Home    |    Daily Lakbima    |    Sunday Lakbima    |   Rajina |    Archive    |    Advertise With Us    |     Careers Email - [email protected] youtube
lakbima.lk

                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්     

ඉකුත් සතියේ කොළඹ වරායට මහ ලොකු පෙරහරක් පැමිණියේය. එ් පෙරහර පැමිණියේ මහා සාගරය ඔස්සේ ඇමෙරිකාවේ සිටය. ඊට ලොව විශාලතම යුද නෞකා අතරින් එකක් ද එක්ව තිබුණේය. ඒ ඇමෙරිකා එක්සත් ජනපදයට අයත් යූ.එස්.එස්.  නිමිට්ස් නම් ගුවන් යානා ප‍්‍රවාහන නෞකාවයි. 
මෙම ගුවන් යානා ප‍්‍රවාහන නෞකාව කොළඹ වරායට පැමිණියේ  පිරිවර ප‍්‍රහාරක නෞකා කණ්ඩායමක්ද  සමගය. ප‍්‍රින්ස්ටන්, හාවර්ඞ්, ෂූප්, පින්ක්නි සහ  කිඞ් යනු  එම පරිවාර ප‍්‍රහාරක නෞකාවන් විය.
පරිවාර ප‍්‍රහාරක නෞකාද සමග මෙම යූ.එස්.එස්. නිමිට්ස් ඇමෙරිකානු යුද නෞකාව මෙරටට ළඟාවූයේ සුවිශේෂී අරමුණක් පෙරදැරිවය. එනම් ශ‍්‍රී ලංකාව හා ඇමෙරිකාව අතර දිනෙන් දින ශක්තිමත් වෙමින් ඇති නාවික සබඳතාවන් තවදුරටත් පුළුල් කිරීමේ අරමුනිණි.
”මෙරට රැුඳී සිටින කාලය අතරතුර, ලාංකික ජනතාවගේ ජීවන තත්ත්වය නැංවීම සඳහා මෙම ඇමෙරිකානු නාවිකයන් සමාජ සේවා වැඩසටහන් රැුසකද නිරතවීමට නියමිත බව ඇතුල් කෙශාප් තම නිවේදනයේදී සඳහන් කළේය.
ඇමෙරිකානු තානාපතිවරයා සඳහන් කළ පරිදිම නිමිට්ස් නෞකාවේ හා එහි පරිවාර නෞකාවල නාවිකයින් පසුගිය දින කිහිපය පුරාම දිවයිනේ ප‍්‍රදේශ රැුසක සමාජ සේවා ව්‍යාපෘතීන් රැුසකට සහභාගි විය. පාසල්, රෝහල්, ළමා නිවාස, වැඩිහිටි නිවාස ආදිය කේන්ද්‍ර කරගනිමින් මෙම සමාජ සේවා වැඩසටහන් ක‍්‍රි‍යාත්මක කළ අතර මෙරට රාජ්‍ය නොවන සංවිධානද මෙම වැඩසටහන් සඳහා එක්කරගැනීමට ඇමෙරිකානු නාවිකයින් කටයුතු කළහ.
එසේම ශ‍්‍රී ලංකා  නාවික හමුදාව සමග එක්වද වැඩසටහන් රැුසක්ම ක‍්‍රියාත්මක කිරීමට ඇමෙරිකානු නාවිකයෝ පියවර ගත්හ.
මෙම නිමිට්ස් නෞකාවේ කප්පිත්තා රියර් අද්මිරාල් ග්‍රෙගරි හරිස්ය. මෙම ශ‍්‍රී ලංකා සංචාරය තම නාවිකයින් පිරිසට සුවිශේෂී අත්දැකීමක් වන බව ඔහු පවසනුයේ ඉමහත් සතුටිනි. ඔහු පවසන පරිදි  ඹීී නිමිට්ස්, යනු 1985 වසරට පසු ශ‍්‍රී ලංකාවට ළඟා වූ පළමු ඇමෙරිකානු ගුවන් යානා ප‍්‍රවාහන නෞකාවය.
නිමිට්ස් නෞකාව සැබැවින්ම සද්දන්ත එකකි. එහි අපූරු තොරතුරු බොහෝය.
මේ මහා නෞකාව දියත් කළේ  1972 වර්ෂයේදීය. එය ඇමෙරිකාවේ පමණක් නොව ලෝකයේම    විශාලතම යුද නෞකාවක් ලෙස සැලකෙනවා. නැව් තලයේ සිට කුඹ ගස දක්වා උස තට්ටු 23කි.   නෞකාවේ දිග කිලෝමීටර් කාලකටත් වැඩිය. (මීටර් 333*  ගුවන් යානා අංගනයේ විශාලත්වය අක්කර 4.5කි.
මේ සද්දන්ත නෞකාවේ නාවික සෙනඟද ගමන් කරයි. නාවිකයන් 3200ක්‌ සහ ගුවන් නැවියන් 2480ක්‌ ඇතුළුව 5600කට අධික පිරිසක්‌ නෞකාවේ කාර්ය මණ්ඩලය ලෙස කටයුතු කරයි. වැඩමුර  ක‍්‍රමයට පැය 24ම සේවයේ යෙදෙන නාවික පිරිස වෙනුවෙන් දිනකට 4 වරක්‌ ආහාර පිළිගැන්වීම කෙරේ. මේ සඳහා විශාල ආහාර ගබඩාවක් පවත්වාගෙන යාම අවශ්‍ය වේ.
එසේම අවම වශයෙන් දින 70කට  සෑහෙන ශීත සහ වියළි ආහාර ගබඩා කර තබා ගත හැකි පහසුකම් මෙම නෞකාව තුළ ඇත. නැව සතු ජල පෙරන පද්ධතිය මගින් නිවෙස්‌ 2000කට සෑහෙන තරම් නැවුම් ජලය ගැලූ‍ම් 400,000ක්‌ මුහුදු ජලයෙන් පෙරා දිනපතා සපයනු ලබයි. නාවික පිරිසෙන් සියයට 16ක් කාන්තාවන්ය. කාන්තා සහ පිරිමි සැමටම වෙන්කළ විවේකාගාර සහ නිවෙස්‌ වේ. සමස්‌තයක්‌ වශයෙන් කොට්‌ට උර 14000ක්‌, ඇතිරිලි 28000ක්‌, දුරකථන 1400ක්‌ නෞකාවේ වේ.  ආලෝක සවිකිරීම් 30000ක්‌ සහිත මෙම නෞකාවේ  ඇද ඇති විදුලි රැුහැන් එක පෙළට දිගහැරියහොත් එහි දිග සැතපුම් 1600 කි. 
නෞකාවේ නැංගුරම නැවට සම්බන්ධ අඩි 1080ක්‌ දිග ලෝහ දම්වැල් දෙකකට ඇමිනූ ටොන් 30ක්‌ බර නැංගුරම් දෙකකින් සමන්විතය. එහි දියඉමෙන් ඉහළට තට්‌ටු 20ක්‌ පිහිටා ඇත. ගුවන්යානා අංගනයේ  විවිධ වර්ගයේ ගුවන්යානා 60ක්‌ නවතා ඇති අතර   අක්‌කර 3.5ක්‌ විශාල ගුවන් යානා ප‍්‍රවේශ මාර්ගයකින්ද නෞකාව සමන්විතය. එසේම ගුවන් තරණය සඳහා ඉන්ධන ගැලූ‍ම් මිලියන 3.3 ක්‌ නැවේ සැමවිටම රඳවාගෙන පවතී.
මේ නෞකාවේ සුක්‌කානම ඇල්ලීම කෙරෙනුයේ පියාසැරීමේ තට්‌ටුවේ දකුණු පැත්තේ සිට තට්‌ටු 10 ක්‌ උස කුලූනක මැදිරියක සිටය. එම මෙහෙයුම් මැදිරියේ 15ත් 18ත් අතර පිරිසක්‌ සේවයේ නිරත වේ. මෙහෙයුම් මැදිරියේ වීජ බෝඞ් ලෙසින් හඳුන්වනු ලබන පුවරුවක ඕනෑම අවස්‌ථාවක පියාසැරීමේ තට්‌ටුවේ ඇති ගුවන්යානා ස්‌ථානගතකර ඇති අන්දම පෙන්වන ආදර්ශ යානා පෙළගස්‌වා තිබේ.
ශ‍්‍රී ලංකාවට පැමිණීම හරහා මෙරටට ලැබුණු ප‍්‍රතිලාභ පිළිබඳවද නෞකාවේ කපිතාන්වරයා විස්තර කළේය.
”ඇමෙරිකානු නාවික හමුදාව ලොව ප‍්‍රබලතම හමුදා ඒකකයක්. ඔවුන් සතුව අත්දැකීම් රාශියක් තිබෙනවා. මෙවැනි සංචාර තුළින් එම අත්දැකීම් බෙදා හදාගැනීමට මෙන්ම නාවික ක්ෂේත‍්‍රයේ නවීන තාක්ෂණය පිළිබඳ දැනුමක් ලබා ගැනීමටද ශ‍්‍රී ලංකා නාවික හමුදාවට අවස්ථාවක් ලැබෙනවා.”‍
”එසේම ‍මෙම නාවිකයින් ශ‍්‍රී ලංකාවේ භාණ්ඩ හා සේවා මිලදී ගැනීම හරහා ශ‍්‍රී ලංකාවේ ආර්ථිකයට රුපියල් කෝටි 154ක මුදලක් එක් කරනු ඇතැයි ඇස්තමේන්තු කර තිබෙනවා”‍ යයි කපිතාන්වරයා පැහැදිලි කළේය.
 
පැතුම් වික‍්‍රමරත්න

ඕස්ට්‍රෙලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයේ සම්බුද්ධ විහාරයේ 2017 ඔක්තෝම්බර් මස පවත්වන ලද කඨින මහා පිංකම සහ ලාංකීය දරුවන්ගේ සංස්කෘතික උත්සවයෙන් බිදක්.

තායිලන්තය හා ශ්‍රී ලංකාව අතර ඇති බෞද්ධ  සැබැඳියාව තවදුරටත්  ශක්තිමත් කිරීමේ අරමුණින් සියම් ශ්‍රී ලංකා ජාත්‍යන්තර දම්සක් මධ්‍යස්්ථානය ඉදි කිරීමට කටයුතු යොදා ඇත. මෙම දම්සක් මධ්‍යස්ථානයට මුල්ගල තැබිමේ මහෝත්සවයට ශ්‍රී ලංකාවට පැමිණි තායිලන්තයේ වට්තෝන්ග් විහාරාධිපති ර්චඩච ඉචමචබඩ නාහිමි ඇතුළු ගිහි පැවිදි දූත පිරිස මහනුවර මල්වතු මහවිහාරයේදී තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල මල්වතු මහානාහිමියන් බැහැදුටු අවස්ථාව. පැලෑනේ ධම්මකුසල හිමියන්ගේ අධීක්ෂණයෙන්  මෙම දම්සක් ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානය ඉදිකෙරේ.

ඡයාරුපය - නදීක දයා බණ්ඩාර - මහනුවර

ජර්මනියේ බර්ලින් නුවර ශ‍්‍රී සම්බෝධි විහාරස්ථානයේ මෙවර කඨින මහා පූජෝත්සවය බර්ලින් නුවර ශ‍්‍ර‍්‍රී සම්බෝධි විහාරාධිපති හා ගම්පහ ෙදාරණෑගොඩ ශ‍්‍රී සුමන්තින්දාරාම රජමහා විහාරාධිපති හා සදානන්ද මහා පරිවේනස්ථානයේ අධිපති ශාස්ත‍්‍රපති රඹුක්වැල්ලේ දේවානන්ද හිමියන්ගේ අනුශාසනා පරිදි සිදුකෙරුණි.
බර්ලින් විහාරාධිපති වැවුරුකන්නල රජමහා විහාරවාසී ශාස්ත‍්‍රපති දික්වැල්ලේ සීලසුමන හිමිපාණන් විසින් පැමිණ සිටි පිරිස පංච ශීලයෙහි පිහිටුවීමෙන් පසුව පොල්තෙල් පහන දැල්වීම ජර්මනියේ තානාපති රාජ්‍ය ආරක්‍ෂක අමාත්‍යාංශයේ හිටපු ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි මහතා, ජර්මන් ජාතිකයන්ගේ බර්ලින් බෞද්ධ සංගමයේ සභාපති ආචාර්ය ෙරෙනර් නොවාක් මහතා ඇතුළු සිංහල, ජර්මන්, බෞද්ධයන් නියෝජනය කරමින් සිදුකෙරුණි.


මෙම කඨින මහා පූජෝත්සවයට ජිනීවා ජාත්‍යන්තර බෞද්ධ පදනමේ උපදේශක, ජර්මනියේ ප‍්‍රධාන සංඝ නායක ආචාර්ය වල්පොල කල්‍යාණතිස්ස නාහිමි, බර්ලින් විහාරාධිපති ශාස්ත‍්‍රපති දික්වැල්ලේ සීලසුමන හිමි, ජිනීවා ජාත්‍යන්තර බෞද්ධ පදනමේ විහාරාධිපති ශාස්ත‍්‍රපති හාල්යාලේ විමලරතන හිමි, මාතලේ මාරගස්පිටිය සිරි සුදත්තාරාමාධිපති ශාස්ත‍්‍රවේදී ඇතිපල්ලාවල නන්දසාර හිමි, බුලත්සිංහ මහගම ඉම්මල්ල ශ‍්‍රී මංගල මහා විහාරවාසී ශාස්ත‍්‍රපති රාජකීය පණ්ඩිත මහගම සුවිනීත හිමි, ජර්මනියේ ඩාලව්ට්ස්හි ධම්මකාය තායි විහාරාධිපති ප‍්‍රා මොන්චායි ෙසෙතනාපෝන් හිමි, ප‍්‍රා මහා බුන්යිට් යන තායි හිමිවරුද වැඩම කරවූහ.


මෙම මාහැඟි කඨින මහා පූජෝත්සවයට සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න මහතා, ජර්මනියේ ශ‍්‍රී ලංකා තානාපති කරුණාසේන හෙට්ටිආරච්චි මහතා, එම මහත්මිය, ශ‍්‍රී ලංකා තානාපති කාර්යාලයේ නිලධාරී මහත්ම මහත්මීන් ඇතුළු සිංහල, ජර්මන්, තායි ඇතුළු විවිධ ජාතික බෞද්ධයන් විශාල පිරිසක් සහභාගි වූහ. මෙවර බර්ලින් නුවර ශ‍්‍රී සම්බෝධි විහාරස්ථ කඨින චීවරය භාරගෙන මූලිකව කටයුතු කරනු ලැබූයේ බර්ලින් නුවර ජර්මන් ජාතික වර්නන් ෆ‍්‍රිෂ්බියර් මහතා සහ කරුණා ෆ‍්‍රිෂ්බියර් මහත්මිය විසිනි.

---------------------------------------------------------------------------

ධම්මචක්ක විහාරයේ කඨින පිංකම

ප්‍රංශයේ පැරිස් නුවර ධම්ම චක්ක විහාරස්ථානයේ කඨින පූජෝත්සවය විහාරාධිපති කෝන්ගස්දෙණියේ ආනන්ද හිමිගේ අනුශාසකත්වයෙන් පැවැත්විණ. එම අවස්ථාවට ප්‍රංශයේ ජේතවනාරාමාධිපති මුරුංගාගස්යායේ ඤාණිස්සර නාහිමි, මල්වතු පාර්ශවයේ කාරක සංඝ සභික අඹන්වැල්ලේ සුමංගල නාහිමි, කොළඹ ආනන්ද විද්‍යාලයේ හිටපු ධර්මාචාර්ය වේපතඉර හේමාලෝක හිමි, බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපති මහාචාර්ය ඉත්තදෙමළියේ ඉන්දසර හිමි, මහාචාර්ය වාවුවේ ධම්මරක්කිත හිමි, මානම්පිත අමිත හිමි, බටගොල්ලේ චන්දානන්ද හිමි, මාපලගම ජිනාන්ද හිමි, කැන්දවින්නේ රාහුල හිමි, පඩුවස්නුවර චන්දානන්ද හිමි ඇතුලු  සඝරුවන සහ ප්‍රංශයේ ශ්‍රී ලංකා තානාපති බුද්දි අතාවුද මහතා ප්‍රධාන විවිධ ජාතිකයන් මේ අවස්ථාවට සහභාගි වූහ.

ප්‍රංශයේ ජේතවනාරාමයේ වාර්ෂික කඨින පිංකම කාම්බෝජ, වියට්නාම, චීන, ලාඹේස්, ප්‍රංශ, ශ්‍රී ලංකා හා බුරුම, බංගලාදේශ යන රටවලට අයත් ගිහි පැවදි විශාල දෙනෙකුගේ සහභාගිත්වයෙන් පසුගියදා සිදුකෙරිණ.

ජේතවනාරාමාධිපති මුරුංගාගස්යායේ ඤාණීස්සර අධිකරණ නාහිමියන්ගේ අනුශාසනා පරිදි පැවති මෙම පිංකමට පැරිස් බෞද්ධ විහාරාධිපති කෝන්ගස්දෙණියේ ආනන්ද විද්‍යාලයේ හිටපු ආචාර්ය වේපතඉර හේමාලෝක, මහාචාර්ය ඉත්තදෙමලියේ ඉන්ද්‍රසර, ප්‍රංශයේ ප්‍රධාන සංඝනායක පරවාහැර චන්දරතන, මහාචාර්ය වාව්වේ ධම්මරක්ඛිත, බොරැල්ලේ කෝවිද, මනන්පිට අමිත, මාපලගම ජිනානන්ද, වතෝගල බුද්ධසාර, කැන්දවින්නේ රාහුල, කේ සුගතසිරි යන හිමිවරු ඇතුලු වියට්නාම බුරුම කාම්බෝජ ආදි රටවල හිමිවරුන් මෙම පිංකමට සහභාගි වූහ.



ශ්‍රී ලංකා චීන සහයෝගීතා සමාජයීය හා සංස්කෘතික සහයෝගීතා සංගමය විසින් චීන මහජන සමුහාණ්ඩුව පිහිටුවා වසර 68 පිරීම නිමිත්තෙන් සංවිධානය කළ සැමරුම් උත්සවයක් කොළඹ බණ්ඩාරනායක අනුස්මරන ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පසුගියදා පැවැත්විණි.

මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තන් ලෙස චීන මහජන සමූහාණ්ඩුවේ ශ්‍රී ලංකාවේ තානාපති යී ෂැයැන්ජින්, නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු අමාත්‍ය චන්දිම වීරක්කොඩි, සංචාරක සංවර්ධන හා ක්‍රිස්තියානි  කටයුතු පිළිබඳ අමාත්‍ය ජෝන් අමරතුංග යන මහත්වරු සහභාගිවූ අතර  මෙම උත්සවයයේදී ශ්‍රී ලංකා චීන බෞද්ධ මිත්‍රත්ව සංගමය විසින් දහම්පාසල් නගා සිටුවීමේ දෙවන අදියර වශයෙන් දුෂ්කර පළාත්වල දහම් පාසල් 7 කට ප්ලාස්ටික් පුටු 50 බැගින් හා ශබ්ද විකාශන යන්ත්‍ර එක බැගින් පරිත්‍යාග කිරීමට සිදුවිය.

මේ සඳහා මූල්‍ය ආධාර ශ්‍රී ලංකා මහජන චීන සමූහාණ්ඩුවේ ශ්‍රී ලංකාවේ තානාපති කාර්යාලයේ හා චීනයේ ජින්ස විහාරස්ථානය ලබා දී ඇති අතර සේයාරුවෙන් දැක්වෙන්නේ ශ්‍රී ලංකාවේ චීන තානාපතිවරයා එම භාණ්ඩ නිල වශයෙන් ප්‍රධානය කළ අයුරු.

මෙම අවස්ථාවට ශ්‍රී ලංකා චීන බෞද්ධ මිත්‍රත්ව සංගමයේ සභාපති සුමති ධර්මවර්ධන මහතා ද සහභාගි විය.





ඡායාරූප හා සටහන - තුෂාර අතපත්තු

 

ගැහැනු රස වින්දනය සහ පිරිමි රස වින්දනය කියල දෙකක් තියෙනවද? කාලයක් පුරාම කලා විචාර ක්‍ෂේත්‍රයේ ආධිපත්‍යය දැරුවෙ පිරිමින් නිසා පිරිමි රස වින්දනයට ගැලපෙන නිර්මාණවලට සංස්කෘතිය තුළ ආධිපත්‍යයක් හිමි වුණාද? ගැහැනු රස වින්දනය නිතරම හෑල්ලුවට ලක් කෙරුණද? මේ ගැන මට හිතුණු අදහස් ටිකක් මේ.
රස වින්දනයෙ මේ ගැටුම ගැන කතා කරන කොට අපිට පහසුවෙන් අදාළ කරගන්න පුළුවන් ක්‍ෂේත්‍ර දෙකක් ටෙලිනාට්‍ය සහ සිනමාව. මේ වෙනකොට ටෙලිනාට්‍ය බලන්නෙ වැඩි හරියක් කාන්තාවො කියන එක නිතර කියැවෙන කාරණයක්. 'මෝඩ ගෑනු' මෝඩ ටෙලිනාට්‍යවලට වහ වැටිල' වැනි චෝදනා නිතර අහන්න පුළුවන්. මේ චෝදනා, විවේචන වැඩිපුර එල්ල වෙන්නෙ පිරිමි විචාරකයින්ගෙන් සහ ඒ විචාර රාමුව තුළ සිතන පිරිමි ප්‍රේක්ෂකයින්ගෙන්. මේ විදියට  ටෙලි නාට්‍යවලට බණින අය අතරින් වැඩි දෙනෙක් පිරිමි විවේචකයින් වීමත්, අනික් අතට මේ ටෙලිනාට්‍ය නරඹන අය අතරින් වැඩි දෙනා කාන්තාවන් වීමත් තුළ අපි ඉහත කියපු ගැටුම දකින්න පිළිවන් කියලයි හිතෙන්නෙ. ටෙලි නාට්‍ය බොළඳයි, මෝඩයි, භාවාතිශයයි ආදී වශයෙන්  බොහෝ පිරිමි විවේචකයින් පහර දෙද්දී අනෙක් පැත්තෙන් කාන්තාවන් වැඩි වැඩියෙන් ඒවා නරඹන්න  ආකර්ෂණය වෙමින් සිටින බව පේනවා. මෙහෙම වන්නේ ඇයි? එයට හේතුව  කාන්තාවන්ගේ රස වින්දනය මෝඩ හෝ පිරිහුණු එකක්  වීමම ද, එසේ නැතිනම් පිරිමි රස වින්දනයට වඩා ඔවුන්ගෙ රස වින්දනය  වෙනස් එකක් වීම නිසා මතුවුණු ගැටලුවකුත් මෙතැන තියෙනවද? මං කියන්න යන්නෙ ලංකාවෙ පෙන්නන ටෙලි නාට්‍යවල කිසි වරදක් නැහැ කියන පටු අදහස නම් ‍නෙවෙයි, වෙනත් කාරණයක්. ටෙලිනාට්‍ය ගත්තෙ උදාහරණයක් හැටියට විතරයි. 
බොළඳයි, හැඟීම්බරයි, අධිනාටකීයයි කියන කලාව, පිරිමි රස වින්දනය මත හැඩගැසුණු විචාර කලාවක් තුළ කොන් කිරීමකට සහ ගර්හාවකට ලක් කෙරෙනවද කියන ප්‍රශ්නයටයි ප්‍රවේශ වෙන්න ඕන වුණේ.  
බොළඳයි, භාවාතීශයයි කියන ටෙලිනාට්‍ය සමග බැඳුණු කාන්තා රස වින්දනය පිරිහුණු එකක් ලෙස ‍ලේබල් කරන්නෙ පිරිමින් විසින් ආධිපත්‍යය දරනු ලබන, හැඟීම්වලට වඩා බුද්ධිමය වින්දනයට මුල් තැන දෙන විචාර මිණුම් දඬු පද්ධතියකට අනුවද? කලා විචාරය යන්න දීර්ඝ කාලයක් තිස්සේ පිරිමි රස වින්දනය අනුව සකස් වුණු එකක් නිසා ඒ මිණුම් දඬුවලට අනුව කාන්තා රස වින්දනය පිරිහුණු හෝ මෝඩ එකක් හැටියට කොන් කර දැමීමක් මේ තුළ ක්‍රියාත්මක වෙනව වෙන්න බැරිද? 
මට හිතෙන විදියට කාන්තාවන් වැඩි වශයෙන් ටෙලි නාට්‍ය වෙත ආකර්ෂණය වෙන්නෙ මෝඩකමකට වඩා ඔවුන්ගේ ඉහත කී වෙනස් සහ වඩාත් හැඟීම්වලට බර රස වින්දනය හා සමපාත වන යම් ගුණයක් මේ ටෙලි නාට්‍යවල  තිබෙන නිසාය කියන පැත්තෙනුත් මේ දිහා බලන්න පුළුවන් කියලයි. බොළඳ බව, භාවාතිශය බව, හැඟීම්වලට මූලිකත්වය දීම,  අධි නාටකීය බව වගේ  ලක්ෂණ මෙම ගුණය තුළ අන්තර්ගත දේවල් ලෙස දකින්න පිළිවන්. එම ගුණය බොහෝ විට පිරිමිවාදී විචාරකයින්ගේ රස වින්දනය සමග එකට යන ගුණයක් නොවෙයි.  උදාහරණයක් හැටියට, කාන්තාවන් සුළු දේකට වුණත් හඬන්න පුළුවන්. නමුත් පිරිමින් බලන්නෙ හඬන එක හැකි තරම් වළක්වා ගෙන 'පිරිමි බව' පෙන්නන්නයි. හඬන එක ඔවුන් දකින්නෙ බොළඳකමක්, ග්‍රාම්‍ය බවක්, දුර්වලකමක් හැටියටයි. මේ ලක්ෂණ දෙක තුළ තියෙන්නෙ ඔවුනොවුන්ට අනන්‍ය වූ එකිනෙකට වෙනස් ප්‍රතිචාර විධි දෙකක්.  සමහර විට මේ වෙනස පරිණාමය විසින් උරුම කරල දීපු වෙනසක් වෙන්නත් පුළුවන්. ගැහැනියක් සිය දරුවන් රැකබලා ගැනීමේදී ආදරය, සෙනෙහස ආදී හැඟීම් කලාපය ප්‍රබලවීම අවශ්‍යතාවක්. නැත්නම් මාස ගණනක් දරුවෙකු කුස දරා සිටීම සහ රැකබලා ගැනීම කරදරයක් බවට පත්වෙන්න පුළුවන්. නමුත් පිරිමියා ඊට වඩා (ආහාර සපයාගැනීම වගේ) පැවැත්ම හා බැඳුණු අභියෝග ජයගැනීම සඳහා බුද්ධිමය විසඳුම් සොයන කොට්ඨාශයක් හැටියටයි ගොඩනැගෙන්නෙ. මේක පරිණාමය ගැන අධ්‍යයනය කරන විද්‍යාඥයින්ද මතු කරන අදහසක්. මේ දෙකින් එකක් අනිකට වඩා උසස් කියල කියන්න පුළුවන්කමක් නැහැ. 
මේ ලක්ෂණ දෙක තුළ තියෙන්නෙ ඔවුනොවුන්ට අනන්‍ය වූ, එකිනෙකට වෙනස් ප්‍රතිචාර විධි දෙකක්.  ටෙලි නාට්‍යවලට මේ දෙගොල්ල  රස වින්දනය අතින් දක්වන එකිනෙකට වෙනස් ප්‍රතිචාර තුළ තියෙන්නෙත් මේ  වෙනස් වූ අනන්‍යතා දෙකේ පිළිබිඹුවක් ලෙස සලකන්න බැරිද? නමුත් කලා විචාරය තුළ කාලයක් තිස්සේම පිරිමින්  වැඩි ආධිපත්‍යයක් දැරීම නිසා කාන්තා රස වින්දනය විසින් දක්වනු ලබන ප්‍රතිචාරය බොළඳ, හැඟීම්බර, ග්‍රාම්‍ය, දුර්වල එකක් හැටියට ප්‍රතිරූපකරණයකට ලක් කරනව වෙන්න පුළුවන්. කලා විචාරය කියන්නෙ මතවාදී තලයේ කටයුත්තක්. ඉතිහාසයේ දීර්ඝ කාලයක් තුළ මතවාදී තලයේ ආධිපත්‍යය දැරුවේ පිරිමින්. කාන්තාවන්ට සමාජය තුළ, සංස්කෘතිය තුළ හිමිවුණු අඩු තැන, කොන් කිරීම ආදිය මීට හේතු වුණු බව රහසක් නොවෙයි.  මෙම පසුබිම තුළ කලා විචාරය වැනි මතවාදී ව්‍යාපාරවල තවමත් පිරිමි චින්තනයේ, පිරිමි රස වින්දනයේ බලය වැඩි වශයෙන් දකින්න පිළිවන් කියලයි මට හිතෙන්නෙ. බොළඳ නිර්මාණ, භාවාතිශය නිර්මාණ වගේ දේවල්  මෙම පිරිමින්ගේ බුද්ධි කේන්ද්‍රිය විචාර කලාව විසින් කොන් කරනු ලබන්නෙ මේ තත්ත්වය නිසාද? බොළඳ බව, හැඟීම්බර බව වගේ දේවල් මෝඩයි කියල කොන් කරනව ඇරෙන්න ඒවට ගැලපෙන විචාරවේදයක් ගොඩනැගෙන්නෙ නැත්තේ විචාර කලාව තුළ ඇති පිරිමි ආධිපත්‍යය නිසාද?
ටෙලිනාට්‍යවලින්  ‍පොඩ්ඩක් සිනමාව පැත්තට ගියොත්, හඳගම, ප්‍රසන්න වගේ අයගෙ, එහෙම නැත්නම් ලෙස්ටර්, පතිරාජ වගේ අයගෙ (එතරම් හැඟීම්බර නොවන, බුද්ධිවාදී වින්දනයක් ඉල්ලා සිටින) චිත්‍රපටි ගැන  ලියන්නෙ, කතා කරන්නෙ, ඒවා අගය කරන බව පෙන්නන්නෙ වැඩිපුර පිරිමි විචාරකයො, පිරිමි ප්‍රේක්ෂකයො.  කාන්තා පාර්ශ්වයට මේ චිත්‍රපට වැඩියම වින්දනීය වෙන්නෙ නැති බව මා හොඳින් නිරීක්ෂණය කරපු දෙයක්. හින්දි චිත්‍රපටවලට ඔවුන් ඊට වැඩිය කැමතියි. ඔවුන් වැඩිය කැමති හැඟීම් කේන්ද්‍ර කරගත්තු වින්දනයකට නිසා. නමුත් අධිපති සිනමා විචාර කලාව ඇතුළෙ හින්දි චිත්‍රපට කියන්නෙ බොහෝ විට  ගර්හිත කලාවක්. නමුත් මේ භාවාතිශය චිත්‍රපටවල වුණත් ඒ හැඟීම්බර බව, වින්දනීය බව, නාටකීය බව ඇති කරන්න විවිධ නිර්මාණශීලී, සෞන්දර්යාත්මක ශිල්ප ක්‍රම විශාල වශයෙන් භාවිත කරනව. ඒවායේ තිර රචනා අතර ඉතා නිර්මාණශීලී රචනා අපට හමු වෙනව. භාවාතිශය රඟපෑම ඉතා සියුම් තලවලට ගෙනියන රඟපෑම් අඩංගු වෙනව. නමුත් බොළඳ, හැඟීම්බර බව වැදගත් රසයක් බව පිළිිගත්තොත් විතරයි මේ නිර්මාණාත්මක බව අපිට අගය කරන්න පුළුවන් වෙන්නෙ. උදාහරණයක් හැටියට, ෂාරුක් ඛාන් මේ තරම් ආදරයට පාත්‍ර වෙන්න බලපාන හේතු ගැන බැරෑරුම් අධ්‍යයනයක් කරන්න අපි වැඩිය හිතන්නෙ නැත්තෙ බොළඳ/භාවාතිශය හැඟීම් ඇති කරන රංගනය වැදගත් රංගනයක් ලෙස පිරිමි විචාරවේදය පිළිනොගන්න නිසාද? 
සිනමාවට, ටෙලිනාට්‍යයට වගේම සාහිත්‍යය වගේ ක්‍ෂේත්‍රවලට අදාළවත් මේ කාරණය ගැන කතා කරන්න බැරිකමක් නැහැ. ජනප්‍රිය සාහිත්‍යය කියන එක අපේ විචාර කලාවෙන් පිටමං කරපු 'මෝඩ සාහිත්‍යයක්'. හැඟීම්වලට වඩාත් කිට්ටු රස වින්දනයක් තියෙන, කඳුළු සල සල චිත්‍රපට, ටෙලිනාට්‍ය බලන, නවකතා කියවන  කාන්තාවන් විචාර කලාවෙ ආධිපත්‍යය දැරුව නම් සමහර විට මේක කණපිට හැරෙන්න පුළුවන් ඔවුන් සමහර විට මේ භාවාතිශය කලාවට, බොළඳ කලාවට හරියන විචාරවේදයක් ගොඩ නගන්න පුළුවන්. 
මම මේ කිව්වෙ හදල ඉවර කරපු අදහසක් නොවෙයි. අපේ කලා විචාරය ඇතුළෙ මෙහෙම දේකුත් තියෙන්න පුළුවන්ද කියන ප්‍රශ්නය සාකච්ඡාවට යොමු කරන්නයි වුවමනා වුණේ.
එසේම කාන්තාවන් යනු බුද්ධිමය රසවින්දනයකට අසමත් පිරිසක් කියන පටු අදහසක් මෙයින් ගම්‍ය නොකෙරෙන බව සඳහන් කළ යුතුයි.
 
නිහාල් පීරිස්

ඇද හැලෙන වර්ෂාව සුන්දර වුව ද එය ධාරාණිපාත වර්ෂාවක් වූ කල මතුවන තත්ත්වයන් සුන්දර නොවේ. එසේම එය මහ විපතක්ව ගම් බිම් මැදි කරගෙන, වගා බිම් විනාශ කරගෙන, අස්වනු උදුරා ගෙන වැසි ඇදහැලෙන්නේ නම් ඒ මහා විපත ආශිර්වාදයක් ලෙස දැකිය හැක්කේ කවුරුන්ටද? මේ මොහොතේ දේශීය ලොකු ලූනු ගොවියන් මුහුණ දී සිටින තත්ත්වය ද එසේය.

පවතින ධාරණිපාත වර්ෂාව හේතුවෙන් දේශීය ලොකු ලූනු වගාවට සිදුවන හානිය සැලකිල්ලට ගනිමින්, මෙය හදිසි ආපදාවක් ලෙස සලකා, තිස් දහසකට ආසන්න ලොකු ලූනු ගොවියන්ට සහන සැලසීමට වන්දි ලබා දීමට ක්‍රමවේදයක් වහාම සකස් කරන ලෙසට මේ වනවිටත් සමස්ත ලංකා ගොවිජන සම්මේලනය රජයට බලකර ඇත.
මෙහිදී ලොකු ලූනු ගොවියන් පෙන්වා දෙන කාරණා ද සරලව දැකිය නොහැකි වන්නේ ඔවුන් සැබැවින්ම මේ වන විට මුහුණ දී සිටින තත්ත්වය බරපතළ නිසාය.

කුඩා කුඩා අතුපැලවල ජීවත් වෙන ඔවුන්ට අසීරුවෙන් බොහෝ වෙහෙස මහන්සියෙන් වගා කළ ලූනු අස්වනු, මහවරුසාවෙන් බේරා ගෙන ඒවා කල්තබා ගැනීමට ක්‍රමයක් නැත. ඒවා කල්තබා ගැනීමට නම් ලූනු ගෙඩි එක මත එක මත තැබිම වළක්වමින් බිම තුනී කර ගත යුතුව ඇත. එහෙත් ඒ සඳහා ලොකු ඉඩකඩක් ඕනෑය. අසීරුවෙන් නෙළා ගත් ලූනු අස්වනු කුණු වී යාම වැළැක්වීමට මෙසේ ලූනු අතුරා ගැනීමට ඔවුන්ට සිදුව ඇත. ඒ නිසාම හැම ගෙයක් ඇතුලෙම හැම අතටම ලෑලි දමා ඇත්තේ ලූනු හැම තැනකම අසුරා ඇති බැවින්ය. එහිදී එක ගෙඩියක් හෝ කුණුවුවහොත් සෙසු සියලු ලූනු අහක දමන්නට සිදුවන බව ගොවීන් පවසන්නේ මහත් විස්සෝපයෙනි. කෙසේ වුවද දිනපතා සැලකිය යුතු ප්‍රමණයක් අඩුම තරමින් කිලෝවක් පමණ එසේ අහක දමන්නට සිදුවන බව ද ගොවීන් ගෙනහැර දක්වන මැසිවිල්ලකි.
ලොකු ලූනු බිජ කිලෝවක මිල රුපියල් 18,000ත් 20,000ත් අතර පවතින බවත්, බිම සකස් කිරීම සෙසු කටයුතු සියල්ල කළ පසු ලොකු ලූනු කිලෝවක් සඳහා ගොවියාට ඒ වෙනුවෙන් රුපියල් 60කට වැඩි පිරිවැයක් දරන්නට වෙන බවත්, එහෙත් අස්වැන්න වෙළඳ‍පොළට ගෙන ගිය පසු තුට්ටු දෙකට ඒවා විකුණන්නට එම ගොවි ජනතාවට සිදුව තිබෙන බව කියන්නේ ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න මහතාය.

ලූනු අලය ඉරි එනම් ලූනු ගෙඩිය හොඳින් ‍පෝෂණය වන්නට දින 40ක් පමණ අවශ්‍යය. දැන් ගොවිබිම්වල ඇත්තේ දින 40 ඉක්ම වූ ලොකු ලූනුය. මෙවැනි තත්ත්වයක එම ලූනු වගාව තිබියදී ධාරාණිපාත වර්ෂාව ඇද වැටීම නිසා ලූනු මුළුමණින්ම කුණු වී යාම නිසා ගොවියා පත්ව සිටින්නේ අන්ත අසරණ තත්ත්වයකටය. සිය නිවෙස්වල කණකර, දේපළ, උකස්කර, බැංකුවලින් පමණක් නොව මරණාධාර සමිතිවලින් පවා ලොකු ලූනු ගොවියන් ණය ගෙන තිබෙන බවත්, එම ණය ගෙවා ගැනීමට නොහැකිව ඔවුන් අසරණව සිටින බවද ඒ මහතා පෙන්වා දෙයි.

මේ වන විට ලූනු නිෂ්පාදනය බරපතළ ලෙස අඩු වී ඇත. මාත‍ලේ දිස්ත්‍රික්කයේ හෙක්ටයාර් 3500ක වගාවක් සාමන්‍යයෙන් තිබුණ ද, මෙවර වගා කර ඇත්තේ හෙක්ටයාර් 1000ක් පමණ බව ඔහු පවසයි.  සමස්තයක් ලෙස ගත්විට ලූනු නිෂ්පාදනය බරපතළ ලෙස පහත වැටී ඇත.

අධික වර්ෂාව මෙන්ම ඒ සමග ඇති වී තිබෙන දිලීර රෝගය නිසා දේශීය ලොකු ලූනු ගොවියන්, ලූනු වගාවෙන් මේ වන විට ඉවත්වන තත්ත්වයට පත් වී තිබේ. ගොවියාට සිය අස්වනු සඳහා සාධාරණ මිලක් නොමැති වීම, නිෂ්පාදන වියදම වැඩිවීම, කිසියම් හානියක් සිදුවුවහොත් එයට සාධාරණ වන්දි ගෙවීමක් නොලැබිම යන කාරණා මත ගොවියා වගා බිමේ රැඳී සිටීමේ අවදානම ගන්නට කැමති නැත. ඒ නිසාම ඔවුන් වගාවෙන් මේ වන විට ඈත්වන්නට පටන් ගෙන තිබේ. එසේම ලොකු ලූනු වගා කරන ලද ගොවියන් වගා බිමේ රඳවා ගැනීමට ආණ්ඩුව සමත් වී නැති බව ද ඔවුන් කරන තවත් චෝදනාවකි.

පවතින මෙම සියලු තත්ත්වයන් සැලකිල්ලට ගනිමින් ලොකු ලූනු ගොවියන්ට කඩිනමින් වන්දි මුදලක් ලබා දීමට රජය කටයුතු කළ යුතුව ඇතැයි ද දැඩිව අවධාරණය කර සිටින ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායකවරයා ආණ්ඩුව එසේ නොකළහොත් දේශීය ලොකු ලූනු ගොවියාගේ අයිතීන් වෙනුවෙන් පාරට බසින්නට වුවත් සූදානම් බවද පවසයි.

ලොකු ලූනු ගොවියන් හැරුණු විට වී ගොවියන්, එළවළු ගොවියන්, සෝයා ගොවියන් මේ හැම ගොවියෙකුගේම ප්‍රශ්නය එකම බවත් , එම හැම ගොවියෙකුටම ඇත්තේ එකම ඛිෙදවාචකයක් බවත් පෙන්වා දෙන ඒ මහතා රටේ සමස්ත ගොවියා අද මුහුණ දී සිටින මෙම ශෝචනීය තත්ත්වයෙන් මිදීම සඳහා ආණ්ඩුව ගොවියා වෙනුවෙන් වන්දි ගෙවීම්, බැංකු ණය කපා හැරීම් ඇතුළු විවිධ සහන ලබා දීමට ක්‍රියා කළයුතු  යැයි ද පවසන්නේ එය ආණ්ඩුවේ වගකීම සහ යුතුකම බව පෙන්වා දෙමිනි.

කෘෂි රක්ෂණ මණ්ඩලයේ සභාපති සිඩ්නි ගජනායක මහතා මෙම දේශීය ලොකු ලූනු ගොවියන් මුහණ දී සිටින ගැටලු සම්බන්ධව අවධානය යොමු කරමින් කියා සිටින්නේ කෘෂි රක්ෂණ මණ්ඩලය විසින් ලොකු ලූනු ගොවියන්ට වන්දි ලබා දීම කඩිනමින් ආරම්භ කරන බවය. එසේම කෘෂි රක්ෂණ මණ්ඩලය විසින් රක්ෂණය කර ඇති ලොකු ලූනු ගොවියන්ට වන්දි ලබා දීම කඩිනමින් ආරම්භ කරන බවත්, එසේම රක්ෂණය නොවූ එහෙත් හානියට අපාදාවන්ට පත්ව සිටින ගොවියන්ගේ තොරතුරු ගැන සමීක්ෂණයක් පවත්වා ඔවුන් සම්බන්ධයෙන් තොරතුරු මුදල් අමාත්‍යාංශයටත්, කෘෂිකර්ම අමාත්‍යාංශයටත්, ආපදා කළමණාකරණ අමාත්‍යාංශයටත් ලබා දීමට පියවර ගන්නා බවත් අදාළ අනුමැතියන් ලබා දුන් වහාම එම ගොවියන් වෙනුවෙන් වන්දි ගෙවීමේ ක්‍රමවේදයක් සකස් කරන බවද ඒ මහතා පැවැසීය.

නමුත් ඒ මහතා පෙන්වා දෙන ආකාරයට කෘෂි රක්ෂණ මණ්ඩලය යනු ආපදාවක් සිදුවූ විට සහන සලසන ආයතනයක් නොවේ. එසේම එය රක්ෂණ ආයතනයක් වන අතර මුදල් ගෙවිය හැක්කේ  රක්ෂණය වී සිටින ගොවියන්ට බවත්, මේ වන විට මාත‍ලේ දිස්ත්‍රික්කයේ ලොකු ලූනු ගොවියන් දෙසීය දෙනෙකු පමණ එසේ රක්ෂණය වී සිටින බව ද ඔහු පවසයි. මේ වනවිටත් අයවැයෙන් ලංකාවේ අනිවාර්යෙන්ම රක්ෂණය විය යුතු භෝග වර්ග 6ක් නම් කර තිබේ. වී, බඩ ඉරිඟු, සෝයා, ලොකු ලූනු, අර්තාපල්, මිරිස් ඒව අතර වෙයි.  ඉතාමත් අඩු රක්ෂණ වාරිකයක් මගින් උපරිමය රුපියල් 40,000 දක්වා මුදලක් මෙහිදී ගොවියා වෙත ලබාදෙයි.

මෙහිදී මේ පිළිබඳව වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු මෙලෙස කියා සිටියි.
කෘෂි රක්ෂණ මණ්ඩලය සිටින්නේ ගොවීන්ට ස්වාභාවික ආපදාවකදී හෝ තමන්ට පාලනය කරගත නොහැකි ආපදාවකදී තමන්ගේ ගොවිපළට හානියක් සිදුවූ විට, ඒ සඳහා රක්ෂණ ආවරණයක් ලබා දී එම ගොවියාට සිදුවූ පාඩුව මකා දැමීමටත් ඔවුන්ට සහන ලබා දීමටයි. ලොකු ලූනු ගොවියන්ටත් රක්ෂණයක් ඉදිරිපත් කරලා තියෙනවා. හැබැයි ප්‍රශ්නය තියෙන්නේ දැන් ලොකු ලූනු ගොවියන්ගෙන් ඒ රක්ෂණය ලබා ගෙන තියෙන්නේ බැංකුවලින් ණය ගත්ත ගොවීන් විතරයි. අනෙකුත් ගොවියන් එම රක්ෂණය අරගෙන නැහැ. බැංකුවෙන් ණය ගන්න විට බැංකුව අනිවාර්ය කරනවානේ රක්ෂණ ආවරණය. ඒක නිසා ගත්තා. නමුත් අනිකුත් ගොවීන් තමන්ගේ ඒ අවදානම කළමණාකරණය කර ගැනීම සඳහා රක්ෂණ ආවරණයක් ලබා ගන්න අවස්ථාව තිබුණත් ගත්තේ නැහැ. මේ කා‍ලේ ඉස්සර වගේ නමෛයි. ස්වාභාවික උවදුරු වැඩියි. ගොවි ජනතාවට මුහුණ දීමට සිදුවන හානි වැඩියි. අවුරුදු 5කට වතාවක් වෙන දෙයක් ගොවියෙකුට දරාගන්න පුළුවන්. නමුත් එක අවුරුද්දක් ඇතුළත වගේ වෙන විවිධ විපත් හේතුවෙන් ගොවි ජනතාව විශාල ලෙස අසරණ වෙනවා. ඇත්තම කිව්වොත් අනිවාර්යෙන්ම ලොකු ලූනු ගොවියන් රක්ෂණ ක්‍රමයකට බැඳිය යුතුයි. එසේ රක්ෂණ වන්දියක් නැති වුනොත් ගොවියාට හදිසි ආපදාවකදී කරකියා ගන්න දෙයක් නැතුව යනවා.

රක්ෂණ වාරිකය ගත්තොත් සියයට 9ක වාරිකයක් ලොකු ලූනු ගොවියන්ගෙන් අය කරනවා. සියයට 9 ගත්විට ලූනුවලට ලක්ෂ 2ක් ගියොත්, කන්න දෙකක දී රුපියල් 18,000ක රක්ෂණ වාරිකයක් වෙනවා. රුපියල් ලක්ෂ දෙකම ආවරණය කරන්න වුණාම ඒ ගාණ වෙනවා. ගොවීන් එවැනි මුදලක් දීලා ආවරණයක් ලබා ගන්න පෙළඹෙන්නේ නැහැ. මොකද ගොවීන් හිතන්නේ නැහැ රක්ෂණයට  යන වියදමත් තමන්ගේ නිෂ්පාදන වියදමත් එකතු කරගෙන කළ යුතුයි කියලා. මේ නිසා තමයි අපි දැනට යම් ප්‍රතිකර්මයක් හැටියට මෙවර අයවැයෙන් ලොකු ලූනු වගා රක්ෂණය අනිවාර්ය කර තිබෙන්නේ.

පද්මිණී මාතරගේ

දකුණු අධිවේගී මාර්ගයට කොට්ටාවෙන් ඇතුළු වුණ මාත් මාගේ මිත්‍රයාත් ඉන් පිටතට යන විට අඳුර වැටෙන්නට  ළංව තිබුණි. අතරමැද තේ කෝප්පයක රසද නොලබා යුහුසුළුව ගමනාන්තය කරා ළඟා වීමට අප කථිකා කළේ සූර්යාලෝකයේ මද එළියකින් හෝ මෙම සුවිශේෂී පරිසර පද්ධතිය දැක ගැනීමේ අටියෙනි.
කෙසේ වෙතත්  අප ගමනාන්තයට ළඟා වනවිට සැලකිය යුතු අන්දමින් අඳුර අප වටා පැතිර තිබිණි. තංගල්ල නගරය පසුකොට මඳ දුරක් පැමිණ මුහුද පැත්තට හැරුණු අපි මහ වනයකට පිවිසුනෙමු.
'ඒ මුහුද අයිනට නේද යන වැයි කීවේ. මේ කැලෑවකනේ ඉන්නේ' යැයි මා  මිත්‍රයා පැවැසූ විට මට මදක් සිනහ ගියේ රැකව වන සංරක්ෂිත ප්‍රදේශය පිළිබඳව මා කලින් කියවා තිබූ නිසාය. රාත්‍රියේ මේ කිසිවක සුන්දරත්වය නිසි ලෙස දැක ගැනීමට නොහැකි වීමෙන් කම්පාවෙන් යුතුව ඉදිරියට ඇදුන අපට ක්ෙෂණිකව වාහනය නතර කිරීමට සිදුවිය.  ඒ මා හා මාගේ මිත්‍රයා ඡායාරූවලින් පමණක් දැක තිබූ හඳුන් දිවියකු මාර්ගය හරහා  පැනීම නිසාය. නවාතැන්‍පොළට යාමට තිබුණේ කෙටි දුරක් වුවත්  එම කෙටි දුර යාමට අඩ හෝරාවක් පමණ ගතවිය.
අප පැමිණ තිබෙන්නේ සුවිශේෂී පරිසර පද්ධතියකටය. ලංකාවට ආවේණික, කඩොලාන, විශේෂයෙන් සියල්ලම සුරැකිව පවතින අසමතුලිත සංවර්ධනයේ නිම් වළලු පුළුල් නොවූ රැකව කලපුවත් ඒ ආශ්‍රිත මුහුදු තීරයට සුවිශේෂ කරුණු කිහිපයක් මෙහිලා සඳහන් කිරීම වටී.
 
* කඩොලාන සහ කටු සහිත වනාන්තර 14 පමණ මෙහි ඇත.
* කලපු ආශ්‍රිත පළල් මුහුදු තීරය කිලෝමීටර 10 පමණ වේ.
* කලපු ආශ්‍රිතව හෙක්ටයාර් 500 පමණ කුඹුරු පිහිටා ඇති අතර එයින් වැඩි ප්‍රමාණයක් පුරන් බිම් ලෙස අතහැර දමා තිබේ.
* පවුල් 250ක් පමණ මෙහි ජීවත්වන අතර පුද්ගලයන් 10,000 පමණ ආසන්න ප්‍රමාණයක් නියෝජනය වේ.
* මුල් කාලයේ එනම් මෙයට දශක දෙකකට පමණ පෙර (රැකව 
කළමනාකරණ ව්‍යාපෘතිය ක්‍රියාත්මක වන කාලයේ 1000 කට ආසන්න ධීවර  ප්‍රජාවක් මේ ආශ්‍රිතව ජීවත් වුණද දැන් එය 200 පමණ සීමා වී තිබේ.
මෙම පරිසර පද්ධතිය සුවිශේෂී වනුයේ තවමත් සම්පූර්ණයෙන් විනාශ නොවූ  කලපුව ධීවර ජනතාව කඩොලාන වනාන්තරය සහ එහි ජීවීන් කෘෂිකර්මාන්ත භූමි භාගයන් සුවිශේෂී  වැලිකන්ද ආශ්‍රිත වෙරළ පරිසර පද්ධතියේ අනේ‍යාන්‍ය රඳා පැවැතීමයි.
මෙහි අභාවාචක අත්දැකීම නම් වසර 21 කට පමණ පෙර ක්‍රියාත්මක වූ රැකව  විශේෂ කලාප සංවර්ධන වැඩසටහනෙන් පසු කිසිදු සුවිශේෂ ව්‍යාපෘතියක් මෙය රැක ගැනීම වෙනුවෙන් ක්‍රියාත්මක නොවීමයි.
ශ්‍රී ලංකාවට අයත් මුහුදු  තීරයේ දිග කිලෝමීටර් දිගින් 1620 වන අතර 24 වෙරළබඩ කලාපයේ පිහිටා ඇත. (මුළු බිම් ප්‍රමාණයෙන් ) ශ්‍රී ලංකාවේ ජන ගහනයෙන් 25ක් පමණ වෙරළ කලාපයේ ජීවත්වන අතර ඉඩන් 70ක් සංචාරක හෝටල් වේ. කෘෂිකාර්මික ඉඩම් 10ක් දක්වා පහත වැටී තිබේ.  කලපු 82කින් සමන්විත මෙම රමණීය භූමි භාගය විශාල අවධානමකට ලක්ව තිබිම කනගාටුවට කරුණකි.
විටෙක පරිසරවේදියෙක් මා සමග පැවැසුවේ උතුරු නැගෙනහිර කලාපය හැරුණු කොට රැකගන්න තියෙන්නේ කළපු දෙකකි එකක්  පානම හා අනෙක රැකව විතරයි. අනිත් කලපු සියල්ල මේ වන විට නැවත යථා තත්ත්වයකට පත්වීමට  නොහැකි මට්ටමට විනාශවෙමින් තිබෙන බවයි.
ඒ සඳහා උදාහරණ සැපයීමට මෙම ලියවිල්ල ප්‍රමාණවත් නැති නිසා එක් උදාහරණයක් පමණක් සඳහන් කිරීමට සිතුණි. ලංකාවේ අපි සියලු දෙනාම විනෝදාස්වාදය සඳහා භාවිත කරන තවත් එක් වෙරළ තීරයක් වන්නේ මීගමු වෙරළ තීරයයි.
ශ්‍රී ලංකාවේ බටහිර වෙරළ ආශ්‍රිතව කිලෝමීටර් 12.5 දිගින්ද කිලෝමීටර් 0.3 සිට කිලෝමීටර් 3.6 දක්වා විවිධ ප්‍රමාණික පළලින්ද යුත්  හෙක්ටයාර්  360ක වපසරියක් පුරා පැතිරුණු පටු මුවදොරකින්ද  සාගරයට විවෘතව පවතින මීගමුව කලපුව කලකට පෙර මනරම් පරිසර පද්ධතියකි. දඩුගම්ඔය හැමිල්ටන් ඇළ ආදියෙන් අඛණ්ඩ මිරිදිය සැපයුමක් සහිත මෙහි ඇතැම් තැනක  වගුරු බිම් ආශ්‍රිතව වැඩුණු විවිධ ප්‍රවේධික කඩොලාන පද්ධතියක් සැකසී තිබුණි. ඇරුණු මෝයකට සහ කලපුවේ විශාලත්වය නිසා ධීවර කර්මාන්තයෙන්  යැපෙන ජනතාව 15000කට අධිකය. මීට වසර 7කට පමණ පෙර මෙවැනිම පර්යේෂණ ලිපියක් සම්පාදනයෙහිලා මා එහි දින 7ක් පමණ ගත කරන ලදී වසර ගණනක් ධීවර කටයුතුවල නියැලෙන පැරණි ධීවරයෙකු මට කියූ වචන තවමත් මා දෙසවනෙහි දෝංකාර දෙයි 'මගේ පියා මගේ අම්මා විවාහ කරගෙන ආ දවසේ  ඉදන් මගේ අම්මාව ‍පෝෂණය කළේ මේ කලපුව. මාව ‍පෝෂනය කළෙත් මේ කලපුව. ඉතින් අපි හැමෝගෙම අම්මා මේ කලපුව තමයි.
සංවර්ධනයේ මුවාවෙන් සිදු කෙරෙන අවධිමත් මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් තම මව තමන් ඉදිරිපිටම දෑත් දෙපා බැඳ විනාශ කරනවා බලා සිටීමට මීගමුව ධීවර ප්‍රජාවට සිදුවිය.
 
* වේගයෙන් වර්ධනය වන සංචාරක කර්මාන්තය මුළු මහත් පරිසර පද්ධතියම ආක්‍රමණය කිරීම
* අධි තාක්ෂණික මෙවලම් උපකරණ හා තහනම් පන්න ක්‍රම භාවිතය මත්ස්‍ය ජීවිතයට හානි පැමිණ වීම
* ඝන අපද්‍රව්‍ය කලපුවට මුදා හැරීම
* තෙල් ග්‍රීස් දුමින් මුළු කලපුවම වැසී යන බරපතළ ඛිෙදවාචකයකි
 
මෙම දූෂණය නිසා විවිධ ලෙඩ රෝග පවා  (චර්ම රෝග) කලපුව ආශ්‍රිත ප්‍රදේශවල පැතිරයමින් පවතී. මීට දශක 7 -8 කට පෙර ජීවත් වූ ලුනාව කලපුව ආශ්‍රිත වැඩිහිටි ප්‍රජාව පැවැසුවේ  කලපුවෙන් වතුර ටිකක් බිව්වම කක්කල්කැස්ස හොඳවන බවය. අද ලුනාව කලපුව ගැන කවර නම් කතාද?
රැකව නවාතැන්‍පොළේ සිට ඉදිරියට උදෑසනින්ම අවදි වූ අපි මුහුදු වෙරළට ගියේ උදෑසන හිරු එළිය යන්තම් පතිත වද්දීය. ඈතට පෙනෙන මායිමේ කිලෝමීටර් 3-4 මුහුදු තීරයේ කිසිදු මිනිසෙකු නොසිටීම පුදුම සහගතය. එකෙනෙහිම මා මිත්‍රයාට කැස්බෑවුන් පැමිණි මාර්ගයක් නෙත ගැටුණි. කැස්බෑවුන් බිත්තර දමන්නට එන වෙරළ තීර අතරින් රැකව සුවිශේෂී වෙරළ තීරයක් ලෙස හඳුනාගෙන ඇත. වසර 25 - 30  කට වරක් වෙරළට පැමිණ බිත්තර දමන මෙම කැස්බෑවුන් නැවත එම කාලයම ගෙවා පැමිණෙන්නේ එම ස්ථානයටමය. මෙහි ඛිෙදවාචකය වන්නේ එවිට එම ස්ථානයේ සංචාරක හෝටලයක් ඉදිකර තිබුණොත් කිනම් අසරණභාවයකට මේ අසරණ සතුන් මුහුණ දෙනවාද යන්නයි?'
සංචාරක ආකර්ෂණය දිනාගත් කැස්බෑ සම්පත රැක ගන්නේ කෙසේද? දිවා කාලයේ රැකව ධීවරයින් හමු වූ අප ඔවුන් සමග කථිකා කරන විටත් පැවැසූ වචන මෙහිලා සඳහන් කිරීම වටී.
'ඉස්සර නම් මහත්තයා මේ ගමේ මිනිස්සු කැස්බෑවෝ   මරන් කෑවා. දැන් ඒවා ගොඩක් අඩුවෙලා ගිහින් තියෙන්නේ' කැස්බෑ බිත්තර කෑමට තරම් සාගතයක් රැකව ගමේ තිබේදැයි අප ඇසූවිට ඔවුනගේ මුවට මද සිනහවක් නැගුනි. එක් ධීවරයෙක් හඬක් අවදි කළේ මෙසේය.
'අවුරුදු 20 කලින් තිස්ස මහත්තයලා ආවයින් පස්සේ  තමයි මේ මහත්තයලා ඇවිත් අපි එක්ක  කතා කරන්නේ. දැන් අපේ කලපුවේ ඉස්සෝ නෑ මහත්තයෝ. ඉස්සෝ හරිම හිඟයි.  සැරින් සැරේ ආණ්ඩුවේ අය ඇවිත් කලපුවට ඉස්සෝ දැම්මා . 4ක් දැම්මොත් 2යි අල්ලන්න පුළුවන්. ඒ කියන්නේ ඉස්සාගේ ජීවන චක්‍රය හරියට ක්‍රියාත්මක වෙන්නේ නෑ.
මහත්තයල ඇවිත් තියෙන්නේ හොඳම කා‍ලේ. පසුගිය ගංවතුරට අනවසර ඉදිකිරීම් ගොඩක් ගහගෙන ගියා. කලපුවට අවහිරයක් වෙලා තිබ්බ  කෝසුව පාලමෙන් ගලවගන ගියා. දැන් ඒක ආපහු  වැරදි විදිහට  ඉදි කරන්න අපි ඉඩ දෙන්නේ නෑ. ඉස්සාගේ ජීවන චක්‍රය අවුල් කරන්න අපි දෙන්නෙත් නෑ. කලපුව රැක ගන්න අපි ඕන දෙයකට උදව් කරනවා'
ඔවුන්ගේ දෑස්වල තිබුණු දීප්තිමත් බව හා සෘජු බව අපේ මනස ශක්තිමත් කළා. පසුදා උදෑසන වෙරළ තීරයේ ගිය අපිට ලංකාවේ කීප තැනක පමණක් පිහිටා තිබෙන කිලෝමීටර් 100ක් පමණ පළල කිලෝ මීටර් 3-4 ඈතට දිවෙන වැලි කන්ද දැකගත හැකි විය. අප සමග ගිය ධීවරයෙකු පැවැසුවේ 'මේ වැලි කන්ද  තමයි මහත්තයෝ සුනාමියෙන් අපිව ආරක්ෂා කරලා දුන්නේ. මේක නැත්නං අපි උන්හිටි තැන් හිතාගන්න බෑ' ඉන් මද දුරක් ඇවිද ගිය පසු වැලි කන්දේ විශාල භූමි භාගයක් වටකොට කම්බි වටක් ගසා සියලු කඩොලාන උදුරා දමා තිබෙන භුමි භාගයක් අපට දිස්විය. මදක්  කරුණු විමසූ කල අපට දැනගන්නට ලැබුණේ  එම භූමි භාගය බලවන්තයෙකුට අයත් බවත් විශාල හෝටලයක් ඉදිකිරීමට යන බවත්ය.
අමාරුවෙන් සිය ජීවන ඔරුව පැද යන මෙම ජනී ජනයා සිටින මෙම භූමිභාගයේ සංචාරක කර්මාන්තය ව්‍යාප්ත වීමට යන්නේ ඉදිරි වසර 5ක් පමණ තරම් කෙටි කාලයකි. ඉන් පසු ශීඝ්‍රයෙන් වර්ධනය වන ගමන් මාර්ග, යාන වාහන, නවාතැන්‍පොළවල්, මත්ද්‍රව්‍ය, අනවසර ඉදිකිරීම්, රස මසවුළු වලින් මේ භූමිය වැසී යනු ඇත. එවට රැක ගන්නට කඩොලාන හෝ වැලිකන්දක් හෝ කලපුවක් තියා ඉස්සෙක්වත් ඉතුරු නොවනු ඇත.
 'කාලෝ අයංතේ'
 සංවර්ධනය වළක්වාලීමට  හෝ සංචාරක කර්මාන්තයට බාධා කිරීමට කිසිදු වුවමනාවක් පරිසරවේදීන් ලෙස අපට නොමැත. නමුත් පාරිසරික සංචාරක කර්මාන්තයක් දක්වා එය වෙනස් විය යුතු යැයි පදනම් දෘෂ්ටියක් ලෙස අප යෝජනා කරමු. රැකව මව රැක ගැනීමේ සටන ඇරඹී තිබේ. 1981  අංක 57 දරන වෙරළ සංරක්ෂණ පනතට අනුවත් 2004 වෙරළ කළමනාකරණ සැලසුමට අනුවත් වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තු ඇතුළු වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවටත් මෙම අකටයුතු වළක්වාලීමේ සුවිශේෂී බලයක් ඇත. දැන්  ක්‍රියාත්මක වීමට කාලය  පැමිණ තිබේ.
ස්වභාව ධර්මයා විසින් ගං වතුර ව්‍යසනය හරහා අනවසර ඉදිකිරිම් වලින්  30ක් පමණ ඉවත්කර දී තිබේ. සටන අරඹමු. රැකව රැක ගනිමු. පුරා දින දෙකක් රැකව ස්වභාවික සෞන්දර්්‍යය විඳගත්  අපි ඉන් පිටත්ව ආවේ ඉතා අපහසුවෙනි. ඊට හේතුව වූයේ අප නැවත පැමිණෙන කර්කෂ පරිසරය අපට මෙනෙහි වූ නිසාය.
 
කැලුම් අමරසිංහ

කතරගම දෙවො‍ලේ තේවාව බෙදා ගන්නට නොහැකිව බස්නායක නිලමේවරයා සහ ප්‍රධාන කපු මහතා අතර ඇති වූ ආරවුල බුද්ධශාසන හා වනජීවී අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරාගේ මැදිහත්වීමෙන් පසුගියදා නිරාකරණයට පත්විය.  ගැටලුව මතු වී තිබුණේ පැරණි කපු මහත්වරුන්ට දේවාලයේ තේවා කටයුතු මාස පහක් වෙන් කළ පසු ඉතිරිවන මාස හතේ තේවා කටයුතු පිළිබඳවය. එම මාස හතෙන් පහක් නවක කපු මහත්වරුන්ට බෙදා දුන් අතර ඉතිරි මාස දෙකද කපු මහත්වරුන් සියලු දෙනා වෙත සමසේ බෙදී යන්නට කටයුතු සැලසීමට බෞද්ධ කටයුතු කොමසාරිස්වරයා හා අමාත්‍යවරයා කටයුතු කර තිබේ. ඊට අමතරව එක් මාසයක් දේවාලයේ  තේවාව සිදු කරන කපු මහතෙකු දේවාල අරමුදලට මසකට ලක්ෂ 20ක් ලබාදීමටද එකඟතාව පළ කර තිබේ. බස්නායක නිලමේ ඩී.පී. කුමාරගේද වසරකට ලක්ෂ 500ක් එනම් කෝටි පහක මුදලක් දේවාලයේ අරමුදලට බැර කිරීමටද එකඟතාව පළකර තිබේ. 
බැතිමතුන්ගේ පුද පඬුරුද විවිධ පූජා ද්‍රව්‍යද රන් රිදී අබරණ ආදියද දිනපතා කතරගම දෙවියන් උදෙසා දේවාලයට පූජා කරනු ලැබෙයි. දෙවියන්ගේ නාමයෙන් පුදනු ලබන මේ සියලු ධන සම්භාරයන් අයිති වන්නේ කපු මහත්වරුන්ටය. සැබැවින්ම කතරගම දෙවොල සල්ලි උල්පතකි. බස්නායක නිලමේවරයා හා දේවාලයේ කපු මහත්වරුන් අතර ගැටුම ඇතිවන්නේද මෙකී ධනස්කන්ධය බෙදා ගැනීමේ ක්‍රියාවලියේදීය. 
මහජනතාවගේ අති විශාල භක්තිය මත දෙවියන් උදෙසා පූජා කරනු ලබන දේ මහා ගංගාවකට උපමා කළහොත් දේවාලයේ අරමුදලට බැර කිරීමට ‍පොරොන්දු වී ඇත්තේ ඉන් දිය දෝතක් පමණක් බව අපට සිතෙන්නේ මිලියන ගණනින් අරමුදලට දෙන්නට දෙපාර්ශ්වයම එකඟවූ බැවිනි. ඒ අනුව බැලුවහොත් කතරගම  දේවාලයේ ආදායමේ තරම අපට හිතා ගන්නටත් බැරි තරම්ය. 
දේවාලයේ තේවාව වැඩි මාස ගණනක් කපු මහතෙකුට ලබාදීමෙන් පසු එම කාලයේ ආදායමෙන් කොටසක් බස්නායක නිලමේවරයාගේ අරමුදලට ලබා ගැනීම කාලයක පටන් සිදුවී ඇත්තේය. මෙසේ වැඩි මාස ගණනක් එක් අයකුට ලබාදීමෙන් බස්නායක නිලමේවරයාට ලබාගත හැකි මුදල් සම්භාරයේ තරම නිසා පසුගිය වසර 30ක කාලයේ පටන් බස්නායක නිලමේ තනතුර උදෙසා විශාල තරගයක් හටගෙන තිබුණේය. බස්නායක නිලමේ සටනේදී ඡන්දය ලබාදෙන්නන් වෙනුවෙන් කෝටි ගණනින් මුදල් වියදම් කිරීමටද නිලමේ අපේක්ෂකයෝ පසුබට නොවන්නේ එබැවිනි.
දුටුගැමුණු රජු ඉදිකළ බව කියන කතරගම දෙවො‍ලේ මුල්ම බස්නායක නිලමේ රජුගේ මාමා කෙනෙකු බව කියැවේ. 
පරපුරෙන් පරපුරට පැවැත ආ බස්නායක නිලමේ තනතුර ඉංග්‍රීසි පාලනයත් සමගම  මොනරාගල දිස්ත්‍රික්කයේ කොට්ඨාස එකොළහේ ප්‍රාදේශීය ‍ලේකම් වරුන්, හා කතරගම කිරි වෙහෙර අභිනවාරාමය, වැඩසිටි කන්ද විහාරය, සෙල්ලකතරගම මහසෙන් විහාරය යන විහාරස්ථානවල විහාරාධිපතිවරුන්, කොටබෝව දේවාලයේ නිලමේ, කතරගම දේවාලයේ වැඩබලන බස්නායක නිලමේ ඇතුළු ඡන්ද 17ක් මගින් තෝරා ගනු ලැබේ. දේවාලයේ පෙරහර සංවිධානය කිරීම, දේවාලයේ අලි ඇතුන් නඩත්තුව, දේවාලයේ ඉඩකඩම්වල ආදායම් එකතු කිරීම, දේවාලයේ පඬුරු පෙට්ටිවල ආදායම් බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවට ලබාදීම යනාදී රාජකාරීන් බස්නායක නිලමේවරයාට පැවැරේ. කෙසේ වුවද මෙහිදී එකතුවන අති විශාල ධනස්කන්ධය නිසා බස්නායක නිලමේවරයා හා කපු මහත්වරුන් අතර කලක පටන් ගැටුම් ඇතිව තිබේ. 
මේ පිළිබඳව අවධානය යොමු කළ බුද්ධශාසන අමාත්‍යවරයා මින් ඉදිරියට බස්නායක නිලමේ තනතුරට තෝරා ගන්නන් පිළිබඳ පුළුල් පරීක්ෂණ සිදු කර සුදුසුකම් බැලීමට මොණරාගල දිසාපතිවරයා ප්‍රමුඛ විශේෂ කමිටුවක් පත් කිරීමටත් ආධාර මුදල් ඇතුළු ආදායම් සම්බන්ධයෙන් විමර්ශනය කර සුදුසු අයුරින් කළමනාකරණය කිරීමට බෞද්ධ කටයුතු කොමසාරිස්වරයා ප්‍රමුඛ 
අධීක්ෂණ මණ්ඩලයක් පත් කිරීමටත් පියවර ගත් බවද සඳහන් වේ. කෙසේ නමුත් කතරගම දේවාලයේ ආදායම් පිළිබඳව විමසීමට බස්නායක නිලමේවරයා, ප්‍රධාන කපු මහතා සහ අනෙකුත් පාර්ශ්ව වෙත අප ඇමතුම් යොමු කළද ඒ කිසිවෙකු ඊට යහපත් ප්‍රතිචාරයක් දැක්වුයේ නැත.
 
 මිහිරාන් කරුණාරත්න

Page 2 of 6

IMAGE

සැමියාගේ බිමත්කම සහ නොගැළපීම නිසයි විවාහය බිඳ වැටුණේ

IMAGE 2017 Nov 23 13:33
තිලකා රණසිංහගේ ජීවිතයේ වඩාත්ම සතුටු වූ අවස්ථාව හා වැඩියෙන්ම දුක් වූ අවස්ථාව සිහිපත් කරන්න...
Views - 4326

ලංකාව හැර ගිය නතාෂා ආපහු ඇවිත් කියපු කතාව

IMAGE 2017 Nov 23 08:03
නතාෂා පෙරේරා පහුගිය කාලයේ වැඩිපුර දකින්නට ලැබුණේ නැහැ. ඒ ඇය තමන්ගේ ආදරණීය සැමියා ප්‍රිහාන්...
Views - 4032

55 වියැති බැංකු ලොක්කා 29 කන්තෝරු නෝනා සමඟ 'හනිමූන්' ගිහින්

IMAGE 2017 Nov 22 12:50
බැංකුවක උසස් නිලයක් දරන පනස්පස් හැවිරිදි සිය සැමියා වසර ගණනාවක් තිස්සේ විසිනව හැවිරිදි රජයේ...
Views - 7097

අහසේ සිට බිමට පනින එස්.ටී.එෆ්. යුවතියෝ

IMAGE 2017 Nov 22 10:55
අම්පාර උහන ගුවන් ධාවන පථයෙන් අහසට නැඟගත්, එම්. අයි. 17 වර්ගයේ හෙලිකොප්ටරය  නිලඹර දෙපළු කරමින්...
Views - 4426

මිහිදුම සහ වැස්ස ගැන 'කාලගුණ විද්‍යාවෙන්' බොරු කී‍වේ ඇයි?

IMAGE 2017 Nov 22 10:43
මේ දිනවල අළුයම් කාලයේ අගනුවර ඇතුළු ප්‍රදේශ රැසක දැඩි මිහිදුම් තත්ත්වයක් දක්නට ලැබුණු බව...
Views - 2817

මුගාබේගේ බිරිඳ ද පක්ෂයෙන් නෙරපයි

IMAGE 2017 Nov 21 09:37
වසර 37  ක කාලයක් සිම්බාබ්වේ දේශය පාලනය කළ රොබට් මුගාබේ නිවාස අඩස්සියට ගනිමින් හමුදාව එරට...
Views - 3623

Please publish modules in offcanvas position.

Web Analytics