Home    |    Daily Lakbima    |    Sunday Lakbima    |   Rajina |    Archive    |    Advertise With Us    |     Careers Email - [email protected] youtube
lakbima.lk

                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්     

ගිංතොට නැන්දගේ දූවරු වැනසූ ගඟබඩ පත්තුවේ අද කතාව

ඕ තොමෝ දැන් බොහෝ තැන්පත්ය. සන්සුන්ය. කිසිදු වරදක් නොකළ අහිංසකියක සේ සුපුරුදු ලැසි ගමනේ ගම් මැද්දෙන් නිසසලව ගලා බසින්නීය. මීට දෙසතියකට පෙර මහා විනාසයක් කරමින් ඉවුරු බිඳලමින් අහස උසට ජල කඳ රැගෙන රකුසු වෙස් ගත්තේ මේ ගිංගං තොමෝම දැයි සිතාගත නොහැකි තරම් දැන් ඇය ශාන්තය. ලියුම්කරුගේ ගමද ගිංගං නිම්නයේ හිනිදුම් පත්තුවේ පනංගලය. අපේ ගම්වැසියන්ද හිත මිතුරන්ද ඥාතීන්ද බොහෝ පිරිසක් ගිංගං තොමෝ සිය චණ්ඩ ජලපහරින් පෙළා දැමූහ. ගඟ මට්ටමේ සිට අඩි 50කටත් වැඩි උසකින්ද කිලෝමීටරයකට වැඩි දුරකින්ද  පිහිටා ඇති ලියුම්කරුගේ නිවස ආසන්නයටම රුදුරු ජල කඳ පැමිණුණි. උඩුගමින් ඉහළ පෙදෙස් සියල්‍ලේ විදුලිය ඇණ හිටිණි. දුරකථන සංඥාද ගංවතුරේ පළමු දිනය ඇතුළතම ක්‍රියා විරහිත විය. 
විදුලියද දුරකථන සංඥාද ඇණහිටි පසු ගංවතුරින් කොටුවී ගඟ දෙපස කඳු මුදුන්වලට රොක් වුණු ගිංගං නිම්නයේ වැසියෝ බාහිර ලෝකයෙන් දින කිහිපයකට දුරස් වූහ. ඒ දින කිහිපය ඉන් ඈත්ව සිටින ළබැඳි-යන්ට කොතරම් තදින් දැනුණේද යන්න ලියුම්කරු පෞද්ගලිකවම අත්වින්දේය. තවමත් සරුසාර ගම්මාන වන හිනිදුම් පත්තුවේ කඳු මුදුන්වල පවා කොස්ද ‍පොල්ද අල බතල මයියොක්කාද යහමින් වැඩෙන බැවිනුත් බොහෝ නිවෙස්වල සතියකට දෙකකට ප්‍රමාණවත් ආහාර සංචිතයක් නිරන්තරයෙන් පවතින බැවිනුත් ළබැඳියන් බඩගින්නේ නොඉන්නා බව සිතා යාන්තම් හිත හදා ගන්නට ලියුම්කරුට හැකි විය.
“වතුර ගලාගෙන එනව පුතේ හරි වේගෙන් ... පහළ ගඟ පැත්තේ මිනිස්සු ඔක්කොම අපේ ගෙදර. ෆෝන් එකේ බැට්රිත් ඉවරයි. බයවෙන්න දෙයක් නෑ. අපිට කන්දට කන්දට යන්න පුළුවන්....” 
ඒ ලියුම්කරුට සිය  මෑණියන්ගෙන් ගංවතුර පැමිණි දිනයේ ලැබුණු අවසාන දුරකථන ඇමතුමය. එවකට කුඩා කොලු ගැටයකු ලෙස 2003 මහ ගංවතුරට මුහුණදී පුරුදු ලියුම්කරු ගංවතුරේ යථාර්ථය හොඳින් දන්නේය. සැඩ ජල කඳ නැග එන විට තමන් ‍පොදි බැඳි වස්තූන්ද ආඩම්බරකම්ද තරහ මරහද හැර දමා කොහේ හෝ ආරක්ෂිත තැනකට දුවන බොහෝ ගම්මු ඉතිරි කර ගන්නේ තම ඇඳිවත පමණි. 
එවන් විපතකින් මඳ කලක් යනතුරු එහි වේදනාව පහ නොවීම මනුෂ්‍ය චිත්ත ස්වභාවයයි. මෙවර ගංවතුරින් දින ගණනාවක් බැට කෑ බද්දේගම, නාගොඩ ආදී පෙදෙස් පසුකර යන විට අප තුළද ඇති වූයේ මහත් සංවේගජනක හැඟීමකි. අඩි 20ක් පමණ ඉහළින්ද ගස්කොළන්වල තවමත් මඩ පැල්ලම්ය. ජලයේ ගසාගෙන පැමිණි විවිධ දෑ තවමත් ගස් මුදුන්වලය. මඩ නිසා ඇතිවන දුහුවිල්ල තාර පාරක් තිබේදැයි සොයන්නට බැරි ලෙස යම්  තැනක ඉහළ නගී. නාගොඩ ප්‍රදේශයේ ගඟට ආසන්නයේ තිබූ කාමර තුන හතරක සුන්දර නිවසක වහලද බිත්තිද ගලවාගෙන ගොස් අද ඉතිරිව ඇත්තේ අත්තිවාරමත් ටයිල් කළ ගෙබිමත් පමණි. ඒ මත වාඩිවී කල්පනා කරන නිවැසියන්ගේ රුව  නෙතක කඳුළු දල්වන්නට සමත්ය. තවත් තැනක මාර්ගයේ පසෙක හෑරුණු විශාල වළකි. කුඹුරු ඉඩම් යකා නැටූ  පිට්ටනි සේය. අලුතින්ම කාපට් එලූ පාරේ විශාල කාපට් කුට්ටියක් ගැලවී ගොස් ඈත වෙල මැදින් ඉහළට නැගී අපට විරිත්තනවා සේ පෙනේ. ගිං ගං නිම්නයේ ඉහළ ප්‍රදේශවලට වඩා බද්දේගම නාගොඩ උනන්විටිය ආදී පහළ නිම්නයේ ගම්බිම්වලට හානිය දැඩිව දැනී තිබේ. සමහර තට්ටු නිවාසවල දෙවන තට්ටුව දක්වාද ජල මට්ටම තිබූ බව සුදු බිත්තියේ ඇඳි මඩ රේඛාවෙන් පෙනේ. 
උඩුගම බස් නැවතුමේද දෙමහල් ගොඩනැගිල්‍ලේ බාගයක්ම ජලයෙන් යටවූ බවට සලකුණු තිබේ. පසෙක තිබූ වාහන සේවාහලක වහලය උගුල්ලා යන්නට ජල කඳ සැඩවී ඇත. බස් නැවතුමේ කඩ පේළි සම්පූර්ණයෙන්ම ජලයෙන් යටවූ බැවින් දෙසතියකට පසුවද ඒවායේ ජනාකීර්ණ ස්වභාවයක් පෙන්වන්නේ නැත. බස් නැවතුම ඉදිරිපස හරි අපූරු දැන්වීමකි. 
“දරුවනේ, අපි ශක්තිමත්ව නැවත නැගී සිටිමු. ගංවතුරෙන් විපතට පත්වූ 1-13 සියලුම ශ්‍රේණිවල දරුවන්ට අපි මාස 3ක් නොමි‍ලේ උගන්වන්නෙමු.” 
මෙය පළකර තිබුණේ උඩුගම නගරයේ ටියුෂන් පන්තියක් මගිනි. මෙවර ගංවතුරෙන් මොනවා නැතත් අපේ මිනිසුන්ගේ මනුස්සකම සෑහෙන තරම් ඉස්මතු වූ බවට මේද එක් සාක්ෂියකි. ඒ, කාඩ් එක ගන්නට සතියක් ප්‍රමාද වූ විට දරුවන් ටියුෂන් පන්තියෙන් එළවනා ගුරුවරු සිටින යුගයක මෙවන් ටියුෂන් පන්තියක් දකින්න ලැබිම අහම්බයක් බැවිනි. 
මාපලගම හන්දියේ ඇති ගිංගඟේ පාලම මතට වී සති දෙකකට පෙර චණ්ඩ වූ ජලකඳ තැබූ සලකුණු දෙස නෙත් යොමා සිටින වයෝවෘද්ධ පුද්ගලයෙකි. අපි ඔහුට කතා කළෙමු. 
“මොකක්ද මහත්තයෝ ඉතින්... ඕක ලෝක සොබාවෙනේ. ගොංගල කන්දෙන් පටන් ගන්න මේ ගිංගඟ දෙණියාය, නෙළුව, තවලම, උඩුගම පහුකරං මාපලගම හරහා ගිහින් ගිංතොටින් මූදට වැටෙනවා. කාලෙකට සැරයක් ගංවතුරක් ඇවිත් ‍පොළව සාර කරලා යනවා. ඉස්සර මේවයේ තිබුණෙ උක් වගාව. සිරිමා මැතිනිගෙ කාලෙ ආහාර හිඟේ නිසා ඒක තවත් ජනප්‍රිය වුණා. වැහි කාලෙට කොහොමත් ගඟ උතුරලා පිටාර ගලනවා. ඒ කාලෙට නම් ගඟ මෙහෙම අහිංසක නෑ. ඉතින් ගඟ අද්දර පදිංචි වෙලා ඉන්න මිනිස්සු ගංවතුර බැහැල යනකම් ආරක්ෂාවට කඳු බිම්වලට සේන්දු වෙනවා.
ආපහු ඉතින් හිටපු තැන්වලට එන්නෙ වතුර හොඳටම බැහැල ගියායින් පස්සෙ. සමහර වෙලාවට මාස ගණන් අවුරුදු ගණන් එකතු කරගත්ත සබ්බසකලමනාවම වතුරෙ ගහං යනවා. එහෙම වෙලාවට කමක් නෑ ඉතින් ජීවිතේ බේරුණානේ කියලා මිනිස්සු හිත හදා ගන්නවා. ආයෙත් ජීවිතේ ගැට ගහගන්න එක හිනිදුම් පත්තුවෙ මිනිස්සුන්ට අරුමයක් නොවේ. 
පහළින් ගලා යන ගං දිය මතට රතුම රතු කෙළ පාරක් ගසා  බුලත් කහට බැඳුණු දසන් විහිදා සිනාවෙන ඔහු ගංවතුර උපේක්ෂාවෙන් දකින්නේ එසේය. 
උඩුගම බස් නැවතුමේ සිට ඉහළ දෙසට නෙළුවට යනතුරුම බොහෝ තැන්වල දක්නට ලැබෙන්නේ එකම චිත්‍රයකි. පහළ නිම්නයේ ගහකොළ සෑහෙන තරම් උසට මඩ නැහැවී ඇත. පහත් බිම්වල තේ වගාවන් සියල්ල පාහේ  කළුවී තැම්බි විනාශව ගොසිනි. පහත් බිම්වල තේ වගාවන් අක්කර සිය ගණන් මෙලෙස විනාශ වී ඇත.
ඉහළින්  ඇති කඳු බොහෝ තැන්වල සුළුවෙන් නාය ගොස්ය. ඉන් පැමිණි මහ ගල් තවමත් පාරේය. ආධාර ගන්නට බලා සිටින කිසිවෙකු දෙසතියකට පසු මේ මාවත්වල දකින්නට නැත. ඒ හිනිදුම් පත්තු වැසියෝ කිසිදා කිසිවෙකුට අත පා ජීවත් වන්නට කැමති නොවන නිසා වන්නට ඇත.
“ආධාර නම් මොනවද මහත්තයො... මුල් දවස් තුන හතරම මේ ගම්මු කඳුවල කොටුවෙලා. ගමේ කොල්ලො ටික අරහෙ මෙහ දුවල මොනවහරි ගෙනල්ලා මිනිස්සුන්ගෙ බඩගින්න නිවුවා. කඳුවල මිනිස්සුත් ගෙවල්වල තිබුණ කෑම ජාති සේරම උයල පිහල අවතැන් වෙච්චි අයට දුන්නා. බැරිවෙද්දි කොස් දෙල් හරි තම්බල කාටත් කන්න දුන්නා. අන්තිමට ඔය එක එක්කෙනා ගේන ආධාර බෙදුණෙ නම් පංගුපේරුවට. කඳුවල මිනිස්සුත් යටවුණු මිනිස්සුත් දෙගොල්ලොම එකවගේ අවතැන්. වැඩියත්්ම ඔය ගල්ලන්දල හරියෙ ඉඳන් මෙහෙට එන ආධාර ගත්තෙ වෙන කොහෙන්වත් ආපු සංවිධානාත්මක කල්ලි. මේ ගම්වල මිනිස්සුන්ට තමන්ගෙ ගෙවල් දොරවල් හෝදගෙන කියාගෙන අස්පස් කරගෙන ආයෙත් ජීවිතේ පටන් ගන්න එක ඔය කෙහෙල්මල් ආධාරෙට වඩා වටිනවා.”
මේ කතාව කියන්නේ පනන්ගල ගමේදී අපට හමුවුණු පී.ඇල්. හින්නි අප්පුහාමි මහතාය.
හිනිදුම කල්වාරි දෙව්මැදුර කතෝලික ප්‍රජාව අතර ඉතා ප්‍රකටව ඇත්තේ එහි වන කල්වාරි කන්දේ අනුරුව ඔවුන් අතර ඉතා ජනප්‍රිය නිසාය. කල්වාරි කන්දට යන්නට ගඟ මට්ටමේ සිට අඩි 50ක් පමණ ඉහළින් තැනූ පාලම වෙතද ජල මටට්ම ළඟාවී ඇත. පාලම පහළ තිබූ පුංචි කඩයේ කණු පමණක් ඉතිරිව ඇත්තේ පැමිණි ජල කඳේ සැඩ බව කියාපාමිනි.  
පල්ලිය අසලදී අපට හමුවුණේ තරමක් විශාල මල්ලක් කර තබාගත් ගැමියෙකි. හිනිදුම පල්ලියේ බෙදන ආධාරයක් අරගන්නට ගිය තවත් පිරිසක්ද අපට දැකගත හැකිවිය.
“හිනිදුම කියන්නේ බෞද්ධ ගමක්. පල්ලියක් තිබුණාට මෙහේ කතෝලික ප්‍රජාව හරිම අඩුයි. ඒත් විපතට පත්වුණාම ජාති ආගම් බේද බලන්නැතුව පල්ලියෙන් කරන සේවෙ අතිවිශාලයි. විපතට පත්වෙච්ච නොවෙච්ච හැමකෙනෙක්ම මේ වෙලාවෙ ඉන්නෙ අසරණ වෙලා. ගංවතුර වෙලාවෙ පිහිට වුණේ මොන පක්ෂෙකවත් අය නෙමේ. ජනතාවමයි. නේවි එකයි, ආමි එකයි සෑහෙන තරම් මහන්සි වුණා. රතු තරුව සංවිධානෙන් ගෙවල්, ළිං සුද්ධ කරලා දුන්නා.  ඒ වගේම ගමේ තරුණ දරුවො ටික. 
අපි තවලම හන්දිය වෙත ළඟා වනවිට මධ්‍යහ්නයට ආසන්නය. තවලම ජාතික පාසල අසල කිසියම් සංවිධානයකින් පැමිණි වාහන පෙළකි. ආධාර බෙදීමේ වැඩසටහනක් නිමවා ඔවුහු ආපසු යන්නට සැරසෙති. 
“අපි මීගමුවෙ ටියුෂන් පන්තියකින් ආවේ. ලක්ෂ ගාණක ‍පොත්පත් අරං ආවා. ඒ ටික බෙදන්න යද්දි ප්‍රදේශයේ දේශපාලනඥයො කීපදෙනෙකුත් ඇවිත් ලකුණු දාගන්න බැලුවා. ඒත් අපි කිව්වා මේක කිසිම දේශපාලන සම්බන්ධයක් නැතිව අපිට කරන්න ඕනෙ කියලා.”
ඒ වචන කිහිපය අපේ ජරාජීර්ණ දේශපාලනය කැටපතක් සේ පිළිබිඹු කරන්නට සමත්ය. 
ඈත අතීතයේ සිට ගිං ගඟත් සමග බද්ධ වූ ජීවිතයක් ගෙවූ මේ මිනිසුන් මහා මඩ තට්ටුවක් ගෙදර සාලයට ගෙනත් තැබුවාට ගිං ගඟ සමග වෛර බඳින්නේ නැත. ඒ මඩ ටික සෝදා දමා අලුතින් ජීවිතය පටන්ගන්නට ඔවුහු කැමැතිය.
ගිං ගඟේ ගංවතුර ස්වාභාවික ක්‍රියාවලියක් බැවින් ඔවුහු ඒ සොබාදම් රීතිය අතික්‍රමණය කරන්නට කැමැති නැත්තෝය. මේ සැම මුහුණකම දිදුළන්නේ බලා‍පොරොත්තුවක සේයාවය. දෙසතියකට පසු ඔවුහු නැති වූ දේ අතහැර ලබාගත හැකි දේ ලබාගෙන ජීවිතය අරඹන්නට සූදානම්ය. 
 
“අම්මට සිරිගජ වේගෙන එනකොට දූලගෙ කඳ බඩ ලොකු      වෙන්නේ
 එන්නට ඇවිදින් යන්නට යන කල දූලගේ තොල කට       වියළෙන්නේ 
 ගෙන්ගෙට ගොස් වැදු දූවරු ගණනත් නැත කිසිවෙක් හරියට     දන්නේ 
 ගිංතොට නැන්දගෙ දූවරු හින්දයි ගඟබඩ පත්තුව           වැනසෙන්නේ” 
 
සත් කන්නයක අස්වනු ආලපාළු කළද එක් කන්නයකින් ඒ සියලු ඉසුරු සම්පත් සපුරමින් මිටියාවත සරු කරන ගිං ගඟේ ප්‍රචණ්ඩ වේශය එදා ජන කවියා දුටුවේ එසේය. 
ගිං ගඟ කාලයකට වරක් කෙතරම් චණ්ඩ ලෙස තමන්ට සැලකුවද ඔවුන් ජීවත් වන්නේ ගිං ගඟේ පිහිටෙන් බව හිනිදුම් පත්තු වැසියන්ට අමතක නොවීම, අපට සිතන්නට යමක් ඉතිරි කර ඇත්තේ නොවේද?
 
මිහිරාන් කරුණාරත්න

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

IMAGE

සැමියාගේ බිමත්කම සහ නොගැළපීම නිසයි විවාහය බිඳ වැටුණේ

IMAGE 2017 Nov 23 13:33
තිලකා රණසිංහගේ ජීවිතයේ වඩාත්ම සතුටු වූ අවස්ථාව හා වැඩියෙන්ම දුක් වූ අවස්ථාව සිහිපත් කරන්න...
Views - 3973

ලංකාව හැර ගිය නතාෂා ආපහු ඇවිත් කියපු කතාව

IMAGE 2017 Nov 23 08:03
නතාෂා පෙරේරා පහුගිය කාලයේ වැඩිපුර දකින්නට ලැබුණේ නැහැ. ඒ ඇය තමන්ගේ ආදරණීය සැමියා ප්‍රිහාන්...
Views - 3717

55 වියැති බැංකු ලොක්කා 29 කන්තෝරු නෝනා සමඟ 'හනිමූන්' ගිහින්

IMAGE 2017 Nov 22 12:50
බැංකුවක උසස් නිලයක් දරන පනස්පස් හැවිරිදි සිය සැමියා වසර ගණනාවක් තිස්සේ විසිනව හැවිරිදි රජයේ...
Views - 6786

අහසේ සිට බිමට පනින එස්.ටී.එෆ්. යුවතියෝ

IMAGE 2017 Nov 22 10:55
අම්පාර උහන ගුවන් ධාවන පථයෙන් අහසට නැඟගත්, එම්. අයි. 17 වර්ගයේ හෙලිකොප්ටරය  නිලඹර දෙපළු කරමින්...
Views - 4193

මිහිදුම සහ වැස්ස ගැන 'කාලගුණ විද්‍යාවෙන්' බොරු කී‍වේ ඇයි?

IMAGE 2017 Nov 22 10:43
මේ දිනවල අළුයම් කාලයේ අගනුවර ඇතුළු ප්‍රදේශ රැසක දැඩි මිහිදුම් තත්ත්වයක් දක්නට ලැබුණු බව...
Views - 2616

මුගාබේගේ බිරිඳ ද පක්ෂයෙන් නෙරපයි

IMAGE 2017 Nov 21 09:37
වසර 37  ක කාලයක් සිම්බාබ්වේ දේශය පාලනය කළ රොබට් මුගාබේ නිවාස අඩස්සියට ගනිමින් හමුදාව එරට...
Views - 3422

Please publish modules in offcanvas position.

Web Analytics