Home    |    Daily Lakbima    |    Sunday Lakbima    |   Rajina |    Archive    |    Advertise With Us    |     Careers Email - [email protected] youtube
lakbima.lk

                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්     

ජපාන හදිසි මැතිවරණයෙන් අගමැති අබේට විශිෂ්ට ජයක්

පසුගියදා ජපානයේ පැවැති හදිසි මහා මැතිවරණය ජාත්‍යන්තර දේශපාලන ක්‍ෂේත්‍රයේ විශේෂ අවධානය දිනාගත් සිදුවීමක් විය. එරට මහා මැතිවරණය පැවැත්වීමට නියමිතව තිබුණේ ලබන වසරේ වූවද පාර්ලිමේන්තුව විසුරුවා හැර හදිසි මැතිවරණයක් පැවැත්වීමට අගමැති ෂින්සො අබේ පසුගිය සැප්තැම්බරයේ තීරණය කළේය. ඒ අනුව ඔක්තෝබර් 22 වෙනි දින මැතිවරණය පවත්වන ලද අතර එයින් විශිෂ්ට ජයග්‍රහණයක් අත් කරගැනීමට අගමැතිවරයාගේ ලිබරල් ඩිමොක්‍රටික් පක්ෂය ප්‍රධාන සන්ධානය සමත්ව සිටියි. එරට පාර්ලිමේන්තුවේ  තුනෙන් දෙකක 'සුපිරි බහුතරයක්' දිනාගන්නටද ඔහුගේ සන්ධානයට හැකි වනු ඇති බවට මෙම ලිපිය ලියන අවස්ථා වනවිට අනාවැකි පළවී තිබිණි. ජපාන පාර්ලිමේන්තුවේ පහළ මන්ත්‍රණ සභාවේ ආසන 465න් ආසන 312ක් පමණ දිනා ගැනීමට ඔවුන්ට හැකි වනු ඇතැයි බලා‍පොරොත්තු පළ වී තිබිණි.
ෂින්සො අබේ මේ ආකාරයෙන් හදිසි මැතිවරණයක් කැඳවීමට බලපෑ ප්‍රධාන හේතුවක් වූයේ මේ වනවිට ජපානය මුහුණ දී සිටින ජාතික ගැටලු කිහිපයක් විසඳා ගැනීම සඳහා අලුත් ශක්තිමත් ජන වරමක් අවශ්‍ය බවට ඔහු දැරූ ස්ථාවරයයි. මෙම ජාතික ගැටලු අතරින් ප්‍රධානම ගැටලුවක් ලෙස අවධානයට හසු වූයේ මේ වනවිට උතුරු කොරියානු න්‍යෂ්ටික මිසයිල වැඩපිළිවෙළ හරහා ජපානයට එල්ල වී ඇති තර්ජනයයි. උතුරු කොරියානු අභියෝගයට සාර්ථකව මුහුණදීම හදිසි ජාතික අවශ්‍යතාවක් බවට පත්ව ඇති බවද, ඒ සඳහා ශක්තිමත් ආණ්ඩුවක් පිහිටුවා ගැනීමේ අවශ්‍යතාවක් පවතින බවද ෂින්සො අබේ අවධාරණය කළේය. දැන් ඔහුගේ එම ඉල්ලීමට ජපාන ඡන්දදායකයන්ගෙන් ඉතා යහපත් ප්‍රතිචාරයක් ලැබි ඇති බව දැකගත හැකි වෙයි.
දැන් කාලයක සිටම උතුරු කොරියාව න්‍යෂ්ටික මිසයිල වැඩපිළිවෙළක් ඉදිරියට ගෙන යමින් සිටින බව රහසක් නොවේ. මෙයට ඇමෙරිකාවෙන්ද, ඇමෙරිකාවේ මිතුරන් වන දකුණු කොරියාවෙන් සහ ජපානයෙන්ද එල්ල වන්නේ දැඩි විරෝධයකි. ඔවුන් පවසන්නේ එය සිය රටවල ආරක්ෂාවට විශාල තර්ජනයක් බවයි. නමුත් උතුරු කොරියාව කියමින් සිටින්නේ ඇමෙරිකානු පාර්ශ්වය සිය රටේ පාලනය වෙනස් කර ඔවුන්ට හිතවත් පාලනයක් උතුරු කොරියාව තුළ ස්ථාපිත කර ගැනීමට කුමන්ත්‍රණය කරමින් සිටින බව සහ එය වැළැක්වීමට නම් තමුන් න්‍යෂ්ටික බලවතෙකු බවට පත් විය යුතු බවයි. සිය න්‍යෂ්ටික වැඩසටහන ඔවුන් සාධාරණීකරණය කරන්නේ ඒ ආකාරයෙනි. මෙහිදී ඇමෙරිකාව උතුරු කොරියාවේ ප්‍රධාන ප්‍රතිවාදියා වන අතර ජපානය සහ දකුණු කොරියාවද ඇමෙරිකානු කඳවුරේ සිටින බැවින් ඔවුහුද උතුරු කොරියානු පාලකයන්ගේ උදහසට ලක්ව සිටිති. ජපානය මුහුදේ ගිල්වන බවට උතුරු කොරියාව වහසිබස් කියා තිබූ බවක්ද පසුගිය දිනවල මාධ්‍ය වාර්තා කර තිබිණි.  මෙයට සති කිහිපයකට පෙර ජපානයට ඉහළින් මිසයිල දෙකක් ගුවන් ගත කිරීමටද උතුරු කොරියාව කටයුතු කළ අතර එය ජපානය තුළ කිසියම් කම්පනයක් ඇති කළ සිදුවීමක් වූ බැව් පෙනිණි.
උතුරු කොරියාවෙන් එල්ල වන මෙම තර්ජනයත් සමග ජපානය තුළ කිසියම් දුරකට දේශප්‍රේමීත්වය පිළිබඳ මානසිකත්වයක් වර්ධනය වූ ආකාරයක්ද දැකිය හැකි විය. උතුරු කොරියානු අභියෝගය ජය ගැනීම උදෙසා නැවත ජනවරමක් ඉල්ලමින් අගමැතිවරයා හදිසි මැතිවරණයක් කැඳවූයේ මෙම පසුබිම තුළය. එය එක්තරා ආකාරයකින් රට තුළ පැවැති මානසිකත්වය ප්‍රයෝජනයට ගනිමින් සිය බලය තහවුරු කරගැනීමට ගත් පියවරක් ලෙසද සැලකිය හැකිය. මේ අවස්ථාවේ ජපානයේ විපක්ෂය තරමක් විසිරුණු සහ දුර්වල තත්ත්වයක පසුවීමද අගමැති ෂින්සො අබේට වාසිදායක පසුබිමක් නිර්මාණය කර දුන් සාධකයක් බවට පත් විය. සමහර විට මැතිවරණය නියමිත පරිදි ලබන වසරේ පැවැත් වී නම් විපක්ෂය මීට වඩා බලවත්ව අබේට යම් අභියෝගයක් එල්ල කිරීමට ඉඩ තිබිණි. මේ වසරේ මුල් හරියේදී කරන ලද ජනමත සමීක්ෂණවලට අනුව පෙනී ගියේ ඒ වනවිට අබේගේ ජනප්‍රියත්වය  පහත වැටෙමින් තිබූ බවයි. ඊට හේතු වූයේ යම් යම්  දූෂණ සහ අක්‍රමිකතා සම්බන්ධයෙන් මතු වෙමින් තිබූ චෝදනා වාගයකි. නමුත් උතුරු කොරියාවෙන් එල්ල වන තර්ජනය ප්‍රධාන මාතෘකාවක් බවට පත්වීමත් සමග එම කාරණා යට ගිය ආකාරයක් දිස් වූ අතර උතුරු කොරියාවට එරෙහිව අබේ පෙන්නුම් කළ දැඩි ස්ථාවරය හේතුවෙන් නැවතත් ඔහුගේ ජනප්‍රියත්වය ඉහළ නගින්නට පටන් ගත්තේය.
කෙසේ වෙතත්, ෂින්සො අබේ  පාර්ලිමේන්තුව විසුරුවා හැර හදිසි මැතිවරණය කැඳවූ අවස්ථාවේ ඇතැම් නිරීක්ෂකයන් සඳහන් කළේ එය සමහර විට පාරාවළල්ලක් වී ඔහුට අවාසියක් ඇති කිරීමටද ඉඩ ඇති බවයි. පසුගිය දිනවල බ්‍රිතාන්‍ය අගමැතිනි තෙරේසා මේ අත් වූ ඉරණම ගැනද මෙහිදී අවධානය යොමු කෙරිණි. ඇයද වැඩි බලයක් අරමුණු කරගනිමින් පාර්ලිමේන්තුව විසුරුවා හැර නැවත මැතිවරණයක් කැඳ වූ අතර එහිදී ඇයට කලින් තිබූ බලයවත් දිනා ගන්නට හැකියාව නොලැබිණි. නමුත් ෂින්සො අබේ නිරීක්ෂකයන්ගේ එම සැක සංකා පරාජය කිරීමට සමත්ව ඇති බව පෙනේ. බ්‍රිතාන්‍යයේ පැවැති පසුබිම සහ ජපානයේ පැවැති තත්ත්වය එකිනෙකට  බෙහෙවින් වෙනස් වීම මෙයට හේතුව ලෙස සැලකිය හැකිය.
ජපාන ව්‍යවස්ථාවේ යම් යම් වෙනස්කම් කිරීමටද අබේ බලා‍පොරොත්තු වෙයි. ඔහු ශක්තිමත් ජන වරමක් ඉල්ලා සිටියේ මෙයද අරමුණු කර ගනිමිනි. මේ වනවිට පවතින ව්‍යවස්ථාව 1947 වසරේ, දෙවෙනි ලෝක යුද්ධය අවසන් වූ වකවානුවේ සකස් කරන ලද්දකි. එම ව්‍යවස්ථාව  අනුව යුද්ධ කිරීමේ අරමුණ ඇතිව ආරක්ෂක හමුදාවක් පවත්වා ගෙන යාම නීති විරෝධීය. ඒ අනුව ජපානය වෙනත් පාර්ශ්ව සමග ගැටලු විසඳා ගත යුතු වූයේ සාමකාමී මාර්ග ඔස්සේය. නමුත් මේ වනවිට ජපානය යම් ආකාරයක හමුදාවක් පවත්වාගෙන යන අතර එය සැලකෙන්නේ හුදෙක් ආත්ම ආරක්ෂාව සඳහාත්, සාමය පවත්වාගෙන යාම සඳහාත් ක්‍රියාත්මක වන්නක් වශයෙනි. එහෙත් උතුරු කොරියාව වැනි පාර්ශ්වවලින් එල්ල වන තර්ජන මෙන්ම සමස්තයක් ලෙස ජාත්‍යන්තර වශයෙන් වර්ධනය වෙමින් ඇති බල අරගලද හමුවේ රටේ හමුදාවෙහි බලය වැඩිකිරීමට යම් අවශ්‍යතාවක් මතුවෙමින් ඇති ආකාරයක් දැකිය හැකි වෙයි. ව්‍යවස්ථා සංශෝධන පිළිබඳ කතාබහක් ඇති වන්නේ මෙම පසුබිම තුළය.
උතුරු කොරියානු තර්ජනය හැරුණු කොට තවත් ජාතික ගැටලු කිහිපයක් සම්බන්ධයෙන් මෙම මැතිවරණ ව්‍යාපාරය තුළ අවධානය යොමු විය. ජපානය තුළ වයස අවුරුදු 65  ඉක්ම වූ වැඩිහිටි ජනගහනය ශීඝ්‍රයෙන් ඉහළ යමින් තිබිම රට මුහුණ දී ඇති විශාල ගැටලුවක් ලෙස සැලකේ. 2014 වසරේ කළ සමීක්ෂණකට අනුව වයස අවුරුදු 65 ඉක්ම වූ ජනගහනය සමස්ත ජනගහනයෙන් සියයට 20ද  ඉක්මවා ඇති බව අනාවරණය විය. මෙම ගැටලුව කළමනාකරණය කිරීම සඳහා  වඩාත් ඵලදායක ක්‍රියාමාර්ග ගැනීමට ෂින්සො අබේ බලා‍පොරාත්තු වෙයි. එමෙන්ම  ළමා සෞඛ්‍ය, අධ්‍යාපනය වැනි අංශවල රජයේ ආයෝජන වැඩි කිරීම සඳහා පාර්ලිමේන්තුවේ අනුමැතිය ලබා ගැනීම ඔහුගේ තවත් ප්‍රධාන අරමුණක් වී තිබේ.

නිහාල් පීරිස්

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

IMAGE

සැමියාගේ බිමත්කම සහ නොගැළපීම නිසයි විවාහය බිඳ වැටුණේ

IMAGE 2017 Nov 23 13:33
තිලකා රණසිංහගේ ජීවිතයේ වඩාත්ම සතුටු වූ අවස්ථාව හා වැඩියෙන්ම දුක් වූ අවස්ථාව සිහිපත් කරන්න...
Views - 4329

ලංකාව හැර ගිය නතාෂා ආපහු ඇවිත් කියපු කතාව

IMAGE 2017 Nov 23 08:03
නතාෂා පෙරේරා පහුගිය කාලයේ වැඩිපුර දකින්නට ලැබුණේ නැහැ. ඒ ඇය තමන්ගේ ආදරණීය සැමියා ප්‍රිහාන්...
Views - 4035

55 වියැති බැංකු ලොක්කා 29 කන්තෝරු නෝනා සමඟ 'හනිමූන්' ගිහින්

IMAGE 2017 Nov 22 12:50
බැංකුවක උසස් නිලයක් දරන පනස්පස් හැවිරිදි සිය සැමියා වසර ගණනාවක් තිස්සේ විසිනව හැවිරිදි රජයේ...
Views - 7098

අහසේ සිට බිමට පනින එස්.ටී.එෆ්. යුවතියෝ

IMAGE 2017 Nov 22 10:55
අම්පාර උහන ගුවන් ධාවන පථයෙන් අහසට නැඟගත්, එම්. අයි. 17 වර්ගයේ හෙලිකොප්ටරය  නිලඹර දෙපළු කරමින්...
Views - 4428

මිහිදුම සහ වැස්ස ගැන 'කාලගුණ විද්‍යාවෙන්' බොරු කී‍වේ ඇයි?

IMAGE 2017 Nov 22 10:43
මේ දිනවල අළුයම් කාලයේ අගනුවර ඇතුළු ප්‍රදේශ රැසක දැඩි මිහිදුම් තත්ත්වයක් දක්නට ලැබුණු බව...
Views - 2819

මුගාබේගේ බිරිඳ ද පක්ෂයෙන් නෙරපයි

IMAGE 2017 Nov 21 09:37
වසර 37  ක කාලයක් සිම්බාබ්වේ දේශය පාලනය කළ රොබට් මුගාබේ නිවාස අඩස්සියට ගනිමින් හමුදාව එරට...
Views - 3624

Please publish modules in offcanvas position.

Web Analytics