Home    |    Daily Lakbima    |    Sunday Lakbima    |   Rajina |    Archive    |    Advertise With Us    |     Careers Email - [email protected] youtube
lakbima.lk

                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්     

කරුණා රහස් වමාරයි

විනයාගමූර්ති මුරලිදරන් හෙවත් කරුණා කලටක පෙර ජනතාව හඳුනාගෙන සිටියේ එල්ටීටීඊ සංවිධානයේ ප්‍රබල නායකයෙකු ලෙසයි. ප්‍රභාකරන්ගේ දකුණත මෙන් හුන් ඔහු පසු කලෙක එල්ටීටීඊයේන ඉවත්ව ප්‍රභාකරන්ට එරෙහිව සටන් කළේය. එයින්ද අනතුරුව රාජපක්ෂ පාලනයට සම්බන්ධ වී අමාත්‍යවරයෙකු බවට පත්ව දේශපාලන සටනක් ආරම්භ කළේය. රාජපක්ෂ පාලනයේ අවසානයත් සමග දේශපාලන භූමිකාවෙන් අතුරුදන් වූ කරුණා මීට මාස කීපයකට පෙර නව දේශපාලන ගමනක් ආරම්භ කළේය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉවත් වී දෙමළ ජාතික නිදහස් සන්ධානය නමින් පක්ෂයක් පිහිටුවන ලදී.
මෙහි ආරම්භක රැස්වීම නැගෙනහිර පළාතේ මඩකලපුවේදී පවත්වන ලදී. බොහෝ දෙනාගේ අදහස වූයේ කරුණාගේ දේශපාලනය නැගෙනහිරට සීමාවනු ඇති බවයි. නමුත් එම අදහස වෙනස් කරමින් ඉකුත් 18 දා උතුරට පැමිණි කරුණා සිය දේශපාලන කටයුතු උතුරු පළාත තුළද ආරම්භ කළේය.
කෙසේ නමුත් උතුරේ කරුණාගේ දේශපාලන ආරම්භය එතරම් සාර්ථක වූයේ නැත.  ජනහමුව සඳහා එතරම් ජනකායක පැමිණ නොසිටි නමුත් 20-30ක් පමණ වූ පිරිස ඉදිරියේ කරුණා සිය දේශනය පවත්වන ලදී.
සහභාගි වූ පිරිස හා ස්ථානය කෙසේ වුවද කරුණා ඉතා වැදගත් හෙළිදරව් කීපයක්ම කළේය. සාරංශ ගත කරන ලද  ඔහුගේ කතාව මෙලෙස සඳහන් කළ හැක.
අද දෙමළ ජනතාවට සැබැ නායකයෙක් නැහැ. දැන් සිටින දෙමළ පක්ෂ ජාතිවාදය ඇවිස්සීම පමණයි කරන්නෙ. සේවයක් කරන්නෙ නැහැ. ඒ නිසා අලුත් දෙමළ නායකත්වයක් අවශ්‍ය වෙලා තියෙනවා. මට අලුත් දේශපාලන ගමනක් ආරම්භ කරන්න පෙළඹෙව්වේ හිටපු විමුක්තිකාමීන් හිටපු එල්ටීටීඊ සාමාජිකයන්., විදෙශගත දෙමළ ජනාතව හා සාම්ප්‍රදායික දෙමළ පක්ෂ නිසා පීඩාවට පත්වුණ දෙමළ ජනතාවයි. ඇතැමුන් විශේෂයෙන් දෙමළ ජාතික සන්ධානය මට චෝදනා කරනවා එල්ටීටීඊ එක විනාශ කරන්න මම කටයුතු කළා කියලා. නමුත් ඇත්ත කතාව මම තමයි ප්‍රභාකරන්ව ආරක්ෂා කරන්න කටයුතු කළේ. ඉන්දියානු හමුදාව ඇවිත් එල්ටීටීඊය මුලතිව් කැ‍ලේට කොටුවුණ වෙලාවේ ‍පොට්ටු අම්මාන් වගේ ගොඩක් නායකයෝ ප්‍රභාකරන්ව අත හැරලා වෙනත් රටවලට ගියා. ඒ වෙලාවේ මගෙ සටන්කාමීන් 40ක් එක්ක නැගෙනහිර ඉදන් මුලතිව් කැ‍ලේට ගිහින් ප්‍රභාකරන්ව ආරක්ෂා කළා. සාම සාකච්ඡා වෙලාවේ ඔස්ලෝ යෝජනාව ආවාම ඒකට මම එකඟ වුණේ නැහැ. නමුත් ඒ යෝජනාව ගැන සලකා බලන්න මම එකඟ වුණා.
නමුත් මේ සිද්ධිය විකෘති කරපු නඩේසන් (එල්ටීටීඊ ‍පොලිස්පති) තමිලෙන්දි (එල්ටීටීඊ මූල්‍ය ප්‍රධානි) පභාකරන්ට කීවේ මම ඊලාම් සටන පාවා දුන්නා කියලා. ඒ ප්‍රශ්නය දුරදිග ගිහින් තමයි මගෙ ජීවිතාරක්ෂාව සඳහා වෙන් වුණේ.
යැයි පැවැසූ කරුණා දෙමළ ජාතික සන්ධානය බිහි වීමට හේතු පාදක වූ කරුණුද හෙළි කළේය.
මගේ හිතවත් මාධ්‍යවේදියෙක් හිටියා ෂිවරාම් කියලා මේ මාධ්‍යවේදියා යුද්ධය ගැන ලියපු ඉංග්‍රීසි ‍පොත් මට ගෙනල්ලා දෙනවා. ඒ ‍පොත්වල තිබුණ විස්තර දෙමළ භාෂාවට පරිවර්තනය කරලා තමයි යුද උපක්‍රම ගැන ගොඩක් දේවල් ඉගෙන ගත්තෙ. මේ කතාව ඇති වුණේ ඉන්දියානු හමුදාව එන්න කලින් 1986 දී විතර මාධ්‍යවේදියා දවසක් මට කීවා ඇයි ඔයාලා සටන් විතරක් කරන්නේ දේශපාලනයත් කරන්නකෝ කියලා. මම ඇහුවා ඒකෙන් ඇති ප්‍රයෝජනය මොකක්ද කියලා. එතකෙට ෂිවරාම් කීවා අයරිලන්තයේ ගරිල්ලන් යුද්ධ කරද්දී එයාලගේම කට්ටියක් ෂින්පෙත් කියලා සංවිධානයක් හදලා පාර්ලිමේන්තුව නියෝජනය කරනවා. එයාලා ගරිල්ලා සංවිධානයේ කටයුතු ජාත්‍යන්තරයට ගෙනියනවා වගේම දේශපාලනික වශයෙන් ආරක්ෂාවකුත් ලබා දෙනවා. අපි යුද්ධ විතරක් කළොත් කවුරුත් අපි ගැන දන්නෙ නැහැ. අපි නිකම්ම හුදකලා වෙලා සටන් කරනවා පමණයි. කියලා කීවා. මම මේ කතාව ප්‍රභාකරන් නායකතුමාට පැහැදිලි කරලා දුන්නා. ඊට පස්සෙ තමයි නායකතුමා මක්කල් මුන්නහි (දෙමළ පෙරමුණ) කියලා පක්ෂයක් හදලා ඒකෙ මෙහෙයවීම හා නායකත්වය එතකොට හිටපු නියෝජ්‍ය නායක මහත්තයාට දුන්නෙ.
ප්‍රභාකරන් හා මහත්තයා අතර ඇති වුණේ ප්‍රශ්නයේදී මහත්තයාව අත් අඩංගුවට ගත්ත ප්‍රභාකරන් ජනතා පෙරමුණ විසුරුවා හැරීමට කටයුතු කළා. ඊට පස්සේ අපේ පක්ෂයක් හැදීම ගැන උනන්දුව ඇති වූයේ 2002 සටන් විරාම ගිවිසුමත් එක්ක. ඒ ගැන යෝජනාව මම ප්‍රභාකරන්ට කියපු වෙලාවේ නායකතුමා ගත් කටටම කීවෙ වැඩක් නැහැ ඕකුන් හොරු උන්ගෙ වාසිය විතරයි බලන්නෙ ඉස්සර කා‍ලේ ඉඳන්ම බොරුව කළේ කියලා. මම බොහොම අමාරුවෙන් තමයි නායකතුමාට පැහැදිලි කරලා එල්ටීටීඊ නියෝජතියන් විදිහට දෙමළ ජාතික සන්ධානය නම් කරලා ඡන්දයට ඉදිරිපත් වෙන්න අවස්ථාව දුන්නෙ. එතනදි එයාලා විශිෂ්ට ජයග්‍රහණයක් ලැබුවා. නමුත් එල්.ටී.ටී.ඊ. විනාශයත් සමග දෙමළ සන්ධානය එයාලාට පුරුදු පරණ වංචාව පටන් ගත්තා. දැන් ලංකාවේ ඉන්න අංක එකේ බොරු කියන දෙමළ දේශපාලකයා සම්බන්දන්. දෙක සුමන්තිරන්. ළඟදී රජයේ රූපවාහිනියක් සමග පැවැති සාකච්ඡාවකදී මාධ්‍යවේදියා ඇහුවා. ඔයාලා හා එල්.ටී.ටී.ඊ.ය අතර සබඳතාවය මොකක්ද කියලා සම්බන්දන් කීවා කිසිම සබඳතාවයක් නැහැ කියලා. මට සම්පන්දන්ගෙන් අහන්නෙ ඒ කතා කීවේ කටෙන්ද වෙනත් තැනකින්ද කියලා යැයි පැවැසූ කරුණා යුද්ධයේ අවසන් සමයේ සිදුවීම් කීපයක්ද සඳහන් කළේය. 
යුද්ධයෙන් එල්.ටී.ටී. එක පරාද වුණාට පස්සේ මම පරාද වුණා. එල්.ටී.ටී.ඊ. සාමාජිකයොන්ට මොකද වෙන්නෙ කියලා මම හිතුවා. මම කෙලින්ම ජනාධිපතිතුමා හමුවෙන්න ගියා. එතන ගෝඨාභය, ලලිත් වීරතුංග සරත් ෆොන්සේකා වගේ වැදගත් කට්ටිය හිටියා. මම ඉල්ලීමක් කළා. යටත් වෙන සටන්කාමීන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් මොනවා හරි කරන්න කියලා. ඒ වෙද්දී නායක මට්ටමේ අයගෙ ජීවිත ගැන කතා කරලා වැඩක් නැහැ. නමුත් ඒ වෙද්දී යටත් වුණු එල්.ටී.ටී.ඊ. සාමාජිකයෝ 12,700ක් පුනරුත්ථාපනය කරලා සමාජගත කරන්න කටයුතු කළා. මම එහෙම තමයි දෙමළ තරුණ තරුණියන් වෙනුවෙන් කටයුතු කළේ යැයිද පැවැසීය. 
කරුණාගේ සඳහන අනුව පැහැදිලි වන්නේ දෙමළජාතික සන්ධානයේ නිර්මාතෘ එල්.ටී.ටී.ඊ.ය බවයි. නමුත් මේ වන විට දෙමළ සන්ධානයට දෙමළ ජනතාව විසින් දුන් විශිෂ්ට ජන වරම දරා ගැනීමට නොහැකි බවක් මේ වන විට දක්නට ලැබේ. ඊට හොඳම උදාහරණය නම් දැවැන්ත ජයග්‍රහණයක් සමග පිහිටුවන ලද උතුරු පළාත් සභාව තුළ අර්බුදකාරී තත්ත්වයක් ඇති වීමයි. උතුරු පළාත් මහ ඇමැති සී.වී. විග්නේෂ්වරන් විසින් පළාත් සභාවේ අධ්‍යාපන හා කෘෂිකර්ම ඇමැතිවරු ඉවත් කිරීමට හා ධීවර සෞඛ්‍ය යන ඇමැතිවරු දෙදෙනාට මාසයක අනිවාර්ය නිවාඩු දීමට කටයුතු කිරීමත් සමග අර්බුදකාරී තත්ත්වය ඇති විය. එහි ප්‍රතිඵලයක් ලෙස මහ ඇමැතිවරයාට එරෙහිව විශ්වාසභංගයක් උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ වෙත ඉදිරිපත් කෙරිණි. ඒත් සමග මහ ඇමැතිවරයාට සහය පළ කරමින් තවත් පිරිසක් දිවුරුම් ප්‍රකාශ ඉදිරිපත් කළහ. අවසානයේදී පළාත් සභාවේ අර්බුදය විසඳීම සඳහා දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්දන්, හා යාපනය රදගුරු ජස්ටින් බර්නාඩ් ඥාන ප්‍රකාශම් මැදිහත් වී ප්‍රශ්නය දුර දිග නොයාමට පියවර ගත්හ. ඒ අනුව ධීවර ප්‍රවාහන හා වෙළෙඳ අමාත්‍ය පී. ඩැනිෂ්වරන් හා සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍ය පී. සත්‍යලිංගම් යන අමාත්‍යවරු දෙදෙනාට පනවා තිබූ අනිවාර්ය නිවාඩු යැවීමේ තීරණය ඉවත් කර ගන්නා ලදී. එමෙන්ම ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේෂ්වරන්ට එරෙහිව භාරදී තිබූ විශ්වාසභංග යෝජනාව ඉවත් කර ගන්නා බවද සම්බන්දන් මහතා ප්‍රකාශ කළේය. ඊට පසුදින අධ්‍යාපන හා ක්‍රීඩා ඇමැති එස්. කුරුකුලරාසා හා කෘෂිකර්ම ගොවිජන හා පශු සම්පත් අමාත්‍ය අයින්කර නේෂන් යන දෙදෙනා සිය  ඉල්ලා අස්වීම් ලිපි උතුරු පළාත් ආණ්ඩුකාර ‍ලේකම්වරයා වෙත භාරදෙන ලදී. ඉල්ලා අස්වූ අමාත්‍යවරු දෙදෙනාගේ බලතල ප්‍රධාන අමාත්‍යවරයා යටතට ගනු ලැබූඅතර 21 දා පස්වරු 3.00ට පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ ඉදිරියේ අධ්‍යාපන හා කෘෂිකර්ම අමාත්‍ය තනතුරේ දිවුරුම් දෙන ලදී. එයින් අනතුරුව ප්‍රධාන අමාත්‍යවරයාට එරෙහිව භාරදී තිබූවිශ්වාසභංග යෝජනාව භාරදුන් පාර්ශ්වය විසින නිල වශයෙන් ඉල්ල අස්කර ගැනීමටද කටයුතු කළේය.
මේ වන විට දක්නට ඇත්තේ උතුරු පළාත් සභාවේ අර්බුදය සාමකාමීව විසඳෙන ආකාරයකි. කෙසේ නමුත් අවසන් විසඳුම සිදුවූයේ විග්නේෂ්වරන්ට වාසිදායක වන ආකාරයටය. එනම් ඔහු විසින් නම කළද අමාත්‍යවරු දෙදෙනාට ඉල්ලා අස්වීමට සැලසීමෙනි. 
මෙලෙස විසඳුමක් ලැබිමට හේතුව විග්නේෂ්වරන්ට පක්ෂව උතුරේ බහුතර සිවිල් සංවිධාන එකතු වීම බව උතුරේ ජනතාව පවසති. වෛද්‍යවරු ඇතුළු උගතුන්, විශ්වවිද්‍යාල ශිෂ්‍ය සංගම් ආදිය විග්නේෂ්වරන්ට සහය පළකිරීම නිසා සම්බන්දන් ඇතුළු ටී.එන්.ඒ. නායකත්වයට අඩියක් පස්සට තැබිමට සිදුවිය.
 
සනත් ප්‍රියන්ත

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

IMAGE

55 වියැති බැංකු ලොක්කා 29 කන්තෝරු නෝනා සමඟ 'හනිමූන්' ගිහින්

IMAGE 2017 Nov 22 12:50
බැංකුවක උසස් නිලයක් දරන පනස්පස් හැවිරිදි සිය සැමියා වසර ගණනාවක් තිස්සේ විසිනව හැවිරිදි රජයේ...
Views - 2495

අහසේ සිට බිමට පනින එස්.ටී.එෆ්. යුවතියෝ

IMAGE 2017 Nov 22 10:55
අම්පාර උහන ගුවන් ධාවන පථයෙන් අහසට නැඟගත්, එම්. අයි. 17 වර්ගයේ හෙලිකොප්ටරය  නිලඹර දෙපළු කරමින්...
Views - 1638

මිහිදුම සහ වැස්ස ගැන 'කාලගුණ විද්‍යාවෙන්' බොරු කී‍වේ ඇයි?

IMAGE 2017 Nov 22 10:43
මේ දිනවල අළුයම් කාලයේ අගනුවර ඇතුළු ප්‍රදේශ රැසක දැඩි මිහිදුම් තත්ත්වයක් දක්නට ලැබුණු බව...
Views - 875

මුගාබේගේ බිරිඳ ද පක්ෂයෙන් නෙරපයි

IMAGE 2017 Nov 21 09:37
වසර 37  ක කාලයක් සිම්බාබ්වේ දේශය පාලනය කළ රොබට් මුගාබේ නිවාස අඩස්සියට ගනිමින් හමුදාව එරට...
Views - 1898

ඒ ආදර කතාව ඉවරයි මම දැන් සින්ගල්

IMAGE 2017 Nov 19 17:31
සිරස ජුනියර් සුපර් ස්ටාර් කියන්නේ මේ දවස්වල ප්‍රේක්ෂකයන් ආදරයෙන් වැළඳ ගත් රියැලිටි...
Views - 5539

කේන්ද්‍රයක මාරක අපල තිබීමටත් වඩා නොතිබීම භයානකය

IMAGE 2017 Nov 19 15:19
මහජන බැංකු විශ්‍රාමික සංගමයේ පිළියන්දල කැස්බෑව ශාඛාවේ අටවන සංවත්සරික සභාව පසුගිය...
Views - 3476

Please publish modules in offcanvas position.

Web Analytics