Coss Ear2
lakbima.lk
COSS Ear 1

කථානායක ජනපති අගමැතිට දුන් අවවාදය

බැඳුම්කර කොමිසම පිළිබඳ දේශපාලන වේදිකාවේ කතා බහට ලක්වන අතරවාරයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පක්ෂ නායකයන් ජනාධිපති ‍ලේකම් කාර්යාලයට කැඳවූවේ පසුගිය සඳුදාය. ඇතැම් පක්ෂ නායකයන්ට ජනාධිපති ‍ලේකම් කාර්යාලයෙන් දුරකථන ඇමතුම් ලබාදී තිබුණේ ඉරිදා සවසය. මැතිවරණ කටයුතු සමග කාර්යබහුල වූ ඇතැම් පක්ෂ නායකයන්ට මේ රැස්වීමට සහභාගීවීමට නොහැකි වූ නමුත් තමන්ගේ නියෝජිතයෙක් හෝ සහභාගි කරවන බවට ඇතැම් අය සහතිකයක් ලබාදුන්නේය.
ඒ අනුව සඳුදා උදෑසන ජනාධිපති ‍ලේකම් කාර්යාලයට දේශපාලන පක්ෂ නියෝජිතයන් පැමිණ සිටි අතර ජනතා විමුක්ති පෙරමුණෙන් නියෝජිතයෙක් සහභාගී කර තිබුණේ නැත. එහෙත් ඒ බව කල් ඇතිවම දැනුම් දී තිබුණේය. 
“මේ වනවිට බැඳුම්කර කොමිසමේ වාර්තාව සම්බන්ධයෙන් ගෙන තිබෙන පියවර ගැන අපි සාකච්ඡා කරනවා. මේ වාර්තාව මම අපේ ‍ලේකම්තුමාට දීලා තියෙන්නේ. ඒ ගැන ‍ලේකම්තුමා පැහැදිලි කරාවි” මෛත්‍රී වැඩි කතාවක් නැතිව ජනාධිපති ‍ලේකම් ඔස්ටින් ප්‍රනාන්දුට අදහස් දැක්වීමට අවස්ථාව ලබාදුන්නේය.
“හැමෝම බැඳුම්කර වාර්තාව ගැන කතා කරනවා. අත්සන් කරලා තියෙන්නේ එකම එක වාර්තාවක් විතරයි. ඒ වාර්තාව තමයි මේ. අනික් හැම තැනටම අපි යවලා තියෙන්නේ පිටපත් විතරයි”ජනාධිපති ‍ලේකම්වරයා පැවැසුවේය.
නීතිපතිවරයා, මහ බැංකු අධිපතිවරයා, අල්ලස් කොමිසමේ කොමසාරිස්වරයෙක්, රහස් ‍පොලීසියේ නිලධාරීන් ඇතුළු පිරිසක්ද මෙහි පැමිණ සිටි අතර ඉන් පසුව ඔවුන් ද අදහස් දක්වන්නට වූහ.
“අල්ලස් පනත ගෙනවිත් අවුරුදු විසි තුනක් වෙනවා. ඒත් මේ අවුරුදු විසි තුනටම පනතට එක සංශෝධනයක්වත් ගෙනැල්ලා නෑ. අවුරුදු විසි තුනක් තිස්සේ සංශෝධනය නොවී තියෙන ලෝකයේ එකම අල්ලස් පනත මේ පනතයි. ලෝකයේ අල්ලස් දූෂණ සිදුවන අලුත් ආකාර තිබෙනවා. තාක්ෂණය එක්ක ඒවා වෙන විදිය ගැන අපි අවධානය යොමු කරන්න ඕන” අල්ලස් කොමිසමේ කොමසාරිස්වරයා පැවැසුවේය.
“මේ කාලයේ අල්ලස් පනත යටතේ නඩු දාලා වරදකරුවන් කළ කී දෙනෙක් ඉන්නවාද” එතැන සිටි අයෙක් ඇසුවේය.
“හතර දෙනෙක්ට තමයි නඩු දාලා වැරදිකරුවන් කරල තියෙන්නේ” ඔහු කීවේය.
මේ අතර නීතිපතිවරයාද අදහස් දක්වමින් සිවිල් නඩු කටයුත්තක් මෙන්ම අපරාධ නඩු  කටයුත්තක්ද ඉදිරියට ගෙන යන බව සඳහන් කළේය. 
“දේශපාලන පක්ෂවල අදහස මොකක්ද” මෛත්‍රී ඇසුවේය.
“ඔබතුමා ජනාධිපති කොමිසමක් පත් කිරීමට තීරණය කළා. මම තමයි මුලින්ම අධිකරණ බලය තිබෙන ජනාධිපති කොමිසමක් පත් කරන්න කියලා ඉල්ලුවේ. එහෙම අධිකරණ බලයක් තිබෙන කොමිසමක් පත් කළානම් අපිට අද මේ රැස්වීම තියන්නත් ඕන වෙන්නෙ නෑ” ඩිව් ගුණසේකර හිටපු ඇමැතිවරයා කීවේය. 
“අපි පර්පචුවල් ට්‍රේෂරීස් සමාගමට සම්බන්ධ ආයතනවල බැංකු ගිණුම් තහනම් කර තිබෙනවා. මූලික ආයෝජන ප්‍රාග්ධනයක් තිබෙන ආකාරයට, එම ආයතන කඩා නොවැටෙන ආකාරයට, එම ආයතනවල සේවකයන්ට බලපෑමක් නොවන ආකාරයට තමයි අපි එම ගිණුම් තහනම් කර තිබෙන්නේ” මහ බැංකු අධිපතිවරයා පැවැසුවේය. 
 
ඡන්ද කල් දැමීමේ යෝජනා
 
මේ අතර බැඳුම්කර කොමිෂන් සභාවේ වාර්තාව ගැන පාර්ලිමේන්තු විවාදයක් අගමැති රනිල් වික්‍රමසිංහ ඉල්ලා සිටීම නිසා පසුගිය සතියේදී පාර්ලිමේන්තුවේදී කථානායක කරු ජයසූරියගේ ප්‍රධානත්වයෙන් සාකච්ඡාවක් පැවැත්විණි. මේ සාකච්ඡාවට මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රියද පැමිණ සිටියේය.
“ජනවාරි 8 වැනිදා මේ විවාදය තිබුණොත් ඒක පාර්ලිමේන්තුව නියෝජනය නොකරන අයට අවාසියක් වෙනවා. ඒ නිසා 5 හරි 6 මේ විවාදය තියන එක තමයි හොඳම දේ” මහින්ද දේශප්‍රිය කීවේය.
ඒකාබද්ධ විපක්ෂය හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මෙයට පක්ෂ වුවත් එක්සත් ජාතික පක්ෂයෙන් එම යෝජනාවට ලැබුණේ සුභවාදී ප්‍රතිචාරයක් නොවේ.
“ලබන සතිය මුලදී මැතිවරණ ප්‍රචාරක කටයුතුවලට මැති ඇමැතිවරු ගම්වලට යනවා. ඒ නිසා විවාද කරන්න කවුරුවත් එන එකක් නැහැ. එදාට මේ විවාදය තියන එක ප්‍රායෝගික නොවන වැඩක්” කිරිඇල්ල එයට විරෝධය දැක්වූවේය..
“එහෙම නම් ඡන්දය කල් දාන්න වේවි” මහින්ද දේශප්‍රිය තද ස්ථාවරයක් ප්‍රකාශයට පත් කළේය.
“එහෙම ඡන්දය කල් දාන්න බෑ. අපි 8 වැනිදාට කලින් විවාදය තියමු” විජිත හේරත් මන්ත්‍රීවරයා කීවේය.
එහෙත් කිරිඇල්ල දිගින් දිගටම එයට විරෝධය දක්වන්න විය.  ඒ සමග පක්ෂ නායක රැස්වීමත් කාලගෝට්ටියක් බවට පත්විය.
“මේක මෙහෙම කරන්න බෑ. මම අගමැතිතුමා එක්ක කතා කරලා දවසක් දාන්නම්” කථානායකවරයා අවසානයේදී කීවේය
ඒ අනුව රනිල් සමග කතා කළ කථානායකවරයා මේ විවාදය හය වැනිදාට යොදා ගැනීමට තීරණය කළේය.
 
මෛත්‍රී - රනිල් සමගි කිරීමේ කපුකම්
 
මෛත්‍රී - රනිල් මේ දිනවල දේශපාලන වේදිකාවේ හැසිරෙන්නේ ආණ්ඩුවේ හා විපක්ෂයේ දෙදෙනෙක් ලෙසය. එක්සත් ජාතික පක්ෂයේ මැති ඇමැතිවරු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කටයුතු විවේචනය කරන විට  ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැති ඇමැතිවරු එක්සත් ජාතික පක්ෂය විවේචනය කරති. මේ දේශපාලන විවේචන යහ පාලන ආණ්ඩුවේ ඉදිරි ගමනට එතරම් සුබදායක නොවන බව තේරුම්ගත් කථානායක කරු ජයසූරිය මෛත්‍රී රනිල් හමුවිය. ඔවුන් දෙදෙනා එකට එක් කරගත් කරු ආණ්ඩුවේ කටයුතු ගැන කතා කරන්න විය.
“ජනාධිපතිතුමනි, අගමැතිතුමනි, මම කථානායක විදියට ස්වාධීනව කටයුතු කරනවා. මට දේශපාලන ප්‍රශ්නයක් නෑ. ඒත් පක්ෂ දෙකේම සාමාජිකයන් දේශපාලන වේදිකාවේ කතා කරන විදිය බැලුවාම සමහරු පමණ ඉක්මවා කතා කරනවා කියලා මට හිතෙනවා. අපිට වැඩපිළිවෙළක් තිබෙනවා. සෝභිත හාමුදුරුවන්ගේ අපේක්ෂාවන් අපි ඉටු කරන්න ඕන. සමහර දේශපාලන කතා නිසා අප රටේ ආර්ථිකයට නරක බලපෑම් එන්න පුළුවන්. අයෝජකයෝ බිය වෙනවා. කොටස් වෙළෙඳ‍පොළ කඩාගෙන වැටෙනවා. ඡන්දෙන් පස්සේ රට අස්ථාවර වෙන්න පුළුවන් කියලා අයෝජකයෝ කල්පනා කරනවා. අපි මෑතකදී ළං කරගත්ත ජාත්‍යන්තර ප්‍රජාවත් ගැටලුවලට මුහුණ දෙනවා. මේ වගේ ප්‍රශ්න ඇතිවෙන්න පුළුවන්” කරු කීවේය.
ඒ දෙස මෛත්‍රීත් රනිලුත් සාවධානව අසා සිටියේය.
“ඔබ දෙ‍පොළගෙන්  මම ගෞරවනීය ඉල්ලීමක් කරනවා. දේශපාලන වේදිකාවේ විරසක  බව ටිකක් අඩු කරගන්න. ඒක මේ වෙලාවේ අත්‍යවශ්‍ය දෙයක්” කරු කීවේය.
එයට රනිල්ගෙන් මෙන්ම මෛත්‍රීගෙන් ලැබුණේද සුබවාදී ප්‍රතිචාරයකි.
 
ඩිලාන් ත්‍රි්‍රෝද රථයේ
 
නිදහස් සමරු උත්සවයේ පෙරහුරු නිසා පසුගිය දින දෙක තුනේම ගාලුමුවදොර පිටිය මාර්ගය වසා තැබුවේය. මේ නිසා කොළඹ මාර්ග රැසක දැඩි වාහන තදබදයක් ඇතිවී තිබුණේය. මේ වාහන තදබදය නිසා මැති ඇමැතිවරුන්ටත් නියමිත වේලාවට තමන්ගේ වැඩකටයුතු කරගැනීමට නොහැකි වූහ.
අජිත් පී. පෙරේරා සහ හර්ෂ ද සිල්වා නියෝජ්‍ය ඇමැතිවරු ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවා තිබුණේ බ්‍රහස්පතින්දා උදේය. එහෙත් ඔවුන්ට වෙලාවට ප්‍රවෘත්ති සාකච්ඡාවට සහභාගිවීමට නොහැකි වූහ.
“වාහන තදබදය නිසා අපිට වෙලාවට එන්න බැරි වුණා. ඒ ගැන සමාවෙන්න” ඔවුන් මාධ්‍යවේදීන්ගෙන් සමාව ඉල්ලා සිටියහ.
මේ අතර ඩිලාන් පෙරේරා රාජ්‍ය ඇමැතිවරයා සහභාගි වන ප්‍රවෘත්ති සාකච්ඡාව පැවැත්වුණේ ඩාලි පාරේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කාර්යාලයේදීය. එහෙත් මාර්ග තදබදය නිසා ඔහුටත් වේලාවට පැමිණීමට නොහැකි විය. තමන්ගේ නිල වාහනයෙන් වේලාවට යාමට නොහැකි බව තේරුම් ගත් ඩිලාන් වාහනයෙන් බැස්සේය. වාහනයෙන් බැස ත්‍රිරෝද රථයකට ගොඩවූ ඔහු අවසානයේදී එතැනට ආවේ ත්‍රිරෝද රථයෙනි.
 
මුදල් අමාත්‍යාංශය ගැන විමර්ශන
 
එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ අම්පාරේ පැවැති රැස්වීමට සහභාගිවීමට පෙර බ්‍රහස්පතින්දා උදෑසන අරලියගහ මන්දිරයට පැමිණියේය. ඒ එක්සත් ජාතික පක්ෂ මැති ඇමැතිවරු හමුවී සතියේ දේශපාලනය ගැන සමාලෝචනය කිරීමටය. 
“බැඳුම්කර විවාදය ඡන්දයට කලින් තියන්න පුළුවන් වෙන එක ලොකු දෙයක් වජිර අබේවර්ධන ඇමැතිවරයා කීවේය.
“හය වැනිදා මේ විවාදය තියන්න ලැබෙන එක ලොකු දෙයක්. නැතිනම් අපි ඡන්දයට කලින් විවාදයක් ගන්න එකට අකුල් හෙළුවා කියන කතාවට තටු ලැබෙනවානේ. 7 වැනිදා මේක තියන්න බැරි අගමැතිතුමා ඒ දවස් දෙකේ රැස්වීම්වලට සහභාගි වෙන නිසයි. කොහොම නමුත් 6 වැනිදා කැබිනට් රැස්වීම ජනාධිපතිතුමා අවලංගු කරලා තියෙනවානේ”
ලක්ෂ්මන් කිරිඇල්ල කීවේ බැඳුම්කර විවාදයට සූදානම් බව කියමිනි.
“මේ ආණ්ඩුව යටතේ ලැබුණ මුදල් පෞද්ගලික සමාගම්වලට ගියා කියලා චෝදනාවක් තියෙනවා නේද”ගයන්ත කරුණාතිලක ඇමැතිවරයා ඇසුවේය.
“ඒක මුදල් අමාත්‍යාංශය පැත්තට ආපු චෝදනාවක්. මම මේ ගැන හොයලා බැලුවා. ඒත් එහෙම දෙයක් වුණා කියලා නම් සොයා ගන්න නෑ. ඒත් මම තවදුරටත් මේ ගැන සොයා බලනවා. මගේ ගෙදර ඉඳගෙන ඒ වගේ දේවල් කරන්න ඉඩක් දෙන්නේ නෑ”රනිල් කීවේය.
 
සජිත්ට සංවිධායකකම ලැබුණ හැටි
 
මේ දිනවල ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මෙන්ම එක්සත් ජාතික පක්ෂයේ මැති ඇමැතිවරු බොහෝ දෙනෙක් සිටින්නේ ගම්වලය. ඒ පළාත් පාලන මැතිවරණයේ ප්‍රචාරක කටයුතුවලට සම්බන්ධ වෙමින්ය. නවීන් දිසානායක ඇමැතිවරයාද මේ සතියේ නුවරඑළියට ගොස් රැස්වීම් මාලාවක ප්‍රධාන කථිකයා ලෙසින් එක්ව සිටියේය. පසුගිය මැතිවරණවලදී නවීන් සමග එතරම් ඇයි හොඳයියක් නොදැක්වූ කොත්ම‍ලේ එක්සත් ජාතික පක්ෂ ආසන සංවිධායකවරයා නවීන්ගේ රැස්වීම්වලට පැමිණ සිටියේය.
“මම සර්ට මගේ පූර්ණ සහයෝගය දෙනවා. අපි එකතුවෙලා නුවරඑළියේ සියලුම පළාත් පාලන ආයතනවල බලය එක්සත් ජාතික 
පක්ෂයට අරගන්න වැඩ කරමු” ඔහු නවීන්ට කීවේය.
“එක්සත් ජාතික පක්ෂය කියලා කියන්නේ අපි හැමෝම එකට එකතුවෙලා වැඩ කරන තැනක්. අපිට ප්‍රශ්න තියෙන්න පුළුවන්. ඒත් ‍පොදු අරමුණක් වෙනුවෙන් අපි එකතුවෙනවානේ” නවීන් කීවේය.
“සර්ගේ තාත්තත් මේ වගේ තමයි. පක්ෂය වෙනුවෙන් ගාමිණී ඇමැතිතුමාත් හැමෝම එකට එකතු කළානේ” එතැන සිටි ගාමිණී දිසානායක ඇමැතිවරයා සමග කටයුතු කළ අයෙක් කීවේය.
“මගේ තාත්තාට ප්‍රේමදාස ජනාධිපතිතුමා එක්ක ප්‍රශ්න තිබුණා. ඒ නිසා තමයි පක්ෂයෙන් ගියේ. රුපියල් පහක් දීලා අයිමත් පක්ෂ සාමාජිකත්වය ගත්තාට පස්සේ ඉස්සරවෙලාම කළේ ප්‍රේමදාස මහත්තයාගේ පිළිරුවකට මල් මාලාවක් දාපු එකයි. ඒ විතරක් නමෛයි සජිත් ප්‍රේමදාසගේ අතින් අල්ලාගෙන ගිහින් සංවිධායකකමක් දුන්නෙත් තාත්තා”නවීන් අතීතය සිහිපත් කළේය. 
 
විමල් රිය අනතුරක
 
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ වේදිකාවේ ප්‍රධාන කථිකයා වූයේ විමල් වීරවංශ මන්ත්‍රීවරයාය.  එහෙත් පසුගිය සතියේ ඔහු මහින්ද සමග මැතිවරණ වේදිකාවේ දකින්න සිටියේ නැත. විමල්ගේ පක්ෂයෙන් ඉදිරිපත් කර ඇති අපේක්ෂකයන්ට සහාය දැක්වීමට විමල් වැඩි වේලාවක් වෙන් කරගෙන තිබුණි. පසුගිය බ්‍රහස්පතින්දා විමල් සිටියේ රත්නපුරයේය. ඒ තමන්ගේ පක්ෂයේ අපේක්ෂකයන්ට සහාය දැක්වීමේ රැස්වීම් මාලාවකට සහභාගි වෙමිනි. ඔහු රැස්වීම්වලට ගියේ දීපාල් ගුණසේකර පළාත් සභා මන්ත්‍රීවරයා සමගය. ඔවුන් දෙදෙනා ගමන් ගත්තේ විමල්ගේ ජීප් රථයේය. ඔවුන් ටික දුරක් යද්දී පිටුපසින් පැමිණි කැබ් රථයක් වේගයෙන් ජීප් රථයේ ගැටුණේය. ඒ වන විට විමල් සිටියේ පිටුපස අසුනේය. පිටුපස අසුණේ සිටි විමල් විසිවී ගොස් ඉදිරිපස අසුනේ වැදුණේය. එහෙත් බරපතළ තුවාල නොලබා බේරීමට විමල්ට හැකිවිය.
වාහනය අනතුරට ලක්වූ පසුව විමල් හා දීපාල් වාහනයෙන් බැස බැලුවේය. පිටුපසින් පැමිණ රියේ වැදී තිබුණේ දීපාල් මන්ත්‍රීවරයාගේ කැබ් රථයයි. 
“තුවාලද” දීපාල් විමල්ගෙන් ඇසුවේය.
“එහෙම බරපතළ අවුලක් නෑ”විමල් කීවේ ඉදිරිපස ආසනයේ වැදුන තැන් දෙසත් බලමිණි.
මේ අතර එතැනට තවත් ජීප් රථයක් පැමිණියේය. ඒ විමල්ගේ දේශපාලන පක්ෂයේ බ්‍රිතාන්‍ය කමිටුවේ ප්‍රධානියෙකුගේ ජීප් රථයකි. 
“දැන් කරන්න දෙයක් නෑ. මේ හැප්පුන වාහන හදාගෙන එන්න කියලා අපි ඊළඟ රැස්වීම්වලට යමු. ඒ තැන්වල මිනිස්සු බලාගෙන ඇතිනේ” විමල් දීපාල් සමග වාහනයට නැගුනේ එසේ කියමිණි.
 
‍පොහොට්ටුවේ මන්ත්‍රීවරුන්ට අළු කෙසෙල්
 
‍පොදුජන පෙරමුණේ රැස්වීම්වල ප්‍රධාන කථිකයා වී තිබෙන්නේ මහින්දය. මහින්දගේ ප්‍රධානත්වයෙන් කටුනායකදී පැවැත්වෙන රැස්විමක සංවිධාන කටයුතු ගැන සාකච්ඡා කිරීමට පළාත් සභා මන්ත්‍රී ලලන්ත ගුණසේකරගේ නිවසේදී සාකච්ඡාවක් පැවැත්විණි. ඒ ප්‍රසන්න රණතුංග මන්ත්‍රීවරයාගේ ප්‍රධානත්වයෙන්.
“ජනාධිපතිතුමා ආපු රැස්වීමට වඩා හොද රැස්වීමක් අපි කරන්න ඕන”ප්‍රසන්න කීවේය.
“බැඳුම්කර වංචාව වුණේ දැන් ඉන්න ජනාධිපතිතුමාගේ කාලයේදී. එතකොට එතුමා තමයි කැබිනට් මණ්ඩලයේ ප්‍රධානියා. බැඳුම්කර වංචාව අනෙක් අයගේ ඇගේ ගහලා බේරෙන්න බෑ” ප්‍රසන්න බැඳුම්කර කතාව ඇද ගත්තේය.
“ඒක ඇත්ත. අද වෙලා තියෙන්නේ හොරාගේ අම්මාගෙන් පේන අහනවා වගේ වැඩක්” ඉන්දික අනුරුද්ධ මන්ත්‍රීවරයා සිනා සෙමින් කීවේය.
මේ සාකච්ඡාව අතරවාරයේදී මන්ත්‍රීවරුන්ට දිවා ආහාරය සූදානම් කර තිබුණි. දිවා ආහාරය අතරවාරයේදී ලලන්තගේ බිරිඳ කෑම මේසයට අරගෙන ආවේ අළු කෙසෙල් ව්‍යාංජනයකි. 
“මේවා ගෙදරම හදපු ඒවා. හොඳයි. කන්න”ඇය මන්ත්‍රීවරුන්ට අළු කෙසෙල් බෙදන්න විය. එවිට මන්ත්‍රීවරු එකිනෙකාගේ මුහුණ බලන්නට වූ නමුත් කිසිවක් කීමට ඉදිරිපත්වූයේ නැත.
“හිනා වෙවී හිටියට කමක් නෑ. මේ දවස්වල ඡන්ද වැඩ නිසා ගෙදර එන්නේ නැති එකේ කවුරු කවුරුත් ඔය ව්‍යාංජනය බෙදාගෙන කෑවනම් තමයි හොද”එතැන සිටි තවත් පළාත් සභා මන්ත්‍රීවරයෙක් කීවේ කෑම මේසය සිනා සාගරයක් බවට පත් කරමිණි.
 
ප්‍රසන්නට ලැබුණ ඇමතුම්
 
ජනාධිපතිවරයාගේ ගම්පහ රැස්වීම පැවැත්වෙන දිනයේ උදෑසන ප්‍රසන්න රණතුංග මන්ත්‍රීවරයාට දුරකථන ඇමතුමක් ලැබුණි. දුරකථනයේ එහා කෙළවරේ සිටියේ සන්ධානයේ ප්‍රබලයෙකි 
“අද ගම්පහ රැස්වීමට සෙනග එන්නේ නෑ. බොරු නම් බලන්නකෝ. මම ‍පොඩි ගේමක් ගහලයි තියෙන්නේ” ප්‍රසන්න කීවේය.
“ඉතිං හවසට බලාගන්න පුළුවන් නේ” සන්ධානයේ ප්‍රබලයාත් කීවේය.
සවස හතරට පමණ ප්‍රසන්න ගම්පහ බස් නැවතුම්පළ අසලට ගිය අතර රැස්වීමේ සංවිධාන කටයුතුවල යෙදෙමින් සිටි රෙහෙන්සිරි වරාගොඩ පළාත් සභා මන්ත්‍රීවරයා අසලට ළංවිය.
“කෝ බං සෙනග“ප්‍රසන්න එසේ අසාගෙන එතැනින් පිටත්ව ආවේය.
මේ රැස්වීමට පසු දින ගාමිණී තිලකසිරි පළාත් සභා මන්ත්‍රීවරයාගෙන් ප්‍රසන්නට ඇමතුමක් ලැබුණේය. හෝමාගම රැස්වීම සංවිධානය කිරීමේදී ඇතිවූ ගැටලු නිසා ඔහුට මෛත්‍රීගෙන් දොස් අසන්නට සිදුව තිබූ බව ඒ වන විට ප්‍රසන්නට ආරංචිවී තිබුණේය. ප්‍රසන්නට ඒ කතාව කියා තිබෙන්නේ බැසිල් රාජපක්ෂය. බැසිල් ඒ තොරතුරු දැනගෙන ඇත්තේ එදා මෛත්‍රී සමග වාහනයෙන් ගිය ව්‍යාපාරික හිතවතෙක්ගෙන්ය. 
“මොකද ලොක්කාගෙන් බැණුම් ඇහුවා කියන්නේ” ප්‍රසන්න ඇසුවේ ඔලොක්කුවට මෙනි.
“දන්නේ නැද්ද ඉතිං” ගාමිණී කීවේ ඕනෑවට එපාවට මෙනි.
 
වේදිකා ගහන හැටි
 
ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක පසුගිය සතියේ උතුරු නැගෙනහිර රැස්වීම් මාලාවකට සහභාගි විය. ඔහු මඩකලපුවේ රැස්වීමකට සහභාගි වී තිබුණේ පළමු වතාවටය. ඒ ඉතිහාසයේ පළමු වතාවට ජනතා විමුක්ති පෙරමුණ මඩකලපුවේ පළාත් පාලන ආයතන කිහිපයකට තරග කරන නිසාය. වාලච්ච්ෙන, එරාවුර් සහ කාත්නත්කුඩිවල රැස්වීම් පැවැත්වූයේ 
පළමු වතාවටය. ඒ තැන්වල වෙන වෙනම වේදිකා සකස් කරනවා වෙනුවට තැනින් තැනට රැගෙන යා හැකි එකම වේදිකාවක් සකස් කරගැනීමට ජනතා විමුක්ති පෙරමුණේ මැතිවරණ මෙහෙයුම් මධ්‍යස්ථානය පියවර ගෙන තිබුණේය. 
එක් රැස්වීමක් අවසන් කළ අනුර කුමාර අනෙක් රැස්වීමට පැමිණෙන විට ජනතාව රැස්වීම් භූමියට පැමිණ සිටියහ. එහෙත් වේදිකාවක් දකින්නට නොලැබිමෙන් ජනතාව පුදුමයට පත්වූයේ රැස්වීමක් පැවැත්වෙන්නේ නැද්දැයි යන ප්‍රශ්නය හිතේ තබාගෙනය.  එහෙත් අනුර කුමාර මග එන අතරවාරයේදී ලොරියක් එතැනට පැමිණියේය. කඩි මුඩියේ එහා මෙහා ගිය සාමාජිකයන් කඩිනමින් වේදිකාවක් ඉදි කෙරිණි. එම වේදිකාව තැනින් තැනට රැගෙන යා හැකි වේදිකාවක් බව එතැන සිටි ජනතාව දැනගත්තේ පසුවය.
කඩිනමින් එහා මෙහා ගිය පිරිස විනාඩි දොළහක් යන විට වේදිකාව සම්පූර්ණයෙන්ම සකස් කළහ. එපමණක් නොව අනුර කුමාරට කතාව පැවැත්වීමට අවශ්‍ය ශබ්ද විකාශන යන්ත්‍රද සකස් කෙරිණි. මෙවැනි වේදිකාවක් කලින් දැක නොතිබූ එරාවුර් ජනතාව ඒ දෙස බලා සිටියේ පුදුමයෙන් මෙනි.
 
තිලකජය

 

IMAGE

බසයේදී දුන් බොරු විවාහ පොරොන්දුවෙන් පවුල්ජීවිතේ 'හබක්'

IMAGE 2018 Feb 23 12:25
ඔහු අගනුවර ප්‍රසිද්ධ සමාගමක විධායක නිලධාරියෙකි. වයස අවුරුදු 40 ඉක්මවූ ඔහුට රූමත් බිරිඳක් සහ...
Views - 4087

අහිමි පෙම ඉල්ලා පෙම්වතියට ප්‍රසිද්ධියේ ගුටි ඇනලා

IMAGE 2018 Feb 23 10:42
පැරණි පෙම්වතියගෙන් අහිමි වූ ආදරය නැවත ඉල්ලා එය නොලැබුණු විට නාරාහේන්පිට ප්‍රදේශයේදී ඇයට...
Views - 2702

සංසාර සිහිනයේ ගී සංකල්පනය මම 'ටැබ් එකේ ටයිප් කරපු' එකක්

IMAGE 2018 Feb 21 12:00
සනුක වික්‍රමසිංහ ගායනා කරන “සංසාර සිහිනේ” කලක පටන් බොහෝ ගීත දර්ශකවල පෙරමුණ ගෙන තිබෙන...
Views - 3773

මම නාට්‍ය කලාවෙ ඉන්නේ ඒ ගැන තියන 'උණ' නිසයි

IMAGE 2018 Feb 21 11:53
වේදිකාව, පුංචිතිරය සහ සිනමාව යන මාධ්‍ය ත්‍රිත්වයෙහිම සිය ප්‍රතිභාව ප්‍රකට කළ කලාකරුවකුවන...
Views - 2278

බිරිඳ රැකියාවක් නොකිරීම මගේ සාර්ථකවයට හේතුවක්

IMAGE 2018 Feb 20 14:38
“සිරස ජූනියර් සුපර් ස්ටාර්..” තරගය ගැන මුලින්ම අප ඔබගෙන් විමසන්න කැමතියි.. ඇත්තෙන්ම “සිරස...
Views - 7519

බිරිඳට පින් තකා සුනඛයන්ට දිනපතා සහල් කිලෝ 08ක දනක්

IMAGE 2018 Feb 20 14:23
මිනිසා තිරිසනුන් වන අවස්ථාත් තිරිසනා මිනිසුන් වන අවස්ථාත් අපට බොහෝ විට දක්නට ලැබුණද...
Views - 4634

Please publish modules in offcanvas position.