Home    |    Daily Lakbima    |    Sunday Lakbima    |   Rajina |    Archive    |    Advertise With Us    |     Careers Email - [email protected] youtube
lakbima.lk

                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්     

ලන්ඩනයේ කිංග්ස්බරි ශ්‍රී සද්ධාතිස්ස ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ වාර්ෂික කඨින පින්කම විහාරාධිපති මහ බ්‍රිතාන්‍යයේ ප්‍රධාන සංඝනායක අග්ගමහා පණ්ඩිත ගලයායේ පියදස්සි නාහිමිගේ අනුශාසනා පරිදි පැවැත්විණ.
මෙම පින්කම හාන්දුපැල්‍පොල මහින්ද නාහිමි, ආචාර්ය අකුරටියේ නන්ද නාහිමි, මාකුරේ මංගල නාහිමි, ගුත්තෑපාන සුමනාරාම නාහිමි, ජී. සෝභිත නාහිමි, බෝධිසීහ නාහිමි, මැටිහිටියේ ධම්මානන්ද හිමි, ගල්යායේ ධම්මදස්සි හිමි, නේපාලයේ සුමන හිමි, නේපාලයේ තිස්ස හිමි, කැබෙල්ලෑවේ සිරිසුන හිමි ඇතුළු සඟරුවන සහභාගි වූහ. ආචාර්ය එම්.පී. සිල්වා මහතා ඇතුළු පවු‍ලේ අය මෙම කඨින පින්කමේ දායකත්වය ඉසිලීය. බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් අවරි විජයවර්ධන මහත්මිය ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගිවූහ.

ගනේෂිට පසුගිය 8 වෙනිදා විශේෂ දිනයකි. එ් ඇයගේ මවගේ සහ පියාගේ උපන් දින දෙකම යෙදී තිබුණේ එ්  දිනට වීම නිසාය.  තාත්තාගේ සහ අම්මාගේ උපන් දිනය සැමරීම සදහා පුංචි ගනේෂි මාසයක පමණ කාලයක සිට සූදානම් වූවාය. එහෙත් උපන් දින සැමරුම් උත්සව ගන්නට මුදල් නැත. ගෙදරට කරදර කරන්නටද ඇය අකැමැතිය. දහවල්ට මොනවා හෝ කටට දමා ගන්නට ගෙදරින් දෙන රුපියල් විස්සෙන් කීයක් හරි ඉතුරු කරන්නට පුංචි ගනේෂි උත්සාහ ගත්තේ අම්මාගේ  හා තාත්තාගේ උපන් දිනයට කුමන හෝ  තෑග්ගක් අරන් දීම සඳහාය.
පසුගිය 08 වැනි දින සවස් වරුව පුංචි ගනේෂිලාගේ ගෙදර පුංචි උත්සවයකි. ගෙදර සාලය මැද කේක් ගෙඩියක් කැපුණේය.  කවුරුත් උපන් දින කේක් කා ගනේෂිගේ අම්මටත් තාත්තාටත් සුබ පැතූහ. පුංචි ගනේෂි වීරකැටියෙන් මිලදී ගෙන තිබූ සාරි කටු දෙකක් අම්මාට දී කකුල් දෙක අල්ලා  වැන්දාය. අනේ මගේ කෙල්ල කරන දේවල්. ගනේෂිගේ අම්මාගේ දෙනෙත්වලින් කඳුළු කැට වැටුණාය. තාත්තා දෙසට හැරුණු ගනේෂි වීරකැටියේ කඩපොළෙන් මිලදී ගත් අවු කණ්ණාඩිය තාත්තාගේ දෙකන් ළඟින් යවා කොක් හඬලා සිනාසුනාය. කොහොමද අද තාත්ත නළුවෙක් වගෙයි නේද? පුංචි ගනේෂි රැුස්ව සිටි තම නෑදෑයන්ගෙන්  ප‍්‍රශ්න කළාය. 
පසුගිය ඉරු දින ගනේෂි වීරකැටියේ උඩයාල ප‍්‍රදේශයේ පැවැති පෞද්ගලික පන්තියකට සහභාගි වූයේ දෙමළ භාෂාව ඉගෙන ගැනීම සඳහාය. එහෙත් එදින පන්තිය පැවැත්වූයේ නැති නිසා තමන් රැුගෙන යන්නැයි ගනේෂි පියාට දුරකථන ඇමතුමක්  දුන්නාය. තම දියණිය රැුගෙන ඒම සඳහා සුමනදාස අයියා උඩයාල බලා පිටත් වූවේය. තම දියණිය යතුරු පැදියේ නංවා ගත් සුමනදාස අයියා වීරකැටිය අඟුණකොළපැලැස්ස මාර්ගයේ ගමන් කරමින් සිටියේය. තමන් තම පියා සමග යන්නේ අවසන් ගමන බව ගනේෂි නොදැන සිටියාය. කොටවාය වෙල් යාය පසු කරන්නට සුමනදාසට හැකි වූයේ නැත. වැලි පටවා ගත් ටිපර් මාරයෙක් තමන් ලූ‍හු බඳින බව සුමනදාස දුටුවේය. අනතුර දුටු සුමනදාස තම යතුරුපැදිය පාරෙන් ඉවතට ගත්තාය. එහෙත් ටිපර් මාරයා සුමනදාසගේ යතුරුපැදියේ ගැටුණේය. යතුරුපැදියේ පසුපස ගමන් කළ සුමනදාසගේ මල් කැකුළ පාර මැදට වැටිණි. ටිපර් මාරයා පුංචි මල් කැකුළ පොඩි පට්ටම් කොට ඉදිරියට ගොස් නැවතිනි. මහමග යන්නෝ එකා දෙන්නා අනතුර වූ ස්ථානයට එකතු වූහ. හොරාවක් යන්නට පෙර මුළු කොටවාය ගමම එකතු වූහ. පුංචි මල් කැකුළ හකුරුවෙල රෝහල වෙත රැුගෙන ගියහ. ඒ යන විටත් පුංචි ගනේෂිගේ දෑස් පියැවී තිබිණි. ගම්මු ප‍්‍රකෝප වූහ. ටිපර් රථය ගිනි තැබීය.  ඕක පුච්චල වැඩක් තියෙනවාද කිහිප දෙනෙකු ප‍්‍රශ්න කළේය. ලොරි ගිනි තියල වැඩක් නෑ. ඔය ලොරි කාරයොත් කරන්නෙ යුද්ධයක්. උන්ටත් ජීවත්වෙන්න විධියක් නෑ. උන් දවසෙ ගාණ හොයා ගන්න යක්කු වගේ මහ පාරෙ දුවනවා. උන්ට මිනිස් ජීවිතවල වටිනාකමට වඩා මුදල් ලොකු වෙලා. කොටවායේ තවත් වැසියෙකු පැවැසීය. අපිට තිබුණු එකම අඩුවනේ අධිවේගී මාර්ගෙ. දැන් අධිවේගී පාර ගමට ආවා. අපේ ප‍්‍රශ්න දැන් ඉවරයි. තවත් ගැමියෙකු පැවැසීය.
ගනේෂිගේ මරණයට වග කිව යුත්තන් සොයා ගැනීමට හුංගම පොලීසිය පියවර ගත්හ. රියැදුරු බලපත‍්‍රයක් නැතිව දකුණු අධිවේගී මාර්ගය තුළ සේවය කළ ටිපර් රථ රියැදුරා අත්අඩංගුවට ගත් පොලීසිය රියැදුරු බලපත‍්‍රයක් නොමැති වූවෙකුට තමන් සතු ටිපර් රථය දීමේ වරදට ලොරියේ අයිතිකරුද  අත්අඩංගුවට ගත්තේය.
ඒ පුංචි ගනේෂිට හිමි වූ ‍ඉරණමේ ශෝකාන්තයයි. මීට දින කිහිපයකට පෙර බෙලිඅත්ත, මහ හීල්ලෙන් මෙවැනිම ශෝකාන්තයක් අසන්නට අප පව්කර තිබිණි. බෙලිඅත්ත මහහීල්ලේ පදිංචිව සිටි චමික සේහාන් ජයසිංහ පවුලේ වැඩිමල් දරුවා වූවේය. බෙලිඅත්ත මහා විද්‍යාලයේ  හත් වැනි වසරේ ඉගෙනුම ලැබූ පුංචි චමිකගේ ජීවිතයද ඉකුත් 09 වැනි දින සවස උදුරා ගන්නට දකුණු අධිවේගී මගේ කෙරුමන්ගේ නොසැලකිල්ල හේතු වී තිබුණි.
09 වැනි දින පාසල් ඇරී නිවසට පැමිණි පුංචි චමික නිවසේ සිටියේ ආච්චි අම්මා සමගය.
කෙළි දෙලෙන් සිටි චමික නිවසේ නැති බව දැන ගත් චමිකගේ ආච්චි අම්මා චමික සොයන්නට වූවාය. ඇයට චමික සොයා ගැනීමට නොහැකි වූවාය. සවස පහ පමණ වන විට චමිකගේ දෙමාපියන්ද නිවසට පැමිණයහ. සියලූ දෙනා චමික සොයන්නට වූහ.
චමිකගේ නිවස ඉදිරිපිට ඇති බෙලිඅත්ත කිරින්ද මාර්ගයට ආසන්න වෙන්නට මීට මාස එක හමාරකට පමණ පෙර සිට විශාල ප‍්‍රමාණයේ වළක් කපා තිබුණේ අධිවේගී මගේ වැඩකරුවන් විසින්ය. ඒ චමිකගේ නිවසද බිමට සමතලා කරමින් යන දකුණු අධිවේගී මාර්ගයට අයත් ගුවන් පාලමක් තැනීම සඳහාය. චමික සොයා ගැනීමට නොහැකි වූ කල අසල්වාසීන් අධිවේගී මගේ කපන ලද වළ අසලට ගොස් චමික ගැන තොරතුරක් සොයන්නට වෙහෙසුනහ. වළ ආසන්නයේ රබර් පාවහන් යුගලක් තිබෙනු අධිවේගී මගේ ටිපර් රථයක රියැදුරෙකු විසින් දැක තිබිණි. ජලය පිරී තිබූ වළ තුළ කුඩා රබර් බෝලයක් පාවෙමින් තිබුණි. ටිපර් රථ රියැදුරා වළට පැන්නේය. චමික සෙව්වේය. පණ නළ නැති පුංචි චමිකගේ සිරුර මහා ජල කඳ යට තිබී උඩට එසෙවිනි. චමිකගේ මෑණියන් සිහි නැතිව ඇද වැටුණාය. මහහීල්ල ගම් පියසම කඳුළින් තෙත්වූහ.
පසු ගිය මැයි මස 26 වැනි දින ඇති වූ ගංවතුර තත්ත්වය නිසා හම්බන්තොට දිස්ත‍්‍රික්කයේ බොහෝ ජනයාද පීඩාවට පත් වූහ. අධිවේගී මගේ අතොරක් නැති පස් ගොඩකිරීම් නිසා බෙලිඅත්ත වටරක්ගොඩ ප‍්‍රදේශයද ජලයෙන් යට වූහ. එම ජල පහරට ලක් වීමෙන් වීරකැටිය රාජපක්ෂ ජාතික පාසලේ හය වැනි වසරේ ඉගෙනුම ලැබූ අශෝක් ශ්‍යාමන්ත ගමගේ දරු පැටියාද ජීවිතක්ෂයට පත් විය. එදින  පාසල් යන්නට ගිය අශෝක්  ශ්‍යාමන්ත ඇති වූ ගංවතුර නිසා නැවත නිවස බලා එද්දී එම අවාසනාවන්ත සිද්ධියට මුහණ පා තිබිණි. පාසල් ගුරුවරුන් වන අශෝක්  ශ්‍යාමන්තගේ   දෙමාපියන් සිය වැඩිමහල් පුත‍්‍රයා නැති සොවින් අදටත් ජීවිතය විඳවමින් සිටිති.
අධිවේගි මග නිසා දකුණේ ජනතාවට බලපා ඇති ප‍්‍රධානතම ගැටලූව වී තිබෙන්නේ තම උපන් බිම අහිමිවීමෙන් ඔද්දල් වෙන සමාජ ප‍්‍රශ්නයි. බරවකුඹුගේ පියසේන අයියා බරවකුඹුක ප‍්‍රදේශයට පැමිණ ඇත්තේ පනහ දශකයේදීය. ”මං එනකොට මේ ප‍්‍රදේශය රූස්ස කැලේ. වන අලීන් එක්ක තමයි අපි ජීවත් වුණේ. කොච්චර අලි හිටියත් අපිට කරදරයක් වුණේ නෑ. වලවේ ගෙඟන් වතුර ඇදල තමයි මහත්තයෝ මේ ගහ කොළ හැදුවේ. අපේ පරම්පරා දෙකක් ජීවත් වුණේ මේ මහ පොළොවෙන්. දැන් මට වයසයි. නමුත් අපි තාම මේ මහ පොළොවෙන් ජීවත් වෙන මිනිස්සු. දැන් අපිට මේව ඔක්කොම දමල යන්න වෙනවා. අධිවේගී පාර කපන්නෙ මගේ ගේ උඩින්. අපිට වන්දි දෙනවාලූ‍. අපිට මොන වන්දිද මහත්තයෝ. සල්ලි කීයක් හරි දුන්නාම ඔක්කොම ප‍්‍රශ්න විසඳෙනවාද?
රටේ හැබෑ සංවර්ධනයක් සිදු වෙනවානම් මේ ගමෙන් අපිට ගියාට දුකක් නෑ. ඒත් මොකටද මේ තරම් අධිවේගී පාරවල් මේ පුංචි රටට. අවුරුදු ගණනාවක් කතරගමට කොච්චි පාරක් හදල දෙන්න මේ පාලකයන්ට අපි කිව්වා. ඒක කරන්න උනන්දු වුණේ නැති පාලකයො රටේ සුළුතරයක් වෙනුවෙන් මේ පාරවල් හදනවා. බරවකුඹුකේ තරුණයෙකු අප සමග පැවැසීය.
ඉදිවෙමින් පවතින අධිවේගී මාර්ගය නිසා හම්බන්තොට දිස්ත‍්‍රික්කයේ ඉතිරි වී සිටින වන අලින්ගේ නිජ බිම්ද උන්ට අහිමි වී තිබේ. හම්බන්තොට හා සූරියවැව ප‍්‍රදේශයේ ගම් 
රැුසකට වන අලි තර්ජන ඇති වීමට මේ වන විට බලපා ඇති ප‍්‍රධාන සාධකය වී තිබෙන්නේ වන අලි නිජ බිම් හා වන අලි කළමනාකරණ බිම් දෙපලූ‍ කරමින් ගොඩ නැගෙන දකුණු අධිවේගී මගයි. සූරියවැව බුරුතංකන්ද ප‍්‍රදේශයේ ජනතාව මේ වන විට තම පවුල් පිටින් ගම් බිම් අතහැර යමින් සිටින්නේ තම ගේදොරත් හේන පිටියත් වන අලින්ගේ ගොදුරු බවට පත් වී ඇති නිසාය. 
දකුණු අධිවේගී මගේ බොහෝ ඉදිකිරීම් කරනු ලබන්නේ මහා පරිමාණයෙන් පස් පුරවමින්ය. මේ නිසා මහා පරිමාණයේ පාරිසරික හානියක් ප‍්‍රදේශයට සිදු වෙමින් තිබේ. අධිවේගී මගට පස් ලබා දීමේ කොන්ත‍්‍රාත්කරුවන්ගේ බොහෝ දෙනෙක් එක්කෝ දේශපාලන හිතවතුන්ය. නොඑසේනම් දරුණු ගණයේ අපරාධකරුවන්ය. වත්මන් ආණ්ඩුවේ දේශපාලන ප‍්‍රබලයන් රැුසක් තිරය පිටුපස සිටිමින් අධිවේගී මගට පස් ලබා දීමේ ජාවාරමේ යෙදී සිටින බව ප‍්‍රදේශයේ ජනතාව පවසති. 
 
චන්ද්‍රසේන ගමගේ

හිටපු හමුදා ප්‍රකාශකයකු ද වන (විශ්‍රාමික) මේජර් ජෙනරාල් සනත් කරුණාරත්න, ඊළාම් යුද්ධයේ නොමැකෙන මතක සටහන් රැසක ජීවමාන සාක්ෂිකරුවෙකි. හසලක ගාමිණි කුලරත්න මරාගෙන මැරුණු අලිමංකඩ ප්‍රහාරය මෙන්ම සිව්වැනි ඊළාම් සටනේදී එල්.ටී.ටී.ඊ.ය යාපනය අල්ලා ගැනීමට එල්ල කළ මුහමා‍ලේ ප්‍රහාරය ඇතුළු සුවිශේෂී සිද්ධීන් ගණනාවකදීම යුද බිමේ අණදෙන්නා වූයේ ඔහුය. මේ සිය දශක තුනක අත්දැකීම් පළමු වරට මාධ්‍යයට හෙළි කරමින් ඔහුකියන කතාවය.
 
මේජර් ජෙනරාල් සනත් කරුණාරත්න එක්දහස් නවසිය අසූහයේදී නිලයෙන් මේජර්වරයෙකි. එවකට ඔහු රාජකාරි කළේ අනුරාධපුරය යුද හමුදා මූලස්ථානය වූ නදර්න් කඳවුරේය. 
කඳවුරෙහි ප්‍රධාන අණදෙන නිලධාරියා වූයේ කර්නල් ජයවර්ධනයි. මේ කියන දිනයේදී කර්නල් ජයවර්ධන නිවාඩු ගොස් සිටියේය. වැඩ බලන අණදෙන නිලධාරියා වූයේ මේජර් සනත් කරුණාරත්නයි. කඳවුරේ දුරකථන ක්‍රියාකරු හදිසියේම මේජර් සනත් කරුණාරත්න හමුවට පැමිණියේ වැදගත් පණිවුඩයක්ද සමගිනි. සර් ආරක්ෂක ‍ලේකම් ජෙනරාල් ආටිගල සර්ගෙන් සර්ට කෝල් එකක් ඒ පණිවුඩයයි, පණිවුඩය ඇසූ මේජර් කරුණාරත්න ඉක්මනින් දුරකථනය වෙත දිව ගියේය. 'ගුඩ් මෝනින් සර්. මම මේජර් කරුණාරත්න' යනුවෙන් තමා ආරක්ෂක ‍ලේකම්වරයාට හඳුන්වා දුන්නේය. අනෙත් පසින් ඇසුණේ ගාම්භීර කටහඬකි.
අයිසේ විජය කුමාරතුංග යාපනයට යන්න එනවා. වහාම ඔහුව අනුරාධපුරයෙන් නවත්වන්න ඕනෑ                               ආරක්ෂක ‍ලේකම්ගේ නියෝගය ලැබුණි. මේජර් කරුණාරත්නට වෙනත් කිසිවක් හෝ ඇසීමට ඉඩක් නොලැබුණි. එම පණිවුඩයත් සමගම අනෙක් පස දුරකථනය විසන්ධි විය. 
ආරක්ෂක ‍ලේකම්වරයාගේ මෙම පණිවුඩයත් සමගම මේජර් කරුණාරත්න ලොකු අපහසුතාවයකට පත්වූයේය. තමන්ගේ ඉහළ නිලධාරියාද නිවාඩු ලබා සිටින මොහොතේ කුමක් කරන්නේද? ඔහුට සිතා ගැනීමට නොහැකි විය. වහාම මේජර් කරුණාරත්න තමන්ගේ ‍‍‍ජ්‍යෙෂ්ඨ නිලධාරියා වන කර්නල් ජයවර්ධනගේ නිවෙසට ඇමතුමක් ලබා ගත්තේය. ඒ කුමක් කරන්නේද යන්න විමසා සිටීමටයි. නමුත් දුරකථනය දහදොළොස් වරක් නාද වුවද ඉන් ප්‍රතිචාරයක් නොලැබුණි. ඔහුට මේ පිළිබඳව විමසීමටත් කෙනෙකු නොමැත. යුද හමුදා මූලස්ථානයෙන් ඇසුවද ඔවුන් පවසන්නේද ආරක්ෂක ‍ලේකම්ගේ අණ ඉටු කරන ලෙසයි යන්න බව අත්දැකීමෙන් මේජර් කරුණාරත්න දන්නේය. තමන් වැනි කනිෂ්ඨ නිලධාරියකුට මේ පිළිබඳව යුද හමුදාපතිගෙන් විමසීමද නොකළ හැකිය. අවසානයේ මේජර් කරුණාරත්න තීරණයකට එළඹුණි. ඒ ආරක්ෂක ‍ලේකම්ගේ අණ ඉටුකිරීමයි. තමන්ගේ කාර්යලයට ගිය මේජර් කරුණාරත්න තමන්ට වඩා ‍‍‍ජ්‍යෙෂ්ඨ නිලධාරියකු වූ මේජර් මිහිර සයිබුට මේ පිළිබඳව පවසා සිටියේය. අවසානයේ ඔහු ඇසුවේ 'සනත්ට විශ්වාසද ඒ කතා කළේ ආරක්ෂක ‍ලේකම්මද කියලා' යන්නයි කියා. මේජර් කරුණාරත්නට ඒ කතා කළේ ආරක්ෂක ‍ලේකම් බවට විශ්වාසයක් පැවැතුණි. ඒ ඔහු කනිෂ්ඨ නිලධාරියකු වුවද අත්දැකීමෙන් පරිණතව සිටි බැවිනි.
ප්‍රථමයෙන් මේජර් කරුණාරත්න එවකට අනුරාධපුරය ‍‍‍ජ්‍යෙෂ්ඨ ‍පොලිස් අධිකාරීව සිටි නලින් දෙල්ගොඩට මේ පිළිබඳව පවසා සිටියේය. ඔහු පැවැසුවේ හරි සනත් අපි මේ කට්ටියව මැදවච්චිය රෝඩ් බ්ලොක් එකේදී නවත්වමු යනුවෙනි. එහෙත් එය තවත් ගැටලුවක් බව මේජර් සනත්ට වැටහුණි. ඒ අනුරාධපුරයෙන් විජය කුමරතුංග ඇතුළු පිරිස නැවැත්වීමට පැවැසූ බැවිනි. මැදවච්චියට යනතුරු ඔවුන් ගමන් කළහොත් ඔවුන් අනුරාධපුරයෙන් පිටව ගොසිනි. ඒ අනුව එම පිළියම් සාර්ථක නොවන බවට මේජර් කරුණාරත්නට වැටහුණි.
ඔහු දෙවැනි පියවරට ගමන් කළේය. ඒ විජයකුමාරතුංග ඇතුළු පිරිස නවාතැන් ගෙන සිටින්නේ කොහේද යන්න සෙවීමයි. මේජර් කරුණාරත්න තමාට හිතවත් හෝටල් හිමියන් කිහිපදෙනකුටම කතා කොට පැවැසුවේ මෙම පිරිස පැමිණියහොත් දැනුම් දෙන ලෙසයි. නමුත් ඒ එක නිවාඩු නිකේතනයකින් හෝ  මේජර් කරුණාරත්නට සතුටුදායක පිළිතුරක් 
නොලැබුණි. අවසානයේ ඔහුගේ හිතවතෙකු ඔහුට සතුටු විය හැකි ආරංචියක් ගෙන ආවේය. ඒ අනුරාධපුරය සාරනන්ද පිරිවෙනෙහි විජය කුමාරතුංගගේ පිරිස නවාතැන් ගෙන සිටින බවයි. නමුත් ඒ මොහොතේ විජය කුමාරතුංග එහි නොසිටියේය. ඒත් කාන්තාරයේ අතරමංව සිටින්නෙකුට දිය බිඳක් ලැබුණා සේ එම ආරංචිය මේජර් කරුණාරත්නව පියවරක් ඉදිරියට රැගෙන ගියේය.
එතැන් සිට ඔහු විජය කුමාරතුංග ඇතුළු පිරිස නැවැත්වීමට පිඹුරුපත් සැකසුවේය. නමුත් එක් සැලසුමකින් හෝ ඔහු සෑහීමකට පත් නොවීය. නිදි වර්ජිතව රැය පහන් වනතුරුම මේජර් කරුණාරත්න සිතුවේ මේ පිළිබඳවයි. නමුත් නිවැරදි තීරණයක් නොමැතිව පසුදා පහන් විය. මේජර් කරුණාරත්න එක් දෙයක් කිරීමට අමතක නොකළේය. ඒ රේඩියෝ පණිවුඩ හුවමාරු පහසුකම් ඇතිව වෑන් රථයක් සාරානන්ද පිරිවෙන අසලට පිටත් කිරීමයි. ඔහු එහි ගමන් කළ සෙබළුන්ට මෙසේ උපදෙස් ලබාදුන්නේය. සාරානන්ද පිරිවෙන ළඟට ගිහිල්ල එහි වෙන දේවල් හැකි ඉක්මනින් මට දන්වන්න කියාය.
මේජර් කරුණාරත්නගේ ගෝලයින් තමන්ට ලැබුණු උපදෙස් ඒ ආකාරයෙන්ම පිළිපැද්දහ. 
එහි සිදුවන සියලු දේ ඔහුට දැන්වීය.
මෙසේ තොරතුරු ගලා එන්නට පටන් ගෙන සුළු මොහොතක් ගෙවී ගියේය. පිරිවෙන අසල සිටි පිරිසගෙන් විජය කුමාරතුංග එහි සිටින බව දැනගන්නට ලැබුණි. මේජර් කරුණාරත්න තමාගේ නිල ඇඳුම් අතරින් අලුත්ම නිල ඇඳුම ගෙන ඇඟලා ගත්තේය. තමන්ගේ අලුත්ම ලෑන්ඩ් කෲෂර් ජීප් රථයට ගොඩ වූ මේජර් කරුණාරත්න රේඩියෝ ක්‍රියා කරවන්නාද සමග ගමන් ආරම්භ කරන ලෙස රියැදුරුට අණ කළේය. ගමන අතුරතුරදී මේජර් කරුණාරත්න රියැදුරට කතා කරමින් ළමයෝ සාරානන්ද පිරිවෙන කිට්ටු වෙනකොට ටිකක් වේගයෙන් ගිහිල්ලා පිරිවෙන ඉදිරිපිටදී හයියෙන් බ්රේක් එකක් ගහන්න යැයි උපදෙස් දුන්නේය.  මේජර් කරුණාරත්නගේ අණ පිළිපැදි රියැදුරු සාරානන්ද පිරිවෙනට පමණක් නොව මුළු අනුරාධපුරයටම ඇසෙන ලෙස තිරිංග තද කරමින් පිරිවෙන ඉදිරිපිට සිය රථය නතර කළේය.
ඒ සමගම කාගේත් අවධානය කැබ් රථය වෙත ලැබුණි. මේජර් කරුණාරත්නගේ මුවගට මඳ සිනහවක් ගලා ආවේය. ඒ සිය පළමු පියවර සාර්ථක වීම නිසාය. ඔහු සිතුවා සේම කාගේත් අවධානය තමන් වෙත ලැබි හමාරය. කිසිම කලබලයකින් තොරව ජීප් රථයෙන් බැස ගත් මේජර් කරුණාරත්න ඉතා සන්සුන් ගාම්භීර ලීලාවෙන් සාරානන්ද පිරිවෙන තුළට ගියේය.
පිරිවෙනට ඇතුළු වූ මේජර් කරුණාරත්න සිය සපත්තු මේස් ගලවා පසෙකින් තැබුවේය. සිය හිස් වැසුමද ගලවා අතට ගත්තේය. සෙමින් සෙමින් පිරිවෙන ඇතුළට ගමන් කළ හෙතෙම සාරානන්ද පිරිවෙනෙහි විහාරාධිපති ගිරාඹේ ආනන්ද හාමුදුරුවන්ට දණ ගසා වැන්දේය. අනතුරුව හාමුදුරුවනේ මම මේජර් කරුණාරත්න. අනුරාධපුරය නදර්න් ආමි කෑම්ප් එකෙන්. මට විජය කුමාරතුංග මහත්තයාට පණිවුඩයක් කියන්න තියෙනවා පැවැසුවේය. 
ඒ වන විට රණවිරුවන් බේරා ගැනීම සඳහා එල්.ටී.ටී.ඊ. පාලන ප්‍රදේශයට යාමට පැමිණි රණවිරුවන්ගේ දෙමාපියන්ගෙන් පිරිවෙන පිරී තිබුණි. මේ සියලුදෙනාගේම ඇස් නතරව තිබුණේ මේජර් කරුණාරත්න ළඟයි. පසුව ආනන්ද හාමුදුරුවෝ මේ පිරිස අතරට ඇඟිල්ල දික්කර අර ඉන්නේ විජයකුමාරතුංගයි පැවැසුවේය. ඒ අවසරයෙන් මේජර් කරුණාරත්න විජය කුමාරතුංග දෙසට ගමන් කළේය. විජය ළඟට ගිය කරුණාරත්න තමන් කවුරුද යන්න ප්‍රථමයෙන් හඳුන්වා දුන්නේය. පසුව තමන් ආ කාරණය පැවැසීය. ආරක්ෂක අමාත්‍යාංශයෙන් පණිවුඩයක් ලැබිල තිබෙනවා ඔබතුමන්ලට අනුරාධපුරයෙන් එහාට යන්න එපා අනුරාධපුරයෙන් නවත්වන්න කියල මේ පණිවුඩය ඇසූ සැනින් විජය කුමාරතුංග ඉතාමත් සන්සුන් ලීලාවෙන් ඔෆිසර් අපි යන්නේ දරුවෝ බේරගන්න. ඇයි අපිට යන්න දෙන්නේ නැත්තේ?යි ඇසුවේය. පසුව මේජර් කරුණාරත්න විජය කුමාරතුංගට යන්න එපා යැයි කියන හේතුව පැහැදිලි කළේය. වව්නියාවෙන් එහාට ආරක්ෂාව හොඳ නැහැ, පාරවල් හරි නැහැ. ඒ වාගේම ආරක්ෂක අමාත්‍යාංශයෙන් අවසර ගන්න එතකොට පහසුකම් සලසා දෙයි මේජර්වරයා පැවැසුවේය. එය අසා සිටි විජය කුමාරතුංග ඔෆිසර් අපි එහෙමවත් කරමු යනුවෙන් පැවැසුවේය. එම ප්‍රකාශයත් සමගම මේජර් කරුණාරත්නගේ මුවින් පිටවුණේ සැනසුම් සුසුමකි. මේ කතාබහ අවසන් කර මේජර් කරුණාරත්න ආනන්ද හාමුදුරුවන් වෙත ගමන් කර උන්වහන්සේටද නැවතත් වැඳ නමස්කාර කොට පිරිවෙනින් පිටත් වීමට සූදානම් වූවේය. ඒත් සමගම ඔහු ළඟට පැමිණි විජයකුමාරතුංග ඉතාමත් කුළුපග ලීලාවෙන් මෙසේ අසා සිටියේය.
ඔෆිසර්, මම මේ කට්ටියත් එක්ක ගියොත් මට මොකද කරන්නෙ? යනුවෙනි. එම ප්‍රශ්නයත් සමගම මේජර් කරුණාරත්න තිගැස්සුණේය. ඒ ඔහු කිසිවිටක හෝ බලා‍පොරොත්තු නොවූ ප්‍රශ්නයකි. මදක් කල්පනා කළ මේජර් කරුණාරත්න සර් එහෙම වුණොත් මම මේ යුනිෆෝම් එක ගලවලා ගෙදර යනවා යැයි පිළිතුරු දුන්නේය. 
නෑ ඔෆිසර්, කවදාවත් ඒක වෙන්නේ නැහැ. මම මෙතැනින් එහාට යන්නේ නැහැයි මේජර්වරයා අස්වසමින් විජය කුමාරතුංගයන් පැවැසීය.
මේජර් කරුණාරත්න පසුව ‍‍‍ජ්‍යෙෂ්ඨ ‍පොලිස් අධිකාරී නලින් දෙල්ගොඩට මේ බව දන්වමින් ඉල්ලා සිටියේ මැදවච්චිය මාර්ග බාධකයද ලෑස්ති කර තබන ලෙසයි. ඒ විජය කුමාරතුංග ඇතුළු පිරිස ගමන් කළහොත් නැවැත්වීමේ අරමුනිණි.
එදින එසේ ගෙවී ගියද මේජර් කරුණාරත්නගේ හිතේ බර අවසන් වූයේ නැත. ඒ සිය එකඟතාව නොතකා විජය කුමාරතුංග ඇතුළු පිරිස අනුරාධපුරයෙන් ඉදිරියට ගමන් කළහොත් යන දෙගඩියාව නිසාය. මෙම පීඩන හමුවේ එදිනද රැය පහන් කිරීමට මේජර් කරුණාරත්නට සිදු වූයේ නිදි වර්ජිතවය. පසුදින පහන් විය. එදින එළිය වැටී  හෝරා කිහිපයක් ගතවෙද්දී ගෙනආ තොරතුර මේජර් කරුණාරත්නට දැනුණේ යුද්ධයක් හමාර වූවා වැනි සිතුවිල්ලකි. ඒ  ආරක්ෂක අමාත්‍යාංශයේ අවසරය ලබාගෙන විජය කුමාරතුංග ඇතුළු පිරිස එල්.ටී.ටී.ඊ. පාලන ප්‍රදේශ වෙත ගමන් කිරීමට සූදානම්ව සිටින බවයි. පසුව විජය කුමාරතුංග ඇතුළු පිරිස සාර්ථකව එම සංචාරය නිමාවට පත් කළේය.
මේජර් ජෙනරාල් සනත් කරුණාරත්න දැන් හමුදා සේවයෙන් ඉසිඹු ලබා ඇත්තේය. එදා මේජර්වරයකු වූ ඔහු විශ්‍රාම ලැබූයේ මේජර් ජෙනරාල්වරයකු හැටියටය. ඔහු අදින් වසර තිහකට එහා කාලයේ වූ සුන්දර මතකයන් මෙසේ අවදි කළේ පසුගියදා අප හමුවූ මොහොතේදීය. ඒ කතාබහ අවසානයේදී ඔහු  ඇත්තට විජය කුමාරතුංග වගේ සුන්දර මිනිස්සු අද දේශපාලනයේ නැහැ. ඔහු සියලු මහත්මා ගතිවලින් පිරිපුන් පුද්ගලයෙක්. ඔහු එදා මට වූ ‍පොරොන්දුව කඩ කළානම් මම මගේ නිල ඇඳුම ගලවලා ගෙදර යනවා. එහෙනම් අද මම මෙතැන නැහැ. විජය කුමාරතුංග මියගිය වෙලාවේ මට පුදුමාකාර දුකක් දැනුණා. ඒ එවැනි පුද්ගලයකු රටට අවශ්‍යම මොහොතක අහිමිවීම පිළිබඳවයි. 
 
ඡායා: නිමල්සිරි එදිරිසිංහ
 
ශිරෝමි රත්නායක

පැ‍පොල්, අඹ, කෙසෙල් වැනි පලතුරක් මිලදී ගැනීමේදී ඒවාට කාබයිට් ගසා ඇත්දැයි කියා හෝ විමසා බැලීමට පුරුදුව සිටින අප ඇපල්, මිදි මිලදී ගැනීමේදී දිගු දුර නොබලන්නේ ඒවා විදේශයන්ගෙන් ගෙන ඒම නිසාය. 
එහෙත් ඇපල්, මිදි, දොඩම් වැනි ආනයනික පලතුරු පිළිබඳ දැන් දැන් අසන්නට ලැබෙන්නේ එතරම් හොඳ පුවතක් නොවේ. එබැවින් මෙරටට ගෙන එන ඇපල්, මිදි වැනි පලතුරුවල ප්‍රමිතීන් පිළිබඳ එක් එක් ආයතනවලින් විමසා සිටින්නට අප තීරණය 
කළෙමු. ප්‍රථමයෙන්ම ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයෙන් මේ පිළිබඳව විමසා  සිටියෙමු. එහි වැඩ බලන අධ්‍යක්ෂ ජනරාල්, නයනා සතරසිංහ පැවැසුවේ පලතුරු ආනයනය සම්බන්ධව තම ආයතනය ක්‍රියා නොකරන බවයි. 
අපිට අයිති ආහාර වර්ග 123 අතර ආනයනික පලතුරු ඇතුළත් නැහැ. මේ පිළිබඳව ක්‍රියාත්මක වන්නේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ඇය පවසන ආකාරයට ආහාර හා වෙනත් ද්‍රව්‍ය පිළිබඳව ප්‍රමිතියක් ලබා දීමට සිටින ආයතනය වන ප්‍රමිති ආයතනයද ඒ සඳහා වග නොකියන බවක්් අපට හැඟෙයි. එසේ නම් ආනයනික පලතුරු පිළිබඳ වගකීම පැවැරෙන්නේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවටදැයි අප එයින් විමසීමක් කළෙමු. එහිදී අපට දැන ගන්නට ලැබුණේ කටුනායක පිහිටි ජාතික ශාක නිරෝධායන සේවය මේ පිළිබඳව වග කියන බවයි. අප එම ආයතන ඇමතූ විට එහි ප්‍රකාශිකාවකගෙන් තොරතුරු ලබා ගැනීමට හැකි විය. ඇය පැවැසුවේ තමන්ගේ නීති රෙගුලාසිවලට අනුකූලව පලතුරු ආනයනය සඳහා අවසර ලබා දෙන බවයි. එහිදී ජාතික ශාක නිරෝධායන සේවය විසින් ආනයනට පෙර කරුණු කීපයක් සලකා බලන බව ඈ පැවැසුවාය. ඒ අනුව ඉල්ලුම් කළ පලතුරු ආනයනකරු සතුව ප්‍රමාණවත් ශීතාගාර පහසුකම් පවතින්නේද යන්න ප්‍රථමයෙන්ම සොයා බැලීමක් කරන බව එහි ප්‍රකාශිකාව පැවැසුවාය. 
එම කරුණ හා අනෙක් අතිරේක කොන්දේසි සපුරා ඇත්නම් පලතුරු ආනයනයට අවසර ලබා දෙයි. 
අදාළ පලතුරු කන්ටේනරය වරායට පැමිණි පසු නියමිත උෂ්ණත්වයට අනුව ඒවා ප්‍රවාහනය කර ඇත්දැයි සොයා බැලීමක් ජාතික ශාක නිරෝධායන ආයතනය සිදු කරයි. එසේම පළිබෝධයන් සිටීදැයි නිරීක්ෂණය කර බලයි. අදාළ ලියකියවිලි හා සොයා බැලීම් නිවැරදි නම් පලතුරු කන්ටේනරය වරායෙන් නිදහස් කිරීමට අවසර ලබා දෙන බව එම ප්‍රකාශිකාව පැවැසීය. ඒ අනුව රෝග නිරෝධන කාර්යාලයේ වගකීම ඉන් නිම වන බව වටහාගත හැක. 
එසේ නිදහස් කරන පලතුරු ශරීරයට අහිතකර රසායනික ද්‍රව්‍ය ඇතුළත් දැයි පරීක්ෂාකිරීමේ වගකීම ඇත්තේ ආහාර බලධරයා වෙතයි. අප මේ පිළිබඳ ආහාර බලධරයා වන සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ජයසුන්දර බණ්ඩාරගෙන් ඒ පිළිබඳව විමසා සිටියෙමු. ඔහු පවසනුයේ අදාළ පලතුරු කන්ටේනර් සියල්ලම වරායේදී පරීක්ෂා නොකරන බවයි. 
අපි වරායේදී අහඹු ලෙස පරීක්ෂා කිරීම් සිදුකරනවා. නමුත් අපි විශේෂයෙන් සිදු කරන්නේ වෙළෙඳ‍පොළ තුළදී තමයි.එයත් අහඹු ලෙස ලබා ගෙන පරීක්ෂාවට ලක්කරනවා. එහිදී ශරීරයට අහිතකර ද්‍රව්‍ය ආනයනික පලතුරු තුළ ඇත්නම් අදාළ ආනයන තහනම් කිරීමට පියවර ගන්නවා. එසේම පැමිණිල්ලක් ලැබුණු විට පරීක්ෂාව අනිවාර්යයෙන්ම සිදු කරනවා. 
අප මේ පිළිබඳ ප්‍රධාන පලතුරු ආනයනකරුවකු වන සුනිල් ට්‍රේඩස්වලින් විමසීමක් කළෙමු. එහි මෙහෙයුම් කළමනාකරු වන විජිත් ගුණවර්ධන පැවැසුවේ මෙවැන්නකි. 
අපි පලතුරු ආනයනය සිදු කරන්නේ ජාතික ශාක නිරෝධායන ආයතනයේ සියලුම නීති රීතිවලට අනුකූලවයි. 
අදාළ පලතුරු ප්‍රවාහනයේදී ශීත ගබඩාවල පහසුකම් සහිත කන්ටේනර්වල තමයි ප්‍රවාහනය කරන්නේ. මෙරටට පැමිණීමේදී අදාළ පලතුරු යහපත් මට්ටමේ නොතිබුණොත් අපි ඒවා භාරගන්නේ නෑ. ඒ වාගේම වරායෙන් නිදහස් කළ පලතුරු අදාළ ශීත ගබඩා තුළ අපි ගබඩා කරනවා. අපි මෙම පලතුරු සඳහා කිසිම ආ‍ලේපයක් ගල්වන්නේ නැහැ. නමුත් අදාළ රටවල් වෙළෙඳ බෝග වගාවේදී ඒ සඳහා දමන ‍පොහොර රසායනික ද්‍රව්‍ය තමයි මේවට භාවිත කරන්නේ. ඕනෑම වෙළෙඳ බෝගයකට විවිධ රසායනික ද්‍රව්‍ය ඉසීම සිදුකරනවා. නමුත් අපි මෙරටදී කිසිම රසායනික ගැල්වීමක් සිදු කරන්නේ නැහැ. අපි තොග වෙළෙඳුන්. නමුත් අපෙන් මිලදී ගන්නා පිරිස මෙම පලතුරුවලට විවිධ ද්‍රව්‍ය ගැල්වීමක් සිදු කරනවාද යන්න අප දන්නේ නැහැ. ඒ අනුව අප කන ඇපල්, මිදිවල අවසාන වගකීම ඇත්තේ කා සතුවදැයි අපට ඇත්තේ බරපතළ ගැටලුවකි.
මෙහිදී විජිත් ගුණවර්ධන ප්‍රකාශ කළේ ඇපල් ගෙඩිය මත ස්ටිකරයක් අලවා ඇත්තේ එම ඇපල් වර්ග වර්ගීකරණය කිරීම සඳහා බවයි.
එහෙත් කායික රෝග විශේෂඥ වෛද්‍ය වරුණ ගුණතිලක පවසනුයේ ආනයනික පලතුරු ගැටලු රැසක් ඇති කරනා බවයි.
වෙළෙඳ ‍පොළේ ඕනෑම ආහාර ද්‍රව්‍යයක කල් ඉකුත්වීමේ දිනය තියෙනවා. ඒත් පිටරට පලතුරුවල ඒක නෑ. ඇත්තටම ඇපල් වගේ පලතුරුවල කල් ඉකුත් වීමේ දිනය පෙට්ටියේ ගහලා තියෙනවා. ඊට අමතරව කුඩා ස්ටිකර් එකක් මගින් ගෙඩියේත් ඒ දිනය ගහලා තියෙනවා. මේ ස්ටිකර් එක ලංකාවට එද්දී තියෙනවා. ඒත් කඩවලට යද්දී ඒක නෑ. මේක සංවිධානාත්මක ජාවාරමක්.
ඊට අමතරව ආනයනික පලතුරු සඳහා විවිධ රසායනික ද්‍රව්‍ය ආ‍ලේප කරන බවද විශේෂඥ වෛද්‍ය වරුණ ගුණතිලක පවසන්නේය.
කල්තියාගන්න මේ පලතුරුවලට රසායනික ද්‍රව්‍ය ගහනවා. නැවුම් බව සහ දීප්තිය රැක ගන්නත් මේ වගේ රසායන ද්‍රව්‍ය ගහනවා. ඇතැම්විට ඇපල්වල පුංචි ස්ටිකර් තියෙනවා. මේ ස්ටිකර් ඉවත් කළාම ඒවා තිබූ තැන එන්නත් කටුවක සලකුණු තියෙනවා.
මිදිවලත් පිටි වගේ දෙයක් තවරලා තියෙනවා. මේවා සියල්ලම රසායන ද්‍රව්‍ය. පසුගිය කා‍ලේ ජාතික රෝහ‍ලේ විෂ තොරතුරු ඒකකයට ආනයනික පලතුරු කාපු අය කිහිප දෙනෙක් ප්‍රතිකාර සඳහා ඇතුළත් වුණා.
ආනයනික පලතුරුවල රසගුණ නොමැති බවද විශේෂඥ වෛද්‍ය වරුණ ගුණතිලක පවසයි. ඊට හේතුව ඔහු දක්වනුයේ මෙසේය.
සාමාන්‍යයෙන් අපි කන්න කියන්නේ නැවුම් පලතුරු. මොකද ඒවායේ තමා විටමින් සී හා ප්‍රතිඔක්සිකාරක තියෙන්නේ. කල් ගතවීමේදී ඒවා ඉබේම විනාශ වෙනවා. රටින් ගේන ඇපල්, මිදි, දොඩම් කවදාවත් පාඩුපිට අපට ලැබෙන්නේ නෑ. ඒවා මාස ගණනක් ප්‍රවාහනයේ හා ගබඩාවල තියෙනවා. එබැවින් මේවා කෑම ඵල රහිත දෙයක්. වැදගත්ම දේ තමයි ලංකාවේ සුපිරි වෙළෙඳ සල්වල පවා කල් ඉකුත් වීමේ දිනය රහිත ඇපල් මිදි අලෙවි වීම. අපි දන්නා විදිහට සුපර් මාර්කට්වල කල් ඉකුත්වීම් දිනය නැතිව විකුණන එකම ආහාර ද්‍රව්‍ය තමයි ආනයනික පලතුරු. මේක ජනතා සෞඛ්‍යයට තදින් බලපාන දෙයක්. ඉක්මනින් මෙය  නිවැරදි නියාමනයකට ලක් විය යුතුයි.
පලතුරු ආනයනකරුවන් පළතුරු ගැන මොන රස කතා පැවැසුවද ඇපල් මත ආ‍ලේප කරනා වැක්ස් විශේෂ නිසා ඒවා ආහාරයට ගැනීම පිළිබඳ දෙවරක් සිතිය යුතු බව පෙනේ. මෙම වැක්ස් වර්ග සහ ඒවායේ ප්‍රමිතිය පිළිබඳ ආනයනකරුවන් තුළ පවා දැනුමක් නැති බව අපට මෙහිදී දැනගත හැකි විය. අවසන් වශයෙන් පාඨක ඔබ වෙත පැවැසිය යුතුව ඇත්තේ පලතුරක් සම්බන්ධව ගැටලුවක් ඇත්නම් ඒ පිළිබඳව පාරිභෝගික සේවා අධිකාරියට පැමිණිලි කිරීමේ හැකියාව පවතින බවයි. පාරිභෝගික සේවා අධිකාරියේ පාරිභෝගික කටයුතු හා තොරතුරු අංශයේ අධ්‍යක්ෂිකා චන්ද්‍රිකා තිලකරත්න පාරිභෝගික ඔබේ එකී අයිතිය පිළිබඳ මෙසේ පැවැසුවාය.
පලතුරු සම්බන්ධව විතරක් නොවේ ඕනෑම ආහාරයක් සම්බන්ධව අපට පැමිණිලි ඉදිරිපත් කළ හැකිය. එහිදී ඔබ සතුව බිලක් තිබිම අත්‍යවශ්‍යම නෑ. බිල්පතක් රහිතව වුවත් ඔබ මිලට ගත් ආහාර ද්‍රව්‍ය සතුටුදායක තත්ත්වයක නැති නම් ඔබට ඒ පිළිබඳ පැමිණිලි ඉදිරිපත් කිරීමේ හැකියාව පවතිනවා. එවැනි පැමිණිලි ගැන අප ක්‍රියා කරනවා.
එසේම එම පැමිණිලි පිළිබඳව විමර්ශනයේදී පාරිභෝගික අධිකාරිය ප්‍රථමයෙන් විමසා බලන්නේ කුමන කරුණුදැයි අපි විමසා සිටියෙමු.
සෑම ආහාරයක්ම ආනයනයේදී අපි විශේෂ කරුණක් පරීක්ෂා කරනවා. ඒ තමයි නිෂ්පාදිත දින සිට පරිභෝජනය සඳහා සියයට 60ක කාලයක් ඉදිරියට තිබිය යුතු වීම. මෙම තත්ත්වය පලතුරුවලටත් බලපානවා. නිෂ්පාදිත පලතුරු ඇසුරුම්වල සටහන් වෙලා තිබෙනවා. ඒ අනුව අපි එය තීරණය කරනවා.
පලතුරු ආනයන පිළිබඳ විවිධ පිරිස් මෙසේ විවිධ අදහස් පළකළහ. නමුත් මෙයට තවම හරිහමන් නීතියක් නොපවතින බව පැහැදිලිය. ශ්‍රී ලංකා ප්‍රමිති  ආයතනය විසින් ඇපල් සම්බන්ධව යම්කිසි ප්‍රමිතියක් සකසමින් සිටින බව පැවැසේ. එය යහපත් ආකාරයට සිදු වුවහොත් රටටම යහපතක් සිදු වේ.
 
ශිරෝමි රත්නායක

 

ප්‍රංශයේ ජේතවනාරාමාධිපති මුරුංගාගස්යොයේ ඤාණිස්සර නාහිමියන්ගේ වියදමින් රුපියල් ලක්ෂ 35ක් පමණ වැයකර මිද්දෙණිය රජයේ රෝහ‍ලේ ඉදිකරවූ වෛද්‍ය නිල නිවාසය පසුගිය 17දා විවෘත කෙරිණි. මීට පෙර ඤාණිස්සර නාහිමි පදනම මගින් රුපියල් කෝටි 3 1/2ක් වැය කර මිද්දෙණිය රෝහලට අංග සම්පූර්ණ වාට්ටු සංකීර්ණයක් ඉදිකර පරිත්‍යාග කෙරිණ. මෙම වෛද්‍ය නිල නිවස ප්‍රංශයේ ජේතවනාරාමාධිපතිව වැඩ සිටි සුගතෝ කිම් බන් නාහිමියන්ට පිං පිණිස ඉදි කෙරිණ. ඤාණිස්සර නාහිමියන්ගේ අධ්‍යාපන කටයුතුවලට උදව් කළ ඇත්ගාලමුල්ලේ ඩී.සී. රණවීර හා ප්‍රේමලතා ජීරසිංහ රණවීර යුවළට පිං පිණිස ඤාණිස්සර නාහිමි පදනම මගින් මිද්දෙනිය රෝහ‍ලේ සියලු රෝගීන්ට මූල්‍ය ආධාර හා ද්‍රව්‍යමය ආධාර පරිත්‍යාග කෙරිණ.

මුරුංගාගස්යායේ ඤාණිස්සර නාහිමියන්ගේ ඇරයුමෙන් මහාචාර්ය ඉත්තදෙමළියේ ඉන්දසර නාහිමියන් විසින් වෛද්‍ය නිල නිවසේ සිහිවටන ඵලකය නිරාවරණය කෙරිණ. කොළඹ ආනන්ද විදුහ‍ලේ හිටපු ආචාර්ය වේපතඉර හේමාලෝක, නිට්ටඹුව ජාතික අධ්‍යාපන විද්‍යා පීඨයේ පීඨාධිපතී කොටගම වාචිස්සර, නිට්ටඹුව විද්‍යා පීඨයේ හිටපු කථිකාචාර්ය වීරපාන ජිනරතන, ඉතාලියේ ප්‍රධාන සංඝනායක, වගේගොඩ සීලානන්ද, ඤාණිස්සර නාහිමි පදනමේ ‍ලේකම කිරින්දේ පේමසිරි, සහකාර පිරිවෙන් අධ්‍යාපන අධ්‍යක්ෂ විතාරන්දෙණියේ මේධානන්ද, විතාරන්දෙණිය විහාරාධිපති කිරින්දේ ඤාණසිරි, බැදිගම සුදර්ශනාරාමාවාසී කම්බුස්වල ගුණරතන, කදුරු‍පොකුණ ජයසුන්දරාමාධිපති විතාරන්දෙණියේ ඤාණරතන, ගාලු දිසාවේ සංඝනායක සරභඤ්ඤ විශාරද මාපලගම බුද්ධසිරි, සරභඤ්ඤ විශාරද පුහුල්වැල්‍ලේ ධම්මාරාම, සරභඤ්ඤ විශාරද බෝපිටියේ විජිත නාහිමි, අනුරාධපුර ගජබා ආශ්‍රාමාධිපති හකුරුවෙල චන්ද්‍රලෝක, ඕමාරේ පරිවේණාධිපති ගලහිටියේ සෝරත, මල්හේවාඅයිනේ මුණසිංහාරාමාධිපති ගජනායකගම සෝමරතන යන හිමිවරු ඇතුළු සඟරුවන සහ එක්සත් ජාතීන්ගේ මණ්ඩලයේ උපාලි රණවීර, ඇමෙරිකාවේ ගාමිණි රණවීර, මිද්දෙණිය ප්‍රධාන වෛද්‍ය නිලධාරී ජානකි ජයලත් විද්‍යාපතිරණ, ඩබ්ලිව්.එස්. ගුණතිලක, ඉංජිනේරු ප්‍රේමකුමාර, නාවික හමුදාවේ විශ්‍රාමික ඉංජිනේරු නිලධාරී රණවීර වීරක්කොඩි යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වූහ. මෙම උත්සවයට කිසිදු දේශපාලන හෝ  වෙනත් විශේෂ ආරාධිතයකු නොමැතිව වෛද්‍ය නිල නිවස මහ සඟරුවන විසින්ම විවෘත කිරීම විශේෂත්වයක් විය..

අර්නොස්ටෝ චේ ගුවේරා කවුරුත් දන්නේ විප්ලවකාරයකු හැටියටය. 1971 ආණ්ඩු පෙරළන්නට කැරලි ගැසූ ලාංකික තරුණයන්ටද ගැමි ජනයා චේ ගුවේරා කාරයන් යැයි කීවේ එහෙයිනි. කෙසේ වෙතත් චේගේ විප්ලවීය අදහස් හැරුණු කොට ලෝකයම ඔහු හඳුනන ‍පොදු සලකුණු දෙකක් වෙයි. ඉන් එකක් වනුයේ ඇල්බර්ටෝ කෝදා විසින් ගන්නා ලද තරුවක් සහිත හිස් වැසුම පැලඳි චේගේ උඩුකය ඡායාරූප යයි. අනෙක සිය සගයකු වූ ඇල්බර්ටෝ ග්‍රැනඩෝ සමග නෝර්ටන් 500 වර්ගයේ යතුරු පැදියකින් ලතින් ඇමෙරිකාව හරහා කළ සංචාරයේ අත්දැකීම් අනුසාරයෙන් ඔහු ලියූ මෝටර් සයිකිලිස්ට් ඩයරි නම් කෘතියයි. යතුරුපැදිවලින් කරනා දීර්ඝ සංචාර ලතින් ඇමෙරිකානු කලාපයේ අදද ජනප්‍රියය. එහෙත් ලංකාවේ අපිට මොන මෝටර් සයිකල් සවාරි දැයි ඔබට සිතෙන්නට පුළුවන. නමුත් අපේ මේ සූදානම එවැනි දීර්ඝ සංචාරවල යෙදෙන අපූරු ලාංකික තරුණයන් පිරිසක් ඔබට හඳුන්වා දීමටය.
මේ තරුණයෝ සියලු දෙනා භද්‍ර යෞවනයේ පසුවන්නෝය. ඔවුහු කොළඹ සහ අවට ප්‍රදේශවල පදිංචිකරුවෝය. කෝඩුකාරයෝ නමින් සන්ධාන ගත වූ මොවුන්ගේ කණ්ඩායම සගයන් අට දෙනෙකි. මේ අට දෙනාටම ‍පොදු සලකුණක් ඇත. ඒ ඔවුහු සියලු දෙනාම සාඩම්බර ස්කූටර් හිමිකරුවෝ වීමය.
වර්තමානයේ යතුරුපැදිය තරම් ජනප්‍රිය නොවුණද අතීතයේ ස්කූටරයට මෝටර් රථයක් පමණක් දෙවෙනි වන අගයක් හිමිව තිබුණි. එය එකල කොතරම් ජනප්‍රියද යත් සිළුමිණ පුවත්පතේ පළ වූ මංගල යෝජනාවල පවා මනාලයන්ගේ සුදුසුකම් අතරට ස්කූටරයක් හිමි වැනි වදන් එක්ව තිබිමෙන් වටහාගත හැක. එහෙත් කෝඩුකාරයන් ස්කූටර්වලට පෙම් බඳිනුයේ මනමාල සුදුසුකම් වැඩිකරගැනීමට නොව (ඔවුහු කොහොමටත් මනමාලයෝය). මේ හුටු හුටු බයිසික‍ලේට තිබූ අපූරු ඇල්ම නිසාමය. 
කෝඩුකාරයෝ ස්කූටර් සමාජයට මේ නොවැම්බර් මාසයට වයස අවුරුද්දකි. මීට වසරකට පෙර ඔවුන් සන්ධාන ගත වනුයේ තමුන්ට වැලඳී තිබූ රථගාය සංසිඳවා ගැනීමට නොව යම් සමාජ සද්කාරයක යෙදීමට තිබූ ඕනෑකමද නිසාය. ඒ පිළිබඳ කෝඩුකාරයෙකු වන චරිත් ගුණසේකර පවසනුයේ මෙසේය.
අපි ඔක්කොම ස්කූටර් ප්‍රේමියෝ. ඊට අමතරව අපිට ඕනෑ වුණා සමාජයට වැඩක් කරන්න. ඒ නිසා අපි දුප්පත් ඉස්කෝලයක් තෝරාගෙන අවුරුද්දකට පාරක් ඒ ඉස්කෝලෙට තෑගි අරන් යනවා. කෝඩුකාරයෝ ලබන මාසයේත් එවැනි දේකට මොනරාගල යන්න හිතන් ඉන්නවා.කෝඩුකාරයෝ අට දෙනාගේ සන්ධාන ගතවීමද අපූරු කතාවකි. ඒ                                 පිළිබඳ අපට අදහස් දැක්වූ හසල ජයරත්න මෙසේ පැවැසීය. අපි ඔක්කොම ස්කූටර් හිමියෝ. ඒත් දැන් මේවා හදන්න බාස්ලා හිඟයි. අලුත් බාස්ලා කේබලයක්වත් දාන්න දන්නේ නෑ. ඉතින් අපි ඔක්කොම ස්කූටර් හදන්නට යන්නේ පිළියන්දල එල්.ආර්.එස්. හොස්පිට්ල් එකට. එතන අයිතිකරු සුරංග අයියා ඇවිල්ලා ස්කූටර්වලට දෙයියෙක්. ලංකාවේ ගොඩාක් අය ස්කූටර් හදන්න එන්නේ සුරංග අයියා ළඟට.
සුරංග අයියා ළඟට ස්කූටර් ඇඩ්මිට් කරනා මේ කොලු නඩේ වැඩේ ඉවර වෙන තුරු අල්ලාප සල්ලාපයේ යෙදෙති. කෝඩුකාරයෝගේ සමාජයට මුල්ගල තැබෙනුයේ එවන් සාකච්ඡාවකදීයි.
අපි එකතුවෙලා ක්ලබ් එකක් හදන්න මුල්වුණේ අරුණ. එයා තමයි කිව්වේ මෙහෙම ක්ලබ් එකක් හදමු කියලා. එදා ඒ වැඩේට චරිත්, හසල, විමුක්ති, අරුණ, තාරුක, සම්පත්, සිතුම් සහ සුරංග එකතු වුණා.
මේ ස්කූටර් ප්‍රේමියෝ මේ වන විට රට හතර අත සිය හුටු හුටු බයිසිකල්වල නැගී ගොස් ඇත. එවන් ගමන් පිළිබඳ මතකයද අපූරුය.
මෙවැනි සංචාරවලදී ඕනෑ කරන අඩුවැඩිය සියල්ල ‍පොදි බැඳගෙන සිය ස්කූටර්වල පටවාගෙන යෑම ඔවුන්ගේ සිරිතය. ඔවුහු කෑම උයන්නට ඕනෑ කරන අඩුවැඩියද, ගෑස් ළිප්, හට්ටි, මුට්ටි, හිරමණ, ආදී ද්‍රව්‍යද එක එක ප්‍රමාණයට ‍පොදි බැඳගන්නා ඔවුහු ඒවා ස්කූටර්වල ගැටගසා ගනිති. ඉන් නොනැවති රැය පහන් කිරීමට අවශ්‍ය කූඩාරම්ද ස්කූටර්වලට පටවා ගනිති. ගමන පිටත් වනුයේ ඉන් අනතුරුවය. ඊට අමතරව හදිසියේ ඇතිවන කාර්මික දෝෂයකට ඕනෑ කරන අමතර කොටස්ද, අඬු, මිටි, යතුරු වැනි ආයුධද කෝඩුකාරයෝ රැගෙන යති.
මෙවන් ගමන්වලදී, ලැබෙන අත්දැකීම් අපූරුය. මේ මෑතකදී කෝඩුකාරයෝ ත්‍රිකුණාමලය බලා ගමන් ඇරඹුවෝය. කුරුණෑගල, හබරණ හරහා ත්‍රිකුණාමලය බලා ගිය ගමනේදී මේ පිරිස වන අලීන්ට හසු නොවී බේරුණේ අනූනමයෙනි. ඒ සිදුවීම චරිත් සිහිකරනුයේ මෙසේය. එදා හසට ටිකක් අපල දවසක්. එයාගේ ස්කූටරයේ පැච් එකක් ගියා. අපි අමතර රෝදය දමාගෙන ගියා. අවාසනාවට ඒකෙත් හුළං ගිහින් ඉස්සර වෙලා ගිය කණ්ඩායමේ මායි විමුක්තියි තව දෙන්නෙකුයි හිටියා. අපි දන්නේ නෑ හසලගේ ස්කූටර් එකේ තවත් පැච් එකක් ගිහින් කියලා. මේ අය පරක්කු නිසා අපිත් මග නතර වුණා.
ඔවුන් මෙලෙස නතරව ඇත්තේ හබරණට නොදුරුවය. ඒ වන විට වේලාව රාත්‍රී 7.30ට ආසන්නය. හාත්පස ඝන කැලෑවය. සඳ බැබලෙන රෑ පානේ තම සගයා පැමිණෙන තුරු කල්මැරිය යුතුය. චරිත් සිය හුටු හුටුවේ තිබූ පන් පැදුර ගෙන බිම එලා ගත්තේය. විමුක්තිද සැණින් පන් පැදුරේ ඇලට් එකක් දමා ගත්තේය. හද්දා කරුව‍ලේ පාළු මාවතක පැදුරක ඉදගෙන සිටිනා මිතුරන්ට අමරදේවගේ ගීතයක් සිහිවිය. චරිත් ගැයුම ඇරඹුවේය. පි‍ලේ පැදුර හේනට අරගෙන යනවා.. එලා පැදුර මැස්සේ එහිම සැතපෙනවා.. විමුක්ති  හෙල්මට් එකට ගසමින් තාල ඇල්ලුවේය. ඒත් වැඩි වේලා ගී කියන්නට ඔවුනට ලැබුණේ නැත. ඒ එතනට ආ ‍පොලිස් ජීප් රියක් නිසාය. චරිත්ලා ළඟට කර ජීප් රථය නතර කළ ‍පොලිස් නිලධාරීහු ගෝරනාඩු කරන්නට විය.
තමුසෙලා බිලද..? පිස්සු හැදිලාද..? මෙතනින් අලි මාරු වෙන බව දන්නේ නැද්ද.. පැදුරු දාගෙන අලිමංකඩක බුඳියගෙන ඉන්නේ. යනවා යන්න ඉක්මනට. මේ හරියේ බස්වලටත් අලි ගහනවා. මේ මල ඉලව් ස්කූටර් අලියට බිත්තර කටු වගේ...
කෝඩුකාරයන්ට දෙලෝ රත් විය. ඔවුහු සැණින් ස්කූටර්වලට පැන ගත්තෝය.  පැදුරද කිහිලි ගන්වාගත් චරිත් අවසානයට ස්කූටරය පණ ගන්වා ගන්නා විටත් විමුක්ති ඇතුළු සගයෝ පවනට බඳු වේගයෙන් පලා යමින් සිටියහ. අවසානයේ ඔවුහු හසලගේ ස්කූටරය කැඩී තිබූ තැනට පැමිණියහ. සියලු දෙනා එකතුව ස්කූටර් රෝදය ගලවා පැච් එක දමන්නට විය. ස්කූටර්වලට පැච් දැමීම පන යන වැඩකි. ඒ රෝදය ගැලවීම රිම් එක දෙපළු කළ යුතු නිසාය.
කෙසේ හෝ ටයරය පිළිසකර කරගත් කෝඩුකාරයෝ පවනට බඳු වේගයෙන් ත්‍රිකුණාමලය බලා ගියහ.
ත්‍රිකුණාමලයට නොදුරුව කූඩාරම් අටවාගත් ඔවුන් එදා රාත්‍රී ආහාරයට ගත්තේ ‍පොල් රොටී හා ලුණුමිරිස්ය. කණ්ඩායමේ හොඳම කෝකියෝ දෙදෙනෙක්ම වෙති. ඒ සම්පත් හා තරුකය. සම්පත් බාබක්‍යු ක්‍රමයට මස් සකසන්නට රුසියෙකි. මෙවැනි සංචාරවලදී නූඩ්ල්ස්, රොටී, බාබකි්‍යු කළ මස් වැනි කෑම නිතර සාදන්නට සම්පත් හා තරුක කටයුතු කරති.
වරක් කෝඩුකාරයෝ බෙලිහුල් ඔය හරහා නුවරඑළිය ගොස් ලෝකාන්තයටද ගියෝය. ඒ ගමනේද විමුක්තිගේ හුටුහුටුව හොඳටම ලෙඩ දුන්නේය. ඒ කඳු ඇද ගැනීමට නොහැකිවය. සගයෝ මාරුවෙන් මාරුවට විමුක්තිගේ හුටුහුටුව තල්ලු කරමින් සහය දුන්නෝය. අවසන සීතල ලෝකාන්තයට යනවිට ඔවුහු දහඩියෙන් තෙත්ව සිටියෝය.
කෝඩුකාරයන්ගේ ස්කූටර ඉතා අලංකාර ලෙස වර්ණ ගන්වා ඇත. ඒවායේ විවිධ වූ ස්ටිකර් අලවා හැඩ ගන්වා ඇත. ඔවුනගේ ඇඳුම් පැලඳුම්ද අමුතුය. බොහෝ දෙනෙකු ගමන් කරන විට සරොම් කමිස අඳිති. තවත් අය කොට කලිසම් ටී ෂර්ට් අඳිති. හෙල්මට්වල පවා කුරුලු පිහාටු, රිබන් පටි අලවා හැඩ කරගනිති. මේ ලක්ෂණ නිසා යනෙනා සෑම දෙනාට කෝඩුකාරයන්ට මහජන ආකර්ෂණය නොඅඩුව ලැබෙන බව විමුක්ති පවසන්නේය. මෙවැනි විච්චූරණ පිළිබඳ අලුත් අදහස් අතරමග හමුවන අයද පලබා දෙන බව ඔවුන් පවසන්නේය.
කෝඩුකාරයෝ රැකියා පිණිස යන්නේද ගෙදර දොර වැඩකටයුතුවලට යන්නේද ස්කූටර්වලිනි. වෙනකක් තබා සිය පෙම්වතියන් බලන්නට යන්නේද ස්කූටර්වලිනි. හදිසියේ ළඟකට යන ගමනකදී කිරිල්ලියන්ද තම තමන්ගේ අජානේය ස්කූටර්වල පටවාගෙන යන්නට ඔවුහු අමතක නොකරති. එහෙත් දින ගණන් යන දිගු සංචාර  පෙම්වතියන්ට සපුරා තහනම්ය.
කෝඩුකාරයන්ගේ ප්‍රේමවන්තියෝ තම තමන්ගේ ප්‍රේම කුරුල්ලන්ගේ ඕනෑ එපාකම් හොඳින් හඳුනන නිසා ගැටලුවක් ඇතිවන්නේ නැත. දැන් කෝඩුකාරයන්ගේ පෙම්වතියෝද වෙන වෙනමම සන්ධාන ගතව සිටින බව පවසනුයේ සම්පත්ය.
එදා ච්ෙ ලතින් ඇමෙරිකාව හරහා ගිය නෝර්ටන් වර්ගයේ යතුරුපැදිය නම් කළේ ''ලා පෙඩ රෝසා ලෙසිනි. එහෙත් ලංකාවේ කෝඩුකාරයෝ  ලක්බිම හරහා පැද යන්නේ ඉතාලියෙන් ආ වෙස්පා සහ ඉන්දියාවෙන් ආ බජාජ් චෙටැක් ස්කූටරය ඒවා සියල්ල දෙපහරේ එන්ජින් සහිත ඒවාය. එපමණක් නොව මේ සියලු ස්කූටර් අදින් කාලෙකට පෙර ලියාපදිංචි කළ ශ්‍රී අංක සහිත ඒවාය.
 
අරුණ ලක්ෂ්මන් ප්‍රනාන්දු

ඔබ පිරිමියෙක් වුවත් කාන්තාවක් වුවත් ඉන් කම් නැත. වහාම ඔබගේ ඉණේ වට ප්‍රමාණය මැන බලන්න. පිරිමියෙකු නම් ඉණේ් වට ප්‍රමාණය අඟල් 40කට වැඩි නම් හා කාන්තාවක් නම් අඟල් 35කට වැඩි නම් වඩාත් කල්පනාකාරී විය යුතුය. මන්ද අනාගතයේ කෙදිනක හෝ ඔබ ආඝාත රෝගියෙකු බවට පත් වීමේ බරපතළ අවදානමක ලක්ෂණ ඔබේ ඉණේ් මිම්මේ සැඟව ඇත.
එම ලක්ෂණය පමණක් නොව ඔබ අධිරුධිර පීඩනයෙන් පෙලෙන පුද්ගලයෙක් නම් එයද ආඝාත රෝගියෙකු බවට පත් වීමේ බරපතළ අවදානම් සාධකයකි.
දැනටමත් ඔබ එවැනි රෝග ලක්ෂණ සහිතව දිවිගෙවන්නේ නම් ඒ පිළිබඳ මනා අවධානයෙන් පසු වීම හා වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමුව එය පාලනය කර  ගැනීම වඩාත් වැදගත්ය. එම රෝග ලක්ෂණයන් දැනගත් පසුව ඒ සඳහා අවශ්‍ය ප්‍රතිකාර වෙත ඔබට යොමු විය හැකිය. ඒ සඳහා ඔබට කාලයක් ඇත.
එහෙත් හිටි හැටියේම ඔබ සිනහ වෙන විට කට ඇද වේ නම්, අත ඔසවන විට අත පණ නැති වේ නම් කතා කරන විට වචන පැට‍ලේ නම් වහාම ක්‍රියාත්මක විය යුතුය.
එවැනි රෝග ලක්ෂණයන් මතු වන්නේ රෝගය වැලඳීමේ අවදානම් සාධකයන් ලෙස නොව, ආඝාත රෝගය වැලඳුනු පසුවය. මෙවැනි රෝග ලක්ෂණයක් ඔබට හෝ ඔබ දන්නා කෙනෙකුගෙන් දුටුව හොත් ඒ පිළිබඳව වහාම ක්‍රියාත්මක විය යුතුය. රෝගියාව වහාම ළඟම තිබෙන ප්‍රධාන මහ රෝහලක් වෙත (ආඝාත රෝගීන් සඳහා ප්‍රතිකාර ලබා දෙන) ගෙන යාමට පසුබට නොවිය යුතුය.
එහෙත්  යම් පුද්ගලයෙකුගේ කට ඇද වුවද එම පුද්ගලයාට වේදනාවක් නොදැනෙන බැවින් වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු වීම ප්‍රමාද කිරීම අපට නිතරම දක්නට ලැබෙන කරුණකි. මෙම තත්ත්වය හේතුවෙන් මාස තුනක් තුළ ආඝාතය වැලඳුනු රෝගීන්ගෙන් සියයට 25ක් දෙනා මරණයට පත්වෙනු ඇත.
ඔබට ආඝාත රෝගය වැලඳෙන්නේ මොළයට රුධිර සපයන නාලයක් තුළ රුධිර කැටියක් හිරවීමෙන් හෝ රුධිර නාලයක් පුපුරා යාමෙන් මොළයේ යම් කොටසකට  අවශ්‍ය රුධිරය නොලැබිමෙණි. එවන් අවාසනාවන්ත තත්ත්වයන් සිදු වී මොළයේ ෙසෙල මිය යෑම සඳහා ගත වන්නේ විනාඩි 4ක් වැනි සුළු කාලයකි.
මෙම රෝග ලක්ෂණ මතු වූ වහාම රෝහලක් වෙත රෝගියා ගෙන ඒමට හැකි නම් ඔහුගේ රුධිර නාලයේ හිර වී තිබෙන රුධිර කැටිය දිය කර හැරීමට අවශ්‍ය ඖෂධය ලබා දිය හැකිය. එමගින් මොළයේ හානි සිදු වූ ෙසෙල කොටස අවට පිහිටි වලා පටලය බේරා ගත හැකිය. එහෙත් රෝගියා රෝහල වෙත පැමිණීම පැය 6ක පමණ කාලයක් ගත වන්නේ නම් එවිට මොළයේ වලා පටලයේ විශාල කොටසක්  හානි වේ.  
තවද රෝගියාගේ රෝග ලක්ෂණයන් පහළ වූ වේලාව නිවැරදිව දන්නේ නම් පමණක් රුධිර කැටිය දිය කළ හැකි ඖෂධය ලබා දිය හැකිය. එහෙත් රෝගියාගේ රෝග ලක්ෂණ පහළ වූ වේලාව නොදන්නේ නම් එම එන්නත ලබා දිය නොහැකිය. එනම් නින්දෙන් ආඝාත රෝගියෙකු වූ පුද්ගලයන්ට එම එන්නත ලබා නොදේ. එයට හේතුව වන්නේ රුධිර වහනයන් සිදු විය හැකි බැවිනි.
කෙසේ නමුත් රෝග ලක්ෂණ පහළ වූ රෝගීන් රෝහල වෙත රැගෙන එන විට කැඳ හෝ වෙනත් පානයක් බිමට දී රැගෙන එන අවස්ථාවන්ද දක්නට ලැබේ. එය කිසි විටෙකත් නොකළ යුතු දෙයකි. මන්ද ඇතැම් විටක රෝගීන් පවසන්නේ පානය කළ දේ ටිකක් වමනයට ගිය බවය. මෙයින් අදහස් වන්නේ පානය කළ දේ පෙනහැල්ල වෙත ගමන් කර ඇති බවකි. මෙවිට පෙනහැල්‍ලේ ප්‍රදාහයක් ඇති වී මොළයට ඔක්සිජන් සැපයුම අඩාල වනු ඇත. 
මෙවැනි රෝගියෙකු රෝහලක් වෙත රැගෙන ඒමේදී ඔහුගේ රුධිර පීඩනය ඉහළ යනු ඇත. එය ස්වභාවයෙන්ම සිදු කරනුයේ    මොළයට රුධිරය ‍පොම්ප කරවීමට අවශ්‍ය පීඩනය ලබා දීම සඳහාය. එම නිසා මෙවැනි රෝගීන්ගේ රුධිර පීඩනය එකවරම පහළ දැමීම වෛද්‍යවරුන් විසින් නොකරනු ඇත.
එසේම රෝගියා සීටී ස්කෑන් පරික්ෂණයකට ලක් කිරීම මෙහිදී වැදගත් වන්නේ ඔහුගේ මොළයට රුධිර සැපයීම අඩාලව ඇත්තේ රුධිර නාලයක රුධිර කැටියක් හිරවීමෙන්ද රුධිර නාල පුපුරා යාමෙන්ද යන වග සොයා බැලීම සඳහාය.
රෝගියා රෝගල වෙත පැමිණෙන විට උණ වැලදී ඇත්නම්, පෙෂර් එක අඩුව පවතී නම්, මොළයට ඔක්සිජන් සැපයුම අඩාල නම් , රුධිරයේ සීනි මට්ටම අඩු හෝ වැඩි වී ඇත් නම් මොළයට සිදුවන හානිය විශාල වන්නේය.
ඔබ ලුණු අධික කෙටි හෝ ක්ෂණික ආහාර වලට පුරුදු වී ඇත්තෙක් නම් , ව්‍යායාම නොකර සිටින්නෙක් නම්, රුධිර පීඩනයෙන් හා දියවැඩියාවෙන් පෙලෙන්නෙක් නම්, දුම්පානයෙන් හා මත්පැන් පානය කරන්නෙක් නම් තරබාරු නම් හා රුධිරයේ කොලෙස්ටේ‍රාල් ප්‍රමාණය අධික නම් වඩාත් සැලකිලිමත් විය යුතුය. මන්ද අනාගතයේදී ආඝාත රෝගය ඔබ කරා ළඟා වීමේ බරපතළ අවදානම් සාධකයන් මෙය වන බැවිනි.
 
ස්නායු රෝග විශේෂඥ වෛද්‍ය එම්.ටී.එම්. රිෆ්සි
 
ශ්‍රියානි විජේසිංහ

සිංහල අලුත් අවුරුද්ද ළං වන විට කෙසෙල් කැනක් ගැමි ගෙදර ගෙයි මුල්‍ලේ හිනැහිය යුතුය. හොඳින් පැහුණු කෙසෙල් කැනක් “අවුරුද්දට ගන්න” වෙන්කර තබා ගැනීම අතීත ගැමියාගේ සිරිතය. අපි පුංචි කාලයේ කෙසෙල් කැනක් ඉදවාගන්නට 
“දුම් පෑ” අන්දම අපට තවමත් මතකය. ඒ අවස්ථාවේ වළ ඉහළ මුදුන් කළ පස් ගොඩ වටා යමින් දුම් පිටවන තැන් වැසීම පැවරී තිබුණේ පුංචි අපටය. 
ඒ අද කෙසෙල් ඉදවන්නට කියා වරු ගණන් දුම් ගැසීමට කවුරුත් මහන්සි නොවන නිසාය. අද කෙසෙල් ඉදවන්නේ “කාබයිට්” ගසාය. එහෙත් කාබයිට් ගසන අන්දම අප කවුරුත් දැක නැත. රසායනික නාමයෙන් “කාබයිඩ්” ලෙස හඳුන්වන මෙම රසායනිකය ගැසූ පලතුරු හඳුනාගන්නටද ක්‍රමයක් නැත. 
නමුත් පලතුරු ඉදවීම සඳහා කාබයිට් භාවිත කිරීමට බොහෝ පලතුරු වෙළෙන්දෝ පෙළඹී සිටිති. බොහෝ විට පලතුරු වෙළෙඳුන්ටත් වැඩියෙන් මෙම උපක්‍රමය භාවිත කරන්නේ පලතුරු බෙදා හරින අතරමැදියෝය. ඔවූහු පලතුරු වතුවලටම ගොස් එම වතුයායේම පලතුරු සියල්ලම එකවර මිලදී ගනිති. පැ‍පොල්,, අඹ වැනි පලතුරු මිලදී ගැනීමේදී ඉඳුණු පැහැණු ළපටි භේදයක් ඔවුන්ට නොමැත. පලතුරු බෙදා හරින්නේ වතු හිමියාගෙන් පලතුරු ගස් පිටින් මිලදී ගනිති. පසුව ඔවූහු එම ගසෙහි ඇති සියලුම ඵලදාව නෙළා ගැනීමට කටයුතු කරති.
කූඨ උපක්‍රම ඇරඹෙන්නේ ඉන් පසුවය. පලතුරු වත්තේ සිට වෙළෙඳ‍පොළට පැමිණෙන විට ළපටි, මේරූ, නොමේරූ භේදයකින් තොරව එම පලතුරු සියල්ලම ඉඳුණු ඒවා බවට පත් වෙයි. නොඉදුණු ළපටි පළතුරු හොයාගන්නටවත් නැති තරම්ය.
මෙම ක්‍රියාදාමයන්ට සම්බන්ධ එක්තරා පුද්ගලයකු අප හා පැවසුවේ නෙළාගත් පලතුරු ප්‍රවාහනය කිරීමට ලොරි රථවල ගබඩා කළපසුව කාබයිට් වැනි ද්‍රව්‍ය ඉසීමට පෙළඹවෙන බවයි. ඔහු පැ‍පොල් වැනි පලතුරු මිලදී ගන්නා විට හැකි හැම විටම විශාලත්වයෙන් වැඩි ගෙඩි මිලදී ගන්නා ලෙස ඔහු වැඩදුරටත් පැවසීය. 
පැ‍පොල් ඉදවීමට ඇතැම් වතු හිමියෝ තවත් අපූරු උපක්‍රමයක් භාවිත කරති. ඒ පැ‍පොල් වැනි පලතුරු ගසෙහි තිබියදීම ඉදවන අපූරු ක්‍රමයකි. එහිදී සිදු කරන්නේ පැ‍පොල් ගෙඩියෙහි තැනින් තැන ඉදී ඇති බව පෙන්වීම සඳහා ඇඟිලි පහ කාබයිට් දියරවලට ඔබා එය පැ‍පොල් ගෙඩියෙහි ස්පර්ශ කිරීමයි. බොහෝ විට කාබයිට් ගැසූ විට මුළු ගෙඩියම එකවර ඉදෙන බව අපි අසා ඇත්තෙමු. නමුත් මෙම ක්‍රමය තුළින් සිදු වන්නේ පැ‍පොල් ගෙඩියෙහි තැනින් තැන ඉදීමයි. කාබයිට් පිළිබඳ වද වෙන පාරිභෝගිකයෝ ඇතැම් විට මෙසේ තැනින් තැන ඉඳුණු පැ‍පොල් වැනි පලතුරු රැගෙන යන්නේ “අනේ කාබයිට් ගහලා නැහැ” යනුවෙන් සිතමිනි. නමුත් කවුරුත් නොදන්නා කටුක සත්‍යය නම් එවැනි ගෙඩිවලටත් ගසෙහි තිබියදීම කාබයිට් ගසා ඇති බවය.
කෙසෙල්, පැ‍පොල්, අඹ, අන්නාසි, ඇපල්, මිදි, පේර, වෙරළු, නෙල්ලි වැනි පලතුරු ගත් විට වැඩිම කාබයිට් සංග්‍රහයකට ලක් වන්න් පැ‍පොල්, අඹ කෙසෙල් වැනි පලතුරුය. අඹ, පැ‍පොල්, කෙසෙල්වලට සාපේක්ෂව අන්නාසි සඳහා කාබයිට් යොදනුයේ අඩුවෙනි.
මේ සම්බන්ධයෙන් ගන්නෝරුව කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ආහාර පරීක්ෂණ අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ එච්.ආර්.පී. ප්‍රනාන්දු පවසනුයේ අස්වනු නෙළාගැනීමෙන් පසුව කෙසෙල්, අඹ, පැ‍පොල් වැනි පලතුරු ඉක්මනින් ඉදවීම සඳහා කාබයිට් ගැසීම සිදු වන බවත් එසේම ඇපල්, අන්නාසි වැනි පලතුරු අස්වනු නෙළීමෙන් පසු විශාල ඉදීමක් සිදු නොවන බැවින් ඒවාට කාබයිට් එක් කිරීම සාර්ථක ෙනාවන බවත්ය.
පේර සඳහා කාබයිට් ගැසීමකට වඩා සිදු වන්නේ කෘෂි රසායනික ද්‍රව්‍ය ඉසීමය. පේරවලට පණුවන් ගැසීම වැළැක්වීමට පේර ගස් වටද කෘෂි රසායනික ද්‍රව්‍ය ඉසීම සිදු කරන බව කෘෂිකර්මාන්තයට සම්බන්ධ එක්තරා නිලධාරියකු පැවැසීය. එසේම පේර ගෙඩියට සෘජුව කෘමිනාශක ඉසීමද සිදු වන බව ඔහු පැවැසීය. පසුගිය දිනක පියා මේ අන්දමින් පේර  ගසට කෘමිනාශක එක්කළ බව නොදැන පේර ගෙඩියක් අනුභව කළ දැරියක ජීවිතයෙන් වන්දි ගෙව්වාය. 
ඇපල්, මිදි වැනි පලතුරු ලංකාවේ නිෂ්පාදනය ඉතා අල්පය. නැව් පිරෙන්නට මේවා ආනයනය කෙරෙයි. ඒ සඳහා ගතවන කාලය මාස ගණනකි. මේ කාලය තුළ ඇපල්, මිදි වැනි පලතුරු ජීව ගුණයක් පවත්වා ගැනීමට ඒවාට දිලීර නාශක ගල්වන බව අනාවරණය වෙයි.
මෙසේ වස විස නොමැතිව ආහාරයට ගැනීමට හැකියාව ඇත්තේ නෙල්ලි, වෙරළු වැනි පලතුරු බව මහජන සෞඛ්‍ය පරීක්ෂකයන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ අවධාරණය කරන්නේ එබැවිනි.
මේ අන්දමින් වසවිස එක්කළ දේ කෑමට බියෙන් පසුවන මධ්‍යම පාන්තික පාරිභෝගිකයන් අරමුණු කරගෙන දැන් දැන් කාබනික යැයි කියන පලතුරු සුපිරි වෙළෙඳ සල්වල දක්නට ලැබේ. එහෙත් මෙම කාබනික යැයි සඳහන් පැ‍පොල් ගෙඩියක මිල අනෙක් පැ‍පොල් ගෙඩියක මිලට වඩා ඉහළ අගයක් ගනී. නමුත් මේවා කාබනික දැයි අපට බැලූ බැල්මට තහවුරු කර ගැනීමට නොහැකිය. රස බලාද අනුමාන කළ නොහැක. ඒ සඳහා අප යොමු විය යුත්තේ විද්‍යාගාර පරීක්ෂණයන් වෙතයි. යමෙකුට මෙය අභියෝගයකට ලක් කළ හැකිද? එසේම නීතිමය පියවර ගත හැකිද? යන්න පිළිබඳව අප මහජන සෞඛ්‍ය 
පරීක්ෂකයන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණගෙන් විමසීමක් කළෙමු. 
“පලතුරු වර්ග කාබයිට් යොදවලා ඉදෙව්වාද යන්න අපට පරීක්ෂාකර වාර්තාවක් ලබා ගැනීමේ හැකියාවක් නෑ. අප ඒ පිළිබඳව වාර්තාවක් ලබා ගන්නවා නම් රජයේ රස පරීක්ෂකගෙන් හෝ රජයේ අනුමත රස පරීක්ෂකවරයකුගෙන් වාර්තාවක් ගැනීමට අවශ්‍ය වෙනවා. නමුත් මෙරට තුළ ඒ සඳහා රසායනාගාර පහසුකම් නැහැ. අපි ඇස් මට්ටමෙන් මේ පිළිබඳව බලලා අධිකරණය වෙත ඉදිරිපත් කළහොත් එය අධිකරණයේදී විවාදයට ලක් වෙනවා. මෙවැනි පසුබිමක් යටතේයි අපි වැටලීම් කරන්නේ.” එම ප්‍රකාශය, පාරිභෝගිකයන් ලෙස අප පත්ව ඇති අසරණ තලය මොනවට කියාපාන්නක් නොවේද?
එසේම පසුගිය දිනවල කොමඩු සහ දෙළුම් සම්බන්ධවද මෙවැනිම කතාබහක් කරළියට පැමිණියේය. ඒ ඒවා ඉඳුණු බව පෙන්වීමට ඒවා තුළට වර්ණකාරක ඇතුළත් කරන බවයි. කාබයිට් පිළිබඳ විද්‍යාගාර පරීක්ෂණ කිරීමේ හැකියාව නොතුබුණද වර්ණක පිළිබඳ විධිමත් ලෙස පරීක්ෂා කිරීමේ හැකියාවක් පවතින බව මහජන සෞඛ්‍ය පරීක්ෂකයන්ගේ සංගමයේ සභාපතිවරයා පවසයි.”
අපිට වර්ණකාරක හඳුනා ගැනීමේ පහසුකම තියෙනවා. ඒ අනුව එවැනි පැමිණිලි හෝ වැටලීම්වලින් සැක කටයුතු දේ හමුවූ විට පරීක්ෂා කිරීමේ හැකියාව පවතිනවා.” හෙතෙම පවසන්නේය. 
නමුත් ඊට සම්බන්ධ චෝදනා ඔප්පු කිරීමේදී අධිකරණය පිළිගන්නේ රජයේ රස පරීක්ෂක හා රජයේ අනුමත රස පරීක්ෂකවරුන්ගේ වාර්තා පමණි. එලෙස රජයේ අනුමත රස පරීක්ෂක වාර්තා වන්නේ කොළඹ මහ නගර සභා රස පරීක්ෂක, අනුරාධපුර රස පරීක්ෂක අනුමත වාර්තා සහ වෛද්‍ය පර්යේෂණ ආයතනයේ (MRI) වාර්තා, කළුතර සෞඛ්‍ය විද්‍යායතනයේ වාර්තා පමණි. කාබයිට් හඳුනා ගැනීමේ හැකියාව පවතින ආයතන පැවතුණද එම ආයතන වාර්තා අධිකරණය නිල වශයෙන් පිළිගන්නේ නැත. එසේ හැකියාව තිබෙන ආයතන වන්නේ (ITI) ආයතනය හා ගන්නෝරුව ආහාර පරීක්ෂණ ආයතනයයි.
ගන්නෝරුව ආහාර පරීක්ෂණ අංශයෙන් අප පලතුරු ඉදවීමෙ ක්‍රම පිළිබඳව කළ විමසීමකදී එහි ප්‍රකාශක ආර්.පී. ප්‍රනාන්දු පවසා සිටියේ එතෆෝන් (Ethephon) භාවිත කර එතිලීන් වායුව නිපදවා ධූමකරණය කිරීමෙන් පලතුරු ඉදවීමට රජය අනුමැතිය දී ඇති බවයි.
“එතෆෝන් අප ආහාරයට ගන්නා හුනු සමග අවශ්‍ය සාන්ද්‍රණයට මිශ්‍ර කරලා එතිලීන් වායුව නිපදවල ධූමකරණය කිරීම රජය අනුමත කර තිබෙනවා. එහිදී පලතුරු කාමරයක ගබඩා කරලා එය වසා දමා තමයි මෙය සිදු කළ යුත්තේ. නමුත් කිසිම විටක එතිලීන් සමග ගැටීම හෝ ස්පර්ශය තහනම්. ඒ වගේම එතිලීන් ධූමකරණයෙන් ඉදවීමේ හැකියාව පවතින්නේ හොඳින් පැසුණු පලතුරු පමණයි.”
ඔහු සමග කතාබහේදී තවත් එක් කරුණක් පැහැදිලි විය. එනම් එතිලීන් භාවිත කර ධූමකරණයෙන් ඉදවීම තුළ පලතුරුවල රසය ගුණය ආරක්ෂා කිරීමේ හැකියාව පවතින බවයි. නමුත් කාබයිට් තුළින් පලතුරු ඉදවීමේදී පලතුරු රසය, ගුණය සියයට සියයක් විනාශ වෙයි.
 
ශිරෝමි රත්නායක

අරණායක සාමසර කන්ද කී පමණින් අපේ මතකයට එන්නේ ජීවිත ගණනාවක් බිලිගනිමින් නාය ගිය කන්දකි. එ්ත් මෙදා සාමසර කන්ද ගැන කතා කරන්නට ඇත්තේ ඊට වෙනස් කතාවකි. නායයමින් තිබෙන ජාතික සමගියට වැට බඳින විදියේ සිදුවීමක් ගැන සිදුවීමකි. 
පසුගිය 03 වැනිදා සාමසර කන්ද පාමුල ඇති අරණායක, මෝරාගම්මන ශී‍්‍ර මයුරපාද විහාරයට බොහෝ දෙනා රැුස්ව සිටියේ දරුවෙකු සසුනට ඇතුළුකර ගැනීමේ පින්කමට සහභාගි වීමටය. එ්ත් එ් පින්කමෙහි වෙනදා කවදාවත් නැති අරුමයක් මෙන්ම විශේෂත්වයක්ද වූයේය. එ් විශේෂත්වය නම් එදා සිංහල බෞද්ධ සැදැහැවතුන්ගේ සාදුකාර හඬ මැද සසුන්ගත වූයේ මුස්ලිම් දරුවකු වීමයි. 
මෙසේ සසුන්ගත වූයේ රාජගිරියේ රාජගිරිය මාදින්නාගොඩ පදිංචිව සිටි මොහොමඞ් සමීර් සුහයීර් නමැති අවුරුදු 10ක් වයසැති මුස්ලිම් ජාතික දරුවකි. මොහොමඞ් සමීර් සුහයීර් පැවිදි දිවියට ඇතුළත් වූයේ රාජගිරියේ චන්දකිත්ති නමිනි.
දරුවන් දෙදෙනකුගෙන් යුත් පවුලේ බාලයා වූ මොහොමඞ් සමීර්ට වැඩිමහල් සහෝදරයෙක්ද වේ. 2007 අපේ‍්‍රල් මස 12 දින බොරැුල්ල කාසල් කාන්තා රෝහලේදී උපත ලද සමීර්ගේ මව්පියෝ වූයේ මොහොමඞ් සුයීර් නිසාම්ඞීන් සහ චිත‍්‍රා සීමනි ඔලිවර් යන දෙපළය. සමීර්ගේ පියා ඉස්ලාම් භක්තිකයෙකු වන අතර මව සිංහල කාන්තාවකි.
රාජගිරිය, ඔබේසේකරපුර, අරුණෝදය මාවතේ, අරුණලූ උයනේ පදිංචිව සිටි මෙම දෙපළට පිරිමි දරුවන් දෙදෙනෙකි. පවුලේ බාලයා වූ සමීර් මව සහ පියා සමග ජීවත් වෙමින් සිටි අතර ඔහු 2013 මාර්තු 27 වෙනිදා ව/ගිරිඋල්ල/ නාලවලාන කනිෂ්ඨ විද්‍යාලයට ඇතුළත් කෙරිණි. එහිදී ඔහු අධ්‍යාපනය ලැබූයේ සිංහල භාෂාවෙනි. එම විදුහලේ වසරක පමණ කාලයක් අධ්‍යාපනය ලබමින් සිටියදී 2014 පෙබරවාරි 11 වන දින ඔහුගේ මව පියා වෙනත් ප‍්‍රදේශයකට පදිංචියට යාම නිසා සමීර්ටද පාසලට සමු දීමට සිදුවිය. 
එහෙත් තම පුතුන්ගේ අධ්‍යාපනය පටන් ගත් තැනදීම නාය යාමකට හසුවීම මවට  දරාගත නොහැකි දෙයක් විය. දස අතේ කල්පනා කළ ඇය අවසානයේදී නාවල ප‍්‍රදේශයේ පිහිටි විහාරස්ථානයක හිමිනමක් හමුවී තම පුතුට ඉගැන්වීමට අවශ්‍ය පරිසරය සකසා දීමට උපකාර වන ලෙස ඉල්ලා සිටියාය. එහි ප‍්‍රතිඵලය හැටියට සමීර්ට පන්සලේ නැවතීමට එම අවස්ථාවේදීම හැකිවිය. සමීර් පන්සලේ නැවැත්වූ මව ගෙදර ගියාය. එ්ත් සතියක පමණ කාලයක් විහාරස්ථානයේ නතර වී සිටි සමීර් තමන්ට පන්සලේ සිටිය නොහැකි බව පවසමින් මව සොයා පැමිණියේය. තම පුතුට කෙසේ හෝ ඉගැන්වීමට අදිටන් කරගෙන සිටි චිත‍්‍රා සීමනීට පූජ්‍ය ජඹුරේවෙල චන්ද්‍රරතන හිමියන් හමුවන්නේ මේ අතරමය. එ් කොළඹ විහාරස්ථානකදීය. ඵහිදී ඇය තම පුතු පිළිබඳ සියලූ තොරතුරු චන්ද්‍රරතන හිමියන්ට පවසන්නීය. සියල්ල සන්සුන්ව අසා උන් උන්වහන්සේ ඇයට යෝජනා කරන්නේ පුතු සසුන් ගත කරන ලෙසය. චිත‍්‍රා සීමනි චන්ද්‍රරතන හිමියන්ගේ එම යෝජනාවට එක පයින්ම කැමති වන්නීය. එ්ත් ඇයට එකවර පිළිතුරක් දිය නොහැකි වන්නේ, තම සැමියා දරුවාගේ පියා නිසාම්ඞීන් මේ ගැන කුමක් කියාවිදැයි නොදන්නා නිසාය. එ්ත් නිසාම්ඞීන්ද එ් යෝජනාවට අකමැති නොවන්නේය. එ් අනුව මේ මව් පිය දෙපළ තම දස හැවිරිදි කුඩා පුතු සමීර් චන්ද්‍රරතන හිමියන් වෙත භාර දුන්නේය. චන්ද්‍රරතන හිමියෝ කුඩා සමීර්වත් රැුගෙන කොළඹ සිට පැමිණියේ අරණායක, මෝරාගම්මන, ශී‍්‍ර මයුරපාද රජමහ විහාරයේ වැඩ වසන තම ගුරු හිමියන්වන පූජ්‍ය පුවක්මොටේ ධම්මරතන හිමියන් වෙතය.
අරණායක සාමසර කන්ද පාමුල කුඩා ඔය අසබඩ පිහිටි මෝරාගම්මන ශී‍්‍ර මයුරපාද රජමහ විහාරය පූජාවලිය ලියූ බුද්ධපුත‍්‍ර නාහිමියන් වැඩ විසූ ඓතිහාසික විහාරස්ථානයකි. ටැම් මත ඉදිකළ සංඝාවාසයක් හා බුදු කුටියක් ඇති මෙම විහාරස්ථානයේ විහාරාධිපතිි ලෙස කටයුතු කරන්නේ කෑගල්ල සියඹලාපිටිය අශෝකාරාමාධිපති පූජ්‍ය ශාස්ත‍්‍රවේදී පුවක්මොටේ ධම්මාරාම ස්වාමීන් වහන්සේය. උන්වහන්සේගේ අවවාද අනුශාසනා මත සමීර් සසුන් ගත කිරීමට කටයුතු සුදානම් කළහ. ඉකුත් ඉල් පොහෝ දිනට දින කිහිපයකට පෙර සමීර් ඇතුළු තවත් කුල දරුවන් තිදෙනකු පැවිදි කිරීමේ පින්කම උත්සවශී‍්‍රයෙන් සිදු කෙරුණි. මෙම පැවිදි කිරීමේ පින්කමේ බොහෝ දෙනෙකුගේ අවධානය යොමු වී තිබුණේ ඉස්ලාමීය ජාතික මොහොමඞ් සමීර් සසුන්ගත කිරීමේ අවස්ථාවයි. පූජ්‍ය පුවක්මොටේ ධම්මරතන හිමියන්ගේ ශිෂ්‍යයකු ලෙස රාජගිරියේ චන්දකිත්ති නමින් පැවිදි වූ කුඩා සාමණේරයන් දැනට මෝරාගම්මන විහාරස්ථානයේ වැඩ වෙසෙන පොල්අඹේගොඩ ශ‍්‍රී සුදර්ශනාරාම පිරිවෙන් ආයතනයේ අධ්‍යාපනය හදාරන්නේය.
තම පුතු ශාසනයට පූජා කළ මොහොමඞ් සුයීර් නිසාම්ඞීන් සහ චිත‍්‍රා සීමනි ඔලිවර් මව් පිය දෙපළ සිය පුතු බුද්ධ ශාසනයට පූජා කිරීම ගැන සඳහන් කරමින් කියා සිටියේ මෙවැනි කතාවකි. ‘‘අපිට ජීවත් වෙන්න කියලා ස්ථිර රැකියාවක් නැහැ. අපිටම කියලා ගෙයක් දොරක්වත් නැහැ. තැනින් තැන කුලියට තමයි ජීවත් වෙන්නේ. අපි ටික කාලයක් මීගමුවේ මාකඳුරේ වත්තක හිටියා. ලොකු පුතා නම් මහත්තයාගේ අක්කා ළග ඉන්නේ. පොඩි පුතා අපි ඵක්ක හිටියේ. එයා ඉස්කෝලෙකට දා ගන්න බැරිව අපි ගොඩක් දුක් වින්දා. ඔහොම ඉන්නකොට තමා චන්ද්‍රරතන හාමුදුරුවෝ හමුවුණේ. එ් හාමුදුරුවෝ හින්දා අපේ පුතා අද භික්ෂුන් වහන්සේ නමක් විදිහට ඉන්නවා දැක්කාම අපට ගොඩක් සතුටුයි. පුතා කවදා හරි හොඳ තැනකට එයි කියලත් අපට ලොකු විශ්වාසයක් තියනවා’’.
මේ සුවිශේෂී අවස්ථාවට ඉඩකඩ අතහිත සපයා දුන් මෝරාගම්මන ශී‍්‍ර මයුරපාද රජමහ විහාරස්ථානයේ විහාරාධිකාරි පූජ්‍ය පුවක්මොටේ ධම්මරතන හිමියන්ද එහිදී අපට හමුවිය. උන්වහන්සේ අප සමග කියා සිටියේ ශාසනික දියුණුව වෙනුවෙන් කැපවී සිටින බුද්ධ පුත‍්‍රයකු වන තමන්වහන්සේට ජාති ආගම කුල ආදී වශයෙන් භේදයක් නැති බවයි. ‘‘මොන ජාතියක මොන ආගමක වුණත් බුදු දහම වැලඳ ගන්නවානම් ඵ් දරුවාට ධර්මය අවබෝධ කර දීම තමයි අපේ යුතුකම. සිංහල, මුස්ලිම්, ජනතාවක් සහයෝගයෙන් ජීවත් වන මේ ගමේ ඉස්ලාම් භක්තික දරුවෙකු මහණ කළා කියලා ලොකු වෙනසක් නෑ. එදා ඉඳන්ම මේ ගමේ හැම දෙනාම ජීවත් වුණේ පන්සලත් එක්ක. මම මේ ඉස්ලාම් දරුවත් එක්ක තවත් කුල දරුවන් තුන් දෙනෙක් මහණ කළා. චන්දානන්ද, චන්දවිමල, ධම්මදස්සි හා චන්දකිත්ති යන මේ සාමණේරවරු සිව්දෙනාට හොදින් අධ්‍යාපනය ලබා දෙන්න  ඕනෑ. ඉදිරියේදී තවත් කුල දරුවන් කිහිප දෙනෙක් සසුන් ගත කරන්න මම බලාපෙරොත්තු වෙනවා’’. යැයිද උන්වහන්සේ තවදුරටත් කියා සිටියේය. 
 
ප්‍රදීප් කුමාර ධර්මරත්න

සත්වන ලෝක බොදු සමුළුව උදෙසා දිවයිනට සපැමිණි ජගත් බොදු නායකයෝ ශ්‍රී ලංකාවේ ඓතිහාසික බෞද්ධ උරුමය පිළිබඳ පණිවුඩය ලෝකයට ගෙන යන්නට ප්‍රතිඥා දුන්හ. උන්වහන්සේලා එවන් එකඟතාවකට පැමිණියේ ඓතිහාසික ජය ශ්‍රී මහා බෝ සමිඳුන් අභියසදීය. ශ්‍රී ලංකාව සත්කාරත්වය දැරූ සත්වන ලෝක බොදු සමුළුවට සහභාගි වීමට දිවයිනට පැමිණි ලෝක බොද්ධ නායකයෝ මෙවන් එකඟතාවකට එළැඹුණේ, ඔවුහු සියල්ලෝම ලාංකේය බෞද්ධ උරුමයන් අතළොස්සක් සියැසින් දැකගැනීමට කරන ලද කෙටි සංචාරය තුළදී වීම විශේෂත්වයකි. 
සත්වන ලෝක බොදු මහ සමුළුව අරලියගහ මන්දිරය කේන්ද්‍ර කර ගනිමින් අති උත්කර්ෂවත් අන්දමින් ඉකුත් සතියේ පැවැත්විණි. සමුළුව අවසන් දින දෙකෙහි සමුළුවට පැමිණ සිටි බෞද්ධ නායකයෝ ඓතිහාසික ජය ශ්‍රී මහා බෝ සමිඳුන් වන්දනා මාන කිරීම සඳහා මෙන්ම ඓතිහාසික මහනුවර ශ්‍රී දළදා මාලිගාව වැඳපුදාගැනීම උදෙසා සහභාගි වූහ. 
කොළඹින් ගමන් ආරම්භ කළ විශේෂ දුම්රියක මෙම දූත පිරිස අනුරාධපුර බලා ගමන් ගත්හ. ඒ සඳහා අවශ්‍ය සියලු පහසුකම්  මෙම සමුළුවේ සංවිධායක කමිටුවේ සභාපති නියෝජ්‍ය කථානායක තිලංග සුමතිපාල මහතාගේ නායකත්වයෙන් සංවිධානය කර තිබුණි.
අලුයම ගමන් ආරම්භ කළ දුම්රිය අනුරාධපුරය වෙත ළඟා වූයේ පෙරවරු 9.30ට පමණය. ඒ වනවිටත් මෙම දූත පිරිස පිළිගැනීම සඳහා මහානායක මාහිමිපාණන් වහන්සේලා ප්‍රධාන මෙරට බෞද්ධ නායකයෝ අනුරාධපුර ජය ශ්‍රී මහා බෝ සමිඳුන් වහන්සේ  අභියසට එක්ව සිටියහ. 
දූත පිරිස ජය ශ්‍රී මහා බෝ සමිඳුන් වෙත පුද පූජා පැවැත්වූ අතර පිරිස උඩමළුවට කැඳවාගෙන ගොස් ජය ශ්‍රී මහ බෝ සමිඳුන්ට වන්දනාමාන කිරීමටද අවස්ථාව ලබාදීමට මහානායක හිමිවරු කටයුතු කළහ. 
මෙහිදී විශේෂ පිරිත් සජ්ක්ධායනයක් පැවැත්වීමටද මහා සංඝරත්නය කටයුතු යොදා තිබුණි. දූත කණ්ඩායම වෙත ජය ශ්‍රී මහා බෝ සමිඳුන්ගේ ඓතිහාසික වැදගත්කමද පහදා දීමටද අප මහානායක හිමිපාණන් වහන්සේලා කටයුතු කළහ. එහිදී රැස්ව සිටි සියල්ලෝම සාදු නාද පැවැත්වූහ. 
දෙස් විදෙස් බෞද්ධ නායකයන් සිය බෞද්ධ නිකායන්ට ආවේණික වූ ගෞරව බහුමානවලින් උතුම් ජය ශ්‍රී මහා බෝ සමිඳුන් පුදන ආකාරයද මෙහිදී දැකගත හැකිවිය.
ජය ශ්‍රී මහා බෝ සමිඳුන් වැඳ ආශිර්වාදය ලබාගත් දූත පිරිස අනතුරුව පැමිණියේ ඓතිහාසික රංගිරි දඹුලු රාජමහා විහාරය වෙතය. එහිදීද මහා සංඝරත්නය විසින් දූත කණ්ඩායම රංගිරි දඹුලු විහාරය වෙනුවෙන් හද පිරි භක්තියෙන් පිළිගන්නා ලදී. අනතුරුව ඔවුහු සියල්ලෝම ඓතිහාසික රංගිරි දඹුලු විහාරය වැඳපුදා ගත්හ. දඹුලු විහාරයේ ඉතිහාසයද ඔවුන් වෙත කියා දීමට මහා සංඝරත්නය කටයුතු කළහ. 
ලෝක බෞද්ධ නායකයන් සියලෝම අනතුරුව පැමිණියේ ඓතිහාසික මහනුවර ශ්‍රී දළදා මාලිගාව සියැසින් දැකබලා වන්දනාමාන කර ගැනීමටය.
ලෝක බෞද්ධ නායකයන් අතර සිටි ලොව ප්‍රධාන රටවල් කිහිපයකට අයත් රජ පවුල්වල නායකයන් ශ්‍රී දළදා මාලිගාව දැක බලා ගැනීමට ප්‍රථමයෙන් පැමිණි අතර ඔවුන් දළදා වහන්සේ වැඳපුදා ගැනීමෙන් අනතුරුව මහනුවර දළදා මාලිගාවේ කෞතුකාගාරයද නැරඹුවෝය. 
ලෝක බෞද්ධ නායකයන් දළදා වහන්සේ වැඳපුදා ගැනීම කළේ ඉන් අනතුරුවය. ඔවුහු පෙරහරකින් දළදා මාලිගාව වෙත කැඳවාගෙන පැමිණියේ පස්වරු 2.00ට පමණය. 
ලෝකයේ බෞද්ධ නායකයන් විශාල පිරිසක් මෙලෙස එකම දිනක මහනුවර ඓතිහාසික දළදා මාලිගා පරිශ්‍රය වෙත පැමිණීම සැබැවින්ම සුවිශේෂී අවස්ථාවක් විය. මේ නිසාම අස්ගිරි හා මල්වතු මහනායක මාහිමිපාණන් වහන්සේලාගේ විශේෂ අවසරය මත හා මහනුවර දළදා මාලිගාවේ දියවඩන නිලමේවරයාගේද සහභාගිත්වය ඇතිව දළදා වහන්සේ වැඩ සිටින දළදා කරඬුව දැක බලා ගැනීමේ සුවිශේෂී අවස්ථාවද මෙම බෞද්ධ නායකයන් වෙත සලසා දී තිබුණි. ලෝක බෞද්ධ නායකයන්  ලබා දුන් මේ මහඟු අවස්ථාවට පිළිවෙළට දැඩි සතුට පළ කරන ලදී.
දළදා වහන්සේ සම්බන්ධ ඓතිහාසික පුරාවෘත්තද ලෝක බෞද්ධ නායකයන් වෙත පැහැදිලි කර දුන් මෙරට බෞද්ධ නායකයන් ශ්‍රී ලංකා බෞද්ධ ඉතිහාසයේ සුවිශේෂීත්වය හා වැදගත්කම ඔවුන් වෙත අවබෝධ කර දුන්නෝය.
ථෙරවාදී බුදුදහම නිර්මලව ආරක්ෂා වී පවතින ශ්‍රී ලංකාවේ මෙම බෞද්ධ උරුමය ආරක්ෂා කර ගැනීම ලෝකයේ සියලු බෞද්ධ රාජ්‍යවල වගකීමක් කොට සැලකිය යුතු යැයි ලෝක බෞද්ධ නායකයෝ මෙහිදී අවධාරණය කළෝය. මේ උතුම් බෞද්ධ උරුමය පිළිබඳව ලෝකයටම පණිවුඩයක් රැගෙන යන බවටද එම බෞද්ධ නායකයෝ මෙහිදී එකඟතාවකට පැමිණියහ.
සත්වන ලෝක බොදු සමුළුවට ශ්‍රී ලංකාව ලබාදුන් ඉතා ඉහළ සත්කාරකත්වයද මෙහිදී ලෝක බෞද්ධ නායකයන්ගේ විශේෂ පැසසුමට ලක්විය. එලෙසම මෙම කාර්යය මැනවින් සංවිධානය කර දීම පිළිබඳව අස්ගිරි-මල්වතු මහානායක මාහිමිපාණන් වහන්සේලා සත්වන ලෝක බොදු සමුළුවේ සංවිධායක කමිටුවේ සභාපති නියෝජ්‍ය කථානායක තිලංග සුමතිපාල මහතා වෙත විශේෂ ස්තූතියක්ද පුද කළහ.
ලෝකයේ සියලු බෞද්ධ රාජ්‍ය වෙත සුවිශේෂී මතක සටහනක් එක්කර ශ්‍රී ලංකාවේදී මුළුදුන් සත්වන ලෝක බොදු සමුළුව සැබැවින්ම ශ්‍රී ලංකාවට ජාත්‍යන්තරයේ විශේෂ අවධානයක් දිනාගැනීමට හේතුවූ සුවිශේෂී අවස්ථාවක් බවද සිහිපත් කළ යුතුය.
 
පානුක රාජපක්ෂ
 
ඡායාරූප - මංජුල පෙරේරා, ලක්මාල් වසන්ත, ප්‍රියන්ත ගමගේ

Page 1 of 6

IMAGE

සැමියාගේ බිමත්කම සහ නොගැළපීම නිසයි විවාහය බිඳ වැටුණේ

IMAGE 2017 Nov 23 13:33
තිලකා රණසිංහගේ ජීවිතයේ වඩාත්ම සතුටු වූ අවස්ථාව හා වැඩියෙන්ම දුක් වූ අවස්ථාව සිහිපත් කරන්න...
Views - 4321

ලංකාව හැර ගිය නතාෂා ආපහු ඇවිත් කියපු කතාව

IMAGE 2017 Nov 23 08:03
නතාෂා පෙරේරා පහුගිය කාලයේ වැඩිපුර දකින්නට ලැබුණේ නැහැ. ඒ ඇය තමන්ගේ ආදරණීය සැමියා ප්‍රිහාන්...
Views - 4029

55 වියැති බැංකු ලොක්කා 29 කන්තෝරු නෝනා සමඟ 'හනිමූන්' ගිහින්

IMAGE 2017 Nov 22 12:50
බැංකුවක උසස් නිලයක් දරන පනස්පස් හැවිරිදි සිය සැමියා වසර ගණනාවක් තිස්සේ විසිනව හැවිරිදි රජයේ...
Views - 7095

අහසේ සිට බිමට පනින එස්.ටී.එෆ්. යුවතියෝ

IMAGE 2017 Nov 22 10:55
අම්පාර උහන ගුවන් ධාවන පථයෙන් අහසට නැඟගත්, එම්. අයි. 17 වර්ගයේ හෙලිකොප්ටරය  නිලඹර දෙපළු කරමින්...
Views - 4424

මිහිදුම සහ වැස්ස ගැන 'කාලගුණ විද්‍යාවෙන්' බොරු කී‍වේ ඇයි?

IMAGE 2017 Nov 22 10:43
මේ දිනවල අළුයම් කාලයේ අගනුවර ඇතුළු ප්‍රදේශ රැසක දැඩි මිහිදුම් තත්ත්වයක් දක්නට ලැබුණු බව...
Views - 2815

මුගාබේගේ බිරිඳ ද පක්ෂයෙන් නෙරපයි

IMAGE 2017 Nov 21 09:37
වසර 37  ක කාලයක් සිම්බාබ්වේ දේශය පාලනය කළ රොබට් මුගාබේ නිවාස අඩස්සියට ගනිමින් හමුදාව එරට...
Views - 3621

Please publish modules in offcanvas position.

Web Analytics