Coss Ear2
lakbima.lk
COSS Ear 1
                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්     

නුදුරු අනාගතයේ පාසල්වලට රොබෝ ගුරුවරු

තව වැඩිකල් නොගොස් අපේ පාසල් පන්තිකාමරවල මිනිස් ගුරුවරුන්ට අමතරව රොබෝ ගුරුවරුන් ද අපේ දරුදැරියන්ට පාඩම් කියාදෙන දවසක් උදා වෙයිද? මේ, අද වනවිට විශාල වශයෙන් කතාබහට, සංවාදයට ලක්වෙමින් ඇති කාරණයක් බවට පත්ව තිබෙන්නකි. 
අධ්‍යාපනය යනු මේ කාලයේ විශාල ඉල්ලුමක් ඇති ක්‍ෂේත්‍රයක් බව අමුතුවෙන් කිව යුත්තක් නොවේ. අලුත් විෂය ඉසව් තොග ගණනින් අධ්‍යාපන ක්‍ෂේත්‍රයට    එක් වෙමින් ඇති අතර අධ්‍යාපන සුදුසුකම් අතින් ඉහළට යාම සඳහා මෙම ප්‍රවාහයට එක්වන පිරිසද දිනෙන් දින වැඩි වෙමින් ඇති බව පැහැදිලිව දැකිය හැකි තත්ත්වයකි. එම නිසා අධ්‍යාපන ක්‍ෂේත්‍රය ලෝකයේ අති විශාල ඉල්ලුමක් ගොඩ නැගෙමින් ඇති ක්‍ෂේත්‍රයක් බවට පත්ව ඇති බව රහසක් නොවේ. ඒ අතර ලෝකයේ සියලුම දරුවන්ට මූලික සහ ද්විතියික අධ්‍යාපනය ලැබිමට ඇති අයිතිය තහවුරු කිරීම සඳහාද එක්සත් ජාතීන්ගේ සංවිධානය වැනි ආයතන හරහා දැවැන්ත ව්‍යාපෘති ක්‍රියාවට නැගෙමින් තිබේ. ලෝකයේ බොහෝ කලාපවල අධ්‍යාපනය ලැබිය යුතු වයසේ  දරුවන් විශාල සංඛ්‍යාවක් පාසල් නොයා සිටීම වැනි ගැටලු ජයගැනීම සඳහා මෙවැනි ව්‍යාපෘති රැසක් ක්‍රියාත්මක වෙයි.
අධ්‍යාපනය සඳහා ඇති ඉල්ලුම මේ ආකාරයෙන් වේගයෙන් ප්‍රසාරණය වෙමින් තිබිමත් සමග එකට බැඳී එන  අර්බුද සහ අභියෝග ද රාශියකි. ඒ අතරින් ප්‍රධානම එකක් බවට පත්වෙමින් ඇත්තේ අධ්‍යාපන ප්‍රවාහයට එක්වන මහා සිසු පිරිස සඳහා ප්‍රමාණවත් තරමින් ගුරුවරුන් සොයා ගැනීමේ අභියෝගයයි. ගුරු හිඟය යනු අද බොහෝ රටවල දක්නට ඇති ප්‍රධාන පෙ‍ලේ ප්‍රශ්නයක් ලෙස හඳුනාගත හැකි වෙයි. ලොව පුරා ප්‍රාථමික සහ ද්විතීයික මට්ටමේ අධ්‍යාපන ඉලක්ක සපුරා ගැනීම සඳහා වසර 2030 වනවිට තවත් මිලියන 20කට ආසන්න ගුරුවරුන් සංඛ්‍යාවක් ලෝකයට අවශ්‍යව ඇති බව යුනෙස්කෝ ආයතනය පෙන්වා දී ඇත. එයට අමතරව එම කාලය තුළ, විශ්‍රාම යාම වැනි විවිධ හේතු මත තවත්  මිලියන 40 කට ආසන්න ගුරුවරුන් පිරිසක් මෙම වෘත්තිය හැර යාම නිසා ඇති වන හිඩැසද පිරවීමට සිදුවන බව සඳහන් වේ. මේ අනුව ගුරු හිඟය පිළිබඳ කාරණයේ බරපතළ බව අවබෝධ කරගැනීම කිසිසේත් අපහසු නැත.
'රොබෝ ගුරුවරුන්' යනු මේ ප්‍රශ්නයට අනාගතයේ ලබා දිය හැකි විසඳුමක්ද? අධ්‍යාපනඥයින්, විද්‍යාඥයින්, වෙනත් විද්වතුන් ඇතුළු බොහෝ දෙනෙකු අවධානය යොමු කර ඇති කාරණයක් බවට මේ වනවිට මෙය පත්ව තිබෙනු දැකිය හැකි වෙයි.
රොබෝවරුන් යනු මේ වනවිට ඉතා වේගයෙන් ව්‍යාප්ත වෙමින් සිටින ''බලවේගයකි.  අප ගෙවමින් සිටින මෙම යුගය හතරවෙනි කාර්මික විප්ලවයේ යුගය ලෙස සැලකෙන අතර එම විප්ලවයෙහි ප්‍රධාන ලක්ෂණයක් වන්නේ කෘත්‍රිම බුද්ධියෙහි (artificial intelligence) සහ රොබෝ තාක්ෂණයේ (Robotics) ව්‍යාප්තියයි. මතෛක් කාලයක් මිනිසුන් කරමින් සිටි රැකියා බොහොමයක් රොබෝවරුන් විසින් ආක්‍රමණය කරනු ලබමින් සිටීම මෙහි තවත් තීරණාත්මක කාරණයක් වී තිබේ. කම්හල් සේවකයින්, රියැදුරන්, අවන්හල් වේටර්වරුන්, ලිපිකරුවන් වැනි  අයගේ පමණක් නොව වෛද්‍ය, ඉංජිනේරු වෘත්තීන්වල නියැළෙන අයගේ පවා රැකියා අහිමි වීමේ තර්ජනයක් මේ නිසා මතුව ඇති බව මේ වනවිට නිතර කතාබහට ලක්වෙමින් ඇති ගැටලුවකි. රොබෝවරුන්ට වැටුප් ගෙවීමට හෝ වෙනත් වරප්‍රසාද ලබා දීමට අවශ්‍ය නොවීම, වෘත්තීය අයිතීන්, මානව හිමිකම් ආදිය පිළිබඳව හාම්පුතුන්ට කරදර වීමට සිදු නොවීම ආදියද ඔවුන්ගේ ජනප්‍රියත්වයට තවත් හේතුවක් වී තිබේ. මෙම පසුබිම තුළ ගුරුවරුන්ගේ හිඟය ජයගැනීම සඳහා පවා නුදුරු අනාගතයේ දී රොබෝවරුන් ගේ පිහිට බලා‍පොරොත්තු වීමට සිදුවුවහොත්  එය එක අතකින් පුදුම වීමට කාරණයක් ද  නොවේ. 
කෙසේ හෝ වේවා, ගුරු හිඟය  ජයගැනීමේ දී රොබෝවරුන් විසඳුමක්ද යන කාරණය පිළිබඳ සංවාදයේ දී බොහෝ පාර්ශ්ව මතුකරන කාරණයක්ව ඇත්තේ මිනිස් ගුරුවරයෙකු, ගුරුවරියක සහ දරුවෙකු අතර ඇතිවන සුවිශේෂී  බැඳීම එම දරුවාගේ අධ්‍යාපනයේ දී විශාල වැදගත්කමක් හිමිකර ගැනීමයි. දරුවෙකු අධ්‍යාපනයට නැඹුරු වන ආකාරය, ඒ තුළ ඉදිරියට යන ආකාරය දරුවාගෙන් දරුවාට වෙනස් වන අතර එය ඔවුන්ගේ පවුල් පසුබිම, මානසික සැකැස්ම, ජානමය ලක්ෂණ ආදිය මත තීරණය වන්නකි. මෙහිදී සෑම සිසුවෙකුටම, සිසුවියකටම විශේෂ අවධානයක් යොමු කරමින් අධ්‍යාපනය ලබා දීම සාර්ථක, හොඳ ගුරුවරයෙකුගේ ලක්ෂණයයි. එමෙන්ම පාසල් කාලය තුළ පමණක් නොව ඉන් පසුවද මිනිස් ගුරුවරු සිය වෘත්තියට අදාළ, එකිනෙකට වෙනස් කටයුතු රැසක නිරත වෙති. ඉගැන්වීමට අමතරව දරුවන්ගේ ‍පොත්පත් පිරික්සීම සහ උත්තර පත්‍ර ඇගයීම, ඔවුන්ගේ පෞද්ගලික ගැටලු විසඳාගැනීමට උදව් වීම, ඔවුන් ධෛර්යමත් කිරීම, දරුවන්ගේ මව්පියන් සමග සබඳතා පැවැත්වීම, දරුවන්ගේ දඟකාරකම් කළමනාකරණය කර ගැනීම වැනි කාරණා මෙහිදී විශේෂයෙන් පෙන්වා දිය හැකිය. 
රොබෝ ගුරුවරුන්ට මෙම විශේෂ කුසලතා අත්කර ගැනීමට හැකි වේවිද යන්න පිළිබඳව ඇතැම්  විද්වතුන්, අධ්‍යාපනඥයින් සැක මතු කරන ආකාරයද මෙම සංවාදය තුළ දැකිය හැකි වෙයි. මේ අයගේ  හැඟීම වී ඇති බව පෙනෙන්නේ රොබෝ ගුරුවරුන් යනු කෙසේවත් මිනිස් ගුරුවරුන් වෙනුවට යොදාගත හැකි ආදේශකයක් නොවන බවයි. නමුත් ඉතා වෙහෙසකර සේවයක යෙදෙන ගුරුවරුන්ගේ කටයුතු පහසු කරලීම සඳහා සිටින 'ඉතා කාර්යක්ෂම සහායකයෙකු''ගේ කාර්යභාරය නම් මේ රොබෝලාට වුවමනාවටත් වඩා හොඳින් ඉටු කරන්නට හැකි වනු ඇති බව පෙන්වා දෙනු ලැබේ. මෙවැනි සහායකයෙකුගේ සහාය ලැබෙන විට ගුරුවරුන්ගේ වෙහෙස සහ මානසික පීඩනය ආදිය අඩු කර ගැනීමට ඉඩක් විවර වන නිසා  අදට වඩා කාර්යක්ෂම ලෙස වැඩ කිරීමට ඔවුන්ට හැකි වනු ඇත. එවැනි 'පහසු' පසුබිමක් තුළ වැඩි පිරිසක් ගුරු වෘත්තිය සඳහා එක්වීමට මෙන්ම මෙම වෘත්තිය හැර යන පිරිස අඩුවීමටද සුදුසු වාතාවරණයක්  අනාගතයේ  සකස්වනු ඇති බව මේ පිළිබඳ  සාකච්ඡා කරන විද්වතුන්ගේ විශ්වාසය වී ඇති බව පෙනේ. රොබෝ ගුරුවරුන් පන්තියක සම්පූර්ණ ආධිපත්‍යය හිමි කරගැනීම කෙසේ වෙතත් තව දශකයක් දෙකක් ඇතුළත බොහෝ පන්තිකාමරවල රොබෝ සහායකයින් නම් දැකගන්නට ලැබෙනු ඇති බව ඔවුහු පෙන්වා දෙති.
කෙසේ නමුත් රොබෝ තාක්ෂණයේ  වර්ධනයන් පිළිබඳ වඩාත් සුබවාදී බල‍පොරොත්තු තබාගෙන සිටින විද්‍යාඥයින් නම් පවසන්නේ තම සිසු සිසුවියන්ගේ එකිනෙකට වෙනස් ගති ස්වභාවයන් සහ අවශ්‍යතාවන් හඳුනා ගනිමින් ඊට අනුව හැඩ ගැසීමට හැකි  නම්‍යශීලී සහ ඉතා 'බුද්ධිමත්' රොබෝ ගුරුවරුන් තව දශකයක් වැනි කාලයක් තුළ බිහිවෙනු ඇති බවයි. එමෙන්ම මිනිස් ගුරුවරුන්ට තියුණු තරගයක් ලබා දීමට නිසැකවම ඔවුන් සමත් වනු ඇති බවයි.
 
 කිත්සිරි මල්වත්ත
IMAGE

රැඳවියකු බැලීමට ආ රූමතියට නියාමකගෙන් 'යෝජනාවක්'

IMAGE 2018 Jan 18 10:53
අනුරාධපුර බන්ධනාගාරයේ රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින සිය ඥාතියකු බැලීමට සහෝදරියක සමග ගිය...
Views - 4588

අයිවෝ ඩෙනිස් රෝහ‍ලේ

IMAGE 2018 Jan 17 10:59
මෙරට බිහි වූ විශිෂ්ටතම සංගීතඥයකු වූ සුනිල් ශාන්තයන්ගේ ගීත උරුමය ඉදිරි පරපුර වෙත රැගෙන ආ...
Views - 3298

ඡන්දය වෙනුවෙන් 'වඩියකට' ඉඩ දෙන්නැයි අපේක්ෂකයෝ ඉල්ලති

IMAGE 2018 Jan 16 10:42
තමන් කිසිදා  කසිප්පු පෙරීම නොකළ නමුත් මැතිවරණය අවසන් වන තුරු පමණක්  කාර්යාලය පිටුපස දින...
Views - 4784

අහඹු ගැබ් ගැනීම් වලකන පෙති ඇසුරුම් 20 අනුරපුර පාසලක

IMAGE 2018 Jan 16 09:59
පාසල ශුද්ධ පවිත්‍ර කිරීමේ ශ්‍රමදානයකට සහභාගී වූ මවකට අනුරාධපුර නගරයේ පාසලක තිබී අහඹු ලෙස...
Views - 5392

අන්තර්ජාල ඡායාරූපයේ සත්‍ය කතාව උදාරි හෙළි කරයි

IMAGE 2018 Jan 15 12:15
ප්‍රවේගය සිනමා පටයෙන් බොහෝ දෙනාගේ ආදරය දිනාගත් උදාරි පෙරේරාගේ තට්ට හිස සහිත ඡායාරූප පෙළක්...
Views - 6218

හොලිවුඩ් නිළියන්ටත් ලිංගික හිංසන

IMAGE 2018 Jan 15 11:49
වසර හැත්තෑ පහක කාලය තුළ අමුතුම ආකාරයේ ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන උළෙලක් පළමු වරට පසුගිය ඉරිදා...
Views - 3796

Please publish modules in offcanvas position.

X

Right Click

No right click