Home    |    Daily Lakbima    |    Sunday Lakbima    |   Rajina |    Archive    |    Advertise With Us    |     Careers Email - [email protected] youtube
lakbima.lk

                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්     

ත්‍රි'මලයේ තෙල් ටැංකි තෙල් ගබඩා කිරීමට එහා යන කතාව

ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි මේ දිනවල රටම ගිනි තියන තැනකි. එ් මාතෘකාව කොතරම් දුර දිග ගියේදැයි කිවහොත් කැබිනට් මණ්ඩලයේ පවා තෙල් ටැංකි සම්බන්ධයෙන් ගැටුම් ඇති වී තිබේ. 
එ් අතරේ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මේ සතියේ ලංකාවට එන්නේ ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි ඉන්දියාවට පවරා ගැනීමට බවට පැතිරුණු කතාව නිසා මේ ප‍්‍රශ්නය තවත් තීව‍්‍ර විය. කුමක්ද මේ රටම කතා කරන ති‍්‍ර‘මලේ තෙල් ටැංකි. අපේ මුළු රටම කොළඹ සිට එ් ගැන කතා කරන විට තෙල් ටැංකිවල කතාව සොයන්නට ත්‍රිකුණාමලයේ”ලක්බිම” මාධ්‍යවේදියා එහි ගියේය. මේ ඔහු කියන කතාවය.
 
යටත් විජිත සමයේ බි‍්‍රතාන්‍ය  ජාතිකයන් විසින් තිරිකුණාමලයේ ඉදිකරන ලද තෙල් ටැංකි සංකීර්ණය මේ දිනවල මුළු රටම කතා කරන ජාතික මාතෘකාව බවට පත්ව තිබේ. එ් මෙම තෙල් ටැංකිවලින් කොටසක් ඉන්දියාවට දීමට ගෙන ඇති තීරණය නිසාය. 
මෙම තෙල් ටැංකි දෙවැනි ලෝක යුද සමයේ තිරිකුණාමලයේ ඉදි කෙරුණේ එම බිමේ ඇති මූල්‍ය උපායික වටිනාකම නිසාය.
දකුණු ආසියානු මහද්වීපයේ නාවික මෙහෙයුම් සඳහා ලෝකයේ හොඳම දෙවන වරාය සේ සැලකෙන තිරිකුණාමලය වරාය කලාපීය මෙන්ම භූගෝලීය වශයෙන්ද ඉතා වැදගත් ස්ථානයක් බවට පත් වන්නේ නිරායාසයෙනි. තිරිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණය එහි ප‍්‍රතිඵලයකි.
තෙල් ටැංකි එකසිය එකකින් (101)  සමන්විත චීන වරායේ තෙල් ටැංකි සංකීර්ණය ආසියාවේ හොඳම හා වැදගත්ම ස්ථානය වන  තිරිකුණාමලය වරාය වඩා වැදගත් ස්ථානයක් බවට පත් කිරීමට සමත් වී තිබුණි.
බි‍්‍රතාන්‍ය රජය 1928 දී පමණ ඉදි කිරීම් කටයුතු ආරම්භ කළ මෙම තෙල් ටැංකි සංකීර්ණයෙහි ටැංකි 101 ඉදිකර ඇති බව සඳහන් කළද, සැබවින්ම බි‍්‍රතාන්‍යයන් ඉදිකර ඇත්තේ, ඉන්ධන ටැංකි 99කි. ඉංග‍්‍රීසි බසින් 99 අංකය අසුබ ඉලක්කමක් සේ සලකන බැවින් 99 වැනි ටැංකිය  අත්තිවාරමට  පමණක් සීමා කර සියවැනි ටැංකිය ඉදි කොට තිබේ. 99 ටැංකියේ කුඩා අනුරුවක් රනින් නිම කර ඇති බවද කියවේ. ඉතිරි ටැංකි දෙක ජලය සදහා වෙන්කර ඇත. මීටර් 14.5ක් උස මෙම ටැංකියක පළල මීටර් 35කි. එක් ටැංකියක ධාරිතාව කිලෝ ලීටර් 12,500ක් හෙවත් ලීටර් එක්කෝටි හතළිස් ලක්ෂ හතළිස් හතර දහසකි.
බි‍්‍රතාන්‍යයන් වරාය පරිශ‍්‍රය ආසන්නයේ මෙම තෙල් ටැංකි සංකීර්ණය ඉදි කරනුයේ, බි‍්‍රතාන්‍ය රාජකීය නාවික හමුදාවේ අවශ්‍යතා පදනම් කර ගනිමිනි. විශේෂයෙන් බි‍්‍රතාන්‍යය රාජකීය නාවික හමුදාවේ දකුණු ආසියානු ඉන්ධන මධ්‍යස්ථානය ලෙස 1928 වසරේ දී චීන වරාය තෙල් ටැංකි සංකීර්ණයෙහි ඉදි කිරීම් ආරම්භ කර 1938 වසර වන විට ඉදි කිරීම් අවසන් කර තිබේ.
චීන වරාය තෙල් ටැංකි සංකීර්ණය කොටස් දෙකකින් සමන්විතය. වරාය ආශ‍්‍රිත ප‍්‍රදේශය සී.බී. ලෙසත්, අනෙක් කොටස සී.වී. ලෙසත් නම්කර තිබේ. සී.බී. කොටසේ ඉන්ධන ටැංකි 14 ක් ලෙසත්, සී.වී. කොටසේ ඉන්ධන ටැංකි 85ක් ලෙසත් මෙම තෙල් ටැංකි සංකීර්ණය ඉදිකර තිබේ.
ඉදිකිරීම් කර ඇති සමාගම නිශ්චිතව සදහන් කර නැතත්, බි‍්‍රතාන්‍ය රාජකීය නාවික හමුදාවේ ක්‍ෂේත‍්‍ර සිවිල් ඉංජිනේරු දෙපාර්තමේන්තුව ඉදි කිරීම් කළ බව කියන සමරු ඵලක ආදිය අදටද චීන වරාය තෙල් නිමාවේ දැකිය හැකිය. මෙම තෙල් ටැංකි සංකීර්ණය තුළ භූගතව කිලෝ මීටර් 56ක පමණ දුරකට විහිදෙන සේ ඉන්ධන නළ එලා ඇති බව සදහන්ය.
ඉංග‍්‍රීසීන් මෙම ඉන්ධන ටැංකි ඉදි කිරීමට වැඩි වශයෙන් වහල් සේවකයන් යොදවා ගත් බවත්, එහිදී අප‍්‍රිකානු කම්කරුවන් හෙවත් කාබේරි ජාතිකයන්ට  විශේෂ ස්ථානයක් හිමි වී ඇති බවත් පැවසේ. මෙම ටැංකි ඉදි කිරීමේදී ඝන වානේ තහඩු එකිනෙක  පිරිද්දීම කර ඇත්තේ, වෑද්දුම් තාක්ෂණය (රිවට්) ඔස්සේ වීම විශේෂත්වයකි.
ඒ සදහා  වැඩි වශයෙන් යොදා ගෙන ඇත්තේ කාබේරී කාන්තාවන්ය. දිනකට එක් කාන්තාවක් යකඩ ඇණ පනහක් පිරිද්දිය යුතු අතර, ඒ සඳහා පිත්තල මිටි යොදා ගත් බව සඳහන්ය.
මෙම තෙල් ටැංකි සංකීර්ණය ඉදිකිරීමේදී මුහුද ආශ‍්‍රිත ඉන්ධන ටැංකි සියල්ල ඝන කොන්ක‍්‍රීට් ස්තරයකින් ආවරණය කිරීමට ඉංග‍්‍රීසීන් වග බලාගෙන ඇත. 
1942 වසරේ අපේ‍්‍රල් වන විට ජපාන නාවික හමුදාවේ නැගෙනහිර සේනාංකය ඉන්දිය සාගරයට ඇතුළුවී එහි බලය පතුරවමින් සිටියහ. අද්මිරාල් නුගුමාගේ අණදීම යටතේ ඉන්දිය සාගරයේ අඞ්ඩු අතෝල් නමැති ස්ථානයේ සිට හැරියබෝන් යුද නෞකාවෙන් පිටත් වන ජපාන ප‍්‍රහාරක යානා 1942 අපේ‍්‍රල් 05 වන දින පළමු ගුවන් ප‍්‍රහාරය කොළඹ වරායට  එල්ල කරන ලදී. එහිදී කොළඹ වරායේ නැංගුරම්ලා තිබූ බි‍්‍රතාන්‍ය යුද නෞකා දෙකක් හා වෙළෙද නෞකාවක් ගිනිබත් වී තිබේ. ඒ වන විට කොළඹ වරාය ඉදිකෙරෙමින් පැවති අතර, ඊටද බරපතළ හානි සිදුව තිබුණි.
1942 අපේ‍්‍රල් 09 වන දින දෙවන ප‍්‍රහාරය එල්ල වන්නේ, කොළඹට හා තිරිකුණාමලයටයි. පුෂිඩා නමින් හැ`දින්වූ එම ප‍්‍රහාරක යානා පෙළට අද්මිරාල් නුගුමා ප‍්‍රහාරක යානා 91ක් යොදා ගෙන තිබුණි.
අපේ‍්‍රල් 05 වන දින එල්ල කළ ප‍්‍රහාරය මෙන්ම මී මැසි රංචුවක් සේ පියඹා පැමිණි ජපන් ප‍්‍රහාරක යානා පෙළ පෙරවරු 6.30ට කොළඹ වරායට පළමු ප‍්‍රහාරය එල්ල කළ අතර, පෙරවරු 7.20ට තිරිකුණාමලය වරායට ඇතුළු වී අනපේක්ෂිත ප‍්‍රහාරයක් එල්ල කොට තිබේ.
නැගෙනහිර අහස ගුගුරවමින් එක පෙළට වරායට ඇතුළු වූ  ජපන් ගුවන් ප‍්‍රහාරක යානා පෙළ බි‍්‍රතාන්‍ය මිත‍්‍ර පාක්ෂික හමුදාවට හිතන්නටවත් අවස්ථාවක් නොදී, වරායේ නවතා තිබූ යුද නෞකාවන්ට බෝම්බ හෙළන්නට විය.
මෙම ප‍්‍රහාරයේදී  තිරි‍කුණාමලය වරායේ නැංගුරම්ලා තිබූ බි‍්‍රතාන්‍ය නාවික හමුදාවේ නෞකා තුනක් විනාශ වී තිබුණි.
තිරිකුණාමලය ප‍්‍රහාරයේ වඩා වැදගත්ම සිදුවීම වන්නේ, ජපන් ප‍්‍රහාරක යානාවක් වරාය ආශ‍්‍රිතව පිහිටි චීන වරාය තෙල් ටැංකි සංකීර්ණයේ ටැංකියකට මරාගෙන මැරෙන ප‍්‍රහාරයක් එල්ල කිරීමයි.
මෙම ප‍්‍රහාරය සියැසින් දුටු රාජකීය ගුවන් හමුදාවේ බුද්ධි අංශ නිලධාරියෙකු වූ මිචෙල් ටොම්ලින්සන් සඳහන් කර තිබුණේ, තෙල් ටැංකියට ප‍්‍රහාර එල්ල කළ යානාවේ ජපන් ජාතිකයන් තිදෙනකු සිටි බවයි. ප‍්‍රහාරයෙන් පසු ඔවුන් තිදෙනා ෂිගෙනොරි වටනබේ, ටොක්යා ගොවො සහ සුවොමු ටොෂිහිරා ලෙස හඳුනා ගෙන තිබුණි. ටොම්ලිසන් පවසා තිබුණ අන්දමට මෙම ප‍්‍රහාරක යානාව තම ඉලක්කය හොඳින් නිරීක්ෂණය කරමින් ටැංකිය වටා වට කිහිපයක් පියාසර කොට, එක වරම ඉලක්කය නොවරදින සේ තෙල් ටැංකියට යානාව ගැටෙන සේ පතිත වී තිබේ.
තෙල් ටැංකියට එල්ල වූ ප‍්‍රහාරය සම්බන්ධයෙන් බි‍්‍රතාන්‍ය යුද හමුදාවේ, ලූ‍තිනන් කර්නල් ජී.පී. තෝමස් මීට වෙනස් මතයක් ඉදිරිපත් කොට තිබේ. ජපන් ප‍්‍රහාරක යානා වරායේ නැංගුරම්ලා තිබූ යුද නෞකාවලට ප‍්‍රහාර එල්ල කරමින් සිටියදී ඉතා පහළින් ගමන් කරමින් ප‍්‍රහාර එල්ල කළ එක් යානාවකට තෙල් ටැංකි සංකීර්ණය හා ගුවන් හමුදා කඳවුර අතර පිහිටි කදු ගැටයක ස්ථාපිත කර තිබූ හෙරිකේන් හා ෆුල්මාක්ස් නමැති අති ප‍්‍රබල අවිවලින් දැවැන්ත ප‍්‍රහාරයක් එල්ල කොට තිබේ.
එහිදී බරපතළ හානි සිදු වු එම ප‍්‍රහාරක යානාව වෙඩි ප‍්‍රහාර මැද ප‍්‍රහාර  එල්ල කළ ස්ථානයට බෝම්බ හෙළා එම ගිනි අවිය නිහඬ කරවා ඒ ආසන්නව පිහිටි තෙල් ටැංකියකට බෝම්බයක් හෙළා තිබේ. එහෙත්, එම අවස්ථාව වන විට එහි ඉන්ධන පුරවා නොතිබූ හෙයින් බරපතළ හානියක් සිදුවී නොමැත. එම ප‍්‍රහාරයෙන් එම ටැංකිය විනාශ වී ගොස් ඇති අතර, ඊට යාබදව පිහිටි ඉන්ධන සහිත 06- ටැංකියට සුළු හානි සිදුව ඇත. එම ටැංකි වටා ඝන කොන්ක‍්‍රීට් ආවරණයක් යොදා තිබූ බැවින් මහා විනාශයක් වැළකී තිබුණි.
හෙරිකේන් හා ෆුල්මාක්ස් අවිවලින් බරපතළ හානි සිදුවූ ජපන්  ප‍්‍රහාරක යානාව තෙල් ටැංකි අංගණයේ අභ්‍යන්තරයට පියාසර කොට, 91-ඉන්ධන ටැංකිය වෙත යොමු වෙනුයේ, මරාගෙන මැරෙන ප‍්‍රහාරයක් එල්ල කොට විශාල හානියක් කිරීමේ අදහසිනි.
මින් ඇතිවූ පිපිරුමෙන් ප‍්‍රදේශයම කම්පනය වී ඇති අතර, යානය පිපිරීමෙන් විසිවූ කැබලි ඉන් කිලෝ මීටර් තුනක් පමණ එපිටින් තිරිකුණාමලය හබරණ මාර්ගයේ 4 කණුවට පතිත වී තිබූ බව කියවේ.
යානාව 91 - ටැංකියට පතිතවීමත් සමග ටැංකිය ගිනිගෙන දැවුණ අතර, එම ගින්න දින 07ක් පුරා පැවති බවත් ප‍්‍රදේශයේ අහස මුළුමනින්ම කළු දුමෙන් හා රත් පැහැ ගිනිදැල්වලින් පිරී තිබුණ බවත් කියවේ.
ජපනුන් විසින් තිරිකුණාමලය වරායට හා තෙල් ටැංකියට ප‍්‍රහාර එල්ල කරන අවස්ථාවේ, චීන වරාය ප‍්‍රදේශයේ වෙළෙදසලක සේවය කළ එම්.ජී. ඇඞ්වින් මීට වසර හැත්තෑ හතරකට පෙර එම බිහිසුණු අත්දැකීම  අත්විඳි දැනට ජීවතුන් අතර සිටින අතළොස්සකින් එක් අයෙකි. 1919 දී දොඩන්¥වේ උපත ලද ඇඩිවින් 1933 වසරේදී තිරිකුණාමලයට පැමිණ ඇත්තේ, චීන වරායේ පිහිටි සිය ඥාතියෙකුගේ කඩයක අත්උදව්කරුවෙකු ලෙසිනි. එවකට දාහතර හැවිරිදි කොලූ‍ ගැටයෙකු වූ ඇඞ්වින් මීට වසර හැත්තෑහතරකට පෙර අත්විදි අත්දැකීම විස්තර කළේ මෙසේය.
”කොයි වෙලාවක හරි ජපන්නු බෝම්බ දානවා කියලා ප‍්‍රචාරය ගිහින් තිබුණේ.. මුදලාලි මට කිව්වා කඬේ බඩු ටික අදින්න එකට ගිහින් කරත්තයක් අරන් එන්න කියලා.. මම බයිසිකලයකින්  යද්දී, හරියටම එයාර්ෆෝස් ගේට්ටුව පහු වෙනවත් එක්කම සයිරන් ගහන්න පටන් ගත්තා.. ඒ එක්කම මහ සද්දෙන් කුරුල්ලෝ ?නක් පියාඹනවා වගේ ප්ලේන් පෝලිමක් අහසේ යනවා.. හැම පැත්තෙන්ම වෙඩි තියන්න ගත්තා.. කාලතුවක්කු ගහනවා, බෝම්බ දානවා... ආයේ නැහැ, එකම කාලගෝට්ටියයි.. මම ඉක්මනින් ආපහු කඬේට ගියා. 
ඒ දවස්වල හැම ගෙදරකම වී හැඬේට කාණු කපලා තිබුණේ.. දැන් චීන වරාය තැපැල් කන්තෝරුව තිබුණ තැන තමයි, ඒ දවස්වල පොලීසිය තිබුණේ.. මම බැහැලා හිටිය වළට පොලීසියේ ඇඞ්වින් සාජන් මහත්තයත් දුවගෙන ඇවිත් පැන්නා. අපිට දැන් අගේට පේනවා ජපන් ප්ලේන් අහසේ පහතින් යනවා.. ඔහොම ඉද්දී අපි කිට්ටුව කන්දක තිබුණ තුවක්කුවකින් ප්ලේන් එකකට දිගට හරහට වෙඩි තිබ්බා.
ඒ ප්ලේන් එක වෙඩි අස්සෙම ඒ කන්දටයි තෙල් ටැංකියකටයි  බෝම්බ දැම්මා.. අපි හිටිය වළ පස්වලින් වැහිලා ගියා. මමයි සාජන් මහත්තයයි එතනින් වෙන තැනකට දිව්වා. ඒ එක්කම වගේ පෙට්‍රෝලියම් කැලේ පැත්තෙන් මහ විශාල සද්දයක් ඇහුණා. 
ඒ සද්දෙට මුළු පැත්තම විනාඩි දෙකක් විතර දෙදරුම් කෑවා. ගිනි නිවන එකේ වාහනයි, හමුදාවේ වාහනයි සයිරන් ගහගෙන හරි කලබලෙන් යනවා එනවා.. පස්සේ තමයි දැන ගත්තේ, තෙල් ටැංකියකට ප්ලේන් එකක් කඩා වැටිලා ගිනි ගන්නවා කියලා.. ප්ලේන් එක කඩා වැටුණ පැත්තේ මුළු අහසම කළුම කළු දුමෙන් වැහිලා. ගිනි දලූ‍ අහස උසට නගිනවා. ජපන්නු බෝම්බ දාලා නැව් දෙක තුනක්ම වරායේ ගිනි ගන්නවා. දැන්නම් මෙහෙ ඉන්න බැහැ කියලා මට හිතුණා. මම පහුවදාම කොළඹ කෝච්චියේ නැගලා ටිකට් නැතිවම ගමට ගියා. ඊට පස්සේ මාස හයකට පස්සෙයි ආපහු මලේට ආවේ..”
ප‍්‍රහාරයෙන් පසු බි‍්‍රතාන්‍ය අගමැති වින්සන්ට් චර්චිල් ප‍්‍රකාශයක් නිකුත් කරමින් ”මෙය යුද්ධයේ ඉතාමත් බියකරුම මොහොත බව” කියා සිටියේය. ඔහුගේ ප‍්‍රකාශයෙන් පැහැදිලි වූයේ, පිහිටීම අනුව ශ‍්‍රී ලංකාව  දෙවන ලෝක යුද්ධයේදී කොතරම් වැදගත් වූයේද යන්නයි.
කෙසේ නමුත්, චීන වරාය තෙල් ටැංකි සංකීර්ණයේ පිහිටි ජපනුන් විසින් ප‍්‍රහාර එල්ල කළ 91-ටැංකියේ නෂ්ටාවශේෂ කොටසක් තවදුරටත් ආරක්ෂා වී තිබේ. එය ජපන් ප‍්‍රහාරයේ දැනට මෙරට ඉතිරිව ඇති එකම සාක්ෂිය වන්නටද පුළුවන. 
මෙම ඵෙතිහාසික ස්ථානය අනාගත පරපුර උදෙසා ආරක්ෂා කර දීම එම ස්ථානය සංරක්ෂණය කිරීම බලධාරීන්ගේ යුතුකම වුවද, මෙබදු ස්ථානයක් තිරිකුණාමලයේ තිබෙන බව ඔවුන් දන්නේද යන්නත් ගැටලූවකි. මෙම ස්ථානය මේ වන විට ඉන්දීය තෙල් සමාගම විසින් පාලනය කෙරේ. ඔවුන් එය ඉතා  ඕනෑකමින් ආරක්ෂා කරන බවද නොරහසකි. එහෙත්, පිටතින් පැමිණෙන පාසල් සිසුන්ට හා දේශීය  විදේශීය සංචාරකයනට එම ස්ථානය නැරඹීමට අවකාශයක් නොමැතිකම බලවත් අඩු පාඩුවකි.
ඉන්දියාව, චීනය, ඇමෙරිකාව වැනි ප‍්‍රමුඛ රටවල් තිරිකුණාමලයේ පිහිටි මෙම තෙල් ටැංකි සංකීර්ණයට ඇස ගසා සිටින්නේ, එහි ඇති කලාපීය හා භූගෝලීය වැදගත්කම සලකා මිස තෙල් වෙළෙදාමට නොවන බව නොරහසකි.
මෙම ටැංකි ජේ.ආර්. ජයවර්ධන යුගයේදී ඇමෙරිකන් හිතවාදී සිංගප්පූරු සමාගමකට ප‍්‍රතිසංස්කරණය කිරීමට දීමට ගොස් ඉන්දියාව තරහ කරගත්තේය. එ් තිරිකුණාමලයට වෙනත් රටක් පය තැබීම ඉන්දියාව සලකන්නේ තමන්ට කරන තර්ජනයක් ලෙස බැවිනි. එ් නිසා තිරිකුණාමලයේ තෙල් ටැංකි වූකලි තෙල් ගබඩා කිරීමට එහා ගිය කතාවකි. එම ප‍්‍රශ්නය කළමනාකරණය කිරීම වූ කලි දැලි පිහියෙන් කිරි කනවා වැනි වැඩකි. 
 
මංගලනාත්ලි යනආරච්චි
 

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

IMAGE

සැමියාගේ බිමත්කම සහ නොගැළපීම නිසයි විවාහය බිඳ වැටුණේ

IMAGE 2017 Nov 23 13:33
තිලකා රණසිංහගේ ජීවිතයේ වඩාත්ම සතුටු වූ අවස්ථාව හා වැඩියෙන්ම දුක් වූ අවස්ථාව සිහිපත් කරන්න...
Views - 1694

ලංකාව හැර ගිය නතාෂා ආපහු ඇවිත් කියපු කතාව

IMAGE 2017 Nov 23 08:03
නතාෂා පෙරේරා පහුගිය කාලයේ වැඩිපුර දකින්නට ලැබුණේ නැහැ. ඒ ඇය තමන්ගේ ආදරණීය සැමියා ප්‍රිහාන්...
Views - 2061

55 වියැති බැංකු ලොක්කා 29 කන්තෝරු නෝනා සමඟ 'හනිමූන්' ගිහින්

IMAGE 2017 Nov 22 12:50
බැංකුවක උසස් නිලයක් දරන පනස්පස් හැවිරිදි සිය සැමියා වසර ගණනාවක් තිස්සේ විසිනව හැවිරිදි රජයේ...
Views - 4883

අහසේ සිට බිමට පනින එස්.ටී.එෆ්. යුවතියෝ

IMAGE 2017 Nov 22 10:55
අම්පාර උහන ගුවන් ධාවන පථයෙන් අහසට නැඟගත්, එම්. අයි. 17 වර්ගයේ හෙලිකොප්ටරය  නිලඹර දෙපළු කරමින්...
Views - 2904

මිහිදුම සහ වැස්ස ගැන 'කාලගුණ විද්‍යාවෙන්' බොරු කී‍වේ ඇයි?

IMAGE 2017 Nov 22 10:43
මේ දිනවල අළුයම් කාලයේ අගනුවර ඇතුළු ප්‍රදේශ රැසක දැඩි මිහිදුම් තත්ත්වයක් දක්නට ලැබුණු බව...
Views - 1673

මුගාබේගේ බිරිඳ ද පක්ෂයෙන් නෙරපයි

IMAGE 2017 Nov 21 09:37
වසර 37  ක කාලයක් සිම්බාබ්වේ දේශය පාලනය කළ රොබට් මුගාබේ නිවාස අඩස්සියට ගනිමින් හමුදාව එරට...
Views - 2546

Please publish modules in offcanvas position.

Web Analytics