත්නායක කියන්නේ නළුවෙක්ද? එහෙමත් නැතිනම් දේශපාලනඥයෙක්ද? නළුකම මගේ වෘත්තිය...
Views - 636

මගෙන් නම් සල්ලි ඉල්ලුවේ නෑ ඒත් මේ වගේ කතාවක් නම් කිව්වා

IMAGE 2018 Feb 25 14:08
මේ වෙද්දී ඉන්දිකාගේ කලා දිවිය දශක දෙකකටත් එහා ගිය එකක් නේද? ඔව්. මම මුලින්ම ක්‍ෂේත්‍රයට එකතු...
Views - 1160

රනිල් සල් සපු නා හැර ගියේ ඇයි?

IMAGE 2018 Feb 25 13:52
“සල් සපු නා” ටෙලි නාට්‍යයේ දැන් රනිල්ව දකින්නට ලැබෙන්නේ නැහැ. ඇයි ඒ ? මම තාවකාලිකව ‘සල්...
Views - 1015

තාත්තගේ අකමැත්තෙන් රඟපාන්න ආපු උපාසක අම්මා

IMAGE 2018 Feb 25 12:18
කොහොමද ඔබට අංජනා එහෙමත් නැත්නම් උපාසක අක්කා වෙන්න අවස්ථාව ලැබුණේ? මාව උපාසක අම්මා කළේ...
Views - 785

බසයේදී දුන් බොරු විවාහ පොරොන්දුවෙන් පවුල්ජීවිතේ 'හබක්'

IMAGE 2018 Feb 23 12:25
ඔහු අගනුවර ප්‍රසිද්ධ සමාගමක විධායක නිලධාරියෙකි. වයස අවුරුදු 40 ඉක්මවූ ඔහුට රූමත් බිරිඳක් සහ...
Views - 5443

අහිමි පෙම ඉල්ලා පෙම්වතියට ප්‍රසිද්ධියේ ගුටි ඇනලා

IMAGE 2018 Feb 23 10:42
පැරණි පෙම්වතියගෙන් අහිමි වූ ආදරය නැවත ඉල්ලා එය නොලැබුණු විට නාරාහේන්පිට ප්‍රදේශයේදී ඇයට...
Views - 3598

Please publish modules in offcanvas position.