lakbima.lk
2017-05-19 ඇමෙරිකා ඩොලරය ගැනුම් මිල රු.150.6200 , විකුණුම් මිල රු.154.4200 | බි‍්‍රතාන්‍යය පවුම ගැනුම් මිල රු.194.2500 , විකුණුම් මිල රු.200.8600 | යුරෝ යුරෝපය ගැනුම් මිල රු.166.2500, විකුණුම් මිල රු.172.5500 | ස්වීස් ප‍්‍රෑන්ක් ගැනුම් මිල රු.152.6900 , විකුණුම් මිල රු.158.7400 | කැනඩා ඩොලරය ගැනුම් මිල රු.110.0200 , විකුණුම් මිල රු.114.3800 | ඔස්ට්‍රේලියා ඩොලරය ගැනුම් මිල රු.110.6800 , විකුණුම් මිල රු.115.6600 | සිංගප්පූරු ඩොලරය ගැනුම් මිල රු.107.6900 , විකුණුම් මිල රු.111.6300 | ජපානය යෙන් ගැනුම් මිල රු.1.3482, විකුණුම් මිල රු.1.3993 |

අතීතයේ දියවැඩියාව හැඳින්වූයේ ධනවතුන්ගේ රෝගයක් ලෙසිනි. ඉන් අදහස් වූයේ ගොවි කම්කරු ප්‍රජාව අතර දියවැඩියාව සුලබ නොවන බවය. එහෙත් අද වන විට දියවැඩියාව සියලු පුද්ගල මායිම් සිඳ බිඳ දමා අවසානය. එය දැන් දුප්පත් ‍පොහොසත් බේද පමණක් නොව බාල, තරුණ, මහලු ආදී වයස් සීමාවන්ද පරදා අංක එකේ බෝ නොවන රෝගය බවට පත්ව ඇත.  බටහිර වෛද්‍ය විද්‍යාවෙන් දියවැඩියාව  ජයගත නොහැකි වූ තැන අද බොහෝ දෙනෙකු ඊට ආයුර්වේද වෛද්‍ය ක්‍රමයෙන් සහන සොයති. මේ ආයුර්වේද වෛද්‍ය ක්‍රමයට අනුව දියවැඩියාව ජයගන්නේ කෙසේද? යන්න පිළිබඳව නාවින්න බණ්ඩාරනායක ආයුර්වේද පර්යේෂණ ආයතනයේ ‍‍‍ජ්‍යෙෂ්ඨ වෛද්‍ය නිලධාරී රුවිනි ප්‍රීතිකා මෙන්ඩිස් සමග කරන ලද සාකච්ඡාවකි.

ආයුර්වේද වෛද්‍ය ක්‍රමයට අනුව දියවැඩියාව මධුමේහය ලෙසින් හඳුන්වා දෙයි. කපජ ප්‍රමේහ දහයක්ද වාතජ ප්‍රමේහ හයක්ද පිත්තජ ප්‍රමේහය හතරක්ද මුල් කරගෙන මධුමේහය වැළඳෙන බව ආයුර්වේද මුල ග්‍රන්ථවල විග්‍රහ කෙරේ. මින් කපජ ප්‍රමේහයන් මුල් කර ඇතිවන දියවැඩියාව ප්‍රතිකාර මගින් සුවකළ හැකිවන අතර වාතජ, පිත්තජ, ප්‍රමේහයන්, මුල් කර වැළඳෙන දියවැඩියාව, පාලනය කිරීම පමණක් කළ හැකි වෙයි.

ආයුර්වේද විග්‍රහයට අනුව මධුමේහය වැළඳීමට ප්‍රධාන කරුණු අතර ආහාරමය කරුණු වලට මුල් තැනක් හිමි වෙයි. ඒ අනුව සමතුලිත නොවන ආහාර ගැනීම අධිකව ආහාර ගැනීම නිතර ආහාර ගැනීම මෙන්ම  තන්තු කොටස් අඩු ආහාර ගැනීමද මධුමේහයට හේතුවන බව ආයුර්වේද විග්‍රහයේ සඳහන්ය.

අපගේ වැරදි විහරණයන්ද මධුමේහය වැළඳීම කඩිනම් කරයි. අකල්හි නින්ද ලැබිම, සීමාව ඉක්මවා ගිය මානසික ආතතිය වැනි කරුණු රැසක් මේ ගණයට වැටේ. දියවැඩියාවට ප්‍රතිකාර ලබන රෝගීන් තම ප්‍රතිකාර සමග වැරදි විහරණ සහ ආහාර රටාවන්ගෙන් බැහැරවීමද යහපත් සෞඛ්‍යයක් පවත්වාගෙන යෑමට බොහෝ සේ ඉවහල් වෙයි. ඒ අතරට දියවැඩියාව හෙවත් මධුමේහය පාලනය කරනු වස් එදිනෙදා ආහාර පාන ගත හැකි ශාකමය ද්‍රව්‍ය කිහිපයක් වෙයි.

මෙකී ශාක කොටස් අතර වඩාත් ජනප්‍රිය විශේෂ ලෙස තෙබු, කෝවක්කා, මස් බැද්ද වැනි ශාක දැක්විය හැක. එහෙත් මෙවැනි ශාක ආහාරයට ගැනීම පිළිබඳ සමාජයේ විවිධාකාර ගැටලු පැන නැගී ඇත. ඉන් පළමු වැන්න වනුයේ දියවැඩියාව නැතහොත් මධුමේහය වැළඳී නැති පුද්ගලයන්ට මෙවැනි ආහාර නොසුදුසු බවයි. එහෙත් සැබෑව නම් සාමාන්‍ය පුද්ගලයෙකු වුව මෙම වර්ග ආහාරයට ගැනීම කියන තරම් ගැටලු ඇති නොකිරීමය. මෙම ද්‍රව්‍ය ආහාරයට ගැනීම මගින් යම් මට්ටමකට ශරීරයේ සීනි මට්ටම පාලනය වීමක් සිදු වුවද නිරෝගි පුද්ගලයෙකු රෝගී කරන්නට එය හේතු නොවේ.

නමුත් මෙම ද්‍රව්‍ය ආහාර ලෙස අප ගන්නා ආකාරය ඉතා වැදගත්ය. ඒ එකම ද්‍රව්‍ය එකම ආකාරයෙන් දිගු කලක් ආහාරයට ගැනීම සුදුසු නැත. උදාහරණයක් ලෙස ඔබ අද තෙබු කොළ මැල්ලුම ආහාරයට ගත්තේ නම් හෙට එය කැඳක් හෝ සම්බෝලයක් ලෙස ගත හැක. කෝවක්කාද එසේමය. විවිධාකාරයෙන් එකම දේ ආහාරයට ගැනීම මගින් ඔබේ සෞඛ්‍ය තත්ත්වය වඩාත් හොඳින් පවත්වාගෙන යා හැක. එමෙන්ම මේ සියලු දේ සලාද ලෙස ආහාරයට ගැනීමද ඉතා හොඳ ක්‍රමයකි.

දියවැඩියා රෝගීන් බහුතරයක් අතර ඉතා ජනප්‍රිය අත් බෙහෙතක් ලෙස කරවිල දැක්විය හැක. ඇතැම්හු කරවිල කොටා ඉස්ම බිමට පුරුදුව සිටිති. එහෙත් මෙය කිසිසේත් අනුමත කළ හැක්කක් නොවේ. එබැවින් කරවිල කිසියම් ආකාරයකින් සංස්කරණය කර ආහාරයට ගැනීම වඩාත් ඵලදායකය.

කරවිල  ඇටද දියවැඩියාවට ඉතා ප්‍රයෝජනවත් ඖෂධයකි. විශේෂයෙන්ම ඒවායේ ඇති ප්‍රතිඔක්සිකාරක ගුණය නිසා දියවැඩියාව පමණක් නොව පිළිකාවලට පවා ඔසුවක් ලෙස කරවිල ඇට යොදා ගැනෙයි. දියවැඩියාවට ප්‍රතිකාරයක් ලෙස කරවිල කරල් සහ ඇට යොදාගැනීම බහුලව දැකගත හැකි වුවත් කරවිල කොළ සම්බන්ධව අප උනන්දුවක් නොදක්වන තරම්ය. එහෙත් කරවිල වැලක කොළ දියවැඩියා රෝගීන්ට වඩාත් ප්‍රයෝජනවත් කොටස ලෙස දැක්විය හැක. අවාසනාවකට මෙන් අප සමාජය තුළ කරවිල කොළ ආහාරයට ගැනීමක් දක්නට නැති තරම්ය.

කරවිල කොළ ඔබට කිහිප ආකාරයකින් ආහාරයට ගැනීමේ හැකියාව ඇත. ඉන් එක ක්‍රමයක් ලෙස කලවම් සලාදයකට කරවිල කොළ එක් කිරීම දැක්විය හැක.  එමෙන්ම කරවිල කොළමැල්ලුමද දියවැඩියාව රෝගීන්ට ඉතා ප්‍රයෝජනවත් ආහාරයකි. ලෝකයේ බොහෝ රටවල් කරවිල කොළ කුඩු කර (කැප්සියුල්) ලෙස සකසා පානය කරනු දැකිය හැක. ශ්‍රී ලංකාවේ කරවිල කොළ කැප්සියුල් දැකගැනීමට නැති මුත් ඔබට ඉතා පහසුවෙන් ඒවා තේ ලෙස පානය කිරීමට සකසාගත හැක.

 ඒ සඳහා හොඳින් වැඩුණ කරවිල කොළ අවශ්‍ය පමණට තෝරා ගෙන ඒවා හොඳින් පිරිසිදු කර පවනේ වේලා ගත යුතුය. කරවිල කොළ එතරම් විශාල පත්‍ර විශේෂයක් නොවන නිසා පහසුවෙන් විජලනය වී වේලීම සිදුවෙයි. අනතුරුව කැමති ආකාරයෙන් කුඩුකර උණුවතුරට මුසුකර තේ වෙනුවට පානය කළ හැක. දිනකට මෙවැනි තේ කෝප්ප දෙක තුනක් පාවිච්චි කිරීම මගින් ඔබේ රුධිරයේ සීනි ප්‍රමාණය පැහැදිලි ලෙසම පහත දමා ගත හැක.

කරවිල කොළවල Polypeptider නම් ස්වාභාවික ඉන්සියුලින් විශේෂය අඩංගු වන අතර එය ඔබේ රුධිරයේ ඉන්සියුලින් ප්‍රමාණය ඉහළ දැමීමට සමත් වෙයි. එපමණක්ද නොව කරවිල පත්‍රවල අඩංගු ප්‍රතිඔක්සිකාරක සහ වෙනත් සංඝටක නිසා අග්න්‍යාශයේ ‍සෛල ප්‍රකෘතිමත් කිරීම සිදුවෙයි. එමගින් අග්න්‍යාශයේ ක්‍රියාකාරිත්වය ඉහළ යෑම සිදුවන අතර එම තත්ත්වය ඔබේ ශරීරයේ ස්වාභාවික ඉන්සියුලින් මට්ටම ඉහළ දැමීමට සමත් වෙයි. මේ සියලු කරුණු සලකා බලන කල දියවැඩියාව නොහොත් මධුමේහයෙන් නොපෙළෙන අයකුට පවා කරවිල පත්‍ර තේ ලෙසින් පානය කිරීම වැඩදායි වේ. ඒ එමගින් අග්න්‍යාශයේ සහ සිරුරේ සෙසු සෛල ප්‍රකෘතිමත් කරන බැවිනි.

අරුණ ලක්ෂ්මන්ප්‍රනාන්දු

 

 

ඉන්දියන් සාගරය සහ එය ආශ‍්‍රිතව ක‍්‍රියාත්මක වෙමින් පවතින දේශපාලන ක‍්‍රියාදාම දෙස බලනවිට, එක් කාරණයක් ඉතා පැහැදිලිව පෙනී යයි. එනම්, ශ‍්‍රී ලංකාව දැන් ‘ගිරයට හසුවුණු පුවක් ගෙඩියක’ තත්ත්වයට වැටී ඇති බවයි. ගිරයේ ග‍්‍රහණය ඉතා දැඩිය. එහි අඩු දෙක, ඉන්දියාව සහ චීනයයි.
ඉකුත් වෙසක් උළෙල අවස්ථාවේ මේ කාරණය ඉතා පැහැදිලිව දැකගත හැකිවිය. මෙවර (2017) ජාත්‍යන්තර වෙසක් උළෙල පැවතියේ ලංකාවේය. එහි ප‍්‍රධාන ආරාධිත අමුත්තා වූයේ, බුදුරදුන් පහළවූ ඉන්දියාවේ වර්තමාන අග‍්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිය. උත්සවයට සහභාගිවීම සදහා ඔහු සිය දූත පිරිසද සමග ලංකාවට ආවේ මැයි මස 11 වැනිදා සවස් භාගයේය. මෝදිගේ ලංකා සංචාරය නිමිත්තෙන් ඉතා දැඩි ආරක්ෂක විධිවිධානද යොදා තිබිණි. එහි මුල්තැන්ගත්තේ ඉන්දීය ආරක්ෂක භටයන්ය. අග‍්‍රාමාත්‍යවරයාගේ සංචාරය පිණිස ඉන්දීය හෙලිකොප්ටර් යානා  දෙකක්ද ලංකාවට පැමිණ තිබුණි.
මැයි 12 වැනිදා ‘රොයිටර්’ අන්තර්ජාතික පුවත් සේවය අමුතු පුවතක් ලෝකයට මුදා හැරියේය. ඉන් කියැවුණේ, තම සබ්මැරීනයක් තාවකාලිකව කොළඹ වරායේ නැංගුරම් දැමීමට චීන බලධාරීන් කළ අවසර ඉල්ලීමක්, ශ‍්‍රී ලංකා රජය විසින් ප‍්‍රතික්ෂේප කර ඇති බවයි. අවසර නොදෙන්නේ මන්ද? යන කාරණය නම් පැහැදිලි නොවිණි.

චීන සබ්මැරීනයෙන් අමාරුවේ වැටීම

කෙසේ නමුදු චීන සබ්මැරීනය කොළඹ වරායේ නැංගුරම් දැමීමට අවසර ඉල්ලා සිටින්නේ නිකම්ම වකවානුවක නොවේ. ලොව බලවත් රාජ්‍ය අතළොස්ස අතරින් එකක් වන ඉන්දියාවේ අගමැතිවරයා ලංකාවේ දෙදින සංචාරයක නියැලෙමින් සිටින මොහොතකය. ඉන්දියාව මෙන්ම චීනයද බොහෝ කලක පටන්ම ලංකාවේ හිත මිතුරන්ය. එහෙත් ඔවුන් අතර නම් (චීනය සහ ඉන්දියාව), එතරම් ඇයි හොඳයියක් පෙනෙන්නට නැත. දේශසීමා වෙනුවෙන් දෙරටම දෙවරක් යුද වැදුණාහ. චීනයත් ඉන්දියාවත්, ඉන්දියන් සාගරයේ වෙළෙඳ නාවික ආධිපත්‍ය සඳහා සීතල යුද්ධයක පැටලී සිටින බව රහසක් නොවේ. චීනය මේ කාරණා මැනවින් දනියි. එසේම අගමැති මෝදි මැයි 11 සහ 12 යන දිනවල ලංකාවේ සංචාරයක යෙදෙන බවද ඔවුන් නොදන්නවා වන්නට කොහෙත්ම පුළුවන්කමක් නැත. ලංකාවේ ජාත්‍යන්තර වෙසක් උළෙල, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සම්බන්ධයද ඇතිව කළ වැඩක්වීම, ඊට හේතුවයි.
එබදු පසුබිමක, චීනය සිය සබ්මැරීනයක් කොළඹට ගෙන එන්නට අවසර ඉල්ලීම පැටලිලි සහගත කාරණයකි. එයින් අමාරුවේ වැටුණේ ශ‍්‍රී ලංකාවයි. ‘සබ්මැරීන’ යනු යුද කටයුතු පිණිස යොදාගන්නා යාත‍්‍රා විශේෂයක් බවද කවුරුත් දනිති. මීට පෙරද 2014 ඔක්තෝබරයේ චීන සබ්මැරීනයක් කොළඹ වරායට ආවේය. එ් අවස්ථාවේදී එය ඉන්දියාවේ දැඩි කනස්සල්ලට හේතුවූයේ චීන සබ්මැරීන ලංකා මුහුදු සීමාවේ සැරිසැරීම ඉන්දියාව සලකන්නේ තමාට කරන තර්ජනයක් ලෙස බැවිණි.
‘ගිරයකට හසුව සිටින පුවක් ගෙඩියක්’ වන් ශ‍්‍රී ලංකාවට, ඉන්දියාවේ මෙන්ම චීනයේ සුහදතාවද එකසේ වැදගත්ය. ලංකා භූමිය දෙරට අතර, ඉන්දීය සාගරයේ අතිශයින්ම උපක‍්‍රමික ස්ථානයක පිහිටා තිබීම ඊට හේතුවයි.
අගමැති නරේන්ද්‍ර මෝදි, සිය වෙසක් සංචාරය නිමවා ලංකාවෙන් නික්ම ගියේ මැයි 12 වැනිදා සන්ධ්‍යාවේය. එයින් පසුව ආසියානු කලාපයේ තවත් අමුතු සිදුවීම් කිහිපයක් හට ගත්තේය.
ඉන් ප‍්‍රධාන තැනක් ගත්තේ මැයි 14 වැනිදා චීනයේ බීජිං නුවරදී පැවති ‘එක් තීරයක්, එක් මාවතක්’ (One Belt-One Road ) නම් ජාත්‍යන්තර සංවර්ධන වැඩපිළිවෙළේ මහා සමුළුවයි. පැරණි ගොඩබිම් සහ සාගර සේද මාවත, වර්ෂ 2030 වනවිට නව මුහුණුවරකින් ප‍්‍රතිනිර්මාණය කෙරෙන එම වැඩපිළිවෙළෙහි අයිතිකාරයා චීනයයි. එයින් චීනය සහ යුරෝපය එකට යා කොට, නව ආර්ථික කලාපයක් බවට පත්කිරීමට යෝජිතය. මහා සමුළුව සදහා ආසියාකරයේ මෙන්ම,  රුසියා ජනපති වැද්මිර් පුටින් ඇතුළුව මැද පෙරදිග සහ යුරෝපය ආශ‍්‍රිත රටවල් 29ක රාජ්‍ය නායකයෝ සහභාගිවූහ. අමතරව, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම් ඇන්ටෝනියෝ ගුටරේස්, ලෝක බැංකුවේ සභාපති ජිම් යොං කිම් සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකරණ අධ්‍යක්ෂිකා ක‍්‍රිස්ටීන් ලෙගාර්ඞ් ඇතුළු ජාත්‍යන්තර සංවිධානවල නියෝජිතයන්ද සමුළුවට එක්වූහ. ඔවුන් සැවොම ‘එක් තීරයක් - එක් මාවතක්’ වැඩපිළිවෙළට සහාය පළ කරන බව පැවසී යයි, ජාත්‍යන්තර මාධ්‍ය වාර්තාකර තිබිණි.

බීජිං සමුළුව වර්ජනය

එහෙත් ඉන්දීය රජය බීජිං සමුළුවට ගියේ නැත. ඉන්දියාව එය වර්ජනය කළ බව, එරට ප‍්‍රවෘත්ති සේවා මගින් හෙළිකර තිබිණි. ‘එක් තීරයක්-එක් මාවතක්’ වැඩපිළිවෙළ යටතේ, ඉන්දියාවට උතුරෙන් පාකිස්තානය හරහා බිහිකෙරෙන නව ‘ආර්ථික කලාපය’ ඉන්දියාවේ ස්වෛරීභාවයට තර්ජනයක් වන නිසා, ඉන්දීය පාලකයන් එවන් තීන්දුවක් ගෙන ඇති බව ඒවායෙහි සදහන්ව තිබිණි.
මේ කාරණයෙන්  පෙන්නුම් කෙරෙන්නේ කුමක්ද?, ඉන්දියාව කිසිදු චීන ‘ආර්ථික රැල්ලකට’ කැමැති නැති බවයි. එයට ඉන්දීය සාගරයේ වෙළෙද නාවික ආධිපත්‍යය පිළිබද කාරණය ද ඇතුළත්ය.
ලංකාවට පැමිණි මෝදි අග‍්‍රාමාත්‍යවරයා ආපසු ගියේ 12 වැනිදාය. ඔහු සමග රාජ්‍යතාන්ත‍්‍රික කටයුතුවල යෙදීමෙන් පසුව, ශ‍්‍රී ලංකා අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහද පසුවදාම (13) බීජිං සමුළුවට සහභාගිවීමට චීනයට යන්නට සිදුව තිබිණි. ඒ, චීන සබ්මැරීන ප‍්‍රශ්නයේ ‘කොස්ස’ද තිබියදීමය. සමුළුව ඇමතූ රනිල් වික‍්‍රමසිංහ මහතා පවසා සිටියේ, ‘එක් තීරයක් - එක් මාවතක්’ සංවර්ධන වැඩපිළිවෙළ ගෝලීය වෙළෙද වර්ධනයේ නව අවකාශයක් උදාකරන්නට සමත් වන බවයි. එබැවින් එයට සහය දිය යුතු බවද හෙතෙම ප‍්‍රකාශකර තිබුණේය. කෙසේ වෙතත්, මේ සියල්ල ඉන්දියන් සාගරයේ තිරසාර සාමය සහ ස්ථාවරත්වය මත රදා පවතින බවත්, එහි සාමකාමී සහ හමුදා නොවන සබදතා දිරිගැන්වීම සුදුසු බවත් රනිල් වික‍්‍රමසිංහ වැඩිදුරටත් සදහන්කර තිබිණි.
මෙබදු කතා කියවෙන්නේ, චීනය හැරුණුවිට ඉන්දීය සාගර කලාපය ආශ‍්‍රිතව වෙසෙන ලොකුම බලවතා වන ඉන්දියාව,           බීජිං සමුළුව වර්ජනය කළ තත්ත්වයක් තුළය. එය විශේෂ කාරණයකි.

සාගරමාලා

මේ අතරේ ඉන්දියාව මේ දිනවල දැවැන්ත නාවික සහ ආර්ථික සංවර්ධන වැඩපිළිවෙළකට අතගසා තිබේ. එහි නාමය ‘සාගරමාලා’  'SAGARAMALA' ය.
ඉන්දියාව විශාල රටකි. එබැවින් එහි වරාය ක‍්‍රියාවලියද අතිශයින්ම පුළුල්ය. එරට සමස්ත වරාය සංඛ්‍යාව 45කි. ඉන් 13ක්, කන්ටේනර් මෙහෙයුම් පහසුකම් සහිත ප‍්‍රධාන වරායවේ. ඉන්දියාවට ඇති වෙරළ තීරය දිගින් කිලෝමීටර් 7500කි. තත්ත්වය එසේ වුවද, ඉන්දීය කන්ටේනර්  මෙහෙයුම්වලින් වසරකට සියයට 25ක්ම (එනම් කන්ටේනර් මිලියන 2.8ක්), කෙරෙන්නේ ඉන්දියාවෙන් පිටත, අනුන්ගේ රටවල වරායවලිනි. මින් වසරකට ඉන්දීය කන්ටේනර් මිලියන 1.2ක් මෙහෙය වන්නේ කොළඹ වරායෙනි. ඉතිරි කොටස, සිංගප්පූරුව, මැලේසියාවේ ‘කිලෑන්ග්’, ඕමානයේ ‘සලාලා’ සහ ඩුබායි රටේ ‘zJebel AliZ යන ජාත්‍යන්තර වරාය මගින් මෙහෙයවනු ලැබේ. ඉන්දීය බලධාරීන් පවසන අන්දමට, ඉන් වාර්ෂිකව ඉන්දියාවට අහිමි වන මුදල, ඇමෙරිකානු ඩොලර් මිලියන 230ක් (ඉන්දීය රුපියල් කෝටි 1500ක්) පමණ වේ. එය ඔවුන්ට බරපතළ ගැටලූවකි. ඉන්දියාව ‘සාගරමාලා’ නාවික ව්‍යාපෘතිය ක‍්‍රියාත්මක කරන්නේ ගැටලූව ලිහා ගැනීම පිණිසය.
කිලෝමීටර් 7500ක් දිගැති එරට වෙරළ තීරය, ‘නවීන ආර්ථික කලාපයක්’ බවට (Coastal Economic Region) පත්කර, ඉන්දීය වරාය ජාලය තවදුරටත් නවීකරණය කිරීම එහි අරමුණයි. ඒ යටතේ ඉන්දීය වෙරළාසන්න ප‍්‍රාන්ත හයකට අයත් ප‍්‍රධාන වරාය 06ක්, ජාත්‍යන්තර මට්ටමට සංවර්ධනය කෙරේ.
 ඉන්දීය සාගරමාලා ව්‍යාපෘතිය, ලංකාවේ වෙළෙද වරාය ක‍්‍රියාවලියට පුළුල් බලපෑමක් එල්ලවිය හැකි කාරණයකි.
මේ අතර, කොළඹ වරායේ කන්ටේනර් මෙහෙයුම් කෙරෙන නැගෙනහිර පර්යන්තය (ජැටිය) ඉන්දීය සමාගමක් විසින් බදුගන්නට යන බවක් දැන් දැන් අසන්නට ලැබේ. ලංකාවේ පාලකයන් එය බදු දෙන්නට යන්නේ, ඉන් උපරිම වශයෙන් ආදායම් උපයද්දීය. බදු දීමේ කතාව ඇත්තක් නම්, එයද ඉන්දීය ‘උපාය මාර්ගයක්’ බවට සැක නැත කොළඹින් හුවමාරු වන නැව් බඩුවලින් බහුතරය ඉන්දීය කන්ටේනර්ය. ඒවා ඉන්දීය සමාගමක් හරහා හුවමාරු කිරීම, තම රටට ලාභයක් ගෙන දෙතියි ඉන්දියාව කල්පනා කරනු විය හැකිය.

බෙංගාල බොක්ක බලා කියා ගැනීම

එපමණක්ද නොවේ. ඉන්දියාව දැන් අපේ රටේ තිරිකුණාමලය තෙල් ටැංකි සමූහයෙන් වැඩි කොටසක් බදු ගන්නටද සූදානම් වෙයි. ඒ සමගම ඔවුහු බංග්ලාදේශයේ ‘පයෙරා’ නමැති ගැඹුරු වරාය සංවර්ධනයටද හවුල්වන්නට පෙරුම් පුරමින් සිටිති. මතුපිටින් පෙනෙන හැටියට නම් මේවා ‘ඉන්දීය ආයෝජන’ය. නැතිනම් ‘ආර්ථික සංවර්ධන යෝජනා’ය. එහෙත් එහි යටිපෙළ අරුත වන්නේ, බෙංගාල බොක්ක සම්බන්ධයෙන් තම නාවික බලය පතුරුවා ගැනීමේ ඉන්දීය අභිලාෂයයි.
බංග්ලාදේශ පාලකයන් සිය ‘පයෙරා’ වරාය සංවර්ධනය පිණිස චීන සමාගම් දෙකක් සමග අවබෝධතා ගිවිසුම් අත්සන්කර ඇතැයි ඒජන්සි පුවත් වාර්තාවල ස`දහන්වේ. චීනය බෙංගාල බොක්කෙහි නාවික බලය ඩැහැගන්නට යන බව එහි තේරුමයි. ඉතින් ලංකාවේ තෙල් ටැංකි බදු ගැනීම ඔස්සේ ඉන්දියාව ත‍්‍රිකුණාමලයට පය ගසාගන්නට යාම, උපාය මාර්ගික කාරණයකි. නාවික ක‍්‍රියාදාම පැත්තෙන් බෙංගාල බොක්ක බලාකියා ගැනීමට ඇති හො`දම තැන ත‍්‍රිකුණාමලයවීම, ඊට හේතුවයි.
ඉන්දීය සාගරයේදී චීනයට තරගයක් දීමට නම් ඔවුන්ට (ඉන්දියාවට) ලංකාව නැතිවම බැරිය. ත‍්‍රිකුණාමලයට පය ගසාගන්නට ඒම, කොළඹ වරායේ  නැගෙනහිර පර්යන්තය (ජැටිය) බදුගන්නට උත්සාහ කිරීම, හම්බන්තොට වරාය චීන සමාගමකට බදු දෙනවාට සීතල විරෝධයක් පෑම, ඉන්දු-ලංකා පාලමක් දැමීමට උත්සාහ කිරීම ආදිය මගින් පෙන්නුම් කෙරෙන්නේ, ඉන්දියාවේ එම අභිලාශයයි. වෙසක් උත්සවය පිණිස මෙහි පැමිණි, නරේන්ද්‍ර මෝදි ඉන්දීය අගමැතිවරයා, හැටන් නගරයේ කළ කතාවේදී පැවසුවේ, ඉන්දියාව  දිගටම අපට උදව් කරන බවයි. වතු නිවාස දස දහසක් තනාදීම සහ ‘1990 ගිලන් රථ සේවය’ රටටම ව්‍යාප්ත කිරීම යන යෝජනා ඒ අතර විය. ඉන් කියවෙන්නේ ඉන්දියාව තවදුරටත් ලංකාවට සමීපවන්නට උත්සාහ කරමින් සිටින බවයි. ඉන්දියන් සාගර වෙළෙද නාවික තරගයේදී චීනයට මෙන්ම ඔවුන්ටද ලංකාව නැතිවම බැරිය.
ලංකාව දැන් ‘ගිරයට හසුව ඇති පුවක් ගෙඩියක්’ බවට පත්ව ඇතැයි මුලින්ම පැවසුවේ එබැවිනි.

ක‍්‍රිෂ්ණ විජේබණ්ඩාර

ඉකුත් සතිය ශ්‍රී ලංකාවාසීන්ට විශේෂයෙන් වැදගත් වූයේ වෙසක් සතිය වූ බැවිනි. විශේෂයෙන් මෙවර  එක්සත් ජාතීන්ගෙ සංවිධානය විසින් නම් කරන ලද ජාත්‍යන්තර වෙසක් දිනය සමරන ලද්දේද ශ්‍රී ලංකාවේදීය. එම අවස්ථාවට ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ද පැමිණියේය. රටේ බොහෝ පිරිසකගේ අවධානය කොළඹ පැවැත්වෙන වෙසක් සැමරුම පිළිබඳව යොමු වන විට තවත් පිරිසකගේ අවධානය යොමු වී තිබුණේ උතුරේ පැවැත්වෙන වෙසක් සැමරුම් පිළිබඳවයි.
සාමාන්‍යයෙන් උතුරු පළාත තුළ බෞද්ධ ජනතාවගෙ ප්‍රතිශතය ඉතාමත් සුළු ප්‍රමාණයක්  වුවද වෙසක් සැමරුම මහ ඉහළින් පැවැත්වේ. ලක්ෂය ඉක්ම වූ ත්‍රිවිධ හමුදා හා ‍පොලිස් සාමාජිකයන් පිරිසක් උතුරු පළාතේ රාජකාරි කරන බැවින් ඔවුන්ගේ  මැදිහත්වීමෙන් වෙසක් සැමරුම් මහ ඉහළින්  පැවැත්වේ. කිළිනොච්චිය ආරක්ෂක සේනා මූලස්ථානය විසින් සංවිධාන්‍ය කරන ලද වෙසක් කලාපය අලංකාරවත් ලෙස පැවැත්වින.   මෙහිදී කිළිනොච්චිය නගරය වෙසක් සැරසිලිවලින් ඒකාලෝක කර තිබිණ. කෙසේ නමුත් මේ පිළිබඳව ඇතැමුන් මෙය හඳුන්වා දී තිබුණේ ආගමික ආක්‍රමණයක් ලෙසයි. ඊට හේතුව  ලෙස කියා තිබුණේ කිලිනොච්චියේ බෞද්ධයන් පදිංචි වී නොසිටින  බැවින් වෙසක් සැරසිලි කිරීම නොකළ යුත්තක් බවයි.
නමුත් මෙවර මෙන්ම පසුගිය වසරවලදීද යාපනය, කිළිනොච්චිය, වවුනියාව මුලතිව් ආදී නගරවලද ආරක්ෂක  අංශ සාමාජිකයන්ගෙ මැදිහත්වීමෙන් වෙසක් සැරසිලි  හා දන්සල් පැවැත්වෙන අතර ඒ සඳහා දෙමළ ජනතාව ඉතාමත් උනන්දුවෙන් සහභාගි වීම සාමාන්‍ය දෙයකි. කුඩා දරුවන්ද සමග පැමිණ වෙසක් සැරසිලි හා නිර්මාණ නරඹා දෙමළ ජනතාව විශාල සතුටක් ලබති. එසේ නැතිව වෙසක් සැරසිලි නරඹා බුදු දහම වැළඳ ගන්නේ නැත. එමෙන් ජාතීන් අතර මෙන්ම ආගමික සංහිඳියාවටද උතුරේ වෙසක් සැරසිලි මහත් පිටිවහලක් වේ. ඒ නිසා උතුරේ සිදු කරන බෞද්ධ සැරසිලි දෙස අන්තවාදී කෝණයකින් නොබැලිය යුතුය.

වෙල්ලමුල්ලිවෛක්කාල් සැමරුම

මේ අතර රට වෙසක් සිරියෙන් ඇලලී යන විට උතුරු - නැගෙනහිරට සතියක ශෝක කාලයක් නම් කරන බව උතුරු පළාත් සභා මන්ත්‍රී එම්. කේ. ශිවාජිලිංගම් ප්‍රකාශ කළේය. ශිවාජිලිංගම් එසේ ශෝක සතිය ආරම්භ කරන ලද්දේ රටේ පළමු පුරවැසියාව ජනපතිවරයාට තර්ජනයක්ද කරමිනි.
මේ සතිය තුල ජනාධිපතිතුමා මුලතිව් හා යාපනයට පැමිණීමට නියමිතව තිබෙනවා. ඒ නිසා මම කියන්නේ ජන සංහාර සැමරුම් සතිය තුළ ජනාධිපතිට  උතුරු පළාතට එන්න එපා කියල  මම කියනවා”යැයිද ශිවාජිලිංගම් ප්‍රසිද්ධියේ මාධ්‍යයට ප්‍රකාශ කර තිබුණේය.

අනතුරුව, යාපනය, මන්නාරම, වවුනියාව, ත්‍රිරිකුණාමලය, කිළිනොච්චිය ආදී නගරවලදී පහන් දල්වා ශෝක සතිය සමරා තිබුණි. මෙහි අවසාන එමෙන්ම ප්‍රධාන  සැමරුම 18දා
වෙල්ලමුල්ලිවෛක්කාල්හිදී  පත්වන බවද ඔහු කීවේය. මෙම පහන් දැල්වීමේ සැමරුම් සඳහා එතරම් ජනතාවක් සහභාගි නොවූ අතර අතලොස්සක් වූ පිරිසක් පමණක් සහභාගි වූහ. මෙහිදී ශිවාජිලිංගම් කළ මතබේදාත්මක ප්‍රකාශ නිසා දකුණේ ජනතාවාදීන්ගේ් අවධානය යොමු වූ අතර රජය වෙනුවෙන් අදහස් පළ කිරීමට ඉදිරිපත් වූයේ ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධනය. එහිදි ඔහු ප්‍රකාශ කළේ ශිවාජිලිංගම් කීප දෙනෙකු  සමග එක්ව පවත්වන මාධ්‍ය සංදර්ශනය මෙන්ම කොටි නාඩගම මෙවර නවතා දැමීමට කටයුතු කරන බවයි. පෙර වර්ෂවලදීද දෙමළ සන්ධානයේ මෙවැනි  ජාතිවාදී සැමරුම් නවතා දමන බවට ආරක්ෂක රාජ්‍ය ඇමැතිවරයා ප්‍රකාශ කළද උතුරේ දේශපාලනඥයන් ප්‍රභාකරන්   අනුස්මරණය කිරීම නවතා දැමීමට හැකි වූයේ නැත.
බහුතර ජනතාව බලා‍පොරොත්තු වූ පරිදිම මෙවර  වූයේද එයයි. අවසානයේදී රුවන් විජේවර්ධන ඇමැතිවරයාගේ ප්‍රකාශය මාධ්‍ය සංදර්ශනයක් බවට පත් කරමින් සැලසුම් කළ පරිදි විශාල ජනතා සහභාගිත්වයක් සහිතව මුලතිව් වෙල්ලමුල්ලිවෛක්කාල්හිදී ජනසංහාර දිනය පවත්වන ලදී.
කෙසේ  නමුත් වෙල්ලමුල්ලිවෛක්කාල්හිදි පැවති සැමරුම් සඳහා විපක්ෂ නායක ආර්. සම්පන්දන්, උතුරේ මහ ඇමැති සී. වී. විග්නේෂ්වරන්, ටී.එන්.ඒ. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන එම්. ඒ. සුමන්තිරන්, ශ්‍රීදරන්. මාවෙයි  සේනාධි රාජා, ශිවාජිලිංගම් ඇතුළු  විශාල පිරිසක් පැමිණ තිබිණි. බළලා මල්ලෙන් එළියට පැන්නේ මෙහිදීය. එනම් බොහෝ දෙනා සිතා සිටියේ ජනසංහාර සතිය ශිවාජිලිංගම්ගේ හුදකලා විරෝධතාවක් ලෙසයි. එමෙන්ම ටිඑන්ඒ පිල් කීපයකට බෙදී සිටින බවද සිතා සිටියෝය. නමුත් අහිංසක සිවිල් ජනතාව සිහි කිරීමේ සැමරුමට මුවා වී පවත්වනු ලැබූ ජාතිවාදි සැමරුම සංවිධානය කිරීම සඳහා සියලු දෙනා එක්ව සිටියෝය.
මෙහිදී 'ලක්බිම ඉරිදා සංග්‍රහය'ට අදහස් දැක්වූ ශිවාජිලිංගම් මන්ත්‍රීවරයා මේ උත්සවය කරන්න දෙන්නෙ නැහැ කියලා රුවන් විජේවර්ධන  මහත්තයා කියා  තිබුණා. නමුත් මිය ගිය අහිංසක ජනතාව සැමරීම අපි සාර්ථකව කළා. නමුත් මේ උත්සවයට සහභාගි වන ජනතාව  බියට පත් කරලා තිබුණා. ජනතාව රැගෙන ආ බස් රථවල තොරතුරු  බුද්ධි අංශ ලබාගෙන තිබුණා. මේ බාධා කිරීම නිසා මම උත්සවයට ආවෙත් පරක්කු වෙලා. පසුගිය ආණ්ඩුවෙයි යහපාලන රජයෙයි වෙනසක් නැහැ යැයිද කීවේය.
කෙසේ නමුත් යාපනය විශ්ව විද්‍යාලය තුළ 18 පෙරවරුවේදී ජන  සංහාර සැමරුමක් පවත්වනු ලැබුණි. දෙමළ ජාතික සන්ධානයෙන් වෙන්ව කටයුතු කරන ගජේන්ද්‍ර කුමාර් ‍පොන්නම්බලම්ගේ පක්ෂය හිටපු එල්.ටී.ටී.ඊ, සාමාජිකයන්ගේ පක්ෂය, සර්ව ආගමික නායකයින් සිවිල් සංවිධාන එකතුව යන පිරිස වෙනම සමරුම් 04ක් 18දා පස්වරුවේ  වෙල්ලමුල්ලිවෛක්කාල්හිද පවත්වන ලදී.

මෑත කාලයේ  වාර්තා වූ දරුණුම සයිබර් ප්‍රහාරය ගැන මේ දිනවල ලොව පුරා විශාල ආන්දෝලනයක් සහ නොසන්සුන්තාවක් හටගෙන තිබේ. WannaCry  යන නාමයෙන් හැඳින්වෙන වෛරසයක් හරහා එල්ල වූ මෙම ප්‍රහාරයට මේ වනවිට ලොව පුරා රටවල් 100කට අධික සංඛ්‍යාවක පරිගණක ජාල ගොදුරු වී ඇති බව වාර්තා වෙයි. මෙය සැලකෙන්නේ සයිබර් ප්‍රහාර  ඉතිහාසයේ දරුණුම සහ සංකීර්ණම ප්‍රහාරයක් වශයෙනි.

මීට අදාළ වෛරසය පරිගණකයකට ඇතුළු වූ විට එය විසින් අදාළ පරිගණකයේ ක්‍රියාකාරිත්වය මුළුමනින්ම නතර කරනු ලබයි. ඉන්පසු කිසිවකුට පරිගණකය සමග කටයුතු කිරීමට හැකියාවක් ලැබෙන්නේ නැත. මෙය එක්තරා ආකාරයකින් එම පරිගණකය ‘ප්‍රාණ ඇපයට’ ගැනීමක් හා සමානය. අනතුරුව ප්‍රහාරකයන් දැනුම් දෙන්නේ කිසියම් කප්පම් මුදලක් ගෙවන තුරු පරිගණකය නිදහස් නොකරන බවයි. ඒ අනුව නැවත පරිගණකය ක්‍රියාත්මක කිරීමට හැකි වන්නේ අදාළ කප්පම ගෙවීමෙන් පසුව පමණි.

මේ වනවිට ලෝකයේ ප්‍රධාන පෙළේ රටවල් රැසක පරිගණක පද්ධති මෙම වෛරසයට ගොදුරු වී අවසන්ය. ඉහළම මට්ටමේ ව්‍යාපාරික සමාගම් රැසක්ද ඒ අතර වෙයි. මහා බ්‍රිතාන්‍යයේ රෝහල් ඇතුළු සෞඛ්‍ය සේවා ආයතනද මෙම ප්‍රහාරයට ගොදුරු වූ ප්‍රධාන ඉලක්කයකි. මේ නිසා බොහෝ රෝගීන්ට ප්‍රතිකාර කිරීමේ කටයුතු අඩාල වූ බැව් වාර්තා විය. ශල්‍යකර්ම ආදිය පවා අවලංගු කර දැමීමට සිදු වූ බවද බ්‍රිතාන්‍ය මාධ්‍ය හරහා අනාවරණය විය. ඇමෙරිකාව, ජර්මනිය, රුසියාව, ස්පාඤ්ඤය, ප්‍රංශය, චීනය, දකුණු කොරියාව, පෘතුගාලය, ඉන්දුනීසියාව ආදී රටවල්ද ප්‍රහාරයට ඉලක්ක වූ ප්‍රධාන රටවල් ලෙස සඳහන් විය. දරුණුම ප්‍රහාරය එල්ල වී ඇත්තේ රුසියාවට බවද සැලකේ. එහි බැංකු, දුම්රිය සේවා සහ ජංගම දුරකථන සේවා ආදිය මීට ගොදුරු වී ඇති බව සඳහන් වෙයි. ඉන්දියාවද වැඩියෙන්ම ප්‍රහාරයට ලක් වූ රටක් ලෙස මේ වනවිට ප්‍රකාශයට පත්ව තිබේ. ඇතැම් රටවල විශ්වවිද්‍යාල වැනි අධ්‍යාපන ආයතන පවා ප්‍රහාරයට ලක්වීම නිසා සිසුන්ගේ අධ්‍යාපන කටයුතු පවා අඩාල වී ඇතැයි අනාවරණය වෙයි.

මෙම බිහිසුණු වෛරසය නිර්මාණය කර ඇත්තේ කව්ද යන්න මෙම ලිපිය ලියන අවස්ථාව වනවිටත් අනාවරණය වී තිබුණේ නැත. නමුත් ප්‍රහාරකයන් මෙය නිපදවා ඇත්තේ ඇමෙරිකාවේ ජාතික ආරක්ෂක ඒජන්සිය (National Security Agency) විසින් කලකට පෙර නිර්මාණය කරන ලද  ප්‍රයෝග වාගයක් උදව්වට ගනිමින් බවටද තොරතුරු පළවෙයි. මෙම ප්‍රයෝග පිළිබඳ දත්ත කලකට ඉහත කිසියම් හැකර්වරුන් පිරිසක් විසින් සොරා ගනු ලැබ අන්තර්ජාලයට මුදා හැර තිබූ අතර WannaCry වෛරසයේ නිර්මාතෘවරුන් ඒවායේ උදව්වෙන් මෙම වෛරසය නිපදවා ඇති බවයි පැවැසෙන්නේ.

සුළභව හමුවන වෛරසවලට වඩා මෙම වෛරසය වේගයෙන් ව්‍යාප්ත වන දරුණු වෛරසයක් බවට පත්ව තිබේ. ඊට හේතු වී ඇත්තේ එය ස්වයංක්‍රීයව පරිගණක පද්ධතිවලට ඇතුළු වීමට දක්වන සමත්කමය. බොහෝ විට වෛරසයක් පරිගණකයකට ඇතුළු වන්නේ කෙනකු කිසියම් ඊමේල් පණිවුඩයක් වැනි යමක් විවෘත කිරීමත් සමගය. නමුත් WannaCry වෛරසයට එවැනි කිසිවකින් තොරව වුවද පරිගණකයකට ඇතුළු වීමේ හැකියාව ඇති බව පළවෙයි. ඉන්පසු එම පරිගණකය සමග සම්බන්ධව ඇති සමස්ථ පරිගණක ජාලයක්ම ප්‍රාණ ඇපයට ගැනීමට මීට හැකියාව තිබේ.

මෙම වෛරසය නිසා ශ්‍රී්‍ර ලංකාවේ පරිගණකවලටද පවතින අනතුර සම්බන්ධයෙන් අදාළ අංශ ජනතාව දැනුවත් කිරීමට පියවර ගෙන තිබිණි. මෙයින් ආරක්ෂා වීම සඳහා මූලික පියවර කිහිපයක් යෝජනා කර තිබෙණුද දැකිය හැකි විය. වැදගත් ‍ලේඛනවල පිටපත් පෙන්ඩ්‍රයිව් වැනි බාහිර මෙවලමක ගබඩා කර ගැනීම, සැක සහිත ඊ මේල් පණිවිඩ විවෘත නොකිරීම, වෛරසවලින් ආරක්ෂා වීමේ මෘදුකාංග (Virus Guards) යාවත්කාලීන කර ගැනීම වැනි මූලික ආරක්ෂක පියවර අනුගමනය කිරීම වැදගත් වුවද මෙම වෛරසයේ ඇති ප්‍රබල බව සහ සංකීර්ණ බව නිසා එවැනි පියවරවලින් පමණක් සම්පූර්ණ ආරක්ෂාවක් ඇති කරගත හැකි වේද යන්න සැක සහිතය.

මෙම වෛරසය සම්බන්ධයෙන් මේ වනවිට ඇමෙරිකාවේ ජාතික ආරක්ෂක ඒජන්සිය වෙත විශාල වශයෙන් චෝදනා එල්ල වීමට පටන්ගෙන තිබේ. ඒ මෙවැනි වෛරසයක් නිපදවීමට උදව් විය හැකි උපක්‍රම නිර්මාණය කිරීම සහ ඒ පිළිබඳ තොරතුරු හැකර්වරුන් අතට පත්වීමට ඉඩ හැරීම සම්බන්ධයෙනි. කලකට පෙර ඉහත ඒජන්සියේ සයිබර් කටයුතු සම්බන්ධයෙන් රහස් රැසක් ලොවට හෙළි කළ එඩ්වඩ් ස්නෝඩන්ද ඇමෙරිකාවට චෝදනා කරන පිරිස අතර වෙයි. ඒ අතර ඇමෙරිකාව මෙම අලුත් සයිබර් ප්‍රහාරය පිළිබඳ වගකීම රුසියානු සයිබර් ප්‍රහාරකයන් වෙත පැටවීමට උත්සාහ කරන ආකාරයක්ද පෙනී යන අතර මෙම සිද්ධිය හරහා මේ දෙපාර්ශ්වය අතර දේශපාලන එදිරිවාදිකම් පිරිමසා ගැනීමේ තත්ත්වයක්ද මේ වනවිට දැකිය හැකි වෙයි.

කිත්සිරි මල්වත්ත

හල්දුම්මුල්ල සොරගුණේ දඩයම්‍පොළ යනු ශ්‍රී ලංකාවේ ඉතා සරු ෙජෙව විවිධත්වයක් සහිත කලාපයකි. අලි ඇතුන් වන සතුන් රැසකගේ  නිජ බිමක් වන මෙම ප්‍රදේශය  හපුත‍ලේ හා හෝර්ටන් තැන්න කඳුවැටි වලින් ගලා හැළෙන දිය උල්පත් ඒකරාශී වී කාල්කන් ඔය, වේලි ඔය, හා දෙමට ආර යන ගංගාවලට උපත දෙන්නේය. මෙම ගංගා තුන ඒකරාශී වන ස්ථානයේ ඉදිකර ඇති (වේලි ඔය ප්‍රදේශයේ) වේල්ල මගින් හම්බෙගමුව, කොටවෙහෙර, මංකඩ, වේලි ඔය යන ප්‍රදේශ වලට ජලය ලබා දෙමින් කුඹුරු හෙක්ටයාර් දෙදහස් අටසිය තිහක් උදෙසා දියවර සපයන්නේය. එකි ව්‍යාපාරය තුළින් ගොවි පවුල් පන්දහසකට හයදහසකට අධික පිරිසක් තම ජීවන මාර්ගය සකස් කරගනී. වේලි ඔයේ දියවර ඉන් නොනැවතී මහ වැව් දෙකක් හා කුඩා වැව් තිස් හතරක් ‍පෝෂණය කරන්නීය. එය අවසන් වන්නේ හම්බෙගමුව වැවට ජලය පිරීමෙන් පසුවය. 
 මෙම වටිනා ජලමූලාශ්‍රය හා ඒහා බැඳුණ පරිසර පද්ධතිය මේ වන විට ඇත්තේ විනාශයේ එළිපත්තේය. ඊට හේතුව විදේශීය සමාගමක් සොරගුණේ ප්‍රදේශයේ අක්කර හයසිය විසි අටක් මිලදී ගෙන කාමර දෙදහසකින් යුත් හෝටලයක් හා ජාත්‍යන්තර තලයේ ගොල්ෆ් ක්‍රීඩාංගණයක් ඉදි කිරීමට යෑමය. වේලිඔය කොටවෙහෙර මංකඩ සුදු වැල්ල ශ්‍රී පුලිනතලාරාමාධිපති නෙල්ලිවල සුමේධාලංකාර හිමියෝ පවසන පරිදි මෙම ව්‍යාපෘතිය ඉදි කළහොත් වේලිඔය ව්‍යාපාරය මුළුමනින්ම විනාශ වීමට ඉඩ ඇත. වේලිඔය ව්‍යාපෘතියට ජලය ලැබෙන රක්ෂිත ප්‍රදේශය වන දඩයම්‍පොල රක්ෂිතය තුළ විශාල ගස් විශේෂයෙන් කුඹුක්, බුරුත, කෝන්, පුස්වැල්, වේවැල්, අරළු, නෙල්ලි, ගම්මාලු, වැනි ශාක රාශියක් තිබෙනවා. ඊට අමතරව වන අලින්, ගෝනන් වල් ඌරන්, රිළවුන්, වඳුරන්, ඕලු මුවන් වැනි සතුන් හා විවිධ කුරුලු විශේෂ, මත්ස්‍ය විශේෂ, වර්ග රැසක් මෙම වනාන්තරය කේන්ද්‍ර කරගෙන ජීවත් වෙනවා. මේ හෝටලය ඉදිකළහොත් ඒ ෙජෙව විවිධත්වය නිසැක ලෙසම විනාශ වෙනවා. මෙම ව්‍යාපෘතිය සිදුකළහොත් අනිවාර්යයෙන්ම අලිමිනිස් ගැටුමක් අලුතින් ඇති වෙනවා. බෝගහ පට්ටිය අභය භූමිය, උඩවලව අභය භූමිය, දහයියාගල අභය භූමිය යන අභය භූමිවල ජීවත් වන අලි ඇතුන් නිරන්තරයෙන්ම සොරගුණේ දඩයම්‍පොල ප්‍රදේශයට එනවා. අලි ඇතුන්ට ඔවුනගේ වාස භූමි අහිමි වුවහොත් අනිවාර්යයෙන්ම මිනිසුන් හා අලින් අතර ගැටුම් ඇති වෙනවා යැයි සුමේධාලංකාර හිමියන් වැඩිදුරටත් පවසති. 
මෙම විදේශීය සමාගම ඉඩම් මිලදී ගෙන ඇත්තේ හල්දුම්මුල්ල සොරගුණේ කතරගම දේවාලයට අයත් බණ්ඩාර පංගුවේ ඉඩම් බව  හල්දුම්මුල්ල ප්‍රාදේශීය ‍ලේකම් වරිය වන ශිරෝමි ජීවමාලා පවසන්නීය.
මේ ඉඩම් රජයට අයත් ඒවා නොවේ. සොරගුණේ දේවාලයට අයත් බණ්ඩාරපංගු, රාජකාරි පංගු, හා නින්දගම්වලට අයත් ඉඩම් බව ඇය වැඩිදුරටත් කීවාය. හල්දුම්මුල්ල ප්‍රාදේශීය ‍ලේකම් වරිය එසේ ප්‍රකාශ කළද සොරගුණේ දඩයම් ‍පොළ  රක්ෂිතය තුළ ඇත්තේ මහා රූස්ස ගස්ය. සොරගුණේ දේවාලයට අයත් ඉඩම් වුවද වසර සිය ගණනාවකින් එහි කිසි වගාවක් කරනවා තබා මිනිස් පුළුටක් එහි පයගසා නැති බව දැකගන්නට ලැබිණි.
මේ අතර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පසුගිය දිනක විශේෂ ප්‍රකාශයක් කරමින් කියා සිටියේ දිවයින පුරා අක්‍රමවත් අයුරින් සිදුවන  පස් කැපීම්, වනාන්තර එළිපෙහෙළි කිරීම්, සහ වැලි ප්‍රවාහනය පිළිබඳව තමා වෙත තොරතුරු ලැබි ඇති අතර පරිසරයට දැඩි විනාශයක් සිදු කරමින් කරගෙන ගිය බොහොමයක් කටයුතු තම මැදිහත්වීමෙන් නැවැත්වීමට පියවර ගත් බවයි. ඉදිරියේදී පස් කැපීම් සහ වනාන්තර එළි පෙහෙළි කිරීම පිළිබඳව දැනට තිබෙන ආයතනික ව්‍යුහය තුළ අදාළ සියලුම ආයතනවල අනුමැතිය හිමි වුවද අවසානයේ පරිසර අමාත්‍යවරයා ලෙස තමාගේද අනුමැතිය ලබාගැනීමට අවශ්‍ය බවට නීති රීති වෙනස් කරමින් නව චක්‍ර‍ලේඛණයක් නිකුත් කරන බවද ජනාධිපතිවරයා සඳහන් කළේය.
පරිසර සංරක්ෂණය පිළිබඳව මූලික වගකීම දරන සියලු ආයතන මීට වඩා වගකීමෙන් කටයුතු කළයුතු බවද අවධාරණය කළ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ජාවාරම්කාර ව්‍යාපාරකයන්ගෙන් අපගේ පරිසරය ආරක්ෂා කරගැනීම සඳහා සියලු දෙනා කැපවීමෙන් කටයුතු කළ යුතු බව දන්වා සිටියේය. 
රටේ ජනාධිපතිවරයා කුමන ප්‍රකාශ කළද ජාවාරම්කරුවෝ ඒවා තුට්ටුවකට නොසලකති. මෙම වනාන්තර එළිපෙහෙළි කළ ප්‍රදේශවල ගොවි ජනතාවට මහත් විනාශයක් සිදුවනු ඇත. 
අපේක්ෂා කරන හෝටලය ඉදිකළහොත් දහස් ගණනක ගොවි පිරිසකගේ වගාවන් විනාශව ගොස් මහා පරිමාණ ෙජෙව සංහාරයක් නොදුරේදීම වේලිඔය නිම්නයේ දැකගත හැකි වනු ඇත. මේ සොඳුරු වන පෙත රැකගනුවස් මෙහි සියලු ගස් සඟ සතු කරන්නට පරිසර සංවිධාන කටයුතුකර ඇත.
අප මේ පිළිබඳව බලංගොඩ ප්‍රාදේශීය ‍ලේකම් චම්පික නිරෝෂ් ධර්මපාලගෙන්ද විමසීමක් කළෙමු. 
ඇත්තටම මෙම ප්‍රදේශය එළිපෙහෙළි කළහොත් විශාල ලෙස ජල උල්පත් සිඳී යාවි. කල්තොට, වේලිඔය හා කාල්කන් ඔය හරස් කර වාරිමාර්ග ව්‍යාපෘතියක් ආරම්භ කර තිබෙනවා. මේ වන විට එහි වම් ඉවුර යෝජනා ක්‍රමයෙන් හම්බෙගමුව තණමල්විල දක්වා ජලය රැගෙන යන අතර මේ වන විට අක්කර සිය ගණනක් යලමහ කන්න දෙක වී ගොවිතැන කරනවා. 
ඊට අමතරව ඉදිරියේදී දකුණු ඉවුර යෝජනා ක්‍රමය යටතේ කල්තොට මැදබැද්ද, ප්‍රදේශයට මෙම ව්‍යාපෘතියෙන් ජලය ලබා ගෙන වී ගොවිතැන් කිරීමටයි බලා‍පොරොත්තු වන්නේ අනෙක තමයි හම්බෙගමුව තණමල්විල මොණරාගල යන ප්‍රදේශ කොහොමත් වියළි කලාපයට අයත් වන්නේ එසේ තිබියදී මෙලෙස රක්ෂිත වනාන්තර එළිපෙහෙළි කිරීම අනුමත කරන්න බැහැ යැයි පවසන්නේය. 
වේලිඔය ඉදිකර ඇත්තේ මොණරාගල බදුල්ල, රත්නපුර යන දිස්ත්‍රික්ක තුන සම්බන්ධ කර ගෙනය. 
එබැවින් මේ මහා පරිමාණ විනාශය සිදු වුව හොත් ඉන් මේ දිස්ත්‍රික්ක තුනම දැඩි පීඩාවට පත් වෙනු නොඅනුමානය. වේලිඔය ගොවි ජන උරුමය රැකගනු වස් සටන් වදින වේලිඔය ඒකාබද්ධ ගොවි සංවිධානයේ ‍ලේකම් ඩී. එම්. දිසානායක තමුනට සිදුවීමට යන මේ මහා විනාශය පිළිබඳ මෙසේ පවසන්නේය. මේ හෝටලය හැදුවොත් අක්කර දහස් ගණනක ගොවිතැන් ඉවරයි. 
අපේ ජීවිතය පරිත්‍යාග කර හෝ මේ රක්ෂිතය ආරක්ෂා කිරීමට ගොවීන් කැපවී කටයුතු කරනවා. ගොල්ෆ් ක්‍රීඩාංගණය ඉදිකළහොත් වේලිඔය වාරි ව්‍යාපෘතියට විශාල හානියක් සිදු වෙනවා. කාල්කන් ඔය හා වේලිඔය හරස් කර වේල්ලක් ඉදිකර ඇළ මාර්ගයකින් ජලය රැගෙන වේලිඔය ප්‍රදේශයේ කුඹුරු හෙක්ටයාර් දෙදහස් අටසිය තිහක් (2830) ක් වගා කරනවා. ගොවි පවුල් පන් දහසක් හය දහසක් මේ කුඹුරු වලින් ජීවත් වෙනවා. ඒ ඉහත කී ව්‍යාපෘතියට අපගේ දැඩි විරෝධය ප්‍රකාශ කරනවා. ඒකාබද්ධ ගොවි සංවිධානය යටතේ ගොවි සංවිධාන තිස් හතරක් නියෝජනය වෙනවා. 
මෙම පරිසර විනාශය පිළිබඳව පරිසර යුක්ති කේන්ද්‍රය මගින් අධිකරණ ක්‍රියාමාර්ගයක් ගනිමින් සිටින බව එහි නීතිඥ සුගත් අතපත්තු සඳහන් කරයි. වැඩි දුරටත් ඔහු සඳහන් කරන්නේ මෙම ව්‍යාපෘතිය ඉදිකළ හොත් මහත් පරිසර විනාශයක් සිදුවී ගොවීන්ගේ නිජ බිම් විනාශ වී යනු ඇති බවයි. වේලි ඔය ව්‍යාපෘතිය වෙනුවෙන් රුපියල් කෝටි ගණන් රටට ණය වී ඇත. 
වේලිඔය වනසන හෝටල් ව්‍යෘපෘතියේ පීතෘවරු සිටියේ පසුගිය රජයේය. දැන් ආණ්ඩු පෙරළි ඇතත් වේලිඔය වැනසීම නතරව නැත. කැ‍ලේ මාරු වූවාට කොටියාගේ පුල්ලි මාරු වෙන්නේ නැති බව ගොවියන් පවසන්නේ මේ වගේ විගඩම්වලටය. 
 
සටහන හා ඡායාරූප : සරත් වීරවංශ

ගීතා කුමාරසිංහ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය දැරීමට නුසුදුසු බවට අභියාචනාධිකරණය තීන්දු කිරීමත් සමග ගාල්ල දිස්ත්‍රික් එක්සත් ජනතා නිදහස් සන්ධාන නාමයෝජනා ලැයිස්තුව අවලංගු වේදැයි සැකයක් පැන නැගී ඇත. ඊට හේතුවූයේ ගීතා නීත්‍යනුකූල නොවන ආකාරයට නාමයෝජනා භාරදුන්නා නම් සන්ධාන ලැයිස්තුවේ මුළු නාමයෝජනාද අහෝසි විය යුතු බවට නැගුණු තර්කයය. මේ වනවිටත් සන්ධානයේ මන්ත්‍රී ලැයිස්තුව අහෝසි කිරීමට කරන්දෙණිය එජාප සංවිධායක හා දකුණු පළාත් සභා මන්ත්‍රී ජයන්ත ජයවීර අධිකරණයට යන බවට සඳහන් කර තිබේ.
ස්විට්සර්ලන්ත හා ශ්‍රී ලංකා යන ද්විත්ව පුරවැසිභාවය ගීතා කුමාරසිංහ දරන බැවින් ඇයට මන්ත්‍රීවරියක ලෙස කටයුතු කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව නොහැකි බව කියමින් ගාල්ල දිස්ත්‍රික්කයේ පුද්ගලයන් කිහිප දෙනෙකු අභියාචනාධිකරණය හමුවේ පවරා තිබූ නඩුවේ තීන්දුවෙන් පසු ඒ ගැන මේ රටේ ලොකු ආන්දෝලනයක්ද හටගත්තේය.
19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව ද්විත්ව පුරවැසියෙකුට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු විය නොහැකි බවට වන නීතිය අනුවය. නඩුව විභාග කළ අභියාචනාධිකරණය ගීතා කුමාරසිංහට තවදුරටත් මන්ත්‍රීවරියක ලෙස කටයුතු කළ නොහැකි බව තීන්දු කළේය.
එම තීරණය නීතිපතිවරයා විසින් ඉකුත් 08දා කථානායක කරු ජයසූරිය හා පාර්ලිමේන්තුවේ මහ‍ලේකම් ධම්මික දසනායක වෙත යොමුකර තිබුණි. එම තීරණය ප්‍රකාරව පාර්ලිමේන්තු මහ‍ලේකම්වරයා විසින් ගාල්ල දිස්ත්‍රික්කයේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රීධුරයක් පුරප්පාඩුවී ඇති බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය වෙත දැනුම් දුන්නේය.
මැතිවරණ කොමිසමට කළ දැනුම්දීම අනුව මැතිවරණ කොමිසම රැස්වී ගාල්ල තේරීම් භාර නිලධාරියා වන ගාල්ල දිස්ත්‍රික් ‍ලේකම්වරයාගෙන් මනාප ලැයිස්තුවේ ඊළඟට වැඩිම මනාප ගත් අපේක්ෂකයාගේ නම ගැනීමට තීන්දු කළේය. එසේම ගාල්ල තේරීම්භාර නිලධාරියා ඊළඟ අපේක්ෂකායගේ නම එවූ පසු එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ‍ලේකම්වරයාට මැතිවරණ කොමිසම දැනුම් දුන්නේ ඔවුන්ගේ අපේක්ෂක ලැයිස්තුවේ ඊළඟට සිටින අය නම්කර එවන ලෙසය.
මැතිවරණ කොමිසම කළ දැනුම්දීමට අනුව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ‍ලේකම් මහින්ද අමරවීර මනාප ලැයිස්තුවේ ඊළඟ වැඩිම මනාපලාභියා වන පියසේන ගමගේ ගේ නම මැතිවරණ කොමිසමට දැනුම්දී තිබුණි.
ඒ අනුව මැතිවරණ කොමිසමට දැන් ඉතිරිව ඇත්තේ ඊට අදාළ ගැසට් නිවේදනය නිකුත් කිරීමටය. 
ගීතා කුමාරසිංහ විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට ඇපෑල ඉදිරිපත් කරන ලද්දේ ඉකුත් අඟහරුවාදාය. ඒ ගැන ඇය විසින් මැතිවරණ කොමිසමද දැනුවත් කර තිබුණි. මේ නිසා ඇයගේ මන්ත්‍රීධුරය වෙනුවට වෙනත් කෙනෙකු මැතිවරණ කොමිසමට නම් කළ නොහැකි බව ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරු ප්‍රකාශ කළහ. ගීතාගේ පුරප්පාඩුවට මන්ත්‍රීවරයකු පත්කිරීම මැතිවරණ කොමිසම විසින් මේ වන විට අත්හිටුවා ඇත. ඒ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබා දුන් තීන්දුවත් සමගය. මැතිවරණ කොමිසම මන්ද ගීතා වෙනුවට වෙනත් මැතිවරණ කොමිසමද මේ පිළිබඳව නීති උපදෙස් ගෙන ඇති බවද එම කොමිසමේ ආරංචි මාර්ග සඳහන් කරයි.
මේ අතර දේශපාලන වේදිකාවේ කතාබහට ලක්වූයේ ගීතා කුමාරසිංහ සම්බන්ධයෙන් ලබාදුන් නඩු තීන්දුව හේතුවෙන් ගාල්ල දිස්ත්‍රික්කයේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ අපේක්ෂක ලැයිස්තුවම අහෝසි වන බවකි. කොළඹ නීති විද්‍යාලයේ කථිකාචාර්ය ආචාර්ය ප්‍රතිභා මහානාමහේවා පෙන්වා දෙන්නේ අදාළ මැතිවරණය සමානුපාතික ඡන්ද ක්‍රමයට පැවැත්වීමත් ඒ වනවිට 19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්මතවී තිබිමත් නිසා අපේක්ෂක ලැයිස්තුවම අහෝසි වන බවත්ය. මේ අනුව එක්සත් ජනතා නිදහස් සන්ධානයට ගාල්ල දිස්ත්‍රික්කයෙන් හිමි මන්ත්‍රී ධුර හය එක්සත් ජාතික පක්ෂයට හා ජනතා විමුක්ති පෙරමුණට ඔවුන් ගත් ඡන්ද සංඛ්‍යාව අනුව බෝනස් ආසන ලෙස හිමිවන බවද මහානාම හේවා කීය.
අනෙක මේ පෙත්සම මැතිවරණය අවසන්වී දින 21කට පසුව ඉදිරිපත් කළ නඩුවක් බැවින් මැතිවරණ කොමිසමට ඒ සම්බන්ධයෙන් ස්වාධීනව තීරණයක් ගන්නට සිදුවන බවද ඔහු සඳහන් කළේය. අපේක්ෂක ලැයිස්තුව අහෝසිවීම මත ඒ ආසන අනෙක් පක්ෂවලට බෙදා දෙනවාද නැතිනම් නැවත ගාල්ල දිස්ත්‍රික්කයේ ඡන්දය පවත්වනවාද යන්න තීරණය මැතිවරණ කොමිසමට ගතහැකි බවද ඔහු කීවේය.
මේ සම්බන්ධයෙන් පැෆරල් ආයතනයේ විධායක අධ්‍යක්ෂ නීතිඥ රෝහණ හෙට්ටිආරච්චි දරන්නේ වෙනත් අදහසකි. උද්ගත වූ ප්‍රශ්නය අර්ථ දැක්විය යුත්තේ අධිකරණය මිසක් වෙනත් කෙනෙකු නොවන බව ඔහු සඳහන් කරයි. එක් පුද්ගලයෙකුට එරෙහිව නඩු තීන්දුවක් දී ඇත්තේ මැතිවරණ පෙත්සමක් මත නොවන නිසා අනෙක් අපේක්ෂකයන්ට මෙයින් බලපෑමක් නොවන බවද ඔහු සඳහන් කළේය.
19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් වෙන්නේ ද්විත්ව පුරවැසියකුට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කළ නොහැකි බව පමණක් යැයිද ඔහු සඳහන් කළේය. මේ නිසා නාමයෝජනා භාරදෙන අවස්ථාවේ ද්විත්ව පුරවැසියෙකු ලෙස සිටීම ගැටලුවක් ලෙස දක්වා නැති බව රෝහණ හෙට්ටිආරච්චිගේ අදහසයි. අනෙක නාමයෝජනා දුන් පසු විරෝධතා ගොනුකිරීමට ඇති පැය භාගයක කාලය තුළ ද්විත්ව පුරවැසියෙකුද නැතිද යන කාරණය තේරීම්භාර නිලධාරියාට සෙවීමට තරම් පහසුකම් නැති බවද ඔහු කීවේය. එම අවස්ථාවේ බලනුයේ මැතිවරණ පනත අනුව නාමයෝජනා පත්‍රයේ සුදුසුකම් පවතිනවාද යන්න පමණකි.
එනම් අපේක්ෂකයන් නියමිත වයස සපුරා ඇතිද, නාමයෝජනා ලැයිස්තුවේ අපේක්ෂක දිවුරුම ලබාදී තිබේද, එම දිවුරුම සහතික කර තිබේද, පිළිගත් දේශපාලන පක්ෂයක් නම් ‍ලේකම්වරයාගේ අත්සනද ස්වාධීන කණ්ඩායමක් නම් කණ්ඩායම් නායකගේ අත්සන තිබෙනවාද යන කාරණාවන්ය.
මීට අමතර දෙයක් පරීක්ෂා කිරීමේ බලය පවතින්නේ අධිකරණයට බවද ඔහු පෙන්වා දුන්නේය. එම නිසා මෙම නඩු තීන්දුව අනෙක් මන්ත්‍රීවරුන්ට බලපෑමක් නොමැති බවද ඔවුහු පවසයි.
ද්විත්ව පුරවැසිභාවය සම්බන්ධයෙන් 2015 අගොස්තු මාසයේ පැවති මැතිවරණයේදී පැමිණිල්ලක් පැමිණියේ මාතර දිස්ත්‍රික්කයේ අපේක්ෂකයෙකුට එරෙහිවය. ඒ හිටපු ඇමැතිවරයෙකු වූ එච්.ජී. සිරිසේනගේ පුත් මනෝජ් ප්‍රසන්න සම්බන්ධයෙනි. නමුත් එම අවස්ථාවේ තේරීම්භාර නිලධාරියා තීරණය කළේ 1981 පාර්ලිමේන්තු මැතිවරණ පනත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අනුව යාවත්කාලීන කර නොමැති නිසා එම විරෝධතාව පිළිගත නොහැකි බවකි.
ජනාධිපති නීතිඥ ජේ.සී.වැලිඅමුණ කියා සිටියේ එක් අපේක්ෂකයෙකු සම්බන්ධයෙන් දුන් තීන්දුවකදී අපේක්ෂක ලැයිස්තුව අහෝසි වෙන ක්‍රමයක් නීතියේ නොමැති බවකි. ලංකාවේ මැතිවරණ නීතිය අනුව විරෝධතා ගොනුකරන්න අවස්ථාවක් ඇතත් එය තීරණය කරනුයේ තේරීම්භාර නිලධාරියා විසින් බව ඔහු පෙන්වාදේ.
එයට විරුද්ධව මැතිවරණ පෙත්සමක් ඉදිරිපත් කළ හැකි වුණත් මේ වනවිට ඒ කාලයත් අහෝසිවී ඇති නිසා දැන් ඇත්තේ මේ මන්ත්‍රීධුරය සම්බන්ධයෙන් තීරණයක් ගැනීම පමණක් බවද ඔහු ප්‍රකාශ කළේය. එසේ නොමැතිව මුළු ලැයිස්තුවම අහෝසි වන කතාව ගොතන ලද කතාවක් පමණක් බවද පෙන්වා දුන්නේය.
කෙසේ නමුත් ගීතා කුමාරසිංහගේ මන්ත්‍රී ධුරයට පියසේන ගමගේ පත්වේද ඒත් සමග ගාල්ල දිස්ත්‍රික්කයේ එක්සත් ජනතා නිදහස් සන්ධාන අපේක්ෂක ලැයිස්තුවම අහෝසිවේද යන්න පිළිබඳ තීරණය ඇත්තේ මැතිවරණ කොමිසම ගන්නා තීන්දු තීරණ ප්‍රකාරවය.
 
ලසන්ත වීරකුලසූරිය

ගම්පහ නගරයේ බොදු - කිතුණු සම දායකත්වයෙන් පැවැත්වෙන විශේෂ වෙසක් කලාපය වෙසක් පුන් පොහෝ දා එනම් හෙට (මැයි 10) සිට මැයි 13 වන දා දක්වා ගම්පහ පල්ලිය පාර සහ ලක්ෂ්මී පාර සම්බන්ධ කරමින් පැවැත් වේ. මෙම සිව්දින තුළ දිනපතා ප.ව. 6.00 සිට මධ්‍යම රාත‍්‍රිය තෙක් ධර්ම දේශනා, ධාතු ප‍්‍රදර්ශන, වෙසක් බැති ගී සංදර්ශන, බෞද්ධ නාට්‍ය, වෙසක් පහන් කූඩු තරඟ ආදිය පැවැත්වෙන අතර දිනපතාම මෙම වෙසක් කලාපය තුළ දන්සල් පැවැත්වීමට ද කටයුතු යොදා ඇත. 
 
මෙම වෙසක් කලාපයේ අවසන් දිනය වන මැයි 13 වන දා සර්ව රාත‍්‍රික පිරිත් දෙසුමක් පැවැත්වීමට ද සංවිධායක මණ්ඩලය කටයුතු සූදානම් කර ඇත.

මෙවර ගම්පහ නගරය තුළ පැවැත්වෙන එකම වෙසක් කලාපය වන මෙය ගම්පහ මැදගම ශ‍්‍රී සුනන්දාරාමය, ගම්පහ සාම විහාරය, ගම්පහ විද්‍යාශේඛර පිරිවෙන යන බෞද්ධ ආයතනවල නායක ස්වාමින්වහන්සේලාගේ මෙන්ම ගම්පහ ශුද්ධ වූ පිල්ප්නේරි දෙව් මැදුරේ පියතුමන්ගේ ද අනුශාසකත්වයෙන් පැවැත්වීම විශේෂත්වයකි. 
 
ගම්පහ එක්සත් සමගි කලා හවුල මගින් සංවිධානය කරන මෙම වෙසක් කලාපයේ ප‍්‍රධාන සංවිධායක ලෙස ක‍්‍රියා කරන ජූඞ් දීපාල් මහතා ද උපතින්ම කිතුණුවෙකු වීම මෙහි තවත් විශේෂත්වයකි.  
 
එස්. කොඩිතුවක්කු

සමස්ත ලංකා සහල් නිෂ්පාදකයින්ගේ සංගමය ඉකුත් සතියේ මාධ්‍ය හමුවක් පවත්වමින් මේ රටේ බත් කන මිනිස්සුන්ට බත් කන්නට නොහැකි වන කාලයක් නුදුරේම උද්ගත වන බවට අනතුරු ඇඟවූයේය.  ඒ දැන් බත් කන රටේ එක බත් වේලක් කන්නට නොහැකි වාතාවරණයක් නිර්මාණය වෙමින් තිබෙන නිසාය. මේ රටේ සමස්ත ජනගහනයෙන් සියයට 95කටත් වැඩි පිරිසකගේ ප්‍රධාන ආහාරය බත්ය. දවසකට එක වේලක් හෝ බත් කන්නෝය. එවන් රටක ජීවත් වන ජනතාවගේ කුසගිනි නිවන්නට තරම් වී නිෂ්පාදනයක් මේ රටේ පසුගිය කන්නයේ සිදුවුණේ නැත. පසුගිය මාස් කන්නයේ වී වගා කරන දිස්ත්‍රික්කවලින් වගාව බේරා ගත හැකි වූයේ සියයට හතළිහක් පමණ බව ආණ්ඩුවේ මැති ඇමැත්තෝද ඉහළම බලධාරියා වන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනද ඉකුත් දා හෙළිකර තිබුණේය. තත්ත්වය එසේ තිබියදී ‍පොළොන්නරුව, තිරිකුණාමලය, මඩකළපුව, අම්පාර, පුත්තලම, මන්නාරම, හම්බන්තොට ඇතුළු වී වගා කරන ප්‍රධාන ප්‍රදේශවල වගාව බේරා ගත හැකිවූ ගොවි බිම්වලින් සාර්ථක අස්වැන්නක්  ද වාර්තා කර තිබිණි. මහවැලි සී කලාපයේත්, මහවැලි බි කලාපයේත් ඇතැම් ප්‍රදේශයක අක්කර දෙකහමාරක කුඹුරෙන් වී කිලෝ 7000ක වාර්තාගත අස්වැන්නක් ලැබි තිබුණි. ‍පොළොන්නරුව පරාක්‍රම සමුද්‍ර ව්‍යාපාරයේ අක්කරයකට වී බුසල් 120 වාර්තා කර තිබණි. එසේ වුවත් සමස්ත වී අස්වැන්නම පුද්ගලික වී මෝල් හිමියන් හා සහල් නිෂ්පාදන සමාගම් විසින් වැඩි මිලට මිලදී ගත්හ.
සමස්ත ලංකා වී මෝල් හිමියන්ගේ සංගමය ඉකුත් සතියේ සිකුරාදා (28)දා ‍පොළොන්නරුවේ සිය සංගමයේ දිස්ත්‍රික් 10ක නියේජිතයින් හා සාකච්ඡාවක් කැඳවා තිබුණි. එහිදී එකිනෙකාට චෝදනා කර ගනිමින් සහල් මෝල් හිමියෝ පවතින තත්ත්වය විග්‍රහ කරගත්හ. එන්.එම්.එම්. හලීම් මහතා (ශම්ශම් හාල් මෝල කැකිරාව) කියා සිටියේ මෙවැනි කතාවකි. අද අපේ හාල් මෝල් වැහෙන්න යනවා. කුඩා මෝල් හිමියන්ට මහා පරිමාණ මෝල් හිමියන් එක්ක තරග කරන්න බැරිවෙලා තියෙනවා. ඒ අය වී මිල දවසින් දවස ඉහළ ඉස්සුවා. ගොවියා ළඟටම ගිහිල්ලා වී මිලට ගත්තා. කුඹුරේදීම නාඩු කිලෝ එක රුපියල් 49ට, 50 මිල ගියා. බ්‍රෝකර්ලා මේක තවත් ඉහළ දානවා. අතරමැදියා ලාභ ලබනවා. මෝල් හිමියාට මෝල පවත්වාගෙන යන්න වී තොග නැති  තැනට පත්වෙලා. රජය මේකට මැදිහත් වෙන්න ඕන. නැත්නම් හාල් මිල කොහෙන් නවතී ද කියලා  කියන්න බෑ.
මෙහිදී වී මෝල් හිමියන් කිහිපදෙනකුගෙන්ම මරදගහමුල වී මෝල් හිමියන්ට චෝදනා එල්ල විය. ගමේ බ්‍රෝකර්ලා නිර්මාණය කරමින් ගමේ සුළුවෙන් වී තොග රැස්කරන ගමේ මුදලාලි අභිබවා ගොස් රුපියල් 32.00කට වී මිටිය මිල උස්සන්න තත්ත්වයකට පත් කළ බවට චෝදනා එල්ල විය. එවන් මිලකට වී මිලදී ගතහොත් සහල් නිෂ්පාදන පිරිවැය ගණනය කළ විට රුපියල් 85 ද ඉක්මවා යන්නේය. ඔවුන් පමණක් නොව මහා පරිමාණ වී මෝල් හිමියන් දිනකට තමන්ගේ ධාරිතාවට අවශ්‍ය වී තොග කඩිමුඩියේ රැස් කරන්නට යෑමෙන් මෙසේ විකෘති වූ මිලක් වීවලට නිර්මාණය කළේය. ඇතැම් සමාගමක් දිනකට ලොරි 150කින් පමණ වී තොග ගබඩා කළේය. තවත් ගොවීන් අතර පවතින වී තොගත් හොර රහසේ විවිධ තැරැව්කරුවන් මාර්ගයෙන් මිල උස්සමින් මිලදී ගනිමින් සිටින්නේය. මේ තත්ත්වය  නිසා දැන් දිවයිනේ සහල් මිල ශීඝ්‍රයෙන් ඉහළ යමින් තිබේ. යල කන්නයේ අස්වැන්න ලැබෙන්නේ ලබන  අගෝස්තු, සැප්තැම්බර් මාසවලදීය. එයත් දැඩි අවිනිශ්චිත තත්ත්වයක පවතින්නේ වැසි රහිත කාලගුණය නිසාය. එසේ බැලූ විට අගෝස්තු මාසය පමණ වන විට හඳෙන් හාල් ගෙනාවත් මිල පාලනය කරගත නොහැකි තත්ත්වයක් උද්ගත වනු ඇතැයි සිල්ලර වෙළෙන්දෝ කියති. රජයේ සහතික මිලක් පාලන, පාලනමිලක් සහල්වලට දැම්මේ පවතින තත්ත්වය සැලකිල්ලට ගෙන වුවත් එය අසාර්ථක වී තිබේ. අද වෙනකොට හාල් කීයද නාඩු 85, 89ටත් අලෙවි වෙනවා. අද මේ රටේ නීතියක් නෑ. රජයේ ප්‍රසිද්ධ ගැසට් නිවේදනයකින් රජය තීන්දුවක්, නීතියක් ප්‍රකාශයට පත් කළා. නාඩු සහල් රුපියල් 72ටත්, කැකුළු 70ටත්, සම්බා රුපියල් 80ටත් අලෙවි කරන්න පසුගිය පෙබරවාරි 7 ගැසට් කළ නීතිය  අප්‍රේල් මැද වෙනකොට කැඩුවා. නීතියට පිටින් වැඩ කරන මිනිස්සු ඉන්න රටක් මේක. කෝ නීතිය කෝ නිලධාරීන් වටලනවා, නීති විරෝධීව සහල් මිල වැඩි  කරලා වැඩියෙන් අලෙවි කරන වෙළෙන්දෝ, මෝල් හිමියෝ සමස්ත ලංකා සහල් නිෂ්පාදකයින්ගේ සංගමයේ සභාපති ගාමිණි කුමාරසිංහ කියන්නේය. 
අපි ගිය සතියේ සිකුරාදා පොළොන්නරුවට රැස්වෙලා තීන්දුවක් ගත්තා වී කිලෝව නාඩු 45ට මිල දී ගන්න. සහල් රුපියල් 80 මිලට දෙන්න.  නාඩු වී කිලෝව, සම්බා රුපියල් 90ට දෙන්න අපි තීන්දුවක් ගත්තා. නමුත් කූට ජාවාරම්කාර අතළොස්සක් මේ මිල ඉහළ දාලා තියෙනවා ට්‍රාන්ස්‍පෝට් කියලා මුදලකුත් බිලට එකතු කරනවා. ගමේ හාල් කඩේ මුදලාලිට හාල් බාන්නේ නාඩු 85ට 86ට එයා විකුණනවා රුපියලක් දෙකක් තියාගෙන. මේක තවත් මාසයක් යනකොට රුපියල් 110-120 විතර වෙයි. එතකොට මොකද වෙන්නේ මේ රටේ දුක්විඳින දලු කඩන, වැඩ කරන, ගල් කඩන, කිරි කපන අහිංසක මිනිස්සු කන්නේ නාඩු හා‍ලේ බත්. බඩ බත් එකට පහර වදිනවා. මේක නවත්වන්න ඕන රජය මැදිහත්වෙලා. ගාමිණි කුමාරසිංහ කියන්නේය.
මේ කතාව තහවුරු වන තවත් එක් කතාවක් වී අලෙවි මණ්ඩලය පැත්තෙන් ඇසෙන්නේය. වී අලෙවි මණ්ඩලයට හෝ සතොස හෝ සමූපකාරය හෝ මේ කන්නයේ වී ඇටයක්වත් මිලට ගත්තේ නැත. ඉකුත් කන්නවල ගත් වී තොගද මෝල් හිමියන්ට විටින් විට නිකුත් කළේය. එසේ බැලූ විට අපේ රටේ පාරිභෝගිකයා ආරක්ෂා කර ගැනීමට අවශ්‍ය ආරක්ෂිත වී සංචිත පහළ බැසලාය. රජයට බකන් නිලාගෙන අතළොස්සක් සහල් මාෆියාකරුවන්ට යටවී දුක්විඳින ජනතාව තවත් දුකට පත් වන්නට ඉඩදී සද්ද නැතිව සිටින්නට සිදුවේ. වී අලෙවි මණ්ඩලයේ සභාපති එම්.බි. දිසානායකගෙන් පවතින තත්ත්වය ගැන අපි විමසීමක් කළෙමු. අපි මේ වතාවෙත් වී මිලට ගන්න සූදානමෙන් හිටියා. නමුත් වෙළෙඳ‍පොළේ වී මිල අපේ පාලන මිලත් ඉක්මවා ගිහිල්ලා තිබුණා. ඒ නිසා ගොවීන් කවුරුවත් අපට වී දුන්නේ නෑ. සහල් මිල ඉහළ යන එක පාලනය කරන්න අපි මේ වතාවේ අපි ළඟ තිබුණු වී තොග වී මෝල් 500කට වැඩි ගණනකට බෙදා දුන්නා. ඉතිහාසයේ පළමු වතාවට වැඩිම මෝල් සංඛ්‍යාවකට. අපි සතුව තවත් මෙට්‍රික් ටොන් 76000ක් පමණ තිබෙනවා. මේ වී තොග විටින් විට වෙළෙඳපළ, සහල් මිල දිහා බලලා එය පාලනය කරන්න සතොස හරහා හාල් කරලා අලෙවි කරනවා. මම හිතන්නේ හිඟයක් ඇති වෙන්නේ නෑ. 
එසේ වුවත් අද වන විටත් සහල් වෙළෙඳ‍පොළේ සහල් අලෙවි වන්නේ වැඩි මිලටය. තවත් මාසයක් දෙකක් යන විට දැන් පාලන මිල අභිබවා රුපියල් 5-10 අතර ප්‍රමාණයකින් ඉහළ ගොස් ඇති සහල් මිල රුපියල් 20-25 අතර මිලකින් ඉහළ යනු ඇත. සමස්ත ලංකා සහල් මෝල් හිමියන් කියන්නේ ඔවුන් නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට රජයට බල කරන බවයි. මේ වන විට අදාළ අංශ වෙත ලිඛිතව  දැනුම් දී තිබෙන බවත්ද, යුද හමුදාව ‍පොලීසිය යොදා හෝ සහල් මිල අහස උසට ඉහළ යාම වැළැක්වීමට පියවර ගත යුතු බව ඔවුන්ගේ අදහසයි. එසේ නොවුණහොත් බත් කන මිනිසුන් වෙසෙන රටේ හාල් සේරුවට මිනී මරා ගන්නා යුගයක් නිර්මාණය වනු  ඇත.  
 
ප්‍රියන්ත බණ්ඩාර

ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි මේ දිනවල රටම ගිනි තියන තැනකි. එ් මාතෘකාව කොතරම් දුර දිග ගියේදැයි කිවහොත් කැබිනට් මණ්ඩලයේ පවා තෙල් ටැංකි සම්බන්ධයෙන් ගැටුම් ඇති වී තිබේ. 
එ් අතරේ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මේ සතියේ ලංකාවට එන්නේ ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි ඉන්දියාවට පවරා ගැනීමට බවට පැතිරුණු කතාව නිසා මේ ප‍්‍රශ්නය තවත් තීව‍්‍ර විය. කුමක්ද මේ රටම කතා කරන ති‍්‍ර‘මලේ තෙල් ටැංකි. අපේ මුළු රටම කොළඹ සිට එ් ගැන කතා කරන විට තෙල් ටැංකිවල කතාව සොයන්නට ත්‍රිකුණාමලයේ”ලක්බිම” මාධ්‍යවේදියා එහි ගියේය. මේ ඔහු කියන කතාවය.
 
යටත් විජිත සමයේ බි‍්‍රතාන්‍ය  ජාතිකයන් විසින් තිරිකුණාමලයේ ඉදිකරන ලද තෙල් ටැංකි සංකීර්ණය මේ දිනවල මුළු රටම කතා කරන ජාතික මාතෘකාව බවට පත්ව තිබේ. එ් මෙම තෙල් ටැංකිවලින් කොටසක් ඉන්දියාවට දීමට ගෙන ඇති තීරණය නිසාය. 
මෙම තෙල් ටැංකි දෙවැනි ලෝක යුද සමයේ තිරිකුණාමලයේ ඉදි කෙරුණේ එම බිමේ ඇති මූල්‍ය උපායික වටිනාකම නිසාය.
දකුණු ආසියානු මහද්වීපයේ නාවික මෙහෙයුම් සඳහා ලෝකයේ හොඳම දෙවන වරාය සේ සැලකෙන තිරිකුණාමලය වරාය කලාපීය මෙන්ම භූගෝලීය වශයෙන්ද ඉතා වැදගත් ස්ථානයක් බවට පත් වන්නේ නිරායාසයෙනි. තිරිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණය එහි ප‍්‍රතිඵලයකි.
තෙල් ටැංකි එකසිය එකකින් (101)  සමන්විත චීන වරායේ තෙල් ටැංකි සංකීර්ණය ආසියාවේ හොඳම හා වැදගත්ම ස්ථානය වන  තිරිකුණාමලය වරාය වඩා වැදගත් ස්ථානයක් බවට පත් කිරීමට සමත් වී තිබුණි.
බි‍්‍රතාන්‍ය රජය 1928 දී පමණ ඉදි කිරීම් කටයුතු ආරම්භ කළ මෙම තෙල් ටැංකි සංකීර්ණයෙහි ටැංකි 101 ඉදිකර ඇති බව සඳහන් කළද, සැබවින්ම බි‍්‍රතාන්‍යයන් ඉදිකර ඇත්තේ, ඉන්ධන ටැංකි 99කි. ඉංග‍්‍රීසි බසින් 99 අංකය අසුබ ඉලක්කමක් සේ සලකන බැවින් 99 වැනි ටැංකිය  අත්තිවාරමට  පමණක් සීමා කර සියවැනි ටැංකිය ඉදි කොට තිබේ. 99 ටැංකියේ කුඩා අනුරුවක් රනින් නිම කර ඇති බවද කියවේ. ඉතිරි ටැංකි දෙක ජලය සදහා වෙන්කර ඇත. මීටර් 14.5ක් උස මෙම ටැංකියක පළල මීටර් 35කි. එක් ටැංකියක ධාරිතාව කිලෝ ලීටර් 12,500ක් හෙවත් ලීටර් එක්කෝටි හතළිස් ලක්ෂ හතළිස් හතර දහසකි.
බි‍්‍රතාන්‍යයන් වරාය පරිශ‍්‍රය ආසන්නයේ මෙම තෙල් ටැංකි සංකීර්ණය ඉදි කරනුයේ, බි‍්‍රතාන්‍ය රාජකීය නාවික හමුදාවේ අවශ්‍යතා පදනම් කර ගනිමිනි. විශේෂයෙන් බි‍්‍රතාන්‍යය රාජකීය නාවික හමුදාවේ දකුණු ආසියානු ඉන්ධන මධ්‍යස්ථානය ලෙස 1928 වසරේ දී චීන වරාය තෙල් ටැංකි සංකීර්ණයෙහි ඉදි කිරීම් ආරම්භ කර 1938 වසර වන විට ඉදි කිරීම් අවසන් කර තිබේ.
චීන වරාය තෙල් ටැංකි සංකීර්ණය කොටස් දෙකකින් සමන්විතය. වරාය ආශ‍්‍රිත ප‍්‍රදේශය සී.බී. ලෙසත්, අනෙක් කොටස සී.වී. ලෙසත් නම්කර තිබේ. සී.බී. කොටසේ ඉන්ධන ටැංකි 14 ක් ලෙසත්, සී.වී. කොටසේ ඉන්ධන ටැංකි 85ක් ලෙසත් මෙම තෙල් ටැංකි සංකීර්ණය ඉදිකර තිබේ.
ඉදිකිරීම් කර ඇති සමාගම නිශ්චිතව සදහන් කර නැතත්, බි‍්‍රතාන්‍ය රාජකීය නාවික හමුදාවේ ක්‍ෂේත‍්‍ර සිවිල් ඉංජිනේරු දෙපාර්තමේන්තුව ඉදි කිරීම් කළ බව කියන සමරු ඵලක ආදිය අදටද චීන වරාය තෙල් නිමාවේ දැකිය හැකිය. මෙම තෙල් ටැංකි සංකීර්ණය තුළ භූගතව කිලෝ මීටර් 56ක පමණ දුරකට විහිදෙන සේ ඉන්ධන නළ එලා ඇති බව සදහන්ය.
ඉංග‍්‍රීසීන් මෙම ඉන්ධන ටැංකි ඉදි කිරීමට වැඩි වශයෙන් වහල් සේවකයන් යොදවා ගත් බවත්, එහිදී අප‍්‍රිකානු කම්කරුවන් හෙවත් කාබේරි ජාතිකයන්ට  විශේෂ ස්ථානයක් හිමි වී ඇති බවත් පැවසේ. මෙම ටැංකි ඉදි කිරීමේදී ඝන වානේ තහඩු එකිනෙක  පිරිද්දීම කර ඇත්තේ, වෑද්දුම් තාක්ෂණය (රිවට්) ඔස්සේ වීම විශේෂත්වයකි.
ඒ සදහා  වැඩි වශයෙන් යොදා ගෙන ඇත්තේ කාබේරී කාන්තාවන්ය. දිනකට එක් කාන්තාවක් යකඩ ඇණ පනහක් පිරිද්දිය යුතු අතර, ඒ සඳහා පිත්තල මිටි යොදා ගත් බව සඳහන්ය.
මෙම තෙල් ටැංකි සංකීර්ණය ඉදිකිරීමේදී මුහුද ආශ‍්‍රිත ඉන්ධන ටැංකි සියල්ල ඝන කොන්ක‍්‍රීට් ස්තරයකින් ආවරණය කිරීමට ඉංග‍්‍රීසීන් වග බලාගෙන ඇත. 
1942 වසරේ අපේ‍්‍රල් වන විට ජපාන නාවික හමුදාවේ නැගෙනහිර සේනාංකය ඉන්දිය සාගරයට ඇතුළුවී එහි බලය පතුරවමින් සිටියහ. අද්මිරාල් නුගුමාගේ අණදීම යටතේ ඉන්දිය සාගරයේ අඞ්ඩු අතෝල් නමැති ස්ථානයේ සිට හැරියබෝන් යුද නෞකාවෙන් පිටත් වන ජපාන ප‍්‍රහාරක යානා 1942 අපේ‍්‍රල් 05 වන දින පළමු ගුවන් ප‍්‍රහාරය කොළඹ වරායට  එල්ල කරන ලදී. එහිදී කොළඹ වරායේ නැංගුරම්ලා තිබූ බි‍්‍රතාන්‍ය යුද නෞකා දෙකක් හා වෙළෙද නෞකාවක් ගිනිබත් වී තිබේ. ඒ වන විට කොළඹ වරාය ඉදිකෙරෙමින් පැවති අතර, ඊටද බරපතළ හානි සිදුව තිබුණි.
1942 අපේ‍්‍රල් 09 වන දින දෙවන ප‍්‍රහාරය එල්ල වන්නේ, කොළඹට හා තිරිකුණාමලයටයි. පුෂිඩා නමින් හැ`දින්වූ එම ප‍්‍රහාරක යානා පෙළට අද්මිරාල් නුගුමා ප‍්‍රහාරක යානා 91ක් යොදා ගෙන තිබුණි.
අපේ‍්‍රල් 05 වන දින එල්ල කළ ප‍්‍රහාරය මෙන්ම මී මැසි රංචුවක් සේ පියඹා පැමිණි ජපන් ප‍්‍රහාරක යානා පෙළ පෙරවරු 6.30ට කොළඹ වරායට පළමු ප‍්‍රහාරය එල්ල කළ අතර, පෙරවරු 7.20ට තිරිකුණාමලය වරායට ඇතුළු වී අනපේක්ෂිත ප‍්‍රහාරයක් එල්ල කොට තිබේ.
නැගෙනහිර අහස ගුගුරවමින් එක පෙළට වරායට ඇතුළු වූ  ජපන් ගුවන් ප‍්‍රහාරක යානා පෙළ බි‍්‍රතාන්‍ය මිත‍්‍ර පාක්ෂික හමුදාවට හිතන්නටවත් අවස්ථාවක් නොදී, වරායේ නවතා තිබූ යුද නෞකාවන්ට බෝම්බ හෙළන්නට විය.
මෙම ප‍්‍රහාරයේදී  තිරි‍කුණාමලය වරායේ නැංගුරම්ලා තිබූ බි‍්‍රතාන්‍ය නාවික හමුදාවේ නෞකා තුනක් විනාශ වී තිබුණි.
තිරිකුණාමලය ප‍්‍රහාරයේ වඩා වැදගත්ම සිදුවීම වන්නේ, ජපන් ප‍්‍රහාරක යානාවක් වරාය ආශ‍්‍රිතව පිහිටි චීන වරාය තෙල් ටැංකි සංකීර්ණයේ ටැංකියකට මරාගෙන මැරෙන ප‍්‍රහාරයක් එල්ල කිරීමයි.
මෙම ප‍්‍රහාරය සියැසින් දුටු රාජකීය ගුවන් හමුදාවේ බුද්ධි අංශ නිලධාරියෙකු වූ මිචෙල් ටොම්ලින්සන් සඳහන් කර තිබුණේ, තෙල් ටැංකියට ප‍්‍රහාර එල්ල කළ යානාවේ ජපන් ජාතිකයන් තිදෙනකු සිටි බවයි. ප‍්‍රහාරයෙන් පසු ඔවුන් තිදෙනා ෂිගෙනොරි වටනබේ, ටොක්යා ගොවො සහ සුවොමු ටොෂිහිරා ලෙස හඳුනා ගෙන තිබුණි. ටොම්ලිසන් පවසා තිබුණ අන්දමට මෙම ප‍්‍රහාරක යානාව තම ඉලක්කය හොඳින් නිරීක්ෂණය කරමින් ටැංකිය වටා වට කිහිපයක් පියාසර කොට, එක වරම ඉලක්කය නොවරදින සේ තෙල් ටැංකියට යානාව ගැටෙන සේ පතිත වී තිබේ.
තෙල් ටැංකියට එල්ල වූ ප‍්‍රහාරය සම්බන්ධයෙන් බි‍්‍රතාන්‍ය යුද හමුදාවේ, ලූ‍තිනන් කර්නල් ජී.පී. තෝමස් මීට වෙනස් මතයක් ඉදිරිපත් කොට තිබේ. ජපන් ප‍්‍රහාරක යානා වරායේ නැංගුරම්ලා තිබූ යුද නෞකාවලට ප‍්‍රහාර එල්ල කරමින් සිටියදී ඉතා පහළින් ගමන් කරමින් ප‍්‍රහාර එල්ල කළ එක් යානාවකට තෙල් ටැංකි සංකීර්ණය හා ගුවන් හමුදා කඳවුර අතර පිහිටි කදු ගැටයක ස්ථාපිත කර තිබූ හෙරිකේන් හා ෆුල්මාක්ස් නමැති අති ප‍්‍රබල අවිවලින් දැවැන්ත ප‍්‍රහාරයක් එල්ල කොට තිබේ.
එහිදී බරපතළ හානි සිදු වු එම ප‍්‍රහාරක යානාව වෙඩි ප‍්‍රහාර මැද ප‍්‍රහාර  එල්ල කළ ස්ථානයට බෝම්බ හෙළා එම ගිනි අවිය නිහඬ කරවා ඒ ආසන්නව පිහිටි තෙල් ටැංකියකට බෝම්බයක් හෙළා තිබේ. එහෙත්, එම අවස්ථාව වන විට එහි ඉන්ධන පුරවා නොතිබූ හෙයින් බරපතළ හානියක් සිදුවී නොමැත. එම ප‍්‍රහාරයෙන් එම ටැංකිය විනාශ වී ගොස් ඇති අතර, ඊට යාබදව පිහිටි ඉන්ධන සහිත 06- ටැංකියට සුළු හානි සිදුව ඇත. එම ටැංකි වටා ඝන කොන්ක‍්‍රීට් ආවරණයක් යොදා තිබූ බැවින් මහා විනාශයක් වැළකී තිබුණි.
හෙරිකේන් හා ෆුල්මාක්ස් අවිවලින් බරපතළ හානි සිදුවූ ජපන්  ප‍්‍රහාරක යානාව තෙල් ටැංකි අංගණයේ අභ්‍යන්තරයට පියාසර කොට, 91-ඉන්ධන ටැංකිය වෙත යොමු වෙනුයේ, මරාගෙන මැරෙන ප‍්‍රහාරයක් එල්ල කොට විශාල හානියක් කිරීමේ අදහසිනි.
මින් ඇතිවූ පිපිරුමෙන් ප‍්‍රදේශයම කම්පනය වී ඇති අතර, යානය පිපිරීමෙන් විසිවූ කැබලි ඉන් කිලෝ මීටර් තුනක් පමණ එපිටින් තිරිකුණාමලය හබරණ මාර්ගයේ 4 කණුවට පතිත වී තිබූ බව කියවේ.
යානාව 91 - ටැංකියට පතිතවීමත් සමග ටැංකිය ගිනිගෙන දැවුණ අතර, එම ගින්න දින 07ක් පුරා පැවති බවත් ප‍්‍රදේශයේ අහස මුළුමනින්ම කළු දුමෙන් හා රත් පැහැ ගිනිදැල්වලින් පිරී තිබුණ බවත් කියවේ.
ජපනුන් විසින් තිරිකුණාමලය වරායට හා තෙල් ටැංකියට ප‍්‍රහාර එල්ල කරන අවස්ථාවේ, චීන වරාය ප‍්‍රදේශයේ වෙළෙදසලක සේවය කළ එම්.ජී. ඇඞ්වින් මීට වසර හැත්තෑ හතරකට පෙර එම බිහිසුණු අත්දැකීම  අත්විඳි දැනට ජීවතුන් අතර සිටින අතළොස්සකින් එක් අයෙකි. 1919 දී දොඩන්¥වේ උපත ලද ඇඩිවින් 1933 වසරේදී තිරිකුණාමලයට පැමිණ ඇත්තේ, චීන වරායේ පිහිටි සිය ඥාතියෙකුගේ කඩයක අත්උදව්කරුවෙකු ලෙසිනි. එවකට දාහතර හැවිරිදි කොලූ‍ ගැටයෙකු වූ ඇඞ්වින් මීට වසර හැත්තෑහතරකට පෙර අත්විදි අත්දැකීම විස්තර කළේ මෙසේය.
”කොයි වෙලාවක හරි ජපන්නු බෝම්බ දානවා කියලා ප‍්‍රචාරය ගිහින් තිබුණේ.. මුදලාලි මට කිව්වා කඬේ බඩු ටික අදින්න එකට ගිහින් කරත්තයක් අරන් එන්න කියලා.. මම බයිසිකලයකින්  යද්දී, හරියටම එයාර්ෆෝස් ගේට්ටුව පහු වෙනවත් එක්කම සයිරන් ගහන්න පටන් ගත්තා.. ඒ එක්කම මහ සද්දෙන් කුරුල්ලෝ ?නක් පියාඹනවා වගේ ප්ලේන් පෝලිමක් අහසේ යනවා.. හැම පැත්තෙන්ම වෙඩි තියන්න ගත්තා.. කාලතුවක්කු ගහනවා, බෝම්බ දානවා... ආයේ නැහැ, එකම කාලගෝට්ටියයි.. මම ඉක්මනින් ආපහු කඬේට ගියා. 
ඒ දවස්වල හැම ගෙදරකම වී හැඬේට කාණු කපලා තිබුණේ.. දැන් චීන වරාය තැපැල් කන්තෝරුව තිබුණ තැන තමයි, ඒ දවස්වල පොලීසිය තිබුණේ.. මම බැහැලා හිටිය වළට පොලීසියේ ඇඞ්වින් සාජන් මහත්තයත් දුවගෙන ඇවිත් පැන්නා. අපිට දැන් අගේට පේනවා ජපන් ප්ලේන් අහසේ පහතින් යනවා.. ඔහොම ඉද්දී අපි කිට්ටුව කන්දක තිබුණ තුවක්කුවකින් ප්ලේන් එකකට දිගට හරහට වෙඩි තිබ්බා.
ඒ ප්ලේන් එක වෙඩි අස්සෙම ඒ කන්දටයි තෙල් ටැංකියකටයි  බෝම්බ දැම්මා.. අපි හිටිය වළ පස්වලින් වැහිලා ගියා. මමයි සාජන් මහත්තයයි එතනින් වෙන තැනකට දිව්වා. ඒ එක්කම වගේ පෙට්‍රෝලියම් කැලේ පැත්තෙන් මහ විශාල සද්දයක් ඇහුණා. 
ඒ සද්දෙට මුළු පැත්තම විනාඩි දෙකක් විතර දෙදරුම් කෑවා. ගිනි නිවන එකේ වාහනයි, හමුදාවේ වාහනයි සයිරන් ගහගෙන හරි කලබලෙන් යනවා එනවා.. පස්සේ තමයි දැන ගත්තේ, තෙල් ටැංකියකට ප්ලේන් එකක් කඩා වැටිලා ගිනි ගන්නවා කියලා.. ප්ලේන් එක කඩා වැටුණ පැත්තේ මුළු අහසම කළුම කළු දුමෙන් වැහිලා. ගිනි දලූ‍ අහස උසට නගිනවා. ජපන්නු බෝම්බ දාලා නැව් දෙක තුනක්ම වරායේ ගිනි ගන්නවා. දැන්නම් මෙහෙ ඉන්න බැහැ කියලා මට හිතුණා. මම පහුවදාම කොළඹ කෝච්චියේ නැගලා ටිකට් නැතිවම ගමට ගියා. ඊට පස්සේ මාස හයකට පස්සෙයි ආපහු මලේට ආවේ..”
ප‍්‍රහාරයෙන් පසු බි‍්‍රතාන්‍ය අගමැති වින්සන්ට් චර්චිල් ප‍්‍රකාශයක් නිකුත් කරමින් ”මෙය යුද්ධයේ ඉතාමත් බියකරුම මොහොත බව” කියා සිටියේය. ඔහුගේ ප‍්‍රකාශයෙන් පැහැදිලි වූයේ, පිහිටීම අනුව ශ‍්‍රී ලංකාව  දෙවන ලෝක යුද්ධයේදී කොතරම් වැදගත් වූයේද යන්නයි.
කෙසේ නමුත්, චීන වරාය තෙල් ටැංකි සංකීර්ණයේ පිහිටි ජපනුන් විසින් ප‍්‍රහාර එල්ල කළ 91-ටැංකියේ නෂ්ටාවශේෂ කොටසක් තවදුරටත් ආරක්ෂා වී තිබේ. එය ජපන් ප‍්‍රහාරයේ දැනට මෙරට ඉතිරිව ඇති එකම සාක්ෂිය වන්නටද පුළුවන. 
මෙම ඵෙතිහාසික ස්ථානය අනාගත පරපුර උදෙසා ආරක්ෂා කර දීම එම ස්ථානය සංරක්ෂණය කිරීම බලධාරීන්ගේ යුතුකම වුවද, මෙබදු ස්ථානයක් තිරිකුණාමලයේ තිබෙන බව ඔවුන් දන්නේද යන්නත් ගැටලූවකි. මෙම ස්ථානය මේ වන විට ඉන්දීය තෙල් සමාගම විසින් පාලනය කෙරේ. ඔවුන් එය ඉතා  ඕනෑකමින් ආරක්ෂා කරන බවද නොරහසකි. එහෙත්, පිටතින් පැමිණෙන පාසල් සිසුන්ට හා දේශීය  විදේශීය සංචාරකයනට එම ස්ථානය නැරඹීමට අවකාශයක් නොමැතිකම බලවත් අඩු පාඩුවකි.
ඉන්දියාව, චීනය, ඇමෙරිකාව වැනි ප‍්‍රමුඛ රටවල් තිරිකුණාමලයේ පිහිටි මෙම තෙල් ටැංකි සංකීර්ණයට ඇස ගසා සිටින්නේ, එහි ඇති කලාපීය හා භූගෝලීය වැදගත්කම සලකා මිස තෙල් වෙළෙදාමට නොවන බව නොරහසකි.
මෙම ටැංකි ජේ.ආර්. ජයවර්ධන යුගයේදී ඇමෙරිකන් හිතවාදී සිංගප්පූරු සමාගමකට ප‍්‍රතිසංස්කරණය කිරීමට දීමට ගොස් ඉන්දියාව තරහ කරගත්තේය. එ් තිරිකුණාමලයට වෙනත් රටක් පය තැබීම ඉන්දියාව සලකන්නේ තමන්ට කරන තර්ජනයක් ලෙස බැවිනි. එ් නිසා තිරිකුණාමලයේ තෙල් ටැංකි වූකලි තෙල් ගබඩා කිරීමට එහා ගිය කතාවකි. එම ප‍්‍රශ්නය කළමනාකරණය කිරීම වූ කලි දැලි පිහියෙන් කිරි කනවා වැනි වැඩකි. 
 
මංගලනාත්ලි යනආරච්චි
 

වසර 34 ක් මුළුල්ලේ නඩත්තු  කටයුතු  හැරුණු  කොට  නිසි  ප‍්‍රතිසංස්කරණයකට  ලක්  නොවූ  බොරැල්ල  සුපිරි වෙළෙඳ සංකීර්ණය  විධිමත්  ප‍්‍රතිසංස්කරණයකට  ලක්  කිරීමට  කොළඹ  මහ  නගර  සභාව  කටයුතු  යොදා  ඇත.  මෙහි  පළමු  අදියර  යටතේ  එහි  සනීපාරක්ෂක  පහසුකම් නාගාසිටුවීම  දැනටමත්  ආරම්භ  කොට  තිබේ.

වත්මන් නාගරික කොමසාරිස්තුමන්ගේ ප‍්‍රධානත්වයෙන් හා නාගරික භාණ්ඩාගාරිකතුමන්  හා  ප‍්‍රධාන පශු වෛද්‍ය නිලධාරිතුමන්ගේ මැදිහත් වීමෙන් පළමු අදියර සඳහා අවශ්‍ය මුල්‍ය පහසුකම් ලබාදීමෙන් දැනට එම කටයුතු සිදුවෙමින් පවතී. තවද වෙළෙඳ ප‍්‍රජාවට උග‍්‍ර ප‍්‍රශ්නයක්ව පැවැති පානීය ජල ප‍්‍රශ්නය නිරාකරණය කිරීම සඳහා අවශ්‍ය කටයුතු ද  සිදුවෙමින් පවතී.

වෙළෙඳ සංකීර්ණයේ ආරක්ෂක තත්ත්වය විධිමත් කිරීම සඳහා සිවිල් ආරක්ෂක බලකායේ භටයන් යොදවා ඇත. පසුගිය කාලයේ පිරිසිදු කිරීමේ කටයුතු පෞද්ගලික පිරිසිදු කිරීමේ ආයතනයකට භාර දී තිබූ අතර මේ වන විට ඒ සඳහා ද නගර සභා සේවකයන් යොදවා ඇත.

මහල්  පහකින්  යුත්  මෙම  ගොඩනැගිල්ලෙහි  මූලික  ඉදිකිරීම්වල දී පාරිභෝගිකයන්  හා  කඩ  හිමියන්  වෙනුවෙන් වෙන්කර  තිබූ  රථ  ගාල  නැවත  ලබාදෙන  මෙන්  වෙළෙඳ සංගමය  කරන  ලද  ඉල්ලීමකට අනුව ඒ සඳහා අවශ්‍ය  ක‍්‍රියාමාර්ග ද  ඉදිරියේ දී ගනු  ඇතැයි  අපේක්ෂා  කෙරේ.  


කොළඹ මහ නගර සභාව විසින් ඉදිකොට 1983 වසරේ නොවැම්බර් මස 02 දින කොළඹ නගරාධිපති, සමාදාන විනිශ්චයකාර, නිල නොලත් මහේස්ත‍්‍රාත් බී. සිරිසේන කුරේ මැතිතුමන්ගේ ආරාධනයෙන් එවකට අග‍්‍රාමාත්‍යවරයාව සිටි ගරු ආර්. පේ‍්‍රමදාස මැතිතුමා විසින් විවෘත කරන ලද බොරැල්ල වෙළෙඳ සංකීර්ණය මුල් කාලයේ ඉතාමත් සාර්ථක වෙළෙඳ ව්‍යාපාරික ස්ථානයක්ව පැවැති බව ප‍්‍රකට කරුණකි.      


එසේ වුවද මෙම වෙළෙඳ සංකීර්ණය පසුගිය වසර 15 ක කාලය තුළ ශීඝ‍්‍ර  පරිහානියකට ලක්වෙමින් පැවැති අතර එහි බොහෝ කඩා සාප්පු මේ වන විට වසා දමා ඇත.

මේ පිළිබඳව වැඩිදුරටත් කරුණු විමසීමේ දී මෙම වෙළෙඳ සංකීර්ණයෙහි වත්මන් වෙළෙඳ සංගමයේ ගරු සභාපති අශෝක වඩුගොඩපිටිය මහතා අප සමග පැවසූයේ එකල මෙහි පැවැති වැසිකිළි පහසුකම්, පානීය ජල පහසුකම්, සෞඛ්‍ය හා සනීපාරක්ෂණ පහසුකම්, ආරක්ෂාව හා වාහන නැවැත්වීමේ පහසුකම් නොමැති වීම මෙම පරිහානියට හේතු වූ බවයි.


මේ පිළිබඳව වැඩිදුරටත් කරුණු විමසීමේ දී වඩුගොඩපිටිය මහතා පැවසුවේ මෙම තත්ත්වය පිළිබඳව බොහෝ අවස්ථාවල දී නගර සභාව දැනුවත් කොට එම අවශ්‍යතාවයන් ඉටුකර දෙන ලෙස ඉල්ලීම් කළ ද ඒ සම්බන්ධයෙන් කිසිදු සාර්ථක වැඩපිළිවෙළක් ක‍්‍රියාත්මක නොවූ බවයි. මේ  අනුව  දිගු  කලක්  අඳුරින් වැසී  තිබූ  බොරැල්ල  සුපිරි වෙළෙඳ සංකීර්ණය ඉදිරි කාලයේ දී නව  පිබිදුමකට ලක්වනු  ඇතැයි  යන්න  බොහෝ  දෙනෙකුගේ  අපේක්ෂාවයි.

සටහන හා ඡායාරූප - එස්. කොඩිතුවක්කු

Page 1 of 2

IMAGE

ප්‍රින්සිපල් සර් මට ඕන නැති තට්ටු දානවා

IMAGE 2017 May 24 09:00
මම වැඩකර කර ඉද්දිත් ප්‍රින්සිපල් සර් මගේ පිට අතගානවා. පිටට තට්ටු දානවා. එක දවසක් කබඩ් එකේ...
Views - 2112

ජ්‍යෙතිෂ මිතුරා කාලගුණ අනාවැකි හරියටම කියූ හැටි

IMAGE 2017 May 23 11:20
මා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ සේවය කරන අවදියේ දුරකථන මගින් වරින් වර කාලගුණික තොරතුරු...
Views - 1618

මඟුල් දා රෑ ඥාතීන් ඇවිත් මනාලිය පැහැරගෙන ගිහින්

IMAGE 2017 May 22 13:53
මීගමුව කොච්චිකඩේ ප්‍රදේශයේ හෝටලයක මධුසමය ගෙවමින් සිටි මනාල යුවලක මනාලිය මංගල රාත්‍රියේදීම...
Views - 3661

වාහන පර්මිට් වික්කෙ මොකද?

IMAGE 2017 May 22 11:13
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට හිමි විශේෂ වරප්‍රසාදයක් වන තීරුබදු රහිත බලපත්‍ර විකුණු...
Views - 3237

නෑ හිතමිතුරන් පළා ගිය පසුත් හාම්පුතාගේ දේහය රැකගත් ජිමී

IMAGE 2017 May 22 10:23
ශ්‍රී ලංකාවේ බඹර ප්‍රහාරවලට නිරතුරුවම ලක්වන්නේ මධ්‍ය කඳුකරයේ වතු කම්කරුවෝය. හැටන්,...
Views - 2499

කාටත් නොකී රහසක් නිරෝෂා හෙළිකරයි

IMAGE 2017 May 21 21:03
නිරෝෂා පෙරේරා ගැන ඔබට මොන වගේ හැඟීමක්ද තියෙන්නේ. මතුපිටින් ඔබ දකින නිරෝෂාට වඩා වෙනස්ම...
Views - 4610

Please publish modules in offcanvas position.