Coss Ear2
lakbima.lk
COSS Ear 1

ශ්‍රී ලාංකිකයින්ට ද බොහෝ සබඳතා ඇති කලාපයක් වන මැද පෙරදිග කලාපය නිතරම යුද ගැටුම්වලින් උණුසුම් වන කලාපයක් බව අමුතුවෙන් කිව යුතු නොවේ. මේ වනවිට එහි තවත් අලුත් උණුසුම් තත්ත්වයක් වර්ධනය වෙමින් ඇති ආකාරය දැකිය හැකි වෙයි. ඒ එම කලාපයෙහි ප්‍රබලම රාජ්‍යයන් දෙකක් වන ඉරානය සහ ඊශ්‍රායලය අතරය.
ඉරානය ඇතුළු මැද පෙරදිග මුස්ලිම් ලෝකය සහ ඊශ්‍රායලය අතර ගැටුම් පවතින්නේ අද ඊයේ සිට නොවේ. එය දිගු ඉතිහාසයක් ඇති ගැටුමකි. යුදෙව් ජාතිකයින් වෙසෙන ඊශ්‍රායලය පිහිටි භූමිය පිළිබඳව අවට වෙසෙන මුස්ලිම් ජාතිකයෝ දීර්ඝ කාලයක සිටම අයිතිවාසිකම් කියමින් සිටිති. මෙම බොහෝ  රටවල් ඊශ්‍රායලය දකින්නේ මුස්ලිම් ලෝකයට අයත් භූමියක් බලහත්කාරයෙන් අල්ලාගෙන සිටින පාර්ශ්වයක් ලෙසිනි. පලස්තීනය සහ ඊශ්‍රායලය අතර ගැටුම්වලට පසුබිම් වන්නේද ඈත අතීතය දක්වා දිවෙන මෙම තත්ත්වයයි. මේ අතර ඊශ්‍රායලය ඇමෙරිකාව ඇතුළු බටහිර බලවතුන්ගේ මිතුරෙකු වීමද බොහෝ මුස්ලිම් රටවලට එතරම් දිරවන කාරණාවක් නොවේ. ක්‍රිස්තියානි සහ ඉස්ලාම් ආගම් අතර පවතින ආතතියද, බටහිර රටවල් යනු ආක්‍රමණිකයෙකු ලෙස දැකීම වැනි හේතු ද එයට බලපායි.  මේ ඇතැම් මුස්ලිම් රටවල්  ඊශ්‍රායලය නිල වශයෙන් පිළිගන්නේද නැත. ඉරානය ද එවැනි එක් රටකි.
කෙසේ හෝ වේවා ඉරානය සහ ඊශ්‍රායලය අතර පසුගිය සතියේ සිට අලුතෙන් වර්ධනය වෙමින් ඇති ආතතියට හේතු වූයේ ඊශ්‍රායලය විසින් ඉරානයට එල්ල කරන ලද චෝදනාවකි. ඉරානයට අයත්, ඔත්තු බලන, නියමුවන් නැති ඩේ‍රා්න යානයක් ඊශ්‍රායල සීමාවට ඇතුල් වූවාය යන්න මෙම චෝදනාව විය. මෙම යානය ඊශ්‍රායලය විසින් වෙඩි තබා විනාශ කරන ලද බවද පැවැසිනි. මෙම ඩේ‍රා්න යානය පැමිණි බව සැලකුණේ ඊශ්‍රායලයට යාබදව පිහිටි සිරියාව දෙසිනි. මේ වනවිට සිරියාව තුළ ඉරාන හමුදා විශාල වශයෙන් රැඳී සිටින බව රහසක් නොවේ. ඒ සිරියානු ජනාධිපති බෂාර් අල් අසාද්ගේ සහායටය. අසාද් ගේ රජය පෙරළා දැමීමට දැන් කලෙක සිටම විවිධ කැරළිකාර කණ්ඩායම් සටන් කරමින් සිටින අතර ඔවුන්ගෙන් ඇතැමෙකුට බටහිර සහය ලැබෙන බවද පැවැසේ. රුසියාවේ සහ ඉරානයේ මිතුරෙකු වන අසාද් බලයෙන් පහ කර තමුන්ට හිතවත් පාලනයක් සිරියාව තුළ බිහිකර ගැනීමේ අදහසක් ඇමෙරිකාව ඇතුළු රටවලට පවතින බැවිනි. මෙහිදී ජනාධිපතිවරයාගේ සහයට සිටින පාර්ශ්ව අතර ඉරානය සහ රුසියාව ප්‍රධාන තැනක් ගනියි. ඉරාන හමුදා සිරියාව තුළ රැඳී සිටින්නේ මෙම පසුබිම තුළ ය.

ඉහත කී ඩේ‍රා්න යානය පිළිබඳ සිද්ධියෙන් පසු ඊශ්‍රායලය ගත් පියවර වූයේ සිරියාව තුළ තිබෙන ඉරාන හමුදා මධ්‍යස්ථාන වෙත ගුවන් ප්‍රහාරයක් එල්ල කිරීමයි. එහි දී ඉරාන හමුදා වෙත බරපතළ හානි ඇති කිරීමට තමුන්ට හැකි වූ බව ඊශ්‍රායලය පවසයි. මේ අතර මෙම ඊශ්‍රායල මෙහෙයුමට සම්බන්ධ වූ ප්‍රහාරක ගුවන් යානයක් වෙඩි තබා බිම දැමීමට සිරියානු හමුදා සමත් විය. ඊශ්‍රායලය සහ ඉරානය අතර අලුත්ම ගැටුම දිග හැරෙන්නට පටන් ගත්තේ මෙම පසුබිම තුළය. කෙසේ නමුත් ඊශ්‍රායල චෝදනාවලට මුල් වූ ඩේ‍රා්න යානය තමුන්ට අයත් එකක් නොවන බවත්, මෙය බොරු චෝදනාවක් බවත් ඉරානය කියා සිටියි. මේ වනවිට ඊශ්‍රායල අගමැතිවරයා වන බෙන්ජමින් නෙතන්යාහු වෙත සිය රට තුළ වංචා දූෂණ සම්බන්ධයෙන් චෝදනා එල්ල වෙමින් ඇති අතර ඇතැම් නිරීක්ෂකයින් පෙන්වා දෙන්නේ ඔහුගේ මෙම ඉරාන මෙහෙයුම අර දූෂණ චෝදනාවලින් අවධානය වෙනතක යොමු කිරීමට ගන්නා වෑයමක් ද විය හැකි බවයි.

කෙසේ හෝ වේවා මෙම සිදුවීමෙන් පසු දෙපාර්ශ්වය අතර විවිධ වාග් ප්‍රහාර එහා මෙහා යමින් ඇති ආකාරය දැකිය හැකි වෙයි. ඉරාන පාර්ශ්වයෙන් බලධාරියෙකු පවසා තිබුණේ යම් හෙයකින් ඊශ්‍රායලය ඉරානයට පහර දුනහොත් ඊශ්‍රායලයේ ප්‍රධානම නගරයක් වන ටෙල් අවිව් නුවර ‍පොළවට සමතලා කරන බවයි. ඔහු මෙසේ පැවැසීමට පෙර ඊශ්‍රායල අගමැති නෙතන්යාහු ඉරානයට එරෙහිව ද බොහෝ ප්‍රකාශයන් සිදු කර තිබිණි. ත්‍රස්තවාදී ආකාරයෙන් ඊශ්‍රායලය වටකිරීමට තමුන් කිසිවිටෙක ඉරානයට ඉඩ නොදෙන බව  ඔහු ජාත්‍යන්තර සමුළුවක් අමතමින් කීවේය. මෙහිදී ඔහු අදහස් කළේ ඔවුන් ත්‍රස්තවාදී සංවිධාන ලෙස සලකන හමාස්, හිස්බුල්ලා වැනි සටන්කාමී සංවිධාන පිළිබඳව බවද පෙනේ. ඊශ්‍රායලයට එරෙහිව සටන් වදින කණ්ඩායම් අතර ඉහත කී සංවිධාන ප්‍රධාන තැනක් ගන්නා අතර ඒවාට ඉරානයේ සහයෝගය ලැබෙන බව  නිතර එල්ල වන චෝදනාවකි. මෙම ත්‍රස්තවාදී කණ්ඩායම්වලින් ඊශ්‍රායලය රැක ගැනීමට කිසිදු පැකිලීමකින් තොරව පියවර ගන්නා බව පැවසූ නෙතන්යාහු එහිදී ඉරානයේ සහය ලබන මේ කණ්ඩායම්වලට එරෙහිව පමණක් නොව, අවශ්‍යතාවක් මතු වුවහොත් ඉරානයටම එරෙහිව පවා පියවර ගැනීමට සූදානම් බව කියා සිටියේය. ටෙල් අවිව් නුවර සමතලා කරන කතාව ඉරානය පැත්තෙන් කියැවුණේ එයින් පසුවය.

ඉරානය පිහිටා ඇත්තේ ඊශ්‍රායලය ආසන්නයේම නොවේ. (සිතියම බලන්න). නමුත් ඊශ්‍රායලය ආසන්නයේම පිහිටි සිරියාව තුළ මේ වනවිට ඉරානය ඉතා ශක්තිමත් පදනමක් ගොඩනගා ගනිමින් සිටියි. ඒ, අප කලින්ද සඳහන් කළ පරිදි සිරියානු ජනාධිපති බෂාර් අල් අසාද්ට සහය දීම මගිනි. ඊශ්‍රායලය මේ පිළිිබඳ ලොකු නොසන්සුන්කමකින් පසුවෙයි. ඔවුන් සිතන්නේ සිරියාව හරහා ඉරානය සිය දේශ සීමාව වෙත පාරක් කපාගනිමින් සිටින බවයි. එය ඔවුන් දකින්නේ තමුන්ගේ ආරක්ෂාවට බරපතළ තර්ජනයක් ලෙසිනි. මෙයද ඊශ්‍රායලය සහ ඉරානය අතර ආතතිය වැඩි දියුණු කිරීමට ප්‍රධාන හේතුවකි.

අනෙක් අතට මේ වනවිට ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පාලනය යටතේ ඊශ්‍රායලයට වැඩි වැඩියෙන් ඇමෙරිකානු සහය ලැබෙමින් තිබිම ඉරානයේ නොසතුටට හේතු වී තිබේ. මේ නිසා ඉරානයද සිටින්නේ නොසන්සුන් තත්ත්වයක බව පැහැදිලිය. මෙම පසුබිම තුළ දැන් කව්රුත් උනන්දුවෙන් බලා සිටින්නේ මෙම දෙරට අතර උත්සන්න වෙමින් ඇති උණුසුම් ගැටුම්කාරී තත්ත්වය ඉදිරියේදී කවර මගක් ගනු ඇත්ද යන්න පිළිබඳවය.

නිහාල් පීරිස්



අපගේ ආසන්න රාජ්‍යයක් මෙන්ම ශ්‍රී ලාංකිකයින් බොහෝ දෙනෙකු රැඳී සිටින තැනක් ද වන මාලදිවයිනේ පසුගිය දිනවල පැන නැගුණු දේශපාලන අර්බුදය තවමත් අවසන්ව නොමැති අතර එය තවදුරටත් ජාත්‍යන්තර දේශපාලන ක්‍ෂේත්‍රයේ අවධානයට හසු වූ කාරණාවක් බවට පත්ව තිබේ. මේ හරහා මේ වනවිට ඉන්දියාව සහ චීනය අතර ද ආතතියක් වර්ධනය වෙමින් ඇති අතර මෙම අර්බුදය එරට ආර්ථිකයට ද ගැටලු ඇති කරන්නට පටන් ගෙන ඇති ආකාරය දැකිය හැකි වෙයි. එමෙන්ම මාලදිවයිනේ ජනාධිපති අබ්දුල්ලා යාමීන් අත්අඩංගුවට ගත යුතු යයි බල කරමින් එහි විරෝධතා පැවැත්වෙමින් ඇති බවද මාධ්‍ය හරහා වාර්තා වෙමින් තිබේ.
මෙම අර්බුදකාරී තත්ත්වය ඉස්මත්තට පැමිණියේ එරට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මේ මස මුල් සතියේ දෙන ලද ආන්දෝලනාත්මක තීන්දුවක් නිසාය. මේ වනවිට සිර දඬුවමකට යටත්ව සිටින, එමෙන්ම වත්මන් ජනාධිපති යාමීන්ගේ ප්‍රධාන ප්‍රතිවාදියා ද වන එරට හිටපු ජනාධිපති මොහමඩ් නෂීඩ් ඇතුළු තවත් විපක්ෂ නායකයින් කිහිප දෙනෙකු නිදහස් කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තීන්දු කරන ලදී. ඒ ඔවුන් සම්බන්ධයෙන් පැවති නඩු විභාගවල තිබූ බව කියන යම් යම් ගැටලු හේතුවෙනි. මෙම තීන්දුවත් සමග වත්මන් අගමැති යාමීන් ගේ බලය තර්ජනයට ලක්වන පසුබිමක් නිර්මාණය විය. මෙම තත්ත්වය තුළ සිදුවූයේ  අධිකරණ තීන්දුව ක්‍රියාවට නගනු වෙනුවට වහා රට තුළ හදිසි අවස්ථාවක් ප්‍රකාශයට පත් කරමින් අගවිනිසුරුවරයා සහ තවත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකු ද, ජනාධිපතිවරයාගේ විරුද්ධවාදියෙකු ලෙස සැලකුණු, තවත් හිටපු ජනාධිපතිවරයෙකු වන මයුමුන් අබ්දුල් ගයුම් ද අත්අඩංගුවට ගැනීමට කටයුතු කිරීමයි. ගයුම් ට එරෙහිව මේ වනවිට එල්ල කර ඇති චෝදනාවක් වන්නේ ඔහු වත්මන් පාලනය පෙරළා දැමීමට සහය දීම සඳහා අල්ලස් ලබාගෙන ඇතැයි යන්නයි. ජනාධිපති යාමීන් චෝදනා කරමින් සිටින්නේ සිය පාලනය පෙරළා දැමීමට කුමන්ත්‍රණයක් පවතින බවයි. ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවද ඔහු දකින්නේ එහිම පියවරක් ලෙසිනි.
යාමීන් විසින් රට තුළ පනවන ලද හදිසි අවස්ථාව තවමත් පවතින අතර මේ නිසා උපන් දේශපාලන අස්ථාවරත්වය තවදුරටත් වර්ධනය වෙමින් තිබේ. හිටපු ජනාධිපති නෂීඩ් ට සහය දක්වන දහස් ගණනක් ජනතාව හදිසි අවස්ථාව නොසලකා රැස් වෙමින් යාමීන් අත්අඩංගුවට ගත යුතු බවත්, ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව ක්‍රියාත්මක කළ යුතු බවත් කියමින් විරෝධතා දක්වන්නට පටන් ගෙන ඇති බව මාධ්‍ය වාර්තා කරයි. හදිසි අවස්ථාව යටතේ මේ ආකාරයේ රැස්වීම් සහ උද්ඝෝෂණ පැවැත්වීම තහනම් වන නිසා මෙම උද්ඝෝෂකයින්ද අත්අඩංගුවට ගැනීමට ආරක්ෂක අංශ පියවර ගනිමින් සිටියි.  මේ අතර මාධ්‍යවේදීන් කිහිප දෙනෙකු ද අත්අඩංගුවට ගෙන ඇති  බව සඳහන් වේ.
පසුගිය 5 වෙනි දින ජනාධිපති යාමීන් විසින් හදිසි අවස්ථාව ප්‍රකාශයට පත් කරන ලද්දේ දින 15 ක කාලයක් සඳහා ය. ඒ අනුව අද (20) එම කාලය අවසන් වීමට නියමිතව තිබේ. එයින් පසු ඔහු කවර තීරණයක් ගනු ඇත්ද යන්න තවමත් පැහැදිලි නැත.
කෙසේ හෝ වේවා රට තුළ පවතින අස්ථාවර බව එරට ආර්ථිකයද කිසියම් කම්පනයකට පත් කිරීමට පටන්ගෙන ඇති අතර මාලදිවයින් ආර්ථිකයෙහි ප්‍රධාන ඉසව්වක් වන සංචාරක කර්මාන්තයට මෙම තත්ත්වය දැඩි ලෙස බලපාන්නට පටන්ගෙන තිබේ. මාලදිවයිනේ සංචාරය කිරීමේ දී පරෙස්සම් වන මෙන් රටවල් රැසක් සිය වැසියන්ට අනතුරු ඇඟවීමත් සමග මෙම තත්ත්වය මතු විය. එරට සංචාරය කිරීමට නියමිතව සිටි බොහෝ දෙනෙකු මේ වනවිට සිය ඇණවුම් අවලංගු කරමින් සිටින බව ද වාර්තා වෙයි. මෙම තත්ත්වය නිසා වක්‍ර ආකාරයෙන්  ශ්‍රී ලංකාව, මැ‍ලේසියාව, මුරිසිය, සීෂෙල්ස් වැනි රටවලට වාසියක් අත්ව ඇති බවද පෙනේ. මාලදිවයිනට පැමිණීමට සිටි සංචාරකයින් මේ වනවිට ඉහත කී රටවල් වෙත හැරෙමින් සිටින බැවිනි. මෙම රටවලට පැමිණෙන සංචාරකයින් සංඛ්‍යාව සියයට 20 සිට 40 දක්වා ප්‍රමාණයකින් වැඩි වී ඇති බවද සඳහන් වේ.
මේ අතර මාලදිවයිනේ අර්බුදය කේන්ද්‍ර කරගෙන  එක් අතකින් ඉන්දියාව සහ ඇමෙරිකාව වැනි රටවල්ද, අනෙක් අතින් චීනයද අතර ඇතිව තිබෙන ආතතියද ඉදිරියට යමින් ඇති බව පෙනේ. දකුණු ආසියානු කලාපයේ ආධිපත්‍යය වෙනුවෙන් මෙම රටවල් අතර කාලයක සිටම බල අරගලයක් පවතින බව නොරහසකි.  මෙම පසුබිම තුළ, කලක් තිස්සේ ඉන්දියාවේ සමීප මිතුරෙකුව සිටි මාලදිවයින වත්මන් ජනාධිපති යාමීන්ගේ පාලන කාලය තුළ  චීනය දෙසට වඩාත් නැඹුරු වෙමින් තිබිමද, එය ඉන්දියාවේ නොසතුටට හේතු වීමද මෙම අර්බුදය තේරුම් ගැනීමේ දී වැදගත් වෙයි. පසුගියදා සිර දඬුවමෙන් නිදහස් කිරීමට අධිකරණය තීන්දු කළ හිටපු ජනාධිපතිවරයා වන නෂීඩ් බොහෝ දුරට ඉන්දියාවට සමීප ආකල්පයක් දරන්නෙකි. මේ අනුව දැන් යාමීන් සහ නෂීඩ් අතර ඇතිව තිබෙන බල අරගලය තුළ ඉන්දියාව සහ චීනය අතර ගැටුමද අන්තර්ගතව ඇති බව බැහැර කළ හැක්කක් නොවේ. යාමීන් ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව ක්‍රියාවට නොනගා හදිසි අවස්ථාව ප්‍රකාශයට පත් කිරීමත් සමග නෂීඩ් කීවේ ඉන්දියාව වහා මැදිහත්ව මෙම අර්බුදය විසඳීමට පියවර ගත යුතු බවයි. හමුදා මැදිහත් වීමක් පවා ඔහුට ගැටලුවක් නොවූ බව පෙනිණි. ඉන්දියාව ද සිය හමුදා අංශ සීරුවෙන් තබා ඇති බවට තොරතුරු වාර්තා විය. ඒ සමගම චීනය ද මෙයට වහා ප්‍රතිචාර දැක් වූයේය. මාලදිවයිනේ ප්‍රශ්නය ඔවුන්ගේ අභ්‍යන්තර ප්‍රශ්නයක් බවත්,  ඉන්දියාව ඇතුළු ජාත්‍යන්තර ප්‍රජාව මාලදිවයිනේ ස්වෛරීභාවයට ගරු කළ යුතු බවත්, ඉන්දියාව ඒක පාර්ශ්විකව හමුදා මැදිහත්වීමක් කිරීමට සූදානම් වුවහොත් එය නතර කිරීමට තමුන් පියවරගන්නා බවත් චීනයද කියා සිටියේය. මෙම තත්ත්වය තුළ මෙම ආසියානු බලවතුන් අතර ආතතියද වර්ධනය වෙමින් ඇති අන්දම දැකිය හැකි වෙයි. මෙහිදී චීනය සමග ප්‍රශ්න ඇති ඇමෙරිකාව වැනි බටහිර බලවතුන්ද ඉන්දියාවේ සහයට සිටින බව දැකිය හැකි වේ.
කෙසේ හෝ වේවා,  මාලදිවයින තුළ, වත්මන් ජනාධිපති යාමීන් සහ හිටපු ජනාධිපති නෂීඩ් අතර බල අරගලය මෙන්ම මාලදිවයින පිළිිබඳ උනන්දුව දක්වන ජාත්‍යන්තර බලවතුන් අතර බල අරගල ද ඉදිරියේදී කවර දිශාවක් ගනු ඇත්ද යන්න තවමත් ඇත්තේ අවිනිශ්චිත තත්ත්වයක බව සඳහන් කළ හැකි වෙයි.

ඇමෙරිකාවේ ෆ්ලොරිඩා හි පාසලකට කඩා වැදුණු  19 හැවිරිදි තුවක්කුකරුවෙකු, සිසු සිසුවියන්, ගුරුවර ගුරුවරියන් ඇතුළු පිරිස් වෙත දිගට හරහට වෙඩි තබමින් 17 දෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධිය මේ වනවිට විශාල ආන්දෝලනයක් ඇති කිරීමට සමත්ව තිබේ. ඩොලන්ඩ් ට්‍රම්ප් ඇතුළු එරට දේශපාලනඥයන් වෙත මෙන්ම ඇමෙරිකානු අපරාධ විමර්ශණ අංශය වන ෆෙඩරල් විමර්ශණ බියුරෝව වෙත ද දැවැන්ත විරොධයක් මතු කිරීමට මෙම සිද්ධිය සමත්ව තිබේ.
මෙම බිහිසුණු සිදුවීම සිද්ධ වූයේ පසුගිය බදාදා (14 දා) දින පස්වරු 2.30ට පමණ, පාසල අවසන්වීමට මඳ වේලාවකට කලිනි. (ෆ්ලොරිඩාවේ පාක්ලන්ඩ් හි පිහිටි මෙම පාසල හැඳින්වෙන්නේ මාර්ජරි ස්ටෝන්මන් ඩග්ලස් උසස් පාසල යන නමිනි.) ඝාතකයා ලෙස හඳුනාගෙන ඇති නිකලස් කෲස් ගෑස් මුහුණක්ද පැළඳ, රයිෆලයක් සහ දුම් බෝම්බ ආදියෙන් සන්නද්ධව පාසල් භූමිය වෙත ඇතුල්ව මුලින්ම කර ඇතැයි පැවසෙන්නේ එහි ගිනි අනතුරු සංඥාව ක්‍රියාත්මක කිරීමයි. ඒ වනවිට පාසල තුළ අධ්‍යාපනය ලබමින් සිටි සිසුවන් ඇතුළු පිරිස සිතා ඇත්තේ එය ගිනි අනතුරු පිලිබඳ පුහුණු අභ්‍යාසයක් විය යුතුය කියාය. මන්ද යත් එදින උදයේද එවැනි අභ්‍යාසයක් කර තිබූ බැවිනි. සිසුන් බොහෝ දෙනෙකු ඒ අනුව පන්තිකාමර වලින් පිටව කොරිඩෝරයන් වෙත පිවිස තිබේ. ඝාතකයා වෙඩි තැබිම ආරම්භ කර ඇතැයි සඳහන් වන්නේ එම අවස්ථාවේ ය. ඒත් සමගම සිසුහු, ගුරුවරු ඇතුළු සියලු දෙනා හිස් ලු ලූ අත දිව යමින් හසුවන හසුවන තැන්වල සැඟවෙන්නට පටන් ගත්හ.  සිසුන්ගේ ජීවිත බේරාගැනීම සඳහා ඉදිරිපත් වූ එක් පාපන්දු පුහුණුකරුවකු ඝාතකයා වෙඩි තබද්දී දරුවන් ඉන් ආවරණය කරනු පිණිස ඔවුන් ඉදිරියට පැමිණ වෙඩි වැදී මිය ගිය බවද වාර්තා වූ අතර මේ වනවිට සිද්ධියෙහි ලොකුම වීරයා බවට පත්ව සිටින්නේ ඔහු ය.
මේ ආකාරයෙන් පන්තිකාමරවලින් පිටත දී වෙඩි තැබිම පටන් ගත් කෲස් ඊළඟට පන්තිකාමර ඇතුළටද එමින් නැවතත් වෙඩි තබා ඇත. පහලොස් දෙනෙකු එම ස්ථානයේම ඝාතනය කිරීමට ඔහු සමත්ව තිබේ. තවත් දෙදෙනෙකු රෝහල් ගත කිරීමෙන් පසු මියගොස් ඇත. සිද්ධිය ගැන සැලවීමත් සමගම ‍පොලිසිය එම ස්ථානයට පැමිණ ඇති අතර සිසුන්, ගුරුවරුන් ඇතුළු සියළු දෙනා පාසල් පරිශ්‍රයෙන් ඉවත් කිරීමට ඔවුන් කටයුතු කර තිබිණි. නමුත් ඝාතකයා ද ඔවුන් අතර සැඟවී පාසල් භූමියෙන් පිටව ගොස් තිබේ. පැයකට පමණ පසු ඔහු අත්අඩංගුවට ගන්නා ලද්දේ පාස‍ලේ සිට සැතපුමක් පමණ දුරින් පිහිටි ස්ථානයක දීය. නිකලස් කෲස් විනය කාරණා මත පාසලෙන් නෙරපා සිටි සිසුවෙකු බව ද අනාවරණය වී තිබේ.
මුළු ලොවම කම්පාවට පත් කළ මෙම බිහිසුණු ඝාතන සිදුවීමත් සමග දැවැන්ත විරෝධයක් එල්ල වීමට පටන්ගත්තේ එරට ෆෙඩරල් විමර්ශණ බියුරෝවට එරෙහිවය. ඔවුන් ගේ නොසැලකිල්ල  නොවී නම් මෙම සිදුවීම වලක්වා ගැනීමට ඉඩ තිබුණාය යන අදහස එයට හේතුවයි. කිසියම් පුද්ගලයෙකු මෙයට ටික කලකට පෙර නිකලස් කෲස් සම්බන්ධයෙන් මෙම බියුරෝවට ඔත්තුවක් සපයා තිබි ඇත. කෲස් ගිනිඅවි ලඟ තබාගෙන සිටින බවත්, ඔහු මිනිස් ඝාතන සිදු කිරීමට කැමැත්තෙන් සිටින්නෙකු බවත්, ඔහුගේ හැසිරීමෙහි වෙනස්කම් ගැනත්, ඔහු සමාජ මාධ්‍ය තුළ පල කර ඇති බියජනක සටහන් ගැනත් මෙම ඔත්තුකරු දැනුම් දී තිබි ඇත. වැදගත්ම කාරණය නම් මෙම සැකකරු පාසලකට කඩා වැදී වෙඩි තැබිමක් කළ හැකි බවට අනතුරු ඇඟවීමක්ද ඉහත කී ඔත්තුකරු විසින් කරනු ලැබ තිබිමයි. නමුත් මේ සම්බන්ධයෙන් ප්‍රමාණවත් තරමින් පියවර ගෙන නැති බව පෙනේ. ෆෙඩරල් විමර්ශණ බියුරෝවද තම වරද පිලිගෙන ඇති අතර එහි අධ්‍යක්ෂවරයා වන ක්‍රිස්ටෝෆර් රේ ඉල්ලා අස්විය යුතු බවට දැඩි පීඩනයක් මේ වනවිට එල්ල වෙමින් තිබේ. මෙයට අමතරව පසුගිය සැප්තැම්බර් මාසයේද කිසිවෙකු නිකලස් කෲස් සම්බන්ධයෙන් ඔත්තුවක් සපයා තිබි ඇත. 'නිකලස් කෲස්' නැමැති පුද්ගලයෙකු යූ ටියුබ් හි විඩියෝවක් සඳහා යොදා ඇති කමෙන්ටුවක් පිලිබඳව මෙහිදී ඔත්තුකරු දැනුම් දී තිබේ. තමා දිනෙක වෘත්තීය පාසැල් ඝාතකයෙකු වන බව එම කමෙන්ටුවෙහි ඇතුළත්ව තිබූ බව පැවසේ. මේ සම්බන්ධයෙන් ආරක්ෂක අංශ පවසා ඇත්තේ මෙම ඔත්තුව පිලිබඳව තමුන් සොයා බැලූ නමුත් එම කමෙන්ටුව අන්තර්ජාලයට එක් කළ පුද්ගලයා සොයා ගැනීමට නොහැකි වූ බවයි.
කෙසේ හෝ වේවා, මෙම වසරේ දැනට ගෙවී ඇති මාස එකහමාරක කාලය තුළ ඇමෙරිකාවේ මෙවැනි පාසැල් වෙඩි තැබිම් අටක් පමණ වාර්තා වී ඇතැයිද සංඛ්‍යා‍ලේඛන පල වී තිබේ.  එය ඉතා බරපතල තත්ත්වයක් බව අමුතුවෙන් කිව යුතු නැත. මේ නිසා සිසු සිසුවියන් මෙන්ම ඔවුන්ගේ මව්පියන්, ගුරුවර ගුරුවරියන් වැනි පාර්ශ්ව මුහුණ දී සිටින්නේ විශාල ආතතියකටය. පාසල් යාම ඉතා බියකරු අත්දැකීමක් බවට පත්වෙමින් ඇති බව පෙනේ. මෙම නොසන්සුන්තාව තුළ රටේ දේශපාලන නායකයින් වෙත එල්ල වන විරෝධය, පීඩනය ඉහළ යන්නට පටන්ගෙන ඇත. ඕනෑම කෙනෙකුට ගිනි අවි මිළ දී ගැනීමට, ළඟ තබා ගැනීමට ඇති හැකියාව සීමා කරන ලෙස වන ඉල්ලීම් ඉහළ යමින් තිබේ. 
විශේෂයෙන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් වෙත එල්ල වන විරෝධය ඉහළ ගොස් ඇති ආකාරය දැකිය හැකි වේ. එයට ප්‍රධාන හේතුවක්ව ඇත්තේ දරුණු මානසික ආබාධවලින් පෙලෙන ඇතැම් උදවිය ගිනිඅවි අත්පත් කර ගැනීම සීමා කරනු පිණිස හිටපු ජනාධිපති බැරක් ඔබාමා විසින් ගෙන එන ලද නියෝගයක් අවලංගු කිරීමට ට්‍රම්ප් කටයුතු කර තිබිමයි. ට්‍රම්ප් සැලකෙන්නේ ඇමෙරිකාවේ ගිනි අවි ව්‍යාපාරිකයින් සතුටු කිරීමේ ප්‍රතිපත්තියක සිටින කෙනෙකු වශයෙනි. ඒ නිසා ගිනි අවි මිළ දී ගැනීම, භාවිතය සීමා කරන ප්‍රතිපත්ති ගෙන ඒමට ඔහු මැලිකමක් දක්වන බවට චෝදනා එල්ල වෙයි. පසුගියදා ෆ්ලොරිඩා සමූහ ඝාතනයෙන් පසු ඒ පිලිබඳ විරෝධය දක්වමින් එම සිද්ධියෙන් දිවි ගලවාගත් පාසල් සිසු සිසුවියන් විසින් රැළියක් පවත්වන ලදී.  එහිදී ද ට්‍රම්ප් ඇතුළු දේශපාලන නායකයින්ට එල්ල වූ චෝදනාවක් වූයේ ගිනි අවි ව්‍යාපාරිකයින්ගේ අරමුදල් මත යැපෙන නිසා මෙම දේශපාලනඥයන් ඔවුන්ට අවාසිදායක පියවර නොගන්නා බවයි. ගිනි අවි භාවිතය සීමා කරන නීති රීති හඳුන්වා නොදෙන බවයි.
කෙසේ හෝ වේවා මානසික ආබාධවලින් පෙලෙන්නවුන් ගිනි අවි අයිති කර ගැනීම සීමා කරන අරමුණින් ඔබාමා ගෙන ආ ප්‍රතිපත්තියට ගිනි අවි ව්‍යාපාරිකයන් පමණක් නොව මානව හිමිකම් කණ්ඩායම්ද විරෝධය දක්වා තිබිණි. ඔවුන්ගේ තර්කයක් වූයේ එයින් මානසික රෝගීන් යනු ප්‍රචණ්ඩ, භයානක කොට්ඨාසයක්ය යන අදහසට තල්ලුවක් ලැබෙන බවයි.
මේ අතර ෆ්ලොරිඩා ඝාතනය සිදු කළ නිකලස් කෲස් සම්බන්ධයෙන්ද විවිධ තොරතුරු මාධ්‍ය වාර්තා කර තිබිණි. ඔහුගේ මිතුරන්ට අනුව කෲස් තරමක් වෙනස් හැසිරීම් තිබූ කෙනෙකු බව පෙනෙන අතර ඒ නිසාම ඔහු නිතර පාසල තුළ උසුළු විසුළුවලට ලක්ව ඇති බවද, ඇතැම් අවස්ථාවල එය සීමාව ඉක්මවා ගිය ආකාරයක්ද පෙනේ. ඔහුගේ එක් මිතුරෙකු අඟවා තිබුණේ මෙම උසුළු විසුළු සම්බන්ධයෙන් යම් පියවරක් ගත්තා නම් තත්ත්වය වෙනස් වීමට ඉඩ තිබුණු බවයි. 
 
කිත්සිරි මල්වත්ත

දකුණු ඉන්දියානු සිනමා නළු කමල් හසන් ලබන 21 වෙනි දින සිය දේශපාලන පක්ෂය දියත් කරමින් තමිල්නාඩුවේ දේශපාලන ‍පොර පිටියට  අවතීර්ණ වීමට සූදානම් වීම මේ දිනවල මාධ්‍ය තුළ නිතර කතාබහට ලක් වන්නක් බවට පත්ව තිබේ. එදින සිය පක්ෂයේ නම ද මුල්වරට ප්‍රකාශයට පත් කරන බව ඔහු පවසා ඇති අතර මෙම උත්සවය පැවැත්වෙන්නේ තමිල්නාඩුවේ රාමනාදපුරම් නමැති ග්‍රාමයේය. එහි ඇති විශේෂත්වය වන්නේ එය කමල් හසන්ගේ උපන්ගම ද වීමයි. 
මෙහිදී සිය දේශපාලන ගමන ආරම්භ කරන කමල් එයින් පසු තමිල්නාඩු ප්‍රාන්තය පුරා දින ගණනක දීර්ඝ චාරිකාවක නිරත වීමට අදහස් කරගෙන සිටින බවද සඳහන් වේ. ප්‍රාන්තයේ ජනතාවගේ වුවමනාවන්, සිතුම් පැතුම් වඩාත් සමීපව හඳුනා ගැනීම මෙම චාරිකාවේ අරමුණ බවද ඔහු පසුගිය දිනෙක පවසා තිබිණි. එමෙන්ම තමා සිනමාවෙන් බොහෝ දුරට ඈත් වනු ඇති බව ද ඔහු පවසා තිබේ. මේ වනවිට තිරගත වීමට නියමිතව තිබෙන චිත්‍රපට දෙකක් හැරුණු විට එයින් පසු තමා චිත්‍රපටවල කටයුතු බාරගෙන නැති බවද ඔහු පවසයි. එයින් අදහස් වන්නේ මෙම සුපිරි සිනමා දැවැන්තයා දේශපාලනය තුළ පූර්ණකාලීන, දිගු ගමනක් යාමට අදහස් කරගෙන සිටීම බව පැහැදිලියි. ඉදිරි මැතිවරණවලදී පරාජයට පත්වුවත් දිගටම දේශපාලනයේ රැඳී සිටිනවාදැයි පසුගිය දිනෙක මාධ්‍යවේදියෙකු ඔහුගෙන් විමසූ අවස්ථාවේ ඔහු පවසා ඇත්තේ අවංක ජීවිතයක් උදෙසා තමුන් යමක් කළ යුතුව ඇති බවයි. නමුත් තමන් පරාජය වනු ඇතැයි විශ්වාස නොකරන බවද ඒ සමගම ඔහු පවසා තිබේ. 
දේශපාලන කරළියට නවකයෙකු වුවද තමා වසර 35කට ආසන්න කාලයක් තිස්සේ සමාජ සේවා කටයුතුවල නිතර වෙමින් සිටින බවද, එම කාලය තුළ විශාල පිරිසක් තමා සමග කටයුතු කර ඇති බවද ඔහු සඳහන් කරයි. සිය දේශපාලන ජීවිතයේදී මෙම උදවියගේ සහය තමුන්ට ලැබෙනු ඇතැයි යන්න කමල්ගේ විශ්වාසය බව පෙනේ. 
කමල් හසන්ගේ දේශපාලන අරමුණු තුළ ප්‍රධාන වශයෙන් හඳුනාගත හැකි ලක්ෂණ දෙකක් දැකිය හැකි වෙයි. එකක් නම් තමිල්නාඩු දේශපාලන සංස්කෘතිය තුළ ඇති දූෂිත බවට, පිරිහීමට එරෙහිව ඔහු දක්වන විරෝධයයි. අනෙක නම් ඉන්දියාව තුළ ක්‍රියාත්මක වන හින්දුවාදී ආධිපත්‍යයට දක්වන විරෝධයයි. ඔහු වාමාංශික අදහස්වලට කිසියම් නැඹුරුවක් දක්වන ආකාරයක්ද දැකිය හැකි වෙයි. ඉන්දියාවේ වංචා දූෂණවලට එරෙහිව විශාල හඬක් නගන දිල්ලි මහ ඇමැතිවරයා වන අර්වින්ද් කෙජ්රිවාල්, කේරළයේ මහ ඇමැති ධුරය දරන කොමියුනිස්ට් පක්ෂයේ නායකයෙකුද වන පිනරායි විජයන් ආදීන් සමග පසුගිය කාලයේ කමල් සමීප සබඳතා ගොඩනගාගෙන තිබිණි. 
වංචා දූෂණවලට කමල් නගන හඬ ඔහුගේ ප්‍රධාන සටන් පාඨයක් වී තිබේ. දූෂණ සම්බන්ධයෙන් චෝදනා ලැබූ මැති ඇමැතිවරුන්ගේ ඊමේල් ගිණුම් ඔවුන්ට විරෝධය දක්වන ඊමේල් පණිවුඩවලින් පුරවන ලෙස ඔහු වරක් සිය රසික රසිකාවන්ගෙන් ඉල්ලා තිබිණි. මේ අතර අගමැති නරේන්ද්‍ර මෝදි ගේ භාරතීය ජනතා පක්ෂය බලයට ඒමෙන් පසු ඉන්දියාව තුළ බලවත් වෙමින් ඇති හින්දුවාදී ආධිපත්‍යය සහ අන්තවාදී ප්‍රවණතාවලට එරෙහිවද ඔහු ලොකු හඬක් නගමින් සිටියි. තමා හින්දුන්ට විරුද්ධ නැති බවත්, තම පවු‍ලේ ද හින්දු සාමාජිකයන් සිටින බවත් පවසා ඇති කමල් නමුත් හින්දු අන්තවාදය තමා දැඩි ලෙස ප්‍රතික්ෂේප කරන බව කියා තිබේ. වරක්, ඔහු ඉදිරිපත් කරන රූපවාහිනී වැඩසටහනකින් හින්දු සංස්කෘතියට අපහාස වූ බව පවසමින් ඔහු අත්අඩංගුවට ගත යුතුය යන උද්ඝෝෂණයක්ද මතු විය. 
කමල්ගේ මෙම ආකල්පය නිසා ඔහු ඉන්දියාවේ වත්මන් ආණ්ඩු පක්ෂය වන භාරතීය ජනතා පක්ෂය සමග තරමක දුරස්ථ බවක් ඇති කරගනිමින් සිටින බව පෙනේ. මේ වනවිට තමිල්නාඩුවේ දේශපාලනයට අවතීර්ණව සිටින තවත් සුපිරි නළුවෙකු වන රජිනිකාන්ත් සහ කමල් අතර යම් පරතරයක් ඇති කිරීමටද මෙය සමත්ව තිබේ. කමල් සහ රජිනි අතර දේශපාලන සම්මුතියක් ඇති වේවිද යනුවෙන්  මාධ්‍යවේදීන් ප්‍රශ්න කළ අවස්ථාවල කමල් හඟවා ඇත්තේ රජිනි භාරතීය ජනතා පක්ෂයට නැඹුරු ප්‍රතිපත්තියක් දැක්වීම නිසා ඒ ගැන නිශ්චිතව පැවැසිය නොහැකි ආකාරයකි. පසුගිය දෙසැම්බරයේ රජිනිකාන්ත් ද අලුත් දේශපාලන පක්ෂයක් පිහිටුවමින් දේශපාලනයට පිවිසෙන බව නිල වශයෙන් ප්‍රකාශයට පත් කළ අතර ඔහු භාරතීය ජනතා පක්ෂයේ ඉත්තෙකු හැටියටද සමහරුන් විසින් හඳුන්වනු ලැබිණි. මෑත කාලයේ කිහිප වරක්ම නරේන්ද්‍ර මෝදි රජිනිකාන්ත් මුණගැසීමද විශාල වශයෙන් කතාබහට ලක් විය. 
පසුගිය කාලය තුළ භාරතීය ජනතා පක්ෂය වැනි ජාතික පක්ෂවලට තමිල්නාඩුව තුළ බලය ඇල්ලීමට හැකි වූයේ නැත. ඒ වෙනුවට නිතරම මෙම ප්‍රාන්තයෙහි බලය හුවමාරු වූයේ ඕල් ඉන්ඩියා අන්නා ද්‍රවිඩ මුන්නේත්‍ර කසාගම් (ඒඒච්ර්ම්) සහ ද්‍රවිඩ මුන්නේත්‍ර කසාගම් (ච්ර්ම්) වැනි පක්ෂ අතරය. මේ නිසා මෝදිගේ භාරතීය ජනතා පක්ෂය රජිනිකාන්ත් හරහා තමිල්නාඩුව තුළ පදනමක් සාදා ගැනීමට සැලසුම් කරනවාය යන අදහස්ද මෑත කාලයේ නිතර සංවාදයට ලක් විය. කෙසේ නමුත් කමල් හසන් පවසා ඇත්තේ භාරතීය ජනතා පක්ෂය සමග රජිනිගේ ඇයි හොඳයියක් නොමැති වුවහොත් තමාට ඔහු සමග අත්වැල් බැඳගෙන ගමනක් යාමට බැරිකමක් නැති බවයි. 
 
නිහාල් පීරිස්

දකුණු කොරියාවේ පැවැත්වෙන සීත ඔලිම්පික් උළෙලට දිනකට පෙර උතුරු කොරියාව තම හැත්තෑවෙනි සංවත්සරය වෙනුවෙන් යුද අභ්‍යාසයක යෙදෙන බව වාර්තා විය. එරට හමුදාව පිහිටුවීම සනිටුහන් කරමින් වාර්ෂිකව අප්‍රේල් මාසයේ මෙම සංවත්සරය පැවැත්වුණද එය ඊයේ දිනයේ පැවැත්වීමට උතුරු කොරියාව පියවර ගත්තේය.
පෙරහුරුවට පෙර කොරියාවේ ජාතික නාලිකාව හරහා හිටපු නායකයින්ගේ ඡායාරූප, එරට අසිරිමත් ස්ථාන හා වෙනත් ප්‍රචාරක කටයුතු ඇතුළත් චිත්‍රපට පෙන්වමින් තිබූ බවද වාර්තාවෙයි. පෙරහුරු පෙළපාළිය ඇරඹෙනතුරුම එය ඇරඹෙන මොහොත හෙළිවී නොතිබුණි.ඔලිම්පික් උළෙලට දිනකට පෙර පෙරහුරුව පැවැත්වීම ගැන විවේචන එල්ලවුවද උතුරු කොරියාව එම විවේචන ප්‍රතික්ෂේප කරමින් පවසා සිටියේ එවැනි විවේචන කිරීමට කිසිවෙකුටත් නොහැකි බවය.

සී.එන්.එන්.

ඉන්දියානු අගමැති නරේන්ද්‍ර මෝදි ගේ බිරිඳ ජශෝදාබන් බිහිසුණු රිය අනතුරකට මුහුණදී අනූනවයෙන්  දිවි ගලවා ගැනීමේ පුවතක් බදාදා (07 දා) ඉන්දියානු මාධ්‍ය වාර්තා කළේය. මේ වනවිට 65 වෙනි වියේ පසුවන ඇය මේ ආකාරයෙන් මෙම රිය අනතුරට මුහුණදී තිබුණේ රාජස්ථාන් ප්‍රාන්තයේ බේගු නමැති ප්‍රදේශයේ අධිවේගී මාර්ගයකදීය. මෙම අනතුරින් ඇයගේ දිවි බේරී ඇතත් රථය පදවමින් සිටි ඇගේ ඥාතියෙකු මරණයට පත්ව ඇති බවද වාර්තා වෙයි. එයට අමතරව රථයෙහි සිටි තවත් කාන්තාවන් දෙදෙනෙකුද, ආරක්ෂක නිලධාරියෙකුද තුවාල ලබා තිබේ. එදින පෙරවරු 10ට පමණ මෙම අනතුර සිදුව ඇත්තේ ඇය ගමන් ගත් මෝටර් රථය තවත් ට්‍රක් රථයක් සමග ගැටීමෙනි. අනතුරින් ජශෝදාබන්ටද සුළු තුවාල සිදුව ඇති අතර ඇය වහා චිතෝර්ගාර් හි රෝහලකට ඇතුළත් කරනු ලැබ ඇත. ට්‍රක් රථයෙහි රියැදුරා අත්අඩංගුවට ගෙන ඇති බවත්, අනතුර පිළිබඳ පුළුල් පරීක්ෂණයක් පැවැත්වෙනු ඇති බවත් බලධාරීන් සඳහන් කර තිබේ.
විශ්‍රාමික ගුරුවරියක වන ජශෝදාබන් අගමැති මෝදිගේ බිරිඳ වුවද වැඩිය මාධ්‍ය තුළ දැකගන්නට ලැබෙන චරිතයක් නොවේ. එයට හේතුවක් නම් ඇය මේ වනවිට මෝදි සමග ජීවත්  නොවීමයි. ඔවුන් දෙදෙනා දැන් දශක ගණනාවක් තිස්සේම ජීවත් වන්නේ එකිනෙකාගෙන් වෙන්වය. 1967 වසරේ මේ දෙදෙනා විවාහ වන විට මෝදිගේ වයස අවුරුදු 18ක්ද, ජශෝදාබන්ගේ වයස 16ක්ද වූ බව පැවැසේ. ඔවුන් අතර විවාහය තීන්දු වී ඇත්තේ ඔවුන් කුඩා කාලයේදීමය.
විවාහයෙන්  වසර තුනකට පමණ පසු  මෝදි ඇයගෙන් වෙන්ව ජීවත් වීමට පටන්ගෙන ඇති අතර එය සිදුව ඇත්තේ දෙදෙනාගේම එකඟතාව මත බවද සඳහන් වේ. පසුව මෝදි ටික කලක් හිමාලයේ සැරිසරමින් බ්‍රහ්මචාරී ජීවිතයක් ගත කිරීමට පටන් ගත් බව පැවැසේ. පසුව ජශෝදාබන්ද ඇගේ අධ්‍යාපන කටයුතු අවසන් කර ගුරු වෘත්තියට පිවිස ඇත.  ඇය මේ වනවිට වාසය කරන්නේ මෝදිගේ උපන්ගම වන වද්නගර් සිට කිලෝමීටර් 35ක් පමණ දුරින් පිහිටි බ්‍රහ්මන්වාදා නම් ග්‍රාමයේය. මෙයට ටික කලකට පෙර එක්තරා සම්මුඛ සාකච්ඡාවකදී ඇය පවසා තිබුණේ තමා ජීවත් වන්නේ ඉන්දියානු රුපියල් 14,000ක විශ්‍රාම වැටුපකින් බවයි. ඇය ඉතා සරල, ආගමික ජීවිතයක් ගත කරන තැනැත්තියක බවද සඳහන් වේ. මේ වනවිට ජශෝදාබන් ජීවත් වන්නේ ඇගේ සහෝදරයාත්, ඔහුගේ බිරිඳත් සමගය. ඇයත්, අගමැති මෝදිත් අතර මේ වනවිට කිසිදු සන්නිවේදනයක් සිදු නොවන බවක්ද පෙනේ. තමා කවදා හෝ දිනෙක නැවත ඔහු මුණ ගැසීමට කැමැත්තෙන් සිටින බවක්ද ජශෝදාබන් වරක් ප්‍රකාශ කර තිබිණි.
අගමැති මෝදි බොහෝ විට ඔහුගේ විවාහය සම්බන්ධ පෞද්ගලික කාරණා සම්බන්ධයෙන් දක්වන්නේ නිහඬතාවකි. ඔහු මුල්වරට සිය විවාහය පිළිබඳව ප්‍රසිද්ධියේ සඳහන් කර ඇත්තේ ද ඉතාම මෑතකදී ය. ඒ, 2014 වසරේ භාරතීය ජනතා පක්ෂයේ අගමැති අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වෙමින් නාමයෝජනා ලබා දුන් අවස්ථාවේ ය. මේ වනවිටත් මෝදි සැලකෙන්නේ බ්‍රහ්මචර්යාව රකින අයෙකු ලෙසිනි. ඇතැමුන් පවසන්නේ භාරතීය ජනතා පක්ෂයේ හින්දුවාදී ඡන්දදායකයන් තුළ ආකර්ශනයක් ඇති කිරීම සඳහා ඔහු මෙවැනි ජීවන ෙශෙලියක් අනුගමනය කරන බවයි. එමෙන්ම ඔහු  දේශපාලන අරමුණු වෙනුවෙන් සිය බිරිඳ අත්හැර දැමූ බවට චෝදනා නගන්නන්ද  නැතුවා නොවේ. එය කාන්තාවන් පිළිබඳ ඔහුගේ ආකල්ප පෙන්වා දෙන්නක් ලෙසද ඔවුහු චෝදනා කරති. 2014 වනතුරුම විවාහය පිළිබඳ ප්‍රසිද්ධියේ සඳහන් කිරීමට මැලිවීම ගැනද මෝදි වෙත නොයෙක් වර  දෝෂාරෝපන එල්ල වී තිබේ. ඔහු අගමැති ධුරයේ  දිවුරුම් දුන් අවස්ථාවට සහභාගි වීමට තමාට ඇරයුම් නොකළ බව වරක් ජශෝදාබන් මාධ්‍ය වෙත පවසා තිබිණි.
කෙසේ වෙතත් ඔවුන් දෙදෙනා අතර නිල වශයෙන් දික්කසාදයක් සිදුව නැති බවද සඳහන් වෙයි. මෝදි 2014 නාමයෝජනා ‍පෝරමය පුරවන අවස්ථාවේ, විවාහය පිලිබඳ විමසා තිබූ තැනක  'ජශෝදා' යනුවෙන් ලියා ඇති නමුත් ඔහු පවසා ඇත්තේ තමා ඇය පිළිබඳ වැඩි තොරතුරක් නොදන්නා බවයි. ඇයගේ ලිපිනය පවා නොදන්නා බවක් ඔහු කියා ඇති බව පැවසිණි. කෙසේ වෙතත් තමා හුදෙකලා ජීවිතයට වඩාත් ප්‍රිය කරන බවද වරක් ඔහු පවසා තිබිණි.
දිගු කාලයක් තිස්සේ මෝදිගෙන් වෙන්ව ජීවත් වුවද ජශෝදාබන් සිය සැමියා අගමැති ධුරයේ කටයුතු කරන ආකාරය පිළිබඳව මහත් ප්‍රසාදයෙන් අදහස් දක්වා තිබෙනුද පසුගිය කාලයේ දක්නට ලැබිණි. මෝදි ඉන්දියාවේ කළු සල්ලි එළියට අදිනු පිණිස එරට රුපියල් 500 සහ 1000 නෝට්ටු අවලංගු කර ඒ වෙනුවට අලුත් නෝට්ටු හඳුන්වා දුන් අවස්ථාව එයට එක් නිදසුනකි. බොහෝ පාර්ශ්ව ඔහුගේ මෙම පියවර විවේචනය කරද්දී ජශෝදාබන් එය ඉතා වැදගත් පියවරක් බව පවසමින් අගය කළාය.

කිත්සිරි මල්වත්ත

Page 1 of 17

 

IMAGE

බසයේදී දුන් බොරු විවාහ පොරොන්දුවෙන් පවුල්ජීවිතේ 'හබක්'

IMAGE 2018 Feb 23 12:25
ඔහු අගනුවර ප්‍රසිද්ධ සමාගමක විධායක නිලධාරියෙකි. වයස අවුරුදු 40 ඉක්මවූ ඔහුට රූමත් බිරිඳක් සහ...
Views - 2183

අහිමි පෙම ඉල්ලා පෙම්වතියට ප්‍රසිද්ධියේ ගුටි ඇනලා

IMAGE 2018 Feb 23 10:42
පැරණි පෙම්වතියගෙන් අහිමි වූ ආදරය නැවත ඉල්ලා එය නොලැබුණු විට නාරාහේන්පිට ප්‍රදේශයේදී ඇයට...
Views - 1571

සංසාර සිහිනයේ ගී සංකල්පනය මම 'ටැබ් එකේ ටයිප් කරපු' එකක්

IMAGE 2018 Feb 21 12:00
සනුක වික්‍රමසිංහ ගායනා කරන “සංසාර සිහිනේ” කලක පටන් බොහෝ ගීත දර්ශකවල පෙරමුණ ගෙන තිබෙන...
Views - 3117

මම නාට්‍ය කලාවෙ ඉන්නේ ඒ ගැන තියන 'උණ' නිසයි

IMAGE 2018 Feb 21 11:53
වේදිකාව, පුංචිතිරය සහ සිනමාව යන මාධ්‍ය ත්‍රිත්වයෙහිම සිය ප්‍රතිභාව ප්‍රකට කළ කලාකරුවකුවන...
Views - 1822

බිරිඳ රැකියාවක් නොකිරීම මගේ සාර්ථකවයට හේතුවක්

IMAGE 2018 Feb 20 14:38
“සිරස ජූනියර් සුපර් ස්ටාර්..” තරගය ගැන මුලින්ම අප ඔබගෙන් විමසන්න කැමතියි.. ඇත්තෙන්ම “සිරස...
Views - 6584

බිරිඳට පින් තකා සුනඛයන්ට දිනපතා සහල් කිලෝ 08ක දනක්

IMAGE 2018 Feb 20 14:23
මිනිසා තිරිසනුන් වන අවස්ථාත් තිරිසනා මිනිසුන් වන අවස්ථාත් අපට බොහෝ විට දක්නට ලැබුණද...
Views - 3975

Please publish modules in offcanvas position.