Coss Ear2
lakbima.lk
COSS Ear 1
                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්     

ලොව අංක එකට තිබූ සිලෝන් ටී රුසියාවේදී කුරුමිණියෙකුට පරදියිද?

ශ්‍රී ලංකාවෙන් ගෙන්වනු ලබන තේ ඇතුළු සියලු කෘෂි නිෂ්පාදන ආනයනය තාවකාලිකව නතර කිරීමට රුසියාව තීරණය කර තිබේ. මේ තීරණය ගනු ලැබූයේ පසුගිය 18 දාය. ඊට හේතුව ලෙස සඳහන් වූයේ කෘෂි කර්මාන්තයේදී හමුවන කුරුමිණි විශේෂයක් ශ්‍රී ලංකා තේ ඇතුළත් බහලුමක සිට හමුවීමය. රුසියාවේ මේ තීරණය මෙරටට සැලවීමත් සමග ශ්‍රී ලංකාවේ තේ නිෂ්පාදන හා වෙළෙඳ ක්‍ෂේත්‍රය විශාල තිගැස්මකට භාජනය වූ බව නොරහසකි. ඒ මන්දයත් ශ්‍රී ලංකාවට විදේශ විනිමය උපයන ප්‍රධානතම අපනයන බෝගය 'තේ' වන බැවිනි. මේ එම කාරණය පිළිබඳ  ලක්බිම කරන විමසා බැලීමකි. 
රුසියාව සිය තේ වෙළෙඳ‍පොළෙන් සියයට 23ක අවශ්‍යතාව පිරිමසා ගත්තේ ලංකා තේ මගිනි. ශ්‍රී ලංකාවට අමතරව ඉන්දියාව, කෙන්යාව, චීනය හා වියට්නාමය රුසියාවට තේ සපයන සෙසු රටවල්ය. රුසියානු රේගු ආරංචි මාර්ග අනුව මෙම වසරේ ගතවූ මාස 10ක කාලය තුළ රුසියාව ලංකාවෙන් ආනයනය කළ තේ ප්‍රමාණය ටොන් 1,41,300කි. එහි වටිනාකම දළ වශයෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 436කි. මින් ශ්‍රී ලංකාවට ලැබුණු විදේශ විනිමය ප්‍රමාණය දළ වශයෙන් ඇ.ඩො. මිලියන 100 ඉක්මවයි. 
 එමෙන්ම රුසියාව කළ ප්‍රතික්ෂේප කිරීම සමග සෙසු බටහිර රටවල්ද ශ්‍රී ලංකා තේ පරිභෝජනය ප්‍රතික්ෂේප කළහොත් ඇති වන තත්ත්වය ඉතා භයානකය. 
වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක ප්‍රකාශ කළ අන්දමට ශ්‍රී ලංකාවේ තේ රැගෙන රුසියාව බලා ගිය නෞකාව වරායන් කිහිපයකම නතර කරන අතර ධාන්‍ය බෝගවල හමුවන කෘමියෙකු තේ බහලුමක සිට හමුවීමද ගැටලුවකි. එහිදී පෙනී යන්නේ මෙම කෘමියා තේ තුළ නොව බහලුම තුළ සිට ඇති බවයි. ඉන් කරුණු දෙකක් සනාථ වේ. ඒ බහලුම නිසි ලෙස පිරිසිදු නොකර තේ අසුරා ඇති බවය. නැතිනම් බහලුමට වෙනත් වරායකදී කෘමියා ඇතුළු වන්නට ඇති බවය. ඉන් කියවෙන්නේ බහලුම නිසි ලෙස මුද්‍රා තබා නැති බවය.  රුසියාවේ පරීක්ෂකයන්ට හමුව ඇත්තේ මෙම කෘමියාගේ සජීවී සුහුඹුලෙකි.  
කෙසේ නමුත් මතෛක් කල් ශ්‍රී ලංකාවේ තේ ලෝකයේ හොඳම තේ ලෙස බොහෝ රටවලින් පිළිගැනීමක් හිමිව තිබුණි. තේ කර්මාන්තයේ අතුරු ඵලයක් වන කසළ තේ හෙවත් ප්‍රතික්ෂේපිත තේ හොඳ තේ සමග කලවම් කර විදේශයන්ට යැවීම නිසා අවස්ථා ගණනාවකදීම ලංකා තේවල කීර්ති නාමය පළුදු විය.  හොඳ තේ වෙන් කර ගැනීමෙන් පසු ඉතිරිවන කොටස් අතීතයේ නම් තේ මණ්ඩලයේ පූර්ණ අධීක්ෂණය යටතේ විනාශ කෙරුණි. නමුත් වර්තමානයේ කසළ තේ ප්‍රති නිෂ්පාදනයට ලියාපදිංචි කර්මාන්ත ශාලා පවා තිබේ. මේවායින් වෙන් කර ගත හැකි හොඳ තේ ප්‍රමාණය සියයට 10ක් පමණි. ඉතිරිය යොදා ගනුයේ  තීන්ත නිෂ්පාදනය වැනි විවිධ කටයුතුවලටය. එහෙත් මේ වන විට තේ මණ්ඩලයේ ඇස් වසා ලංකාව පුරා විශාල වශයෙන් කසළ තේ හොඳ තේ කිරීමේ ජාවාරම් ක්‍රියාත්මකය. මින් සියයට 80ක් පමණ හොඳ තේ ලෙස වෙළෙඳ‍පොළට පැමිණේ. ඒවා හොඳ තේ ලෙස පෙන්වීමට ෆෙරස් සල්ෆේට්, ග්ලූකෝස් සිරප්, කෝස්ටික් සෝඩා ආදී රසායන ද්‍රව්‍ය එක් කෙරේ. ‍පොලීසිය හා රේගුව මගින් කසළ තේ දිනපතා පාහේ අත්අඩංගුවට ගැනේ. නමුත් එය කෙසේවත් අවසන් නොවන ගැටලුවක් වී තිබේ. එසේ වුවද රුසියාවට යැවූ තේ තුළ හමුවන්නේ කසළ තේ ආශ්‍රිත අපද්‍රව්‍ය හෝ පළිබෝධකයෙකු නොවන බවද පෙනේ. 
උඩරට තේ නිෂ්පාදකයන් පෙන්වා දෙන්නේ තේ අපනයනයේදී පිළිගත් අන්තර්ජාතික තත්ත්ව සහතිකවලට අනුව සිය නිෂ්පාදන කරන බැවින් එම තේ බහලුම්වල කිසිදු ආකාරයකින් කෘමීන් සිටිය නොහැකි බවකි. උඩරට තේ වතු අධිකාරීවරු පෙන්වා දෙන්නේ මීට පෙර ප්‍රමිතියට අදාළ සුළු ගැටලුවකදී පවා රුසියානු තේ ගැනුම්කරුවන් ඒ ගැන ලංකාවේ අපනයන සමාගම් වෙත දැනුම්දීමෙන් පසු දැඩි ලෙස විමසිලිමත්ව සිය නිෂ්පාදන සකසමින් තවදුරටත් එවැනි ගැටලු මතුවීමට නොදුන් බවකි. ලංකාවේ තේ ගුණාත්මක බවින් සෙසු රටවල නිෂ්පාදනවලට වඩා වැඩි නිසා අපේ තේවලට රුසියාව වැඩි මිලක් ගෙවූ බවත් මාස ගණනක් නැව් රටවල් කීපයක් හරහා යාමේදී මෙවැනි ගැටලුවක් ඇතිවිය හැකි බවත් ඔවුහු පෙන්වා දෙති. රුසියාවට මෙම කෘමියා ලංකාවෙන් පැමිණි බව තහවුරු කිරීමට හැකිවී නැති බවද ඔවුහු අවධාරණය කරති. 
සමස්ත ලංකා කුඩා තේ වතු හිමියන්ගේ සංගමය මේ සම්බන්ධයෙන් පෙන්වා දෙන්නේ කසළ තේ ජාවාරම නිසා ඉදිරියේදී අනෙක් රටවල්ද ලංකා තේ මිලදී ගැනීම ප්‍රතික්ෂේප කළ හැකි බවකි. එම සංගමයේ ජාතික සංවිධායක ලාල් ප්‍රේමනාත් ප්‍රකාශ කර තිබුණේ පසුගිය කාලය තුළ ‍පොලීසිය අත්අඩංගුවට ගත් කසළ තේ ප්‍රවාහනය හා ඒවා විනාශ කළ ආකාරය පිළිබඳ සංඛ්‍යා‍ලේඛන මාධ්‍ය වෙත ලබා දිය යුතු බවකි. කළු තේවලට අගය එකතු කිරීමේ මුවාවෙන් විදේශයන්ගෙන් ගෙන එන බාල තේ කලවම් කිරීමේ ජාවාරමක්ද සිදුවන බව ඔහු වැඩිදුරටත් පෙන්වා දෙයි. රුසියා - ශ්‍රී ලංකා සබඳතාවට 'තේ' විශාල පදනමක් වූ අතර අපේම ව්‍යාපාරිකයන්ගේ, නිෂ්පාදකයන්ගේ, කූට උපක්‍රම නිසා අවසානයේ ලෝකයෙන්ම අපේ තේ ප්‍රතික්ෂේප    විය හැකි බවට ඔවුහු අනතුරු අඟවති.
 කෙන්යා ඩේලි නේෂන් පුවත්පත වාර්තා කරන පරිදි ශ්‍රී ලංකාවේ තේ නිෂ්පාදන වෙත රුසියානු රජය එල්ල කළ තහනමෙන් උපරිම ඵල නෙලාගැනීමට කෙන්යාව සූදානම් බව සඳහන් වෙයි. එරට තේ මණ්ඩලයේ අධ්‍යක්ෂවරයා පවසා ඇත්තේ රුසියාවේ විශේෂිත තාක්ෂණික කණ්ඩායමක උපදෙස් ලබාගෙන ඉදිරියේදී තේ කිලෝ මිලියන 49ක් අපනයනයට සැලසුම් කර ඇති බවයි. සිය නිෂ්පාදන  සඳහා වැඩි වෙළෙඳ‍පොළක් නිර්මාණයට මෙය අවස්ථාවක් කරගන්නා අතරම මෙම වැඩපිළිවෙළ තවදුරටත් ශක්තිමත් කරගැනීමට කෙන්යානු කෘෂිකර්ම අමාත්‍යවරයා ඇතුළු විශේෂ දූත කණ්ඩායමක් රුසියාවට යැවීමට සූදානම් බවද එම පුවත්පත වාර්තා කොට තිබුණි. කළ දුටු කල වළ ඉහ ගැනීමට වෑයම් කරන මෙම කෙන්යානු ප්‍රතිපත්තිය තුළ, ශ්‍රී ලංකා තේ සඳහා ඇති ස්ථානය පහළට වැටීමට සෑහෙන අවදානමක් පවතින බව පෙනේ. ශ්‍රී ලංකාවේ තේ ඇතුළු ආහාරමය නිෂ්පාදන සඳහා ලෝකයේ ඇති ඉල්ලුම ගැන ඉන්දියාව පසුවන්නේද කනස්සල්ලෙනි. ඉන්දියාවද මේ අවස්ථාවෙන් ප්‍රයෝජන නොගනු ඇතැයි සිතිය නොහැක.  
 මෙම තහනම ඉවත් කර ගැනීමට ශ්‍රී ලංකා ජනපතිවරයා රුසියානු ජනපතිවරයාට පෞද්ගලිකව මෙන්ම ලිඛිතව ඉල්ලීම් කළ බව සඳහන් වුවද ඊට සාධනීය ප්‍රතිචාරයක් තවමත් ලැබි නැත්තේය. එමෙන්ම පසුගිය බදාදා වැවිලි කර්මාන්ත අමාත්‍යවරයා ඇතුළු කණ්ඩායමක් රුසියාවට යෑමට නියමිතව තිබුණද මේ ගැටලුව ගැන  සාකච්ඡා කිරීමට රුසියාවෙන් ඔවුන්ට ඇරයුමක් ලැබි තිබුණේ නැත. අවසානයේ තීරණය වී ඇත්තේ එළඹෙන 27 දා මේ සම්බන්ධයෙන් ද්විපාර්ශ්වික සාකච්ඡා පැවත්විය හැකි බවකි.  
රුසියාවේ ශ්‍රී ලංකා තානාපති ආචාර්ය සමන් වීරසිංහ පවසන පරිදි මෙම කෘමි බිත්තරය හමුවීම විශාල සිදුවීමක් වී ඇත්තේ මීට පෙර එම කෘමි විශේෂය  වසංගතයක් ලෙස පැතිරීම නිසා ඇමෙරිකානු ඩොලර් මිලියන 500කට වැඩි හානියක් රුසියාවේ වගාවලට සිදු වූ බැවිනි. එමෙන්ම ඔහු පෙන්වා දී ඇත්තේ ශ්‍රී ලංකාවේ ඇස්බැස්ටෝස් නිෂ්පාදන තහනම් කිරීම පිළිබඳව රුසියාවේ අවධානය යොමුව ඇති බවකි. එරට නිෂ්පාදිත ඇස්බැස්ටෝස් රුසියානු ජනතාවද භාවිත කරන බැවින් ඒවා සෞඛ්‍යාරක්ෂිත බවක්ද ඔහුගේ කතාවෙන් පෙන්නුම් කර තිබුණි. ඇස්බැස්ටෝස් පිළිබඳ පරීක්ෂණ පැවැත්වීමට අද (24) එකොළොස් දෙනකුගෙන් යුතු කණ්ඩායමක් රුසියාවට යාමට නියමිත බවත් තේ තහනම ලිහිල් කරගැනීමට 27 දා නවීන් දිසානායක ඇමැතිවරයා ඇතුළු අට දෙනෙකුගෙන් යුතු කණ්ඩායමක් එහි යාමට සූදානම් බවත් ඔහු පවසා තිබුණි. 
 නවීන් දිසානායක ඇමැතිවරයා පෙන්වා දෙන පරිදි මෙම කෘමියා  ලංකාවේ හමු නොවන තරම්ය. එසේ හමු වූ එකම ජීව නිදර්ශකය ස්වාභාවික විද්‍යා කෞතුකාගාරයේ තබා ඇත. කෙසේ වුවත් ශ්‍රී ලංකාවේ අපනයන ආදායමෙන් සියයට 11ක් සපුරන රුසියා තේ වෙළෙඳ‍පොළ අහිමි කර ගැනීම ගැටලුවක් බව කැබිනට් හමුවේදී පෙන්වා දුනි. ඇස්බැස්ටෝස් සඳහා විකල්ප ඉදිරිපත්ව නොතිබිමත් ඒවා පිළිකා ඇති කරන බවට තහවුරු නොවීමත් නිසා එම තහනම ක්‍රියාත්මක නොකරන බව රාජිත සේනාරත්න ඇමැතිවරයා එහිදී පවසා තිබුණි. ඇස්බැස්ටෝස් තහනම හා තේ තහනම අතර සබඳතාවක් පෙනී යන බව නවීන් දිසානායක ඇමැතිවරයාද පිළිගෙන තිබුණි.  
කෙසේ නමුත් හෙට (25) ශ්‍රී ලංකා කෘෂිකර්ම, තේ පර්යේෂණ, සත්ව නිරෝධායන ආදී ආයතනවල නිලධාරීන්ගෙන් සමන්විත කණ්ඩායමක් කෘමියා පිළිබඳ පරීක්ෂණ පැවැත්වීමට රුසියාවට යාමට නියමිත බවද එහිදී  සඳහන්ව විය. 
ලංකාවේ තේ නොමැති වුවද රුසියානු ජනතාව තේ පානය අත්හරින්නේ නැත. එබැවින් ඔවුන් කුමන රටක හෝ තේ පානයට හුරුවනු ඇත. මෙය තාවකාලික ප්‍රශ්නයක් බව පවසන බලධාරීන් කටයුතු කළ යුත්තේ යළි කිසිදා මෙවැනි අතපසුවීම් නොවීමට වගබලා ගැනීමටය. අත්වැරදීම් හෝ නොවන තැනට ශ්‍රී ලංකාවේ අපනයන ක්‍ෂේත්‍රය පත් කිරීමටය. කෙසේ වුවද මෙම තහනම ලොව සෙසු රටවලටද පැතිර ගියහොත් ඉන් බැටකනුයේ ලංකාවේ දුප්පත් කම්කරුවාගේ පටන් තේ කර්මාන්තය මත යැපෙන මිලියන ගණනක ජනතාවකි. සිලෝන් ටී සඳහා ඇති ස්වර්ණ නාමය ඈවර කරන්නට නොදී රැකගත යුතු වන්නේ එබැවිනි. 
 
රාජ්‍යතාන්ත්‍රික ගැටලුවක් වීමට පෙර මෙය විසඳාගත යුතුයි
 
ආචාර්ය නන්ද ගුණවර්ධන අධ්‍යක්ෂ අන්තර්ජාතික සම්බන්ධතා මධ්‍යස්ථානය පේරාදෙණිය විශ්වවිද්‍යාලය
 
ඇස්බැස්ටෝස් ආනයනය සඳහා අපි වසරකට ඇමෙරිකානු ඩොලර් මිලියන 20ක් පමණ වැය කරනවා. නමුත් රුසියාවට අපේ තේ අපනයනය තුළින් වසරකට ඇ.ඩො. මිලියන 140 - 160ක් පමණ ආදායමක් ලැබෙනවා. මේ නිසා ආර්ථික වශයෙන් ගත්තහම තේ අපනයනය ඇණහිටියොත් ඒක අපිට දරාගත නොහැකි පාඩුවක්. ඊළඟ කාරණය ඇස්බැස්ටෝස්වලින් යම් සෞඛ්‍යමය හානියක් වුණත් එය එතරම් බරපතළ නැහැ. ඒ කියන්නේ ඇස්බැස්ටෝස් හේතුවෙන් මනුෂ්‍යයෙක් මැරුණා කියලා වෛද්‍ය වාර්තාවලින් හමු නොවන තරම්. ලෝකයේ නිෂ්පාදනය කරන ඇස්බැස්ටෝස් ප්‍රභේද කීපයක් තිබෙනවා. ඉන් හානි අවම විශේෂය සුදු ඇස්බැස්ටෝස්. ඒවා යෙදූ සෙවිලි තහඩු තමයි අපි භාවිත කරන්නේ. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේත් මෙයින් විය හැකි හානිය ගැන පර්යේෂණ කරමින් පවතිනවා. ඇස්බැස්ටෝස් මත තීන්ත ආ‍ලේප කිරීමෙන් හා කැපුම් සිදුකරන විට ආරක්ෂිත වීමෙන් සෞඛ්‍යමය හානිය අවම කරගත හැකිබව පෙනී යනවා.
තවත් කාරණයක් තමයි බලවත් රටවල් සමග ගනුදෙනු කිරීමේදී සාමාන්‍ය ජනතාවට බලපාන ගැටලු ඇතිවීමේ භයානකකම. තේ කර්මාන්තය කඩා වැටුණොත් දහස් ගණනකගේ රැකියා අනතුරේ වැටෙනවා. බලවත් රටවල් සමග ගනුදෙනු කිරීමේදී අප කල්පනාකාරී විය යුතුයි. මෙම නිෂ්පාදනයේ ගැටලුවක් නැතිබවට අපේ තාක්ෂණික කණ්ඩායමට රුසියාවට පැහැදිලි කරදීමට හැකි වෙතැයි විශ්වාසය තැබිය හැකියි. එමෙන්ම රජය පැනවූ ඇස්බැස්ටෝස් තහනම ඉවත් කිරීමට ගත් තීරණය නිසාත් යම් සාධනීය ප්‍රතිචාරයක් ලැබෙයි කියා බලා‍පොරොත්තු වන්නට පුළුවන්. මෙය රාජතාන්ත්‍රික ගැටලුවක් දක්වා දුරගෙන නොගොස් ඉවසිලිවන්තව විසඳා ගැනීම වැදගත් බව මගේ හැඟීමයි. 
 
මිහිරාන් කරුණාරත්න 
 
ලංකාවම හෙල්ලූ කප්රා කුරුමිණියා
 
පොදු භාවිතයේදී කප්රා කුරුමිණියා (khapra beetle) ලෙසක් විද්‍යාත්මක නාමයෙන් trogoderma granarium ලෙස හඳුන්වන මෙම කෘමි විශේෂය ගබඩා කළ නිෂ්පාදනවලට වැඩිම හානියක් කරන කෘමි පළිබෝධකයන්ගෙන් එකෙකි. ලොව වඩාත්ම හානිදායක ආක්‍රමණශීලී සත්ව විශේෂ 100 අතරටද මෙම කෘමි විශේෂය අයත් වෙයි. 1953දී කැලිෆෝනියාවේදී මුල් වරට හඳුනාගත් අවස්ථාවේදී මෙම විශේෂය මුළුමනින්ම වනසා දැමීම සඳහා ඇමෙරිකානු රජය ඩොලර් මිලියන 15ක් පමණ වැය කරන ලදී. දිගු කාලයක් තිස්සේ ආහාර නොමැතිව ජීවත් වීමේ සුවිශේෂි හැකියාව මෙන්ම අඩු තෙතමනයක් සහිත ආහාර මත ජීවත්වීමේ හැකියාවද නිසා කෘමිනාශක මගින් මෙම සතුන් මර්දනය කිරීම ඉතා අපහසු කරුණක් බව සඳහන් වෙයි. 
කප්රා කුරුමිණියාගේ ආවේණික කලාපය ලෙස බුරුමයේ සිට බටහිර අප්‍රිකාව දක්වා සමකාසන්නයෙන් උතුරට හා දකුණට අංශක 35 බැගින් සඳහන්ව තිබේ. 
මෙම වර්ගයේ වැඩිහිටි කුරුමිණියකු දිගු ඕවලාකාර හැඩයක් ගන්නා අතර සාමාන්‍යයෙන් මිලි මීටර් 1.6 සිට 3.0 දක්වා දිගකින්ද මිලි මීටර් 0.9 සිට 1.7 දක්වා පළලකින්ද යුක්ත වෙයි. ගැහැනු සත්වයා පිරිමි සතුන්ට වඩා ශරීර ප්‍රමාණයෙන් මඳක් විශාලය. ශරීරය රතු දුඹුරු බූව ස්වරූපයක් ගනී. හිසෙන් පැනනගින ස්පර්ශක ගණනාවකින් මෙම කෘමියා සමන්විතය. 
මෙම කෘමි පළිබෝධකයන් උණුසුම් වියළි තත්ත්ව යටතේ ගබඩා කර ඇති නිෂ්පාදනවලට බරපතළ ලෙස හානි පමුණුවයි. ධාන්‍යවල මතු පිට ස්ථරවල කීටයන් විශාල වශයෙන් රැඳේ. ප්‍රජනනය වේගවත්ය.  දිගු දුර පියාසර කිරීමේ හැකියාව අඩු බැවින් මෙම සතුන් බෝවනුයේ ආසාදිත භාණ්ඩ සංසරණයෙන් හෝ ඒවායේ බහලුම්වල රැඳීමෙන් බව පෙනේ. මෙම කෘමීන් හමු වූ විගස නිරෝධායන ක්‍රමවේද අනුගමනය කළ යුතුය. 
කෙසේ නමුත් මෙම කෘමියා ශ්‍රී ලංකාවේ තේ වගාවේ හෝ වෙනත් කෘෂි වගාවක මතෛක් වාර්තාවී නොමැති බව ශ්‍රී ලංකා තේ පර්යේෂණ මණ්ඩලයේ සභාපති වෛද්‍ය එම්.එම්.ජේ.බි. ගවරම්මාන අවධාරණය කරයි. 
 
ප්‍රසාදිකා ජයවර්ධන
IMAGE

බස් එකේ ඉන්න කාගේ හරි චේන් එකක් කඩාගන්න මට හිතුණා

IMAGE 2018 Jan 21 12:54
ජීවිතේ අපි අත් විඳපු සමහර අත්දැකීම් අපේ හිත පතු‍ලේ හැංගිලා හිතටම කා වැදිලා හැමදාමත් තියෙනවා....
Views - 160

මේක විහිළුවක් නෙමෙයි සමහර විට යාළුකම් නැතිවෙන්නත්...

IMAGE 2018 Jan 21 12:30
මඟුල් කපුකම් කරනවාට වඩා තමන්ට ලැබෙන්න තියෙන මුදල් ටික එකතු කර ගත්තොත් හොඳයි කියලා හිතපු...
Views - 191

බ්‍රොයිලර් කාපුවාම හෘද රෝග-දියවැඩියාව හැදෙනවාමයි

IMAGE 2018 Jan 21 11:38
කුකුළු මස් සහ පීකුදු ආහාරයට ගැනීම පිළිබඳ මේ දිනවල සමාජයේ උණුසුම් කතිකාවක් ගොඩ නැගෙමින් පවතී....
Views - 297

‍ජ්‍යොතිෂය පට්ටපල් බොරුවක්

IMAGE 2018 Jan 21 10:29
ජ්‍යොතිෂය මිථ්‍යාවක් වන්නේ කෙසේද? යන මැයෙන් (පසුගිය ජනවාරි 16 අඟහරුවාදා කොළඹ 08, කොටා රෝඩ් හි...
Views - 441

රැඳවියකු බැලීමට ආ රූමතියට නියාමකගෙන් 'යෝජනාවක්'

IMAGE 2018 Jan 18 10:53
අනුරාධපුර බන්ධනාගාරයේ රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින සිය ඥාතියකු බැලීමට සහෝදරියක සමග ගිය...
Views - 7062

අයිවෝ ඩෙනිස් රෝහ‍ලේ

IMAGE 2018 Jan 17 10:59
මෙරට බිහි වූ විශිෂ්ටතම සංගීතඥයකු වූ සුනිල් ශාන්තයන්ගේ ගීත උරුමය ඉදිරි පරපුර වෙත රැගෙන ආ...
Views - 4632

Please publish modules in offcanvas position.

X

Right Click

No right click