Home    |    Daily Lakbima    |    Sunday Lakbima    |   Rajina |    Archive    |    Advertise With Us    |     Careers Email - [email protected] youtube
lakbima.lk

                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්     

උතුරු කොරියානු අත්අඩංගුවේ සිටි කාලයේ ඇමෙරිකානු සිසු ඔටෝ වොම් බියර් ගේ සිරුරේ වද දුන් බවට ලකුණු නැතැයි ඔහුගේ මරණ පරික්ෂණ වාර්තාවේ දැක්වෙයි. ඒ අනුව රූපවාහිනී සම්මුඛ සාකච්ඡාවකට ඉදිරිපත්වෙමින් ඔහුගේ මව්පියන් කළ චෝදනාවන් හා එම වාර්තාව අතර පරස්පරයක් පවතියි. 2016 උතුරු කොරියාවේ සංචාරයක යෙදී සිටියදී හෝටලයක නාම පුවරුවක් සොරකම් කිරීමේ වරදට අත්අඩංගුවට ගත් තම පුත්‍රයාට වද දුන් බවට එහිදී ඔටෝගේ දෙමව්පියන් චෝදනා කොට සිටියේය. මරණ පරීක්ෂණ වාර්තාවේ දැක්වෙන්නේ මොළයට ඔක්සිජන් සැපයීමේ මදිකමක් නිසා ඔහුගේ මරණය සිදුව ඇති බවයි.
ඔහු  පරීක්ෂා කළ  වෛද්‍යවරයා පවසා ඇත්තේ ඔටෝට කුමක් සිදු වූවේ දැයි නොදන්නා බවය. සෞඛ්‍ය හේතුන් මත උතුරු කොරියාවෙන් ආපසු එවනු ලැබූ ඔටෝ පැමිණ දින කිහිපයක් තුළ පසුගිය ජුනි මාසයේදී මියගියේය. ආපසු එනවිට ඔහු සිහිමද ගතියකින් හා අතිශයින් දුර්වලව සිටි බව වාර්තා විය. බොටුලිස්ම් නම් රෝගී තත්ත්වය ඔහුට වැලඳුන බව උතුරු කොරියානු බලධාරීන් පවසා සිටියද ඇමෙරිකානු වෛද්‍යවරුන් ඒ බව ප්‍රතික්ෂේප කරයි.

සී.එන්.එන්.

වනුආටුහි ගිනි කන්දක් සක්‍රීය වීම හේතුවෙන් දූපතක ජනගහනය සහමුලින්ම ඉවත් කිරීමට සිදු වූ බව වාර්තා වෙයි. අම්බේ නම් මෙම දූපතේ සිටි එකොළොස්දහසක ජනතාව ඉවත් කර ඇති අතර පැසිපික් කලාපයේ වෙනත් දූපත්වලට ඔවුන් ගෙනගොස් ඇත.පුපුරන්නට ආසන්නව දින ගණනාවක් තිබුණු මෙම ගිනි කන්ද සති අන්තයේදී පුපුරා ගිය බව වාර්තාවෙයි.
    සතිය මුලදී බලධාරීන් විසින් හයදහසක ජනතාව ඉවත් කරගන්නා ලද අතර පසුව ඉතිරි පිරිසද ඉවත්කිරීමට පියවර ගත්තේය. මේ වනවිට සියලුම දෙනා ඉවත් කරගෙන ඇති අතර එරට දූපතකින් මෙසේ සමස්ත ජනතාවම ඉවත්කිරිමට සිදු වූ පළමු අවස්ථාව ලෙස මෙය දැක්වෙයි.

සී.එන්.එන්.

කාන්තාවන්ට රිය පැදවීම තහනම් කර තිබූ ලෝකයේ එකම රට සෞදි අරාබියයි. තනිව රිය පදවාගෙන යන කාන්තාවන් අත්අඩංගුවට ගෙන හිරේ විලංගුවේ දැමීම එරට නිතර දක්නට ලැබෙන්නකි. දඬුවම් ලෙස කස පහර නියම කළ අවස්ථා ගැනද සඳහන්ව තිබේ. පසුගිය 26 වෙනි දින මෙම තහනම ඉවත් කරමින් එරට රජය කාන්තාවන්ට රිය පැදවීමේ නිදහස ලබා දීම සෞදි ඉතිහාසයේ විශේෂ සිදුවීමක් වන අතර කාන්තාවන් මෙන්ම නිදහස සහ මානව හිමිකම් අගයන සියලු දෙනා මේ පිලිබඳව මහත් සතුටට පත්ව සිටිනු දැකිය හැකි වෙයි. කාන්තාවන්ට රිය පැදවීමේ නිදහස ලබා දෙමින් ඉදිරියේදී ඊට අදාළ නීති සැකසෙනු ඇති අතර ලබන වසරේ සිට එය ක්‍රියාත්මක වනු ඇති බව සඳහන් වේ. 
කාන්තාවන් තනිව රිය පැදවීම සම්බන්ධයෙන් පනවා තිබූ තහනම ඔවුන්ගේ පුද්ගලික නිදහස දැඩි ලෙස සීමා කළ එකක් බව අමුතුවෙන් කිව යුතු නොවේ. එමෙන්ම කාන්තාවන්ගෙන් සමාජයට මෙන්ම ආර්ථිකයටද ලැබෙන දායකත්වය දැඩි ලෙස සීමා කිරීමට මෙම තත්ත්වය දායක විය. මෙම තහනම නිසා එරට කාන්තාවන් මෝටර් රියකින් ඕනෑම තැනක යාමේදී පවු‍ලේ හෝ භාරකාර පිරිමියෙකු සමග යා යුතු විය.  එසේ නොවන්නේ නම් පිරිමි භාරකාරයෙකුගේ ලිඛිත අවසරයක් අවශ්‍ය විය. මෙම තහනම ඉවත් කිරීමත් සමග මෙම ලිඛිත අවසරය පිළිබඳ නියමයද අවලංගු  වී යයි.
‘මගේ භාරකාරයා දැන් මමමයි. දැන් අපිටත් රිය පදවන්න පුළුවන්’ මෙම නිදහස නිසා මහත් පී්‍රතියට පත්ව සිටින කාන්තාවන් අතින් සමාජ මාධ්‍ය තුළ මෙවැනි සටහන් සංසරණය වනු දැකිය හැකි විය. ‘මට දැන් මගේ සිහින මෝටර් රථය මිලදී ගන්න පුළුවන්. මම ගන්නේ කළු සහ කහ පැහැති රථයක්’ වැනි පී්‍රතිමත්  සටහන්ද ඒ අතර දක්නට ලැබිණි.
එසේම කාන්තාවන්ට ගමන් බිමන් යාම සඳහා පිරිමි රියැදුරන්ගේ සේවය ලබා ගැනීමට සෞදි පවුල්වලට සිදු වූ අතර මෙය එම පවුල්වලට අමතර ආර්ථික බරක් එකතු කරන්නක් ද වූයේය. මේ ආකාරයෙන් ලක්ෂ අටක් පමණ විදේශීය රියැදුරන්ද මේ වනවිට සෞදිය තුළ සේවය කරන බව වාර්තා වෙයි. මෙම රියැදුරන් සේවයෙහි යෙදවීමේදී කෑමබිම, ඉඳුම් හිටුම්, සෞඛ්‍ය පහසුකම්, රක්ෂණ ආවරණ ආදිය සඳහාද විශාල වියදමක් දැරීමට එම පවුල්වලට සිදු වෙයි.
කෙසේ හෝ වේවා කාන්තාවන්ට රිය පැදවීම සම්බන්ධ තහනම ඉවත් කර ගැනීම සඳහා කාන්තා ක්‍රියාකාරිනියන්, මානව හිමිකම් ක්‍රියාකාරීන් වැනි උදවිය විසින් ඉටු කරන ලද කාර්යභාරය තීරණාත්මක මෙහෙයක් ඉටු කළ බවද පැවසිය යුතු වෙයි. එමෙන්ම ඇමෙරිකාව වැනි රටවලින් රාජ්‍ය මට්ටමින් එල්ල වූ පීඩනයද මෙහිදී විශාල බලපෑමක් කළ බැව් අමතක කළ හැකි නොවේ.
මේ වනවිට සෞදිය තුළ ක්‍රියාත්මක වෙමින් ඇති ආර්ථික ප්‍රතිසංස්කරණ ආදිය සමගද මෙවැනි තීරණ බැඳී ඇති බැව් දැකිය හැකි වෙයි. දැනට එහි රජකම දරන සල්මාන් රජු මේ වනවිට ඉතා මහළු වියේ පසුවන අතර ඔහුගෙන් පසු රජකම බාර ගැනීමට සිටින්නේ ඔහුගේ පුත් මොහොමඩ් බින් සල්මාන් ය. දැනටත් ඔහු රාජ්‍ය පාලනය පිළිබඳ 
බොහෝ කටයුතුවලට සම්බන්ධ වන බවද සඳහන් වෙයි. ඉතා තරුණ නායකයෙකු වන ඔහු බොහෝ දුරට නවීන අදහස් ඇත්තෙකු බවද පෙනේ. සෞදි අරාබිය නවීන ලෝකය හා සමාන්තරව යන රටක් ලෙස දියුණු කිරීම සල්මාන් කුමරුගේ අරමුණ බව දැකිය හැකි වෙයි. එහිදී සෞදි ආර්ථිකයේ යම් යම් වෙනස්කම් කිරීමට ඔහු බලා‍පොරොත්තු වන ආකාරයක්ද පෙනේ. මීට අදාළව 2030 දැක්ම යනුවෙන් වැඩපිළිවෙළක්ද මේ වනවිට සකස් කර ඇත. 
එරට ආර්ථිකය වුවමනාවට වඩා තෙල් ආදායම් මත රඳා පවතිනවාය යන්න මොහොමඩ් බින් සල්මාන් කුමරුගේ අදහසයි. ඉදිරියේදී ඇති විය හැකි ආර්ථික අභියෝග ජයගන්නට නම් මෙම තත්ත්වය වෙනස් කර ආර්ථිකය විවිධාංගීකරණයකට ලක් කළ යුතුය යන්න ඔහුගේ විශ්වාසය වී තිබේ. ආර්ථිකය මේ ආකාරයෙන් ප්‍රතිසංස්කරණය කිරීමේදී රටේ කාන්තා පරපුරද දැනට වඩා ඊට සහභාගි කරගැනීමට ද මෙම අනාගත පාලකයින් කල්පනා කරනවා විය හැකිය. රිය පැදවීමේ අයිතිය කාන්තාවන්ට ලබා දීම වැනි පියවර ගන්නට මෙවැනි සාධක පවා බලපාන බව පැහැදිලිය.
කෙසේ වෙතත් රජය විසින් ගන්නා ලද මෙම තීරණය සම්බන්ධයෙන් සිය විරෝධය පළ කරන පාර්ශ්වද නැතුවා නොවේ. විශේෂයෙන්ම ෂරියා නීතිය 
පිළිපැදීමේ අවශ්‍යතාව දැඩිව විශ්වාස කරන ආගමික කණ්ඩායම් මේ සම්බන්ධයෙන් විරෝධය දක්වා තිබේ. තවත් සමහරුන් පවසා ඇත්තේ රිය පැදවීම වැනි කටයුත්තකට වුවමනා කරන බුද්ධිය කාන්තාවන්ට නොමැති බවයි එමෙන්ම මෙම තහනම ඉවත් කිරීම නිසා කාන්තාවන් පිරිමින් සමග මුසු වීමට වැඩි නිදහසක් හිමි කර ගැනීමද විවේචනයට ලක්ව ඇත.
 
නිහාල් පීරිස්

ඇමෙරිකානු ප්‍රහාරක ගුවන් යානාවලට වෙඩි තැබිමට තමුන්ට අයිතියක් ඇති බවට උතුරු කොරියානු විදේශ අමාත්‍ය රි යොන්-හෝ (Ri Yong-ho) ප්‍රකාශ කිරීමත් සමග දැන් කොරියානු කලාපයේ යුද උණුසුම තවත් උත්සන්න වීමට පටන් ගෙන තිබේ. යොන්-හෝ මේ බව ප්‍රකාශ කර ඇත්තේ පසුගියදා ඇමෙරිකාවේ නිව් යෝක් නුවර පැවති එක්සත් ජාතීන්ගේ මහා සම්මේලනයට සහභාගි වී ආපසු සිය රට බලා යාමට පෙර වීමද තවත් විශේෂත්වයකි.
විදේශ අමාත්‍යවරයා මෙම ප්‍රකාශය කර ඇත්තේ ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ට්විටර් පණිවුඩයකට ප්‍රතිචාරයක් වශයෙනි. උතුරු කොරියාව ඇමෙරිකාවට එරෙහිව කරන දැඩි වාග් ප්‍රහාර නතර නොකළහොත් උතුරු කොරියානු නායකයින් වැඩි කල් නොසිටිනු ඇති බව ට්්‍රම්ප් ඔහුගේ ට්විටර් ගිණුමේ සඳහන් කර තිබිණි. සිය නායකයින්ට එරෙහිව නිකුත් කළ මෙම තර්ජනය සිය රටට එරෙහිව යුද ප්‍රකාශ කිරීමක් ලෙස උතුරු කොරියාව සලකන බව පෙනී යයි. එරට විදේශ ඇමැතිවරයා සඳහන් කර ඇත්තේ මේ ආකාරයෙන්  මුලින්ම යුද ප්‍රකාශ කරනු ලැබුවේ ඇමෙරිකාව විසින් බව ලෝකය මතක තබාගත යුතු බවයි. ඇමෙරිකානු යුද ගුවන් යානාවලට වෙඩි තැබිමට දැන් තමුන්ට අයිතියක් ඇති බව ඔහු පවසා ඇත්තේ මෙම පසුබිම තුළය.
ඇමෙරිකානු සහ උතුරු කොරියානු නායකයින්  එකිනෙකාට ඉතා උණසුම් ආකාරයෙන් බැණ අඬ ගසා ගැනීම පසුගිය දිනවල ජයටම කෙරී ගෙන යන ආකාරය දැකිය හැකි විය. ජනාධිපති ධුරයට පත් වීමෙන් පසු පළමු වරට එක්සත් ජාතීන්ගේ මහ සැසියකට සහභාගි වූ ඩොනල්ඩ් ට්‍රම්ප් එහිදී සියලු රාජ්‍ය නායකයින්  ඉදිරියේ උතුරු කොරියානු නායක කිම් ජොං-උන් හැඳින්වූයේ 'රොකට් මෑන්' (Rocket Man) යනුවෙනි. රොකට් මිනිසා සිය දිවි හානි කරගැනීමේ ගමනක යෙදී සිටින බව ඔහු පැවසුවේය. (රොකට් මිනිසා යැයි කීවේ මේ දිනවල උතුරු කොරියාව නිරතව සිටින  මිසයිල අත්හදා බැලීමේ වැඩ පිළිවෙළ නිසාය) ට්‍රම්ප් මෙයින් ගම්‍ය කළේ ඇමෙරිකාව සමග හැපෙන්නට ඒමේ ආදීනව ගැන බව පෙනිණි. ඇමෙරිකාව හෝ ඇමෙරිකාවේ මිතුරන් හෝ ආරක්ෂා කරගැනීමේ බලවත් අවශ්‍යතාවක්  ඇති වුවහොත් උතුරු කොරියාව සහමුලින් විනාශ කර දැමීම හැර තමුන්ට වෙනත් විකල්පයක් නැතිව යනු ඇති බවද ඔහු එහිදී ප්‍රකාශ කළේය. මෙම බැරෑරුම් ප්‍රකාශයත් සමග, සභාවේ සිටි සමහරුන් අතින් මුහුණ වසා ගත් බවද, සිහින් මිමිණුමක් සභා ගැබ තුළ පැතිර ගිය බවද මාධ්‍ය වාර්තා කර තිබිණි. ඇතැමුන් ට්‍රම්ප්ගේ මෙම ප්‍රකාශය වැරදි තැනක, වැරදි වෙලාවක කළ ප්‍රකාශයක් ලෙස විවේචනය කර තිබෙනුද දැකිය හැකි විය. 
ට්‍රම්ප්ගේ කතාවට ප්‍රතිචාර දක්වමින් උතුරු කොරියානු විදේශ ඇමැතිවරයා මුලින්ම කියා සිටියේ එය 'බල්ලෙකුගේ බිරීමක්' හා සමාන බවය. උතුරු කොරියානු නායක කිම් ජොං-උන් ද පසුව පවසා සිටියේ මේ සම්බන්ධයෙන් දරුණු වන්දියක් ගෙවීමට ට්‍රම්ප්ට සිදුවනු ඇති බවයි. ඇමෙරිකානු ජනාධිපතිවරයා මානසික ආබාධයකින් පෙළෙන කෙනෙකු ලෙස හැඳින්වීමට පවා ඔහු පසුබට වූයේ නැත. ට්‍රම්ප් ද නැවතත්  මීට ප්‍රතිචාර දක්වමින් 'ඔය පිස්සු මිනිහා වෙන කවදාවත් නොවූ ආකාරයේ පරීක්ෂාවකට ඉදිරියේදී ලක් කෙරෙනු ඇතැ' යි කියා සිටියේය. මේ ආකාරයෙන් දෙදෙනා එකිනෙකාට 'පිස්සු' යැයි කියමින් අපහාස කරගන්නා  දෙස ලෝකය බලා සිටියේ විමතියෙන් සහ තුෂ්ණිම්භූත වූ ආකාරයෙනි. 'මේ සිහි මඳ ගතියෙන් පෙළෙන ඇමෙරිකානු මහල්ලා අවි බලයෙන් මෙල්ල කිරීමට තමා පියවර ගන්නා බව' ඇඟවෙන ආකාරයේ ප්‍රකාශයක්ද කිම් ජොන් සිදු කර තිබිණි.
මේ ආකාරයෙන් වහසි බස් දෙඩුවහොත් උතුරු කොරියානු නායකයින් වැඩිකල් නොසිටිනු ඇතැයි පැවැසෙන ආකාරයේ ට්විටර් පණිවුඩයක් ට්‍රම්ප්ගෙන් නිකුත් වූයේ මෙයින් අනතුරුවය. ඇමෙරිකානු ජනාධිපතිවරයෙකු මේ ආකාරයෙන් පැවැසීම  තම රටට එරෙහිව යුද ප්‍රකාශ කිරීමක් යැයි කියන උතුරු කොරියාව දැන් ඇමෙරිකානු යුද ගුවන් යානාවලට වෙඩි තැබිමට තමාට ඇති අයිතිය ගැන ප්‍රකාශ කරයි. ඔවුන් මෙසේ කියන්නේ ඔවුන්ගේ ගුවන් කලාපයට ඇතුළු වන ගුවන් යානා සම්බන්ධයෙන්  පමණක් නොවීමද තවත් කාරණයකි.
කෙසේ හෝ වේවා මෙයට ප්‍රතිචාර දක්වමින් ධවල මන්දිරය පවසා ඇත්තේ ඇමෙරිකාව උතුරු කොරියාවට එරෙහිව යුද ප්‍රකාශ කළ බවක් ඇඟවීම විකාර කතාවක් බවයි. එමෙන්ම තම රටෙහි ගුවන් කලාපයෙන් පිටත ඇති ගුවන් යානයකට පහර දීමට කිසිදු රටකට අයිතියක් නැති බවද ඔවුන් සඳහන් කර තිබේ.
කෙසේ හෝ වේවා උතුරු කොරියාව සහ ඇමෙරිකාව අතර මේ ආකාරයෙන් තර්ජන ගර්ජන හුවමාරු වීම ලෝකයේ බොහෝ පාර්ශ්ව තුළ විශාල කණස්සල්ලක් මෙන්ම බියක්, අවිනිශ්චිතතාවක් ඇති කරන්නට සමත්ව ඇති බව පැහැදිලිව දැකිය හැකි වෙයි. මෙම වාග් සංග්‍රාම කොතනින් අවසන් වේවිද යන්න ගැන බොහෝ දෙනා තුළ ඇත්තේ අපැහැදිලි බවකි. ඇතැමුන් බිය පළ කරන්නේ මෙය යුද්ධයක් දක්වා ඇදී යනු ඇත්ද යන කාරණය ගැනය.
උත්සන්න වෙමින් පවතින තත්ත්වය ගැන අදහස් දක්වමින්, උතුරු කොරියාවේ මිත්‍ර පාර්ශ්ව ලෙස සැලකෙන චීනය සහ රුසියාව ට්‍රම්ප් සහ  කිම් ජොං උන්  දෙදෙනාටම පවසා ඇත්තේ එකිනෙකා අවුස්සන සුළු ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටින ලෙසය. ඒ වෙනුවට  ඉවසීමෙන් යුතුව මෙම සංවේදී සහ සංකීර්ණ ප්‍රශ්නය සාකච්ඡා මාර්ගයෙන් සාමකාමී ලෙස විසඳා ගැනීමට පියවර ගන්නා ලෙස ඔවුන් දැනුම් දී ඇත. ට්‍රම්ප් සහ කිම් අතර ඇති වන මෙම චණ්ඩි කතා ගැන සඳහන් කරමින් රුසියානු විදේශ අමාත්‍ය සර්ගෙයි ලැව්රොව් පවසා ඇත්තේ මෙය මොන්ටිසෝරි ළමුන්ගේ මට්ටමේ වැඩක් බවයි.
ඇමෙරිකාවත්, උතුරු කොරියාවත් අතර ඇතිව තිබෙන මෙම ගැටුමට ආසන්නම හේතුව වන්නේ උතුරු කොරියාව දියත් කර ඇති න්‍යෂ්ටික මිසයිල නිපදවීමේ වැඩපිළිවෙළකි. ඇමෙරිකාව සහ ඔවුන්ගේ මිතුරන් එක්ව, කවදත් ඇමෙරිකන් විරෝධී ස්ථාවරයක සිටි උතුරු කොරියාව ආක්‍රමණය කිරීමටත්, එහි පාලනය පෙරළා දමා ඇමෙරිකන් ගැති පාලනයක් පිහිටුවා ගැනීමටත් කුමන්ත්‍රණය කරමින් සිටින බව පවසන උතුරු කොරියාව තමුන් න්‍යෂ්ටික අවි නිපදවන්නේ එයින් ගැලවීමට බව කියයි. මේ අතර ඇමෙරිකාව කියමින් සිටින්නේ උතුරු කොරියාවේ න්‍යෂ්ටික මිසයිල නිසා ඇමෙරිකාවටත්, නැගෙනහිර ආසියාවේ සිටින ඇමෙරිකානු මිතුරන් වන දකුණු කොරියාව, ජපානය වැනි පාර්ශ්වවලටත් විශාල තර්ජනයක් ඇති බවයි. මෙසේ කියමින් ඇමෙරිකාව මෙම න්‍යෂ්ටික මිසයිල වැඩපිළිවෙළ නතර කරලීමට නොයෙක් පියවර ගනිමින් සිටින අතර උතුරු කොරියාවද කිසිසේත් තම වැඩ පිළිිවෙළ අත්හැරීමට සූදානම් බවක් නොපෙන්වයි. 
කෙසේ හෝ වේවා මෙම ගැටුම කොහෙන් කෙළවර වනු ඇත්ද යන්න සම්බන්ධයෙන් මුළු ලොවම මේ වනවිට බලා සිටින්නේ මහත් කුතුහලයෙන් සහ ආතතියෙන් යුතුවය.
 
නිහාල් පීරිස්

දේශපාලන කරළියේ ඉතාම ප්‍රබල චරිතයක් ලෙස සැලකෙන  ඇන්ජෙලා මර්කල් සිව්වෙනි වරටත් ජර්මනියේ බලයට පත් වීම මේ දිනවල වඩාත්ම කතාබහට ලක්වන මාතෘකාවක් බවට පත්ව තිබේ. මේ ආකාරයෙන් ඇය බලයට පත් වූයේ පසුගිය 24 වෙනි ඉරිදා පැවැති ජර්මන් මැතිවරණයෙනි. මේ වනවිට යුරෝපය තුළ පවතින ඉතා ව්‍යාකූල සහ අර්බුදකාරී පසුබිම තුළ මෙම මැතිවරණය පිළිබඳව ලොව පුරා බොහෝ පාර්ශ්ව පසු වූයේ දැඩි අවධානයෙන් සහ කුතුහලයෙන් බවද සඳහන් කළ යුතුය.
මර්කල් සහ ඇගේ පක්ෂය වන ක්‍රිස්තියානි ප්‍රජාතන්ත්‍රවාදී සංගමය ජයග්‍රහණය කළ ද ඇය මෙම ජයග්‍රහණය පිළිබඳව සියයට සියයක් තෘප්තිමත් නොවන ආකාරයක්ද දැකිය හැකි වෙයි. එයට හේතුව ඇය අපේක්ෂා කළ තරමේ දිනුමක් අත්පත් කරගැනීමට අසමත් වීමයි. මර්කල් බලයට පත් අවස්ථා හතර අතුරින් අඩුම පරිමාණයකින් ජයගත් අවස්ථාව මෙය ලෙසයි සැලකෙන්නේ. එහි අදහස වන්නේ ජර්මනිය තුළ ඇයගේ ජනප්‍රියත්වය සහ ඇයට කළ හැකි බලපෑම කමෛන් අඩාල වෙමින් පවතින බවයි. 2013 වසරේ පැවැති කලින් මැතිවරණයේදී ඇයගේ ක්‍රිස්තියානි ප්‍රජාතන්ත්‍රවාදී සංගමය ඡන්ද සියයට 41ක් ලබා ගන්නට සමත් වූ නමුත් මෙවර ඔවුන් ලබා ගෙන ඇත්තේ සියයට 32ක් පමණි. මෙය සැලකිය යුතු පහත බැසීමක් බව අමුතුවන් කිව යුතු නොවේ. 2013 දී පාර්ලිමේන්තු ආසන 311ක් දිනාගන්නට මර්කල්ගේ පක්ෂයට හැකි වුවත් මෙවර එය ආසන 238ක් දක්වා පහත වැටෙනු ඇති බවට අනාවැකි පළවී තිබිණි.
මර්කල්ට සිටි ප්‍රධානම ප්‍රතිවාදියා වූයේ  වාමාංශික නැඹුරුවක් සහිත සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ මාර්ටින් ෂූල්ස් ය. එම පක්ෂය ඡන්ද සියයට 21ක් ලබාගන්නට සමත් ව සිටියි. නමුත් එයද ඔවුන් අපේක්ෂා කළ ප්‍රමාණයට වඩා අඩු ප්‍රමාණයකි.  එම නිසා ජර්මනියේ ප්‍රධාන පක්ෂ දෙකම මෙවර පෙන්නුම් කරන්නේ පසුබෑමකි. සම්ප්‍රදායික ප්‍රධාන පක්ෂ පිළිබඳව ලෝකයේ බොහෝ රටවල ජනතා විශ්වාසය හීන වෙමින් තිබිම මෙවර ජර්මන් මැතිවරණයේදී ද දක්නට ලැබෙන තත්ත්වයක් බව කිව හැකිය. මෙම මැතිවරණයෙන් කැපී පෙනෙන ලෙස ඉදිරියට ආ පක්ෂයක් ලෙස බොහෝ දෙනාගේ අවධානය දිනාගන්නට සමත්ව සිටින්නේ ‘ජර්මනියට විකල්පයක්’ Alternative for Germany) යනුවෙන් හැඳින්වෙන පක්ෂයයි. මෙය ජර්මන් ජාතිකත්වය මත පදනම්ව ක්‍රියා කරන දක්ෂිණාංශික, ජාතිකවාදී පක්ෂයකි. ඇලිස් වීඩ්ල් සහ ඇලෙක්සැන්ඩර් ගෝලන්ඩ් එහි නායකත්වය දරති.
මර්කල්ගේ ජනප්‍රියත්වය අඩුවීමට බලපෑ ප්‍රධාන හේතුවක් ලෙස සැලකෙන්නේ විවිධ රටවල සිට ජර්මනියට මිලියන ගණනින් ඇතුල් වන සංක්‍රමණිකයින් සම්බන්ධයෙන් ඇය දැක් වූ ලිහිල් ප්‍රතිපත්තියයි. දුර්වල ආර්ථිකයන් සහිත නැගෙනහිර යුරෝපයේ රටවල සිට මෙන්ම සිවිල් යුද තත්ත්වයන් පැවැති සිරියාව, ඉරාකය, ඇෆ්ගනිස්ථානය වැනි රටවල සිටද තොග ගණනින් සංක්‍රමණිකයින් බටහිර යුරෝපයේ දියුණු රටවල් වෙත ඇදී එන්නට පටන් ගත් අතර ජර්මනිය යනු මේ ආකාරයෙන් සංක්‍රමණිකයින් ඇදී ආ ප්‍රධානම රටකි. මේ තරම් සංක්‍රමණිකයින් රටට ඇතුල් වීම නිසා ජර්මනිය තුළ විවිධ ගැටලු මතුවන්නට විය. සංක්‍රමණිකයින් අතර සැඟවී අයිසිස් වැනි අන්තවාදී සංවිධානවල ත්‍රස්තවාදීන්ද රටට ඇතුල් වන බවට  බිය පළවීම එක් නිදසුනකි.  පසුගිය කාලයේ රට තුළ එවැනි ප්‍රහාර කිහිපයක්ම එල්ල වීම මෙම බිය වඩාත් තහවුරු කරන්නක් විය. ඒ අතර මුස්ලිම් ජාතික සංක්‍රමණිකයින් රට තුළ වැඩි වීම නිසා කිසියම් ආකාරයක සංස්කෘතීන් අතර ගැටුමක්ද හටගත්තේය. ස්ත්‍රී
දූෂණ වැනි අපරාධවල වැඩි වීමක් සිදු වූ බවටද වාර්තා පළවෙන්නට පටන් ගත්තේය. මෙවැනි කාරණා නිසා ජර්මනියේ බහුතරය තුළ කිසියම් අනාරක්ෂිත බවක්, නොසන්සුන් බවක්, ආතතියක් පැතිර යාමට පටන් ගත් අතර සංක්‍රමණිකයින්ට ඉඩ දෙන ලිබරල් ප්‍රතිපත්තියක් අනුගමනය කළ මර්කල් වෙතද විරෝධයක් එල්ල වීමට පටන් ගැණිනි.
මෙම තත්ත්වයෙන් ප්‍රයෝජන ගත්තේ ඉහත සඳහන් කළ ‘ජර්මනිය සඳහා විකල්පයක්’ නම්, ජාතිකවාදී පක්ෂයයි. ඔවුන්ගේ ප්‍රධාන තර්කයක් වූයේ ජර්මනිය තුළට සංක්‍රමණිකයින් ඇතුල් වීම සම්බන්ධයෙන් දැඩි සීමා පැනවිය යුතු බවයි. නමුත් ජර්මනිය යුරෝපා සංගමයේ රටක් ලෙස පවතින තුරු එයට, එම සංගමයේ ප්‍රතිපත්ති අනුව, ලිහිල් දේශසීමා ප්‍රතිපත්තියක් අනුගමනය කිරීමට සිදු වෙයි. මේ නිසා ‘ජර්මනියට විකල්පයක්’ පක්ෂය යුරෝපා සංගමයේ බොහෝ ප්‍රතිපත්තිවලට විරුද්ධ ස්ථාවරයක සිට කටයුතු කරයි. යුරෝපා සංගමය තුළ සිටීම නිසා ජර්මනියට සිය ජාතික අනන්‍යතාව අහිමි වෙමින් යන බව ඔවුන් නගන ප්‍රධාන මැසිවිල්ලක් බවට පත්ව තිබේ. ජර්මනියට අද තම ජාතික අවශ්‍යතාවලට වඩා වෙනත් අයගේ අවශ්‍යතා ප්‍රමූඛ වී ඇති බව පවසන ඔවුන් මෙම තත්ත්වය වඩාත් දරුණු වුවහොත්, බ්‍රිතාන්‍යය කළාක් මෙන්ම, ජර්මනියටද යුරෝපා සංගමයෙන් ඉවත් වීමට සිදුවනු ඇති බව කියා සිටියි. එමෙන්ම මුස්ලිම්වරුන් පිළිබඳ ඔවුන් දක්වන දැඩි විරෝධය (Islamophobia) ද ඔවුන්ගේ අනන්‍යතාවයේ ප්‍රධාන ලක්ෂණයකි.  ‘ජර්මනියට විකල්පයක්’ පක්ෂය මෑත කාලයේ ජනතාවට ආකර්ශනීය පක්ෂයක් බවට පත් කිරීමට ඔවුන්ගේ මෙම ජාතිකවාදී අදහස් බලපා ඇති බව පෙනී යයි. ඔවුන් තරග කළ පළමු මහා මැතිවරණයේදීම සියයට 13ක් ඡන්ද ලබා ගනිමින් පාර්ලිමේන්තුව තුළ ආසන 95 ක් දිනාගන්නට සමත්ව ඇති අතර රටේ තුන්වෙනි බලවේගය බවට පත්වීමටද ඔවුහු සමත්ව සිටිති. මෙය බොහෝ දෙනෙකු බලා‍පොරොත්තු නොවූ තත්ත්වයක් බව පෙනේ. කලින් තුන්වෙනි තැන දිනා සිටි වාමාංශික පක්ෂය  (Left Party) මෙවර පස්වෙනි තැන දක්වා පල්ලම් බැස ඇත. ‘ජර්මනිය සඳහා විකල්පයක්’ පක්ෂය ලැබූ ජයග්‍රහණය ලිබරල් නායිකාවක වන මර්කල් තුළද කිසියම් තිගැස්මක් ඇති කරන්නට සමත්ව ඇති බව දක්නට ලැබිණ. ඡන්දදායකයින් එම පක්ෂය වෙත ඇදී ගිය කාරණා ගැන විශේෂ අවධානය යොමු කරන බව ඇය පවසා තිබුණේ එබැවිනි. මෙම පක්ෂය බොහෝ දෙනා හඳුන්වන්නේ නාසිවාදී මතවාද දරන පක්ෂයක්ද වශයෙනි. දවෛනි ලෝක යුද්ධයේදී හිට්ලර්ගේ පරාජයෙන්  පසු නාසිවාදය සිය රටින්  අතුගා දැමීමට දැඩි වෙහෙසක් ගත් ජර්මනිය තුළ මේ වනවිට නැවත එම මතවාද නැග එමින් තිබිම බොහෝ දෙනාගේ අවධානයට ලක්ව ඇති කාරණාවකි. එමෙන්ම එම පක්ෂයේ ජයග්‍රහණය යුරෝපය තුළ වර්ධනය වෙමින් ඇති ජාතිකවාදී දේශපාලන ප්‍රවණතාවන්ට ලොකු තල්ලුවක් සපයන්නක් ලෙසද සැලකිය හැකි වෙයි.
කෙසේ නමුත් මර්කල්ගේ නායකත්වය යටතේ ජර්මන් ආර්ථිකය විශාල දියුණුවක් ලබන්නට සමත්ව සිටියි. නමුත් රටේ ඇති-නැති පරතරය වැඩි වෙමින් ඇති බවටද චෝදනා නැගෙයි. මෙයද මර්කල්ගේ ජනප්‍රියත්වය අඩාල කරන්නට  හේතු වූ කාරණාවක් විය හැකිය. නමුත් අනෙක් පක්ෂවල සිටින, සාපේක්ෂ වශයෙන්  අත්දැකීම් අඩු නායක නායිකාවන් අතර මර්කල් වඩාත් අත්දැකීම් සහිත නායිකාව වන අතර එය ඇයගේ වාසියට සිටි ප්‍රධාන සාධකයක් වූ බැව් පෙණිනි. යුරෝපය පුරා කිසියම් ව්‍යාකූලත්වයක්, අර්බුදකාරී බවක්, නොසන්සුන්කාරී තත්ත්වයක් පැතිර යමින් ඇති පසුබිමක් තුළ මර්කල් වැනි අත්දැකීම් බහුල, ශක්තිමත් නායිකාවක සිටීම ආරක්ෂා සහිත යයි බොහෝ දෙනා කල්පනා කරන්නට ඇති බව නිරීක්ෂකයින්ගේ අදහසයි.
මර්කල්ගේ ක්‍රිස්තියානි ප්‍රජාතන්ත්‍රවාදී සංගමය මැතිවරණයෙන් ජයගත්තද ඔවුන්ට පාර්ලිමේන්තුවේ පැහැදිලි බහුතරයක් හිමිව නැත. මේ නිසා ආණ්ඩුවක් පිහිටුවීම සඳහා වෙනත් පක්ෂ සමග සන්ධානගත වීමේ අවශ්‍යතාවක් පැන නැගී තිබේ. ඒ සඳහා ඇය කවර පක්ෂ සමග එක් වනු ඇත්ද යන්න මෙම සටහන ලියන අවස්ථාව වනවිට දැනගන්නට තිබුණේ නැත.

නිහාල් පීරිස්

ගිනිකොනදිග ආසියාවේ පැතිරෙන සුපිරි මැ‍ලේරියාව ගෝලීය තර්ජනයක් වනු ඇති බවට විද්‍යාඥයන් අනතුරු අඟවති. මෙහි විශේෂත්වය වන්නේ මතෛක් භාවිත කළ මැ‍ලේරියා ඖෂධවලින් මෙම මැ‍ලේරියා වර්ගය සුව කළ නොහැකි වීමය. කාම්බෝජයේ මුලින්ම පැතිරුණ මෙය මේ වනවිට ලාඕස්, තායිලන්තය හා වියට්නාමයේද පැතිර තිබේ. මේ සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන බැංකොක්හි කණ් ඩායමක් පවසන්නේ මෙය සුව කළ නොහැකි තත්ත්වයක් පෙනෙන බවය. එබැවින් එය ඉතා අනතුරුදායක තත්ත්වයක් බවද ඔවුහු පවසති. වසරකට ලොව පුරා මැ‍ලේරියාව වැළඳෙන සංඛ්‍යාව මිලියන දෙසිය දොළහක් බව වාර්තා වෙයි.          

නිශානි දිසානායක

Page 4 of 8

IMAGE

මුගාබේගේ බිරිඳ ද පක්ෂයෙන් නෙරපයි

IMAGE 2017 Nov 21 09:37
වසර 37  ක කාලයක් සිම්බාබ්වේ දේශය පාලනය කළ රොබට් මුගාබේ නිවාස අඩස්සියට ගනිමින් හමුදාව එරට...
Views - 192

ඒ ආදර කතාව ඉවරයි මම දැන් සින්ගල්

IMAGE 2017 Nov 19 17:31
සිරස ජුනියර් සුපර් ස්ටාර් කියන්නේ මේ දවස්වල ප්‍රේක්ෂකයන් ආදරයෙන් වැළඳ ගත් රියැලිටි...
Views - 3496

කේන්ද්‍රයක මාරක අපල තිබීමටත් වඩා නොතිබීම භයානකය

IMAGE 2017 Nov 19 15:19
මහජන බැංකු විශ්‍රාමික සංගමයේ පිළියන්දල කැස්බෑව ශාඛාවේ අටවන සංවත්සරික සභාව පසුගිය...
Views - 2136

නීල හරිත ෆුල් සූට් එක පෙන්වා අමුඩ කෙටිය ගලවා ගන්න එපා

IMAGE 2017 Nov 19 11:35
මෙවර අයවැය ලෝකයේ දියුණුම ආර්ථික සංකල්පයක් වන නීල-හරිත ආර්ථිකයට රට යොමු කරවන්නක් බව මුදල්...
Views - 1575

ඔහු නොවන්නට ලෝක ක්‍රිකට් මේ තරම් දියුණු නොවනු ඇත

IMAGE 2017 Nov 18 00:19
අද මට ඉතාමත් සතුටු දවසක්. ඉන්දියාවේ ජාතික ක්‍රිකට් කණ්ඩායමේ විරාත් කෝලි සහ ඔහුගේ කණ්ඩායමත්...
Views - 3825

මෙතේ බුදු පදවිය ලබන්නේ බැංකු කළමණාකරුවෙක්ද?

IMAGE 2017 Nov 17 12:13
ඔහු මධ්‍යම පළාතේ වාණිජ බැංකුවක කළමණාකරුවෙකි.  ඔහුගේ වයස අවුරුදු 45 ක් පමණ වේ. ක්‍රිස්තියානි...
Views - 6401

Please publish modules in offcanvas position.