Home    |    Daily Lakbima    |    Sunday Lakbima    |   Rajina |    Archive    |    Advertise With Us    |     Careers Email - [email protected] youtube
Coss Ear2
lakbima.lk
COSS Ear 1
                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්     

විජයගේ යාපනේ ගමන අනුරපුරයේදී නැවැත්වූ මේජර්ගේ මෙහෙයුම

හිටපු හමුදා ප්‍රකාශකයකු ද වන (විශ්‍රාමික) මේජර් ජෙනරාල් සනත් කරුණාරත්න, ඊළාම් යුද්ධයේ නොමැකෙන මතක සටහන් රැසක ජීවමාන සාක්ෂිකරුවෙකි. හසලක ගාමිණි කුලරත්න මරාගෙන මැරුණු අලිමංකඩ ප්‍රහාරය මෙන්ම සිව්වැනි ඊළාම් සටනේදී එල්.ටී.ටී.ඊ.ය යාපනය අල්ලා ගැනීමට එල්ල කළ මුහමා‍ලේ ප්‍රහාරය ඇතුළු සුවිශේෂී සිද්ධීන් ගණනාවකදීම යුද බිමේ අණදෙන්නා වූයේ ඔහුය. මේ සිය දශක තුනක අත්දැකීම් පළමු වරට මාධ්‍යයට හෙළි කරමින් ඔහුකියන කතාවය.
 
මේජර් ජෙනරාල් සනත් කරුණාරත්න එක්දහස් නවසිය අසූහයේදී නිලයෙන් මේජර්වරයෙකි. එවකට ඔහු රාජකාරි කළේ අනුරාධපුරය යුද හමුදා මූලස්ථානය වූ නදර්න් කඳවුරේය. 
කඳවුරෙහි ප්‍රධාන අණදෙන නිලධාරියා වූයේ කර්නල් ජයවර්ධනයි. මේ කියන දිනයේදී කර්නල් ජයවර්ධන නිවාඩු ගොස් සිටියේය. වැඩ බලන අණදෙන නිලධාරියා වූයේ මේජර් සනත් කරුණාරත්නයි. කඳවුරේ දුරකථන ක්‍රියාකරු හදිසියේම මේජර් සනත් කරුණාරත්න හමුවට පැමිණියේ වැදගත් පණිවුඩයක්ද සමගිනි. සර් ආරක්ෂක ‍ලේකම් ජෙනරාල් ආටිගල සර්ගෙන් සර්ට කෝල් එකක් ඒ පණිවුඩයයි, පණිවුඩය ඇසූ මේජර් කරුණාරත්න ඉක්මනින් දුරකථනය වෙත දිව ගියේය. 'ගුඩ් මෝනින් සර්. මම මේජර් කරුණාරත්න' යනුවෙන් තමා ආරක්ෂක ‍ලේකම්වරයාට හඳුන්වා දුන්නේය. අනෙත් පසින් ඇසුණේ ගාම්භීර කටහඬකි.
අයිසේ විජය කුමාරතුංග යාපනයට යන්න එනවා. වහාම ඔහුව අනුරාධපුරයෙන් නවත්වන්න ඕනෑ                               ආරක්ෂක ‍ලේකම්ගේ නියෝගය ලැබුණි. මේජර් කරුණාරත්නට වෙනත් කිසිවක් හෝ ඇසීමට ඉඩක් නොලැබුණි. එම පණිවුඩයත් සමගම අනෙක් පස දුරකථනය විසන්ධි විය. 
ආරක්ෂක ‍ලේකම්වරයාගේ මෙම පණිවුඩයත් සමගම මේජර් කරුණාරත්න ලොකු අපහසුතාවයකට පත්වූයේය. තමන්ගේ ඉහළ නිලධාරියාද නිවාඩු ලබා සිටින මොහොතේ කුමක් කරන්නේද? ඔහුට සිතා ගැනීමට නොහැකි විය. වහාම මේජර් කරුණාරත්න තමන්ගේ ‍‍‍ජ්‍යෙෂ්ඨ නිලධාරියා වන කර්නල් ජයවර්ධනගේ නිවෙසට ඇමතුමක් ලබා ගත්තේය. ඒ කුමක් කරන්නේද යන්න විමසා සිටීමටයි. නමුත් දුරකථනය දහදොළොස් වරක් නාද වුවද ඉන් ප්‍රතිචාරයක් නොලැබුණි. ඔහුට මේ පිළිබඳව විමසීමටත් කෙනෙකු නොමැත. යුද හමුදා මූලස්ථානයෙන් ඇසුවද ඔවුන් පවසන්නේද ආරක්ෂක ‍ලේකම්ගේ අණ ඉටු කරන ලෙසයි යන්න බව අත්දැකීමෙන් මේජර් කරුණාරත්න දන්නේය. තමන් වැනි කනිෂ්ඨ නිලධාරියකුට මේ පිළිබඳව යුද හමුදාපතිගෙන් විමසීමද නොකළ හැකිය. අවසානයේ මේජර් කරුණාරත්න තීරණයකට එළඹුණි. ඒ ආරක්ෂක ‍ලේකම්ගේ අණ ඉටුකිරීමයි. තමන්ගේ කාර්යලයට ගිය මේජර් කරුණාරත්න තමන්ට වඩා ‍‍‍ජ්‍යෙෂ්ඨ නිලධාරියකු වූ මේජර් මිහිර සයිබුට මේ පිළිබඳව පවසා සිටියේය. අවසානයේ ඔහු ඇසුවේ 'සනත්ට විශ්වාසද ඒ කතා කළේ ආරක්ෂක ‍ලේකම්මද කියලා' යන්නයි කියා. මේජර් කරුණාරත්නට ඒ කතා කළේ ආරක්ෂක ‍ලේකම් බවට විශ්වාසයක් පැවැතුණි. ඒ ඔහු කනිෂ්ඨ නිලධාරියකු වුවද අත්දැකීමෙන් පරිණතව සිටි බැවිනි.
ප්‍රථමයෙන් මේජර් කරුණාරත්න එවකට අනුරාධපුරය ‍‍‍ජ්‍යෙෂ්ඨ ‍පොලිස් අධිකාරීව සිටි නලින් දෙල්ගොඩට මේ පිළිබඳව පවසා සිටියේය. ඔහු පැවැසුවේ හරි සනත් අපි මේ කට්ටියව මැදවච්චිය රෝඩ් බ්ලොක් එකේදී නවත්වමු යනුවෙනි. එහෙත් එය තවත් ගැටලුවක් බව මේජර් සනත්ට වැටහුණි. ඒ අනුරාධපුරයෙන් විජය කුමරතුංග ඇතුළු පිරිස නැවැත්වීමට පැවැසූ බැවිනි. මැදවච්චියට යනතුරු ඔවුන් ගමන් කළහොත් ඔවුන් අනුරාධපුරයෙන් පිටව ගොසිනි. ඒ අනුව එම පිළියම් සාර්ථක නොවන බවට මේජර් කරුණාරත්නට වැටහුණි.
ඔහු දෙවැනි පියවරට ගමන් කළේය. ඒ විජයකුමාරතුංග ඇතුළු පිරිස නවාතැන් ගෙන සිටින්නේ කොහේද යන්න සෙවීමයි. මේජර් කරුණාරත්න තමාට හිතවත් හෝටල් හිමියන් කිහිපදෙනකුටම කතා කොට පැවැසුවේ මෙම පිරිස පැමිණියහොත් දැනුම් දෙන ලෙසයි. නමුත් ඒ එක නිවාඩු නිකේතනයකින් හෝ  මේජර් කරුණාරත්නට සතුටුදායක පිළිතුරක් 
නොලැබුණි. අවසානයේ ඔහුගේ හිතවතෙකු ඔහුට සතුටු විය හැකි ආරංචියක් ගෙන ආවේය. ඒ අනුරාධපුරය සාරනන්ද පිරිවෙනෙහි විජය කුමාරතුංගගේ පිරිස නවාතැන් ගෙන සිටින බවයි. නමුත් ඒ මොහොතේ විජය කුමාරතුංග එහි නොසිටියේය. ඒත් කාන්තාරයේ අතරමංව සිටින්නෙකුට දිය බිඳක් ලැබුණා සේ එම ආරංචිය මේජර් කරුණාරත්නව පියවරක් ඉදිරියට රැගෙන ගියේය.
එතැන් සිට ඔහු විජය කුමාරතුංග ඇතුළු පිරිස නැවැත්වීමට පිඹුරුපත් සැකසුවේය. නමුත් එක් සැලසුමකින් හෝ ඔහු සෑහීමකට පත් නොවීය. නිදි වර්ජිතව රැය පහන් වනතුරුම මේජර් කරුණාරත්න සිතුවේ මේ පිළිබඳවයි. නමුත් නිවැරදි තීරණයක් නොමැතිව පසුදා පහන් විය. මේජර් කරුණාරත්න එක් දෙයක් කිරීමට අමතක නොකළේය. ඒ රේඩියෝ පණිවුඩ හුවමාරු පහසුකම් ඇතිව වෑන් රථයක් සාරානන්ද පිරිවෙන අසලට පිටත් කිරීමයි. ඔහු එහි ගමන් කළ සෙබළුන්ට මෙසේ උපදෙස් ලබාදුන්නේය. සාරානන්ද පිරිවෙන ළඟට ගිහිල්ල එහි වෙන දේවල් හැකි ඉක්මනින් මට දන්වන්න කියාය.
මේජර් කරුණාරත්නගේ ගෝලයින් තමන්ට ලැබුණු උපදෙස් ඒ ආකාරයෙන්ම පිළිපැද්දහ. 
එහි සිදුවන සියලු දේ ඔහුට දැන්වීය.
මෙසේ තොරතුරු ගලා එන්නට පටන් ගෙන සුළු මොහොතක් ගෙවී ගියේය. පිරිවෙන අසල සිටි පිරිසගෙන් විජය කුමාරතුංග එහි සිටින බව දැනගන්නට ලැබුණි. මේජර් කරුණාරත්න තමාගේ නිල ඇඳුම් අතරින් අලුත්ම නිල ඇඳුම ගෙන ඇඟලා ගත්තේය. තමන්ගේ අලුත්ම ලෑන්ඩ් කෲෂර් ජීප් රථයට ගොඩ වූ මේජර් කරුණාරත්න රේඩියෝ ක්‍රියා කරවන්නාද සමග ගමන් ආරම්භ කරන ලෙස රියැදුරුට අණ කළේය. ගමන අතුරතුරදී මේජර් කරුණාරත්න රියැදුරට කතා කරමින් ළමයෝ සාරානන්ද පිරිවෙන කිට්ටු වෙනකොට ටිකක් වේගයෙන් ගිහිල්ලා පිරිවෙන ඉදිරිපිටදී හයියෙන් බ්රේක් එකක් ගහන්න යැයි උපදෙස් දුන්නේය.  මේජර් කරුණාරත්නගේ අණ පිළිපැදි රියැදුරු සාරානන්ද පිරිවෙනට පමණක් නොව මුළු අනුරාධපුරයටම ඇසෙන ලෙස තිරිංග තද කරමින් පිරිවෙන ඉදිරිපිට සිය රථය නතර කළේය.
ඒ සමගම කාගේත් අවධානය කැබ් රථය වෙත ලැබුණි. මේජර් කරුණාරත්නගේ මුවගට මඳ සිනහවක් ගලා ආවේය. ඒ සිය පළමු පියවර සාර්ථක වීම නිසාය. ඔහු සිතුවා සේම කාගේත් අවධානය තමන් වෙත ලැබි හමාරය. කිසිම කලබලයකින් තොරව ජීප් රථයෙන් බැස ගත් මේජර් කරුණාරත්න ඉතා සන්සුන් ගාම්භීර ලීලාවෙන් සාරානන්ද පිරිවෙන තුළට ගියේය.
පිරිවෙනට ඇතුළු වූ මේජර් කරුණාරත්න සිය සපත්තු මේස් ගලවා පසෙකින් තැබුවේය. සිය හිස් වැසුමද ගලවා අතට ගත්තේය. සෙමින් සෙමින් පිරිවෙන ඇතුළට ගමන් කළ හෙතෙම සාරානන්ද පිරිවෙනෙහි විහාරාධිපති ගිරාඹේ ආනන්ද හාමුදුරුවන්ට දණ ගසා වැන්දේය. අනතුරුව හාමුදුරුවනේ මම මේජර් කරුණාරත්න. අනුරාධපුරය නදර්න් ආමි කෑම්ප් එකෙන්. මට විජය කුමාරතුංග මහත්තයාට පණිවුඩයක් කියන්න තියෙනවා පැවැසුවේය. 
ඒ වන විට රණවිරුවන් බේරා ගැනීම සඳහා එල්.ටී.ටී.ඊ. පාලන ප්‍රදේශයට යාමට පැමිණි රණවිරුවන්ගේ දෙමාපියන්ගෙන් පිරිවෙන පිරී තිබුණි. මේ සියලුදෙනාගේම ඇස් නතරව තිබුණේ මේජර් කරුණාරත්න ළඟයි. පසුව ආනන්ද හාමුදුරුවෝ මේ පිරිස අතරට ඇඟිල්ල දික්කර අර ඉන්නේ විජයකුමාරතුංගයි පැවැසුවේය. ඒ අවසරයෙන් මේජර් කරුණාරත්න විජය කුමාරතුංග දෙසට ගමන් කළේය. විජය ළඟට ගිය කරුණාරත්න තමන් කවුරුද යන්න ප්‍රථමයෙන් හඳුන්වා දුන්නේය. පසුව තමන් ආ කාරණය පැවැසීය. ආරක්ෂක අමාත්‍යාංශයෙන් පණිවුඩයක් ලැබිල තිබෙනවා ඔබතුමන්ලට අනුරාධපුරයෙන් එහාට යන්න එපා අනුරාධපුරයෙන් නවත්වන්න කියල මේ පණිවුඩය ඇසූ සැනින් විජය කුමාරතුංග ඉතාමත් සන්සුන් ලීලාවෙන් ඔෆිසර් අපි යන්නේ දරුවෝ බේරගන්න. ඇයි අපිට යන්න දෙන්නේ නැත්තේ?යි ඇසුවේය. පසුව මේජර් කරුණාරත්න විජය කුමාරතුංගට යන්න එපා යැයි කියන හේතුව පැහැදිලි කළේය. වව්නියාවෙන් එහාට ආරක්ෂාව හොඳ නැහැ, පාරවල් හරි නැහැ. ඒ වාගේම ආරක්ෂක අමාත්‍යාංශයෙන් අවසර ගන්න එතකොට පහසුකම් සලසා දෙයි මේජර්වරයා පැවැසුවේය. එය අසා සිටි විජය කුමාරතුංග ඔෆිසර් අපි එහෙමවත් කරමු යනුවෙන් පැවැසුවේය. එම ප්‍රකාශයත් සමගම මේජර් කරුණාරත්නගේ මුවින් පිටවුණේ සැනසුම් සුසුමකි. මේ කතාබහ අවසන් කර මේජර් කරුණාරත්න ආනන්ද හාමුදුරුවන් වෙත ගමන් කර උන්වහන්සේටද නැවතත් වැඳ නමස්කාර කොට පිරිවෙනින් පිටත් වීමට සූදානම් වූවේය. ඒත් සමගම ඔහු ළඟට පැමිණි විජයකුමාරතුංග ඉතාමත් කුළුපග ලීලාවෙන් මෙසේ අසා සිටියේය.
ඔෆිසර්, මම මේ කට්ටියත් එක්ක ගියොත් මට මොකද කරන්නෙ? යනුවෙනි. එම ප්‍රශ්නයත් සමගම මේජර් කරුණාරත්න තිගැස්සුණේය. ඒ ඔහු කිසිවිටක හෝ බලා‍පොරොත්තු නොවූ ප්‍රශ්නයකි. මදක් කල්පනා කළ මේජර් කරුණාරත්න සර් එහෙම වුණොත් මම මේ යුනිෆෝම් එක ගලවලා ගෙදර යනවා යැයි පිළිතුරු දුන්නේය. 
නෑ ඔෆිසර්, කවදාවත් ඒක වෙන්නේ නැහැ. මම මෙතැනින් එහාට යන්නේ නැහැයි මේජර්වරයා අස්වසමින් විජය කුමාරතුංගයන් පැවැසීය.
මේජර් කරුණාරත්න පසුව ‍‍‍ජ්‍යෙෂ්ඨ ‍පොලිස් අධිකාරී නලින් දෙල්ගොඩට මේ බව දන්වමින් ඉල්ලා සිටියේ මැදවච්චිය මාර්ග බාධකයද ලෑස්ති කර තබන ලෙසයි. ඒ විජය කුමාරතුංග ඇතුළු පිරිස ගමන් කළහොත් නැවැත්වීමේ අරමුනිණි.
එදින එසේ ගෙවී ගියද මේජර් කරුණාරත්නගේ හිතේ බර අවසන් වූයේ නැත. ඒ සිය එකඟතාව නොතකා විජය කුමාරතුංග ඇතුළු පිරිස අනුරාධපුරයෙන් ඉදිරියට ගමන් කළහොත් යන දෙගඩියාව නිසාය. මෙම පීඩන හමුවේ එදිනද රැය පහන් කිරීමට මේජර් කරුණාරත්නට සිදු වූයේ නිදි වර්ජිතවය. පසුදින පහන් විය. එදින එළිය වැටී  හෝරා කිහිපයක් ගතවෙද්දී ගෙනආ තොරතුර මේජර් කරුණාරත්නට දැනුණේ යුද්ධයක් හමාර වූවා වැනි සිතුවිල්ලකි. ඒ  ආරක්ෂක අමාත්‍යාංශයේ අවසරය ලබාගෙන විජය කුමාරතුංග ඇතුළු පිරිස එල්.ටී.ටී.ඊ. පාලන ප්‍රදේශ වෙත ගමන් කිරීමට සූදානම්ව සිටින බවයි. පසුව විජය කුමාරතුංග ඇතුළු පිරිස සාර්ථකව එම සංචාරය නිමාවට පත් කළේය.
මේජර් ජෙනරාල් සනත් කරුණාරත්න දැන් හමුදා සේවයෙන් ඉසිඹු ලබා ඇත්තේය. එදා මේජර්වරයකු වූ ඔහු විශ්‍රාම ලැබූයේ මේජර් ජෙනරාල්වරයකු හැටියටය. ඔහු අදින් වසර තිහකට එහා කාලයේ වූ සුන්දර මතකයන් මෙසේ අවදි කළේ පසුගියදා අප හමුවූ මොහොතේදීය. ඒ කතාබහ අවසානයේදී ඔහු  ඇත්තට විජය කුමාරතුංග වගේ සුන්දර මිනිස්සු අද දේශපාලනයේ නැහැ. ඔහු සියලු මහත්මා ගතිවලින් පිරිපුන් පුද්ගලයෙක්. ඔහු එදා මට වූ ‍පොරොන්දුව කඩ කළානම් මම මගේ නිල ඇඳුම ගලවලා ගෙදර යනවා. එහෙනම් අද මම මෙතැන නැහැ. විජය කුමාරතුංග මියගිය වෙලාවේ මට පුදුමාකාර දුකක් දැනුණා. ඒ එවැනි පුද්ගලයකු රටට අවශ්‍යම මොහොතක අහිමිවීම පිළිබඳවයි. 
 
ඡායා: නිමල්සිරි එදිරිසිංහ
 
ශිරෝමි රත්නායක

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

IMAGE

ෆේස්බුක් එකෙන් ඔබේ හිතේ ලෙඩ ගැනත් කියන්න පුළුවන්

IMAGE 2017 Dec 15 10:42
ඔබටත් ෆේස්බුක් ගිණුමක් තිබෙනවාද? එසේ ගිණුමක් තිබෙනවා නම් ඔබ ඒ සඳහා දවසකට; සතියකට හෝ මාසයකට පැය...
Views - 1854

සුද්දන්ට උණවටුන එපා කරවන ඩිස්කෝ ඩාන්ස්

IMAGE 2017 Dec 14 07:56
ආචාර්ය ආතර් සී. ක්ලාක් විද්වතා පවසන ආකාරයට උණවටුන වෙරළ තීරය ලෝකයේ ඇති දර්ශනීය වෙරළ දොළහෙන්...
Views - 3280

ගැබිණි නිලධාරිනිය අධ්‍යක්ෂක හා 'හනිමූන්' ගිහින්

IMAGE 2017 Dec 13 10:33
ඔහු මෙරට ප්‍රමුඛතම සමාගමක අධ්‍යක්ෂ වරයෙකි. වයස අවුරුදු 40 ක් පමණ වන ඔහු දරු දෙදෙනෙකුගේ පියෙක්...
Views - 9051

2017 විශ්ව රූ රැජින ඩෙමී සහ අපේ ක‍්‍රිස්ටියානා

IMAGE 2017 Dec 13 10:17
ලෝක රූ රැජින තේරීමේ තරගයේ උණුසුම පහව යෑමටත් පෙර තවත් සුරූපිනියක් විශ්ව රූ රැජින ලෙස  කිරුළ...
Views - 4694

ඉන්දීය ක්‍රිකට් නායක විරාත් කෝලි නිලියක ගේ අත ගනී

IMAGE 2017 Dec 12 12:41
ඉන්දීය ක්‍රිකට් නායක විරාත් කෝලි ඊයේ (11) යුග දිවියට එළඹුණි. ඔහුගේ අතගත් මනාලිය වූයේ බොලිවුඩ්...
Views - 4856

පාතාලයට ඔත්තු දීමේ වරදට වෙඩි කෑ රූපලාවන්‍ය ශිල්පිනිය

IMAGE 2017 Dec 12 10:22
අතුරුගිරිය නගරයේ පිහිටි සයෝනාරා රූපලාවන්‍යාගාරයේ හිමිකාරිය වන හතළිස්හත් වියැති මංජුලා...
Views - 6587

Please publish modules in offcanvas position.