Coss Ear2
lakbima.lk
COSS Ear 1
                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්     

රනිල්ට බුලත් දෙන්න ශ්‍රීලනිප ඇමැතිවරු පස්ස ගසති

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන යහපාලන ආණ්ඩුවට වසර තුනක් සම්පූර්ණ කළේ රාජගිරිය ගුවන් පාලම විවෘත කරමින් සහ මොරගහකන්ද ජලාශය විවෘත කිරීමේ අවස්ථාවට එක් වෙමිනි. ගුවන් පාලම විවෘත කළ මෛත්‍රී රාජිත, මහින්ද අමරවීර, දයා ගමගේ ඇතුළු මැති ඇමැතිවරු පිරිසක් සමග හෙලිකොප්ටරයකින් මොරගහ කන්දට පැමිණියේය.
“මම මේක හදන්න මුල් ගල් තියලා සතියක් යන්න කලින් මහවැලි විෂය මගෙන් අයින් කළා. පස්සේ ඒ විෂය මට ලැබුණත් මට මොරගහකන්ද හදන්න සල්ලි දුන්නේ නෑ. 2012 වෙනකම් මට සල්ලි නැතිව බලාගෙන ඉන්න වුණා”මෛත්‍රී කීවේ මොරගහකන්ද ජලාශය ඉදිකිරීම් කටයුතු කොතරම් අපහසු වූයේදැයි පවසමිනි.
මොරගහකන්ද ජලාශයේ මංගල දියවර නිකුත් කළ මෛත්‍රී විදුලි බලාගාරයද නිරීක්ෂණය කළේය. අගමැති රනිල් වික්‍රමසිංහ මොරගහකන්ද ජලාශය විවෘත කිරීමේ අවස්ථාවට නොපැමිණෙන බව කලින් ප්‍රකාශ කර තිබුණත් පසුව ඔහු තීරණය කර තිබුණේ මෙයට සහභාගී වීමටය. බැඳුම්කර කොමිසමේ වාර්තාව ප්‍රකාශයට පත් කිරීමෙන් පසුව මංගල උත්සවයකදී රනිල්ට මෛත්‍රී හමුවී තිබුණත් එහිදී වැඩි කතාවක් කිරීමට හැකියාව ලැබි තිබුණේ නැත. එහෙත් බැඳුම්කර වාර්තාව නිකුත් වීමෙන් පසුව ටික වේලාවක් ගත කරමින් කතා බස් කිරීමට අවස්ථාවක් ලැබුණේ මොරගහ කන්දේදීය.
මොරගහකන්දට පැමිණි රනිල් පිළිගැනීමට නියමිතව තිබුණේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැති ඇමැතිවරු කිහිප දෙනෙක්ටය. මධ්‍යම පළාත් මහ ඇමැති සරත් ඒකනායක, ලක්ෂ්මන් වසන්ත පෙරේරා සහ අනුරාධ ජයරත්න බුලත් දී රනිල් පිළිගැනීමට සූදානමින් සිටියහ. අනුරාධ සහ ලක්ෂ්මන් වසන්ත බුලත් අත් රැගෙන ආවත් රනිල් එන විට ඔවුන් දෙදෙනාම සරත් ඒකනායකගේ පසුපසට වන්නට වූයේ රනිල්ට බුලත් දීමට තිබූ අකමැත්ත නිසාය.
“ඇමැතිතුමා ඉස්සරවෙලා බුලත් දෙන්න. අපි පස්සේ දෙන්නම්”ඔවුන් දෙදෙනාම සරත් ඒකනායක ඉදිරියට දමා ගත්හ.
මෛත්‍රී විවෘත කිරීම්වලට සහභාගී වන විට මැති ඇමැතිවරු ඔහුගේ වටේ එක්වන්නට වුයේ විටෙක ‍පොරකමිනි. ඇමැතිවරුන්ගේ ‍පොරයට හසුවූ රනිල් වතාවක් දෙවතාවක් එහාට මෙහාට තල්ලුවී ගියේය. විවෘත කිරීම් අතර චීන තානාපතිවරයාට සංදේශයක් ලබාදීමට නියමිතව තිබුණත් චීන තානාපතිට මෛත්‍රී අසලටවත් ඒමට නොහැකි වූයේ තදබදය නිසාය. අවසානයේදී මෛත්‍රී ඇමැතිවරු ඈත් මෑත් කරමින් තානාපතිවරයා තමන් ළඟට ගෙන්වා ගත්තේය. මොරගහකන්දේ විවෘත කිරීම්වලින් පසුව පිරිස දිවා ආහාරය ගැනීමට පැමිණියහ. චීනයේ සිටින ශ්‍රී ලංකා තානාපතිනිය ඇතුළු මැති ඇමැතිවරු පිරිසක් එම මේසයේ වාඩිවී සිටියහ.
“මම මලික්ලාගේ ගෙදර කෑමකට යනවා. ඔය අය කෑම කාලා නුවර එන්න” රනිල් කීවේ දිවා ආහාරය එතැනින් ගත නොහැකි බව කියමිනි. ඒ වන විට මලික් සමරවික්‍රම සිටියේ අසල තවත් මේසයකය. රනිල් මෛත්‍රී සිටින මේසය අසලට එන විට මලික් ද එතැනට ආවේය.
“මොකද මලික් අපිට ආරාධනාවක් නැද්ද? ඕක යූ.එන්.පී කෑම මේසයක්ද?”මෛත්‍රී ඇසුවේ සිනාවක් මුවට නංවාගෙනය.
“ජනාධිපතිතුමනි, මටත් ආරාධනා නෑ. එක්සත් ජාතික පෙරමුණේ අයටත් ඒ කෑම මේසයට ආරාධනා නෑ. ඒක එක්සත් ජාතික පක්ෂයේ කෑම මේසයක්” රාජිත කීවේය.
“නෑ.. නෑ.. අගමැතිතුමා නුවර එන නිසා මම කෑම ටිකක් හැදුවා” මලික් එයට උත්තර දුන්නේය.
රනිල් සහ මලික් එතැනින් පිටත්ව ගිය අතර මෛත්‍රී ගමේ කෑම වේලක රස බැලුවේය. දිවා ආහාරයෙන් පසුව මෛත්‍රී මහනුවර බලා පිටත්විය. ඒ ‍පොල්ගොල්ල ජලාශයේ විවෘත කිරීම් සඳහාය. නුවර ජනාධිපති මන්දිරයට හෙලිකොප්ටරයෙන් පැමිණි මෛත්‍රී අමාත්‍යවරු සමග ඉහළ මාලයට ගොස් විවේක ගත්තේය. ජනාධිපති දියණිය චතුරිකා සිරිසේනද පවු‍ලේ අය සමග එතැනට පැමිණ සිටි අතර ඇය කීවේ එදින උදෑසන පැවැත්වූ දානමය පිංකමක් පිළිබඳ තොරතුරුය.
ටික වේලාවක් විවේකයෙන් සිටි මෛත්‍රී ‍පොල්ගොල්ල බලා පිටත්ව ගියේය. ‍පොල්ගොල්ලට පැමිණෙන රනිල් පිළිගැනීමට නියමිතව තිබුණේද සරත් ඒකනායකට සහ එස්.බි. දිසානායකටය. රනිල්ට බුලත් අතක් දීමට එස්.බි. වැඩි කැමැත්තක් දැක්වූයේ නැත.
“මහ ඇමැතිතුමානේ ඉතිං නුවර වැඩ ටික සේරම බලන්නේ. ආගමික වැඩ කටයුතු කරන්නේත් මහ ඇමැතිතුමා. පන්සල්වල වැඩ කරන්නේත් මහ ඇමැතිතුමා. ඒ නිසා මහ ඇමැතිතුමා රනිල්ට බුලත් දීලා පිළිගන්න. මම පස්සේ පිළිගන්නම්” එස්.බි. ත් පසුපසට විය. අවසානයේදී රනිල්ව පිළිගැනීමට සිදුවූයේ සරත් ඒකනායකටමය.
 
බැඳුම්කරයෙන් කැබිනට්ටුව රත්වේ 
 
සුපුරුදු පරිදි මේ සතියේ කැබිනට් මණ්ඩල රැස්වීම මෛත්‍රීගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ‍ලේකම් කාර්යාලයේදී පැවැත්විණි. කැබිනට් රැස්වීමේදී මේ සතියේදීත් ‍පොහොර ප්‍රශ්නය ඇදී ආවේය.
“මම ගිය සතියේ කැබිනට් තීරණ දැනුම් දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී ‍පොහොර නැවක් එනවා කියලා කිව්වා. ඒත් ‍පොහොර නැව ආවේ නෑ. මට හරිම ලැජ්ජාවක් වුණේ” දයාසිරි කීවේය.
මේ අතර බැඳුම්කර කොමිසම ගැනත් කැබිනට් මණ්ඩලයේදී සාකච්ඡා විය. බැඳුම්කර කොමිසමේ වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත්වීම ගැනත් එහිදී අදහස් මතුවිය.
“මොන විවාදයක්ද කරන්නේ” බැඳුම්කර වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතු යැයි කී විට එස්.බි. කැබිනට් මණ්ඩලයේදී කතා කර තිබුණේ උස් හඬකින්ය.
 
ජපන් විදේශ ඇමැතිට දිවා භෝජනයක් 
 
ජපාන විදේශ කටයුතු ඇමැතිවරයෙක් අවුරුදු පහළොවකින් ලංකාවට පැමිණ සිටියේ නැත. එහෙත් පසුගිය සතියේදී විදේශ කටයුතු ඇමැතිවරයා ලංකාවට පැමිණ මෛත්‍රී හමුවූයේ දෙරටට බලපාන කරුණු රැසක් ගැන සාකච්ඡා කිරීමටය. මේ අතර ආණ්ඩුවේ මැති ඇමැතිවරුද ඔහු හමුවූ අතර නවින් දිසානායක, තිලක් මාරපන සහ අනුර ප්‍රියදර්ශන යාපා දිවා ආහාරය සමග සාකච්ඡාවකට ඔහු හමුවිය.
“අපි සෙල්ෆි එකක් ගනිමු” නවින් කී විට ජපන් විදේශ ඇමැතිවරයා කිසිදු පැකිලීමකින් තොරව සෙල්ෆියකට පෙනී සිටියේය. ඒ අතර නවින් ඔහුගෙන් ඉල්ලා සිටියේ ජපානයට අපනයනය කරන තේ ප්‍රමාණය ඉහළ නැංවීමටය. ඒ සඳහා වන වාර්තාවක්ද ඔහු පෙන්වූ අතර ජපානයෙන් ඒ සඳහා හොඳ ප්‍රතිචාරයක් ලැබුණි.
 
සායි බබා පූජාවක් 
 
පසුගිය සතියේදී සායි බබාගේ ප්‍රධාන ගෝලයෙක් ලංකාවට පැමිණ සිටියේය. ඒ ආණ්ඩුවේ මැති ඇමැතිවරු කිහිප දෙනෙකුගේ ආරාධනය මතය. ඇතැම් ඇමැතිවරුන්ට සායි බබාගේ ප්‍රධාන ගෝලයා මුදු පවා ලබාදී තිබුණේය.
“අපේ එක ඇමැතිතුමෙක් තමන්ට අගමැතිකම ලබාදෙන්න කියලා සායි බබාගේ ගෝලයා ලවා පූජාවකුත් කරගෙන තිබෙනවා” එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබලයෙක් කීවේ පූජාවේ රස කතාද සිහිපත් කරමිනි.
 
රනිල්ගේ නැටුම 
 
පළාත් පාලන මැතිවරණයට සමගාමීව එක්සත් ජාතික පක්ෂය සංවිධානය කර තිබූ විශේෂ සම්මේලනයක් බොරැල්ලෙ කැම්බල් පිටියේදී පැවැත්වුණේ පසුගියදාය. එක්සත් ජාතික පක්ෂයේ නායකයන් සියලු දෙනාටම පාහේ මෙහිදී කතා වෙන්වී තිබුණි.
“රාජිත ඔයා මම කතා කළාට පස්සේ කතා කරන්න”රනිල් රාජිතට උපදෙස් දුන්නේය. ඒ අනුව රාජිත කතා කළේ රනිල්ගේ කතාවට පසුවය. මේ අතර රනිල් රාජිතගෙන් ඇසුවේ මැතිවරණ ව්‍යාපාරය ගැනය.
“බේරුවල මම හොඳට කැම්පේන් එක කරගෙන යනවා. ආණ්ඩුවට ලොකු විරෝධයක් නැහැ”රාජිත ගමේ තත්වය රනිල්ට පැහැදිලි කළේය.
මේ අතර රනිල්ට තමන්ගේ පවු‍ලේ ඥාතියෙකුගේ විවාහ මංගල උත්සවයකට සහභාගිවීමට ආරාධනා ලැබ තිබුණි. රනිල්ගේ ඥාතියා විවාහ වී තිබුණේ විදේශිකයෙක් සමගය. ඒ ආරාධනය ලැබ තිබුණේ අයිරාංගනී සේරසිංහගේ සහෝදරයාගේ මිනිබිරියගේ විවාහයටය. දෙහිවල පිහිටි එම නිවසේදී සාදය පැවැති අතර සියලු දෙනාම සංගීතයට අනුව නටන්න පටන් ගත්හ.
“ඇයි රනිල් ඩාන්ස් කරන්නේ නැත්තේ. මෙයා ‍පොඩි කා‍ලේ ඉඳලම හොඳට නටන්න දන්නවා. නැටුම් ඉගෙන ගෙනත් තියෙනවා”අයිරාංගනී කීවේ සභාව මැදය.
එම අභියෝගය භාරගත් රනිල් තම නැන්දනිය වටා අපූරු නර්තනයක් ඉදිරිපත් කළේ සියල්ලන්ම මවිත කරමිනි. රනිල් නටන ආකාරය එතැන සිටි අයෙක් වීඩියෝ කර තිබුණි. ඒ වන විට රනිල්ගේ 
ආරක්ෂක අංශය උත්සව සභාවේ සිටි නමුත් ඔවුන් එය විඩීයෝ කරනවාට විරුද්ධ වූයේද නැත. පසුව මෙම වීඩියෝව සමාජ ජාල වබේ අඩවි වෙත ඇතුළත් කර තිබූ අතර එය කාගේත් ආකර්ශනයට ලක්වී තිබුණි.
 
මෛත්‍රීගේ මීළඟ මෙහෙයුම 
 
රනිල් එක්සත් ජාතික පක්ෂයේ මැති ඇමැතිවරු පිරිසක් මේ සතියේත් අරලිය ගහ මන්දිරයට කැදවා තිබුණේය. ඔවුන් වැඩියෙන්ම අවධානය යොමු කළේ සිය ධූර කාලය අවසන්වන වසර ගැන මෛත්‍රී ශේ්‍රෂ්ඨාධිකරණයෙන් කළ මත විමසීම වෙතය.
“ජනාධිපතිතුමාගේ ධූර කාලය අවසන් වෙන්නේ 2020ද 2021 ද කියලා ශේ්‍රෂ්ඨාධිකරණයෙන් අපහු එක දැන් මිනිස්සු අතර ප්‍රධාන මාතෘකාවක් බවට පත්වෙලා” දයා ගමගේ ඇමැතිවරයා කීවේය.
“ජනාධිපතිතුමා වටේ ඉන්න එක්සත් ජාතික පක්ෂ විරෝධී අය තමයි එතුමා තව පාරක් මඩ ගොඩකට තල්ලු කරන්න හදන්නේ කියලා මට ආරංචියි”එතැන සිටි මන්ත්‍රීවරයෙක් කීවේය.
“ජනාධිපතිතුමා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් මතයක් විමසන බව අගමැතිතුමා කලින් කියලා තිබුණද”වජිර අබේවර්ධන ඇමැතිවරයා ඇසුවේය.
“මට නම් කියලා තිබුණේ නෑ. එහෙම කියන්න ඕන කමකුත් නෑ”රනිල් කීවේය.
“ජනාධිපතිතුමා බලයට පත් කරන්න සහාය දීපු කිසිම පක්ෂයක් මේ උපදේශන විමසීම ගැන දැනගෙන ඉඳලා නෑ. ඒ පක්ෂ නායකයෝ හුග දෙනෙක් මාත් එක්ක මේ ගැන කනගාටුව පළ කළා”කිරිඇල්ල කීවේය.
මේ අතර මෛත්‍රී තවත් මෙහෙයුමක් ක්‍රියාත්මක කර තිබේ. ශේ්‍රෂ්ඨාධිකරණ මත විමසුමෙන් පසුව එක්සත් ජාතික පක්ෂ 
විෂය පථයේ තිබෙන විෂයන් කිහිපයක් තමන් යටතට පවරා ගැනීමටය. හොරු ඇල්ලීම් ප්‍රමාද වීම් ගැන කියමින් නීතිය හා සාමය අමාත්‍යාංශයත් නීතිපති දෙපාර්තමේන්තුවත් තමන් යටතට ගැනීම මෛත්‍රීගේ සූදානමයි. පළාත් පාලන මැතිවරණය අවසන් වන තෙක් අමාත්‍යාංශ පවරා ගැනීමේ අදහසක් නොමැති නමුත් මැතිවරණය අවසන්වූ වහාම එම ආයතන තමන් යටතට පවරගැනීමට මෛත්‍රී කටයුතු කරන අතර අවශ්‍ය නම් කැබිනට් මණ්ඩලයේ පූර්ණ සංශෝධනයක් කිරීමටද මෛත්‍රී සූදානමින් සිටින්නේය. 
 
මහින්දට ලොකු පුටුවක් 
 
පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් ‍පොදු ජන පෙරමුණ සංවිධානය කරන රැස්වීම් මාලාව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වුණේ කඩවතින්ය. රැස්වීම ආරම්භ කිරීමට පෙර රැස්වීමේ සංවිධායකයින්ට මුහුණදීමට සිදුවූයේ මහින්දට පනවන ආසනය පිළිබඳ ගැටලුවකටය.
“අපි මහින්ද මහත්තයාට වෙනම විදියක ආසනයක් පනවමු”ඒකාබද්ධ විපක්ෂයේ නායකයෝ යෝජනා කළහ. සාමාන්‍ය අයගෙන් වෙනස් ආසනයක් මීට පෙර පැවැති රැස්වීමකදී පැනවීමත් සමග ඇතිවූ ආන්දෝලනය ගැන තවත් අයගේ අවධානය යොමුවිය.
“අපි එතුමට විශේෂ පුටුවක් තියන්න ඕන නෑ. පුටුව තියන තැන විතරක් විශේෂ කරමු”ප්‍රසන්න කළ යෝජනාවට අනෙක් අයද කැමැති විය.
රැස්වීම පැවැත්වෙන අතරවාරයේදී පවිත්‍රා කතාවක් කරමින් කීවේ ‍පොල් ගෙඩියක මිල රුපියල් අසූවක් බවය.
“කොහේද මන්ත්‍රීතුමිය රුපියල් අසූවට ‍පොල් තියෙන්නේ”කතාව අවසන් කර එන පවිත්‍රාගෙන් ඇසුවේ ප්‍රසන්නය.
“ඒ මොකද”පවිත්‍රා පුදුමයෙන් මෙන් ඇසුවාය.
“නෑ.. රුපියල් අසූවට ‍පොල් ගන්න  පුලුවන් තැනක් අපිට කියන්න. අපිටත් ගිහින් ‍පොල් අරගෙන එන්න”ප්‍රසන්න කීවේය.
“අනේ නෑ.. මන්ත්‍රීතුමා. මම මේ කිව්වේ ආණ්ඩුව ‍පොල්වලට දාලා තියෙන පාලන මිල ගැනනේ”පවිත්‍රා සිනාසෙමින්ම උත්තර දුන්නාය.
කඩවත රැලිිය පැවැත්වෙන දිනයේදී ප්‍රසන්නගේ දෙවැනි දියණියගේ විවාහ ගිවිස ගැනීමේ උත්සවය පැවැත්විණි. උදෑසන නිවසේ සිටි ප්‍රසන්න උත්සවයට සහභාගී නොවීම රැස්වීමේ වැඩ කටයුතු ගැන සොයා බලන්නට විය. මහින්ද රැස්වීමට පැමිණි පසුව මේ ගැන මහින්දට කීවේ පළාත් පාලන ආයතනයකට තරග වදින අපේක්ෂකයෙකි.
“ඔය මනුස්සය අපි කියන දේවල් අහන්නේ නෑ. එක පාරක් දුවගේ උපාධි ප්‍රදානෝත්සවයට යන්නේ නැතිව නොමිනේෂන් හදමින් හිටියා. අන්තිමට මම කිව්වට පස්සේ තමයි ඒකට සහභාගී වෙන්න ඕස්ට්‍රේලියාවට ගියේ”මහින්ද කීවේය.
රැස්වීම අවසන්වීමෙන් පසුව මහින්ද වාහනයට ගොඩවීමට යන අතරවාරයේදී ප්‍රසන්න හමුවූ මහින්ද “ආ.. අද ගෙදර උත්සවයකුත් තියෙනවාලු නේද”යැයි ඇසුවේය.
“ඔව් සර්. මේ ‍පොඩි එන්ගේජ්මන්ට් එකක්. මම ඉතිං කාටවත් කිව්වේ නෑ”ප්‍රසන්න උත්තර දුන්නේය.
“දුවගේ එන්ගේජ්මන්ට් එක දවසේ මෙතැනට වෙලා හිටියාම හරියනවාද. දැන් වත් ඉතිං ගෙදර යන්න”මහින්ද කීවේ ප්‍රසන්නගේ පිටට තට්ටුවක්ද දමමිනි. 
 
පාර්ලිමේන්තුවේ ගැටුම 
 
බැඳුම්කර කොමිසම ගැන පාර්ලිමේන්තු විවාදයක් එක්සත් ජාතික පක්ෂයෙන් මෙන්ම ඒකාබද්ධ විපක්ෂයෙන්ද ඉල්ලා තිබුණේය. පසුගිය බදාදා දිනයේදී පාර්ලිමේන්තුව කැඳවීමට කතානායකවරයා තීරණය කළේ ඒ අනුවය. බැඳුම්කර කොමිසන් වාර්තාව ගැන පාර්ලිමේන්තු විවාදයක් පැවැත්වීමට පෙර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා එක්සත් ජාතික පක්ෂය පාර්ලිමේන්තු කණ්ඩායම රැස් නොකළත් ඒකාබද්ධ විපක්ෂය කණ්ඩායම් රැස්වීමක් කැඳවා තිබුණේ පාර්ලිමේන්තුවේ කමිටු කාමරයකදීය.
“බැඳුම්කර වාර්තාව ඡන්දය ඉවර වෙනකම් හංගාගෙන ඉන්න තමයි හදන්නේ. කොමිසම ජනාධිපති පත් කළාට ඒකේ වාර්තාව ඔහුට අයිති නෑ. ඒක ජනතාවගේ බදු මුදලින් නඩත්තු වුණ කොමිසමක් නිසා කොමිසන් වාර්තාව රටටම අයිතියි”වාසුදේව නානායක්කාර මන්ත්‍රීවරයා කීවේය.
“කොමිසමේ වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්නේ නැතිනම් ඒ ගැන විවාද තියලා වැඩක් නෑ. වාර්තාවක් නැතිව අපි මොකක් ගැනද විවාද කරන්නේ” 
දිනේෂ් ඇසුවේය.
“අපිට පේන්නේ නම් මේ වාර්තාවේ තියෙන සමහර කරුණු හංගන්න සමහරුන්ට ඕන වෙලා තිබෙනවා කියලයි. එහෙම නැතිනම් වාර්තාව මිනිස්සුන්ගේ අතට ගියා කියලා කාටවත් ප්‍රශ්නයක් වෙන්නේ නෑනේ. සමහරවිට හොඳ හොඳ ඒවා තියෙන්නේ ඒක ඇතු‍ලේ වෙන්න පුලුවන්” ප්‍රසන්න රණතුංග මන්ත්‍රීවරයා කීවේය.
බැඳුම්කර වාර්තාව ගැන පාර්ලිමේන්තුවේ විවාදයක් පැවැත්වුණත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් පාර්ලිමේන්තුවට පැමිණ සිටියේ මන්ත්‍රීවරු තුන් හතර දෙනෙක් පමණි. අනෙක් අය සිටියේ මෛත්‍රී සමග අනුරාධපුර රැස්වීමේය.
පාර්ලිමේන්තුව රැස්වූ අවස්ථාවේදී බැඳුම්කර කොමිසමේ වාර්තාව ලබාදෙන්නැයි අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයාත් නැගිට බැඳුම්කර වාර්තාව ඉල්ලා සිටියේය. මේ අතර රනිල් විශේෂ ප්‍රකාශයක් කරන්න විය. රනිල් සිය කතාව කරගෙන යන අතරවාරයේදී ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරු නැගිට සභා ගර්භය මැදට පැමිණියේ විරෝධතා පුවරු රැගෙනය. “කවුද හොරා - රනිල් හොරා”යැයි කියමින් ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරු කෑ ගසන්නට වූයේ රනිල් ඉදිරියේමය.
“ඔයාලත් මම කියන කොට කෑ ගහන්න”රනිල් තමන් වටේ සිටි එක්සත් ජාතික පක්ෂයේ මැති ඇමැතිවරුන්ට කීවේ සභා ගර්භය ලිප්ටන් වටරවුම බවට පත් කරමිනි.
“කවුද හොරා - මහින්ද හොරා” රනිල් එක් කොටසක් කියන විට මන්ත්‍රීවරු අනෙක් කොටස කීවේ විරෝධතා ව්‍යාපාරයක් සිහි ගන්වමිනි.
මේ අතර ගාමිණී ලොකුගේ මන්ත්‍රීවරයා ප්‍රදර්ශනය කරමින් සිටි බැනරයක් ඉරා දැමීමට මරික්කාර් මන්ත්‍රීවරයා උත්සාහ ගත්තේය. ගාමිණී ලොකුගේ වැරෙන් මරික්කාර්ගේ කම්මුලට පහරවල් දෙකක් එල්ල කළ අතර පාර්ලිමේන්තු සේවකයින් මැදිහත්වී ඔවුන් දෙදෙනා දෙපසට කළේය. ආණ්ඩු පක්ෂයේ දොරකින් එළියට ගිය මරික්කාර් කාටත් හොරා නැවත සභා ගර්භයට පැමිණියේ විපක්ෂයේ දොරකිනි. හොර ගල් අහුලමින් පැමිණි මරික්කාර් ලොකුගේ ගේ පිටුසින් පැමිණ පහරවල් දෙකක් එල්ල කර වේගයෙන් දිව ගොස් අතුරුදහන් විය. මරික්කාර්ගේ පහරකෑමට ලක්වූ ගාමිණී ලොකුගේ බිම ඇද වැටුණ අතර ප්‍රසන්න රණතුංග මන්ත්‍රීවරයා පැමිණ ඔහු නැගිටවූවේය. චමින්ද විජේසිරි මන්ත්‍රීවරයා එතැනට පැමිණියේ මේ අතරවාරයේදීය. විජේසිරිට දැවැන්ත පහරවල් දෙකක් එල්ල කළ ප්‍රසන්න මරික්කාර් පැන ගිය දොරින්ම පැන ගොස් අතුරුදහන් විය. 
මේ අතර රනිල්ගේ ආරක්ෂාවට පැමිණ සිටි කාවින්ද ජයවර්ධන මන්ත්‍රීවරයා රනිල් අසල විය. ඒකාබද්ධ විපක්ෂයේ අය ඒ වන විට රනිල් අසලින් ඉවත්ව ගොස් සිටියේය. මේ නිසා කාවින්ද ජයවර්ධන අසල කිසිවෙක් සිටියේ නැත. කවුරුවත් නොමැතිව සිටින විටදී කෙසෙල් කඳක් කපා දැමූ ලෙසට කාවින්ද ජයවර්ධන එක් වරම සිහිසුන්ව බිම ඇද වැටුණේය. 
“නහරයක් පුපුරලාද දන්නේ නෑ”එතැන සිටි මන්ත්‍රීවරු බිය වන්නට වූහ. කාවින්ද නැගිටුවීමට මන්ත්‍රීවරු කිහිප දෙනෙක්ද පැමිණි අතර මයන්ත දිසානායක මන්ත්‍රීවරයා කාවින්ද තමන්ගේ වාහනයේ නංවාගෙන රෝහලට ගියේය.
ගැටුම යන අතරවාරයේදී පවිත්‍රා මහින්දට දුරකතන ඇමතුමක් ගත්තේය.
“සර් මේ පැත්තේ නම් එන්න එපා”පවිත්‍රා කීවාය.
“ඒ මොකද” මහින්ද ඇසුවේය.
“මෙතැන ලොකු ගැටුමක් යනවා. සර් එන්න එපා”පවිත්‍රා ඉල්ලා සිටියාය.
“එහෙම නම් මම නෑවිත් කොහොමද. මම ඇවිත් ඕක විසඳන්නම්”කී මහින්ද වහාම පාර්ලිමේන්තුවට ආවේය. එහෙත් ඒ වන විට ගැටුම අවසන්වී තිබුණේය. මහින්ද ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගෙන් ගැටුම ගැන විමසා සිටි අතර ඔවුන් කීවේ මරික්කාර් පැමිණ ලොකුගේට පහරදුන් බවය.
ගැටුම අතරේදී ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරු දෙදෙනෙක් පමණක් සභා ගර්භයේ සිටියේය. සුනිල් හඳුන්නෙත්ති මන්ත්‍රීවරයා පාර්ලිමේන්තු සංකිර්ණයේ සිටි නමුත් සභා ගර්භයට ආවේ නැත. ගැටුම අවසන්වීමෙන් පසුව හඳුන්නෙත්ති පාර්ලිමේන්තු පුස්තකාලය දෙසට ගමන් කරමින් සිටින විට රෝහිත අබේගුණවර්ධන මන්ත්‍රීවරයා මුහුණට මුහුණ හමුවිය.
“හඳුන්, ඇයි සභාවට ආවේ නැත්තේ”රෝහිත ඇසුවේය.
“අපි ඔය අතින් පයින් කරන වැඩ එක්ක නෑනේ. අපේ වැඩ තියෙන්නේ සංවාදය පැත්තෙන් විතරයි”හඳුන්නෙත්ති කීවේ සිනාවක් මුවට නංවා ගනිමින්ය.
“ආ.. ඇත්තද”යැයි කියමින් රෝහිත හඳුන්නෙත්තිගේ පිටට අතක් තබා තල්ලු කළේ විහිළුවටය. 
මේ අතර පාර්ලිමේන්තුවේ දී ගුටි කෑ සමහර මැති ඇමැතිවරු සභා ගර්භයෙන් එළියට පැමිණ තිබුණේ තමන්ට කිසිදු පහරක් එල්ල නොවූ ගාණටය. එහෙත් රංජිත් සොයිසා මන්ත්‍රීවරයා තමන්ගේ මුහණේ විශාල ප්ලාස්ටරයක් අලවාගෙන තිබුණේ ගැටුමට මැදිව ඔහුගේ මුහුණේ අඟලක පමණ තුවාලයක් තිබූ නිසාය.
පාර්ලිමේන්තුවේ ගැටුම ඇතිවන විට මෛත්‍රී සිටියේ අනුරාධපුරයේය. ගැටුම ගැන ඔහුට තොරතුරු ලැබුණේ පාර්ලිමේන්තුවේ සිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මැති ඇමැතිවරුන්ගෙන්ය. 
 
තිලකජය
IMAGE

රැඳවියකු බැලීමට ආ රූමතියට නියාමකගෙන් 'යෝජනාවක්'

IMAGE 2018 Jan 18 10:53
අනුරාධපුර බන්ධනාගාරයේ රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින සිය ඥාතියකු බැලීමට සහෝදරියක සමග ගිය...
Views - 2264

අයිවෝ ඩෙනිස් රෝහ‍ලේ

IMAGE 2018 Jan 17 10:59
මෙරට බිහි වූ විශිෂ්ටතම සංගීතඥයකු වූ සුනිල් ශාන්තයන්ගේ ගීත උරුමය ඉදිරි පරපුර වෙත රැගෙන ආ...
Views - 2306

ඡන්දය වෙනුවෙන් 'වඩියකට' ඉඩ දෙන්නැයි අපේක්ෂකයෝ ඉල්ලති

IMAGE 2018 Jan 16 10:42
තමන් කිසිදා  කසිප්පු පෙරීම නොකළ නමුත් මැතිවරණය අවසන් වන තුරු පමණක්  කාර්යාලය පිටුපස දින...
Views - 3827

අහඹු ගැබ් ගැනීම් වලකන පෙති ඇසුරුම් 20 අනුරපුර පාසලක

IMAGE 2018 Jan 16 09:59
පාසල ශුද්ධ පවිත්‍ර කිරීමේ ශ්‍රමදානයකට සහභාගී වූ මවකට අනුරාධපුර නගරයේ පාසලක තිබී අහඹු ලෙස...
Views - 4358

අන්තර්ජාල ඡායාරූපයේ සත්‍ය කතාව උදාරි හෙළි කරයි

IMAGE 2018 Jan 15 12:15
ප්‍රවේගය සිනමා පටයෙන් බොහෝ දෙනාගේ ආදරය දිනාගත් උදාරි පෙරේරාගේ තට්ට හිස සහිත ඡායාරූප පෙළක්...
Views - 5196

හොලිවුඩ් නිළියන්ටත් ලිංගික හිංසන

IMAGE 2018 Jan 15 11:49
වසර හැත්තෑ පහක කාලය තුළ අමුතුම ආකාරයේ ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන උළෙලක් පළමු වරට පසුගිය ඉරිදා...
Views - 3057

Please publish modules in offcanvas position.

X

Right Click

No right click