Coss Ear2
lakbima.lk
COSS Ear 1

කන්දක් විළිලා මී පැටවකු වැදු බැඳුම්කරේ විවාදය

මෑත ඉතිහාසයේ දේශපාලන ක්ෂේත‍්‍රයේ වැඩියෙන්ම කතාබහට ලක්වූ කොමිෂන් සභා වාර්තාව වූයේ බැඳුම්කර වාර්තාවය. එම වාර්තාව කොතරම් දුරදිග ගියේ දැයි කිවහොත් එ් ගැන පාර්ලිමේන්තු විවාදයක් පවත්වන්නටද පක්‍ෂ නායකයන්ට සිද්ධ විය. එ් පිළිබඳ විවාදය ඇරඹුණේ ඉකුත් හයවැනිදාය.
මහ බැංකු බැඳුම්කර ජනාධිපති කොමිෂන් සභා වාර්තාවට අමතරව එදින බරපතල වංචා දූෂණ පිළිබඳ ජනාධිපති කොමිෂන් සභා වාර්තාව  පිළිබඳවද විවාදයට ගැනීම විශේෂ සිද්ධියකි.
මෙම විවාදය කෙරෙහි පුළුල් ජනතා අවධානයක් යොමුවූ  බැවින්, ඉතා වගකීමකින් යුක්තව විවාදයට සහභාගි වන ලෙස කථානායක කරු ජයසූරිය විවාදය  ආරම්භයේදීම සියලූ පාර්ශ්වයන්ගෙන් ඉල්ලා සිටියේය. කෙසේ නමුදු මුළු රටම පාර්ලිමේන්තුව දෙස බලා සිටියත් විවාදයේ දිස් වූයේ ඇල්මැරුණු ස්වභාවයකි. මැති ඇමැතිවරුන්ගේ සහභාගිත්වය අඩුවීම හේතුවෙන් මෙම විවාදය බොහෝ දෙනෙකු අපේක්ෂා කළ මට්ටමේ උණුසුම් ස්වභාවයක් නොගත්තේය. පුංචි ඡන්දයේ ප‍්‍රචාරක කටයුතු සඳහා පසුගිය සතියේ මැති ඇමැතිවරුන් රැසක්ම කොළඹින් පිට ප‍්‍රදේශ කරා ගොස් සිටීම ඊට හේතු විය. රටේ මූල්‍ය පාලනය සම්බන්ධ සිද්ධියකට වඩා ඔවුන්ට කතිරය ලොකු වී තිබුණි.
නමුත් ආණ්ඩු පක්ෂයේ මෙන්ම විපක්ෂයේද ප‍්‍රධාන පෙළේ දේශපාලනඥයෝ කිහිපදෙනෙක්ම මෙම විවාදයට එක්ව සිටියහ. ඒ නිසාවෙන්ම ඉතාමත් වැදගත් දේශපාලන කරුණු කිහිපයක්ම මෙහිදී සාකච්ජාවට බඳුන්විය.
සභාව කල් තබන අවස්ථාවේ විවාදයක් ලෙස මෙම බැඳුම්කර විවාදය පැවැත්විණි. ඒ අනුව සභාව කල්තබන අවස්ථාවේ යෝජනාව ඉදිරිපත් කරන ලද්දේ අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ විසිනි.
අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මෙහිදී මෙම විවාදයට දෙන ලද්දේ තරමක ඇල්මැරුණු ආරම්භයකි. බැඳුම්කර වාර්තාව පිළිබඳව ඉතා අඩුවෙන් කරුණු දැක්වූ අගමැතිවරයා වැඩි වශයෙන් කරුණු දැක්වූයේ බරපතළ වංචා දූෂණ පිළිබඳ ජනාධිපති කොමිෂන් සභා වාර්තාව  පිළිබඳවය.
මෙම රටාව මෙම විවාදය පුරා දක්නට හැකි සුවිශේෂී කරුණක් විය. එනම්  එජාපයේ සියලූම කථිකයෝ බැඳුම්කර වාර්තාව පිළිබඳ අඩුවෙන් අදහස් දක්වමින් බරපතළ වංචා දූෂණ පිළිබඳ ජනාධිපති කොමිෂන් සභා වාර්තාව පිළිබඳව වැඩියෙන් කරුණු දැක්වූහ. එසේම ඒකාබද්ධ විපක්ෂයේ මන්ත‍්‍රීවරු බරපතල වංචා දූෂණ පිළිබඳ ජනාධිපති කොමිෂන් සභා වාර්තාව පිළිබඳව අඩුවෙන් කතා කරමින් බැඳුම්කර වාර්තාව පිළිබඳව වැඩිපුර කරුණු දැක්වූහ. කෙසේ වෙතත්  ආණ්ඩුවේ ශ‍්‍රීලනිප පාර්ශ්වය හා ජනතා විමුක්ති පෙරමුණේ මන්ත‍්‍රීවරු නම් වාර්තා දෙකම පිළිබඳ බොහෝ දුරට සම සම ප‍්‍රමාණයෙන්  කරුණු දක්වනු දක්නට විය.
අගමැතිවරයා තම ආරම්භක අදහස් දැක්වීමේදී බැඳුම්කර වාර්තාව පිළිබඳව සඳහන් කරමින් පැවැසුවේ ඊට අදාළ නීතිමය පියවරයන් දැනටමත් ක‍්‍රියාත්මක බව පමණි. කෙසේ වෙතත් බරපතළ වංචා දූෂණ පිළිබඳ ජනාධිපති කොමිෂන් සභා වාර්තාව  පිළිබඳව ඔහු වැදගත් කරුණු රැසක් සඳහන් කළේය.
බැඳුම්කර ගනුදෙනුවට අදාළ චූදිතයන්ට එරෙහිව ක‍්‍රියාමාර්ග ගෙන ඇතත් බරපතළ වංචා හා දූෂණ කොමිෂන් සභා වාර්තාවෙන් චෝදනා එල්ල වී ඇති දැනට පාර්ලිමේන්තුවේ සිටින මන්ත‍්‍රීන් ගැන මෙතෙක් පියවර ගෙන නැතැයි අගමැති රනිල් වික‍්‍රමසිංහ මෙහිදී මුලින්ම සඳහන් කර සිටියේය. අනතුරුව එම වාර්තාව නිර්දේශ කර ඇති නීති සංශෝධන කිහිපයක් පිළිබඳවද අගමැතිවරයා සඳහන් කළේය. මෙහිදී මේ දිනවල වැඩි වශයෙන් කතාබහට ලක්වන, දේශපාලනඥයින්ගේ ප‍්‍රජා අයිතිය පිළිබඳ වැදගත් කරුණු කිහිපයක්ද මෙහිදී අගමැතිවරයා විසින් ඉදිරිපත් කළේය.
මන්ත‍්‍රී පදවියෙන් නෙරපීම හා ප‍්‍රජා අයිතිය අහෝසි කිරීම පිළිබඳව මෙම වාර්තාවේ නව නිර්දේශ ඉදිරිපත්ව ඇති බවත් ඒ අනුව එම නිර්දේශ ක‍්‍රියාත්මක කිරීම පිළිබඳ අවධානය යොමු කළ යුතු බවත් අගමැතිවරයා කීය.
ජනාධිපති කොමිෂන් සභාවක නිර්දේශය මත මන්ත‍්‍රීවරයෙකු එම ධුරයෙන් නෙරපීම සහ ප‍්‍රජා අයිතිය අහෝසි කිරීම පිළිබඳ සඳහන් ව්‍යවස්ථාවේ 81 වැනි වගන්තිය සංශෝධනය කරනවාද නැද්ද යන අයිතිය ඇත්තේ පාර්ලිමේන්තුවට බවද  අගමැති රනිල් වික‍්‍රමසිංහ මෙහිදී ප‍්‍රකාශ කළේය. ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 81 වැනි වගන්තියේ සඳහන් වන්නේ මන්ත‍්‍රීවරයෙක් නෙරපීම සහ ප‍්‍රජා අයිතිය පිළිබඳවය. ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවක් විසින් කළ නිර්දේශයකට අනුව පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක ඡන්දයෙන් අදාළ පුද්ගලයාට වසර හතක් ප‍්‍රජා අයිතිය අහෝසි කිරීම සහ ඒ තැනැත්තා පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයකු නම් ඔහු පාර්ලිමේන්තුවෙන් නෙරපීම ද කළ හැක්කේය යනුවෙන් 81 වගන්තියේ සඳහන් වේ.
කෙසේ වෙතත්, කිසිදු කෙනෙකුගේ ප‍්‍රජා අයිතිය අහෝසි කරමින් ‘දේශපාලන ගේම්’ ගැසීමට තමන් කිසිසේත් සහාය නොදෙන බව ආණ්ඩුවේ පාර්ශ්වකරුවකු වන ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයත්, විපක්ෂයේ පාර්ශ්වකරුවකු වන ජනතා විමුක්ති පෙරමුණත් මෙම විවාදය අතරතුර අවධාරණය කළහ.
මැතිවරණ ප‍්‍රචාරක කටයුතු වෙනුවෙන් ස්වාධීන රූපවාහිනිය යොදාගෙන රජයට අලාභ කිරීමේ චෝදනාව යටතේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට එරෙහිව කොමිෂන් සභා වාර්තාවේ නිර්දේශ පිළිබඳ අදහස් දක්වමින් විපක්ෂයේ ප‍්‍රධාන සංවිධායක ජවිපෙ මන්ත‍්‍රී අනුර කුමාර දිසානායක සහ ධීවර ඇමැති මහින්ද අමරවීර මේ බව කියා සිටියහ. විවාදයට එක්වූ අනුර කුමාර දිසානායක මහතා ප‍්‍රකාශ කළේ තමන්ට අවශ්‍ය වන අය සොයා බලා දඬුවම් දීමේ ක‍්‍රියාමාර්ග තම පක්ෂය පරාජය කරන බවයි.
පාර්ලිමේන්තුව නඩු අසා දඬුවම් දෙන ස්ථානයක් නොවන බව කී හෙතෙම හිටපු අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායකට එරෙහි යෝජනාවක් පාර්ලිමේන්තුව හමුවට ගෙනැවිත් රාජපක්ෂ ආණ්ඩුව ඇයට පාර්ලිමේන්තුව මගින් දඬුවම් නියම කළ අඳුරු ඉතිහාසයක් ඇතැයි ද කීය.
දේශපාලන ගේම් වෙනුවෙන් කිසිදු අයකුට එරෙහිව නීති සෑදීමට හෝ නඩු ඇසීමට පාර්ලිමේන්තුව තුළ දී තමන් ඉඩ නොදෙන බවද ඔහු කීවේය.
එම නිසා මහින්ද රාජපක්ෂ හෝ වෙනත් කිසිදු අයකුගේ ප‍්‍රජා අයිතිය අහෝසි කිරීමට තමන් ඉඩ නොදෙන බව කී අනුර දිසානායක දූෂණ චෝදනාවන්ට වරදකරු වන අයකු යළි මහජන නියෝජිතයකු ලෙස පත් කිරීම තහනම් කරමින් නීති සම්පාදනය කරන්නේ නම් තමන් ඊට එකඟ බවද ප‍්‍රකාශ කළේය.
මෙම විවාදයට එක්වූ ඇමැති මහින්ද අමරවීර ප‍්‍රකාශ කළේ හිටපු ජනාධිපතිවරයාගේ ප‍්‍රජා අයිතිය අහෝසි කරන බවට සංවාදයක් පවතින බවත් තමන් එවැනි යෝජනාවකට කිසිසේත් පක්ෂ නොවන බවත්ය.
කෙසේ වෙතත්  අධිකරණ ක‍්‍රියාමාර්ගවලට අමතරව මහ බැංකුවට අදාළ නීති කිහිපයක් සකස් කරලීම පිළිබඳවද අගමැතිවරයා අදහස් දැක්වූ අතර ඒවාට විපක්ෂයෙන් කිසිදු විරෝධයක් මතු නොවීය.
මෙම විවාදයේ තරමක් දැඩි අන්දමින් අදහස් දැක්වූවන් අතර අනුර කුමාර දිසානායක කැපී පෙනිණ, ඔහු දිගින් දිගටම වත්මන් රජයට මෙන්ම පසුගිය රජයටද, වංචා දූෂණ චෝදනා එල්ල කරන්නට විය.
බැඳුම්කර ගනුදෙනුව වූ මොහොතේ සිට අගමැතිවරයා, දූෂිතයා ආරක්ෂා කිරීම හා දූෂණය වසන් කිරීමේ පිළිවෙතක සිටි බව කියමින් චෝදනා කළ ඔහු මෙම පරීක්ෂණ හමස් පෙට්ටියට යාමේ අවදානමක් ඇති බවද සඳහන් කළේය.
විවාදය සඳහා ආණ්ඩුවේ ශ‍්‍රීලනිප පාර්ශ්වයෙන් එක්වූ අමාත්‍ය මහින්ද අමරවීර මහතා මෙන්ම නියෝජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න අවධාරණය කර සිටියේ වාර්තා දෙකෙහිම සඳහන් කරුණු නිසි ලෙස සලකා බලා, ඒ සියලූම වරදකරුවන්ට පක්ෂ පාට භේදයකින් තොරව නීතිය මගින් දඬුවම් ලබාදිය යුතු බවයි.
එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් විවාදයට එක්වූවන්ගෙන් වඩාත්ම කැපී පෙනුනේ හිටපු මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතාගේ අදහස් දැක්වීමය. ඔහු එහිදී ආන්දෝලනාත්මක කරුණු රැසක්ම සඳහන් කළේය.
‘බැඳුම්කර  සිද්ධියේ දී මා එකම පව්කාරයා බවට පත්කරලා. මහ බැංකුව හෝ රජයේ බැංකු මා යටතේ නොවෙයි තිබුණේ. මා වැරැද්දක් කර නැති නිසා බිය නැතිව කොමිසම ඉදිරියට ගොස් සාක්ෂි දුන්නා’ ඔහු මෙහිදී සඳහන් කළේය.
කෙසේ වෙතත් එජාපය වෙනුවෙන් විවාදයට එක්වූ සෙසු මැති ඇමැතිවරුන් වන ඉරාන් වික‍්‍රමරත්න, අජිත් පී. පෙරේරා හා ආචාර්ය හර්ෂ ද සිල්වා විශේෂයෙන් සඳහන් කළේ 2008 වසරේ සිටම මෙම බැඳුම්කර වංචා සිදුව ඇති බැවින් ඒ පිළිබඳවද පුළුල් විමර්ශනයක් කළ යුතු බවයි.
එජාප පාර්ශ්වයෙන් තරමක වෙනස් අදහසක් මතුකරමින් මෙහිදී අදහස් දැක්වූයේ හර්ෂ ද සිල්වා ඇමැතිවරයාය. ඔහු එහිදී මෙසේ පැවැසීය.
‘‘ජනාධිපතිට හෝ අගමැතිට මේ හොරු අල්ලන්න බැරි නම් අපටත් තීරණයක් ගන්න වෙනවා. මොකද මේ ආණ්ඩුව පත්වුණේ හොරු අල්ලනවා කියලා”.
ඒකාබද්ධ විපක්ෂය වෙනුවෙන් අදහස් දැක්වූවන් අතර කැපී පෙනුනේ විමල් වීරවංශ මන්තී‍්‍රවරයාය. ඔහු වත්මන් රජයට  මෙන්ම ජනතා විමුක්ති පෙරමුණටද විවේචන එල්ල කරමින් අදහස් දැක්වීය.
‘‘රටේ සිදුවූ සියලූම වංචා තරාදියක එක පැත්තකටත්, බැඳුම්කර වංචාව අනෙක් පැත්තටත් දැම්මොත් බැඳුම්කර වංචාව බර වැඩියි. මේක සැලසුම් සහගත හොරකමක්. මේ නිසා රටේ මුදල් සංසරණය හීනවෙලා. ශ‍්‍රී ලංකන් එයාර් දූෂණයක් වෙලා තියෙනවා නම් ඒක බලපෑවේ ඒ සමාගමට පමණයි. නමුත් මේක සමස්ත ආර්ථිකයටම බලපෑවා.”
 2008 සිට බැඳුම්කර වංචා සිදුවූ බව එජාපයේ මැති ඇමැතිවරුන්  ප‍්‍රකාශ කිරීම රටට හානිදායක බව මෙහිදී බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කළේය , ‘‘එහෙම කීවොත් ආයෝජනය කර ඇති ආයෝජකයන් තම මුදල් ඉවත් කරගෙන යාවි. එයින් විදේශ සංචිත බිඳ වැටෙනවා. වහාම තේරීම්කාරක සභාවක් පත්කර මේ දේ නිවැරැදි කළ යුතුයි.” යයි බන්දුල ගුණවර්ධන මන්ත‍්‍රීවරයා මෙහිදී සඳහන් කළේ එජාප මැති ඇමැතිවරුන්ගේ ප‍්‍රකාශයන්ට විරුද්ධත්වය පළකරමිනි.
මැති ඇමැතිවරුන්ගේ සහභාගිත්වය අවම වීම හේතුවෙන් පසුගිය සතියේ පැවති මෙම  විවාදය පෙරවරු 10.30 සිට පස්වරු 4 දක්වා සීමා කර තිබූ නමුත් යළි ලබන 20 හා 21 දිනයන්වල නැවත මෙම විවාදය පැවැත් වීමට දැනට  නියමිතව ඇත. පුංචි ඡන්දයෙන් අනතුරුව සියලූම මැති ඇමැතිවරුන්ගේ සහභාගීත්වයෙන් පැවැත්වෙන මෙම විවාදයන් වඩාත් උණුසුම් ස්වභාවයක් ගනු ඇති බව බොහෝ දෙනාගේ විශ්වාසය වී ඇත.

පැතුම් වික‍්‍රමරත්න

 

IMAGE

බසයේදී දුන් බොරු විවාහ පොරොන්දුවෙන් පවුල්ජීවිතේ 'හබක්'

IMAGE 2018 Feb 23 12:25
ඔහු අගනුවර ප්‍රසිද්ධ සමාගමක විධායක නිලධාරියෙකි. වයස අවුරුදු 40 ඉක්මවූ ඔහුට රූමත් බිරිඳක් සහ...
Views - 4081

අහිමි පෙම ඉල්ලා පෙම්වතියට ප්‍රසිද්ධියේ ගුටි ඇනලා

IMAGE 2018 Feb 23 10:42
පැරණි පෙම්වතියගෙන් අහිමි වූ ආදරය නැවත ඉල්ලා එය නොලැබුණු විට නාරාහේන්පිට ප්‍රදේශයේදී ඇයට...
Views - 2698

සංසාර සිහිනයේ ගී සංකල්පනය මම 'ටැබ් එකේ ටයිප් කරපු' එකක්

IMAGE 2018 Feb 21 12:00
සනුක වික්‍රමසිංහ ගායනා කරන “සංසාර සිහිනේ” කලක පටන් බොහෝ ගීත දර්ශකවල පෙරමුණ ගෙන තිබෙන...
Views - 3770

මම නාට්‍ය කලාවෙ ඉන්නේ ඒ ගැන තියන 'උණ' නිසයි

IMAGE 2018 Feb 21 11:53
වේදිකාව, පුංචිතිරය සහ සිනමාව යන මාධ්‍ය ත්‍රිත්වයෙහිම සිය ප්‍රතිභාව ප්‍රකට කළ කලාකරුවකුවන...
Views - 2272

බිරිඳ රැකියාවක් නොකිරීම මගේ සාර්ථකවයට හේතුවක්

IMAGE 2018 Feb 20 14:38
“සිරස ජූනියර් සුපර් ස්ටාර්..” තරගය ගැන මුලින්ම අප ඔබගෙන් විමසන්න කැමතියි.. ඇත්තෙන්ම “සිරස...
Views - 7514

බිරිඳට පින් තකා සුනඛයන්ට දිනපතා සහල් කිලෝ 08ක දනක්

IMAGE 2018 Feb 20 14:23
මිනිසා තිරිසනුන් වන අවස්ථාත් තිරිසනා මිනිසුන් වන අවස්ථාත් අපට බොහෝ විට දක්නට ලැබුණද...
Views - 4630

Please publish modules in offcanvas position.