Home    |    Daily Lakbima    |    Sunday Lakbima    |   Rajina |    Archive    |    Advertise With Us    |     Careers Email - [email protected] youtube
lakbima.lk

                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්     

වැඩි අලි රට පටවනවා කියන්නේ අවතැන් වූ අය වහල් සේවයට විකුණනවා වගේ වැඩක්

වෘත්තීය පුහුණු හා නිපුණතා සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන පසුගියදා ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කළේය. ඒ ශ්‍රී ලංකාවේ අලි ගහනය සීමාව ඉක්මවා ඇති බැවින් අතිරික්ත අලි විදේශයන්ට විකුණා දැමිය යුතු බවයි. පැය 24 ඇතුළත වනජීවී විෂය භාර ඇමැතිවරයා විසින් ප්‍රතිචාර දක්වන තරමට දුරදිග ගිය මෙකී ප්‍රකාශය පිළිබඳ වනජීවී සහ පාරිසරික 
විෂය සම්බන්ධ බොහෝ ඇසූ පිරූ තැන් ඇති ‍‍‍ජ්‍යෙෂ්ඨ පුවත්පත් කලාවේදියකු වන ක්‍රිෂ්ණ විජේබණ්ඩාර විසින් කරනා විග්‍රහයකි මේ. ලංකාවේ වල් අලින් මෙන්ම අලි මිනිස් ගැටුම පිළිබඳවද විශේෂඥයෙක් වන ක්‍රිෂ්ණ විජේබණ්ඩාර අලින් පිළිබඳ ලියැවුණු සද්ධන්ත ප්‍රේමය සුන්දරයි ග්‍රන්ථයේද කතුවරයාද වෙයි.
 
කැලෑ තොප්පියක් පැළඳ, එස්. එල්. ආර්. මොඩලයේ කැමරාවක් අතින් ගත් ඇමැතිවරයෙක් නිතරම පාහේ ආණ්ඩුවේ රූපවාහිනී නාලිකාවකින් ගෙදර සාලයට එයි. බැලූ බැල්මටම ඔහු ‘වන ලෝලයෙකු’ බව පෙනේ. ඇමැතිවරයා  සිටිනු පෙනෙන්නේ ද වනයකය. ඔහු අපට වනය ගැන මෙන්ම වන දිවිසැරිය ගැන ද යම් යම් තොරතුරු කියා දෙයි!  
හෙතෙම නමින් ගාමිණී ජයවික‍්‍රම පෙරේරාය. රටේ වනජීවී විෂය භාර කැබිනට් ඇමැතිවරයා ඔහුය. හෙතෙම ‘එක්සත් ජාතික පක්ෂය’ නියෝජනය කරන්නෙකි. ඇමැතිවරයා උග‍්‍ර ‘වන අලි ලෝලයෙකු’ බවත්, නිතරම පාහේ කැලෑ පල්ලේ සැරිසරන බවත්, ලියුම්කරු අසා තිබේ! ඔහු මැදිහත්ව රූප මාධ්‍යයෙහි සකසන වන දිවි වේදිකාව, රූපවාහිනී පේ‍්‍රක්ෂකයන් වන අපට අලූත් දැනුමක් මෙන්ම, වන සතුන්-සීපාවුන් කෙරෙහි යම් දයාර්ද්‍ර හැගීමක් ද ජනිත කරවයි. මේ කටයුත්ත ස`දහා වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අප‍්‍රමාණ අත්දැකීම් සහ දැනුම් සම්භාරය ද දායකකර ගෙන තිබෙනු පෙනෙයි. 
ආණ්ඩුවේම තවත් නියෝජ්‍ය ඇමැතිවරයෙක්, සැප්තැම්බර් 04 වැනි දා බලංගොඩ දී වනජීවීන් පිළිබ`ද අපූරු අදහසක් ඉදිරිපත් කළේය. මාධ්‍යයෙහි පළවූ ආකාරයට, ඔහු එය පවසා තිබුණේ බලංගොඩ ප‍්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැුස්වීමේ දීය. ඔහු පවසන අන්දමට, දැනට ලංකාවේ වන අලින්ගේ බෝවීම හො`දටම වැඩිය. මේ වන විට, රටේ වන අලි 6000ක් පමණ සිටිති. එහෙත් අපේ රටේ කැලෑවල ඉඩ තිබෙන්නේ අලි 4000කට පමණි. ඒ අනුව, වන අලි 2000ක පමණ ‘අලි අතිරික්තයක්’ හට ගෙන තිබේ. අලි-මිනිස් ගැටුමට හේතුව එයයි. එසේම ‘වන ඌරන්’ (වල් ඌරා), ‘රිළවුන්’ සහ ‘වඳුරන්’ ගෙන් ද මිනිසුන්ගේ ආහාර බෝග වගාවන්ට බොහොම කරදර ය. එබැවින් මෙම තත්ත්වය ඉක්මනින් පාලනය කළ යුතු වේ. ඇමැතිවරයා පවසන ආකාරයට, අතිරික්ත වන අලින් 2000ක් වෙනත් රටකට අපනයනයකර දැමීම සුදුසුය. එයින් රටට ආදායමක් ද ලබා ගත හැකිය. ‘වන ඌරන්’ ආදී සතුන් ‘මස් පිණිස’ ගැනීමෙන් වගාවන් බේරා ගැනීමට පුළුවන! දුලබ සතුන් ආරක්ෂා කිරීම මෙන්ම, සුලභ සතුන් පාලනය කිරීම ද කළ යුතුය යන්න, නියෝජ්‍ය ඇමැතිවරයාගේ යෝජනාවයි.
ඔහු නමින් ‘කරුණාරත්න පරණවිතාන’ය. නිපුණතා සංවර්ධන සහ වෘත්තීය පුහුණු කටයුතු පිළිබඳ නියෝජ්‍ය ඇමැතිවරයා වන්නේ ඔහුය. එසේම හෙතෙම, සිංහල බෞද්ධ  ඡුන්ද පදනමක් ඇති ‘ජාතික හෙළ උරුමය’ පක්ෂයේ සම සභාපතිවරයෙක් ද වන්නේය. ඔහු පවසා ඇති ආකාරයට, වගාවන්ට හානි කරන ‘වන ඌරන්’ මැරීමට තහනමක් නැත. එහෙත් වන ඌරු මස් ප‍්‍රවාහනය කිරීම තහනම්ය. මෙය එකිනෙකට පරස්පර නීතියක් බව ද ඔහු කියයි!
නියෝජ්‍ය ඇමැතිවරයා බලංගොඩ දී කළ ප‍්‍රකාශය අලූත් කතිකාවකට මග පාදයි. එයට හේතුව වන්නේ, ඔහු නිකම්ම නිකම් ‘කරුණාරත්න පරණවිතාන’ නොව, රටේ ව්‍යවස්ථාදායකය හෙවත් ‘නීති සම්පාදනය කරන ආයතනය’ (පාර්ලිමේන්තුවේ) නියෝජනය කරන්නෙකු වීමයි. එවන් තැනැත්තෙක් කුමන අරමුණකින් මෙසේ පැවැසුවා ද? යන්න, සැකයට ද හේතු වෙයි.
 
සත්ව-මිනිස් ගැටුමේ සුලමුල
 
වර්තමානයේ අපේ රට මුහුණ දෙන ‘සත්ව-මිනිස් ගැටුම’ අතිශයින්ම බරපතළ ය. එයින් වාර්ෂිකව වන සතුන් මෙන්ම මිනිසුන් ද විශාල ලෙස මියයන්නෝය. ගැටුමට මුල් බීජ සැපයුණේ වර්ෂ 1796 දී ලංකාව බි‍්‍රතාන්‍ය යටත් විජිතයක් වන්නට මුල පිරීමත් සමගිනි. 
ලංකාවේ රජවරුන්ගේ පාලනය හමාර වුණු මහනුවර යුගයේ දීත් ‘අලි-මිනිස් ගැටුමක්’ හෝ ‘සත්ව මිනිස් ගැටුමක්’ කියා දෙයක් අසන්නටවත් තිබුණේ නැත. එහෙත් වර්ෂ 1824න් පසුව, බි‍්‍රතාන්‍යයන්ගේ මහා පරිමාණ වැවිලි කටයුතු නිසා (කෝපි, තේ සහ රබර් ආදී) වන අලින්ට යන එන මං නැති වූයේ ය. වතු වැවිලිවලට ඉඩ සලසා ගැනීම පිණිස, එකල වන අලින් දහස් ගණන් ඝාතනය කෙරිණි. බි‍්‍රතාන්‍යඑ ජාතික වැවිලිකරුවෙකු වන සැමුවෙල් වයිට් බේකර් නමැත්තා වන අලින් 1000ක් ඝාතනය කර තිබේ. බි‍්‍රතාන්‍ය යුද හමුදාවේ මේජර් තෝමස් විලියම් රොජර්ස් නමැත්තා මරා ඇති අලි සංඛ්‍යාව 1300-1400 පමණ වෙයි. අපේ රටේ මහාමාර්ග හදන්නට මුල්වූ මේජර් තෝමස් ස්කිනර් ද වන අලි 700ක් පමණ මැරූ තැනැත්තෙකි.  බි‍්‍රතාන්‍යයෝ පසුකාලීනව ‘ඇත් ගාල්’ පවත්වා, වන අලින් අල්ලා අපනයනය කළහ. එයින් මුදල් ඉපැයූහ. ලංකාවේ සත්ව මිනිස් ගැටුමක් පිළිබඳ මුල්ම බීජ වැපිරෙන්නේ එතැනිනි.
 
වඳුරන්, රිළවුන්,දඬු ලේනුන්, මොණරුන්,වන ඌරන්, සහ සර්පයින්
 
ලංකාවේ සත්ව-මිනිස් ගැටුම් මුලින්ම කරළියට ආවේ ‘අලි-මිනිස් ගැටුමක්’ වශයෙනි. වන අලි, මිනිසුන්ගේ ගම්-බිම්වලට කඩා වැදීම එහි අරුත වූයේය. වර්තමානයේ එය ‘සත්ව-මිනිස් ගැටුමක්’ දක්වා විකාශනයවී තිබෙනු පෙනෙයි. 
රටේ සමස්ත භූමියෙන් සියයට 30ක් පමණ වෙතැයි කියන වර්තමාන වනාන්තර පද්ධතිය තුළ, අද දළ වශයෙන් වන අලින් 5879ක් පමණ (2011 වසරේ කළ වන අලි සංගණනයේ දත්ත අනුව) ජීවත් වන්නෝය. ඉතින් උන්ට දැන් රටේ ඉතිරිව තිබෙන කැලෑ ටික කොහෙත්ම ප‍්‍රමාණවත් නැත. අද උන්ගේ ආහාර කිස හිඟව ගොසිනි. එය සොයා ගැනීමට නම් බොහෝ දුර සැරිසැරිය යුතුව තිබේ. නියං සමයට උන්ට ජලය පවා ප‍්‍රමාණවත් නැත්තේ ය. සම්ප‍්‍රදායික සංක‍්‍රමණ මාර්ග ද ඇහිරී ගොසිනි. වන අලින්ට පමණක් නොව, ව`දුරන්, රිළවුන්, ද`ඩු ලේනුන්, මොණරුන්, වන ඌරන් මෙන්ම සර්පයින් ද අද මුහුණ දී ඇත්තේ ඒ ඉරණමට ය. තමන් අතීතයේ ගොදුරු බිම් බවට පත්කර ගෙන සිටි වන බිම්, දැන් මිනිස් ජනාවාස හෝ ගොවි බිම් බවට පත්ව ගොසිනි. ආහාර සොයා ගැනීමට නම් ඒවායෙහි සැරිසැරිය යුතු ය. එබැවින් හැමදාමත් කාට හෝ මරු කැඳවන සත්ව-මිනිස් ගැටුම්ය!    
‘වනජීවී සංරක්ෂණ  දෙපාර්තමේන්තුව’ තමන්  යටතේ ඇති සියලූ වන බිම්, ‘වනජීවී කලාප’ වශයෙන් බෙදා තිබේ. ඔවුන් පවසන අන්දමට, එයින් දහයකම අලි-මිනිස් ගැටුම දක්නට ලැබේ. එම භූමිය ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාස 110කට ආසන්නය! ගැටුම් වැඩි නැගෙනහිර වනජීවී කලාපයේ ය. 2016 වසරේ රට පුරා හටගත් වන අලි මරණ 270න් 54ක්ම වූයේ නැගෙනහිර දීය. වයඹ, උතුරු මැද සහ ඌව යන පළාත්වල ද,  දකුණු පළාතේ හම්බන්තොට දිස්ත‍්‍රික්කයේ ද ගැටුම් බහුලය. 
වර්ෂ 1990-2000 අතර කාලය තුළ ගැටුමට හසුව මියගිය වන අලින් සංඛ්‍යාව 1500ක් බව, වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු නියෝජ්‍ය අධ්‍යක්ෂ (පශු හා පර්යේෂණ), වෛද්‍ය නන්දන අතපත්තු මහතා ලියූ ‘අලි ඇතුන්ගේ සැ`ගවුණු ලෝකය’ නම් ග‍්‍රන්ථයෙහි සඳහන් වේ. ඒ කාලය තුළ වන අලින් නිසා මියගිය මනුෂ්‍යයන් සංඛ්‍යාව 350කි. වර්තමානයේ සෑම වසරකම පාහේ වන අලි 200-250ක් පමණ මිනිසුන් අතින් මියයති. වසරකට මිනිසුන් ද 75ක් පමණ උන් අතින් මියයති. 
 
දෙපාර්ශ්වයටම යන එන මං නැතිව යාම
 
ඇත්තටම සිදුව ඇත්තේ, ගැටුමට හසු වීම නිසා මිනිසුන් සහ සතුන් යන දෙපාර්ශ්වයටම යන එන මං නැතිව යාමයි. එනම් ‘අවතැන් වීමයි’. අලින් ඇතුළු වන සතුන් සම්බන්ධයෙන් ගත් කල, මෙය උන්ගේ පැවැත්ම සම්බන්ධයෙන් ඉතාමත් බරපතල තත්ත්වයකි. ගැටුම ඇති කළෝ වන සතුන් නොව, මිනිසුන්ය. මිනිසුන්ගේ නො නිසි ක‍්‍රියාකාරකම්ය.
යම් රටක සංවර්ධන කටයුතු කෙරෙන විට, වන ආවරණය නිසි මට්ටමක පවත්වා ගැනීමට අසීරු බව ඇත්තකි. එහෙත් ඒ ස`දහා හැකිතාක් වෑයම් කිරීම, මනුෂ්‍යයන්ගේ යුතුකමයි. එදා-මෙදා තුර අපේ රටේ එය යහපත්ව සිදුව නැති බව, සත්ව-මිනිස් ගැටුම, දිනෙන් දින ඉහළ යාමෙන් පැහැදිලි වේ. දැන් ඉතින් කළ යුතුව තිබෙන්නේ, රටට ඉතිරිව තිබෙන වන ගොමු තුළ ‘අලි-මිනිස්’ සහ ‘සත්ව-මිනිස්’ ගැටුම් කළමනාකරණය කර ගැනීමයි. අවම කර ගැනීමයි. ඒ සඳහා, වනාන්තර ප‍්‍රදේශ යා කරමින්  ‘වන තීරු’  (Elephant Corridor) බිහි කිරීම, විදුලි වැටවල් යහපත්ව පවත්වා ගෙන යාම ආදී කටයුතු බොහොමයක් කළ හැකිය. ගැටුම් උත්සන්නවී ඇත්තේ, ඒවා නිසි පරිදි නොකෙරුණු නිසා ය. යම් වන සතෙකුගේ ගහනය වැඩි වෙනවා නම්, උන්ගේ ගැහැනු සතුන්ගෙන් යම් කොටසක් ‘වන්ධ්‍යාකරණය’ කිරීමේ අදහසක් වුව ඇතිකර ගන්නට පුළුවන.
කරුණු එසේ තිබිය දී, කරුණාරත්න පරණවිතාන නියෝජ්‍ය ඇමැතිවරයා කියන්නේ වෙනත් දෙයකි. දුලබ සතුන් ආරක්ෂා කිරීම මෙන්ම, සුලභ සතුන් පාලනය කිරීම ද කළ යුතු යයි ඔහු කියයි. ඔහුට අනුව වන අලින් ද ‘සුලභ’ සතුන්ය. උන් අල්ලා අපනයනය කිරීමට ඔහු යෝජනා කරයි. ඌරු ආදී සතුන් මස් පිණිස මැරීම වුව කම් නැතැයි ද, ඔහුගේ කතාවෙන් හැ`ගී යයි!  
‘ලක්බිම’ කළ විමසුමක දී අදහස් දැක්වූ පාරිසරික නීතිඥ ජගත් ගුණවර්ධන මහතා කියන්නේ, ශ‍්‍රී ලංකාව ‘ජාත්‍යන්තර සයිටීස් ප‍්‍රඥප්තියට’ අනුගත රටක් වන බැවින්, ලංකාවේ ආණ්ඩුවකට වුව ලොව වෙනත් රටකට අලින් වෙළෙඳාම් කළ නොහැකි බවයි.  
වර්ෂ 1973 දී බිහිවූ ‘ජාත්‍යන්තර සයිටීස් ප‍්‍රඥප්තිය’ යනු ‘වඳවී යාමේ තර්ජනයට මුහුණපා සිටින සත්ව විශේෂයන්ගේ ජාත්‍යන්තර වෙළෙ`දාම පිළිබඳ සම්මුතියයි’. ඒ අනුව, ‘රාජ්‍ය ත්‍යාගයක්’ වශයෙන් තවත් රටක ආණ්ඩුවකට අලියෙක් තෑගි කරනවා මිස, වෙළෙ`දාම පිණිස අලින් අපනයනය කරන්නට ලංකාවට නො හැකිය. අවසර ද නැත.
‘කරුණාරත්න පරණවිතාන නියෝජ්‍ය  ඇමැතිතුමා අලි පිටරට යවලා මුදල් උපයන්න කතා කරන්නේ මේ වගේ සරල දේවල්වත් තකන්නේ නැතුවයි. වනජීවීන් එයාගේ විෂය නෙවෙයි. ඒ හින්දා ඔහු කියන දේවල් ගැන කලබල වෙන්න  ඕන නෑ. ඒත් ඔහු පාර්ලිමේන්තුවේ ඉන්න නිසා මේක ගැන ගැඹුරින් කල්පනා කරන්නත් වෙනවා. අලි කියන්නේ ලෝකයේම ව`දවී යමින් සිටින සත්ව විශේෂයක්. ලංකාවේත් එහෙමයි. අලි ‘සයිටීස්’ එකට ඇතුළු කරලා තියෙන්නෙත් ඒ නිසයි. ලංකාවේ වන අලි වැඩි වෙලා කියලා එක එක අය කියනවා. ඒත් එහෙම විද්‍යාත්මක සාධකයක් නෑ. පහුගිය කාලේ කරපු අලි සංගණන පවා විවාදාත්මකයි. ප‍්‍රශ්නගතයි. ඉතින් වන අලි වැඩිවෙලාය කියන්නේ කොහොම ද? ලංකාව බුදු දහම වැළ`දගත් රටක්. ගහනය වැඩියි කියලා වන සතුන් මරන්න, මස් වෙළෙඳාම් කරන්න එයිනුත් අවසර නෑ. ලංකාවේ සංස්කෘතිය ඇතුළේ ඒක ප‍්‍රතික්ෂේප වෙනවා. නියෝජ්‍ය ඇමැතිතුමාගේ ප‍්‍රකාශය කාටවත් එකඟ වෙන්න බැරි අනුවණ අදහසක්. මේ වන සතුන් අවතැන්වෙලා. මේක හරියට අවතැන් වුණු උදවිය වහල් සේවයට විකුණන්න කතා කරනවා වාගේ වැඩක්. පාර්ලිමේන්තුව නියෝජනය කරන අය මේ වගේ කතා කීමෙන් ලෝකය ඉස්සරහා අපේ රට හෑල්ලූ වෙනවා’, යයි ද ජගත් ගුණවර්ධන සඳහන් කළේය.
 
ක‍්‍රිෂ්ණ විජේබණ්ඩාර
 
අලි රට යවන එක විහිළු කතාවක්
 
තිරසාර සංවර්ධන සහ වනජීවී අමාත්‍ය ගාමිණී ජයවික්‍රම
 
සතුන්ට හිංසා ඇතිවන නිසා අද දියුණු රටවල සර්කස් සංදර්ශන පවා නවත්වලා තියෙනවා. නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන කීවේ අලි වැඩියි කියලා. නමුත් අපිට අලි පිටරට යවන්න බෑ. එහෙම යවනවනම් ජඪබඪඥඵ සමුළුවෙන් අවසර ගන්න ඕනේ. 18 වන ජඪබඪඥඵ  සමුළුව ලබන වසරේදී අපේ රටේ පැවැත්වෙන්නේ. ඒ සමුළුවට රටවල් 187ක් සහභාගි වෙනවා. ඒ සමුළුවේ කතා කරන්නේ ගහ කොළ සතා සිව්පාවො ගැන.  එතනදී මට කියන්න බැහැ රටේ අලි වැඩි කියලා. අපි ජනවාරියෙ මුළු රටම ආවරණය වන පරිදි අලි ගහනය සම්බන්ධව එක් දින සමීක්ෂණයක් කරනවා. මෙහිදී සබරගමුව, මොණරාගල, උඩවලව, හම්බන්තොට, යාල, අම්පාර ප්‍රදේශවලට එක් දිනයකදී වනජීවී අමාත්‍යාංශ නිලධාරීන්, විශ්වවිද්‍යාල සිසුන් යවන්න බලා‍පොරොත්තු වෙනවා.  ඔවුන්ට ලබාදෙන කලාපයේ අලි ඉන්න ප්‍රමාණය ගණනය කරන්න ඕනේ. මෙහිදී එම කලාප තුළ ඔවුන් එක් දිනක් තුළ සමීක්ෂණය කළ යුතුයි. බොරු සංඛ්‍යා ඉදිරිපත් නොකර අපට පුළුවන් ඒ සමීක්ෂණයෙන් පස්සේ අලි කොච්චරක් ඉන්නවද කියලා ගණනය කරන්න. ඇයි කැලෑවල වඳුරො ගම්වලට එන්නේ. මිනිස්සු කැලෑ එළිකරනවා. වඳුරන්ට ඉන්න තැනක් නැහැ. ඔවුන්ට බඩගිනි වුණහම ආහාර හොයන්න ගමට එනවා. අද සත්තු මරනවා කියන වචනය තහනම් වචනයක්. 12 වෙනිදා මට කමිටු වාර්තාවක් ලබා දෙනවා. එහි වඳුරන් මොණරුන් ගම්වැදීම පාලනය වැනි දේට යම් විසඳුම් තිබෙන බව මට විශ්වාසයි. අද මොණරු වැඩිවෙලාලු. ඉස්සර නරියො මොණරු කෑවා. දැන් නරියො නැහැ. ඉතිං මොණරු වැඩිවෙලා. අද ස්වාභාවධර්මය වෙනස් කරන්න ගිහිං අපටම විපත් සිදුවෙලා. අලි රට යවන එක නිකං විහිළු කතාවක්. ජනවාරි සමීක්ෂණයන් පස්සේ අලි පාලනයක් කරන්න බලමු. 
 
රට යවන්න බැරි නම් අලි ඉල්ලන අයට දෙන්න ඕන
 
වෘත්තීය පුහුණු හා නිපුණතා සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන
 
දැන් ලංකාවේ වන සතුන් ගම් වැදීම පිළිබඳ ප්‍රශ්නය දරුණු ජාතික ප්‍රශ්නයක් බවට පත්වෙලා තියෙනවා. එකක් තමයි වල් අලින්ගේ ගම් වැදීම. මේ ප්‍රශ්නය නිසා සාමාන්‍යයෙන්  මිනිස්සු විශාල ප්‍රමාණයක් මැරෙනවා. ඊට වැඩි ප්‍රමාණයක් අලි මැරෙනවා. දැන් මිනිස්සු අලි මරන්න පටන් අරගෙන තියෙනවා. එතකොට මිනිස්සුත් බේරගන්න ඕනේ. අලිත් බේරගන්න ඕනේ. දැන් තියෙන ප්‍රතිපත්තිවලට අනුව අලි රට යවන්න අනික් දේවල් වගේ වනජීවී ප්‍රතිපත්තිත් වෙනස් වෙන්න ඕනෑ. දැන් මාසෙකට කලින් තණමල්විල බෝදාගම හන්දියේ පැටව් දාන්න ඉන්න ඇතින්නකට වෙඩි තියලා පාර මැද වැටිලා හිටියා. ඒ මිනිස්සු වෙඩි තියලා. ඒ වගේම අලි ගහල මිනිස්සු මැරිලා තියෙනවා. අපට පෙනී යන කාරණය තමයි දැනට තියෙන කැලෑවල දරන්න පුළුවන් ප්‍රමාණයේ අලි ටික දැන් ඉන්නවා. එක්කො කැලෑ ප්‍රමාණය වැඩි වෙන්න ඕනේ. නැත්නම් අලි ගහනය පාලනය වෙන්න ඕනේ. එහෙම නැත්නම් මිනිස්සු ප්‍රමාණය පාලනය වෙන්න ඕනේ. මේ නිසා කැලෑවල ඉන්න අලින්ගෙන් කිසියම් ප්‍රමාණයක් විකල්ප ස්ථානවලට යැවිය යුතුයි.  අලි ඉල්ලන වෙහෙර විහාරස්ථාන තියෙනවා. අලි රැකබලාගන්න පුරවැසියො ඉන්නවා. මම කියන්නෙ රජයේ අධීක්ෂණය යටතේ රජයේ වෛද්‍යවරයෙක් දාලා ඒ ස්ථානවලටත් අලි ප්‍රමාණයක් ලබා දෙන්න. ඒකටත් වනජීවී ප්‍රතිපත්තිය වෙනස් කරන්න ඕනේ. අපි අලියා ආරක්ෂා කර ගන්න ඕනේ. අලියා දුර්ලභ ගණයේ සතෙක්. ඒ නිසා මම ඒ යෝජනාව ගෙනාවේ. ඌරෝ, කිඹුලෝ, වල් ඌරෝ සම්බන්ධවත් එවැනි ප්‍රශ්නයක් තියෙනවා. විජිතමුණි සොයිසා ඇමැතිතුමාගේ කාලයේ තීන්දුවක් දුන්නා ගම් වදින ඌරන්, වඳුරන් වැනි සතුන් වෙඩි තබා ඝාතනය කරන්න ඉඩ තියෙනවා කියලා. එහෙත්  මරන ඌරන්ගේ මස් විකුණන්න තහනම් කියලා නීතියක් තියෙනවා. මේක පාතාල ජාවාරමක් වෙලා. මම කියන්නේ නීත්‍යනුකූලව මරන ඌරගෙ මස්  නීත්‍යනුකූලව විකුණන්න ඉඩ දෙන්න. ඌරන්ගේ  ගහනය පාලනය වෙන්න ඕනේ. වඳුරන් ද පාලනය විය යුතුයි. නමුත් එම සත්තු පාලනයෙ ක්‍රමවේදයක් මම දන්නෙ නැහැ. දැන් නිල්වලා ගඟෙත් කිඹුල්ලු බෝවෙලා. දැන් කළු ගඟටත් බෝවෙයි කියලා  අපි බයෙන් ඉන්නේ. අපේ ගම්වල ඔයවලත් කිඹුල්ලු ඉන්නවා. කිඹුල්ලු මරනවා. කිඹුලො වේගයෙන් බෝවීම අඩු කිරීමට අපි ක්‍රමවේදයක් කල්පනා කළ යුතුයි. මම කියන්නේ වන සත්ව ගැටලුව පිළිබඳව යථාර්ථවාදී සාකච්ඡාවක් දැන් අවශ්‍යයි.  
 
 ප්‍රසාදිකා ජයවර්ධන

Comments  

+1 #1 jayampathi de silva 2017-09-14 03:19
ලංකාවෙ වනාශ්‍රිතව ජීවත්වන සත්ව ගහනයේ වර්ධනය කල හැකි ක්‍රම නියෝජ්‍ය ඇමති කරුණාරත්න පරණවිතාන විසින් පෙන්වාදී ඇත.
ගම් වදින වල් අලින්ගෙන් අපගේ ජනතාවගේ ජීවිත බේරා ගැනීම සඳහා මෙය අනගි යෝජනාවකි.

නිරීක්ෂන :එසේම ජලාශවල සිටින ජනතාවට ජීවිත තර්ජන කරන කිඹුළන්ද වහාම යෝජිත ක්‍රමය මඟින් මර්ධනය කල හැක.විදේශවල ,කිඹුල ෆාම් පවත්වා ගෙන යමින් උන්ගේ සමින් විවිධ දැ නිෂපාදනය කිරීම කර්මාන්තයක් ලෙස කරනු ලැබේ. එවැනි රටකට අතිරික්ත කිඹුලන්ව ඝාතනය කර අපනයන කිරීමෙන් නිශ්චිත විදේශ විනිමයක් ලබා ගත හැකිය.දැනටමත් අපේ රටේ ජනතාව කිඹුල් මස් අනුභව කරන බැවින් හම් ලබා ගැනීමෙන් පසු කිඹුල් මසද මෙරට තුළ අලෙවි කල හැක.

පරණවිතාන මහතා විසින් මෙම යෝජනාවලිය ඉදිරියේදී නීති සම්පාදකයන් වෙත ඉදිරිපත් කල විට එය අනුමත කර ජනතාවගේ ජීවිත ආරක්ෂාව තහවුරු කරනු ඇතැයි ජනතාව බලාපොරොත්තු වෙයි.
නගරාශ්‍රිත බලු ගහනය වර්ධනය වීම
මෙම යෝජනාවට අනුව මහින්ද රාජ[********]්ෂගේ පාලනයට පෙර කලාසේ , අයාලේ යන බල්ලන් ඇල්ලිමට පෙර කල මෙන්, ‘බලු වෑන් එකක් යෙදවීම’ හෝ එම බල්ලන් දුටු තැන වෙඩි තබා ඝාතනය කිරීමට නාගරීක කවුන්සල නිලධාරීන්ට බලය පැවරීම මඟින් මෙය කල හැක.

මෙරට ආගමීක පූජකයන් මෙවැනි යෝජනාවලියකට එරෙහි වන්නට ඉඩ තිබේ. මෙයට හොඳම විසඳුම නම් ආගමීක කටයුතු, පන්සල,පල්ලිය,කෝවිල හා මස්ජිඩ වල බිත්ති 04ට සීමා කිරීමයි. ජනතව කන බොන මස්, මාළු වලට අත තැබීමට ඔවුන්ට ඉඩ නොතැබිය යුතුය.
සැබෑ ආගමීක නිදහස යනු එයයි.

ආගම්වලින් බලාපොරොත්තුවනුයේ ජීවිතය යහපත් කිරීමයි.එකෙකුගේ දහම, අනිකාගේ දහමින් වෙනස් විය හැක.එහෙත් සිය ආගමීක මතවාද අනික් අය වෙත බලයෙන් පැටවීමට කිසිම ආගමීකයෙකුට නොහැකිවා සේම ඉඩ දිය යුතුද නොවේ.

හරක්මස්,ඌරු මස්,කුකුළු මස්, කිඹුල් මස් කන අය එසේ කරපුවාවේ.නිර්මාංශිකයන් එයට විරුද්ධ නොවිය යුතුය.

ආගමින් මිනිසාට සුරපුරක් නිර්මානය කලහැක්කේ එවිටය.නැතිනම් මිහිපිට අපායක් වනු ඇත.!!

මූලධර්මවාදීන් විසින් පාලනය කරනු ලබන රටවල් දැනටමත් එසේ වී ඇත. ශ්‍රී ලංකාව එම නොදියුණු ගෝත්‍රිකත්වයට වැටීමට ඉඩ නොදිය යුතුය.
යහපාලකයන්ගෙන් අප බලාපොරොත්තුවනුයේද
එවැන්නකි. එසේත් නොමැතිව ගෝත්‍රිකවාදීන්ගේ මතවාද අනුව ක්‍රියා කිරීමට නොවේ.
Quote

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

IMAGE

ඒ ආදර කතාව ඉවරයි මම දැන් සින්ගල්

IMAGE 2017 Nov 19 17:31
සිරස ජුනියර් සුපර් ස්ටාර් කියන්නේ මේ දවස්වල ප්‍රේක්ෂකයන් ආදරයෙන් වැළඳ ගත් රියැලිටි...
Views - 685

කේන්ද්‍රයක මාරක අපල තිබීමටත් වඩා නොතිබීම භයානකය

IMAGE 2017 Nov 19 15:19
මහජන බැංකු විශ්‍රාමික සංගමයේ පිළියන්දල කැස්බෑව ශාඛාවේ අටවන සංවත්සරික සභාව පසුගිය...
Views - 527

නීල හරිත ෆුල් සූට් එක පෙන්වා අමුඩ කෙටිය ගලවා ගන්න එපා

IMAGE 2017 Nov 19 11:35
මෙවර අයවැය ලෝකයේ දියුණුම ආර්ථික සංකල්පයක් වන නීල-හරිත ආර්ථිකයට රට යොමු කරවන්නක් බව මුදල්...
Views - 562

ඔහු නොවන්නට ලෝක ක්‍රිකට් මේ තරම් දියුණු නොවනු ඇත

IMAGE 2017 Nov 18 00:19
අද මට ඉතාමත් සතුටු දවසක්. ඉන්දියාවේ ජාතික ක්‍රිකට් කණ්ඩායමේ විරාත් කෝලි සහ ඔහුගේ කණ්ඩායමත්...
Views - 2433

මෙතේ බුදු පදවිය ලබන්නේ බැංකු කළමණාකරුවෙක්ද?

IMAGE 2017 Nov 17 12:13
ඔහු මධ්‍යම පළාතේ වාණිජ බැංකුවක කළමණාකරුවෙකි.  ඔහුගේ වයස අවුරුදු 45 ක් පමණ වේ. ක්‍රිස්තියානි...
Views - 4520

බොහෝ කලා කරුවන් තමන්ගේ පවුල් ජීවිත ගැන කියන්නේ බොරු

IMAGE 2017 Nov 16 11:31
වත්මන් ශ්‍රී ලාංකීය ජන සමාජයේ දික්කසාද වීම් සහ පවුල් අර්බුද පැන නැගීම සම්බන්ධයෙන් කලා...
Views - 4282

Please publish modules in offcanvas position.