Home    |    Daily Lakbima    |    Sunday Lakbima    |   Rajina |    Archive    |    Advertise With Us    |     Careers Email - [email protected] youtube
Coss Ear2
lakbima.lk
COSS Ear 1
                                                                                        එසැනින් පුවත් | ගොසිප් | විශේෂ පුවත් | සුන්දර ලක්බිම | ව්‍යාපාරික පුවත්     

ගීතාට යළිත් කැපිල්ලක්

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පසුගිය සතියේ ජාතික රෝහලට ගියේ තමන්ගේ හිතවත් ස්වාමීන්වහන්සේ නමක් රෝගීව ප්‍රතිකාර ලබමින් සිටි නිසාය. ඒ වන විට රෝගීන් බැලීමේ වේලාව පසුවී තිබූ අතර මෛත්‍රී ගියේ රෝහ‍ලේ පිටුපස ගේට්ටුවෙනි. වැඩි ආරක්ෂාවක් නොමැතිව මෛත්‍රීගේ රථය ගේට්ටුව අසලට ගිය විට ජනපති ආරක්ෂක නිලධාරීන් ගේට්ටුවේ සිටි ආරක්ෂක නිලධාරියා අසලට ගියේ ගේට්ටුව විවෘත කර ගැනීමටය.
“ජනාධිපතිතුමා කාර් එකේ ඉන්නේ. අපිට ඇතුළට යන්න ගේට්ටුව අරින්න” ජනාධිපති ආරක්ෂක අංශයේ නිලධාරීහු ගේට්ටුව භාරව සිටි ආරක්ෂක නිලධාරිනියට කීහ.
“මේ ගේට්ටුවෙන් කාටවත් ඇතුළට යන්න දෙන්න බෑ” ඇය කීවාය.
මේ වන විට ආරක්ෂක නිලධාරීන් ගේට්ටුව අසලට ගොස් ටික වේලාවක් ගතවී තිබුණි. ඔවුන් ප්‍රමාද වන නිසා මෛත්‍රී කාරයේ පැති වීදුරුව විවෘත කළේය. එවිට ආරක්ෂක නිලධාරිනිය මෛත්‍රී අසලට පැමිණියාය.
“සර් මමත් ‍පොළොන්නරුවේ. ඒත් අපිට සර්ටවත් ඇතුළට යන්න දෙන්න බෑ. මේ ගේට්ටුවෙන් කවුරුහරි ඇතුළට යැව්වොත් පඩියෙන් කපනවා. ඒක නිසා සර් ඇතුළට නම් යන්න දෙන්න බෑ” ආරක්ෂක නිලධාරිනිය කීවේ තමන්ගේ වැටුප් කැපෙන බවය.
ඒ අනුව මෛත්‍රී එම ගේට්ටුවෙන් රෝහල තුළට නොගියත් වෙනත් ගේට්ටුවකින් රෝහල තුළට ගියේය. මෛත්‍රී රෝහලට යන විට සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්නට මේ ගැන තොරතුරු වාර්තා වී තිබුණේය. ඒ නිසා වහාම රාජිත ජාතික රෝහලට ආවේය.
“ජනාධිපතිතුමා මෙතැනින් රෝහලට යන්න ඇවිත් තියෙනවා. කවුද ජනාධිපතිතුමාට රෝහල ඇතුළට යන්න දුන්නේ නැත්තේ. ජනාධිපතිතුමාටවත් මේක ඇතුළට යන්න බැරිනම් මොකක්ද මේක. මේ ගැන වහාම සොයා බලන්න” රාජිත මෛත්‍රීට ඇතුළට යාමට නොදුන් ගේට්ටුවෙන්ම රෝහල ඇතුළට යමින් කීවේ තරමක් තදිනි.
 
මෛත්‍රී හමුවීමට ආ අමුත්තා 
 
මෛත්‍රී පසුගිය අඟගහරුවාදා දකුණු කොරියාව බලා පිටත්ව ගියේ දකුණු කොරියානු ජනාධිපතිවරයාගෙන් ලැබුණ ආරාධනාවක් අනුවය. වෙනදාට නිල සංචාරවල යෙදෙන මෛත්‍රී මෙවර යෙදුනේ රාජ්‍ය සංචාරයකය. නිල සංචාරයකදී ලැබෙන පිළිගැනීමට වඩා වැඩි පිළිගැනීමක් රාජ්‍ය සංචාරයකදී ලැබෙන්නේය.
සාමාන්‍යයෙන් රාජ්‍ය නායක හමුවක් සූදානම් කර තිබියදී එම හමුවට පෙර නායකයින් දෙදෙනා හමුවන්නේ නැත. දකුණු කොරියානු ජනාධිපතිවරයා හමුවීමට පෙර මෛත්‍රීට තවත් වැඩසටහන් කිහිපයකට සහභාගීවීමට නියමිතව තිබුණි. විහාරස්ථානයක පැවැත්වෙන උත්සවයකට මෛත්‍රී පැමිණි අතර ඔහු පිළිගැනීමට පැමිණ සිටියේ කවුරුවත් විශ්වාස නොකළ අයෙකි. ඒ අන් කිසිවෙක් නොව දකුණු කොරියානු ජනාධිපතිවරයාය. ඔහු පැමිණ මෛත්‍රී පිළිගෙන ටික වේලාවක් සුහද කතාබහක යෙදී පිටත්ව ගියේය.
පසුදා උදෑසන දකුණු කොරියානු ජනාධිපතිවරයා හමුවීමට මෛත්‍රී පැමිණියේය. මෛත්‍රී පිළිගැනීමට කොරියානු දරුවෝ පිරිසක් ලංකාවේ කොඩි සහ දකුණු කොරියාවේ කොඩි රැගෙන පැමිණ සිටියහ. එම ළමුන් අසලට දකුණු කොරියානු ජනාධිපතිවරයා පැමිණියේය. 
“කොඩි වනන්න. කොඩි වනලා චියර් කරන්න. ලංකාවේ ජනාධිපතිතුමා පිළිගන්න” දකුණු කොරියානු ජනාධිපතිවරයා ළමුන් දිරිමත් කළේ මෛත්‍රී එහි එන අතරවාරයේදීය.
“මමත් ඔබ වගේ දේශපාලනඥයෙක්. ගමේ ඉදලා ආපු දේශපාලනඥයෙක් තමයි මම”දකුණු කොරියානු ජනාධිපතිවරයා මෛත්‍රී පිළිගත්තේ එසේ කියමිනි.
මෛත්‍රී ලංකාවට ආවේ බ්‍රහස්පතින්දා රාත්‍රියේදීය. සිකුරාදා උදෑසන ඔහු ජනාධිපති ‍ලේකම් කාර්යාලයට හිතවත් ඇමැතිවරු කිහිපදෙනෙක් කැඳවා තිබුණේය. සුසිල් ප්‍රේමජයන්ත ඇතුළු ඇමැතිවරු කිහිප දෙනෙක් එහි පැමිණි අතර මෛත්‍රී ඔවුන් සමග පසුගිය සතියේ දේශපාලන කටයුතු ගැන දීර්ඝ ලෙස සාකච්ඡා කළේය. මහින්ද සමග එක්වීමට කළ සාකච්ඡා ගැනත් ඔහු වැඩි අවධානයක් යොමු කළේය.
 
වැඩ වරදින මන්ත්‍රීවරු 
 
එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමක් පසුගිය අඟහරුවාදා සවස අරලියගහ මන්දිරයේදී පැවැත්වීමට රනිල් තීරණය කළේ පක්ෂයේ පසුපෙළ මන්ත්‍රීවරු කිහිප දෙනෙකු ප්‍රවෘත්ති සාකච්ඡා පවත්වමින් කර තිබූ කතා ගැන රනිල් අවධානය යොමු කර තිබිම නිසාය. රනිල් ලංකාවේ නොමැති දිනවලදී පසුපෙළ මන්ත්‍රීවරු ජනාධිපතිවරයා විවේචනය කරමින් කතා කර තිබුණේය.
පාර්ලිමේන්තුවේ අයවැය විවාදය පැවැත්වෙන අතරවාරයේදී පාර්ලිමේන්තු කණ්ඩායම අරලියහ මන්දිරයේදී කැඳවීමට නොහැකි නිසා එදින සවස පාර්ලිමේන්තුවේදීම කණ්ඩායම් රැස්වීම පැවැත්වීමට රනිල් තීරණය කළේය.
ඒ අනුව මන්ත්‍රීවරු පැමිණියේ ඉදිරි පළාත් පාලන මැතිවරණය ගැන එහිදී සාකච්ඡා කරනු ඇතැයි විශ්වාස කරගෙනය. එහෙත් කණ්ඩායම් රැස්වීම ආරම්භයේදීම රනිල් කීවේ මන්ත්‍රීවරු බලා‍පොරොත්තු නොවූ කතාවකි.
“මම ලංකාවේ නැති වෙලාවේ පක්ෂයේ මන්ත්‍රීවරු පිරිසක් ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවලා තියෙනවා. ඒ වෙලාවේදී ජනාධිපතිවරයා විවේචනය කරලා තියෙනවා. පක්ෂයේ අවසරයක් නැතිව මේ විදියට හිතෙන හිතෙන විදියට ප්‍රවෘත්ති සාකච්ඡා තියන්න බෑ. එහෙම ජනාධිපතිවරයා විවේචනය කරන්න එපා. පක්ෂයේ අනුමැතිය නැතිව ප්‍රවෘත්ති සාකච්ඡා තියන අයට විරුද්ධව දැඩි පියවර ගන්නවා” රනිල් තීරණාත්මකව කීවේය.
“ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ආණ්ඩු කරගෙන යන්න එක දීගයකුයි, පළාත් පාලන ඡන්දයේදී තවත් දීගයකුයි කන්න බෑ. ආණ්ඩුව එක කට්ටියක් එක්ක කරගෙන යන ගමන් ප්‍රාදේශීය සභා තවත් කට්ටියක් එක්ක එකතු වෙලා පිහිටුවන්න බෑ. එහෙම වෙනවා නම් එක්සත් ජාතික පක්ෂයේ අපි තනිවම ආණ්ඩුවක් හදන්න ඕන” එස්. එම්. මරික්කාර් මන්ත්‍රීවරයා කතා කළේ සියලුම පසුපෙළ මන්ත්‍රීවරු වෙනුවෙන්ය. මරික්කාර්ගේ කතාවට රනිල් හොඳින් ඇහුම්කන් දුන්නා මිස කිසිවක් කියන්න ගියේ නැත.
 
මෛත්‍රී - රනිල් රහස් හමුව එළියට 
 
බ්‍රහස්පතින්දා උදෑසන වන විට රට පුරාම විශාල සුළි සුළඟක් හා දැඩි වර්ෂාවක් ඇතිවෙමින් තිබුණි. එදින උදෑසන අගමැති රනිල් වික්‍රමසිංහ දවස ආරම්භ කළේ විවිධ ප්‍රදේශවලින් ලැබුණ දුරකතන ඇමතුම් සමගය. විවිධ ප්‍රදේශවල සිටි එක්සත් ජාතික පක්ෂ මැති ඇමැතිවරු රනිල්ට දුරකතනයෙන් කතා කරමින් ඇතිවී තිබෙන තත්ත්වය පැහැදිළි කළේය.
එදින උදෑසන පාර්ලිමේන්තුවේ විශේෂ ප්‍රකාශයක්ද කිරීමට නියමිතව තිබූ අතර ඔහු හමුවීමට පැමිණි මාධ්‍යවේදීන් දෙදෙනෙකු තමන්ගේ වාහනයටම නංවාගෙන පාර්ලිමේන්තුවට පැමිණියේය. පාර්ලිමේන්තුවට එන අතරවාරයේදී දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රීවරයා තමන්ගේ පාසල් මිතුරා වන රනිල්ට දුරකතන ඇමතුමක් ගත්තේය
“සුළි සුළං නිසා හැම තැනටම හානි වෙලා තිබෙනවා. සමහර ප්‍රදේශවල ගස් පාරට කඩාගෙන වැටිලා. වාහන ගමනාගමනයටත් බාධා එල්ලවෙලා තිබෙනවා. සමහර ප්‍රදේශවලට විදුලිය නෑ” දිනේෂ් පැහැදිලි කරන්න විය.
ඒ කතාව අසාගෙන සිටි රනිල් ආපදා කළමනාකරණ ඇමැති අනුර ප්‍රියදර්ශන යාපාට කතා කළේය.
පාර්ලිමේන්තුවේ අගමැති කාර්යාලයට පැමිණෙන විට ලක්ෂ්මන් කිරිඇල්ල ඇතුළු ඇමැතිවරු කිහිප දෙනෙක් පැමිණ සිටියහ.
“ජනාධිපතිතුමා නිකවැරටියේදී කතාවක් කරන වෙලාවේ ඔබතුමා ඉන්දියාවේ නේද හිටියේ. ලංකාවට ආවට පස්සේ එතුමා හමුවුණා නේද? එතැනදී මොකද කිව්වේ” කිරිඇල්ල ඇසුවේය.
“කොරියාවේ යනවා කිව්වා. මට වැඩ වැඩිවේවි කිව්වා” රනිල් කීවේ සැහැල්ලුවෙන්ය.
“ශ්‍රී ලංකා නිදහස් පක්ෂයයි, ඒකාබද්ධ විපක්ෂයයි අතර වෙන සාකච්ඡා ගැන කතා කළේ නැද්ද? නිකවැරටියේදී අර වගේ කතාවක් කිව්වේ ඇයි කියලා ඇහුවේ නැද්ද” වජිර අබේවර්ධන ඇමැතිවරයා ඇසුවේය.
“නෑ.. ඒවා ගැන කතා කළේ නෑ.. අපි සුහදව කතා කළා විතරයි. ඒකාබද්ධය එක්ක සාකච්ඡාවකට නොගියොත් තමන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කැඩුවා වගේ වෙන නිසා ඒකට යනවා කිව්වා. ඒත් ජනවරම සම්මුති රජය අනුව අවසානය දක්වා ගෙනයමු කියලා කිව්වා” රනිල් කීය.
“මංගල - මලික් දෙන්නා ජනාධිපතිතුමා හමුවෙලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඒකාබද්ධ විපක්ෂය එක්ක යනවා නම් එක්සත් ජාතික පක්ෂය වෙනම ආණ්ඩුවක් හදන බව කිව්වාය කියලා යන කතාව මොකක්ද?” රන්ජන් රාමනායක නියෝජ්‍ය ඇමැතිවරයා ඇසුවේය.
“නෑ.. ඒ අය වෙන වෙනම හමුවෙලා තියෙන වෙලාවල්වල නිකං කතා කරල තියෙනවා. එච්චරයි” රනිල් කීවේ සැහැල්ලුවෙනි.
“ඒත් සම්මුතිය ඉවරයි. දෙසැම්බර් වෙනකම් ඉන්නේ ජනාධිපතිතුමා කියපු නිසා කියලා සුසිල් ප්‍රේමජයන්ත කියලා තිබුණා” රන්ජන් යළි විමසුවේය.
“තීන්දු ගන්නේ සුසිල් නමෛයිනේ. කියන්න දේවල් නැතිව සමහරු මයික් ඇල්ලුවාම කියන දේවල් ගණන් ගන්න එපා. සුසිල් කියන විදියට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දෙසැම්බර්වල ආණ්ඩුවෙන් යනවා නම් අගමැතිතුමා සහ අපි ඊළඟට කරන දේ කතා කරල තියෙන්නේ. රාජපක්ෂලාගේ තුනෙන් දෙකේ බලයෙන් එයාලා ශක්තිමත් වුණත් අපට දැන් තියෙන තුනෙන් දෙකෙන් රට ගොඩගන්නයි අපි බලන්නේ” කිරිඇල්ල කී විට රනිල් නළල රැළි ගන්වා ඉවත බලාගත්තේය
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමගි කිරීමේ රහසිගත දේශපාලන ව්‍යාපෘතිය පසුගිය සතියේදී ප්‍රසිද්ධ ව්‍යාපෘතියක් බවට පත්වූයේ මේ ගැන සාකච්ඡා කිරීමට කමිටුවක් පත් කිරීමත් සමගය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් නිමල් සිරිපාල ද සිල්වා, අනුර ප්‍රියදර්ශන යාපා සහ ලසන්ත අලගියවන්න සාකචඡාවට එක්ව සිටි අතර සී.බි. රත්නායක, මහින්ද යාපා අබේවර්ධන සහ පවිත්‍රා වන්නිආරච්චි ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරමින් එක්ව සිටියහ. පසුගිය සිකුරාදා පාර්ලිමේන්තුවේදී මේ කමිටුව රැස්වූ විට ඒකාබද්ධ විපක්ෂයෙන් කොන්දේසියක් ඉදිරිපත් විය. ඒ ආණ්ඩුවෙන් ඉවත් විය යුතුය යන යෝජනාවයි. 
“හවුල් ආණ්ඩුවේ ගිවිසුම දෙසැම්බර් මාසයේදී අවසන් වෙනවා. ඒ නිසා කතා කරලා ඒ ගැන තීන්දුවක් ගන්න පුළුවන්” නිමල් සිරිපාල ද සිල්වා පැවැසුවේය.
“දෙසැම්බර් ගිවිසුම ඉවරයි කියලා බැහැ. ඉදිරියේදී එන ඕනම ඡන්දයකදී ජයග්‍රහණය කරන්න හිතාගෙන ඉන්නවානම් ඔයාලට ආණ්ඩුවෙන් ඉවත් නොවී බෑ”පවිත්‍රා කීවාය.
“අපිට තියෙන අත්දැකීමත් එක්ක ඔයාලාගේ එකතුවීම ගැන තියෙන උනන්දුව අවංක උනන්දුවක්ද කියන කාරණය ගැන අපිට බලන්න වෙනවා”මහින්ද යාපා අබේවර්ධන කීවේද එකතුවීම ගැන සැක සංකා හිතේ තබාගෙනය. 
පැයකට ආසන්න කාලයක් තිස්සේ සාකච්ඡා පැවැත්වුවත් එම සාකච්ඡා අවසන් කළේ අවසන් එකඟතාවක් නොමැතිවය. 
“මෙයාලා මොනවා කළත් කමක් නෑ. ඔයා අපේ පැත්තට එන්න”සාකච්ඡා අවසන් කර යන අතරවාරයේදී නිමල් පවිත්‍රාට කීවාය.
“අ‍පෝ මාව නම් අමාරුවේ දාන්න එපා. මම මේ සාකච්ඡාවලට ආවේ මහින්ද මහත්තයා කියපු නිසා”පවිත්‍රා ගත් කටටම කීවාය.
ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම අගහරුවාදා පාර්ලිමේන්තුවේදී රැස්වීමට නියමිතව තිබුණි. එහෙත් ඊට පෙර උදෑසන එකොළහට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇමැතිවරු ගොස් සංශෝධිත යෝජනා මාලාව ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට දුන්හ. 
එදින සවස ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේ කමිටු කාමර අංක හතේදී රැස්විය. එහිදී වැඩි අවධානයක් යොමුවූයේද දෙපාර්ශ්වයේ සාම සාකච්ඡා වෙතය.
“මොකද දැන් සාකච්ඡාවල තත්ත්වය”මහින්ද ඇසුවේ සී.බි., මහින්ද යාපා සහ පවිත්‍රා දෙස බලමිනි.
“සෙනසුරාදා තිබුණ සාකච්ඡාවලදී අපේ කොන්දේසි අපි දැනුම් දුන්නා. එකතුවෙන්න නම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මේ හවුල් ආණ්ඩුවන් ඉවත් වෙන්න ඕන කියලා අපි කිව්වා”සී.බි. කීවේය.
“මේක හරියට ගෙදර මනුස්සයා අනියම් භාර්යාවක් අරගෙන ඉන්න ගමන් තමන්ගේ නීත්‍යානුකුල බිරිඳටයි, දරුවන්ටයි සාකච්ඡා කරන්න එන්න කියනවා වගේ වැඩක්. අනියම් භාර්යාව අතහරින්නේ නැතිව තමන්ගේ භාර්යාව ළඟට ගන්න බෑනේ” සනත් නිශාන්ත මන්ත්‍රීවරයා කීවේ මන්ත්‍රී කණ්ඩායම සිනා ගන්වමිනි.
“ඒක ඇත්ත. අපිත් එක්ක මේ අය එකතුවෙන්න හදන්නේ අපිට තියෙන ආදරයකට නමෛයිනේ. ඔය හදන්නේ ජනතාවගේ අප්‍රසාදයට පත්වෙලා ඉන්න ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට අපි හරහා ඡන්ද ටික එකතු කර ගන්නයි. හැමදාම මේ සෙල්ලම කරන්න බෑනේ” ප්‍රසන්න කීවේය.
“ඒ අය කියන්නේ දෙසැම්බර් වෙනකොට අණ්ඩු ගිවිසුම ඉවරයි කියලා” මහින්ද යාපා පැවැසුවේය.
“ඕක විශ්වාස කරන්න බෑ. විශ්වාසය තහවුරු කරන්න නම් ආණ්ඩුවෙන් අයින්වෙලා පෙන්නන්න කියන්න. එහෙම නොවුණොත් අපිට මේක ලොකු ප්‍රශ්නයක් වේවි. අපි එක තීන්දුවක ඉන්න ඕන”වෙල්ගම අවධාරණය කළේය.
“මෙයාලට ආණ්ඩුවෙන් අයින්වෙන් බැරිනම් ඉස්සරහට හොඳ අවස්ථාවක් එනවානේ. අයවැයට විරුද්ධව ඡන්දය දෙන්න. එහෙමනම් අපිත් එක්ක එකතුවෙලා අයවැය පරද්දන්න එන්න කියන්න”ලොකුගේ පැවැසුවේය.
“මේ සාකච්ඡාවල අවසානයක් තියෙන්න ඕන. අද හවසත් සාකච්ඡා තියෙනවානේ. අපේ ස්ථාවරය ඒ අයට කියන්න. එයාලා කියන දේවල් ගැන මාව දැනුවත් කරන්න”මහින්ද අවසන් තීන්දුවක් දුන්නේය.
කණ්ඩායම් රැස්වීම අවසන් කළ සී.බි, මහින්ද යාපා සහ පවිත්‍රා ගියේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නියෝජිතයන් හමුවීමටය. 
“තවදුරටත් මේ සාකච්ඡා පවත්වාගෙන යන්න නම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය
ආණ්ඩුවෙන් ඉවත් වෙන්න ඕන. අපිට අදම ඒ ගැන තීන්දුවක් ගන්න අවශ්‍යයි”පවිත්‍රා සාකච්ඡාව ආරම්භයේදීම කීවාය.
“ඒකට දවස් දෙක තුනක් දෙන්න. ජනාධිපතිතුමා ලංකාවට ආවට පස්සේ මේ ගැන කතා කරලා බලලා තීන්දුවක් කියන්නම්” නිමල් සිරිපාල ඉල්ලුවේය. එදින සාකච්ඡා අවසන් වූයේ මෛත්‍රී ලංකාවට පැමිණි පසුව අවසන් තීන්දුවක් ගැනීමේ එකඟතාවය මතය.
මේ සාකච්ඡාව අවසන් කළ පිරිස මහින්දගේ විජේරාම පෙදෙසේ පිහිටි නිවසට ගියහ. ඒවන විටත් ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායකවරුන්ගේ රැස්වීමක් මහින්දගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙමින් තිබුණි. එහිදී වැඩි අවධානයක් යොමුවූයේ ඉදිරි මැතිවරණ කෙරෙහිය. මැතිවරණ මෙහෙයුම් කටයුතු සඳහා මැතිවරණ මෙහෙයුම් කමිටුවක්ද එහිදී පත් කර ගත්තේය. එම මෙහෙයුම් කමිටුවට ඒකාබද්ධ විපක්ෂයේ නායකයන් ඇතුළත් කරගැනීමට තීරණය විය.
 
මහින්දගේ ජපන් කතා 
 
මහින්ද අහුංගල්‍ලේ විහාරස්ථානයක පැවැති උත්සවයකට පසුගිය සතියේදී සහභාගි විය. විහාරස්ථානයේ උත්සවය අවසන්වීමෙන් පසුව දිවා ආහාරයද සූදානම් කර තිබුණි. ජානක වක්කුඹුර ඇතුළු මන්ත්‍රීවරු වට කරගනිමින් මහින්ද දිවා ආහරය ගත්තේ සැහැල්ලුවෙනි. මහින්ද දිවා ආහාරය ගන්නා අතරවාරයේදී කතා කළේ ජපානයේ ආහාර ගැනීම් ගැනය.
“ජපානයේ ආහාර රටාව හරි වෙනස්. මට ජපානයේදී හාමුදුරුවෝ නමක් හමුවුණා. මගේ වයස කීයද කියලා උන්වහන්සේ ඇහුවා. ඒ වෙලාවේදී මගේ වයස කීයද කියලා කියන්න පුළුවන්ද කියලා මම ඇහුවා. උන්වහන්සේ කිවවේ මගේ වයස අවුරුදු හැත්තෑවක් විතර වෙනවා ඇති කියලයි. මට දැන් හැත්තෑ තුනයි කියලා කිව්වා. ඊට පස්සේ උන්වහන්සේ මට කිවුවා ජපානයේ අවුරුදු හැත්තෑවක් කියන්නේ මැදි වයස. මැදි වයසේ කෙනෙකුට හොඳින් දේශපාලනය කරන්න පුළුවන් කියලා මට කිව්වා” මහින්ද පසුගිය ජපන් සංචාරයේ අත්දැකීම් බෙදාගන්න විය.
“ඒක නම් ඇත්ත සර්” එතැන සිටි රෝහිත අබේගුණවර්ධන කතාව අනුමත කළේය.
“අනික් එක ජපානයේ ගොඩක් වෙනස් චාරිත්‍ර තියෙනවා. එහේ මළගෙදරකට ගියාම තෑගි දෙනවා. පන්සලට ගියාම ලියුම් කවරයක් දෙනවා” මහින්ද කීවේය.
“ඔය වගේ පන්සල් කොහේද තියෙන්නේ සර්” එතැන සිටි පළාත් සභා මන්ත්‍රීවරයෙක් ඇසුවේය.
“අ‍පෝ සර් එක නම් කියන්න එපා. මෙයාට ඕක කිව්වොත් පන්සලට දවසේ කීප සැරයක්ම යාවි” සම්පත් අතුකෝරළ පළාත් සභා මන්ත්‍රීවරයා කියන විට සියල්ලන්ටම සිනා ගියේය.
“මම අහුංගල්ලට ආවම මතක් වෙන්නේ අපේ නිමල් සිරිපාල ඇමැතිතුමයි, ශාන් මහ ඇමැතිතුමයි” මහින්ද කීවේය.
“ඔව් සර්,. නිමල් ඇමැතිතුමාගේ නෝනගේ ගම මෙහේනේ” පළාත් සභා මන්ත්‍රීවරයෙක් කීවේය.
“ඔයා විස්තර දන්නවානේ. මම ඉස්සර අහුංගල්ලට ආවම ශාන්ගේ ගෙදරයි, මේ අයගේ ගෙවල්වලයි යනවා” මහින්ද අතීතය සිහිපත් කළේය.
දිවා ආහාරයෙන් පසුව මහින්ද ඒ අසල පිහිටි හෝටලයකට ගියේ ටික වේලාවක් විවේකයෙන් සිටීමටය. එහෙත් මහින්ද පැමිණ ඇති බව ආරංචි වූ ධීවරයෝ පිරිසක් එහි පැමිණ සිටියහ. විවේක ගැනීම පසෙක තැබූ මහින්ද ඔවුන් සමග කතා කරමින් ඔවුන්ගේ ප්‍රශ්නය පාර්ලිමේන්තුවේදී කතා කිරීමේ වගකීම රෝහිත අබේගුණවර්ධනට පැවරුවේය.
 
දකුණු පළාත් සභාවේ සන්ධානයේ පළාත් සභා නියෝජිතයන්ගේ සංසදය පසුගිය සතියේදී රමේෂ් පතිරණ මන්ත්‍රීවරයා හමුවූහ. ඒ ක්‍රිෂාන්ත පුෂ්පකුමාර පළාත් සභා මන්ත්‍රීවරයාගේ නිවසේදීය. ඔවුන් එම සාකච්ඡාවට පැමිණ තිබුණේ ගීතා කුමාරසිංහ ගැන නෝක්කාඩුවක් කීමටය. ගීතා ගාල්ලේ දේශපාලනයට එනවාට ඔවුන්ගේ කැමැත්තක් තිබුණේ නැත. මේ නිසා ගීතා ගාල්ලේ දේශපාලන වැඩ කටයුතුවලට සම්බන්ධ කර නොගන්නැයි ඔවුන් ලිපියක්ද සකස් කර තිබුණේය. එයට සියලුම මන්ත්‍රීවරු අත්සන් කර රමේෂ්ගේ අතට දුන්නේය.
ගාල්ලේ ඒකාබද්ධයේ දේපාලන වැඩවලට ගීත එපා. ඕන නම් අපේ ආණ්ඩුවක ජාතික ලයිස්තුවෙන් පාර්ලිමේන්තුවට ගෙන්වාගෙන ඇමැතිකමක් දුන්නට අපිට කමක් නෑ. මෙහේ වැඩවලට සම්බන්ධ කරන්න එපා මන්ත්‍රීවරු රමේෂ්ගෙන් ඉල්ලා සිටියහ.
මට ඒක ගැන තීරණයක් ගන්න බෑ. මහින්ද මහත්තයා ඕන මේ ගැන තීරණය කරන්න. ඕන නම් අපි මහින්ද මහත්තයා හමුවෙලා මේ ගැන කතා කරමු. රමේෂ් යෝජනා කළේය.
මේ අතර ගීතා පළාත් පාලන මන්ත්‍රී සංසදයේ මන්ත්‍රීවරයෙක්ට කතා කර තිබුණේය. ඔහු ගීතාට කියා තිබුණේ මෙවැනි යෝජනාවක් ඉදිරිපත් නොවූ බවය.
ගීතාට විරුද්ධව අපි ලියුමක් භාරදුන්නේ නෑ කියලා උඹලා කිව්වාද? පළාත් සභාවට මන්ත්‍රීවරු පැමිණි අවස්ථාවේදී චම්ලි විතානච්චි මන්ත්‍රීවරයා අනෙක් මන්ත්‍රීවරුන්ගෙන් ඇසුවේය.
නෑ.....නෑ..... අපි එහෙම කිව්වේ නෑ. මේ වගේ ලිපියක් භාරදීපු එක බොරුවක් නමෛයිනේ ක්‍රිෂාන්ත කීවේය.
 
තිලකජය

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

IMAGE

තනි දළයා සිපිරිගෙට යනු බලා ගල්ගමු වැසියෝ කඳුළු සලති

IMAGE 2017 Dec 18 13:25
තම පවුලක නාහෙට නාහන හිතුවක්කාර තරුණයෙකු වුව බන්ධනාගාරගත වන්නේ නම් එම පවුලේ ඥාතීන් තුළ විශාල...
Views - 808

සාර්ථක ගැබ් ගැන්වීමක් සඳහා පිරිමියෙකු සතු සුදුසුකම්

IMAGE 2017 Dec 18 12:42
දරු පිළිසිඳ ගැනීමකදී කාන්තාවක තුළ තිබිය යුතු සුදුසුකම් පිළිබඳව බොහෝ දෙනෙක් කථා කරනවා. නමුත්...
Views - 1492

ඉදිරියට යනකොට මට හිතුණා මේ ජයග්‍රහණය ලැබෙයි කියලා

IMAGE 2017 Dec 18 10:00
දෙරණ  සිහින තරු වේදිකාව අදියර හයක් පුරා නවක ගායන තරු රැසක්ම සංගීත ක්ෂේත්‍රයට බිහි කළේය....
Views - 772

හීං බබා සීයා වෙන්න කලින් මම හිඟන්නෙක්

IMAGE 2017 Dec 18 09:11
සේන ගුණවර්ධන කියන ඔබව දැන් රටම හඳුනන්නේ “හීං බබා සීයා” නමින්. වයසට ගිහින් හරි රටම හඳුනන...
Views - 1986

හැරී කුමරුගේ සහ මෙගන් මාර්කල් ගේ විවාහ දිනය නිවේදනය කරයි

IMAGE 2017 Dec 18 09:03
බ්‍රිතාන්‍යයේ රජ පවුල පිළිබඳ තොරතුරු කියවීමට කැමැත්ත දක්වන බොහෝ දෙනෙකු තුළ පසුගිය දිනවල...
Views - 647

තනුජා සිරස හැර යයි

IMAGE 2017 Dec 17 12:25
පෞද්ගලික රූපවාහිනී නාලිකා මේ රටේ ඇති කළ වෙනස තුළ බිහි වූ ප්‍රබල චරිතයක් තමයි තනුජා ජයවර්ධන...
Views - 4492

Please publish modules in offcanvas position.