Home    |    Daily Lakbima    |    Sunday Lakbima    |   Rajina |    Archive    |    Advertise With Us    |     Careers Email - [email protected] youtube
lakbima.lk

                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්     

මෝදි ලංකාවේ චීනයෙන් සබ්මැරීන් මෙහෙයුමක්

ඉන්දියන් සාගරය සහ එය ආශ‍්‍රිතව ක‍්‍රියාත්මක වෙමින් පවතින දේශපාලන ක‍්‍රියාදාම දෙස බලනවිට, එක් කාරණයක් ඉතා පැහැදිලිව පෙනී යයි. එනම්, ශ‍්‍රී ලංකාව දැන් ‘ගිරයට හසුවුණු පුවක් ගෙඩියක’ තත්ත්වයට වැටී ඇති බවයි. ගිරයේ ග‍්‍රහණය ඉතා දැඩිය. එහි අඩු දෙක, ඉන්දියාව සහ චීනයයි.
ඉකුත් වෙසක් උළෙල අවස්ථාවේ මේ කාරණය ඉතා පැහැදිලිව දැකගත හැකිවිය. මෙවර (2017) ජාත්‍යන්තර වෙසක් උළෙල පැවතියේ ලංකාවේය. එහි ප‍්‍රධාන ආරාධිත අමුත්තා වූයේ, බුදුරදුන් පහළවූ ඉන්දියාවේ වර්තමාන අග‍්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිය. උත්සවයට සහභාගිවීම සදහා ඔහු සිය දූත පිරිසද සමග ලංකාවට ආවේ මැයි මස 11 වැනිදා සවස් භාගයේය. මෝදිගේ ලංකා සංචාරය නිමිත්තෙන් ඉතා දැඩි ආරක්ෂක විධිවිධානද යොදා තිබිණි. එහි මුල්තැන්ගත්තේ ඉන්දීය ආරක්ෂක භටයන්ය. අග‍්‍රාමාත්‍යවරයාගේ සංචාරය පිණිස ඉන්දීය හෙලිකොප්ටර් යානා  දෙකක්ද ලංකාවට පැමිණ තිබුණි.
මැයි 12 වැනිදා ‘රොයිටර්’ අන්තර්ජාතික පුවත් සේවය අමුතු පුවතක් ලෝකයට මුදා හැරියේය. ඉන් කියැවුණේ, තම සබ්මැරීනයක් තාවකාලිකව කොළඹ වරායේ නැංගුරම් දැමීමට චීන බලධාරීන් කළ අවසර ඉල්ලීමක්, ශ‍්‍රී ලංකා රජය විසින් ප‍්‍රතික්ෂේප කර ඇති බවයි. අවසර නොදෙන්නේ මන්ද? යන කාරණය නම් පැහැදිලි නොවිණි.

චීන සබ්මැරීනයෙන් අමාරුවේ වැටීම

කෙසේ නමුදු චීන සබ්මැරීනය කොළඹ වරායේ නැංගුරම් දැමීමට අවසර ඉල්ලා සිටින්නේ නිකම්ම වකවානුවක නොවේ. ලොව බලවත් රාජ්‍ය අතළොස්ස අතරින් එකක් වන ඉන්දියාවේ අගමැතිවරයා ලංකාවේ දෙදින සංචාරයක නියැලෙමින් සිටින මොහොතකය. ඉන්දියාව මෙන්ම චීනයද බොහෝ කලක පටන්ම ලංකාවේ හිත මිතුරන්ය. එහෙත් ඔවුන් අතර නම් (චීනය සහ ඉන්දියාව), එතරම් ඇයි හොඳයියක් පෙනෙන්නට නැත. දේශසීමා වෙනුවෙන් දෙරටම දෙවරක් යුද වැදුණාහ. චීනයත් ඉන්දියාවත්, ඉන්දියන් සාගරයේ වෙළෙඳ නාවික ආධිපත්‍ය සඳහා සීතල යුද්ධයක පැටලී සිටින බව රහසක් නොවේ. චීනය මේ කාරණා මැනවින් දනියි. එසේම අගමැති මෝදි මැයි 11 සහ 12 යන දිනවල ලංකාවේ සංචාරයක යෙදෙන බවද ඔවුන් නොදන්නවා වන්නට කොහෙත්ම පුළුවන්කමක් නැත. ලංකාවේ ජාත්‍යන්තර වෙසක් උළෙල, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සම්බන්ධයද ඇතිව කළ වැඩක්වීම, ඊට හේතුවයි.
එබදු පසුබිමක, චීනය සිය සබ්මැරීනයක් කොළඹට ගෙන එන්නට අවසර ඉල්ලීම පැටලිලි සහගත කාරණයකි. එයින් අමාරුවේ වැටුණේ ශ‍්‍රී ලංකාවයි. ‘සබ්මැරීන’ යනු යුද කටයුතු පිණිස යොදාගන්නා යාත‍්‍රා විශේෂයක් බවද කවුරුත් දනිති. මීට පෙරද 2014 ඔක්තෝබරයේ චීන සබ්මැරීනයක් කොළඹ වරායට ආවේය. එ් අවස්ථාවේදී එය ඉන්දියාවේ දැඩි කනස්සල්ලට හේතුවූයේ චීන සබ්මැරීන ලංකා මුහුදු සීමාවේ සැරිසැරීම ඉන්දියාව සලකන්නේ තමාට කරන තර්ජනයක් ලෙස බැවිණි.
‘ගිරයකට හසුව සිටින පුවක් ගෙඩියක්’ වන් ශ‍්‍රී ලංකාවට, ඉන්දියාවේ මෙන්ම චීනයේ සුහදතාවද එකසේ වැදගත්ය. ලංකා භූමිය දෙරට අතර, ඉන්දීය සාගරයේ අතිශයින්ම උපක‍්‍රමික ස්ථානයක පිහිටා තිබීම ඊට හේතුවයි.
අගමැති නරේන්ද්‍ර මෝදි, සිය වෙසක් සංචාරය නිමවා ලංකාවෙන් නික්ම ගියේ මැයි 12 වැනිදා සන්ධ්‍යාවේය. එයින් පසුව ආසියානු කලාපයේ තවත් අමුතු සිදුවීම් කිහිපයක් හට ගත්තේය.
ඉන් ප‍්‍රධාන තැනක් ගත්තේ මැයි 14 වැනිදා චීනයේ බීජිං නුවරදී පැවති ‘එක් තීරයක්, එක් මාවතක්’ (One Belt-One Road ) නම් ජාත්‍යන්තර සංවර්ධන වැඩපිළිවෙළේ මහා සමුළුවයි. පැරණි ගොඩබිම් සහ සාගර සේද මාවත, වර්ෂ 2030 වනවිට නව මුහුණුවරකින් ප‍්‍රතිනිර්මාණය කෙරෙන එම වැඩපිළිවෙළෙහි අයිතිකාරයා චීනයයි. එයින් චීනය සහ යුරෝපය එකට යා කොට, නව ආර්ථික කලාපයක් බවට පත්කිරීමට යෝජිතය. මහා සමුළුව සදහා ආසියාකරයේ මෙන්ම,  රුසියා ජනපති වැද්මිර් පුටින් ඇතුළුව මැද පෙරදිග සහ යුරෝපය ආශ‍්‍රිත රටවල් 29ක රාජ්‍ය නායකයෝ සහභාගිවූහ. අමතරව, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම් ඇන්ටෝනියෝ ගුටරේස්, ලෝක බැංකුවේ සභාපති ජිම් යොං කිම් සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකරණ අධ්‍යක්ෂිකා ක‍්‍රිස්ටීන් ලෙගාර්ඞ් ඇතුළු ජාත්‍යන්තර සංවිධානවල නියෝජිතයන්ද සමුළුවට එක්වූහ. ඔවුන් සැවොම ‘එක් තීරයක් - එක් මාවතක්’ වැඩපිළිවෙළට සහාය පළ කරන බව පැවසී යයි, ජාත්‍යන්තර මාධ්‍ය වාර්තාකර තිබිණි.

බීජිං සමුළුව වර්ජනය

එහෙත් ඉන්දීය රජය බීජිං සමුළුවට ගියේ නැත. ඉන්දියාව එය වර්ජනය කළ බව, එරට ප‍්‍රවෘත්ති සේවා මගින් හෙළිකර තිබිණි. ‘එක් තීරයක්-එක් මාවතක්’ වැඩපිළිවෙළ යටතේ, ඉන්දියාවට උතුරෙන් පාකිස්තානය හරහා බිහිකෙරෙන නව ‘ආර්ථික කලාපය’ ඉන්දියාවේ ස්වෛරීභාවයට තර්ජනයක් වන නිසා, ඉන්දීය පාලකයන් එවන් තීන්දුවක් ගෙන ඇති බව ඒවායෙහි සදහන්ව තිබිණි.
මේ කාරණයෙන්  පෙන්නුම් කෙරෙන්නේ කුමක්ද?, ඉන්දියාව කිසිදු චීන ‘ආර්ථික රැල්ලකට’ කැමැති නැති බවයි. එයට ඉන්දීය සාගරයේ වෙළෙද නාවික ආධිපත්‍යය පිළිබද කාරණය ද ඇතුළත්ය.
ලංකාවට පැමිණි මෝදි අග‍්‍රාමාත්‍යවරයා ආපසු ගියේ 12 වැනිදාය. ඔහු සමග රාජ්‍යතාන්ත‍්‍රික කටයුතුවල යෙදීමෙන් පසුව, ශ‍්‍රී ලංකා අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහද පසුවදාම (13) බීජිං සමුළුවට සහභාගිවීමට චීනයට යන්නට සිදුව තිබිණි. ඒ, චීන සබ්මැරීන ප‍්‍රශ්නයේ ‘කොස්ස’ද තිබියදීමය. සමුළුව ඇමතූ රනිල් වික‍්‍රමසිංහ මහතා පවසා සිටියේ, ‘එක් තීරයක් - එක් මාවතක්’ සංවර්ධන වැඩපිළිවෙළ ගෝලීය වෙළෙද වර්ධනයේ නව අවකාශයක් උදාකරන්නට සමත් වන බවයි. එබැවින් එයට සහය දිය යුතු බවද හෙතෙම ප‍්‍රකාශකර තිබුණේය. කෙසේ වෙතත්, මේ සියල්ල ඉන්දියන් සාගරයේ තිරසාර සාමය සහ ස්ථාවරත්වය මත රදා පවතින බවත්, එහි සාමකාමී සහ හමුදා නොවන සබදතා දිරිගැන්වීම සුදුසු බවත් රනිල් වික‍්‍රමසිංහ වැඩිදුරටත් සදහන්කර තිබිණි.
මෙබදු කතා කියවෙන්නේ, චීනය හැරුණුවිට ඉන්දීය සාගර කලාපය ආශ‍්‍රිතව වෙසෙන ලොකුම බලවතා වන ඉන්දියාව,           බීජිං සමුළුව වර්ජනය කළ තත්ත්වයක් තුළය. එය විශේෂ කාරණයකි.

සාගරමාලා

මේ අතරේ ඉන්දියාව මේ දිනවල දැවැන්ත නාවික සහ ආර්ථික සංවර්ධන වැඩපිළිවෙළකට අතගසා තිබේ. එහි නාමය ‘සාගරමාලා’  'SAGARAMALA' ය.
ඉන්දියාව විශාල රටකි. එබැවින් එහි වරාය ක‍්‍රියාවලියද අතිශයින්ම පුළුල්ය. එරට සමස්ත වරාය සංඛ්‍යාව 45කි. ඉන් 13ක්, කන්ටේනර් මෙහෙයුම් පහසුකම් සහිත ප‍්‍රධාන වරායවේ. ඉන්දියාවට ඇති වෙරළ තීරය දිගින් කිලෝමීටර් 7500කි. තත්ත්වය එසේ වුවද, ඉන්දීය කන්ටේනර්  මෙහෙයුම්වලින් වසරකට සියයට 25ක්ම (එනම් කන්ටේනර් මිලියන 2.8ක්), කෙරෙන්නේ ඉන්දියාවෙන් පිටත, අනුන්ගේ රටවල වරායවලිනි. මින් වසරකට ඉන්දීය කන්ටේනර් මිලියන 1.2ක් මෙහෙය වන්නේ කොළඹ වරායෙනි. ඉතිරි කොටස, සිංගප්පූරුව, මැලේසියාවේ ‘කිලෑන්ග්’, ඕමානයේ ‘සලාලා’ සහ ඩුබායි රටේ ‘zJebel AliZ යන ජාත්‍යන්තර වරාය මගින් මෙහෙයවනු ලැබේ. ඉන්දීය බලධාරීන් පවසන අන්දමට, ඉන් වාර්ෂිකව ඉන්දියාවට අහිමි වන මුදල, ඇමෙරිකානු ඩොලර් මිලියන 230ක් (ඉන්දීය රුපියල් කෝටි 1500ක්) පමණ වේ. එය ඔවුන්ට බරපතළ ගැටලූවකි. ඉන්දියාව ‘සාගරමාලා’ නාවික ව්‍යාපෘතිය ක‍්‍රියාත්මක කරන්නේ ගැටලූව ලිහා ගැනීම පිණිසය.
කිලෝමීටර් 7500ක් දිගැති එරට වෙරළ තීරය, ‘නවීන ආර්ථික කලාපයක්’ බවට (Coastal Economic Region) පත්කර, ඉන්දීය වරාය ජාලය තවදුරටත් නවීකරණය කිරීම එහි අරමුණයි. ඒ යටතේ ඉන්දීය වෙරළාසන්න ප‍්‍රාන්ත හයකට අයත් ප‍්‍රධාන වරාය 06ක්, ජාත්‍යන්තර මට්ටමට සංවර්ධනය කෙරේ.
 ඉන්දීය සාගරමාලා ව්‍යාපෘතිය, ලංකාවේ වෙළෙද වරාය ක‍්‍රියාවලියට පුළුල් බලපෑමක් එල්ලවිය හැකි කාරණයකි.
මේ අතර, කොළඹ වරායේ කන්ටේනර් මෙහෙයුම් කෙරෙන නැගෙනහිර පර්යන්තය (ජැටිය) ඉන්දීය සමාගමක් විසින් බදුගන්නට යන බවක් දැන් දැන් අසන්නට ලැබේ. ලංකාවේ පාලකයන් එය බදු දෙන්නට යන්නේ, ඉන් උපරිම වශයෙන් ආදායම් උපයද්දීය. බදු දීමේ කතාව ඇත්තක් නම්, එයද ඉන්දීය ‘උපාය මාර්ගයක්’ බවට සැක නැත කොළඹින් හුවමාරු වන නැව් බඩුවලින් බහුතරය ඉන්දීය කන්ටේනර්ය. ඒවා ඉන්දීය සමාගමක් හරහා හුවමාරු කිරීම, තම රටට ලාභයක් ගෙන දෙතියි ඉන්දියාව කල්පනා කරනු විය හැකිය.

බෙංගාල බොක්ක බලා කියා ගැනීම

එපමණක්ද නොවේ. ඉන්දියාව දැන් අපේ රටේ තිරිකුණාමලය තෙල් ටැංකි සමූහයෙන් වැඩි කොටසක් බදු ගන්නටද සූදානම් වෙයි. ඒ සමගම ඔවුහු බංග්ලාදේශයේ ‘පයෙරා’ නමැති ගැඹුරු වරාය සංවර්ධනයටද හවුල්වන්නට පෙරුම් පුරමින් සිටිති. මතුපිටින් පෙනෙන හැටියට නම් මේවා ‘ඉන්දීය ආයෝජන’ය. නැතිනම් ‘ආර්ථික සංවර්ධන යෝජනා’ය. එහෙත් එහි යටිපෙළ අරුත වන්නේ, බෙංගාල බොක්ක සම්බන්ධයෙන් තම නාවික බලය පතුරුවා ගැනීමේ ඉන්දීය අභිලාෂයයි.
බංග්ලාදේශ පාලකයන් සිය ‘පයෙරා’ වරාය සංවර්ධනය පිණිස චීන සමාගම් දෙකක් සමග අවබෝධතා ගිවිසුම් අත්සන්කර ඇතැයි ඒජන්සි පුවත් වාර්තාවල ස`දහන්වේ. චීනය බෙංගාල බොක්කෙහි නාවික බලය ඩැහැගන්නට යන බව එහි තේරුමයි. ඉතින් ලංකාවේ තෙල් ටැංකි බදු ගැනීම ඔස්සේ ඉන්දියාව ත‍්‍රිකුණාමලයට පය ගසාගන්නට යාම, උපාය මාර්ගික කාරණයකි. නාවික ක‍්‍රියාදාම පැත්තෙන් බෙංගාල බොක්ක බලාකියා ගැනීමට ඇති හො`දම තැන ත‍්‍රිකුණාමලයවීම, ඊට හේතුවයි.
ඉන්දීය සාගරයේදී චීනයට තරගයක් දීමට නම් ඔවුන්ට (ඉන්දියාවට) ලංකාව නැතිවම බැරිය. ත‍්‍රිකුණාමලයට පය ගසාගන්නට ඒම, කොළඹ වරායේ  නැගෙනහිර පර්යන්තය (ජැටිය) බදුගන්නට උත්සාහ කිරීම, හම්බන්තොට වරාය චීන සමාගමකට බදු දෙනවාට සීතල විරෝධයක් පෑම, ඉන්දු-ලංකා පාලමක් දැමීමට උත්සාහ කිරීම ආදිය මගින් පෙන්නුම් කෙරෙන්නේ, ඉන්දියාවේ එම අභිලාශයයි. වෙසක් උත්සවය පිණිස මෙහි පැමිණි, නරේන්ද්‍ර මෝදි ඉන්දීය අගමැතිවරයා, හැටන් නගරයේ කළ කතාවේදී පැවසුවේ, ඉන්දියාව  දිගටම අපට උදව් කරන බවයි. වතු නිවාස දස දහසක් තනාදීම සහ ‘1990 ගිලන් රථ සේවය’ රටටම ව්‍යාප්ත කිරීම යන යෝජනා ඒ අතර විය. ඉන් කියවෙන්නේ ඉන්දියාව තවදුරටත් ලංකාවට සමීපවන්නට උත්සාහ කරමින් සිටින බවයි. ඉන්දියන් සාගර වෙළෙද නාවික තරගයේදී චීනයට මෙන්ම ඔවුන්ටද ලංකාව නැතිවම බැරිය.
ලංකාව දැන් ‘ගිරයට හසුව ඇති පුවක් ගෙඩියක්’ බවට පත්ව ඇතැයි මුලින්ම පැවසුවේ එබැවිනි.

ක‍්‍රිෂ්ණ විජේබණ්ඩාර

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

IMAGE

සැමියාගේ බිමත්කම සහ නොගැළපීම නිසයි විවාහය බිඳ වැටුණේ

IMAGE 2017 Nov 23 13:33
තිලකා රණසිංහගේ ජීවිතයේ වඩාත්ම සතුටු වූ අවස්ථාව හා වැඩියෙන්ම දුක් වූ අවස්ථාව සිහිපත් කරන්න...
Views - 3965

ලංකාව හැර ගිය නතාෂා ආපහු ඇවිත් කියපු කතාව

IMAGE 2017 Nov 23 08:03
නතාෂා පෙරේරා පහුගිය කාලයේ වැඩිපුර දකින්නට ලැබුණේ නැහැ. ඒ ඇය තමන්ගේ ආදරණීය සැමියා ප්‍රිහාන්...
Views - 3708

55 වියැති බැංකු ලොක්කා 29 කන්තෝරු නෝනා සමඟ 'හනිමූන්' ගිහින්

IMAGE 2017 Nov 22 12:50
බැංකුවක උසස් නිලයක් දරන පනස්පස් හැවිරිදි සිය සැමියා වසර ගණනාවක් තිස්සේ විසිනව හැවිරිදි රජයේ...
Views - 6780

අහසේ සිට බිමට පනින එස්.ටී.එෆ්. යුවතියෝ

IMAGE 2017 Nov 22 10:55
අම්පාර උහන ගුවන් ධාවන පථයෙන් අහසට නැඟගත්, එම්. අයි. 17 වර්ගයේ හෙලිකොප්ටරය  නිලඹර දෙපළු කරමින්...
Views - 4187

මිහිදුම සහ වැස්ස ගැන 'කාලගුණ විද්‍යාවෙන්' බොරු කී‍වේ ඇයි?

IMAGE 2017 Nov 22 10:43
මේ දිනවල අළුයම් කාලයේ අගනුවර ඇතුළු ප්‍රදේශ රැසක දැඩි මිහිදුම් තත්ත්වයක් දක්නට ලැබුණු බව...
Views - 2611

මුගාබේගේ බිරිඳ ද පක්ෂයෙන් නෙරපයි

IMAGE 2017 Nov 21 09:37
වසර 37  ක කාලයක් සිම්බාබ්වේ දේශය පාලනය කළ රොබට් මුගාබේ නිවාස අඩස්සියට ගනිමින් හමුදාව එරට...
Views - 3418

Please publish modules in offcanvas position.

Web Analytics